Tuesday, February 18, 2025
සදා සමරමු වඳුරු සොහොයුරා!
Sunday, February 16, 2025
වඳුරා නිදොස් කොට නිදහස් කරනු!
පෙබරවාරි 9 දින පෙරවරු 11:13ට ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියම ක්‍රියා විරහිත කරමින් "සිය දිවි නසාගත්" පානදුරේ වඳුරා මේ වන විට එම කඩාකප්පල්කාරී ක්‍රියාවේ ප්‍රධාන චුදිතයා වී සිටින ආකාරය දැකිය හැකියි. ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක පුවත් මැවූ මේ වඳුරාගේ මළ සිරුරේ ඡායාරූපයක් අදාළ සිද්ධිය පිළිබඳව ලංවිම විසින් ලබා දී ඇති මූලික වාර්තාවටද අමුණා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් සිද්ධිය හා අදාළ මූලික තොරතුරු පෙර සටහනෙහි විස්තර කර තිබෙනවා. මේ සටහන මගින් අප අදහස් කරන්නේ එම වාර්තාවේ සඳහන් අනෙකුත් කරුණු ගැනද කතා කරන අතරම එම වාර්තාවේ නැති දේවල් වෙත අවධානය යොමු කරවීමටයි.
වඳුරා හැපීම නිසා පරිපථ ලුහුවත් වී මුලින්ම පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වන්නේ පෙරවරු 11:13:39.580යි. පෙරවරු 11:14:00.022ට මුළු පද්ධතියම බිඳ වැටෙනවා. මේ මුළු සිද්ධි දාමයම සිදු වන්නේ තත්පර 20ක පමණ කාලයක් ඇතුළතයි.
මෙම සිද්ධිය සිදු වන විට (ලංවිම දත්ත අනුව) විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එම ප්‍රමාණය සැපයුනේ පහත පරිදියි.
ප්‍රධාන ජල විදුලි ප්‍රභව - මෙගාවොට් 126යි
ගල් අඟුරු (ලක් විජය) - මෙගාවොට් 472යි
සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව - මෙගාවොට් 141යි.
ඇත්ත වශයෙන්ම, ඉහත සඳහන් අන්තිම සංඛ්‍යාව නිවැරදී නැහැ. ඊට හේතුව, එම ගණනට කුඩා පරිමාණයේ සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල විදුලි සැපයුම ඇතුළත්ව නැති නිසා. ඒ නිසාම මුළු විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් වීය යන්නද නිවැරදි නැහැ. මෙම කරුණ ගැන අපි පසුව කතා කරමු. ලංවිම පද්ධති පරිපාලනයේදී සලකා බලා ඇති බව පෙනෙන්නේ ඉහත දත්තයි.
මෙතැන් සිට තත්පර කිහිපයක් අනාගතයට ගියහොත්, පද්ධතිය බිඳ වැටීමට හේතුව පද්ධතියේ අවස්ථිතිය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි. වෙනත් අයුරකින් කිවහොත් පද්ධතියේ සංඛ්‍යාතය අවශ්‍ය සීමාව තුළ රඳවා ගැනීමට නොහැකි වීමයි.
පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල ස්වභාවික අවස්ථිතියක් නැහැ. ගල් අඟුරු බලාගාර වලත් සැපයුම හදිසියේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්නේ ජල විදුලිය හෝ ගල් අඟුරු නොවන තාප විදුලි ජනකයක්. මේ අවස්ථාවේදී, ලක් විජය බලාගාරය හැර, වෙනත් තාප විදුලි ජනක ක්‍රියාත්මකව පැවතී නැහැ. ඒ නිසා පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණේ ජල විදුලි බලාගාර වලින් එකක්. වික්ටෝරියා බලාගාරයේ විදුලි ජනකයක් මේ කටයුත්ත සඳහා යොදා ගෙන තිබෙනවා.
එමෙන්ම මේ අවස්ථාව වන විට අවශ්‍යනම් ක්ෂණිකව පද්ධතියට මෙගාවොට් 230ක් දක්වා එකතු කිරීමේ හැකියාවක් (spin reserves) තිබුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතිව විදුලි සැපයුම 31.1%කින් වැඩි කිරීමේ හැකියාවක් තිබුණා. පද්ධතිය බිඳ වැටෙන්නේ මෙසේ තිබියදී.
ප්‍රශ්නය පටන් ගන්නේ පානදුර ග්‍රිඩ් උපපොළෙන්. එම උපපොළ තත්පරයක පමණ කාලයක් ඇතුළත පද්ධතියෙන් විසන්ධි වෙනවා. ග්‍රිඩ් උපපොළක් පද්ධතියෙන් විසන්ධි වූ පසු, ඉල්ලුමේ අඩුවීමක් සිදු වන බැවින් සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ පද්ධතියේ සංඛ්‍යාතය ඉහළ යාමයි. එහෙත්, මෙහිදී සිදු වී තිබෙන්නේ දිගින් දිගටම සංඛ්‍යාතය පහත වැටීමයි. එසේ සිදු වුනේ ඇයි?
පානදුර ග්‍රිඩ් උපපොළට සම්බන්ධ ප්‍රද්ශයේ විදුලි ඉල්ලුම ඉක්මවන විදුලි ජනනයක් ඒ වන විට එම ප්‍රදේශයේ කුඩා සූර්ය බල ප්‍රභව වලින් සිදු වෙමින් තිබුණු නිසා මේ අවස්ථාවේදී පද්ධතියට යම් විදුලි සැපයුමක් සිදු වෙමින් තිබී එය ක්ෂණිකව නැවතුනාද? යම් හෙයකින් එවැන්නක් සිදු වුවද, එවැනි විදුලි සැපයුමක් මෙගාවොට් කිහිපයකට වඩා වැඩි වීමේ ඉඩක් නැහැ. මෙගාවොට් දහයකට නොවැඩි ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වුනත්, පද්ධතියට එකතු වුනත්, එම ප්‍රමාණය පද්ධතියට ලොකු බලපෑමක් කිරීමට හේතුවක් නැහැ.
පානදුර සිදු වීමෙන් පසුව කිසියම් නොදන්නා හේතුවක් නිසා පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන්නට පටන් ගෙන ඇති අතර, එවැනි තත්ත්වයක් ඇති වූ විට සාමාන්‍යයෙන් කරන පරිදි, ඉල්ලුම හා සැපයුම තුලනය කිරීමේ අරමුණින් අදියර පහකින් පද්ධතියේ බර සැහැල්ලු කර තිබෙනවා (load shedding). පළමු අදියරේදී මෙගාවොට් 65.4ක්, දෙවන අදියරේදී මෙගාවොට් 58.5ක් ආදී ලෙස අදියර පහම අවසන් වෙද්දී මෙගාවොට් 406.1ක් පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා. එම ප්‍රමාණය පැවති විදුලි ඉල්ලුමෙන් 55.5%ක්. පද්ධතිය තුලනය කරගත නොහැකි වී තිබෙන්නේ එවැනි බර සැහැල්ලු කිරීමක් කිරීමෙන්ද පසුවයි. එසේ වුනේ ඇයි?
මෙගාවොට් 739ක ඉල්ලුමෙන් මෙගාවොට් 406ක්ම ඉවත් වීමෙන් පසුව තව දුරටත් අවශ්‍ය වන්නේ මෙගාවොට් 333ක් පමණයි. ලංවිම වාර්තාව අනුව පෙරවරු 11:14 වීමට පෙර මෙම බර සැහැල්ලු කිරීමේ අදියර පහම ක්‍රියාත්මක වී තිබෙනවා. එම වාර්තා නිවැරදිනම්, ජනක යන්ත්‍ර අක්‍රිය වන්නේ ඉන් පසුවයි. ඒ කියන්නේ ඉල්ලුම අඩු වුනත් සැපයුම එලෙසම තිබෙනවා. ඊට අමතරව ප්‍රමාණවත් හදිසි සංචිතද තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ සංඛ්‍යාතය වේගයෙන් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් තිබේද? මේ වැදගත්ම හා අවශ්‍යම කරුණ පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් වාර්තාවේ නැහැ.
මෙවැනි තත්ත්වයක් ඇති වීමටනම්, වාර්තාවේ විස්තර කර තිබෙන දේවල් වලට අමතරව, වෙනත් කිසියම් හේතුවක් නිසා විශාල ලෙස ඉල්ලුම ඉහළ යාමක් හෝ සැපයුම අඩුවීමක් සිදු විය යුතුයි. විය හැකියාවක් සේ අපට පෙනෙන ප්‍රධානම හේතුව වඳුරා හැපීමෙන් පසු පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වීම සහ සංඛ්‍යාතය පහත වැටී ස්වයංක්‍රීය ලෙස පද්ධතියේ බර සැහැල්ලු වීම සිදුවෙන කාලය අතරතුර ඉහත සංඛ්‍යාලේඛණ වල නොමැති විශාල පුනර්ජනනීය බල සැපයුමක් පද්ධතියට අහිමි වීමයි. එය එසේ වීනම්. සැපයුම විශාල ලෙස පහත වැටී එය ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමක් සේ නිරූපණය වීමට ඉඩක් තිබෙනවා. මෙවැනි හිස්තැන් පිරවීමක් සිදු නොකර ලංවිම වාර්තාව කියවා ගන්න බැහැ.
වාර්තාවේ එකම එක තැනක පමණක් මේ පිළිබඳ සඳහනක් තිබෙනවා. ඒ අනුව, පද්ධතියේ බර සැහැල්ලු කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ "NCRE rejection due to an earth fault on Panadura 132/33kV T/F 01" යන හේතුව නිසා. එනම්, වඳුරා පැනීමෙන් පසුව, සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනනීය බලශක්ති සැපයුම පද්ධතියෙන් ඉවත් වූ නිසා. මෙම ප්‍රමාණය මෙගාවොට් 224.4ක් හෙවත් 31%ක් බවද සඳහන්ව තිබෙනවා. කෙසේ වුවත්, එවැනි ප්‍රභව වලින් එපමණ විදුලිය ජනනය වූ බවක් වාර්තාවේ මුල් කොටසේ සඳහන්ව නැහැ.
දැන් අපි ලංවිම වෙනත් සංඛ්‍යාලේඛණ වෙත හැරුනොත්, සූර්යබල විදුලි ජනන ධාරිතාවය පසුගිය වසර පහක පමණ කාලය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2022දී මෙම ප්‍රමාණය මෙගාවොට් 720ක් වන අතර 2023දී මෙගාවොට් 859ක්. මෙම ප්‍රභවයෙන් විදුලිබලය නිපදවීමේ වර්ධනය සලකා බැලු විට 2025 පෙබරවාරි 9 වන විට ඉහත ධාරිතාවය මෙගාවොට් 1000 ඉක්මවා තිබුණා විය හැකියි. ලංවිම විසින් තත්කාලීනව නිරීක්ෂණය කර ඇති කොටස මෙයින් 10%කටත් වඩා අඩුයි. එම කොටසේ විදුලි ජනන දත්ත අනුව මේ සිදු වීම වන විට ඉතා හොඳින් ඉර එළිය තිබුණු බවද පෙනෙනවා.
මේ කරුණු අනුව අපට නිගමනය කළ හැක්කේ පද්ධතිය බිඳ වැටෙන්නට පෙර විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් බැව් සදහන් වුවද, එම ගණනට ඇතුළත් නැති කොටස මෙගාවොට් 900ක් පමණ විය හැකි බවයි. ලංවිමට "පෙනෙන" ඉල්ලුම විශාල ලෙස පහත වැටීමට හේතුව ලෙසද විශාල ලෙස සූර්ය බල විදුලිය ජනනය වීම හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම, පාන්දර කාලයේ අවම ඉල්ලුම් මට්ටම හා සැසඳූ විට දිවා කාලයේදී මෙගාවොට් 1600කවත් ඉල්ලුමක් නොතිබෙන්නට හේතුවක් නැහැ.
සැබෑ ඉල්ලුම මෙගාවොට් 1600ක් සේ සැලකුවහොත් පද්ධතියේ අවස්ථිති කළමනාකරණය සඳහා උදවු කර ගත හැකි ජල විදුලි කොටස එයින් 8%කටද අඩු කොටසක්. මෙවැනි තත්ත්වයක් යටතේ පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කර ගැනීම අසීරු කටයුත්තක්. එමෙන්ම, ආපතික සංචිතයද මුළු සැපයුමෙන් 31%ක් නොව, 14%ක් පමණයි. කෙසේ වුවද, මේ අයුරින් පද්ධතියේ සංඛ්‍යාතය පවත්වා ගැනීම අසීරු වන්නේ පද්ධතියට කිසියම් කම්පනයකට මුහුණ දෙන්නට සිදු වුවහොත් පමණයි. එවැන්නක් සිදු නොවීනම් මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ.
ඉහත කොටස අත හැර, ලංවිම විසින් නිරීක්ෂණය කරන සැපයුම දෙස බැලූ විට පෙනී යන්නේ ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රයක් මුලින්ම අක්‍රිය වීමට පෙර බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙගාවොට් 406ක් පද්ධතියෙන් විසන්ධි වී ඇති බවයි. ඉල්ලුම එපමණකින් අඩු වීමෙන් පසුව, මෙගාවොට් 230ක ආපතික සංචිතයක්ද තිබියදී, ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත නොහැකි වීමෙන් පෙනෙන්නේ වාර්තාවේ සඳහන්ව නොමැති ආකාරයකින් විශාල විදුලි බල සැපයුමක් (මෙගාවොට් 600ක් පමණ දක්වා විය හැකි) පද්ධතියට අහිමි වී ඇති බවයි. එසේ නැත්නම්, ඉල්ලුම එපමණකින් ඉහළ ගොස් ඇති බවයි. ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රය අක්‍රිය වීමට පෙර තත්පර කිහිපය ඇතුළත එක් අදියරකින් හෝ අදියර කිහිපයකින් මෙවැන්නක් සිදු වී තිබිය යුතුයි. තර්කානුකූලව මෙවැන්නක් සිදු විය හැක්කේ කිසියම් ආකාරයකින් සූර්ය බල විදුලි සැපයුම පද්ධතියෙන් විසන්ධි වීම නිසායි.
මෙතෙක් මා කරුණු සටහන් කළේ සෑහෙන දුරකට වාර්තාගත නිල තොරතුරු මත පදනම්වයි. මේ සම්බන්ධව යාවත්කාලීන වූ ප්‍රායෝගික දැනුමක් නොමැති නිසා මා මෙයින් එහාට තීන්දු දෙන්න යන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මට හිතෙන දේ සටහන් කරනවා පමණයි.
පෙර ලිපියක විස්තර කළ පරිදි, සූර්ය බල විදුලි අපවර්තක වලින් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා පද්ධතියට එකතු කරන අතර ඒ කාර්යයේදී පද්ධතියේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවය කියවීමක් කරනවා. එම තොරතුරු වලට ප්‍රතිචාර ලෙස මෙම අපවර්තක විසින් කරන තවත් දේවල් තිබෙනවා. ඒ මොනවාද යන්න අදාළ අපවර්තකයේ තාක්ෂනය මත මෙන්ම ඒවා වින්‍යාසගත (configure) කර ඇති ආකාරය මතද තීරණය වෙනවා. ඒ නිසා, පද්ධතියට එකතු කර ගැනීමේදී නියාමනය මගින් පනවා ඇති සීමාවන්ට යටත්ව, මේ අපවර්තක වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එම ප්‍රතිචාර වල සමානකම් තියෙන්නත් පුළුවන්.
සිදුවිය හැකි එක් දෙයක් වන්නේ යම් සීමාකාරී තත්ත්වයන් යටතේ අපවර්තක ස්වයංක්‍රීය ලෙස පද්ධතියෙන් ඉවත් වීමයි. සංඛ්‍යාතය කිසියම් සීමාවකින් පහළට වැටෙද්දී (low frequency threshold) මෙන්ම පද්ධතියේ වෝල්ටීයතාවය පහත වැටීමේදීද (low voltage threshold) මෙවැන්නක් සිදු විය හැකියි කියා මා හිතනවා. පද්ධතියේ කොටස් වන ජනක යන්ත්‍ර ආදියද හැසිරෙන්නේ මේ අයුරිනුයි. මේ සියලුම උපකරණ වලට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් සලසා ගැනීමේ "අරමුණක්" ඇති අතර, පද්ධතියේ උපාංග වලට ඊට අමතරව පද්ධතිය ස්ථායී ලෙස තියා ගැනීමේ "සාමූහික වගකීමක්ද" තිබෙනවා. අපවර්තක වලට මේ "සාමූහික වගකීම" නැහැ.
අනෙක් කාරණය විදුලි-යාන්ත්‍රික උපාංග වලට සාපේක්ෂව විද්‍යුත් උපාංග වලට වෙනස් වන තත්ත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. එය එසේ නොවන්නේ කිසියම් කාල පමාවක් වින්‍යාසගත කර ඇත්නම් පමණයි. එසේනම් මෙහිදී සිදු වුනේ ජාතික විදුලි පද්ධතියේ උපාංග ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙර තනි තනි අපවර්තක වෙන වෙනම ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා පද්ධතිය බිඳ වැටීමද? උදාහරණයක් ලෙස පානදුර සිදු වීමේදී තත්පර 1.1ක කාලයක් තුළ වෝල්ටීයතාවය පහත වැටෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් අපවර්තක ගණනාවක් විදුලි සැපයුම නවතා දැමුවද? එහිදී සැපයුම අඩු වී පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටීගෙන යද්දී, එයට ප්‍රතිචාර ලෙස බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වුනත්, එම වෙනස හඳුනා ගනිමින් තවත් අපවර්තක ගණනාවක් ඊට පෙරම විදුලි සැපයුම නවතා දැමුවද?
මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගැනීම මා මෙම උපාංග පිළිබඳ යාවත්කාලීන වූ දැනුමක් ඇති අයට ඉතිරි කරනවා. කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලියි. මෙලෙස පද්ධතිය බිඳ වැටීමට හේතුව දිවි දුන් වඳුරා නොව ඉන් පසුව සිදුව තිබෙන කවර හෝ සිදුවීම් දාමයයි. වඳුරෙකු නොමැතිව වුනත් එවැන්නක් නැවත විය හැකියි. ඒ නිසා, දැන් අපි මේ වඳුරාව නිදොස් කොට නිදහස් කළ යුතුයි!
වානරයකුගේ මරාගෙන මැරෙන ප්‍රහාරය...
ලංකාවේ විදුලි බල පද්ධතියේ සමස්ත ධාරිතාවය මෙගා වොට් 5000 ඉක්මවනවා. නමුත්, එසේ වූ පමණින්, ඕනෑම මොහොතක මෙගා වොට් 5000ක් හදන්න බැහැ. සූර්ය බල විදුලිය නිපදවිය හැක්කේ දවල් කාලයේදී පමණයි. ජලාශ වල ප්‍රමාණවත් තරම් වතුර නැත්නම් ජල විදුලිය පූර්ණ ධාරිතාවයෙන් නිපදවන්න බැහැ. පොසිල ඉන්ධන ආනයනය කරන්න ඩොලර් නැත්නම් තාප විදුලිය හදා ගන්න බැරි වෙනවා. ඔය වගේ සීමාවන් තිබුණත් සාමාන්‍යයෙන් රටේ උපරිම විදුලි ඉල්ලුම සැපිරිය හැකි ධාරිතාවක් මේ වෙද්දී රටේ තිබෙනවා. "වඳුරා පැනපු" අවස්ථාවේදී රට පුරාම විදුලිය නැති වුණේ විදුලිය ඉල්ලුමට සරිලන සැපයුම් ධාරිතාවයක් නොතිබුණු නිසා නෙමෙයි.
මේ වෙද්දී බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා වී තිබෙන පරිදි "වඳුරා පැනීම" හෝ වෙනත් කවර හෝ එවැනි අහඹු සිද්ධියක් සිදු වී තිබෙන්නේ ඉරිදා දිනයක් වන පෙබරවාරි 9 දින උදේ වරුවේදීයි. ඉරිදා දිනයක උදේ වරුව කියා කියන්නේ ලංකාවේ විදුලි ඉල්ලුම අඩුම වෙලාවක්. ලංවිම දත්ත අනුව, මේ වෙලාවේ පැවති විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එය ඉතාමත්ම අඩු මට්ටමක්. මෙවැනි අඩු මට්ටමක ඉල්ලුමක් ඇති විටෙක විදුලි සැපයුම ප්‍රශ්නයක් වීමට කිසිදු ඉඩක් නැහැ. පද්ධතියේ ධාරිතාවය එමෙන් හත් ගුණයකටත් වඩා වැඩියි. ඒ නිසා, ඉතා පැහැදිලිවම කිව යුත්තේ මේ බිඳ වැටීමට හේතුව පද්ධති කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් මිස විදුලි සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා, විදුලි සැපයුම ඉහළ නැංවීම හා අදාළ ඇතැම් අයගේ යෝජිත විසඳුම් වලින් මෙවැනි තත්ත්වයන් ඇති වීම වලකාගත නොහැකියි.
මතු සම්බන්ධයි.
Saturday, February 15, 2025
වඳුරා පනින්නට පෙර...
පෙර සටහන අවසන් කළේ මේ විදිහටයි: "පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!"
මේක මැක්කෙක් නෙමෙයි. ඒ කියන්නේ කැරකිලා අන්තිමටම ආර්ථික කරුණු වෙත ප්‍රශ්නය ලඝු කිරීමක් නෙමෙයි. යම් සීමාවකින් එහාට ජාතික විදුලි පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීමේ ප්‍රශ්නයද ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.
මේ සටහන් ලියන්නේ අදාළ අංශ වල ඉංජිනේරුවන්ට උපදෙස් දෙන්න නෙමෙයි. ඒ වගේම, මෙහි ආර්ථික කරුණු හා අදාළ සටහන් ලියා පළ කරන්නෙත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දෙන්න නෙමෙයි. මේ සටහන් දැනුම වෙනුවෙන්, විනෝදය වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් වෙනුවෙන් සිංහල වියුණු හා වත්පොත් සටහන් කියවන සහ එයට ඇබ්බැහි වී සිටින පොදු පාඨකයින් වෙනුවෙන් ලියන සටහන් පමණයි. ඒ අය අතර ඉහත කී කණ්ඩායම් වලට උපදෙස් දිය හැකි විශේෂඥයින් ඉන්න පුළුවන්. ඒ අයට කැමතිනම් ප්‍රතිචාර දක්වමින් සංවාදයට එකතු විය හැකියි.
සටහනක් ලියද්දී අප විසින් වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ ඉලක්ක කණ්ඩායමට පහසුවෙන් තේරුම් ගත හැකි තරම් සරලව අවශ්‍ය කරුණු විස්තර කරන්නයි. නමුත්, වෘත්තීය කටයුතු අතර, වෘත්තීය නොවන කටයුත්තක් ලෙස, එක දිගට මේ සටහන් ලියා පළ කරද්දී ඒ වෙනුවෙන් යෙදවිය හැක්කේ සීමිත කාලයක් පමණක් බැවින් ලියන සටහන් නැවත කියවා සංශෝධනය කර හොඳම විදිහට ඉදිරිපත් කිරීම සඳහා කාලය මිඩංගු කරන්න අමාරුයි. එක දිගට ටයිප් කර ගෙන යන සටහනක් ඒ වහාම පළ කරන එකයි ගොඩක් වෙලාවට කරන්නේ. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කර අපැහැදිලි තැන්, අත් වැරදි ඇතුළු අනෙකුත් වැරදි ඇත්නම් ඒවා ගැන පැහැදිලි කර ගත හැකි නිසා මෙය ප්‍රශ්නයක්යැයි මා සිතන්නේ නැහැ.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම යන කාරණයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ අවස්ථිති කළමනාකරණය. නමුත් ඉල්ලුම් කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් නැති අයෙකුට අවස්ථිති කළමනාකරණය ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඉල්ලුම් කළමනාකරණය ගැන කලකට පෙර සටහනක් ලියා පළ කර ඇතැයි සිතා සිටියත් එවැන්නක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා, පෙර සටහන පටන් ගන්න වුනේ ඉල්ලුම් කළමනාකරණයෙන්. පුළුල් පරාසයක දේවල් තනි ලිපියකින් කතා කරද්දී සමහර අවශ්‍ය ම කරුණු වලට තිබෙන අවධානය නැති වෙනවා. කියවන සමහර අයට අලියාගේ නැට්ට හෝ අලියාගේ කණ පමණක් අහු වෙනවා. නමුත් විෂය දැනුමක් නැති ගොඩක් අයට මේ ගැන යම් දැනුමක් ලබා ගන්න අවශ්‍ය මූලික කරුණු බොහොමයක් පෙර ලිපියේ තිබෙනවා කියා මම හිතනවා.
නැවත ඉල්ලුම් කළමනාකරණයෙන්ම පටන් ගත්තොත්, විදුලි ඉල්ලුම සාමාන්‍යයෙන් දවසේ වෙලාව අනුව විශාල ලෙස විචලනය වෙනවා. ඒ වගේම, සතියේ දිනවල සහ සති අන්තයේ ඉල්ලුමෙහි ස්වභාවය වෙනස්. සිංහල අවුරුදු දවස් ඇතුළු නිවාඩු දවස්, මැතිවරණ ප්රතිඵල විකාශනය කෙරෙන දවස් වැනි විශේෂ දවස් වල තවත් වෙනස් වෙනවා.
සාමාන්‍යයෙන් සතියේ දවසක වැඩිම විදුලි ඉල්ලුමක් තිබෙන්නේ රාත්‍රී හතට පමණ. අඩුම ඉල්ලුමක් තියෙන්නේ පාන්දර දෙකේ සිට හතර පමණ දක්වා කාලය තුළයි. උදාහරණයක් ලෙස 2025 පෙබරවාරි 7 දින විදුලි ඉල්ලුමේ ස්වභාවය දෙස බැලුවොත් (මේ සමඟ පළ කරන පළමු රූප සටහන දෙස බලන්න) සතියේ දිනක ලංකාවේ විදුලි ඉල්ලුම වෙනස් වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පෙබරවාරි 7 ගත්තේ "වඳුරා පනින්න කලින්" අන්තිම සතියේ දවස නිසා.

ඉහත ප්‍රස්ථාරයෙන් දවස පුරා විදුලි ඉල්ලුම විචලනය වූ ආකාරය වගේම එම ඉල්ලුම විවිධ බලශක්ති ප්‍රභව වලින් සැපිරූ ආකාරයත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉල්ලුමෙන් පටන් ගත්තොත්, ඉල්ලුම අඩුම අවස්ථාවේදීත් එය මෙගාවොට් 1500ක් පමණ වෙනවා. උපරිම ඉල්ලුම මෙගා වොට් 2700ක් පමණ දක්වා යනවා.

Friday, February 14, 2025
විදුලිය නැති කළ වඳුරා කවුද?
මෑතකදී ලංකාවේ විදුලි බල පද්ධතියම එකවර බිඳ වැටුනා. මේ වැඩේ දැන් තරමක් කෙටි කාලාන්තර තුළ නැවත නැවත සිදු වෙන දෙයක් වෙලා. එක් ප්‍රවාදයකට අනුව වග කිව යුත්තා වඳුරෙක්. පොල් ගණන් ගිහින් තියෙන්නෙත් වඳුරෝ නිසා කියලා කියනවනේ. එහෙම බැලුවහම වඳුරෝ දැන් ලංකාවේ ඉන්න ලොකුම ආණ්ඩු විරෝධී කණ්ඩායම වගේ. යන විදිහට 2030 දිනන්නේ වඳුරෝ වෙන්නත් බැරි නැහැ.
කොහොම වුනත්, තවත් ප්‍රවාදයක් තියෙනවා. ඒ ප්‍රවාදයට අනුව, විදුලි බල පද්ධතිය ස්ථාවරව තියාගන්න අසීරු වී තියෙන්නේ සූර්ය බල විදුලිය ඕනෑවට වඩා පද්ධතියට එක් කිරීම නිසා. මේ සටහන ඒ ගැන විමසා බැලීමක්.
මෙය ආර්ථික විද්‍යා විමසුමක් නෙමෙයි. නමුත් කතා කරන්න තියෙන්නේ ඉල්ලුම, සැපයුම සහ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන. ආර්ථිකය හසුරුවන මධ්‍යගත සැලසුමක් නොවෙතත්, කතාවේ මධ්‍යගත සැලසුමකුත් තිබෙනවා.
විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, විදුලිය නිපදවන විටම පරිභෝජනය කරන්න වෙනවා. පරිභෝජන ඉල්ලුම විචලනය වන්නක් නිසා, ඉල්ලුමට ගැලපෙන විදිහට සැපයුම කළමනාකරණය කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ මධ්‍යගත ක්‍රමයකට. සාමාන්‍යයෙන් කොයි රටක වුනත් ඔය වැඩේ කරන්නේ ඔය විදිහට. සමහර කටයුතු වලදී මධ්‍යගත සැලසුම් වඩා කාර්යක්ෂමයි.
ලංකාවේ විදුලිය නිපදවන ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒ අතරින් සම්ප්‍රදායික ක්‍රම වන්නේ ජල විදුලි උත්පාදනය සහ තාප විදුලි උත්පාදනය. පුනර්ජනනීය බලශක්ති කියන්නේ සාපේක්ෂව අලුත් දෙයක්.
ජල විදුලි උත්පාදනයේදී සිදු වෙන්නේ ඉහළ උසක තිබෙන ජලයේ විභව ශක්තිය යොදා ගනිමින් ටර්බයිනයක් කරකවා එමගින් ඒ විභව ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගැනීම. විදුලි ජනකයකින් කරන්නේ චාලක ශක්තිය විදුලි බලය බවට හරවන එක.
තාප විදුලිය හදද්දී වෙන්නෙත් මීට කිට්ටුවෙන් යන දෙයක්. එහිදී උණුසුම් ජල වාෂ්ප වල තිබෙන තාප ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගන්නවා. ඩීසල්, ස්වභාවික වායු, ගල් අඟුරු වගේ කොයි ඉන්ධනයක් යොදා ගත්තත් එයින් කරන්නේ ඉන්ධනය දහනය කරද්දී ලැබෙන තාප ශක්තිය යොදා ගෙන ටර්බයිනයක් කරකවන එක. එක්කෝ උණුසුම් ජල වාෂ්ප වලින්. එහෙම නැත්නම් උණුසුම් ස්වභාවික වායු වලින්. ඔය දෙකෙන්ම කලවමේ වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට විදුලිය හැදෙන්නේ දඟරයක් ඇතුළේ චුම්බකයක් කරකැවෙන එකෙන්.
ලංකාවේ භාවිතයේ නැතත්, න්‍යෂ්ඨික බලාගාර වල වෙන්නෙත් ඔය වැඩේමයි. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවකින් හැදෙන තාප ශක්තිය චාලක ශක්තිය වෙලා පසුව විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් විදුලි ශක්තිය බවට පත් වෙනවා. බයිසිකලයක් පදින කොට එහි ප්‍රධාන විදුලි ලාම්පුව පත්තු වෙන්නෙත් ඔය ක්‍රමයට. බයිසිකලය පාගද්දී ලබා දෙන චාලක ශක්තිය බයිසිකලයේ තිබෙන කුඩා විදුලි ජනකයෙන් විදුලි ශක්තිය බවට හරවනවා.
ඔය ක්‍රම වලින් හැදෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය. ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාව කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ධන සෘණ ධන සෘණ ලෙස දිශාව මාරු කරනවා. මෙය සිදු වෙන්නේ සුමට විදිහටයි. එකවර ධන සෘණ මාරු වෙන්නේ නැහැ. ටිකෙන් ටික අඩු වෙලා, බිංදුවට ආවට පස්සේ සෘණ පැත්තට යනවා. ඒ වගේම ටිකෙන් ටික වැඩි වෙලා බිංදුවට ආවට පස්සේ නැවත ධන පැත්තට යනවා. මේ චක්‍රයක් සම්පූර්ණ වෙන්න යන කාලය විදුලිය නිපදවන ජනක යන්ත්‍රය කැරකෙන වේගයට සමානුපාතිකයි.
නමුත් සූර්ය කෝෂ වලින් හදන්නේ ඔය විදිගේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නෙමෙයි. එය සරල ධාරා විදුලිය (DC). ධන සෘණ ලෙස දිශාව මාරු වීමක් නැහැ. වෝල්ටීයතාවය ස්ථාවර මට්ටමක දිගටම තිබෙනවා.
අපේ ගෙවල් වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය. ඒ නිසා, ගෙවල් වල විදුලි උපකරණ බොහොමයක් හදලා තියෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියෙන් වැඩ කරන විදිහට. ඒ වගේම රටක ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය පිළිබඳ සම්මතයක් තිබෙනවා. ලංකාවේ සම්මතය වෝල්ට් 230 සහ සංඛ්‍යාතය හර්ට්ස් 50. ඇමරිකාවේනම් වෝල්ට් 120 සහ සංඛ්‍යාතය හර්ට්ස් 60. මේ වෙනස නිසා ඇමරිකාවේ භාවිතා වෙන විදුලි උපකරණයක් සෘජුවම ලංකාවේ විදුලියට සම්බන්ධ කරන්න බැහැ. එහෙම කරන්නනම් අතරමැදි උපකරණයක් අවශ්‍ය වෙනවා.
මෙහි සංඛ්‍යාතය කියා කියන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය තප්පරයකදී සම්පූර්ණ කරන චක්‍ර ගණන. එහෙමත් නැත්නම් ධන සෘණ මාරු කරන වාර ගණන. එය එම විදුලිය නිපදවන ජනක යන්ත්‍ර තත්පරයකට කැරකැවෙන වාර ගණනට සමානුපාතිකයි.
ලංකාවේ ජනක යන්ත්‍ර සියල්ලම එක් තනි පද්ධතියක් ලෙස සම්බන්ධ කරලයි තියෙන්නේ. ලෝකයේ අනෙක් රටවල ඒ වැඩේ වෙන්නත් ඔය ක්‍රමයට. මේ ජනක යන්ත්‍ර සියල්ලෙන්ම පද්ධතියට ලැබෙන විදුලිය ඉන් පසුව රට පුරා තිබෙන ග්‍රිඩ් උප පොළවල් හරහා පාරිභෝගිකයන්ට බෙදා හරිනවා. ඒ සඳහා මධ්‍යගත සැලසුමක් අවශ්‍යයි.
මේක අපි ලංකාවේ සහල් වෙළඳපොළට සමාන කළොත් මුළු රටේම සහල් ටික රජය විසින් එකතු කරගෙන පාරිභෝගිකයින්ට බෙදා දෙන එක වගේ වැඩක්. හැබැයි හාල් ගබඩා කර තියා ගන්න පුළුවන්. විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, හැම මොහොතකම ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්න වෙනවා. වෙළඳපොළ මිල යාන්ත්‍රනය හරහා ඉබේටම සිදු වන ආකාරයේ සමතුලිතතාවයක් මෙහිදී ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පවතින මිල දෙස බලා ප්‍රතිචාර දැක්විය හැකි වුවත්, ජනක යන්ත්‍ර වලට එහෙම කරන්න බැහැ.
නමුත්, වෙළඳපොළ මිල සංඥාව වගේ එකක් මෙතැනත් තියෙනවා. වෙළඳපොළේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවනේ. ඒ වගේම, විදුලි බල පද්ධතියේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මොකද වෙන්නේ? වෙළඳපොළකනම් මිල අඩු වෙනවා. විදුලි බල පද්ධතියේ වෙන්නේ ජනක යන්ත්‍ර කැරකෙන්න ගතවන කාලය අඩු වෙන එක.
ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා කියන්නේ කැරකෙන වේගය අඩු වෙනවා කියන එක. ඒක හරියට කරත්තෙකට බර ගොඩක් පැටෙවුවහම කරත්තේ අදින ගොනාගේ වේගය අඩු වෙනවා වගේ වැඩක්. ගොනාට බර දරාගන්න අමාරු වෙනවා වගේම, විදුලි ජනක යන්ත්‍ර වලටත් විදුලි ඉල්ලුම වැඩි වීමේ බර දරාගන්න අමාරු වෙනවා.
අනෙක් අතට විදුලි ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් වෙන්නේ පල්ලමක් බහිද්දී බයිසිකලයක වේගය වැඩි වෙනවා වගේ වැඩක්. ජනක යන්ත්‍ර කරකැවෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පරයකට කැරකෙන වට ගණනත් වැඩි වෙනවා. නිපදවන විදුලියේ සංඛ්‍යාතය ඉහළ යනවා.
දැන් ඔය විදිහට විදුලි ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී පද්ධතියේ සංඛ්‍යාතයත් අඩු වැඩි වෙනවා. ඒ විදිහට සංඛ්‍යාතය වෙනස් වෙද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා සංඛ්‍යාතය නැවත අවශ්‍ය මට්ටමට ගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?
මේ වැඩේ කරන්නනම් ඉල්ලුම වැඩි වේගෙන යද්දී සැපයුම වැඩි කරන්න වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී නැවත සැපයුම වැඩි කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ සංඛ්‍යාතය දිහා බලාගෙන. එක තමයි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ සංඥාව.
මේ විදිහට සැපයුම අඩු වැඩි කරන්න අවශ්‍ය වූ විට විදුලි ජනක වලට ලබා දෙන බලය සීරුමාරු කරලා ඒ වැඩේ සාපේක්ෂව පහසුවෙන් කරන්න පුළුවන්. ජල විදුලිය නිපදවද්දී අවසානයේදී විදුලි බලය බවට පත් වෙන්නේ පහළට වැටෙන ජලය. ඒ නිසා ජල ප්‍රමාණය පාලනය කරලා විදුලි සැපයුම පාලනය කරන්න පුළුවන්. ඩීසල් විදුලි ජනකයක්නම් දහනය කරන ඩීසල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්.
හැබැයි මේ විදිහට විදුලි සැපයුම වැඩි කළ හැක්කේ විදුලි ජනකයක් එහි උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්නේ නැත්නම් පමණයි. ඒ නිසා, ඉල්ලුම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී අලුතෙන් විදුලි ජනකයක් පණ ගන්වන්න වෙනවා. ඉල්ලුම ලොකුවට අඩු වෙනවානම් විදුලි ජනකයක් අක්‍රිය කරන්න වෙනවා.
ක්‍රියාත්මක විදුලි ජනකයක සැපයුම වැඩි කරන එක ක්ෂණයකින් මෙන් කළ හැකි වුවත්, අලුත් විදුලි ජනකයක් පණ ගන්වලා පද්ධතියට එකතු කරන එක ඒ තරම්ම හදිසියෙන් කරන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා, ඉල්ලුම ඉහළ යාගෙන එන බව පෙනෙද්දීම විදුලි ජනකයක් ක්‍රියාත්මක කරන වැඩේ පටන් ගන්න වෙනවා. එසේ කරන්නනම් විදුලි ඉල්ලුම වෙනස් වෙන විදිහ පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කරන්න වෙනවා.
පද්ධතියේ ධාරිතාව ඉල්ලුමට වඩා අඩුනම් මොන විදිහකින්වත් අවශ්‍ය ඉල්ලුම සපයන්න බැහැ. ලයිට් කපන්න වෙන්නේ එහෙම වුනාම. සමහර අය අහන ප්‍රශ්නයක් තමයි "හරියටම ලයිට් ඕනෑ වෙලාවටම ලයිට් කපන්නේ ඇයි?" කියන එක. පද්ධතියේ ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්නනම්, ලයිට් කපන්න වෙන්නේ හරියටම ඒ වගේ වෙලාවකම තමයි. විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ වැඩිපුරම ලයිට් අවශ්‍ය වෙලාවට!
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ අනුව, ලංකාවේ විදුලියේ සංඛ්‍යාතය උපරිම වශයෙන් හර්ට්ස් 1කට වඩා අඩු වැඩි වෙන්න බැහැ. ඒ කියන්නේ හර්ට්ස් 49-51 පරාසයේ තිබිය යුතුයි. ලංවිම සාමාන්‍යයෙන් මෙය හර්ට්ස් 49.5-50.5 පරාසයේ තියා ගන්නවා. එසේ කරන්නේ සැපයුම පාලනය කිරීම මගින්. රට පුරා තිබෙන විදුලි ජනක නිශ්චිත සැලසුමකට අනුව පණ ගැන්වීම සහ අක්‍රිය කිරීම මගින් ඒ වැඩේ කරනවා. මෙසේ කරද්දී වෙනත් අමතර සාධක ගණනාවක්ද සලකා බලන්න සිදු වෙනවා. රටේ තැන් තැන් වල වෝල්ටීයතාවය අඩු නොවී අවශ්‍ය මට්ටමේ තබා ගැනීම, හැකි තරම් අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කිරීම වගේ දේවල්.
හදිසියේ අනපේක්ෂිත බිඳ වැටීමක් වෙලා විදුලි සැපයුම එක පාරට අඩු වුනොත් සහ පද්ධතියේ ක්‍රියාත්මකව තිබෙන ජනක යන්ත්‍ර ධාරිතා මට්ටම ආසන්නයේ ක්‍රියාත්මකව ඇත්නම්, වැඩේ ගොඩ දාගන්න අමාරුයි. අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වන්න යම් අවම කාලයක් යනවා. ඒ කාලය තුළ, සංඛ්‍යාතය ගොඩක් අඩු වෙන්න පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා කළ හැක්කේ යම් ප්‍රදේශයක, සාමාන්‍යයෙන් බිඳ වැටීම සිදු වුනු ප්‍රදේශයේ, විදුලි සැපයුම විසන්ධි කරන එක. මේ වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. අනපේක්ෂිතව ලොකු බිඳ වැටීමක් වුනොත් රටේම විදුලිය ක්ෂණිකව විසන්ධි වෙන්න පුළුවන්. එහෙම වෙන විදිහට පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ උපකරණ වල ආරක්ෂාව සඳහා. ඔය වගේ බිඳ වැටීමක් සිදු වුනාට පස්සේ ජනක යන්ත්‍ර සියල්ලම නැවත එකින් එක පණ ගන්වමින් පරිස්සමින් පද්ධතියට එකතු කරන්න වෙනවා. පද්ධතියේ තුලනය පවත්වා ගෙන ඔය වැඩේ කරන්න යම් කාලයක් ගත වෙනවා. පසුගිය දවස් වල සිදු වුනේ ඕක.
මේ ආකාරයෙන් මුළු රටකම ජනනය වන විදුලි ශක්තිය එකම පද්ධතියකට සම්බන්ධ කර එම විදුලි ශක්තිය රට පුරා බෙදා හරින ඉහත විස්තර කළ ආකාරයේ පද්ධති මුලින්ම සැලසුම් කරද්දී පුනර්ජනනීය බලශක්ති භාවිතයක් තිබුණේ නැහැ. මොන ක්‍රමයෙන් විදුලිය ජනනය කළත් අවසාන අදියරේදී සිදු වුනේ ජනක යන්ත්‍රයක් මගින් ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවීමයි. එකට එකතු කෙරුනේ එසේ නිපදවනු ලැබූ "එකම වර්ගයේ" විදුලියයි.
සූර්ය බල විදුලිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය මේ තත්ත්වය කෙරෙහි බලපාන්නේ කොහොමද?
පෙර කී පරිදි සූර්ය කෝෂ වලින් හදන්නේ සරල ධාරා (DC) විදුලියයි. එහෙත්, නිවෙස් වල භාවිතය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලියයි. ඒ නිසා, නිවෙස් වල භාවිතය සඳහා අපවර්තකයක් (inverter) යොදා ගෙන සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. මුල් කාලයේදී මෙසේ සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා යොදා ගත්තේ යාන්ත්‍රික අපවර්තකයි. එහිදී සිදු වූයේ මුලින්ම නිපදවන විදුලියෙන් DC මෝටරයක් කරකවා එම මෝටරය මගින් ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මේ ක්‍රමයෙන් මුලින් විස්තර කළ වර්ගයේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය නිපදවා ගත හැකි වුවත් එම ක්‍රමයේදී සිදු වූ කාර්යක්ෂමතා හානිය ඉතා විශාල වූ බැවින් යාන්ත්‍රික අපවර්තක භාවිතයෙන් ඉවත් වුනා.
දැන් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා උපයෝගී කරගන්නේ විද්‍යුත් පරිපථ පාදක කරගත් අපවර්තකයි. මෙහි ක්‍රියාකාරිත්වය සරලව පැහැදිලි කිරීම සඳහා, සරල ධාරාවක් උත්පාදනය කරන බැටරියක ධන හා සෘණ අග්‍ර දෙක වරින් වර එකිනෙක මාරු කරමින් කිසියම් පරිපථයකට විදුලි බලය සපයන්නේයැයි සිතමු. එක සමාන කාලාන්තර වලදී, තත්පරයකට 50 වරක් මේ අග්‍ර මාරුව සිදු කරන්නේයැයි සිතමු. මෙහි ප්‍රතිඵලය වන්නේ සරල ධාරා විදුලිය සංඛ්‍යාතය 50 වූ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හැරීමයි. එහෙත්, මෙහිදී නිපදවෙන්නේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා නොවෙයි.
කෙසේ වුවද, ඉහත ක්‍රියාවලියේදී ධන සෘණ මාරු කිරීම සඳහා යොදා ගන්නා ස්විච්චය වෙනුවට එවැනි ස්විච්ච කිහිපයක් යොදා ගනිමින් සහ එම ස්විච්ච හරහා ගලා යන විදුලිය එකට එකතු කරමින් වඩා "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවා ගත හැකියි (මේ සමඟ පළ කරන රූප සටහන බලන්න). සූර්ය කෝෂ වලින් ගෙදර හදා ගන්නා විදුලිය ගෙදර භාවිතයට ගන්නේනම් එතැනින් ප්‍රශ්නය ඉවරයි. අපවර්තකයේ "ස්විච්ච ගණන" වැඩි වන තරමට වඩා හොඳ විදුලිය හැදෙනවා.
නමුත්, මේ විදිහට "ගෙදර හදා ගන්නා" සූර්ය බල විදුලිය පෙර විස්තර කළ ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරද්දී තවත් දේවල් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ අතරින් පළමු ප්‍රශ්නය මේ විදිහට අපවර්තනය කර නිපදවන ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය සමමුහුර්ත කර ගැනීමයි. එනම්, රූප සටහනේ විදුලි තරංගයේ උසම හා පහළම තැන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය උස් පහත් වන රටාව හා හරියටම ගැලපීමයි. මේ සඳහා තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා.
ඉහත කී සමමුහුර්තකරණය සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය "කියවා" ඒ අනුව ඊට ගැලපෙන තරංගයක් කෘතිමව හැදීමේ (phase locked loop) තාක්ෂනයයි. මෙම ක්‍රියාවලියේදී අපවර්තනය කර හදන කෘතීම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරාවේ සංඛ්‍යාතයද ජාතික විදුලි බල පද්ධතියේ එම සංඛ්‍යාතය සමඟ හරියටම ගැලපෙනවා මෙන්ම එය වෙනස් වන ආකාරය අනුව වෙනස් වීමද සිදු වෙනවා. දැන් ඒ ප්‍රශ්නයත් ඉවරයි.
දැන් නැවතත් මුලින් කතා කළ ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය වෙත ගියොත්, සූර්ය බල විදුලිය නිපදවෙන්නේ සූර්යාලෝකය වැටෙන විදිහටයි. සූර්යාලෝකය අඩු වැඩි වෙද්දී නිපදවෙන විදුලිය ප්‍රමාණයද විචලනය වෙනවා. නමුත් සම්ප්‍රදායික ක්‍රම වලට විදුලිය ජනනය කරද්දී මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ලබා දෙන ජල ප්‍රමාණය හෝ දහනය කරන ඉන්ධන ප්‍රමාණය හරියටම පාලනය කළ හැකි නිසා සැපයුම අවශ්‍ය මට්ටමේ තියා ගන්න පුළුවන්. විචලනය වෙන්නේ ඉල්ලුම පමණයි.
නමුත් සූර්ය බල විදුලිය පද්ධතියට එකතු කිරීමෙන් පසුව ඉල්ලුම මෙන්ම සැපයුමද විචලනය වෙනවා. සූර්ය බල භාවිතය අඩුනම් මේ විචලනය ඒ තරම් ප්‍රශ්නයක් නොවුනත් භාවිතය ඉහළ යන තරමට පද්ධති පාලනය අසීරු වෙනවා. මේක පළමු ප්‍රශ්නය.
දෙවන ප්‍රශ්නය ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් විදුලි තරංගයේ සංඛ්‍යාතය අඩු වෙන බව කලින් කිවුවනේ. සම්ප්‍රදායික ජනන යන්ත්‍ර පමණක් සම්බන්ධ කර තිබේනම්, පද්ධතියේ එක් කොටසක සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙද්දී එසේ නැති වෙනත් පැත්තකින් ඒ පැත්තට විදුලිය ගලා එනවා. ඒ හරහා සංඛ්‍යාතය පහළ යාම පාලනය වීමක් සිදු වෙනවා. අනෙක් පැත්තටත් එහෙමයි. නමුත් සූර්ය කෝෂ වලින් එකතු වන විදුලියේ සංඛ්‍යාතය පාලනය කෙරෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් නැහැ. ඒ වෙනුවට, පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙද්දී වෙන්නේ ඒ දිහා බලාගෙන සූර්ය කෝෂ විදුලි අපවර්තකයෙන් හදන විදුලියේත් සංඛ්‍යාතය අඩු කරන එක. මේ වැඩෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා.
තව තුන්වන ප්‍රශ්නයකුත් තිබෙනවා. පද්ධතියට අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වා එකතු කරද්දී හෝ ජනක යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත් කරද්දී එක වරම විදුලි සැපයුම විශාල ලෙස ඉහළ හෝ පහළ යන්න පුළුවන්නේ. එසේ වුවහොත් සංඛ්‍යාතයද එක වර විශාල ලෙස වෙනස් වෙනවා. නමුත් ජනක යන්ත්‍ර යාන්ත්‍රික මෙවලම් නිසා එය ඒ විදිහටම වෙන්නේ නැහැ. ජනක යන්ත්‍රයකට ලබා දෙන ජල හෝ තාප සැපයුම නැවැත්වුවත්, අවස්ථිතිය නිසා එය දිගටම කැරකෙනවා. නවතින්නේ යම් වෙලාවක් ගිහින්. පණ ගන්වද්දී වුනත් අවශ්‍ය වේගය එන්නේ ටික වෙලාවක් ගිහින්. මේ පමාව පද්ධති පාලකයින්ට වාසියක්. ඔය කාලය අතරතුර අවශ්‍යනම් ජනක යන්ත්‍රයක් මාරු කරන්න පුළුවන්. එය සුමට ලෙස පද්ධතියට එකතු වෙනවා. නමුත් ඔය විදිහේ යාන්ත්‍රික සම්බන්ධයක් නැති අපවර්තනය කළ සූර්ය කෝෂ විදුලිය එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි.
ඉහත විස්තර කළ හේතු සියල්ලම නිසා අවසාන වශයෙන් වෙන්නේ පද්ධති පාලනය වඩා අසීරු වීම. අපවර්තිත විදුලිය පද්ධතියට වැඩියෙන් එකතු කරන තරමට ප්‍රශ්නය උග්‍ර වෙනවා.
මේ ප්‍රශ්නය තියෙන්නේ සූර්ය බල විදුලියේ පමණක් නෙමෙයි. සුළං බලාගාර වලත් ඔය ප්‍රශ්නය තියෙනවා. නමුත් සුළං බලාගාර වල නිපදවන්නේ සරල ධාරා විදුලිය නෙමෙයි. එහිදී වෙන්නෙත් සුළං බලයෙන් ජනක යන්ත්‍රයක් කරකවලා විදුලිය හදන එක. එහෙමනම් සුළං බල විදුලිය ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
හදන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය වුනත්, සුළං බලාගාර වලින් ජල විදුලිය හෝ තාප විදුලිය මෙන් "පිරිසිදු විදුලිය" හැදෙන්නේ නැහැ. ඊට හේතුව ජල විදුලිය හෝ තාප විදුලිය නිපදවන විට මෙන් අවර පෙති කැරකෙන වේගය පාලනය කළ නොහැකි වීමයි. ඒවා කැරකෙන්නේ සුළං හමන වේගයට. ඒ නිසා හැදෙන විදුලියේ සංඛ්‍යාතයද සුළඟ හමන වේගය අනුව තීරණය වෙනවා සහ විචලනය වෙනවා. ප්‍රායෝගිකව බොහෝ විට කරන්නේ මෙම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය පළමුව සරල ධාරා විදුලිය බවට හරවා දෙවනුව අවශ්‍ය පරිදි අපවර්තනය කිරීමයි. ඒ නිසා, සූර්ය බල විදුලියේ තිබෙන ප්‍රශ්න සුළං බල විදුලියේත් තිබෙනවා.
සම්ප්‍රදායික ක්‍රම වලදී විදුලිය බවට නොහැරෙන බල ශක්තිය වෙනත් ආකාරයකින් රඳවා ගන්න පුළුවන්. ඉහළ ජලාශයක තිබෙන වතුර ලෙස හෝ ගල් අඟුරු වැනි ඉන්ධනයක් විදිහට. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සැපයුම වැඩි කරන්න පුළුවන්. නමුත් පුනර්ජනනීය විදුලිය හදද්දී එවැන්නක් කරන්න බැහැ. සූර්ය තාපය හෝ සුළං බලය ඒ මොහොතේම විදුලිය බවට හැරෙව්වේ නැත්නම් එම ප්‍රමාණය අපතේ යනවා.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩිපුර යොදා ගනිද්දී ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කිරීම සඳහා යොදා ගන්නා එක් පිළියමක් වන්නේ නිපදවන විදුලි බලයෙන් යම් කොටසක් පද්ධතියට එක් නොකර ආපතික සංචිතයක් ලෙස (contingency reserve) පවත්වා ගැනීමයි. සංචිතයක් කිවුවත් මෙය සංචිතයක්ම නෙමෙයි. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන එන කොට ඒ කොටසත් එකතු කරනවා. සංඛ්‍යාතය වැඩි වේගෙන යනවානම් එකතු කරන බල ශක්තියෙන් කොටසක් එකතු නොකර ඉන්නවා. මේ වැඩේට තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා. ඒ වගේම බල ශක්තිය සැලකිය යුතු තරමකින් නාස්ති වීමක් වෙන්න පුළුවන්. බැටරි වලින් නාස්තිය වලකා ගත හැකි වුනත් බැටරි මිල අධිකයි.
මීට අමතරව නිවාස මට්ටමේදීම ඉල්ලුම් කළමනාකරණය කරන්නත් පුළුවන්. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන යද්දී පොඩි වෙලාවකට ගෙවල් වල වායු සමීකරණ ක්‍රියා විරහිත කෙරෙනවා. අපේ ගෙවල් වල ඒ වැඩේ කරන්න උපාංගයක් සවි කරලයි තියෙන්නේ. සුළු වෙලාවකට කරන වැඩක් නිසා එය ගෙදර අයට දැනෙන්නේ නැහැ. එක වර වායු සමීකරණ යන්ත්‍ර ගණනාවක් පොඩි වෙලාවකට ක්‍රියා විරහිත කළාම පද්ධතියේ සංඛ්‍යාතය හරියනවා. මේ වැඩේ එකම ගෙවල් ටිකට එක දිගට නොකර ගෙවල් මාරු කිරීමෙන් කාගෙවත් ගෙවල් උණුසුම් වෙන්නේ නැහැ. ඊට පෙර වායු සමීකරණ යන්ත්‍ර නැවත ක්‍රියාත්මක වෙනවා. වායු සමීකරණ යන්ත්‍ර කොහොමටත් එක දිගට වැඩ කරන්නේ නැහැනේ.
කෙටියෙන් කිවුවොත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!
Thursday, March 7, 2024
ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!
වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන් පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි.
පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?
මම හිතන්නේ ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්‍රකාශයක වරදක් නැහැ.
පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.
කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.
පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.
මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්.
රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?
ඉහත ප්‍රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.
රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ව්‍යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි "ආර්ථික පිරිවැයට" වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා.
උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්‍යනයකින් පසුව පමණයි.
Thursday, November 9, 2023
විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?
පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා. එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා.
පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.
ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.
Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?
දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?
ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්.
මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්.
වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි.
කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි.
සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.
ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.
ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි.
ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි.
ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි.
"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා.
මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා.
අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ.
මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.
අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා.
මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.
යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.
මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.
මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ.
කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ.
Saturday, February 18, 2023
විදුලි ගාස්තු හා උද්ධමනය
කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි.
විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු ඇත්තේ විදුලිය අඩුවෙන්ම පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ටයි. මේ වටයේදී කර්මාන්ත වලට ගෙවන්නට සිදු වන විදුලි ගාස්තුව ඉහළ ගොස් තිබෙන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. මසකට කිලෝවොට් පැය 100ක් පරිභෝජනය කරන ලංකාවේ "සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ" විදුලි බිල ආසන්න වශයෙන් 100%කින් පමණ ඉහළ යනවා. උද්ධමන මිනුම් කෙරෙහි එහි සෘජු බලපෑමක් තිබෙනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණද කියන එක පහසුවෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක්. විදුලි ගාස්තු ඉහළ දැමීමේ ආර්ථික බලපෑම් ගැන කතා කරන එක ඊට වඩා පහසුයි.
ලංකාවේ විදුලිබල කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක්. එවැනි රාජ්‍ය ඒකාධිකාරයකට කැමති පරිදි මිල වැඩි කිරීමට බාධාවක් නැහැ. මිල වැඩි කිරීම මගින් කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයන් වල පාඩුව යටපත් කරගන්න පුළුවන්. ඒ අතින්, විදුලි ගාස්තු ඉහළ දැමීම තුළ අකාර්යක්ෂමතාවයන්ට දිරි දීමක් සිදුවන බව යමෙකුට තර්ක කළ හැකි වුවත්, තරඟයක් නැති පසුබිමක විදුලි ගාස්තු අඩු කළා හෝ වැඩි කළා කියා කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ.
ඉහත ප්‍රශ්නයට විසඳුම කර්මාන්තය ප්‍රතිනියාමනය කර තරඟකාරිත්වයක් ඇති කිරීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නෙමෙයි. එය විස්තරාත්මක ලෙස කතා කළ යුතු දෙයක්. මේ ගැන ලිපි පෙළක් පටන් ගත්තත් එම ලිපි පෙළ අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත්, එවැන්නක් වන තුරු, කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයේ බර සෘජුවම පාරිභෝගිකයින් වෙත පැටවීම කෙටිකාලීනව කළ හැකි හොඳම දෙයයි. එසේ නොකරන තාක්, එම බර වක්‍ර ලෙස ඔවුන් වෙතම පැටවෙන අතර වෙනත් ආර්ථික හානි ගණනාවක්ද සිදු වෙනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසුව විදුලි කප්පාදුව නැවැත්විය හැකි බවද පැවසෙනවා. මා හිතන පරිදි මෙය කළ හැකි දෙයක්. විදුලි කප්පාදුවට හේතුව ලෙස විවිධ තාක්ෂණික හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, ඒ පසුබිමේ පැවති ආර්ථික සාධකය වූයේ විදුලි කප්පාදුව හරහා ලංවිම පාඩු සීමා කරගත හැකි වීමයි.
මාස ගණනාවකට පෙර කෙසේ වුවත්, මෑතකාලීනව විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ ඩොලර් නැතිකම නිසා නෙමෙයි. මේ කරුණ හා අදාළව ඩොලර් ප්‍රශ්නය මාස කිහිපයකට පෙරම විසඳී අවසන්. ඇත්තටම තිබුණු ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එම ප්‍රශ්නය විසඳෙනවා.
ලංකාවේ විදුලිබල නිෂ්පාදන ප්‍රභව වල සංයුතිය අනුව, නිෂ්පාදනය ඉහළ යද්දී ඒකක පිරිවැයද (unit cost) ඉහළ යනවා. විදුලි ඒකකයක ආන්තික පිරිවැය (marginal cost) ඇතැම් විට රුපියල් 150-200 වැනි ඉහළ මිලක් වුවත් විය හැකියි. නමුත්, විදුලි ඒකකයක මිල නියම කෙරෙන්නේ සාමාන්‍ය පිරිවැය (average cost) මත පදනම්ව මිස ආන්තික පිරිවැය මත පදනම්ව නෙමෙයි.
ඉහත තත්ත්වය තුළ විදුලි ඒකකයක් වෙනුවෙන් එකම නිශ්චිත මිලක් අය කළහොත් වැඩියෙන් විදුලිය නිපදවා විකුණන තරමට නිෂ්පාදකයාගේ ලාබ අඩු වීම හෝ පාඩු ඉහළ යාමද සිදුවන නිසා, එයට විසඳුමක් ලෙස විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දී ඇතත්, එම ගාස්තු ආකෘතිය බලපාන්නේ එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම මතයි.
තරඟකාරිත්වයක් නැති පසුබිමක, විදුලිබල සැපයුම් වක්‍රයේ හැඩය තනිකරම තීරණය වන්නේ රජයේ විදුලි උත්පාදන නිෂ්පාදන ආකෘතිය (composition of sources) මතයි. පාරිභෝගික මට්ටමේදී විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දීම මගින් එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම් වක්‍රය (individual demand curve) මතද රජයට බලපෑමක් හැකියි. මේ හරහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය (market demand curve) වෙනස් කළ හැකියි. එහෙත් එක් එක් පාරිභෝගිකයා විදුලි ගාස්තු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වන ආකාරයද මේ කෙරෙහි බලපානවා. මිල ඉහළ යද්දී ඉල්ලුම සීමා කරන ආන්තික පාරිභෝගිකයා (marginal consumer) කවුද?
මම හිතන විදිහට පැවති මෙන්ම දැනටද පවතින ගාස්තු ආකෘතිය තුළ වඩාත්ම මිල සංවේදී පාරිභෝගික කාණ්ඩය වන්නේ අඩුම පරිභෝජනයක් කරන ගෘහස්ථ පාරිභෝගිකයින් පිරිස මිස වැඩි පරිභෝජනයක් කරන වාණිජ හෝ කාර්මික අංශ වල පාරිභෝගිකයින් නෙමෙයි. ඒ නිසා, විදුලි කප්පාදුවකින් ලැබුණු ආර්ථික වාසිය (cost saving) විදුලිබල නිෂ්පාදනය අඩු වූ ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. විදුලිබල කප්පාදුව නොවන්නට එම අවාසිය ලංවිම පාඩු වලට එකතු වී අවසාන වශයෙන් රාජ්‍ය අයවැය මත වැය බරක් වෙනවා.
මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ විදුලිබල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි. මෙහිදී මිල අධික ආන්තික නිෂ්පාදනයද අඩු වන නිසා සාමාන්‍ය පිරිවැය පහළ යාමක්ද සිදු වෙනවා. ඒ හරහා, විදුලි බල මණ්ඩලයේ අලාභය විශාල ලෙස පහළ යනවා.
විදුලි කප්පාදුව තුළද ගෘහස්ථ ඉල්ලුමේ යම් අඩුවීමක් සිදුවුනත්, ගෘහස්ථ පාරිභෝගිකයින් විසින් විදුලි කප්පාදු කාල සටහනට අනුරූපව තමන්ගේ විදුලි පරිභෝජන කාල රටාව වෙනස් කරගන්නා නිසා කප්පාදු කාලයට අනුපාතිකව විදුලි ඉල්ලුම පහළ යන්නේ නැහැ. එහෙත්, කාර්මික හා වාණිජ පාරිභෝගිකයින්ට මෙවැන්නක් කළ නොහැකියි. ඔවුන්ට අදාළ කාලය තුළ විකල්ප බලශක්ති ප්‍රභවයක් භාවිතයට ගන්නට සිදු වෙනවා. බොහෝ විට ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදු වෙනවා.
ගාස්තු ඉහළ දැමීම නිසා ගෘහස්ථ පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි පරිභෝජන කාල රටා වෙනස් කර ගැනීම වෙනුවට සෘජු ලෙසම පරිභෝජනය සීමා කිරීමට පෙළඹුමක් ඇති කෙරෙනවා. එයින් විදුලි ඉල්ලුම පහත වැටෙනවා. එමගින් කප්පාදුවක් නැතිව විදුලිය සැපයීමේ හැකියාව ඉහළ යනවා.
වෙනත් විකල්පයක් නැතිකම නිසා විදුලි කප්පාදු කාලය තුළ විකල්ප විදුලි ජනන ප්‍රභව භාවිතා කළ වාණිජ හා කාර්මික පාරිභෝගිකයින්ට, තරමක් වැඩි මිලකට වුවත්, කප්පාදු කාලය තුළ නොලැබුණු විකල්පයක් දැන් ලැබෙනවා. ඒ නිසා ඇතැම් වාණිජ හා කාර්මික පාරිභෝගිකයින් හා අදාළව මේ වැඩි වූ ගාස්තු යටතේ වුවත්, පිරිවැය අඩුවීමක් සිදු විය හැකියි. එය එසේ නොවන්නේනම් ඔවුන්ට තව දුරටත් කප්පාදු කාලය තුළ භාවිතා කළ බලශක්ති ප්‍රභවම භාවිතා කරමින් පිරිවැය ඉහළ යාම වලක්වාගත හැකියි.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තවත් වාසියක් වන්නේ සූර්ය පැනල ඇතුළු විකල්ප බලශක්ති ප්‍රභව වෙනුවෙන් සිදු කරන ආයෝජන දිරිමත් වීමයි. එමගින්ද සම්ප්‍රදායික බලශක්ති ප්‍රභව සඳහා වන ඉල්ලුම පහළ ගොස් සාමාන්‍ය ඒකක පිරිවැය අඩු විය හැකියි.
මේ සියල්ලෙහිම ප්‍රතිඵලය වනුයේ රාජ්‍ය අයවැය මත පීඩනය අඩු වීමයි. ඊට අමතරව මේ ක්‍රියාමාර්ගය නිසා විදේශ අංශය මත පීඩනයද යම් තරමකින් හෝ අඩු වෙනවා. මේ හේතු නිසා, උද්ධමනය කෙරෙහි විදුලි ගාස්තු ඉහළ යාමේ සැලකිය යුතු ද්වීතියික බලපෑමක් (spillover effect) සිදු වන එකක් නැහැ.
විදුලි ගාස්තු සංශෝධනය නිසා කෙටිකාලීනව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මත 2.6%ක පමණ උඩුකුරු තෙරපුමක්ද, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත 1.3%ක පමණ උඩුකුරු තෙරපුමක්ද ඇති වෙනවා. උද්ධමනය පහළ මට්ටමක පැවතියේනම් මේ බලපෑම් විශාල බලපෑම් සේ සැලකිය හැකි වුවත් පවතින ඉහළ උද්ධමන මට්ටමට සාපේක්ෂව මෙය විශාල බලපෑමක් නෙමෙයි.
ඉහත බලපෑම පෙබරවාරි හා මාර්තු මාස තුළ උද්ධමන දර්ශක කෙරෙහි බලපෑමක් සිදු කරන බැවින්, එම දෙමස තුළ උද්ධමනය අඩු නොවීමට හෝ සුළු වශයෙන් ඉහළ යාමට ඉඩක් ඇතත්, අප විසින් පෙර පුරෝකථනය කර ඇති පරිදි, අප්‍රේල් මාසයේ සිට වේගයෙන් උද්ධමනය අඩු වී වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් වීම පිළිබඳ අපේක්ෂාවන් වලට මෙම විදුලි ගාස්තු සංශෝධනය බාධාවක් නෙමෙයි.
Sunday, September 18, 2022
අපේ ලයිට් බිල
මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ.
විදුලි බල සැපයුම් කර්මාන්තය ගැන පෙර පළ කළ ලිපි වලට වෙනත් අය දමා තිබුණු ප්‍රතිචාර වලින් පෙනුනේ ඇතැම් රටවල රටේ ඕනෑම පාරිභෝගිකයෙකුට මෙවැනි තේරීමක් ඇති බවයි. එහෙත්, ඇමරිකාවේ මෙවැනි තේරීමක් තිබෙන්නේ රටේ ඇතැම් ප්‍රදේශ වල පමණයි. ඇතැම් විට ඒ නිසාම, විදුලිබල සැපයුම් කර්මාන්තය දැඩි නියාමනයකට ලක් වෙනවා. ඇමරිකාවේ විදුලි ගාස්තුද නියාමනයට යටත්.
සාමාන්‍යයෙන් වෙළඳපොළ මූල ධර්මය වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වැඩිපුර මිල දී ගන්නා අයෙකුට වට්ටමක් ලබා දීමයි. මෙය සිදු වන්නේ සැපයුම්කරු විසින් වැඩි ඒකක ගණනක් විකුණා ලාබ වැඩි කර ගැනීමේ අරමුණ තුළයි. එහෙත්, ලංකාවේ විදුලි ගාස්තු ක්‍රමය තුළ සිදු වන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම්, වැඩියෙන් මිල දී ගනිද්දී වැඩි මිලක් අය කරමින් "කරුණාකර අපෙන් බඩු ගන්න එපා!" කියන අදහස සන්නිවේදනය කිරීමයි.
ඉහත ගාස්තු ආකෘතිය අහම්බයක් නෙමෙයි. දිගින් දිගටම පාඩු ලබන ආයතනයකට පාඩු අඩු කර ගත හැක්කේ අඩුවෙන් විකිණීමෙන්. ලංවිම ගාස්තු ආකෘතිය හරහා කෙරෙන්නේ එයයි. කෙසේ වුවත්, ලෙකෝ වැනි බෙදාහරින්නන්ට තොග මිලට විදුලිය විකිණීමේදී සාමාන්‍ය මූලධර්මය අනුගමනය කරමින් ලංවිම විසින් අඩු මිලකට විදුලිය විකුණනවා.
අපේ විදුලි බිලෙන් ඇමරිකාවේ ඕනෑම තැනක විදුලි ගාස්තු අය කෙරෙන ක්‍රමය නිරූපණය වන්නේ නැහැ. මිල නියාමනයක් සිදු වුවත්, එක් එක් සැපයුම්කරුගේ ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එකිනෙකින් වෙනස්. අපේ ප්‍රාන්තයේම වුවද මෙවැනි සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්නවා. කෙසේ වුවත්, වැඩියෙන් පරිභෝජනය කරද්දී ඒකක ගාස්තු අඩු වීම සාමාන්‍ය තත්ත්වය බව මගේ අදහසයි.
ලංකාවේ විදුලි බිලේ මෙන්ම අපේ විදුලි බිලේද ස්ථිර මාසික සම්බන්ධතා ගාස්තුවක් තිබෙනවා. එය ඩොලර් 10.54ක්. ඩොලරයක මිල පසුගිය සිකුරාදා නිල අනුපාතය වූ රුපියල් 362.9 සේ සැලකුවොත්, රුපියල් 3,824.97ක්. ඉන් පසු, පළමු ඒකක 300 සඳහා ඒකකයකට ඩොලර් ශත 14.8799 බැගිනුත් (රුපියල් 54.00), ඊළඟ ඒකක 700 සඳහා ඩොලර් ශත 10.8287 බැගිනුත් (රුපියල් 39.30) අය කෙරෙනවා. ඒකක 1000 ඉක්මවීමෙන් පසුව ඒකක ගාස්තුව ඩොලර් ශත 9.8147 (රුපියල් 35.62) දක්වා පහළ බහිනවා.
මීට අමතරව, ඒකකයකට ඩොලර් ශත 3.4243ක (රුපියල් 12.43ක) ඉන්ධන ගැලපුම් ගාස්තුවක්ද අය කෙරෙනවා. මේ විදිහට හැදෙන විදුලි බිලට 7%ක බද්දක් එකතු කිරීමෙන් පසුව අපේ විදුලි බිලේ මූලික ආකෘතිය සකස් වෙනවා.
ඉහත මූලික කොටස් වලට අමතරව වෙනත් විවිධ හේතු මත ගාස්තු ගැලපීම් කෙරෙනවා. උදාහරණයක් ලෙස පොසිල ඉන්ධන විදුලිය වැඩියෙන් භාවිතා කර ඇති අයගෙන් ගාස්තුවක් අය කර එම මුදල පුනර්ජනනීය බල ශක්ති වැඩියෙන් භාවිතා කර ඇති අයට ගෙවනවා. අපේ නිවසට එන විදුලියේ සංයුතිය තීරණය කරන්නේ සැපයුම්කරු විසින් නිසා මෙය අපට පාලනය කළ නොහැකි දෙයක් වුවත් අවසාන වශයෙන් පාරිසරික හානි වල මිල අය කෙරෙන්නේ අපෙන්. මෙවැනි ගැලපීම් එකින් එක විස්තර කිරීම සංකීර්ණ කරුණක් නිසාත්, ඒවායේ ශුද්ධ බලපෑම එතරම් විශාල නැති නිසාත් මම එවැනි ගැලපීම් අතහැර විදුලි බිලේ ප්‍රධාන සංරචක ගැන පමණක් අවධානය යොදවනවා.
ඉන්ධන ගැලපුම් ගාස්තුව හා 7% බද්ද එකතු කළ විට විදුලි ගාස්තු මෙසේයි.
මාසික සම්බන්ධතා ගාස්තුව - ඩොලර් 11.17 (රුපියල් 4,053.88)
පළමු ඒකක 300 - ඩොලර් ශත 19.59 බැගින් (රුපියල් 71.08 බැගින්)
ඒකක 301-1000 අතර - ඩොලර් ශත 15.25 බැගින් (රුපියල් 55.34 බැගින්)
ඒකක 1000ට වැඩි - ඩොලර් ශත 14.17 බැගින් (රුපියල් 51.41 බැගින්)
ඇමරිකාවේ විදුලි ගාස්තු ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශාල ලෙස වෙනස් වෙනවා. 2022 ජූනි දත්ත අනුව, ඇමරිකානු ගෘහස්ථ පාරිභෝගිකයෙකු විසින් විදුලිය කිලෝවොට් පැයකට ගෙවන සාමාන්‍ය මිල ඩොලර් ශත 15.42ක්. මෙයට බදු ඇතුළත්ව නැති බව මගේ අදහසයි. වොෂින්ටන් වැනි ප්‍රාන්තයක මෙම සාමාන්‍ය මිල ඩොලර් ශත 10.49 පමණ වුවත්, හවායි වැනි ප්‍රාන්තයක සාමාන්‍ය මිල ඩොලර් ශත 44.09 තරම් ඉහළයි.
මෙය කියවන සැලකිය යුතු පිරිසක් බටහිර රටවල ජීවත් වන අයයි. අනෙකුත් බටහිර රටවල විදුලි ගාස්තු ඇමරිකාවේ විදුලි ගාස්තු සමඟ සැසඳෙන්නේ කොහොමද?
Sunday, September 11, 2022
විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)
සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.
ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.
මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු.
මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.
මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්.
පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.
ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ.
වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා.
කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්.
වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ
පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!
සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි.
පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්.
ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.
වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්.
සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු.
මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.
මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.
ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි.
පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.
දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද?
මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු.
වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ
පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ.
කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.
ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ.
වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?
වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්.
මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි.
Tuesday, September 6, 2022
විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)
අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි.
1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම
2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය
3. බෙදා හැරීම
(4. සිල්ලර වෙළඳාම)
විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක් නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.
සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා.
මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා.
සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.
ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.
ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා.
මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.
ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික බස් වගේ.
සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි.
ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි.
දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.
බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.
සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?
පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා.
සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන.
නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා.
වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.
මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.
ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?
ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.
ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්.
විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.
ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.
මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?
මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්.
දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ.
බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි.
මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?
පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.
මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද?
තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.
මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?
පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.
ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?
පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.
එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?
මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.
කොට්ඨාශය 1 - ප්‍රදේශ 20
කොට්ඨාශය 2 - ප්‍රදේශ 24
කොට්ඨාශය 3 - ප්‍රදේශ 14
කොට්ඨාශය 4 - ප්‍රදේශ 11
ලෙකෝ - ප්‍රදේශ 7
එකතුව - ප්‍රදේශ 76
දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.
"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."
ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.
"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."
කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.
මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?
පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ.
ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ.
මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්.
මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.
ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ.
මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.
මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා.
සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා.
අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.
මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?
කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.
ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.
ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ.
මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක.
ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.



