වෙබ් ලිපිනය:

Showing posts with label නිදහස් වෙළඳපොළ. Show all posts
Showing posts with label නිදහස් වෙළඳපොළ. Show all posts

Saturday, February 3, 2024

අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?


පසුගිය ලිපියට ලැබුණු විවිධ ප්‍රතිචාර අතර පැහැදිලි කිරීම් අවශ්‍ය වන විචේචන කිහිපයක්ද තිබුණා. එක් අයෙකු යෝජනා කර තිබුණේ කිව යුතු දෙය සාරාංශ කර කෙටියෙන් කිව යුතු බවයි. මෙය වරින් වර විවිධ අය අපට යෝජනා කරන දෙයක්. බොහෝ අය මේ යෝජනාව කරන්නේ යහපත් චේතනාවකින් සහ අප ලියන දේ වැඩි පිරිසක් වෙත යා යුතුය යන අරමුණින්. 

සාමාන්‍යයෙන් වත්පොතේ සටහන් කියවන බොහෝ අය දිග "හෑලි" කියවන්න කැමති නැහැ. ගොඩක් අය කැමති "වොයිස් කට්" ආකෘතියට. ඒ ආකෘතියේ දේවල් කියන අය වත්පොතේ වගේම වත්පොතෙන් බැහැර බාහිර සමාජයේද ඕනෑ තරම් ඉන්නවා.

අප මුල සිටම උත්සාහ කළේත්, උත්සාහ කරන්නේත්, "වොයිස් කට්" මත පදනම්ව තීන්දු තීරණ ගන්නා සමාජය තුළ ඊට වඩා විමසිලිමත්ව කියවා බලා, කාලය වැය කර කරුණු සොයා බලා, තීන්දු තීරණ ගැනීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්නයි. අනෙක් අයගේ සටහන් කෙසේ වුවත් අප ලියන සටහන් අතරින් වැඩි දෙනෙකු බෙදා හදා ගන්නේද විස්තරාත්මක පැහැදිලි කිරීම් ඇති ඒවායි. එය සතුටට කරුණක්. 

පසුගිය ලිපියෙන් විස්තර කළ ප්‍රධානම දෙය එම ලිපියේම තිබෙන පහත ඡේදය තුළ කෙටියෙන් කියැවෙනවා.

"වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා."

ඔබ පෙර ලිපිය නොකියැවූ අයෙකුනම් සහ ඔය ටික දැනගැනීම හොඳටම ප්‍රමාණවත්නම්, මෙතැනින් නවතින්න. ඔය ටික පැහැදිලි නැත්නම් පෙර ලිපිය කියවන්න. පෙර ලිපිය කියැවීමෙන් පසුවද ඔය ටික පැහැදිලි නැත්නම් එම ලිපිය නැවත හෙමිහිට කියවන්න. අවශ්‍යනම් එහි තිබෙන ගණනය කිරීම් ඔබ විසින්ම කර බලන්න. 

ඉහත ඡේදයෙහි උපුටා දක්වා ඇති කොටස විස්තරාත්මක ලෙස පැහැදිලි කළේ වෙළඳපොළ නිදහස බොහෝ දුරට තහවුරුව ඇති රටවල වුවද බොහෝ විට තරඟකාරී වෙළඳපොලවල් හැදෙන්නේ නැති බවත්, කතිපයාධිකර හැදෙන බවටත් සිදු කෙරෙන විවේචනය නිසා. මේ කියන දෙය කරුණක් ලෙස ඇත්ත. එහෙම වෙන්නේ කවර තත්ත්වයන් යටතේද කියන එක පෙර ලිපියෙහි පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය වෙනස් කළ යුතු දෙයක් හෝ විකෘතියක් නොවන බවද එහි පෙන්වා දී තිබෙනවා. 

පෙර ලිපියේ කරුණු වලට එරෙහිව ඉදිරිපත්ව තිබුණු තරමක් බරපතල සහ සාධනීය විවේචනයක් වූයේ එහි සඳහන්ව තිබුණු දේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට වලංගු නොවන බවයි. මෙය යම් පදනමක් තිබෙන විවේචනයක්. ඒ නිසාම, පැහැදිලි කිරීමක් අවශ්‍ය වන විවේචනයක්.

අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?

මම අපගේ විවේචකයෙකුගේ ප්‍රතිචාරයක් මෙහි උපුටා දමන්නම්.

"මේ ලිපිය අදාල වෙන්නෙ නම්‍ය භාණ්ඩ (අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ) වලට විතරයි. අනම්‍ය (අත්‍යාවශ්‍ය භාණ්ඩ) වල මිල ඉහල දැම්ම කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ඉන්ධන. තෙල් මිල ටිකක් වැඩි කලා කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. වෙන්නෙ අත්‍යාවශ්‍ය නොවන වියදම් අඩුවෙන එක. ඒ කියන්නෙ තෙල් ගහල ගමන් ගියාම ‍යන ගමන් තේ එකක් බොන එක නතර කරනව. අද පාරෙ බැලුවොත් කඩ ගොඩක් වැහිල තියෙන්නෙ ඒකයි. ලංකාවෙ ඉන්ධන මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ කොච්චරද කියනවනම් අත්‍යාවශ්‍ය භාණ්ඩත් ඉල්ලුම අඩු වෙන තරමටම. ඒකෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙන තරමටම..."

මෙහි නිවැරදිව සඳහන් කර ඇති පරිදි, මිල ඉහළ යද්දී ඉල්ලුම එතරම් අඩු නොවේනම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම විශාල ලෙස අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම කිසිසේත්ම අඩු නොවේනම් එය පූර්ණ අනම්‍ය (පූර්ණ අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ අර්ථ දක්වනවා. එහෙත්, එවැනි පූර්ණ අප්‍රත්‍යස්ථ ඉල්ලුම් ඇති භාණ්ඩ නැති තරම්. ප්‍රායෝගිකව කොයි තරම් "අත්‍යාවශ්‍ය" භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම වුවද මිල ඉහළ යද්දී යම් තරමකින් හෝ අඩු වෙනවා.

භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම අඩු වන්නේ 1%කට වඩා අඩුවෙන්නම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. ඉල්ලුම හරියටම 1%කින් අඩු වේනම් එය ඒකක නම්‍ය (ඒකක ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත්, ඊට වඩා වැඩියෙන් අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. සාමාන්‍යයෙන් අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් තිබෙන්නේ අත්‍යවශ්‍ය සේ සැලකෙන භාණ්ඩ වලටයි. මූලික ආහාර හා ඉන්ධන ආදිය බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ සේ සැලකෙනවා.

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම කොයි තරම් ප්‍රත්‍යස්ථද යන්න එහි ප්‍රත්‍යස්ථතා සංගුණකය ඇසුරෙන් පෙන්විය හැකියි. අවකලනය යොදා නොගෙන සරල ලෙස අර්ථ දැක්වුවහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය යනු භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම කවර ප්‍රතිශතයකින් ඉහළ යන්නේද යන්නයි.

ගණිතය හදාරා ඇති අය සඳහා මෙය වඩා නිවැරදිව, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයේත් මිල හා ඉල්ලුම අතර අනුපාතයේත් ගුණිතය ලෙස අර්ථදැක්විය හැකියි.

ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)

ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයෙන් අදහස් වන්නේ අනෙකුත් සාධක සියල්ල නොවෙනස්ව ඇති තත්ත්වයන් යටතේදී මිලෙහි සිදුවන ඉතා කුඩා (සීමාව ශුන්‍යය දක්වා යන) වෙනස් වීමකදී ඉල්ලුම කොපමණ වෙනස් වේද යන්නයි. මිල ඉහළ යද්දී සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සුළු වශයෙන් හෝ පහළ යන නිසා මෙම පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක්.

මිල සහ ඉල්ලුම හැම විටම ධන අගයන් නිසාත්, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් නිසාත්, ඉහත අර්ථදක්වා ඇති ප්‍රත්‍යස්ථතා සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් වුවත් මෙය කවුරුත් දන්නා දෙයක් නිසා බොහෝ විට පහසුවට සෘණ ලකුණ ගැන නොසලකා සංගුණකයේ මාපාංකය ගැන පමණක් කතා කරනවා. 

ප්‍රත්‍යස්ථතාව ඇසුරෙන් කතා කළහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය 0-1 අතරනම් (සෘණ ලකුණ නොසලකා) එය අප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත්, 1 ඉක්මවන්නේනම් ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. 

භාණ්ඩයක ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඇස්තමේන්තු කළ හැකි දෙයක් වුවත් එය ලියුම් කවරයක පිට පැත්තේ කළ හැකි ගණනය කිරීමක් නෙමෙයි. විශාල ශ්‍රමයක් හා පුහුණුවක් අවශ්‍ය වැඩක්. ඊට හේතුව, මිල සහ ඉල්ලුම වෙනස් වෙද්දී ප්‍රායෝගිකව තවත් බොහෝ සාධක වෙනස් වන නිසා එම සාධක වලින් මිල කෙරෙහි වන බලපෑම් ඉවත් කිරීම පහසු කාර්යයයක් නොවීමයි.

උදාහරණයක් ලෙස එකවර ඉන්ධන මිල දෙගුණ වුනා කියා සිතමු. මීට සමාන්තරව අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද දෙගුණ වී ඇත්නම් ඉන්ධන සඳහා වන ඉල්ලුමෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා දිගුකාලීනව සිදු වන්නේ මෙවැන්නක්. නාමික මිල ගණන් ඉහළ ගියත්, මූර්ත වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ වගේම, ඉන්ධන මිල දෙගුණ වෙද්දී අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද හතර ගුණයක් වුවහොත් සිදු වන්නේ ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වීම නොව වැඩි වීමයි. 

භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ සාපේක්ෂ මිල වෙනස් වීමයි. මීට අමතරව ආදායම වෙනස් වීම, ජනගහණය වැඩි වීම, ආදේශක හා අනුපූරක වල මිල වෙනස් වීම් වැනි තවත් විවිධ හේතු නිසා භාණ්ඩයක මිල වෙනස් වෙනවා. ප්‍රත්‍යස්ථතාව ගණනය කළ හැක්කේ මෙම සියලුම බලපෑම් නිවැරදිව හඳුනාගෙන එම බලපෑම් ඉවත් කිරීමෙන් පසුවයි.

හාවඩ් සරසවියේ වෙබ් අඩවියේ ඇති සටහනකට [1] අනුව, භාණ්ඩ හා සේවා කිහිපයක ප්‍රත්‍යස්ථතාව මෙසේයි.

[1] https://scholar.harvard.edu/files/alada/files/price_elasticity_of_demand_handout.pdf

ලුණු - 0.1

ගැසොලින් - 0.2

කෝපි - 0.25

වෛද්‍ය සේවා - 0.6

චිත්‍රපට - 0.9

පෞද්ගලික අධ්‍යාපනය - 1.1

අලුත් ග්‍රීන්පීස් - 2.8

අලුත් තක්කාලි - 4.6

මෙම ඇස්තමේන්තු අනුව, ලුණු, ගැසොලින් හා කෝපි සඳහා තිබෙන්නේ අප්‍රත්‍යස්ථ ඉල්ලුමක්. චිත්‍රපට හා පෞද්ගලික අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඒකක ප්‍රත්‍යස්ථ ඉල්ලුමකට ආසන්නයි. අලුත් ග්‍රීන්පීස්, අලුත් තක්කාලි ආදිය සදහා තිබෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක්.

සාමාන්‍යයෙන් ලුණු වැනි ආදායමට සාපේක්ෂව අඩු මුදලක් වැය කරන්නට සිදු වන දේවල්, කෝපි වැනි ඇබ්බැහිකාරක හා ගැසොලින් වැනි අත්‍යාවශ්‍ය දේවල් වල සඳහා වන ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්. අලුත් තක්කාලි වැනි ආදේශක තිබෙන දේවල් සඳහා තිබෙන්නේ නම්‍ය ඉල්ලුමක්.

කෙසේ වුවත්, "අත්‍යාවශ්‍ය භාණ්ඩ" කියන එක සාපේක්ෂ අදහසක්. අත්‍යාවශ්‍ය දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද වෙනස් වෙනවා. පොදු ප්‍රවාහන පහසුකම් ඉතාම අඩු ඇමරිකාවේ පෞද්ගලික වාහනයක් කියන්නේ නැතිවම බැරි දෙයක්. එහෙත්, පොදු ප්‍රවාහනය වඩා හොඳ මට්ටමක ඇති රටක තත්ත්වය වෙනස්. 

කෙනෙකුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව ආදායම් මට්ටම අනුවද සීමා වෙනවා. ඇමරිකානුවෙකුගේ ආදායමෙන් ආහාර සඳහා වැය කළ යුත්තේ 15%ක පමණ කොටසක්. ඒ නිසා, මිල තරමක් ඉහළ ගියත් ආහාර ඉල්ලුම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත් ලංකාව වැනි රටක කුකුළු මස් මෙන්ම බිත්තර වැනි දෙයක් පවා බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය නොවන "සුඛෝපභෝගී" භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඉහත සඳහන් ප්‍රත්‍යස්ථතා සංගුණක සෑම රටකටම පොදු අගයයන් නෙමෙයි.

ඉන්ධන මිල ඉහළ යද්දී ලංකාවේ ඉන්ධන ඉල්ලුම අඩු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් තිබෙන පහළ මධ්‍යම පාන්තිකයින් කිහිප දෙනෙක්ට කතා කළොත් එය එසේ වී ඇති බව තහවුරු කරගන්න අමාරු වෙන එකක් නැහැ. 

මිල ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු නොකර එලෙසම පවත්වා ගනිමින් ඒ හිලවුවට කන බොන දේවල් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය දේවල් සීමා කරනවා කියන එක විහිළු කතාවක්. හැබැයි මම පෞද්ගලිකව සමීක්ෂණයක් කරලානම් නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ නිසාම, ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යද්දී ඉල්ලුම කොයි තරම් අඩු වෙනවද කියන එක ගැන මට හරියටම කියන්න බැහැ. එහෙත් එයින් අදහස් වන්නේ මේ වෙළඳපොළේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඕනෑම අගයක් විය හැකියි කියන එක නෙමෙයි. වෙනත් තැන් වල දත්ත යොදා ගෙන සිදු කර තිබෙන ඇස්තමේන්තු ඇසුරෙන් මේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. 

මගේ පෙර ලිපිය සමඟ ඉදිරිපත් කර තිබෙන පැහැදිලි කිරීමේ පහසුව සඳහා යොදාගත් උදාහරණයේ දත්ත අනුව එය සැසඳෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ඇති භාණ්ඩයකටයි. එම උදාහරණයේ මිල රුපියල් 5කින් අඩු වෙද්දී, ඉල්ලුම ඒකක 10කින් අඩු වෙනවා. ඒ අනුව, එහි අවකල සංගුණකය -2ක් වෙනවා. වෙනත් සාධක වෙනස් වී නැති සේ සැලකුවොත් මෙය පාර්ශ්වීය අවකල සංගුණකය ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව, මිල රුපියල් 360 මට්ටමේදී ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය -6ක් (= -2*360/120) වෙනවා. එය සැලකිය යුතු තරමේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවයක්. බොහෝ භාණ්ඩ සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මීට වඩා අඩුයි. ඒ නිසා, ප්‍රතිචාරයේ විවේචනයට පදනමක් තිබෙනවා. 

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම අප්‍රත්‍යස්ථනම්, ඒ කියන්නේ එහි ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා අඩුනම්, මිල වැඩි කරද්දී සැපයුම්කරුගේ ආදායම ඉහළ යනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා වැඩිනම් වන්නේ ඕකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. ඒ නිසා, භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම ප්‍රත්‍යස්ථද අප්‍රත්‍යස්ථද කියන එකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

මේක තේරුම් ගන්න අමාරු නැහැ. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය හරියටම 1නම්, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම 1%කින් අඩු වෙනවා. ඒ නිසා, මිල ඉහළ යාමෙන් ආදායම 1%කින් වැඩි වුනත්, ඉල්ලුම 1%කින් අඩු වූ නිසා නැවත ආදායම (ආසන්නව) මුල් මට්ටමටම එනවා. නමුත්, මිල 1%කින් වැඩි කළ විට ඉල්ලුම 5%කින් අඩු වුනොත් අවසාන වශයෙන් (ආසන්නව) 4%කින් පමණ ආදායම අඩු වෙනවා. අනෙක් අතට, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණක්නම්, මිල ඉහළ දැමීම මගින් ආදායම (ආසන්නව) 0.75%කින් වැඩි කර ගන්න පුළුවන්.

එහෙමනම්, ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අඩු භාණ්ඩ වල සැපයුම්කරුවෝ තමන්ගේ ආදායම් හා ඒ මගින් ලාබය වැඩි කර ගැනීම සඳහා දිගින් දිගටම මිල වැඩි නොකරන්නේ ඇයි? මෙවැන්නක් සිදු නොවෙන්නේ තරඟය නිසා. එක් අයෙක් මිල වැඩි කළත් අනෙක් සැපයුම්කරුවෝ මිල වැඩි කළේ නැත්නම් වෙන්නේ මිල වැඩි කළ සැපයුම්කරුගේ ඉල්ලුම නැත්තටම නැති වී යන එකයි. 

ඒක හරි කියමුකෝ. නමුත් එහෙම වෙන්නනම් තරඟයක් තිබිය යුතුයිනේ. වෙළඳපොළේ තියෙන්නේ ඒකාධිකාරයක්නම් මොකද වෙන්නේ? පෙර ලිපියට විවේචනය ආවේ ඒකාධිකාර හා අදාළවනේ.

ප්‍රායෝගික ලෝකයට ආවොත් ලෝකයේ ඇතැම් රටවල ඉන්ධන වැනි වෙළඳපොළවල් වල ඒකාධිකාර තිබුණත් ඒවා රාජ්‍ය ඒකාධිකාර මිස ලාබ ලැබීම ඉලක්ක කළ ව්‍යාපාර වල ඒකාධිකාර නෙමෙයි. රජය විසින් වෙළඳපොළ මෙහෙයවන රටවල රාජ්‍ය ඒකාධිකාර තිබෙනවා. එහිදී ඉලක්කය ලාබ පුළුවන් තරම් වැඩි කර ගැනීම නොවන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ. එසේ නොවන රටවල සැපයුම්කරුවන් ගණනාවක් සිටින නිසා සහ ඔවුන් අතර තරඟයක් තිබෙන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ.

ඒකත් හරි කියමුකෝ. ඔහොම කිවුවට ඔය හැම රටකම සැපයුම්කරුවෝ මහා විශාල ගණනක් නැහැනේ. ප්‍රායෝගිකව බොහෝ විට කතිපයාධිකාර දැකිය හැකියි. ඒ නිසා සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කර දිගින් දිගටම මිල ඉහළ දමන්න බැරි නැද්ද?

යම් හෙයකින් සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කළොත් එය ඒකාධිකාරයකින් වෙනස් නොවන නිසා අපි කෙළින්ම ඒකාධිකාරයක් ගැනම සලකා බලමු. උදාහරණයක් විදිහට IOC වගේ තරඟකරුවන් වෙළඳපොළට ඇතුළු වෙන්න කලින් තෙල් සංස්ථාව ගෙඩි පිටින්ම තනි සමාගමකට විකිණුවා කියා හිතමු. ඔන්න දැන් ලාබ ලැබීම අරමුණ කරගත් සමාගමක ඒකාධිකාරයක් තියෙනවා. දැන් මිලට මොකද වෙන්නේ?

තෙල් වල ඉල්ලුම ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් නෙමෙයිනේ. ඒ කතාව හරි. අපි හිතමු ප්‍රත්‍යස්ථතාවය 0.25 පමණ කියලා. ඒ කියන්නේ, සරල ප්‍රකාශයක් ලෙස, මිල 1%කින් ඉහළ දැම්මොත් ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණයි. ඒ අනුව, ආදායම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ නිසා, දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්ද?

ඔය විදිහට දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්නම්, එයින් අදහස් වෙන්නේ වෙළඳපොළ පරිමාවේ සීමාවක් නැහැ කියන එක. නමුත්, වෙළඳපොළ පරිමාවේ සීමාවක් තිබෙනවා. මිල යම් මට්ටමක් දක්වා වැඩි වෙද්දී මිනිස්සු වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය කලින් මට්ටම ආසන්නයේම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. යම් මිල මට්ටමකදී ඉල්ලුම සීමා වෙනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය නම්‍ය වෙන්න පටන් ගන්නවා. 

උඩ ඉදිරිපත් කර තිබෙන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය පෙන්වන ගණිතමය ප්‍රකාශය ඇසුරෙන් වුවත් මෙය පැහැදිලි කරන්න පුළුවන්. 

ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)

ඉහත ප්‍රකාශයේ පාර්ශ්වීය අවකල සංගණක කොටස නියතයක් සේ සැලකුවොත් මිල ඉහළ යද්දී (P/Q) කොටස එන්න එන්නම වැඩි වෙන නිසා ප්‍රත්‍යස්ථතාව එන්න එන්නම වැඩි වෙනවා. ඊට අමතරව, මිල ඉහළ යද්දී Q ටිකෙන් ටික අඩු වන නිසා ප්‍රත්‍යස්ථතාව තවත් ඉහළ යනවා. ඔහොම වැඩි වෙලා අනම්‍ය ඉල්ලුම අන්තිමට නම්‍ය ඉල්ලුමක් වෙනවා. 

මගේ පෙර ලිපියේ උදාහරණයේ වගේම සාමාන්‍ය මූලික පාඨ ග්‍රන්ථ උදාහරණ වලත් අවකල සංගණක කොටස නියතයක් වුවත් (ඉල්ලුම් වක්‍රය රේඛීය එකක් වුවත්), ඇත්තටම මේ පාර්ශ්වීය අවකල සංගණක කොටසද නියතයක් නොවන නිසා ඉහත පැහැදිලි කිරීම අසම්පූර්ණ එකක් වුවත්, පාර්ශ්වීය අවකල සංගණක කොටස ටිකෙන් ටික අඩු වෙද්දී වුනත් (P/Q) කොටස ඊට වඩා වේගයෙන් වැඩි වන නිසා අන්තිමට අනම්‍ය ඉල්ලුම නම්‍ය ඉල්ලුමක් වෙනවා. 

හැබැයි ඔය ටික වෙන්න කලින් ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට සෑහෙන තරමක මිල වැඩි කිරීමක් කරන්න පුළුවන්. කලින් ලිපියේ පැහැදිලි කළ දේවල් වඩා වැදගත් හා අදාළ වෙන්නේ එහෙම වෙද්දී. ඔය විදිහට මිල වැඩි කර ගෙන යද්දී ආදායම වැඩි වී ලාබ වැඩි වෙනවා. වෙළඳපොළ නිදහස්නම් ඒ ලාබ දකින තවත් සැපයුම්කරුවෝ වෙළඳපොළට ඇතුළු වෙනවා. 

මෙවැනි වෙළඳපොළකට දෙවැන්නෙකු ඇතුළු වූ පමණින් මිල අඩු වන බවට සහතිකයක් නැතත් කලින් එක් සැපයුම්කරුවෙකු විසින් ලබාගත් ලාබය දෙවැන්නෙකු සමඟ බෙදා ගන්න වෙනවා. ප්‍රතිචාරයේ සඳහන් කර ඇති විදිහට මිල විශාල ලෙස වැඩි කළත් ඉල්ලුම එතරම් වැඩි වෙන්නේ නැත්නම් ඔය වෙළඳපොළට තව තවත් සැපයුම්කරුවෝ එනවා. එහෙම ඇවිත් යම් කිසි අවස්ථාවකදී මිල තරඟය පත්තු වෙනවා. එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණු, ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළට පස් වැනියෙකු ආ පසු සිදු වී තිබෙන දෙය මෙයට උදාහරණයක්.

මේ විදිහට මිල තරඟයට බහින්නේ දෙවැන්නාද, හතර වැන්නාද නැත්නම් දහ වැන්නාද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් සැපයුම්කරුවන් වැඩි වෙද්දී යම් අවස්ථාවක ඔය වැඩේ වෙනවා. වෙළඳපොළ නිදහස්නම් මිල තරඟය පත්තු වන තුරු අලුත් සැපයුම්කරුවෝ එනවා. මේ නිසා, පාරිභෝගිකයාට ලබා ගත හැකි හොඳම මිල ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක්ම ඇති වෙන්න අවශ්‍ය නැහැ.

මෙය සිදු නොවන්නේ, ලංකාවේ තෙල් වෙළඳපොළේ මෙන්, අලුත් සැපයුම්කරුවන් පැමිණීමේ ඉඩකඩ රජය විසින් පාලනය කරන්නේනම් පමණයි. එවැනි වෙළඳපොළක් නිදහස් වෙළදපොළක් නෙමෙයි. අපේ පෙර ලිපිය වගේම මේ ලිපියේත් කතා කර තිබෙන්නේ නිදහස් වෙළඳපොළක් ගැන. 

Sunday, August 13, 2023

මවුකිරි වල මිල


මෙලොවට මුලින්ම බිහිවන දරුවෙකුට අනෙක් හැම දෙයකටම වඩා වටින්නේ මවු කිරි. ළදරුවෙක් වෙන ඕනෑම දෙයක් ඉල්ලන්න කලින් ඉල්ලන්නේ මවු කිරි. මෙය ඕනෑම මිනිසෙකුට වගේම වෙනත් ක්ෂීරපායී සතුන්ටත් පොදු අත්දැකීමක්. අපි කතාවට කියන්නේ අම්මා ලේ කිරි කර පොවනවා කියලා. මවකගේ අසීමිත ආදරය එක්ක ලේ කිරි වී ඇගේ තනපුඩු වලින් වෑහෙන මවු කිරි වල වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කියන්න පුළුවන්. මවු කිරි වලටත් මිලක් නියම කරන එක අශිෂ්ඨ වැඩක් කියා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. නමුත්, මේ වගේ කියමන් ගැලපෙන්නේ කෙනෙකුගේ පරිකල්පනීය ලෝකයට හෝ සාහිත්‍යයට මිසක් සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්ට නෙමෙයි.

වෙන ගොඩක් දේවල් වලට වගේම මවුකිරි වලටත් මිලක් තිබෙනවා. කිසියම් දෙයකට මිලක් තිබීම සඳහා වෙළඳපොළක් තිබීම අනිවාර්ය නැහැ. වෙළඳපොළක් ඇති විට අපට යමක මිල පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත්, වෙළඳපොළක් නැති වුනත් මිල කියන දෙය තිබෙනවා. වෙළඳපොළක් නැති නිසා සැඟවී තිබෙන මිලක් වුවත්, ආර්ථික විද්‍යාඥයෙකුට ඇස්තමේන්තු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්. එය අසීමිත නැහැ. ඒ විදිහටම මවුකිරි වගේ දේකටත් අසීමිත වටිනාකමක් නැහැ. 

අම්මා කුස්සියේ උය උයා ඉන්න කොට ඇගේ බිළිඳු දරුවා නින්දෙන් ඇහැරී අඬනවා ඇහුනොත් ඈ හොද්ද බත අමතක කරලා දරුවා වෙත දුවනවා. ඇගේ තනපුඩුව දරුවාගේ කටේ ගහනවා. දරුවා තනපුඩුව අත ඇරියේ නැත්නම් ගොඩක් වෙලාවට අම්මා ඕක බලෙන් ගලවන්නේ නැහැ. ඔය අතරේ බත රොස් වෙන්න පුළුවන්. හොද්ද හිඳෙන්න පුළුවන්. ගගා හිටපු පොල් ටිකට පූසා හොම්බ ඔබන්න පුළුවන්. මේ ඔක්කොම දරුවාට කිරි දීම වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන මිලේ කොටස්. ඇය ඒ ගැන වැඩිපුර නොහිතන්නේ දරුවාට කිරි දෙන එක ඇයට ඊට වඩා වටින නිසා.

ඔය විදිහට ඔය උයා ඉන්න වෙලාවක දරුවා ඇහැරිලා ඒ ගැන බලන්න දුවද්දී ලාම්පුවේ අත වැදිලා බිම වැටිලා පාපිස්සක් වගේ දෙයක් ගිණි ගත්තා කියමු. ඔය වගේ වෙලාවක අර අම්මා කරන්නේ මුලින්ම ගින්දර නිවලා ඉන්න එකද නැත්නම් දරුවාට කිරි දීලා ඉවර කරලා ඒ ගැන බලන එකද? සිහි බුද්ධියක් තියෙන අම්මෙක්නම් කරන්නේ මුලින්ම ගින්දර නිවන එක. ඇය ගින්දර පැතිරී ගේ ගිණි ගැනීමේ අවදානම ගන්නේ නැහැ. එය ඇය දරුවාට කිරි දීම වෙනුවන් නොගෙවන මිලක්. 

ඕනෑම මවක් දරුවෙකුට කිරි දීම වෙනුවෙන් අත හරින දේවල් වගේම අත නොහරින දේවල්ද තිබෙනවා. මේ දේවල් නිරීක්ෂණය කිරීමෙන් අප‍ට ඇයට සාපේක්ෂව දරුවාට කිරි දීමේ වටිනාකමේ උපරිම හා අවම සීමාවන් හොයා ගන්න පුළුවන්. නිරීක්ෂණ වැඩි වන තරමට ඔය සීමා දෙක අතර පරතරය කුඩා වෙනවා. ඒ කියන්නේ දරුවාට කිරි දීමේ ඇයට සාපේක්ෂ වටිනාකම වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකි වෙනවා. මෙය කීයක් වුවත් අසීමිත නැති බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

වත්මන් ලෝකයේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලීන්ට දායක වන ආකාරය නිරීක්ෂණය කරලා මේ ඇස්තමේන්තුව මීට වඩා පහසුවෙන් සකස් කරන්න පුළුවන්. දරුවන් නිසා කාන්තාවන් ආර්ථික ලාබ තිබෙන වෙනත් කටයුතු අත හරිනවා. උදාහරණයක් විදිහට රැකියාවකට නොගොස් ගෙදර ඉන්නවා. නමුත් මේ විදිහේ කැප වීමකට සීමාවක් තිබෙනවා. දරුවෙකු වෙනුවෙන් කියලා මවක් ඕනෑම දෙයක් කැප කරන්නේ නැහැ. යම් නිශ්චිත අවස්ථා වලදී දරුවන් වෙනුවෙන් හිතා ගන්න බැරි තරම් විශාල කැපකිරීම් කරන මවුවරු ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වය ඒක නෙමෙයි. මේ කියන කරුණ තේරුම් ගන්න බැරිනම් එය තර්ක බුද්ධිය පැත්තකට දමා ඕනෑවට වඩා හැඟීම් වල සිරකරුවෙකු වීමේ ප්‍රශ්නයක්. 

කාන්තාවන් රැකියා සඳහා නිවසින් පිටත දිගු කාලයක් ගත කිරීම මිනිස් ඉතිහාසයේ ඉතාම මෑත කාලයකදී සිදු වූ දෙයක්. මේ එක්කම මවුවරුන්ට මුදල් වෙනුවෙන් දරුවන්ට කිරි දෙන එක අත හරින්න සිදු වුනා. වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නයට ලබා දුන් විසඳුම ළදරු පිටි කිරි. නමුත් ළදරු පිටි කිරි කියන්නේ මවුකිරි වලට සියයට සියයක්ම ආදේශකයක් නෙමෙයි. 

තාක්ෂණයේ හා වෙළඳපොළ දියුණුව විසින් මේ ප්‍රශ්නයටත් විසඳුම් ලබා දී තිබෙනවා. දැන් ගොඩක් මවුවරුන් සේවයට යන්න කලින් කිරි දොවා ශීතකරණයක දමා යනවා. ඒ කිරි එක්ක අම්මාගේ ආදරය මුසු උණුසුම ලැබෙන්නේ නැහැ තමයි. නමුත් අඩු වශයෙන් අම්මාගේ කිරි ළදරුවෙකුට ලැබෙනවා.

මේ හැම අවස්ථාවකම සිදු වී තිබෙන්නේ වෙළදපොළ විසින් වැඩියෙන් තේරීම් ලබා දීම. කාන්තාවකට කැමතිනම් රැකියාවකට නොගොස් දරුවන් බලාගෙන ගෙදර ඉන්න පුළුවන්. කැමතිනම් රැකියාවකට යන්න පුළුවන්. එය ඇගේ තේරීමක්. රැකියාවකට යාමේ අවස්ථාව හිමිවුණා කියලා අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නැහැ. නමුත් රැකියාවකට නොගියොත් සිදු වන පාඩුවක් තිබෙනවා. ඒ වගේම, රැකියාවකට යාම නිසා සිදු වන පාඩුත් තිබෙනවා. මේ පාඩු කිරා මැන බලන එක පෞද්ගලික තේරීමක්.

රැකියාවකට යන්න තීරණය කළොත් දරුවන්ට කිරි දීමේ ප්‍රශ්නය මතු වෙනවා. ළදරු කිරිපිටි එයට එක් විසඳුමක්. කිරි දොවා ශීතකරණයේ දමා යාම තවත් විසඳුමක්. කරන්නේ කුමක්ද කියන එක පෞද්ගලික තේරීමක්. තේරීම කුමක් වුවත් එම තේරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ළදරු කිරි පිටි, ශීතකරණ, කිරි දොවන පොම්ප ආදිය වෙළඳපොළ විසින් සපයනවා. වෙළඳපොළ නොවන්නට මේ තේරීම් නැහැ. ඒ වගේම වෙළඳපොළ පවතින්නේ කාගේ හෝ ලාභාපේක්ෂාවන් නිසා. කිරි දෙන මවක් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ තේරීම් කරනවාක් මෙන්ම වෙනත් අය ලාභාපේක්ෂාවෙන් එම තේරීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා.

මවකගේ අවසන් තීරණය කුමක් වුවත් සාමාන්‍යයෙන් බොහෝ මවුවරුන්ට අවශ්‍යනම් තමන්ගේ දරුවන්ට මවුකිරි දීමේ අවස්ථාව තිබෙනවා. එම තේරීම තෝරාගන්නවාද කියන එක ඇගේ පෞද්ගලික තීරණයක්. එහෙත්, අවාසනාවන්ත ලෙස මේ තේරීම නැති වන අවස්ථාද තිබෙනවා. දරුවකු බිහි කරද්දී දරුවා ජීවත් වී මව මිය යන අවස්ථා තිබෙනවා. දරුවා බිහි කිරීමෙන් පසුව විවිධ සෞඛ්‍ය හේතු හා රෝග නිසා මවට දරුවාට මවු කිරි දිය නොහැකි අවස්ථා තිබෙනවා. මවු කිරි දිය හැකි වුවත් ප්‍රමාණවත් තරම් දිය නොහැකි අවස්ථා බොහෝ විට තිබෙනවා. විශේෂයෙන්ම දරුවෙකු නියමිත මාස ගණන සම්පූර්ණ නොකර ඉපදුණු විට මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ වඩා වැඩියි. 

ඇතැම් විට අඩු වයසින් ඉපදුනු දරුවෙකු ජීවත් කරවීම සඳහාම මවුකිරි අවශ්‍ය වෙනවා. තවත් අවස්ථා වල දරුවන් මවුකිරි හැර අනෙකුත් ආදේශක වලට අසාත්මික වෙන අවස්ථා තිබෙනවා. වෙනත් ආදේශක ලබා දිය හැකි වුවත් වඩාත්ම හොඳ දෙය වන මවු කිරි දරුවෙකුට ලබා දෙන්න දෙමවුපියෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. 

ඉතිහාසය ඇවිස්සුවොත් දරුවන්ට වෙනත් කාන්තාවක් හෙවත් කිරිමවු කෙනෙකු විසින් කිරි දුන් අවස්ථා අපට හමු වෙනවා. යම් හේතුවක් නිසා දරුවෙකුට මවුකිරි ලබා දීමේ හැකියාවක් නැත්නම්, කිරිමවු කෙනෙකු සොයා ගත හැකිනම්, එය හොඳ විකල්පයක්. නමුත්, මේ වැඩේ හිතන තරම්ම පහසු නැහැ. තමන්ගේ බිළිඳු දරුවාට කවුරු හෝ මවකගේ කිරි ලබා දීමට අවශ්‍ය දෙමවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ ඇතැම් අය ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න සූදානම් අයයි. ඒ නිසා, මවුකිරි කියන්නේ සැලකිය යුතු වෙළඳපොළ ඉල්ලුමක් තිබෙන දෙයක්. 

අනෙක් අතට, දරු ප්‍රසූතියකදී මවක මියයාමට තිබෙන ඉඩකඩට වඩා දරුවෙකු මියයාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, මවුන් අහිමි දරුවන්ට වඩා දරුවන් අහිමි වූ මවුවරුන් වැඩියි. ඒ මවුවරුන්ටත් කිරි උනනවා. එය ස්වභාවික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත්, එවැනි මවකට කිරි වල වටිනකාම්ක් නැහැ. ඇත්තටම කිරි ඉනීම වදයක්. යම් කාලයක් යන තුරු එසේ උනන කිරි දොවා ඉවත් කරන්න සිදු වෙනවා. දරුවන් අහිමි වූ මවුවරුන් හා තමන්ගේ දරුවාට දෙන්නට කිරි නැති මවක් සංසන්දනය කළ හොත් වෙනත් ඕනෑම භාණ්ඩයකට වගේම මවුකිරි වලටත් තියෙන්නේ වාස්තවික වටිනාකමක් නොව සාපේක්ෂ වටිනාකමක් කියන එක පැහැදිලි වෙයි.

වටිනාකම් සාපේක්ෂ නිසා හුවමාරුවකින් එයට සම්බන්ධ වන පාර්ශ්ව දෙකටම වාසියක් සිදු වෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයයි. එහිදී වෙන්නේ එක් අයෙකුගේ ලාබය වෙනුවෙන් වෙනත් අයෙකු පාඩු විඳීමක් නෙමෙයි. දරුවකු අහිමි වූ මවකට මවුකිරි වල වටිනාකමක් නැහැ. නමුත්, තමන්ගේ දරුවාට දෙන්නට තරම් ප්‍රමාණවත් කිරි උරන්නේ නැති මවකට මවුකිරි වල වටිනාකම ගොඩක් වැඩියි. ඒ නිසා, මවුකිරි වලට වෙළඳපොළ ඉල්ලුමක් හැදෙනවා මෙන්ම එම ඉල්ලුම සැපිරිය හැකි මවුකිරි සැපයුමක්ද තිබෙනවා. ඉල්ලුමක් හා සැපයුමක් ඇත්නම් වෙළඳපොළක් බිහි විය යුතුයි.

මවුකිරි අලෙවි වන වෙළඳපොළක් තිබෙනවා. මේ වෙළඳපොළ තුළ කටයුතු සිදුවන ආකාරය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. වෙළඳපොළ තුළ සිටින ප්‍රධානම ධාවක බලවේගය මවුකිරි බැංකු. මෙවැනි බැංකු බොහෝ විට ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතන. ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතනයක් කියන්නේ ලාබ නොලබන ආයතනයක් නෙමෙයි. එවැනි ආයතනද ලාබ ලබනවා. ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයකට සාපේක්ෂව මෙවැනි ආයතනයක වෙනස වන්නේ ලබන ලාබයද කිසියම් අරමුණක් වෙනුවෙන් වැය කිරීමයි. 

මුල් කාලයේදී මවුකිරි බැංකු විසින් මවුවරුන්ගෙන් කිරි මිල දී ගත්තේ නැහැ. දැනුත් බොහෝ මවුකිරි බැංකු කිරි සඳහා දායක මවුවරුන්ට මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙන් කිරි ලබා දෙන මවුවරුන්ගෙන් කිරි එකතු කර ගැනීමයි. මේ කටයුත්තේදී ඔවුන් දැඩි තත්ත්ව පාලනයක් සිදු කරනවා. කිරි ලබා ගන්නේ අවශ්‍ය සෞඛ්‍යමය හා වෙනත් කොන්දේසි සපුරන මවුවරුන්ගෙන් පමණයි. මේ අයුරින් එකතු කරගන්නා මවුකිරි කල් තබා ගත හැකි පරිදි පැස්චරීකරණය කර ශීත කර කරනවා.

මවුකිරි බැංකු වලට කිරි එකතු කරගන්නේ මුදල් ගෙවා නොවුනත් එම කිරි වල තත්ත්ව පාලනය කිරීමට, සකස් කිරීමට, ගබඩා කර තබාගැනීමට හා බෙදාහැරීමට මුදල් වැය වන නිසා මෙවැනි ආයතන වල ඉලක්කය ලාබ ලැබීම නොවුනත් කිරි අලෙවි කරන්නේ මුදලටයි. මවු කිරි අවුන්සයක මිල ඩොලර් පහක් පමණ දක්වා විය හැකියි. ඒ නිසා, දරුවෙකුට අවශ්‍ය මවු කිරි මිල දී ගැනීම සඳහා දිනකට ඩොලර් සීයක පමණ මුදලක් වැය විය හැකියි. එය ළදරු කිරිපිටි සඳහා වැය වන මිලට සාපේක්ෂව විශාල මුදලක්. 

ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ මෙන්ම ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා ඉන්දියාව වැනි රටවලද තිබෙන මෙවැනි කිරි බැංකු විසින් කරන්නේ ලාබ හෙවීමක් නොව සේවයක් කියා බොහෝ දෙනෙක් කියන්න පුළුවන්. කිරි බැංකු වලින් බොහෝ විට පාරිභෝගිකයින්ට සෘජුව මවුකිරි විකිණීම වෙනුවට රෝහල් වලට මවුකිරි අලෙවි කරනවා. ඇතැම් සෞඛ්‍ය රක්ෂණ වලින් දරුවන්ට ලබාදෙන මවුකිරි වල වියදම ප්‍රතිපූරණය කරනවා. එහෙත්, කාය වර්ධන ක්‍රීඩකයින් වැනි අයට මවුකිරි අලෙවි කරන අවස්ථාද තිබෙනවා. 

ඉහත ආකාරයේ මවුකිරි බැංකු විසින් මවුකිරි සඳහා වෙළඳපොළක් ගොඩ නගා ඇති නිසාම මවුකිරි සඳහා සිල්ලර වෙළඳපොළක්ද බිහි වී තිබෙනවා. මෙහි අතරමැදියන් නැහැ. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු වෙනවා. මෙම සිල්ලර වෙළඳසැල හරහා මවකට තමන්ගේ කිරි නොමිලේ මවුකිරි බැංකුවකට ලබා නොදී ඒ වෙනුවෙන් යම් මිලක් අය කරගැනීමට අවස්ථාව සැලසෙනවා. අනෙක් පැත්තෙන් මවුකිරි මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වඩා අඩු මිලකට මවුකිරි ලැබෙනවා. මේ සිල්ලර වෙළඳපොළේ මවුකිරි අවුන්සයක මිල ඩොලර් ශත පණහක් තරම් අඩු විය හැකියි.

මවුකිරි බැංකුවකින් කරන්නේ කාගේ හෝ මවකගේ අපතේ දමන මවුකිරි මවුකිරි අවශ්‍ය දරුවෙකුට ලබා ගැනීමට සැලැස්වීමයි. ඒ සඳහා යන වියදම ඔවුන් ආවරණය කර ගන්නවා. සිල්ලර වෙළඳසැල තුළ සිදු වන්නේද එයමයි. මෙහිදී පාරිභෝගිකයාට මෙන්ම කිරි සපයන මවටද වැඩි වාසියක් ලැබෙනවා. එහෙමනම්, කිරි බැංකු හොඳ වී සිල්ලර මවු කිරි වෙළඳාම නරක වෙන්න පුළුවන්ද?

සිල්ලර වෙළඳපොළෙන් (අන්තර්ජාලය හරහා) කිරි මිල දී ගනිද්දී ඇති වන ප්‍රශ්නය මිල අඩු වුවද, කිරි බැංකුවකින් ලැබෙන තත්ව පාලන සහතිකය නොලැබීමයි. ඒ නිසා, මෙහිදී තිබෙන්නේ මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක්. කිසියම් ලාබ ලබන සමාගමක් විසින් මේ ප්‍රශ්න දෙකම විසඳන අතර ලාබ ගන්නවානම් එහි කවර හෝ ආචාර ධර්මීය වැරැද්දක් තිබෙනවාද?

අපි හිතමු කිරි සපයන මවුවරුන්ට තරඟකාරී මිලක් ගෙවමින්, කිරි බැංකු තරමටම ගුණාත්මක භාවයද පවත්වා ගනිමින්, කිරි බැංකු වල මිලට හෝ අඩු මිලකට මවුකිරි විකුණා ලාබ ගන්නා සමාගමක් ගැන. දැන් මේ සමාගම විසින් ගන්නා ලාබ වලින් කාට හෝ වාසියක් මිසක් පාඩුවක් වෙනවාද? මිල්ක්ස්ටෝර්ක් වැනි සමාගම් මේ වැඩේ කරනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව මේ වන විට ඔවුන් රටවල් 122කට මවු කිරි අවුන්ස මිලියන 7කට වඩා සපයා තිබෙනවා. මේ හරහා ඇතිව තිබෙන තරඟකාරිත්වය නිසාම ඇතැම් මවුකිරි බැංකු විසින්ද දායක මවුවරුන්ට මුදල් ගෙවන්න පටන් ගෙන තිබෙනවා.

මේ වෙළඳපොළ තවමත් නියාමනය වන්නේ නැහැ. තවමත් නියාමකයින්ගේ අවධානය යොමු නොවීම ඊට හේතුව වෙන්න පුළුවන්. නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය සිදු වෙයි. ලාබ ලබන සමාගම් පැවතීම නිසා ලාබ ලැබීම ඉලක්ක නොකරන කිරි බැංකු වලටද මිල හා ගුණාත්මක භාවය තරඟකාරී මට්ටමක තියාගන්න වෙනවා. එවැනි සමාගම් නොපැවතියේනම් ඒ වැඩේ වෙන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවන් සැපයීමේ වෙළඳපොළ වල සිදු වන්නේද මෙවැන්නක්. 

ලාබ ලබන සමාගම් පැවතීම නිසා සිදු වන්නේ අඩු වයසෙන් ඉපදෙන, ජීවත් වීම සඳහා මවු කිරි නැතුවම බැරි ළදරුවන් තවත් කිහිප දෙනෙකුට හෝ ජීවත්වීමේ අවස්ථාව ලැබීමයි. මවුකිරි වලටත් මිලක් අය කිරීම වැරදියැයි කෙනෙකුට පුරුද්දෙන් මෙන් කියවන්න පුළුවන්. වෙළදපොළට විරුද්ධ එවැනි අදහසක් හරහා කළ හැක්කේ ළදරුවන් යම් පිරිසකගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම පමණයි. එය මානුෂිකද අමානුෂිකද? එවැන්නක් කිව හැකි අයෙකු සැලකිය හැක්කේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ලෙසද නැත්නම් ශිෂ්ඨ සම්පන්න, සාධාරණ මිනිසෙකු සේ පෙනී සිටින්නට උත්සාහ කරන අශිෂ්ඨ, ම්ලේච්ඡ, ගෝත්‍රිකයෙකු ලෙසද? හැඟීම් වලට වහල් නොවී පොඩ්ඩක් නිදහසේ හිතා බලන්න!

Thursday, July 20, 2023

හිතේ ඇති තේ...


මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඩිල්මා තේ කාර්ය භාරය ගැන යම් සංවාදයක් ඇති වී තිබෙන බව පේනවා. මේ හා අදාළව අපටත් ප්‍රශ්න කිහිපයක් යොමු කෙරුණා.

"ශ්‍රමිකයින් සූරාකමින් හෝ ඊට උල්පන්දම් දෙමින් තේ නිපදවා අලෙවි කර ලාබ ලබන ආයතනයක් විසින් තමන්ගේ ව්‍යාපාරය සදාචාරත්මක වෙළඳාමක් ලෙස හඳුන්වා දීම කෙතරම් නිවැරදිද? මේ ප්‍රශ්නය වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද?"

මෙය අසා තිබුණු ප්‍රශ්නයම නෙමෙයි. එම ප්‍රශ්න ඇසුරෙන් සකස් කර ගත් ප්‍රශ්නයක්. මුල් ප්‍රශ්නයට පෞද්ගලිකව පිළිතුරු දී අවසන් නිසා ප්‍රශ්නය මේ විදිහට සූත්‍රගත කළේ කියන්න අවශ්‍ය දේ කියන එක පහසු කර ගන්නයි. 

අප සාමාන්‍යයෙන් පුද්ගලයින් අගය කරමින් හෝ විවේචනය කරමින් ලිපි ලියන්නේ නැහැ. එසේ කරන්නේයැයි පෙනෙන බොහෝ අවස්ථා වල ඇත්තටම කරන්නේ පුද්ගලයෙකුගේ නිශ්චිත ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සංවාදයට බඳුන් කිරීමයි. කිසියම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් අගය කළ පමණින් එවැන්නෙකු විසින් කරන හැම දෙයක්ම අනුමත කෙරෙන්නේ නැතුවා වගේම යම් ක්‍රියාවක් විවේචනය කිරීමේදී එවැන්නෙකුගේ වෙනත් ක්‍රියාවන් හෙළා දැකීමක් අදහස් වන්නේ නැහැ. 

ඩිල්මා තේ සම්බන්ධව පෞද්ගලිකව ලේඛකයාට අගය කිරීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න, මේ දවස් වල බොහෝ දෙනෙකු විසින් උත්කර්ශයට නංවන ඩිල්මා සන්නාමය ගොඩ නගා රටින් පිටට ගෙනයාමයි. එය ලෝක පරිමාණයේදී මහා ලොකු දෙයක් නොවුනත්, එවැනි දේ ඉතා අඩුවෙන් සිදු වී ඇති ලංකාවේ සන්දර්භයේදී ලොකු දෙයක්. දෙවැන්න ඩිල්මා තේ ආයතනයේ ඇතැම් සමාජ සත්කාරක කටයුතුයි. 

මෙම සමාජ සත්කාරක කටයුතු අතරින් පෞද්ගලිකව ලේඛකයාට ඉතාම වැදගත් වී තිබෙන්නේ ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ඓතිහාසික ලේඛණ සංරක්ෂණය කර, ඩිජිටල්කරණය කර, පොදු දේපොළ බවට පත් කිරීමයි. ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳව සහ වෙනත් ඓතිහාසික කරුණු පිළිබඳ සටහන් සකස් කිරීමේදී (උදාහරණයක් ලෙස මෑතකදී පළ කළ ලක්ෂ හතරකට අධික පිරිසක් විසින් මේ වන විට කියවා ඇති පෝය නිවාඩු පිළිබඳ සටහන) මෙම ලේඛණ අපට බොහෝ සේ උපකාරී වී තිබෙනවා. පොදු අරමුදල් වලින් නඩත්තු වන ලංකාවේ කිසිදු සරසවියක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක් හෝ රාජ්‍ය ලේඛණාගාරයක් විසින් මෙවැන්නක් කර ඇති බවක් අප දන්නේ නැහැ. මෙය දෙවන වනවානම් ඒ ගෝලීය ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවේ නූලහම් (நூலகம்) ව්‍යාපෘතියට පමණයි. අඩු වශයෙන් මේ වෙලාවේ හෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඩිල්මා තේ ආයතනයට අපගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. 

"උඩරට කඳුකර සිරියා පරදන..."

ඔය කතාව ගොඩක් පරණ කතාවක්. ඔය සිංදුවේ වගේම "තේ කූඩය පිටේ බැඳන්" වගේ සිංදු වලිනුත් හිතේ මැවුවේ වගේම පසුව රූපවාහිනියෙන් පෙන්නුවේ රූප ලාවන්‍යාලේපන තොල් වල, නියපොතු වල උලාගෙන තේ දළු කඩන අව්වක් ඉඳහිටවත් නොදුටු සුදු, ලස්සන ලලනාවෝ. නමුත් ඇත්තටම තේ දළු කඩන්නේ අවුවට පිච්චිලා කළු ගැහුණු සරීර කූඩු දරන දුක්ඛිත ජීවිත කියන එක ඒ තරම්ම පරණ කතාවක් නොවුණත්, ඒ කතාවත් අලුත් කතාවක් නෙමෙයි. ඔය දෙවන කතාවත් අපි අහලා දැන් අවුරුදු තිහ හතළිහක්වත් වෙනවා. අද ලංකාවේ තේ කර්මාන්තය අවුරුදු පණහකට කලින් තිබුණු කර්මාන්තය නෙමෙයි. හැබැයි තවමත් ගොඩක් අයගේ හිතේ ඇති තේ කර්මාන්තය පළමු එක කොහොම වෙතත් එයින්ම ව්‍යුත්පන්න වී තිබෙන ඔය දෙවෙනි එක. 

ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ වුනේ උඩරට කඳුකරයේ තමයි. ඒ වගේම, ආරම්භයේදී මේ කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පැහැදිලි විභේදනයක් තිබුණා. ඔය ආකෘතිය ඇසුරෙන් තේරුම් ගත හැකි පැරණි තේ කර්මාන්තයේ නෂ්ඨාවශේෂ තවමත් තිබෙන එක ඇත්තක් වුවත්, ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් මුහුණුවර ඔය ඒකාකෘතික දැක්මෙන් කිසිසේත්ම නිරූපණය වෙන්නේ නැහැ. 

ලයින් කාමර වලට හිර වෙලා මුළු ජීවිතේම තේ වත්තට කඹුරන එයින් එහා ලෝකයක් නැති ජීවිත අද ලංකාවේ නැහැයි කියලා මම කියන්නේ නැහැ. නමුත්, අද ලංකාවේ තේ කර්මාන්තයේ සාමාන්‍ය ශ්‍රමිකයා ඔය විදිගේ කෙනෙක් නෙමෙයි. ඒ වගේම සාමාන්‍ය තේ වතුහිමියෙක් කියා කියන්නෙත් දශක ගණනාවකට කලින් හිටපු විදිහේ තේ වතු හිමියෙක් නෙමෙයි. කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර වූ පැහැදිලි විභේදනය මේ වෙද්දී ටිකෙන් ටික වියැකී ගිහින්. බොහෝ විට වතුහිමියා සහ ශ්‍රමිකයා කියන්නේ එක්කෙනෙක්. 

මේ වෙද්දී තේ දළු නිෂ්පාදනය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ටත් වඩා අඩුයි. රටේ මුළු කෘෂිකාර්මික නිෂ්පාදිතයම ගත්තත් 9%කට අඩුයිනේ. ඔය කර්මාන්තයේ වතුහිමියන්ට වගේම ශ්‍රමිකයින්ටත් මොන අනුපාතයෙන් හෝ බෙදාගන්න තියෙන්නේ රටේ ජාතික ආදායමෙන් 1%ක්වත් නැති ඔය කොටස තමයි. නමුත් හදන තේ කොළ වලින් වැඩි කොටසක් අපනයනය කරන නිසාත්, ඩිල්මා වගේ සමාගම් විසින් රට ඇතුළේම අගය එකතු කිරීම් කරන නිසාත් රටේ අපනයන ආදායම් වලින් 10%කට ආසන්න කොටසක් තේ වලින් ලැබෙනවා. 

මේ වෙද්දී ලංකාවේ නිපදවන තේ වලින් 60%ක් පමණම හදන්නේ පහතරට මිසක් සිරියා පරදන උඩරට කඳුකර නෙමෙයි. රටේ තේ නිෂ්පාදනයෙන් 74%ක් පමණ හදන්නේ පෞද්ගලික වතුහිමියෝ. එයිනුත්, 59%ක් පමණම කුඩා තේ වතුහිමියෝ. 2021දී මේ විදිහේ කුඩා තේ වතුහිමියෝ ප්‍රමාණය 420,000කට වඩා වැඩියි. වැඩිපුරම රත්නපුර දිස්ත්‍රික්කයේ. ඊළඟට ගාල්ලේ. තේ ඉඩම් වලින් 76%ක් පමණම අයිති ඔවුන්ටයි.

මේවා කුඩා ඉඩම් කැබලි. පෞද්ගලික තේ වතුහිමියන්ගෙන් 43%කටම අයිති අක්කර බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක්. 77%කටම තියෙන්නේ ඉඩම් අක්කරයකට වඩා අඩුවෙන්. කුඩා තේ වතුහිමියෙකු සතු සාමාන්‍ය ඉඩම් ප්‍රමාණය අක්කරයකට වඩා අඩුයි.

දැන් ලංකාවේ සාමාන්‍ය තේ ඉඩම්හිමියා කියන්නේ ඔය වගේ කෙනෙක්. මේ වගේ කුඩා ඉඩම්හිමියෝ තමන් විසින්ම නිවාඩු පාඩුවේ දළු ටික කඩා ගන්නවා මිසක් ඒ වැඩේට වෙන කෙනෙක්ව කුලියට ගන්නේ නැහැ. එහෙම කුලී ගෙවලා ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න බැහැ. සැලකිය යුතු පිරිසක් සමෘද්ධිලාභීන්. සමහර විට සති අන්තයේ දළු ටික තමන් විසින්ම කඩා ගන්න රජයේ සේවකයෙක්. 

තේ ඉඩම් අක්කර කිහිපයක් තියෙන කෙනෙක් සැලකිල්ලට ගත්තත්, කුලියට හෝ අස්වනු හවුලට ශ්‍රමිකයින් යොදවා ගන්නවා මිස ස්ථිර ලෙස සේවකයින් බඳවා ගන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ සමාගම් නොවන ලොකු තේ වතු හිමියෝ පමණයි. ඒ වගේ කෙනෙකුට වුනත් කුණු කොල්ලෙට ලාබ ශ්‍රමය ලබා ගත හැකි ශ්‍රම සැපයුමක් දැන් ලංකාවේ නැහැ. සමහර වෙලාවට දළු ටික කඩා ගන්න මනුස්සයෙක් හොයා ගන්න පණිවිඩ කීපයක් යවලා නොවඳිනා වැඳුම් වඳින්න වෙනවා.  

මේ විදිහට ලොකු තේ වතු සමාගම් අකර්මන්‍ය වෙමින් කුඩා තේ වතු අංශය දියුණු වෙන්නේ ඇයි? 

එකක් වතු අංශයේ සේවකයෝ වෘත්තීය සමිතිගත වී සිටීම. මේ හරහා ඔවුන් හදාගෙන තිබෙන ඒකාධිකාරය මගින් වතු අංශයේ සේවකයෝ කාලයක් තිස්සේ තේ මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් තමන්ගේ වැටුප් වැඩි කරගන්න සමත් වී තිබෙනවා. එම වැටුප් වැවිලි සමාගම් වලට බරක්. ඊට අමතරව කාලයක් තිස්සේ ඩොලරය පහළින් තියාගෙන සිටීමේ බරත් කර්මාන්තයට දරන්න වෙනවා. මේ තත්ත්වයන් හමුවේ, තමන්ගේ වැඩේට තමන්ගේම ශ්‍රමය යොදවන කුඩා තේ වතුහිමියන්ට කර්මාන්තය තුළ රැඳී ඉන්න එක වඩා පහසු වී තිබෙනවා.

හැබැයි වෘත්තීය සමිතිගත වී සිටියා කියලා දිගුකාලීනව ශ්‍රමිකයින්ට සිදු වන යහපතක් නැහැ. අවසාන වශයෙන් දිගුකාලීනව ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවයට සමාන වැටුපක්. සමාජවාදී ආකෘතිය යටතේ වතු රජයසතු කළා කියලා ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් වුනාද? අන්තිමට වුනේ ලාබ ලබපු වතු පාඩු ලබන තත්ත්වයට පත්වීම පමණයි. හැබැයි ඔය පාඩුව එකම පාඩුව නෙමෙයි.

ඉංග්‍රීසින් විසින් හඳුන්වා දී ලංකාවට ඉතිරි කර ගිය තේ කර්මාන්තය නිදහසින් පසුව ඉදිරියට ගියේ නැති තරම්. ඊට හේතුව කර්මාන්තය තුළ වූ රජයේ බලපෑමයි. මුල් යුගයේදී පොදුවේ "සිලෝන් ටී" සන්නාමය ඉංග්‍රීසින් විසින් ජනප්‍රිය කරලා තිබුණත් ඒ වගේ සන්නාමයක් අද ලෝක වෙළඳපොළ ජයගන්න ප්‍රමාණවත් නැහැ. 

අදටත් ලංකාවේ තේ වලින් වැඩි කොටසක් රටින් එළියට යන්නේ නිකම්ම තේ කොළ විදිහට. මේ තේ කොළ රටෙන් පිටතදී කාගේ හෝ සන්නාමයක් බවට පත් වෙනවා. ඩිල්මා තේ කියන්නේ මේ බැරියරය කඩා ගෙන ඉස්සරහට ගිය පුරෝගාමී මෙහෙවරක්. දැන් ඒ වගේ ශ්‍රී ලාංකික සන්නාම ගණනාවක් තිබෙනවා. ස්ටාර්බක් කෝපි වගේ දැවැන්ත සන්නාමයක් හදාගන්න ඩිල්මා සමාගමට හෝ වෙනත් එවැනි සමාගමකට හැකි වී නැහැ. හැබැයි නිකම්ම තේ කොළ රටෙන් එළියට යවන එකට සාපේක්ෂව මෙය ලොකු දෙයක්.

ඩිල්මා කියන්නේ තේ වවන සමාගමක් නෙමෙයි. කොළඹ තේ වෙන්දේසියෙන් තේ කොළ මිල දී ගෙන එම තේ කොළ සහ වෙනත් තේ කොළ තමන්ගේ සන්නාමය යටතේ අගය එකතු කර විකුණන සමාගමක්. එම සමාගම ප්‍රමාණාත්මකව දැවැන්ත සමාගමක් නෙමෙයි. සේවකයෝ 624ක් ඉන්න සාපේක්ෂව පොඩි සමාගමක්. සතියකට වරක් රුපියල් බිලියන 160ක පමණ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන රටක රුපියල් බිලියන 11ක වාර්ෂික පිරිවැටුමක් තිබෙන සමාගමක් කියන්නේ ප්‍රමාණාත්මකව පොඩි සමාගමක්. ඒ වගේ පොඩි සමාගමකට රටේ තේ කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ලොකුවට වෙනස් කරන්න බැහැ. හැබැයි කර්මාන්තයේ පුරෝගාමියෙකු වීම හරහා විශාල ගුණාත්මක වෙනසකට මුල පුරන්න පුළුවන්. 

ඇඟලුම් කර්මාන්තයේදී ටික කලක සිට "සදාචාරාත්මක ශ්‍රමය" වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙය සාපේක්ෂව අලුත් ප්‍රවණතාවක්. ඩිල්මා සමාගම "සදාචාරාත්මක" කියන වචනය යොදා ගන්නේ ඒ සන්දර්භයේම නෙමෙයි. ඒක ඊට වඩා පරණ කතාවක්. 

එක පැත්තකින් මේක ඔවුන්ගේ සන්නාමය ජනප්‍රිය කර ගැනීම සඳහා යොදාගෙන තිබෙන සාර්ථක උපාය මාර්ගයක්. මේ හරහා ඔවුන් අහන්නේ "සිලෝන් ටී" කියන සන්නාමය නිසා ලැබෙන ව්‍යාපාරික වාසිය ලංකාවට නොලැබී වෙන රටකට ලැබෙන එක කොයි තරම් සදාචාරාත්මකද කියන ප්‍රශ්නය. මේ පුරෝගාමී කාර්යයේ වාසිය අනෙකුත් ශ්‍රී ලාංකික තේ නිෂ්පාදකයින්ටත් ලැබෙනවා.

මෙරිල් ප්‍රනාන්දුට සහ පවුලේ සාමාජිකයින්ට කොටස් හිමිකම් තිබෙන හා ඔවුන් විසින් කළමනාකරණය කරන වෙනත් සමාගම් තිබෙනවා. ඒ ඇතැම් සමාගම් සතුව තේ වතු තිබෙනවා. කහවත්ත ප්ලාන්ටේෂන්ස් සමාගම එවැනි සමාගමක්. එහෙත් එම සමාගම පසුගිය කාලය පුරාම ලාබ වලට වඩා පාඩු ලැබූ සමාගමක්. කොටස් වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද එම සමාගමට දුන් ණය වෙනුවෙන් හිලවුවට ලබා දී තිබෙන කොටස්. මහා පරිමාණ වැවිලි සමාගම් කියන්නේ ලොකු අනාගතයක් තිබෙන ව්‍යාපාර නෙමෙයි. එවැනි සමාගම් වලට බංකොලොත් නොවී ඉන්නනම් මිලෙන් නොව ගුණාත්මක භාවයෙන් තරඟ කරන්නම වෙනවා. ලංකාවේ ශ්‍රමයේ මිල එක්ක මිලෙන් තරඟ කරන්න අමාරුයි. ගුණාත්මක භාවයෙන් තරඟ කරනවා කියන්නේ සන්නාම හදාගන්න වෙනවා. 

ඩිල්මා සමාගම කියන්නේ මෙම අභියෝගය ජයගත් සමාගමක්. ලංකාවට අවශ්‍ය වන්නේ තවතවත් මේ වගේ සමාගම්. 2021/22 මූල්‍ය වර්ෂයේ එම සමාගමේ කොටස් හිමියන්ගේ ලාබය 34%ක්. ඒ ලාබය ලබාගෙන තියෙන්නේ ශ්‍රමය සූරා කාලා නෙමෙයි. සමාගමේ එක් සේවකයෙකුට ගෙවා තිබෙන වාර්ෂික වැටුප් හා ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් මිලියන දෙකකට වඩා වැඩියි. ඒ කියන්නේ මේ සමාගමේ බොහොමයක් සේවකයෝ ආදායම් බදු ගෙවන්නෝ. මෙරිල් ප්‍රනාන්දුගේම සමාගම් වල කොටස් හැරුණු විට ප්‍රධානම කොටස් අයිතිකරු සේවක අර්ථසාධක අරමුදල. ඒ කියන්නේ ඩිල්මා සමාගම වැඩි වැඩියෙන් ලාබ උපයද්දී ඒ ලාබ සේවක අර්ථසාධක අරමුදලේ සියලුම සාමාජිකයින් අතරද බෙදී යනවා කියන එක. 

වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්. එක සමාගමක් වැඩියෙන් ලාබ උපයනවා කියා කියන්නේ අවසාන වශයෙන් මුළු රටටම වගේ ඒ ලාබ බෙදී යනවා කියන එක. ලංකාවේ ප්‍රශ්නය එහෙම සමාගම් වැඩිපුර නැති එක. හැදෙන සමාගමක වුනත් කකුලෙන් අදින්න මිනිස්සු වැඩි එක. 

Tuesday, July 26, 2022

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව


නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා. 

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ. 

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා. 

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි. 

"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. 

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ. 

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි. 

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි. 

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක  ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර  ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. 

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

අදාළ පැරණි ලිපි:

තෙසක්රියක ගමනක්...

https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form


ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?

https://econometta.blogspot.com/2016/06/blog-post_76.html


ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

https://econometta.blogspot.com/2016/06/blog-post_83.html


සේවා ආර්ථිකය ගැන තවදුරටත්...

https://econometta.blogspot.com/2016/06/blog-post_42.html


ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?

https://econometta.blogspot.com/2017/01/blog-post_4.html


මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

https://econometta.blogspot.com/2020/06/blog-post_56.html


ලංකාවට වාහන වැඩිද?

https://econometta.blogspot.com/2018/06/blog-post_50.html


#ඉකොනොමැට්ටා 

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Saturday, December 18, 2021

ගෑස් බෝම්බ, මධ්‍යගත සැලසුම් හා නියාමනය

ලංකාවේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය හිටි හැටියේ වෙනස් කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ගැන නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. ප්‍රශ්නය කවුරුත් දන්නවා. මිනිස්සු කඩේ ගිහින් ගෑස් සිලින්ඩර මිල දී ගන්නවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ තමන්ගේ කැමැත්තෙන්. මේ විදිහට කාගෙවත් බලපෑමක් නැතිව, තමන්ගේ කැමැත්තෙන් ගනුදෙනුවක් කරලා ගෙදර අරගෙන යන ගෑස් සිලින්ඩරේ පිපිරිලා ජීවිත හානියක් හෝ වෙනත් හානියක් සිදු වුනොත් එහි වැරැද්ද තියෙන්නේ කොහේද? මේ වගේ අවස්ථාවක රජය මැදිහත් විය යුතුද? එසේනම් ඒ මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක් විය යුතුද?

ගොඩක් වෙලාවට අපට දැකිය හැක්කේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට රජය මැදිහත් වීම නිසාම ඇති වන ප්‍රශ්න. ලංකාව වගේ අඩුවෙන් ධනවාදී වැඩියෙන් සමාජවාදී රටවල මේ තත්ත්වය බොහෝ විට දැකිය හැකියි. හොඳම මෑතකාලීන උදාහරණය රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම නිසා ඇති වූ ප්‍රශ්න මේ වෙද්දී එම ප්‍රශ්න ඇති කළ පාර්ශ්ව විසින්ම තේරුම් ගෙන තිබෙන නිසා අපි ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ තරම් අවුලක් වුනේ මිනිස්සු ගොවිතැන් කිරීමේදී තමන්ගේ වගාවන්ට යෙදිය යුතු පෝර මොනවාද කියන එක පමණක් රජය විසින් තීරණය කරන්න යාම තුළයි. ඒ වැඩෙන් පමණක් ඔය තරම්ම අවුලක් වුනානම්, මිනිස්සු තමන්ගේ ඉඩම් වල වගා කළ යුත්තේ මොනවාද, එක් එක් භෝගය වැවිය යුතු ඉඩම් ප්‍රමාණය කොපමණද ආදී කුදු මහත් හැම දෙයක්ම රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන තත්ත්වයක් යටතේ සිදු විය හැකි විනාශය කාටවත් හිතාගන්නවත් පුළුවන්ද? හැබැයි වැඩේ කියන්නේ තමන් බලයට පැමිණ එවැනි මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අය තමයි රසායනික පොහොර තහනමට විරුද්ධව වැඩිපුර කතා කළේ සහ කරන්නේ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කවදාවත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම වෙන්න බැහැ. අපි හිතමු රටේ එක් එක් ගොවියා සතු ඉඩමේ වැවිය යුතු බෝග හා එම බෝග වර්ග වෙනුවෙන් ඉඩම වෙන් කළ යුතු ආකාරය රජය විසින් තීරණය කරනවා කියලා. මේක විහිළුවක් නෙමෙයි. බලයට පත් වෙන්න අපේක්ෂා කරන ලංකාවේ දේශපාලන පක්ෂයක නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තිය. 

දැන් මේ වගේ වැඩක් සාර්ථක වෙන්නනම් එක් එක් ඉඩමේ විවිධ කොටස් වල හොඳින්ම වැවෙන බෝගය පිළිබඳව ඉඩම් හිමියා සතු දැනුමට නොඅඩු දැනුමක් රජය සතුව තිබිය යුතුයි. ඒ දැනුම රජයට ලබා ගත හැක්කේ විශාල පිරිසක් යොදවා විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීමෙන්. ඒ වගේම, මේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නත් වෙනවා. හැබැයි එහෙම කරලත් ඉඩමක ජීවත් වෙන ගොවියෙකු ක්ෂණිකව දැන ගන්නා දෙයක් රජයට ඊට කලින් දැන ගන්න අමාරුයි. පොඩි හෝ කාල පමාවක් සිදු වෙනවා. ඒ නිසා, මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් වෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් නොවන නිසා එවැනි සැලසුමක් හා අනුගත නොවීම තමන්ට වාසිදායක බව ඉතා ඉක්මණින් ගොවීන්ට තේරෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් සැලසුමෙන් පිට පැන තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න උත්සාහ කරනවා. එසේ නැතත්, මධ්‍යගත සැලසුම ඇත්තටම හොඳ එකක් වුවත්, හැම ගොවියෙක්ම තමන්ගේ කැමැත්තෙන් එයට අනුගත වන්නේ නැහැ. තමන්ට හොඳයි කියා හිතෙන විදිහට කටයුතු කරමින් රජය විසින් බලහත්කාරයෙන් තමන් මත පටවන සැලසුමෙන් පිට පනින්න උත්සාහ කිරීම මිනිස් ස්වභාවය අනුව සිදු වන දෙයක්. 

කෘෂිකර්මයෙන් පිටතට ගියොත් මේ සඳහා හොඳම මෑතකාලීන නිදර්ශනය කෝවිඩ් එන්නත්කරණය. වඩා ධනවාදී රටවල පවා මේ කාරණයේදී මධ්‍යගත සැලසුමක් යටතේ රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. වැඩි පිරිසක් එන්නත්කරණය කිරීම කෝවිඩ් සඳහා හොඳම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඔය කතාව හැමෝම පිළි ගත යුතුද? තමන්ට එන්නත  අනවශ්‍යයයි සිතන කෙනෙක් එන්නත විද ගත යුතුද?

මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුවන දෙවන හා ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. සැලසුම ඇත්තටම හොඳ එකක් වුනත්, රටක ජීවත් වන බොහෝ දෙනෙක් එවැනි සැලසුමකට අනුගත වෙන්න කැමති නැහැ. මෙවැනි සැලසුම් වල බොහෝ විට පැහැදිලි අඩුපාඩු තිබෙන නිසා එම පිරිස තවත් වැඩි වෙනවා. එහිදී රජයට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න බලහත්කාරය යොදන්න වෙනවා. සැලසුමෙන් පිට පනින අය හොයන්න වෙනවා. ඒ අයට දඬුවම් දෙන්න වෙනවා. මේ හැම දෙයකටම විශාල පිරිස් බලයක් අවශ්‍යයි. විශාල රජයක් අවශ්‍යයි.

කෘෂිකර්මය වෙත ගියොත් එක පැත්තකින් රටේ ඉඩම් ගැන, ගොවීන් ගැන, කාලගුණය ගැන, වෙළඳපොළ ඉල්ලුම ගැන විස්තරාත්මක හා අලුත්ම තොරතුරු දිගින් දිගටම හොයා වාර්තා කරන්න විශාල පිරිසක් අවශ්‍යයි. ඉන් පසුව, මේ තොරතුරු හා දත්ත විශ්ලේෂණය කර මධ්‍යගත සැලසුම නිරන්තරයෙන් සුසර කරන්න පිරිසක් අවශ්‍යයි. එම සැලසුම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට, සැලසුම ගැන රටේ සියල්ලන්ම දැනුවත් කිරීමට, සැලසුමෙන් පිට පනින අය ගැන හොයා බලා සැලසුම ඇතුළට ගැනීමට, එසේ සැලසුම ඇතුළට ගත නොහැකි අයට දඬුවම් කිරීමට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මේවා හිතළු නෙමෙයි. මේ වගේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත් උත්සාහයන් පිළිබඳ නිදර්ශන අපට ලෝකයෙන් වගේම ලංකාවෙනුත් අඩු නැතුව හොයා ගන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් යටතේ සිදු වන දෙය නැවත නැවත පරීක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි.

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී පළමුවම සිදු වන දෙය එම මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශාල රාජ්‍ය යාන්ත්‍රනයේ බර එම රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටින මිනිසුන් මත පතිත වීමයි. මේ කරුණ හේතුවෙන් පමණක්ම වුවද නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස පහත වැටෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රනය විශාල වන තරමට එහි එක් එක් දැති රෝදය සමස්ත යාන්ත්‍රනය සමඟ සුසරව කැරකෙන බව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. තේරෙන බාසාවෙන් කිවුවොත් රජයෙන් වැටුපක් ලබා වගාබිම් පිළිබඳ දත්ත එකතු කරන්න යන රාජ්‍ය සේවකයෙක් හැමවිටම තමන්ගේ රාජකාරිය හරියටම කරයිද? ගෙදර ඉඳලා බොරුවට කොළ පුරවා එවුවොත් මොකද වෙන්නේ?

මධ්‍යගත සැලසුමෙන් පිට පනින එක තමන්ට වාසිදායක වගේ පෙනුනහම මිනිස්සු එසේ කරන්න උත්සාහ කරනවා. නමුත් එහිදී ඔවුන්ට දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. මෙවැනි දඬුවම් වලින් බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක් වන්නේ තමන් ගැන හොයා බලන්න එන රාජ්‍ය සේවකයාට සන්තෝෂමක් දෙන එකයි. මේක දෙන්නාටම වාසියි. 

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයින්ම මේ විදිහට සැලසුමෙන් පිට කටයුතු කළ හැකි නිසා එයට විසඳුමක්ද එවැනි මධ්‍යගත සැලසුමක් තුළ සාමාන්‍යයෙන් තිබෙනවා. එක් අයෙක් සැලසුමෙන් පිට පනිනවාද බලා සිටින්න තවත් අයෙක් අවශ්‍යයි. දෙවැන්නා ගැන බලන්න තුන් වැන්නෙක් අවශ්‍යයි. 

රාජ්‍ය සේවය තුළ සිදු විය හැකි හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේ ක්‍රමයේ වැරැද්දක් මිසක් අදාළ පුද්ගලයින්ගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන තුරු, රාජ්‍ය ව්‍යුහයේ ඉහළම තට්ටුව මාරු කිරීමෙන් පමණක් මේ හොරකම්, දූෂණ, නාස්ති නැති කරන්න බැහැ. ඒ නිසා, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අතර හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහි වීම කියා කියන්නේ එක පැත්තකින් ප්‍රශ්නයක් ඇති කරමින් අනෙක් පැත්තෙන් එසේ ඇති කළ ප්‍රශ්නයට විසඳුම් හෙවීමක්. හෝද හෝදා මඩේ දමමින් මඩ වතුරෙන් රෙදි හේදීමක්!

හොරකම්, දූෂණ, නාස්ති අවම කළ හැකි ස්ථිරසාර ක්‍රමය රජය කුඩා කිරීමයි. හැබැයි අප රජය කුඩා කිරීමක් ගැන මිසක් රජය අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. එය තවත් ආන්තීය අදහසක් පමණයි. ප්‍රායෝගිකව රජයකට පමණක් කළ හැකි නිශ්චිත කාර්යයන් ගණනාවක් තිබෙනවා. වෙළඳපොළ සැලකුවත්, රජය වෙළඳපොළට කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ යුතු නැතැයි අප හිතන්නේ නැහැ.

ගෑස් ප්‍රශ්නයට නැවත එමු. සල්ලි දී ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩර හිටිවනම පුපුරනවා. මෙය සිදු වන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් පළමුව ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා කියා අපි හිතමු. මේ වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වුනානම්, රජයේ නියාමනයක් නැතිවම මේ ප්‍රශ්නය වෙළඳපොළ විසින්ම විසඳනවා. ඒ කොහොමද?

ගෑස් පිපිරීම් දෙක තුනක් සිදු වන විට මේ ගැන රටම දැනුවත් වෙනවා. බොහෝ විට වෙනත් ගෑස් සැපයුම්කරුවෙකු විසින් හේතුව උපකල්පනය කර අදාළ සමාගමේ ගෑස් සිලින්ඩරයක සංයුතිය පරික්ෂා කිරීමෙන් එම හේතුව තහවුරු කර ගන්නවා. ඉන් පසුව, මේ බව ප්‍රචාරණය කරමින් අදාළ ගෑස් සමාගමේ පාරිභෝගිකයින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නවා. සංයුතිය වෙනස් කළ ගෑස් සමාගම බංකොලොත් වෙනවා. අනෙකුත් ගෑස් සමාගම් විසින් අනාගතයේදී මෙවැනි "අත් වැරැද්දක්" කරන එකද නවතිනවා.

මේ වගේ දෙයක් වෙන්නේ ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක්ව පැවතුණානම් පමණයි. එහෙත් එම වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නොවෙයි.

වෙළඳපොළක් තරඟකාරී වන්නේ විශාල සැපයුම්කරුවන් පිරිසක් සිටින විටයි. ලංකාවේ ගෑස් වෙළඳපොළ එවැන්නක් නෙමෙයි.  මේ වෙළඳපොළේ සැපයුම්කරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එයින්ද ප්‍රධානම සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් නෙමෙයි. එය රජයේම කොටසක්. එහෙත්, අනෙකුත් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ.

පෞද්ගලික සමාගමකට මෙන් නොව රජය සතු සමාගමකට පැවතීම සඳහා ලාබ අවශ්‍ය නැහැ. ලාබ නැතත් බදු මුදලින් නඩත්තු වෙමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කළ හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇතැම් විට පාඩු ලබමින්, පිරිවැය හෝ නොඉක්මවමින්, ගෑස් විකුණනවා. ඔවුන් ගෑස් විකුණන මිල තීරණය වන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. දේශපාලන සාධක මතයි.

ලාෆ්ස් ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වුවත් ඔවුන්ටද තමන්ගේ ගෑස් මිල තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේද රජය විසින්. බොහෝ විට රජය විසින් තීරණය කරන්නේ ගෑස් වල උපරිම මිල නිසා ඔවුන්ට අවශ්‍යනම් අඩු මිලකට ගෑස් විකුණන්න බැරිකමක් නැහැ.

මෙසේ නියම කරන උපරිම මිල ගොඩක් ඉහළ මිලක්නම් ලාෆ්ස් ගෑස් සමාගමට ලිට්‍රෝ ගෑස් සමාගමට වඩා අඩුවෙන් ගෑස් විකුණා ඔවුන්ගේ පාරිභෝගිකයින් අල්ලා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට රජය විසින් පනවන උපරිම මිල එතරම් ඉහළ මිලක් නෙමෙයි. ඇතැම් විට ඒ මිලට ගෑස් විකුණන්න වෙන්නේ පාඩුවට වෙන්නත් පුළුවන්. 

රජයේම කොටසක් වන ලිට්‍රෝ ගෑස් සමාගමනම් හිතාමතාම පාඩුවට ගෑස් විකුණනවා. එසේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන වකවානු වලදී. නිෂ්පාදන පිරිවැය පහළ යන වකවානු වලදී ඔවුන් ඒ පාඩුව හෝ එයින් කොටසක් අල්ලා ගන්නවා. මේ වෙළඳපොළේ දැවැන්තයා ලිට්‍රෝ ගෑස් සමාගම නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ඔවුන් කරන දෙයම කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, ඔවුන් කරන්නේද, අඩුවට විකිණිය හැකි අවස්ථා වලදී පවා, උපරිම මිලටම හෝ ආසන්න මිලකට ගෑස් විකුණා ලාබ එකතු කර ගන්න එකයි. ඇතැම් වකවානු වල තමන්ගේ ගෑස් පාඩුවට විකුණන්න සිදු වෙන නිසා එසේ නොකර ඔවුන්ට දිගුකාලීනව මේ වෙළදපොළේ රැඳී ඉන්න බැහැ. 

ලංකාවේ ගෑස් වෙළඳපොලේ ලොකුම සැපයුම්කරුවා මෙන්ම මෙම වෙළඳපොළේ නියාමකයාද එකම අයෙක් නිසා පිළිසිඳියා ගැටුමක් නැතිව, කාටත් සාධාරණව, මේ වෙළඳපොළ නියාමනය වීමක් අපේක්ෂා කරන්න බැහැ. මෙවැනි සන්දර්භයක පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමටද රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු හැර තරඟකරුවෙකු වීමේ විකල්පයක් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව සමාගම් දෙකක් අතර තරඟයෙන් වුවත් තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න පුළුවන් වුනත්, මෙහිදී සිදු විය හැක්කේත්, සිදු වී තිබෙන්නේත්, පූර්ණ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් ඇති වීමයි. පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමද මේ ඒකාධිකාරයේ එක් කොටස්කරුවෙකු පමණයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළ නියාමකයා විසින්ම වෙළඳපොළට ගෑස් සැපයුම කරන සන්දර්භයක මේ වෙළඳපොළට යම් හෙයකින් අලුතෙන් පැමිණෙන සමාගමකට වුවත් දැනට වෙළඳපොළෙහි සිටින සමාගම් වලට සැබෑ තරඟකරුවෙකු වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමටනම්, අවම වශයෙන්, රජය මේ වෙළඳපොළෙන් ඉවත් විය යුතුයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද රජයට සම්බන්ධයක් නැති, පෞද්ගලික සමාගමක්ව තිබුනා කියා අපි හිතමු. එවැනි තත්ත්වයක් යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් අතර ඇති විය හැකි තරඟයකින් පාරිභෝගිකයන්ට යහපතක් සිදු විය හැකියි. අනෙක් අතට, ඇමරිකාවේ මෙන් නීතිමය බාධාවක් නැති නිසා, මේ සමාගම් දෙකට තව දුරටත් කාටලයක් සේ කටයුතු කරමින් ඒකාධිකාරයක් පවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම, එවැනි තත්ත්වයක් යටතේ නියාමකයා වන රජයට පිළිසිඳියා ගැටුමක් නැති නිසා මේ සමාගම් දෙකෙන් එකකට හෝ පාරිභෝගිකයන්ට එරෙහිව මේ සමාගම් දෙකටම වාසියක් සැලසීමට සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැතත් ප්‍රායෝගිකව එය එසේම නොවන්නට පුළුවන්. රජය බලවත් වන තරමට වංචා, දූෂණ, හොරකම් වලට ඉඩ වැඩියි.

කෙසේ වුවත්, වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවානම් නියාමකයාට ඒ එක් අයෙකුට විශේෂ වාසියක් කරන්න අමාරුයි. ඒ වගේම, ඒ සියලු දෙනාම එකතු වී කාටලයක් සේ ක්‍රියා කිරීමත් සිදු වන්නේ නැහැ.

ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නැති බවත්, ඒ සඳහා අවම කොන්දේසියක් වන්නේ රජය මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවත් පැහැදිලියි. තරඟකාරී නැති මේ වෙළඳපොළ නිදහස් වෙළඳපොළක්ද?

ගෑස් පාරිභෝගිකයකු විසින් මුලින්ම ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නේත්, එයට නැවත නැවත ගෑස් පුරවන්නේත් ස්ව-කැමැත්තෙන්. සැපයුම්කරු ගෑස් විකුණන්නේනම් කොහොමටත් කැමැත්තෙන්. එපමණකින් මෙය නිදහස් ගනුදෙනුවක් වෙනවාද?

තමන් විසින් මුදල් ගෙවා මිල දී ගන්නා භාණ්ඩය ගැන එය මිල දී ගන්නා පාරිභෝගිකයා දන්නේ මොනවාද? ගෑස් විකුණන සැපයුම්කරු ඒ ගැන දන්නා හැම දෙයක්ම ගෑස් මිල දී ගන්නා අවස්ථාවේදී මේ පාරිභෝගිකයාත් දන්නවාද? එසේ නොවී, මේ දෙදෙනා අතර තොරතුරු අසමමිතියක් ඇත්නම්, පාරිභෝගිකයා විසින් ඇත්තටම මිලදී ගන්නේ ඔහුට මුදල් ගෙවා මිල දී ගන්න අවශ්‍ය වූ දෙයමද? එය එසේ නොවේනම්, මෙය නිදහස් ගනුදෙනුවක්ද?

විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ගැනත් (CA/Writs/609/2021), රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳවත් කතා කළ යුත්තේ මේ සන්දර්භය තුළයි. ලිපිය දිග වැඩි නිසා එය අපි පසුවට තබමු.


Thursday, November 25, 2021

කොඩිය චීනගේ මල්ලි සිංහයත් උගේ!

 


ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියන මතය මේ වෙද්දී ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව විසින් ජනගත කරමින් සිටිනවා. මේ අදහසට ආණ්ඩුවට විරුද්ධ ඇතැම් කණ්ඩායම් අතරත් පිළිගැනීමක් තිබෙනවා. අදාළ ප්‍රවාදය මේ වගේ එකක්.

"නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. අපේ ආනයන වියදම් වැඩි වෙලා ඩොලර් හිඟයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ නිසා. කොඩියේ සිංහයා අපේ වුනත් කොඩිය හදන්නේ චීනා."

දැන් මෙතැනදී දැකිය හැක්කේ ආණ්ඩුවේ වැරැද්ද රටේ මිනිස්සු මත පටවලා ආණ්ඩුව අත හෝදා ගන්න දරන උත්සාහයක්. පිටරටකින් ලාබෙට ගේන්න පුළුවන් දෙයක්, කවර හෝ විශේෂ හේතුවක් නැත්නම්, නොගෙනත් ඉන්න කිසිම හේතුවක් නැහැ. එසේ කළා කියලා සිදුවන වාසියක් මිසක් කිසිදු අයහපතක් නැහැ. අඩුවට ගේන්න පුළුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන්නුවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

ඉහත ප්‍රකාශයේ පළමු කොටස ඇත්ත. නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. මෙහිදී මුල් කතාව කියන අය නොකියන එහිම අනෙක් පැත්ත වන්නේ වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකිණිය යුතු වන්නේත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුවම බවයි. 

ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන්නට යෝජනා කරන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියට විරුද්ධ අයම අනෙක් පැත්තෙන් වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකුණන්න මිනිස්සුන්ට උපදෙස් දෙනවා. ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන ප්‍රතිපත්තියට ලංකාව මෙන්ම ලෝකයේ අනෙක් හැම රටක්ම විරුද්ධ වුනොත් මොකද වෙන්නේ?

පාරිභෝගිකයෙක් හැටියට කවුරු හෝ ශ්‍රී ලාංකිකයෙක් තමන්ට අඩුම මිලට මිල දී ගන්නට ලැබෙන තැනින් භාණ්ඩයක් මිල දී ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. කොඩිය චීනගේද, ඉන්දියානුවාගේද කියන එක නෙමෙයි වැදගත්. කොඩිය කීයද කියන එකයි. මොකද මේ ශ්‍රී ලාංකිකයා විසින් වියදම් කරන්නේ තමන් අමාරුවෙන් උපයා ගත් රුපියල්. 

ශ්‍රී ලාංකිකයෙක් විසින් කොඩියක් මිල දී ගනිද්දී ඩොලර් හෝ යුවාන් වලින් ගෙවන්නේ නැහැ. ඇය ගෙවන්නේ රුපියල් වලින්. කොඩිය ලංකාවේ හදපු එකක් වුනත්, චීනයේ හදපු එකක් වුනත් ගෙවන්නේ එකම රුපියල්. එහෙමනම් එකම කොඩියට එය ලංකාවේ හැදුවා කියා වැඩිපුර ගෙවන්න අවශ්‍ය නැහැ. 


මේ කොඩිය විකුණන්නේ ශ්‍රී ලාංකිකයෙක්. බොහෝ විට ඔහු ලොකු පෝසතෙක් නෙමෙයි. ඔහු චීනෙට ගිහින් මේ කොඩි අරගෙන එන්නේ නැහැ. කවුරු හෝ තොග වෙළෙන්දෙක්ගෙන් කොඩි මිල දී ගන්න එකයි කරන්නේ. කොඩිය මිල දී ගන්න ගෙවන රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල්. මේ ගනුදෙනුව අවසන් අදියරේදී තනිකරම ශ්‍රී ලාංකිකයි. ඩොලර් වලට හෝ යුවාන් වලට කිසිම සම්බන්ධයක් නැහැ.


හැබැයි කවුරු හෝ විසින් මේ කොඩි චීනයෙන් ආනයනය කළ යුතුයිනේ. ඒ සඳහා, ඩොලර් වලින් (හෝ යුවාන් වලින්) ගෙවන්න ඕනෑ. එහෙම ගෙවන්නනම් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. ඒ කියන්නේ අවසාන වශයෙන් ආනයනකරු චීනයෙන් කොඩි ගෙන්වන්න වැය කරන්නේත් රුපියල්ම මිසක් ඩොලර් නෙමෙයි. ඩොලර් හිඟයක් තිබේනම් එයට හේතුව මේ ආනයනකරු වෙන්න බැහැ. ඔහු රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්නේ රටේ කොහේ හරි ඩොලර් තිබෙන නිසා. 

නිදහස් වෙළඳපොළක් තිබුණා කියා හෝ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ ලංකාවේ වෙනත් අයෙකුට ලංකාව ඇතුළේ ඩොලර් අච්චු ගහන්න හෝ ඩොලර් මවන්න බැහැ. මොන විදිහකින් හෝ පිටරටකින්ම ඩොලර් රටට ගේන්න වෙනවා. ඒ සඳහා, එක්කෝ මොනවා හෝ භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරටකට විකුණන්න වෙනවා. නැත්නම් ශ්‍රමය විකුණන්න වෙනවා. නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ ඔය විදිහට රට ඇතුළට එන ඩොලර් පමණයි.

ඉහත කී පරිදි උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ආනයන වෙනුවෙන් ලංකාව දිගින් දිගටම ඩොලර් වැය කර තිබෙනවානම් එසේ සිදු වී තියෙන්නේ ඩොලර් ණයට ගත් නිසා. මහරගම පදික වේදිකාවෙන් ඔය කොඩිය මිල දී ගන්න සෝමලතා අක්කා හරි, ඒ කොඩි චීනයෙන් ආනයනය කරන නවුෂාඩ් නානා හරි ඩොලර් ණයට ගන්නේ නැහැ. නවුෂාඩ් නානා කරන්නේ රට ඇතුළේ කොහෙන් හරි ඩොලර් මිල දී ගන්න එක. අපනයන ආදායම් වලින් ලැබෙන ඩොලර් වලට වඩා වැඩියෙන් රටට ඩොලර් ආවේ කොහොමද? 

මේ විදිහට රටට වැඩිපුර ඩොලර් ඇවිත් තියෙන්නේ දිගින් දිගටම ලංකාවේ රජය විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් රට ඇතුළේ විකුණපු නිසා. මේ විදිහට විකුණන ඩොලර් බැංකු පද්ධතිය ඇතුළට ආවහම බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වෙනවා. වැඩිපුර තියෙන ඩොලර් ටික බැංකු වලට කීයකට හරි විකුණලා දමන්න වෙනවා. කුණු කොල්ලෙට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුණාම අඩු රුපියල් ගණනක් ගෙවලා භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. 

නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව යෝජනා කෙරෙන්නේ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතු බව පමණයි. ලාබෙට ගේන්න බැරි දේවල් "ලාබ කර" ගෙන ආ යුතුයැයි එයින් යෝජනා කෙරෙන්නේ නැහැ. රජය විසින් දිගින් දිගටම ඩොලර් ණයට අර ගනිමින් ඒ ඩොලර් ලාබෙට විකුණද්දී වෙන්නේ ලාබෙට ගේන්න බැරි දේවලුත් ලාබ වෙන එකයි. ලංකාවේ විශාල ආනයන අපනයන පරතරයක් හැදී තිබෙන්නේ ඔය විදිහට ලාබෙට ගේන්න බැරි දේවලුත් රජය විසින් ලාබ කර දුන් නිසා මිසක් ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ නිසා නෙමෙයි.

මේ ක්‍රමය පිරමිඩ් ක්‍රමයක්. කොඩිය විතරක් නෙමෙයි කොඩිය ගේන්න ගෙවන සල්ලිත් අන්තිමට චීනගේ. ලංකාවට කොඩිය එන්නේ කිසිම වියදමක් නැතුව. මේ ක්‍රමය සැප ක්‍රමයක්. ඇයි කිසිම මහන්සියක් නැහැනේ. කුම්බලාවෝ මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිවුවා වගේ දැන් ඩොලර් හිඟ වෙලා තියෙන්නේ මේ ගත්ත ණය ගෙවන්න ඩොලර් අවශ්‍ය නිසයි. ගත්ත ඩොලර් විකුණලා රුපියල් කළා වගේ දැන් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී කාලයක් තිස්සේම ඩොලර් විකුණද්දී කෘතිමව ටිකෙන් ටික පහළ ගිය ඩොලරයේ මිල තිබිය යුතු මට්ටමට ඉහළ යනවා. ඩොලර් එකකට සැලකිය යුතු තරම් වැඩි මිලක් නොගෙවා අවශ්‍ය පමණ ඩොලර් මිල දී ගන්න බැහැ. 

ඩොලර් දේශීය වෙළඳපොළට ටිකෙන් ටික පොම්ප කරද්දී, ඒ හරහා ඩොලර් කුණු කොල්ලෙට විකිණෙද්දී, ආනයන කෘතීම ලෙස ලාබ වී, දේශීය නිෂ්පාදන ටිකෙන් ටික වැටුණා. මෙය වසර දහයක පහළොවක සිට ක්‍රමක්‍රමයෙන් සිදු වූ දෙයක්. දැන් ඩොලර් එකේ අගය නිවැරදි වුනා කියලා ඒ සියලු කර්මාන්ත වලට එක වර ඔලුව උස්සන්න බැහැ. නැවත අපනයන වෙළඳපොළවල් හොයා ගන්න කාලයක් යනවා. එහෙම හරි ඒ වැඩේ වෙන්නේ ඩොලර් එකේ අගය නිවැරදි වුනොත් පමණයි. ඩොලර් එක හිර කරගෙන අපනයන වැඩි කරන එකනම් කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක් විදිහට ආනයන පාලනය කරන්න පුළුවන්. එයින් වෙන්නෙත් ඩොලර් එකේ මිල ඉහළ ගිය විට මෙන්ම ආනයන සීමා වන එකයි. හැබැයි එක පැත්තකින් එයින් අපනයන වල වෙනසක් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, මේ ආනයන පාලන ඉවත් කළ වහාම නැවත ප්‍රශ්නයේ මුලට යනවා. ඊට අමතරව තෙවන ප්‍රශ්නයක්ද තිබෙනවා. ආනයන පාලනයේදී වෙන්නේ කිසියම් පිරිසකට අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාදයක් ලැබෙන එක. ඒ පිරිස තෝරා ගන්නේ ආණ්ඩුව විසින්. මේ හරහා තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න අවස්ථාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියයැයි කියන මතය ජනගත කිරීමේදී වෙන්නේ ඇත්ත වහලා, වැරැද්ද මිනිස්සු මතම පටවලා, ආනයන පාලනය දිගටම ක්‍රියාත්මක කරන්න අවකාශයක් සකස් කර ගන්න එකයි.

Sunday, September 19, 2021

ප්‍රයිවෙට් බස් ප්‍රයිවෙට්ද?


හැත්තෑ හතේදී ලංකාව තුළ සෝවියට් ක්‍රමයේ සමාජවාදය වෙනුවට චීන ක්‍රමයේ සමාජවාදයක් ආදේශ වීම ගොඩක් අය හඳුන්වන්නේ ලංකාවට විවෘත ආර්ථිකයක් පැමිණීමක් ලෙසයි. පරණ ක්‍රමයට සාපේක්ෂව ආර්ථිකය යම් තරමකින් බාහිර ලෝකයට විවෘත වූ නිසා මේ යෙදුමේ විශාල වැරැද්දක් නැහැ. එහෙත්, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය බාහිරට විවෘත වුනේ ඊට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව පමණයි.

හැත්තෑ හතේ ආ පැකේජ් එක ඇතුළේ එතෙක් රජය විසින් තනිවම කළ ඇතැම් ආර්ථික ක්‍රියාකාරකම් රජයට අවශ්‍ය ආකාරයට කරමින් පෞද්ගලිකව ලාබ ලැබීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ රජය විසින් තෝරාගත් පිරිසකට ලැබුණා. සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ චීනය අනුගමනය කළ ක්‍රමයත් මෙයයි. මේ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කළා.

සෝවියට් සමාජවාදය තුළ නිෂ්පාදනය හා බෙදා හැරීම තනිකරම වාගේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතුනා. හැම දෙයක්ම තීරණය වුනේ රජයේ පස් අවුරුදු සැලසුම් ඇතුළේ. සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේත් මේ ක්‍රමයයි. 

සෝවියට් සමාජවාදය, එහෙමත් නැත්නම් "නියම" සමාජවාදය, ඇතුළේ එයට වැඩිකල් යාමට නොහැකි වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් ගණනාවක් තිබුණා. ප්‍රධානම ප්‍රශ්නය වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කිසිසේත්ම වෙළඳපොළ තරමට කාර්යක්ෂම වීමට නොහැකි වීමයි. අනුන්ගේ සම්පත් පාලනය කළ "මහජන සේවකයින්ට" තමන්ගේ ව්‍යාපාරයක් කරන අයෙකු මෙන් ලාබ උපයන්නට අවශ්‍ය නොවූ නිසාත්, තරඟයක් නොතිබුණු නිසාත්, න්‍යායාත්මකව සිදු විය හැකි පරිදිම රාජ්‍ය ව්‍යවසායයන් විසින් දිගින් දිගටම අකාර්යක්ෂමතාවය නඩත්තු කළා. ක්‍රමය තුළ සිදු විය යුතු පරිදිම හොරකම්, වංචා සිදු වුනා. ඒවා වළක්වන්නත් වියදමක් දරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ලංකාව ඇතුළු සෝවියට් පන්නයේ සමාජවාදය ක්‍රියාත්මක වූ හැම රටකටම වගේ වෙළඳපොල ආර්ථිකයක් තිබුණු අනෙකුත්  රටවල් වල කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ නොහැකි වූ නිසා රටවල් සංවෘතව තියා ගන්න සිදු වුනා. කාර්යක්ෂම විය හැකිව තිබුණේ තවත් සමාජවාදී රටක් සමඟම කරන ගනුදෙනු වලදී පමණයි. ඒ නිසා, සෝවියට් සමාජවාදය බොහෝ විට ක්‍රියාත්මක වුනේ එක්කෝ සංවෘත ජාතික සමාජවාදී රාමුවක් ඇතුළේ. නැත්නම් මේ ගොඩේ සිටි ලොකු අයියා වූ සෝවියට් දේශයේ සෙවණ යටතේ පරිවාර රාජ්‍යයක් විදිහට. ඒ හැර වෙනත් ස්වාධීන පැවැත්මක් සෝවියට් සමාජවාදය අනුගමනය කළ කිසිදු රටකට තිබුණේ නැහැ.

අන්තිමේදී සෝවියට් දේශය බිඳ වැටුනා. ඒ එක්කම ලෝක මට්ටමෙන් සෝවියට් පන්නයේ සමාජවාදයද බිඳ වැටුණා. 

චීන සමාජවාදය වෙත මාරු වීම තුළ සමාජවාදී ක්‍රමයට තව දුරටත් නොමැරී ජීවත් වීමේ හැකියාව ලැබුණා. මෙහිදී මේ රටවල් සමාජවාදී නොවන ලෝකයට විවෘත වුනා වගේම රජයේ පාලනය යටතේ වෙළඳපොළට යම් ඉඩක් විවෘත වුනා. රට ඇතුළේ යම් පිරිසකට ලාබ උපයන්න අවස්ථාව ලැබුණා. 

ආර්ථික වශයෙන් දියුණු රටකට තවත් දියුණු වෙන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. ව්‍යවසායකත්වය ඉස්මතු වෙන්නේ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන, තරඟය තුළ වඩා කාර්යක්ෂම ව්‍යවසායකයා ඉතිරි වන ක්‍රමයක් තුළයි. එහෙත්, ආර්ථික වශයෙන් නොදියුණු රටකට පහසුවෙන් දියුණු රටක් දිහා බලාගෙන දියුණු වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් තරම් ලෝකයට විවෘත වීම පමණයි. ව්‍යවසායකත්වය බිහි කරන ධනවාදී ලෝකයක් බාහිරින් පවතින තුරු, චීන සමාජවාදයට සෝවියට් සමාජවාදය මෙන් කඩා නොවැටී පවතින්න පුළුවන්. ධනවාදී රටක කිට්ටුවට එන තුරු වේගයෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. 

කාර්යක්ෂම ධනවාදයක් පැවතිය හැක්කේ සියල්ලන්ටම සමාන අවස්ථා හිමි වේනම් පමණයි. ඒ සඳහා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් එක රැයින් ගොඩ නැගෙන්නේ නැහැ. එය කාලයක් තිස්සේ සිදුවන පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. වැඩවසම් ක්‍රමයක හෝ සෝවියට් පන්නයේ සමාජවාදයක හිර වී සිටින රටකට එක පාරටම ධනවාදයක් කරා මාරු වෙන්න බැහැ. චීන සමාජවාදය එවැනි රටකට හොඳ අතරමැදි පියවරක්. හැත්තෑ හතේදී ලංකාව තැබුවේ මේ අතරමැදි පියවරයි. ධනවාදය මීට වඩා බොහෝ දුරින් තිබෙන දෙයක්. ළඟා කරගත යුතු ඉලක්කයක්.

බොහෝ දෙනෙක් "විවෘත ආර්ථිකය" ලෙස වැරදියට හඳුන්වන ජේආර්ගේ චීන සමාජවාදී ක්‍රමය තුළ ලංකාවේ ප්‍රයිවෙට් බස් පාරට ආවා. ලංකාවේ ඊනියා විවෘත ආර්ථිකයේ වැරදි දකින්න කැමති බොහෝ දෙනෙක් මේ ප්‍රයිවෙට් බස් උදාහරණයකට ගන්නවා. දැන්නම් ලංකාවේ ප්‍රයිවෙට් බස් ඒ තරම්ම නරක නැහැ. නමුත්, කොන්ද නමාගෙන යා යුතු පාන් බාග වෑන් වල සාඩින් පැක් කරන්නාක් මෙන් මිනිස්සු පැක් කළ කාලයක් තිබුණා. හැත්තෑ ගණන් වල අග හෝ අසූ ගණන් වල මුල සිත්තර පත්තරයක් හොයා ගෙන මැද පිටුවේ පහළ කැමිලස්ගේ ගජමෑන් කොටස් බලන්න.

කලක් යද්දී පාන් බාග තහනම් වුනා. හැබැයි පොල් පටවනවාක් සේ සෙනඟ පැටවීම, මහ පාරේ පදික ජීවිත හා මගී ජීවිත නොසලකමින් සිදු වූ මිනීමරු තරඟය, මගියා "කෑල්ලක්" වීම නැවතුනේ නැහැ. ඉතා පැහැදිලිවම ලංකාවේ ප්‍රයිවෙට් බස් ආකෘතිය හොඳ ආකෘතියක් නෙමෙයි. එහෙම වුනේ ඇයි? වැරැද්ද වෙළඳපොළ තරඟයේද? එහෙම නැත්නම් වෙළඳපොළ තරඟයක් නැතිකමේද? ලංකාවේ ප්‍රයිවෙට් බස් ඇත්තටම ප්‍රයිවෙට්ද?

ප්‍රයිවෙට් බස් කියා කියන්නේ ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප අතරින් එක් විකල්පයක් පමණයි. ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප පෞද්ගලික ප්‍රවාහනය හා පොදු ප්‍රවාහනය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. පෞද්ගලික ප්‍රවාහනය සේ සැලකෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන්ගේ වාහනයකින් තමන්ට අවශ්‍ය තැනකට යාමයි. එසේ නැත්නම් පවුලේ අයෙකු හෝ වෙනත් අයෙකු තමන්ට අවශ්‍ය තැනකට ප්‍රවාහනය කිරීමයි. මෙහිදී මගියෙකුගෙන් අදාළ ගමන වෙනුවෙන් මුදල් අය කිරීමක් සිදු වන්නේ නැහැ.

මෙයින් වෙනස්ව පොදු ප්‍රවාහනයේදී කිසියම් මුදලක් අය කර වෙනත් අයෙකුව අවශ්‍ය තැනකට ප්‍රවාහනය කෙරෙනවා. බොහෝ විට සේවය සපයන්නා සහ මගියා එකිනෙකා හඳුනන අය නෙමෙයි. ඒ වගේම, එක වර එකිනෙකා නොහඳුනන පුද්ගලයින් ගණනාවක් ප්‍රවාහනය කෙරෙන්න පුළුවන්. මෙවැනි ගනුදෙනුවක් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්.

පෞද්ගලික ප්‍රවාහනයේදී වුවත් වාහන ගමන් කරන්නේ පෞද්ගලික පාරවල් වල නෙමෙයි. පාරවල් බොහෝ විට පොදු පාරවල්. ඒ නිසා, පෞද්ගලික ප්‍රවාහනය වුවත් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්. මේ හේතුව නිසා ප්‍රවාහනය යනු යම් ආකාරයක සමාජයීය එකඟතාවයන් අවශ්‍ය වන සංකීර්ණ ගනුදෙනුවක්. එය දෙදෙනෙකු අතර සිදු වන සරල ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ගනුදෙනුවක් හා අදාළ සමාජයීය එකඟතාවයන් තුළ තෙවන පාර්ශ්වයන්ට හානි සිදු නොවන බවට සහතිකයක් තිබිය යුතුයි. නියාමනය හරහා රජය මැදිහත්වීමක් කරන්නේනම් එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ එකිනෙකාගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව ඇති වන සමාජයීය සම්මුතියක් බලාත්මක කිරීමයි.

පෞද්ගලික හෝ රජයේ බස් සේවාවකින් කෙරෙන්නේ කිසියම් කාලයක් තුළ කිසියම් ස්ථාන දෙයක් අතර ගමන් කරන්නට අවශ්‍ය පිරිසකට එකවර එම අවස්ථාව ලබා දීමයි. මේ වෙනුවෙන් පිරිවැයක් දරන්නට සිදු වනවා. එම පිරිවැය මගීන්ගෙන් අය කෙරෙනවා. 

ලංකාවේ බස් සේවා කර්මාන්තය ඓන්ද්‍රීය ලෙස ගොඩ නැගුනු එකක්. 1940 පමණ වන තුරු කිසිදු නියාමනයක් සිදු වී නැහැ. සේවා සපයන සමාගම් විසින් පාරවල් "අයිති කර ගැනීමක්" සිදුව ඇති බව පේනවා. එක් එක් ප්‍රදේශ වල බස් සේවා සැපයීමේ ඒකාධිකාරය විවිධ පුද්ගලයින් සතුව තිබී ඇති බව පේනවා. කිසියම් ප්‍රදේශයක එක් සමාගමකට වඩා බස් සේවා සපයන්න ඉදිරිපත් වූ අවස්ථා වල ගැටුම් ඇති වී තිබෙනවා. බස් පෞද්ගලික වුවත් පාරවල් පෞද්ගලික නොවූ නිසා රජයට මෙම කර්මාන්තය පහසුවෙන් නියාමනය කළ හැකිව තිබුණා. 1940-1958 අතර කාලයේ එවැනි නියාමනයන් සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන්ගේ ගුණාත්මක භාවයද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, රාත්‍රී කාලයේදී හෝ දුෂ්කර පාරවල් වල සේවා සැපයීමක් එතරම් දුරට සිදු වී නැහැ.

බස් ජනසතුව සිදු වුනේ ඔය වගේ පසුබිමක. බස් ජනසතු කරද්දී බස් සමාගම් 73ක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මකව තිබෙනවා. මේවා බස් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු තරමක් විශාල දේශීය සමාගම්. එකවරම මේ කර්මාන්තය බිඳ දමා බස් සේවා සැපයීමේ ඒකාධිකාරය රජය සතු කර ගන්නවා.

සමාගම් 73ක් විසින් වෙන වෙනම සැපයූ සේවාවන් ඒකාබද්ධ කිරීමේ යම් වාසිද තිබෙනවා. මධ්‍යගත සැලසුම් ක්‍රමය සමස්තයක් ලෙස අකාර්යක්ෂම වුවත්, එහි සාධනීය අංග තිබෙනවා. රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වලද වැඩි වශයෙන් බස් සේවා සපයන්නට හැකි වීම එවැනි එක් වාසියක්. එහෙත්, මේ සේවාවන් මධ්‍යගත පාලනයක් නැතිව වුවද සැපයිය හැකිව තිබුණා. කළ යුතුව තිබුණේ යම් කොන්දේසි යටතේ යම් ප්‍රදේශයක පාරවල් වල බස් සේවා සැපයීමේ අවස්ථාව වෙන්දේසි කිරීමයි. එසේ වෙන්දේසි කර සමාගම් එකක් හෝ කිහිපයක් තෝරා ගැනීමයි.  රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වල සේවාවන් සැපයීම වඩා වාසිදායක තත්ත්වයන් යටතේ සේවා සැපයීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා අනිවාර්ය කොන්දේසියක් කළානම් ප්‍රශ්නය ඉවරයි. 

ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භයේදී වේගයෙන් ව්‍යාප්ත වුවත් පාලකයින්ට සෘජු ලාබ නොලැබෙන තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන පරිදි කාලයත් සමඟ අකාර්යක්ෂමතාවය ඉහවහ යනවා. ලංගම දිගින් දිගටම පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු වෙනවා. අද වන විට කවුරුත් කතා කරන ලංකාවේ දැවැන්ත රාජ්‍ය ණය මල්ල තුළ ලංගම පාඩු වෙනුවෙන් රජය ගත් ණය හා එම ණය වල පොලිය කොපමණක්ද යන්න ගණන් හදා බැලිය යුතු දෙයක්. 

වැඩි කලක් නොගොස් ලංගම අකාර්යක්ෂමතාවයේ සංකේතයක් බවට පත් වෙනවා. දේශපාලන හෙන්චයියන්ගෙන් ලංගම පිරෙනවා. ඔවුන් කරන දෙයක් නැහැ. ලංගමින් පඩි ලබමින් කරන්නේ දේශපාලනය. යම් අවස්ථාවක එක බසයකට සේවක ප්‍රමාණය 17ක් හෝ වැඩි ගණනක් දක්වා ඉහළ ගොස් තිබුණු බව මට මතකයි. සමගි පෙරමුණු රජය කාලයේ මැයි පෙලපාලි වලට සෙනග අදින්නට ලංගම බස් විශාල සේ යොදාගත් බව මගේ මතකයේ ඇති දෙයක්. හැත්තේ හතේදී ලංගම බස් වල නිල් පාට පටිය කොළ පාට වූ පසුද මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වුනේ නැහැ. ඇතැම් බස් වල ගමනාන්ත වුනේ ඩිපෝ පරීක්ෂකගේ නිවෙස. එසේ නැත්නම් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ හිතවතෙකුගේ නිවස. ඇතැම් විට බස් කාල සටහන් හැදුනේද ඇතැම් අයගේ පෞද්ගලික අවශ්‍යතා සමග ගැලපෙන පරිදියි. මේවා මම හොදින්ම දන්නා, මට හොඳින්ම මතක දේවල්.

පනස් අටේ බස් ජනසතුව හරහා ඊබට් සිල්වා සමාගම වැනි දේශීය සමාගම් ගණනාවක් මරා දමනු ලැබෙනවා. නැගී ගෙන එන දේශීය කර්මාන්තයක් උපන් ගෙයිම මරා දැමෙනවා. මේ කර්මාන්තය අවශ්‍ය පරිදි නියාමනය කර දියුණු වෙන්නට ඉඩ ඇරියානම් රජයේ බදු ආදායම්ද ඉහළ යා හැකිව තිබුණත් ඒ වෙනුවට වෙන්නේ සුදු අලියෙකුට පණ දීමයි. සමස්ත වියදමෙන් 40%ක් පමණ දක්වා ණයෙන් සුබසාධනය වන තැනට වැටෙන ලංගමට මුලින් තිබුණු බස් ටිකම කැඩෙන විට හද හදා දුවවනවා හෝ එම වර්ග වලම බස් අලුතින් ධාවනයට එකතු කරනවා මිස ගුණාත්මක භාවයෙන් ඉහළ හොඳ බස් ධාවනයට එකතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැත්තෑ හත වෙනකොට ලංගම මැරිලා. 

හැත්තෑ හතෙන් පසුව, හැත්තෑ අටේදී, පෞද්ගලික බස් ධාවනයට නැවත ඉඩ සැලසෙනවා. ඒ වෙද්දී බස් ජනසතුව සිදු වී යාන්තම් අවුරුදු විස්සයි. ඒ අවුරුදු විස්ස වසර පහෙන් පහට එජාප-ශ්‍රීලනිප තට්ටුමාරුව සිදු වූ කාලයක්. හැත්තෑ හතෙන් පසුව අනූ තුන පමණ වන තුරු ශ්‍රීලනිපය සෝවියට් සමාජවාදය අත හැර තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ පනස් අටට පෙර බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කළ සමාගම් වලට සිදු වූ දෙය දැක තිබුණු විශාල ආයෝජකයින් තමන්ගේ අත පුච්චා ගන්න හදිස්සි නොවන බව අමුතු දෙයක් නෙමෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ වුවත් හැත්තෑ අටේදී මුලින්ම පාරට බස් දැම්මේ ලොකු බස් විශාල ප්‍රමාණයක් පාරට දමන්න තරම් සල්ලි තිබුණු අයයි. උදාහරණයක් විදිහට රත්නපුර පැත්තේ මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුලින්ම මේ බස් වැඩේට අත ගැහුවා. ඒ බස් ලංගම බස් වලට වඩා අලුත්, සුවපහසු, ලොකු බස්. ලංකාව පුරා නගර වලට මේ බස් දිවුවා. ගාස්තුව තිබුණේ ලංගම ගාස්තුවට වඩා ටිකක් ඉහළින්. මම ජීවත්ව සිටි තැන සිට ලඟම නගරයට යන්න ලංගම බස් ගාස්තුව ශත 20ක් වුවත් පෞද්ගලික බස් එකක ශත 25ක් අය කළා. බස් සේවකයෝ මගීන්ට හොඳින් සැලකුවා. කෙටුවේ නැහැ වගේම රේස් ගියේත් නැහැ. අත දැම්මොත් බස් එක නැවැත්තුවා. ලංගම බස් වගේ අත දමද්දී මගීන් නොසලකා ගහගෙන ගියේ නැහැ. ලංගම බස් නම් සෙනග නැතත් සමහර වෙලාවට එහෙම කළා. මේ පෞද්ගලික බස් වල බොහෝ විට සීට් තිබුණා. හිටගෙන යන්න වුනේ නැහැ. පෞද්ගලික බස් පිළිබඳ මගේ මුල්ම පෞද්ගලික අත්දැකීම් ඉතා ප්‍රසන්න අත්දැකීම්. 

හැබැයි මේ තත්ත්වය වැඩි කාලයක් තිබුණේ නැහැ. 1979 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික බස් අයිතිකරුවන් ප්‍රමාණය 3,800 ඉක්මවලා. මේ ගොඩක් අය එක් බසයක් පමණක් තිබුණු අය. සමහර විට රියදුරු හෝ කොන්දොස්තර වුනේ අයිතිකරුමයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය වෙනස් වෙලා බස් අයිතිකරුවන් හා මෙහෙයවන්නන් කණ්ඩායම් දෙකක් වුනා. වඩා වැදගත් කරුණ අර මුලින්ම පාරට බස් විශාල ප්‍රමාණයක් දමපු සමාගම් එකින් එක කර්මාන්තයෙන් ඉවත් වුනා. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය විශාල ලෙස පිරිහුණා.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වැඩේ වුනේ තරඟය නිසා බවයි. එහෙත් එය එහෙමද? 

පෞද්ගලික බස් වලට අවසර දී ඉතා කෙටි කලකින් හෝ ආරම්භයේදීම රජය මගින් මිල නියාමනය කරනු ලැබුවා. මේ මිල නියාමනය අදටත් එසේම තිබෙනවා. ඒ කියන්නේ බස් ප්‍රයිවෙට් වුනත් බස් ගාස්තුව තීරණය කරන්නේ රජයයි.

නිදහස් වෙළඳපොළක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. පහසුවට අපි ඉල්ලුම ස්ථිර, අනම්‍ය ඉල්ලුමක් සේ සලකමු. දැන් බස් සේවා සපයන්නන්ට එකිනෙකා සමඟ තරඟ කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් අඩු මිලකට සේවාවන් සැපයීම. අනෙක වැඩි ගුණාත්මක සේවයක් සැපයීම. හැබැයි අඩු මිලකට සේවාවන් සැපයීමේ දී සේවයේ ගුණාත්මක භාවයද අඩු වෙනවා. ඒ නිසා, ගුණාත්මක සේවයක් සැපයිය හැක්කේ වැඩි මිලක් අය කරන්නට ඉඩක් ලැබේනම් පමණයි. 

පෞද්ගලික බස් වලට අවසර දීමෙන් පසු මිල පාලනය නොකළේනම් විවිධ සැපයුම්කරුවන් විසින් විවිධ පැකේජ් ඉදිරිපත් කරනවා. ඇතැම් අය වැඩි මිලක් අය කර ගුණාත්මක සේවයක් සපයයි. ඇතැම් අය ගුණාත්මක භාවය අඩු කර අඩු මිලකට සේවය සපයයි. තෝරා ගැනීම එක් එක් පාරිභෝගිකයා සතු වෙයි. 

රජය මිල පාලනය කිරීම නිසා මේ වැඩේ මේ විදිහට සිදු වුනේ නැහැ. මිල තීරණය කර තිබුණේ ලංගම මිල මත පදනම්වයි. ඒ මිලට ලංගමට ගුණාත්මක සේවයක් සපයන්න හැකි වී තිබුණේ නැහැ. සපයපු අඩු ගුණාත්මක සේවය යටතේ වුවත් ලාබ ලබන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. 

පෞද්ගලික බස් හිමියන්ට ලංගම වගේ පාඩුවට බස් දුවවන්න බැහැ. ඔවුන්ව බදු සල්ලි වලින් හෝ උද්ධමන බද්දෙන් සුබසාධනය වෙන්නේ නැහැ. යාන්තමින් හෝ ලාබ ලබන්නනම් ඔවුන්ට ගුණාත්මක භාවය පහළ දමනවා මිස වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ වැඩේ ඒ විදිහටම සිදු වුනා. සේවය ගුණාත්මක බවින් අඩු වුනත් තරඟය හමුවේ වඩා කාර්යක්ෂම සේවා සපයන්නන් පමණක් ඉතිරි වීම නිසා ඔවුන් කෙසේ හෝ ලාබ ලැබුවා. එවැනිම ගුණාත්මක බවින් අඩු සේවයක් සැපයු ලංගම අකාර්යක්ෂමතාවය නඩත්තු කරමින් දිගින් දිගටම පාඩු ලැබුවා.

ඇත්තටම කියනවානම් මේ පෞද්ගලික බස් හිමියන්ද ලාබ ලැබුවේ නැහැ. ඔවුන් ලාබ සේ දැක්කේ තමන්ගේ ශ්‍රමයේ වියදම නොසැලකීමෙන් පසු සිදු වූ ඉතිරියයි. නමුත්, බස් ගණනාවක් අයිතිව සිටි අයට බස් ධාවනය කළ හැකි වූයේ රියදුරු හා කොන්දොස්තරවරුන් ලෙස වෙනත් අයව සේවයේ යෙදවීමෙන්. ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වීමත්, ඔවුන් හොරකම් කිරීම වැළැක්වීම අසීරු වීමත් නිසා, විශාල බස් සමාගම් වලට තනි බස් අයිතිකරුවන් සමඟ තරඟ කරන්න බැරි වුනා. ඔවුන් වෙළඳපොළෙන් ඉවත්ව ගියා. තනි බස් අයිතිකරුවන් පමණක් ඉතිරි වුනා.

කොහොම වුනත් හැත්තෑ හතේ සිට අද දක්වාම කැමති කෙනෙකුට ප්‍රයිවෙට් බස් එකක් පාරට දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයිතිය හිමි වුනේ ආණ්ඩුව කැමති අයට පමණයි. රූට් පර්මිට් ලැබුණේ ආණ්ඩුවේ හෙන්චයියන්ටයි. මේ හේතුව නිසා ඉතිරි වූ තනි බස් අයිතිකරුවන් අතර ඉතිරි වුණෙත් ආණ්ඩුවට හිතවත් අය මිසක් වඩා කාර්යක්ෂම අය නෙමෙයි. ඒ කියන්නේ චීන සමාජවාදය මිසක් කිසිසේත්ම නිදහස් වෙළඳපොළක් හෝ ධනවාදයක් මෙතැන තිබුණේ නැහැ. 

මුලදී රූට් පර්මිට් ලැබුණේ දැන් බාර් පර්මිට් ලැබෙන විදිහට දේශපාලනඥයින් හරහා. දැන් වුනත් මේ වැඩේ මේ විදිහට නොවෙනවා කියා කියන්න බැහැ. රූට් පර්මිට් එකක් ගන්න දේශපාලනඥයකු වෙත යා යුතුයි. අත යටින් ගාණක් දෙන්න ඕනෑ වගේම දිගටම මැතිවරණ වලදී පෝස්ටර් මුද්‍රණය කර දීම වැනි උදවු කරන්නත් වෙනවා. මේ සියල්ල අය කර ගන්න වෙන්නේ ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් වුවත් එය රජයෙන් තීරණය කර අවසානයි. ඒ නිසා, ලාබ ලබන්න තිබෙන එකම ක්‍රමය ගුණාත්මක භාවය අඩු කිරීම. බොහෝ බටහිර රටවල මෙන් රාත්‍රී හෝ සති අන්ත සේවා සැපයුවා කියා වැඩි මිලක් අය කරන්න ඉඩ නොලැබුණු නිසා එවැනි සේවාවන් සපයන්න කිසිවකු නැඹුරු වුනේ නැහැ. 

ඕනෑම කෙනෙකුට රූට් පර්මිට් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා රූට් පර්මිට් ලබා ගත හැකි වූ අයට බස් පාරට නොදමාම රූට් පර්මිට් එක වෙනත් අයෙකුට දීමෙන් පමණක් ආදායමක් උපයන්න අවස්ථාවක් ලැබුණා. අවදානමක් හෝ මහන්සියක් නැතිව මාසෙ අන්තිමට අතට අවශ්‍ය ගාණ එනවානම් බස් දුවවන්න මහන්සි වෙන්නේ මොන මගුලකටද? 

දැන් පාරට බස් එකක් දමා ලාබ හොයන්න කැමති කෙනෙකුට මුදලක් ගෙවා වෙනත් අයෙකු සතු රූට් පර්මිට් එක පාවිච්චි කිරීමේ විකල්පය තිබෙනවා. මෙය තනිකරම අමතර වියදමක් වගේම නිදහස් වෙළඳපොළක් නැති කමේ, ලංකාවේ සමාජවාදී ක්‍රමයේ, ප්‍රතිඵලයක්. මේ වියදමත් ආවරණය කරගත යුතු වුවත් ප්‍රවේශ පත්‍ර මිල වැඩි කරන්න බැහැ. ආදායම් වැඩි කර ගත හැකි ක්‍රමය හැකි තරම් සෙනග පැටවීම හා සෙනග සිටින වෙලාවට වැඩි ටර්න් ගණනක් දුවන එකයි.

මේ තනි අයිතිකරුවෝ බොහෝ දෙනෙක් බස් අරන් තියෙන්නේ ලීස් කරලා. එක පැත්තකින් එහෙම වෙන්නත් ඕනෑනේ. අතේ සල්ලි දමලා කලින් පාර වගේ ජනසතුවක් වුනොත් කාට කියන්නද? ඔය ජනසතු කිරීම් වල ඔය ආකාරයේ දිගුකාලීන අවාසි තිබෙනවා. ජනසතු කිරීමේ ඉතිහාසයක් තිබෙන රටක මිනිස්සු තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න බයයි. ලීස් කරලා ගත්තහම අවුලක් නැහැ. අනෙක් අතට බස් එක තමන්ගේම නොවන නිසා බස් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්නත් අවශ්‍ය නැහැ. මාස්පතා ලීසිං එක ගෙවන්න ආදායමක් ලැබෙනවානම් එච්චරයි. තව තෙල් වියදම්, සේවක පඩිනඩි ගෙවන්නත්  අවශ්‍යයි.

මේ ක්‍රමයත් වැඩිකල් පැවතුණේ නැහැ. මොකද සැමන් වගේ පැක් කරපු බස් පට් පට් ගාලා ටර්න් ගහද්දී කොන්දොස්තර මාටියා ගහන එක අල්ලන්න බස් අයිතිකාරයාට පහසු නැහැ. අන්තිමට බස් අයිතිකාරයා අතින් කාලා හරක් බලනවා. බස් එක දවසේ කුලියට කොන්දොස්තරටම දෙන වත්මන් ක්‍රමය පරිණාමය වුනේ ඔය විදිහටයි. දැන් ලීසිං සමාගමට, රූට් පර්මිට් අයිතිකාරයාට හා බස් එකේ අයිතිකාරයට නිශ්චිත ගාණක් ලැබෙනවා. කොන්දොස්තර මොන විදිහට හරි ඔය වියදම් හෙවුවට පස්සේ තමයි ඔහුට ලාබයක් ලැබෙන්නේ. ඩ්‍රයිවර්ගේ ගාණත් දෙන්න ඕනෑ. ගුණාත්මක භාවය පවත්වාගෙන ඔය ඔක්කොම කරන්න බැහැ.

ලීසිං පොලී ගිණි ගණන් බව කවුරුත් දන්නවනේ. ඒ ඇයි? අවදානමක් නැතිව රජයට ණය දී (භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන) වැඩි පොලියක් ලබන්න පුළුවන්කම තියෙද්දී වැඩි අවදානමක් දරාගෙන ඊට වඩා අඩු පොලියකට වෙන අයට ණය දෙන්න බැහැනේ. අවදානමට සරිලන පොලියක් අය කරන්න වෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලිය වැඩි ඇයි? අයවැය හිඟය! කොයි පාරෙන් ගියත් මුල තියෙන්නේ විශාල රජයක් නඩත්තු කිරීමේ ප්‍රශ්නය. අනෙක් පැත්තෙන් බස් එකේ මිලෙන් වැඩි කොටසක් රජය අය කරන බදු. තෙල් මිලේ වුනත් එහෙමයි.

කාගෙනුත් බැනුම් අහන්නේ බස් එකේ කොන්දොස්තර කොලුවා තමයි. නමුත් මේ කොන්දොස්තර කොලුවා කරන්නේ කුමක්ද? දවස පුරා මාර කට්ටක් කා, මගීන් හැකි තරම් පීඩාවට පත් කර උපයන සල්ලි රජයට හා ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දෙන එකයි. ඕක ධනවාදයක්ද? ඕක තමයි චීන සමාජවාදය.

ප්‍රයිවෙට් බස් නමට ප්‍රයිවෙට් තමයි. හැබැයි නමට විතරයි. ලංකාවේ ප්‍රයිවෙට් බස් පාලනය කරන්නෙත් රජයම තමයි.

වෙබ් ලිපිනය: