වෙබ් ලිපිනය:

Showing posts with label ජනගහණය. Show all posts
Showing posts with label ජනගහණය. Show all posts

Thursday, October 1, 2026

ලංකාවේ ජනගහණය - 2026


මෙම වසරේ මැද (ජූනි 30) දක්වා වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 22,204කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි සුළු වර්ධනයක් දැකිය හැක්කේ  එක දිගට වසර තුනක්ම ජනගහණය අඩු වීමෙන් පසුවයි. මේ අනුව, 2026 ජූනි 30 වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 21,778,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් වාර්තා වී ඇත්තේ 2022 වසරේදීයි. එම වසරේ ජූනි 30 දින වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 22,181,000ක්ව පැවතුණා. එහෙත්, ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රට හැර යාමට පෙළඹීම හේතුවෙන් ඉන් පසු තෙවසර තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් අඩු වන ආකාරය දැකිය හැකිව තිබුණා. 

දෙදහස් විසි දෙක (2022) වර්ෂයේ මැද සිට වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 222,715 දෙනෙකු රට හැර යාම නිසා, එම වසරක කාලය තුළ රටේ ජනගහණය 144,395කින් අඩු වුනා. ඊළඟ වසරක කාලය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් 176,932 දෙනෙකු ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබුණු අතර රටේ ජනගහණය තවත් 120,555කින් පහත වැටුණා. මෙම ප්‍රවණතාව 2024-2025 අතර කාලයේද දැකිය හැකිව තිබුණා. 

රට හැර යන ප්‍රමාණය පහත වැටීම පසුගිය වසරක කාලය තුළ ජනගහණය සුළු වශයෙන් ඉහළ යාමට හේතු වී තිබෙනවා. 2026 ජූනි 30 දක්වා වූ වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබෙන්නේ 23,736 දෙනෙකු පමණයි. එම කාලය තුළ උපත් 215,366ක් සිදු වීම හා මරණ ප්‍රමාණය 169,426කට සීමා වීම නිසා ශුද්ධ වශයෙන් 45,940ක ස්වභාවික ජනගහණ වර්ධනයක් සිදු වී තිබෙනවා. වසර තුළ රට හැර ගොස් ඇත්තේ ඊට අඩු ප්‍රමාණයක් බැවින්, ජනගහණයේ 22,204ක ශුද්ධ වර්ධනයක් දැකිය හැකියි. 

Wednesday, April 22, 2026

සාඵල්‍යතා අනුපාතය සහ ජනවිකාශ ප්‍රවණතා


පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්. 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය පහත වැටී තිබෙන්නේ පහත පරිදියි.

1981: 3.3
2012: 2.4
2024: 1.3

සාඵල්‍යතා අනුපාතය පහත වැටීම, ලංකාවට අනන්‍ය නොවූ, ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය පහත වැටී ඇත්තේ පහත පරිදියි.

1963: 5.3
1970: 4.8
1981: 3.7
1990: 3.3
2000: 2.7
2010: 2.6
2024: 2.2

ඉහත ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය තවමත් 2.1 මට්ටමට වඩා යාන්තමින් වැඩි වුවත්, රටවල් වැඩි ගණනක එම අනුපාතය 2.1 මට්ටමට වඩා අඩුයි. ලෝකයේ සාමාන්‍ය අනුපාතය තවමත් 2.2 මට්ටමේ තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ හා අරාබි ලෝකයේ එම අනුපාත තවමත් ඉහළ මට්ටමක පවතින බැවිනුයි. 

නැගෙනහිර ආසියාව සහ පැසිෆික් දූපත්: 1.3
උතුරු ඇමරිකාව: 1.6
යුරෝපය සහ මධ්‍යම ආසියාව: 1.6
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්: 1.8
දකුණු ආසියාව: 2.0
අරාබි ලෝකය: 3.1
අප්‍රිකාව: 4.3

ලෝකයේ භූගෝලීය කලාප අතරින් අඩුම සාඵල්‍යතා අනුපාත වාර්තා වන්නේ නැගෙනහිර ආසියා කලාපය තුළයි. එම කලාපයේ රටවල් ගණනාවක අඩු සාඵල්‍යතා අනුපාත දැකිය හැකියි. 

දකුණු කොරියාව: 0.7
හොංකොං: 0.8
සිංගප්පූරුව: 1.0
චීනය: 1.0
ජපානය: 1.1

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතීම හේතුවෙන් ජපානයේ ජනගහණය 2010දී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. චීන ජනගහණයද, 2021 වසරේදී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව අඩු වෙමින් තිබෙනවා. 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) බොහෝ විට ලංකාවේ ජනගහණයේ උපරිම අගයයි.

ලංකාවේ විවිධ ජනවර්ග අතරින් අඩුම සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වන්නේ ප්‍රධානම ජනවර්ගය වන සිංහලයින් අතරයි. වැඩිම අනුපාතය ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම් ජනවර්ගය අතරින් වාර්තා වෙනවා. කෙසේ වුවද, එම අනුපාතය පවතින්නේද 2.1 මට්ටමට වඩා අඩු මට්ටමකයි.

සිංහල: 1.2%
ශ්‍රී ලංකා දෙමළ: 1.5%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 1.7%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 2.0%

දිස්ත්‍රික්ක අනුව බලද්දී කොළඹ දිස්ත්‍රික්කයේ සාඵල්‍යතා අනුපාතය 1.0%කට සීමා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අනුපාතය 1.1%ක්. කළුතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල 1.2%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා. ජනගහණය වැඩි නිරිතදිග තෙත් කලාපයේ අඩු සාඵල්‍යතා අනුපාතයන් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල 1.7%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා.

රටේ සාඵල්‍යතා අනුපාතය මේ තරමටම අඩු වීමට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ දරුවන් බිහි කළ හැකි වයසක සිටින කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය පහත වැටීමයි. 2012-2024 අතර වයස අවුරුදු 15 ඉක්මවූ කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය 67.9% සිට 63.6% දක්වා පහත වැටී තිබෙනවා. වයස අවුරුදු 15 ඉක්මවූ විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය 2.7 මට්ටමේ තිබෙනවා. 

විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය:
සිංහල: 2.5%
ශ්‍රී ලංකා දෙමළ: 3.0%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 3.3%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 3.4%
සාමාන්‍ය අගය: 2.7%

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතියද රටක ජනගහණය යම් කාලයක් යන තුරු වර්ධනය විය හැකියි. ඊට හේතුව ජනගහණ වර්ධන ගම්‍යතාවයයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා කාන්තාවක විසින් දරුවන් බිහිකරන සාමාන්‍ය වයස අවුරුදු 25 ලෙසත්, ආයු අපේක්ෂාව අවුරුදු 75 ලෙසත් සලකමු.

පළමු පරම්පරාව:
උපත: 1950
දරුවන් බිහි කිරීම: 1975
සාඵල්‍යතා අනුපාතය: 4.0
අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 2
මරණය: 2025

ගැහැණු දරුවන් හරහා දෙවන පරම්පරාව:
උපත: 1975
දරුවන් බිහි කිරීම: 2000
සාඵල්‍යතා අනුපාතය: 2.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 1
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 1*2 = 2
මරණය: 2050

ගැහැණු දරුවන් හරහා තුන්වන පරම්පරාව:
උපත: 2000
දරුවන් බිහි කිරීම: 2025
සාඵල්‍යතා අනුපාතය: 1.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 0.5
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 0.5*2 = 1
මරණය: 2075

මේ අනුව පෙනෙන පරිදි, 2025 වන විට සාඵල්‍යතා අනුපාතය 1.0 දක්වා අඩු වී තිබුණත්, එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන 0.5ක් පමණක් වුවත්, පළමු පරම්පරාවේ එක් ගැහැණියක මිය යන විට ඒ වෙනුවට එක් ගැහැණු ජනිතයෙකු බිහි වෙනවා. ඒ නිසා, 2000 වන විට සාඵල්‍යතා අනුපාතය 2.0 මට්ටම තෙක් පහත වැටී තිබුණත්, 2025 වන විටද ජනගහණය අඩු වීමක් සිදු වන්නේ නැහැ. එය සිදු වන්නේ 2050දී දෙවන පරම්පරාව මිය යන විටයි. ඒ කියන්නේ සාඵල්‍යතා අනුපාතය අවම මට්ටමට වඩා පහත වැටී වසර 50කට පමණ පසුවයි. 

ඉහත හේතුව නිසා, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝක සාඵල්‍යතා අනුපාතය 2.1 මට්ටමෙන් පහළට වැටීමට නියමිතව ඇතත්, 2084 වසර පමණ වන තුරු ලෝක ජනගහණය වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ජනගහණ වර්ධන ගම්‍යතාවය හේතුවෙන් ලංකාවේ සාඵල්‍යතා අනුපාතය අඩු වුවද රටේ ජනගහණය තවත් කාලයක් යන තුරු වර්ධනය වීමට නියමිතව තිබුණත්, එය එසේ සිදු නොවීමට ප්‍රධානම හේතුව සංක්‍රමණ විශාල ලෙස සිදු වීමයි. 

Saturday, February 14, 2026

ආපසු හැරී ඇති ජනගහණ වර්ධන ප්‍රවණතාව


සංඛ්‍යාලේඛණ අනුව පැහැදිලි ලෙස පෙනෙන පරිදි ලංකාවේ ජනගහණය 2022 වර්ෂයේදී උපරිම අගයකට පැමිණ තිබෙනවා. ඉන් පසුව, 2025 දක්වා පසුගිය වසර තුනේදීම සිදු වී තිබෙන්නේ රටේ ජනගහණය අඩු වීමයි. පසුගිය වසර තුන ඇතුළත රටේ ජනගහණය 425,000කින් පමණ අඩු වී තිබෙනවා. 

කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය මේ තත්ත්වයට දායක වූවා විය හැකියි. කෝවිඩ් වසංගතය නිසා මරණ ප්‍රමාණයේ යම් ඉහළ යාමක් වගේම උපත් ප්‍රමාණයේ අඩු වීමක්ද සිදු වුනා. ආර්ථික අර්බුදය හේතුවෙන්ද උපත් ප්‍රමාණය පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ විවාහ ප්‍රමාණය පහත වැටීම සහ සංක්‍රමණ ඉහළ යාම උපත් ප්‍රමාණය පහත වැටීමට දායක වී තිබෙනවා.

කෙසේ වුවද, කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය පැමිණෙන්නට පෙර සිටම ඉහත ප්‍රවණතාවයන් හඳුනා ගන්න පුළුවන්. කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා සිදුව තිබෙන්නේ කොහොමටත් සිදු වන්නට නියමිතව තිබුණු දෙයක් තරමක් කලින් සිදු වීම පමණයි. ඒ නිසා, මෙම ප්‍රවණතාව ආපසු නොහැරෙන්න පුළුවන්.

ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවතියදී ඉපදුණු, දැනට වයස අවුරුදු 65 ඉක්මවූ පිරිස ඉදිරි දශකයක පමණ කාලය තුළ ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය සම්පූර්ණ කරන බැවින් මරණ අනුපාතිකය ඉදිරි වසර වලදී ඉහළ යෑමට නියමිතයි. ඒ අතරම සංක්‍රමණ දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. 

රටින් සංක්‍රමණය වන්නේ සාපේක්ෂව තරුණ වයසක සිටින අයයි. මේ හේතුව නිසා, එක පැත්තකින් ජනගහණය තුළ අඩු වයස් කාණ්ඩ වල සංයුතිය ක්‍රමයෙන් පහළ යන අතර අනෙක් අතින් රට තුළ උපත් සිදු වීමේ විභවය පහත වැටෙනවා. ඊට අමතරව සංක්‍රමණ මෙන්ම සංක්‍රමණ අභිප්‍රායයන්ද විවාහ වීමේ හා දරුවන් සෑදීමේ සැලසුම් ප්‍රමාද කරනවා. මේ සියලු තත්ත්වයන් සලකා බලද්දී, බොහෝ විට, 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) රටේ ජනගහණයේ උපරිමම අගය වෙන්න පුළුවන්. 


Sunday, November 16, 2025

ලංකාවේ ජනගහණය උපරිම මට්ටම පහු කරලා ඉවරද?


පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින්  21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ වර්ධනය 1,422,361ක් පමණයි.

වඩා වැදගත් කරුණක් වන්නේ මේ වර්ධනයෙන් 79.8%කටම දායක වී තිබෙන්නේ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ගණන 1,135,151කින් ඉහළ යාම වීමයි. මීට සාපේක්ෂව වයස අවුරුදු 15 නොඉක්මවූ ජනගහණය 5,131,666 සිට 4,506,839 දක්වා 20.7%කින් අඩු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයෙක් කියන්නේ 1959දී හෝ ඊට පෙර උපන් අයෙක්. 1959 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 37.0ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. 1960 පමණ සිට මෙම අනුපාතිකය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. 2024 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 9.6 දක්වා අඩු වී තිබුණා. 

එහෙත් මරණ අනුපාතිකය 1959 වන විටද දහසකට 9.1 මට්ටම දක්වා පහත වැටී තිබුණු බැවින් මරණ අනුපාතිකයෙහි ඊට සමාන්තර වේගවත් අඩු වීමක් සිදු වීමේ අවකාශයක් තිබුණේ නැහැ. එම අනුපාතිකය අඩු වූයේ සෙමෙන්. ඒ නිසා, උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩු වුනා. 2024 වන විට ලංකාවේ මරණ අනුපාතිකය දහසකට 7.8ක් වූ අතර උපත් හා මරණ අනුපාතික අතර වෙනස දහසකට 1.8 දක්වා අඩු වී තිබුණා.  

ලංකාවේ ජනගහණය දිගින් දිගටම වර්ධනය වීමට හේතු වූයේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වූ වෙනසයි. එම වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙද්දී ජනගහණ වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වුනා. මේ වන විට ලංකාවේ උපත් හා මරණ අනුපාතික අතර වෙනස රටේ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද ඉක්මවා පහත වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය වනුයේ රටේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි. 

ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවති 1960ට පෙර කාලයේදී ඉපදුනු අය මේ වන විට වයස අවුරුදු 65 ඉක්මවා සිටින අයයි. ලංකාවේ අපේක්ෂිත ආයු කාලය ආසන්න වශයෙන් වසර 78ක් පමණ වන බැවින් ඉදිරි කාලයේදී මරණ අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වෙනස ඉදිරි වසර කිහිපය තුළ තවත් අඩු විය හැකියි. එමෙන්ම, ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද තවත් කාලයක් යන තුරු ධන අතට හැරීමේ විභවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, පසුගිය සංගණනයේදී ගණන් ගැනුණු ලංකාවේ ජනගහණය බොහෝ විට ලංකාවේ සංගණනයකදී ගණන් ගැනුණු වැඩිම ජනගහණය විය හැකියි.

සංගණනය පැවැත්වූ දින සිට 2025 ජූනි 30 දක්වා වූ මාස හයකට මදක් වැඩි කාලය ඇතුළත රට තුළ උපත් 110,652ක් හා මරණ 95,181 සිදු වෙද්දී, ශුද්ධ වශයෙන් 41,002 දෙනෙකු රටෙන් පිටතට සංක්‍රමණය වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංගණන මොහොතේ සිට 2025 ජූනි 30 දක්වා කාලය ඇතුළත ලංකාවේ ජනගහණය 25,531කින් පහත වැටී තිබෙනවා. 

Friday, October 31, 2025

ලංකාවේ වාර්ගික හා ආගමික සංයුතිය

පසුගිය (2024) වසරේදී පැවැත්වුණු ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික සංයුතිය පිළිබඳ යාවත්කාලීන දත්ත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2012 සංගණන අවස්ථාවේදී පැවති තත්ත්වයට සාපේක්ෂව, සිංහල ප්‍රතිශතය 0.8%කින් අඩු වී, මුස්ලිම් ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අතරම, ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් ඉන්දියානු දෙමළ ප්‍රතිශතය 1.3%කින් පහත වැටී තිබෙනවා. කෙසේ වුවද, දෙමළ කණ්ඩායම් දෙක අතර මෙම වෙනසට හේතුව සේ පෙනෙන්නේ මීට පෙර ඉන්දියානු දෙමළ සේ තමන්ව හඳුනාගත් සැලකිය යුතු පිරිසක් මේ වන විට තමන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික දෙමළ සේ සැලකීම බවයි පෙනී යන්නේ. කොටස් දෙකම සැලකූ විට දෙමළ ප්‍රතිශතයේ ලොකු වෙනසක් දැකිය නොහැකියි.

පහත තිබෙන්නේ මේ වන විට ලංකාවේ වාර්ගික සංයුතියයි.

සිංහල - 74.1%

ශ්‍රී ලංකා දෙමළ - 12.3%

ඉන්දියානු දෙමළ - 2.8%

මුස්ලිම් - 10.5%

වෙනත් - 0.3%

ආගමික සංයුතියේ වෙනස් වීම පිරික්සද්දී, බෞද්ධ ප්‍රතිශතයේ 0.3%ක අඩු වීමක්ද, රෝමානු කතෝලික ප්‍රතිශතයේ 0.8%ක අඩුවීමක්ද දැකිය හැකියි. හින්දු ප්‍රතිශතයෙහි වෙනසක් සිදු වී නොමැති අතර ඉස්ලාම් ප්‍රතිශතය 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.

බෞද්ධ - 69.8%

හින්දු - 12.6%

ඉස්ලාම් - 10.7%

රෝමානු කතෝලික - 5.6%

වෙනත් ක්‍රිස්තියානි - 1.3%

ඉහත රටාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන්ද එලෙසම මෙන් නිරීක්ෂණය කළ හැකියි. අදාළ සංඛ්‍යලේඛන මේ සමඟ පළ කෙරෙන වගු දෙකෙහි තිබෙනවා.

Tuesday, April 8, 2025

සංගණන ප්‍රතිඵල සහ ඒක පුද්ගල ආදායම


පසුගිය වසර අවසානයේදී පැවති ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව 2024 දෙසැම්බර් 19 දිනය උදා වන මොහොතේ (එනම් 2024 දෙසැම්බර් 18 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ) ලංකාවේ ජනගහණය  21,763,170ක් ලෙස ගණනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සංගණනයක් පවත්වන්නේ වසර 10කට පමණ කාලාන්තරයකට පසුවයි. මීට පෙර මෙවැනි සංගණනයක් පැවැත්වූයේ 2012 මාර්තු 20 දිනයි (2012 මාර්තු 19 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ). ඒ වන විට ලංකාවේ ජනගහණය 20,359,439ක්.

අන්තර් සංගණන වර්ෂ වලදී රටේ ජනගහණය ඇස්තමේන්තු කරන්නේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම් සහ ශුද්ධ විදේශගත වීම් සැලකිල්ලට ගනිමිනුයි. මේ අනුව, උපත් හා ආගමන ප්‍රමාණයෙන් මරණ හා විගමන ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන පිළිතුර ජනගහණයේ වෙනස සේ සැලකෙනවා. එහෙත් මෙම නිල සංඛ්‍යාලේඛණ සියයට සියයක්ම නිවැරදි නොවන නිසා වසර දහයක් පමණ ගොස් සංගණනයක් කළ විට දැන ගන්නට ලැබෙන රටේ සැබෑ ජනගහණයේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවට හරියටම සමාන වන්නේ නැහැ.

සංගණන ප්‍රතිඵල නිකුත් වීමට පෙර සකස් කර තිබුණු ඇස්තමේන්තු අනුව 2024 වසර මැද ලංකාවේ ජනගහණය ආසන්නව 21,916,000ක්. එහෙත්, සංගණන ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ජනගහණය ඊට වඩා ලක්ෂ එක හමාරකින් පමණ අඩු බවයි. මෙය 0.7%ක පමණ අඩුවක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516ක් සේ ගණනය කර තිබුණේ ජනගහණය 21,916,000ක් යන පදනම මතයි. රටේ ජනගහණය 21,763,170ක් සේ සැලකුවහොත්, ඒක පුද්ගල ආදායම ඩොලර් 4,548ක් පමණ විය යුතුයි. 

Monday, March 18, 2024

ලංකාවේ ජනගහණය අඩු වෙයි!


රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි. 

රටක ජනගහණය වෙනස් වීමට හේතු වන කරුණු හතරක් තිබෙනවා. ඒ උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය, රටින් පිටවූ ප්‍රමාණය හා රටට පැමිණි ප්‍රමාණයයි. මේ අනුව, කිසියම් කාලයක් තුළ රටක ජනගහණය වෙනස් වීම පහත ආකාරයෙන් ගණනය කළ හැකියි.

ජනගහණයේ වෙනස් වීම = උපත් ප්‍රමාණය - මරණ ප්‍රමාණය - රටින් පිටවූ ප්‍රමාණය + රටට පැමිණි ප්‍රමාණය

ලංකාවේ නීතිය අනුව උපත් හා මරණ ලියාපදිංචි කළ යුතු අතර රටින් පිටවීමේදී හා රටට පැමිණීමේදී ආගමන විගමන නීති අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා, ජනගහණයේ වෙනස් වීම සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි. 

සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට සිදුවන උපත් ප්‍රමාණය වසරකට සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි නිසා රටට පැමිණෙන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රටින් පිටව නොගියහොත් ජනගහණය වර්ධනය වෙනවා. ඇතැම් වසර වලදී රටට පැමිණෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටින් පිටව යන නමුත් එම සංඛ්‍යා අතර වෙනස උපත් හා මරණ ප්‍රමාණ අතර වෙනසට වඩා අඩුයි. එමෙන්ම, 2015-2018 අතර කාලයේදීත් ඉන් පසුව 2020/21 වසංගත කාලය තුළත් සිදු වූයේ රටෙන් පිටව යන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටට පැමිණීමයි. 

ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ශ්‍රී ලාංකිකයින් රටෙන් පිටව යාම විශාල ලෙස ඉහළ ගියා. ඊට අමතරව, උපත් ප්‍රමාණය අඩු වීම සහ මරණ ප්‍රමාණය ඉහළ යාමද ජනගහණ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා. 

බොහෝ දෙනෙකුගේ අදහස් අපේ මතයට වඩා වෙනස් විය හැකි වුවත්, අපගේ අදහස වනුයේ වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් විදේශගත වීම රටට නරක දෙයක් නොවන බවයි. අප එසේ සිතන්නේ ඔවුන් රටට විදේශ විණිමය එවනු ඇතැයි යන අදහසින් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ වල සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙනවා.

ලංකාව ප්‍රාග්ධනය හිඟ රටක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. රටක ප්‍රාග්ධන අවශ්‍යතාව හෝ ප්‍රාග්ධන හිඟය ගැන කතා කළ හැක්කේ ඒ රටේ මානව සම්පත් ප්‍රමාණයට සාපේක්ෂවයි. ලංකාව සතු මානව ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා වැඩි භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් නොලැබෙන්නේ මේ හේතුව නිසා. භෞතික ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් මානව ප්‍රාග්ධනය වර්ධනය වෙද්දී තරඟය ඉහළ යාම නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පහළ යනවා. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සාපේක්ෂව අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නිසා. 

ලංකාවේ ප්‍රාග්ධන හිඟය වෙනත් ආකාරයකින් විග්‍රහ කරමින්, රටේ දැනට තිබෙන භෞතික ප්‍රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධන අතිරික්තයක් ඇති බව කියන්නත් පුළුවන්. ඒ නිසා, එම මානව ප්‍රාග්ධන සංචිතය අඩු වීම රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රටින් පිටවීම රටට හානියක් නෙමෙයි. ඒ වගේම, ඒ හරහා ගොඩ නැගෙන සම්බන්ධතා ලංකාවට දිගුකාලීන වාසියක්.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහණය සෑම වසරකම මෙන් වර්ධනය වන නිසා රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන්නේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකින්. එහෙත්, ජනගහණය අඩු වෙද්දී රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ඒ අතරම, ශ්‍රමය සඳහා වන තරඟය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ශ්‍රමයේ පංගුව ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකියි.

වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමිකයින් විදේශ ගත වීම් ප්‍රවර්ධනය කරමින් සිටින බව පෙනෙනවා. මෙම ප්‍රතිපත්තිය ඇතැම් අයගේ විවේචන වලට බඳුන්ව ඇති බවද දැකිය හැකියි. කෙසේ වුවත්, ජාජබ වැනි පක්ෂ විසින්ද මේ අයුරින් වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් රට පැටවීමේ වැදගත්කම ආර්ථික අර්බුදයට පෙර සිටම හඳුනාගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූ විට පැහැදිලි වෙනවා. ධීවර කාර්මිකයින්ගේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමිකයින් දක්වා පිරිස් රජය මැදිහත් වී රට පැටවීම ජාජබ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ කොටසක්. එම පක්ෂයේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇතත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ ජාජබ ප්‍රතිපත්ති සමපාත වන මෙවැනි තැන්ද ගණනාවක් හඳුනා ගත හැකියි.

වෙබ් ලිපිනය: