වෙබ් ලිපිනය:

Showing posts with label විවෘත ආර්ථිකය. Show all posts
Showing posts with label විවෘත ආර්ථිකය. Show all posts

Friday, April 7, 2023

සුබසාධන ණය සහ ව්‍යාපෘති ණය


විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට කැමති අය වගේම විරුද්ධ අයත් ඔය වැඩේ කරනවා. එය එසේ කරන අයගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. 

මෙසේ බොහෝ දෙනෙකු විසින් ආර්ථික ප්‍රතිපත්ති හා අනන්‍ය ලෙස දකින්නට පුරුදු වී සිටින පුද්ගලයින් හෝ පක්ෂ විසින් එම ප්‍රතිපත්ති වෙනස් කරන අවස්ථා වලදී එසේ දකින අය අමාරුවේ වැටෙනවා. එවැනි අයගේ ගැලවිල්ලට "ලෝක තත්ත්වය අනුව වෙනස් වීම", "ප්‍රායෝගිකවාදය", "මහ පොළොවේ යථාර්තය" වැනි ආවරණද තිබෙනවා. 

විවෘත ආර්ථිකය කියන එක ජේආර් හොයාගත් දෙයක් නෙමෙයි. ලංකාව නිදහස ලබන විට ලංකාවේ කාලයක් තිස්සේ පැවති නිදහස් ආර්ථිකයක් තිබුණා. ආනයන අපනයන කරන්න වගේම ආයෝජන කරන්නත් බාධාවක් තිබුණේ නැහැ. රටට විදේශ විණිමය ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. නිදහසින් පසුව වසර අටක පමණ කාලයක් යන තුරුද මේ තත්ත්වය ලොකුවට වෙනස් වුනේ නැහැ. ආර්ථිකය සංවෘත වෙන්න පටන් ගත්තේ ආසන්න වශයෙන් 1956 වසරේ සිටයි. 

ලංකාව සමාජවාදය පැත්තට බරවීම, ව්‍යාපාර රජයසතු කිරීම ආදිය එක්ක රටට එන ආයෝජන නැවතුණා. තිබුණු ආයෝජනත් රටෙන් එළියට යන්න පටන් ගත්තා. මෙය රටේ ගෙවුම් ශේෂ තුලනය කෙරෙහි නරක ලෙස බලපෑවා.

ජේආර් ජයවර්ධන සහ මුල්කාලීන එජාප ආණ්ඩු ව්‍යාපාර රජයසතු කිරීම ඇතුළු අනෙකුත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් හෝ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ නැතත්, සමාජවාදයට බර වූ ශ්‍රීලනිප සභාග ආණ්ඩු මෙන්ම, විශාල රාජ්‍ය මැදිහත්වීම් විශ්වාස කළා. තුලිත රාජ්‍ය අයවැයක් පිළිබඳව විශ්වාස කළේ නැහැ. නිදහස ලබන්නට ආසන්නව, 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වූ කාලයේ සිටම, ලංකා රජය විසින් දිගින් දිගටම අය ඉක්මවා වැය කරන්නට පටන් ගත්තා. 

විණිමය අනුපාතය ස්ථිරව තියාගෙන රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට සිදු වෙනවා. නිදහසට පෙර විශාල කාලයක් විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගත හැකි වූයේ එම කාලයේ රාජ්‍ය අයවැය තුලනය කරගත් නිසයි. සිංගප්පූරුව වැනි රටවල මුදල් ඒකකය එන්න එන්නම ශක්තිමත් වෙන්නේ සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා නිසයි. 

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වෙද්දී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙහිද විශාල දෝලනය වීම් දැකිය හැකි වුවත්, ඇතැම් දේවල් ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වී නැහැ. ශ්‍රීලනිප ආණ්ඩු මෙන්ම එජාප ආණ්ඩුද විශ්වාස කළේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වැරැද්දක් නැති බවයි. ඒ, ණය වල තරමට රට තුළ වත්කම් හැදෙන නිසයි. මුල් කාලීන ආණ්ඩු විසින් බොහෝ විට උත්සාහ කර තිබෙන්නේ රාජ්‍ය ආදායම් හා වර්තන වියදම් තුලනය කර ගනිමින් ප්‍රාග්ධන වියදම් සඳහා ණය ලබා ගන්නයි.

ලංකාවේ ලොකුම රාජ්‍ය ආයෝජනය සේ සැලකිය හැකි මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ. මුලින් සැලසුම් කර තිබුණේ මෙම ව්‍යාපෘතිය වසර 30කින් අවසන් කිරීමටයි. ආණ්ඩුව වෙනස් වූ පසු ජේආර් ජයවර්ධන මේ ව්‍යාපෘතිය අතහැර දැම්මේ නැහැ. ඒ වෙනුවට කළේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කර මෙම ව්‍යාපෘතිය වඩා ඉක්මණින් අවසන් කරන එකයි. 

දේශීය වෙළඳපොළ ඉලක්ක කිරීම හා ආනයන ආදේශනය සම්බන්ධව එකම අදහසක නොසිටියත්, කාර්මීකරණයේ වැදගත්කම පිළිබඳවද එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු අතර එකඟතාවයක් තිබුණා. ලංකා ටයර් සංස්ථාව, ලංකා වානේ සංස්ථාව ආදිය හැදුනේ ජේආර් ජයවර්ධන රාජ්‍ය ඇමතිව සිටි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේදීයි. හැමවිටම මෙන්, පක්ෂ භේදයක් නොමැතිව, ලංකාවේ මුල්කාලීන ආණ්ඩුවල අදහස වූයේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වරදක් නැති බවයි. 

රජය ණය වීම සමාජවාදී අදහසක් නෙමෙයි. එහෙත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. සුබසාධනය කළ යුතු අඩුආදායම්ලාභීන් කියා කොටසක් හඳුනාගත හැකි වන්නේම ධනවාදී ක්‍රමයක් තුළයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සමාජවාදී අදහසක්. මෙය ලෝකයේ හැම රටකම මෙන් යම් තරමකින් හෝ සිදුවන දෙයක්. ඒ වගේම, සමාජවාදී අදහසක් වීමට බොහෝ පෙර සිටම පැවති විශ්වීය අදහසක්. 

රජයකට තිරසාර ලෙස අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමෙන් පමණයි. ඒ සඳහා ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදුබරක් පනවන්නට වෙනවා. සුබසාධනය ජනප්‍රිය දෙයක් වුවත් බදු අය කිරීම ජනප්‍රිය නැහැ. සර්වජන ඡන්ද ක්‍රමයක් තුළ බලයට පත් විය හැක්කේ ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කණ්ඩායමකටයි.

ඉහත හේතු නිසා, ලංකාවේ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු බදු ගහන්න බය වුනා. වෙළඳපොළ විශ්වාස කළ ආණ්ඩු සුබසාධන වියදම් කපන්න බය වුනා. බදු ගහන්න බය නොවූ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු වලට පවා සුබසාධන වියදම් වල බර දරාගත හැකි තරම් බදු අය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ තරමට බදු ගහන්නනම් ධනවතුන් හා ආදායම් උපයන්නන් ප්‍රමාණවත් තරම් රටේ සිටිය යුතුයි. අවසාන වශයෙන් එජාප ආණ්ඩු වගේම ශ්‍රීලනිප ආණ්ඩු විසින්ද කළේ ණය වෙමින් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමයි. මා දන්නා තරමින් මුල් කාලයේදී මේ ක්‍රමයට විරුද්ධව හඬක් නගා ඇති කණ්ඩායමක් නැති තරම්. 

රජය ආදායම් ඉක්මවා වියදම් කිරීම නිසා ඇති විය හැකි ප්‍රශ්න පිළිබඳව මහ බැංකුව විසින් එම ආයතනය පිහිටවූ මුල්  වසරේදීම පෙන්වා දී අවවාද කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. වෙනත් විශේෂඥයින් විසින්ද වරින් වර පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ අදහස් වලට කිසිදු ජන පදනමක් තිබී නැහැ. රජය විසින් ණය වෙමින් සුබසාධනය කිරීම ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය වූ දෙයයි. එය වඩා හොඳින් කරන කණ්ඩායමට හැම විටම ලංකාවේ ආණ්ඩු බලය ලැබුණා. 

හැත්තෑ හතෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමක් වහාම සිදුවුණේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක බර තවදුරටත් දිගින් දිගටම රාජ්‍ය ණය බරට එකතු වුනා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ලොකුවටම සිදු වුනේ 1990 දශකය තුළයි. 

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා රජයේ ණය බර ඉහළ යද්දී රාජ්‍ය ආයෝජන ඉහළ යාම නිසා ව්‍යාපෘති ණය විශාල ලෙස ඉහළ ගියා. මීට අමතරව පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කර අඩු මිලට හෝ නොමිලේ ලබා දීම සඳහා ලබාගත් ද්‍රව්‍ය ණය තව දුරටත් දිගින් දිගටම ලබා ගැනීම නිසා එම ණයද ණය බරට එකතු වුනා. 

මේ ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් ලෙස ඇමරිකාවෙන් කාලයක් තිස්සේ ලබාගත් PL 480 ණය පෙන්වා දිය හැකියි. මෙම සහන ණය ක්‍රමය යටතේ ලංකාව 1956 සිට 1990 පමණ දක්වාම ආහාර ආනයනය කළා. ඇතැම් වසර වල සහල් සහ ඉරිඟුද ආනයනය කර ඇතත් වැඩිපුරම ආනයනය කළේ තිරිඟු පිටි. 1980දී ත්‍රිකුණාමලයේ ප්‍රීමා කම්හල පිහිටවීමෙන් පසුවනම් තිරිඟු. 

හැත්තෑ හත වන තුරු ලංකාවේ සියල්ලන්ටම මෙන් නොමිලේ සහල් ඇතුලු ආහාර සහනාධාර ලැබුණා. නොමිලේ සහල් නොලැබුනේ ඉහළම ආදායම් ලැබූ, රජයට ආදායම් බදු ගෙවූ, 5%කට පමණයි. මෙම ආහාර සහනාධාර ලබා ගැනීම පිණිස රජයෙන් "හාල්පොතක්" ලබා දුන්නා. හැත්තෑ හතෙන් පසුව රටේ ඉහළ ආදායම් ලබන 50%ට හාල්පොත නැති වුනා. ඉන්පසුව, සෑහෙන කාලයක් යන තුරුම, එජාප විරෝධී කඳවුරේ සිටි ශ්‍රීලනිප හා අනෙකුත් වාමාංශික පක්ෂ වල ප්‍රධානම සටන් පාඨයක් වූයේ එජාප ආණ්ඩුව විසින් හාල්පොත නැති කිරීමයි. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයාගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූයේත් හාල්පොත නැවත දෙනවා කියන එකයි.

සියල්ලන්ටම හාල්පොත නැති වුනත් අඩුආදායම්ලාභීන්ට තව දුරටත් හාල්පොත ලැබුණා. පසුව හාල්පොත වෙනුවට ආහාර මුද්දර (හා භූමිතෙල් මුද්දර) ක්‍රමය ආවා. ආහාර මුද්දර ජනසවිය වී ජනසවිය සමෘද්ධි වුනේ ඊටත් පසුවයි. ආහාර මුද්දර ලැබුණු අයට නොමිලයේ ආහාර ලැබුණා. මෙසේ නොමිලයේ ලබාගත හැකි වූ ආහාර අතර PL 480 යෝජනා ක්‍රමය යටතේ ණයට ගත් තිරිඟු පිටිද තිබුණා. අදාළ යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර හතක පමා කාලයකින් පසුව වසර තිහක කාලයක් ලැබුණා. ඇතැම් විට මේ ණය මේ වන විටද ගෙවා අවසන්ව නැතිවා විය හැකියි. ගෙවා ඇත්නම් ඒ ණය ගෙවීම සඳහා ගත් ණය ස්වෛරිත්ව බැඳුම්කර වැනි වෙනත් ණයක් බවට පත් වී ඇති. 1956 වසරේ සිට එක දිගටම ඇමරිකාවෙන් ලබාගත් PL 480 ණය (වන්දි නොගෙවා ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව පැවති කෙටි වාරණ කාලයකදී හැර) ලංකාව විසින් ලෝකයේ ධනවාදී හා සමාජවාදී කඳවුරු වල රටවල් ගණනාවකින් ලබාගත් ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් පමණයි. 

රාජ්‍ය ව්‍යවසාය ලෙස අද බොහෝ දෙනෙකු විසින් හඳුනාගන්නා ආයතන බොහොමයක් 1970-77 කාලයේ හදපුවා නෙමෙයි. මෙම ආයතන බොහොමයක් 1970 වන විටද ක්‍රියාත්මකව තිබුණා. ඒ වගේම, 1977දී මෙම රාජ්‍ය ව්‍යවසාය වසා දැම්මෙත් නැහැ. දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කළ, රාජ්‍ය ආයෝජන මත පමණක් විශ්වාසය තැබූ සංවර්ධන උපාය මාර්ගය නිසා 1970-77 කාලයේ රජයට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ කාලයේ කළ බොහොමයක් දේවල් පැවති තත්ත්වය තුළ වෙන කළ හැකි දෙයක් නැති කමට කළ දේ මිස රටේ දිගුකාලීන යහපත තකා කළ දේවල් නෙමෙයි. මේක 2021දී ලංකාව ණය ආපසු ගෙවා ණය අඩු කරගත්තා කියනවා වගේ කතාවක්. 

පැවති තත්ත්වයෙන් දිගුකාලීනව ගොඩ යාම සඳහා පෞද්ගලික විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටත් අවශ්‍ය වුනා. නමුත් ඊට පෙර කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ වන්දි නොගෙවා පැහැර ගෙන තිබීම නිසා විදේශ ආයෝජකයින්ට රට තුළ ආයෝජන කිරීමට බියක් තිබුණා. එම බිය නැති කළ හැකිව තිබුණේ අවශ්‍ය නීතිමය වෙනස්කම් සිදු කර, නැවත ආයෝජන රජයට පවරා නොගන්නා බවට රජය විසින් ලබාදෙන සහතිකයක් මගින් පමණයි. 

රජය විසින් එවැනි සහතිකයක් ලබා දී විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටම අවශ්‍ය වූවත්, ආණ්ඩුව තුළ වූ කඹ ඇදිල්ල නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි වූයේ නැහැ. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර, අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා සහිතව 1972දී ඉදිරිපත් කළ විදේශ ආයෝජන ධවල පත්‍රිකාව සභාග ආණ්ඩුව තුළ සිටි වාමාංශික පක්ෂ විසින් ඔවුන්ගේ වෘත්තීය සමිති වලද උදවුවෙන් පරාජය කළ නිසා එම යෝජනා නීතියක් බවට පත් වූයේ නැහැ. 

අවසාන වශයෙන් විදේශ ආයෝජකයින්ට මේ සහතිකය ලැබුණේ ආණ්ඩුව මාරු වීමෙන් පසුවයි. ප්‍රීමා කම්හල වැනි ඒ කාලයේ ලෝකයේ විශාලතම කම්හල් ලංකාවේ ඉදි වුනේ මෙම සහතිකය රජයෙන් ලැබීමෙන් පසුවයි. ඉන්පසුව දිගින් දිගටම රටට විදේශ ආයෝජන ගලා ආවා. විදේශ විණිමය හිඟයද නැති වුනා. නමුත්, රාජ්‍ය අයවැය හිඟය තවදුරටත් පුළුල් වීම සහ එය පියවීමට ණය ගැනීම නිසා රාජ්‍ය ණය අර්බුදය විසඳෙනවා වෙනුවට වඩා දරුණු අදියරකට ගමන් කළා. අද තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය 1956-65 කාලයේදී නිර්මාණය වී 2010-2015 කාලය තුළ උග්‍ර වූ අර්බුදයක්. එහෙත්, අද තිබෙන රාජ්‍ය ණය අර්බුදය බොහෝ දුරට 1977-1989 කාලයේ නිර්මාණය වූ අර්බුදයක්. අද රාජ්‍ය ණය බරින් තුනෙන් පංගුවක් පමණ එම කාලයේ ලබාගත් ණයයි. 

රජය ණය වී මහවැලි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ මුදල් වලින් රටට ප්‍රතිලාභ අත් වී තිබෙනවා විය හැකියි. එදා මෙන් දැන් ලංකාව සහල් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම දැන් ලංකාවේ හැම නිවසකම මෙන් විදුලි බලය තිබෙනවා. එහෙත්, රජය මුදල් ආයෝජනය කිරීම නිසා රටට වන වාසියක් රජයට වාසියක් වන්නේ මුල් ආයෝජනය බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබෙන්නේනම් පමණයි. බදු ආදායම් ලෙස මුල් ආයෝජනය හා පොලිය නැවත රජයට නොලැබෙන තාක් ව්‍යාපෘතියක් පාඩු ලබන ව්‍යාපෘතියක්. 

හැත්තෑ හතෙන් පසු ලංකාවේ ආර්ථිකයේ ඇතැම් අංශ නැවත විවෘත කරනු ලැබීම නිසා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගියා. කාර්මික නිෂ්පාදිතය ඇතුළුව නිෂ්පාදිතයද ඉහළ ගියා. නමුත් 1991දී මේ දේවල් කළ ඉන්දියාව මෙන් ලංකාව මීට සමාන්තරව ණය තිරසාරත්වය ගැන සැලකිලිමත් වූයේ නැහැ. හැත්තෑ හතෙන් පසුව සිදු වුනේ රජය තවත් විශාල වීමයි. 1976දී දදේනියෙන් 28.6%ක් වූ රාජ්‍ය වියදම් 1980දී 42.7% දක්වා ඉහළ ගියා. අයවැය හිඟය 8.4% සිට 19.2% දක්වා ඉහළ ගියා. 

මේ කාලයේදී අද මෙන් පොලී වියදම් රාජ්‍ය වියදම් වල විශාල කොටසක් වී තිබුණේ නැහැ. මේ වියදම් බොහෝ දුරට අදාළ වර්ෂයේ වියදම්. 1980 වසරේදී පොලී වියදම් හැර රාජ්‍ය වියදම දදේනියෙන් 35.2%ක්. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 15.8%ක්. සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආණ්ඩු මෙන්ම, රජය විශාල කිරීම මගින් 1977දී බලයට පත් වූ ආණ්ඩුවද වත්මන් ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. 

අඩුආදායම්ලාභීන් සුබසාධනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, රජයකට අඩුආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඒ සඳහා දායක වන පිරිසක් සිටීනම් පමණයි. ණයවෙමින්  සුබසාධනය කිරීම අවසාන වශයෙන් කෙළවර වන්නේ ඛේදවාචකයකින්.

Wednesday, April 20, 2022

ගෝටාගෝගම ආර්ථිකය


අධිපති මාරුවෙන් පසුව ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතයේ පාලනය අතට ගනිමින් ඉන්නවා. මතුපිටින් බලන, විණිමය වෙළඳපොළ ගැන හා සාර්ව ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙකුට සිදුවන වෙනස්කම් ග්‍රහණය කර ගන්න අමාරුයි. එයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන තුරුම ගොඩක් අයට එය නොපෙනුනා වගේම දෙයක්. 

අද වන විට සයමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24.77% දක්වාත්, තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 23.21% දක්වාත් ඉහළ යන්නට සලස්වා තිබෙනවා. කැමති අයෙකුට බැංකු වල තිබෙන තමන්ගේ රුපියල්  භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර මේ ඉහළ පොලිය ලබා ගත හැකියි. පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමකට යන්නට ඉඩ සලසමින් හා එහි පීඩාව විඳ ගනිමින් භාණ්ඩාගාර ලේකම් වරයා විසින් මහ බැංකුවට ලබා දී තිබෙන සහයෝගය අගය කළ යුතුයි. මහ බැංකුවේ ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළද පොලී අනුපාතික තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික 30% පමණ දක්වාවත් ඉහළ දමන්නට සිදු විය හැකියි.

විණිමය වෙළඳපොළ අසමතුලිතාවන් හා සාර්ව-ආර්ථික අසමතුලිතාවන් මුලින්ම හඳුනාගන්නේ බැංකු පද්ධතියයි. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳව බැංකු පද්ධතිය තුළ වූ සැක සංකා දුරු කිරීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. බැංකු අතර සිදුවන තැන් ගනුදෙනු මේ වෙද්දී සුමට හා ස්ථාවර ලෙස සිදු වෙනවා. මේ ස්ථාවරත්වය බැංකු පද්ධතියෙන් ඔබ්බට ගෙන යාම සීරුමාරුවට කළ යුතු වැඩක්. බැංකු පද්ධතිය විසින් මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ වෙළඳපොළෙන් හැකි තාක් ඩොලර් එකතු කර ගනිමින් සිටිනවා. ඩොලරයේ "මිල සංඥාව" තවමත් අහු වී නැතත් ඉතා ඉක්මණින් එය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතිය හැකියි. 

ඩොලරයේ මිල අවශ්‍ය මට්ටම දක්වා ටිකෙන් ටික ඉහළ යවද්දී, ආනයනික භාණ්ඩ මිලද ඉහළ යන අතර එය එසේ ඉහළ යන්නට ඉඩ හරින්නටද වෙනවා. සහන දෙන්න ගියොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය දේශපාලනිකව කෙතරම් ශක්‍යද කියන එක ගැටලුවක්. 

ගෝටාගෝගම ජනපදය පිහිටුවා දැන් සති දෙකකට කිට්ටුයි. ඇතැම් අය එහි කොමියුනිස්ට් සමාජයක ලක්ෂණ දකිනවා. හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන හැකි පමණ දී අවශ්‍ය පමණ ගන්නා සාමූහිකත්වයක් එහි තිබෙනවා. ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. 

නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝටාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත් ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝටාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්. 

ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝටාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මූදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි "ආනයනය කරලා" රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.  

භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුනත් ගෝටාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක්නම් ලොකුවටම සිදු වෙනවා. ගෝටාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ යම් කිසි කාලයක් තුළ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. ඒ නිසා, රටක භාණ්ඩ කිසිවක් හැදුවේ නැතත්, ඒ රටේ සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් හා ඒක පුද්ගල ආදායමක් තියෙන්න පුළුවන්. මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කළ රටවල් සේවා නිෂ්පාදන නිෂ්පාදන සේ සැලකුවේ නැහැ. ඔවුන් නිෂ්පාදන සේ සැලකුවේ භාණ්ඩ පමණයි. ඒ නිසා, ඔවුන් දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ආර්ථික වර්ධනය මැනීම සඳහා යොදා ගත්තේ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Net Material Product -NMP) නම් වූ නිර්ණායකයක්. මේ වන විට මේ නිර්ණායකය භාවිතා කරන්නේ කියුබාව සහ උතුරු කොරියාව පමණයි. 

ගෝටාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා. 

කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද?

ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක්නම් පමණයි. ටිකක් ලොකු ගෝටාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාවය වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.

ගෝටාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝටාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝටාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝටාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝටාගෝගමෙන් පිට රැකියා කරලා ගෝටාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝටාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝටාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා. 

නලින් ද සිල්වා කියනවා වගේ ගෝටාගෝගම වැසියන් නිෂ්පාදනය කරන ප්‍රධානම දෙය ආතල්. කොහොමටත්, මොන නමින් තිබුණත්, වෙළඳපොලක හුවමාරු වන්නේ ආතල්. මිනිස්සු ආහාර වෙනුවෙන් මිලක් ගෙවන්නේ ආහාර පරිභෝජනය කිරීමේදී ලැබෙන ආතල් එක නිසා. ඇඳුම් වෙනුවෙන් මිලක් ගෙවන්නේ ඇඳුමක් ඇඳීමෙන් ලැබෙන ආතල් එක නිසා. සිංදුවක් අහන්න හෝ චිත්‍රපටයක් බලන්න මිලක් ගෙවන්නේ එයින් ලැබෙන ආතල් එක නිසා. මොන ස්වරූපයෙන් විකිණුවත් අන්තිමට කවුරු වුනත් විකුණන්නේ ආතල්. භාණ්ඩ නිෂ්පාදනය කරන අය වගේම සේවා නිෂ්පාදනය කරන අයත් කරන්නේ ආතල් නිපදවන එක. ආතල් නිපදවිය නොහැකිනම් කවර නිෂ්පාදනයක වුවත් වෙළඳපොළ වටිනාකමක් නැහැ. 

විනෝදාස්වාද සේවා, අධ්‍යාපන සේවා ආදිය නිපදවමින් ගෝටාගෝගමින් අපනයනය කරන ආතල් ලෝකය පුරාම විකිණෙනවා. ලැබෙන අපනයන ආදායම ගෝටාගෝගම ආනයන වියදමට හොඳටම ප්‍රමාණවත්. ගෝටාගෝගම ආර්ථිකය කඩා නොවැටී දිනෙන් දිනම දියුණු වෙන්නේ ඒ නිසයි. හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Tuesday, April 19, 2022

සීතා ගීතා මේ බලන්නකෝ...


මේක අලුතෙන් දිවුරුම් දුන්නු රාජ්‍ය ඇමතිනියන් ගැන ලිපියක් නෙමෙයි. ආර්ථිකේ ගැනම දිගටම කතා කරපු නිසා පොඩි වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න හිතුණා. අවුරුදු දවස් නිසා අවුරුදු සිංදුවක්ම තෝරා ගත්තා.

"සීතා ගීතා මේ බලන්නකෝ 

ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ 

ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ..."

නිරංජලා සරෝජනී සහ ගීතා කාන්ති ජයකොඩි ගායනා කරන හැත්තෑව දශකයේ මුල් කාලයේ ගීයක්. අර හැත්තෑ හතට කලින් සමගි පෙරමුණු ආණ්ඩුව කියලා එකක් තිබුණේ. අන්න ඒ කාලේ. 

ඔය කාලේ ඇඳුමක් ගන්නවා කියන එක මේ දවස් වල ගෑස් සිලින්ඩරයක් ගන්න තරම්වත් ලේසි නැහැ. කොහොමත් ගොඩක් පවුල් වල දරුවන්ට ඇඳුම් කට්ටලයක් ලැබුණේ ඔය අවුරුදු කාලෙට තමයි. හැමදාම හිතේ හැටියට ළමයින්ට ඇඳුම් අරන් දෙන්න තරම් මිනිස්සු අතේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණා වුනත් සල්ලි වලට ගන්න බඩු නැහැ. සමුපකාරෙට එන භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි කෑල්ලක් ගන්නත් මැනේජර් මහත්තයා එක්ක හිතවත්කමක් තියෙන්න ඕනෑ. දැන් කිරිපිටි ගන්නවා වගේ.

"ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුණේ...?"

නීතාටනම් කොහොම හරි ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලයක් ලැබිලා. නීතා ගිහින් ඒක සීතාටයි ගීතාටයි පෙන්නනවා. තුන් දෙනාම හිච්චි කෙල්ලෝ. ඔන්න එහෙනම් අහගන්න නීතාට ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ ලැබුණේ කොහොමද කියලා.

"බෝගන්විලා පැළ උදුරාලා 

මමම හැදුව මගෙ තක්කලි කොටුවේ 

පොකුරු පොකුරු හැදුණා හැම නටුවේ 

ඒව විකුණලා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"


"පස පෙරළලා ගිනි අවුළාලා 

මමම හැදුව මගෙ පොඩි මුං හේනේ 

කරල් ඇතිවී තිබුණා පැළ ගානේ 

ඒව විකුණා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"

කොහොම කට්ටක් කන්න ඇද්ද ඇඳුම ගන්න. ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වගා සංග්‍රාම කාලෙනේ. විකුණන එක කොහොම වෙතත් කන්න බොන්න හරි වත්තේ මොනවා හරි වවා ගත්තේ නැත්නම් ඉතිං බඩගින්නේ තමයි.

ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ. හේනේ කුඹුරේ වැඩක් කරගෙන ගෙදර උයන පිහන එක දරු මල්ලෝ බලා ගෙන ඉන්න එක තමයි ඉතිං ගොඩක් තරුණියන්ගේ ඉරණම. දරු මල්ලෝ කිවුවේ බාල සහෝදර සහෝදරියෝ, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ දරුවෝ එහෙම.

සමහර අම්මලා ගෑණු දරුවන්ට පොඩි කාලේ ඉඳලම ගෙදර දොරේ වැඩ හුරු කළත්, එහෙම නැතුව දරුවන්ව "මල් වගේ" හදපු අම්මලත් හිටියා. එහෙම ටිකක් "පොෂ්" ගෑණු දරුවෝ මැහුම් පන්ති, කුකරි ක්ලාස්, ටයිපිං ෂෝට් හෑන්ඩ් පංති ආදියට යන අතර ගෙදර ඉන්න වෙලාව මල් වවන්න යොදවනවා. සේපාලිකා, සමන් පිච්ච, දාස් පෙතියා, වතුසුදු වගේ වැඩි මහන්සියක් නැතිව ඔහේ හැදෙන මල් අතරේ ඕකිඩ්, ඇන්තූරියම් වගේ ඒවා ටිකක් පොෂ් මල්. ඒවාට දිනපතා සාත්තු කළ යුතුයි. බෝගන්විලා වලට ඒ තරමටම සාත්තු කළ යුතු නොවුනත් ඒකෙත් පොඩි පොෂ් ගතියක් තිබුණා.

මල් වලට ගෑණු ළමයි සාත්තු කරන්නේ පණ ඇරලා. එහෙම තත්ත්වයක් තියෙද්දී තමයි නීතා තමන්ගේ බෝගන්විලා පැළ ටික උදුරලා තක්කාලි හිටවන්නේ. වත්තේ හැම බිම් අඟලකම කන්න පුළුවන් මොනවා හෝ දෙයක් වගා නොකර බෝගන්විලා වවන එක දරුණු අපරාදයක් වගේ පෙනුණු කාලයක්නේ ඕක. නීතා තමන්ගේ බෝගන්විලා ටික උදුරා දමලා ඒ ඉඩේත් තක්කාලි වවලා සීතාට සහ ගීතාට ආදර්ශයක් දෙනවා. බෝගන්විලා ටික බේරගන්න හිතුවානම් ඇඳුම් නැතුව තමයි ඉන්න වෙන්නේ.

ගෙවතු වගා වැඩේ හොඳයි. අපිත් ඔය වැඩේ කරනවා. ගෙදරට එළවලුත් ලැබෙනවා තමයි. හැබැයි වැඩිපුර තියෙන්නේ සතුට. ආර්ථික පැත්තෙන් බැලුවොත් බෝගන්විලා වවන එකෙයි තක්කාලි වවන එකෙයි වැඩිපුරම තියෙන්නේ රුචිකත්වයන් පිළිබඳ වෙනස. මේවා රටක ආහාර ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි. හැබැයි වෙන විකල්පයක් නැති වුනාම ඔය වගේ දේවල් නොකරම බැරි වෙන්නත් පුළුවන්. 

මේ සිංදුවේ පදමාලාවේ මම ආසම කොටස "කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස. සාමාන්‍ය භාවිතයේදී අපි මේ වගේ සන්දර්භයකදී කාසි විකුණලා කියා කියන්නේ නැහැ. සිංදුව ලියා තිබෙන චන්ද්‍රසේන රංගේගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් ඔය කාලය ගොඩක් කලාකරුවෝ, ලේඛකයෝ මාක්ස්වාදය එක්ක තදින් බැඳී සිටි කාලයක්. සමහර විට මේ රචකයාත් එවැන්නෙක්ව සිටියා වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්.

"ඒව විකුණලා කාසි ගෙනැල්ලා- කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය. ඕක ඉල්ලුම් සැපයුම් න්‍යාය වැඩි දියුණු වෙන්නත් කලින් යුගයේ යල් පැන ගිය ආකෘතියක් වුවත් දාස් කැපිටාල් ආගමික ග්‍රන්ථයක් විදිහට සලකන සමහර අය තවමත් ඔය ආකෘතිය ගැන කතා කරනවා මම දැකල තියෙනවා. මෙයින් විස්තර කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් මුදල් වෙලා දෙවනුව මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙන එක. තව M-C-M කියලා එකකුත් තියෙනවා. ඒකෙදී මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙලා දෙවනුව පාරිභෝගික භාණ්ඩය මුදල් වෙනවා. මාක්ස්වාදයේ ගොඩක් ප්‍රවාද පටන් ගන්නේ ඔය දෙවන ආකෘතියේ ඉඳලා. 

මේ පද පේලි දෙක අපට නූතන සන්දර්භයක පිහිටුවා විග්‍රහ කරන්නත් පුළුවන්. විකුණන එක ජාත්‍යන්තර සන්දර්භයකට ගෙනිහින් කාසි ඩොලර් විදිහට සලකන එකයි කරන්න තියෙන්නේ. දැන් පාරිභෝගික භාණ්ඩය අපනයන භාණ්ඩයක් වෙලා ඩොලර් ගේනවා. දෙවනුව, ඒ ඩොලර් ආනයනික පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. ඊළඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කට්ටලයක් ගන්නනම් නීතාට වගේම සීතාට හා ගීතාටත් ඩොලර් වලට විකිණිය හැකි දෙයක් නිපදවන්න වෙනවා. සමහර විට ඒ වැඩේට තක්කාලි ගලවලා බෝගන්විලා හිටවන්න වෙන්නත් පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Sunday, May 24, 2020

භූමියේ වාසිය

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. ඒක ජාන වලින්ම එන දෙයක්. පරිණාමයේදී ඉතිරි වෙන්නේ තමන්ගේ පැවැත්ම ගැන වැඩියෙන් හිතන අයගේ ජානයි. හැබැයි එහෙමයි කියලා අනෙකාව මුළුමනින්ම අමතක කරලා තමන්ගේ පැවැත්ම ගැන පමණක්ම හිතන එකත් මිනිස් ස්වභාවය නෙමෙයි. මොකද මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ සාමූහිකව ජීවත් වන සමාජ සත්ත්වයින් හැටියටයි. එහිදී තමන් ගැන පමණක් හිතන අයෙකුට වඩා යම් තරමකින් කණ්ඩායමක් සේ සිතන අයට පැවැත්මක් තිබෙනවා.

ආත්මාර්ථකාමය වගේම සහකම්පනයත් මූලික මිනිස් ස්වභාවයක්. මිනිහෙක් කියා කියන්නේ ස්වභාවයෙන්ම මේ දෙකේ ප්‍රසස්ථ මිශ්‍රණයක්. මිනිහෙක්ට සහකම්පනය දැනෙන්න අමුතුවෙන් ක්‍රමලේඛනය කරන්න අවශ්‍ය නැහැ.

ධනවාදය කියන්නේ මේ මූලික මිනිස් ස්වභාවයට ඉඩ දෙන ක්‍රමයක්. ඒ නිසා, ධනවාදය තුළ කිසිවිටෙකත් සහකම්පනයට ඇති  ඉඩ අහිමි වෙන්නේ නැහැ. රටේ සමාජ ක්‍රමය ධනවාදය අනුව හැඩ ගැසී තිබුණත් නැතත් බොහෝ මිනිසුන්ට තමන්ගේ බඩගින්න වගේම අසල්වැසියාගේ බඩගින්නත් දැනෙනවා. ඒ නිසා මිනිස්සු තමන්ගේ බත් පතෙන් කොටසක් අසල්වැසියා වෙනුවෙනුත් වෙන් කරනවා. හැබැයි රොබින් හුඩ් ක්‍රමයට වෙනත් කෙනෙකුගෙන් උදුරා ගෙන අසල්වැසියාගේ බඩ පුරවන්න ධනවාදය තුළ ඉඩක් ලැබෙන්නේ නැහැ.

ධනවාදී සමාජයක මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් පෙළ ගැහෙන ප්‍රමුඛතා අනු පිළිවෙළ එක් එක් පුද්ගලයාගේ නිදහස් තීරණයක්. ආණ්ඩුව ඒ අනුපිළිවෙල තීරණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී සමාජයක මූලික අවශ්‍යතා කියන වචනයට තිබෙන්නේ සාපේක්ෂව අඩු වැදගත්කමක්.

සමාජවාදී සමාජ වල තත්ත්වය වෙනස්. මෙහිදී ආණ්ඩුව විසින් මූලික අවශ්‍යතා ලෙස හඳුනාගන්නා දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. ආහාර හා සෞඛ්‍යය බොහෝ විට ලැයිස්තුවේ ඉහළට එනවා.

සමාජවාදී ක්‍රමයක් යටතේ කෘෂිකර්මය හෝ සෞඛ්‍යය වැනි තෝරාගත් ක්ෂේත්‍රයකට හෝ කිහිපයකට සම්පත් වැඩියෙන් යොමු කිරීම මගින් වෙළඳපොළ සමතුලිතතාව ඉක්මවා යන ඉලක්කයකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලෝකයේ රටවල් අතරින් ජනගහණය දශ ලක්ෂයකට වැඩිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් ඉන්නේ කියුබාවේ. මේ ආකාරයට බොහෝ රටවල ආණ්ඩු තමන්ගේ රටේ කෘෂිකර්මයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න පෙළඹෙන බව අපට නිරීක්ෂණය කළ හැකියි.


වෙළඳපොළට මැදිහත්වීම මගින් කිසියම් රටක කෘෂිකර්මය එවැනි මැදිහත්වීමක් නැතිව පවතින තත්ත්වයට වඩා ඉදිරියට තල්ලු කරන්න පුළුවන් විය හැකියි. ප්‍රශ්නය වන්නේ එසේ කිරීමේ වාසිය බොහෝ විට ඒ වෙනුවෙන් ගෙවන මිලට තරම් නොවීමයි.


පැරණි සෝවියට් දේශය බිඳ වැටෙන තුරු ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය අතින් ඉදිරියෙන් සිටියේ එම කලාපයයි. එය එක් අතකින් සැලසුම් සහගතව එම අංශය වෙත සම්පත් යොමු කිරීම මගින් අත්පත් කරගත් ඉලක්කයක්. අනෙක් අතින් වෙනත් වාසිදායක තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක්. හරියටම කියනවානම් ජනගහණයට සාපේක්ෂව වගේම නිරපේක්ෂවත් වැඩි වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය. උතුරු කොරියාවට එවැනි ඉලක්කයකට යා නොහැකි වුනේ සෝවියට් සංගමයට තිබුණු ආකාරයේ භූමියේ වාසියක් නොතිබුණු නිසයි. අනෙක් අතට ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රට වලටත් මේ භූමියේ වාසිය තිබෙනවා.

රටක් විශාල වෙනවා කියන්නේ එක පැත්තකින් ඒ රට සතුව විශාල වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මේ වගේ ලොකු රටක ඉඩම් විවිධ, වෙනස් දේශගුණික කලාප වල පිහිටා තිබෙන නිසා විවිධ, වෙනස්  බෝග වර්ග වලට අවශ්‍ය දේශගුණික තත්ත්වයන් රටේ කොහෙන් හෝ හොයා ගන්න පුළුවන්. ලංකාව වගේ පොඩි රටකට මේ වාසිය නැහැ. ඒ නිසා, තිරිඟු, රතු පරිප්පු වගේ රටේ විශාල ඉල්ලුමක් තිබෙන ආහාර ද්‍රව්‍ය මුළුමනින්ම ආනයනය කරන්න වෙනවා.

භූමියේ වාසිය අතින් ලංකාව වගා කළ හැකි බිම් ඇත්තේම නැතියැයි කිව හැකි සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය තරම්ම නරක තැනක නැහැ. ඒ නිසා, ලංකාව කෘෂිකර්මයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී ආහාර ආනයනය කරන්න අවශ්‍ය නැහැ. එසේ වුවත්, මේ කාරණයේදී ලංකාවට වෙනත් බොහෝ රටවල් තරමට භූමියේ වාසිය නැති බව පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්.


පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රුසියාව, කසකස්ථානය, යුක්රේනය වගේ රටවල් සතුවත්, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ පළමු ලෝකයේ රටවල් සතුවත් විශාල භූමි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ රටවල ජනගහණයෙන් බෙදුවත් එක් අයෙකුට අක්කර වලින් මැනිය හැකි ඉඩම් ප්‍රමාණයක් හිමි වෙනවා. තායිලන්තය, පකිස්ථානය වගේ කලාපයේ අසල්වැසි රටවල වගේම විශාල ජනගහණයක් සිටින ඉන්දියාව හා චීනය වගේ රට වලත් එක් අයෙකු සතුව වගා කළ හැකි ඉඩම් ලංකාවට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා.

එහෙත් ලංකාවේ ඒක පුද්ගල වගා ඉඩම් ප්‍රමාණය පර්චස් 24.6ක් පමණයි. මේ අතින් ලංකාව ඉන්නේ සංවෘත ආර්ථිකයක් ඇතුළේ වගා සංග්‍රාම වලින් ගොඩ යන්න උත්සාහ කර අසමත්ව සිටින උතුරු කොරියාවටත් පසු පසින්. එහෙම තියද්දීත් මේ තරමින් ඔලුව උස්සගෙන ඉන්න සමත්වීමෙන් පෙනෙන්නේ ලංකාවේ කෘෂිකර්මික අංශයේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අසතුටු වීමට විශාල හේතු නැති බවයි. ඒ වගේම තවත් ඉදිරියට යන්න අවශ්‍යනම් මාර්ගය වැටී තිබෙන්නේ උතුරු කොරියාව හරහා නොවන බවයි.

Saturday, May 23, 2020

ඉරණම් තුනක්!

ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්

ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.

තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.


තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.

මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්

අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.


2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.

තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.

ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.


Thursday, May 21, 2020

කෘෂිකර්මයෙන් ඔබ්බට...


පසුගිය 2019 වසරේ අවසන් කාර්තුවේදී ලංකාවේ ශ්‍රම බලකාය 8,181,442ක්. එයින් කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවා නියුක්තිය 2,215,128ක් හෙවත් රටේ ශ්‍රම බලකායෙන් 27.1%ක්. නමුත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට මේ පිරිසගේ දායකත්වය 7.4%ක් පමණයි.

මෙය වෙනත් ආකාරයකින් කිවුවොත්, රටේ ශ්‍රමිකයින්ගෙන් 27%ක් වන මේ පිරිස විසින් උපයන්නේ රටේ ජාතික ආදායමින් 7.4%ක් පමණයි. ඉතිරි 73%ක පිරිස ආදායමින් 92.6%ක පංගුවක් ලබා ගන්නවා. මේ තත්ත්වයේ කිසියම් වෙනස් විය යුතු වැරැද්දක් තියෙනවද? එහෙමනම් ඒ කුමක්ද?

විසඳුමක් ලෙස ඇතැම් අය දකින්නේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ දැමීමේ අවශ්‍යතාවය. මෙහිදී මතුවන පළමු ප්‍රශ්නය එය කරන්නේ කොහොමද කියන එකයි. අනෙක් අංශ වල නිෂ්පාදිතයේ නාමික අගය නොවෙනස්ව තිබියදී, කෘෂිකාර්මික අංශයේ මිල අඩු නොවුනොත් මූර්ත නිෂ්පාදිතය ඉහළ යන විට කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුවද වැඩි වෙනවා. ඒ වගේම මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී සාපේක්ෂ මිල ඉහළ යන විටද කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුව ඉහළ යා හැකියි. මොන ආකාරයකින් හෝ අවසානයේදී කෘෂිකාර්මික නොවන අංශ වල නාමික නිෂ්පාදිතය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කෘෂිකාර්මික අංශයේ නාමික නිෂ්පාදිතය ඉහළ නොගියොත් රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා.

සෛද්ධාන්තිකව නාමික කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ යා හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

1. කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
2. වගා ඉඩම් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
3. ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
4. මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී එම නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි වීම.

පළමුවැන්න හොඳ විසඳුමක් නොවන්නේ ඇයි?

ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ගොඩක් අඩුයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සේවා වියුක්ති අනුපාතය තිබුණේ 4.5% මට්ටමේ. කෘෂිකාර්මික ශ්‍රමිකයන් වීමේ විභවයක් තිබෙන අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් අතර රැකියා වියුක්ති අනුපාතය මීටත් වඩා අඩුයි, උදාහරණයක් ලෙස අපොස(සාපෙ) අසමත් අයගේ විරැකියා අනුපාතය 2.9%ක් පමණයි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයට ශ්‍රමිකයින් එකතු විය යුත්තේ දැනට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අය අතරිනුයි.

මේ වන විට කෘෂිකර්මාන්තයෙන් පිටත ඉන්නේ කවර හෝ වඩා ඵලදායී නිෂ්පාදිතයක් කරන අයයි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් උපයන ආදායමට වඩා වැඩි ආදායමක් වෙනත් ක්‍රමයකින් උපයන අය. ඒ නිසා, වෙනත් කිසිදු තත්ත්වයක් වෙනස් නොවී කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වන විට කෘෂිකාර්මික නිෂ්පාදිතය වැඩි වුනත් ඊට වඩා වැඩියෙන් අනෙකුත් අංශයක නිෂ්පාදිතය අඩු වී සමස්ත නිෂ්පාදිතය පහළ බසිනවා. ඒ නිසා සමස්තයක් ලෙස රටේ ජාතික ආදායම අඩු වෙනවා.

සමස්තයක් ලෙස රටේ ආදායම් මට්ටම් පහළ බහින විට කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්. ඒ නැතත්, වැඩි පිරිසක් අතර බෙදී යාමේදී එක් අයෙකුගේ පංගුව අඩු වෙනවා. ඒ නිසා, මේ වැඩෙන් රටේ මූර්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත්, කෘෂිකාර්මික අංශයේ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යන්න තිබෙන ඉඩට වඩා පහළ යන්න තිබෙන ඉඩ වැඩියි. එය එසේ නොවෙන්නනම් ලංකාවේ කෘෂි නිෂ්පාදන වලට විශාල විදේශ ඉල්ලුමක් ඇති විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පහසුවෙන් තරඟ කළ හැකි කිසියම් සාපේක්ෂ වාසියක් ලංකාවට තිබිය යුතුයි. ලංකාවට එවැනි විශේෂ වාසියක් නැහැ.

දෙවැන්න විසඳුමක් නොවන්නේ ඇයි කියන එක ඉතාම පැහැදිලියි. ලංකාවේ වගා කළ හැකි ඉඩම් මුලුමනින්ම වාගේ දැනටමත් වගාව සඳහා යොදා ගෙන අවසන්. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ මෙන් හෝටන් තැන්නේ අර්තාපල් වවන්න හෝ සිංහරාජයේ දැව කපා විකුණන්න කිසිවෙක් යෝජනා කරනවා කියා මම හිතන්නේ නැහැ.

මූර්ත නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා ඉතිරිව ඇත්තේ තෙවන විකල්පය පමණයි. එනම්, ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කිරීම. කළ හැකිනම් නරක අදහසක් නෙමෙයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් වුනෙත් ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කර ගැනීම මගින් මූර්ත නිෂ්පාදිතය වැඩි කර ගැනීම. ඒ සඳහා සැලසුමේ වූ උපාය මාර්ග වුනේ පොහොර හා රසායන භාවිතය වැඩි කිරීම, වැඩි පලදාවක් දෙන වී වර්ග හඳුන්වා දීම, යාන්ත්‍රික ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කිරීම වගේ දේවල්. කෘෂිකර්මය වෙත අනෙක් අංශ වල සිටි ශ්‍රමිකයින් තල්ලු කිරීම සැලසුමේ ඉලක්කයක් වුණේ නැහැ.

මූර්ත නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි කර ගැනීම කෙසේ වුවත් අඩු කර නොගැනීම සඳහා කෘෂිකාර්මික නොවන අංශ වල ශ්‍රමිකයින් විසින් උපයන ආදායම අඩු කර නොගැනීම වැදගත්. නැත්නම් කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්.


මේ හැම කරුණකින්ම පැහැදිලි වෙන්නේ රටක් දියුණු වෙන්නනම් එම රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන කාරණයයි. ලංකාවට යුරෝපීයයන් එන කාලයේ එංගලත්තය, ප්‍රංශය වගේ රටවල ශ්‍රමිකයින්ගෙන් බාගයකටත් වඩා නිරතව හිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියා වලයි. එහෙත් ඒ තත්ත්වය ටිකින් ටික වෙනස් වුනා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රටවල කෘෂිකාර්මික අංශයේ සේවයේ නිරතව ඉන්නේ රටේ ශ්‍රම බලකායෙන් 1%ක පමණ පිරිසක්. මේ ප්‍රතිශතය තවමත් වැඩි අප්‍රිකානු හා ආසියානු රටවලයි.


එසේ වුවත්, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය අතින් ඉහළින්ම ඉන්නේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ආසියානු අප්‍රිකානු රටවල් ඉන්නේ ගොඩක් පහළින්.


දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව අඩු වීමත්, ඒක පුද්ගල ආදායම ඉහළ යාමත් අතර සම්බන්ධය ඉතා පැහැදිලියි. එයින් පෙනෙන්නේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීත්වය කොයි තරම් ඉහළ රටක වුවත්, කෘෂිකාර්මික නොවන අංශ වල ඵලදායීත්වය ඊට වඩා වැඩි බවයි.


ශ්‍රමිකයින් සීඝ්‍රයෙන් කෘෂිකර්මයෙන් වෙනත් අංශ වලට විතැන් වීම සෝවියට් දේශය බිඳ වැටී සමාජවාදය කඩා වැටීමෙන් පසුව ගෙවුණු පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ලෝකය පුරාම දැකිය හැකි වූ ප්‍රවණතාවක්. 1991 වසරේදී ලෝකයේම ශ්‍රමිකයින්ගෙන් 43.7%ක් කෘෂිකාර්මික අංශය තුළ සිටියත් 2019 වන විට සිටියේ 26.9%ක් පමණයි.


මේ කාලය තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් සිදු වී නැහැ. අදාළ කාලය තුළ ලෝකයේ සෑම කලාපයකම පුද්ගලයෙකු ආහාර වලින් ලබා ගන්නා සාමාන්‍ය දෛනික කැලරි ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් අවශ්‍ය ප්‍රසස්ථ මට්ටම වන කැලරි 2500 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ආහාර ඉල්ලුම සංතෘප්ත වී ඇති ආකාරය පිළිබිඹු කරමින් එම කලාපය පෙන්නුම් කරන රේඛාවේ වර්ධනය නැවතී රේඛාව තිරස් වී තිබෙනවා.


මෙයින් අදහස් වන්නේ ලෝකයේ ආහාර අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය පුද්ගලයින් ගණන විශාල ලෙස අඩු වී ඇති බවයි. ලංකාවේ ප්‍රවණතාව ලෝකයේ සමස්ත ප්‍රවණතාවයට බොහෝ කිට්ටුයි. 1991දී ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් 42.8%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටියත් 2019 වන විට සිටියේ 24.5%ක් පමණයි.


මෙසේ කෘෂිකර්මයෙන් ඉවත් වූ ශ්‍රමිකයින්ට රැකියා නැති වී නැහැ. ඔවුන් කර්මාන්ත හා සේවා අංශ වල වඩා ඵලදායී රැකියා වල නිරත වෙනවා. වඩා ඉහළ ආදායම් උපයනවා. ඒ සමඟ ප්‍රමාණවත් තරමට ආහාර ලබා ගැනීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.


සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලසුමේ අරමුණු හා ඉලක්ක මොනවා වුනත් එම සැලසුමේ අවසන් ප්‍රතිඵලය වුනේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය අවම දෛනික කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. එහෙත්, සාපේක්ෂව විවෘත ආර්ථිකයක් පැවති පසුගිය දශක තුනක කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට 2500 මට්ටම ඉක්මවා තිබෙනවා.

(Image: https://www.tourradar.com/t/152775)

Sunday, July 21, 2019

සිංගප්පූරු සිහිනය


සිංගප්පූරු ආකෘතිය ලංකාවට හරි නොයන්නේ සිංගප්පූරුව කියන රට ආර්ථික වශයෙන් දියුණු වෙද්දී මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙලා තිබෙන නිසාම නෙමෙයි. කාට හරි කියන්න පුළුවන්නේ දැන් ඉන්න හැටියට ඒකෙත් වැරැද්දක් නැහැ කියා. සරලවම සිංගප්පූරු ආකෘතියෙන් ලංකාව ගොඩ දාන්න බැහැ.

හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙකුට කාලයක් තිස්සේ ලාබ නොලැබූ පෞද්ගලික සමාගමක් ගොඩ දාන්න පුළුවන්. එවැනි කෙනෙක් මුලින්ම කරන්නේ සමාගමේ නීති රීති හා ක්‍රමවේදයන් සේවකයින් විසින් අනුගමනය කරන බව තහවුරු කිරීමයි. සමාගමේ ලාබ ඉහළ යාම හා ඒ ලාබ වලින් කොටසක් තමන්ගේ අතට ලැබී තමන්ගේ ජීවිත සැපවත් වන බව ප්‍රධාන විධායක නිලධාරියා විසින් සේවකයින්ට ඒත්තු ගන්වනු ලැබුවහොත් ගොඩක් සේවකයින් කැමැත්තෙන්ම සමාගම් විනයට අනුගත වෙනවා. ගොඩක් දෙනෙක් සමාගම් විනයට අනුගත වන බව පෙනෙන විට ඉතිරි අයගෙන් වැඩි දෙනෙකුත් අනුගත වෙනවා. ඒ විදිහට අනුගත නොවන ටික දෙනෙක්ව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මට පස්සේ ඉතිරි වෙන ටික දෙනාත් සමාගම් විනයට අනුගත වෙනවා. ඊට පස්සේ වැඩේ පහසුයි. සිංගප්පූරුව කියන රට ක්‍රියාත්මක වෙන්නෙත් තනි ලොකු සමාගමක් ක්‍රියාත්මක වන ආකාරයටයි.

සිංගප්පූරු ආකෘතියෙන් ගොඩ යාමේ හැකියාවක් තිබෙන්නේ සිංගප්පූරුව වගේ නාගරික රාජ්‍යයකටම පමණයි. ගොඩක් ලොකු රටක් නොවුණත් ඒ ආකාරයට ගොඩ යන්න නොහැකි තරමට ලංකාව ලොකුයි. දෙවැනි හේතුව ආසන්න වශයෙන් ජගත් පතිරණගේ පහත ප්‍රකාශය ඇතුළේ තියෙනවා.

"සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ... [එහි] පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ."

ඔය කතාවේ ඇත්තක් තිබෙනවා. පොදු සිංගප්පූරු සංස්කෘතිය කියන්නේ චීන, මැලේ හෝ දෙමළ සංස්කෘතිය නෙමෙයි. ඔය සංස්කෘතීන් තුනටම අයත් අය එකතු කිරීම සඳහා පිටින් ආනයනය කර බලහත්කාරයෙන් සිංගප්පූරුව මත පැටවූ සංස්කෘතියක්. එසේ කිරීම සිංගප්පූරුවේ වේගවත් ආර්ථික ගමනට විශාල ලෙස දායක වී තිබෙනවා.

සිංගප්පූරුවේ බහුතරය චීන්නු. එහෙත්, ඔවුන් සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙන විට කාලයක් මැලේසියාවේ සුළුතරයක් සේ සිටි පිරිසක්. සාපේක්ෂව මෑත කාලයකදී ආර්ථික හේතු මත මැලේසියාවට සංක්‍රමණය වී, මැලේසියාව පුරා විසිරී සිටි පිරිසක්. එහි වෙසෙන තෙවන ප්‍රධාන කණ්ඩායම වන දෙමළුන් කියන්නේත් එවැනිම පිරිසක්. ඒ නිසා  චීන්නුන්ට හෝ දෙමළුන්ට තමන්ගේ මුල් සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රමුඛ සංස්කෘතිය නොවීම ප්‍රශ්නයක් වුණේ නැහැ. චීන බහුතරයක් සහිතව සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙද්දී ඉන්දියාව හා පකිස්තානය වෙන් වෙද්දී වගේ මැලේසියා කොටසේ හිටපු චීන්නු විශාල වශයෙන් සිංගප්පූරුවට ආවේ නැහැ.

අනෙක් අතට මැලේසියා කොටසට ගිහින් භූමිපුත්‍රයින් නොවී සිංගප්පූරු කොටසේ රැඳුණු මැලේ ජාතිකයින් එසේ කළේ ඔවුන්ද ඔවුන්ගේ මැලේ සංස්කෘතික අනන්‍යතාවයට ලොකු බරක් නොදුන් පිරිසක් වූ නිසයි. ඒ නිසා, මැලේ, චීන, දෙමළ සංස්කෘති සියල්ල දෙවන තැනට දමා ඔය තුනටම නැති ආනයකික පොදු සංස්කෘතියක් ඇතුළේ සියලුම සිංගප්පූරුවන් විනයගත කිරීම ලී ක්වාන් යූට අමාරු වුනේ නැහැ.

ඔය වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ තත්ත්වය සංකීර්ණයි වගේම පසුබිම වෙනස්. ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය දරන අයගේ ඒ අනන්‍යතාවය ගොඩක් ප්‍රබලයි. ඒ වගේම ලංකාවේ දෙමළුන්ටත් අවුරුදු 26ක කාලයක් තිස්සේ යුද්ධයක් ඇදගෙන යන්න පුළුවන් තරමට ශක්තිමත් අනන්‍යතාවයක් තිබුණා. ලංකාවේ මුස්ලිම් අයත් තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් සෑහෙන කලක් තිස්සේ රටේ ජීවත් වෙනවා. ඉන්දියානු දෙමළුන් හා අනෙක් සුළු කණ්ඩායම් අමතක කළත්, ඉහත කී රටේ ප්‍රධාන කණ්ඩායම් තුනම ආනයනික ආගන්තුක සංස්කෘතියක් ඇතුළට රිංගවලා පොදු සංස්කෘතියක් හදන එක සිංගප්පූරුවේදී කළ තරම් ලේසියෙන් කරන්න බැහැ.

සංස්කෘතික කරුණු අමතක කර ආර්ථික කරුණු වලටම ආපසු ආවොත් සිංගප්පූරුව බිහි වුනේ "ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩකයි". මේ වගේ තැනක් ගොඩ දාන්න පුළුවන්කම තිබුණේ මුළුමනින්ම ලෝකයට විවෘත කිරීම හරහා පමණයි. තමන්ගේ සම්ප්‍රදායික රැකියා සමඟ හෝ ජීවන විලාසිතා සමඟ අත් නොහැරිය හැකි ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු මිනිස්සු සිංගප්පූරුවේ හිටියානම් ඒ ඉතා අඩුවෙන්.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාව කියන්නේ රට වටා සම්පත් පිරුණු මුහුදක් තිබෙන, වියලී ගිය දණ්ඩක් වුවත් දළු ලන සරු පසක් තිබෙන වාසනාවන්ත රටක් කියා හිතන බොහෝ දෙනෙක් තවමත් ලංකාවේ ඉන්නවා. එහෙම හිතන බොහෝ දෙනෙක් ඔය කියන සරු පසේ මඤ්ඤොක්කා දණ්ඩක්වත් හිටවන්නේ නැති, බිලී පිත්තක් අරගෙන මාලුවෙක් අල්ල ගන්න කවදාවත් නොහිතන අය වීම වෙනම කතාවක්. ඒ වුවත්, මේ ගොඩක් අයගේ සිහිනය කවුරු හෝ ඔය මඤ්ඤොක්කා දණ්ඩ හිටවලා රට ගොඩ දායි කියන එකයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නෙත් ලංකාවට කොහොමටත් හරියන එකක් නෙමෙයි. ඒ ගැන වෙනම කතා කරමු. ඒ වුනත්, එහි අනික් අන්තය වන සිංගප්පූරු අන්තයත් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අන්තයට යන්න අත ඇරිය යුතු දේවල් ලංකාවේ මිනිස්සු ලේසියකට අතාරින්නේ නැහැ. බලෙන් ඒ කටයුත්ත කරගන්න උත්සාහ කරන පාලකයෙක්ට යම් හෙයකින් අවස්ථාවක් ලැබුණත් එවැන්නෙකුට ලංකාවේ දිගුකාලීන පැවැත්මක් නැහැ.

Tuesday, October 16, 2018

අමුඩ ගසා වැළැක්විය නොහැකි ඩොලර් අතීසාරය

ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීමේ ආණ්ඩුවේ (මහ බැංකුවේ) උපාය මාර්ග අතර ආනයන සීමා කිරීමේ උත්සාහය කැපී පෙනෙනවා. ඇතැම් අය පෙන්වා දී තිබෙන්නේ මේ ආකාරයෙන් ආනයන සීමා කිරීම එතරම් ප්‍රතිඵලදායක නොවන බවයි. ඒ තර්කයට පදනමක් තිබෙනවා.

මේ වන විට ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් පමණ වන බව ඇත්ත. නමුත්, ආනයන වෙනුවෙන් වැය කරන්න ඩොලර් රට තුළට කොහෙන් හෝ පැමිණිය යුතු නිසා අපනයන අඩු වන විට ආනයනත් අඩු වෙනවා.

පසුගිය ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක කළ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ අපනයන විශාල ලෙස අඩු වුණා. මා මෙහිදී අඩු වුනා කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි. මෙසේ අපනයන ආදායම් අඩු වීමට සාපේක්ෂව ආනයන වියදමුත් අඩු වුණා. ඒ අඩු වුනෙත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි. ඒ අනුව, දැන් ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තහම හැත්තෑ හතට කලින් කාලයටත් වඩා අඩු බව මා කලින් ලිපියකින් පෙන්වා දුන්නා.

එහෙම අඩු වෙලා මේ වන විට ඇත්තටම වැඩි වශයෙන්ම රටට ආනයනය කරන්නේ ආනයනය නොකරම බැරි දේවල්. ඒ නිසා ආනයන වියදම් තවත් අඩු කිරීම ඉතාම අමාරු කටයුත්තක්. කෙසේ හෝ කළ යුත්තේ ණය නොවන මාර්ග වලින් ඩොලර් හොයා ගැනීමයි. එය වහාම කරන්න අමාරු වෙයි. නමුත් කරන්න බැරිකමක් නැහැ.

ගණන් හිලවු වලින් පෙන්වනවානම් ආනයන වියදම් වලින් 22.3%ක්ම යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ වැනි ආයෝජන භාණ්ඩ. තවත් 54.5%ක් අන්තර් භාණ්ඩ. පරිභෝජන භාණ්ඩ ලෙස සැලකෙන්නේ ආනයන වලින් 21.5%ක් පමණයි. එයිනුත් පරිප්පු, සීනි, කිරි නිෂ්පාදන, බෙහෙත් වර්ග වැනි ප්‍රධාන අයිතමයන් කෙටිකාලීනව සීමා කිරීම අසීරුයි. පහත වගුව උපුටාගත්තේ මහ බැංකු වාර්තාවෙන්.


මහ බැංකුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සේ නම් කර ඇති ලැයිස්තුවේ තිබෙන දේවල් ආනයනය කිරීම සීමා කළා කියා ලොකුවට ඩොලර් ඉතිරි වීමක් වෙන එකක් නැහැ. එය අතීසාරයට ගහන අමුඩයක් පමණයි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කියන එක මහ බැංකුවට තීරණය කළ හැකි දෙයක් නෙමෙයි. පසුගිය දවසක නරඹපු රූපවාහිණී වැඩ සටහනකදී කීර්ති පැස්කුවෙල් විසින් විදේශ සංචාරයක් අතරතුර ඔහුට වූ ඇබැද්දියක් විස්තර කළා. ඔහු කියපු විදිහට ප්‍රසංගයකට පෙර නැවතී සිටි නිවසකදී තවත් සහෝදර කලාකරුවෙක් ඔහු පාවිච්චි කරන කිසියම් ආලේපනයක් ඔහුගෙන් නොවිමසා මුහුණේ උලාගෙන ඉවර කර දමනවා. මේ ආලේපනය ඔහු නිශ්චිත ආලේපන වර්ග දෙකක් යොදා ගෙන හදා ගන්නා එකක්. ඒවා නැති වීමෙන් ඔහු විශාල අසීරුවකට පත් වෙනවා. ඒවා ඔහුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ.

මගේ පියාගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වුණේ ඔහු පානය කළ දුම්වැටි වර්ගය හා ප්ලේන් ටී. අනෙක් කිසිවක් ඔහුට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වුණේ නැහැ. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් සමඟ පරිගණකයක් මගේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවේ උඩින්ම තිබෙනවා.

සංචාරක කර්මාන්තය මේ වන විට ලංකාව ඩොලර් උපයන ප්‍රධාන මාර්ගයක්. තමන්ගේ රටේදී මිල දී ගත හැකි දේවල් ලංකාවේදී මිල දී ගත හැකි වීම බොහෝ සංචාරකයින්ට වැදගත් කරුණක්. මේ ඇතැම් සංචාරකයින්ට කිසියම් සන්නාමයක සුවඳ විලවුන් වර්ගයක් හෝ ආලේපන වර්ගයක් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඔය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීම කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්.

කොහොම වුනත් අතීසාරය සුව වන තුරු අමුඩ නැතුව ඉන්නත් බැහැ.

Wednesday, August 15, 2018

ලංකාවේ ආර්ථිකය විවෘතද?

සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකාව සංවෘත ආර්ථිකයක් බවට පත් කරපු බවත්, හැත්තෑ හතේදී ජේආර් විසින් නැවතත් ලංකාවේ ආර්ථිකය විවෘත කරපු බවත් බොහොම ජනප්‍රිය, හැමෝම වගේ විශ්වාස කරන කතාවක්. එකම කතාව විශාල පිරිසක් විසින් නැවත නැවත කියන කොට එය අවිවාදාත්මක කරුණක් බවට පත් වෙනවා. නමුත්, මේ කතාව අර්ධ සත්‍යයක් පමණයි.

සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ දැඩි ආනයන සීමා කිරීමක් කළා. මේ නිසා, රටේ ගොඩක් මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. ගොඩක් මිනිස්සු කිවුවට ඒ හැමෝම නෙමෙයි.

මේ කාලය වෙන කොටත් ලංකාවේ ගම් වල සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණේ නැහැ. දුර ඈත ගම් වල ගොඩක් මිනිස්සු කොහොමටත් කෑවේ බීවේ තමන් වවාගත් දේවල් මිසක් ආනයනය කළ ආහාර නෙමෙයි. වගා කළ හැකි, වගා නොකළ බිම් කට්ටිත් යම් ප්‍රමාණයක් ගම් වල තිබුණා. ඒ නිසා, සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් ලංකාවේ ගම්වල මිනිස්සු පීඩාවට පත් වුනේ නාගරික ප්‍රදේශ වල හිටපු අයට වඩා ගොඩක් අඩුවෙන්. මම මේ කියන්නේ මම ඇහින් දැකලා මතකයේ තිබෙන දේවල්.

හැබැයි ඉතිං මේ කාලයේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්නම් විශාල අපහසුතාවයන්ට පත් වුණා. සමගි පෙරමුණු ප්‍රතිපත්ති ඒ අයගේ ජීවන රටාවන් සමඟ කොහෙත්ම ගැලපුනේ නැහැ. ඒ වගේම ඒ අයට වවන්න කියලා ලොකු ඉඩම් තිබුණෙත් නැහැනේ. ජේආර් බලයට පත් වීමෙන් පසුව ආනයන සීමා ලිහිල් කිරීමෙන් මේ අයටනම් ලැබුණේ විශාල සහනයක්.

හැත්තෑව අසූව දශක වල (වගේම තවමත්) ලංකාවේ මතවාද හදන්නේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් මිසක් ගම් වල මිනිස්සු නෙමෙයිනේ. ඒ නිසා, ඔය විවෘත ආර්ථික කතාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු බරක් වැටුණා.

හැත්තෑ හතේදී වුනේ ආනයන වලට තිබුණු සීමාවන් අඩු වීමයි. ඊට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේදීත් අපනයන අධෛර්යමත් කළේ නැහැ. ඒ වගේම සමගි පෙරමුණු ආණ්ඩුව විදේශ රටවලින් ප්‍රාග්ධන ආයෝජන හෝ තාක්ෂනය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ වැඩේදී සමාජවාදී රටවල් වෙත වැඩිපුර නැඹුරු වුනත් සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල නිෂ්පාදන තාක්ෂණ ක්‍රමවේද ලංකාවට සාපේක්ෂව ගොඩක් ඉදිරියෙන් තිබුණු නිසා එයින් යහපතක් මිස අයහපතක් වුනේ නැහැ.

ඒ වගේම හැත්තෑ හතේදී ආර්ථිකයේ සියලු අංශ විවෘත වුනෙත් නැහැ. ජංගම ගිණුම මුලිනුත්, ප්‍රාග්ධන ගිණුම පසුවත් ක්‍රමයෙන් විවෘත වුනේ බොහොම හෙමින්. අදටත් ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම නිදහස් නැහැ. ඒ වගේම විදේශ වෙළඳාමට තිබෙන බාධාවනුත් සම්පූර්ණයෙන්ම නැති වී නැහැ.

ලංකාව හා අදාළ අධ්‍යයන බොහොමයකම හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සලකන්නේ නැහැ. ඇතැම් අය එය ක්‍රමයෙන් සිදු වූවක් සේ සලකනවා. තවත් අය ඔවුන්ගේ නිර්ණායක අනුව හැත්තෑ හතට ගොඩක් පස්සේ අවුරුද්දකදී විවෘත වූ සේ සලකනවා. ඒ නිසා, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක අවිවාදිත කරුණක් නෙමෙයි.

රටක් කොයි තරම් විවෘතද කියන එක නිර්ණය කිරීමේදී භාවිතා වන විවිධ නිර්ණායක තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය වන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ වෙළඳ පරිමාව, එනම් ආනයන හා අපනයන පරිමා වල එකතුව, කොපමණද කියන එක. මේ ප්‍රතිශතය වැඩි වන තරමට ආර්ථිකයක් වඩා විවෘත සේ සැලකෙනවා. මෙහි වැදගත්කම වන්නේ විදේශ වෙළඳාමට තිබෙන නිල හා නිල නොවන බාධාවන් සියල්ල මේ දර්ශකය හරහා පිළිබිඹු වීමයි.

ලෝක බැංකු වෙබ් අඩවියෙන් බාගත කළ හැකි මේ හා අදාළ දත්ත විශ්ලේෂණය කර විස්තර කරන්න කාලය නොයොදවා මම කෙලින්ම රූප සටහනකින්ම පෙන්වන්නම්. රූප සටහන දිහා බැලුවහම කාලයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ විවෘතකමට සිදු වී තිබෙන දේ පැහැදිලි වෙයි කියා හිතනවා.


වෙබ් ලිපිනය: