වෙබ් ලිපිනය:

Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Tuesday, November 19, 2024

කොළඹට පෙනෙන සමනල කන්ද...

 


කොළඹ ආසන්න මුහුදේ සිට කැමරා ඇසට අසු කර ගත් දර්ශනීය ඡායාරූපයක් මේ දවස් වල වත්පොතේ සංසරණය වෙනවා. එම ඡායාරූපය පසුබිමෙහි සමනල කන්ද ඉතා දර්ශනීය ලෙස දැකගත හැකියි. (ඡායාරූපයේ අයිතිය හා ඒ පිළිබඳ ගෞරවය එහි හිමිකරුට). 

කොළඹට පෙනෙන සමනල කන්දේ මනරම් දසුන සියවස් ගණනාවක් පුරා ලංකාවට පැමිණි නාවිකයින් හා සංචාරකයින් කුල්මත් කළ දසුනක්. මේ ගැන බොහෝ දෙනෙකු විසින් සටහන් කර තිබෙනවා. ඒ අතරින් එක් අයෙකු වන්නේ නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවුයෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියයි.

එලිසබෙත් ජේන් කොක්‍රේන් 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

අපේ මේ කථානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි. 

ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවුයෝර්ක් සිට ගමන් අරඹන අපේ කථානායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වීමට පෙර ඈ දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ විසින් ලංකාව පිළිබඳ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා.

"With all our impatience we could not fail to be impressed with the beauties of Colombo and the view from the deck of our incoming steamer. As we moved in among the beautiful ships laying at anchor, we could see the green island dotted with low arcaded buildings which looked, in the glare of the sun, like marble palaces. In the rear of us was the blue, blue sea, jumping up into little hills that formed into snow drifts which softly sank into the blue again. Forming the background to the town was a high mountain, which they told us was known as Adam's Peak."

"ගොඩබිමකට සේන්දු වන තුරු දින ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිටි අපට අපේ දුම්නැවෙහි නැව් තට්ටුවට දර්ශනය වන කොළඹ නගරයෙහි මනරම් දර්ශනයෙන් වශී නොවී සිටිය නොහැකි විය. වරායෙහි නැංගුරම් ලා තිබූ දර්ශනීය නැව් අතරින් අපේ නැව රිංගා යද්දී, හිරු රශ්මිය වැදී කිරිගරුඬ මාලිගා සේ දිස් වූ ආරුක්කු ගොඩනැගිලි තැනින් තැන විසිරී තිබුණු මේ හරිත දිවයින අපට වඩා හොඳින් දැකගත හැකි විය. අප පසුපස වූයේ සුදු හිම කඳු රටා මවමින් හිතුවක්කාරී ලෙස වරින් වර අහසට පනින, නැවත මෘදු ලෙස නිල් පැහැය තුළ ගිලී සැඟවී යන, විසල් සාගර තලයයි. නගරය පසුබිමෙහි දැකිය හැකි වූයේ ආදම්ගේ කන්දයැයි හඳුන්වන බව පැවසුණු උස් කන්දයි."

මේ ඡායාරූපය දකිද්දී වසර 135කට පෙර ජේන් කොක්‍රේන්ට පෙනුණු කොළඹ නගරයේ දසුන මනසෙහි චිත්‍රනය නොවන්නේද?

Tuesday, February 13, 2024

නයිටිංගේල් සහ රතු රෝස මල

 


දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා.

දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා. නොසංසිඳුණු ඉල්ලුමක් ඇති විට ඒ ඉල්ලුම සපුරා ගත හැකි අවස්ථාවන් ගැන හොයා බැලීමක්ද වෙනවනේ. ඒ රජකුමරාගේ බාල් නැටුමට ඈ සමඟ සහභාගී වීම. 

නමුත් මේ සඳහා මහාචාර්යවරයාගේ දියණියගේ කැමැත්ත ලැබෙන්නේ එක් කොන්දේසියක් සම්පූර්ණ කළොත් පමණයි. ඒ ඇයට රතු රෝස මලක් දීම. මිලක් නොගෙවා නිකම්ම යමක් ලබා ගන්න බැහැනේ. No free lunch! වෙනත් තරුණියන් වගේම මේ තරුණියද ගණන් උස්සනවා. සමහර විට කඩේ යැවීමක් වෙන්නත් පුළුවන්.

"If I bring her a red rose she will dance with me till dawn. If I bring her a red rose, I shall hold her in my arms, and she will lean her head upon my shoulder, and her hand will be clasped in mine."

"මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, ඈ මා සමඟ රැය පහන් වන තුරු නටයි. මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, මා ඇගේ බඳ වටා අතක් දමා ගෙන සිටිද්දී ඇය මගේ අනෙක් අත ඇගේ අතේ පටලවාගෙන මගේ උරහිස වෙත හිස තියයි."

නිකම්ම මනෝ පාරක් පමණක් වුනත් කොයි තරම් සුන්දර හැඟීමක්ද?

හැබැයි කොස්සක් තියෙනවා. ශිෂ්‍යයාගේ වත්තේ එකම එක රතු රෝස මලක්වත් නැහැ. ඒ කියන්නේ රෝස මලකට ඉල්ලුමක් තිබුණාට සැපයුමක් නැහැ. 

රතු රෝස මලක් හොයා ගන්න විදිහක් නැති බව මතක් වෙද්දී කුමාරයාගේ ඇස් කඳුලෙන් පිරෙනවා. මොකද මේ ශීත කාලය. ගස් වල කොළ හැලිලා. නැවත රෝස මල් පිපෙන්නේ වසන්ත කාලයේදී. රෝසමල් වලට තියෙන්නේ වාරික සැපයුමක් (seasonal supply). නමුත් බාල් නැටුම තියෙන්නේ හෙට. රෝස මල අවශ්‍ය හෙට. මාස තුනක් බලා ඉන්න බැහැ. අවශ්‍ය වෙලාවට සැපයුමක් නැත්නම් එයින් ඉල්ලුම සැපිරෙන්නේ නැහැ. අර තරුණිය රතු රෝස මලක් ඉල්ලුවේ රතු රෝස මල් නැති බව දැනගෙනමද දන්නේ නැහැ. 

ශිෂ්‍යයාට ඔහු ඉගෙන ගත්ත දර්ශනය මතක් වෙනවා. දාර්ශනිකයෝ ලියලා තියෙන හැම මගුලක්ම ඔහුට කට පාඩම්. හැබැයි ඒ එකකින්වත් ඔහුගේ දුක නිවෙන්නේ නැහැ. ඔහුගේ හිත දුකින් පිරිලා. සතුට කියන දේ තීරණය කරන්නේ කොයි තරම් පොඩි දේවල්ද?

"Ah, on what little things does happiness depend! I have read all that the wise men have written, and all the secrets of philosophy are mine, yet for want of a red rose is my life made wretched."

සමහර විට අනුන්ගේ ප්‍රශ්න වලදී මේ ශිෂ්‍යයා බොහොම පණ්ඩිතමානී විදිහට දාර්ශනික පිළිතුරු දීලා ඇති. නමුත් දැන් ප්‍රශ්නය තමන්ගේ. පිළිතුර දාර්ශනික වන්නේ ප්‍රශ්නය අනුන්ගේ වන තුරු පමණයි කියනවනේ. දැන් දාර්ශනික විසඳුම් හරියන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ප්‍රායෝගික, වෙළඳපොළ විසඳුමක්.

***

නයිටිංගේල් කුරුල්ලකුට මේ ශිෂ්‍යයාගේ විලාපය ඇහෙනවා. මේ නයිටිංගේල් කුරුල්ලා නිකම්ම නිකම් නයිටිංගේල් කුරුල්ලෙක් නෙමෙයි. ලොකු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු නයිටිංගේල් කුරුල්ලෙක්. නයිටිංගේල් කුරුල්ලාගේ උපයෝගීතාවය තියෙන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම ඇතුළේ. එම අරමුණ ඉටු වන තුරු නයිටිංගේල් කුරුල්ලා අසතුටෙන්. තමන්ගේ අරමුණ වෙනුවෙන් හැකි ඕනෑම මිලක් ගෙවන්න නයිටිංගේල් කුරුල්ලා සූදානම්.

නයිටිංගේල් කුරුල්ලාගේ ජීවිතයේ එකම අරමුණ සැබෑ ප්‍රේමවන්තයෙක් හොයා ගන්න එක. එහෙම කෙනෙක් නැති බව දැන දැනත් නයිටිංගේල් කුරුල්ලා හැම රැයකම සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන සිංදු කියනවා. එහෙම කරන එකෙන් හරි යම් උපයෝගීතාවයක් ලැබෙනවා ඇතිනේ. හැම රැයකම  සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන කතා ගොතලා තරු වලට කියනවා. නයිටිංගේල් කුරුල්ලාගේ කතා අහන්න කවුරුවත් නැත්නම්, වෙළඳපොළ ඉල්ලුමක් නැත්නම්, වෙන කරන්න දෙයක් නැහැනේ. 

නයිටිංගේල් කුරුල්ලාගේ ඔය කතා වත්පොතේ පළ කළානම්, කවුරු හෝ ලයික් එකක් දමනවා. ෆලෝවර්ස්ලා එකතු වෙනවා. නමුත් මේ සිද්ධිය වෙන්නේ දහනව වන සියවසේදී. ඒ කාලයේ එහෙම එකක් නැහැ. විසිවන සියවස එළඹෙද්දී මේ සුරංගනා කතාව ලියපු අයිරිෂ් ජාතික ඔස්කා වයිල්ඩ් මිය යනවා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 46ක් පමණයි. ඊට වසර කිහිපයකට පෙර සමලිංගික සේවනය කිරීමේ වරදට ඔහුට සිර දඬුවම් ලබා දෙනවා. ඒ කාලයේදී සමලිංගික සේවනය නීති විරෝධීයි. මේ සිර දඬුවම නිසා ඔස්කා වයිල්ඩ්ගේ සෞඛ්‍යය බොහෝ සේ පිරිහෙනවා. 

උත්සාහවන්තයා ජයගනී කියනවනේ. රට වටේ සිංදු, කතා කිය කිය යන නයිටිංගේල් කුරුල්ලාට අන්තිමට තමන් හොයා හොයා හිටපු සැබෑ ප්‍රේමවන්තයා  හමු වෙනවා. ඒ තමයි අර දර්ශනය හදාරන ශිෂ්‍යයා. මහාචාර්ය වරයාගේ දුවට හිතින් ආදරය කරන තරුණයා. 

'Here at last is a true lover,' said the Nightingale. 'Night after night have I sung of him, though I knew him not: night after night have I told his story to the stars, and now I see him."

***

ඔන්න දැන් නයිටිංගේල් කුරුල්ලාට ඉලක්කයක් තියෙනවා. ඒ තමයි අර ශිෂ්‍යයාගේ ආදරය වෙනුවෙන් රතු රෝස මලක් හොයලා දෙන එක. අපිට කොහෙන්ද පූසෝ නයිටිංගේල් කුරුල්ලෝ කිවුවලු! හැබැයි අර ශිෂ්‍යයාටනම් එහෙම කුරුල්ලෙක් හිටියා. 

නයිටිංගේල් කුරුල්ලාට වටිනාකම් වල සාපේක්ෂ බව ගැන මතක් වෙනවා. තමන් ගී කියා සතුටු වන ආදරය තවත් කෙනෙකුට ගෙන දෙන්නේ දුකක්. 

ආදරය කියන්නේ පුදුම දෙයක්. මුතු මැණික් තියා පිළිකා සෛල නාශනය කළ හැකි බව කියන දෙළුම් දීලාවත් ආදරය මිල දී ගන්න බැහැ. ආදරය වෙළඳසැල් වල විකුණන්න නැහැ.

'What I sing of he suffers: what is joy to me, to him is pain. Surely Love is a wonderful thing. It is more precious than emeralds, and dearer than fine opals. Pearls and pomegranates cannot buy it, nor is it set forth in the market-place. it may not be purchased of the merchants, 'or can it be weighed out in the balance for gold.'

හැබැයි ඔහොම කිවුවට ආදරයත් හුවමාරු වෙනවා. ගනුදෙනු වෙනවා. ආදරයට වුනත් වටිනාකමක්, මිලක් තියෙනවා. ඔය වගේ දේවල් විග්‍රහ කර ගන්න පුළුවන් තරමට ඒ දවස් වල විෂය දැනුම වැඩි දියුණු වී නොතිබුණු නිසා, ඒ වෙද්දී දාර්ශනිකයෝ ලියලා තිබුණු හැම දෙයක්ම හදාරලා තිබුණු කෙනෙක්ට වුනත් ඔහොම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

***

දැන් මෙහි පාර්ශ්ව දෙකක් ඉන්නවා. රතු රෝස මලක් ලැබුණොත් ශිෂ්‍යයාට සතුටු විය හැකියි. ශිෂ්‍යයාට සතුටු විය හැකිනම් එයින් නයිටිංගේල් කුරුල්ලාට සතුටු විය හැකියි. 

ගනුදෙනු සිදු වන්නේ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර පමණක් නෙමෙයි. කෙනෙක් වෙනත් කෙනෙකුට උදවුවක් කරද්දී වෙන්නෙත් ගනුදෙනුවක්. එහිදී මුදල් හෝ භාණ්ඩ හුවමාරුවක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. පාර්ශ්ව දෙකේම උපයෝගීතාවය වැඩි වෙනවානම් එය නිදහස් ගනුදෙනුවක් කියා කියන්න පුළුවන්. ආදරය කියන්නෙත් ඔය විදිහේ ගනුදෙනුවක්. ආදරය විරුද්ධ ලිංගිකයින් අතර (හෝ සමලිංගිකයන් අතර) සිදු වන්නක් වෙන්නත් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනෑම කෙනෙකුට ආදරය කරන්න. 

කෙනෙක් ස්වේච්ඡාවෙන් වෙනත් අයෙකුට උදවුවක් කරන්නෙත් එයින් තමන්ගේ උපයෝගීතාවය වැඩි වන නිසා. ඒ අර්ථයෙන්, මුදල් නොගෙන උදවුවට කරන දේවල් වලිනුත් අවසාන වශයෙන් උදවුව කරන පුද්ගලයාට ලැබෙන්නේ ලාබයක්. උදවුව ලබන පුද්ගලයාට කොහොමටත් ලාබයක් වෙලානේ. ඒ නිසා මෙවැනි ගනුදෙනුවක් සහ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර සිදුවන ගනුදෙනුවක් අතර ලොකු වෙනසක් නැහැ.

ඔන්න දැන් අපේ නයිටිංගේල් කුරුල්ලා ස්වේච්ඡාවෙන් අර ශිෂ්‍යයාට උදවු කරන්න යනවා. නයිටිංගේල් නම දාගත්ත ෆයිටිං ගර්ල්ලාත් ඉන්නවනේ. මෙයා එහෙම එක්කෙනෙක් නෙමෙයි. හැබැයි වැඩේ ලේසි නැහැ. රතු රෝස මලක නිෂ්පාදන පිරිවැය හොඳටම වැඩියි!

"If you want a red rose,' said the Tree, 'you must build it out of music by moonlight, and stain it with your own heart's-blood. You must sing to me with your breast against a thorn. All night long you must sing to me, and the thorn must pierce your heart, and your life-blood must flow into my veins, and become mine."

රතු රෝස මලක් ලබා ගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. මේ වැඩේට නයිටිංගේල් කුරුල්ලා විසින් තමන්ගේ හදවත ටිකෙන් ටික රෝස කටුවක් මත තද කරමින් රෑ එළිවෙන තුරු ගී ගැයිය යුතුයි. රෝස ගහේ නහර වලට ලේ ගලා ගිහින් පණ ඇවිත් රතු රෝස මලක් පුබුදු කරවන්න පුළුවන් වන්නේ නයිටිංගේල් කුරුල්ලා විසින් එවැනි කැප කිරීමක් කළොත් පමණයි. අමාරු තේරීමක්!

නයිටිංගේල් කුරුල්ලාට තමන්ගේ අරමුණ ඉටු කර ගත හැකි මාර්ගයක් දැන් තිබෙනවා. නමුත් ආවස්ථික පිරිවැය ගොඩක්ම වැඩියි. උද්ධමනය අඩු කරන්න පොලී අනුපාතික වැඩි කරපු එකේ ආවස්ථික පිරිවැය මොකක්ද කියලා හිතෙනවා.

නයිටිංගේල් කුරුල්ලාට මුලින්ම ලොකු දෙගිඩියාවක් ඇති වෙනවා. 

"මරණය කියන්නේ රතු රෝස මලක් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩි මිලක් නෙමෙයිද?"

ඔව්. ජීවිතය ගොඩක් වටිනවා තමයි. නමුත් ආදරයේ වටිනාකම ඊට වඩා වැඩියි. මිනිස් හදවතක වටිනාකම එක්ක බැලුවහම කුරුල්ලෙක්ගේ හදවතේ වටිනාකම කුමක්ද? නිදහස් ගනුදෙනුවක් වෙන්නේ ඔන්න ඔය සංසන්දනයත් එක්ක.

"Death is a great price to pay for a red rose,' cried the Nightingale, 'and Life is very dear to all. It is pleasant to sit in the green wood, and to watch the Sun in his chariot of gold, and the Moon in her chariot of pearl. Sweet is the scent of the hawthorn, and sweet are the bluebells that hide in the valley, and the heather that blows on the hill. Yet Love is better than Life, and what is the heart of a bird compared to the heart of a man?"

කරන්න පුළුවන් ලොකුම කැපවීම ක‍රන්න සූදානම් වී නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක. 

***

නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාට කියපු අණ්ඩර දෙමළය ඒ වෙලාවේ ඔහුට තේරෙන්නේ නැහැ. නමුත් උදේ ජනේලය අරිද්දී ජනේලය අද්දර රතු රෝස මලක් පිපිලා. කවදාවත්ම දැකලා නැති තරම් ලස්සන රතු රෝස මලක්. මේ රෝස වර්ගයට අනිවාර්යයෙන්ම දිග විද්‍යාත්මක නාමයක් තිබිය යුතුයි! මොන තරම්නම් වාසනාවක්ද?

"Why, what a wonderful piece of luck! he cried; 'here is a red rose! I have never seen any rose like it in all my life. It is so beautiful that I am sure it has a long Latin name;' and he leaned down and plucked it."

නයිටිංගේල් කුරුල්ලා හදවතේ ඇනුණු රෝස කටුවක් එක්ක තණ බිස්සේ මැරී වැටිලා. නිකම් ලැබෙන දේවල් ලබා ගන්න ගොඩක් අයට ඒ දේවල් වෙනුවෙන් කවුරු හෝ පිරිසක් විසින් මිලක් ගෙවිය යුතුයි කියන එක ලේසියෙන්ම අමතක වෙනවා.

***
ඔය තරම් දෙයක් වුනාටත් පස්සේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නය විසඳෙනවාද? 

රෝස මල කඩා ගන්නා ශිෂ්‍යයා එයද සමඟ මහාචාර්ය වරයාගේ නිවස වෙත දිව යනවා. නමුත්, අවසාන වශයෙන් ලැබෙන්නේ ඔහු අපේක්ෂා කළ පිළිතුර නෙමෙයි. ඒ වෙද්දී මාලිගාවේ දුක් ගන්නා රාළගේ බෑණා මහාචාර්ය වරයාගේ දියණියට වඩා වටිනා තෑග්ගක් දීලා. මල් වලට වඩා වැඩියෙන් ඇත්ත මැණික් වටිනා බව කවුරුත් දන්නා දෙයක්!

"...the Chamberlain's nephew has sent me some real jewels, and everybody knows that jewels cost far more than flowers."

අන්තිමට ශිෂ්‍යයාට තරුණියගෙන් ලැබෙන්නේ ඔය ආර්ථික විද්‍යා පාඩම පමණයි!

ශිෂ්‍යයා විසින් පාරට වීසි කරන රතු රෝස මල කරත්ත රෝදයකට අසු වී තැලී යනවා. ඒ එක්කම, එහි වටිනාකම් චක්‍රය අවසන් වෙනවා. රෝස මලක වගේම ආදරයේත් වටිනාකම ඔය වගේ සාපේක්ෂ හා වෙනස් වන දෙයක් නෙමෙයිද?

"What a silly thing Love is,' said the Student as he walked away. 'It is not half as useful as Logic, for it does not prove anything, and it is always telling one of things that are not going to happen, and making one believe things that are not true. In fact, it is quite unpractical, and, as in this age to be practical is everything, I shall go back to Philosophy and study Metaphysics."

"ආදරය කියන්නේ මොන තරම් මෝඩ දෙයක්ද? එය තර්ක ශාස්ත්‍රයෙන් බාගයක්වත් වටින්නේ නැහැ. ආදරය කියන්නේ ප්‍රායෝගික නැති දෙයක්. මේ කාලයේ හැම දේටම වඩා වටින්නේ ප්‍රායෝගික වීමයි."

ශිෂ්‍යයා නැවතත් දර්ශනය හදාරන්න යනවා. ඔය කාලය වෙද්දී ආර්ථික විද්‍යාව විෂයයක් විදිහට හරියට දියුණු වෙලා තිබුණේ නැහැ. එහෙම දියුණු වෙලා තිබුණානම් සමහර විට දර්ශනය වෙනුවට ආර්ථික විද්‍යාව හදාරන එක ගැන හිතයි.

***

උඩ තිබෙන්නේ ඇමසන් වෙබ් අඩවියේ විකුණන්නට තිබෙන රෝස මලක්. මෙය විකිණෙන්නේ ඩොලර් පණහක පමණ මුදලකට. ඒ කියන්නේ රුපියල් වලින් 15,500ක පමණ මුදලකට. රෝස මලක මිල රුපියල් පහළොස්දාහක් වෙන්නේ කොහොමද?

ඔය වගේ රතු රෝස මලක් ගහක නිකම්ම පිපෙන්න පුළුවන්. නමුත් ඒ වගේ රතු රෝස මලක් ඔය විදිහට වෙළදපොළට එද්දී විශාල අගය එකතු වීමක් සිදු වෙලා. මේ ස්වභාවික රෝස මල වසර පහක් හෝ හයක් පමණ ඔය තත්ත්වයෙන් තියා ගත හැකි පරිදි සංරක්ෂණය කරලයි තියෙන්නේ. 

මේ අගය එකතු කිරීම පසුපස තාක්ෂනය දියුණු කිරීමක්, ඒ සදහා මුදල් ආයෝජනය කිරීමක් හා එම මුදල් වල අවදානම ගැනීමක් තිබෙනවා. ඒ සියල්ල පිරිවැය ලෙස රෝස මලේ මිලට එකතු වෙනවා. ඊට අමතරව එය අඩංගු භාජනයේ මිල, බෙදා හැරීමේ පිරිවැය ආදිය මෙන්ම නිෂ්පාදකයාගේ හා අතරමැදියන්ගේ අපේක්ෂිත ලාබද එම මිලට එකතු වෙනවා. නමුත් රෝස මලේමිල යනු ඒ සියල්ලම වුවද නෙමෙයි. එය පාරිභෝගිකයා විසින් ගෙවන්නට සූදානම් මිල, එනම් පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම, අනුව ඉහළ යනවා. වැලන්ටයින් දිනය වැනි දිනක මේ මිල ගොඩක් වැඩියි.

වැලන්ටයින් දිනය එළැඹෙන්නේ උතුරු ඇමරිකාවේ ශීත කාලය තුළයි. ඒ කාලයේදී රෝස ගස් වල මල් පිපෙන්නේ නැහැ. එහෙත්, ශීත කාලයේදී වුනත් රතු රෝස පුබුදුවන්න වෙළඳපොළට පුළුවන්. 

"සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක!"

Tuesday, February 22, 2022

කනවැන්දුමීගේ වන්නම



කාලකන්නි ගෑණියේ, දැන් උඹට ලියුම හම්බ වෙලා ඇති 

මළ පැනල අඬල ඉවර වෙලා හූල්ලනවත් ඇති 

පට්ට වේසි පර බැල්ලි කියලා 

අපේ අම්ම මතක් කරලත් බනිනව ඇති 

මගේ පතුල්නං ආයෙ කවදාවත් රිංගන්නේ නැති 

පරණ සපත්තු දිහා බලාගෙන 

හවස තේ එක තනියම බොනව ඇති 

ග්‍රීස්මේ ගැන, කොරිංග කුලීකාරයෝ ගැන,

එපාම කරපු උණ රෝගෙ ගැන, 

තාමත් මට පෙන්නන්න බැරි ඉංග්‍රීසිකාරයෝ ගැන, 

අතෝරක් නැතිව කණිපින්දම් කිය කිය 

හරියට ගෙදර මම ඉන්නවයි කියල හිතාගෙන වගේ සාප කර කර 

මට බණින්නේ නැතිව, 

මගෙ අමාරුකං ගැන, රෑට පේන හීන ගැන, 

කන බොන දේවල් ගැන

උඹට ආයෙ කවදාවත් මතක් කරන්න බෑ කියලා 

මං දන්නව බං හොඳාකාරවම.


කාලකන්නි ගෑණියේ, 

ඇත්තම කියනවානම්,

කාත් කවුරුවත් නැතිව, තට්ට තනියම පාළුවේ, 

මම මහා දිග රැයක් ගෙවනවා.

ආයෙත් මම කාමරේක තනියම. 

කන්නෙ කඩෙන්, හීතල වෙච්ච කෑම 

කලිසම් කමිස බිම ගලෝල දාපු තැන් වල 

එල්ලන්ඩයි කියලත් බෝලකූඩුවක්වත් නෑ කාමරේ! 

බිත්තිත් පාලුයි, පින්තූරයක්වත් නෑ එල්ලන්න.

උඹව ආපහු ගෙන්නගන්න පුළුවන්නම් 

මගේ ආත්මයෙන් කොයි තරම් කෑල්ලක් මම දෙනවද?

මාස වල නම් මතක් වෙනකොටත් බයයි බං!

"ශිශිරය" කියන වචනය මූසල බෙර හඬක් වගෙයි.


උඹට පස්සේ හම්බ වෙයි 

පොල් ගහ ළඟ වලලපු පිහිය 

මට හිතුනා උඹ මාව මරයි කියලා 

උඹේ අත් වල බරට, කකුල් වල දිස්නෙට, පුරුදු වෙච්ච

කුස්සියේ වානේ තට්ටුවේ සුවඳ 

මට මේ දැන් නැතුවම ඉන්න බෑ බං!

තෙත පොළොවේ බීරි මුල් අස්සේ 

හැංගිලා ඉන්න ඒ අසරණයා 

දන්න එකම මනුස්ස බාසාව 

උඹේ නම විතරමයි!

පසාරු කරගෙන යන්න බැරි, දිවිය ලෝකේ දේවල් වලින් හදපු 

උඹේ නම ගැන කාෂ්ටක පොළොවට තේරෙන්නෙ නෑ බං! 


ඉර පායපු දවසක 

ඉර රැස් වගේම නොහෙල්ලී  

වැතිරී ඉන්න උඹේ කකුල් 

ගිලින්න බලාගෙන ඉන්න උඹේ නිදන, නලියන ඇස් 

බල්ලෙක් වගේ කඩා පනින්න බලාගෙන ඉන්න 

හදවතේ පැත්තක කැකෑරෙන කේන්තිය 

මතක් වෙනකොට හරිම වේදනාවයි බං!

මීට පස්සේ 

අපි දෙන්නට මැද්දෙන් 

තවත් ඉතිරි වෙලා තියෙන්නේ 

මැරිච්ච දේවල්ම විතරයි.

විනාස කරලා දාපු ලෝකයේ අළු දූවිලි 

හුළඟේ පාවෙලා ඇවිත් 

මගේ නාස් පුඩු වලින් රිංගනවා බං!

මින් පසු මට ඉතිරි වන්නේ 

දිගු, පාළු නිහැඬියාවක් පමණයි.


පරිස්සමෙන් මීපැණි වක්කරනවා වගේ,

රිදී කාසි හොල්ලනවා වගේ, දඟකාර ලෙස ගස්ස ගස්සා, 

කළුවරේ ගෙයි පිළිකන්නේ 

උඹ හුජ්ජ කරන සද්දේ අහන්න පුළුවන්කමක් ඇත්නම් 

මගේ ඇතුළාන්තයේ තාල 

මගේ ආත්මයෙන් ඇහෙන  කඩු හරඹ සද්දේ 

නැති වූ දේ හොයමින්, 

වෙන්ව ගිය අයගේ නම් කියා කෑ ගසමින්, 

මගේ නළලත තනිවී සිටින රීරි පරෙවියා   

කී පාරක්නං උඹව හොයා ගෙන ඇවිත්ද?


Tango del viudo - Pablo Neruda

Oh maligna, ya habrás hallado la carta,

ya habrás llorado de furia,

y habrás insultado el recuerdo de mi madre

llamándola perra podrida y madre de perros,

ya habrás bebido sola, solitaria, el té del atardecer

mirando mis viejos zapatos vacíos para siempre,

y ya no podrás recordar, mis enfermedades,

mis sueños nocturnos, mis comidas

sin maldecirme en voz alta como si estuviera allí aún,

quejándome del tròpico, de los coolíes corringhis,

de las venenosas fiebres que me hicieron tanto daño

y de los espantosos Ingleses que odio todavía.

 

Maligna, la verdad, qué noche tan grande, qué tierra tan sola.

He llegado otra vez a los dormitorios solitarios,

a almorzar en los restaurantes comida fría, y otra vez

tiro al suelo los pantalones y las camisas,

no hay perchas en mi habitación,

ni retratos de nadie en las paredes.

Cuánta sombra de la que hay en mi alma daría por recobrarte,

y qué amenazadores me parecen los nombres de los meses,

y la palabra "invierno", qué sonido de tambor lúgubre tiene.

 

Enterrado junto al cocotero hallarás más tarde

el cuchillo que escondí allí por temor de que me mataras,

y ahora repentinamente quisiera oler su acero de cocina

acostumbrado al peso de tu mano y al brillo de tu pie:

bajo la humedad de la tierra, entre las sordas raíces;

de los lenguajes humanos el pobre sólo sabría tu nombre,

y la espesa tierra no comprende tu nombre

hecho de impenetrables substancias divinas.

 

Así como me aflige pensar en el claro día de tus piernas

recostadas como detenidas y duras aguas solares,

y la golondrina que durmiendo y volando vive en tus ojos,

y el perro de furia que asilas en el corazòn,

así también veo las muertes que están entre nosotros desde ahora,

y respiro en el aire la ceniza y lo destruido,

el largo, solitario espacio que me rodea para siempre.

 

Daría este viento del mar gigante por tu brusca respiración

oída en largas noches sin mezcla de olvido

uniéndose a la atmòsfera como el látigo a la piel del caballo.

Y por oírte orinar, en la oscuridad, en el fondo de la casa,

como vertiendo una miel delgada, trémula, argentina, obstinada,

cuántas veces entregaría este coro de sombras que poseo,

y el ruido de espadas inútiles que se oye en mi alma,

y la paloma de sangre que está solitaria en mi frente

llamando cosas desaparecidas, seres desaparecidos,

substancias extrañamente inseparables y perdidas.

Sunday, February 20, 2022

ඇල්බොරාදා - පාන්දර ඇස ගැටුණු යුවතිය


හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.

රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ "ලාබ" ගැන කතාවක් මත පදනම්වයි.

කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.

දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, "මානුෂික සබඳතා" කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.

ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී. 

නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.

පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

Monday, March 8, 2021

ලෝකය වටා දින හැත්තෑ දෙකකින්


නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවු යෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනිය 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එලිසබෙත් ජේන් කොක්‍රේන් කියන්නේ මේ චාරිකාවට පෙර මානසික රෝගියෙකු ලෙස මානසික රෝගී නිවාසයකට ඇතුළු වී "පිස්සන් කොටුවක දින දහයක්" නමින් පොතක් ලියා නෙලී බ්ලයි නමින් ප්‍රසිද්ධ වී සිටි, පුරෝගාමී ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක් වගේම ස්ත්‍රීවාදිනියක්. ඒ දවස් වල මානසික රෝගී නිවාස වල මානසික රෝගීන්ට ප්‍රතිකාර දෙනවා වෙනුවට ඔවුන්ව සමාජයෙන් වෙන් කර කොටු කර තියන එකයි සිදු වුනේ. ඔවුන්ට ලැබුණේ ඉතාම නරක මට්ටමක සැලකිලි. මේවාට "මානසික රෝහල්" කියන වචනයට වැඩිය ගැලපුනේ "පිස්සන් කොටු" කියන වචනයයි. ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක ලෙස නෙලී බ්ලයි විසින් සිදු කළ පුරෝගාමී මෙහෙවර නිසා මේ පිස්සන් කොටු ඇතුළේ සිදුවන අමානුෂික දේවල් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.

අපේ කතානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි. ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවු යෝර්ක් සිට ගමන් අරඹන අපේ කථා නායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වෙන්න පෙර දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා. ඒ ඓතිහාසික තොරතුරු අපි පැත්තකින් තියමු.

වැදගත්ම කරුණ වන්නේ ඇමරිකාවෙන් පිටත් වීමෙන් පසුව ඇයට පළමු වරට ඇමරිකන් මුදල් දකින්න ලැබෙන්නේ ලංකාවේදී වීමයි. ඒද ආභරණ ලෙස මිස මුදල් ලෙස නෙමෙයි. ඇමරිකන් මුදල් වලින් ඇයට ලංකාවේදී ගෙවීම් කළ හැකි වෙන්නේ 60%ක වට්ටමකටයි. එහෙත් ආභරණ ලෙස භාවිතා කළ රත්තරන් කාසි සම්බන්ධව එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් විස්සක රත්තරන් කෑල්ලකට ලංකාවේදී හොඳ මිලක් ලැබෙනවා. ඒ රත්තරන් වලට නෛසර්ගික වටිනාකමක් තිබුණු නිසා.

"For the first time since leaving America I saw American money. It is very popular in Colombo and commands a high price–as jewelry! It goes for nothing as money. When I offered it in payment for my bills I was told it would be taken at sixty per cent discount. The Colombo diamond merchants are very glad to get American twenty dollar gold pieces and pay a high premium on them. The only use they make of the money is to put a ring through it and hang it on their watch chains for ornaments."

වසර 130කට පෙර ඇමරිකන් ඩොලරයට තිබුණු සැලකිල්ල ඔය වගේ එකක්. ඒ දවස් වල ලෝකයේ වැඩිම පිළිගැනීමක් තිබුණු මුදල් ඒකකය බ්‍රිතාන්‍ය පවුමයි. ඇමරිකන් ඩොලර් සුළු ප්‍රමාණයක් අරගෙන ගියත් එලිසබෙත් ජේන් කොක්‍රේන් ඉතිරි මුදල් අරගෙන යන්නේ බ්‍රිතාන්‍ය පවුම් හා රත්තරන් ලෙසයි. ඩොලරයට තැනක් නොතිබුනත්, ඒ කාලයේදී බ්‍රිතාන්‍ය පවුම් වලට ලෝකයේ හැම රටකම පිළිගැනීමක් තිබුණා.

ලංකාවේ ගොඩක් අයට රත්තරන් ප්‍රමාණයක් ගැන පැහැදිලි අදහසක් තියෙන්නේ පවුම් වලින් කියූ විටයි. රත්තරන් කාසි ආභරණ ලෙස පැළඳීම ලංකාවේ කාලයක සිට තිබී ඇති පුරුද්දක්. රත්තරන් පවුමක් කියා කියන්නේ බ්‍රිතාන්‍ය පවුමක කාසියක්. මේ පවුමේ කාසි 4.25ක ආසන්න ලෙස ට්‍රෝයි අවුන්සයක රත්තරන් තිබෙනවා. පවුම් බාගත් තියෙනවනේ. පවුම් බාගේ හෙවත් සිලිං දහයේ කාසි 8.5ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.

ඔය කාලයේ රටවල් අතර විණිමය අනුපාතය තීරණය වුනේ මුදල් ඒකක වල රන් වටිනාකම මත. 1934 වන විටත් රන් අවුන්සයක් ඇමරිකන් ඩොලර් 20.67ක් වූ බව මම කිවුවනේ. එතකොට පවුමක රන් අවුන්ස 4.25යි.

රන් අවුන්ස 1 = ඇමරිකන් ඩොලර් 20.67 = ස්ටර්ලින් පවුම් 4.25

මේ අනුව, 

ස්ටර්ලින් පවුම් 1 = ඇමරිකන් ඩොලර් 20.67/4.25 = 4.86.

ඔය කාලයේ ලංකාවේ රුපියලක අගය තීරණය වුනේ ඉන්දියාවේ රුපියලක අගය මත. ඉන්දියාවේ රුපියලක අගය තීරණය වුනේ ස්ටර්ලින් පවුමකින් 1/10ක, එහෙමත් නැත්නම් සිලින් 2ක අගය මත. ඒ කියන්නේ රුපියල් පහකට පවුම් බාගයක් ගන්න පුළුවන්කම තිබුණා. රුපියල් දහයකට පවුමක් ගන්න පුළුවන් වුනා.

දැන් පවුමක් කීයද?

මේ අනුපාතය අනුව ඩොලරයක මිල රුපියල් 2.05ක් පමණ වෙනවා. අපේ කථානායිකාව ඩොලර් මාරු කරගෙන තියෙන්නේ 60%ක වට්ටමකට. ඒ කියන්නේ ඒ දවස් වල කොටුවේ ඩොලර් මාරු කරලා තියෙන්නේ සත 82ක් වගේ ගාණකට. 

ඩොලර් විස්සේ රත්තරන් කෑල්ලක් කියන්නේ රන් අවුන්සයක් විය යුතුයි. පවුම් 4.25ක්. මේකටනම් රුපියල් 45ක් විතරවත් ලැබෙන්න ඇති!

රත්තරන්, ඩොලර් එක්කම අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී එලිසබෙත් ජේන් කොක්‍රේන්ගේ පුරෝගාමී මෙහෙවරත් සිහිපත් කරමු. ඒ දවස් වල කාන්තාවක් සූට්කේස් එකක් අරගෙන තනිවම ලෝකය වටා යනවා කියන්නේ ඇත්තටම ලොකු වැඩක්.

Tuesday, September 10, 2019

පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?


පොත් වල මිල වැඩියි කියා මැසිවිලි නගන ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය ආකල්පමය ප්‍රශ්නයක් මිසක් පොත් වල මිල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකු සමාජවාදී ක්‍රමයට හිතන්න පුරුදු වී හෝ පුරුදු කරනු ලැබ තිබීමයි.

සමාජවාදය, වඩාත් නිවැරදිව කියනවානම් මාක්ස්වාදය, කියා කියන්නේ ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේත් මේ කතන්දරයට ගැලපෙන ආකාරයටයි. ඒ අනුව කිසියම් දෙයක වටිනාකම තීරණය වෙන්නේ එය නිෂ්පාදනය කරන්න යෙදවූ අමුද්‍රව්‍ය ආදී සාධක මතයි. මේ අනුව, පොතක් මිල දී ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අකුරු මුද්‍රණය කර තිබෙන කඩදාසි මිටියක් තමා සන්තක කර ගැනීමයි.

සමාජවාදී චින්තනය අනුව දැන් මේ පොතක් කියා කියන කඩදාසි මිටියේ වටිනාකම කීයද? එය තීරණය වන්නේ එහි නිෂ්පාදන වියදම මතයි. පොත තිබෙන්නේ කා සන්තකවද කියන එක අනුව පොතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. මේ පදනමෙන් බැලූ විට රුපියල් දෙසීයක වියදමින් නිපදවූ පොතක් රුපියල් හාරසීයකට විකිණීම පෙනෙන්නේ පොත් ප්‍රකාශකයා විසින් අසාධාරණ ලාබයක් ඉපැයීමක් ලෙසයි.

ධනවාදය මාක්ස්වාදය මෙන් ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක් නෙමෙයි. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව ගනුදෙනු වල යෙදෙන්නේ හිතන පතන මිනිස්සු මිසක් යන්ත්‍ර නෙමෙයි. ඒ අයට එකිනෙකාගෙන් වෙනස් වූ රුචිකත්වයන් තිබෙනවා. ධනවාදී චින්තනය අනුව කෙනෙක් පොතක් මිල දී ගැනීමේදී ඒ මිල ගෙවන්නේ පොත තමා සන්තක කර ගැනීමේ සතුට වෙනුවෙන් මිසක් පොතක් කියා කියන කඩදාසි මිටිය වෙනුවෙන් නෙමෙයි.

බොහෝ දෙනෙකු හා අදාළව පොතක් තමා සන්තක කර ගැනීමෙන් ලැබෙන සතුට කියා කියන්නේ පොත කියවීමෙන් ලැබෙන සතුට මිසක් පොත ගෙදර රාක්කයක තියාගෙන සිටීමෙන් ලැබෙන සතුට නෙමෙයි. අවශ්‍ය අයෙකු දෙවන ආකාරයේ සතුටක් ලැබීම ධනවාදී චින්තනය සමග ගැටෙන දෙයක්ද නෙමෙයි. පොතක් තමා සන්තක කර ගෙන යමෙක් මේ කවර ආකාරයෙන් හෝ ලබන සතුට පුද්ගලයා අනුව වෙනස්වන දෙයක් නිසා පොතක වටිනාකම කියන එකත් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. එහි නිශ්චිත නිරපේක්ෂ අගයක් නැහැ.

ධනවාදී ක්‍රමයට හිතනවානම් වැදගත් වෙන්නේ පොතක් තමන් සන්තක කර ගැනීමෙන් ලැබිය හැකි සතුටේ වටිනාකම ගෙවන මිල නිසා අහිමිවන සතුටට වඩා අඩුද වැඩිද කියන එක පමණයි. යමෙක් පොතක් මිලදී ගන්නේ ඔහුට හෝ ඇයට සාපේක්ෂව පොතේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, පොතක් මිල දී ගන්නා කෙනෙකුට හැම විටම වාසියක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුවේදී පොත් ප්‍රකාශකයා කොයි තරම් ලාබයක් උපයනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ තමන්ට ලාබයක් ලැබුනේද යන්නයි.

ධනවාදී ක්‍රමයට හිතුවොත් පොතක් කියවා අවසන් වූ පසුව ඒ පොත මිල දී ගැනීමෙන් ලබන්න අපේක්ෂා කළ සතුට ලබා අවසන්. ඒ නිසා, තව දුරටත් ඒ පුද්ගලයාට ඒ පොතේ වටිනාකමක් නැහැ. මේ කරුණ හැම පොතකටම අදාළ නැහැ. කිසියම් විෂයයකට අදාළ පාඨ ග්‍රන්ථයක් වගේ එකක්නම් එහි තිබෙන්නේ තරමක් දිගුකාලීන වටිනාකමක්. එවැනි පොතක වුවත් වටිනාකම වසරකට හෝ කිහිපයකට පසුව නැති වී යනවා. එසේ නොවන්නේ ශබ්දකෝෂයක් වැනි පොතක් හා අදාළව පමණයි.

නවකතා වැනි පොත් වලට බොහෝ විට මෙවැනි දිගුකාලීන වටිනාකමක් නැහැ. පොත කියවා අවසන් වූ පසු එය මිල දී ගැනීමෙන් අපේක්ෂා කළ සතුට ලබා අවසන්. හරියට චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. නමුත්, සමාජවාදී ක්‍රමයට හිතුවොත්නම් කියෙවුවත් නැතත් පොතේ වටිනාකම එක ලෙසම පවතිනවා. ඒ වටිනාකම නැති වෙන්නේ පොත භෞතිකව විනාශ වුවහොත් පමණයි.

තමන් කියවා අවසන් කළ, නැවත වරක් කියවන්න කිසිදු ඉඩක් නැති පොත් එකතු කර ගෙන ඉන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙන්නේ ඔවුන් හුරු වී සිටින සමාජවාදී චින්තනය නිසා. ලංකාවේ ඉන්න තාක් කල් මම හිටියේත් ඔය ගොඩේම තමයි. පොත් මිල දී ගෙන නොකියවා ගොඩගහගෙන ඉන්න හේතුවත් මෙයමයි. කවදාවත් වාඩි නොවෙන පුටු සෙට්, ක්‍රියාත්මක නොකරන ශීතකරන, මාසයකට වරක් ස්ටාට් කරන කාර් ගෙවල් වල තියා ගෙන ඉන්නේත් තමන් මිල දී ගෙන තිබෙන්නේ අදාළ භාණ්ඩය කියා හිතන්න පුරුදු කරනු ලැබ ඇති නිසයි. ධනවාදී ක්‍රමයට හිතනවානම් කෙනෙක් මුදල් ගෙවන්නේ සුවපහසුවට අසුන් ගැනීමෙන් ලබන සතුට, කෑම නරක් කර නොගෙන සීතල බීම වීදුරුවක් බීමේ සතුට හා පහසුවෙන් ගමනක් යාමේ සතුට වෙනුවෙන් මිස අදාළ භාණ්ඩ තමා සන්තක කර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා, මේ වාසි නොලබනවානම් අදාළ භාණ්ඩ වෙනුවෙන් වැය කළ මුදලේ තේරුමක් නැහැ.

බටහිර රටවල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ මිස අනාගතයේදී පරිභෝජනය කරන්න හිතාගෙන ඉන්න භාණ්ඩ හෝ අතීතයේදී පරිභෝජනය කළ භාණ්ඩ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා. සක්‍රිය හා පුළුල් වෙළඳපොළක් තියෙන නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් අවශ්‍ය මිලකට මිල දී ගන්න ගන්න බැරි වෙයි කියන බය ඔවුන්ට නැහැ. අලුත් බඩුවක් ගන්න සල්ලි නැත්නම් අතේ තිබෙන මුදලට සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් හරි ගන්න පුළුවන්.

පෞද්ගලික අයිතියට මුල් තැන ලැබෙන සමාජ ක්‍රමයකදී භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අයිතිය වෙනුවෙන් වැය කළ යුත්තේ තමන්ගේම ප්‍රාග්ධනය නිසාත්, ඒ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයක් තිබෙන නිසාත් වර්තමානයේ පරිභෝජනය නොකරන භාණ්ඩයක් වෙනුවෙන් මුදල් යට කිරීම අවාසිදායකයි. එක්කෝ ඒ මුදලින් වර්තමානයේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න වෙනත් දෙයක් මිල දී ගත හැකියි. එහෙම නැත්නම්, මුදල් ආයෝජනය කර (ණයට දී) ආදායමක් ඉපැයිය හැකියි. ධනවාදී චින්තනය තියෙන මිනිස්සු හිතන්නේ ඔය විදිහටයි.

අනෙක් අතට පොදු දේපොළ ක්‍රමය යටතේ ඕක වෙනස් විදිහකට සිදු වෙනවා. භාණ්ඩයක් පරිභෝජනය කරන්න තමන්ගේම මුදලක් වැය කළ යුතු නැත්නම්, හොඳම දේ ඉඩක් ලැබුණු වෙලාවට පුළුවන් තරම් පරිභෝජනය කරන එකයි. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පරිභෝජනය කරන්න ලැබෙයි කියා විශ්වාසයක් නැති නිසා ආණ්ඩුවෙන් දෙන දේ දෙන වෙලාවට පරිභෝජනය නොකළොත් ඒ අවස්ථාව ගිලිහී යනවා. ලංකාවේ රජයේ සේවකයින් උදාහරණයට ගත්තොත් සහන දුම්රිය ප්‍රවේශපත්, රජයට අයත් නිවාඩු නිකේතන, අඩු පොලී ණය (උත්සව අත්තිකාරම්) වගේ වසරකට වරක් හෝ කලාතුරකින් ලැබෙන සහන තමන්ට අවශ්‍යම නොවුනත් ගන්න පෙළඹෙන්නේ මේ පදනමිනුයි.

ලංකාවට වෙලා තිබෙන්නේ, ධනවාදී ක්‍රමයක තිබෙන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය මිලකට අවශ්‍ය දේ මිල දී ගන්න ඉඩ සැලසෙන වෙළඳපොළ යාන්ත්‍රණයක් රටේ නැහැ. මිනිස්සු වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන්න පටන් ගන්න තුරු එවැනි යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම, පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් දේවල් ආණ්ඩුවෙන් නිකම් ලැබෙන තරමේ සමාජවාදයකුත් නැහැ. එවැනි ක්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික ශක්තියක් රටට නැහැ. ඒ නිසා, ඉඩක් ලැබෙන වහාම පොදු දේපොළ ඕනෑවටත් වඩා පරිභෝජනය කර නාස්ති කරන අතරම පෞද්ගලික දේපොළ පරිභෝජනය නොකර ගොඩ ගසා ගන්නවා. ඔතැන තියෙන්නේ ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන මතවාදී ලෙස සමාජවාදීන් වුවත්, රටේ සමාජ ආර්ථික ක්‍රමය ඔවුන්ට අවශ්‍ය තරමටම සමාජවාදී කරගත නොහැකි වීමේ අවුලයි.

දැන් මගේ ධනවාදී යෝජනාව මෙයයි. පොතක් කියවා අවසන් වුනාට පස්සේ, එය නැවත වරක් කියවන්න අදහසක් නැති පොතක්නම් පොඩ්ඩක් අඩුවෙන් කාට හෝ විකුණන්න. උදාහරණයක් විදිහට රුපියල් පන්සීයකට මිල දී ගත් පොතක් රුපියල් තුන්සීයකට විකිණුවා කියා ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. රුපියල් පන්සීය ඔබ වැය කර අවසන්. එය නැවත නොලැබෙන ගිලුණු පිරිවැයක්. ඒ වගේම, පොත කියැවීමෙන් පසුව ඔබට එයින් ලැබිය හැකි සතුටත් ඔබ විසින් ලබා අවසන්. එසේ තිබියදී පොත ඔබ සන්තකයේ තබා ගැනීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසියක් නැහැ. නමුත්, කියවා අවසන් වූ පොත රුපියල් තුන්සීයකට විකිණුවොත් ඔබට අතට මුදලක් ලැබෙනවා. මේ විදිහට කියවා අවසන් පොත් දෙකක් විකිණුවොත් තවත් අලුත් පොතක් මිල දී ගන්න මුදලක් අතට ලැබෙනවා.

රුපියල් පන්සීයක පොතක් මුද්‍රණද්වාරයෙන් පැමිණි අලුතම අයෙක් වරක් කියවූ පොතක් රුපියල් තුන්සීයකට මිල දී ගන්න කෙනෙක් හොයා ගැනීම අමාරු නැහැ. ඔබ මේ වැඩේ කරනවානම් හොඳම ක්‍රමය පොත ගැන හා ඔබ එය විකුණන මිල ගැන වත්පොත හෝ වට්ස්ඇප් වැනි තැනක් හරහා ඔබේ මිතුරන්ට දැනුම් දීමයි. එවිට ඔබේ කාර්යාලයේම සේවය කරන හෝ දුම්රිය සගයෙකු වන මේ පොත මිල දී ගන්න හිතාගෙන ඉන්න අයෙකු ඉදිරිපත් වෙන්න පුළුවන්.

යහළුවන් විසින් කියවීම සඳහා පොත් ඉල්ලාගෙන යාම ලංකාවේ සුලබව සිදුවන දෙයක්. මේ පොත් ඇතැම් විට ආපහු ලැබෙන්නේ නැහැ. එය යහළුවන් අතර නොහොඳ නෝක්කාඩු වලටත් හේතු වෙනවා. බොහෝ විට මේ විදිහට යාළුවෙකුගෙන් ඉල්ලාගෙන යන පොත ආපසු නොදෙන්නේ යාලුවා එය කියවා නැති නිසයි. යාලුවා හිතාගෙන ඉන්නේ කියවා අවසන් වූ පසු පොත ආපහු දෙන්නයි. නමුත්, එය කවදාවත් වෙන්නේ නැහැ. කියවන්න ලොකු උනන්දුවක් නැතුව යාලුවා පොත අරන් යන්නේ එය නිකම් ලැබෙන නිසයි.

පොත නිකම් කියවන්න නොදී අඩු මුදලකට විකිණීම දෙන්නාටම හොඳ විකල්පයක්. පොත යාළුවාට දෙන්නේ මුදලක් අරගෙන නිසා පොත එතැනින් අමතක කර දැමිය හැකියි. ඒ වගේම, යාලුවා මුදල් ගෙවා පොත ගන්නේ එය ඔහුට වටිනවානම් පමණයි. මේ වගේ වැඩක් රැල්ලක් විදිහට බෝ කළොත්, ඉතා ඉක්මණින් පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් හැදෙනවා. එවිට, ඔබටත් පොත් සාප්පුවේ මිල නොගෙවා යාළුවෙක් කියවූ පොතක් අඩු මිලකට මිල දී ගත හැකියි. ගනුදෙනුව සිදුවන්නේ යාළුවෙක් සමඟ වුවත් නිසි පරිදි ගනුදෙනු පියැවීම වැදගත්.

රුපියල් පන්සීයක පොතක් ඔබ මිල දී ගත්තේ රුපියල් තුන්සීයකට වුවත් ඔබට එය නැවත රුපියල් දෙසීයකට හෝ දෙසිය පණහකට විකිණිය හැකියි. වැඩි දෙනෙකු මේ කටයුත්තට සහභාගී වන තරමට ඔබට පොතක් මිල දී ගන්න වැය වන මුදල හා කියැවූ පොත නැවත විකිණිය හැකි මුදල අතර වෙනස, එනම් ඔබ පොත කියවා ලැබූ සතුට වෙනුවෙන් ගෙවිය යුතු මුදල අඩු වෙනවා.

මේ විදිහට පොතක් අතින් අත යද්දී ක්‍රමක්‍රමයෙන් එහි මිල පහළ වැටී අන්තිමේදී අලුත් පොතක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ නොහැකි පාසැල් සිසුවියක හෝ රැකියා විරහිත තරුණියක වැනි අයෙකුට සුළු මුදලක් ගෙවා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත්, පොත ලැබෙන්නේ නිකම්ම නොවන නිසා එය අනවශ්‍ය අයෙකුගේ අතට යාමත් වැළකෙනවා. සමහර විට මාස කිහිපයකට පෙර රුපියල් පන්සීයකට මිල කර එළියට දැමූ පොතක් මේ ආකාරයට අතින් අත යාමෙන් පසු රුපියල් පණහකට මිල දී ගන්න පුළුවන් වෙයි. නැවත විකිණීමේ බලාපොරොත්තුව නිසා පොත කියවන හැම කෙනෙක්ම පුළුවන් උපරිමයෙන් පොත පරිස්සම් කරන්නත් පෙළඹෙනවා.

අවසාන වශයෙන් සිදු වන්නේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී වගේ පොතේ මිලට හත් අට දෙනෙක් සම්මාදම් වීමකුයි. මෙය ධනවාදී ලෙස හිතන මිනිසුන් සිටින තැනක කටයුතු සිදුවන සාමාන්‍ය පිළිවෙළ මිස අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ කාර් ගන්න මිනිස්සු හිතන්නේ ධනවාදී ක්‍රමයට වුනත්, පොත් ගන්න මිනිස්සු තවමත් හිතන්නේ සමාජවාදී ක්‍රමයටයි. ඒ නිසා, ලංකාවේ මිනිස්සු පරණ කාර් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නේ නැතත් පරණ පොත් ගොඩගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ මූලාශ්‍රයක් සේ නිතර පරිශීලනය කළ යුතු වර්ගයේ පොත් ගැන නෙමෙයි.

කවුරු හෝ තමන් කියැවූ පොත් යාළුවන් අතර නැවත විකිණීමේ වැඩේ පටන් ගත්තොත් තත්ත්වය ඉක්මණින් වෙනස් වෙයි. එවිට දැන් රුපියල් පන්සීයකට අලුත් පොතක් කියවීමේ සතුට මිල දී ගන්නා කෙනෙකුට ඒ මිලටම පොත් දහයක් කියවීමේ සතුට මිල දී ගන්න පුළුවන් වෙයි.

ඒ වගේම, රටේ තරුණ පරම්පරාව අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කරන්න බොක්කෙන්ම උවමනාවක් තිබෙනවානම් තමන්ගේ රාක්කයේ තිබෙන කියවා අවසන් වූ පොත් හා කවදාවත් නොකියවනු ඇති අලුත් පොත් වලින් කිහිපයක් අඩු මිලකට ප්‍රසිද්ධියේ විකුණා දමන්න. කණ්ඩායමක් එකතු වී සංවිධානාත්මකව පාසැල් සිසුන් හෝ සාමාන්‍යයෙන් පොත් නොකියවන ජන කණ්ඩායම් සිටින තැන් ඉලක්ක කළ හැකි තැනක මේ පොත් විකිණිය හැකිනම් වඩාත් හොඳයි. හැබැයි රුපියල් පණහක් හෝ අය කර මිස නිකම් පොත් දෙන්න එපා. නිකම් දුන්නොත් වෙන්නේ නැවතත් මේ පොත් පොත් නොකියවන අයෙකු ළඟ රැඳෙන එක පමණයි.

වැදගත් වෙන්නේ පොත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරනවාත් එක්කම වෙළඳපොළ යාන්ත්‍රණයටත් පොඩි තල්ලුවකුත් දීමයි. එසේ නැත්නම්, මෙවැනි හුදෙකලා වැඩකින් දිගුකාලීනව ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත්, පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් මොන විදිහකින් හෝ හැදුනොත් දිගුකාලීනව එයින් බොහෝ දෙනෙක්ට යහපතක් සැලසෙනවා.

Monday, September 9, 2019

පොත් මිල වැඩිද?


සාහිත්‍ය මාසයේදී පොත් ගැන වැඩිපුර කතාබහ කෙරෙනවා. ඒ කතාබහ අතරතුරේදී බොහෝ විට පොත් වල මිල ගැන මැසිවිලි නැගෙනවා. ඒ එක්කම, පොත් මිල වැඩි වීමට හේතුව පොත් ප්‍රකාශකයින් බවටද අදහස් පළ වෙනවා.

ලංකාවේ පොත් ප්‍රකාශකයින් තමන් විසින් කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් මිස සුපිරි ලාභ උපයන පිරිසක් නොවන බව මා මීට සිවු වසරකට පෙර ලියා තිබෙන කරුණක්. අදාළ තත්ත්වයන් තවමත් ලොකුවට වෙනස් වී ඇතැයි මා හිතන්නේ නැහැ. පෙර ලිපියට සබැඳියක් පහත තිබෙනවා.

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?

පොත් පළ කිරීමෙන් සුපිරි ලාබ ලැබිය හැකිනම් අලුත් ව්‍යාපාරිකයින් විශාල වශයෙන් මේ ව්‍යාපාරයට ආකර්ශනය විය යුතුයි. එහෙත්, එය එසේ වෙන්නේ නැහැ. සිංහල කියවන්නන් සිටින්නේ ලංකාවේ හෝ ලංකාවෙන් බැහැරව ජීවත්වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් අතර පමණයි. මේ ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ඉංග්‍රීසි හෝ  ස්පාඤ්ඤ වැනි බසකින් ලියන පොතකට තිබෙන වෙළඳපොළ හා සසඳන විට මේ වෙළඳපොළ ඉතාම කුඩා එකක්. බෙංගාලි හෝ දෙමළ වැනි බසකින් ලියන අයටත් විශාල වෙළඳපොළක් තිබෙනවා.

සාපේක්ෂව ඉහළ ස්ථිර පිරිවැයක් හා අඩු විචල්‍ය පිරිවැයක් ඇති නිෂ්පාදන කාර්යයකදී වෙළඳපොළ පරිමාව විසින් එයට ඔරොත්තු දිය හැකි ප්‍රසස්ථ නිෂ්පාදකයින් ප්‍රමාණය තීරණය කෙරෙනවා. ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි වුවහොත්, කිසිවෙකුට තමන් විසින් සිදු කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් ලැබිය නොහැකි වෙනවා. මෙවැනි වෙළඳපොළකට අලුත් නිෂ්පාදකයින් එකතු වෙන්නේ වෙළඳපොළ පරිමාව ප්‍රසාරණය වීමට සාපේක්ෂවයි.

ලංකාවේ පොත් ප්‍රකාශනයෙහි යෙදෙන්නේ සමාගම් සීමිත ගණනක්. ඒ කියන්නේ ලංකාවේ පොත් ප්‍රකාශනය කතිපයාධිකාරී වෙළඳපොළක්. නමුත්, මෙය ස්වභාවික තත්ත්වයක් මිස කෘතීම තත්ත්වයක් හෝ නිවැරදි කළ යුතු දෙයක් කියා මා හිතන්නේ නැහැ.

ලංකාවේ මුද්‍රිත පොත් සඳහා තිබෙන වෙළඳපොළ තවමත් ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක මගේ අදහසයි. එයට හේතු තිබෙනවා. වෙළඳපොළ ප්‍රසාරණය වීමට සාපේක්ෂව අලුත් පොත් ප්‍රකාශකයින් බිහි වන බව වගේම, වඩා කාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් මතු වී අකාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් වෙළෙඳපොළෙන් විසිවන බවත් පෙනෙන්නට තිබෙනවා.

මේ යුගය විද්‍යුත් මාධ්‍ය වල යුගය මිස මුද්‍රිත ප්‍රකාශන වල යුගය නෙමෙයි. කලක් ජනප්‍රියව තිබූ මුද්‍රිත පුවත්පත් වගේම මුද්‍රිත පොතුත් ඉවත් කරමින් විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන ආදේශ වීම ලොව පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. එසේ තිබියදීත්, ලංකාවේ මුද්‍රිත පොත් සඳහා වන වෙළඳපොළ ප්‍රසාරණය වීමට ප්‍රධානම හේතුව ලංකාවේ ආදායම් මට්ටම් ක්‍රමයෙන් ඉහළ යාමයි.

රටක ආදායම් මට්ටම අඩු ආදායම් මට්ටමේ සිට පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ යාම බොහෝ විට පිළිබිඹු වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා මිල දී ගැනීමට ඇති ඉල්ලුම වැඩි වීමෙන්. එහෙත්, රටක් පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා එසැවෙන විට රටේ බොහෝ දෙනෙක් මේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි මට්ටම ඉක්මවා ගොස් සිටින නිසා පොත් පත් වැනි ද්වීතියික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය කිරීම ඉහළ ගොස් ඒවාට ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව දැන් ඉන්නේ මෙවැනි අදියරකයි.

අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය නිසා මුද්‍රිත පොත් ප්‍රවර්ධනය වීමකුත් යම් තරමකින් හෝ සිදු වෙනවා. ටික දවසකට කලින් අජිත් ධර්මා විසින් පොතක් එළියට දැම්මා. මේ විදිහට පොතක් විදිහට පළ කෙරුණේ ඔහු තමන්ගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ කතාවක්. මීට පෙරත් ඔහු බ්ලොග් එකේ පළ වූ ඔහුගේ ලිපි එකතුවක් පොතක් විදිහට පළ කළා. මීට කලින් රසික සූරියාරච්චි, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක වගේ අයත් මේ වැඩේම කළා. මෙතැනදී වුනේ විද්‍යුත් මාධ්‍ය නිසා මේ අයට පාඨකයින් පිරිසක් හදා ගන්න පුළුවන් වීම හා ඒ මත පොතක් මුද්‍රණය කර එළියට දැමිය හැකි වෙළඳපොළක් බිහි වීමයි. අජිත් ධර්මාගේ බ්ලොග් එක නොවන්නට ඔහුගේ පොත් පළ නොවන්නට ඉඩ තිබුණා.

වෙළඳපොල ප්‍රසාරණය වන තරමට පොත් ප්‍රකාශකයින් ගණන වැඩිවීමත්, පොතක මිල පහළ යෑමත් සිදු වෙනවා. විකිණෙන පිටපත් ප්‍රමාණය වැඩි වන තරමට පොතක් මුද්‍රණය කිරීමේ ස්ථිර පිරිවැය වැඩි දෙනෙකු අතර බෙදී යාම හා පළ වන පොත් ප්‍රමාණය වැඩි වන තරමට පොත් ප්‍රකාශකයෙකුගේ ස්ථිර පිරිවැය වැඩි පොත් ගණනක් අතර බෙදී යාම මීට හේතුවයි.

මගේ අදහසනම් ඇත්තටම ලංකාවේ පොත් මිල දැන් සාපේක්ෂව ගොඩක් අඩුයි කියන එකයි. මා එසේ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදායම් මට්ටම් වලට සාපේක්ෂවයි. අවශ්‍ය කෙනෙකුට කියවන්න අවශ්‍ය පොතක් මිල දී ගන්න ලැබෙන ආදායම ලොකු බාධාවක් නෙමෙයි.

හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලිපිය කියවන ගොඩක් අය ළඟ නොකියවූ අලුත් පොත් එකක් හෝ කිහිපයක් තිබෙනවා. පොතක් මුදල් ගෙවා මිල දී ගෙන එය නොකියවනවා කියා කියන්නේ පොත වෙනුවෙන් ගෙවූ මිලට සාපේක්ෂව පොත කියවීම වෙනුවෙන් වෙන් කළ යුතු කාලයේ ආවස්ථික පිරිවැය වැඩියි කියන එකයි. සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් හැරුණු විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි. පොත් ගන්න සල්ලි තිබෙනවා. කියවන්නත් ආසයි. ඒත් වෙලාව නැහැ.

කියවන්න වෙලාවක් නැති බව දැන දැනම පොත් මිල දී ගන්නා විශාල පිරිසක් සිටීමෙන් පෙනෙන්නේ ලංකාවේ පොත් මිල එතරම්ම වැඩි නැති බවයි. මා ළමා හා තරුණ වියේදී ලොකු පොත් ලෝලියෙකු වුවත්, ඒ කාලයේදී පවා මුදල් ගෙවා මිල දී ගෙන නොකියැවූ පොත් මගේ පොත් රාක්කයේ තිබුණා. සෝවියට් දේශය විසින් විශාල ලෙස සුබසාධනය කර කඩදාසි වල මිල තරමටවත් නොවටිනා ඉතා අඩු මිලකට විකිණූ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය පොතේ වෙළුම් උදාහරණ සේ දැක්විය හැකියි. ඊට අමතරව මරදානේ පදික වේදිකාවෙන් ඉතා අඩු මිලකට මිලදී ගත් ඇතැම් පාවිච්චි කළ ඉංග්‍රීසි පොත්ද මා කියවා නැහැ.

විවිධ ශානර වලට අයත් මේ පොත් සියල්ල එකතු කළ හැකි පොදු සාධකය ඒවා මිල දී ගැනීම වෙනුවෙන් මා විසින් වැය කළ මිලයි. ඒ මිල ඉතා සුළු මිලක් නොවූවානම් මා මේ පොත් මිල දී ගන්නේ නැහැ. නමුත්, විකිණුනු මිල අනුව යම්හෙයකින් ඉඩක් ලැබුණොත් කියවන්න හිතාගෙන මෙවැනි පොතක් මිල දී ගැනීමට පෙළඹුමක් ඇති වුනා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගෙන නොකියවා ගොඩ ගසා ගෙන සිටින මධ්‍යම වයසේ මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙක් කරන්නේත් මෙයයි.

ඉහත හේතුව මත ලංකාවේ පොත් මිල එතරම් වැඩි නැතැයි මා කිවුවත් මෙය සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. පොත් කියවන්න ඕනෑ තරම් වෙලාව තිබෙන සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් වැනි බොහෝ දෙනෙකුට පොත් වෙනුවෙන් වැය කළ හැකි තරමේ ආදායමක් නැහැ. ඔවුන්ට සාපේක්ෂව බැලුවොත් පොත් වල මිල තවමත් වැඩියි. නමුත්, රජය මැදිහත් වී පොත් වෙළඳපොළ සුබසාධනය කිරීම වැනි සමාජවාදී පන්නයේ මැදිහත්වීම් මෙයට විසඳුමක් නොවන්නේ එමඟින් අනවශ්‍ය අය අතේ පොත් ගොඩ ගැසීම තව දුරටත් ධෛර්යමත් වන නිසයි.

මේ අසමතුලිතතාව සමනය කළ හැකි ධනවාදී විසඳුමක් ගැන ඉදිරි ලිපියක කතා කරමු.

Sunday, September 8, 2019

සාක්ෂරතා දිනය හා සාහිත්‍ය මාසය


අද (සැප්තැම්බර් 8) ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි. 1966 ඔක්තෝබර් 26 වන දින පැවැත්වුණු යුනෙස්කෝ සංවිධානයේ 14 වන මහා සභා සැසි වාරයේදී මේ දිනය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කොට ඊළඟ වසරේ සිට එදිනට ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබීමට යෝජනා සම්මත කර ගනු ලැබුවා.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් මාසය ලංකාවේ ජාතික සාහිත්‍ය මාසය ලෙසත්, ඇමරිකාවේ ජාතික සාක්ෂරතා මාසය ලෙසත් හැඳින්වෙනවා. මේ මාසයේ ආරම්භය සනිටුහන් කරමින් ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය මඟින් 2001 වසරේ සිට වාර්ෂිකව පවත්වන ජාතික පොත් සැණකෙළිය මෙවරද පැවැත්වුනා.

නමුත්, මේ සැණකෙළිය හෝ ජාත්‍යන්තර සාක්ෂරතා මාස සැමරුම් කටයුතු ඇමරිකාවේදී ලංකාවේ තරම්ම උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙනවා කියා කියන්න බැහැ. 1999 සිට වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊට වඩා දෙවසරකින් පැරණියි වගේම ඊට වඩා ගොඩක් සාර්ථක බවත් කිව හැකියි. ඇමරිකාවේ පොත් සැණකෙළිය ලාභ ලැබීම අරමුණ කර නොගත් රාජ්‍ය ආයතනයක් විසින් පවත්වන්නක් වීමත්, ලංකාවේ පොත් ප්‍රදර්ශනය පෞද්ගලික ව්‍යවසායකයින් විසින් සංවිධානය කරන ලාභ අරමුණු කරගත් කටයුත්තක් වීමත් මේ වෙනසට හේතුව බව පෙනෙනවා.

ලංකාවේ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹුණු කාලය මට ඉතා හොඳින් මතකයි. මුල් වසර වලදී මා දිගටම මේ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනා වගේම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දී ගත්තා. ඒ කාලය මගේ ආදායමෙන් සෑහෙන කොටසක් පොත් වෙනුවෙන් වැය කළ කාලයක්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගැනීමෙන් ලැබුණු වාසි රැසක් තිබුණා. ඒ අතර වූ ප්‍රධාන වාසිය එහිදී ලැබුණු වට්ටම් නෙමෙයි. ලංකාවේ පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය තුළ අඩු මිලට පොත් විකිණීම ආරම්භ වුණේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීමෙන් පසුව නෙමෙයි. ඒ වට්ටම් ඊට පෙරත් තිබුණා. අවම වශයෙන් අසූව දශකයේ මුල් කාලයේ සිට ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය පුරා වට්ටම් මිලකට පොත් විකිණුවා. හරියටම මතක නැතත්, හැත්තෑව දශකයේදීත් සැප්තැම්බර් මාසයේදී මේ අයුරින් වට්ටම් දීම සිදු වුනා කියා මා හිතනවා.

ඒ දවස් වල ලංකාවේ පොත් ප්‍රකාශකයින් අතර ඉදිරියෙන්ම සිටියේ ගුණසේන සමාගමයි. එම සමාගමට රට පුරා ව්‍යාප්ත වූ පුළුල් ශාඛා ජාලයක්ද තිබුණා. දෙවැනි තැන හිටියේ ගොඩගේ සමාගම වෙන්න ඇති. දයාවංශ ජයකොඩි සමාගම, මොඩන් පොත් ප්‍රකාශකයෝ වගේ අයත් පොත් ගැහුවා. අනූව දශකයේදී වේගයෙන් ඉදිරියට ආ සරසවි සමාගම ඒ කාලය වෙද්දී ලොකුවට මතු වී තිබුණු එකක් නෙමෙයි.

සාහිත්‍ය මාසයේදී අඩු මිලට පොත් ගන්න ගුණසේන සමාගමට එන එක මා පටන් ගත්තේ වැඩිහිටියෙකු සමඟ මිස තනිව නිවසින් බැහැර යා නොහැකි තරම් කුඩා කාලයේදීයි. මේ කටයුත්ත මගේ පියා වගේම මවගේ පියා විසිනුත් කළ දෙයක්. ඉන් පසුව, තනිව පොත් හලකට යා හැකි වයසකට පැමිණ අතට මුදලක්ද ලැබුණු කාලයේ සිට දිගටම මා මේ පොත් මිල දී ගැනීම කළා.

මේ ආකාරයට කොළඹදීනම් බොහෝ විට ගියේ ගුණසේන එකටයි. ඒ දවස් වල කොළඹ කියා හොඳින් දැන සිටියේ පිටකොටුව පමණයි. වෙන කොහේ හරි යන්න අවශ්‍ය වුනත් කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඇවිත් ආපහු යන එකයි. නුගේගොඩ ඉඳලා නාරාහේන්පිට වගේ තැනකට යන්න පිටකොටුවට යන්න අවශ්‍ය නැති බව දැන ගන්න කොළඹ අවට ජීවත් නොවූ අයෙකුට කාලයක් යනවා.

ගුණසේන එකේ තිබුණු වාසිය එම පොත්හළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඉතා කිට්ටුවෙන් තිබීමයි. අපේ ප්‍රාදේශීය නගරයේත් ගුණසේන ශාඛාවක් තිබුණත්, එහිත් කොළඹදී ලැබෙන වට්ටම්ම ලැබුණත්, කොළඹදී මෙන් විශාල පොත් තොග එහිදී දැකිය හැකි වුනේ නැහැ. කොළඹ පැමිණි විට අතේ ඇති මුදලට වැඩි තේරීමක් තිබුණා.

ඒ දවස්වලත් සාහිත්‍ය මාසයේදී ගුණසේන එකේ හැම පොතකටම දැන් ලැබෙන 20% වට්ටම ලැබුණා. ඇතැම් පොත් වලට 50%, 75% වැනි වට්ටම්ද ලැබුණා. ඒ විකුණාගත නොහැකිව ඉතිරිව තිබූ දශකයකට හෝ දෙකකට පෙර මුද්‍රණය කළ පොත්. දිලිසෙන කවර තිබුණු පොත් නෙමෙයි. ඒ පොත් වල සාමාන්‍ය මිල සේ සටහන්ව තිබුණේද බොහෝ අඩු මිලක් නිසා වට්ටම් ලැබුණු පසුව මේ පොත් අලෙවි වුනේ හොඳටම අඩු මිලකටයි. ගුණසේන සමාගම වැනි පොත් සමාගම් සාහිත්‍ය මාසය යොදාගත්තේ විකිණෙන පොත් වැඩියෙන් අලෙවි කර ගන්න වගේම නොවිකිණෙන පොත් කීයකට හෝ විකුණා නිදහස් වීමේත් අරමුණිනුයි.

ගුණසේන සමාගම වගේම අනෙක් පොත් ප්‍රකාශකයනුත් සාහිත්‍ය මාසයට වට්ටම් දෙන එක කළා. එම සමාගම් තිබෙන තැන් වලට යා හැකි ආකාරය හොයා ගැනීමෙන් පසුව මම ගුණසේන එකට අමරතව ඒ තැන් වලටත් ගියා. එහෙත්, ප්‍රශ්නය වුනේ ගුණසේන එකට මුලින්ම යාමෙන් පසුව බොහෝ විට අතේ වූ මුදල් අවසන් වීමයි.

කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීමෙන් පසුව ලැබුණු ප්‍රධානම වාසිය වුනේ මේ ප්‍රධාන පොත්හල් සියල්ලේම තිබෙන පොත් සසඳා බලා අතේ ඇති මුදලට හොඳම තේරීමක් කළ හැකි වීමයි. ඒ හැර, ලැබුණු වට්ටම් වල අමුතු වාසියක් තිබුණේ නැහැ. ඒ වගේම, ඉතාම අඩු මිලකට විකිනුණු "නොවිකිණෙන පොත්" කොළඹ පොත් ප්‍රදර්ශනයේදී දකින්න ලැබුනේත් නැහැ.

මම හිතන විදිහට මුල් අවුරුදු වලනම් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනේ ඇත්තටම පොත් මිල දී ගන්න අවශ්‍ය අය මිස සෙල්ෆි ගහන්න හෝ යාලුවෝ හමු වෙන්න අවශ්‍ය අය නෙමෙයි. සෙල්ෆි ගැහිල්ලක් හෝ ෆේස්බුක් ඒ කාලයේ තිබුණෙත් නැහැ. කොහොම වුනත්, අවශ්‍ය කෙනෙක් එවැනි වෙනත් අරමුණකින් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙනවානම් එහි ඇති වැරැද්දකුත් නැහැ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයින්ගේ පැත්තෙන් වගේම පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හරහා ප්‍රකාශකයින් විසින් ඒකාධිකාරයක් (කතිපයාධිකාරයක්) ඇති කර ගෙන තිබීමේ අවුලක් තිබුණත්, එය පොත් ප්‍රදර්ශනය නිසා ඇති වී තිබෙන දෙයක් නෙමෙයි. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවොත් මෙහි තිබෙන වාසිය වට්ටම් නෙමෙයි. පොත් ප්‍රදර්ශනය නැතත් ඔය වට්ටම් වෙන කවර හෝ ආකාරයකින් ලැබෙනවා. පාරිභෝගිකයින්ට ලැබෙන වාසිය තමන්ගේ අතේ තිබෙන මුදලට පොතක් මිල දී ගන්න පෙර වැඩි විකල්ප ගණනාවක් පහසුවෙන් සසඳා බැලිය හැකි වීමයි. පොත් ප්‍රකාශකයින්ට වැඩි අලෙවියේ වාසිය ලැබෙනවා.

දෙපැත්තටම වාසි තිබෙන නිසා, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි වසර කිහිපයේදීත් ඔය විදිහටම පැවැත්වෙයි කියා හිතන්න පුළුවන්. නමුත්, අන්තර්ජාල වෙළඳාම් ක්‍රමයෙන් ප්‍රචලිත වන විට පාරිභෝගිකයින් විසින් පොත් ප්‍රදර්ශනයේදී කරන විකල්ප සසඳා බැලීම ගෙදර සිටම කළ හැකි වන නිසා කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පාරිභෝගිකයින්ට හා පොත් වෙළෙන්දන්ට වාසි සැපයෙන ව්‍යාපාරික වාතාවරණය කාලයත් සමඟ නැති වී යා හැකියි.

Tuesday, April 2, 2019

අර්ධ


වෙනදා වගේම ඊයෙත් ගෙදර ආපු ගමන් කෙළින්ම ගියේ පරිගණකයට. සේවා ස්ථානයේ කාර්යාල කාමරයේ සිට නිවසේ කාර්යාල කාමරය දක්වා එන්න ගතවන කාලය තුළ ලැබී තිබෙන්නට ඉඩ තිබෙන කාල-සංවේදී විද්‍යුත් ලිපි ගැන ගෙදර පැමිණි වහාම සොයා බැලීම මගේ පුරුද්දක්.

ගෙදරින් යන කොට හොඳින් වැඩ කළ පරිගණකයේ මූසිකය දැන් වැඩ කරන්නේ නැහැ. පරිගණකය අක්‍රිය කර නැවත ක්‍රියා කළත් වෙනසක් නැහැ. මූසිකය මධ්‍යම සැකසුම් ඒකකයෙන් ගලවා නැවත සම්බන්ධ කළත් තත්ත්වය එසේමයි.

මේ සතිය අපේ දරුවන්ට නිවාඩු සතියක්. ගෙදර සිටින ඔවුන්ගෙන් කෙනෙක් හෝ බිරිඳ මගේ පරිගණකය භාවිතා කළා වෙන්න පුළුවන්. ඔවුන් සියල්ලන්ටම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක තිබුණත් මගේ පරිගණකයට එන වෙලාවල් තියෙනවා.

බිරිඳගෙන් විමසුවත් ඈ කියන විදිහට මා නිවසේ නැති අතරේ ඈ හෝ දරුවෙකු මගේ පරිගණකය භාවිතා කර නැහැ. එහෙමනම් මූසිකය වැඩ නොකරන්නේ ඇයි?

තවත් හොඳින් සොයා බලද්දී පෙනුණේ මූසිකය යට ලේසර් සෙන්සරය වැහෙන පරිදි ටේප් කෑල්ලක් ඇලී ඇති බවයි. මෙවැන්නක් අහම්බෙන් වෙන්න බැරිකමක් නැතත්, ඔය වගේ පොඩි ටේප් කෑල්ලක් ලියන මේසය උඩ තියෙන්න හේතුවක් නැහැ. මෙය කවුරු හෝ විසින් හිතාමතාම කළ දෙයක්.

අපේ පොඩි එකා සමහර වෙලාවට ඔය වගේ ගොන්පාට් වැඩ කරනවා. සමහර අය අදහස් වාරණය කරන්න කරන බොළඳ වැඩ වගේ මූසිකයේ සෙන්සරය වසා මා ලියන එක නවත්වන්නවත් හිතුවද? ඔවුන් ගෙදර ඉන්න සතියේවත් පරිගණකය අමතක කර ඔවුන් එක්ක වැඩි කාලයක් ගෙවිය යුතුයි කියා සිතා එහෙම කළානම් වැරැද්දක් කියන්නත් බැහැ.

පොඩි එකා ගෙන්නලා ඇහුවහම පොර හිනාවෙනවා.

"මතක නැද්ද අද අප්‍රේල් පළමුවැනිදා!"

ගොඩක් දෙනෙක් අප්‍රේල් පළමුවැනිදාට ඔය වගේ ගොන්පාට් එකක් කරනවා. හැබැයි අප්‍රේල් පළමුවැනිදාට කරන හැමදෙයක්ම ගොන්පාට් ගොඩට දමන්න බැහැ.

ඊයේ පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණය විසින් ශක්තික සත්කුමාර නමැත්තෙකු විසින් ලියන ලද කෙටිකතාවක් හේතුවෙන් ඔහුව අප්‍රේල් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වී තිබෙනවා. අප්‍රේල් විහිළුවක් වෙන්න බැහැ.

අප්‍රේල් පළමුවැනිදාවක ලංකාවේ අධිකරණයක් විසින් ලබා දී තිබෙන මේ නියෝගය නිසා මේ වන විට අදාළ කෙටි කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා. මමනම් මේ ලේඛකයා ගැන දැන ගත්තෙත් මේ සිද්ධියෙන් පසුවයි. අදාළ කෙටිකතාව රසිකොලොජියේ හා තවත් තැන් වල සම්පූර්ණයෙන්ම පළ කර තිබෙනවා.

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately

ට්‍රාන්සිල්වේනියා වියුණුවට අනුව මේ උසාවි තීන්දුව ලබා දී තිබෙන්නේ ICCPR නම් පනත අනුවයි.

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්

මොකක්ද මේ ICCPR නම් පනත?

මේ කියන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගැනයි. ඒ ගැන කතා කරන්න කලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන කතා කළ යුතුයි.

නමින්ම කියවෙන පරිදි මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්. අදාළ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව 1966 දෙසැම්බර් 16 දින සාමාජික රටවල් වලට අත්සන් තැබීම පිණිස විවෘත කෙරුණු අතර 1976 මාර්තු 23 දින සිට ජාත්‍යන්තර සම්මුතියක් ලෙස බලාත්මක කෙරුණා. 1980 ජූනි 11 දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබුවා.

ඉහත සම්මුතියට අත්සන් තබා ඇති රටවල් විසින් එම සම්මුතිය අදාළ රට තුළ ක්‍රියාත්මක කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. සම්මුතියට අත්සන් තබන විටත් ලංකාවේ නීති පද්ධතිය තුළ සම්මුතියේ බොහෝ කරුණු ආවරණය වුණා. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත 2007 නොවැම්බර් 16 දින සම්මත කර ගැනුණේ එසේ ලංකාවේ නීතියෙන් නිසි පරිදි ආවරණය නොවූ දෑ ආවරණය කරගනු පිණිසයි.

මා හිතන ආකාරයට ශක්තික සත්කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ අදාළ පණතේ තෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව විය යුතුයි. එය මෙවැන්නක්.

3(1) කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීමට හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ 
(ඇ) සිදුකරන බවට තර්ජනය කරන,

සෑම තැනැත්තෙක්ම මේ පණත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

මෙහි ඊළඟ උපවගන්ති අනුව, මහාධිකරණයක් විසින් මෙහි සඳහන් වරදකට වරදකරු කරන අයෙකුට බරපතල වැඩ ඇතිව දසවසරකට නොවැඩි සිර දඬුවම් ලබා දිය හැකියි. ඒ වගේම මෙය නීතිය අනුව ඇප දිය නොහැකි වරදක්. මහාධිකරණය විසින් අනෙක් නඩු කල් තබා මෙවැනි නඩුවක් වහාම විභාගයට ගත යුතු අතර නඩු විභාගය අවසන් වන තුරු කල් නොතබා දිගටම නඩුව ඇසිය යුතුයි.

ඉහත සඳහන් අදාළ පණතේ තෙවන වගන්තිය පාදක වෙන්නේ ජාත්‍යන්තර සම්මුතියේ 20වන වගන්තිය මතයි. එය මෙවැන්නක්.

Article 20

1. Any propaganda for war shall be prohibited by law.

2. Any advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence shall be prohibited by law.

20 වගන්තිය

1. යුද්ධය වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම ප්‍රචාරණයක් නීතියෙන් තහනම් විය යුතුය.

2. වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පොළඹවමින් ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් තහනම් විය යුතුය.

මේ අනුව ලංකාවේ පණතේ 3(1) වගන්තිය ජාත්‍යන්තර සම්මුතියේ 20 වගන්තිය සමඟ සෑහෙන තරමකින් ගැලපෙනවා. නමුත්, මෙහිදී ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් කරුණු දෙසත් බැලීම වැදගත්.

Article 19

1. Everyone shall have the right to hold opinions without interference.

2. Everyone shall have the right to freedom of expression; this right shall include freedom to seek, receive and impart information and ideas of all kinds, regardless of frontiers, either orally, in writing or in print, in the form of art, or through any other media of his choice.

3. The exercise of the rights provided for in paragraph 2 of this article carries with it special duties and responsibilities. It may therefore be subject to certain restrictions, but these shall only be such as are provided by law and are necessary:

(a) For respect of the rights or reputations of others;

(b) For the protection of national security or of public order (ordre public), or of public health or morals.

ඉහත වගන්තියේ අරමුණ බාධාවකින් තොරව අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේ වුවත් එම වගන්තියෙන්ම අදාළ නිදහස භුක්ති විඳීමේදී අමතක නොකළ යුතු සීමාවන් පිළිබඳවද සඳහන් වෙනවා. ඒ අනුව, කිසියම් අදහස් පළ කිරීමක් නිසා වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වලට හෝ ගරුත්වයට හානි වන අවස්ථා වලදීත්, ජාතික ආරක්ෂාවට, රටේ නීතිය හා සාමයට හෝ මහජන සෞඛ්‍යට හානිකර වන විටකදීත් එසේ අදහස් පළ කිරීමේ නිදහස සීමා වෙනවා.

සම්මුතියේ 19 වන වගන්තියේ මූලික අරමුණ වන්නේ භාෂණයේ නිදහස තහවුරු කිරීම බව ඉතා පැහැදිලියි. මේ නිදහසේ සීමාවන් ගැන සඳහන් වන්නේ ව්‍යතිරේඛ ලෙසයි. 20 වන වගන්තියෙන් විස්තර කෙරෙන්නේ ඒ ව්‍යතිරේඛ පිළිබඳවයි. ලංකාවේ නීතියේ තිබෙන්නේ දළ වශයෙන් එකම කරුණු වුනත්, එහිදී භාෂණයේ නිදහස යන්නට ප්‍රමුඛතාවය දී ඉහත කී ව්‍යතිරේඛ තත්ත්වය ගැනද කියනවා වෙනුවට ව්‍යතිරේඛ වලට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති සෙයක් පෙනෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ නීතියේ මූලික කාර්ය භාරය අදාළ තත්ත්වයන් යටතේදී භාෂණයේ නිදහස සීමා කිරීම බවට පත්ව තිබෙනවා.

ශක්තික සත්කුමාර සිද්ධියේදී මහේත්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර ඇති ආකාරයේ නීතිමය වරදක් පෙනෙන්න නැහැ. මෙවැනි සංඥය වරදකට පොලීසිය විසින් යමෙක්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුව මහාධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප දීමේ හැකියාවක් නැති බව මගේ අදහසයි. නීතිය පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණත් මා නීතිඥයෙකු නෙමෙයි. මා වැරදි වෙන්න පුළුවන්.

ලංකාවේදී යමෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන්නේම ලොකු දඬුවමක්. පෙනෙන විදිහට මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වූ අවස්ථාවකදී නීතිය අනුව සිදුවිය යුතු සාමාන්‍ය දෙය එයයි. මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් මිස නීතිය ක්‍රියාත්මක වී ඇති ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙය ඉදිරියේදී තවත් මෙවැනි නඩු ගොනු වීමට පූර්වාදර්ශයක් සපයන්න පුළුවන්. එවැනි නඩු විවිධ පැති වලට කැරකෙන්න පුළුවන්. භාෂණයේ නිදහස පිළිබඳව වගේම ලංකාවේ දේශපාලනික තත්ත්වයන්ද සැලකූ විට එහි විශාල අනතුරක් තිබෙනවා.

Wednesday, July 25, 2018

කාල නදිය හා මිණි ගං දෑළ

මිණි ගං දෑළ මේ දින වල සිරසේ විකාශනය වන ටෙලි නාට්‍යයක්. අද (ජූලි 25) වන විට ටෙලි නාට්‍යයේ කොටස් 33ක් විකාශනය වී අවසන්. මේ ටෙලි නාට්‍යය නරඹන්න පෙළඹවීමක් ඇති වුනේ අරූගේ අඩවියේ බ්ලොග් පෝස්ට් එකකිනුයි. අරූ විසින් මීට පෙර මේ අයුරින් හඳුන්වා දී තිබුණු ටෙලි නාට්‍ය, චිත්‍රපටි හා ගීත බොහොමයක්ම මගේ රුචිකත්වය සමඟ පෑහී තිබුණු නිසා මෙයත් මොන වගේද කියා බලන්න මම දෙවරක් හිතුවේ නැහැ.

ලංකාවෙන් පිට ජීවත් වන, අන්තර්ජාලය හරහා සිංහල ටෙලි නාට්‍ය නරඹන අප වැනි රසිකයින්ට ටෙලි නාට්‍යයක් විකාශනය වන නාලිකාව එතරම් වැදගත් කරුණක් නෙමෙයි. ඒ වුණත්, සිරසේ සාමාන්‍ය වට්ටෝරුවෙන් වෙනස් මේ වගේ ටෙලි නාට්‍යයක් එහි විකාශනය වීම මුලින්ම අවධානයට ලක් වූ දෙයක්.

මිණි ගං දෑළේ දිග හරින්නේ ඉතිහාසයේ එක්තරා අවදියක කළු ගං දෑළේ සිදු වූ සිදුවීම් සමුදායක්. බැලූ වනම මේ ටෙලිනාට්‍යයෙහි  සමීප බවක් දැනුණේ ඒ නිසා වෙන්න ඇති. මේ ටෙලිනාට්‍යය තුළ ජීවත් වන චරිත බොහොමයක් එක්කෝ මට හමු වී තිබෙන චරිත. එසේ නැත්නම් මා අසා දැන සිටි චරිත.

පළමුවෙනි කථාංගයේදීම හමු වෙන නැපෝහාමි කළු ගඟ අයිනේ ජීවත් වන තොටියෙක්. ඔහු තොටියෙක් වෙන්නේ ඔහුගේ පියාත්, පියාගේ පියාත් තොටියන් වූ නිසා. කතාවේ කියන කාලයට වඩා අවුරුදු හැත්තෑ පහකට නැත්නම් සීයකට පසුව පසුගිය සියවසේ තුන්වන කාර්තුවේදීත් නැපෝහාමිව මට හමු වී තිබෙනවා. එවිට මා කුඩා දරුවෙක්.

සයිමන් මුදලාලි හා දඩල්ලේ මුදලාලි වැනි අය ආර්ථික වාසි සොයමින් පහතරට සිට කළුගඟ දිගේ උඩහට පැමිණි අය. මෙවැනි ඇතැම් අය කලුගඟ ඉහළ ගම් වල බින්න බැස කතාවේ කාලයට වඩා සියවස් කාලකට පමණ පසුවත් පාලම් පාරු රස්සාව, රබර් කර්මාන්තය හා පතල් කර්මාන්තය වැනි රැකියා කරගෙන ගියා. ඔවුන් මට හමුවන විට සිටියේ ඔවුන්ගේ ජීවිත වල සැන්දෑ කාලයන්හියි.

කතාවේ හමුවන ගිරිගෝරිස් මැණික් පතලයකින් මැණිකක් ගෙන පැන ගොස් එය මුදල් කර පෝසතෙක් වන අයෙක්. ගිරිගෝරිස්ව මට ඔහුගේ තරුණ කාලයේදී හමු වී තිබෙනවා. ඒ වගේම, කුරුවිට නොවුණත්, ඇළහැර ඔක්කම්පිටිය වගේ පැති වල මැණික් ඉල්ලම් සහිත ඉඩම් චන්ඩි කමෙන් අයිතිකරගෙන සිටි උණ්ඩියාලාවත් මට ඔවුන්ගේ මැදි වයසේදී හමු වී තිබෙනවා.

අර්නෝලිස්ලාගේ පතල් පොළ මම දකින විට එහි වතුර ඉවත් කිරීම සඳහා ඉන්ධන වලින් ක්‍රියා කරන මෝටරයක් තිබුණත් වෙනත් කිසිම වෙනසක් වී තිබුණේ නැහැ. රත්නපුරේ පතල් පොළවල් වල ආකෘතිය ලොකුවට වෙනස් වෙන්න ගත්තේ නමසිය හැත්තෑ ගණන් වල තායි ජාතිකයින් මේ කර්මාන්තයට අත ගැසීමෙන් පසුවයි.


මා කුඩා කාලයේදී හමු වුණු මේ ගොඩක් දෙනෙක්ව මිණි ගං දෑළ හරහා දකින්න ලැබීම සතුටක්. මම හිතන්නේ මේ ටෙලිනාට්‍යයෙන් ස්පර්ශ කරන්නේ පසුගිය කාලයේ ටෙලිනාට්‍යකරුවන්ට මඟ හැරී තිබුණු කාල අවකාශයක්.

ටෙලි නාට්‍යයක්  නොවූවත් මෑතකදී මේ චරිත කෙරෙහි අවධානය හෙලා තිබුණු සාහිත්‍ය කෘතියක් වන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාව සේ තේරුණු නෝබට් අයගමගේගේ "කාල නදී ගලා බසී" කෘතියයි. ඒ ගැන බොහෝ දෙනෙක් අතින් ලියැවී තිබෙනවා. එසේ ලියැවුණු බ්ලොග් සටහන් කිහිපයක් පහත තිබෙනවා.

http://sandunsevana.blogspot.com/2015/03/blog-post_13.html

http://me-and-err.blogspot.com/2015/06/blog-post_25.html

http://iranamvila.blogspot.com/2014/11/blog-post_20.html

http://nirmalaya.blogspot.com/2016/05/blog-post_24.html

මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ චරිත ගොඩ නැඟීමේදී "කාල නදී ගලා බසී" කතාවෙන් කිසියම් ආභාෂයක් ලබා ඇති බවක් පෙනෙනවා. අරූගේ ලිපියේ විශේෂයෙන්ම අවධානය යොමු කර තිබුණේ සමන් ලෙනින් විසින් ගායනා කරන මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ තේමා ගීතයටයි. එය නැවත නැවතත් අහන්නට හිතෙන ගීතයක් බව කිව යුතු නැහැ.

ජගත් ජේ එදිරිසිංහ විසින් ලියා සමන් ලෙනින් විසින්ම සංගීතවත් කර තිබෙන මේ ගීතය ඔවුන් මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙන ගීතයක්. මුල් ගීතය සඳහා උත්තේජනය සපයා තිබෙන්නේ "කාල නදී ගලා බසී" කෘතියයි. පසුව මුල් ගීතයේ සංගීතයම යොදාගනිමින්, වචන සංශෝධනය කර ඔවුන් විසින්ම මිණි ගං දෑළ ගීතය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මුල් ගීතය හා මිණි ගං දෑළ තේමා ගීතය යන දෙකම පහත තිබෙනවා.



මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක්. එහි චරිත පිළිබඳව මට ලොකු ගැටළු නැහැ. නමුත්, මේ කතාවේ පසුබිමේ තිබෙන්නේ සිංහල අනන්‍යතාවය අද පවතින තැනට විකාශනය වීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක්. අදාළ වකවානුවේ සැබෑවටම සිදුවූ ඓතිහාසික සිදුවීම් ගණනාවක් ගැන කතාවේදී සාකච්ඡා වෙනවා.

කතාවේ චරිත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ අයිතිය ටෙලිනාට්‍යකරුවෙක්ට තිබුණත් එහි පසුබිමේ තිබෙන ඉතිහාසය හැකිතාක් නිවැරදිව නිරූපණය කිරීම එවැන්නෙකු විසින් අමතක නොකළ යුතු දෙයක්. ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යනයක් කළ යුතුයි. මෙහිදී එයනම් සිදු වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක් වුවත් එහිදී කළු ගඟ මතුපිටින් හබල් ගාගෙන යනු මිස කළු ගඟේ පතුළ අතගාන බවක්නම් පෙනෙන්නේ නැහැ.

ලිපිය දිග් ගැසෙන නිසා මේ අඩුපාඩු පෙන්වා දීම ඉදිරි කොටසකට ඉතිරි කරන්නම්. එය කළ හැක්කේ මේ ටෙලිනාට්‍යය පසුබිමේ ඇති ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම ගැන මුලින් පෙන්වා දීමෙන් පසුවයි.

Monday, January 16, 2017

ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?


ලංකාවේ පාරවල් වල දුවන මිලියන හය ඉක්මවූ වාහන තොගයෙන් අඩකට වඩා මෝටර් බයිසිකල් වන අතර ඉතිරි අඩෙන් තුනෙන් එකක් පමණ ත්‍රිරෝද රථයි. පසුගිය කාලය තුළ අඩු වියදමින් නඩත්තු කළ හැකි පෞද්ගලික වාහනයක් ලෙසත්, පොදු ප්‍රවාහන සේවා සඳහා වන විකල්පයක් ලෙසත් ත්‍රිරෝද රථ වල ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ත්‍රිරෝද රථ භාවිතය නියාමනය කරමින් පසුගිය සඳුදා (ජනවාරි 9) රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව, ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය අනු කොන්දේසි ගණනාවක් ඇතුළත්, ප්‍රධාන නියාමන කොන්දේසි එකොළහකට යටත් වේ. මීට පෙර ලංකාවේ මාර්ග වල ධාවනය වන වාහන ප්‍රමාණය සීමා කිරීමේ අරමුණින් රජය විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුළ ලංකාවට ආනයනය කෙරුණු ත්‍රිරෝද රථ ඇතුළු වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව අඩකින් පමණ අඩු විය.

පොදු යහපත පිණිස රජයක් විසින් කිසියම් කර්මාන්තයක් නියාමනය කිරීමේ වරදක් නැත. එසේ කිරීමේදී නියාමනය හේතුවෙන් සිදුවන යහපත පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ අළුත් නියාමන නීති වලින් රජය අපේක්ෂා කරන දෙය බොහෝ දුරට පැහැදිලිය. කොන්දේසි වැඩි ගණනක අරමුණ රථයේ ගමන් කරන මගීන්ගේ හා රියදුරාගේත්, පාරේ පයින් හෝ වෙනත් වාහනයකින් ගමන් කරන පුද්ගලයින්ගේත් සුරක්ෂිතතාව තහවුරු කිරීම බව පෙනේ. මේ කොන්දේසි වලින් ඉතා පුළුල් කරුණු පරාසයක් ආවරණය කෙරේ. ඇතැම් කොන්දේසි වලින් කුලීරථ සේවා ලබාගන්නා මගීන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන අතර එක් කොන්දේසියකින් ශබ්ද දූෂණය වැළැක්වීම අරමුණු කර ඇති බව පෙනේ.

කෙසේ වුවද පහත උපුටා දැක්වෙන අවසන් නියාමන කොන්දේසියෙන් ඉටුවන යහපතනම් එතරම්ම පැහැදිලි නැත.

"මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් එහි නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර මෝටර් ට්‍රයිසිකලයේ ඉදිරිපස හෝ පසුපස අකුරු, ඉලක්කම් හෝ සංඛ්‍යා ලකුණු කර නොමැති බවට සහතික විය යුතුය."


මේ ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යට නැවතීමේ තිතක් තබමින් 'සදාචාරය' හෝ 'උසස් රසවින්දනය' ජනතාවට බලෙන් ලබා දීම අරමුණු කරගත් නියාමන රෙගුලාසියක්ද?

ලංකාවේ ත්‍රිරෝද රථ වල විවිධ වැකි සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි. මේවා කාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. ප්‍රමුඛම කාණ්ඩය වන්නේ ආගමික ස්වරූපයක් ගන්නා වාක්‍යයන්ය. "බුදු සරණයි!" "ජේසු පිහිටයි!" "අල්ලාහු අක්බර්" ආදී මෙවැනි වැකි සිංහල, ඉංග්‍රීසි, දෙමළ මෙන්ම අරාබි හා පාලි භාෂා වලින්ද ලියැවී තිබෙනු දැකිය හැකිය. තවත් ඇතැම් වැකි ත්‍රිරෝද රථ වෘත්තියට අදාළය. මේ අතර, මෙම රැකියාවේ යෙදෙන සමාජ ස්ථරය මුහුණ දෙන ප්‍රශ්න පිළිබිඹු කෙරෙන, බොහෝ විට පෙම් සබඳතා හා අදාළ වැකිද අඩු නැත.

ලෝකේශ්වරී කරුණාරත්න විසින් කොළඹ, මහනුවර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික්ක වල නගර පහළොවක ත්‍රිරෝද රථ 831කින් එකතු කරගත් වැකි 2291ක් විශ්ලේෂණය කරමින් ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යයේ බෞද්ධ ආභාෂය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් වසර කිහිපයකට පෙර පළ කර තිබේ. සිංහල හා ඉංග්‍රීසි වැකි වලට පමණක් සීමා වූ ඇගේ නියැදියේ වැකි වලින් හතරෙන් එකක පමණ කිසියම් බෞද්ධ ආභාෂයක් තිබේ.

ඉහත පර්යේෂිකාව විසින්ද තහවුරු කර ඇති පරිදි ත්‍රිරෝද රථ හිමිකරුවන් හෝ රියදුරන් විසින් පෙර මුද්‍රණය කර ඇති වැකි සහිත ස්ටිකර් මිල දී ගැනීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ තමන්ට අවශ්‍ය වැකියක් මුද්‍රණකරුට දැනුම්දී මුද්‍රණය කර ගැනීමයි. ඒ නිසා මේ ත්‍රිරෝද රථ වැකි අදාළ සමාජ ස්ථරයේ ජන විඥානය පිළිබිඹු කරන කැඩපතකි. එක අතකින් මෙය ජනතා සාහිත්‍යයකි. මේ වැකි වෙනුවෙන්ම වෙන්වුන වත්පොත් අඩවියක් වන '3නේ කවි' පිටුවේ රසවත් ත්‍රිරෝද රථ වැකි රැසක් පළවී තිබේ. මේ ඒවායින් කිහිපයකි.

"සමවැදී ඉන්නේ මගේ දැහැන් බිඳින්නෙපා
ඒ කියන්නේ මගේ ආතල් කඩන්නෙපා"

"බිම බලාගෙන යන මට අහක බලාගෙන යන වලාකුළු කුමටද?"

"ඇට නැති වරකා නැත
කටු නැති මාළු නැත
වස නැති ගෑනු නැත"

"නංගි හදාගන්න බැරි දේවල් කඩාගන්න එපා...පරිස්සමෙන් රැකගන්න..."

"කෙල්ලො හරියට පන්සලේ ගලවන සෙරෙප්පු වගේ
කොයිවෙලේ කවුරු දාගෙන යයිද දන්නෑ"

"සුදු නැන්දේ මේ අහන්න දුව පොඩ්ඩක් හදාගන්න
දුවට ගවුම අන්දවන්න අපේ ඩෙනිම අපට දෙන්න"

"කට්ට කපටි ඔබේ හිත ළඟ පට්ට ලපටි මගේ ආදරෙත් පට්ට පදිරි වෙලා ගියා නංගි"

"උරුමක්කාරී හමුවන තුරු කරුමක්කාරීට අහු නොවන්න"

"පාඩුවෙ ගමන් යද්දී දාන්න එපා වෙට්ටු
අවුස්සගත්තොත් අපි උඹලට වඩා සත්තු"

"අම්මා ලස්සනයිනම් බබා වඩාගන්න තාත්තලා ගොඩයි"

"මල සිපගත්තට මල තලන්නෙ නැහැ මනුදම් දන්න නිසා"

"Defender එක දීපන් ළමයෙකුට"

"දුක තමයි රංජනී අද රෑටත් පාන් තමයි"


පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් යොදාගන්නා ත්‍රිරෝද ඇතුළු සියළු ත්‍රිරෝද රථවල "නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර" වෙනත් යමක් නොතිබිය යුතුය යන්න දැඩි නියාමන කොන්දේසියකි. ත්‍රිරෝද රථවල තරම් සුලභ නැතත් වෙනත් වාහන වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. ධීවර බෝට්ටු, ලොරි, පුද්ගලික බස්රථ වල පමණක් නොව මිල අධික මෝටර් රථ වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. වෙනස ඇත්තේ ප්‍රදර්ශනය කරන දේවල් වලය. 


ඉහළ මධ්‍යම පාන්තිකයෙකුගේ මෝටර් රථයක වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වැනි තමන්ගේ වෘත්තිය මෙන්ම තමන් ඉගෙනගත් සරසවිය හෝ පාසැල ප්‍රදර්ශනය කරන ස්ටිකර් දැකගන්නට ලැබීම දුලබ දෙයක් නොවේ. එවැනි දේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇතිබවක් දැනගන්නට නැත. අදාළ සමාජ ස්ථරය සතු බලය හමුවේ රජයට එවැන්නක් කිරීමේ හැකියාවක්ද නැත.

යමෙකුගේ වාහනය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික දේපලකි. එහි තමන්ට අවශ්‍ය දෙයක් ප්‍රදර්ශනය කිරීම පාසැල් තාප්පයක, බස් නැවතුම්පලක හෝ වෙනත් පොදු ස්ථානයක වෙළඳ දැන්වීම් හෝ දේශපාලන සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමට සාපේක්ෂව පරිසරයට හානිකර දෙයක්ද නොවේ. ඇතැම් විට මේ රෙගුලාසිය මඟින් ඉටුකරගත හැකි, මා නොදකින වෙනත් සමාජ යහපතක් තිබෙනවා විය හැකිය.

ත්‍රිරෝද රථ සාහිත්‍යය ඉදිරියේදී දඩ කොළ වලින් වැසී යයිද?

පහතින් ඇත්තේ ඉහත වත්පොත් පිටුවේම පළවී ඇති කඹුරුපිටියේ එස්. සමරවීරගේ කවියකි.

"හැටහුටමාරක් බදු සමඟ
ගෙවා පළමු වාරිකය
ගත්ත ත්‍රිරෝද රථයේ
ඇලෙව්වා මිලට ගෙන ස්ටිකරය
මේ බුදුන් වැඩි මගේ දේශයයි!
ගෙවා ගමේ ප්‍රා. සභාවේ
වැසිකිලියටත් බදු මුදල්
මුත්‍රා කර එන ඇසිල්ලට
කවුද අසමජ්ජාතියෙක්
හූරලා එහි අකුරු ඉස්පිලි පාපිලි
දැන් තියෙන්නේ
'මේ බදු වැඩිම දේශයයි' "


(Image: ElaKiri.com)

Thursday, September 22, 2016

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

"මගේ හුදෙකලා වාසස්ථානය පිහිටියේ නගරයෙන් බැහැරවය. මෙය කුලියට ගෙන වාසයට පැමිණීමෙන් පසුව මම වැසිකිළිය පිහිටි තැන සොයා බැළුවෙමි. එය පෙනෙන තැනක නැත. ඇත්තටම එය තිබුණේ නාන කාමරය තිබෙන අහලකවත් නොවේ. නිවස පිටුපසය. මම විමතියෙන් එය පිරික්සා බැළුවෙමි. එය මැද විවරයක් සහිත ලී පෙට්ටියකි. මා කුඩා කාලයේදී, චිලියේ ගම්බද පෙදෙසකදී මෙයට තරමක් සමාන දෙයක් භාවිතා කෙරුණු බව මට සිහි විය. එහෙත්, අපේ වැසිකිළි මෙසේ හදා තිබුණේ ගැඹුරු ලිඳකට හෝ ගලා යන ජලය ඇති තැනකට ඉහළිනි. මෙහි ඒ වෙනුවට තිබුණේ ලී පෙට්ටියේ සිදුර යටින් තබා තිබුණු සරල, ලෝහ බාල්දියකි.

සෑම උදෑසනකම මේ බාල්දිය පිරිසිදුව තිබුණේය. එහෙත්, එහි අඩංගු වූ දේ අතුරුදහන් වූ ආකාරය මට තේරුම් ගත නොහැකි විය. එක් උදෑසනක මම වෙනදාට වඩා කලින් අවදි වුනෙමි. මෙතෙක් කල් සිදුව ඇති පුදුම සහගත දෙය එදින මට දැකගත හැකි විය.

අඳුරු පිළිමයක් මෙන් නිවස පිටුපසට පිය නඟමින් සිටියේ මෙතෙක් මා ලංකාවේදී දැක සිටි රූමත්ම ලඳයි. ඇය පරයා කුලයේ දෙමළ කතකි. ඈ ඉතා බාල වර්ගයේ රත් හා රන් පැහැ සාරියකින් සැරසී සිටියාය. නිරාවරණය වූ දෙවළලුකර බර ලෝහයකින් තැනූ වළලු පැළඳ සිටියාය. ඇගේ නාසය දෙපස කුඩා රත් පැහැ යමක් දිස්නය දෙමින් තිබුණේය. මේවා නොවටිනා සාමාන්‍ය වීදුරු කැබලි වන්නට ඇති වුවත්, ඇගේ රුවින් ඔප වැටුණු මේ වීදුරු කැබලි මට පෙනුණේ අගනා රතු කැට ලෙසිනි.

ඈ ගරු ගාම්භීර ලෙස වැසිකිළිය වෙත පිය මැන්නේ මා දෙස හොරැහින් හෝ නොබලමිනි. මා පසෙක සිටින බැව් තඹයකට මායිම් නොකරමිනි. අප්‍රසන්න මළ බාල්දිය හිස මත තබා ගත් ඈ දෙවඟනක ලෙස සෙමින් පා සොලවමින් අතුරුදහන් වූවාය.

ඇගේ දසුනින් මා කෙතරම් වශී වූවාද යත්, ඇගේ රැකියාව කෙතරම් පහත් එකක් වුවත්, මට ඈ මගේ සිතින් බැහැර කිරීම අපහසු විය. ලජ්ජාශීලී කැලෑ සතෙකු බඳු වූ ඈ අයිති වූයේ වෙනත් පැවැත්මකටය. වෙනත් ලොවකටය. මා ඇයට කතා කරන්නට උත්සාහ කළෙමි. එය නිෂ්ඵල කටයුත්තක් විය. ඇතැම් විට මා ඈ එන මඟ කිසියම් පළතුරක් හෝ සේද රෙද්දක් වැනි තිළිණයක් තබා බලා සිටියෙමි. ඈ නොදුටු සේ ඒවා පසු කර ගියාය. ඇගේ අඳුරු පැහැ පියකරු රුව විසින් ඈ නිරතව සිටි අගෞරවනීය කාර්යය කිසිවකු නොතකන රැජිනියක විසින් අභිමානයෙන් සිදුකරන වතාවතක් බවට පෙරළා තිබුණේය.

එක් උදෑසනක, මෙහි කෙළවරක් දකින්නට මම තීරණය කළෙමි. මම එක්වනම ඇගේ මැණික්කටුව දැඩිව අල්ලාගෙන ඇගේ දෑස් වෙත සෘජු බැල්මක් හෙළුවෙමි. මගේ මුව ගොළුව තිබුණේය. මුවෙහි මන්දහාසයකුදු නොමැතිව, මට ඇවැසි පරිදි ඇවැසි තැනකට ඇදගෙන යන්නට ඉඩ හැර නිසොල්මන්ව සිටි ඈ තවත් මොහොතකින් මගේ සයනය මත නිරුවත්ව සිටියාය. ඇගේ සිහින් ඉණ, පිරුණු නිතඹ හා සිනාසෙන තිසර තුඩු විසින් සිහි ගැන්වූයේ වසර දහස් ගණනක් පැරැණි දකුණු ඉන්දියානු පිළිමයෙකි. එය මිනිසකු පිළිමයක් සමඟ එක් වීමක් විය. මුළු කාලය තුළම ඈ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් දෑස් පුළුල්ව විවර කරගෙන සිටියාය. ඈ මට කළ අවමන වැරදි නැත. මම මේ කටයුත්ත නැවත නොකළෙමි."

උඩින් ඇත්තේ නොබෙල් ත්‍යාගලාභියෙකුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ කොටසක පරිවර්තනයකි. මේ කොටස කියවීමෙන් පසු මෙහි සිදුවී ඇත්තේ ඉතා පහත් මට්ටමේ ස්ත්‍රී දූෂණයක් බව මටනම් පැහැදිලිව පෙනේ. මෙහිදී අදාළ ස්ත්‍රිය හා මේ පුද්ගලයා අතර ඇති දැවැන්ත සමාජ පරතරය ස්ත්‍රී දූෂකයා විසින් නිර්දය ලෙස සිය වාසිය පිණිස යොදා ගනී. ඒ සඳහා ඔහු පෙළඹවෙන හේතු මෙහි පැහැදිලිව ලියැවී තිබේ. මෙහිදී අදාළ කාන්තාව විසින් වචනයකින් තබා බැල්මකින් හෝ අනුබල දීමක් නොකරයි. ස්ත්‍රී දූෂකයා සිය කාර්යය කලක් තිස්සේ සැලසුම් කරන්නේ සතෙකුව උගුලකට හසු කර ගැනීමට තතනන දඩයක්කරුවෙකු ලෙසිනි. එහෙත්, ඈ උගුල වෙත පියමං නොකරයි. අන්තිමේදී ස්ත්‍රී දූෂකයා ව්‍යාඝ්‍රයෙකු සේ සිය ගොදුර වෙත කඩා පනී. ඔහුගේ සයනයේදීද ඈ පිළිමයක් සේ දෑස් අයාගෙන නිසොල්මනේ සිටිනු මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.

මේ ස්ත්‍රී දූෂකයා වනාහී 1971 වසරේදී සාහිත්‍ය
ය සඳහා නොබෙල් ත්‍යාගය දිනූ, පැබ්ලෝ නෙරුඩා යන ආරුඪ නමින් කාව්‍යකරණයේ යෙදුනු, රිකාඩෝ එලීසර් නෙෆ්ටලී රීස් බැසෝල්ටෝ (Ricardo Eliécer Neftalí Reyes Basoalto) නම් වූ චිලියානුවාය. පැබ්ලෝ නෙරුඩා ලෙස බොහෝ දෙනෙකු හඳුනන මේ පුද්ගලයා චිලී රාජ්‍යයේ සෙනෙට් සභිකයෙකු ලෙසද කටයුතු කර ඇති ප්‍රසිද්ධ කොමියුනිස්ට්වාදියෙකි. 1970දී චිලියේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා ලැබූවෙකි. චිලී රාජ්‍යය නියෝජනය කරමින් රටවල් ගණනාවකම කටයුතු කර ඇති රාජ්‍යතාන්ත්‍රිකයෙකි. ඔහු ඉහත ඔහු විසින්ම වාර්තා කර ඇති ස්ත්‍රී දූෂණය සිදු කරන්නේ එසේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

මේ සිදුවීම ගැන මා මුලින්ම දැනගත්තේ අනූව දශකයේ මුල හෝ අසූව දශකයේ අග රාවය හෝ යුක්තිය කලාපයක පළවූ ලිපියක් මඟිනි. මගේ මතකය පරිදි එහි මේ සිදුවීමට ලබා දී තිබුණේ වෙනස් අර්ථකථනයකි. එම ලිපියට අනුව, මානව දයාවෙන් පිරිපුන් මහා කවියෙකු හා කොමියුනිස්ට්වාදියෙකු වූ නෙරුඩාගේ සන්තානයේ සිය මළ බාල්දිය දිනපතා ඉවත් කිරීමෙහි යෙදුණු මේ අඩු කුල කාන්තාව කෙරෙහි ඇතිවන මානුෂික හැඟීම කෙළවර වන්නේ දෙදෙනා අතර ඇතිවන ලිංගික සම්බන්ධතා
වයකිනි. ඉන්පසුව ගතවුණු වසර විසිපහක පමණ කාලය තුළ මගේ මතකයේ කොනක රැඳී තිබුණු මේ සිදුවීම ගැන වැඩි යමක් හිතන්නට ඉඩකඩක් විවර වුනේ නැත. සතියකට පමණ පෙර නැවතත් මේ ගැන හිතන්නට මා යොමු වුණේ ඇනෝ කෙනෙකු විසින් කළ මතක් කර දීමක් හේතුවෙනි. (එම ඇනෝට ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.)

නෙරුඩාගේ චරිතාපදානය කියවන විට ඔහුගේ ජීවිතයේ මෙවැනි අඳුරු පැති තවත් ඕනෑ තරම් හමුවේ. කාන්තාවන් ඇසුරු කිරීම ඔහුගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක්ව පැවතී ඇති බව පෙනේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සෙල්ලම් බඩු වී සිටින කාන්තාවන් ගැන අනුකම්පාවෙන් කතා කරන නෙරුඩාගේ ඒ අනුකම්පාව අවසන් වන්නේ එවැනි කාන්තාවන් සමඟ යහන්ගත වීමෙනි. ඔහු හමුවීමට දුරු රට සිට පැමිණෙන පැරණි පෙම්වතියක් බලාපොරොත්තු කඩ කරගෙන ආපසු නැව්  නඟින්නට පෙර නෙරුඩාගේ පාවහන් යුවලෙහි මුහුණ පිසිමින් හඬා වැටෙද්දීත් ඔහුගේ මානුෂික හදවත මෙලෙක් නොවේ. ඈ මුහුණෙහි තැවරුණු සපත්තු පොලිෂ් සමඟම රටින් පිටවේ.

නෙරුඩාගේ චරිතයේ මේ කිසිදු දුර්ගුණයක් හේතුවෙන් ඔහුගේ කවීත්වය බාල වෙන්නේ නැත. එමෙන්ම, ඔහුගේ පෞද්ගලික දේශපාලන අදහස් හා ඔහුගේ චරිත ලක්ෂණ අතර සෘජු සම්බන්ධයක්ද නැත. වැරැද්ද ඇත්තේ නෙරුඩා වැනි කිසියම් අංශයකින් හෝ අංශ කිහිපයකින් සුවිශේෂතා දක්වන පුද්ගලයින් පරමාදර්ශී චරිත ලෙස සැලකීමෙහිය. වීරයින් නඩත්තු කිරීම එතරම් හොඳ දෙයක් නොවේ.

නෙරුඩා මියගොස් හෙටට (සැප්තැම්බර් 23) වසර 43කි.


(Image: www.theodysseyonline.com)

Thursday, March 17, 2016

අවසන් දේශනය



ඇමරිකාවේ කානගී මෙලන් සරසවියේ "අවසන් දේශනය" නම් වූ දේශන මාලාවක් පැවැත්වේ. මෙහිදී, තෝරාගත් දේශකයෙකුට ආරාධනා කෙරෙන්නේ යම්කිසි අයුරකින් මේ දේශනය ඔහුට හෝ ඇයට ඉදිරිපත් කිරීමට ලැබෙන අවසාන දේශනය වී යැයි උපකල්පනය කරමින් තමන්ට ලෝකයට දෙන්නට ඇති පණිවුඩයක් ඇත්නම් එය පැයක් තුළ ඉදිරිපත් කිරීමටය.

2007 සැප්තැම්බර් මස 18 වන දින පැවති "අවසන් දේශනය" සඳහා තෝරාගෙන තිබුණු දේශකයා වූයේ පරිගණක විද්‍යාව හා මිනිස්-පරිගණක අන්තර්-සම්බන්ධතා පිලිබඳ මහාචාර්ය වරයෙකු වූ ආචාර්ය රැන්ඩෝල්ෆ් පෝෂ්ය. දේශනයට සවන්දීමට පැමිණි සියගණනක පිරිසකගේ අත්පොළසන් මැද ඔහුගේ දේශනය ඇරඹුනේය.

"ස්තුතියි! මේ දේශනය සඳහා අවස්ථාවක් ලැබීම විශාල සතුටක්....මට දැනගන්න ලැබුණා මේ දේශනය නම් කර ඇත්තේ අවසාන දේශනය ලෙස බව. ඔබට මියයාමට පෙර අවසන් වරට එක් දේශනයක් කිරීමට පමණක් ඉඩතිබේනම් ඔබ එහිදී කතා කරන්නේ මොනවා ගැනද? එහෙනං අන්තිමට මගෙත් දිනය තීරණය වෙලා වගේ..."

සභාවේ සිනා.

"මගේ කතාවේ පසුබිම නොදන්න කෙනෙක් මෙතන ඉන්නවනම්, මම එය මුලින්ම කියල ඉන්නම්. අපේ තාත්තා කියල තියෙන්නේ කාමරේ අලියෙක් ඉන්නවනම් ඌව මුලින්ම හඳුන්වල දීල ඉන්න කියලා. [කියන්න ලොකු දෙයක් තියෙනවනම් වටෙන් ගොඩෙන් එතෙන්ට එන්නෙ නැතුව ඒක මුලින්ම කියල දාන්න කියලා]"

දේශනශාලාවේ තිරය මත ස්කෑන් ඡායාරූපයක් ප්‍රක්ෂේපනය වේ.

"මේ තියෙන්නේ මගේ අක්මාවේ කැට් ස්කෑන් ඡායාරූපයක්. ඔබට පේනවා ඇති එහි ටියුමර් දහයක් පමණ තියෙන බව. මේ ස්කෑන් ඡායාරූප  අනුව වෛද්‍යවරුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට මට ජීවත්ව සිටීමට තව ඉතිරි වෙලා තියෙන්නේ මාස තුනක සිට හයක් දක්වා වූ කාලයක්!"

සභාව මීයට පිම්බාක් මෙන් නිහඬය.


"මේ ස්කෑන් ඡායාරූප පරික්ෂා කරලා ඔය ඇස්තමේන්තුව කරලා දැන් තවත් මාසයක් වෙනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ගණන හදාගන්න පුළුවන්!"

"මම ප්‍රතිකාර ගන්නේ ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරුන්ගෙන්. ඒත්, මේ තමයි ඇත්ත! මෙය අපට වෙනස් කළ නොහැකියි. අපට තීරණය කරන්න වෙනවා මෙවැනි තත්ත්වයකට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා...අපට ලැබෙන කාඩ් අත අපට වෙනස් කරන්න බෑ. ඒත්, ඒ කාඩ් සෙල්ලම් කරන විදිහ තියෙන්නේ අපේ අතේ..."

"මා දිහා බැළුවහම ඔබ බලාපොරොත්තු වන ආතතියෙන් හෙම්බත් වූ, මූසල මූණක් ඔබට නොපෙනෙනවානම්, මට කියන්න තියෙන්නේ, ඔබේ බලාපොරොත්තු බිඳ දැමීම ගැන අතිශයින්ම කණගාටුයි..."

"ඒ එක්කම මට සහතික කර කියන්න පුළුවන් මම මේ ඇත්ත මනසින් ප්‍රතික්ෂේප කර බොරු සතුටක් ලබනවා නෙමෙයි. සිදුවීමට නියමිත දේ මම පැහැදිලිව දන්නවා..."

"මගේ පවුල, දරුවන් තිදෙනා [ඒ අයගේ වයස අවුරුදු 1, 3 හා 5], මගේ බිරිඳ..."



සුන්දර පවුලක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.

"ටික දවසකට කලින් අපි ගෙවල් මාරු කළා. අපි වර්ජිනියා වලින් ලස්සන ගෙයක් මිලදී ගත්තා. අපේ පවුලේ සාමාජිකයින්ට ඉදිරි කාලය ගෙවන්න හොඳම තැන එය බව අපි හිතනවා."

ලස්සන ගෙයක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.


"අනෙත් වැදගත්ම කරුණ, මම දැනටත් ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. ඔවු, මෙතැන ඉන්න වැඩි දෙනෙකුට වඩා..."

වේදිකාව මත පහත්වන ආචාර්ය රැන්ඩි පෝෂ් පුෂ්-අප් කිහිපයක් ගසා, එක් අතක් ඔසවා තනි අතින්ද පුෂ්-අප් කිහිපයක් ගසයි.

"අපිට හිතාගන්න අමාරුම දෙයක් තමයි, පේන්න ඉහෙන් බහින රෝගයක් නැති පුද්ගලයෙක් මාස කිහිපයකින් අනිවාර්යයෙන් මැරෙන්නෙ කොහොමද කියන එක..."

"මෙතන කවුරු හරි ඉන්නවනම් මා ගැන අනුකම්පා කරන, මට කියන්න තියෙන්නේ, මම ඔහු හෝ ඇය ගැන අනුකම්පා කරන බව පමණයි."

මේ දේශනය ගැන කෙටි ලිපියක් 'දී ඔන්කොලොජිස්ට්' සඟරාවේද පළ විය.

දේශනයේ මාතෘකාව ආචාර්ය රැන්ඩි පෝෂ් විසින්ම පැහැදිලි කළේ මෙසේය.

"මේ දේශනය පිළිකා ගැන නෙමෙයි. පිළිකා ගැන ඕනැ තරම් අය කතා කරනවා. පිළිකා ගැන කතා කරල දැන් මට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා, පිළිකා සුව කරන වැඩි දෙනෙක් නොදන්නා රහස් ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ දන්නවනම් කරුණාකරලා ඒවා ගැන මට කියන්න එන්න එපා."


"ඒ වගේම, මම කතා කරන්නේ ආගම හෝ අධ්‍යාත්මිකත්වය ගැනත් නෙමෙයි. හැබැයි මැරෙන්න කිට්ටුව කාලයක් තිස්සේ තිබුණු විශ්වාසයන් වෙනස් වීම ගැන (Deathbed conversions) අත්දැකීම්නම් මටත් තිබෙනවා."

නැවතත් නිහඬතාවයකි.

"මම මේ මැකින්ටොෂ් ලැප්ටොප් එකක් ගත්ත විතරයි!"


"මම අද කතා කරන්නේ අපේ කුඩා කාලයේ සිහින සැබෑ කරගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම වෙනත් අයගේ කුඩා කාලයේ සිහින සැබෑ කරගැනීමට අපට උදවු කළ හැක්කේ කෙසේද කියන එකත් ගැනයි..."

දේශනයේ සම්පූර්ණ වීඩියෝව පහත තිබේ.





මේ වන විට මිලියන 17ක් දෙනා විසින් නරඹා ඇති ඉහත වීඩියෝව ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. 2008 ජූලි 25 දින ආචාර්ය රැන්ඩි පෝෂ් සිය කෙටි දිවිය නිමා කළේය. මියයාමට පෙර ඔහු ඉහත දේශනය පාදක කරගෙන පොතක්ද පළ කළේය. එය ඇරඹෙන්නේ මෙසේය.


මා ඉංජිනේරු ගැටළුවකට මුහුණ දී සිටිමි.

බැලූ බැල්මට මගේ පෙනුම ඉතාම සෞඛ්‍ය සම්පන්න වුවත්, මගේ අක්මාවේ පිළිකා ගැටිති දහයක් තිබේ. මට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණි.

මා සිහින මැවූ කාන්තාව හා විවාපත්ව සිටින මම කුඩා දරු තිදෙනෙකුගේ පියෙක්මි. මට ඉතා පහසුවෙන් මා පත් වී සිටින තත්ත්වය ගැන කණගාටු විය හැකි වුවත්, එයින් මට හෝ මගේ බිරිඳට හා දරුවන්ට සිදුවන කිසිදු යහපතක් නැත.

එසේනම්, ඉතිරිව ඇති සීමිත කාලය මා ගෙවිය යුත්තේ කෙසේද?

ඉතාම පැහැදිලිව මා විසින් කළ යුතු දේවල් වන්නේ මට හැකිතාක් කල් මගේ පවුලේ සාමාජිකයින් සමඟ සමීපව සිටිමින්, ඔවුන් සමඟ ගෙවන හැම මොහොතක්ම සතුටින් වැළඳ ගනිමින්, මා නැතිව ගෙවන ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩා සැපවත් කිරීමට කළ යුතු සියල්ල සැලසුම් කිරීමයි.

එතරම්ම නොපැහැදිලි දෙයනම්, ඉදිරි වසර විස්සක පමණ කාලය නොමැරී ජීවත් වීමට ලැබුනේනම් මා විසින් මගේ දරුවන්ට උගන්වනු ලැබීමට නියමිත සියළු දේ ඉගෙන ගැනීමට ඔවුන්ට ඉඩ සලස්වන්නේ කෙසේද යන්නයි. ඔවුන් ඉතා ලාබාල වයසේ පසුවන බැවින් මේ කතාබහ මේ වෙලාවේ කිරීමේ හැකියාවක් නැත. වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කරගන්නා ආකාරයත්, අප වැදගත්යයි සිතන දේවලුත්, ජීවිතයේ අභියෝග වල මුහුණ දිය යුතු ආකාරයත් සෑම දෙමවුපියෙකු විසින්ම සිය දරුවන්ට කියා දිය යුතුය. ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට ආධාරක ලෙස අපේ සැබෑ ජීවිත කතා අපවිසින් ඔවුන්ට කියා දිය යුතුය. මා කානගී මෙලන් සරසවියේ අවසාන දේශනය යොදාගත්තේ මගේ ඒ අරමුණ වෙනුවෙනි.

මේ දේශනා සාමාන්‍යයෙන් සලඡායාලේඛණගත කෙරේ. එදින මා විසින් කරන්නේ කුමක්දැයි මම හොඳින් දැන සිටියෙමි. ශාස්ත්‍රාලීය දේශනයක් කිරීමට ලැබුණු අවස්ථාවට මුවා වෙමින් මා විසින් කළේ කිසියම් අනාගත දිනෙක මුහුදු වෙරළට ගසාගෙන ආ විටෙක මගේ දරුවන්ට සොයාගත හැකි වන පරිදි මා නමැති ප්‍රපංචය බෝතලයක් තුළට රිංගවීමයි.


මා චිත්‍ර ශිල්පියෙකු වීනම් මා ඔවුන් වෙනුවෙන් සිතුවමක් පින්තාරු කරනු ඇත. මා සංගීතඥයෙකු වීනම් මා ඔවුන් වෙනුවෙනි සංගීත ඛණ්ඩයක් නිමවනු ඇත. එහෙත්, මම දේශකයෙක්මි. එබැවින්, මම දේශනයක් කළෙමි.

මගේ ජීවිතයෙන් ඉතිරිව ඇති කාලය මෙතරම් කෙටි වුවද, ජීවිතයේ මිහිර ගැනත්, ජීවිතයේ වටිනාකම ගැනත් මම දේශනා කළෙමි. මා විසින් හෘදයංගම දේ ලෙස සලකන අවංකත්වය, ප්‍රතිපත්තිගරුක බව, කළගුණ සැලකීම වැනි යහගුණ ගැන මම කතා කළෙමි. ඒ අතර, මගේ දේශනය ඒකාකාරී, නීරස එකක් නොවන්නටද මම, ඉතා අසීරුවෙන් වුවත්, වගබලා ගත්තෙමි.

මේ පොත මඟින් මා කරන්නේ කානගී මෙලන් සරසවි වේදිකාවේදී මා පටන්ගත් දේශනය තවදුරටත් දිගටම කරගෙන යාමයි. කාලය ඉතා වටිනා නිසා, ඒ කාලය හැකිතාක් මගේ දරුවන් සමඟ ගත කළ යුතු නිසා, මම මේ කටයුත්තට ජෙෆ් සැස්ලෝගේ [පොතේ සම කතෘ] උදවු ඉල්ලුවෙමි. මගේ සෞඛ්‍යය පවත්වාගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය බැවින් සෑම දිනකම මම මගේ නිවස ආසන්නයේ පාපැදියෙන් රවුම් ගණනාවක් යමි. ඒ අතර, මගේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හෙඩ් ෆෝනයෙන් මම ජෙෆ්ට දේශනා පැවැත්වූයෙමි. ජෙෆ් විසින් මේ පොතේ පරිච්ඡේද වලට හරවා ඇත්තේ මගේ එවැනි දේශනා පනස් තුනකි.

වෙනත් කිසිවක් ජීවත් වන දෙමවුපියෙකුගේ අඩුව නොපුරවන බව අපි මුල සිටම දැන සිටියෙමු. එහෙත්, ඉංජිනේරු විද්‍යාව යනු පරිපූර්ණ විසඳුම් ලබා දීම නොවේ. ඔබ සතුව ඇති සීමිත සම්පත් යොදාගෙන කළ හැකි හොඳම දෙය කිරීමයි. [ඉංජිනේරු විද්‍යාව හා ආර්ථික විද්‍යාව එකිනෙක අතිපිහිත වන්නේ මෙතැනදීය.] මගේ දේශනය මඟින් මෙන්ම මේ පොත මඟින්ද මා කිරීමට උත්සාහ කරන්නේ එවැන්නකි.

ලිපියේ කොටු වරහන් තුළ ඇති එකතුකිරීම් මගේය. මේ පොත කියවීමට කැමති කෙනෙකුට මෙහි ගොස් එය කියවිය හැකිය. පිළිකා හා අදාළව මා ලියූ පසුගිය ලිපියට ඉතා වටිනා එකතු කිරීම් රැසක් ප්‍රතිචාර ලෙස බොහෝදෙනෙකු විසින් එකතු කර ඇති නිසා ඒ දේවල් ලිවීමට මා වැය කළ යුතු කාලය ඉතිරිවීම සතුටට කරුණකි.

Monday, January 11, 2016

සිංදු තුනක්, පොතක් සහ ප්‍රශ්න පහක්

ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ වැසියන්ගේය. අනෙකුත් දිස්ත්‍රික්ක වලින් හරි අඩකම වැසියෙකු සාමාන්‍යයෙන් ලබන ආදායම කොළඹ වැසියෙකුගේ සාමාන්‍ය ආදායමින් අඩකට අඩුය. කලකට පෙර 'කොළඹට කිරි- අපට කැකිරි' සටන් පාඨ ජනප්‍රිය වූයේ මේ ආදායම් විෂමතාවය නිසාය. කෙසේවුවද, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ආදායම් විෂමතාවය අනෙක් දිස්ත්‍රික්ක සියල්ලටම වඩා වැඩිය. ඉතා ඉහළ ආදායම් ලබන සුළුතරයක් නිසා දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අගය ඉහළින් පෙනුණද දෛනික කැලරි අවශ්‍යතාවය අඩුවෙන්ම සැපිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේය.

කොළඹ කියන්නේ තවදුරටත් සිහින පාරාදීසියක් නොවේ. දැන් කොළඹ වගේම ඈත ගම් දනවු වලත් බොහෝ දෙනෙකුගේ සිහිනය බටහිර රටකට නොහැකිනම් අඩුගානේ කොරියාව වැනි රටකට හෝ පැනගැනීමයි. එහෙත්, පසුගිය ශතවර්ෂ එකහමාරක හෝ දෙකක කාලය තුළ ලංකාවේ දුර බැහැර පෙදෙස් වල ජීවත් වූ බොහෝ දෙනෙකු කොළඹ දුටුවේ සුරපුරයක් ලෙසිනි. සිය දරුවන් වැඩි අවස්ථා ඇති කොලොම්තොටට යවාගැනීම ඇතැම් මවු වරුන්ගේ සිහිනයක් විය.

"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"

ෂෙල්ටන් පෙරේරාගේ සංගීතය හා මුසුව රූපා ඉන්දුමතීගේ හඬින් ගීතවත් වන දයා ද අල්විස්ගේ ගී පදවැල් වලින් මතුවන්නේ මේ කතාවයි.


අද බටහිර රටවල් ආකර්ශනීය වන්නා සේ එදා කොළඹ රට ආකර්ශනීය තැනක් වුණේ මහන්සි වී කීයක් හෝ හොයාගන්නට ගමේ නොතිබුණු ඉඩ ප්‍රස්තාවන් කොළඹ රටේ තිබුණු නිසාය. මෙසේ කොළඹට සංක්‍රමණය වූයේ ගම් පළාත් වල තමන්ගේ මහන්සියට හිමිතැන නිසි පරිදි නොලැබෙන බව තේරුම් ගත් අයයි.

"පනම් අටින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ"

දැන් බොහෝ විට නීලා වික්‍රමසිංහගේ හඬින් ඇසෙන, කළු දිය දහර චිත්‍රපටයේ තේමා ගීතය වූ, මේ ගීතයෙන් කියවෙන්නේ මේ කතාවයි. මුලින්ම, සිය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් මේ ගීතය ඉංග්‍රීසි බසින් ලියා සංගීතය යෙදූ නිමල් මෙන්ඩිස් විසින් පසුව කරුණාරත්න අබේසේකර ලවා එය සිංහලට පරිවර්තනය කරගෙන තිබේ.



ගමේ තමන්ට හිමිතැන නොලැබෙන නිසා කොළඹට සංක්‍රමනය වුණත් ගෙන්දගම් පොළොව එක්ක හැප්පෙන එක ලේසි පාසු වැඩක් නොවේ. තුට්ටුවක් හෝ වැඩිපුර උපයාගැනීම මහා ලොකු අරගලයකි.

"හෙට්ටු කරලමයි වලව්වේ හාමුගෙ නෝනා නිතරම ගන්නේ
තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ"

ඇන්ටන් රුද්‍රිගුගේ මේ ගීතයෙන් කියවෙන්නේ කොළඹම නොව වෙනත් මුහුදුබඩ නාගරික ප්‍රදේශයක් ගැන වෙන්නත් පුළුවන.

"සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගී අක්කේ"



***
(Image: books.lk)

කුමරතුඟු මුණිදසුන්ගේ හත්පණ අමුතුවෙන් හඳුන්වා දියයුතු පොතක් නොවේ. මෙහි කථානායකයා කිරිහාමිය. දශක කිහිපයකට පෙර මේ පොත ඇසුරෙන් තැනූ ටෙලි නාට්‍යයද ඉතා ජනප්‍රිය විය. හත්පණ කතාව ගලායන්නේ කිරිහාමිගේ අනුවණ ක්‍රියාවන් වටාය.

"දිනක් පනම් අටක් දී වලන් ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වලන් ඉල්වීය. කඩ කාරයා වලන් ගොඩක් පෙන්වා, "එකක් තුට්ටු දහය" යි කීයේය. කිරි හාමි කිපුණේය. "මා නුපුරුදු නිසා රවටන්නට සිතුවාද? මේ වලඳ තුට්ටු දහයක්...? හැබෑවටම මෙය තුට්ටු දහයක් දී ගන්නා අයෙක් ඇද්ද? කැමති නම් මෙය පණම් අටකට දෙනවා. මා ළඟ ඇත්තේ එපමණයි". කිරි හාමි මෙසේ කී කල, "එහෙනම් ඇරගෙන යනවා. ඉතින් එපමණ කියන කල නොදී පුළුවන්දැයි" කී කඩකාරයා පණම් අට ගෙන වලඳ දුන්නේය."

(http://boondi4kids.blogspot.com/2010/04/5.html)


***

දැන් මෙන්න ප්‍රශ්න:

1. පුතා කොළඹට ගොස් උපයනු ඇතැයි අම්මා බලාපොරොත්තු වන මුදල සත වලින් කොපමණද? එයින් අම්මාට ලැබේයැයි සිතන මුදල සත වලින් කොපමණද?

2. මාස්ටර් සර්ගෙන් ලැබුණු වැටුප් වර්ධකය සත වලින් කොපමණද?

3. වලව්වෙ හාමුගෙ නෝනාගෙන් ලබා ගැනීමට අපහසු තුට්ටුවෙ වාසිය සත වලින් කොපමණද?

4. මැගි අක්කාට ලැබුණු වට්ටම සියයට කීයද?

5. කඩකාරයාට කිරිහාමි නිසා ලැබුණු අමතර වාසිය කොපමණද?


උපකාරයක් අවශ්‍යනම් මෙය කියවන්න:

සතපහ ඇගේ බාප්පලා හා සීයලා

වෙබ් ලිපිනය: