වෙබ් ලිපිනය:

Monday, May 11, 2026

ඔපෙක් සංවිධානයේ දෙදරීමක්!


සතියකට පමණ පෙර සිදු වූ ඉතා වැදගත් සිදු වීමක් වූයේ මැයි 1 දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමයි. මෙය ඔපෙක් සංවිධානයේ දෙදරීමක් හා ලෝක තෙල් වෙළඳපොළේ සුක්කානම තව දුරටත් ඇමරිකානු අක්ෂය වෙත විතැන් වීමක් ලෙස මෙන්ම මැද පෙරදිග කලාපයේ අනාගත බල තුලනයේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳව ඉඟි කරන්නක් ලෙසද සැලකිය හැකියි. 

ඔපෙක් සංවිධානය තුළ සිටි විශාලතම තෙල් නිෂ්පාදකයන් වූයේ, සවුදි අරාබිය, ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටයයි. වසර හැටක පමණ කාලයක් ඔපෙක් සාමාජිකයෙකුව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, ඔපෙක් සාමාජික රටවල් ගණන එකොළහක් දක්වා අඩු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් මෙන්ම වඩා පුළුල් සංවිධානයක් වන ඔපෙක් ප්ලස් සංවිධානයෙන්ද ඉවත් වී තිබෙනවා. 

ලෝකයේ දැනට හඳුනාගත් තෙල් සංචිත වලින් 79.2%ක්ම ඔපෙක් සංවිධානයේ පාලනය යටතේ පැවති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉවත් වීමෙන් පසුවද මෙම ප්‍රතිශතය 72.0%ක්ව පවතිනවා. මෙම හඳුනාගත් සංචිත වල ඇති ඉන්ධන පවතින වෙළඳපොළ මිලට වඩා බොහෝ අඩුවෙන් නිපදවිය හැකි වුවද, ඔපෙක් සංවිධානය පිහිටුවීමෙන් පසුව එම සංවිධානයේ උපාය මාර්ගය වූයේ ඉන්ධන නිෂ්පාදනය සීමා කිරීම මගින් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. 

කෙසේ වුවද, ශල්ක තෙල් නිෂ්පාදනය හරහා ඇමරිකාව ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වීමෙන් පසුව ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගය අභියෝගයට ලක් වී තිබෙනවා. ඔපෙක් සංවිධානයට නිෂ්පාදනය සීමා කිරීම මගින් ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැය ඉක්මවා වැඩි කාලයක් මිල ඉහළින් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා, තෙල් මිල පහත වැටෙන්නට ඉඩ හැරීම මගින් වරින් වර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය අඩාල කරන්නට සිදු වෙනවා. 

දේශපාලනික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලින් ලොකුවට වෙනස් නොවුනත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආර්ථික හා සංස්කෘතික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලට වඩා බටහිරට සමීපයි. ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු බාධාවක් නැහැ. 

ලෝකයේ හඳුනාගත් තෙල් සංචිත වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ වෙනිසියුලාව තුළයි. මෙම ප්‍රමාණය ලෝකයේ හඳුනාගත් මුළු තෙල් සංචිත වලින් 19.4%ක්. වෙනිසියුලාව තවමත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් වුවත්, මේ වන විට වෙනිසියුලාවේ ඉන්ධන කර්මාන්තය ඇමරිකානු සමාගම් සමඟ ඒකාබද්ධ වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ, ලෝක තෙල් සැපයුම පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානය සතු වූ හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින්, දශක ගණනාවකට පසුව තෙල් වෙළඳපොල නැවතත් වෙළඳපොළ බලවේග වල පාලනයට නතු වෙමින් පවතින ආකාරය දකින්න පුළුවන්. 

3 comments:

  1. ඉකොනෝ ලංකාවේ මූල්‍ය කළමණාකරණය පට්ට අවුල් වෙලා නේද? බලන්න අර NDB කේස් එකට අදාලව මේ දවස්වල කෝප් කමිටුවේ සාකච්ඡාවල කියන දේවල්? ලොකුම ප්‍රශ්නය FPF & ETF මුදල් මහ බැංකුව හරහා කලමනාකරනය කරන්නේ ඒකට සතයක දායකත්වයක් නොවන කන්ඩායමක් නේ. ඉතින් කොහෙද වග වීමක් !

    ReplyDelete
  2. ඔය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් එකෙන් ඉවත් වූයේ වැඩිපුර ඉන්ධන විකුණලා ඒ ලැබෙන මුදල් ඉක්මනින්ම non-oil අංශ වලට ආයෝජනය කරන්න මොකද ලෝක තෙල් වෙළඳාමට අනාගතයක් නෑ කියලා මැදපෙරදිග රටවල් හොඳටම දන්න නිසා.එක්සත් ජනපදයේ මෙම තෙල් දේශපාලනයට එරෙහිව චීනය සහ රුසියාව ප්‍රමුඛ රටවල් දැනටමත් ප්‍රබල ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටින අතර, ඇමරිකානු උපායමාර්ග අසාර්ථක විය හැකි ප්‍රධාන හේතු කිහිපයක් මම කෙටියෙන් කියන්නම්


    1. චීනය සහ රුසියාවේ BRICS+ බලය

    ඇමරිකානු ඩොලරයේ ආධිපත්‍යය බිඳ දැමීම සඳහා චීනය සහ රුසියාව "තෙල් වෙළඳාම ඩොලරයෙන් ඉවත් කිරීම" (De-dollarization) වේගවත් කර ඇත.

    යුවාන් (Yuan) ගෙවීම්

    2026 මැයි වන විට රුසියාව සහ ඉරානය සිය තෙල් ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරය වෙනුවට චීන යුවාන් සහ රුසියානු රූබල් භාවිතය විශාල ලෙස ඉහළ නංවා තිබේ.

    නව තෙල් මාර්ග

    රුසියාව සිය තෙල් අපනයනය යුරෝපයෙන් ඉවත් කර චීනය සහ ඉන්දියාව දෙසට හරවා ඇත. 2026 වසරේදී චීනයට රුසියානු තෙල් ලබා දෙන නව නල මාර්ග (Far Eastern route) නිම කිරීමට නියමිතය.

    තහංචි නොතකා හැරීම

    චීනය විසින් ඇමරිකානු සම්බාධක සත පහකට නොසලකා හරිමින් ඉරාන සහ රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා සිය දේශීය පිරිපහදු මධ්‍යස්ථානවලට අවසර ලබා දී ඇත.

    2. එක්සත් ජනපදයේ මේ අසාර්ථක උත්සාහය අනිවාර්යයෙන්ම අසාර්ථක වන බවට තවත් සාධක

    ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව හරහා ලෝක තෙල් මිල පාලනය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක කර ගැනීම කිසිසේත්ම පහසු නැත

    වෙනිසියුලාවේ යටිතල පහසුකම් බරපතල ලෙස විනාශ වී තිබීම

    දැනටමත් වෙනිසියුලාවේ තෙල් සම්පත විශාල වුවද, වසර ගණනාවක නොසලකා හැරීම නිසා ඒවායේ නල මාර්ග සහ පිරිපහදු මධ්‍යස්ථාන අතිශය බරපතල ලෙස දිරාපත් වී ඇත. ඒවා යථා තත්ත්වයට පත් කිරීමට අවම ඩොලර් බිලියන 150 - 200කට අධික ආයෝජනයක් සහ දශක එකහමාරකට වඩාවැඩි කලක් යන නිසාම එය යම් සැලකිය යුතු තරමකට ගොඩනැගීමට තව වසර ගණනාවක් ගත වනු ඇත.

    වෙනිසියුලානු තෙල්වල අඩු ගුණාත්මකභාවය

    වෙනිසියුලාවේ ඇත්තේ "බර" (Heavy crude) තෙල් වර්ගයකි. මෙය පිරිපහදු කිරීම ඉතා අපහසු සහ මිල අධික ක්‍රියාවලියකි. එබැවින් වෙළඳපොළට ක්ෂණිකව විශාල තෙල් ප්‍රමාණයක් නිකුත් කර මිල අඩු කිරීමට ඇමරිකාවට නොහැකි වනු ඇත.

    දේශපාලන අස්ථාවරත්වය

    වෙනිසියුලාවේ පවතින බරපතල දේශපාලන අර්බුද සහ ඇමරිකානු සමාගම්වලට (උදා: Chevron) ඇති අධික අවදානම හේතුවෙන් පුද්ගලික ආයෝජකයින් එහි ආයෝජනය කිරීමට මැළිකමක් දක්වයි. අතීතයේදී මෙන් තම දේපළ රාජසන්තක වේ යැයි ඔවුන් බිය වෙති.

    හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) අවහිරතා

    ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත්, වෙනිසියුලාවෙන් තෙල් සුලු ප්‍රමාණයක් ගත්තද ලෝක තෙල් මිල අහස උසට ඉහළ යාම වැළැක්විය නොහැක.

    මේ නිසාම මේ ව්‍යාජ වෙනිසියුලා තෙල් මිථ්‍යාව සමග ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව හරහා තෙල් ආධිපත්‍යය ලබා ගැනීමට උත්සාහ කරන්නේ කඩදාසි මත ඇති මනස්ගාත සැලසුම්වලට අනුව වුවද, චීනයේ සහ රුසියාවේ ආර්ථික ප්‍රතිප්‍රහාර මෙන්ම වෙනිසියුලාවේ පවතින ප්‍රායෝගික දුෂ්කරතා නිසා මෙම උත්සාහය අසාර්ථක වීමේ සෑහෙන වැඩි ඉඩකඩක් පවතින බව අපට අනිවාර්යයෙන්ම කියන්න පුළුවනි.

    ReplyDelete
  3. බොර තෙල් කියන්නේ 20 වන සියවසේ ප්‍රධානම බලශක්ති ප්‍රභවය, දහ නව වන සියවසේ නම් ගල් අඟුරු, දැන් මේ විසී එක් වන සියවස, වර්තමාන ලෝකයේ බලශක්ති සිතියම සම්පූර්ණයෙන්ම කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙන "මහා පරිවර්තනයක්" (Great Energy Transition) පිළිබඳ සැබෑ යථාර්ථය මෙතනදී සැලකිල්ලට අරගෙන නෑ.

    ඇමරිකානුවන් තවමත් 20 වැනි සියවසේ පෙට්‍රෝ-ඩොලර් (Petro-dollar) ආධිපත්‍යය රැකගන්න දඟලද්දී, චීනය 21 වැනි සියවසේ හරිත බලශක්ති (Green Energy) ආධිපත්‍යය හරහා ඇමරිකාවට "චෙක්මේට්" එකක් ලබා දෙමින් ඉන්නා ආකාරය ගැන තවත් අධ්‍යනය කරන්න.

    දැන් මේ 2026 වන විට රුසියාව, ඉරානය සහ චීනය එකතු වෙලා යුවාන් (Yuan) මුදලින් තෙල් වෙළඳාම ආරම්භ කිරීම මගින් ඩොලරයට එල්ල කරලා තියෙන්නේ මරු පහරක් වන අතර, ඇමරිකානුවන් වෙනිසියුලාව හරහා ලෝක තෙල් මිල පාලනය කරන්න හැදුවත් වෙනිසියුලාවේ තියෙන "බර තෙල්" (Heavy Crude) පිරිපහදු කිරීමේ තාක්ෂණික ගැටලු සහ දශක ගණනාවක යටිතල පහසුකම් විනාශය නිසා ඒක ප්‍රායෝගිකව සාර්ථක නෑ.

    හැබැයි, මෙතන තියෙන නියම සෙල්ලම තියෙන්නේ තෙල්වල විතරක් නෙවෙයි, මොකද ඇමරිකාව තෙල් පාලනය කරන්න හදද්දී, චීනය මුළු ලෝකයේම විදුලි වාහන (EV) වෙළඳපොළෙන් 60%කට වඩා අල්ලගෙන, බැටරි තාක්ෂණය (CATL, BYD වැනි සමාගම් ගණනාවක් හරහා තනිකරම වගේ චීනයේ, LG එක තරමක ගේමක් දෙනවා ඒත් අමාරුයි) සහ සූර්ය පැනල නිෂ්පාදනය චීනය තනි අතට ගෙන තිබීම මගින් අනාගතයේදී "තෙල්" කියන සාධකය ලෝක දේශපාලනයෙන් ඉවත් කරන්න අවශ්‍ය පදනම හදලයි තියෙන්නේ.

    ඉතින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැනි භූ-දේශපාලනික අවදානම් මැද තෙල් මිල අහස උසට යද්දී, ඒකෙන් වැඩියෙන්ම රිදෙන්නේ ඇමරිකානු පාරිභෝගිකයාට වුවත්, චීනය ඒ වන විටත් සිය රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියට හරවාගෙන අවසන් නිසා ඔවුන්ට මේ "තෙල් කම්පනය" දරාගැනීම ඇමරිකාවට වඩා ලේසි වෙනවා.

    සාරාංශයක් විදිහට ගත්තොත්, ඇමරිකාව පරණ ක්‍රමයට තෙල් ළිඳක් ළඟ ඉඳන් හුරේ දාන්න හදද්දී, චීනය මුළු ලෝකයටම විදුලි පේනුවක් (Plug-in) හඳුන්වා දීලා තෙල්වල අවශ්‍යතාවයම නැති කරමින් ඉන්නවා, ඒක තමයි ඇත්තටම මේ ඇමරිකානු උපායමාර්ග අසාර්ථක වෙන්න තියෙන ප්‍රබලම හේතුව.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: