වෙබ් ලිපිනය:

Showing posts with label ශ්‍රමය. Show all posts
Showing posts with label ශ්‍රමය. Show all posts

Friday, July 12, 2024

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත


ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා.

ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම නරක දෙයක් ලෙස සැලකෙනවා. ඇතැම් රටවල මේ සමාජ සම්මතය යම් ආකාරයක නීතියක් වෙලා තිබෙනවා. නමුත් ශ්‍රමය සම්බන්ධව තියෙන්නේ වෙනස් සම්මතයක්. ශ්‍රමිකයින් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම ගොඩක් වෙලාවට නරක දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි. ගොඩක් රටවල එය මූලික අයිතිවාසිකමක්!

මේ වෙනසට හේතුව ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන් සතුව තිබෙනවා කියන අදහස. ඓතිහාසික තත්ත්වයන් දිහා බැලුවොත් කතාවේ වැරැද්දක් නැහැ. ශ්‍රමිකයන්ගේ කාටල වලට සමාජයීය හා නෛතික පිළිගැනීමක් ලැබෙන්නේ ඔය තත්ත්වයත් එක්ක. 

ධනවාදයේ මුල් අදියරේදී ප්‍රාග්ධනහිමියන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ නිසා, ඔවුන් අතර තරඟය අඩුයි. ඊට සාපේක්ෂව ශ්‍රමිකයෝ "ඕනෑ තරම්" ඉන්නවා. ඒ නිසා, ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන්ට ඇත්තටම ලැබෙනවා. "ශ්‍රමය සූරාකෑම" කියන අදහස මතු වෙන්නෙත් ඔය තත්ත්වයත් එක්ක.

"වෘත්තීය සමිති" කියන්නේ ශ්‍රමිකයින්ගේ කාටල. ඓතිහාසිකව බැලුවොත් ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් කර ගැනීමට වෘත්තීය සමිති ලෙස සංවිධානය වීම උදවුවක් වී තිබෙනවා. නමුත් ධනවාදය දියුණු වෙද්දී ප්‍රාග්ධනහිමියන් හා ශ්‍රමිකයින් අතර තිබෙන බල අසමතුලිතතාවය ක්ෂය වී යන නිසා වෘත්තීය සමිති වලින් සිදු වූ ඓතිහාසික කාර්ය භාරය තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. 

තරඟකාරී නිදහස් වෙළඳපොළක අවසාන වශයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනහිමියාටත් ලැබෙනවා. වඩා සරල භාෂාවකින් පැහැදිලි කළොත් ශ්‍රමිකයෙකු අලුතෙන් එකතු වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ශ්‍රමිකයාට ලැබෙනවා. ප්‍රාග්ධනය එකතු කිරීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ප්‍රාග්ධනහිමියාට ලැබෙනවා. මෙය ඉතාම සාධාරණ බෙදීමක්. 

"වෘත්තීය සමිති" වලට කාර්ය භාරයක් තියෙන්නේ කවර හෝ හේතුවක් නිසා ඔය වැඩේ නොවෙන තත්ත්වයක් යටතේදී. හරියටම කිවුවොත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයක් යටතේදී. ඒ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමිකයෙකුට තනිව හෝ සාමූහිකව හෙට්ටු කරලා ලබා ගත හැකි අතිරික්තයක්  තිබෙනවා.

දියුණු ධනවාදයක් ඇතුළේ ශ්‍රමිකයෙකුට තමන්ගේ  ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබී යන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද වෙළඳපොළක එකම නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා, ඕනෑම ආකාරයක ශ්‍රමය විකිණිය හැකි විකල්ප අවස්ථා තිබෙනවා. තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවය ලැබෙන්නේ නැත්නම් ඉන්න තැනින් අයින් වෙලා වෙන තැනකට යන්න පුළුවන්. 

ඒ විදිහට ශ්‍රමිකයෙක් අයින් වෙලා ගියාම අදාළ ව්‍යවසායකයාට වැඩි අපහසුවක් නොමැතිව වෙනත් අයෙකු බඳවා ගන්න පුළුවන් වුනත්, ඒ අලුත් ශ්‍රමිකයාගේ ශ්‍රමය මිල දී ගන්න වෙන්නේ එහි ආන්තික ඵලදායීතාවය ගෙවලා. ඒ නිසා, ඉන්න ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවලා යන්න අරින එකේ තේරුමක් නැහැ. ඔය තත්ත්වය තුළ හැම වෙලාවකම වගේ ව්‍යවසායකයෙකු විසින් ශ්‍රමිකයෙකුට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ගෙවන්න පෙළඹෙනවා. ඒකට ඒ තරම් හෙට්ටු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔය වැඩේ වෙන්නේ දියුණු වෙළඳපොළක් ඇත්නම් පමණයි.

ඉහත හේතුව නිසා දියුණු වෙළඳපොළක් තිබෙන රටවල වෘත්තීය සමිති වලින් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෘත්තීය සමිති විදිහට සංවිධානය වීමේ අයිතිය තිබුණා කියලා ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වෘත්තීය සමිති තිබෙනවා කියන එක පේන්නෙවත් නැහැ.

උත්ප්‍රාසජනක දෙයක් වන්නේ දැන් ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පේන්න තියෙන්නේ රාජ්‍ය අංශය ඇතුළේ වීමයි. එයින් අදහස් වන්නේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයෙකුට සාමාන්‍යයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබෙනවා කියන එකයි. ඒ නිසා සාමූහිකව හෙට්ටු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

මේ වෙද්දී බටහිර රටවල රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන්නේ පොදු සේවා සැපයීම තුළයි. ඇමරිකාවේනම් එවැන්නක් සිදු වෙන්නෙත් නැති තරම්. ඒ නිසාම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලට ඉඩක් හෝ අවස්ථාවක් නැති තරම්. නමුත් යුරෝපයේ තත්ත්වය වෙනස්. රටෙන් රටට තත්ත්වය වෙනස් නමුත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ පොදු සේවා සැපයීමේදී ගොඩක් වෙලාවට රාජ්‍ය ඒකාධිකාරයක් හෝ ඊට ආසන්න තත්ත්වයක් දකින්න පුළුවන්.

උදාහරණයක් විදිහට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සැලකුවොත් එම ආයතනය එරට ලොකුම රැකියා සපයන්නා පමණක් නෙමෙයි රැකියා සැපයීම අතින් ලෝකයේම පස්වන තැන සිටින ආයතනය. ඊට වඩා වැඩි පිරිසකට සේවා සපයන ආයතන වන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ හා චීනයේ ආරක්ෂක අංශ හා ඇමරිකාවේ වෝල්මාට් ආයතනය පමණයි. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මිලියන 1.7කට සෘජු ලෙස රැකියා සපයනවා. 

මේ වගේ රාජ්‍ය ඒකාධිකාරයක් වෙනුවෙන් සේවය කරන කෙනෙකුට තමන්ගේ ආන්තික ඵලදායීතාවය මැනගත හැකි සම්මතයක් නැතිව යනවා. මොකද සේවය හැර ගියොත් ගොඩක් වෙලාවට රට ඇතුළේ වෙනත් විකල්ප රැකියා සපයන්නෙක් නැහැ. 

රාජ්‍ය අංශය විසින් සපයන මෙවැනි පොදු සේවාවන් සමහර වෙලාවට නොමිලේත්, තවත් සමහර වෙලාවට සුබසාධිත මිලකටත් සපයනවා. හරියටම කිවුවොත් බදු මුදල් වලින් මෙවැනි සේවාවන් සුබසාධනය කෙරෙනවා. ඒ නිසා, මිල, ආදායම හෝ ලාබය තව දුරටත් සපයන සේවාවේ වටිනාකම පිළිබඳ නිර්ණායකයක් වන්නේ නැහැ. ඒ නිසාම, ආයතනයේ ලාබ හෝ පාඩු වලින් එම ආයතනයේ සේවකයින්ගේ ශ්‍රමයේ ඵලදායීතාවය මැන ගන්න බැහැ. 

ඉහත තත්ත්වය තුළ පොදු සේවා සපයන රාජ්‍ය ආයතනයක සේවකයෙකුට ආයතනය සමඟ තනිව හෙට්ටු කරන්න අසීරු වෙනවා. මොකද එහෙම හෙට්ටු කරලා රස්සාවෙන් යන්න වුනොත් රට හැර යනු හැර වෙන යන්න තැනක් නැහැ. ආයතනය ගොඩක් විශාල නිසා එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා ආයතනයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, හෙට්ටු කිරීමේ හැකියාව අතින් ශ්‍රමිකයා හා ආයතනය අතර පැහැදිලි බල වෙනසක් තිබෙනවා. 

ඔය වගේ ආයතනයක සේවකයින් බහුතරය වෘත්තීය සමිතියක් යටතේ සංවිධානගත වූ විට තත්ත්වය කණපිට හැරෙනවා. දැන් ශ්‍රමිකයින්ට කලින් නොතිබුණු හෙට්ටු කිරීමේ බලයක් තිබෙනවා. මොකද මේ සේවකයෝ ඔක්කොම අයින් කරලා අලුතෙන් පිරිස් බඳවා ගත හැකි ශ්‍රම වෙළඳපොළක් රට ඇතුළේ නැහැ. ඒ නිසා අදාළ රාජ්‍ය ආයතනයට සේවකයින් එක්ක (වෘත්තීය සමිතිය එක්ක) කිසියම් සංහිඳියාවකට එන්නම වෙනවා.

මේකේ තිබෙන අවුල මේ ක්‍රමයට සේවකයින්ට හෙට්ටු කරලා තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් වුනත් ලබා ගන්න පුළුවන් වීමයි. මොකද ඔවුන් හෙට්ටු කරන්නේ ලාබ ලැබීම ඉලක්ක කරගත් ආයතනයක් එක්ක නෙමෙයි. එවැනි ආයතනයක් එක්ක හෙට්ටු කළානම් ආයතනයේ ලාබ ප්‍රමාණය මගින් හෙට්ටු කිරීමේ හැකියාව නියාමනය වෙනවා. තේරෙන විදිහට කිවුවොත් ආයතනයක් පාඩු විඳගෙන සේවක පඩි වැඩ කරන්නේ නැහැ. ආයතනය වහල දමලා ප්‍රාග්ධනය වෙන තැනකට අරගෙන යන එක ඊට වඩා වාසියි. ඒ නිසාම ශ්‍රමිකයෝ තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානම අරගෙන ඒ මට්ටමට හෙට්ටු කරන්නේ නැහැ.

රාජ්‍ය ආයතනයක් එක්ක හෙට්ටු කරද්දී ඔය ප්‍රශ්නය නැහැ. මොකද ආයතනයේ ලාබ පාඩු මේ හෙට්ටු කිරීමට අදාළ නැහැ. රජයට අවශ්‍යනම් බදු ගෙවන්නන් මත වැඩි බරක් පටවමින් සේවක වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන්. 

මේ ආකාරයේ වැඩ වර්ජනයක් සාර්ථක වෙන්නේ බදු ගෙවන්නන් මත, ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව මත, වැඩි පීඩනයක් එල්ල කරපු තරමටයි. රාජ්‍ය ආයතනයකට පොදු සේවා සැපයීමේ ඒකාධිකාරයක් තියෙද්දී මේ වැඩේ කරන එක අමාරු නැහැ. මොකද මේ පොදු සේවා බොහොමයක් අත්‍යවශ්‍ය සේවා.

නමුත් මේ වැඩේ සාධාරණද? 

සමාජ සම්මතය ඇතුලෙ නැත්නම් නීතිය ඇතුලෙ වැඩ වර්ජන අයිතිය තහවුරු කරලා තියෙන්නේ වෙනම සන්දර්භයක. හරියටම කිවුවොත් ප්‍රාග්ධනහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී බල අසමතුලිතතාවය නිසා ශ්‍රමිකයින්ට සිදු විය හැකි අසාධාරණයට පිළියමක් විදිහට. නමුත්, දැන් වෙන්නේ මොකක්ද?

දැන් වෙන්නේ ශ්‍රමිකයින් පිරිසක් විසින් ඒකාධිකාරයක් හදාගෙන ඒ හරහා රටේ සාමාන්‍ය මහජනතාව වෙත පීඩනයක් එල්ල කරමින් එහි වාසිය ගන්න එක. මෙහිදී සේවායෝජකයා වන රජය අතරමැදියෙක් පමණයි. මේ තත්ත්වය තුළ, කිසියම් පිරිසකගේ සාමූහික හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කරනවා කියන්නේ ඊට වඩා විශාල පිරිසකගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියන එක. එතකොට රජයක් විසින් ගත යුත්තේ කාගේ පැත්තද?

මේක අඩු වශයෙන් යුරෝපය පුරා මෑතකාලීනව සංවාදයට බඳුන් වී තිබෙන මාතෘකාවක්. එක පැත්තකින් ශ්‍රමිකයින්ගේ සාමූහිකව හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කළ යුතු අතරම අනෙක් පැත්තෙන් සාමාන්‍ය මහජනතාවගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් තහවුරු කිරීම ගැනත් රජයකට හිතන්න වෙනවා. නමුත් මේ එකක් කරද්දී එයින් අනෙක් එකට බාධා වෙන එක වලක්වන්න බැහැ.

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට එංගලන්තය පසු ගිය වසරේදී වැඩ වර්ජන (අවම සේවා) පණත සම්මත කළා. එය එවැනි පණතක් සම්මත කරගත් පළමු යුරෝපීය රට නෙමෙයි. ඉතාලිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය කලින්ම මෙවැනි පණත් සම්මත කරගෙනයි තිබුණේ.

මෙම පණත ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූයේ පසුගිය සතියේ ලේබර් පක්ෂය බලයට පත්වන තුරු එක්සත් රාජධානියේ බලය හෙබවූ කොන්සර්වේටිව් පක්ෂය විසිනුයි. 2023 ජනවාරි 16 දින මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී 310-249 ලෙස වැඩි ඡන්ද 61කින් මෙම පනත මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ (House of Commons) සම්මත වුණා. පණතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 308 දෙනෙකුම කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයින්. ලේබර් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ සියල්ලක්ම පාහේ ඡන්දය දුන්නේ මෙම පණතට විරුද්ධවයි.

එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වූ මෙම පණත ඉන් පසුව සාමි මන්ත්‍රී මණ්ඩලය තුළද සම්මත වී 2023 ජූලි 20 දින නීතියක් බවට පත් වුනා. ඊට පෙර පෙන්ම පසුවද වෘත්තීය සමිති වලින් මෙම පණතට එරෙහිව විරෝධතා පැමිණි අතර, දැන් බලයට පත් වී සිටින ලේබර් පක්ෂය එම විරෝධතා වලට සහයෝගය දෙමින් තමන් බලයට පත් වී දින 100ක් ඇතුළත පණත අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. කෙසේ වුවත්, මේ වන විට මෙය එංගලන්තයේ නීතියක්ව තිබෙනවා. 

මෙම පණත යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාණ්ඩ හයක් ආවරණය වෙනවා. මේ වන විට පණතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය මාර්ගෝපදේශන නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වැඩ වර්ජන කළ හැක්කේ පූර්ව දැනුම්දීමකින් පසුව දෙපාර්ශ්වයට එකඟ විය හැකි සැලසුමකට අනුවයි.

වැඩ වර්ජනයට දින 14කට පෙර - වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජනය කිරීමේ අභිප්‍රාය සේවායෝජකයා වෙත දැනුම්දීම.

වැඩ වර්ජනයට දින 7-14කට පෙර - සේවායෝජකයා විසින් අවම සේවා මට්ටමක් පවත්වා ගැනීම පිණිස අවශ්‍ය වන සේවකයින් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සහ නිශ්චිත සේවකයින් හඳුනාගෙන ඔවුන්ගේ ලැයිස්තුවක් සකස් කර වෘත්තීය සමිතිය වෙත ලබා දීම.

වැඩ වර්ජනයට දින 1-7කට පෙර - සේවායෝජකයා විසින් ලැයිස්තුවේ නම් සඳහන් සේවකයින් වෙත ඒ බැව් දැනුම් දීම.

වැඩ වර්ජනයට දින 4කට පෙර - සේවායෝජකයා විසින් අත්‍යවශ්‍ය සේවක ලැයිස්තුව සංශෝධනය කළ හැකි අවසන් දවස. 

මෙම කාර්ය පටිපාටිය ඉතාලිය වැනි අනෙකුත් යුරෝපීය රටවල ක්‍රියාත්මක කාර්ය පටිපාටියට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත්, දැන් බලයට පත්ව සිටින ලේබර් පක්ෂය විසින් ඉහත නීතිය අහෝසි කරයිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක්.

Thursday, May 2, 2024

ශ්‍රම බලකා සහභාගීත්වය


කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද?

විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට. 

රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයයි. රටේ වැඩ කළ හැකි වයසක සිටින ජනගහණයේ අනුපාතයක් ලෙස මෙම අගය ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ලෙස හැඳින්වෙනවා. රටේ රැකියා ප්‍රමාණය ඉහළ යද්දී වගේම ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය අඩු වෙද්දීත් විරැකියා අනුපාතය අඩු වෙනවා. දෙවැන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ලංකාව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගොඩක් අඩු රටක්. පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක සංසන්දනාත්මක දත්ත.

කටාර් - 89%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 83%

ඉතියෝපියාව - 80%

කෙන්යාව - 74%

වියට්නාමය - 73%

නවසීලන්තය - 72%

බහරේන් - 72%

කුවේට් - 72%

සිංගප්පූරුව - 69%

ඉන්දුනීසියාව - 68%

තායිලන්තය - 67%

ස්වීඩනය - 67%

චීනය - 66%

ඕස්ට්‍රේලියාව - 66%

ස්විට්සර්ලන්තය - 66%

නෝර්වේ - 65%

මැලේසියාව - 65%

ඊශ්‍රායලය - 65%

කැනඩාව - 65%

ජපානය - 63%

එක්සත් රාජධානිය - 62%

ඇමරිකා එක්සත් ජනපදය - 62%

ජර්මනිය - 62%

බංග්ලා දේශය - 58%

ප්‍රංශය - 56%

ඉන්දියාව - 55%

පකිස්ථානය - 53%

ලංකාව - 51%

නේපාලය - 40%

ලෝක බැංකු වෙබ් අඩවියෙන් මුළු ලැයිස්තුවම බලාගන්න පුළුවන්. ලංකාවට වඩා පහලින් ඉන්නේ රටවල් 27ක් පමණයි. ඒ වගේම, ලංකාවේ මේ අනුපාතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් නිරීක්ෂණය කළ හැකියි.

මෙය පහළ විරැකියා අනුපාතය තුළ සැඟවී තිබෙන අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. රටේ වැඩ කරන වයසේ සිටින ජනගහණයෙන් බාගයකටම රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නේ වැඩ කරන ඉතිරි පිරිසට ඒ අයව නඩත්තු කරන්න වෙනවා කියන එකයි. 

විදේශික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා සපයන මැද පෙරදිග රටවල වගේම සිංගප්පූරුවේත් ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ මට්ටමක තිබීම තේරුම් ගන්න පුළුවන්. චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවලත් මේ අනුපාතය වැඩියි. සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමය ඇතුළේ වැඩ නොකර සිටීමට වැඩි ඉඩක් නැති වීම ඊට හේතුව වෙන්න පුළුවන්. බටහිර ධනවාදී රටවල වෙළඳපොළ යාන්ත්‍රනය හරහා වැඩ කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා. වැඩ නොකර නිකම් හිටියොත් සුම්මා තමයි. අනෙක් පැත්තෙන් අප්‍රිකාවේ දුප්පත් රටවල් වලත් ශ්‍රම බලකා සහභාගීත්වය ගොඩක් වැඩියි. 

පොදුවේ ගත්තහම දකුණු ආසියානු කලාපයේ ශ්‍රම බලකා සහභාගීත්වය අඩුයි. එහෙම බැලුවහම මෙය කලාපයේ ප්‍රශ්නයක්. නමුත් ලංකාව ඉන්නේ ඉන්දියාවට, බංග්ලා දේශයට හා පකිස්ථානයටත් වඩා තරමක් පහළින්. මේ තත්ත්වයට කරුණු ගණනාවක් දායක වී තිබිය හැකියි. පහත තිබෙන්නේ ඒ අතරින් ප්‍රධාන කරුණු දෙකක්.

1. වැඩ කළ හැකි වයස් කාලයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ එම කාලය තුළ ශ්‍රම බලකායෙන් මුළුමනින්ම බැහැර වී සිටීම. මෙය බටහිර රටවල සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

2. අපේක්ෂිත ජීවත්වීමේ කාලය ඉහළ ගොස් ඇතත් විශ්‍රාම ගන්නා වයස අනුරූප ලෙස ඉහළ නොයාම.

හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. වැඩ කළ හැකි වයස් සීමාවේ අන්ත දෙකේ ඉන්න ඔය කණ්ඩායම් දෙක ශ්‍රම බලකායට එකතු වුනා කියලා ඒ අයට කරන්න රස්සා රටේ තියෙනවද?

මේ තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය (පළමු කරුණ) හා සෞඛ්‍යය (දෙවන කරුණ) සුබසාධනය කිරීම. මෙය අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කළ යුතුයි කියා කරන යෝජනාවක් විදිහට වරදවා තේරුම් ගන්න එපා. නමුත් ඕනෑම රාජ්‍ය මැදිහත්වීමක හිතකර වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.

අධ්‍යාපනය සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී පුද්ගලයෙක් ශ්‍රම බලකායට එකතු වෙන එක ප්‍රමාද වෙනවා. නමුත්, ඒ විදිහට පහු වෙලා ශ්‍රම බලකායට එකතු වෙලා වුනත් වැඩි දායකත්වයක් ලබා දෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මුල් කාලයේ "නාස්ති කරන" කාලය වෙනුවෙන් පසුව පොලියත් එක්ක ප්‍රතිලාභ ලැබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව ආයෝජනය කරන කෙනෙක් එසේ කරන්නේ මේ ප්‍රතිලාභ දිහා බලාගෙන. (පොදු අරමුදල් වලින් අධ්‍යාපනය සුබසාධනය කළත් ඒ සඳහා වෙන් කළ යුතු කාලය පෞද්ගලික ආයෝජනයක්). 

සෞඛ්‍ය පහසුකම් සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී ජීවත් වන කාලය වැඩි වෙනවා. නමුත් පුද්ගලයෙක් වැඩි කාලයක් ජීවත් විය යුත්තේ ඇයි? වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වැඩි කාලයක් දුක් විඳින එකනම් ඒ ජීවත් වීමෙන් ඇති වැඩක් නැහැ. ඒක පෞද්ගලිකව කෙනෙකුට පෙනෙන දෙය.  රටේ පැත්තෙන් තත්ත්වය කුමක්ද?

සෞඛ්‍ය පහසුකම් සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එහිදී ඉහළ යන ජීවිත කාලය සහ එම ජීවිත කාලයේ ගුණාත්මක භාවය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමට දායක වන්නේනම් පමණයි. අධ්‍යාපනය සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් වන්නේනම් පමණයි. ඔය දෙකම වෙන්නේ අනුරූපී ලෙස රටේ රැකියා අවස්ථා ඉහළ ගියහොත් පමණයි. 

ලංකාව මීට වඩා වැඩි වේගයකින් කාර්මීකරණය නොවන්නේ ඇයි? එසේ වඩා වැඩි වේගයකින් කාර්මීකරණය කිරීම අසීරු ඇයි? සරල පිළිතුර මේ සඳහා අවශ්‍ය වන ආකාරයේ ශ්‍රම සැපයුමක් රටේ නැති වීමයි. ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කර ගැනීමටනම් රටේ ජීවත්වන, ශ්‍රම බලකායෙන් පිට සිටින අයව ආකර්ෂණය කර ගත හැකි ආකාරයේ රැකියා ජනනය වීමක් සිදු වීය යුතුයි. කාර්මික අංශයේ රැකියා ජනනය වුනත් බොහෝ විට ඒවා ලංකාවේ ශ්‍රම බලකායට ආකර්ශනීය වන එකක් නැහැ. 

Wednesday, May 1, 2024

අධ්‍යාපනය හා රැකියා අවස්ථා


පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.

උසස් පෙළ අසමත් මට්ටම - 5.5%

උසස් පෙළ මට්ටම - 4.0%

උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති - 2.7%

දෙවසරක උපාධියක් - 2.7%

වසර හතරක උපාධියක් - 2.2%

පශ්චාත් උපාධි මට්ටම - 1.9%

වෘත්තීය උපාධියක් - 1.4%

ආචාර්ය උපාධියක් - 1.0%

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. අධ්‍යාපන මට්ටම ඉහළ යන තරමට විරැකියා අනුපාතය පහළ යනවා. මෙය එම වසරේ පමණක් සිදු වූ දෙයක් නෙමෙයි. ආර්ථිකය ප්‍රසාරණය වන හා සංකෝචනය වල වකවානු සියල්ලකදීම දැකිය හැකි පොදු තත්ත්වයක්.

මෙය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියා කියන්නේ ආයෝජනයක්. යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට නෙමෙයි. ඒ නිසා, අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී විරැකියා අනුපාතය පහළ යාම අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයක්.


මේ හා අදාල ලංකාවේ තත්ත්වය කුමක්ද?

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 4.7%ක් වූ ලංකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම සමඟ වෙනස් වූ ආකාරය.

පස්වන ශ්‍රේණිය අසමත් - 0.7%

6-10 ශ්‍රේණි - 3.4%

අපොස (සාමාන්‍ය පෙළ) - 6.1%

අපොස (උසස් පෙළ) - 7.8%

අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව තනිකරම කණපිට තත්ත්වයක්! වැඩියෙන් ඉගෙන ගන්න තරමට සිදු වෙන්නේ රැකියාවක් හොයා ගන්න එක වඩ වඩා අසීරු වෙන එක. ලංකාවේ ශ්‍රම වෙළඳපොළෙහි මේ විදිහේ විකෘතියක් ඇති වී තිබෙන්නේ ඇයි?

ලංකාවේ සාර්ව ආර්ථිකයේ තිබෙන ගොඩක් අය නිතර කතා කරන අසමතුලිතතා දෙක වගේම අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධයේත් විශාල විකෘතියක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රමය සඳහා ලැබෙන පංගුව අඩු වී ප්‍රාග්ධනය සඳහා ලැබෙන පංගුව ඉහළ යන්න මේ විකෘතිය දායක වී තිබෙනවා.

විකෘතියට හේතුව කුමක්ද? විකෘතිය නැති කළ හැක්කේ කොහොමද?

ඉතා කෙටි පිළිතුරක් විදිහට හේතුව ජනසම්මතය හා දේශපාලනය. විස්තර කරන එක සහ දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙන එක කෙටියෙන් කරන්න අමාරුයි. 

වාමාංශික අදහස් දරන ගොඩක් අය වගේම දක්ෂිණාංශික අදහස් දරන ගොඩක් අයත් අහන්න කැමති නොවන, එකඟ වෙන්න ඉඩ නැති, කෙටිකාලීන විසඳුම පුළුවන් තරම් පිරිසක් රට පටවන එකයි. මේ විසඳුම ගැන වැඩිපුර ප්‍රසිද්ධියේ කතා නොකළත් වත්මන් ආණ්ඩුව වගේම, මාලිමාව වගේ පක්ෂ වල ප්‍රතිපත්ති තුළත් බරක් තබා තිබීම නිවැරදි පියවරක්.

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු



පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. මෙම අගය ඇස්තමේන්තු කරන්නේ නිෂ්පාදනයේදී යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ අගය අඩු කරලා. ඒ කියන්නේ වසර තුළ ශුද්ධ වශයෙන් සිදු වූ අගය එකතු වීම.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී අවසන් නිෂ්පාදීත වල වෙළඳපොළ වටිනාකමෙන් එම නිෂ්පාදිත සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ වටිනාකම අඩු කරනවා. එහෙත්, නිෂ්පාදනයේදී යොදා ගත් නිෂ්පාදන සාධක වල පිරිවැය වෙනුවෙන් ගැලපුමක් කරන්නේ නැහැ. ඊට හේතුව, නිෂ්පාදනය අවසානයේදී එම නිෂ්පාදන සාධක තව දුරටත් ඉතිරි වී තිබීමයි. නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක සේ සැලකෙනවා. 

දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම නිසා එම අගය අවසාන වශයෙන් කිසියම් ආකාරයකින් බෙදී යා යුතුයි. මෙම අගය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේ කොහොමද කියන එක දේශපාලනිකව වැදගත් කරුණක්.

රටක දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායක වෙන්නේ ඒ රටේ ජීවත් වන මිනිස්සු පමණක් නෙමෙයි. විදේශවාසීන් විසින්ද ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයමින් මේ සඳහා දායක වෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක්  විදේශ වාසීන්ගේ ප්‍රතිලාභ විදිහට රටෙන් පිටතට යනවා. 

මේ විදිහටම කිසියම් රටක ජීවත් වන මිනිස්සු වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ටද දායක වෙනවා. ඒ මගින් ආදායම් උපයනවා. මේ දෙපැත්තම සැලකිල්ලට ගැනීමෙන් පසුව රටේ දළ ජාතික නිෂ්පාදිතය ගණනය කළ හැකියි.

දළ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය + රටවැසියන් වෙනත් රටවල නිෂ්පාදිතයට දායක වී ලබාගත්  ආදායම් - විදේශවාසීන් විසින් රටේ නිෂ්පාදිතයට දායක වී ලබාගත් ආදායම්.

පසුගිය 2023 වසරේදී ඇමරිකානුවාසීන් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ට ලබා දුන් දායකත්වයන් වෙනුවෙන් ඩොලර් බිලියන 1,457.1ක් ලබා ගනිද්දී, ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් බිලියන 1,292.9ක් විදේශවාසීන් විසින් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩියි. එම අගය ඩොලර් බිලියන 27,525.1ක්.

රටේ ජීවත්වන මිනිසුන්ගේ ආදායමක් විය හැක්කේ දළ ජාතික නිෂ්පාදිතය. එහෙත්, එයින් සැලකිය යුතු කොටසක් අදාළ කාලය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂය වී ගිය ප්‍රාග්ධනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වැය වෙනවා. 2023දී මෙම මුදල ඩොලර් බිලියන 4,585.8ක් හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7%කට සමාන මුදලක්. දළ ජාතික නිෂ්පාදිතයෙන් මෙම අගය අඩු කළ විට ඉතිරි කොටස ජාතික ආදායමට සමාන විය යුතුයි. ජාතික ආදායම් ඇස්තමේන්තු සියයට සියයක්ම නිවැරදි නැති නිසා ප්‍රායෝගිකව පොඩි වෙනසක් තිබෙනවා.

අවසාන වශයෙන් නිෂ්පාදනයේදී ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයන අය අතර බෙදී යන්නේ රටේ ජාතික ආදායම. 2023 වසරේදී ඇමරිකාවේ මෙම අගය ඩොලර් බිලියන 22,449.1ක්. එම මුදල බෙදී ගොස් තිබුණේ පහත පරිදියි.

සේවක වැටුප් - ඩොලර් බිලියන 14,253.5 (63.4%)

සමාගම් නොවන ආයතන හෝ ව්‍යාපාර හිමිකරුවන්ගේ ආදායම් - ඩොලර් බිලියන 1,848.4 (8.2%)

පුද්ගලයින් විසින් ඉපැයූ කුලී ආදායම් - ඩොලර් බිලියන 967.3 (4.3%)

සමාගම් වල ලාභ - ඩොලර් බිලියන 3,258.0 (14.0%)

නිෂ්පාදීත හා ආනයන මත ගෙවූ බදු - ඩොලර් බිලියන 1,731.6 (7.6%)

වෙනත් - ඩොලර් බිලියන 390.2 (1.7%)

ඇමරිකාව වැනි දියුණු වෙළඳපොළ යාන්ත්‍රණයක් ඇති රටක ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස නිවාස ඒකක වෙත ගලා එනවා. තවත් කොටසක්ම වෙනත් ආකාර වලින් නිවාස ඒකක වලට ගලා එනවා. සමාගම් වල ලාබ ලෙස ඉතිරි වන කොටස අඩුයි. ඒක වෙන්නේ පුළුල් වෙළඳපොළ තරඟය නිසා.

ඇමරිකාවේ එහෙමනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බෙදී යන්නේ කොහොමද? 

ලංකාවේ 2023 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,629.7ක්. එම මුදල බෙදී ගොස් තිබෙන්නේ පහත පරිදියි. (සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබෙන්නේ ඇමරිකාවේ ක්‍රමයටම නෙමෙයි.)

සේවක වැටුප් - රුපියල් බිලියන 6,159.1 (22.3%)

සමාගම් වල ලාභ - රුපියල් බිලියන 8,739.6 (31.6%)

ප්‍රාග්ධනය ක්ෂය වීම - රුපියල් බිලියන 1,476.2 (5.3%)

මිශ්‍ර ආදායම් - රුපියල් බිලියන 9,359.3 (33.9%)

නිෂ්පාදීත මත ගෙවූ බදු - රුපියල් බිලියන 1,895.5 (6.9%)

වසර තුළ ජාතික ආදායමෙන් රුපියල් බිලියන 1,046.8ක් විදේශවාසීන් විසින් ලබාගෙන තිබෙන අතර ශ්‍රී ලාංකිකයින් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයට දායක වීමෙන් රුපියල් බිලියන 151.6ක් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, රටේ දළ ජාතික ආදායම රුපියල් 26,734.4ක්. 

මීට අමතරව, වසර තුළ විදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය රුපියල් බිලියන 1,957.2ක් හෙවත් ප්‍රාග්ධනය ක්ෂය වීම ඉවත් වීමෙන් පසු රටවැසියන් විසින් උපයා ඇති රුපියල් බිලියන 25,258.2ක මුදලින් 7.7%කට සමාන මුදලක්.   

ඇමරිකාවට සාපේක්ෂව, කාලයක් තිස්සේම ලංකාවේ තියෙන්නේ ප්‍රාග්ධනයට එරෙහි, ශ්‍රමයේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩියෙන් පෙනී සිටින ජන සම්මතයක්. මේ හේතුව නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ප්‍රාග්ධන ආයෝජන දිරිමත් කෙරෙන්නේ නැහැ. අවසාන වශයෙන් එහි වාසිය යන්නේ ප්‍රාග්ධනය හිමි අයටයි. 

කාලයත් එක්ක සමාගම් වල ලාබ අඩු වෙන්නේ සමාගම් වලට ලාබ ලබන්න වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙන තරමටයි. එවැනි අවස්ථා සීමා වෙද්දී, රටේ ජන සම්මතය ලාබ ලැබීමට එරෙහිව යද්දී, දැනට ප්‍රාග්ධනය හිමි සුළු පිරිසට බාහිර තරඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔවුන්ට වඩා වාසිදායක ලෙස ශ්‍රමය මිල දී ගන්න පුළුවන්. 

ශ්‍රමයේ "අයිතිවාසිකම්" ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රවර්ධනය වෙද්දී ශ්‍රමය සැපයීම සඳහා වන තරඟය ඉහළ යනවා. ශ්‍රමයේ මිල පහළ යනවා. ජාතික ආදායමෙන් ශ්‍රමයේ පංගුව අඩු වෙනවා. මෙහි අවාසිය ශ්‍රමය සපයන අයටමයි. ලංකාවේ දිගින් දිගටම වෙලා තියෙන්නේ මේකයි. 

කාලයත් එක්ක ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිල ඉහළ යන්නේ ශ්‍රමය "සූරා කන්න" වැඩි වැඩියෙන් ඉඩ ලැබෙන තරමටයි. ප්‍රාග්ධනය සැපයීම සඳහා තරඟයක් ඇති වෙන්නේ එවිටයි. චීනය, වියට්නාමය වගේ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල් මේ මූලධර්මය සාර්ථකව යොදා ගන්නවා. 

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Saturday, May 29, 2021

ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය

මම හිතන්නේ මේ වෙද්දී ධනවාදී පරමාදර්ශය කුමක්ද කියන එක ලිපි ගණනාවකින් ඉතා පැහැදිලිව විස්තර කර අවසන් කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදී විකල්පය ඊට වඩා පසුගාමී වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. අප සමඟ දිගටම සාකච්ඡාවක රැඳී සිටි පාඨකයෙකු විසින් පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස අහපු වැදගත් ප්‍රශ්නයක් වුනේ මේ කියන දේවල් ඔය විදිහටම සැබෑ ලෝකයේ සිදු වෙනවද කියන එකයි. ඒ ප්‍රශ්නයට මම ඒ වෙලාවේ කෙටි පිළිතුරක් දුන්නා. එහෙත්, මේ ප්‍රශ්නය විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.

ඉතා පැහැදිලිවම ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර සෑහෙන තරමක පරතරයක් තිබෙනවා. ඇත්තටම පුදුමය විය යුත්තේ එය එසේ නොවනවානම්. ධනවාදී පරමාදර්ශයත් මාක්ස්වාදය වගේම තවත් එක් වියුක්ත අදහසක් පමණයි. වියුක්ත ආකෘති හා සැබෑ ලෝකය අතර පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්. මා එම පෙර ප්‍රතිචාරයට පිළිතුරක් සේ ලියූ විදිහට, මට අනුව, මේ මොහොතේ දේශපාලනය විය යුත්තේ මේ පරතරය හැකි තරම් අවම කිරීමයි.

පරමාදර්ශී තත්ත්වයන් යටතේ වගේම ප්‍රායෝගික තත්ත්වයන් යටතේද ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකු විසින් පිළිගත හැකි පිළිතුරක් ඉදිරිපත් කර නැහැ. යම් කිසිවකු විසින් එවැනි පිළිතුරක් ලබා දෙන තුරු අපි සමාජවාදය පැත්තකින් තියලා ධනවාදී පරමාදර්ශය ඔස්සේ ඉදිරියට යමු. 

සමාජවාදය හොඳ පිළිතුරක් නොවන බව පැහැදිලි වුවත්, ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර පරතරයක් ඇති විට එම පරතරය පියවෙන පිළිතුරක් අවශ්‍යයි. ධනවාදී පරමාදර්ශය අනුව, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය ප්‍රාග්ධන හිමියාටත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත් හිමි විය යුතුයි. මේ බෙදීම සාධාරණ වන්නේ ඇයි කියන එක මම විස්තර කරලා තියෙනවා. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එයින් ඔබ්බටයි. මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

ලිපි ගණනාවකදී යොදාගත් කොබ්-ඩග්ලස් ආකෘතිය උපයෝගී කර ගැනීමේ අරමුණ වුනේ ආන්තික ඵලදායීතාවය කියන සංකල්පය පැහැදිලි කිරීම හා සමාජවාදී විකල්පය සමඟ සංසන්දය කිරීම පමණයි. එම ආකෘතිය නිෂ්පාදන ආකෘතියක් මිසක් නිෂ්පාදනය බෙදී යන ආකාරය විස්තර කරන ආකෘතියක් නෙමෙයි. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා පැහැදිලි කරන නමුත් ඒ කරා යා හැකි යාන්ත්‍රනය එම ආකෘතියෙන් විස්තර කෙරෙන්නේ නැහැ. 

එහෙමනම්, ධනවාදී පරමාදර්ශය කරා යා හැකි යාන්ත්‍රනය කුමක්ද? මේ යාන්ත්‍රනය වෙළඳපොළ යාන්ත්‍රනයයි. "අන්දරේ සීනි කෑ හැටි" ලිපි මාලාවේ මුල් කොටස් වල ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රනය විස්තර කර තිබෙනවා. 

වෙළඳපොළ තර්කනය තේරුම් ගන්න අමාරු නැහැ. ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර පරතරයක් ඇති හැම විටෙකම ඇයට තමන්ගේ රැකියාව මාරු කළ හැකියි. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි පරතරයක් නැති විටෙක කොහේ ගියත් වැඩි වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ හැම විටම ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර ගතික සමතුලිතතාවයක් නඩත්තු වෙනවා. 

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ වෙළඳපොළ තරඟයක් තිබීම තුළ මිසක් වෙළඳපොළක් තිබීම තුළ නෙමෙයි. වෙළඳපොළෙහි තිබෙන්නේ ඒකාධිකාරයක්නම්, ප්‍රමාණවත් තරඟයක් නැත්නම්, මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි නැවතත් පෙර ලිපියක් සමඟ ඉදිරිපත් කළ වගු දෙකක් කරා යමු.


උඩ වගුවෙන් පෙන්වන්නේ K හෝ/සහ L වෙනස් වෙද්දී Y වෙනස් වන ආකාරය. පහළ වගුවෙන් පෙන්වන්නේ මෙය මෙසේ සිදු වෙද්දී ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනස් වන ආකාරය.

ආන්තික ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන සාධකයක් එක් ඒකකයකින් වැඩි කළ විට නිෂ්පාදිතය ඉහළ යන ප්‍රමාණය බව අපි ඉගෙන ගත්තා. නමුත්, මේ ප්‍රකාශයේ අඩුවක් තිබෙනවා. ප්‍රශ්නයක් සේ එකවර නොතේරුණත්, මෙහි "එක් ඒකකයක්" කියා කියන්නේ කුමක්ද? 

අපි ප්‍රාග්ධනය ගනිමු. එක් ඒකකයක් කියා කියන්නේ ඇමරිකන් ඩොලරයක්ද? චීන යුවාන් එකක්ද? බංග්ලාදේශ ටාකා එකක්ද? නැත්නම් ශ්‍රී ලංකා රුපියලක්ද? ශ්‍රී ලංකා සතයක්ද? 

ශ්‍රමය ගත්තත් ඔය ප්‍රශ්නයම එනවා. එක් ඒකකයක් කියා කියන්නේ මාසයක ශ්‍රමයද? දවසක ශ්‍රමයද? පැයක ශ්‍රමයද? නැත්නම් මිනිත්තුවක ශ්‍රමයද? 

ගණිතයේ එන අවකලන සංකල්පය අනුව මේ ඒකකයේ ප්‍රමාණය ශුන්‍යය කරා ළඟා විය යුතුයි. ප්‍රාග්ධනය සතයක් ගත්තත්, ශ්‍රමය තප්පරයක් ගත්තත්, මේ ඒකක ශුන්‍යයට වඩා ගොඩක් ලොකුයි. මීට වඩා ගොඩක් කුඩා ඒකක ගැන වුවත් අපට වියුක්ත ලෙස සිතන්න පුළුවන්. නමුත්, එවැනි කුඩා ඒකක වලින් සැබෑ ලෝකයේදී ගනුදෙනු සිදු වන්නේ නැහැ. 

තමන්ගේ මාසික වැටුප සතයකින් වැඩි වෙන නිසා රැකියාව මාරු කරන කෙනෙක් ඉන්නවද? තමන්ගේ ප්‍රතිලාභ සතයකින් වැඩි වෙන නිසා ප්‍රාග්ධන ආයෝජන වෙනත් තැනකට ගෙන යන කෙනෙක් ඉන්නවද? කවුරුවත් එහෙම කරන්නේ නැහැ. 

මෙයට හේතුව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය පිරිවැයකින් තොරව "සුමට ලෙස" විතැන් කළ නොහැකි වීමයි. නිෂ්පාදන සාධක විතැන් කිරීමද පිරිවැයක් අවශ්‍ය වන කටයුත්තක්. සැබෑ ලෝකය සුමට නැහැ. එහි "ඝර්ෂණ" තිබෙනවා. ඒ නිසා, "පොඩි පාඩුවක්" වුනා කියලා කවුරුවත් එය ගණන් ගන්නේ නැහැ. 

මේ හේතුව නිසා ශ්‍රමිකයෙකුට ඇත්තටම ලැබෙන වැටුප ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවය ඇයට ගෙවිය යුතු වැටුපට වඩා පොඩ්ඩක් අඩු වුනා කියලා සමාගමක් ඇයව එකවරම ඉවත් කරන්නේ නැහැ. මොකද එහෙම කරලා අලුත් ශ්‍රමිකයෙක්ව අලුතින් බඳවා ගන්න එකත් පිරිවැයක් අවශ්‍ය කටයුත්තක්. ඒ නිසා, ඝර්ෂණ තිබීම සාමාන්‍යයක් ලෙස ගත් විට ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එලෙසම ලැබෙන එක වළක්වන්නේ නැහැ.

කෙසේ වුවත්, ශ්‍රම වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ මෙවැනි ඝර්ෂණ වල අසමමිතියක් ඇත්නම් ඉහත කී සාමාන්‍ය අගයයන් වුවත් විකෘති විය හැකියි. උදාහරණයක් විදිහට ශ්‍රමිකයන්ට වෙනත් ප්‍රායෝගික විකල්ප කිසිවක් නැහැ. එහෙත් ප්‍රාග්ධන හිමියාට එවැනි විකල්ප ඕනෑ තරමක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස වුවත් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ හිමි නොවෙන්න පුළුවන්. කාල් මාක්ස් දුටු යුරෝපයේ තිබුණේ මෙවැනි තත්ත්වයක් කියා හිතන්න පුළුවන්. අදට වුවත් බොහෝ තැන් වලදී ශ්‍රමිකයන් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නයට පිළියමක් ලෙසයි. 

ඉහත වගු වෙත අපි නැවත අවධානය යොමු කරමු. පළමු වගුව ඇසුරෙන් අප විසින් දෙවන වගුව පිළියෙළ කළේ වරෙකදී නිෂ්පාදන සාධක වල එක් ඒකකයක් පමණක් වෙනස් වන්නේය යන පදනමින්. (K,L) = (10,10) සිට (K,L) = (10,9) කරා යද්දී Y ඒකක 6කින් අඩු වෙනවා. ඒ කියන්නේ එක් ශ්‍රම ඒකකයක් අඩු කළොත් නිෂ්පාදනය ඒකක 6කින් අඩු වෙනවා. ඒ නිසා, ශ්‍රමිකයෙක්ට වැටුප් සේ ඒකක 6ක් හිමි නොවෙනවානම් සහ ඇයට වෙනත් විකල්ප තිබෙනවානම් සමාගමට ඇගේ වැටුප් ලෙස ඒකක 6ක් දී ඇය වෙනත් තැනකට යන එක වලක්වා ගන්න සිදු වෙනවා. අනෙක් අතට ඇය ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටිනවානම් එය කළ නොහැකියි. ඇයට අස් වී යන්න ඉඩ අරින්න වෙනවා. පසුව ඒ වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

ප්‍රාග්ධනය සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්. (K,L) = (10,10) සිට (K,L) = (9,10) කරා යද්දී Y ඒකක 4කින් අඩු වෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියා විසින් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස ඒකක 4කට වඩා ඉල්ලා සිටිනවානම් ඔහුට තමන්ගේ ප්‍රාග්ධනය අරගෙන කැමති තැනකට යන්න ඉඩ දී වෙනත් ප්‍රාග්ධන හිමියෙක් හොයා ගන්න පුළුවන්. නමුත් එසේ කළ හැක්කේ වෙනත් ප්‍රාග්ධන හිමියන් ඕනෑ තරම් සිටින පසුබිමකදී පමණක් බවද පැහැදිලි විය යුතුයි.

ඉහත අවස්ථා වලදී අප විසින් උපකල්පනය කළේ ශ්‍රම ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ශ්‍රමිකයන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, වරකදී ශ්‍රමිකයන් දෙදෙනෙකු ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. මේ අයුරින්ම, ප්‍රාග්ධනය සම්බන්ධව අපේ උපකල්පනය වුනේද ප්‍රාග්ධන ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ප්‍රාග්ධන හිමියන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන් දෙදෙනෙකු එක් වර ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. නමුත් සැබෑ ලෝකයේ තත්ත්වය බොහෝ විට මෙසේ නොවන බව අප අත්දැකීමෙන් දන්නවා.

අපි හිතමු ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති එක් පුද්ගලයෙක්ට කියා. දැන් මේ පුද්ගලයාට එක වර තමන්ගේ ප්‍රාග්ධන ඒකක 9ම ඉවත් කර ගත හැකියි. අඩු වශයෙන් එසේ කරන බවට තර්ජනය කළ හැකියි. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (1,10) කරා යද්දී Y ඒකක 60කින් අඩු වෙනවා. එවිට ශ්‍රම ඒකක 10 හා ඉතිරි ප්‍රාග්ධන ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 40ක නිෂ්පාදිතයක් පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත හැකි වෙනත් විකල්පයක් නැත්නම්, ප්‍රාග්ධන හිමියාව රඳවා ගැනීම සඳහා ඔහුට ඒකක 60කට නොවැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ ඇරීමෙන් අනෙක් අයට පාඩුවක් වෙන්නේ නැහැ. 

මේ අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රනය තුළම ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති පුද්ගලයාගේ ප්‍රතිලාභ ඒකක 40 සිට 60 දක්වා වැඩි විය හැකියි. එහිදී ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යන බව පැහැදිලියි. ශ්‍රමිකයන්ට වෙනත් විකල්පයක් නැත්නම්, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු වැටුපකට සේවය සලසන්න සිදු වෙන්න පුළුවන්. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම සේ හඳුනා ගැනෙන්නේ මීට ආසන්න දෙයක්.

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වෙළඳපොළ තරඟයට ඉඩ ලැබීම මත මිස වෙළඳපොළට ඉඩ ලැබීම මත ශ්‍රමිකයාගේ තත්ත්වය යහපත් නොවන බවයි. ධනවාදී පරමාදර්ශය විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ තරඟයට අවස්ථාව සැලසීම මිස වෙළඳපොළට අවස්ථාව සැලසීම නෙමෙයි. වෙළඳපොළට අවස්ථාව සැලසීම එහි අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුවත් එය අතරමැදි ඉලක්කයක් මිසක් පරමාදර්ශී තත්ත්වයක් නෙමෙයි. ලංකාව වැනි රටවල් විසින්ද වෙළඳපොළට ඉඩ දී ඇතත්, ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් නොවීමට හේතුව මේ වෙනසයි. 

ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයන් යටතේ එම ප්‍රතිලාභ හිමි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මාක්ස්වාදී හා මාක්ස්වාදී නොවන සමාජවාදය තුළ යෝජනා වී තිබෙන ජනප්‍රිය විකල්පයක් වන්නේ ශ්‍රමිකයන් සංවිධානය වීමයි. වෘත්තීය සමිති හරහා සිදු වන්නේ මෙයයි. වෘත්තීය සමිතියක් තුළ ශ්‍රමිකයන් ඒකරාශී වූ විට සිදු වන්නේ කුමක්ද?

නැවත අපි ඉහත උදාහරණයටම එමු. ප්‍රාග්ධනයේ ඒකාධිකාරී බලය උපයෝගී කර ගනිමින් ප්‍රාග්ධනයේ කොටස ලෙස 40ක් නොව 60ක් ලබා ගන්නේයැයි අපි සිතමු. මෙයට ප්‍රතිරෝධය දක්වමින් ශ්‍රමිකයින් සංවිධානය වී ශ්‍රම ඒකක 9ක් එකවර ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේයැයි සිතමු. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (10,1) කරා යද්දී Y ඒකක 75කින් අඩු වෙනවා. එවිට ප්‍රාග්ධන ඒකක 10 හා ඉතිරි ශ්‍රම ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 25ක නිෂ්පාදිතයක් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියාට තමන්ගේ ප්‍රතිලාභ ලෙස ඒකක 25ක් වුවත් භාර ගන්න සිදු වෙනවා. මෙය ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ සේ ලැබිය යුතු ඒකක 40ටත් වඩා අඩුයි.

මාක්ස්වාදයේ අවසාන ඉලක්කය ශ්‍රමිකයන් සංවිධානය වී රාජ්‍ය බලය ලබා ගැනීම හරහා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ නැත්තටම නැති කිරීමයි. මෙය අසාර්ථක ඉලක්කයක් බව මා පැහැදිලි කර අවසන්. එහෙත්, ප්‍රාග්ධනයේ ඒකාධිකාර හමුවේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමිකයින් සංවිධානය වීම අසාර්ථක දෙයක් බව එයින් අදහස් වන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් ශ්‍රමිකයින් සංවිධානය වී තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම කෙටිකාලීන අතරමැදි විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ඇයි?

මෙහිදී ප්‍රතිඵලය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මත. හෙට්ටු කිරීම් වල වාසි තීරණය වන්නේ සංවිධාන ශක්තිය මත. ශ්‍රමිකයින් සංවිධානය වූ තරමට ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව වැඩි වනවා වගේම ඊට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. එහෙත්, මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ද සංවිධානය වෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ශ්‍රමිකයන්ට වඩා ප්‍රාග්ධන හිමියන්ට සංවිධානය වෙන්න ලේසියි. 

ශ්‍රමිකයන් සංවිධානය වෙලා මොන තරම් දේවල් ලබා ගත්තත් ඒ දේවල් වැඩි කල් එලෙසම තියා ගන්න බැරි බව තේරුම් ගන්න ලංකාවෙන්ම වුනත් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ශ්‍රමිකයන්ගේ එකමුතු ඉතා ඉක්මණින් බිඳෙනවා. ප්‍රාග්ධන හිමියෝ නැවතත් තමන්ගේ කොටස ලබා ගන්නවා. මෙය දිගටම චක්‍රයක් ලෙස සිදු වෙනවා. වෘත්තීය සමිති නායකයින් බිලී බා ගැනීම වගේ දේවල් වෙන්නෙත් මේ වගේ පසුබිමක.

අතරමැදි විසඳුම් විදිහට ශ්‍රමිකයන්ට සංවිධානය වී වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි වුවත් ඒ මගින් ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වී තිබෙන ආකෘතිමය ගැටළුව විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් ලෙස යෝජනා වූ මාක්ස්වාදී විකල්පයත්  ප්‍රායෝගිකව අසාර්ථක වෙලා තිබෙනවා. එහෙත් ධනවාදී විකල්පය එලෙසම අසාර්ථක වී නැහැ. ඇස් ඇර බැලුවොත් පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වය වඩාත්ම යහපත්ව පවතින්නේ වඩාත්ම ධනවාදී රටවලයි. එම රටවල නිරන්තර ශ්‍රමික අරගල සිදු වන්නේද නැහැ.

හේගලියානු අර්ථයෙන් ගත්තොත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රාග්ධන හිමියන් විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්න කරන උත්සාහය තුළම එම ලාබ අහෝසි වී යාමේ යාන්ත්‍රනයද තිබෙනවා. නමුත්, මෙය සිදුවන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුමෙන් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් අතරම සිදුවන ගැටුමෙන්. ඒක ඉක්මණින් වෙන්නනම් එක් අදියරකදී ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය "සූරාකන්න" ඉඩ දෙන්න වෙනවා. එයට බාධා වන තරමට මේ ක්‍රියාවලිය සිදු වන එක මන්දගාමී වෙනවා. එක පැත්තකින් බැලුවොත් මෙය අවසන් යහපත වෙනුවෙන් "වියදම් අධික" සමාජවාදී විප්ලවයක මිල ගෙවීම වැනිම අදහසක්. 

Wednesday, May 19, 2021

ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය


කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකය වුනේ බ්‍රිතාන්‍යයයි. පසුව ඇමරිකාව එතැනට ආවා. එහෙත්, මේ කුසලානය ඇමරිකාවෙන් චීනය වෙත මාරු වෙමින් තිබෙන බව, ඇතැම් විට දැනටම මාරු වී තිබෙන බව, පැහැදිලි කරුණක්. ඇතැම් අය මෙය ධනවාදය හා සමාජවාදය සම්බන්ධ සංසන්දනාත්මක කරුණක් සේ දකිනවා. විශේෂයෙන්ම මා පෙන්වා දුන් ධනවාදයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස සමඟ නොගැලපෙන නිරීක්ෂණයක් සේ දකිනවා. ධනවාදය හා සමාජවාදය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති පැත්තක තිබෙන කරුණක් නොවූවත්, එම සංසන්දනය පැත්තකින් තියා මේ ගැන පහසුවෙන්ම පැහැදිලි කළ හැකියි.

සමාජවාදී පරමාදර්ශය ධනවාදී පරමාදර්ශයට වඩා සාධනීය නොවන්නේ ඇයි කියන එක මා මේ වන විට ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කර තිබෙනවා. අප ලියන දේ කියවන සීමිත පිරිස අතරින් සමාජවාදය පිළිබඳ යම් විශ්වාසයක් තබන, එහෙත් ආගමක් සේ මාක්ස්වාදය නොඅදහන කිහිප දෙනෙකු විසින් මෙතෙක් වරින් වර මතු කළ ප්‍රශ්න සියල්ලටම අප විසින් පැහැදිලි හා විස්තරාත්මක පිළිතුරු සපයා තිබෙනවා. එහෙත් එවැනි පැහැදිලි කිරීම් වලින් ආගමික අන්තවාදයක සිටින්නෙකුටනම් වැඩක් වෙන එකක් නැහැ.

උදාහරණයක් විදිහට මේ අදහස ගැන සිතන්න.

"පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ."

ධනවාදය හා මාක්ස්වාදය සසඳන්නනම් අප එවැනි සැසඳීමක් කළ හැකි කිසියම් ආරම්භක ස්ථානයක් සොයා ගත යුතුයි. සමාජවාදීන් සේ තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. සෝවියට් දේශය පස් අවුරුදු සැලසුම් හැදුවේ භෞතික සංවර්ධනය ඉලක්ක කර ගෙනයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ සමාජවාදී රාජ්‍යයක අරමුණක් සේ සඳහන්ව තිබෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයකට යාමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි. පෞද්ගලික දේපොළ අයිතිය බැහැර කළත්, සමස්තයක් ලෙස සමාජවාදය තුළ පුද්ගල කැමැත්තට ඉඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඓතිහාසික භෞතිකවාදය විශ්වාස කරන්නෙකු ධනවාදය සලකන්නේ සමාජවාදය තරම් දියුණු නැතත් ඊට පෙර එළැඹෙන දියුණු අදියරක් ලෙසයි. මේ අරමුණු වලින් බැහැර නොවූ සමාජවාදියෙකු සමඟ ධනවාදය ගැන කතා කළ හැකි ආරම්භක ස්ථානයක් තිබෙනවා. 

භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස පැත්තකට දමා කෙසේ හෝ "පංති රහිත" සමාජයක් හැදීමේ අරමුණක සිටින අයෙකු සමඟ සංවාදයක් ඇති කරගත හැකි ආරම්භක ස්ථානයක් හොයා ගන්න අමාරුයි තමයි. එවැන්නෙකුට අනුව වෙනත් විදිහකට හිතන හැම කෙනෙක්ම මුලා වී සිටින අයයි. ඔවුන්ට තේරෙන දෙය ලෝකයේ අනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් අයගේ කැමැත්ත වැඩක් නැහැ. අනෙක් අයගේ කැමැත්තෙන් වැඩක් නැති නිසා අනෙක් අයට භෞතික සංවර්ධනය අවශ්‍ය වීම වැදගත් දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පංති රහිත සමාජයක් හදන එකයි. එහි භෞතික සංවර්ධනය හෝ මිනිස් නිදහස නොමැති වීම ප්‍රශ්නයක් නෙමෙයි. 

භෞතික සංවර්ධනය හා පුද්ගල නිදහස වැදගත් සේ නොසලකන වෙනත් අය සිටිනවා. ඇතැම් ආගමික අදහස් වලින් උගන්වන්නේ භෞතික සම්පත් අතහැරීම ගැනයි. තවත් ආගමික අදහස් පුද්ගල කැමැත්ත දේව කැමැත්තකට යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි අදහස් තිබීමේ කිසිදු වැරැද්දක් නැතුවා වගේම එම අදහස් ධනවාදය සමඟ ගැටෙන්නේද නැහැ. එහෙත් මෙවැනි අදහස් දරන අයෙකු එම අදහස් හා එකඟ නොවන අනෙකුත් අය මත තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පටවන්නට ගිය විට ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකියි. 

මෙවැනි අය ලෝකය වෙනස් කළ යුතු නියම විදිහ ගැන අනෙක් කාටවත් නැති සුවිශේෂ අවබෝධයක් තමන්ට තිබෙනවායැයි සිතා සිටින ශාස්තෘන් පිරිසක් වනවාට අමතරව ලෝකය වෙනස් කිරීමේ සුවිශේෂී වගකීමක් තමන් මත පැවරී ඇති බවද සිතනවා. හැබැයි ඔවුන්ට මෙවැනි අදහස් දරමින් ජිවත් වෙන්න හැකි වී තිබෙන්නේත් අනෙක් මිනිසුන් මිනිස් නිදහස හා පුද්ගල කැමැත්ත අගය කරන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ වගේ අය අවශ්‍ය නැති බව කියන්නේ වෙනත් අයගේ පුද්ගල කැමැත්තයි. ඔවුන්ට තමන්ගේ පුද්ගල කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. 

ඔය වගේ ආගමික අන්තවාදී අදහස් ගැන වැඩිපුර කතා කරන එක පසුවට තියලා අපි නැවත චීනය වෙත එමු. චීනයේ හෝ වෙනත් රටක ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද? 

ආර්ථිකයක ප්‍රමාණය නිර්ණය කරන සාධක තුනක් අපි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රමය (L), ප්‍රාග්ධනය (K) සහ මේ නිෂ්පාදන සාධක දෙක නිෂ්පාදිතයක් (Y) බවට හරවන ඵලදායීතා සංගුණකය (A).

Y = F(K,L) = AKαLß 

මතක තියා ගන්න දැන් අප කතා කරන්නේ ආර්ථික වර්ධනය ගැන මිසක් එහි ඵලය බෙදිය යුතු ආකාරය ගැන නෙමෙයි. ඒ නිසා මෙය ධනවාදයට හෝ සමාජවාදයට සෘජුව අදාළ නැති තාක්ෂනික කරුණක්.

ආර්ථික වර්ධනය කියා කියන්නේ Y වැඩි කරන එක. එය කරන්නනම් A, K හෝ L වැඩි කළ යුතුයි. අපි මේ එකින් එක ගැන වැඩිපුර විමසා බලමු. L හෙවත් ශ්‍රම බලය තීරණය කරන පළමු සාධකය කිසියම් රටක ජනගහණයේ ප්‍රමාණයයි. ජනගහණය වැඩි වූ තරමට ශ්‍රම බලකායද වැඩි වෙනවා. එහෙත්, ජනගහණයේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය, රැකියා නියුක්තියේ ප්‍රමාණය, කාන්තාවන් කෙතරම් දුරට රැකියා වල නිරත වෙනවාද යන්න ආදී සංස්කෘතික හා සමාජයීය කරුණු ආදියද ශ්‍රම බලකාය කෙරෙහි බලපානවා. ඒ නිසා, ජනගහණය සමාන රටවල් දෙකක ශ්‍රම බලකායේ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. 

දෙවනුව වසරකට එක් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය පැය ගණන. වැඩ කරන පැය ගණන වැඩි වෙද්දී ශ්‍රම බලය වැඩි වන බව තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. සම්මත නිවාඩු දින ගණන, අර්ධකාලීන රැකියා කරන ප්‍රමාණය ආදී කරුණු මත මෙම පැය ගණන වෙනස් විය හැකියි.

තෙවනුව, වඩාත්ම වැදගත් කරුණ. ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය. මානව ප්‍රාග්ධනය කියා කියන්නේත් මෙයටයි. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පළපුරුද්ද, මනා සෞඛ්‍යය, වෘත්තීය ආචාර ධර්ම භාවිතය ආදී බොහෝ කරුණු මත ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ශ්‍රම බලය කියා කියන්නේ මේ සාධක තුනේම ගුණිතයයි.

ශ්‍රම බලය (L) වැඩි වන විට නිෂ්පාදිතය (Y) වැඩිවන බව අප දන්නවා. එහෙත්, L වැඩිවන අනුපාතයටම Y වැඩි වෙන්නේ නැහැ. L වැඩි කර ගෙන යද්දී Y වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. හරියට මේ වගේ. 


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි ශ්‍රම බලය (L) දහ ගුණයකින් වැඩි වෙද්දී Y වැඩි වී තිබෙන්නේ හතර ගුණයකින්. මොන විදිහකින් හරි ආර්ථිකය හතර ගුණයකින් ප්‍රසාරණය වෙලා තිබෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජිවන තත්ත්වය හතර ගුණයකින් ඉහළ ගියා කියන එක නෙමෙයි. එය තීරණය වන්නේ L වැඩි වුනේ කොහොමද කියන එක අනුවයි. 

ශ්‍රම බලය (L) වැඩි වුනේ රටේ ජනගහණය වැඩි වීම හා එයට සමානුපාතිකව ශ්‍රම බලකාය ඉහළ ගිය නිසා කියා අපි හිතමු. දැන් රටේ ජනගහණය 10 ගුණයකින් වැඩි වී තිබුණත් ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4 ගුණයකින් පමණයි. ඒ නිසා, එක් අයෙකුට ලැබෙන කොටස 40%ක් දක්වා අඩු වෙලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා වුවත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ ගිහින්.

අපි හිතමු රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වූ නිසා ශ්‍රම බලය ඉහළ ගියා කියලා. කලින් දවසකට පැයක් වැඩ කළ කෙනෙක් දැන් පැය දහයක් වැඩ කරනවා. (මෙය එතරම් ප්‍රායෝගික නැති පරිකල්පනීය උදාහරණයක්. වෙන දේ පැහැදිලිව පෙන්වන්න දහ ගුණයකින් වැඩි කළත් වැඩ කරන පැය ගණන සියයට දහයකින් වගේ වැඩි වුනහම වෙන්නෙත් ඕකම තමයි.) 


දැන් එක් ශ්‍රමිකයෙකුට ලැබෙන කොටස හතර ගුණයකින් වැඩි වෙලා. නමුත්, වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ පැයකට ලැබෙන ආදායම 40%ක් දක්වා අඩු වෙලා. කලින් තරමටම නරක තත්ත්වයක් නොවුනත් හොඳ තත්ත්වයක් කියා කියන්න අමාරුයිනේ. කෙනෙක් මෙය හොඳ තත්ත්වයක් සේ සලකන්න පුළුවන්. තවත් කෙනෙක් එසේ නොසලකන්න පුළුවන්. සමහර විට එක් අයෙක් රැකියා කළ නිවෙසක දෙදෙනාම රැකියා කරන්න පටන් ගැනීම නිසාත් මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. දැන් පවුල් ඒකකය විසින් යොදවන සමස්ත ශ්‍රම කාලය දෙගුණ වුනත් එහි ප්‍රතිලාභ දෙගුණ වී නැහැ.

රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී, වැඩ කරන පැය ගණනත් වැඩි නොකර, ශ්‍රම බලය වැඩි කර ගන්න පුළුවන්. ඒ මා පෙර විස්තර කළ තෙවැනි ක්‍රමයට මානව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන්. එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමෙන්. මෙහිදී සිදු වන දෙය කලින් අවස්ථා වලදී සිදුවන දෙයම නෙමෙයි. ශ්‍රම බලය දහ ගුණයකින් වැඩි වීම නිසා Y හතර ගුණයකින් වැඩි වෙනවා. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රම-කාලය වැඩි වී නැති නිසා එක් ශ්‍රමිකයෙකුගේ ජිවන තත්ත්වයද හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. අවස්ථා තුනේදීම රටේ ආර්ථිකය එක තරමටම වර්ධනය වී තිබුණත් රටේ මිනිසුන්ගේ ජිවන තත්ත්වය වර්ධනය වී (හෝ  අවවර්ධනය වී) තිබෙන්නේ එකම ආකාරයකින් නෙමෙයි. 

ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනෙන්නේ ශ්‍රම බලය වැඩි කරගත යුතු හොඳම ආකාරය මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම බවයි. මේ ප්‍රකාශය ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා බරක් දමා තිබෙන බවට මා කලින් ලිපියක පෙන්වා දී තිබෙන කරුණ සමඟ ගලපන්නේ කොහොමද? ඉතා පැහැදිලිවම මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සාධනීය දෙයක්. නමුත් ප්‍රශ්නය වන්නේ එහි පිරිවැයක්ද තිබීමයි. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවිය යුතු වුවත් එය කළ යුත්තේ එහි ආන්තික ප්‍රතිලාභ පිරිවැය නොඉක්මවන මට්ටමක් දක්වා පමණයි. කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියා කියනවනේ!

තුබූ තැනක සොර සතුරන් ගත   නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල         නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු             රැකෙනා

කවුරුත් වගේ ඔය කවිය අහල ඇති. මේ කවියෙන් කියන්න හදන්නේ කෙනෙකුට කළ හැකි සුරක්ෂිතම ආයෝජනය මානව ප්‍රාග්ධනය බවයි. පෞද්ගලික ප්‍රාග්ධනයේ සුරක්ෂිතතාව පිළිබඳව කිසිදු සහතිකයක් නැති සමාජයක මානව ප්‍රාග්ධනය වඩා හොඳ ආයෝජනයක් වුවත් එය වුවත් සොරකම් කළ නොහැකි, ස්වභාවික විපත් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත, රජයට පැහැර ගත නොහැකි දෙයක් නෙමෙයි. භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටත් ඔය අවදානම් පොදුයි. ඒ වගේම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් කාලයත් සමඟ ක්ෂය වී යනවා. භෞතික ප්‍රාග්ධන සංචිත වගේම මානව ප්‍රාග්ධන සංචිතත් නඩත්තු කළ හැක්කේ ක්ෂය වන ප්‍රමාණය දිගින් දිගටම ප්‍රතිපූරණය කිරීමෙන් පමණයි. මේ සඳහා වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නම වෙනවා.

ඉහත පෙන්වූ පරිදි, ජනගහණය වැඩි වෙන්නේ නැත්නම්, වැඩ කරන කාලය වැඩි වෙන්නේත් නැත්නම්, ශ්‍රම බල සංචිතය පවත්වා ගැනීම සඳහා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන්න වෙනවා. නිෂ්පාදිතය වැඩි කර ගන්නනම් එසේ ක්ෂය වීම ප්‍රතිපූරණය කරනවාට වඩා අමතර ආයෝජනයක් කළ යුතුයි. එසේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ක්ෂය වීම ඉක්මවන ආයෝජන කිරීමෙන් අනාගත නිෂ්පාදිතය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ සඳහා K හා A අඩු නොවන බවටද වග බලා ගත යුතුයි.

නමුත් කාලයත් සමඟ භෞතික ප්‍රාග්ධන සංචිතද ක්ෂය වන බව අප දන්නවා. ඒ නිසා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන අතරම ක්ෂය වන භෞතික ප්‍රාග්ධනයද ප්‍රතිපූරණය කළ යුතු වෙනවා. ඔය දෙකම කරන්න වෙන්නේ වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර ගැනීමෙන්. නිෂ්පාදිතය බෙදී යන්නේ සමාජවාදී ක්‍රමයටද නැත්නම් ධනවාදී ක්‍රමයටද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපට මේ කතා කළ දේවල් ඇසුරෙන් L හෝ K වැඩි කර Y වැඩි කර ගැනීමේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. අප මෙතෙක් කතා නොකළ ස්වභාවික සම්පත් වලින් පටන් ගනිමු. ලෝකයේ රටවල ආර්ථික වර්ධනය ස්වභාවික සම්පත් හොයා ගැනීම මත තීරණය වුනු කාලයක් තිබුණා. ස්වභාවික සම්පත් අයිතිය වෙනුවෙන් යුද්ධ ඇති වුනේ ඒ කාලයේදී. දැනටත් මෙය සිදු නොවනවා නෙමෙයි. එහෙත්, ස්වභාවික සම්පත් කියන්නේ තව දුරටත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් නෙමෙයි.

ස්වභාවික සම්පත් අලුතින් සොයාගත් විට K වැඩි වෙනවා. මේ ක්‍රමයට ආර්ථික වර්ධනය පවත්වා ගන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් හොයා ගත යුතුයි. නමුත් එය කළ හැකි දෙයක් නෙමෙයි. අලුතෙන් හොයා ගත හැකි ස්වභාවික සම්පත් වල සීමාවක් තිබෙනවා. දැන් ලෝකය ඒ සීමාවට ඇවිත්. අඟහරු ජනාවාස කිරීම වගේ ලොකු දෙයක් කළොත් මිසක් ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් හොයා ගැනීම මගින් කිසිම රටකට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගන්න බැහැ.

ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසා ප්‍රාග්ධනය වැඩි කර ගන්නනම් අතිරික්තයෙන් කොටසක් ඉතිරි කළ යුතුයි. වැඩි ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත ඉහළ යනවා. අඩු ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත පහළ යනවා. හැබැයි මේ දෙකම සිදුවන සීමාවක් තිබෙනවා. ඉතිරි කිරීම් වැඩි වී ප්‍රාග්ධන සංචිත ඉහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වී ප්‍රාග්ධන සංචිත පහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව පහළ යනවා. මොකද හැම විටම ක්ෂය වෙන්නේ තිබෙන ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක්. 

මේ හේතුව නිසා රටක ඉතිරි කිරීම් අනුපාතය කොපමණ වුවත්, ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට පැමිණ ස්ථාවර වෙනවා. ඒ මට්ටමේදී ජාතික ඉතිරි කිරීම් ක්ෂය වන ප්‍රාග්ධනයට හරියටම සමානයි. ඉතිරි කිරීම් අනුපාතය හෝ ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය වෙනස් වුනේ නැත්නම් රටක ප්‍රාග්ධන සංචිතය ගතික සමතුලිතතාවයකට එනවා. රටේ නිෂ්පාදිතය හා ප්‍රාග්ධන සංචිත අතර අනුපාතය නියත මට්ටමකට එනවා. ඒ නිසා, K වැඩි කරලා Y වැඩි කරන්න බැහැ. එහෙත්, මෙවැනි සමතුලිතතාවයකට එන තුරු යම් කාලයක් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකියි. 

අනෙක් පැත්තෙන් L වැඩි කර ගැනීම සඳහා වැඩ කරන පැය ගණන වැඩි කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. මානව සම්පත් වැඩි කර ගැනීම සඳහා ඉතිරි කිරීම් යොදා ගත යුතුයි. එයද අසීමිත ලෙස කළ නොහැකියි. ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමේදී වගේම ගතික සමතුලිතතාවයකට එනවා. ජනගහනය වැඩි වන විට L වැඩි වුවත් එම ක්‍රමයේදී රටේ ආර්ථිකය ප්‍රසාරණය වන නමුත් රටේ පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය නරක අතට මිස හොඳ අතට හැරෙන්නේ නැහැ. ඒ නිසා, මෙයත් අතීතයට අයත් දෙයක්. අවසාන වශයෙන් K හෝ L වැඩි කිරීමෙන් Y වැඩි කළ හැකි වුවත් එය කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. මේ මගින් රටකට ලොකු ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගන්න අමාරුයි. 

වර්තමාන සන්දර්භයේ කිසියම් රටකට ඉහළ ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගත හැක්කේ A වැඩි කර ගැනීමෙන්, ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, එහෙමත් නැත්නම් ඵලදායිතාවය වැඩි කර ගැනීමෙන්, පමණයි. 

ඵලදායිතාවය කියා කියන්නේ නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් හෝ ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් යොදා ගැනීම නෙමෙයි. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කිරීමත් නෙමෙයි. ඒ දෙක ගැනම අපි දැනටමත් කතා කරලා ඉවරයි. ඵලදායිතාවය කියා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කර, අඩු ශ්‍රමයක් යොදවා, වැඩි නිෂ්පාදනයක් කරන එකටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකයා කියා කියන්නේ ප්‍රාග්ධන හිමියාට නෙමෙයි. ප්‍රාග්ධන හිමියා විසින් ලබා ගන්නේ තමන් යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ. ව්‍යවසායකයෙකු විසින් කරන්නේ තමන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන එකයි. ඇය එම ලාබ ලබන්නේ ප්‍රාග්ධන හිමියාට වගේම ශ්‍රමිකයාටත් ඔවුන්ගේ කොටස් වෙන් කර දීමෙන් පසුවයි. 

ධනවාදී පරමාදර්ශය තුළ ප්‍රාග්ධන හිමියෙකුට "ඕනෑ තරම්" ලාබ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ක්‍රමය විසින්ම ලැබිය හැකි ලාබ සීමා  කරනවා. එහෙත්, ධනවාදය විසින් ව්‍යාවසායකයෙකුගේ ලාබ එලෙස සීමා කරන්නේ නැහැ. නිර්මාණශිලිත්වයට ඕනෑ තරම් දුර යා හැකියි. 

අපි මේ වගේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයකින් පටන් ගනිමු.

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ පවතින තාක්ෂනය යොදා ගනිමින් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක දහයක් නිපදවිය හැකි බවයි. එම ඒකක දහය බෙදා ගන්නේ කොහොමද කියන එක ද්විතියික කාරණයක්. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් හිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී කවුරු හෝ කෙනෙක් වඩා කාර්යක්ෂම තාක්ෂණයක් හොයා ගන්නවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = 20K0.4L0.6 

දැන් මේ පුද්ගලයාට පමණක් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක විස්සක් නිපදවිය හැකියි. එයින් ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් ලබා දීමෙන් පසුව මේ ව්‍යවසායකයාට ඉතිරි ඒකක දහය තියා ගන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට හෝ ප්‍රාග්ධන හිමියෙකුට ඊට වඩා දෙයක් ඉල්ලා හෙට්ටු කරන්න බැහැ. මොකද වෙනත් කිසිවෙකුගෙන් ඔවුන්ට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ව්‍යවසායකයෙකුට මෙවැනි ලොකු ලාබයක් ලැබිය හැක්කේ අලුත් තාක්ෂනය හෝ නිෂ්පාදන ක්‍රමවේදය හොයා ගෙන කෙටිකලක් යන තුරු පමණයි. ඇයගේ ලාබ දකින අනෙක් සියලුම නිෂ්පාදකයන් විසින්ද ඉතා ඉක්මණින් තමන්ගේ වාහන වල චතුරශ්‍රාකාර රෝද රවුම් කර ගන්නවා. එවිට ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධන හිමියන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප අවස්ථා හමු වෙනවා. මෙය මුලින්ම නිරීක්ෂණය කරන ශ්‍රමිකයන් හා ප්‍රාග්ධන හිමියන් විසින් එක්කෝ තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් තැනකට විතැන් කරනවා. එසේ නැත්නම් ඉන්න තැනම සිට හෙට්ටු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය 6 සිට 12 දක්වාත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 සිට 8 දක්වාත් වැඩි වෙනවා. 

ව්‍යවසායකයෙකුට ලාබ ලැබිය හැක්කේ මෙය සිදුවීමට ගත වන කාලය තුළ පමණයි. අලුත් දැනුම සමාජයීය දැනුමක් වූ විට නැවතත් නිෂ්පාදිතය බෙදී යන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පමණයි. මෙහිදී රටේ සමස්ත නිෂ්පාදිතය වැඩි කරන්නේ ව්‍යවසායකයා විසින් මිස ශ්‍රමිකයා හෝ ප්‍රාග්ධන හිමියා විසින් නෙමෙයි. ඔවුන්ගේ දායකත්වයක් නැතුවා නෙමෙයි. එහෙත් එය සීමිතයි. මේ එක් එක් කොටස ගණන් හිලවු ඇතිව පෙන්වා දිය හැකි දේවල් මිස වියුක්ත සංකල්ප පමණක් නෙමෙයි.

තාක්ෂනය නිරන්තරයෙන් දියුණු වෙන්නේ ධනවාදී ක්‍රමයකදී පමණක් නෙමෙයි. රජයේ මෙහෙයවීම යටතේ සෝවියට් දේශය විසින් බොහෝ දේ සොයා ගත්තා. නිර්මාණය කළා. සාමාන්‍යයෙන් මාක්ස්වාදී අදහස වන්නේ යම් පුද්ගලයෙකු විසින් අලුත් යමක් නිර්මාණය නොකළොත් වෙනත් කවුරු හෝ කෙනෙකු විසින් ඒ දෙය කරනු ඇති බවයි. ඒ පදනම මත නිර්මාපකයාට නිර්මාණයේ ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. ධනවාදය තුළ, අවශ්‍ය පමණ ලාබ ලබා ගැනීමේ අවස්ථාවක් දී, ව්‍යවසායකත්වය දිරිමත් කෙරෙනවා. එහෙත් ධනවාදය තුළ ව්‍යවසායකයෙකුට මේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ කෙටි කාලයකට පමණයි. එයින් පසුව එය සමාජයීය ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක බවයි. 

පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීමේ අරමුණින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත හදද්දී රාජ්‍ය අංශය මුල් වී සයිනෝෆාර්ම් එන්නත හැදුවා. දෙකම වැඩ කරනවා. එහෙත් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත වඩා ඉක්මණින් ආවා. ඒ වගේම එය වඩා සාර්ථක එන්නතක්. 

මෙහි කතා කළ පසුබිම් කරුණු මත පදනම්ව අපට චීන ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත් වීම ගැන කතා කළ හැකියි. එය වෙනත් ලිපියකට ඉතිරි කරමු. අදට ඇති.

Friday, May 14, 2021

අඹ කැඩීම හා අඹ බෙදීම


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. එවිට තවත් අමතර කරුණු ඉදිරිපත් කළ හැකියි.

මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු වලටද පිළිතුරු තිබෙනවා. එහෙත් කවුරු හෝ විසින් පළමුව නිසි පිළිතුරක් ලබා දෙන තුරු, අප විසින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කර අප විසින්ම පිළිතුරුද සපයන්න අප අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. 

ආදායම් විෂමතා තිබීම මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ දකින අයෙකු එයින් පියවරක් පසුපසට ගොස් ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි කියන එක පැහැදිලි කළ යුතුයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ අප විසින්ද හඳුනා ගන්නා නමුත් ඒ ආදායම් විෂමතා තිබීම යන කරුණ මතම පදනම්ව නොව එහි ද්විතීයික ප්‍රතිඵල මත පදනම්වයි. ආදායම් විෂමතා තිබීම නිසා ඇති වන හෝ ඇති විය හැකි ප්‍රශ්න වලට විසඳුම් ලැබේනම් ආදායම් විෂමතා තිබීම තිබීම ප්‍රශ්නයක් නොවනවාක් මෙන්ම බොහෝ හේතු මත ආදායම් විෂමතා තිබීම සාධනීය දෙයක් ලෙස හඳුන්වන්නද පුළුවන්.

වසර හයකට ආසන්න කාලයක් අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටියා. එසේ සමාජවාදය විවේචනය කිරීමේ පදනම මේ වන විට පැහැදිලි කර අවසන්ව තිබෙනවා කියා මම හිතනවා. අපේ සමාජවාදී විරෝධය ජනතා විමුක්ති පෙරමුණ විසින් අසූඅට අසූනවය කාලයේ සිදු කළ බස් ගිණි තැබීම හා මිනී මැරීම ආදිය වැනි දේවල් මත පදනම් වූ සරල විරෝධයක් නොවන බව කාට වුවත් පැහැදිලි විය යුතුයි.

අප සමාජවාදයට එරෙහිව ලියද්දී ඇතැම් අය මෙහි පැමිණ ධනවාදයට හා ඇමරිකාවට එරෙහිව වට්ටෝරු ප්‍රතිචාර දමනවා. වැරදි කරුණු ඉදිරිපත් වන විට අපට වෙලාව තිබෙන අවස්ථා වලදී මේ වට්ටෝරු ප්‍රතිචාර වලටද ප්‍රතිචාර සපයා ඇතත්, අපට ධනවාදය හෝ ඇමරිකාව සමඟ අනුරාගී බැඳීමක් නැති බවද කිව යුතුයි. අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ කරුණු හා තර්ක මත පදනම්වයි. ඇමරිකාව ගැන බොහෝ විට කතා කරන්නේ සංසන්දනයක් කිරීමක් කළ යුතු වූ විටයි. ධනවාදය හා ඇමරිකාව කියන්නේ කරුණු දෙකක්. ඇමරිකාවේ සිදුවන හැම දෙයක්ම සිදු වන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. එය සමාජවාදයට සාපේක්ෂව කාර්යක්ෂමයි. එය ඉතාම පැහැදිලියි. එහෙත් කාර්යක්ෂමතාවය හැම විටම සමාජයක එකම ඉලක්කය විය යුතු නැහැ. වෙනත් සමාජයීය අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කළ යුතු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ධනවාදයේ සීමාවන් තිබෙනවා. මේ සීමාවන් ගැන කතා කරන්න කලින් සමාජවාදය පැත්තකට කර තියන්න වෙනවා. 

ධනවාදය පවතින තත්ත්වය එලෙසම නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය තුළ සමාජ ප්‍රගමනය සිදු වන්නේ නිරන්තරයෙන්ම පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගැනීම හරහායි. එහි ආරම්භක පියවර ලෙස පවතින තත්ත්වයේ අඩුපාඩු හඳුනාගෙන විවේචනය කළ යුතුයි. අප විසින්ද මෙය කරනවා. එහෙත් ඒ සමාජවාදී ප්‍රවේශයකින් නෙමෙයි. 

යහපත් වෙනසක් සඳහා පවතින තත්ත්වය එකවර උඩුයටිකුරු කළ යුතුයැයි අප සිතන්නේ නැහැ. ආර්ථික කළමනාකාරණයේ සිට දේශපාලනය වෙතට පැමිණියොත්, දේශපාලනය ස්ථානගත විය යුත්තේ දැන් අප ජිවත් වන මේ මොහොතේ මිස අතීත ශ්‍රී විභූතියක හෝ මනෝරාජික අනාගතයක නෙමෙයි. ධනවාදය යනු අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගත දැක්මක් ඇතිව, මේ මොහොත කළමනාකරණය කර ගැනීමයි. මේ මොහොත වෙනස් කර ගැනීමයි.

සම්පත් බෙදීම පිළිබඳ ධනවාදී පරමාදර්ශය වන්නේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රම සම්පාදකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාටත් ලැබිය යුතු බවයි. මාක්ස්වාදය විසින් ඓතිහාසික තර්කනයක් මත පදනම්ව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාට හිමි වීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත්, මාක්ස්වාදී පරමාදර්ශය තුළද වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. 

මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් සේ හඳුනා ගන්නවා. ඒ අනුව, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වෙන් නොකෙරුණත්, ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සඳහා වැය කෙරුණු ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීම හරහා වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. මේ හේතුව නිසා පරිපූර්ණ ධනවාදයකත්, මාක්ස්වාදය මත පදනම් වූ පරිපූර්ණ සමාජවාදයකත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ විශාල ලෙස වෙනස් වෙන්න හේතුවක් නැහැ. මෙහිදී මා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කියා කියන්නේ සියලුම ශ්‍රමිකයින් සමස්තයක් සේ සලකා මිස ශ්‍රමිකයන් තනි තනිව ගෙන නෙමෙයි. ශ්‍රමිකයන් තනි තනිව ගත්තොත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් තිබෙනවා. මේ කරුණට අපි පසුව එමු.

පරිපූර්ණ ධනවාදී හෝ පරිපූර්ණ සමාජවාදී සමාජ ලෝකයේ කොහේවත් නැහැ. කවදාවත් තිබිලත් නැහැ. එහෙත් වඩා ධනවාදී හා වඩා සමාජවාදී රටවල් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂා කළ විට ධනවාදී රටවල ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටසේ අඩුවක් නැති බව හා බොහෝ විට වැඩි බව අපට පැහැදිලිව පෙනෙනවා. මෙය ඉතා පැහැදිලිව පෙනෙන්න තියද්දී ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම ගැන කතා කරන එක තේරුමක් නැති, පදනමක් නැති දෙයක්.

අතිරික්තය බෙදී යාමේ විෂමතා ගැන කතා කරන්න අපට ප්‍රාග්ධනය ගාවගන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් නොකෙරෙන ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ වෙන් කෙරෙන මනඃකල්පිත ධනවාදයක් ගැන අපි හිතමු. ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ඇත්තටම වෙන්නේ අපි ඉගෙන ගන්න, උගන්වන ධනවාදී ආකෘතිය ඇතුළේ. මේ ආකෘතියත් මාක්ස්වාදී ආකෘතිය වගේම වියුක්ත ආකෘතියක්. සැබෑ ලෝකය තියෙන හැටියටම තියෙද්දී අප‍ට වියුක්ත ලෙස මේ ධනවාදී ආකෘතිය පමණක් වෙනස් කරන්න පුළුවන්. මේ විකල්ප ආකෘතියේ ප්‍රාග්ධන හිමියෝ නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභත් නැහැ. එහෙත් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රමය යෙදවූ අයට ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ආකෘතිය මේ විදිහට වෙනස් කළත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙන දේ ඒ විදිහටම වෙනවා. වෙනස් වන්නේ එය අප තේරුම් ගන්න විදිහ පමණයි. මාක්ස්වාදී ආකෘතියේ තිබෙන සූරාකෑම දැන් තියෙන්නේ කොහේද?

ධනවාදී බෙදීම හා මාක්ස්වාදී බෙදීම එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස මත කියන එක මතුපිටින් පෙනෙන්න තියෙන දෙයක් පමණයි. එසේ පෙනෙන්නේ අපේ විග්‍රහයන් තුළ. ආකෘති තුළ. ආකෘති වෙනස් කළොත්, අඩු වශයෙන් පරමාදර්ශී තත්ත්වයන් තුළ, ලොකු වෙනසක් නැහැ. එහෙමනම්, මේ දෙකේ වෙනස කුමක්ද?

ප්‍රාග්ධනය පැත්තකටම කරලා මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ කොටස අයින් කරලා ශ්‍රමයේ පංගුව නියතයක් සේ සැලකුවත්, ක්‍රම දෙකේදී එම පංගුව එක් එක් ශ්‍රමිකයන් අතර බෙදී යන්නේ එකම ආකාරයට නෙමෙයි. මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන (input) මත පදනම් වූ බෙදීමක්. ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රතිදාන (output) මත පදනම් වූ බෙදීමක්. 

මෙය තේරුම් ගැනීමට පහසු සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ගෙඩි පිරුණු විශාල අඹ ගසක් තිබෙනවා. අවශ්‍යනම් මෙය පොදු ප්‍රාග්ධනයක් කියා හිතමු. කුඩා දරුවන් කණ්ඩායමක් අඹ කඩා ගන්න අඹ ගහට පොලු ගහනවා. පොලු ගැහුවේ නැත්නම් අඹ කන්න ලැබෙන්නේ නැහැ. එහෙත් ගහන පොලු හැම එකක්ම අඹ වල්ලක වදින්නේ නැහැ. අඹ කන්නනම් පළමුව පොලු ගහන්න මහන්සි විය යුතුයි. එක දිගට වැඩි වෙලාවක් පොලු ගහන දරුවාට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. දෙවනුව පොලු ගැහීමේ කුසලතාවයක් තිබිය යුතුයි. එක සමාන මහන්සියක් වෙන දරුවන් දෙදෙනෙකු අතරින් ඉලක්කයට පොලු ගැසීමේ කුසලතාවය තිබෙන අයෙකුට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. මීට අමතරව ඇතැම් විට වාසනාවද බලපානවා. ලොකු අඹ වල්ලකට මුල් වරම කණා ෂොට් එකක් වදින්න පුලුවන්. ධනවාදයක් ඇතුළේ සාර්ථක වීමට ඔය කරුණු තුනම බලපානවා.

දැන් ධනවාදය විසින් යෝජනා කරන බෙදීම කුමක්ද? අඹ වල අයිතිය එම අඹ කඩා ගැනීම සඳහා පොල්ල ගැසූ දරුවාටයි. මේ පදනම මත සියලුම දරුවන් අතර අඹ සමසමව බෙදී යන්නේ නැහැ. එහෙත්, සියලුම දරුවන්ට අඹ කඩා ගන්න සමාන අවස්ථා තිබෙනවා. මහන්සි වී පොලු නොගැසීම නිසා හෝ ගහපු පොලු අඹ වලට නොවැදීම නිසා අඹ නොලැබුණු අයෙකුට අඹ කන්න ලැබෙන්නේ අඹ කඩාගත් අයෙකුගේ සහකම්පනය මතයි. ආදාන කොපමණ වුවත් ප්‍රතිදාන නැත්නම් එයින් පලක් නැහැ.

මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන මත පදනම් වූ බෙදීමක්. ඒ අනුව, අඹ කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රම කාලය අනුව අඹ බෙදී යා යුතුයි. සියලු දෙනාම අඹ කඩන්න පැය බැගින් මහන්සි වුනානම් අඹ සමසමව බෙදෙනවා. බෙදෙනවා කියා කිවුවත් මේ බෙදීම කරන කෙනෙක් සිටිය යුතුයි. ලැබෙන අඹ ඉදුණු අඹද අමු අඹද කියා තීරණය වන්නේ මේ බෙදන්නා මතයි. ඒ වගේම බෙදන්නා එක අඹයක්වත් නොකැඩූ අයෙක් වෙන්න පුළුවන්. එක් දරුවෙකු අඹ කඩන්න ආවේ පැය බාගයකට පසුවනම්, එතෙක් කිසිවකු විසින් අඹ කිසිවක් කඩාගෙන නොතිබුණේ හා අඹ වැටුනේ ඔහුගේ පළමු පොලු පාරෙන් වුවත්, ඔහුට ලැබෙන්නේ අනෙක් අයට ලැබෙන අඹ ප්‍රමාණයෙන් බාගයක් පමණයි.

මාක්ස්වාදී බෙදීම තුළ කවුරුවත් ඉලක්කයට පොලු ගහන්න මහන්සි වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම මිසක් ගහන පොලු අඹ වල වැදෙන එක නෙමෙයි. එහෙත්, ධනවාදය තුළ ඉලක්කය පුළුවන් තරම් අඹ කඩා ගැනීම මිසක් පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම නෙමෙයි. මේ වෙනස නිසා, ධනවාදී ක්‍රමයකදී වැඩියෙන් අඹ කැඩෙනවා. එහෙත් අඹ සමානව බෙදෙන්නේ නැහැ. සමාජවාදී ක්‍රමයකදී කැඩෙන අඹ ටික ආසන්න වශයෙන් සමානව බෙදෙනවා. 

ධනවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ කඩන දරුවා හොඳම අඹය කනවා. සමාජවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ බෙදන දරුවා හොඳම අඹය කනවා. අඹ වෙනුවට කෝවිඩ් එන්නත් වගේ ඕනෑම දෙයක් දමාගන්න පුළුවන්.

Monday, May 10, 2021

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.


බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%

එක්සත් රාජධානිය - 59.1%

ප්‍රංශය - 62.2%

ජර්මනිය - 63.0%

ඕස්ට්‍රේලියාව - 58.2%

කැනඩාව - 65.3%

ඩෙන්මාර්කය - 62.5%

ෆින්ලන්තය - 59.2%

ස්වීඩනය - 54.9%

පෘතුගාලය - 58.8%

නවසීලන්තය - 55.7%


ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%

චීනය - 57.4%


එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%

ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%

ඉරාකය - 29.6%

කුවේට් - 24.5%

ඕමාන් - 30.3%

කටාර් - 17.3%

සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%

සිංගප්පූරුව - 44.0%


විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%

එක්සත් රාජධානිය - 8.7%

ප්‍රංශය - 4.6%

ජර්මනිය - 5.0%

ඕස්ට්‍රේලියාව - 4.7%

කැනඩාව - 5.0%

ඩෙන්මාර්කය - 5.5%

ෆින්ලන්තය - 6.0%

ස්වීඩනය - 5.9%

පෘතුගාලය - 5.5%

නවසීලන්තය - 8.3%

රුසියාව - 2.3%

චීනය - 8.5%

වෙනිසියුලාව - 5.6%

සිංගප්පූරුව - 15.9%

ඉරානය - 8.0%

ඉරාකය - 12.5%

කුවේට් - 12.8%

ඕමාන් - 11.8%

කටාර් - 20.7%

සවුදි අරාබිය - 11.7%

ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

Wednesday, May 5, 2021

දියුණුවට විකල්ප මාර්ග

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

මාක්ස්වාදය හැරුණු විට ලෝකයේ මෙතෙක් බිහි වූ අනෙක් හැම ආගමක්ම වගේ පෞද්ගලික ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. බෞද්ධ ගිහියන් සඳහා වන මූලිකම මාර්ගෝපදේශය වන පන්සිල් වලින් දෙවැන්න පෙනී සිටින්නේ පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙනුයි. යුදෙවු හා ක්‍රිස්තියානි දස පනත්ද, හින්දු මහාපාටකද, ජෛනයන්ගේ පස්යමද පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය පෞද්ගලික දේපොළ අයිතිය රැක ගැනීම වෙනුවන් අත් කපා දැමීම වැනි දැඩි දඬුවම් පවා යෝජනා කරනවා. හැම දෙනෙකුම යමක් පිළිගත් පමණින් එහි නිරවද්‍යතාවය තහවුරු වන්නේ නැතත්, මාක්ස්වාදය හැර අනෙකුත් සෑම දැනුම් සම්ප්‍රදායක් තුළම මානව ප්‍රගතිය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනයේ වැදගත්කමට බර තබා තිබෙනවා.

කොබ්-ඩග්ලස් ආකෘතිය තුළ අපි නිෂ්පාදන සාධක ලෙස ශ්‍රමය හා ප්‍රාග්ධනය හඳුනා ගත්තා. වෙනත් ඕනෑම ආකෘතියක් වගේම කොබ්-ඩග්ලස් ආකෘතිය කියන්නේත් එයින් නිරුපණය කෙරෙන ක්‍රියාවලියේ සැබෑ හැසිරීම තේරුම් ගැනීම සඳහා යොදා ගන්නා සරල ආකෘතියක් මිස සැබෑ තත්ත්වය නෙමෙයි. සැබෑ ලෝකයේදී අපට නිෂ්පාදන සාධක ලෙස විවිධ දේ හමු වෙනවා. ආකෘතිය තුළදී මේ සියල්ල ශ්‍රමය හා ප්‍රාග්ධනය ලෙස ගොඩවල් දෙකකට ඌණනය කෙරෙනවා. මෙහි ශ්‍රමය ලෙස පුළුල්ව හැඳින්වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට මිනිසෙකුගේ සෘජු දායකත්වය. ප්‍රාග්ධනය යටතට වැටෙන්නේ මිනිසෙකුගේ භෞතික ශරීරයෙන් පරිබාහිර අනෙකුත් නිෂ්පාදන සාධක.

මේ ආකෘතිය තුළ නිෂ්පාදනය සඳහා මිනිසකුගේ සෘජු දායකත්වය වෙන් කර හඳුනා ගන්නේ මිනිසකු භෞතික ප්‍රපංචයක් පමණක් නොව "ආත්මයක්" සහිත හැඟීම් දැනීම් ඇති අයෙකු සේ සැලකෙන නිසයි. මිනිසෙකුට තමන්ගේ සතුට වෙනුවෙන් නිෂ්පාදිතය පරිභෝජනය කළ හැකියි. ප්‍රාග්ධනය යටතට වැටෙන නිෂ්පාදන සාධක වලට එවැන්නක් කළ නොහැකියි. ඒ කියන්නේ නිෂ්පාදනයේ අවසන් අරමුණ මිනිසුන්ට පරිභෝජනය කළ හැකි ප්‍රමාණය වැඩි කර ගැනීම. ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින්ද අවසන් වශයෙන් යහපත සැලසෙන්නේ මිනිසුන්ටයි. බෙදීම සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මෙහි වෙනසක් නැහැ. 

මිනිස්සු අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුණක් වන්නේ මිනිස්සුන්ට වර්තමානයෙන් ඔබ්බට තමන්ගේ අඛණ්ඩ පැවැත්මක් ගැන අවබෝධයක් තිබීමයි. ඒ නිසා, මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙනස්ව තමන්ගේ වර්තමාන පරිභෝජනය ගැන පමණක් නොව අනාගත පරිභෝජනය ගැනද හිතනවා. මේ විදිහට මිනිස්සුන්ට "මම" නම් වූ අඛණ්ඩ පැවැත්මක් ගැන හිතන්න පුළුවන් වූ කාලයේ පටන් ඔවුන් තමන් සතු සම්පත් එසැණින් පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් සතුව වත්කම් එකතු වෙනවා. මේ වත්කම් හරහා ලැබෙන රක්ෂණය නිසා අතිරික්ත කාලයක් ඉතිරි වෙනවා. ඒ අතිරික්ත කාලය නිර්මාණශීලී කටයුතු සඳහා යොදවන්න හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නවෝත්පාදන බිහි වෙනවා. අද දක්වාම මානව සංහතියේ ප්‍රගමනය සිදු වන්නේ මේ නවෝත්පාදන හරහා.

මිනිසෙකුගේ වත්කම් සේ ගොඩ නැගෙන්නේ මිනිසෙකු සතු වත්මන් සම්පත් වලින් පරිභෝජනය කර අවසන් නොකරන කොටස. එම වත්කම් එලෙසම ආරක්ෂා කර ගත හැකිනම් අනාගත පරිභෝජනය සඳහා යොදා ගත හැකියි. එසේ නැත්නම් අවදානමක් ගෙන ආයෝජනය කළ හැකියි. කමතෙන් එන වී වලින් කොටසක් බිස්සට යද්දී කොටසක් බිත්තර වී වලට වෙන් වෙනවා. වේලක් දෙවේලක් බඩගින්නේ ඉන්න වුනත් බිත්තර වී ටික කොටලා බත් උයන්නේ නැහැ. එහෙම කරන කෙනෙක් තමන්ගේ මුළු අනාගතයම අවදානමේ හෙළා ගන්නවා.

නිෂ්පාදන සාධක කියා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නමුත් නිෂ්පාදනයෙන් පසුවද ඉතිරි වන දේවල්. කොකිස් හදද්දී හාල් පිටි, පොල් කිරි, පොල් තෙල් හා කහ වැය වී අවසන් වෙනවා. එහෙත්, කොකිස් අච්චුව, තාච්චිය, හිරමණය, වංගෙඩිය, මෝල්ගහ හා ලිප ඉතිරි වෙනවා. කොකිස් හැදූ ශ්‍රමිකයාත් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන එකෙන් අදහස් වන්නේ නිෂ්පාදන සාධක ක්ෂය නොවන බව නෙමෙයි. ඒවාද ක්ෂය වෙනවා. එහෙත් ක්ෂය වී අවසන් වන්නේ නැහැ.

ඇතැම් නිෂ්පාදන සාධක මිනිසුන් විසින් නිර්මාණය නොකළ "දෙවියන් විසින්" හෝ "ස්වභාව ධර්මය විසින්" නිර්මාණය කළ දේවල්. රන්, රිදී, ඛනිජ තෙල්, මුහුදේ මත්ස්‍ය සම්පත්, ඉඩම් ආදිය මිනිස්සු නිර්මාණය කළ දේවල් නෙමෙයි. එහෙත්, පරිගණක, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ආදිය මිනිසුන් විසින් නිර්මාණය කළ දේවල්. අප ප්‍රාග්ධනය සේ සැලකූ ගොඩට මේ දෙවර්ගයම ඇතුළත්. ශ්‍රමය තුළත් මේ ආකාරයෙන්ම සංරචක දෙකක් තිබෙනවා. එකක් මූලික ශ්‍රමය. දෙවැන්න විශේෂිත ශ්‍රමය.

කාල් මාක්ස්ලාගේ කාලයේදී ප්‍රාග්ධනයේ වගේම ශ්‍රමයේත් ගොඩක්ම තිබුණේ මේ ස්වභාවික සංරචකයි. ගොඩක් වෙලාවට ප්‍රාග්ධනය ලෙස සැලකුනේ ඉඩම්. ශ්‍රමය ලෙස සැලකුනේ මාංශ පේශි ශක්තිය. ස්වභාවික දෙයක් පොදු අයිතියට යටත් විය යුතුයැයි සිතීමේ පදනමක් තිබෙනවා. ඒ වගේම මූලික ශ්‍රමයේ වටිනාකම සමාන සේ සැලකීමේත් පදනමක් තිබෙනවා. එහෙත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ නිෂ්පාදන කර්මාන්ත වලට ස්වභාවික ගොඩට දැමිය හැකි ආකාරයේ ප්‍රාග්ධනය යොදා ගැනෙන්නේ නොසලකා හළ හැකි තරම් අඩුවෙන්. මූලික ශ්‍රමය වුවත් එහෙමයි. අද වෙද්දී ප්‍රාග්ධනය වගේම ශ්‍රමය කියා කියන්නෙත් වර්තමාන පරිභෝජනය කැප කරමින් සම්පත් ආයෝජනය කර අලුතෙන්ම නිර්මාණය කර ගත යුතු දේවල් මිසක් කාගේත් ප්‍රයෝජනයට දෙවියන් විසින් මවා තිබෙන දේවල් නෙමෙයි.

නවීන කර්මාන්ත බොහොමයක්ම හා අදාළව කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ L කියා කියන්නේ මානව ප්‍රාග්ධනය. ඒ වගේම බොහෝ විට K කියා කියන්නේ ස්වභාවික සම්පත් නෙමෙයි. මේ සංරචක දෙකම ආයෝජනය කර අලුතෙන්ම ගොඩ නගා ගත යුතු දේවල් මිසක් ස්වභාවිකව පවතින හොයාගත යුතු දේවල් නෙමෙයි. ඒ යුගය දැන් අවසන්. 

ඓතිහාසිකව බැලුවොත් L වලින් K ගොඩ නැගුනා මිස එහි අනෙක් පැත්ත වුනේ නැහැ. එහෙත් දැන් L ගොඩ නැගෙන්නේ K වලින්. මූලික අධ්‍යාපනයකින් හා මූලික සෞඛ්‍ය ආයෝජනයන්ගෙන් වැර නොගැන්වුණු මූලික ශ්‍රම ඒකකයක ආන්තික ඵලදායීතාවය මේ වෙද්දී ඉතාම අඩුයි.

මැද පෙරදිග රටවල් වැනි ව්‍යතිරේඛ අත ඇරියොත් වර්තමාන රාජ්‍යයයන් බොහොමයක් විසින්ම L වැඩි කර ගත යුත්තේත්, K වැඩි කරගත යුත්තේත් දැනට උපයන ආදායමෙන් කොටසක් ඉතිරි කර ආයෝජනය කිරීම මගිනුයි. L වැඩි වෙද්දී වගේම K වැඩි වෙද්දීත් ආර්ථිකයක් ප්‍රසාරණය වෙනවා. මේ නිෂ්පාදන සාධක අඩු වුනොත් ආර්ථිකයක් හැකිලෙනවා. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යාම මොන විදිහට සිදු වුනත් එසේ බෙදී යන සම්පත් පරිභෝජනය කර අවසන් කළොත් ආර්ථිකයක් හැකිලෙනවා මිස වර්ධනය වන්නේ නැහැ.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතිරික්තය බෙදා හැරීම රජයේ පාලනයට නතු වූ විට මේ නිෂ්පාදන සාධක අතර අතිරික්තය බෙදී යන ආකාරය වගේම එක් එක් නිෂ්පාදන සාධකයේ ප්‍රමාණය වෙනස් වන ආකාරය තීරණය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රුචි අරුචිකම් මත. එසේ නොවූ විට නිදහස් වෙළඳපොළ අදිසි හස්තය විසින් මේ අනුපාතය තීරණය කෙරෙනවා. නිදහස් වෙළඳපොළ විසින් තීරණය කෙරෙන අනුපාතය වඩාත්ම කාර්යක්ෂම අනුපාතයයි. ඒ නිසා, එවැනි ආර්ථිකයක් වඩා වේගයෙන් වර්ධනය වෙනවා.


ඉහත රූප සටහනේ (2,2) කොටුවේ සිටින රටකට (10,10) කොටුව දක්වා ඉක්මණින්ම යා හැක්කේ එහි විකර්ණය දිගේ ගමන් කළ විටයි. නිදහස් වෙළඳපොළක් ඇති විට රටක් දියුණු වන්නේ එම පථය දිගේ. පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි එම පථය දිගේ ගමන් කරද්දී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6 ලෙසත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 ලෙසත් නොවෙනස්ව පවතිනවා. නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේත්, එම නිෂ්පාදන සාධක වෙනුවෙන් ආයෝජන සිදුවන්නේත්, පවතින නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන මෙම අනුපාතයටයි.


රටක් මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන සීමිත සම්පත් සියල්ල මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු කළ නොහැකි වීමයි. ඉහත රූපයේ නිල් පැහැ සිරස් තීරුවෙන් පෙනෙන්නේ භෞතික ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. මෙහි වාසිය වැඩිපුරම යන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. තැඹිලි පාට තිරස් තීරුවෙන් පෙනෙන්නේ මානව ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. එහි වාසිය ශ්‍රමිකයන්ට ලැබෙනවා. එහෙත් ශ්‍රමිකයන් සීමිත පිරිසකට පමණයි.

වෙළඳපොළට රාජ්‍ය මැදිහත්වීම අඩු බටහිර රටවල් වර්ධනය වන්නේ මේ වගුවේ විකර්ණය දිගේ. එම රටවල් දකුණට පියවරක් යද්දී පහළටත් පියවරක් යනවා. ආදායම් විෂමතා අඩු කිරීමට මුල් තැන දී කටයුතු කර තිබෙන ලංකාව හා පැරණි සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල් පහළට පියවර තබන තරමට දකුණට පියවර තබා නැහැ. ඒ වගේම ස්වභාවික සම්පත් මත යැපෙන මැද පෙරදිග රටවල් දකුණට ගොස් ඇති තරමට පහළට ගොස් නැහැ. මේ දෙකම සාපේක්ෂව අකාර්යක්ෂමයි. කාලයක් තිස්සේ පහළට ගමන් කළ චීනය පසුව සුක්කානම හරවා දකුණට ගමන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී චීනය වංගුවක් ගසා විකර්ණයට කිට්ටු වී සිටිනවා. 

මේ හැම රටක්ම දියුණු වෙනවා. නමුත් ඇතැම් රටවල් වඩා වේගයෙන් දියුණු වෙනවා. විකර්ණයට කිට්ටුවෙන් සිටි තරමට වඩා වේගයෙන් දියුණු විය හැකියි. ලංකාව දැන් ඉන්න තැන අනුව ලංකාවට තිබෙන්නේ මානව ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තිබෙන මානව ප්‍රාග්ධන සංචිතයට සරිලන තරමේ ප්‍රාග්ධන සංචිතයක් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා එක වර ලොකු ප්‍රාග්ධන ගලා ඒමක් සිදු වුනොත් ලංකාවට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ප්‍රාග්ධන හිමියෙක් ප්‍රාග්ධනය අරගෙන එන්නේ වැඩි ප්‍රතිලාභයක් ලබන්නයි. එය සූරාකෑමක් නෙමෙයි. දෙපැත්තටම වාසි සිදුවන (win-win) ගනුදෙනුවක්. ලංකාවට ප්‍රාග්ධනය පැමිණීම නිසා ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ඉහළ යනවනම් ප්‍රාග්ධනය ගේන්නේ චීනයද, ඉන්දියාවද, ඇමරිකාවද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් කොයි තරම් ප්‍රතිලාභ ලබනවද කියන එකත් ගැටළුවක් කර ගත යුතු දෙයක් නෙමෙයි.

වෙබ් ලිපිනය: