වෙබ් ලිපිනය:

Showing posts with label ලාබ. Show all posts
Showing posts with label ලාබ. Show all posts

Tuesday, June 24, 2025

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද?


ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු දැකිය හැකියි. මෙම ලිපියේ අරමුණ පොදුවේ ලංකාවේ බැංකු පද්ධතියේ ලාභ පිළිබඳව තේරුම් ගත හැකි සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහි බැංකු එකින් එක වෙන වෙනම ගෙන සලකා බැලීමක් සිදු කර නැහැ.

ආයතනයක ලාභ පිළිබඳ ප්‍රමුඛ නිර්ණායකය වන්නේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකයයි (ROE). පහත තිබෙන්නේ ලංකාවේ බැංකු පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට පසුගිය වසර වල එම අනුපාතය.

2019- 10.3%

2020- 9.4%

2021- 13.4%

2022- 10.4%

2023- 11.5%

2024- 15.6%

සාමාන්‍ය අගය - 11.8%

අපට මෙම ප්‍රතිලාභ අනුපාතික වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වල ඵලදා අනුපාතික සමඟ සංසන්දනය කළ හැකියි.

2019- 8.45%

2020- 5.05%

2021- 8.24%

2022- 29.27%

2023- 12.93%

2024- 8.96%

සාමාන්‍ය අගය - 12.15%

බැංකු මගින් කරන්නේ තැන්පතු ලෙස එකතු කර ගන්නා අරමුදල් ණය ලෙස දීම මගින් ලාබයක් උපයා ගැනීම. තැන්පතු වලට සාපේක්ෂව ණය දෙන්නේ දිගුකාලීනවයි. ඒ නිසා වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යද්දී බැංකු වලට එහි වාසිය ලැබෙන්නේ නැහැ. අරමුදල් කලින් දුන් ණය වල හිරවෙලයි තියෙන්නේ. නමුත් වෙළඳපොළ පොලී අනුපාතික පහළ යද්දී ඒ විදිහට දිගුකාලීනව ණය ලබා දී තිබීම බැංකු වලට වාසියක් වෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ, 2022දී පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියත්, එයින් බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ අනුරූප ලෙස ඉහළ ගියේ නැහැ. නමුත් දැන් පොලී අනුපාතික පහත වැටෙද්දී බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ ඉහළ යමින් තිබෙනවා. 

Saturday, October 5, 2024

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද?


කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ.

පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු පාඩුවක් නෙමෙයි.

කෙසේ වුවත්, කජු සංස්ථාවේ පරණ අවුරුදු වල පාඩු සියල්ල එකතු කළාම එය රුපියල් මිලියන 156 ඉක්මවනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 15කට වඩා වැඩි සමුච්ඡිත පාඩුවක්.

මේ විදිහට ගිණුම් ප්‍රකාශ වල දැකිය හැකි පාඩුව කියා කියන්නේ මේ වගේ ආයතන වල මුළු පාඩුව නෙමෙයි. එම මුළු පාඩුවෙන් විශාල කොටසක් තියෙන්නේ වෙනත් තැනක හැංගිලා. ඒ නිසාම, මේ ආයතන වල ගිණුම් ප්‍රකාශන අනුව ලාබ ලබන ගොඩක් අවුරුදු වලදී වුනත් ඇත්තටම වෙන්නේ පාඩුව වෙනත් තැනක සැඟවී තිබීමයි.

රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.

දැන් මේ විදිහට කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙන්නේ බදු මුදල් වලින් වැය නොකර ඉතිරි කරගත් අරමුදල් නෙමෙයිනේ. ලංකාවේ රජය ඒ විදිහට සල්ලි ඉතිරි කර තිබෙන්නේ අවුරුදු පහ හයකදී පමණයි. අනෙක් හැම අවුරුද්දකදීම වුනේ ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවීම සඳහා ණය වීම. ඒ කියන්නේ කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 රජය විසින් ණයට ගත්ත සල්ලි කියා කියන්න පුළුවන් (පසු සටහන: මෙයින් මිලියන 17ක් වාහන වල වටිනාකම වැඩි වීම නිසා නිවැරදිම ගණන මිලියන  587ක්.).

ඔය විදිහට ණයට ගත්ත රුපියල් මිලියන 604 සඳහා වාර්ෂිකව 10%ක පොලියක් ගෙවුවා කියා අපි හිතමු. ලංකාවේ රජය විසින් ඒ විදිහට පොලී ගෙවලා තියෙන්නෙත් ණය අරගෙනනේ. ඔය වැඩේ අවුරුදු 30ක් එක දිගට කළොත් කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 කීයක් වෙලාද? ගණන් හදලා බැලුවොත් රුපියල් මිලියන 10,539ක් වෙලා!

දැන් ඔය පාඩුව කජු සංස්ථාවේ ගිණුම් වල නැහැ. එහි තිබෙන්නේ රුපියල් මිලියන 157ක පාඩුවක් පමණයි. නමුත් කජු සංස්ථාව වෙනුවෙන් යට කළ මුදල සහ ඒ වෙනුවෙන් ගෙවූ පොලිය එකතු කළොත් ඊට සාපේක්ෂව විශාල මුදලක් පාඩු වෙලා තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ ශ්‍රී ලංකා රජයේ ණය ගොඩේ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා රජයට වත්කම් නැතුව ණය එකතු වෙන්නේ.

මාළු කන්න ගිහින් තියෙන වියදම බැලුවොත් කජු කන්න ගිය වියදමටත් වඩා ගොඩක් වැඩියි. 2023 වර්ෂය අවසානයේදී ධීවර සංස්ථාවේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 1,702ක්. මේ ගිණුම් වල තිබෙන අලාබය. ඒ වෙනුවෙන් රජය යට කර තිබෙන මුදල රුපියල් බිලියන 1,520කටත් වඩා වැඩියි. ධීවර සංස්ථාව වෙනුවෙන් වාර්ෂිකව ගෙවන පොලී වියදම ධීවර සංස්ථාවේ ගිණුම් වල නැහැ. 

කජු සංස්ථාව වගේ සාපේක්ෂව කුඩා ආයතනයක් පාඩු ලැබුවත් ඒ පාඩු පියවීම සඳහා රජයේ අයවැයෙන් නැවත නැවත මුදල් වෙන් කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා, කජු සංස්ථාව පවත්වාගෙන යාම සඳහා වෙනත් පාර්ශ්ව වලට ණය වෙන්න අවශ්‍ය නැහැ. 

කජු සංස්ථාවේ කතාව ඔය වගේ වුනත්, ශ්‍රීලන්කන් ගුවන් සේවය හෝ ලංවිම වගේ විශාල ආයතන ලොකු පාඩු ලබද්දී ඒ පාඩු වල තරමට රජයේ අයවැයෙන් මුදල් වෙන් කරන්න අමාරුයි. මේ ආයතන වලට පාඩු ලබමින් දුවන්නත් බැහැ. දුවන්නනම් කොහෙන් හෝ අරමුදල් ලැබිය යුතුයි. ඒ නිසා මේ ආයතන වලට වෙනත් තෙවන පාර්ශ්ව වලට ණය වෙන්න සිදු වෙනවා.

මේ විදිහට තෙවන පාර්ශ්ව වලට ණය වූ විට අදාළ ආයතන වලට එම ණය වෙනුවෙන් පොලිය ගෙවන්නත් වෙනවා. ඒ පොලී වියදම් මූල්‍ය පිරිවැය ලෙස අදාළ ආයතනයේ ගිණුම් වල සටහන් වෙනවා. නමුත් හරියටම බැලුවොත් මේ විදිහට ගිණුම් වල සටහන් වෙන්නේත් මූල්‍ය පිරිවැය වලින් කොටසක් පමණයි. ඒ එම ආයතනය විසින්ම සෘජුව ණයට ගත්ත අරමුදල් කොටසේ මූල්‍ය පිරිවැය. රජය විසින් ණයට ගෙන ප්‍රාග්ධනය සේ යෙදවූ අරමුදල් වල මූල්‍ය පිරිවැය මේ ආයතන වල ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. ඒවා සටහන් වෙන්නේ මධ්‍යම රජයේ ගිණුම් වලයි. 

සමහර වෙලාවට ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතනයක් කිසියම් අවුරුද්දකදී ලාබ ලබන්න පුළුවන්. නමුත් ගිණුම් වල ලාබයක් පේන්න තිබුණු පමණින් එය ඇත්ත ලාබයක් වෙන්නේ නැහැ. ඇත්ත ලාබයක් කියා කියන්න පුළුවන් වෙන්නේ මෙවැනි ආයතනයක් වෙනුවෙන් රජය විසින් වැය කර තිබෙන මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලී ලෙස ගෙවිය යුතු මුදල රජයට ලබා දීමෙන් පසුවද ඉතිරියක් වන තරමේ ලාබයක් ගිණුම් වල පෙනේනම් පමණයි. 

Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?


පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා.  එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා. 

පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.

ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.

Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?

දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන  පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?

ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්. 

මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්. 

වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි. 

කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි. 

සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.

ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.

ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි. 

ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි. 

ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි. 

"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා. 

මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා. 

අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ. 

මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.

අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා. 

මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.

යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.

මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.

මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ. 

Tuesday, March 28, 2023

ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීම- ගැටළු හා අභියෝග


කලින් සටහනෙන් පසු අසා තිබුණු ප්‍රශ්න කිහිපයකට සටහනකින්ම පිළිතුරු දීම වඩා සුදුසුයි කියා හිතුනා.කිහිප දෙනෙකු විසින්ම එකම ආකාරයේ ප්‍රශ්න මතු කර තිබීම ඊට හේතුවයි. මේ ප්‍රශ්න බොහොමයක් හිතන්න පුරුදු වී සිටින ආකාරය නිසා, වඩා නිවැරදිවනම් හිතන්න පුරුදු කර තිබෙන ආකාරය නිසා, මතු වී ඇති ප්‍රශ්න. තවත් ප්‍රශ්න ඇහැට පෙනෙන නිරීක්ෂණ හා අතීතයේ සිදු වී ඇති දේවල් නිසා ඇති වන ප්‍රශ්න. විය හැකියාවක් ගැන වියුක්තව හිතන එක කාට වුනත් ටිකක් අමාරු වැඩක්. 

තවත් සමාගම් පැමිණි පසු තරඟකාරිත්වය ඇති වෙන බවට තිබෙන සහතිකය කුමක්ද?

මෙම ගැටලුවට අදාළ ප්‍රතිචාර කිහිපයක්.

"මෙතනදී ගැටළුවක් මතු වෙනවා. තරඟකාරීත්වය ගැන කියලා තමා IOC ලංකාවට ගෙනාවේ. ඒත් ඇතිවෙච්ච තරඟකාරිත්වයක් වත් CEYPETCO ලබන අලාභයේ වෙනසක් වත් උනේ නෑ. ඒ ටිකම මෙතනදිත් උනොත්?"

"IOC එක ඇයි Ceypetco එකට වඩා රුපියලක් හරි අඩුවෙන් දෙන්න try නොකරන්නේ. එහෙම උනොත් උන්ටනේ පාරිභෝගිකයෝ වැඩිපුර ඇදෙන්නේ"

"ඉදිරියේදි තව සමාගම් 03 ක් එනව එක්ක මාර්ක් ශෙයා එක අඩු වීමක් වෙනවනේ ceypetco එකේ. ඒකත් එක්ක ceypetco එකේ පවතින ව්‍යූහය වෙනස් කරල වෙලදපොල සමග තරග කරන මට්ටමට පත්කලොත් ඕකේ අලාබය අඩු වෙන්න පුලුවන් නේද?"

"ඒකාධිකාරයන් නැති තැන් වල පවා තරඟකාරී සමාගම් කීපයක් එකතු වෙලා price-fixing කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ තත්ත්වයන් නැති කරන්නේ කොහොමද?"

"ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරීම පමණක් තරඟකාරී කිරීම වැඩක් නෑ. මිලත් තරඟකාරී වෙන්න ඕනේ. නැත්නම් රජය (Ceypetco) මිල තීරකයා වූවොත් දැනටත් IOC එකට වෙන, සමාගම් අධික ලාභ ලැබීම පමණක් සිදුවෙයි."

මේ ප්‍රශ්න හා ප්‍රතිචාර සියල්ලටම එකට පිළිතුරු දෙන්නම්. පළමුව, මම පොඩි වියාචනයක් කරලා ඉන්නම්. IOC එකට මිල තීරණය කරන්න නිදහසක් නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. මම ප්‍රතිචාර දක්වන්නේ එවැනි නිදහසක් තිබෙනවා කියන උපකල්පනය මත පදනම්ව. ඒ වගේම තවත් කරුණක් විදිහට, කිහිප දෙනෙකු විසින්ම මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලෙස (නිවැරදි) පැහැදිලි කිරීම් ලබා දී තිබුනා. මම කරන්නේ ඒ දේවල් නැවත කීමක් වෙන්න පුළුවන්. 

අපි මෙහෙම තැනකින් පටන් ගනිමු. ලංකාව තුළ ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ විකිණීම ලාබ ලැබීම ඉලක්ක කරගත් තනි පෞද්ගලික සමාගමකට ලැබුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? 

මෙවැන්නක් නීතිමය ඒකාධිකාරයක් හෝ ස්වභාවික ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. අපි නීතිමය ඒකාධිකාරයක් කියන තැනින් පටන් ගනිමු.

දැන් මේ සමාගමේ එකම ඉලක්කය පුළුවන් තරම් ලාබ වැඩි කර ගැනීමයි. එය කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. 

1. ලාබ ආන්තිකය (විකුණුම් මිල හා පිරිවැය අතර වෙනස) හැකි පමණ වැඩි කර ගැනීම 

2. විකුණන ඒකක ප්‍රමාණය හැකි පමණ වැඩි කර ගැනීම 

3. පිරිවැය හැකි පමණ අවම කර ගැනීම 

පෞද්ගලික ආයතනයක්නම් ඉහත (3) කොහොමටත් කරනවා. මොකද පිරිවැය අඩු වන තරමට ලාබ ඉහළ යනවා. නමුත් (1) හා (2) ඉලක්ක දෙකම එක්ක එකවර ඉදිරියට යන්න බැහැ. ලාබ ආන්තික වැඩි කරගෙන යද්දී එයට අනුරූපව විකිණිය හැකි ඒකක ප්‍රමාණය පහළ යනවා. ඒ නිසා, එක්තරා මොහොතකදී ලාබ ආන්තික වැඩි කිරීම නිසා ලාබ වැඩිවීම වෙනුවට ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා, ලාබ ලැබීම ඉලක්ක කරගත් පෞද්ගලික ඒකාධිකාරයක් විසින් ලාබ ආන්තික වැඩි කර ගන්නේ ඔය ප්‍රශස්ත මට්ටම දක්වා පමණයි. ඒ අනුව මිල තීරණය වෙනවා. 

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරයක් නොවී ද්වි-අධිකාරියක් වුනොත් වෙන්නේ කුමක්ද? අපි හිතමු A සහ B කියා තරඟකාරී සමාගම් දෙකක් තිබෙනවා කියලා.  A කලින් තිබුණු සමාගම. B අලුතෙන් එන සමාගම. 

අලුතෙන් එන සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. පළමු එක A සමාගමේ මිලටම විකුණන එක. දෙවැනි එක ඊට වඩා අඩුවෙන් විකුණන එක. 

අපි හිතමු A සමාගමේ මිලටම විකිණුවා කියලා. දැන් පාරිභෝගිකයින්ට සමාගම් දෙක අතර වෙනසක් නැහැ. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම සමාගම් දෙක අතර සමසමව බෙදී යනවා. එක් එක් සමාගමට 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙනවා. මෙයින් B සමාගමට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. කලින් නොතිබුණු වෙළඳපොළක 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙන එකයි වෙන්නේ. නමුත් A සමාගමට පාඩුවක් වෙනවා. වෙළඳපොළ පංගුව අඩු වීමට අනුරූපව එම සමාගමේ ලාබ වලින් 50%ක් නැති වෙනවා.

මේ අවස්ථාවේදී ඊළඟට සිදු වෙන දෙය තීරණය වෙන්නේ A සමාගම ප්‍රතිචාර දක්වන ආකාරය අනුව. එම සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. එකක් මිල අඩු කිරීම මගින් වෙළඳපොළ පංගුව වැඩි කර ගන්න උත්සාහ කිරීම. දෙවැන්න අලුත් තත්ත්වය භාර ගැනීම.  A සමාගම ඔය දෙකෙන් කොයි එක කරයිද?

මේක තීරණය වෙන්නේ දැනට ලබා ගන්නා ලාබ ආන්තිකය මතයි. ලාබ ආන්තිකය තීරණය වන්නේ සාපේක්ෂ කාර්යක්ෂමතාවය මත. සාමාන්‍යයෙන් කාලයක් ඒකාධිකාරයක් ලෙස කටයුතු කළ ආයතනයක් ගොඩක්ම කාර්යක්ෂම නැහැ. අලුතෙන් එන ආයතනයක් වඩා කාර්යක්ෂමයි. නැත්නම් වැඩේට අත ගහන්නේ නැහැ. ඒ නිසා,  A සමාගම මිල අඩු කළොත් B සමාගමත් මිල අඩු කරනවා. ඔය වැඩේ දිගටම වෙනවා. අන්තිමට නවතින්නේ A සමාගමේ ලාබ ආන්තිකය ශුන්‍ය වුනාට පස්සේ. වඩා කාර්යක්ෂම B සමාගමේ පිරිවැය අඩු නිසා මේ අඩු මිල යටතේත් B සමාගමට ලාබයි. 

හැබැයි B සමාගම වැඩේ ඔතැනින් නවත්වන්නේ නැහැ. තව ඉතා සුළු මිල අඩු කිරීමක් කරලා A සමාගම වෙළඳපොලෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම නොවෙන්නනම් ඔය වෙද්දී A සමාගමටත් B සමාගම තරමටම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. එවිට 50%ක වෙළඳපොළ පංගුවක් ඉතිරි වෙනවා.

දැන් පැහැදිලියිනේ මේ ක්‍රමයට ගියොත් A සමාගමට සිදු වන දෙය. වෙළඳපොළ පංගුව කොහොමටත් 50%ට වඩා වැඩි කරගන්න බැහැ. එහෙම කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ දැනට ලැබෙන ලාබයත් නැති වෙන එක. ඒ නිසා, A සමාගමට වෙන්නේ 50% වෙළඳපොළ පංගුවෙන් සැහීමකට පත් වෙන්න. 

ඔය A සමාගමේ පැත්තනේ. B සමාගමේ පැත්තෙන් වෙන්නේ කුමක්ද?

තමන්ගේ වෙළඳපොළ පංගුව 50% මට්ටමට එන තුරු B සමාගමට මිල අඩු කරන්න අවශ්‍ය නැහැ. මොකද මිල අඩු කරද්දී ලාබ ආන්තික අඩු වෙනවා. ලාබ ආන්තික එලෙසම තියාගෙන වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම මගින් ලාබ වැඩි කරගන්න පුළුවන්කම තියෙද්දී මිල තරඟයකට යන්න අවශ්‍ය නැහැ. මෙතැනදී වෙන්නේ B සමාගම A සමාගම එක්ක "එකතු වෙලා price-fixing කිරීම" වගේ දෙයක් නෙමෙයි. තරඟකාරී සමාගම් දෙකක් තනිතනිව තීරණ ගනිද්දී සිදු වන දෙය. 

තෙල් සංස්ථාව රාජ්‍ය ඒකාධිකාරයක් වුනත්, IOC එක ආවට පස්සේ ලංකාවේ වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක්. විශේෂයෙන්ම අලුත් තත්ත්වයත් එක්ක, තෙල් සංස්ථාවට පාඩුවට තෙල් විකුණන්න බැහැ. අකාර්යක්ෂමතාවයන් නිසා IOC එකට වඩා පිරිවැයත් වැඩියි. ඒ කියන්නේ, තෙල් සංස්ථාව යාන්තම් පිරිවැය ආවරණය කර ගනිද්දී වුනත් IOC එකට හොඳ ලාබ ආන්තිකයක් ලැබෙනවා. මේ තත්ත්වයේ වාසි ගනිමින් IOC එක ක්‍රමයෙන් වෙළඳපොළ පුළුල් කර ගනිමින් සිටිනවා.

දැන් මම මේ එක්කම තවත් ප්‍රශ්නයක් ගන්නම්. මේ ප්‍රශ්නයට මම මේ වෙලාවේ පූර්ණ පිළිතුරක් සපයන්නේ නැහැ. පළමු ප්‍රශ්නයට අදාළ වන කොටස පමණයි.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ."

මේ වගේ තත්ත්වයක් යටතේ අලුතෙන් එන සමාගම් තමන්ගේ ලාබ රටෙන් එළියට අරන් යන්නේ නැහැ. වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම සඳහා නැවත රට තුළම ආයෝජනය කරන එකයි කරන්නේ. මොකද අත් පත් කරගත හැකි විශාල වෙළඳපොළක් තිබෙනවා. නමුත් වැඩේට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය එළියෙන් ගේනවට වඩා ලාබයම නැවත ආයෝජනය කිරීම හොඳ උපාය මාර්ගයක්. (දෙවන ප්‍රශ්නයට පිළිතුරු දී අවසන් නැහැ. එය පසුව කරන්නම්. මෙම පැහැදිලි කිරීම පළමු ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරට සම්බන්ධ කොටසක් පමණයි.)

මේ වගේ තත්ත්වයක් තුළ වෙළඳපොළ පංගුව 50%ක් දක්වා වැඩි කරගන්න තුරු IOC එක පැත්තෙන් හොඳම උපාය මාර්ගය තෙල් සංස්ථාවේ මිලටම තෙල් විකුණන එකයි. ඒක තරඟය තුළම සිදු වෙන දෙයක්. ඕක වෙනස් වෙන්නේ වෙළඳපොළ පංගුව 50%ක් වූ විටයි. 

නැවතත් අපි IOC එක පැත්තකින් තියලා B සමාගම ගත්තොත්, වෙළඳපොළ පංගුව 50% මට්ටමට ආපු ගමන් B සමාගම ප්‍රහාරය පටන් ගන්නවා. මිල පොඩ්ඩක් අඩු කරපු ගමන් A සමාගමේ ලාබ විශාල ලෙස අඩු වෙනවා. විශේෂයෙන්ම A සමාගමේ පිරිවැය ස්ථිර පිරිවැයනම් (සේවක වියදම් වැනි) B සමාගමට ඔය අවස්ථාවේදී A සමාගම වෙළඳපොළෙන් ඉවත් කරන්න පුළුවන්. 

දැන් අපි  A සමාගම වත්මන් තෙල් සංස්ථාව ලෙස සැලකුවොත්, මිල සූත්‍ර ක්‍රමය දිගටම තිබුණොත්, ඔය අවස්ථාවේදී තෙල් සංස්ථාවට IOC එකේ මට්ටමට මිල අඩු කරන්න බැරි වෙනවා. ඒ නිසා, IOC එක ටිකෙන් ටික වෙළඳපොළ අල්ලලා ඒකාධිකාරයක් හදා ගන්නවා. තෙල් සංස්ථාව වැහිලා යනවා. 

අනෙක් අතට, මෙතෙක් කළා වගේ තෙල් සංස්ථාවේ පාඩු බදු මුදලින් සුබසාධනය කළොත් තෙල් සංස්ථාව වැහෙන්නේ නැහැ. IOC එක මිල අඩු කරද්දී තෙල් සංස්ථාවත් මිල අඩු කරනවා. මිල සමානයි. එකම වෙනස දැන් මිල තීරණය කරන්නේ IOC එක වීම පමණයි. ඔය වගේ තත්වයකදී මිල අඩු කිරීමෙන් වෙළඳපොළ පංගුව අල්ලා ගන්න බැරි නිසා IOC එක මිල අඩු කරන්නේ නැහැ. දැන් වගේම එකම මිලක් දිගටම පවතිනවා. තෙල් සංස්ථාවේ පාඩු බදු ගෙවන්නන්ට දිගටම ගෙවන්න වෙනවා.

තවත් එක් සමාගමක් අලුතෙන් ආ විට වෙන්නේ කුමක්ද?

දැන් වෙන්නෙත් ඔය කලින් සිද්ධියම තමයි. නමුත් කලින් වෙළඳපොළ පංගුව 50% වෙද්දී සිදු වුනු දෙය ඊට කලින්ම, ඒ කියන්නේ වෙළඳපොළ පංගුව 33% වූ වහාම සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම, මේ අවස්ථාවේදී A සමාගම (තෙල් සංස්ථාව) බදු මුදලින් සුබසාධනය වුනත් B සහ C සමාගම් අතර තරඟය නිසා මිල පහත වැටෙන්න පටන් ගන්නවා. ඒ වාසිය පාරිභෝගිකයාට එනවා. සමාගම් තුනක් අලුතෙන් ඇවිත් තරඟකරුවන් ප්‍රමාණය පහක් වුනොත් වෙළඳපොළ පංගුව 20% වෙද්දීම ඔය මිල තරඟය පටන් ගන්නවා. සමාගම් ප්‍රමාණය වැඩි වන තරමට වැඩේ ඉක්මන් වෙනවා.

දැන් අපි නැවත දෙවන ප්‍රශ්නයට යමු.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ. අපේ ඩොලර් වලින් තෙල් ගෙනත්, ඒවා අපිටම විකුණලා ගන්න ලාභයත්, අපිම ඩොලර් වලට හරවලා දෙන්න ඕනේ අරං යන්න."

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ආයෝජනයක් කරන්නේ ලාබ බලාගෙන. ඒක ඉතාම පැහැදිලියි. ආයෝජනයක් කරද්දී අවදානම් ගැන සැලකිලිමත් වෙනවා. අනාගතයේ සිදුවිය හැකි ආර්ථික, දේශපාලන, සමාජ වෙනස්කම් මේ ආයෝජනය කෙරෙහි ඇති කරන අවදානම් මොනවද?

ප්‍රාග්ධනය ගේන්නේ මේ  මොහොත ගැන හිතලා නෙමෙයි. දීර්ඝ කාලයක් ඉදිරියට අනාගතය ගැන හිතලා. පළමු ප්‍රශ්නය වෙළඳපොළ විවෘත කළ පමණින්ම තෙල් සමාගම් ලංකාවට එයිද කියන එක. තෙල් සමාගම් දොර අරිනකම් බලාගෙන දොර ඉස්සරහ නැහැ. මේ වෙලාවේ සමාගම් හතරක් පහක් එනවානම් එහෙම එන එකම සුබ ලකුණක්. 

කොහොමටත් ලංකාව කියන්නේ අනාගත ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් තිබෙන රටක්. ඒ නිසා, තෙල් සමාගමක් රටට ආවත් එක පාරටම වෙළඳපොළ අල්ලගන්න තරම් විශාල ආයෝජනයක් අරගෙන එන්නේ නැහැ. පටන් ගන්නේ පොඩියට. IOC එක වෙළඳපොළ අල්ලගෙන නැත්තේ ඇයි කියන එකට පිළිතුරත් මේකමයි. එහෙම ඇවිත් ලාබ ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ තියෙනවානම් ලැබෙන ලාබ නැවත ලංකාවේම ආයෝජනය කරනවා මිසක් රටෙන් ආපහු ගෙනියන්න හදිස්සි වෙන්නේ නැහැ. ලංකාව ව්‍යාපාර කරන්න හොඳ තැනක්නම් ඔය ලාබ කවදාවත්ම රටින් ගෙනියන්නේ නැහැ. 

සිංගප්පූරුව අද තිබෙන තැනට ආවේ මේ වගේ විශාල ආයෝජන වලින්. ඒ විදිහට ආපු ආයෝජන වල ලාබත් නැවත සිංගප්පූරුවේම ආයෝජනය වුනා මිසක් රටින් එළියට ගිහින් නැහැ. මම කියන්නේ සමස්ත චිත්‍රය ගැන. තමන්ගේ ලාබ අරගෙන යන්න නිදහස වැඩි වෙන තරමට ලාබ එළියට ගෙනියන්න තිබෙන උනන්දුව අඩු වෙනවා. නිදහස සීමා වෙන තරමට ආයෝජකයෝ බලන්නේ හැකි මුල්ම අවස්ථාවේ ලාබ එළියට අරගෙන යන්න. මෑතකාලීනව ලංකාවේ වෙලා තියෙන්නේනම් දෙවැන්න තමයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ තිරසාර නිදහස් විණිමය ප්‍රතිපත්තියක් කාලයක් එක දිගට පවත්වා ගැනීම මගින් පමණයි. IMF වැඩ සටහන තුළ යෝජනා වී තිබෙන්නේ එවැනි ක්‍රමයක්.

කොහොම කළත් අවදානමක් තිබෙනවා තමයි. ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් ඉහළ ගියොත් ලාබ විතරක් නෙමෙයි ආයෝජනත් ආපහු අරගෙන යන්න ඉඩ තිබෙනවා. විශාල විනාශයකින් කෙළවර විය හැකි, ඒ වගේ තත්ත්වයක් වලක්වා ගන්න තමයි ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන තිරසාර ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය වන්නේ. එහෙම එකක් හැදෙන්නේ බලයට පැමිණීමේ ඉඩක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර ආර්ථික වැඩපිලිවෙළක මූලික කරුණු පිළිබඳ සම්මුතියක් ඇති වුනොත් පමණයි. 

මෙවැන්නක් කොළ වල අත්සන් කරන සම්මුතියක් විය යුතු නැහැ වගේම එසේ වූ පමණින් වැඩේ කෙරෙන්නේත් නැහැ. වඩා වඩා වැදගත් වන්නේ බාහිර නිරීක්ෂකයින්ට පෙනෙන, ප්‍රායෝගිකව කටයුතු සිදු වන ආකාරයයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට යම් ඉඩක් ලබා ගැනීමේ වරදක් නැතත්, ඒ ඉඩ ලබාගත යුත්තේ රටේ අනාගතය අවදානමේ වැටෙන සීමාවට නොයමිනුයි. එවැනි තිරසාර ජාතික වැඩපිළිවෙළක් හා එකඟතාවයක් නැත්නම් ඕනෑම යහපත් වෙනසකට තිරසාර පැවැත්මක් නැහැ.

Tuesday, November 15, 2022

දර්ශනී සමන් කුමාරිට පිළිතුරු


මෙය සාමාන්‍ය සටහනක් නෙමෙයි. ප්‍රතිචාරයකට පිළිතුරක්. ෆේස්බුක් වල සීමාවන් නිසා ප්‍රතිචාර කොටසේ දිගු පිළිතුරු දමන එක කරදරකාරී වැඩක්. නැවත කියවා අඩුපාඩු සකසා නැති, තරමක් දිගු ප්‍රතිචාරයක් නිසා අත්වැරදී තිබිය හැකියි. හරියට ෆෝර්මට් කරලත් නැහැ. ඒ වගේම, ප්‍රතිචාර වෙනුවෙන් නැවතත් ඉතා ඉක්මණින් කාලය වැය කළ නොහැකියි. එය මග හැර යාමක් නෙමෙයි. මේ කාර්යය වෙනුවෙන් වැය කළ හැකි ස්වේච්ඡා කාලය දැනටමත් ගොඩක් ඉක්මවා ගිහින්. සටහන් වලට වැටී ඇති අනෙක් අයගේ ප්‍රතිචාර හා inbox ප්‍රතිචාර සියල්ල තවමත් කියවා අවසන් නැහැ. ඒවාට ඉඩ ලැබෙන පරිදි පසුව ප්‍රතිචාර සපයන්නම්. මේ සියල්ල ගැනම කණගාටුයි.

දර්ශනී සමන් කුමාරිගේ ප්‍රතිචාරය:
"ඉකොනොමැට්ටා credentialed economist කෙනෙක් විදියට ඔබ මීට වඩා (සමහර තැන් වලදී) ප්‍රවේශමින්, මීට වැඩි research rigour එකක් පෙන්නුම් කරමින් ලියනවනම් ඔබේ ෆෑන්ස්ලා වන අපි කැමතියි. ධීවර සංස්ථාව ගැන ඔබ ලියූ දේ ඔබ ලියූ දෙයක් ලෙස පිළිගන්නට සමහර ප්‍රේක්ශකයන් අකමැති වී එය ඔබේ පෝස්ටුව උපුටා දැක්වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු අතින් දැමූ click bait කැටයමක් ලෙස සිතූ අවස්ථාවක් මා දැක්කා. නමුත් එය ඔබ ලියූ එකක් තමයි- // ඔහොම කිවුවට මාළු විකුණන එකත් ලංකාවේ රජය හා එය මෙහෙයවන ආණ්ඩුව විසින් කරන එක වැඩක්. ලංකා ධීවර සංස්ථාව කියන්නේ ඔය වැඩේට හදලා තියෙන රාජ්‍ය ආයතනය.// really this is so....words fail me. ඔබ නිවැරදිව හදුනා ගෙන ඈති ලෙස state owned enterprises කියන්නේ මූල්‍යමය ලෙස ස්වාදීන ආයතන. බජට් එකෙන් මේවා සමහරකට/බොහොමයකට ප්‍රතිපාදන වෙන් කලත් ඒවා independent sources of revenue තියන self sustaining වෙන්න පුළුවන්තරම් ට්‍රයි කරන ස්වාදීන ආයතන. ඔබ නිවැරදිව කියන විදියට // එවැනි මූල්‍යමය ලෙස ස්වාධීන ආයතනයකට අරමුණු දෙකකින් එකක් තියෙන්න පුළුවන්. (1) පුළුවන් තරම් ලාබ සෙවීම (2) තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය ලාබයක් සොයා ගනිමින් ස්ථාපනය කළ අරමුණ ඉටු කිරීම. ඔය දෙවැන්න තමයි ඕනෑම ලාබ සඳහා නොවූ ආයතනයක ආකෘතිය (NFP)// ධීවර සංස්ථාව අයිති ඔය දෙවනි කොටසට කියලා ඔබට තේරුම් ගන්නට බැරි ඇයි? එය ස්ථාපනය කරපු අරමුණු වන්නේ එහි vision statement හි තිබෙන ලෙස To be the fundamental resource of the fisheries industry and the inspiration of the local fishing community whilst striving to become the top facilitator of the region's maritime enterprise. ඉතිං එහි විශන් එකත් එක්ක අතිශය එකඟ වෙන independent source of revenue එකක් තමයි ධීවර සංස්ථා outlets. තව දෙයක් ඔබේ දෙවනි අරමුණ 2) තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය ආදායමක් (ලාබයක් නොවේ) සොයා ගනිමින් ස්ථාපිත අරමුණු ඉටු කිරීම ලෙස වෙනස් විය යුතුයි නේද? මොකද not for profit ආකෘ තියේ මුදුන් මල් කඩක් වන oxford university එක පවා philanthropic donations හා government grants මත යැපෙනව ගාස්තු අය කිරීමෙන් ලාභ ලබා පමණක් sustainable වීම NFP ආකෘ තියේ ඇතැම් අරමුණු එක්ක compatible නොවෙන්න පුළුවන්. අනෙක් බරපතළ චෝදනාව ඔබට මම එල්ල කරන ඇයි මේ state owned enterprises සමාජවාදී/කොමියුනිස්ට් රාමුවකට කොටු කරන්නේ? ඇයි State-owned enterprises of the United States ගැන හොයන්නෙ නැත්තේ? ඇයි Export–Import Bank of the United States (EXIM), තුළින් රජය එක්ස්පෝට් facilitator කෙනෙක් වෙන්නෙ මක්කටෙයි කියල අහන්නෙ නැත්තේ? ඇයි Federal Home Loan Banks වගේ දෙයක් රජයෙන් ස්පොන්සර් කරන්නේ ඇයි කියල අහන්නෙ නැත්තේ? මම කියන්නේ ඔබ ඔබෙන්ම අහන්නෙ නැත්තෙ ඇයි? එහෙම ඇහුවොත් සමහර විට SOE ගැන වඩා BALANCED විදියට ඔබට හිතන්න පුළුවන් වෙයිද?"
(Part 1) ඔබේ විවේචනාත්මක අදහස් හා යෝජනා සහිත ප්‍රතිචාරය පිලිබඳව ස්තුතියි! එම අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් බව සඳහන් කරන අතර පිළිතුරු අවශ්‍යයැයි පෙනෙන කොටස් සඳහා පිළිතුරු සපයන්නම්.
//2) තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය ආදායමක් (ලාබයක් නොවේ) සොයා ගනිමින් ස්ථාපිත අරමුණු ඉටු කිරීම ලෙස වෙනස් විය යුතුයි නේද?//
නැහැ. මෙය වැරදීමක් නෙමෙයි. මතක විදිහට මීට පෙර අවස්ථාවකත් මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමඟ ප්‍රතිචාරයක් දැම්මා. ඔබේම උදාහරණ අනුව යමින් ඔබ අදහස් කරන්නේ ඇමරිකාව වැනි බටහිර රටක ලාබ සඳහා නොවන ආයතන (NFP) ගැන කියා හිතනවා. NFP ලාබ නොලබන බව සිතීම විශාල වැරැද්දක්. එම ආයතනද PF මෙන්ම ලාබ උපයනවා. මෙය අවධාරණය කර, වගකීමෙන් යුතුව කරන ප්‍රකාශයක්. මේවා ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණ කර නොගත් ආයතන මිස ලබා නූපයන ආයතන නෙමෙයි. වෙනස තියෙන්නේ ලාබ උපයන්නේ ඇයි කියන කරුණ තුළයි. PF එකක් ලාබ උපයන්නේ ඒ වෙනුවෙන් මුදල් යෙදවූ අය වෙනුවෙන්. NFP එකක් ලාබ උපයන්නේ ඒ වෙනුවෙන් මුදල් යෙදවූ අයගේ අරමුණ වූ වෙනත් කිසියම් කාර්යයක් වෙනුවෙන්. ඒ වෙනස හැරුණු විට ක්‍රියාකාරිත්වයේ වෙනත් විශාල වෙනසක් නැහැ.
වෙනත් අරමුණු වෙනුවෙන් වැය කරන කොටසද කොටසද ගිණුම් වාර්තා වල වියදම් සේ සටහන් වන නිසා ගිණුම් වල විශාල ලාබයක් නොපෙනෙන්න පුළුවන්. එය බදු නොගෙවා සිටීම සඳහා කරන (නීත්‍යානුකූල) වැඩක්. PF එකක ලාභාංශ ගෙවීම් ආදායම් හා වියදම් ගිනුමක වියදම් ලෙස සටහන් වන්නේ බදු ගෙවීමෙන් පසු ලාභයට පහළින්. NFP එකක ප්‍රධාන අරමුණ වෙනුවෙන් කරන වියදම් තියෙන්නේ ලාභයට ඉහළින්. එවැනි ආයතනයක ලාබ දෙස බලනවා කියන්නේ PF එකක ලාභාංශ ගෙවීම් වලින් පසු ඉතිරි වන කොටස දෙස බලනවාට සමාන දෙයක්. (ආර්ථික විද්‍යාත්මක පදනමකින්. ගිණුම්කරණ පදනමකින් බැලුවොත් සංසන්දනය නිවැරදියි).
ඇමරිකාවේ නීතිය අනුව NFP ලෙස ලියාපදිංචි වී තිබෙන ආයතනයක් එහි ප්‍රකාශිත අරමුණ නොවන වෙනත් කාර්යයක් සඳහා මුදල් වැය කර ඇත්නම් බදු ගෙවිය යුතුයි. තවත් සීමාවන් ගණනාවක් තිබෙනවා. NFP එකකට මුදල් නොගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරන අයට අමතරව වැටුපට වැඩ කරන අය බඳවාගෙන එම සේවකයින්ගේ වැටුප් ගෙවීම වෙනුවෙන් මුදල් යෙදවිය හැකි වුවත්, එසේ වැටුප් සේ ගෙවිය හැක්කේද වෙළඳපොළ පවතින තත්ත්වයන් මත අදාළ කුසලතා ඇති සේවකයින් තරඟකාරී පදනමින් බඳවා ගැනීම පිණිස ගෙවිය යුතු තරමේ වැටුප් පමණයි. මෙය වරින් වර ඇමරිකාවේ IRS එකේ විගණනයට ලක් වෙනවා. විවිධ NFP ආකෘති, නීතිය අනුව කර තිබෙන වර්ගීකරණයන්, ඒවා අතර සමානකම් හා වෙනස්කම් කතා කරන්න පුළුවන් වුනත් ඉතාම පුළුල් විෂයක් වන මේ ගැන කතා කරන්න යනවා කියන්නේ පොතක් ලියනවා වගේ වැඩක්. ඇමරිකාව ඇතුළේ වුනත් NFP ගැන දුර්මත ප්‍රචලිතයි. ඒ නිසා, වෙබ් සර්ච් කළොත් ඇතැම් විට මේ සාමාන්‍ය විස්තරය හා නොගැලපෙන කරුණුත් ඔබට හොයා ගන්න පුළුවන් වෙයි. මේ සාමාන්‍ය තත්ත්වය.
ලාබයක් ලබන්න ආදායමක් අවශ්‍ය නිසා ආදායමක් කියන එක කොහොමටත් නිවැරදියි. නමුත් NFP එකක් කවර හෝ ආදායමක් ලැබීම ප්‍රමාණවත් නැහැ. යාන්තමින් පිරිවැය ආවරණය වන ආදායමක් ලැබීමත් ප්‍රමාණවත් නැහැ. එවැනි ආදායමක් පමණක් උපයා ස්ථාපිත අරමුණු ඉටු කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් ආයතනයක් වෙනුවෙන් මුදල් වැය කරන අයට ප්‍රකාශිතව කියන කුමක් හෝ පුළුල් අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඉටු කර ගැනීමට වියදමක් යනවා. අරමුණ වෙත යන තරමට වියදමද වැඩි වෙනවා. ඒ නිසාම, සාමාන්‍ය වියදම ඉක්මවා ආදායම් ලබන තරමට අරමුණ කරා වැඩි දුරක් යා හැකියි. මෙය PF එකක් පුළුවන් තරම් ලාබ හොයද්දී සිදු වෙන දෙයමයි. එකම වෙනස එක්රැස් කරගන්නා ලාබ ආයතනයට මුදල් යෙදවූ අය විසින් ඉවත් කර නොගෙන වෙනත් අරමුණක් වෙනුවෙන් යොදවන එක පමණයි.
(Continued…)
(Part 2)
//ඇයි State-owned enterprises of the United States ගැන හොයන්නෙ නැත්තේ? ඇයි Export–Import Bank of the United States (EXIM), තුළින් රජය එක්ස්පෝට් facilitator කෙනෙක් වෙන්නෙ මක්කටෙයි කියල අහන්නෙ නැත්තේ?...//
මේක සාමාන්‍යයෙන් මම උත්තර දෙන්න මහන්සි වෙන්නේ නැති ඉතාම සම්ප්‍රදායික විවේචනයකට බොහෝ කිට්ටු එකක්. හරියටම කිවුවොත්, ලිපියේ තිබෙන දේවල් ගැන කතා නොකර එහි නැති දෙයක් ලිපියේ වැරැද්දක් ලෙස පෙන්වීම. වහලෙ කැඩිලා කියා කිවුවහම ඇයි අල්ලපු ගෙදර වහලෙත් කැඩිලා කියල පේන්නේ නැද්ද කියා අහන එකත් ඕකෙම වර්ෂන් එකක්. මේ සටහන ලිවුවේ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන ගැන. ලංකාවේ රජය විසින් ප්‍රධාන රාජ්‍ය ආයතන ලෙස හඳුනා ගන්නා ආයතන 52ක සංඛ්‍යාලේඛණ මෙහි තිබෙනවා. මට සාපේක්ෂව සහ ඇතැම් පාඨකයින්ට සාපේක්ෂව මෙහි තිබිය යුතු නැති ඒවා වුනත් ඉවත් කරලා නැහැ. මෙය ඇමරිකාවේ රාජ්‍ය ආයතන ගැන ලියපු ලිපියක් නෙමෙයි. ඒ නිසා State-owned enterprises of the United States ගැන මේ ලිපියෙහි ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් දැන් ඔබ අසා තිබෙන නිසා සහ එහෙම අහන එක පිටුපස යම් තාර්කික හේතුවක් තිබෙන නිසා වෙනස්කම් (හා සමානකම්) පැහැදිලි කරන්නම්.
ඔව්. Export–Import Bank of the United States එක නිශ්චිත වාණිජ අරමුණක් වෙනුවෙන් ස්ථාපනය කර තිබෙන රාජ්‍ය ආයතනයක්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ මෙවැනි ආයතන ගොඩක් නැහැ. ඒ වගේම බොහෝ විට එවැනි ආයතනයක් ස්ථාපනය කරන්නේ අදාළ අරමුණ ඉටු කරගන්නා තුරු සීමිත කාලයකට. අවශ්‍යතාවය දිගටම තියෙනවානම් හරි, කිට්ටුවෙන් යන වෙනත් අවශ්‍යතාවයක් ඇත්නම් හරි කොන්ග්‍රස් එක කාලය දිගු කරනවා. නැත්නම් ආයතනය නිකම්ම අහෝසි වෙලා යනවා. ඇමරිකාවේ දැන් තිබෙන මහ බැංකුව හදන්න පෙර තිබුණු second bank එක නිකම්ම අහෝසි වී ගියෙත් ඔය ක්‍රමයට. අනෙක් රටවල් විදේශ වෙළඳාමට මැදිහත්වීම් කරද්දී ඇමරිකන් රජය එසේ නොකිරීම නිසා ඇමරිකානුවන්ට සිදුවන අවාසිය තුලනය කිරීම මේ ආයතනය පිහිටුවීමේ අරමුණයි. අනෙක් ඇතැම් රටවල් දිගින් දිගටම තමන්ගේ රටට වාසිදායක ලෙස කටයුතු කරන නිසා එහි බලපෑම නිශේධනය කර level playing field එකක් හැදීමට මෙම ආයතනය දිගින් දිගටම රීචාටර් කරන්න සිදු වී තිබෙනවා. චීන රජය විසින් ගත් ඇමරිකාවට අවාසිදායක, නිදහස් වෙළඳාමට බාධා කෙරෙන ක්‍රියාමාර්ග පදනමක් කරගනිමින් 2019දී මෙහි චාටර් එක 2026 දක්වා දිගු කළා. 2026දී නැවත කොන්ග්‍රසය නීතියක් සම්මත නොකළොත් මෙය අහෝසි වෙනවා. එහෙත් ප්‍රායෝගිකව එසේ වෙන්න ඉඩකඩ ඉතාම අඩුයි. මෙය කෙටිකාලීන ඉලක්ක ඇතිව වුනත් දීර්ඝ කාලයක් (වසර 88ක්) පවතින ආයතනයක්.
(Continued…)
(Part 3)
කෙටිකාලීන ඉලක්ක ඇති මෙම ආයතනයේ කටයුතු වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් මුදලක් වෙන් කරන නමුත් එම මුදල යොදවා ලාබ උපයා වසර අවසානයේදී ගත් මුදල හා ලාබය නැවත රජයට ආපසු ගෙවිය යුතුයි. ඇතැම් වසර වල මෙය සිදු වී නැතත් දිගුකාලීනව මෙය සිදු වෙනවා. ඒ අතරම ඒ හරහා ඇමරිකන් ජනතාවට මෙන්ම රජයටද පැහැදිලිව පෙනෙන මුදලින් ඇස්තමේන්තු කළ හැකි ලාබයක් ලැබිය යුතුයි. ඒ කියන්නේ ගිණුම්කරණ ලාබ ලැබීම ප්‍රමාණවත් නැහැ. ආර්ථික ලාභද තිබිය යුතුයි. ආර්ථික ලාබ ලැබෙන්නේ බදු ගෙවන්නට. ගිණුම්කරණ ලාබ ආයතනයට. මෙවැනි ආයතනයකින් අපේක්ෂිත ඉලක්කය ඉටු නොවේනම් කොන්ග්‍රසය විසින් එම ආයතනයේ පැවැත්ම පාදක වන නීතිය (mandate එක) අලුත් කරන්නේ (recharter කරන්නේ) නැහැ. මෙවර වසර 7කට අලුත් කළත් බොහෝ විට වසර පහකට වරක් කාර්ය සාධනය පරීක්ෂා කර බලනවා. එහිදී පළමුව ආයතනය බදු ගෙවන්නන්ට බරක් නොවන තරමට ලාභ උපයා තිබිය යුතුයි. දෙවනුව ආයතනය තිබීම නිසා බදු ගෙවන්නන්ගේ ආයෝජනයට ආර්ථික ලාභ (ROI) ලැබී තිබිය යුතුයි.
පැහැදිලි ලෙසම Export–Import Bank of the United States යනු මූල්‍යමය ස්වාධීනත්වය සහිත ආයතනයක්. ප්‍රධාන අරමුණ ලාබ ලැබීම නොවුනත් ලාබ සොයමින් එම ලාබ අරමුණ සඳහා යොදවන ආයතනයක් ("EXIM is considered a self-financing agency, which means that EXIM collects funds from credit program customers which are used to offset, or “pay-back” the EXIM appropriation to the U.S." "When self-financing, any additional collections made in excess of the amount paid back for the appropriation are sent to Treasury to offset the federal debt."). පෞද්ගලික අංශයට කළ හැකි දේවල් කරන්න නොයන, පෞද්ගලික අංශයෙන් සිදු නොවන දේ කිරීමට පිහිටුවා තිබෙන ආයතනයක් ("When private-sector lenders are unable or unwilling to provide financing, EXIM fills in the gap for American businesses by offering financing programs." "EXIM assumes credit and country risks that the private sector is unable or unwilling to accept"). එසේ වුවද බදු මුදලින් නඩත්තු නොවන, බදු ගෙවන්නන්ට මුදල් උපයා දෙන ආයතනයක් (බදු ගෙවන්නන්ට මුදල් උපයා දෙන ආයතනයක්. (Since 1992, ... EXIM has sent a net $9.0 billion to the U.S. Treasury for repayment of U.S. debt. ).
(Continued…)
(Part 4)
//ඇයි Federal Home Loan Banks වගේ දෙයක් රජයෙන් ස්පොන්සර් කරන්නේ ඇයි කියල අහන්නෙ නැත්තේ?//
වැරදි අදහසක්. Federal Home Loan Banks ඇමරිකන් රජයෙන් ස්පොන්සර් කරන්නේ නැහැ. (නීතියෙන් නියාමනය හරහා වෙළඳපොළ ගයිඩ් කිරීමක් හැර) මෙම බැංකු පොදු සමාගම් නොවුනත්, කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කර තිබෙන සමාගම්. අයිතිය තියෙන්නේ ඇමරිකාවේ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන (7600ක් පමණ) සතුවයි. මෙය සමුපකාරයක හා රක්ෂණ වැඩ පිළිවෙලක මූලධර්ම මත ක්‍රියාත්මක වන ආයතනයක්. රජයෙන් ලබා දී තිබෙන සහාය බදු වලින් නිදහස් කිරීම. වෙනත් NFP වලටත් මේ බදු නිදහස ලැබෙනවා. නිවාස ණය දෙන මූල්‍ය ආයතනයක පෙර වසරේ ලාබ වලින් 10%ක් FHLB කොටස් වල ආයෝජනය කළ යුතුයි. එම මුදල් යෙදවිය හැක්කේ (ඔබ ඔබ නිවැරදිව දන්නවායැයි සිතන) නිශ්චිත අරමුණ සඳහා. එය කරන්නෙත් පාඩුවට නෙමෙයි. අදාළ ව්‍යාපාරික කටයුත්තෙන් ලාබ උපයන අතර එම ලාබ කොටස් හිමියන් අතර බෙදී යනවා.
මේ එක් එක් ආයතනය ක්‍රියාත්මක වන සාර්ථක ආකෘති දෙකක් තිබෙනවා. ඒවා වෙළඳපොළ මත පදනම් වූ ආකෘති. ඔබ ඉදිරිපත් කළ ඉහත නිදර්ශන දෙකේදීම සිදු වී තිබෙන්නේ පෞද්ගලික අංශය විසින් ගන්නට මැලිවෙන අවදාමනක් රජය විසින් ගෙන වෙළඳපොළ කාර්යක්ෂම කිරීමයි. එහෙම නැතුව පෞද්ගලික අංශයට කළ හැකි මාළු විකිණීම වැනි වැඩක් රජය විසින් කරන එක නෙමෙයි. අවදානම ගන්නේ පාඩු ලබන්න බලාගෙන නෙමෙයි. එය නීතිය තුළම පැහැදිලිව හා නිශ්චිත ලෙස සඳහන් දෙයක්. අවදානම ගන්නවා වගේම ලාබත් ලබනවා. බදු ගෙවන්නන්ට වාසියක් මිසක් බරක් නැහැ. ආකෘති දෙකම කෙටිකාලීනව tax-neutral.
Part 5
//මොකද not for profit ආකෘතියේ මුදුන් මල් කඩක් වන oxford university එක පවා philanthropic donations හා government grants මත යැපෙනව ගාස්තු අය කිරීමෙන් ලාභ ලබා පමණක් sustainable වීම NFP ආකෘතියේ ඇතැම් අරමුණු එක්ක compatible නොවෙන්න පුළුවන්.//
මේකත් ඔබ පටලවාගෙන තිබෙන දෙයක්. philanthropic donations හා government grants කියා කියන්නේ බටහිර රටක සරසවියක ව්‍යාපාරික ආකෘතියේම කොටසක්. සිසුන්ගෙන් ගාස්තු අය කරනවා වගේම මෙයත් සල්ලි හොයන ප්‍රධාන ක්‍රමයක්. philanthropic donations එකතු කිරීම සඳහා සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රධාන සරසවියක වෙනම අංශයක් තිබෙනවා. එහි වැටුප් ලබන සැලකිය යුතු තරමේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් එසේ ආධාර එකතු කිරීම පිලිබඳව විශේෂ පුහුණුවක් ලබපු අය. මේ විෂය සඳහා විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා වගේම පශ්චාත් උපාධි පාඨමාලාද තිබෙනවා. මෙය ආයතනය නඩත්තු කිරීම සඳහා පිනට සල්ලි ගැනීමක් නෙමෙයි. බදු මුදල් මෙන් බලෙන් ගන්න දෙයකුත් නෙමෙයි. මුදල දෙන කෙනාට අවශ්‍ය වැඩේ කරන්න ගන්න මුදලක්. ඒ මගින් සේවයක් සැපයීමක්. මුදල් අය කර උගන්වනවා වගේම තමයි.
දැන් ලංකාවේ ඇතැම් දුෂ්කර පාසැල් වල සිසුන්ට දිවා ආහාර සපයන වැඩ සටහන් ගණනාවක් තිබෙනවා. අප ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පවුල් ගණනාවක් මේ සඳහා මාස්පතා මුදල් යවනවා. මේ කාටවත් ලංකාවේ අදාළ පාසැලට ගිහින් දිනපතා කෑම උයා දෙන්න බැහැ. ඒ නිසා, එහෙම කරන කෙනෙකුට "තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න" සල්ලි යවනවා. එය චිත්‍රපටියක් බලද්දී මෙන් තමන්ගේ සතුට වෙනුවෙන් ගෙවන මිලක්. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පාසැල් සිසුන්ට වාසියක් වෙනවා. චිත්‍රපටියක් බලද්දීත් එයින් යම් පිරිසකට වාසියක් වෙනවා. oxford university එකට philanthropic donations දෙන අය එම සරසවිය හරහා කරගන්නෙත් ඒ වගේ තමන්ට අවශ්‍ය වැඩක්. එසේ කරන්න අවශ්‍ය අය සොයා යමින් මුදල් එකතු කර ගැනීම කියන්නේ ව්‍යාපාරික කටයුත්තක්. එම සරසවිය සේවාදායකයෙක්. මෙය තරඟකාරී ව්‍යාපාරයක්. ඔය වැඩේ කරන්නේ oxford university එක පමණක් නෙමෙයි. ඒ වගේම විශ්ව විද්‍යාල පමණකුත් නෙමෙයි. එහිදී අනෙක් තරඟකරුවන් හා තරඟකරන්න වෙනවා. හැම විටම වඩා කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා.
අඩු මිලට හොඳ අධ්‍යාපනයක් ලබා දීම කාර්යක්ෂමතාවය පෙන්විය හැකි ක්‍රමයක්. වැඩි මිලක් අය කර අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහළ දැමුවොත් එයින් ලාබයක් ලැබෙන නමුත් philanthropic donations අඩු වී ලාබ අඩු වෙනවා. ඒ නිසා අඩු මිලට හොඳ අධ්‍යාපනයක් ලබා දීමත් ලාබ වැඩි කර ගැනීම සඳහාම දායක වන කරුණක්. කවර හෝ හේතු නිසා philanthropic donations ලැබෙන ආයතන වලට මෙය සාර්ථක ව්‍යාපාරික ආකෘතියක්. (මේ හේතු විස්තර කරන්න යන්නේ නැහැ).
මෙයින් oxford university එකේ ප්‍රධාන අරමුණ අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. මේ කොටසෙන් විස්තර කළේ සාමාන්‍ය ව්‍යාපාරික ආකෘතියක මෙය විය හැකි ආකාරයක් පමණයි. oxford university එක ඇතුළු බොහෝ විශ්ව විද්‍යාල වල ආදායමෙන් ටියුෂන් හා පර්යේෂණ ආදායම් එක්ක බැලූ විට philanthropic donations කොටස ඒ තරම්ම විශාල කොටසක් නෙමෙයි. government research grants කියන්නෙත් philanthropic donations වගේම තමයි. පිනට දෙන සල්ලි නෙමෙයි. නිශ්චිත කාර්යයක් සඳහා තරඟකාරී පදනම මත දෙන සල්ලි. මේ research grants ගන්න ඕනෑම සරසවියක් විශාල මහන්සියක් දරනවා. ඒ වෙනුවෙන්ම ආයෝජන කරනවා. උදාහරණයක් ලෙස research grants ගැනීමට මහන්සි වෙන අයට එසේ කිරීම වෙනුවෙන් grant දෙනවා. oxford university එක පවත්වා ගෙන යන්නේ ලාබ ලැබීමේ අරමුණ පෙරදැරිව නෙමෙයි. නමුත් එම ආයතනය ලාබ ලබන ආයතනයක්. අදාළ අරමුණ ඉටුකර ගත හැක්කේ ලාබ ලබන තරමටයි. කෙසේ හෝ ලාබ ලබන එකනම් ලාබ සෙවීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක්වත් නොකරන දෙයක්. ඕනෑම ලාබ ලබන ආයතනයකට ආචාර ධාර්මික සීමාවන් තිබෙනවා. ඊට අමතරව business scope එකකුත් තිබෙනවා. පහත තියෙන්නේ පසුගිය වසර වල oxford university එකේ ලාබ.
2020/21: Surplus before tax - GBP 830.2 million
2019/20: Surplus before tax - GBP 295.1 million
(Continued…)
Part 6
//ධීවර සංස්ථාව අයිති ඔය දෙවනි කොටසට කියලා ඔබට තේරුම් ගන්නට බැරි ඇයි?//
ආයතනයක විෂන් මිෂන් බලා ආයතනය විග්‍රහ කරන්න යාම ගැන කණගාටු වෙනවා. පිටකවරය බලා පොතක් ගැන දැන ගැනීම මම මේ හා සසඳන්නේ නැත්තේ යම් දුරකට එය කළ හැකි නිසයි. ගොඩක් වෙලාවට විෂන් මිෂන් හදන්නේ advertising agency.
ලංකා දුම්කොළ සමාගමේ විෂන් එක "Our vision is to build A Better Tomorrow by reducing the health impact of our business through offering a greater choice of enjoyable products for our consumers." දැන් ඔබ කියන්නේ ලංකා දුම්කොළ සමාගම සිගරැට් හදා විකුණන එක අතුරු කාර්යයක් කියලද? Distilleries Company of Sri Lanka එකේ මිෂන් එකේ කොටසක් "Uplifting the quality of life of our people." ඕවායේ වැරැද්දක් නැහැ කියා පහසුවෙන් තර්ක කරන්න පුළුවන්. නමුත් මේ ආයතන කරන්නේ දුම්වැටි, මත්පැන් විකුණා ලාබ හොයන එක. ප්‍රධාන අරමුණ ඒක. ජාතික ලොතරැයි මණ්ඩලයේ විෂන් එක "The leader creating state investment through the contribution of all communities aimed at socio-economic development of the country." නමුත් ප්‍රායෝගිකව කරන්නේ ලොතරැයි විකුණා පුළුවන් තරම් ලාබ හොයන එක.
පහත තියෙන්නේ ලංකා ධීවර සංස්ථාවේ වෙබ් අඩවියේ ඇති තොරතුරු අනුව එහි කාර්යයන් (https://www.cfc.gov.lk/web/index.php?option=com_content...
.).
“Present Situation - Current Activities
Following are the main business activities being carried out by the Ceylon Fisheries Corporation at present.
Purchase of fish directly from fishermen through our regional offices.
Import of fish.
Distribute and sale of fish at a reasonable rate to the consumers through our retail fish outlets.
Sale of packet fish at a reasonable rate through State Institutions like Lak Sathosa, Co-op Cities etc. to reduce the cost of living of the consumers.
Supply of fish to all Government Hospitals.
Conducting of Mobile fish sales in rural areas.
Conducting of Fish Mela sales in popular towns.
Production and sale of fish fillet.
Production and sale of ice to fisheries sector and other traders.
Providing cold room facilities to fisheries sector and other traders.
Providing processing facilities to foreign fishing vessels.
Purchase of fish from the foreign fishing vessels.”
ඔය ලැයිස්තුව දිගට නොලියා වචන දෙකකින් ලියනවානම් මටනම් සුදුසුම වචන දෙක "මාළු විකිණීම". එයට ඔබ එකඟ නැත්නම් මම තර්ක කරන්න යන්නේ නැහැ. මෙය තර්ක කර එකඟතාවයකට පැමිණිය නොහැකි subjective කරුණක්.
(continued..)
Part 7
//ඇයි මේ state owned enterprises සමාජවාදී/කොමියුනිස්ට් රාමුවකට කොටු කරන්නේ?//
මම දන්නා තරමින් කොමියුනිස්ට් සමාජයක් කියන්නේ මනෝරාජික අදහසක්. කොමියුනිස්ට් සමාජයක රජයක් කියා එකක් නැහැ. ඒ නිසාම state owned enterprises තියෙන්න විදිහකුත් නැහැ. මම සටහනේ කිසිම තැනක ඔය වචනය පාවිච්චි කරලත් නැහැ. (එහෙම කරලනම් කියන්න) කොමියුනිස්ට් කොහොම වුනත් state owned enterprises සමාජවාදී අදහසක්. ධනවාදයට බර තියන රටක රජය විසින් පෞද්ගලික අංශයට කළ හැකි ව්‍යාපාර කිරීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්. එහෙම සිදුවෙනවානම් බොහෝ විට ඒ වෙන්නෙත් (සමාජවාදය නොවුනත්) සමාජවාදී මූලධර්ම මත. නමුත් සමාජවාදී මූලධර්ම ක්‍රියාත්මක වෙන්නෙත් ධනවාදී රාමුවක් ඇතුළේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වන රටවල වෙන්නේ ඒකයි. සමාජවාදී කියන වචනය මම යොදාගත් තැන මතක නැහැ. එසේ යොදාගත්තා වෙන්න පුළුවන්. එහෙම යොදාගෙන ඇත්නම් එහි වරදක් මට පෙනෙන්නේ නැහැ.
සමාජවාදී ආර්ථික ක්‍රමයක් කියන්නේ වෙනම එකක්. ඔබ කියන (මගේ සටහනේම මුලින් විස්තර කළ) දෙවන ආකෘතිය තියෙන්නේත් ධනවාදී රාමුවක් ඇතුළේ. සමාජවාදී ආකෘතිය ඊට වඩා මුළුමනින්ම වෙනස් එකක්. ඒකේ (ආන්තීය තත්ත්වයේදී) පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය බෙදා හැරීම ආදී සියල්ල කරන්නේ රජය. ඒ නිසාම බදු කියා දෙයකුත් නැහැ. බදු මුදලින් නඩත්තු වීම හෝ සුබසාධනය කියා එකකුත් නැහැ. ලංකාවේ සමසමාජ/කොමියුනිස්ට් පක්ෂ වල පරමාදර්ශය වුනේ ඔය ක්‍රමය. දැන් තිබෙන සමහර පක්ෂ තවමත් ඉන්නෙත් ඔතැන. පෞද්ගලික අංශය නැත්තටම නැති කළ නොහැකි වුනත් වාමාංශික සභාග ආණ්ඩු යන්න හදපු තැන ඕක. දැනට ලංකාවේ ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් (මම එකින් එක පරීක්ෂා කර නැහැ) ඔය සමාජවාදී පරමාදර්ශය ඇතුළේ හදපු ආයතන වල ඉතිරි වී තිබෙන නෂ්ඨාවශේෂ මිසක් මම විස්තර කළ දෙවන ආකෘතියේ ආයතන නෙමෙයි. ධීවර සංස්ථාව හැදුවේ ලංකාවේ ධීවර කර්මාන්තයට සම්බන්ධ හැම කටයුත්තක්ම රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ කරන්න. ඒ විදිහටම වැඩ සිදුවුනානම් පෞද්ගලික ධීවර කර්මාන්තයක් කියා එකක් නැහැ. ධීවර කර්මාන්තයත් විදුලි බල සැපයුම් කර්මාන්තය වගේ වෙනවා.
“The Ceylon Fisheries Corporation was established in 1964 under the State Industrial Corporations Act. No.49 of 1957 and commenced its commercial operations in 1965. At the commencement, the objectives of the Corporation covered the entire fisheries sectors. The objectives of the Corporation were given in the Extra Ordinary Gazette Notification, number 14186 01st October 1964 is mentioned below.
The Corporation should directly or through authorized agents engage in fish production using trawlers in deep sea fishing operations.
The Corporation should directly or through authorized agents engage in fish processing (canning and drying, processing) and in the production of fish by products.
The Corporation should directly or through authorized agents engage in the distribution and sale of fish on wholesale and retail basis.
The construction and maintenance of fishery harbours, anchorages inclusive of cold storage rooms.
Import and sales of fishing gear and necessary equipments to the fisheries industry.
The Corporation should act for and on behalf of the Department of Fisheries or any other Government Department for the purpose of development of the fishing industry.
The construction of boats and small ships for the fisheries industry.
To provide facilities for the repairs and maintenance of fishing boats.
Manufacture and sale of fisheries equipments.
The CFC is a Statutory Government Organization, which is fully owned by the State and has it’s unitary status as the apex body of the fisheries industry under the Ministry of Fisheries & Aquatic Resources Development.”
ඔය සමාජවාදී ආයතනික ව්‍යුහය තමයි අද තිබෙන තැන දක්වා රූපාන්තරණය වී තියෙන්නේ. වෙනත් ගොඩක් රාජ්‍ය ආයතන ගත්තත් එහෙමයි (ලංවිම, තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන්). මේ හැම එකක්ම සමාජවාදී මූලධර්ම මත හදපු ආයතන මිසක් oxford university එක වගේ ලිබරල් ආයතන නෙමෙයි. ඉතා පැහැදිලිවම ලංකා ධීවර සංස්ථාව අද කරන මූලික හා ප්‍රධානම කාර්යය මාළු විකුණන එක. ඒක කරන්නේ ලාබ ලබන්න. එය explicitly කියපු අවස්ථා තිබෙනවා. විස්තර ලියන්න ගියොත් තවත් ගොඩක් දිගට යනවා. පහත ලිපිය කියවන්න. මම නිරවද්‍යතාවය තහවුරු කළ කරුණු තිබෙන එකක් නොවුනත්, නිවැරදියි කියා හිතන කරුණු තිබෙන ලිපියක්.

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

වෙබ් ලිපිනය: