වෙබ් ලිපිනය:

Showing posts with label පරිභෝජනය. Show all posts
Showing posts with label පරිභෝජනය. Show all posts

Thursday, January 26, 2023

ණය ගත්ත අය වැරදිද?


ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ දන්න නිසාත්, පොදු අවකාශයකට එකතු කරලා තිබුණත් මේවා පෞද්ගලික තොරතුරු නිසාත්, මම නැවත ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. 

මේ සමහර අය කවුද? 

මේ ගොඩේ ඉන්නේ පොදු අරමුදල් වලින් රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න වෘත්තිකයෝ. ඒ අයට බදු කැපිල්ල දරුණුවටම බලපාලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 

මාසයකට රුපියල් 115,000ක් උපයන අයෙක් කියා කියන්නේ ලංකාවේ ආදායම් උපයන්නන් අතර ඉහළම 5%ට අයිති කෙනෙක්. මාසයකට රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න අයෙක් කියා කියන්නේ බොහෝ විට ආදායම අනුව ඉහළම 1%ට අයත් වෙන කෙනෙක්. දැන් මේ බදු වැඩි කිරීමෙන් පස්සේ ජීවත් වෙන්න අමාරුයි කියා කියන්නේ එහෙම අය. 

මේ ගැන පළවන අදහස් වල පැහැදිලි බෙදීමක් දකින්න පුළුවන්. සමහර අය බදු ඉහළ දැමීම විවේචනය කරමින් එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරනවා. තවත් අය බදු වැඩි කිරීම ගැන කණස්සල්ලෙන් කතා කරන අයගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය විවේචනය කරමින් කතා කරනවා. වැරැද්ද ණය ගත්ත අයගේද? එහෙම නැත්නම් ආණ්ඩුවේද?

මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා, අපි නිගමන වලට යන්නේ නැතුව දෙපැත්තම කතා කරමු. ඊට කලින් අපි අදාළ ආදායම් කාණ්ඩයට බදු සංශෝධනයේ බලපෑම කුමක්ද කියා විමසා බලමු.

මාසික ආදායම - රුපියල් 400,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 9,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 70,500යි.

මාසික ආදායම - රුපියල් 500,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 15,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 106,500යි.

රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ලබන කෙනෙක් රුපියල් 106,500ක් බදු ගෙවුවත් තව රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් ඉතිරි වෙනවා. EPF හා ETF වලට 15%ක් අයින් කළත්, ලක්ෂ තුනකට වඩා අතේ ඉතිරි වෙනවා. එහෙමනම්, ජීවත් වෙන්න විදිහක් නැති කතාව මොකක්ද?

මෙතැන ප්‍රශ්නය ලක්ෂ තුනකට වඩා ණය ගෙවන්න සිදු වී තිබීමයි. මේක බොරු කතාවක් නෙමෙයි. ඕක තමයි ඔය වගේ ආදායමක් උපයන ගොඩක් ලාංකිකයන්ගේ ඇත්ත තත්ත්වය. මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය, මේ විදිහට ණය වුන එකේ වැරැද්ද කාගේද? 

ලක්ෂ පහක මාසික වැටුපක් හා ලක්ෂ හතරක මාසික වැටුපක් ගන්න වෘත්තිකයින් යුවලක් ගැන හිතමු. ඔහොම අය ඉන්නවනේ. දැන් මේ යුවලට මාසයකට අතට ලැබෙන මුදල එක පාරටම රුපියල් 177,000කින් අඩු වෙලා. රුපියල් 177,000ක් කියන්නේ ගෙයක් වාහනයක් (වාහන දෙකක්) තියෙන කෙනෙකුට ණය ගෙවීම් හැර කෑම බීම, ඉන්ධන, බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලොකු අසනීපයක් හැදුනේ නැත්නම් සෞඛ්‍ය වියදම් ආදී සියල්ල වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්. ඔය තරමේ ආදායමක් උපයන යුවලක් එදිනෙදා වියදම් වලට රුපියල් ලක්ෂ දෙකක් වගේ මුදලක් තියා ගෙන ඉතිරි කොටස් ඉඩම්, ගෙවල්, වාහන වගේ දේවල් වෙනුවෙන් යට කරන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද එදිනෙදා වියදම් වලට මාසයකට රුපියල් ලක්ෂ දෙකක් තියා ගත්තහම හොඳටම ඇති.

දැන් එක පාරටම කලින් ගාණට වඩා රුපියල් 177,000ක් වැඩියෙන් බදු ගෙවන්න වුනහම අතට ඉතුරු වෙන්නේ රුපියල් 23,000ක් පමණයි. ඕකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා, මේ කණස්සල්ල ඉතාම සාධාරණයි. දැන් මෙතැන වැරැද්ද ණය වෙලා ඉඩම්, ගෙවල්, වාහන ගත්ත එකද? බංකොලොත් වෙන තරමට රට ණය වුනේ මිනිස්සු ඔය විදිහට ණය වුන නිසාද?

ඇත්තටම මේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්නයේ පිළිබිඹුවක්. පැහැදිලි කර ගන්න තියෙන්නේ ප්‍රශ්නයේ මුල ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයද නැත්නම් සාර්ව ආර්ථික ප්‍රශ්නයද කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, මිනිස්සුන්ගේ අධිපරිභෝජනය නිසා රට ණය වුනාද නැත්නම් රට ණය වුනු නිසා මිනිස්සු අධිපරිභෝජනයට පෙළඹුණාද?

පළමුවැන්න වුනා කියලා කියන්න සහ කතාවක් ගොතන්න ලේසියි. නමුත් ඇත්තටම පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඇත්තම ඔය ණය වෙච්ච මිනිස්සු අහිංසකයි. 

මෙහි ස්වායත්ත ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමාජවාදී හා ආගමික අදහස් නිසා ඇති වූ, කලාව හරහා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කෙරුණු, දෘෂ්ඨිවාදයේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. කොහෙන් හෝ එදිනෙදා හොයා ගන්න දෙයක් කාලා බීලා වියදම් කරලා ආතල් එකක් ගන්න, හෙට ගැන නොහිතන බොහීමියානුවා පට්ට වීර චරිතයක්. නොකා නොබී ඉතිරි කරන මුදලාලි මෙලොව වගේම එලොවත් නැති කර ගත්ත සමාජයට කිසිම වැඩක් නැති මසුරෙක්. ඕක තමයි කලාව හා සාහිත්‍යය හරහා ප්‍රවර්ධනය කරන දෘෂ්ඨිවාදය. මේ හා අදාළව කතා කරන්න තව වැඩිපුර දේවල් තිබුණත්, ඒක අවශ්‍ය නොවන්නේ ඇත්ත ප්‍රශ්නය මේක නොවන නිසා. 

ඉහත දෘෂ්ඨිවාදය නිසා ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, මිනිස්සු ණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා රට ණය වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, ඉහත දෘෂ්ඨිවාදය වෙනස් කළ හැකි මානසික මෙහෙයුමකින් රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳන තුරු, දෘෂ්ඨිවාදය වෙනස් කරන මෙහෙයුම් වලින් අඩු වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය වුනත් විසඳන්න බැහැ. එක්කෙනෙක් ඊනියා පරිභෝජනවාදයෙන් ඉවත් වෙද්දී අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් ඒ අඩුව පුරවනවා. 

ලාංකිකයින්ගේ අධිපරිභෝජනය සැබෑවක් වුවත්, එය සාර්ව ආර්ථික අසමතුලිතතා වල පිළිබිඹුවක් මිසක් ඊට හේතුව නෙමෙයි. සාර්ව ආර්ථික අසමතුලිතතා නැති කළොත් ඊනියා අධිපරිභෝජනයත් නැති වෙනවා. ඕක අනෙක් පැත්තට වෙන්නේ නැහැ. 

ණය වෙලා පරිභෝජනය කරනවද එහෙම නැත්නම් පරිභෝජනය සීමා කරලා ඉතිරි කරනවද කියන එක පෞද්ගලික තේරීමක්. පෞද්ගලික තේරීමක් කියා කිවුවත්, මේක සෑහෙන තරමකින් පුද්ගලයෙකුගේ පුද්ගලභාවය එක්ක සම්බන්ධ වන දෙයක්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ කොටසක්. ඇතැම් විට උපදින කොටම යම් තරමකින් ජාන වලින්ම තීරණය වී තිබෙන දෙයක්. ඉපදුනාට පස්සේ හැදෙන පරිසරය එක්ක, පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙද්දීම ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තමන් ණය ගන්නෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සවිඥානිකව පාලනය කරන්න අමාරුයි. ඒ හේතුව නිසාම තමන්ට සාපේක්ෂව බලලා වෙනත් අයව විවේචනය කරන එකත් නිවැරදි නැහැ. කොයි තරම් අමාරු තත්ත්වයකදී වුනත් සමහර අයට ණය වෙන්න හිත හදා ගන්න අමාරුයි. තවත් අයට කොයි තරම් ආදායම ඉහළ ගියත් ණය නොවී ඉන්න අමාරුයි. මේවා යම් තරමකින් නළලේ කෙටිලා තියෙන දේවල්. 

ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් තීරණය වෙන්නේ ඔය පුද්ගල බද්ධ තත්ත්වයන් එක්කයි. ඇතැම් අය අනාගතයට සාපේක්ෂව වර්තමානයට වැඩි බරක් තබනවා. එවැනි අය ණයකාරයෝ වෙනවා. තවත් අය වර්තමානයට අඩු බරක් තියලා අනාගතයට වැඩි බරක් තියනවා. ඒ අය ණයහිමියෝ වෙනවා. හැබැයි මේ කාණ්ඩ දෙක ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. පුද්ගලයෙක් අනාගතයට සාපේක්ෂව වර්තමානයට කොයිතරම් බරක් තියනවද කියන එක සන්තතික විචල්‍යයක්. ඒ කියන්නේ මේක දර්ශකයක් ලෙස සැලකුවොත් 0 සහ 100 අතර හැම තැනකම කවුරු හරි ඉන්නවා. 100 කිට්ටුව ණයකාරයෝ. 0 කිට්ටුව ණයහිමියෝ. 

මිනිස්සුන්ට ණය ගන්න අවශ්‍ය වුනා කියලා එපමණකින්ම ණය ගන්න බැහැ. ණය දෙන්නත් කවුරු හරි ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැදිහත්වීමක් නැත්නම් ඔය දෙපැත්ත අනිවාර්යයෙය්න්ම තුලනය විය යුතුයි. පෙර කී දර්ශකයට ගියොත්, 51-100 අතර අය ණයකාරයෝ වෙනවා. 0-50 අතර අය ණයහිමියෝ වෙනවා. වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ නිසා, රට ණය වෙන්නේ නැහැ. 

දෘෂ්ඨිවාදයේ වෙනස්කම් ඉහත කී සාර්ව ආර්ථික තුලනය කෙරෙහි බලපාන්නේ නැහැ. මොකද මොන තත්ත්වය යටතේ වුවත් රටේ 50%ක් ණයකාරයෝ. ඉතිරි 50% ඉතිරිකරන්නෝ. දෘෂ්ඨිවාදය විසින් කරන්නේ ඔය ගොඩවල් වල ඉන්න පුද්ගලයින් එහාමෙහා කරන එක පමණයි. ගොඩවල් වල ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. මොකද ණය දෙන්නෝ නැතුව ණය ගන්නා අය නැහැ. 

සල්ලි අච්චු ගැසීමත් එක්ක, එහෙම නැත්නම් බැංකු පද්ධතිය විසින් මුදල් සැපයුම වැඩි කිරීමත් එක්ක, ඉහත සමතුලිතතාවය වෙනස් වෙනවා. මොකද දැන් ණය ගන්නන් තරමටම ණය දෙන්නන් අවශ්‍ය වන්නේ නැහැ. අලුතෙන් මුදල් නිර්මාණය වෙද්දී අලුතෙන් ණය නිර්මාණය වීමක් සිදු වෙනවා. 

අපි හිතමු ඉහත දර්ශකයේ 0-100 අතර සිටින එක් එක් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂය බැගින් ණය ගන්නවා හෝ දෙනවා කියලා. මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැත්නම්, ණය ගන්නෝ ලක්ෂ 50ක ණය ගන්නවා. ණය දෙන්නෝ එම ලක්ෂ 50ක ණය ප්‍රමාණය දෙනවා. ඉල්ලුම හා සැපයුම අනුව පොලී අනුපාතිකය තීරණය වෙනවා. ඒ පසුබිමේ තිබෙන ප්‍රධාන සාධකය මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ අනාගත පරිභෝජනයට සාපේක්ෂව වර්තමාන පරිභෝජනය කොයි තරම් වටිනවාද කියන එක. මේකත් මැද සිටින, ඒ කියන්නේ දර්ශක අගය 50 වූ පුද්ගලයාගේ කාල වටිනාකම. 

දැන් ඔය වගේ සමතුලිත ආර්ථිකයකට අලුත් සල්ලි රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඉතිරි කරන්නෝ ප්‍රමාණය 40ට බහිනවා. ණය ගන්නන් ප්‍රමාණය 60 දක්වා ඉහළ යනවා. ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 60යි. නමුත්, ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක් පමණයි. අඩු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු, එසේ නැත්නම් බැංකු පද්ධතිය විසින් මවපු සල්ලි. 

ඒ විතරක් නෙමෙයි. දැන් පොලී අනුපාතික තීරණය කරන්නේ ඉහත දර්ශකයේ 50 මට්ටමේ හිටපු පුද්ගලයා නෙමෙයි. 40 මට්ටමේ ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයාගේ කාල වටිනාකම අඩුයි. ඒ නිසාම, සමතුලිත පොලී අනුපාතිකයත් අඩුයි. අනෙක් පැත්තෙන් උද්ධමන අපේක්ෂා ඉහළයි. මේ තත්ත්වය එක්ක ණය ගන්න එක කලින්ට වඩා ආකර්ශනීයයි. ණය දෙන එක පාඩුයි. කලින් ණය දුන් දහ දෙනෙක් දැන් ණයකාරයින් වී සිටින්නේ ඔය නිසා.

මුදල් සැපයුම වැඩි කිරීම වේගවත් වන තරමට, පොලී අනුපාතික අඩු වන තරමට, ඔය සමතුලිතාවය 0 පැත්තට විතැන් වෙනවා. ණයකාරයෝ වැඩි වෙනවා. ඉතිරි කරන්නෝ අඩු වෙනවා. මුදල් සැපයුම හා පොලී අනුපාතික නිවැරදි වන තුරු මිනිස්සුන්ට පරිභෝජනය සීමා කරන්න උපදෙස් දුන්නා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

ලංකාවේ ප්‍රශ්නයේ පළමු කොටස තියෙන්නේ ඔතැන. සෑම වසරකම සැලකිය යුතු ලෙස මුදල් සැපයුම ඉහළ යද්දී, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික පහළින් තියෙද්දී, ණයකාරයෝ බෝ වෙනවා. ඉතිරි කරන්නෝ වඳ වෙනවා. ඒක මිනිස්සුන්ගේ වැරැද්දක්ම නෙමෙයි. 

ප්‍රශ්නයේ දෙවෙනි කොටස විදේශ ණය. අපි හිතමු රුපියල් ලක්ෂ 20කින් මුදල් සැපයුම වැඩි කරන අතර තව රුපියල් ලක්ෂ 20ක විදේශ ණය ගත්තා කියලා. දැන් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 70 දක්වා ඉහළ යනවා. ඉතිරි කිරීම් රුපියල් ලක්ෂ 30 දක්වා පහළ යනවා. අඩු රුපියල් ලක්ෂ 40න් රුපියල් ලක්ෂ 20ක් විදේශ ණය. ඉතුරු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු හෝ මවපු රුපියල්. විදේශ ණය සහ මුදල් මැවීම තවත් ටිකක් වැඩි කළොත් රටම ණයකාරයෝ වෙලා ඉතිරි කරන්නෝ නැත්තටම නැති වෙලා යන්න වුනත් පුළුවන්. ඔය වගේ සාර්ව ආර්ථික තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් ඉතිරි කරන්නෙක් නොවී ණය ගන්නෙක් වෙනවා. 

විදේශ ණය ගනිද්දී තවත් දෙයක් වෙනවා. ණය විදිහට ගන්න ඩොලර් වෙළඳපොළේ විකුණලා රුපියල් කරද්දී ඩොලර් එකේ මිල බහිනවා. ආනයන ලාබ වෙනවා. ඊට පස්සේ ණය ගන්නවාට අමතරව, ණය අරගෙන වැඩි වැඩියෙන් ආනයන කරන එකත් ප්‍රවර්ධනය වෙනවා. 

රුපියල් ලක්ෂ හතර පහක වැටුප් ලබන අය වියදමට ලක්ෂයක් දෙකක් පමණක් තියාගෙන ඉතිරි කොටස යොදාගෙන ගෙවන්න ණය අරගෙන තියෙන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. ණය වෙලා වාහන, ගෙවල් ගොඩ ගහගෙන ඉන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. එහෙම නොකරපු අයයි ඇත්තටම තාර්කික නොවන තීරණ අරගෙන තියෙන්නේ. මොකද පැවති තත්ත්වයන් තුළ ඉතිරි කරන්නා මෝඩයෙක්. ණය නොගන්නා පුද්ගලයා මෝඩයෙක්.

පසුගිය බදු කැපිල්ලට පෙර, 2019දී රුපියල් ලක්ෂ හතර හා පහ බැගින් මාසික වැටුප් ලැබූ අයට පිළිවෙළින් රුපියල් 42,000 සහ 66,000 ලෙස බදු ගෙවන්න සිදු වී තිබුණා. ඒ අනුව, දැන් වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙන මුදල රුපියල් 69,000ක්. නමුත්, 2020 බදු කැපිල්ලෙන් පසු මෙම බදු මුදල පිළිවෙලින් රුපියල් 9,000 හා 15,000 දක්වා අඩු වුනා. ඒ කියන්නේ රුපියල් 85,000ක ඉතිරියක්. 

ඉහත පරිදි බදු කැපිල්ල හරහා වැය කළ හැකි ආදායම ඉහළ යද්දී එයට අනුරූපව පරිභෝජනය ඉහළ නොදැමුවේනම් දැන් සිදුකර තිබෙන බදු වැඩි කිරීම මේ තරම් දරුණු ලෙස දැනෙන එකක් නැහැ. නමුත්, බදු කැපිල්ල සිදු කළේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනයි. එම ප්‍රතිපත්තියට අනුරූපව මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළනු ලැබුවා. ඒ මගින්, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරුණා. ඒ අනුව, බදු කැපිල්ලෙන් පසුව, පසුගිය දෙවසර තුළ බොහෝ දෙනෙකු තව තවතවත් ණය වී ඇති බව පැහැදිලියි. ලංකාව ආසියාවේ ඓශ්චර්යය වී රටේ මෙන්ම තමන්ගේද ආදායම් ඉහළ යද්දී ගත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි මේ අය සිතන්නට ඇති.

ඓතිහාසික තොරතුරු දෙස බැලුවොත්, බදු සීමා ලිහිල් කිරීම මිස දැඩි කිරීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා, ලබා දුන් බදු සහන ආපසු හැරවෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් නොසිතන්නට ඇති. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පීඩාවට පත්ව සිටින්නේ තමන්ගේම වැරදි මූල්‍ය කළමනාකරණය නිසා නෙමෙයි. රටේ කාලයක් තිස්සේ පැවති අසංගත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිසා.

ඒ අය පැවති සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරු. හැබැයි එහෙමයි කියලා ඒ වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි නොකර වෙන කළ හැකි දෙයකුත් නැහැ. මොකද රජය හිර වෙලා ඉන්න හිරවිල්ල මිනිස්සුන්ගේ හිරවිල්ලට වඩා ගොඩක් දරුණු හිරවිල්ලක්.  

මේ වගේ හිර වෙලා අයට දැන් කරන්න පුළුවන් කුමක්ද? රජයට කරන්න වෙලා තියෙන දෙයම තමයි. ණය ගෙවන්න බැරි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවානම්, ගත්ත ණය ඵලදායී නොවන වත්කම් වල හිර වෙලානම්, එකම විසඳුම එම වත්කම් විකුණන එක. ඒක කරන්න හිත හදාගන්න බැරිනම් වෙන්නේ තව තව හිරවෙන එක විතරයි. 

Monday, June 6, 2022

උද්ධමනය කාටත් දැනෙන්නේ එක විදිහටද?

පසුගිය මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 39.1% මට්ටමේ පැවතුණා. ඇතැම් අය කියන්නේ "මහ පොළොවේ" පෙනෙන උද්ධමනය මීටත් වඩා වැඩි බවයි. නිසි ක්‍රමවේදයකට ගණනය නොකර මහ පොළොවෙන් හෝ වෙනත් විකල්ප ක්‍රම වලින් උද්ධමනය හොයා ගන්න යාම සාර්ථක ප්‍රවේශයක් නොවන බව මම කලින් පැහැදිලි කර තිබෙනවා. එසේ වුවත්, උද්ධමනය 39.1% යන්නෙන් අදහස් වෙන්නේ හැමෝටම උද්ධමනය දැනෙන්නේ එක විදිහට කියන එක නෙමෙයි.

උද්ධමනය ගණනය කරන්නේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ පරිභෝජන රටාව මත පදනම්වයි. එහෙත්, කිසියම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් සැලකූ විට පරිභෝජන රටාව මේ සාමාන්‍ය රටාවට හරියටම සමාන වෙන්නේ නැහැ. කවදාවත් ගෑස් වලින් උයපු නැති ගෙදරකට ගෑස් මිල වැඩි වීම දැනෙන්නේ නැහැ. ඉන්ධන මිල ඉහළ යාම මුලින්ම දැනෙන්නේ වාහන තිබෙන අයට. පසුව බස් ගාස්තු වැඩි කළ විට එය දැනෙන්නේ බස් වල යන අයට. එකිනෙකාගේ පරිභෝජන රටා අනුව කෙනෙකුට දැනෙන උද්ධමනය වෙනස්.

පහළම ආදායම් ස්ථර වල අය තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ආහාර වලට. ආදායමක් නැතත් ණය වෙලා හරි මොනවා හෝ නොකා ජීවත් වෙන්න බැහැ. මිනිස්සු වෙන දේවල් කරන්න හිතන්නේ බඩ පිරුණට පසුවයි. ආදායම ඉහළ යද්දී මිනිස්සු ආහාර සඳහා වැය කරන වියදම්ද ඉහළ දමන නමුත් ලැබෙන අමතර රුපියලකින් ආහාර සඳහා වැය කරන මුදල එන්න එන්නම අඩු කරනවා. ඒ නිසා, ආදායම ඉහළ යද්දී ආහාර පරිභෝජනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වෙනවා.

මේ විදිහට ආදායම් ඉහළ යද්දී ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වන අතර ආහාර නොවන පරිභෝජන වියදම් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි යම් ආදායම් මට්ටමකින් පසුව මේකත් නවතිනවා. එවැනි ඉහළ ආදායම් මට්ටමකදී මිනිස්සු පරිභෝජනය තවත් වැඩි නොකර ආයෝජන වැඩි කරනවා. පහත රූප සටහනෙන් මෙය පැහැදිලිව දැකිය හැකියි.

ලංකාවේ පහළම ආදායම් ස්ථරය තමන්ගේ ආදායමෙන් 76.2%ක්ම ආහාර සඳහා වැය කරනවා. අනෙකුත් වියදම් 48.6%ක්. මේ දෙකේ එකතුව 124.8%ක්. ඒ කියන්නේ 24.8%ක් ණය වෙලා හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන්න ඕනෑ. නමුත්, රටේ ඉහළම ආදායම් ස්ථරය ආහාර වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 12.7%ක් පමණයි. අනෙකුත් පරිභෝජන වියදම් වෙනුවෙන් 58.9%ක් වැය කරනවා.එකතුව 71.6%යි. ඒ කියන්නේ ඉතිරි කොටස ආයෝජනය කරනවා කියන එකයි.

පසුගිය මාසයේ උද්ධමනය 39.1% වුවත් ආහාර උද්ධමනය 57.4% තරම් ඉහළ මට්ටමක තිබුණා. මෙහි බලපෑම පහළම ආදායම් කාණ්ඩයට ඉතා දරුණුවට දැනෙන බව පැහැදිලි විය යුතුයි. නමුත්, ඉහළම ආදායම් කාණ්ඩයට මෙය ලොකුවට දැනෙන්නේ නැහැ. ආහාර හා අනෙකුත් භාණ්ඩ හා සේවා පරිභෝජනය ක‍රන අනුපාතයේ වෙනස්කම් අනුව විවිධ ආදායම් කාණ්ඩ වලට උද්ධමනය බලපාන්නේ වෙනස් ආකාර වලින්. රටේ ජනගහණයෙන් 80%කටම උද්ධමනය 39.1%ට වඩා වැඩියෙන් දැනෙනවා. ඉහළම ආදායම් ලබන 20%ට උද්ධමනය දැනෙන්නේ එම ගාණට වඩා අඩුවෙන්.

උද්ධමනය දුප්පතාට වැඩියෙන් බලපානවා කියන එක මෙයින් පැහැදිලි විය යුතුයි. සෘජු බදු මෙන් නොව වක්‍ර බදු රටේ හැමෝටම ගෙවන්න වෙනවා. එහෙත් පහළම සමාජ තීරු වලට වුවත් වක්‍ර බදු නිසා සිදුවන හානිය උද්ධමනයේ හානියට වඩා අඩුයි.



බදු ගෙවන්නේ කවුද?

රටක බදු ප්‍රතිපත්තිය කුමක් විය යුතුද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු වලට හැමෝටම එකඟ වෙන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් ගැන සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. කොහොම වුනත්, මේ වගේ දෙයක් ගැන තමන්ගේ දේශපාලනික මතය හදාගන්න කලින් පවතින බදු ක්‍රමය මොන වගේ එකක්ද කියන එක ගැන හරි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ. 

පහත වගුවේ තියෙන්නේ එක් එක් ආදායම් කාණ්ඩය බදු ගෙවන ආකාරය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන ආකාරය පිළිබඳ සාරාංශයක්. මෙහි ආදායම් දශකයක් කියා කියන්නේ ලංකාවේ නිවාස ඒකක වලින් 10%ක්. ලංකාවේ මුළු නිවාස ඒකක ගණන මිලියන 5.7ක්. ඒ අනුව, එක ආදායම් දශකයකට පවුල් 570,000ක් ඇතුළත්. පළමු ආදායම් දශකයට අයත් වන්නේ දුප්පත්ම පවුල් 10%. දෙවැන්න ඊළඟ පවුල් 10%. පැහැදිලියිනේ.


මෙහි එක් එක් ආදායම් දශකයේ මධ්‍යන්‍ය ආදායම 2019දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය හරහා හොයාගත් ගණන්. එක් එක් ආදායම් කාණ්ඩයේ බදු ගෙවීම් මගේ ඇස්තමේන්තු. මේ ඇස්තමේන්තු සර්ව සම්පූර්ණ නැහැ. අදහසක් ගැනීම සඳහා පමණයි. ගණනය කරපු ක්‍රමය මේකයි. අවම ආදායම් බදු සීමාව අනුව සෘජු බදු සියල්ල ගෙවන්නේ දහවන ආදායම් දශකයේ අය. වක්‍ර බදු හා අනෙකුත් ගාස්තු සියල්ල පරිභෝජනයට සමානුපාතික සේ සලකා ආදායම් කාණ්ඩ අතර බෙදා හැර තිබෙනවා. රජයේ වියදම් වල ප්‍රතිලාභ බෙදා හැරීමේදී සමෘද්ධි වියදම් පහළ 30% අතර බෙදාහැර අනෙකුත් වියදම් සියලු දෙනා අතර සම සේ බෙදා හැර තිබෙනවා. පොලී වියදම් හා ණය ගෙවීම් මෙහි ඇතුළත් නැහැ. මේ බදු වැඩි කරන්න පෙර 2021දී රජයේ ආදායම් හා වියදම්.

සාමාන්‍යයෙන් සාධාරණත්වය ගැන හිතනවානම් අඩු ආදායම් දශක වල බදු අනුපාතික අඩු විය යුතුයි. වැඩි ආදායම් දශක වල බදු අනුපාතික වැඩි විය යුතුයි. නමුත් මෙහි දැකිය හැක්කේ එහි අනෙක් පැත්ත. හැබැයි ඉහළම ආදායම් දශකය තමන්ගේ ආදායමෙන් 42%ක්ම බදු සේ ගෙවනවා. ඉහළ ධනවත් පංතියෙන් සැලකිය යුතු බදු ආදායමක් රටට එන්නේ නෑ කියන එක බොරුවක්.

ගොඩක් අය කියන්නේ ආණ්ඩුව තමන්ගෙන් හැම දෙයකින්ම බදු අය කරනවා කියලයි. නමුත් ඇත්තටම ශුද්ධ වශයෙන් බදු ගෙවන්නේ ඉහළම ආදායම් ලබන 10% පමණයි. අනෙක් හැමෝම ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ රජයෙන් ලබාගන්නවා. පහළ ආදායම් ස්ථර වල ඉන්න 40% එහෙම ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. නමුත්, අතරමැද ඉන්න අයත් ඒ විදිහට ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ ලැබිය යුතුද? 

Thursday, March 7, 2019

කෝච්චියේ හිඟන්නා සහ රන්ජන්


අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා ඇති, රුපියල් ලක්ෂ පහක බැංකු තැන්පතු වලද හිමිකරුවෙකු වන අයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ගොසිප්ලංකානිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එයින් නිවාස දෙකක් සිය දියණියන් දෙදෙනාට දෑවැදි සේ දී ඇති බවත්, තෙවැන්නේ තමන් පදිංචිව සිටින බවත් පවසා ඇති ඔහු කුලියට දීම පිණිස තවත් නිවසක් හදමින් සිටින බවත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බවත් පවසා තිබෙනවා.

මේ අතර යූටීයුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ඔහුගේ කුලී නිවසේ ඇතුළත දර්ශන පෙන්වනවා. එහිදී ඔහු උජාරුවෙන් කියන්නේ තමන් සතුව කිසිදු නිශ්චල දේපොළක් නැති බවයි. මේ බව ඔහු මීට පෙරද කියා තිබෙනවා.

ඇතැම් අයගේ විග්‍රහ අනුව ප්‍රාග්ධනය අහිමි පන්තියේ අය හා ප්‍රාග්ධනය හිමි පන්තියේ අය කියා කොටස් දෙකක් ඉන්නවා. එය පැහැදිලි බෙදීමක්. දැන් අර හිඟන්නා අයිති වෙන්නේ ඔය කොයි පංතියටද? රංජන් ඉන්නේ ඒ පංතියේමද? නැත්නම් ඉහළ හරි පහළ හරි පංතියකද?

තවත් සමහර කියන විදිහට ඒ අය තමන් ප්‍රාග්ධනයේ වහළුන්ව සිටින බව අවබෝධ කරගෙන සිටින අයයි. තමන්ගේ වහල්කම අවබෝධ කරගන්න එකනම් නරක නැහැ.

වහල්කමෙන් මිදෙන්න අවශ්‍ය වන පළමු කොන්දේසිය වන්නේ තමන් වහලෙක්ව සිටින බව අවබෝධ කරගැනීම බවට මේ අය කියන කතාවේනම් වරදක් නැහැ. වැරැද්ද තියෙන්නේ වහල්කමෙන් මිදෙන්න උත්සාහ කරන ආකාරයේයි.

තවත් සමහර සමාජවාදීන් තමන්වත් කුමක්දැයි හරියටම නොදන්නා පරිභෝජනවාදයක් ගැන නන් දොඩවන අතර පරිභෝජනවාදය ධනවාදය එක්ක ඈඳන්න උත්සාහ කරනවා.

පරිභෝජනවාදය කියන වචනය මා එතරම් කැමති වචනයක් නෙමෙයි. මේ වචනය භාවිතා කරන අය හිතන ආකාරය අනුව මිනිහෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේ මිල දී ගැනීම පරිභෝජනවාදයක් නෙමෙයි. එතැනින් එහාට වෙනත් දේ අයිති කරගැනීමට උත්සාහ කිරීම පරිභෝජනවාදයයි. ඔය සංකල්පයේම වුවත් තියෙන අවුල වන්නේ ඔය මූලික දේ කියන එකත් පුද්ගලයාට සාපේක්ෂ දෙයක් වීමයි.

පන්ති බෙදීම් කොහොම වුනත් ඇතැම් අය ඉපදෙන්නේ උරුමයෙන් කිසියම් ප්‍රාග්ධනයකට හිමිකම් කියමිනුයි. නමුත්, සියල්ලන්ටම ඒ වාසනාව නැහැ. පළමු කණ්ඩායමට තමන්ගේ ශ්‍රමය වගේම ප්‍රාග්ධනයත් ආයෝජනය කර ආදායම් ඉපැයිය හැකි වුවත්, දෙවන කණ්ඩායමට කළ හැක්කේ තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට සමාන ආදායමක් ලබන්නට පමණයි.

හැබැයි එහෙම වුනා කියා දෙවන කණ්ඩායම ප්‍රාග්ධනයේ වහළුන් සේ හැමදාම ජීවත් විය යුතු නැහැ. ඔවුන්ටත් ප්‍රාග්ධනයේ හිමිකරුවන් වෙන්න සහ ඔවුන්ගේ දරුවන් ප්‍රාග්ධනය අහිමිව ඉපදෙන එක වලක්වන්න බැරිකමක් නැහැ. ඒ සඳහා කරන අරගලයක් කරන්න තියෙන්නේ තමන් එක්කම මිස වෙන කවුරුවත් එක්ක නෙමෙයි. තමන්ගේ ඇඟ හොල්ලන්ගේ නැතුව අනුන්ගේ මහන්සියෙන් උපයාගත් ප්‍රාග්ධනය සාමූහික අරගලයකින් පැහැරගන්න බලා ඉන්න අයටනම් ඉතිං හැමදාම ප්‍රාග්ධනයේ වහල්ලු විදිහටම තමයි ඉන්න වෙන්නේ.

ප්‍රාග්ධනය කියන්නේ පරිභෝජනය කර අවසන් කර නොදැමූ ශ්‍රමයේ ප්‍රතිලාභ මිස වෙන දෙයක් නෙමෙයි. අපි හිතමු කිසිදු ප්‍රාග්ධනයක උරුමයක් නැතිව ඉපදෙන හා තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එක සමාන ආදායම් උපයන දෙදෙනෙකු ගැන. මේ දෙන්නාගෙන් පළමුවැන්නා තමන්ගේ ආදායම පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී දෙවැන්නා තමන්ගේ පරිභෝජනය සීමා කර ආදායමින් අඩක් ඉතිරි කළොත් කලක් යද්දී දෙවැන්නා සතුව කිසියම් ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට අමතරව මෙසේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමාන අමතර මුදලකුත් ඇයට උපයන්න පුළුවන් වන නිසා පසු කාලයේදී ඇයට මුලින් මෙන් පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයට තමන්ගේ ආදායම් සැලකිය යුතු මට්ටමක තබාගනිමින්ම පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකියි.

මේ වගේ වෙලාවක පළමුවැන්නාට දෙවැන්නා දිහාවට ඇඟිල්ල දික්කර ඇය පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්. එහෙත්, ඇත්තටම මෙහි නියම පරිභෝජනවාදියා පළමුවැන්නාමයි.

මගේ අර්ථදැක්වීම අනුවනම් පරිභෝජනවාදියෙක් කියා කියන්න පුළුවන් තමන්ගේ ආදායමට ඔරොත්තු නොදෙන තරමින් වියදම් කරන කෙනෙක්ටයි. අපි හිතමු ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක් මරුටි මෝටර් රථයක් ගත්තා කියා. නමුත්, ඇයට වාහනය දිනපතා පාවිච්චි කරන්න තරම් ආදායමක් නැති නිසා වැඩට යන්නේ දුම්රියේ. ඉඳහිට මගුල් ගෙදරක යන්න හෝ හන්දියට යන්න පමණක් පාවිච්චි කරන මේ මෝටර් රථයේ කල්බදු පොලී, ආදායම් බලපත්‍ර, දුම්බදු ආදිය ලෙස දැන් මාසික පඩියෙන් බාගයක් පමණ වැය කළ යුතුයි. ඒ නිසා මාසෙ අන්තිමේදී අතේ සතපහක් ඉතුරු වෙන්නේ නැහැ.

ඔය එක්කම දොස්තර කෙනෙක් තමන්ගේ වාහන බලපත්‍රය යටතේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන එය දිනපතා පාවිච්චි කරනවා. පයින් යා හැකි ගමනක් යන්නේත් මෝටර් රථයෙන්. එහෙම කළත්, ඇය උපයන ආදායමෙන් වැඩි කොටසක් තවදුරටත් ඈ වෙත ඉතිරි වෙනවා. දැන් ඇය මරුටි මෝටර් රථයක් මිල දී නොගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්ද? හරිනම් මෙහි පරිභෝජනවාදයේ ගිලී ඉන්නේ මරුටි මෝටර් රථය පාවිච්චි කරන ගුරුවරියයි.

කොහොම වුනත්, ඉහත කී පළමුවැන්නා ගිණි පොලියට මරුටි මෝටර් රථයක් මිල දී ගෙන ඇත්නම් එය ඇගේ කැමැත්තයි. ඒ නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බවට චෝදනා කරන්න මම කැමති නැහැ. නමුත්, ඇගේ චර්යාව හේතුවෙන් ඇයට ප්‍රාග්ධනයේ වහලෙක්ව සිටින්න සිදු වී ඇත්නම් එයට පවතින ක්‍රමයට හෝ වෙන කාටවත් දොස් කියා පලක් නැහැ. පවතින තත්ත්වය වෙනස් විය යුතුයි කියා ඈ හිතනවානම් එය කරගැනීමට යතුර තියෙන්නේ ඈ අතේමයි. ඒකට තවත් අය හවුල් කරගෙන සාමූහික අරගල කරන්න දෙයක් නැහැ.

අර කොටුවේ හිඟන්නා විසින් පෙන්වා දී තිබෙන්නේ අධිෂ්ඨානයක් ඇත්නම් හිඟා කා වුවත් ප්‍රාග්ධනය එක්රැස් කරගත හැකි බවයි. ඔහු තමන් ඉපැයූ ආදායම මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් පරිභෝජන ද්‍රව්‍ය වෙනුවෙන් වැය නොකර මෙවැනි ආයෝජනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඔහු එසේ කළ නිසා ඔහුගේ දරුවන් ඔහු මෙන් හිඟන්නන් වී නැහැ.

දැන් කාට හෝ කියන්න පුළුවන් ඔහු ආදායම් උපයා තියෙන්නේ කිසිවක් නොකර හිඟා කෑම හරහා බව. හිඟා කෑමත් කලාවක්. එය හැමෝටම කරන්න බැහැ. හිඟා කා වැඩි ආදායමක් ලැබිය හැක්කේ ඒ සඳහා වැඩි කුසලතාවයක් තිබෙන අයෙකුටයි.

හිඟන්නෙක් කාගෙන්වත් බලහත්කාරයෙන් මුදල් ගන්නේ නැහැ. හිඟන්නෙක්ට රුපියල් පහක් දෙන කෙනෙක් එය කරන්නේ කැමැත්තෙන්. එසේ කිරීමෙන් ඇය ඇතැම් විට පිනක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් අහිංසක පුද්ගලයෙක්ට උදවුවක් කළා කියා සතුටු වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන් අනුන් ගැන හිතන කෙනෙක් බව වෙනත් අයට පෙන්වන්න රුපියල් පහක් දුන්නා වෙන්නත් පුළුවන්. මේ මොකක් වුනත් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන කෙනෙක් එයින් ලබා ගන්නා දෙයක් තිබෙනවා. යමෙක් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන්නේ එයින් ලැබෙන හිතේ සතුට හෝ වෙනත් කවර හෝ දෙය රුපියල් පහකට වඩා වටින නිසයි. හිඟන්නා විසින් මෙහිදී ඒ සතුට හෝ වෙනත් දෙය ලබාගන්න අදාළ පුද්ගලයාට උදවු කරනවා. රුපියල් පහ ඇයට ඒ වෙනුවෙන් ලැබෙන ගාස්තුවයි.

රන්ජන් වගේ කලාකරුවන්ගේ ඉඳලා දේශපාලනඥයින්, පූජකයින් ඇතුළු බොහෝ වෘත්තිකයින් විසින් කරන්නෙත් මිනිස්සුන්ව කවර ආකාරයකින් හෝ සතුටු කරලා එහි මිල අය කරගන්න එකයි. හිඟන්නෙක් කරන්නෙත් ඒකම තමයි. සරලව කියනවනම් අනික් අයට ආතල් එකක් දෙන එක.

රනිල් තිරුපති ගිහින් තමන්ගේ බරට හඳුන් පුදන්නේත්, මහින්ද ඒ විදිහටම ගිතෙල් පුදන්නේත් තිරුපති ගමනෙන් ඒ අයට ලැබෙන මොකක් හෝ ආතල් එකක් තියෙන නිසයි. ගින්නෙන් උපන් හීතල නායකයෙක්ගේ කතා අහන තරුණියක් තමන්ගේ කරාබු දෙක ගලවලා වේදිකාවට විසි කරන්නේත්, තරුණයෙක් ඒ නායකයා වෙනුවෙන් කට්ට කාගෙන නොමිලේ වැඩ කරන්නේත් ඔය හේතුවටමයි.

දුම්රියපොළේ හිඟන්නා තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වියදම් නොකර එයින් කොටසක් ආයෝජනය කර තිබෙනවා. හිඟන්නාගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක ආදායමක් නූපයන්නට හේතුවක් නැති රන්ජන් එසේ කර නැහැ. ඒ නිසා, ඔහුට ඔහු සතු කිසිදු නිශ්චල දේපොළක් නැහැ. ඕක ඒ තරම් ආඩම්බර වෙන්න දෙයක්නම් නෙමෙයි. හැබැයි ඉතිං තමන් උපයන ආදායම වියදම් කළ යුත්තේ කොහොමද කියන එක ඔහුගේ කැමැත්ත.

ඔය වගේ තමන් උපයන ආදායම් ඒ වෙලාවේ පරිභෝජනය කර අවසන් කර දමන, තමන්ටම කියා ප්‍රාග්ධනයක් අයිති කර ගැනීම පිණිස කිසිදු කැප කිරීමක් නොකරන ඇතැම් අය පස්සේ කියන කතාවක් තමයි සමාජය වෙනුවෙන් වැඩ කළ නිසා තමන් හිඟන්නෙක් වූ බව. කවුරු හෝ සමාජය වෙනුවෙන් වැඩක් කළා කියා කියනවානම් ඒ කරපු වැඩේ වටිනාකම මනින්න තිබෙන හොඳම නිර්ණායකය තමයි ඈ ඉපැයූ ආදායම. උදාහරණයක් විදිහට අර කොටුවේ හිඟන්නා අඩුවශයෙන් මාසයකට රුපියල් 150,000ක ආතල් එකක් දුම්රිය මගීන්ට දීල තියෙනවා. එහෙම නැතුව කවුරු හෝ කියනවානම් තමන් පාඩුවට යමක් කළා කියා, ඈ එය කර තිබෙන්නේ තමන්ගේ ආතල් එක වෙනුවෙන්ම මිසක් සමාජය වෙනුවෙන් නෙමෙයි.

(Image: http://www.dailymirror.lk/weird-news/When-the-dumb-beggar-started-talking/310-161664)

වෙබ් ලිපිනය: