වෙබ් ලිපිනය:

Showing posts with label වාහන ආනයන. Show all posts
Showing posts with label වාහන ආනයන. Show all posts

Sunday, September 14, 2025

වාහන ආනයන, විදේශ අංශය හා ණය බර


මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60

අප්‍රේල් - ඩොලර් මිලියන 134

මැයි - ඩොලර් මිලියන 118

ජූනි - ඩොලර් මිලියන 163

ජූලි - ඩොලර් මිලියන 193

එකතුව - ඩොලර් මිලියන 668

ඉහත සඳහන් ඩොලර් මිලියන 668ක මුදලින් ඩොලර් මිලියන 506ක් පුද්ගලික පාවිච්චිය සඳහා වන වාහන ආනයනය වෙනුවෙන් වැය වී ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 162 වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන වෙනුවෙන් වැය වී තිබෙනවා. 

මෙම සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ වාහන මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල් ප්‍රමාණයයි. මිල දී ගන්නා වාහන රටට රැගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු හා රක්ෂණ ගාස්තුද ගෙවන්නට සිදු වෙනවා. මෙම සේවාවන් ලබා ගන්නේ විදේශික සමාගම් වලින්නම්, අදාළ වියදම් සටහන් වන්නේ සේවා ආනයන යටතේයි. ඒ නිසා, වාහන ආනයනය සඳහා වැය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඉහත ගණනට වඩා තරමක් වැඩියි. 

මාධ්‍ය වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් 9 දින වන විට රේගුවෙන් නිදහස් කරගෙන ඇති වාහන 154,537ක මිල දී ගැනීමේ පිරිවැය, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වල එකතුව (CIF අගය) ඩොලර් මිලියන 911ක් වන අතර රේගුව විසින් එම ආනයන වලින් රුපියල් බිලියන 429ක බදු ප්‍රමාණයක් අය කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් බදු අය කරන්නේ මෙම CIF අගය මතයි.

තව දුරටත් වාර්තා වී ඇති පරිදි, සැප්තැම්බර් 3 දින වන විට, වාහන 220,026ක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 1,491ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා. මෙයින් ඉතිරි වාහන ප්‍රමාණය වසරේ අවසන් මාස හතර තුළ රටට පැමිණීම සහ රේගුවෙන් නිදහස් කර ගැනීම සිදු වනු ඇතැයි සිතිය හැකි බැවින් වසරේ වාහන ආනයන වියදම, රක්ෂණ ගාස්තු හා නැව් ගාස්තුද ඇතුළත්ව, ඩොලර් බිලියන 1.5 ඉක්මවිය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම මෙමගින් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 650 ඉක්මවිය හැකියි. 

වාහන ආනයන සඳහා නැවත අවස්ථාව ලබා දීම මගින් රජය ඉලක්ක කළේ රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක් එකතු කර ගැනීමටයි. මේ අනුව මෙන්ම මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කර තිබුණු ප්‍රකාශ අනුවද පෙනී ගියේ ඩොලර් බිලියනයක පමණ වාහන ආනයන ප්‍රමාණයක් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා කළ බවයි. දැන් පෙනී යන පරිදි, වාහන ආනයන ප්‍රමාණය 50%කින් පමණ ඉහත ඇස්තමේන්තු ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

ඉහත තත්ත්වය සාර්ව ආර්ථික තුලනය කෙරෙහි අංශ දෙකකින් බලපෑම් කරනවා. පළමුවැන්න, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යාමයි. මෙය ප්‍රාථමික අතිරික්තය ඉහළ දමන අතර සමස්ත අයවැය හිඟය පහත හෙළනවා. දෙවැන්න ආනයන වියදම් ඩොලර් මිලියන 500කින් පමණ ඉහළ යාමයි. එමගින් ජංගම ගිණුමේ අපේක්ෂිත අතිරික්තය එපමණකින් පහත හෙලන අතර සංචිත වැඩි කර ගැනීමේ හැකියාවද සීමා කරනවා. මීට අමතරව ඉහළ යන වාහන ආනයන හේතුවෙන් ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු වනවා. 

වාහන ආනයන නැවත විවෘත කෙරෙද්දී ඒ කෙරෙහි දෙආකාරයක විවේචන එල්ල වුනා. ආරක්ෂණවාදීන් විසින් මෙය දුටුවේ විදේශ අංශය නැවත අවදානමේ හෙළීමක් ලෙසයි. අනෙක් අන්තයෙහි සිටි ඇතැමුන් විසින් තර්ක කළේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම, බදු අනුපාතික ඉතා ඉහළ මට්ටමක තිබීම සහ රටේ ආර්ථිකය හැකිළී තිබීම යන තත්ත්වයන් තුළ වාහන ආනයන වලට ඉඩ දුන්නද අපේක්ෂිත පරිදි වාහන ආනයන සිදු නොවනු ඇති බවයි. ඒ නිසාම, රාජ්‍ය ආදායම් ඉලක්ක වලටද යා නොහැකි වනු ඇති බවයි.

විවිධ පුද්ගලයින්ට මතවාදී ලෙස විවිධ තර්ක ගෙන හැර දැක්විය හැකි වුවත්, ප්‍රායෝගිකව ඕනෑම ප්‍රතිපත්ති තීරණයක දෙපැත්තක් තිබෙනවා. එම දෙපැත්තම සලකා බලමින් ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ කාර්ය භාරයයි. මෙහිදී යම් අවදානමක් ගන්නට සිදු වෙනවා.

සැලකිය යුතු කාලයක් වාහන ආනයන සඳහා ඉඩ නොදී තිබීම, ආර්ථිකයේ පසුබෑම හා ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම සිදුව ඇති පසුබිමක වාහන නැවත ආනයනය කිරීම සඳහා ඉඩ දීමෙන් පසුව එයට වෙළඳපොළ දක්වන ප්‍රතිචාරය කලින් පුරෝකථනය කිරීම අසීරු කාර්යයක්. එහෙත්, මේ හා අදාළ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ තක්සේරුව සෑහෙන තරම් නිවැරදි බව මේ වන විට පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, අවශ්‍ය අයෙකුට මේ හා අදාළව අපගේ පුරෝකථන දෙසද පසු විපරමක් කළ හැකියි. 

වාහන ආනයන අපේක්ෂා කළ මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබීම තුළ වර්ෂවාසන විදේශ සංචිත ප්‍රමාණය කලින් ඇස්තමේන්තු කළ මට්ටමටම වැඩි නොවෙන්න පුළුවන්. එහෙත්, රාජ්‍ය අයවැය තුලනයෙහි සාධනීය වෙනස සහ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉහළ යාම හේතුවෙන් එමගින් ඉහළ යන අවදානම නිශේධනය කෙරෙනවා. 

ජූලි මාසය දක්වා කාලය තුළ විදේශ අංශය තුලනය වී තිබෙන්නේ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම්:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 7,794

සේවා ආදායම් - ඩොලර් මිලියන 4,228

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 422

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 4,439

එකතුව - ඩොලර් මිලියන 16,883


විදේශ විණිමය ගෙවීම්:

වාහන ආනයන වියදම් - ඩොලර් මිලියන 668

අනෙකුත් ආනයන වියදම් - ඩොලර් මිලියන 10,976

සේවා වියදම් - ඩොලර් මිලියන 1,852

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,565

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 82

එකතුව - ඩොලර් මිලියන 15,143


ඉතිරිය = ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන 1,740


කෙටියෙන් කිවුවොත්, ඇස්තමේන්තු ඉක්මවා ඉහළ ගොස් ඇති වාහන ආනයන වලින් පසුවද, ඉපැයූ ඩොලර් වලින් ඩොලර් මිලියන 1,740ක් රටේ ඉතිරි වී තිබෙනවා. එහෙමනම්, මේ ඩොලර් ප්‍රමාණයට සිදු වුනේ කුමක්ද?

මෙම අතිරික්තයෙන් ඩොලර් මිලියන 1,096.1ක් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම මිල දී ගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ වාහන ආනයන සඳහා ඉඩ දීමෙන් පසුවයි.

ජනවාරි - ඩොලර් මිලියන 12.3

පෙබරවාරි - ඩොලර් මිලියන 70.3

මාර්තු - ඩොලර් මිලියන 401.9

අප්‍රේල් - ඩොලර් මිලියන 160.8

මැයි - ඩොලර් මිලියන 256.8

ජූනි - ඩොලර් මිලියන 112.2

ජූලි - ඩොලර් මිලියන 81.8

එකතුව - ඩොලර් මිලියන 1,096.1

එසේනම්, විදේශ සංචිත එපමණකින් වැඩි නොවූයේ ඇයි? 

මෙම මාස හතක කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 25කින් පමණයි. එසේනම්, ඉතිරි ඩොලර් මිලියන 1,071ට සිදු වුනේ කුමක්ද?

මහ බැංකුවේ දළ විදේශ සංචිත වල වෙනසක් ඇත්තේම නැති තරම් වුවත්, ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 219කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 731ක පමණ මුදලක්. ඒ අනුව පෙනෙන්නේ මහ බැංකුව විසින් මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් මහ බැංකුවේම විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කර ඇති බවයි. ඉතිරි ප්‍රමාණය රජයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා රජයට විකිණුවා විය හැකියි.

ජංගම ගිණුමේ අතිරික්තයෙන් මහ බැංකුව විසින් මිල දී ගෙන නොමැති ඩොලර් මිලියන 644ක පමණ මුදලට සිදු වුනේ කුමක්ද?

ඉහත මාස හතක කාලය තුළ සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 305කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 1,018ක පමණ මුදලක්. ඒ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වැඩිවීම අඩු කළ විට, වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් වලද වැඩිවීමක් සිදු වී තිබෙනවා. මෙම වැඩිවීම ඩොලර් මිලියන 300කට ආසන්නයි. මේ සියල්ල සිදු වන්නේ වාහන ආනයන සිදු වෙද්දී. 

ජංගම ගිණුමේ අතිරික්තය යන්නෙන් අදහස් වන්නේ මුළු රටේම විදේශ විණිමය ලැබීම් අතිරික්තය. එයට ඇතුළත් වන්නේ රජයේ, මහ බැංකුවේ හෝ වාණිජ බැංකු වල විණිමය ලැබීම් පමණක් නෙමෙයි. ඒ නිසා, ඉතිරි ඩොලර් මිලියන 350කට ආසන්න මුදල අනෙකුත් සමාගම් වල හා පුද්ගලයින්ගේ විදේශ වත්කම් වලට එකතු වී තිබිය යුතුයි. එසේ නැත්නම් ඔවුන්ගේ විදේශ ණය පියැවීම පිණිස වැය කර තිබිය යුතුයි.

වාහන ආනයන ඉලක්ක ඉක්මවා වැඩි වී තිබියදීද විදේශ අංශය ශක්තිමත්ව පවතින බව පැහැදිලියි. ඒ නිසා, දළ නිල සංචිත වැඩි නොවී ස්ථාවර මට්ටමක පැවතීම ඒ තරම් කණස්සල්ලට කාරණයක් නෙමෙයි. එමෙන්ම, වාහන ආනයන මේ තරමටම සිදු වීම කාලයක් වාහන ආනයන වලට ඉඩ නොලැබීම නිසා ඇති වී තිබෙන තාවකාලික සංක්‍රාන්ති තත්ත්වයක්. මෙම ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. ඒ නිසාම, රජයේ බදු ආදායම් අතිරික්තයද දිගටම එලෙසම පවතින තත්ත්වයක් නෙමෙයි. 

කෙසේ වුවද, දැනට රජයේ බදු ආදායම් අතිරික්තයක් තිබෙනවා. රේගුවට ලබා දී තිබෙන වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් ලෙස සඳහන්ව ඇති අතර, සැප්තැම්බර් 9 දින වන විටත් රේගුව විසින් රුපියල් බිලියන 1,546ක බදු ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා. 

ජූලි මාසයෙන් අවසන් වූ වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,534ක් ලෙස වාර්තා වෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 28.2%ක වර්ධනයක්. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,490 ලඟා කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ 23.9%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි.

වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,734.9ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 26.1%ක වර්ධනයක්. වර්ෂාවසාන රාජ්‍ය ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,990 කරා ලඟා වීම සඳහා අවශ්‍ය වනුයේ 22.0%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි. අවසන් මාස පහක කාලය තුල 16.9%ක ආදායම් වර්ධනයක් සිදු වුවද මේ ඉලක්කයට යා හැකියි. මෙය පහසු ඉලක්කයක් බැවින් ඉලක්කය ඉක්මවා යාමේ හැකියාව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

පළමු මාස හතක කාලය තුළ රුපියල් බිලියන 974ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක්. මෙම මුදල ඇස්තමේන්තුගත දදේනියෙන් 3.0%කට ආසන්නයි. 

වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම මගින් රජයේ ණය බර කලින් සැලසුම් කළාට වඩා වැඩි වේගයකින් අඩු කරගන්න පුළුවන්. මේ සමඟ පළ කෙරෙන වගුවේ තිබෙන්නේ මේ හා අදාළ ලෝක බැංකුවේ ගණනය කිරීමක්. 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් හා 3.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ වුවද, 2032 වන විට ණය බර දදේනියෙන් 94.8% දක්වා අඩු කරගන්න පුළුවන්. මෙය ඉලක්ක මට්ටම වන 95%ට වඩා අඩු මට්ටමක්. එහෙත්, 3.2%ක ප්‍රාථමික අතිරික්තයක් හා 5.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ මෙය දදේනියෙන් 73.0% දක්වාම වුවත් අඩු කරගන්න පුළුවන්. 

Tuesday, July 8, 2025

වාහන ආනයන සහ විදෙස් සංචිත


මාස කිහිපයකට කලින් අපේ බිරින්දෑ ලංකාවට ගිහින් ආවා. මට ඒ ගමනට එකතු වෙන්න අවකාශයක් නොතිබුණු නිසා ඈ ගියේ ඒ දවස්වලම ලංකාවට යන්න අවශ්‍යව සිටි අසල්වැසි මිතුරියක් එක්ක. මේ ගමන සඳහා දෙන්නා ගුවන් ප්‍රවේශපත්‍ර ගත්තේ වෙනවෙනමයි. 

මිතුරිය විසින් මිල දී ගත් ප්‍රවේශපත්‍රය ඩොලර් එකසිය පණහකින් මිල වැඩියි. ඊට හේතුව එම මිල ගෙවූ පසුව හදිසියේ පියාසැරිය වෙනස් කරගන්න අවශ්‍ය වුනොත් ඒ සඳහා අමතර මුදලක් ගෙවිය යුතු නොවීමයි. පියාසැරිය වෙනස් කරගන්න සිදු වීමේ අවදානම ගැන ඈ විසින් වැඩි බරක් තබා තිබුණා.

මේ වෙද්දී ගමන ගැන අපේ බිරින්දෑ ස්ථිරව තීරණය කර අවසන්. ඇයට පියාසැරිය වෙනස් කරගන්න සිදු වීමේ අවදානම වෙනුවෙන් බර තියන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා ඇය ඒ ගමනම ඩොලර් එකසිය පණහක් අඩුවෙන් ගෙවා යන්න තීරණය කළා. යම් හෙයකින් පියාසැරිය වෙනස් කරගන්න අවශ්‍ය වුනානම් ඇයට ඒ වෙනුවෙන් අමතර මුදලක් ගෙවන්න වෙනවා. එම මුදලද ඩොලර් එකසිය පණහක්. 

අවසාන වශයෙන් දෙන්නාගෙන් එක් අයෙක්වත් පියාසැරිය වෙනස් කර ගත්තේ නැහැ. ඒ නිසා, අපේ බිරින්දෑට අමතර මුදලක් ගෙවන්න අවශ්‍ය වුනේ නැහැ. යම් හෙයකින් එසේ අමතර මුදලක් ගෙවන්න සිදු වුනත් එයින් ඇයට අවාසියක් සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා ගෙවන්නට සිදු වෙන ඩොලර් එකසිය පණහ කලින්ම අතේ ඉතිරි වී තිබෙනවා. ඒ නිසා, මේ තත්ත්වයන් යටතේ වැඩි මිල ප්‍රවේශපත්‍රය මිල දී ගැනීම කිසිසේත්ම තේරුමක් ඇති වැඩක්ව තිබුණේ නැහැ. 

මේ මෙවැනි එක් අවස්ථාවක් පමණයි. මෙවැනිම තවත් අවස්ථාවක් සඳහා සැබෑ උදාහරණයක් ලෙස මීට වසර ගණනාවකට පෙර මට ඈ වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් මිල දී ගන්නට සිදු වුනා. ඒ වන විට ඈ රැකියාවක් නොකළ බැවින් එය ලබා ගත්තේ මගේ සේවා ආයතනය හරහා. සේවා ආයතනය මගින් මගේ රක්ෂණ වාරිකය සුබසාධනය කළ තරමටම ඇගේ රක්ෂණ වාරිකය සුබසාධනය නොකළ බැවින් එක් මාසයක් සඳහා ඩොලර් 300ක පමණ මුදලක් අතින් ගෙවන්නට සිදු වී තිබුණා. ඒ කියන්නේ වසරකට ඩොලර් 3600ක පමණ මුදලක්.

සාමාන්‍යයෙන් රක්ෂණ වාරිකයකින් සෞඛ්‍ය වියදම් ප්‍රතිපූරණය කරන්නේ යම් සීමාවකින් පසුවයි. එම සීමාව දක්වා වියදම් අතින් ගෙවිය යුතුයි. ඉහත රක්ෂණ ගිවිසුමේ එම සීමාව (deductible) වසරකට ඩොලර් 500ක්. ඒ කියන්නේ වසරක සෞඛ්‍ය වියදම ඩොලර් 500 නොඉක්මවන්නේනම්, අපට රක්ෂණයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔය කාලය අප ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටි කාලයක් බැවින් වෛද්‍යවරයෙකු වෙත යාමේ අවශ්‍යතාවයක් නොතිබුණු තරම්. නමුත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්.

ඩොලර් 300 කියන්නේ ඉහත රක්ෂණ වාරිකයේ සැබෑ මිල නෙමෙයි. ඇත්ත මිල ඊට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටස මගේ සේවා ආයතනයෙන් ගෙවන නිසා මෙම මුදල මා විසින් ගෙවිය යුතුව තිබුණු මුදලයි. කෙසේ වුවත්, අදාළ රක්ෂණ ආයතනයේ මිල ගණන් සෘජුව පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ අතින් ගෙවන මුදල (deductible) වැඩි වෙද්දී රක්ෂණ වාරිකය විශාල ලෙස අඩුවන බවයි. වසරකට ඩොලර් 2500 තෙක් මුදලක් අතින් ගෙවන්නේනම් රක්ෂණ ගිවිසුමක් වෙනුවෙන් මාසිකව ගෙවිය යුතුව තිබුනේ ඩොලර් 125ක් වැනි මුදලක් පමණයි. ඒ කියන්නේ වසරකටම ඩොලර් 1500ක් පමණයි. වසරකට ඩොලර් 2500 තෙක් මුදලක් අතින් ගෙවිය යුතු බැවින් මෙවැනි රක්ෂණ ගිවිසුමකට විශාල ඉල්ලුමක් තිබුණේ නැහැ.

අපගේ තේරීම වුනේ අඩු මිල ගිවිසුමයි. අදාළ වසරේදී වෛද්‍යවරයෙකු වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බැවින් අපට ඩොලර් 2100ක මුදලක් ඉතිරි වුනා. එසේ නොවී යම් හෙයකින් අප‍ට විශාල සෞඛ්‍ය වියදමක් දරන්නට සිදු වීනම් වෙන්නේ කුමක්ද? එසේ වීනම්, අපට ඩොලර් 2000 දක්වා වන අමතර මුදලක් අතින් ගෙවන්නට සිදු වෙනවා. නමුත් අපගේ තේරීම නිසා ඊට වඩා වැඩි මුදලක් ඉතිරි වීතිබුණා. ඒ නිසා, සාමාන්‍ය රක්ෂණ වාරිකය කවර තත්ත්වයක් යටතේ වුවද හොඳ තේරීමක් වුනේ නැහැ.

ගුවන් යානා ප්‍රවේශපත්‍ර උදාහරණයේදී මෙන්ම ඉහත සෞඛ්‍ය රක්ෂණ උදාහරණයේදීද අවදානම තෙවන පාර්ශ්වයකට පැවරීම සඳහා අපට යම් මිලක් ගෙවීමට සිදු වී තිබුණා. එය සාමාන්‍ය දෙයක්. නමුත් අවදානම පිළිබඳව සලකා බැලීමෙන් පසුවද එක් තේරීමක් හැම විටම අනෙක් තේරීමට වඩා හොඳ තේරීමක් වීම මෙම උදාහරණ වල ඇති විශේෂත්වයයි. මෙය ආර්ථික විද්‍යාවේදී "පළමු ගණයේ ආනුමානික ආධිපත්‍යය (First order stochastic dominance)" ලෙස හැඳින්වෙනවා. නිශ්චිතව පැහැදිලි කිරීම සඳහා තරමක් සංකීර්ණ ගණිතය අවශ්‍ය වුනත්, උදාහරණ වලින් අදහස තේරෙන්නට ඇතැයි සිතනවා. 

මේ පැහැදිලි කිරීම කළේ වාහන ආනයන සිදු නොවූයේනම් විදෙස් සංචිත වැඩි කරගත හැකිව තිබුණේය යන අදහස ජනප්‍රිය අදහසක්ව ඇති බව පෙනෙන නිසා. මෙහිදී අමතක කෙරෙන කරුණ වන්නේ සංචිත වැඩි කරගත යුතුව ඇත්තේ ඇයි කියන එකයි.

සංචිත වැඩි කරගත යුත්තේ අවදානම් අඩු කර ගැනීම සඳහායි. මෙසේ අඩු කරගන්නේ කවර අවදානමක්ද? ඒ අනාගතයේදී විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වුවහොත් ආනයන සිදු කළ නොහැකි වීමේ අවදානමයි. ප්‍රමාණවත් සංචිත තිබේනම් එවැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකියි. ප්‍රමාණවත් සංචිත නැත්නම් එවැනි අවස්ථාවක ආනයන සීමා කරන්නට සිදු වෙනවා.

මේ අයුරින් අනාගතයේදී විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වී, ප්‍රමාණවත් සංචිතද නොමැති නිසා, ආනයන සීමා කිරීමට සිදු වුවහොත් බොහෝ විට මුලින්ම සීමා කෙරෙනු ඇත්තේ වාහන ආනයනයි. නමුත් එසේ කිරීමට අවශ්‍ය වන්නේ විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වුවහොත් පමණයි. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී වාහන හෝ වෙනත් ආනයන සිදු කරන්නේ සංචිත වල ඇති විදේශ විණිමය යොදවමින් නෙමෙයි. උපයන විදේශ විණිමය වැය කිරීම මගින්. 

යම් හෙයකින් ප්‍රමාණවත් සංචිත ගොඩ නගා ගත නොහැකිනම් මුහුණ දෙන්නට සිදු වන උපරිම අවදානම වනුයේ කිසියම් කම්පනයක් ඇති වූ අවස්ථාවක ආනයන පාලනය කරන්නට සිදු වීමයි. එවැනි කම්පනයක් ඇති නොවුවහොත් එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා, සංචිත ගොඩ නගා ගැනීම ඉතා වැදගත් වුවත්, වාහන ආනයන සීමා කරමින් සංචිත ගොඩ නගා ගැනීම යනු සිදු වීමට යම් ඉඩක් ඇති තත්ත්වයක් වෙනුවෙන් එහි පාඩුව කලින්ම විඳීමක්. මගේ පළමු උදාහරණයේදී මෙන් යම් හෙයකින් පියාසැරිය වෙනස් කරන්නට සිදු වුවහොත් ඩොලර් එකසිය පණහක ගාස්තුවක් ගෙවන්නට වීමේ අවදානම මග හරවා ගැනීම සඳහා කලින්ම ඩොලර් එකසිය පණහක් ගෙවීමක් වැනි දෙයක්. ඊටත් වඩා අමුවෙන් කිවුවොත්, කවුරු හෝ ඇවිත් තමන්ට වෙඩි තියයි කියන බයට ඊට කලින් තමන්ම වෙඩි තියා ගන්නවා වගේ වැඩක්.

විදෙස් සංචිත ගොඩනගා ගත යුත්තේ අවශ්‍ය පමණ ආනයන සිදු කරන අතරයි. එය අසීරුනම් අත හැර දැමිය යුත්තේ ආනයන නොව විදෙස් සංචිත ඉලක්කයයි. 

මේ මොහොත සැලකුවහොත් විදෙස් සංචිත ඉලක්ක වලට යා යුත්තේ එය මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන ඉලක්කයක් බැවිනුයි. නමුත් වාහන ආනයනයට ඇති බාධා ඉවත් විය යුතු බව අරමුදලේ මූලික කොන්දේසියක්. අරමුදල රටවලට උදවු කරන්නේම ජාත්‍යන්තර වෙළඳාම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්. ඒ නිසා, මේ වෙලාවේ ලංකාව සතුව එවැනි විකල්පයක් කොහොමටවත්ම නැහැ. 

සංචිත ගොඩ නගා ගැනීම අරමුදල විසින් නොකිවුවත් කළ යුතු රටේ අවශ්‍යතාවයක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ පදනමින් බලන්නේනම්, වාහන ආනයනද රටේ අවශ්‍යතාවයක්. 

මේ වන විට විදෙස් සංචිත ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී ඇති අතර වර්ෂාවසාන ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. මෙහි ඩොලර් මිලියන 1,175ක අඩුවක් තිබෙනවා. නමුත් දැනටමත් ලැබී ඇති අරමුදලේ පස්වන වාරිකයට අමතරව මෙම වසර තුළ හයවන වාරිකයද ලැබෙන්නට නියමිතව තිබෙනවා. මේ මගින් ඩොලර් මිලියන 700ක් පමණ එකතු වෙනවා. ඊට අමතරව කලින් පොරොන්දු වී ඇති ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය මුදල්ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම කළ නොහැක්කක් නෙමෙයි. කරන්නට නොහැකි වන්නේ චීන මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමයි.

ජනාධිපති දිසානායකගේ චීන සංචාරයේදී අදාළ ගිවිසුම අලුත් කළ නිසා 2027 වන තුරු ඉහත චීන ණය නොගෙවා ඉන්න පුළුවන්. රජය හා මහ බැංකුව විසින් කරනු ඇත්තේ එයයි. එවිට විණිමය ප්‍රවාහ තුලනය කරගන්න පුළුවන්. 

නමුත් මෙහිදී ප්‍රශ්නය අනාගතයට කල් දැමීමක් සිදු වෙනවා. 2027 සංචිත ඉලක්කය ඩොලර් මිලියන 12,974ක්. ඒ අනුව, මේ වසරේ සංචිත ඉලක්කයට යනු ඇතැයි යන උපකල්පනය මත, ඉදිරි දෙවසර තුළ ඩොලර් මිලියන 5,719ක් එකතු කරගන්නට සිදු වෙනවා. එම මුදලට චීන ණයද එකතු වූ විට 2026 හා 2027 දෙවසර තුළ ඩොලර් බිලියන 7.2ක් එකතු කර ගැනීමේ ඉලක්කයක් තිබෙනවා. 

මෙය ක්‍රිකට් තරඟකදී මුලින් හොඳින් ලකුණු රැස් නොකළ විට අවසාන ඕවර වලදී අවශ්‍ය වන ලකුණු වේගය වේගයෙන් ඉහළ යාම වැනි දෙයක්. මේ ආණ්ඩුව හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගය වනුයේ මේ සඳහා අවශ්‍ය විණිමය ප්‍රවාහ ජනනය කර ගැනීමයි. ආර්ථික වර්ධන වේගය අඩුවීමේ බලපෑම කෙසේ වුවත් නැවත ණය ගෙවන්නට සිදු වන විට රටේ ආර්ථිකයට සිදු විය හැකි දෙය මේ කරුණ මත තීරණය වෙනවා. 

වෙබ් ලිපිනය: