වෙබ් ලිපිනය:

Sunday, August 13, 2023

මවුකිරි වල මිල


මෙලොවට මුලින්ම බිහිවන දරුවෙකුට අනෙක් හැම දෙයකටම වඩා වටින්නේ මවු කිරි. ළදරුවෙක් වෙන ඕනෑම දෙයක් ඉල්ලන්න කලින් ඉල්ලන්නේ මවු කිරි. මෙය ඕනෑම මිනිසෙකුට වගේම වෙනත් ක්ෂීරපායී සතුන්ටත් පොදු අත්දැකීමක්. අපි කතාවට කියන්නේ අම්මා ලේ කිරි කර පොවනවා කියලා. මවකගේ අසීමිත ආදරය එක්ක ලේ කිරි වී ඇගේ තනපුඩු වලින් වෑහෙන මවු කිරි වල වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කියන්න පුළුවන්. මවු කිරි වලටත් මිලක් නියම කරන එක අශිෂ්ඨ වැඩක් කියා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. නමුත්, මේ වගේ කියමන් ගැලපෙන්නේ කෙනෙකුගේ පරිකල්පනීය ලෝකයට හෝ සාහිත්‍යයට මිසක් සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්ට නෙමෙයි.

වෙන ගොඩක් දේවල් වලට වගේම මවුකිරි වලටත් මිලක් තිබෙනවා. කිසියම් දෙයකට මිලක් තිබීම සඳහා වෙළඳපොළක් තිබීම අනිවාර්ය නැහැ. වෙළඳපොළක් ඇති විට අපට යමක මිල පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත්, වෙළඳපොළක් නැති වුනත් මිල කියන දෙය තිබෙනවා. වෙළඳපොළක් නැති නිසා සැඟවී තිබෙන මිලක් වුවත්, ආර්ථික විද්‍යාඥයෙකුට ඇස්තමේන්තු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්. එය අසීමිත නැහැ. ඒ විදිහටම මවුකිරි වගේ දේකටත් අසීමිත වටිනාකමක් නැහැ. 

අම්මා කුස්සියේ උය උයා ඉන්න කොට ඇගේ බිළිඳු දරුවා නින්දෙන් ඇහැරී අඬනවා ඇහුනොත් ඈ හොද්ද බත අමතක කරලා දරුවා වෙත දුවනවා. ඇගේ තනපුඩුව දරුවාගේ කටේ ගහනවා. දරුවා තනපුඩුව අත ඇරියේ නැත්නම් ගොඩක් වෙලාවට අම්මා ඕක බලෙන් ගලවන්නේ නැහැ. ඔය අතරේ බත රොස් වෙන්න පුළුවන්. හොද්ද හිඳෙන්න පුළුවන්. ගගා හිටපු පොල් ටිකට පූසා හොම්බ ඔබන්න පුළුවන්. මේ ඔක්කොම දරුවාට කිරි දීම වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන මිලේ කොටස්. ඇය ඒ ගැන වැඩිපුර නොහිතන්නේ දරුවාට කිරි දෙන එක ඇයට ඊට වඩා වටින නිසා.

ඔය විදිහට ඔය උයා ඉන්න වෙලාවක දරුවා ඇහැරිලා ඒ ගැන බලන්න දුවද්දී ලාම්පුවේ අත වැදිලා බිම වැටිලා පාපිස්සක් වගේ දෙයක් ගිණි ගත්තා කියමු. ඔය වගේ වෙලාවක අර අම්මා කරන්නේ මුලින්ම ගින්දර නිවලා ඉන්න එකද නැත්නම් දරුවාට කිරි දීලා ඉවර කරලා ඒ ගැන බලන එකද? සිහි බුද්ධියක් තියෙන අම්මෙක්නම් කරන්නේ මුලින්ම ගින්දර නිවන එක. ඇය ගින්දර පැතිරී ගේ ගිණි ගැනීමේ අවදානම ගන්නේ නැහැ. එය ඇය දරුවාට කිරි දීම වෙනුවන් නොගෙවන මිලක්. 

ඕනෑම මවක් දරුවෙකුට කිරි දීම වෙනුවෙන් අත හරින දේවල් වගේම අත නොහරින දේවල්ද තිබෙනවා. මේ දේවල් නිරීක්ෂණය කිරීමෙන් අප‍ට ඇයට සාපේක්ෂව දරුවාට කිරි දීමේ වටිනාකමේ උපරිම හා අවම සීමාවන් හොයා ගන්න පුළුවන්. නිරීක්ෂණ වැඩි වන තරමට ඔය සීමා දෙක අතර පරතරය කුඩා වෙනවා. ඒ කියන්නේ දරුවාට කිරි දීමේ ඇයට සාපේක්ෂ වටිනාකම වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකි වෙනවා. මෙය කීයක් වුවත් අසීමිත නැති බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

වත්මන් ලෝකයේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලීන්ට දායක වන ආකාරය නිරීක්ෂණය කරලා මේ ඇස්තමේන්තුව මීට වඩා පහසුවෙන් සකස් කරන්න පුළුවන්. දරුවන් නිසා කාන්තාවන් ආර්ථික ලාබ තිබෙන වෙනත් කටයුතු අත හරිනවා. උදාහරණයක් විදිහට රැකියාවකට නොගොස් ගෙදර ඉන්නවා. නමුත් මේ විදිහේ කැප වීමකට සීමාවක් තිබෙනවා. දරුවෙකු වෙනුවෙන් කියලා මවක් ඕනෑම දෙයක් කැප කරන්නේ නැහැ. යම් නිශ්චිත අවස්ථා වලදී දරුවන් වෙනුවෙන් හිතා ගන්න බැරි තරම් විශාල කැපකිරීම් කරන මවුවරු ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වය ඒක නෙමෙයි. මේ කියන කරුණ තේරුම් ගන්න බැරිනම් එය තර්ක බුද්ධිය පැත්තකට දමා ඕනෑවට වඩා හැඟීම් වල සිරකරුවෙකු වීමේ ප්‍රශ්නයක්. 

කාන්තාවන් රැකියා සඳහා නිවසින් පිටත දිගු කාලයක් ගත කිරීම මිනිස් ඉතිහාසයේ ඉතාම මෑත කාලයකදී සිදු වූ දෙයක්. මේ එක්කම මවුවරුන්ට මුදල් වෙනුවෙන් දරුවන්ට කිරි දෙන එක අත හරින්න සිදු වුනා. වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නයට ලබා දුන් විසඳුම ළදරු පිටි කිරි. නමුත් ළදරු පිටි කිරි කියන්නේ මවුකිරි වලට සියයට සියයක්ම ආදේශකයක් නෙමෙයි. 

තාක්ෂණයේ හා වෙළඳපොළ දියුණුව විසින් මේ ප්‍රශ්නයටත් විසඳුම් ලබා දී තිබෙනවා. දැන් ගොඩක් මවුවරුන් සේවයට යන්න කලින් කිරි දොවා ශීතකරණයක දමා යනවා. ඒ කිරි එක්ක අම්මාගේ ආදරය මුසු උණුසුම ලැබෙන්නේ නැහැ තමයි. නමුත් අඩු වශයෙන් අම්මාගේ කිරි ළදරුවෙකුට ලැබෙනවා.

මේ හැම අවස්ථාවකම සිදු වී තිබෙන්නේ වෙළදපොළ විසින් වැඩියෙන් තේරීම් ලබා දීම. කාන්තාවකට කැමතිනම් රැකියාවකට නොගොස් දරුවන් බලාගෙන ගෙදර ඉන්න පුළුවන්. කැමතිනම් රැකියාවකට යන්න පුළුවන්. එය ඇගේ තේරීමක්. රැකියාවකට යාමේ අවස්ථාව හිමිවුණා කියලා අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නැහැ. නමුත් රැකියාවකට නොගියොත් සිදු වන පාඩුවක් තිබෙනවා. ඒ වගේම, රැකියාවකට යාම නිසා සිදු වන පාඩුත් තිබෙනවා. මේ පාඩු කිරා මැන බලන එක පෞද්ගලික තේරීමක්.

රැකියාවකට යන්න තීරණය කළොත් දරුවන්ට කිරි දීමේ ප්‍රශ්නය මතු වෙනවා. ළදරු කිරිපිටි එයට එක් විසඳුමක්. කිරි දොවා ශීතකරණයේ දමා යාම තවත් විසඳුමක්. කරන්නේ කුමක්ද කියන එක පෞද්ගලික තේරීමක්. තේරීම කුමක් වුවත් එම තේරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ළදරු කිරි පිටි, ශීතකරණ, කිරි දොවන පොම්ප ආදිය වෙළඳපොළ විසින් සපයනවා. වෙළඳපොළ නොවන්නට මේ තේරීම් නැහැ. ඒ වගේම වෙළඳපොළ පවතින්නේ කාගේ හෝ ලාභාපේක්ෂාවන් නිසා. කිරි දෙන මවක් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ තේරීම් කරනවාක් මෙන්ම වෙනත් අය ලාභාපේක්ෂාවෙන් එම තේරීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා.

මවකගේ අවසන් තීරණය කුමක් වුවත් සාමාන්‍යයෙන් බොහෝ මවුවරුන්ට අවශ්‍යනම් තමන්ගේ දරුවන්ට මවුකිරි දීමේ අවස්ථාව තිබෙනවා. එම තේරීම තෝරාගන්නවාද කියන එක ඇගේ පෞද්ගලික තීරණයක්. එහෙත්, අවාසනාවන්ත ලෙස මේ තේරීම නැති වන අවස්ථාද තිබෙනවා. දරුවකු බිහි කරද්දී දරුවා ජීවත් වී මව මිය යන අවස්ථා තිබෙනවා. දරුවා බිහි කිරීමෙන් පසුව විවිධ සෞඛ්‍ය හේතු හා රෝග නිසා මවට දරුවාට මවු කිරි දිය නොහැකි අවස්ථා තිබෙනවා. මවු කිරි දිය හැකි වුවත් ප්‍රමාණවත් තරම් දිය නොහැකි අවස්ථා බොහෝ විට තිබෙනවා. විශේෂයෙන්ම දරුවෙකු නියමිත මාස ගණන සම්පූර්ණ නොකර ඉපදුණු විට මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ වඩා වැඩියි. 

ඇතැම් විට අඩු වයසින් ඉපදුනු දරුවෙකු ජීවත් කරවීම සඳහාම මවුකිරි අවශ්‍ය වෙනවා. තවත් අවස්ථා වල දරුවන් මවුකිරි හැර අනෙකුත් ආදේශක වලට අසාත්මික වෙන අවස්ථා තිබෙනවා. වෙනත් ආදේශක ලබා දිය හැකි වුවත් වඩාත්ම හොඳ දෙය වන මවු කිරි දරුවෙකුට ලබා දෙන්න දෙමවුපියෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. 

ඉතිහාසය ඇවිස්සුවොත් දරුවන්ට වෙනත් කාන්තාවක් හෙවත් කිරිමවු කෙනෙකු විසින් කිරි දුන් අවස්ථා අපට හමු වෙනවා. යම් හේතුවක් නිසා දරුවෙකුට මවුකිරි ලබා දීමේ හැකියාවක් නැත්නම්, කිරිමවු කෙනෙකු සොයා ගත හැකිනම්, එය හොඳ විකල්පයක්. නමුත්, මේ වැඩේ හිතන තරම්ම පහසු නැහැ. තමන්ගේ බිළිඳු දරුවාට කවුරු හෝ මවකගේ කිරි ලබා දීමට අවශ්‍ය දෙමවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ ඇතැම් අය ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න සූදානම් අයයි. ඒ නිසා, මවුකිරි කියන්නේ සැලකිය යුතු වෙළඳපොළ ඉල්ලුමක් තිබෙන දෙයක්. 

අනෙක් අතට, දරු ප්‍රසූතියකදී මවක මියයාමට තිබෙන ඉඩකඩට වඩා දරුවෙකු මියයාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, මවුන් අහිමි දරුවන්ට වඩා දරුවන් අහිමි වූ මවුවරුන් වැඩියි. ඒ මවුවරුන්ටත් කිරි උනනවා. එය ස්වභාවික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත්, එවැනි මවකට කිරි වල වටිනකාම්ක් නැහැ. ඇත්තටම කිරි ඉනීම වදයක්. යම් කාලයක් යන තුරු එසේ උනන කිරි දොවා ඉවත් කරන්න සිදු වෙනවා. දරුවන් අහිමි වූ මවුවරුන් හා තමන්ගේ දරුවාට දෙන්නට කිරි නැති මවක් සංසන්දනය කළ හොත් වෙනත් ඕනෑම භාණ්ඩයකට වගේම මවුකිරි වලටත් තියෙන්නේ වාස්තවික වටිනාකමක් නොව සාපේක්ෂ වටිනාකමක් කියන එක පැහැදිලි වෙයි.

වටිනාකම් සාපේක්ෂ නිසා හුවමාරුවකින් එයට සම්බන්ධ වන පාර්ශ්ව දෙකටම වාසියක් සිදු වෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයයි. එහිදී වෙන්නේ එක් අයෙකුගේ ලාබය වෙනුවෙන් වෙනත් අයෙකු පාඩු විඳීමක් නෙමෙයි. දරුවකු අහිමි වූ මවකට මවුකිරි වල වටිනාකමක් නැහැ. නමුත්, තමන්ගේ දරුවාට දෙන්නට තරම් ප්‍රමාණවත් කිරි උරන්නේ නැති මවකට මවුකිරි වල වටිනාකම ගොඩක් වැඩියි. ඒ නිසා, මවුකිරි වලට වෙළඳපොළ ඉල්ලුමක් හැදෙනවා මෙන්ම එම ඉල්ලුම සැපිරිය හැකි මවුකිරි සැපයුමක්ද තිබෙනවා. ඉල්ලුමක් හා සැපයුමක් ඇත්නම් වෙළඳපොළක් බිහි විය යුතුයි.

මවුකිරි අලෙවි වන වෙළඳපොළක් තිබෙනවා. මේ වෙළඳපොළ තුළ කටයුතු සිදුවන ආකාරය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. වෙළඳපොළ තුළ සිටින ප්‍රධානම ධාවක බලවේගය මවුකිරි බැංකු. මෙවැනි බැංකු බොහෝ විට ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතන. ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතනයක් කියන්නේ ලාබ නොලබන ආයතනයක් නෙමෙයි. එවැනි ආයතනද ලාබ ලබනවා. ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයකට සාපේක්ෂව මෙවැනි ආයතනයක වෙනස වන්නේ ලබන ලාබයද කිසියම් අරමුණක් වෙනුවෙන් වැය කිරීමයි. 

මුල් කාලයේදී මවුකිරි බැංකු විසින් මවුවරුන්ගෙන් කිරි මිල දී ගත්තේ නැහැ. දැනුත් බොහෝ මවුකිරි බැංකු කිරි සඳහා දායක මවුවරුන්ට මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙන් කිරි ලබා දෙන මවුවරුන්ගෙන් කිරි එකතු කර ගැනීමයි. මේ කටයුත්තේදී ඔවුන් දැඩි තත්ත්ව පාලනයක් සිදු කරනවා. කිරි ලබා ගන්නේ අවශ්‍ය සෞඛ්‍යමය හා වෙනත් කොන්දේසි සපුරන මවුවරුන්ගෙන් පමණයි. මේ අයුරින් එකතු කරගන්නා මවුකිරි කල් තබා ගත හැකි පරිදි පැස්චරීකරණය කර ශීත කර කරනවා.

මවුකිරි බැංකු වලට කිරි එකතු කරගන්නේ මුදල් ගෙවා නොවුනත් එම කිරි වල තත්ත්ව පාලනය කිරීමට, සකස් කිරීමට, ගබඩා කර තබාගැනීමට හා බෙදාහැරීමට මුදල් වැය වන නිසා මෙවැනි ආයතන වල ඉලක්කය ලාබ ලැබීම නොවුනත් කිරි අලෙවි කරන්නේ මුදලටයි. මවු කිරි අවුන්සයක මිල ඩොලර් පහක් පමණ දක්වා විය හැකියි. ඒ නිසා, දරුවෙකුට අවශ්‍ය මවු කිරි මිල දී ගැනීම සඳහා දිනකට ඩොලර් සීයක පමණ මුදලක් වැය විය හැකියි. එය ළදරු කිරිපිටි සඳහා වැය වන මිලට සාපේක්ෂව විශාල මුදලක්. 

ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ මෙන්ම ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා ඉන්දියාව වැනි රටවලද තිබෙන මෙවැනි කිරි බැංකු විසින් කරන්නේ ලාබ හෙවීමක් නොව සේවයක් කියා බොහෝ දෙනෙක් කියන්න පුළුවන්. කිරි බැංකු වලින් බොහෝ විට පාරිභෝගිකයින්ට සෘජුව මවුකිරි විකිණීම වෙනුවට රෝහල් වලට මවුකිරි අලෙවි කරනවා. ඇතැම් සෞඛ්‍ය රක්ෂණ වලින් දරුවන්ට ලබාදෙන මවුකිරි වල වියදම ප්‍රතිපූරණය කරනවා. එහෙත්, කාය වර්ධන ක්‍රීඩකයින් වැනි අයට මවුකිරි අලෙවි කරන අවස්ථාද තිබෙනවා. 

ඉහත ආකාරයේ මවුකිරි බැංකු විසින් මවුකිරි සඳහා වෙළඳපොළක් ගොඩ නගා ඇති නිසාම මවුකිරි සඳහා සිල්ලර වෙළඳපොළක්ද බිහි වී තිබෙනවා. මෙහි අතරමැදියන් නැහැ. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු වෙනවා. මෙම සිල්ලර වෙළඳසැල හරහා මවකට තමන්ගේ කිරි නොමිලේ මවුකිරි බැංකුවකට ලබා නොදී ඒ වෙනුවෙන් යම් මිලක් අය කරගැනීමට අවස්ථාව සැලසෙනවා. අනෙක් පැත්තෙන් මවුකිරි මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වඩා අඩු මිලකට මවුකිරි ලැබෙනවා. මේ සිල්ලර වෙළඳපොළේ මවුකිරි අවුන්සයක මිල ඩොලර් ශත පණහක් තරම් අඩු විය හැකියි.

මවුකිරි බැංකුවකින් කරන්නේ කාගේ හෝ මවකගේ අපතේ දමන මවුකිරි මවුකිරි අවශ්‍ය දරුවෙකුට ලබා ගැනීමට සැලැස්වීමයි. ඒ සඳහා යන වියදම ඔවුන් ආවරණය කර ගන්නවා. සිල්ලර වෙළඳසැල තුළ සිදු වන්නේද එයමයි. මෙහිදී පාරිභෝගිකයාට මෙන්ම කිරි සපයන මවටද වැඩි වාසියක් ලැබෙනවා. එහෙමනම්, කිරි බැංකු හොඳ වී සිල්ලර මවු කිරි වෙළඳාම නරක වෙන්න පුළුවන්ද?

සිල්ලර වෙළඳපොළෙන් (අන්තර්ජාලය හරහා) කිරි මිල දී ගනිද්දී ඇති වන ප්‍රශ්නය මිල අඩු වුවද, කිරි බැංකුවකින් ලැබෙන තත්ව පාලන සහතිකය නොලැබීමයි. ඒ නිසා, මෙහිදී තිබෙන්නේ මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක්. කිසියම් ලාබ ලබන සමාගමක් විසින් මේ ප්‍රශ්න දෙකම විසඳන අතර ලාබ ගන්නවානම් එහි කවර හෝ ආචාර ධර්මීය වැරැද්දක් තිබෙනවාද?

අපි හිතමු කිරි සපයන මවුවරුන්ට තරඟකාරී මිලක් ගෙවමින්, කිරි බැංකු තරමටම ගුණාත්මක භාවයද පවත්වා ගනිමින්, කිරි බැංකු වල මිලට හෝ අඩු මිලකට මවුකිරි විකුණා ලාබ ගන්නා සමාගමක් ගැන. දැන් මේ සමාගම විසින් ගන්නා ලාබ වලින් කාට හෝ වාසියක් මිසක් පාඩුවක් වෙනවාද? මිල්ක්ස්ටෝර්ක් වැනි සමාගම් මේ වැඩේ කරනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව මේ වන විට ඔවුන් රටවල් 122කට මවු කිරි අවුන්ස මිලියන 7කට වඩා සපයා තිබෙනවා. මේ හරහා ඇතිව තිබෙන තරඟකාරිත්වය නිසාම ඇතැම් මවුකිරි බැංකු විසින්ද දායක මවුවරුන්ට මුදල් ගෙවන්න පටන් ගෙන තිබෙනවා.

මේ වෙළඳපොළ තවමත් නියාමනය වන්නේ නැහැ. තවමත් නියාමකයින්ගේ අවධානය යොමු නොවීම ඊට හේතුව වෙන්න පුළුවන්. නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය සිදු වෙයි. ලාබ ලබන සමාගම් පැවතීම නිසා ලාබ ලැබීම ඉලක්ක නොකරන කිරි බැංකු වලටද මිල හා ගුණාත්මක භාවය තරඟකාරී මට්ටමක තියාගන්න වෙනවා. එවැනි සමාගම් නොපැවතියේනම් ඒ වැඩේ වෙන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවන් සැපයීමේ වෙළඳපොළ වල සිදු වන්නේද මෙවැන්නක්. 

ලාබ ලබන සමාගම් පැවතීම නිසා සිදු වන්නේ අඩු වයසෙන් ඉපදෙන, ජීවත් වීම සඳහා මවු කිරි නැතුවම බැරි ළදරුවන් තවත් කිහිප දෙනෙකුට හෝ ජීවත්වීමේ අවස්ථාව ලැබීමයි. මවුකිරි වලටත් මිලක් අය කිරීම වැරදියැයි කෙනෙකුට පුරුද්දෙන් මෙන් කියවන්න පුළුවන්. වෙළදපොළට විරුද්ධ එවැනි අදහසක් හරහා කළ හැක්කේ ළදරුවන් යම් පිරිසකගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම පමණයි. එය මානුෂිකද අමානුෂිකද? එවැන්නක් කිව හැකි අයෙකු සැලකිය හැක්කේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ලෙසද නැත්නම් ශිෂ්ඨ සම්පන්න, සාධාරණ මිනිසෙකු සේ පෙනී සිටින්නට උත්සාහ කරන අශිෂ්ඨ, ම්ලේච්ඡ, ගෝත්‍රිකයෙකු ලෙසද? හැඟීම් වලට වහල් නොවී පොඩ්ඩක් නිදහසේ හිතා බලන්න!

2 comments:

  1. 1956 වසරේ අපේ රටේ සිදුවූ ආර්ථික වෙනස සිදුවුනේ නැත්නම් ඒ කියන්නෙ 1956 සිට 1977 දක්වා අපේ ආර්ථිකය සංවුර්ත වෙලා තිබ්බේ නැත්නම් රට‍ කොහොමට තියෙයිද

    ReplyDelete
    Replies
    1. සිදු විය හැකිව තිබුණු, එහෙත් සිදු නොවුණු තත්ත්වයන් ගැන ඕනෑවට වඩා හිතන්න මහන්සි වීම තේරුමක් නැති දෙයක්. එසේ වුනානම් රට දැනට වඩා හොඳ මට්ටමක තිබිය යුතු බව ඉතාම පැහැදිලියිනේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: