වෙබ් ලිපිනය:

Showing posts with label පළතුරු. Show all posts
Showing posts with label පළතුරු. Show all posts

Tuesday, January 9, 2024

දූරියන් ගෙඩියක අපූරු චාරිකාව


අපේ ගෙවල් පැත්තේ තරමක් මෑතකදී ලෝකයේ වෙනත් විවිධ රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය විකුණන සුපිරි වෙළඳසැලක් විවෘත කළා. මීට කලිනුත් මේ වගේ ජාත්‍යන්තර ආහාර වර්ග විකුණන වෙළඳසැල් තිබුණත් මෙය ඒවාට වඩා ගොඩක්ම ලොකු එකක්. ලෝකයේ විවිධ රටවල් හෝ කලාප වෙනුවෙන් වෙන් වුනු කොටස් එහි තිබෙනවා. පැත්තක රටවල් කිහිපයකම පිසූ ආහාර විකුණන භෝජන ශාලා කිහිපයකුත් තිබෙනවා. හැබැයි ලංකාවේ අපනයනයක් කියා දැක්කේනම් එක්තරා සන්නාමයක තේ පමණයි. 

දවස් කිහිපයකට කලින් එහි ගිය වෙලාවේ දූරියන් ගෙඩියක් මිල දී ගත්තා. මේ සමඟ එහි ඡායාරූපයක් පළ කර තිබෙනවා. පොඩි ගෙඩියක්. බර රාත්තල් 3.13ක් පමණයි. රාත්තලක් ඩොලර් 5.99 බැගින් දූරීයන් ගෙඩියට ඩොලර් 18.75ක් ගියා. ඩොලර් එක රුපියල් 320 ගණනේ ගණන් හැදුවොත් රුපියල් හය දාහක්. මේ තරමේ දූරීයන් ගෙඩියක් ලංකාවේනම් රුපියල් දාහකට වඩා අඩු විය යුතුයි. ලංකාවේදී ඔය ගාණට ගෙඩි හත අටක්ම ගන්න පුළුවන් වෙයි. 

ලංකාවේ මිල වගේ හත් අට ගුණයක් වුනත්, දූරීයන් ගෙඩියක් ආසියාතික රටක ඉඳලා ඇමරිකාව දක්වා එද්දී සිදු වන අගය එකතු කිරීම සැලකූ විට මෙය සාධාරණ මිලක්. ඔය බිලේම දැකිය හැකි රාත්තල් 1.28ක දෙල් ගෙඩිය ඩොලර් 2.55ක්. ඒ කියන්නේ රුපියල් 816ක්. ඒකනම් එන්න ඇත්තේ දකුණු ඇමරිකාවේ ඉඳලා. 

අපි ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ ඇමරිකාවේ ග්‍රීෂ්ම නිවාඩු කාලය අල්ලලා. ඒ කාලය ලංකාවේ රඹුටන්, දූරීයන්, මැන්ගුස් ආදිය හැදෙන කාලය. ඒ නිසා, ලංකාවේදී මේ පළතුරු ඇති වෙන්න කාලා යන්න පුළුවන්. මේවා ඇමරිකාවෙනුත් මිල දී ගන්න පුළුවන් වුනත් සාපේක්ෂව මිල වැඩි නිසා ලංකාවේදී වගේ හිතේ හැටියට කන්න බැහැ. මිල පැත්තකින් තිබ්බත්, ශීත කර කල් තබාගත් පළතුරු අලුත් පළතුරු තරමටම දැනෙන්නේ නැහැ. අඹ, ගස්ලබු, අන්නාසි වගේ පළතුරුනම් ඇමරිකාවේ වුනත් සුලබයි වගේම කලින් කී වර්ග වලට සාපේක්ෂව මිල අඩුයි. 

රඹුටන්, දූරීයන්, මැන්ගුස් තුනේම සම්භවය මැලේසියා-ඉන්දුනීසියා කලාපය. මේ නම් වල සම්භවයත් මැලේ/ඉන්දුනීසියන්. "දුරී" කියන්නේ මැලේ/ඉන්දුනීසියන් භාෂා වලින් කටු. "රඹුට්" කියන්නේ කෙස් නැත්නම් මයිල්. මේ වචන වලට "අන්" ප්‍රත්‍යය එකතු වෙලා දුරියන් හා රඹුටන් වෙනවා. මේ පළතුරු ලංකාවට එන්නේ පෘතුගීසින් හරහා. පෘතුගීසින් නිසා ඔවුන්ගේ මල්වානේ බලකොටුව ආශ්‍රිතව රඹුටන් ව්‍යාප්ත වුනා. ඒ නිසා මල්වාන රඹුටන් වලට ප්‍රසිද්ධ වුනා. ඔය විදිහටම කළුතර පෘතුගීසි බලකොටුව නිසා ඒ පැත්තේ මැන්ගුස් පැතිරුණා. කළුතර මැන්ගුස් වලට ප්‍රසිද්ධ වුනා. දූරීයන් වලටනම් ඔය විදිහට ලංකාවේ නිශ්චිත ප්‍රදේශයක් ප්‍රසිද්ධ වෙලා නැහැ. 

පෘතුගීසින් විසින් මේ විදිහට ලංකාවට විවිධ බෝග වර්ග අරගෙන ඇවිත් තියෙන්නේ මැලේසියා-ඉන්දුනීසියා කලාපයෙන් පමණක් නෙමෙයි. දැන් ලංකාව පුරා ව්‍යාප්ත පළතුරක් වන අන්නාසි වගේම, රටේ සංස්කෘතියේ කොටසක් වී තිබෙන කජුත් ඔවුන් දකුණු ඇමරිකාවෙන් අරගෙන ආපු බෝග වර්ග. මේ නම් වල සම්භවය දැන් අභාවයට ගොස් තිබෙන වත්මන් බ්‍රසීලයේ ජීවත් වූ ස්වදේශිකයන්ගේ භාෂාවක් වූ තුපි භාෂාව. කජු කියන්නේ පෘතුගීසි භාෂාව හරහා සිංහලට එකතු වෙන තුපි වචනයක්. අන්නාසි වෙන්නේ අනනාස්. එහෙම නැත්නම් එකම තේරුම තිබෙන අනනාස් හා අබකාසි වචන දෙකේ කළවමක්. 

ලංකාවේ ගොඩක් අය ඇමරිකාවට එන කොට කජු අරගෙන එනවා. නමුත් ඇත්තටම කජු ලංකාවට ඇවිත් තියෙන්නේ දකුණු ඇමරිකාවෙන්. ඇමරිකාවේ කජු සුලබයි වගේම සාපේක්ෂව ලාබයි. 

කොහොම වුනත්, රඹුටන්, දූරීයන්, මැන්ගුස් වගේ පළතුරුනම් ඇමරිකාවට ආගන්තුකයි. බොහෝ විට මේ පළතුරු විකිණෙන්නේ ජාත්‍යන්තර ආහාර විකුණන කඩයක. එහෙම නැත්නම්, වියට්නාම්, තායි හෝ පොදුවේ ආසියානු ආහාර ද්‍රව්‍ය විකුණන කඩයක. ආසියාවේ රටක ඉඳලා දුරියන් ගෙඩියක් ඇමරිකාවේ ඒ වගේ කඩයක් දක්වා එන ගමනේදී දිගින් දිගටම පියවරෙන් පියවර අගය එකතු වීමක් සිදු වුනත්, ඒ විදිහට විදිහට අගය එකතු වෙද්දී භෞතික ලෙස දුරියන් ගෙඩියේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම දුරියන් ගෙඩිය තමයි දිගටම එන්නේ.

භාණ්ඩයකට අගය එකතු වෙනවා කියන එකෙන් ඒ භාණ්ඩය භෞතිකව වෙනස් වෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ සුපිරි වෙළඳසැලක විකිණෙන ලංකාවේ මහපු ඇඟලුමක් ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට යන කොටසම එහි සිදු වෙන භෞතික වෙනස්කම් වෙලා ඉවරයි. එතැනින් එහාට අගය එකතු වෙන්නේ වෙන ක්‍රමයකට. ඒක තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට වෙළඳපොළ යාන්ත්‍රනයත් සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්.

ගෙවල් ළඟ සුපිරි වෙළඳසැලෙන් මම මිල දී ගත්ත දුරියන් ගෙඩිය තායිලන්තයේ හැදුනු දුරියන් ගෙඩියක්. ලංකාවේ හැදුනු දුරියන් ගෙඩියක් වුනත් ඔය ක්‍රමයට ඇමරිකාවට එන්න පුළුවන් නිසා අපි තායිලන්තය වෙනුවට ලංකාව ආදේශ කරමු. ලංකාවේ ගහක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ කොහොමද? 

භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ එහි භෞතික ස්වභාවය මත පමණක් නෙමෙයි. එය තිබෙන තැන හා වෙලාව වටිනාකම කෙරෙහි විශාල බලපෑමක් කරනවා. මැදපෙරදිග රටක පොළොව යට තිබෙන බොරතෙල් සහ සපුගස්කන්දට එන බොරතෙල් වගේ. ලංකාවේ ගහක තියෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවේ සුපිරි වෙළඳසැලකට ඒ විදිහටම ආවත් ඒ දුරියන් ගෙඩිය තව දුරටත් ගහේ තිබුණු දුරියන් ගෙඩියම නෙමෙයි.

මේ දුරියන් ගෙඩියේ භෞතික ලෙස දැකිය හැකි අගය එකතු කිරීමක් ඇත්නම් ඒ එය දමා තිබෙන ඇසුරුම නිසා වූ අගය එකතු වීම පමණයි. මෙය ප්ලාස්ටික් කොක්කක් සහිත දැල් උරයක්. මේ අසුරණය නිසා දුරියන් ගෙඩිය පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. අර ඉස්සර හිටපු රාජ්‍ය නායකයෙක් කළා කියනවා වගේ යම රජ්ජුරුවන්ට දෙන්න අපායට වුනත් අරන් යන්න අමාරුවක් නැහැ මේ උරය හා කොක්ක නිසා. ඒ පහසුව ඇරුණු විට දුරියන් ගෙඩිය දුරියන් ගෙඩියක්ම තමයි.

දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ ඔය ගෙඩිය ගහේ ඉඳලා ප්‍රධාන පාරක් අයිනට එද්දී අගය එකතු වෙන විදිහටම තමයි. වෙනස අතරමැදියන් වැඩි ගණනක් සිටීම පමණයි. හැබැයි මේ හැම අතරමැදියෙක් විසින්ම කරන අගය එකතු කිරීමක් තිබෙනවා. ඔවුන්ගේ ආදායම වෙන්නේ පාරිභෝගිකයාට සාපේක්ෂව එම අගය එකතු කිරීමේ වටිනාකම. 

තායිලන්තය වගේ රටවල් වලින් අපනයනය කරන්නේ වගාවක් විදිහට පිළිවෙලකට වවන දුරියන්. දැන් ලංකාවේ වුනත් මේ විදිහට පිළිවෙළකට දුරියන් වගා කරනවා. නමුත්, දශක හතර පහකට පෙර කාලයේ දුරියන් තියා රඹුටන්වත් ඔය වගේ පිළිවෙලකට වැවුවේ නැහැ. කෙටි කලකින් පළ දරන බද්ධ පැල වර්ග ප්‍රචලිත වෙන්න කලින් දුරියන් වගේම රඹුටන් ගසුත් විශාල ගස්. දෙවර්ගයම දැව ලෙසත් භාවිතයට ගත්තා. විශේෂයෙන්ම දුරියන් ගස් ගොඩක් ලොකු ගස්. 

ප්‍රධාන පාරක් කිට්ටුවක නැති අපේ ඥාති නිවසක ඔය වගේ විශාල දුරියන් ගහක් තිබුණා. ඔය ගහෙන් ඒ දවස්වලත් දුරියන් වාරයට විශාල ආදායමක් ලැබුණා. ගහ කොයි තරම් වයස ගහක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඇට වැටිලා වටේට පැල වෙලා තිබුණු පරිවාර ගස් වුනත් ඒ වෙද්දී සෑහෙන්න ලොකුයි.

ඒ වන විට ජීවත්ව සිටි මගේ ඉහළ පරම්පරාවටත් ඉහළ පරම්පරාවේ ඥාතියෙක් රස කරමින් කියපු විදිහට ඔහුට මතක ඇති කාලයේ සිට මේ ගස එතැන තිබී තිබෙනවා. ඒ කියන්නේ අඩු වශයෙන් පහුගිය සියවසට කලින් සියවසේ ඉඳලා. ඒ වෙද්දී ගහට අවුරුදු සීයක්වත් වයස ඇති. හැබැයි මේ ගහේ හැදෙන ගෙඩි රසවත් ආහාරයක් බව හෝ එහි ලොකු ආර්ථික වටිනාකමක් තිබෙන බව ඔවුන් දැනගෙන ඉඳලා නැහැ. ගහ ඔවුන්ට විශාල කරදරයක්ව තිබිලා පමණයි.

කියපු විදිහට ඒ කාලයේ දුරියන් වාරයට ඔය ගහ තිබෙන පැත්ත කවුරුවත් නොයන මුදා නොගත් කලාපයක්ලු. හේතුව පැහැදිලියිනේ. අඩි සීයක පමණ උඩක ඉඳලා ඔලුව උඩට දුරියන් ගෙඩියක් වැටුනොත් එතැනින් එහාට වෙන දේ හිතාගන්න පුළුවන්නේ. කිතුල පැත්තේ ගිහින් එන වෙලාවක වැඩේ බරපතලකම අමතක වෙලා ඔය ගහ පැත්තේ කරක් ගහපු සමහර අයට මාස ගණන් ඇඳක වැටිලා ඉන්න වෙලත් තියෙනවා. 

ඔය තරම් කරදරයක්නම් ගහ කපලා නොදැම්මේ ඇයි කියන එක ඒ දවස් වල ඔය කතාව අහද්දීත් මතක් වුන ඒත් අහපු නැති ප්‍රශ්නයක්. ලොකුවට ඉඩම් ප්‍රශ්නයක් නොතිබුණු ඒ කාලයේ ඔය පැත්ත අත ඇරියා කියලා ඒකෙන් එහෙමට පාඩුවක් නොවෙන්න ඇති. කොහොම හරි වාරේ ඉවර වෙද්දී ගහ යට දුරියන් ගෙඩි පිරිලා. මේ දුරියන් ගෙඩි ඉවත් නොකළොත් ඒවායේ කටු නිසා ඉතිරි කාලයේත් ඔය පැත්තේ නොයා අත අරින්න වෙනවා. ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ මේවායින් තව දුරියන් පැල හැදෙන එක. එක යක්ෂයෙක්ගේ කරදරේ මෙහෙමනම් යක්ෂ පැටවු සිය ගාණක් ලොකු වුනොත් කොහොමට තියෙයිද?

මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට කළා කියලා කියන්නේ හැම අවුරුද්දෙම වාරේ ඉවර වෙද්දී ලොකු වලක් කපලා ගහෙන් වැටී තිබෙන දුරියන් ටික වළලලා දමන එක. එක්තරා අහඹු සිද්ධියක් වෙනකම් අවුරුදු ගාණක් ඔය වැඩේ ඔය විදිහට වෙලා තියෙනවා.

ඔය කාලයේ ලංකාවේ ගොඩක් ගම් වගේම ඔය ගමත් බොහෝ දුරට ස්වයංපෝෂිත ගමක්. පිටින් කියලා ගන්නේ අවුරුද්දකට පමණ සැරයක් ගන්න රෙදි මොනවා හරි, දිය ලුණු වගේ බොහොම සීමිත දේවල් ටිකක්. ඒ දේවල් වුනත් පුවක්, ගම්මිරිස් වගේ දෙයක් එක්ක හුවමාරුවට ගන්න පුළුවන්. සල්ලි අවශ්‍ය නැහැ. වරින් වර ගමට ආපු මුස්ලිම් වෙළෙන්දෝ මේ හුවමාරුව කරලා තිබෙනවා.

ඔය විදිහට ගමට එන එක් මුස්ලිම් වෙළෙන්දෙක් දවසක් ගමට එද්දී මගේ වැඩිහිටි ඥාතියා ඔහුටත් වඩා වැඩිහිටි තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා අර කියපු වල කපනවා. මේක දකින මුස්ලිම් වෙළෙන්දා ඒ ගැන විමසද්දී කතාව දැන ගන්නවා. මුස්ලිම් වෙළෙන්දාට එක පාරටම කියවුනේ මොකක්ද කියලානම් මගේ ඥාතියා කිවුවේ නැහැ. 

මුස්ලිම් වෙළෙන්දා දුරියන් ගහ පැත්තට යන කොටත් කලින් බිම වැටුණු සමහර දුරියන් කන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඔහු පිස්සුවෙන් වගේ දුරියන් ගෙඩි කීපයක්ම කනවා. මුස්ලිම් වෙළෙන්දෙක් කියා කිවුවත් සමහර විට මැලේ සම්භවයක් තිබුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔහු ආපහු යන්නේ හොඳ තත්ත්වයේ තිබුණු දුරියන් ගෝනි කීපයක්ම කරත්තයේ පටවාගෙන.

ඊට පස්සේ හැම අවුරුද්දේම දුරියන් වාරයට ඔය මුස්ලිම් වෙළෙන්දා එනවා. ඒ එන්නේ තව අත් උදවු කාරයෝ කීප දෙනෙක් එක්ක. එහෙම ඇවිත් ගහ යට වැටී තිබෙන දුරියන් සියල්ල එකතු කර ගෙන යනවා. ඒ නිසා කලින් වගේ වල කපන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මෙච්චර දුරියන් තොගයක් මොන කෙහෙම්මලකට අරන් යනවද කියලා හෝ ඔය ගඳ ගහන ජරාව නහයක් තියාගෙන කොහොම කනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.

පහු වෙද්දී මගේ ඥාතියා ඇතුළු ගමේ අනෙකුත් අයත් දුරියන් කන්න පුරුදු වෙනවා. එහි අමුතු රසට ඇබ්බැහි වෙනවා. ඒ වගේම, දුරියන් වල වටිනාකම අවබෝධ කර ගන්නවා. ඒක වුන විදිහනම් මට කියලා නැහැ. කොහොම හරි වෙන්න ඇති.

ආර්ථික විද්‍යා සංකල්ප අනුව කුමක් හෝ භාණ්ඩයක් අයිති කර ගන්නා කෙනෙක් එසේ කරන්නේ එයින් ලැබෙන උපයෝගීතාවය නිසා. මිලක් ගෙවන්නේ මේ උපයෝගීතාවය වෙනුවෙන්. නමුත් තමන් අකැමති දෙයක් ළඟ තබා ගැනීමෙන් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. කුණු වගේ දේවල් බැහැර කරන්න සල්ලි ගෙවන්නේ ඒ නිසා. 

කන්න පුරුදු වෙන්න කලින් මගේ ඥාතියා ඇතුළු ගමේ පිරිසට දුරියන් වලින් ලැබී තිබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. ඒ අය එකතු වෙලා මහන්සි වෙලා වලක් කපලා දුරියන් වල දමලා තියෙන්නේ ඒ නිසා. හරියට මැරිලා කුණු වෙන සතෙක්ව වල දමනවා වගේ. නමුත්, අර මුස්ලිම් වෙළෙන්දාට ඒකේ අනෙක් පැත්ත. ඔහු මේ දුරියන් අරගෙන ගිහින් ඒවා කීයකට හෝ විකුණන්න ඇති. හැබැයි ඔය දුරියන් ටික නිකම් දුන්නා කියලා මගේ ඥාතියාගේ පාර්ශ්වයට පාඩුවකුත් නැහැ. මොකද ඒ ටික මුස්ලිම් වෙළෙන්දා එකතු කරගෙන යන නිසා ඔවුන්ට දුරියන් වල දමන්න වෙන මහන්සිය ඉතුරු වෙනවා. මුදල් සම්බන්ධ වුනත් නැතත් නිදහස් ගනුදෙනු වලින් හැම විටම එයට සම්බන්ධ වන දෙපාර්ශ්වයටම වාසි වෙන්නේ ඔය විදිහටයි.

අදට වුනත් දුරියන් කියන්නේ හැමෝගෙම ප්‍රියතම කෑමක් නෙමෙයි. සමහර අයට දුරියන් ගඳ උහුලන්න බැහැ. ඒ කියන්නේ ඒ වගේ අයට දුරියන් වලින් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. හැබැයි දියුණු වෙළඳපොළක් තිබෙන සමාජයක ඒ වගේ කෙනෙකුට වුනත් දුරියන් වවලා ඒවා විකිණීම මගින් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ උපයෝගීතාවය වැඩි කරගන්න පුළුවන්. දුරියන් අතරමැදියෙකු විදිහට වුනත් සල්ලි හොයන්න පුළුවන්. තමන් දුරියන් කන්න කැමතිද නැද්ද කියන එක අදාළ නැහැ.

දියුණු වෙළඳපොළක් තියෙද්දී කෙනෙක් කළ යුතු තමන්ට වඩාත්ම වාසිදායක දෙය තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිපදවා ගන්න එක නෙමෙයි. තමන්ට වැඩියෙන්ම අගය එකතු කිරීමක් කළ හැකි දේ කරන එක. වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් කියා කියන්නේ තමන් අතින් වැඩි අගය එකතු කිරීමක් වෙනවා කියන එක. 

ගොඩක් වෙලාවට පාරවල් අයිනේ රඹුටන්, දුරියන් විකුණන්නේ ඒ ගස් අයිති අයම නෙමෙයි. මේ අය අතරමැදියෝ. එවැනි අය ගොඩක් වෙලාවට කරන්නේ ගහටම ගානක් කියලා මිල දී ගන්න එක. මෙහෙම කරද්දී යම් අවදානමක්ද ගන්න වෙනවා. 

ඔය විදිහට වාරයකට ගස් පිටින් බදු ගන්න අය තමයි ඒ ගස් වල රඹුටන්, දුරියන් පරිස්සම් කරගෙන පාරක් අයිනට ගෙනත් ගෙඩි ගාණට විකුණන්නේ. භෞතික පෙනුම හා අනෙකුත් ලක්ෂණ අනුවනම් පාර අයිනේ තියාගෙන විකුණන දුරියන් ගෙඩියක් සහ ගහ ළඟ තියාගෙන විකුනන දුරියන් ගෙඩියක් අතර වෙනසක් නැහැ. වෙනස තියෙන්නෙම දුරියන් ගෙඩිය පාර අයිනට ගෙනත් විකුණන එකේ. අතරමැදියා අගය එකතු කරන්නේ ඒ විදිහට.

පාර අයිනේ තැනකින් දුරියන් ගෙඩියක් මිල දී ගන්නා පාරිභෝගිකයාට ඒ වගේ දුරියන් ගෙඩියක් ගන්න ගහ ළඟට යන්න තරම් කාල වෙලාවක් නැහැ. ඒ නිසා, ඒ වගේ පාරිභෝගිකයෙක් දුරියන් ගෙඩියක් මිල දී ගනිද්දී දුරියන් ගෙඩියේ වටිනාකමට අමතරව තමන්ගේ ඉතිරි වන කාලය වෙනුවෙන්ද යම් මුදලක් ගෙවනවා. ඒක ඉතාම කැමැත්තෙන් කරන දෙයක්. මොකද ඒ වැඩි මිල ගෙවුවත් ගහ ලඟට ගිහින් දුරියන් ගන්න මහන්සි වෙනවාට වඩා ලාබයි.

අනෙක් පැත්තෙන් ඔය අතරමැදියාට මේ අගය එකතු කිරීම කරන්න යම් පිරිවැයක් දරන්න වෙනවා. ගහේ තිබෙන දුරියන් ආරක්ෂා කිරීමේ ඉඳලා ඒවා කැඩීම, ප්‍රවාහනය කිරීම, සුරක්ෂිත ලෙස ගබඩා කර තැබීම ආදී හැම දෙයකටම යම් පිරිවැයක් දරන්න වෙනවා. ඊට අමතරව මේ වැඩේට යම් මුදලක් හිර කරන එකේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. තව ඕකට තමන්ගේ ශ්‍රම කාලය යෙදවිය යුතුයි. මේ සියල්ලටම අමතරව යම් අවදානමකුත් ගන්න වෙනවා. හැබැයි අතරමැදියා ඔය වැඩේ කරන්නේ ඔය සියල්ල කිරීමෙන් පසුවත් යම් ලාබයක් තියෙන නිසා. ඒ ලාබය තියෙන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ විට මේ සියලු පිරිවැය හා අතරමැදියාගේ ලාබය ඉක්මවන අගය එකතු වීමක් සිදු වෙලා නිසා.

ආසියාතික රටක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී වෙන්නෙත් ඔය සංසිද්ධියේම දිගුවක්. වැඩි දුරක් ප්‍රවාහනය කළ යුතු වීම, අධි ශීතකරණ වල ගබඩා කර තබා ගත යුතු වීම ආදී හේතු නිසා මෙහිදී පිරිවැය වඩා ඉහළ යන නමුත් අවසාන වශයෙන් අතරමැදියා හෝ අතරමැදියන් විසින් කරන්නේ දුරියන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරන එක. වැඩි පිරිවැයක් දරාගෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට ගෙනත් විකුණා ලාබයකුත් ගන්න පුළුවන් වී තිබෙන්නේ මේ ක්‍රියාවලියේදී ඒ සමස්ත පිරිවැයට වඩා වැඩි අගය එකතු වීමක් සිදු වෙන නිසා. ඕක අනෙක් අයට වඩා කලින් හඳුනාගන්න එක තමයි ව්‍යවසායකත්වය.

අප මිල දී ගත් දුරියන් ගෙඩිය වෙනුවෙන් ගෙවූ මිල ඒ ප්‍රමාණයේ ගෙඩියකට ලංකාවේදී ගෙවන්නට සිදු වන මිල මෙන් හත් අට ගුණයක් වැඩියි. ඒත් එහෙමයි කියලා දුරියන් ගෙඩියක් කන්න ලංකාවට යන්න බැහැ. ඇමරිකාවේ ඉඳලා ලංකාවට ගිහින් දුරියන් කන එකේ ආවස්ථික පිරිවැය එක්ක සංසන්දනය කළාම මේ ගාණට ඇමරිකාවෙන් දුරියන් ගෙඩියක් ගන්න තියෙන එක හොඳටම ලාබයි. ඒ නිසා, මේ වැඩෙන් මට වගේම දුරියන් නිෂ්පාදකයාගේ සිට අවසන් පාරිභෝගිකයා වන මා දක්වා ඉන්න සියලුම අතරමැදියන්ටත් සිදු වෙන්නේ වාසියක්. ගනුදෙනු හරහා ලෝකය එකට සම්බන්ධ වන තරමට බොහෝ දෙනෙකුට මේ වගේ වාසි අත් විඳින්න වැඩි ඉඩකඩක් ලැබෙනවා.

Friday, January 18, 2019

දොඩන්නැතුව කෝමෙයි?


පහුගිය ලිපියට වැඩිපුර ලැබිල තිබුණේ යන්නෙ කොහෙද මල්ලෙ දොඩම් ප්‍රතිචාර. කතා කළේ ඉරටයි හඳටයි යන එක ගැනයි. දොඩමුත් ඉර හඳ වගේ ගෝලාකාර නිසා දොඩම් මතක් වුනාද දන්නෙ නෑ. කොහොම වුනත් දොඩම් ගැන කතාවක් ඇදිල ඇවිත් නිසා ඒ ගැනත් මක්කා හරි දොඩන්නැතුව කෝමෙයි?

ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා. මේ කතාවේ පසුබිම හා අදාළ වැඩි තොරතුරු සමහර විට කියවන අය දන්නවා ඇති. මමනම් දන්නේ නැහැ. නොදත් පමණින්, ඔය කතාව බොරුවක් බව හෝ ඔය වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියලා කියන්නත් බෑ. කොහොම වුනත්, පදනමක් ඇතුව හෝ නැතුව ඔය වගේ කතාවක් වේගයෙන් පැතිරුණේ කොහොමද කියන එක ගැනනම් අදහස් දක්වන්න බැරිකමක් නැහැ.

දැන් ලංකාවේ ඕනෑම අහුමුල්ලකින් රටින් එන කහ දොඩම් මිල දී ගන්න පුළුවන්. ඇමරිකාවත් දොඩම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන රටක් වුනත් ලංකාවට මේ දොඩම් එන්නේ ඇමරිකාවෙන් කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් වෙන්න පුළුවන්. මේ හා අදාළ අළුත් සංඛ්‍යාලේඛණ තියෙන තැනක් මට හමු වෙලා නැති නිසා නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.

කොහොම වුනත් ඔය කහ පාට රට දොඩම් ලංකාවට එන්න ගත්තේ අසූව දශකයේ මැද හරියේදී වගේ. ඊට කලින් අපි (මම) දැකලා තිබුණේ කොළ පාට දොඩම් විතරයි. අපේ ගම් වල ගොඩක් ගෙවතු වල දොඩම් ගහක් තිබුණා. ඒ ගස් වල කවදාවත්  "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ" කියන්න තරම් ගෙඩි හැදුනේ නැහැ. හැබැයි ගෙඩි හැදුනා. ගස් ලොකු නිසා ගෙඩියක් කඩා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම පැණි දොඩම් කියා කිවුවත් ඔය දොඩම් දැන් තියෙන රට දොඩම් තරම් පැණි රස නැහැ. පොඩි ඇඹුල් ගතියකුත් තිබුණා. ඒ නිසා, ගොඩක් වෙලාවට දොඩම් මිරිකලා දොඩම් යුෂ හදලා බොනවා මිසක් දොඩම් බිකි ගලවාගෙන කෑවේ නැහැ.

ඔය කාලේ වෙද්දී මොණරාගල බිබිලේ වගේ පැති වල වාණිජ වගාවක් විදිහට දොඩම් වවන්න ඇති. මමනම් ලංකාවේ එවැනි වාණිජ දොඩම් වගාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම වුනත්, ඒ පැති වලින් ආපු හෝ එහෙම නැත්නම් අපේ පැත්තේම ගෘහස්ථ වගාවක් ලෙස වවපු ගස් වලින් කඩාගත් දොඩම් කඩෙන් මිල දී ගත හැකිව තිබුණා. ලෙඩෙක් බලන්න එහෙම යන වෙලාවල් වලදී අපි ගෙදර ගහකින් කඩාගත් හෝ කඩෙන් ගත් දොඩම් ගෙඩි දෙක තුනක් අරං ගියා.

දොඩම් ගෙඩි දෙකක් තරමවත් උස නැති කාලේ දැකලා නොතිබුණත් ටිකක් ලොකු මහත් වුනාට පස්සේ කාලෙදී කඩවල් වල කහපාට රට දොඩම් තිබුණු බව මතකයි. මේ රට දොඩම් වල දේශීය දොඩම් වල නොතිබුණු ප්‍රණීත රසයක් වගේම සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තිබුණා. කොහොමත් ඉතිං මාකට් එකට පොත්ත රතු ගෙඩියක් බැස්සහම ගොඩක් අයට කකා හිටපු ගෙදර වත්තේ ගෙඩිය අමතක වෙනවනේ. ඊට අමතරව මේ ගෙඩියේ රහත් හොඳයි. මිරික මිරික ඉන්න දෙයක් නැහැ. පොත්ත ගැලෙව්වා. ඇදල ඇරියා.

ඉතා පැහැදිලිවම ඔය රට දොඩම, අඩු වශයෙන් මුල් කාලයේදී, දේශීය දොඩම් වලට වඩා ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මේ දොඩම් ගෙඩියක් විකිණුනේ දේශීය දොඩමක මිලට වඩා ටිකක් හෝ අඩු මිලකටයි. ඒ නිසා, රට දොඩම ආපු ගමන් ලංකාවේ දේශීය දොඩම් වලට තිබෙන ඉල්ලුම අඩු වන එකත්, ඒ හේතුව නිසා දේශීය දොඩම් නිෂ්පාදනය පහත වැටෙන එකත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිව තිබුණු දේවල්. දේශීය දොඩම් නිෂ්පාදනය වට්ටන්න කවුරු හෝ විසින් කුමන්ත්‍රණයක් කළත් නොකළත් එය සිදු විය හැකිව තිබුණා.

රට දොඩම් ලංකාවේ වෙළඳපොළට ඇවිත් ටික කාලයක් යද්දී දේශීය දොඩම් වැඩිපුර පේන්න නැතුව ගියා. ඔය කුමන්ත්‍රණ කතාව වේගයෙන් ප්‍රචලිත වුනේ ඔය කාලයේදී. බිබිලේ කියන නම ඊට පෙර සිටම විදේශීය කුමන්ත්‍රණ හා අදාළව කතා කරද්දී කියැවුණු නමක් වීමත් මේ කතාව පැතිරෙන්න උදවුවක් උනාද දන්නේ නැහැ.

දැන්නම් නැවතත් කොළපාට දේශීය දොඩම් වලට ලංකාවේ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. එය තරමක් දුරට ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනසක් එක්ක සිදු වුනු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුනත් රට දොඩම් වල ජනප්‍රියත්වයත් තවමත් අඩු වෙලා නැහැ. මිල වුවත් දේශීය පළතුරු වල මිල එක්ක බැළුවහම එතරම් වැඩි නැහැ.

දැන් ලංකාවේ ආගමික කටයුතු සිදුවෙන විදිහෙත් අමුතු හා අලුත් දේවල් තියෙනවනේ. පහුගිය අවුරුද්දේ මගේ පියාගේ තුන් මාසේ දානය වෙලාවේ හාමුදුරුවරුන්ට පළතුරු කූඩයක් බැගින් පූජා කළ යුතු බව ගමේ හාමුදුරුවෝ විසින්ම කියලා තිබුණා. තවත් විශේෂ ඉල්ලීමුත් තිබුණා. දානයට වැඩම කරපු අප කාලයක් තිස්සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු වෙනත් විහාරාධිපති හිමිවරුන් තරමට ගමේ පන්සල මිල දී ගෙන අළුතින් පැමිණ සිටි මේ හාමුදුරුවන්ව අප ඇසුරු කර තිබුණේ නැහැ. කෙසේ වුවත් ගමේ පන්සල නිසා තීරණ ගැනීමේදී අපි ඒ හාමුදුරුවන්ට තැන දුන්නා.

ඔය වැඩේට පළතුරු ගන්න ගියේ මම. කූඩ තිහක් හදන්න ප්‍රමාණවත් තරමට ගත්ත පළතුරු අතර දේශීය පළතුරු වර්ග ගණනාවක්ම තිබුණා. ගෝනි කිහිපයක්. රට පළතුරුත් තිබුණා. නමුත්, මම අදහස් කරපු විදිහට කූඩ හැදුවහම වර්ග ගණනාවක් අතරේ රට පළතුරු ටික ලොකුවට මතු වෙලා පේන්නේ නැහැ. ගෙදර අනෙක් අයට ඕනෑ වුනෙත්, ගමේ හාමුදුරුවන්ට ඕනෑ වෙලා තිබුනෙත් ඇපල්, රට දොඩම් හා රට දෙළුම් වලින් පිරුණු කූඩ. ඒ නිසා අන්තිමට අර දේශීය පළතුරු පැත්තකට දමලා වැඩිපුර රට පළතුරු දමලා කූඩ පුරවන්න වුණා.

මම කියන්න හදන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ සමතුලිතතාවය තීරණය කරන්නේ පාරිභෝගික රුචිකත්වය විසින් බවයි. ලංකාවේ මිනිස්සු වඩා කැමති දේශීය දොඩම් වලටනම් මොන ලෙඩ බෝවුනත් ඒ ලෙඩ වලට පිළියම් කොහෙන් හෝ ලැබී නැවත ගස් වල දොඩම් හැදෙයි. වඩා කැමති රට දොඩම් වලටනම් කුමන්ත්‍රන නැතත් දේශීය දොඩම් නිෂ්පාදනයට පැවැත්මක් නැහැ.

රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි. ඒ වගේම ඔය විදිහට රසායනික ගහන්නේ රට පළතුරු වලට විතරක් නෙමෙයි. කෙසෙල්, ගස්ලබු, අඹ වගේ දේශීය පළතුරක් ගත්තත් වෙනසක් නැහැ. මෙතැන සිදුවන්නේ බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි.

දැන් ඔය කතාවට අනුව ඔය කුමන්ත්‍රණය වෙන්න කලින් බිබිල මොණරාගල පැත්තේ මාර විදිහට දොඩම් හැදිලා තිබෙනවා. බිබිලේ දොඩම්, නාවල අන්නාසි, මල්වානේ රඹුටන්, කළුතර මැන්ගුස් වගේ සමහර පළතුරු වල නම් එක්ක ගම් වල නම් කියවුනත් ඔය සම්බන්ධතා කොයි තරම් ප්‍රබලව පැවතුනාද කියන එක සොයා බැලිය යුතු දෙයක්.

කාලයක් බිබිල මොණරාගල පැත්තේ සරුවට දොඩම් හැදී තිබෙන බව බොරුවක් නෙමෙයි. මේ කියන කාලය අසූව දශකයට පෙර කාලයක්. නමුත්, මහා දිග කාලයක් නෙමෙයි. මම හිතන හැටියට වැඩිම වුනොත් දශක කිහිපයක කාලයක්. බිබිලේ දොඩම් වගාව විනාශ වුනේ කොහොමද කියන එක වගේම බිබිලේ දොඩම් හැදුණේ කොහොමද කියන එකත් කතා කළ යුතුයි.

ලංකාවේ දැන් ජනප්‍රියව තිබෙන බොහෝ පළතුරු වර්ග යුරෝපීය පාලන කාලයන් වලදී හඳුන්වා දෙනු ලැබූ හෝ ව්‍යාප්ත වූ පළතුරු. රඹුටන්, දුරියන්, මැන්ගුස් වගේ නම් මැලේ නම්. මේ පළතුරු පෘතුගීසි කාලයේදී වත්මන් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් පැමිණි පළතුරු . නමුත්, දොඩම්නම් සෑහෙන කාලයක සිට ලංකාවේ තිබී ඇති පළතුරක්.

දොඩම් වල නිජබිම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු චීනය අයත්වන ප්‍රදේශයක්. මුලින්ම දොඩම් පැතිරිලා තියෙන්නේ ආසියාවේ. සෑහෙන කාලයකට පෙර දකුණු යුරෝපයටත් පැතිරිලා තියෙනවා. නමුත් ඇමරිකාවට පැතිරිලා තියෙන්නේ කොලොම්බස් ආවට පස්සේ.

චන්ද්‍රසිරි දොඩම්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, බෙනඩික්ට් දොඩම්පේගම වගේ මිනිස්සු ගැනත් දොඩම්ගස්ලන්ද, දොඩම්පේ, දොඩම්දූව වගේ ගම් ගැනත් අපට අහන්න ලැබෙන එකෙන් පේන්නේ දොඩම් ගස් කාලයක් තිස්සේ ලංකාවේ පැතිර තිබී ඇති බවයි. නමුත්, ඒ අර මම මුලින්ම කිවුවා වගේ ගෘහස්ථ බෝගයක් විදිහට මිසක් වාණිජ බෝගයක් විදිහට නෙමෙයි. මේ ගස් වලින් ලොකු පලදාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, දහනවවන සියවසේ දෙවන අර්ධයේදීත් දොඩම් කියන්නේ ලංකාවේ ගෙවතු වගාවක් මිස වාණිජ භෝගයක් නෙමෙයි.

ලංකාවේ දොඩම් වගාව ගැන 1881දී ඩබ්. ෆර්ගසන් විසින් ලියනු ලැබ ඔබ්සර්වර් පුවත්පතට යැවූ ලිපියක් 1908 දී "ද ට්‍රොපිකල් ඇග්රිකල්චිර්ස්ට්" සඟරාවේ (වෙළුම 30, පිටුව 99) පළවී තිබෙනවා. එහි ඔහු මෙසේ කියනවා. (අරුත පැහැදිලි වන පරිදි මගේ වචන වලිනුයි ලියන්නේ)

"දොඩම් වගාව වෙනුවෙන්ම වෙන් කර ඇති කිසියම් ඉඩමක් ලංකාවේ ඇති බවක් මා දන්නේ නැහැ. ආර් එල් එම් බ්‍රවුන් මහත්තයා (වාණිජ බෝගයක් ලෙස) මහර පැත්තේ දොඩම් වවන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ. ලංකාවේ දොඩම් වවන්නේ ගෙවල් අවට හා වතු වල මිශ්‍ර වගාවක් ලෙසයි. ඒ නිසා, කොළඹ විකුණන්න තියෙන දොඩම් එන්නේ කොහෙන්ද කියා හොයන්න යන කෙනෙක් අමාරුවේ වැටෙනවා. පසුගිය අවුරුදු විසිපහ පුරා ගලහ වත්තේ දොඩම් ප්‍රසිද්ධියට පත්ව තිබුණත් එහි දොඩම් වවා තිබෙන්නේ කෝපි වවා ඇති මේ වත්තේ පාරවල් දිගේ මිසක් වෙනම වගාවක් ලෙස නෙමෙයි."

ලිපිය පළ වූ 1908 වෙද්දී ගලහට අමතරව හැටන් හා බදුල්ල ප්‍රදේශ වලත් වාණිජ භෝගයක් ලෙස දොඩම් වගාව ව්‍යාප්ත කරන්න උත්සාහ තිබෙන බව පෙනෙන නමුත් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත්, හැටන් වලට වඩා බදුල්ල දොඩම් වගාවට යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

වෙනත් වාර්තාවක ඇති තොරතුරු අනුව 1880 මැයි 13න් අවසන් වූ දෙසතිය තුළ ලංකාවේ නගර කිහිපයක දොඩම් විකිණිලා තිබෙන්නේ පහත මිල ගණන් වලටයි.

ලොකු දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 50
මහනුවර - ශත 48
ගාල්ල - ශත 50
නුවරඑළිය - ශත 25

පොඩි දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 37
මහනුවර - ශත 36
ගාල්ල - ශත 37
නුවරඑළිය - ශත 18

මිල ගණන් වල වෙනස්කම් අනුව පෙනෙන්නේ ඒ වන විට වැඩිපුර දොඩම් වවා තිබෙන්නේ නුවරඑළිය පැත්තට වෙන්න බවයි. පහතරට කලාපයේ වැවෙන පළතුරක් වන අන්නාසි ගෙඩියක මිල දිහා බැලූ විට මේ කරුණ පැහැදිලි වෙනවා.

අන්නාසි ගෙඩියක්
කොළඹ - ශත 4
මහනුවර - ශත 25
ගාල්ල - ශත 6
නුවරඑළිය - ශත 37

සමහර විට ඔය දවස්වල නාවල පැත්තේ ලොකුවට අන්නාසි වවන්න ඇති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශ වල දොඩම් වගාව අත්හදා බලා තිබෙනවා. නමුත්, මුලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පහසු වෙලා නැහැ. අන්තිමට බදුල්ල හා මොණරාගල පැති වල දොඩම් වවා සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1940 පමණ වෙද්දීයි.

කොහොම වුවත්, ඒ සාර්ථකත්වය වැඩි කලක් පැවතිලා නැහැ. 1950 පමණ වෙද්දී ට්‍රිස්ටෙසා වෛරසය පැතිරීම හා වෙනත් හේතු නිසා දොඩම් ගස් කණාටු වෙලා අස්වැන්න අඩුවෙලා ගිහින් තියෙනවා. මේ ලංකාවේ දොඩම් වගාවට මේ වගේ හානියක් සිදු වෙලා තිබෙන පළමු අවස්ථාව නෙමෙයි. දොඩම් වගාව රටේ ව්‍යාප්ත වෙන්නත් කලින් 1900 පමණදීත් හඳුනා නොගත් රෝගයක් වැළඳී ලංකාවේ දොඩම් වගාව විනාශ වෙලා තිබෙනවා. මේ විදිහට වෛරස් හෝ වෙනත් රෝග පැතිරීම නිසා වගාවන් විනාශ වීම දුලබ දෙයක් නෙමෙයි. ලංකාවේ කෝපි වගාව විනාශ වුනෙත් මෙවැනිම හේතුවකිනුයි.

සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන විදිහට 1960 දශකයේදී ලංකාවේ දොඩම් වගාව නැවතත් පණ ගසා ඇවිත් තියෙනවා. මේ වන විට ලංකාවේ පරිභෝජනය කරන දොඩම් ප්‍රමාණය තරමටම දොඩම් 1963, 1964 වගේ අවුරුදු වලදී රටේ නිෂ්පාදනය වී තිබෙනවා. නමුත්, සෑම වසරකම එක වගේ පලදාවක් ලැබී නැහැ. පලදාව විශාල ලෙස විචලනය වී තිබෙනවා. එසේ වුවත්, 1980 පමණ වන තුරු ලංකාවට දොඩම් ආනයනය කර නැති නිසා පරිභෝජනය කර තිබෙන්නේ රටේ හැදුණු දොඩම් ප්‍රමාණය පමණයි. මේ කාලයේදී දොඩම් වාරයට මිල ගණන් විශාල ලෙස පහත වැටීමත්, අවාරයට මිල ගොඩක් ඉහළ යාමත් සිදු ඇති බව පේනවා. දොඩම් ආනයනය කරන්න පටන් ගැනීමෙන් පසුව වසරේ සෑම කාලයකදීම ලංකාවේ වෙළඳපොළෙන් දොඩම් මිල දී ගන්න හැකි වී තිබෙනවා වගේම මිල ස්ථාවර වී ද තිබෙන බව පෙනෙනවා.

බිබිලේ දොඩම් වගාව විනාශ කරන්න කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවුරු වුවත් බිබිල පැත්තට දොඩම් වගාව හඳුන්වා දී ව්‍යාප්ත කර තිබෙන්නේනම් ඉංග්‍රීසින් විසිනුයි. 1850 පමණ සිට උත්සාහ කිරීමෙන් පසුව ඒ වැඩේ සාර්ථක වී තිබෙන්නේ 1940 පමණ වෙද්දීයි. එහෙම නැතුව අනාදිමත් කාලයක සිට මොණරාගල බිබිල පැති වල දොඩම් වගා තිබී නැහැ. සාර්ථකය කියා කීවත් මේ වගාවන්ගෙන් හොඳ මට්ටමේ පලදාවක් ලැබී තිබෙන්නේ අතරින් පතර වසර කිහිපයක කෙටි කාලාන්තර කිහිපයක් ඇතුළත පමණයි.


ඉංග්‍රීසින් ගියාට පස්සේ ලංකාවේ ආණ්ඩු යටතේත් කෘෂිකාර්මික අංශයටනම් යම් සැලකිල්ලක් ලැබුණු ලැබුණු බව කියන්න පුළුවන්. එහි වරදක් නැහැ. ඒ හේතුව නිසා හෝ වෙනත් වෙළඳපොළ සාධක මත මෑත වසර වලදී ලංකාවේ දොඩම් වගාව නැවතත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වන විට ලංකාවේ දොඩම් වගාව වෙනුවෙන් යෙදවෙන භූමි ප්‍රමාණය ඉතිහාසයේ කවර කලකවත් මේ වගාව වෙනුවෙන් යෙදෙවී නැහැ. එහෙත්, ලංකාවේ දොඩම් පරිභෝජනය රටේ දොඩම් නිෂ්පාදනය මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙයට එක හේතුවක් වන්නේ දේශීය දොඩම් ආනයනික දොඩම් වලට පූර්ණ ආදේශකයක් නොවීමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යාම ආනයනික දොඩම් ඉල්ලුම මුළුමනින්ම නැති කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ දොඩම් ඵලදා අනුපාතය ගොඩක් අඩු මට්ටමක පැවතීමයි. දොඩම් වගාවට වෙන් කරන ඉඩම් ප්‍රමාණයේ තරමට දොඩම් නැහැ. ඒ නිසා, වැඩි ඵලදාවක් තියෙන රටවලට මෙහේ හදනවට වඩා ගොඩක් අඩු මිලට ලංකාවට දොඩම් එවන්න පුළුවන්. පහත තියෙන්නේ ලංකාවේ හා වෙනත් ප්‍රධාන හා අසල්වැසි දොඩම් වවන රටවල ඉඩම් හෙක්ටයාරයකින් ලබාගන්නා දොඩම් කිලෝග්‍රෑම් ප්‍රමාණයයි.

බ්‍රසීලය- 27,640
ඇමරිකාව- 21,525
චීනය- 16,975
ඉන්දියාව- 12,724
මෙක්සිකෝව- 14,432
ස්පාඤ්ඤය-  23,894
ඊජිප්තුව- 25,203
තුර්කිය- 37,982
ඉතාලිය- 17,920
දකුණු අප්‍රිකාව-  42,195
ඇල්බේනියාව- 41,502
ඝානා- 39,926
ඉන්දුනීසියාව- 39,233
ගෝතමාලාව- 35,004
ග්‍රීසිය- 32,466
ඉරානය- 26,013
ඕස්ට්‍රේලියාව- 19,334
තායිලන්තය- 21,217
පකිස්තානය- 11,612
නේපාලය- 10,078
ලංකාව- 937

පේනවනේ තත්ත්වය. ලංකාවේ දොඩම් ගහක ගෙඩියක් හැදෙන කොට වෙන රටවල් වල ගහක ගෙඩි තිහ හතළිහක් හැදිලා. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව දොඩම් පලදාව අතින් ලංකාවට පහළින් ඉන්නේ තව එක රටක් (බොස්නියාව) විතරයි.  ඔය බිබිලේ දොඩම් අස්වැන්න සරුවටම තිබුණු අවුරුදු වලදීවත් ලංකාවේ දොඩම් අස්වැන්න අනික් රටවල් වල කිට්ටුවකවත් තිබිලා නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත් දොඩම් නිෂ්පාදනය හෝ පරිභෝජනය අතින් ලංකාව කිසිම දවසක ලැයිස්තුවේ උඩ ඉන්න රටවල් වලට කිට්ටු කරලා නැහැ.

පළ ඇති දොඩම් රුක් තියෙන,  ලොකු දේශීය දොඩම් ඉල්ලුමක් තියෙන, දොඩම් අපනයනය කරන රටවල් තව සිය ගානක් තියෙද්දී, හිඟන්නාගේ දොඩම් පාත්තරේටම හෙනහුරාගෙන් ගෙනාපු ට්‍රිස්ටෙසා වෛරසය හරි වෙන පලිබෝධයක් හරි දාලා බිබිලේ දොඩම් වගාව කවුරු හරි විනාශ කළානම් ඒ මොකක් හරි මාර ලොකු තරහකටම වෙන්න ඕනෑ.

අහන්න කලින්ම කියන්න තව දෙයක් තියෙනවා. ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් නෙමෙයි!

Monday, October 26, 2015

අපේ ස්ට්‍රෝබෙරි සහ අපි කැමති චෙරි


කුඩා කල කිරි රසට පුරුදු වුනත් චෙරි රස නොවිඳි මා චෙරි රසයයි සිතා මුලින්ම වින්දේ තරුණ වයසේදී ඇස ගැටුණු ගැටෝ කේක් ගෙඩියක රැඳුනු සීනි පෙඟවූ  චෙරි ගෙඩියක රසය විය යුතුය. මේ රස පළමු වරම සිත පැහැරගත් බව නොකිවමනාය. බාහිර ආටෝප වලින් ස්වභාවික රසය යටපත් කර තිබුණු මෙවැනි චෙරි ගෙඩි වල රසට හුරු වී සිටි මට මුල්වරට රස විඳි නැවුම් චෙරි ගෙඩිය දැනවුයේ ප්‍රසන්න හැඟීමක් නොවේ. කෘතීම චෙරි රසය සැබෑ රසය ලෙස හඳුනාගෙන සිටි මට ස්වභාවික චෙරි රසය දැනුනේ කෘතීම බෙහෙත් රසක් ලෙසිනි. මෙය පොදු අත්දැකීමක් බව පෙර ලිපියේ කමෙන්ටු කියවූ විට පෙනේ.

(Photo credit: https://www.pinterest.com/pin/206321226650240658/)


දැනටත් මගේ ප්‍රියතම පලතුරු ලැයිස්තුවේ ස්ට්‍රෝබෙරි සහ චෙරි වලට ඇති තැන අඹ සහ රඹුටන් වලට වඩා බොහෝ පහළ තැනකි. මේ මගේ සංස්කෘතියේ බලපෑමද?

මගේ කුඩා කාලයේ පලතුරු සිහින වල අඹ, රඹුටන්, මැන්ගුස් ආදිය මිස චෙරි හෝ ස්ට්‍රෝබෙරි තිබුනේ නැත. ලෝකයට විවෘත නොවූ වෙළඳපොලක ළමා කාලය ගෙවන දරුවෙකුගේ පලතුරු සිහින වල ලෝකයේ අනෙත් පස වැවෙන පලතුරකට ලොකු ඉඩක් ඉතිරි නොවේ. ළමා කාලයේදී ඇස ගැටුණු අඹ, රඹුටන්, මැන්ගුස් අපේ පලතුරු වෙන්නේත් පසුව හඳුනා ගන්නා චෙරි සහ ස්ට්‍රෝබෙරි අපේ නොවන රට පලතුරු වෙන්නේත් ඒ නිසාය.

චෙරි කෙසේ වෙතත් ස්ට්‍රෝබෙරි දැන්නම් නුවරඑළියේ වගා කෙරේ. එහෙත්, තවමත් ස්ට්‍රෝබෙරි අඹ, රඹුටන්, මැන්ගුස් මෙන් අපේ පලතුරක් නොවේ. ස්ට්‍රෝබෙරි අපේ පලතුරක් වන්නට තවත් කාලයක් ගතවනු ඇත.

මා ළමා කාලය ගෙවූ බොහෝ ප්‍රදේශ වල උඩරට එළවලු වැවුනේ නැත. මේ ප්‍රදේශ වල මට වඩා පරම්පරා දෙකක් ඉහලින් සිටි ඇතැම් වැඩිහිටියෝ එළවළු ලෙස හැඳින්වුවෝ බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, ඉන්නල ආදියයි. ලීක්ස්, බීට්, අර්තාපල්, ගෝවා ආදී 'ඉංගිරිසි එළවළු' මේ සාමාන්‍ය එළවළු වලින් වෙන්කර හඳුනා ගැනුණේය. තවත් අය මේවා 'කොටු එළවලු' සහ 'කඩ එළවළු' ලෙස වෙන්ව හැඳින්වූහ. ගහ දන්නා කෙනාට කොළ කඩා පාන්නට අවශ්‍ය නැතත්, ගහ නොදන්නා කෙනාට කොළ, අල හෝ ගෙඩි දුටු විට දැනෙන්නේ ආගන්තුක හැඟීමකි.

ධර්මසේන හිමියන් විසින් අඹ ඉල්ලූ විට දෙල් දෙන්නන් ගැනත්, බිඩලු එකිනෙක ගලවා ලූ පසු හරයක් ඉතිරි නොවන කෙසෙල් ගස් ගැනත් සටහන් කළත් රඹුටන්, මැන්ගුස් හෝ දුරියන් ගැන කතා නොකරන්නේ දඹදෙණි යුගයේදී චෙරි සහ ස්ට්‍රෝබෙරි මෙන්ම මේ පළතුරුද අපට ආගන්තුක වූ බැවිනි. දෙමුහුන් පලතුරක් වන දැනට ප්‍රචලිත ස්ට්‍රෝබෙරිනම් උපත ලබා ඇත්තේම දහඅට වන සියවසේදීය.

මැලේසියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිත පෙදෙස් නිජබිම් කරගත් රඹුටන්, මැන්ගුස් හා දුරියන් ලංකාවට පැමිණෙන්නේ පෘතුගීසි සහ ලන්දේසි යුගයන්හිදීය. මල්වාන බලකොටුව අවට මුලින්ම රඹුටන් වැවෙන්නේ ඒ නිසාය. අප තවමත් භාවිතා කරන මේ පළතුරු වල නම් මැලේ වචනයි. කෙස් සහ කටු සඳහා භාවිතා වන මැලේ වචන වලින් රඹුටන් සහ දුරියන් වල නම් සැදී තිබේ.



(Photo credit: http://stamps-gallery.blogspot.com/2015/02/fruits-of-malaysia-definitives-stamps.html)

ප්‍රංශයේදී උපත ලැබූවත් ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය අතින් මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. දෙවැනි විශාලතම ස්ට්‍රෝබෙරි නිෂ්පාදකයා තුර්කියයි. ඇමරිකා එක්සත් ජනපදයේ මුළු ස්ට්‍රෝබෙරි නිෂ්පාදයෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ කැලිෆොර්නියා ප්‍රාන්තයේය. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිපදවේ. ඇපල්, මිදි සහ දොඩම් හැරුණු විට ඇමරිකාව තුල නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින පලතුර ස්ට්‍රෝබෙරිය.

යම් රටක සුලභව ඇති, කුඩා කල සිටම සංස්කෘතිකව සමීප පලතුරක් එසේ නොවන පලතුරකට වඩා ජනප්‍රිය වීම තේරුම් ගැනීමට අපහසු නැත. එසේ වුවත්, ඇමරිකාවේ පාරිභෝගිකයින් අතර ජනප්‍රියම පලතුර ඇපල්, මිදි, දොඩම් හෝ ස්ට්‍රෝබෙරි නොවේ. ප්‍රධාන වශයෙන්ම ආනයනික පලතුරක් වන කෙසෙල්ය. වසරකට ඇපල් රාත්තල් දහසයක් කන ඇමරිකානුවෙකු කෙසෙල් රාත්තල් විසිපහක් කයි. මේ ඇම්බුන් කෙසෙල් ගෙඩි සියයක පමණ ප්‍රමාණයකි. මේ පලතුරු ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ දකුණු ඇමරිකානු රටවල්ය. ලෝක කෙසෙල් වෙළඳපලෙන් සියයට අසූවක්ම එන්නේ දකුණු ඇමරිකානු රටවලිනි. මේ අපනයන වලින් 27%ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයටත් තවත් 27%ක් යුරෝපයටත් යැවේ.

ආසියාතික රටවල් අතරින් විශාලතම කෙසෙල් අපනයනකරු පිලිපීනයයි. ලෝකයේ ලොකුම කෙසෙල් නිෂ්පාදකයා වන ඉන්දියාව මෙන්ම දෙවැන්නා වන චීනයත් සිය මුළු නිෂ්පාදනයම පාහේ යොදා ගන්නේ දේශීය පරිභෝජනය සඳහාය.

පලතුරු සඳහා වන පුද්ගල රුචිකත්වයට සංස්කෘතික සාධක වලින් යම් බලපෑමක් ඇතිවුණත් එය සංස්කෘතික සාධක ඉක්මවූ දෙයකි. මානව පරිණාමය සිදුවූ දීර්ඝ කාලය තුල බොහෝ විට ක්ෂණික ශක්තිය සැපයූ ප්‍රධාන ආහාර විශේෂය වූයේ කවර හෝ පලතුරකි. මෙවැනි 'ෆාස්ට් ෆුඩ්' හැමවිටම ලැබුනේ නැත. ඉදුණු පලතුරු වල ඇති පැණිරසයට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත දැන් අපේ විනාශයට හේතුවක් වී ඇතත් ආහාර හිඟයන්ට මුහුණ දෙමින් ගතකල අපේ දීර්ඝ අතීතය තුල පැණිරසයට ඇති කැමැත්ත මඟින් ඉටුවුණේ සාධනීය කාර්යයකි.




කිසිදින රඹුටන් හෝ මැන්ගුස් ගෙඩියක් ඇස නොදුටු දරුවෙකු මේ පලතුරු රස විඳින මුල්දිනයේම ඒවාට පෙම් බඳින බව මගේ පෞද්ගලික අත්දැකීමයි. එහෙත්, නිතර ඇස ගැටුණේ වුවද චෙරි හෝ ස්ට්‍රෝබෙරි වලට ස්වභාවිකව ඇතිවන්නේ මෙයට වඩා අඩු කැමැත්තකි. කුඩා ළමුන්ගේ උපන්දින සාද වැනි අවස්ථා සඳහා චොකලට් තවරා (උණුකළ චොකලට් බඳුනක ගිල්ලවා නිවෙන්නට හැර) ස්ට්‍රෝබෙරි පිළිගන්වන්නට වෙන්නේ පුද්ගල කැමැත්ත අගයන සමාජයක වුවද මේ පුද්ගල නිර්වචනය තුලට ඇතුලත්වන්නේ යම් කඩඉමක් දක්වා පරිණත වුනු හෝමෝ සේපියන්ස්ලා පමණක් බව පෙන්වා දෙමිනි.

ඇමරිකානුවන් අතර ජනප්‍රියම පලතුර කෙසෙල් වන්නේ ස්වභාවිකවම හෝමෝ සේපියන්ස්ලාගේ විවිධත්වයට ඇති කැමැත්තත්, යම් සීමාවන් යටතේ වුවත් ඇමරිකානු පලතුරු වෙළඳපොල ලෝකයට විවෘතව තිබීමත් හේතුවෙනි. ඇමරිකානුවකුගේ පලතුරු පරිභෝජනය තුල ආනයනික පලතුරු වල සංයුතිය පසුගිය වසර විසිපහ තුල සියයට දහයක සිට සියයට තිස්පහක් පමණ දක්වා වර්ධනය වී තිබේ. කෙසේවුවද, ඇමරිකාවට පලතුරු අපනයනය කිරීම සඳහා වෙනත් රටක අපනයනකරුවෙකු දැනටත් නියාමන බාධක වලට මුහුණ දිය යුතුය.

ඇතැම් නුපුරුදු කෑමක් මුල්වර රස විඳින විට එහි රසයට ලොකු කැමැත්තක් ඇති නොවුනත් ඒ රසයට පුරුදු වූ විට කැමැත්තක් මෙන්ම ඇබ්බැහියක්ද ඇති විය හැකිය. අපි නරක අඹයක් හොඳ අඹයකින් වෙන්කර හඳුනාගන්නේ කුඩා කළ සිට විශාල රස පරාසයක අඹ කා ඇති පලපුරුද්දෙනි.

ගැටෝ කේක් ගෙඩියක ඇති කෘතීම රස එක්කළ චෙරි වල රසට පුරුදු වුනු බොහෝ දෙනෙකුගේ මොළ පළමුවරට රසවිඳින ස්වභාවික චෙරි ගෙඩියක් ආදරයෙන් පිළිගන්නේ නැත. මොළය අපේක්ෂා කරන්නේ මේ දැන් අතේ ඇති චෙරි ගෙඩියේ නොදන්නා රසයනම් එය කවරක් වුවද එහි රසයක් මිස හොඳක් හෝ නරකක් නැත. එහෙත්, අතේ ඇති චෙරි ගෙඩියෙන් මොළය අපේක්ෂා කරන්නේ කලකට පෙර රසවිඳි ගැටෝ කේක් ගෙඩියක තිබුණු චෙරි ගෙඩියේ රසයනම් (වඩාත් නිවැරදිව එහි තිබුනායැයි ඔබ සිතා සිටින රසයනම්) අතේ ඇති චෙරි ගෙඩියෙන් යමෙකුට අවසාන වශයෙන් ලැබෙන්නේ අතෘප්තිය පමණි.

අතීතයේදී හමුවූ, රස විඳි හෝ නොවිඳි ගැටෝ චෙරිගෙඩි අමතක කර අතේ ඇති චෙරි ගෙඩියට අවධානය යොමුකිරීමටද පුහුණුවක් අවශ්‍යයය.

Monday, October 19, 2015

මේ ඇන්ටන් චෙකොෆ් වැවූ චෙරිවත්ත නොවේ.

මා සයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මසකට පමණ වරක් සති අන්තයේදී ගිය එක්තරා ගමනක් විය. ප්‍රධාන පාරෙන් නොගොස් එවකට අප පදිංචිව සිටි නිවසේ සිට අතුරු පාරවල් ඔස්සේ සැතපුම් තුනක් පමණ වූ දුරක් කඳුවැටි, ඕවිටි, පාළු සොහොන්පිටි, රබර්වතු, තේවතු පසු කරමින් එවකට මගේ සිංහල ගුරුතුමියගේ නිවසට මෙසේ ඇවිදගෙන ගියේ රත්තරන් හෙලේනාව හඳපානේ කැන්දන් එන්නට නොවේ. රත්තරන් හෙලේනා කුමරිය ඒ වනවිටත් වසර කිහිපයක සිටම පොත් රාක්කයේ වසීලිස්සා පොත ඇතුලේ සිටි නිසා එවකට මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇය නොසිටියාය.

මේ ගුරුතුමිය අදාල කාලයේදී එක්තරා දුරකට මගේ වීරවරියකි. මේ දිනවල 'වයසට වඩා පැහී සිටි' මා සම්බන්ධව වැඩිහිටියන්ගේ ප්‍රතිචාර වර්ග තුනක් තිබුණේය. පළමු කොටස සිතුවේ මා ඕනෑවට වඩා පණ්ඩිත බවයි. ඔවුන්ට අනුව මගේ දෙමවුපියන් මා කියවන දේ පිලිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එදිනෙදා උගන්වන පාඩම් පමණක් යන්තම් උඩින් පල්ලෙන් බලාගෙනවිත් තරමක් වෙනස් ප්‍රශ්නයක් ඇසූවිට ඇණගෙන නොදන්නාකම කටෙන් සහ වේවැලෙන් වසාගන්නා ඇතැම් ගුරුවරුද සිටියේ මේ ගොඩේය. මේ අයව මට ඇල්ලුවේම නැත.

දෙවන කොටස මේ පණ්ඩිතකමින් විනෝදයක් ලැබූ අයයි. වැඩිහිටියන්ගේ සාකච්ඡාවක් මැද්දට හදිසියේම මා කැඳවන මෙවැනි කෙනෙකු මගෙන් 'බරපතල' ප්‍රශ්නයක් අසයි. ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ පිළිතුර දැනගැනීමට අවශ්‍ය නිසා නොව පොඩි එකා දෙන ලොකු උත්තරයෙන් ෆන් එකක් ගැනීම සඳහාය. ඇතැම් විට මෙය ඉලක්කම් තුනක සංඛ්‍යාවක් තවත් ඉලක්කම් තුනක සංඛ්‍යාවකින් මනසින් ගුණ කිරීම වැනි දෙයකි. මෙවැන්නක් ඒ කාලයේදී තරමක විනෝදජනක දෙයක් වූ අතර මගේ පිළිතුර පරීක්ෂා කිරීමට ගණක යන්ත්‍රයක් බොහෝ විට ළඟ පාතක නොතිබුණු නිසා උත්තරය හරියටම නිවැරදි නොවීම ලොකු ප්‍රශ්නයක් වුනේ නැත. එසේ නැත්නම් කෙනෙකුගේ උපන්දිනය සහ වෙලාව පවසා ලග්නය ඇසීම වැනි දෙයක් විය හැකිය. මෙවැනි වැඩිහිටියන් හමුවේදී 'පොරක් වීමෙන්' සතුටක් ලැබුණත් මේ දෙවන කාණ්ඩයේ අයගෙන්ද ගන්නට යමක් නැතිබව ඒ කාලයේදීම මට තේරුණේය.

මා ඉහත කී සිංහල ගුරුතුමිය ඇතුළු සුළු පිරිසක් තුන්වන කාණ්ඩයට අයත්විය. කුඩා දරුවෙකු යනු අර්ධ මිනිසකු නොවන බව සලකමින් මා නොදන්නා දේ විස්තර කරන අතරම, නොදන්නා දේ නොදන්නා බව නොපැකිල පවසමින්, මගේ අදහස් වලටද හොඳින් සවන් දුන් මේ තුන්වන කාණ්ඩයේ අය අදත් මගේ මතකයේ රැදී සිටිති. මා බොහෝ දේ උකහා ගත්තේ මෙවැනි අයගෙනි. එවැන්නන් සමඟ පැය ගණනක් එක දිගට කතා කරන්නට මට බොහෝ දේ තිබුණේය.

මේ ගමනින් ලැබුණු එකම ප්‍රයෝජනය පුරාවිද්‍යාව, ඉතිහාසය, ආගම්, නාට්‍ය, සාහිත්‍යය ඔස්සේ ඇදී ගිය මෙවැනි කතාබහ පමණක් නොවේ. එවකට අවිවාහකව සිටි මේ ගුරුතුමිය වාසය කළ ඇගේ දෙමවුපියන්ගේ නිවසට උදේ කාලයේ යන මා එහිදී දිවා ආහාරයද ගෙන හැන්දෑ වරුවේ ආපසු එන විට රැගෙන ඒමට බරටම දේවල් තිබුණේය. පළමුව, මේ නිවසේ වූ පොත් රාක්කයකින් එකතුකර ගන්නා පොත් හත අටකි. දෙවනුව, ආයුර්වේද වෛද්‍යවරයෙකුද වූ ඇගේ පියාගේ ලොකු එළවළු කොටුවෙන් එකතු කර දෙන එළවළු සහ අලවර්ග මල්ලකි. තෙවනුව, අදාල කාලය අනුව මේ වත්තෙන් එකතු කරගන්නා රඹුටන්, මැන්ගුස්, වෙරළු, නමිනං වැනි පලතුරු මල්ලකි. වසරකට පමණ පසු මේ ගුරුතුමිය විවාහ වී නිවසෙන් පිටව යන තුරු, ගෙනගිය පොත් කියවා අවසන් වීමෙන් පසු ඒවාද රැගෙන මා නැවත නැවතත් එහි ගියෙමි.

මේ ගුරුතුමියගේ නිවස 'කැම්පස් ගෙදරකි'. සාමාජිකයින් හත් අට දෙනෙකුගෙන් යුතු මේ පවුලේ එවකට අවිවාහකව නිවසේ සිටියේ බාලම සාමාජිකාවන් දෙදෙනා පමණි. පවුලේ වැඩිමලා එවකටත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම ශාස්ත්‍රීය පොත් ගණනාවක් පළ කර තිබුණු ප්‍රසිද්ධ ලේඛකයෙකි. මේ සියල්ලන්ගේම පොත් එකතු සහිත රාක්ක කිහිපයකින්ම සිත් සේ පොත් තෝරාගැනීමේ නිදහස මා සතුවිය. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්ත නාට්‍යයේ පරිවර්තනය මා මෙසේ රැගෙන ගොස් කියවූ පොතකි. මාර්ටින් වික්‍රමසිංහට ගම්පෙරලිය ලිවිම සඳහා ප්‍රස්තුතය සැපයුවේ චෙකොෆ්ගේ චෙරිවත්ත බවට අදහස් පලවී තිබේ. එමෙන්ම. චෙකොෆ් සැබෑ ජීවිතයේදීද චෙරිවත්තක් වවා ඇති බව සඳහන්ය.

මගේ මතකය පරිදි චෙරිවත්ත පරිවර්තනය එතරම් ආකර්ෂණීය නිමාවක් නොතිබුණු කුඩා පොතක් වූ අතර ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පලකළ සෝවියට් පොතක් නොවීය. එහෙත්, පොතේ අන්තර්ගතයෙහි වරදක් තිබුණේ නැත. වසර දෙකතුනකට පසුව චෙරිඋයන නම් වූ මේ පොතේම වෙනත් පරිවර්තනයක්ද මට කියවන්නට ලැබුණේය.

චෙකොෆ්ගේ චෙරිවත්ත කුඩා කාලයේදීම රසවින්දත් එහි නව නළු රස හැර චෙරි රසක්නම් මට එවකට දැනුණේ නැත. ඒ එවකට මා ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත හා ශාන්ත රස මිස චෙරි රස හඳුනාගෙන නොසිටි බැවිනි. ඔය කිවුවාට මා වාසය කළ වෙනත් ප්‍රදේශයක ළඟ පාත ගෙදරක චෙරිගසක් කියා ගසක් තිබුණේය. එහි කිසියම් ගෙඩි වර්ගයකුත් හැදුනේය. එහෙත්, ඒවායේ තිබුණේ පැණි රසක් හෝ ඇඹුල් රසක් නැති නොඉදුණු දන් ගෙඩියක් කන විට දැනෙන රස වැනි රසකි.

මා කුඩා කාලයේ නිවසට එනකෙනෙකු ළඟපාත කඩේකින් බිස්කට් පැකට්ටුවකට විකල්පයක් ලෙස ඇතැම් විට ගෙන ආ කේක් ගෙඩිය බොහෝ විට බටර් කේක් එකක් හෝ ඉඳහිට සම්ප්‍රදායික අයිසිං කේක් එකක් වුවා මිස ගැටෝ කේක් එකක් වුනේ නැත. ඒ අයුරින්ම, අයිස් පලම්, අයිස් චොක්ස් හෝ අයිස් කෝන් එකක් මිස අයිස්ක්‍රීම් සන්ඩේ ගැන ඒ දිනවල මා අසා තිබුණේ නැත. මේ නිසා අයිස්ක්‍රීම් සන්ඩේ එකක් සමඟ එන චෙරි ගෙඩියක් හෝ චෙරි ගෙඩි හයක් ගැසූ ගැටෝ කේක් එකක් සමඟ චෙකොෆ්ගේ වත්තට රිංගන්නට මට අවස්ථාවක් ලැබුණේ අනූව දශකයේදී විය යුතුය. මේ කාලයේදී චෙරි ගෙඩි ලෙස හඳුනාගත් සීනි ගුලි නියම චෙරියයි තවත් වසර ගණනාවක් මම සිතා සිටියෙමි.

චෙරි වත්තකට රිංගා, චෙරි ගසකට නැඟ බඩකට පිරෙන්නට චෙරි ගිල දැමීමේ අවස්ථාව ලැබෙන කාලය වනවිටනම් සැබෑ චෙරි රස විඳීමේ අවස්ථා ඕනෑ තරම් ලැබී තිබුණත් බොහෝ විට මෙසේ රසවිඳ තිබුණේ සාමාන්‍යයෙන් යුරෝපීය සහ උතුරු ඇමරිකානු වෙළඳපලේ බහුලවම දක්නට ලැබෙන තද දම් පැහැති චෙරි වර්ගයයි.

ප්‍රධාන වශයෙන්ම චෙරි වර්ග දෙකක් තිබේ. මෙයින් පළතුරක් ලෙස ආහාරයට ගන්නා පැණි රසක් ඇති ප්‍රභේද 'ස්වීට් චෙරි' ලෙසත්, ඇඹුල් රසැති ප්‍රභේද 'ටාර්ට් චෙරි' හෝ 'සවර් චෙරි' ලෙසත් හැඳින්වේ. ටාර්ට් චෙරි ප්‍රයෝජනයට ගන්නේ චෙරි යුෂ, වියලි හෝ ටින් කළ චෙරි ආදිය සෑදීම සඳහා පමණි. ඉතා ඉක්මණින් නරක් වන පලතුරක් වන චෙරි දින කිහිපයකට වඩා කල් තබා ගත නොහැක. මේ නිසා ඇපල් හෝ මිදී මෙන් වසර පුරාම වෙළඳපොලේ චෙරි දක්නට නොලැබේ. උත්තර අර්ධ ගෝලයේ චෙරි වැවෙන රටවල පලදාව නෙලන්නේ වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුලදීය. දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල දෙසැම්බර් ආසන්නයේ චෙරි ගස් පලබර වේ.

සාපේක්ෂව වගා කිරීමට අසීරු පළතුරක් වන චෙරි ඝර්ම කලාපීය රටවල වැවිය නොහැක. චෙරි වැවෙන්නේ සමකයෙන් ඈත්ව පිහිටි නිශ්චිත උෂ්ණත්ව පරාසයක් පවතින ප්‍රදේශ වලය. ස්වීට් චෙරි මෙන්ම ටාර්ට් චෙරි නිෂ්පාදනය අතින්ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි. ස්වීට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉතාලිය සහ ස්පාඤඤය වැනි දකුණු යුරෝපීය රටවල් සහ ඉරානයද ස්වීට් චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින රටවල්ය. ටාර්ට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ රුසියාවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්වීට් චෙරි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ සිදුවන්නේ කැලිෆෝර්නියා, ඔරිගන්, වොෂින්ටන් යන බටහිර වෙරළබඩ ප්‍රාන්ත වලය. කැලිෆෝර්නියාවේ දකුණු ප්‍රදේශ වල චෙරිගස් අප්‍රේල් වෙද්දී පලබර වන අතර උතුරට යද්දී මේ අස්වනු කාලය ක්‍රමයෙන් පමා වෙයි. බටහිර වෙරලේ උතුරින්ම පිහිටි වොෂින්ටන් ප්‍රාන්තයේ කැනඩා මායිම ආසන්න කඳුකර පෙදෙස් වල චෙරි ගස් පලබර වන්නේ අගෝස්තු ආසන්නවය.

චෙරි ගස උගුරැස්ස හෝ ලොවි ගසක් වැනි මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහෙත් උගුරැස්ස ගසක මෙන් කටු නැත. මලින් බර වූ චෙරිගසක් ඉතා ප්‍රිය දසුනකි. ජපානයේ සකුරා යනුද චෙරි වර්ගයේම ගසකි. බහුලවම දක්නට ඇති තද දම් පැහැති චෙරි වලට වඩා පෙනුමෙන් පැහැදිලිව වෙනස් තැඹිලි පැහැති රේනර් චෙරි මිලෙන්ද තරමක් වැඩිය. උඩින්ම ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ පලබර වී ඇති රේනර් චෙරි ගසකි. මේ ප්‍රභේද දෙකේ අතරමැද පැහැයක් ගන්නා දෙමුහුන් චෙරි ප්‍රභේද රැසක් තිබේ. රතු පැහැති වර්ගයද එවැන්නකි.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ඇතැම් චෙරි වතු වල චෙරි පලදාව 'යූ-පික්' ක්‍රමයට ඉඩමේදී විකිණේ. මෙහිදී අපට චෙරි වත්තට ඇතුළු වී අවශ්‍ය පමණ චෙරි කඩා ගත හැකිය. පිටතට ගෙන යන චෙරි වලට බර අනුව මුදල් ගෙවිය යුතුය. බඩකට පිරෙන්නට චෙරි වත්තේදීම ගිල දමන චෙරි වෙනුවෙන් මුදල් ගෙවීමක් නැත. සාමාන්‍යයෙන් දෙතුන් වරක් අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන චෙරි මේ ක්‍රමයට අලෙවි කරන්නේ කම්කරුවන් යොදවා චෙරි නෙලීමට වඩා මේ ක්‍රමය වාසිදායක නිසාය.

එකම කෘතියක් වුවත් චෙරිවත්ත හා චෙරිඋයන ලෙස දෙදෙනෙකු පරිවර්තනය කළ විට දැනෙන්නේ එකම රසය නොවේ. චෙකොෆ්ගේ නාට්‍යයේ මෑතකාලීන පරිවර්තනයක් වන 'ඉඩමේදී විකිණේ' රසවිඳීමේ අවස්ථාව මට හිමිවී නොමැති නිසා එහි රස ස්වීට් චෙරි රසක්ද නැත්නම් ටාර්ට් චෙරි රසක්ද කියා මා දන්නේ නැත.





වෙබ් ලිපිනය: