වෙබ් ලිපිනය:

Showing posts with label තරඟකාරී වෙළඳපොළ. Show all posts
Showing posts with label තරඟකාරී වෙළඳපොළ. Show all posts

Thursday, February 13, 2025

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?


තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන් ගණනාවක් තිබෙනවා. කිසියම් වෙළඳපොළක ව්‍යුහය තීරණය වෙන්නේ අදාළ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව ඇතුළු වාස්තවික සාධක ගණනාවක් මතයි. රාජ්‍ය මැදිහත්වීම් වෙළඳපොළ ව්‍යුහය තීරණය කරන එක් සාධකයක් වුනත් එකම සාධකය නෙමෙයි. මුලින්ම අපි මේ වෙළඳපොළ ව්‍යුහයන් හඳුනා ගනිමු.

1. ඒකාධිකාරී වෙළඳපොළ (Monopoly)

2. පූර්ණ තරඟකාරී වෙළඳපොළ (Perfect competition)

3. ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ (Monopolistic competition)

4. කතිපයාධිකාරී වෙළඳපොළ (Oligopoly)

තවත් ව්‍යුහයන් තිබුණත් මේ හතර ප්‍රධානම ව්‍යුහයන් හතර කියා කියන්න පුළුවන්. මේ අතරින් මුල් ව්‍යුහ දෙක අන්ත දෙකක් නියෝජනය කරනවා. 

ඒකාධිකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී වෙළඳපොළක ඉන්නේ එක් සැපයුම්කරුවෙක් පමණයි. හරියට ලංකාවේ විදුලි බල සැපයුම් වෙළඳපොළ වගේ. නමුත් මෙය හොඳ උදාහරණයක් නෙමෙයි. මොකද ලංකාවේ මේ ඒකාධිකාරය හැදිලා තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ, නිදහස් තරඟයක් තුළ නෙමෙයි. එය එසේ වී තිබෙන්නේ රජයේ මධ්‍යගත සැලසුමක කොටසක් විදිහට. කැමති අයෙකුට නිදහසේ අදාළ සේවාව සපයන්න පුළුවන්කම තිබියදීත් ඒකාධිකාරයක් හැදී ඇත්නම්, එය වෙළඳපොළ ක්‍රමය ඇතුළේ ස්වභාවිකවම හැදුනු ඒකාධිකාරයක් කියා කියන්න පුළුවන්. ඒ වගේම, ලංකාවේ විදුලිබල සේවා සපයන ලංවිම කියන්නේ පුළුවන් තරම් ලාබ ඉපැයීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකුත් නෙමෙයි. කොහොම වුනත්, ස්වභාවික ඒකාධිකාරයක දැකිය හැකි ඇතැම් ලක්ෂණ මේ ඇසුරෙන් පෙන්වන්න පුළුවන්.

ඒකාධිකාරී වෙළඳපොළක තිබෙන විශේෂම ලක්ෂණය සැපයුම්කරුට මිල හෝ සැපයුම යන දෙකෙන් ඕනෑම එකක් පාලනය කරන්න පුළුවන් වීම. මොකද මිල වැඩි කළා කියලා අඩුවෙන් විකුණන්න වෙන තරඟකරුවෙක් නැහැ. සැපයුම සීමා කලා කියලා වෙළඳපොළ පංගුව අල්ල ගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා, ලංවිමට අවශ්‍යනම් මිල තීරණය කරන්න පුළුවන්. සැපයුම සීමා කරන්නත් පුළුවන්. 

හැබැයි මේ විදිහට වෙළඳපොළ මිල හෝ සැපයුම යන දෙකෙන් එකක් පාලනය කළ හැකි වුනත්, ඒකාධිකාරී සැපයුම්කරුවෙක් "අසීමිත ලෙස" මිල වැඩි කරන්නේ නැහැ. ඊට හේතුව, එක් සීමාවකින් එහාට මිල වැඩි කිරීමෙන් ලාබය අඩු වීමයි. විදුලි ගාස්තු උදාහරණයට ගත්තොත්, මිල වැඩි කරන තරමට විදුලි පරිභෝජනය අඩු වෙනවා. මිල වැඩි කිරීමේ වාසියට වඩා ඉල්ලුම අඩු වීමේ අවාසිය වැඩිනම්, තව දුරටත් මිල වැඩි කරලා ලාබ ගන්න බැහැ. ඒ සීමාවේදී ඒකාධිකාරී සැපයුම්කරුවෙක් මිල වැඩි කරන එක නවත්වනවා. ඉහළ මිල නිසා වක්‍ර ලෙස සැපයුමද සීමා වෙනවා. එසේ නැත්නම්, ප්‍රසස්ත මට්ටමකදී සැපයුම සීමා කරනවා. සැපයුම් සීමාව නිසා මිල අවශ්‍ය තරම් ඉහළ මට්ටමක රැඳෙනවා.

මේ වගේ ඒකාධිකාරී වෙළඳපොළක වුනත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල තීරණය වෙන්නේ ඒ අනුව. නමුත් සැපයුම තීරණය කරන්නේ එක් සැපයුම්කරුවෙක් විසින් නිසා අවසාන වශයෙන් මිල තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාවක් ඒකාධිකාරී සැපයුම්කරුට තිබෙනවා. 

ඔය වැඩේම අනෙක් පැත්තට වෙද්දී එයට ක්‍රයේධිකාරයක් (Monopsony) කියා කියනවා. ක්‍රයේධිකාරයකදී ඉන්නේ එක් ගැනුම්කරුවෙක් පමණයි. මිල හෝ ඉල්ලුම තීරණය කරන්නේ මේ එකම ගැනුම්කරුවා විසින්. උදාහරණයක් විදිහට ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය නිපදවන නිෂ්පාදකයින් සියලු දෙනාටම විදුලිය විකුණන්න වෙන්නේ ලංවිමට. මිල තීරණය කරන්නේ ගැනුම්කරුවා විසින්. සැපයුම්කරුවෙකුට මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකියි.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් කරුණු ගණනාවක් සම්පූර්ණ විය යුතුයි.

i) විකුණන භාණ්ඩය හෝ සේවාව සමජාතීය වීම සහ එහි ගුණාංග පොදු දැනුමක් වීම 

ii) නිෂ්පාදන තාක්ෂනය සරල වීම සහ ඒ නිසාම බොහෝ දෙනෙකුට අපහසුවකින් තොරව අදාළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ හැකි වීම 

iii) නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු වීම සහ ඒ නිසාම අලුත් තරඟකරුවෙකුට ඉතා කෙටි කළකින් නිෂ්පාදනය ආරම්භ කළ හැකි වීම සහ අවශ්‍ය විටක නිෂ්පාදනය නැවැත්විය හැකි වීම.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක විශේෂත්වය වන්නේ කිසිදු තරඟකරුවෙකුට වෙළඳපොළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැකි වීමයි. 

මේ සඳහා උදාහරණයක් ලෙස ඉඳි ආප්ප හදා විකිණීම පෙන්විය හැකියි. මේ වැඩේ කරන්නට විශාල පුහුණුවක් අවශ්‍ය නැහැ. තාක්ෂනය සරලයි. විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ නිසා, කැමති කෙනෙකුට කැමති වෙලාවක නිෂ්පාදනය පටන් ගන්න ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, ලොකුවට සල්ලි යට කරලා නැති නිසා, නිෂ්පාදනය නැවැත්වුවා කියලා ලැබෙන ආදායම නැති වෙනවා මිසක් වෙනත් අමතර පාඩුවක් වෙන්නේත් නැහැ. අනෙක් පැත්තෙන් ඉඳි ආප්ප කිවුවම ඉඳි ආප්ප තමයි. පාන් පිටි ඉඳි ආප්ප සහ හාල් පිටි ඉඳි ආප්ප වගේ ප්‍රභේද තිබුණත්, මේ කරුණු එවැනි ප්‍රභේද බොහොමයකට එක සේ අදාළයි. 

ඉඳි ආප්පයක මිල වැඩි කළ හැක්කේ හැමෝම එසේ කරනවානම් පමණයි. එහෙම වෙන්නේ පිටි මිල වැඩිවීම වැනි අවස්ථාවකදී පමණයි. ඒ කියන්නේ පිරිවැය ඉහළ යද්දී. එය කාටත් පොදුවේ බලපාන දෙයක්. ඒ හැර එක් අයෙකුට වැඩි මිලකට ඉඳි ආප්ප විකුණා ලාබ ගන්න බැහැ. එහෙම කළොත් වෙනත් තරඟකරුවෙක් ඒ වෙළඳපොළ පංගුව අල්ලා ගන්නවා.

බිත්තර නිෂ්පාදනයත් ඔය ගොඩට දමන්න පුළුවන්. බිත්තර කිවුවහම කොයිවත් බිත්තර. හදන නිෂ්පාදකයා අනුව බිත්තර වල වෙනසක් නැහැ. තමන් මිල දී ගන්නා බිත්තරය ගැන සැපයුම්කරුවාට තිබෙන දැනුමම පාරිභෝගිකයාටත් තිබෙනවා. අල්ලගන්න අමාරු ලොකු තාක්ෂණයක් නැහැ. යම් මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වුනත්, එය ඒ තරම්ම විශාල නැහැ. ඒ ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඉඳි ආප්ප නිෂ්පාදනය වගේ එක දවසකින් නිෂ්පාදනය පටන් ගන්න බැහැ. කුකුළු පැටවු ලොකු වෙලා බිත්තර දමන වයසට ආ යුතුයි. ඒ වගේම, එක දවසකින් නිෂ්පාදනය නවත්වන්නත් බැහැ. කිකිළියෝ දිගටම බිත්තර දමනවා. නමුත් මාස ගණනක් ඇතුළත නිෂ්පාදනය පටන් ගන්න හෝ නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. වැදගත්ම කාරණය එක නිෂ්පාදකයෙකුට වෙළඳපොළ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ. ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන වෙළඳපොළ මිලට බිත්තර විකුණන්න වෙනවා. තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

වී නිෂ්පාදනය සැලකුවත් ඔය ලක්ෂණ තිබෙනවා. විවිධ වී වර්ග තිබෙනවා තමයි. නමුත් ඒ කිසියම් නිශ්චිත වී වර්ගයක් සැලකුවත් නිෂ්පාදකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා සතුවම අවශ්‍ය නිෂ්පාදන තාක්ෂනය තිබෙනවා. ඉඩම් වැනි මූලික ප්‍රාග්ධන සම්පත් තිබෙනවා. ලංකාවේ වී ගොවිතැන් කරන ගොඩක් ඉඩම් නිදහසේ විකුණන්න බැරි වුනත්, වෙනත් අයෙකුට ඉඩම බදු දී නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසාම, සුදුසු ඉඩමක් තමන් සතුව නැති අයෙකුට වෙනත් අයෙකුගේ ඉඩමක් බදු ගෙන නිෂ්පාදනයට පිවිසෙන්නත් පුළුවන්. වැදගත්ම කරුණ තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ මිශ්‍ර වී තිබෙන වෙළඳපොළක් කියා කියන්න පුළුවන්. පූර්ණ තරඟකාරී වෙළඳපොළකට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධානම වෙනස අදාළ භාණ්ඩය හෝ සේවාව සමජාතීය නොවීමයි. හැමෝම සපයන්නේ පොදු ලක්ෂණ ගණනාවක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිසා සැපයුම්කරුවන් අතර තරඟයක් තිබෙනවා. නමුත්, ඒ අතරම, එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ සුවිශේෂී ලක්ෂණ තිබෙනවා. මේ හේතුව නිසා, තරඟකාරී සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටියත්, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කිරීමේ හැකියාවක් තිබෙනවා. 

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළකට හොඳම උදාහරණය ලෝකයේ පැරණිම රැකියාව කරන අයගේ කර්මාන්තය. කර්මාන්තයට ඇතුළු වෙන්න කිසිම අමාරුවක් නැහැ. අමුතුවෙන් ඉගෙන ගන්න කියලා ලොකු තාක්ෂනයකුත් නැහැ. ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා, නීත්‍යානුකූල වෙළඳපොළක් නොවුනත් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලු දෙනාම පොදුවේ එකම සේවාව සපයන අය වුනත්, සැපයුම්කරුවාගෙන් සැපයුම්කරුවාට වෙනසක් තිබෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කළ හැකියි.

මීට සාපේක්ෂව යම් පුහුණුවක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය රූපලාවන්‍යාගාර කර්මාන්තය තවත් උදාහරණයක්. කොයි තරම් රූපලාවන්‍යාගාර තිබුණත්, පාරිභෝගිකයෝ හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. 

සුපිරි වෙළඳසැලක ෆුඩ් කෝට් එක තවත් උදාහරණයක්. මෙහිදී පාරිභෝගිකයින්ට හොඳ තේරීමක් තිබුණත් ඔවුන් හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. හැම සැපයුම්කරුවෙක් විසින්ම කෑම සපයන නමුත් එක් එක් සැපයුම්කරු විසින් සපයන කෑම අනන්‍යයි. 

මේ අනුව පෙනෙනු ඇත්තේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සලකුණු වෙන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ස්වභාවය අනුව බවයි. එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ පාරිභෝගිකයාට හඳුනාගත හැකි ලොකු වෙනසක් නැත්නම් එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙනවා. එවැනි පැහැදිලි වෙනස්කම් ඇති විට එය ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් වෙනවා. ඒ නිසාම, සැපයුම්කරුට මිල කෙරෙහි බලපෑමක් කළ හැකි වෙනවා. 

ඉහත වෙනස හැරුණු විට මේ වෙළඳපොළ ව්‍යුහයන් දෙකේම පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු මට්ටමක තිබීම, අවශ්‍ය තාක්ෂනය සරල වීම, සැපයුම්කරුවෙකුට පහසුවෙන් කර්මාන්තයට පිවිසීමට සහ එයින් පිටවීමට හැකි වීම ඒ අතරින් විශේෂයි.

මේ විදිහට වෙන් කළත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර ඉරක් ඇඳ වෙන් කරන එක අසීරු වැඩක්. සැබෑ බොහෝ තරඟකාරී වෙළඳපොළ වල ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ යාන්තමින් හෝ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම හෝ ගීත ගැයීම වගේ දෙයක් සැලකුවොත්, එක් එක් ක්‍රීඩකයා හෝ ගායකයා සෑහෙන දුරට අනන්‍යයි. ඒ නිසා බොහෝ දුරට ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක්. ත්‍රිරෝද රථ සේවා සැපයීම වගේ දෙයක් සැලකුවත්, එක් එක් රියදුරා වෙනස්. නමුත් මේ වෙනස ඒ තරම්ම වැදගත් වෙනසක් නෙමෙයි. ඒ නිසා මෙහි ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ තිබෙන්නේ ඉතාම සුළුවෙන්. ඒ නිසා, මෙම වෙළඳපොළ බොහෝ දුරට පූර්ණ තරඟකාරී වෙළඳපොළක් සේ සලකන්න පුළුවන්. එසේ වුවත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සන්තතික ලෙස වෙනස් වන දෙයක් මිසක් ඉරක් ඇඳ ගොඩවල් දෙකකට වෙන් කළ හැකි වෙනසක් නෙමෙයි. 

කතිපයාධිකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ කතිපයාධිකාර හැදෙන බව බොහෝ විට නිරීක්ෂණය කළ හැකියි. මෙයත්  ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක අතරමැදි තත්ත්වයක්. පූර්ණ තරඟකාරී වෙළඳපොළක මෙන් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. නමුත්, සැපයුම්කරුවන් එක් අයෙකුට වඩා සිටින බැවින් ඔවුන් අතර තරඟයක් තිබෙනවා. ඒ නිසා, එක් අයෙකුට නිදහසේ මිල හෝ සැපයුම තීරණය කරන්න බැහැ. එසේ වුවත්, සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් නැති නිසා මිල හා සැපයුම කෙරෙහි යම් බලපෑමක් කළ හැකියි. සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වන තරමට මෙසේ බලපෑම් කිරීමේ හැකියාව ඉහළ යනවා.

දුරකථන සේවා සැපයීම, බැංකු සේවා සැපයීම ආදිය කතිපයාධිකාර ලෙස සලකන්න පුළුවන්. එය එසේ වී තිබෙන්නේ රජයේ නියාමනය නිසා වුවත්, මේ වගේ වෙළඳපොළ වල නියාමනයක් සිදු නොවුනත් බොහෝ විට කතිපයාධිකාර හැදෙන්න ඉඩකඩ වැඩියි. සබන්, දන්තාලේප වගේ නිෂ්පාදන සැලකුවත් කතිපයාධිකාර දකින්න පුළුවන්. 

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් හෝ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් නොහැදී කතිපයාධිකාර හැදෙන්නේ සුවිශේෂී වාස්තවික හේතු නිසා. මේ අතර ප්‍රධානම හේතුනම් අවශ්‍ය මූලික ප්‍රාග්ධනය විශාල වීම සහ අදාළ තාක්ෂණය සංකීර්ණ වීමයි. 

දුරකථන සේවා කර්මාන්තයේ මේ ලක්ෂණ දෙකම පැහැදිලිව දකින්න පුළුවන්. කර්මාන්තයට පිවිසෙන්න විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, සංකීර්ණ තාක්ෂනික දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබෙන විශාල පිරිසක් නැහැ. ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තයක් ප්‍රචලිතව නැත්තේ ඔය සාධක සම්පූර්ණ නොවන නිසා. 

ඉහත සීමාවන් නිසා මේ වගේ කර්මාන්තයකට පහසුවෙන් ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම, ඇතුළු වුනාට පස්සේ එක පාරට අත ඇරලා යන්නත් බැහැ. එහෙම කළොත් මුලින් කරපු විශාල ආයෝජනය වතුරේ.

සබන් හදන එක වගේ දෙයක්නම් සුළු පරිමාණයෙන් පටන් ගන්න බැරිකමක් නැහැ. තාක්ෂනය දුරකථන සේවා සපයන එක වගේ සංකීර්ණ නැහැ. නමුත් ඒ විදිහට අලුත් සබන් වර්ගයක් හදලා වෙළඳපොළ අල්ලා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ වෙළඳපොළේ ඉන්න අය හදාගත්ත නමක් තියෙනවා. එහෙම කරන්න හැකි වී තිබෙන්නේ පොදුවේ සබන් කියා කිවුවත් එක් එක් සබන් වර්ගය සුවිශේෂී නිසා. ඒ කියන්නේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න හේතු වන තත්ත්වයන් මෙහිදීත් දැකිය හැකි නිසා. 

කාලයක් යද්දී ඇතැම් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළවල් කතිපයාධිකාරී වෙළඳපොළවල් බවට පරිණාමය වෙනවා. රූපලාවන්යාගාරයක්, කෑම කඩයක් හෝ කෝපිහලක් දැම්මට පස්සේ එයට ඉල්ලුම වැඩිනම් ඒ නමෙන්ම තවත් තැනක ශාඛාවක් දමන්න අවස්ථාව ලැබෙනවා. ඔය විදිහට ශාඛා ව්‍යාප්ත වෙලා ජනප්‍රිය සන්නාම හැදෙනවා. ජනප්‍රිය සන්නාමයකට සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් අල්ලා ගන්න පුළුවන්. ඒ වගේ සන්නාම කිහිපයක් හැදිලා වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටස සැපයුම්කරුවන් කිහිප දෙනෙකුගේ අතට ගියාම වෙළඳපොළක් ස්වභාවිකවම කතිපයාධිකාරයක් වෙනවා.

ඉහත කී තත්ත්වය යටතේ අලුත් සැපයුම්කරුවෙකුට කර්මාන්තයට පිවිසෙන්න බාධාවක් නැහැ. ඒ නිසාම, තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නත් පුළුවන්. නමුත් වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටසක් තිබෙන්නේ එයින් කිහිප දෙනෙකු අතේ. ඔවුන්ට වෙළඳපොළ මිලට සහ සැපයුමට දැනෙන බලපෑමක් කරන්න පුළුවන්. මේ විදිහේ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ ව්‍යුහකට ගොඩක් සමාන නිසා ඔය ප්‍රවර්ග දෙක අතර දැකිය හැක්කේත් ඉරක් ඇඳ වෙන් කරන්න අමාරු සන්තතික වෙනස් වීමක්.

කතිපයාධිකාර කියන්නේ වැරැද්දක් නෙමෙයි. යම් වාස්තවික තත්ත්වයන් යටතේ හැදෙන්න පුළුවන් වඩාත්ම කාර්යක්ෂම වෙළඳපොළ ව්‍යුහය කතිපයාධිකරයක්. අදාළ තාක්ෂනය සංකීර්ණ වන තරමට සහ අවශ්‍ය ප්‍රාග්ධනය විශාල වන තරමට වෙළඳපොළ තුළ රැදී සිටිය හැකි උපරිම සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය තමයි වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන් ප්‍රමාණය. මේ ප්‍රමාණය දෙකක් පමණක්නම් ද්වයාධිකාරයක් (Duopoly) හැදෙනවා. 

වාණිජ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය සැලකුවොත් ලෝකයේම ඉන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණයි. ඒ තත්ත්වය අදාළ සාධක යටතේ ස්වභාවිකවම ඇති වී තිබෙන තත්ත්වයක්. තුන්වැන්නෙකුට මේ කර්මාන්තයට එන්නනම් ඉතාම විශාල ප්‍රාග්ධනයක් යොදවන්න වෙනවා. ඒ වගේම ඉතාම සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබුණත්, නොදන්නා සැපයුම්කරුවෙකුගෙන් ගුවන් යානයක් මිල දී ගනිද්දී එහි විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ විශ්වාසය ගොඩ නගාගන්න විශාල කාලයක් යනවා. දැනට වෙළඳපොළේ ඉන්න සැපයුම්කරුවෝ දෙන්නා කාලයක් තිස්සේ ඒ විශ්වාසය ගොඩ නගාගත් අය. 

ද්වයාධිකර තත්ත්වයකදී එක් සැපයුම්කරුවෙකුට විශාල බලයක් ලැබුණත්, සැපයුම්කරුවන් දෙදෙනා අතර තරඟය තව දුරටත් තිබෙනවා. ඒ නිසා, ඒකාධිකාරයකදී තරම් පහසුවෙන් ලාබ උපයන්න බැහැ. යම් හෙයකින් ඒ වගේ විශාල ලාබ උපයනවානම්, එයින් තෙවැන්නකුට අවදානම ගෙන වෙළඳපොළට පිවිසීම දිරිමත් කෙරෙනවා. එවැන්නක් සිදු නොවන්නේ දැනට සිටින සැපයුම්කරුවන් දෙදෙනා අතර සැලකිය යුතු මට්ටමක තරඟයක් තිබෙන නිසා. 

ද්වයාධිකාර හැදෙන විදිහටම, වෙළඳපොළ ක්‍රමය ඇතුළේම ඒකාධිකාරත් හැදෙන්න පුළුවන්. නමුත් ලංකාව වගේ රටක, ආර්ථිකය විවෘතව පවතිද්දී, එවැනි ඒකාධිකාර හැදීමේ ලොකු ඉඩක් නැහැ. ඊට හේතුව, රටට පිටතින් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටීමයි. ඒකාධිකාර කියන්නේ බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ ආර්ථික වල ප්‍රශ්නයක්. එවැනි රටක වුවද ඒකාධිකාර හැදෙන එක කලාතුරකින් සිදු වන දෙයක්. ඇමරිකන් රජය මුල් වී බිඳ දමනු ලැබූ මයික්‍රොසොෆ්ට් වෙබ් බ්‍රවුසර් ඒකාධිකාරය උදාහරණයක්.

ප්‍රායෝගිකව ලෝකයේ දැකිය හැකි ඒකාධිකාර බොහොමයක් වෙළඳපොළ ක්‍රමය තුළ ස්වභාවිකව හැදුනු ඒකාධිකාර නෙමෙයි. ඒවා බොහොමයක් ලංකාවේ විදුලි සේවා සැපයීමේ ලංවිම ඒකාධිකාරය මෙන් රජයයන් විසින් මුල් වී හදා තිබෙන ඒකාධිකාර. එය සිදු වන්නේ වෙළඳපොළ ක්‍රමයට විකල්පයක් වන මධ්‍යගත සැලසුම් ක්‍රමයේ මූලධර්ම අනුවයි. සමහර කතිපයාධිකාර හැදී තිබෙන්නේත් ඒ ක්‍රමයට. උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ පෙන්වන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ක්‍රමය තුළ වුවත් ලංකාවේ ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ තුළ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් හැදෙන්න පුළුවන්. මේ දෙකේ වෙනස දෙවැන්න නිෂ්පාදන තාක්ෂනයේ ස්වභාවය ඇතුළු පවතින තත්ත්වයන් යටතේ කාර්යක්ෂම වීම සහ පළමුවැන්න එසේ නොවීමයි. 

තාක්ෂනික ලෙස බැලුවොත් කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම්කරුවන්ට කාටලයක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම කළොත්, සැපයුම්කරුවන් ගණනාවක් හිටියත්, වෙළඳපොළ ව්‍යුහය ඒකාධිකාරයක් වෙනවා. ඒ නිසා, ඒකාධිකාර සහ කතිපයාධිකාර අතර තියෙන්නෙත් ඉරකින් වෙන් කරන්න අමාරු සන්තතික වෙනසක්. මේ විදිහට කාටල හැදුනොත් වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි වන තරමට කාටල ලෙස කටයුතු කරන එක අසීරු වෙනවා. ටික දෙනෙකුට සම්මුතියක් ඇති කරගැනීම පහසු වුනත් පිරිස වැඩි වෙද්දී එය අමාරු වෙනවා.

කාටල හදන අය ප්‍රසිද්ධියේ, කිය කියා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට සම්මුතියකින් තොරව භාවිතය තුළ කාටල ලෙස කටයුතු කිරීමක් සිදු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් හඳුනා ගන්න එකක් ටිකක් සංකීර්ණ, එහෙත් කළ හැකි වැඩක්. 

මෙහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙක් පමණක් සිටියත්, ඒ දෙදෙනා අතර පූර්ණ තරඟකාරී වෙළඳපොළක තරමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුනොත්, ද්වයාධිකාරයක් වුනත් පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තරමටම කාර්යක්ෂම වෙනවා. ලංකාවේ දුරකථන සේවා සැපයුම් වෙළඳපොළේ මුලින් පැවතුනු ඒකාධිකාරය බිඳුණට පස්සේ හැදුනේ කතිපයාධිකාරයක් වුනත්, සැපයුම්කරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙද්දී එක් අවස්ථාවක ඔවුන් අතර විශාල මිල තරඟයක් ඇති වුනා. තවත් ටිකක් නිදහස් වුනොත්, ඉන්ධන වෙළඳපොළේ වුනත් යම් අවස්ථාවක ඒ මට්ටමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. 

Friday, February 2, 2024

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?


තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා යුතුයි කියලා. 

තරඟකාරිත්වය වැඩි වෙද්දී භාණ්ඩයක මිලට ඇත්තටම වෙන්නේ කුමක්ද?

තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ නිකම්ම නිකම් වියුක්ත අදහසක් පමණක් නෙමෙයි. ලෝකයේ ඇත්තටම පවතින වෙළඳපොළ ආකෘතියක්. එහෙත්, ලෝකයේ පවතින හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. බොහෝ තැන් වල අපට ප්‍රායෝගිකව දැකිය හැකි කතිපයාධිකර වැනි තවත් වෙළඳපොළ ආකෘති ගණනාවක් තිබෙනවා. මේ වෙළඳපොළ ආකෘති අතරින් තරඟකාරී වෙළඳපොළවල් හා ඒකාධිකාර කියා කියන්නේ අන්ත දෙකක් කියා කිව හැකියි. 

සමහර අවස්ථා වලදී රාජ්‍ය මැදිහත්වීම් නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. ඊට අමතරව, වෙළඳපොළ නිදහස හොඳින් තහවුරු වී ඇති විටද, විවිධ ස්වභාවික හේතු නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. මේ දෙවන තත්ත්වය බොහෝ විට නරක තත්ත්වයක් නෙමෙයි. 

ඒකාධිකාරයක් තේරුම් ගන්න එක වෙනත් වෙළඳපොළ ආකෘතියක් තේරුම් ගන්නවාට වඩා පහසුයි. ඒකාධිකාරයක් තේරුම් ගත් පසුව ඊට සාපේක්ෂව අනෙකුත් වෙළඳපොළ ආකෘති වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

ඒකාධිකාරයක් කියන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින, එහෙත් පාරිභෝගිකයින් විශාල පිරිසක් සිටින වෙළඳපොළ ආකෘතියක්. ඒකාධිකාර හා සම්බන්ධවද බොහෝ වැරදි මත ජනගත වී තිබෙනවා. ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට හිතේ හැටියට මිල වැඩි කර වැඩි වැඩියෙන් ලාබ ලබා ගත හැකි බව එවැනි එක් ප්‍රචලිත වැරදි අදහසක්. ඒකාධිකාරයක් යටතේ වුවත් සැපයුම්කරුවෙකුට මිල ඉහළ දැමීම මගින් ලාබ වැඩි කර ගත හැකි උපරිම සීමාවක් තිබෙනවා. 

මෙය තේරුම් ගැනීම සඳහා අපි කිසියම් මනඃකල්පිත භාණ්ඩයක් උපයෝගී කර ගනිමු. වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා වලට වගේම මේ භාණ්ඩයටත් කිසියම් වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. භාණ්ඩයේ මිල ඉහළ යද්දී මේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් න්‍යාය කියන්නේ එයටයි. 

පහත තිබෙන්නේ මෙම භාණ්ඩයේ මිල රුපියල් 370 සිට රුපියල් 320 දක්වා වෙනස් වෙද්දී ඒ සඳහා වන ඉල්ලුම වෙනස් වන ආකාරයයි. 

370 - 100

365 - 110

360 - 120

355 - 130

350 - 140

345 - 150

340 - 160

335 - 170

330 - 180

325 - 190

320 - 200

අපි හිතමු මේ භාණ්ඩයේ පිරිවැය රුපියල් 300ක් කියලා. ඒ කියන්නේ මෙම පිරිවැය, එනම් රුපියල් 300, සහ භාණ්ඩයේ විකුණුම් මිල අතර වෙනස සැපයුම්කරුගේ දළ ලාබය. රුපියල් 370 බැගින් විකිණුවොත් එකකින් රුපියල් 70ක් ලාබයි. රුපියල් 360 බැගින් විකුණුවොත් එකකින් රුපියල් 60ක් ලාබයි.

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරී වෙළඳපොළක්නම් සැපයුම්කරුට වෙනත් කාගෙන්වත් තරඟයක් නැහැනේ. ඒ නිසා, සැපයුම්කරුට තමන්ගේ ලාබය ඉහළ යන පරිදි මිල නියම කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ඇති විට සැපයුම්කරු විසින් කරන්නේ පුළුවන් තරම් ඉහළ මිලක් අය කරන එකද?

කිසිසේත්ම නැහැ. මොකද මිල ගොඩක් වැඩි කළොත් ඉල්ලුම අඩු වෙනවා. එකකින් ලාබය වැඩි වුනත් විකිණෙන්නේ අඩුවෙන් නිසා ලාබය අඩුයි. අනෙක් අතට ගොඩක් මිල අඩු කළොත් වැඩියෙන් විකුණන්න පුළුවන් වුනත්, එකකින් ලැබෙන්නේ සුළු ගණනක්නම් අන්තිමට ලොකු ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට ඔය අන්ත දෙක අතර තේරීමක් කරන්න වෙනවා.

ඉහත උදාහරණයේදීනම් ඒකාධිකාරී සැපයුම්කරුවෙකු විසින් භාණ්ඩය මිල කරන්නේ රුපියල් 360 ලෙසයි. එහිදී එකකින් රුපියල් 60ක ලාබයක් ලැබෙනවා. ඒකක 120ක් විකිණෙන නිසා රුපියල් 7200ක දළ ලාබයක් ලැබෙනවා. 

භාණ්ඩයේ මිල රුපියල් 365 දක්වා වැඩි කළොත් එකකින් රුපියල් 65ක ලාබයක් ලැබෙන නමුත් විකිණෙන්නේ ඒකක 110ක් පමණක් නිසා අන්තිමට ලැබෙන දළ ලාබය රුපියල් 7150ක් පමණයි. අනෙක් අතට භාණ්ඩයේ මිල රුපියල් 355 දක්වා අඩු කළොත්, ඒකක 130ක් විකුණාගන්න පුළුවන් වුනත් එකකින් ලැබෙන්නේ රුපියල් 55ක් පමණක් නිසා ලැබෙන දළ ලාබය කලින් මෙන්ම රුපියල් 7150ක් දක්වා අඩු වෙනවා. රුපියල් 7200ක් ලැබෙන්නේ හරියටම රුපියල් 360ට මිල කළොත් පමණයි. ඊට වඩා අඩුවෙන් මිල කළත්, වැඩියෙන් මිල කළත් වෙන්නේ ලැබෙන ලාබය අඩු වෙන එක.

ඔය විදිහට රුපියල් 360 බැගින් ඒකක 120ක් විකුණා රුපියල් 7200ක දළ ලාබයක් ලැබුවා කියා කියමු. නමුත් මේ ලාබය දළ ලාබයක් මිසක් ශුද්ධ ලාබයක් නෙමෙයි. ශුද්ධ ලාභය වෙන්නේ ඔය දළ ලාබයෙන් ස්ථාවර පිරිවැය අඩු කලාට පසුව ඉතිරි වන මුදල. ස්ථාවර පිරිවැය රුපියල් 3500ක්නම් ශුද්ධ ලාබය රුපියල් 3700ක්. ස්ථාවර පිරිවැය රුපියල් 4000ක් නම් ශුද්ධ ලාබය රුපියල් 3200ක් පමණයි.

කිසියම් වෙළඳපොළක් ඒකාධිකාරයක් වෙනවද නැත්නම් තරඟකාරී වෙළඳපොළක් වෙනවද කියන එක එම වෙළඳපොළ හා අදාළ ස්ථාවර පිරිවැය කොපමණද කියන එක මත තීරණය වෙනවා. 

ඉහත උදාහරණයේදී පවතින වෙළඳපොළ ඉල්ලුම හා භාණ්ඩයේ විචල්‍ය පිරිවැය අනුව ලැබිය හැකි උපරිම දළ ලාබය රුපියල් 7200ක් පමණයි. ඔය වෙළඳපොළට තවත් තරඟකරුවෙක් එකතු වුනොත් මෙම දළ ලාබය දෙදෙනෙකු අතර බෙදී යනවා. එවිට එක් අයෙකුට ලැබෙන දළ ලාබය උපරිම වශයෙන් රුපියල් 3600ක් පමණයි. 

මේ විදිහට සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විට, විචල්‍ය පිරිවැය රුපියල් 3500ක් පමණක්නම් එය ආවරණය කර ගත්තාට පස්සේ තවත් රුපියල් 100ක් ශුද්ධ ලාබය විදිහට ඉතිරි වෙනවා. නමුත්, විචල්‍ය පිරිවැය රුපියල් 4000ක්නම් දළ ලාබය රුපියල් 3600ක් වුවත් අන්තිමට රුපියල් 400ක ශුද්ධ පාඩුවකුයි වෙන්නේ. විචල්‍ය පිරිවැය මෙවැනි ඉහළ මට්ටමකට ඇති විටෙක වෙළඳපොළක් ඒකාධිකාරයක් ලෙස පවතිනු මිස එයට දෙවැන්නෙක් එකතු වී තරඟයක් ඇති වෙන්නේ නැහැ. එය ස්වභාවික තත්ත්වයක් මිසක් විකෘතියක් නෙමෙයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ඒකාධිකාරයක් තිබීමෙන් පාරිභෝගිකයාට වෙන්නේ වාසියක්. මොකද ඒකාධිකාරය නැත්නම් පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගැනීමේ අවස්ථාවම අහිමි වී යනවා. ඒක ඊට වඩා පාඩුවක්. ඕනෑම වෙළඳපොළක් මුලින්ම හැදෙන්නේ ඒකාධිකාරයක් විදිහටයි. තවත් අය එකතු වෙන්නේ ඉන් පසුව වෙළඳපොළ පුළුල් වී ඉල්ලුම වැඩි වුනාට පස්සේ. ස්ථාවර පිරිවැය දරා ගත හැකි සැපයුම්කරුවන් දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙළඳපොළ ඉල්ලුමක් හැදෙන තුරු වෙළඳපොළ නිදහස හොඳින්ම තහවුරු කර ඈතත් ඒකාධිකාරයක් පවතිනු මිස දෙවැන්නෙක් වෙළදපොලට ඇතුළු වෙන්නේ නැහැ. 

ස්ථාවර පිරිවැය රුපියල් 3600කට නොවැඩිනම් පමණක් මෙම වෙළඳපොළේ දෙවැන්නෙකුට ඉඩක් තිබෙනවා. නමුත්, තුන් වැන්නෙකුට ඉඩක් නැහැ. තුන් වැන්නෙකුට ඉඩක් ලැබෙන්නනම් ස්ථාවර පිරිවැය රුපියල් 2400කට වඩා අඩු විය යුතුයි. හතරවැන්නෙකුට ඉඩක් ලැබෙන්නේ ස්ථාවර පිරිවැය රුපියල් 1800 නොඉක්මවන්නේනම් පමණයි. ස්ථාවර පිරිවැය රුපියල් 1440 දක්වා අඩු වුනොත් පස්වැන්නෙක්ටත් එකතු වෙන්න පුළුවන්. ඔය ආකාරයකට කිසියම් වෙළඳපොළක වෙළඳපොළ ආකෘතිය තීරණය වෙන්නේ ඉල්ලුමේ ප්‍රමාණය සහ පිරිවැය ආකෘතිය අනුවයි. එය පැවතිය හැකි කාර්යක්ෂමම තත්ත්වය මිසක් "ජාවාරම්කාර මාෆියාවක්" නිසා වෙන දෙයක් නෙමෙයි. වෙළඳපොළ නිදහස තහවුරු වී නැති විට රාජ්‍ය මැදිහත්වීම් නිසා ජාවාරම්කාර මාෆියා හැදෙන්න පුළුවන්එ වීම වෙනම දෙයක්.

ඉහත වෙළඳපොළට දෙවැන්නෙකු එකතු වූ පසු එක් සැපයුම්කරුවෙකුගේ ශුද්ධ ලාබය රුපියල් 100ක් විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් 100ක් විය යුතු නැහැ. එසේ වෙන්නේ සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගීතාවයෙන් කටයුතු කළහොත් පමණයි. ඔවුන් දෙදෙනා එකනෙකා සමඟ තරඟ කළහොත් වෙන්නේ දළ ලාබය ස්ථිර පිරිවැයට සමාන වන තුරු මිල අඩු වෙන එකයි. එහිදී එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙවැන්නක් අනිවාර්යයෙන්ම වන බවට සහතිකයක් නැහැ.

අපි හිතමු ස්ථාවර පිරිවැය රුපියල් 3500ක් කියා. දැන්, සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළහොත් මිල රුපියල් 360 මට්ටමේම පවතිනවා. එක් අයෙකු ඒකක 60ක් විකුණා රුපියල් 3600ක දළ ලාබයක් හා රුපියල් 100ක ශුද්ධ ලාබයක් ලබා ගන්නවා. නමුත් දෙදෙනා තරඟ කළහොත් මිල රුපියල් 350 දක්වා අඩු වෙනවා. එහිදී එක් ඒකකයකින් ලැබෙන ලාබය රුපියල් 50 දක්වා අඩු වුනත්, ඉල්ලුම ඉහළ ගොස් එක් අයෙකුට ඒකක 70ක් විකුණන්නට ඉඩ ලැබෙන නිසා රුපියල් 3500ක දළ ලාබයක් ලැබෙනවා. එහෙත්, ස්ථාවර පිරිවැය ඉවත් වූ පසු ශුද්ධ ලාබයක් නැහැ. ඒ නිසා, මිල තරඟය එතැනින් නවතිනවා. මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට ලැබෙන මිල ලැබිය හැකි හොඳම මිලයි. වෙළඳපොළේ සිටින්නේ තරඟකරුවන් දෙදෙනෙකු පමණක් වුවත් එම හොඳම මිල පාරිභෝගිකයාට ලැබෙනවා. 

කිසියම් වෙළඳපොළක වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ වැඩිනම් එවැනි වෙළඳපොළක් ඒකාධිකාරයක් හෝ කතිපයාධිකාරයක් ලෙස පවතිනු මිස පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. සැපයුම්කරුවන් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය ආකෘතිය මතයි. තරඟකාරී වෙළඳපොළක් බිහි විය හැක්කේ වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ අඩුනම් පමණයි.

අපි හිතමු ඉහත වෙළඳපොළේ ස්ථාවර පිරිවැය රුපියල් 40ක් පමණයි කියා. ස්ථාවර පිරිවැය මේ වගේ අඩු මට්ටමක ඇති විට එම වෙළඳපොළට දිගින් දිගටම සැපයුම්කරුවෝ එකතු වෙනවා. අපි හිතමු ඒ විදිහට සැපයුම්කරුවෝ 100 දෙනෙකු එකතු වුනා කියලා. දැන් වෙළඳපොළ තරඟය නිසා භාණ්ඩයේ මිල රුපියල් 320 දක්වා පහළ යනවා. එම මිලට භාණ්ඩයේ ඒකක 200ක් විකිණිය හැකි වුවත් සැපයුම්කරුවන් 100 දෙනෙකු සිටින නිසා එක් අයෙකුට විකිණිය හැක්කේ ඒකක දෙකක් පමණයි. එකකින් ලාබය රුපියල් 20ක් පමණක් නිසා මුළු දළ ලාබය රුපියල් 40ක් පමණයි. එයින් ස්ථාවර පිරිවැය ආවරණය වෙනවා. නමුත් ඊට වඩා ලාබයක් නැහැ. තවත් තරඟකරුවෙක් ආවොත් කාට හෝ එක් අයෙකුට පාඩු වෙනවා. එම තරඟකරු ඉවත් වී නැවත සැපයුම්කරුවන් ගණන 100ක් වෙනවා. 

සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටින විට ඒ දෙදෙනා සහයෝගයෙන් කටයුතු කිරීම හා තරඟ කිරීම යන දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. නමුත් සහයෝගයෙන් කටයුතු කරන්න වැඩි ඉඩක් තිබෙනවා. එහෙත්, සැපයුම්කරුවන් 100ක් සිටින විට ඒ සියලු දෙනා අතර සහයෝගයක් ඇති වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මෙන් භාණ්ඩයේ මිල එය විකිණිය හැකි අවම මිල මට්ටම දක්වා අඩු වෙනවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ එවැනි වෙළඳපොළක්. අවම වශයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විටද මේ මට්ටමේම තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් ඇතත් එය එසේ සිදු වන බවට කිසිම සහතිකයක් නැහැ. 

වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා.

දැන් අපි හිතමු ඉහත උදාහරණයේ විචල්‍ය පිරිවැය රුපියල් 300 සිට රුපියල් 310 දක්වා ඉහළ ගියා කියලා. මෙහිදී ඒකාධිකාරයක් ඇති විට වෙන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් ඇති විට වෙන්නේ කුමක්ද?

ඒකාධිකාරයක් යටතේ කලින් මිල තීරණය වුනේ රුපියල් 360 ලෙසයි. එම මිලට ඒකක 120ක් විකිනුනු අතර එකකින් රුපියල් 60 බැගින් රුපියල් 7200ක දළ ලාබයක් ලැබුණා. දැන් කලින් වගේම එකකින් රුපියල් 60ක ලාබයක් තියා ගන්නනම් මිල රුපියල් 370 දක්වා වැඩි කරන්න වෙනවා. නමුත් එවිට විකිණෙන්නේ ඒකක 100ක් පමණක් නිසා දළ ලාබය රුපියල් 6000 දක්වා පහත වැටෙනවා. අනෙක් අතට මිල වැඩි නොකළොත්, කලින් ප්‍රමාණයම විකිණෙන නමුත් එකකින් ලැබෙන්නේ රුපියල් 50ක් පමණක් නිසා දළ ලාබය ලෙස ඒත් ලැබෙන්නේ රුපියල් 6000ක් පමණයි. 

ඔය දෙකම නොකර මිල රුපියල් 355 දක්වා පමණක් වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒකක 110ක් විකිණෙනවා. එකකින් රුපියල් 55ක් බැගින් රුපියල් 6050ක දළ ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ ඒකාධිකාරයක් පවත්වා ගන්නා සැපයුම්කරු විසින් තමන්ගේ ලාබය උපරිමයක් කර ගන්නනම් මිල වැඩි කළ යුත්තේ රුපියල් 355 දක්වා පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් පිරිවැය රුපියල් 10කින් ඉහළ ගියත් මිල වැඩි වෙන්නේ රුපියල් 5කින් පමණයි.

ඒකාධිකාරයක් වෙනුවට තරඟකාරී වෙළඳපොළක් තිබුණානම් වෙන්නේ කුමක්ද? ඒකාධිකාරයක් පවතිද්දී මෙන් තරඟකාරී වෙළඳපොළක සැපයුම්කරුවෙකුට පිරිවැය ඉහළ යාමේ කම්පනය අවශෝෂණය කර ගන්න බැහැ. ඒ නිසා, රුපියල් 10ක පිරිවැය ඉහළ යාම මුළුමනින්ම පාරිභෝගිකයා මත පටවන්න වෙනවා. ඒ අනුව, කලින් රුපියල් 320ක් වූ භාණ්ඩයේ මිල රුපියල් 330 දක්වා ඉහළ යනවා. ඒ අනුව, විකිණෙන මුළු ඒකක ගණන 180 දක්වා පහත වැටෙනවා. රුපියල් 40ක ස්ථාවර පිරිවැය ආවරණය කරගන්නනම් එක් සැපයුම්කරුවෙකු විසින් අඩු වශයෙන් ඒකක 2ක්වත් විකිණිය යුතු නිසා දැන් මේ වෙළඳපොළේ රැඳී සිටිය හැක්කේ තරඟකරුවන් 90 දෙනෙකුට පමණයි. ඉතිරි 10 දෙනාට වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

අනෙක් අතට යම් හෙයකින් ඔය විචල්‍ය පිරිවැය අඩු වුනොත් ඊට අනුරූපව මිල පහළ ගිහින් ඉල්ලුම ඉහළ යනවා. එහිදී තවත් අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේක තරඟකාරී වෙළඳපොලක ස්වභාවය. පිරිවැය විචලනය වීමට අනුරූපව සැපයුම්කරුවන් ගණන වගේම භාණ්ඩයේ මිලද විචලනය වෙනවා. ස්ථාවර පිරිවැය අඩු නිසා, අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න පහසුයි. ඒ වගේම, පිරිවැය පොඩ්ඩක් ඉහළ ගිය ගමන් යම් සැපයුම්කරුවන් පිරිසකට වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද එවැනි කම්පනයක් දරා ගත හැකි තරමේ සුපිරි ලාබ මෙවැනි වෙළඳපොළක නැහැ.

මෙයින් වෙනස්ව ඒකාධිකාරයක් ඇති විට පිරිවැය විචලනය වන තරමටම මිල විචලනය වෙන්නේ නැහැ. පිරිවැය ඉහළ යද්දී එයින් කොටසක් සැපයුම්කරු විසින් දරා ගන්නවා. ඒක කරන්නේ පාරිභෝගිකයාට තිබෙන ආදරයකට නෙමෙයි. ලාබ උපරිමයක් වෙන්නේ එසේ කළ විට නිසා. අනෙක් අතට, පිරිවැය අඩු වන තරමට මිල අඩු කරන්නේත් නැහැ. මොකද එහෙම නොකළා කියලා පාරිභෝගිකයින්ට යන්න වෙන තරඟකරුවෙක් නැහැ. 

ඒකාධිකාරයක ඉඳලා තරඟකාරී වෙළඳපොළක් දක්වා වෙළඳපොළක් පරිණාමය වෙද්දී වෙන්නේ ස්ථාවරව තිබුණු මිල වැඩි වැඩියෙන් විචලනය වෙන එක. හොඳම උදාහරණය ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ. මෙම වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්න නිසා දැඩි තරඟය හමුවේ මිල තීරණය වෙන්නේ පිරිවැය අනුව ලබා දිය හැකි අවම මට්ටමේ. මිල ඒ මට්ටමට ආවට පස්සේ පිරිවැයෙහි සිදුවන සුළු වෙනසක් වුවත් පාරිභෝගියාට පටවන්න වෙනවා. මොකද එවැනි සුළු වෙනසක් වුවත් දරා ගැනීමේ හැකියාවක් සැපයුම්කරුවෙකුට නැහැ. පිරිවැය ඉහළ යද්දී සියළුම සැපයුම්කරුවෝ එකවර මිල වැඩි කරනවා.

ඒකාධිකාරයක් ඇති විට මෙවැන්නක් වෙන්නේ නැහැ. ඒකාධිකාරී සැපයුම්කරුට තමන්ගේ සුපිරි ලාබ වලින් පිරිවැය කම්පන අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ හේතුව නිසාම, පිරිවැය ඉහළ යද්දී ඊට අනුරූපව මිල ඉහළ යනවානම් එයින් පෙනෙන්නේ තරඟකාරිත්වය හොඳ මට්ටමක තිබෙන බව. එසේ නොවේනම් එයින් පෙන්වන්නේ පිරිවැය කම්පන අවශෝෂණය කරගෙන ලාබ වැඩි කර ගත හැකි ඒකාධිකාරී බලයක් තිබෙන බව.

වෙබ් ලිපිනය: