වෙබ් ලිපිනය:

Showing posts with label අයවැය. Show all posts
Showing posts with label අයවැය. Show all posts

Tuesday, November 11, 2025

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය


අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ "අනුර කුමාර දිසානායකගේ නව ලිබරල් අයවැය (AKD’s neo-liberal Budget)" විදිහටයි. ඔහු මේ නාමකරණය කරන්නේ ප්‍රශංසාත්මක අර්ථයකින්. 

ඉකොනොමැට්ටා විසින් කවදාවත් තමන්ව නව ලිබරල්වාදියෙක් ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දෙවන පෙළ නායකයෙක් විසින් මැතිවරණ වලට පෙර ඉකොනොමැට්ටාව ඒ විදිහට හඳුන්වලා තිබෙනවා. ඔහු එසේ හැඳින්වූවේ නිශේධනීය අර්ථයකින්. ඔහු ඇතුළු මේ ආණ්ඩුවේ තවත් අය මැතිවරණ වලට පෙර පෙනී සිටියේ නව ලිබරල්වාදයට එරෙහිව පෙනී සිටින අභීත සෙන්පතියන් පිරිසක් විදිහටයි. එවැනි අය අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථදැක්වීමට එතරම් කැමති වෙන එකක් නැහැ.

නව ලිබරල්වාදය කියන වචනය ලංකාව ඇතුළේ දිගින් දිගටම භාවිතා කළේ නව ලිබරල්වාදයට එරෙහිව සටන් කරන්නන් සේ පෙනී සිටි වාමාංශිකයින් විසින්. ඒ හැර කවුරුවත් තමන්ව නව ලිබරල්වාදියෙකු ලෙස හඳුන්වා ගත්තේ නැහැ. නමුත් මේ වෙද්දී නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින යම් පිරිසක් ලංකාව ඇතුළේ ඉන්නවා. හේතුව තනිකරම ප්‍රතිවිරුද්ධ එකක් වුනත්, අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථ දැක්වීමට ඔවුන්ද එතරම් කැමති වෙන එකක් නැහැ. 

අයවැය පිළිබඳ මේ නාමකරණය මම කරපු එකක් නෙමෙයි. මට අවධාරණය කරන්න අවශ්‍ය කරුණ වන්නේ අදාළ ලියුම්කරු විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් ලෙස හඳුන්වා දී තිබෙන්නේ ඇයි කියන කරුණයි. ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් සේ නාමකරණය කර තිබෙන්නේ අයවැය මගින් රජයේ වියදම් සීමා කර අයවැය තුලනය කර ගැනීමේ දිශාවට ගමන් කර තිබීම යන කරුණ මත පදනම්වයි.

මෙම අයවැය මගින් ඉදිරි වසරේ රජයේ පොලී නොවන වර්තන වියදම් දදේනියෙන් 8.9%කට සීමා කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම්ද ඇතුළුව පොලී ගෙවීම් හැර රජයේ මුළු වියදම දදේනියෙන් 12.9%කට සීමා කර තිබෙනවා. කෙසේ වුවත්, පොලී වියදම දදේනියෙන් 7.6%ක් තරම් ඉහළ බැවින් අවසාන වශයෙන් දදේනියෙන් 5.1%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවා. 

විජේවර්ධන ලිපිය තුළද අවධානය යොමු කර ඇති කරුණක් වන්නේ, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාම ඉතා යහපත් ප්‍රවණතාවයක් වුවද, හිඟ අයවැයක් යනු තුලිත අයවැයක් නොවන බවයි. ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය මේ වන විට අවශ්‍ය නිවැරදි දිශාවට ගමන් කරමින් ඇතත්, අයවැය තුලනය කර ගැනීම තවමත් දුරස්ථ ඉලක්කයක්. එමෙන්ම, විජේවර්ධන ලිපියෙහිද පෙන්වා දී ඇති පරිදි, මේ අයවැයෙහි ආර්ථික අර්බුදයෙන් පසුව ක්‍රියාත්මක වූ මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ මිස අමුතු, අලුත් දෙයක් නැහැ. පොඩි පොඩි දේවල් වල වෙනස්කම් නැතුවා නෙමෙයි. නමුත් මූලික ආකෘතිය මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළම තමයි. 

මේ වැඩපිළිවෙළ තුළ ඉදිරියට ගියහොත්, නැවත තෙල් පෝලිම් ඇති වෙන එකක් නැහැ. ඇතැම් අය හිතාගෙන ඉන්න විදිහට 2028දී ණය ගෙවා ගන්න බැරි වීමේ ප්‍රශ්නයක් ඇති වෙන එකකුත් නැහැ. නමුත් ජනාධිපති දිසානායකගේ කතාවෙහි කියැවුණු 7% ආර්ථික වර්ධන ඉලක්කයනම් මැතිවරණ වලට පෙර කියපු ඔය විදිහේ වෙනත් කතා වලම දිගුවක් පමණයි. 

මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ දිගුකාලීනව 3.1%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කරමිනුයි. අරමුදල විසින් තවමත් ඒ ඉලක්කය හෝ ඔවුන්ගේ ඇස්තමේන්තු වෙනස් කර නැහැ. පෙර වසරේ සහ මේ වසරේ වාර්තා වූ ඊට වඩා ඉහළ වර්ධන වේගය ස්ථායීකරණ වැඩපිළිවෙළ අපේක්ෂා කළාට වඩා වේගයෙන් එහි ඉලක්ක කරා යාම නිසා ඇති වූ තාවකාලික තත්ත්වයක් පමණයි. එම වැඩ පිළිවෙළෙහි උදවුවෙන් දිගුකාලීනව ලඟා කර ගත හැක්කේ 3.1%ක ආර්ථික වර්ධනයක් බව සති කිහිපයකට පෙරද මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර තිබුණා. 

මේ ස්ථායීකරණ වැඩපිළිවෙළ ආරම්භ වුනේ අලුත් ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව නෙමෙයි. ආණ්ඩුව බලය ගන්නා අවස්ථාව වන විට වැඩ පිළිවෙල වසර දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කර අවසන්ව තිබුණා වගේම අමාරු මූලික වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා තිබුණා. නමුත් ඒ සියල්ල සිදු වුනේ හරියකට ජනමතයක් නැතිවයි. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජනමතය සකස් කර දීමයි. 

ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව ආදායම් වැඩි කර ගැනීම සඳහා අමාරු තීරණ ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී ආදායම් වැඩි වී සහ වැඩි වෙමින් තිබුණා. අනෙක් පැත්තෙන් පුළුවන් තරමින් වියදම්ද සීමා කරලයි තිබුණේ. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දෙය කලින් ක්‍රියාත්මකව පැවති වැඩ පිළිවෙළ ඒ මාර්ගයේම තවත් ඉදිරියට ගෙන යාමයි. මේ වෙද්දී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් සංචිතයක් රජය විසින් හදාගෙන තියෙන්නෙත් ඔය ක්‍රමයටයි. 

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය වියදම් සීමා කිරීමක් සිදු වී නොමැති බව පහත ඉදිරිපත් කර තිබෙන පොලී නොවන වර්තන වියදම් ප්‍රතිශත (දදේනි අනුපාත ලෙස) දෙස බැලූ විට පැහැදිලිව පේනවා.

2020 - 10.0%

2021 - 9.6%

2022 - 8.1%

2023 - 8.2%

2024 - 8.9%

2025 - 9.0%

2026 - 8.9%

දැඩි ලෙස වියදම් සීමා කිරීමක් ඇත්තටම සිදු වුනේ 2022 හා 2023 වසර වලදීයි. එම වසර වලදී අයවැය තුලනය කළේ, සමහර අය කියන විදිහට, වියදම් අඩු නොකර බදු වැඩි කිරීම මගින් පමණක් නෙමෙයි. බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ වියදම් ප්‍රායෝගිකව සීමා කළ හැකි උපරිම සීමාව දක්වාම සීමා කිරීමෙන් පසුවත් බදු වැඩි නොකර අයවැය තුලනය ස්ථායී කර ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා. මේ සංඛ්‍යාලේඛණත් එක්ක 2026 අයවැය පිළිබඳ නව ලිබරල් අර්ථකතනය ගැන නැවත සිතිය යුතුයි.

මේ වසරේ රාජ්‍යමූල්‍ය තුලනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඊට හේතුව කලකට පසු වාහන ආනයන සඳහා ඉඩ ලැබීම හේතුවෙන් රජයේ බදු ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ යාමයි. එය තාවකාලික පාරිතෝෂිකයක් පමණයි. කෙසේ වුවත්, එම පාරිතෝෂිකය අහිමි වීමෙන් පසුවත්, ඉදිරි වසර තුළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ අවම ඉලක්ක වලට යාන්තමින් හෝ යන්න පුළුවන්. ඒ, අවශ්‍ය බදු වැඩි කිරීම් කලින්ම කර ඇති නිසා. 

මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය ගැන කියන්න තියෙන කතාවත් මීට කිට්ටු කතාවක්. මේ වෙද්දී (2025 ජූනි) මේ රුපියල් සංචිතය බිලියන 1,079.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා හොඳ තත්ත්වයක් නමුත් මෙය තනිකරම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව එකතු කරගත් සංචිතයක් නෙමෙයි. 2024 ජූනි වන විටත්, රුපියල් බිලියන 646.7ක සංචිතයක් එකතු කර ගෙන තිබුණා. වසරකට පසුව එම සංචිතයට තවත් රුපියල් බිලියන 433.0ක් එකතු වී තිබෙනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය ගන්න කොට (2022 ජූනි) මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 230.3ක හිඟයක් තිබුණා. දෙවසරකට පසුව එය රුපියල් බිලියන 646.7ක අතිරික්තයක් වුනා කියා කියන්නේ රුපියල් බිලියන 877.0ක වැඩි වීමක්. 

ඒ එක්කම තව දුරටත් මතක් කළ යුත්තේ මේ වැඩේ රනිල් බලය ගැනීමෙන් පසුව අලුතෙන් පටන් ගත් වැඩක් නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා වෙන්න කලින්ම, මහින්ද සිරිවර්ධනව භාණ්ඩාගාර ලේකම් ලෙස පත් කළ මොහොතේ පටන්ම, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හොඳ පැත්තට හැරුණා. 2022 වසර ආරම්භයේදී මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 831.6ක හිඟයක් තිබුණා. මාස හයකට පසුව රනිල් බලය ගන්නා විටත් එම හිඟය රුපියල් බිලියන 230.3 දක්වා අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 601.3ක එකතුවක්.

අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ පුද්ගල කාර්ය සාධනය නොව වැඩ පිළිවෙළ බවයි. වැඩ පිළිවෙළ නිවැරදි එකක්නම් එය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ප්‍රතිඵල ලැබෙනවා. මෙයින් රාජ්‍ය නායකත්වයේ කාර්ය භාරය අවතක්සේරු කරන්න අදහස් කරන්නේ නැහැ. රනිල් මේ වැඩ පිළිවෙලට නායකත්වය දුන්නා. වැඩ පිළිවෙලක් හරියට ක්‍රියාත්මක වෙන්න දේශපාලන නායකත්වය අවශ්‍යයි. දැන් අනුරත් ඒ අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා. වැඩ පිළිවෙළ, වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අදාළව, ප්‍රතිඵල පෙන්වනවා. 

රුපියල් සංචිතය වෙත නැවත පැමිණියහොත්, මේ රුපියල් සංචිතය එකතු වෙන්නේ රජයේ වියදමට වඩා ආදායම් වැඩි නිසා නෙමෙයි. තවමත් විශාල අයවැය හිඟයක් තියෙනවා. රුපියල් සංචිතයේ තියෙන්නෙත් ණයට ගන්න සල්ලි. පසුගිය කාලයේ දිගින් දිගටම මුදල් ගිණුම ශක්තිමත් කර ගත්තේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ලබා ගැනීම මගිනුයි. මෙහි තිබෙන වාසිය වනුයේ අවාසිදායක තත්ත්වයන් යටතේ ණය නොගෙන යම් කාලයක් රජයේ කටයුතු කර ගෙන යා හැකි වීමයි. දැනට එකතු වී තිබෙන මුදලින් අලුතෙන් ණය නොගෙන වුවත් මාස තුනක පමණ කාලයක් ඇදගෙන යන්න පුළුවන්. 

කොහොම වුනත්, අර්බුදය කාලයේ කළ යුතුම වැඩක් වූ මේ වැඩේ මේ විදිහටම දිගටම කරගෙන යන එකේ තේරුමක් නැහැ. හදිසියකදී ප්‍රයෝජනයට ගන්න රුපියල් ට්‍රිලියනයක පමණ සංචිතයක් හොඳටම ඇති. දැන් කළ යුත්තේ මෙයින් එහාට පියවරක් තියන එකයි. ඒ පියවර කුමක්ද?

යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් ගැන හිතනවානම් දැන් කළ යුත්තේ විවිධ වියදම් වෙනුවෙන් වෙන වෙනම අරමුදල් හදලා ඒ අරමුදල් වලින් අදාළ වියදම් සිදු කෙරෙන යාන්ත්‍රණයක් හදන එකයි. දැනට එකතු වී තිබෙන සහ තව දුරටත් වර්ධනය කර ගැනීමේ විභවයක් තිබෙන රුපියල් සංචිතයේ උදවුවෙන් ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. 

උදාහරණයක් විදිහට මේ සංචිතයෙන් යම් රුපියල් ප්‍රමාණයක් දමලා මාර්ග සංවර්ධනය හා නඩත්තුව වෙනුවෙන් වෙනම අරමුදලක් හදන්න පුළුවන්. ඉන් පසුව, කිසියම් නිශ්චිත බදු ආදායමක්, උදාහරණයක් විදිහට, වාහන ආනයනය කිරීමේදී අය කරන බදු වලින් යම් ප්‍රතිශතයක්, කෙළින්ම ඒ අරමුදලට බැර වෙන විදිහට නීතියක් හදන්න පුළුවන්. එවිට එම බදු ආදායමෙන් හා අරමුදල ආයෝජනය කර ලැබෙන ප්‍රතිලාභ වලින් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගෙන යන්න පුළුවන්. වාර්ෂිකව අයවැයෙන් අමුතුවෙන් මුදල් වෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම බදු ආදායම් අඩු වෙන අවුරුද්දකදී වුනත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගන්න බැරි වෙන්නේ නැහැ.

ඔය විදිහට බදු ආදායම් හා වියදම් ගැලපුවාට පස්සේ ආණ්ඩුවට අභිමත විදිහට බදු ආදායම් වැය කිරීමේ හැකියාව සීමා වෙනවා. බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදල් වලට සිදු වෙන දේ පැහැදිලිව පේනවා. හිඟ මුදල් ගිණුමක් තියාගෙන මේ වගේ දෙයක් ගැන හිතන්න බැරි වුනත්, රුපියල් සංචිතයක් ගොඩ නැගී තිබෙන මේ වෙලාවේ මේ සඳහා මුල් පියවර තියන්න පුළුවන්. 

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදම් වල සැලකිය යුතු කොටසක්. නමුත් ඇත්තටම විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදමක්ම නෙමෙයි. එයත් එක්තරා ආකාරයක පරන ණය ගෙවීමක්. හරිම ක්‍රමය විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් නොකර වෙනම අරමුදලකින් විශ්‍රාම වැටුප් ගෙවන එකයි. නමුත් ලංකාවේ රජය විසින් එවැනි අරමුදලක් හදලා නැහැ. අරමුදලට සල්ලි දැමිය යුත්තේ රජයේ සේවකයින් සේවය කරන කාලයේදීයි. මේ වගේ දේවල් කොයි වෙලාවක හෝ නිවැරදි විය යුතුයි. 

Friday, November 7, 2025

ජාතික අයවැය 2026


ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. 

අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර සකස් කර ඇති, එමෙන්ම මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හා ගැලපෙන පරිදි සකස් කර ඇති, අයවැයක් බවයි. ඊට අමතරව ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ විභවයක් තිබෙන ඉලක්ක සහිතව සකසා ඇති අයවැයක් බවද පෙනී යනවා. 

ලංකාවේ අයවැය ඉතිහාසය ලෙස බැලුවහොත්, අයවැය කියන්නේ ඒ තරම්ම තේරුමක් නැති, හිස් ලියැවිල්ලක් පමණයි. වසරක් ආරම්භ වීමට පෙර ප්‍රදර්ශනාත්මක ලෙස ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු සහ වසර අවසන් වෙද්දී දකින්නට ලැබෙන සැබෑ සංඛ්‍යාලේඛණ අතර බොහෝ විට විශාල පරතරයක් දැකිය හැකිව තිබුණා. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් වී වඩා යහපත් රාජ්‍යමූල්‍ය විනයක් ගොඩ නැගී තිබීම යහපත් ප්‍රවණතාවක්. 

රාජ්‍ය ආදායම 

වසරකට පෙර මෙම (2025) වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරද්දී රුපියල් බිලියන 4,590ක බදු ආදායමක් සහ රුපියල් බිලියන 400ක බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් ලෙස රුපියල් බිලියන 4,990ක සමස්ත ආදායම් හා ලැබීම් ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබුණා. මේ වන විට යාවත්කාලීන කර ඇති ඇස්තමේන්තු අනුව, බදු ආදායම රුපියල් බිලියන 4,725 දක්වා ඉහළ යනවා. බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 375ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,100 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙය රුපියල් බිලියන 110කින් ඉලක්කය ඉක්මවා යාමක්. 

ඉදිරි (2026) වසර තුළ බදු ආදායම රුපියල් බිලියන 4,910 දක්වාත්, බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 390 දක්වාත් වැඩි කර ගැනීම ඉලක්කයයි. මේ අනුව, සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,300 දක්වා ඉහළ යනවා. මෙය ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ හැකියාවක් ඇති ආදායම් ඉලක්කයක්. 

ප්‍රාග්ධන වියදම් 

පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 1,315ක මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර තිබුණත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,033 දක්වා පහත හෙළා තිබෙනවා. මේ අනුව, අයවැයෙන්  වෙන් කළ අරමුදල් වලින් රුපියල් බිලියන 347ක මුදලක් ඉතිරි වෙනවා. ඉදිරි වසරේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,380ක මුදලක් වෙන් කර තිබෙනවා. 

පොලී වියදම් 

පසුගිය අයවැයෙහි පොලී වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,950ක් වුවත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,650 දක්වා පහත වැටී තිබෙනවා. මෙය රුපියල් බිලියන 300ක ඉතිරියක්. 

අනෙකුත් පුනරාවර්තන වියදම් 

වැටුප් හා වේතන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,290 සිට රුපියල් බිලියන 1,220 දක්වා පහත වැටී ඇති අතර, ඉදිරි වසරේ එම වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,323ක මුදලක් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 1,290ක් වූ සහනාධාර හා සුබසාධන වියදම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 1,280කට සීමා වී තිබෙනවා. එය ඉදිරි වසරේදී රුපියල් බිලියන 1,347 දක්වා ඉහළ යනවා. අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් වෙන් කර තිබුණු රුපියල් බිලියන 405ක මුදලද රුපියල් 380 ලෙස වෙනස් වී තිබෙනවා. ඉදිරි වසර සඳහා අදාළ වෙන් කිරීම රුපියල් බිලියන 401ක්. මේ අනුව, සමස්තයක් ලෙස රජයේ පුනරාවර්තන වියදම් කොටසද මුල් අයවැය ඇස්තමේන්තු වලට වඩා පහළින් පවත්වා ගෙන යමින් ඇති ආකාරය දැකිය හැකියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

ඉහත සඳහන් පරිදි බදු ආදායම් ඉහළ යද්දී සියලුම ප්‍රධාන වියදම් ශීර්ෂයන් මුල් ඇස්තමේන්තු වලට වඩා අඩු මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,210ක් දක්වා ඉහළ යා හැකි බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය අපේක්ෂිත දදේනියෙන් 3.8%ක් වන අතර අවශ්‍ය අවම මට්ටම වන 2.3% බෙහෙවින්ම ඉක්මවන්නක්. එබැවින් ඉදිරි වසර සඳහා සැලසුම් කර ඇති එම අනුපාතය 2.5% වුවද, යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පවත්වාගෙන යාම මගින් එම මට්ටම ඉක්මවා යාමේ විභවයක් වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා.

සමස්ත අයවැය හිඟය 

යාවත්කාලීන ඇස්තමේන්තු අනුව මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 1,448ක් වන අතර, අයවැය ඇස්තමේන්තු අනුව ඉදිරි වසරේදී එය රුපියල් බිලියන 1,787 දක්වා ඉහළ යනවා. දදේනි අනුපාත ලෙස මෙය අයවැය හිඟය 4.5% සිට 5.1% දක්වා ඉහළ යාමක්. කෙසේ වුවද, මීට ප්‍රධාන හේතුව මෙම වසරේ දදේනියෙන් 14.8% මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බදු ආදායම ඉදිරි වසරේදී නැවතත් දදේනියෙන් 14.2% මට්ටම දක්වා අඩු වීමයි. මේ වසරේ බදු ආදායම අනපේක්ෂිත මට්ටමකට ඉහළ යාම කලකට පසු වාහන ආනයන තහනම ඉවත් කිරීම නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයක් බැවින්, ඉදිරි වසරේදී මෙවැනි අඩුවීමක් අපේක්ෂා කරමින් අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අනිවාර්යයයෙන්ම සිදුවිය යුත්තක්. 


Sunday, July 13, 2025

ඇමරිකාවේ අයවැය අතිරික්තයක්!





විශාල කාලයකට පසුව පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය බදු ආදායම් වැඩි වීමේ සහ වියදම් කප්පාදු කිරීමේ සංයුක්ත ප්‍රතිඵලයක්. අදාළ සංඛ්‍යාලේඛණ පෙර වසරේ (2024) ජූනි මාසය හා සැසඳීමෙන් සිදුව ඇති වෙනස පිළිබඳව අදහසක් ගත හැකියි. 

පෙර වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 466ක් වූ අතර, වියදම ඩොලර් බිලියන 532ක් වුනා. ඒ අනුව, පසුගිය ජූනි මාසයේදී ඩොලර් බිලියන 66ක අයවැය හිඟයක් වාර්තා වුනා.

මෙම වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 526 දක්වා ඉහළ ගොස් ඇති අතර  වියදම ඩොලර් බිලියන 499කට සීමා වී තිබෙනවා. ඩොලර් බිලියන 27ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඒ අනුවයි.

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 60කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

ආනයන මත අය කෙරෙන තීරු බදු ඉහළ දැමීම නිසා තීරු බදු ආදායම ඩොලර් බිලියන 6 සිට 27 දක්වා 350%කින් ඉහළ ගොස් ඇතත්, රාජ්‍ය ආදායම වැඩිවීමට ප්‍රධානම හේතුව එම වැඩි වීම නෙමෙයි. තීරු බදු වැඩි කිරීමේ දායකත්වය ඩොලර් බිලියන 21ක් පමණයි.

රාජ්‍ය ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යාමයි. එම වැඩිවීම ඩොලර් බිලියන 51ක්. මේ අයුරින් පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 81 සිට ඩොලර් බිලියන 68 දක්වා 16%කින් අඩු වී ඇති ආකාරය දැකිය හැකියි.

තීරු බදු ආදායම සහ පුද්ගල ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 72කින් ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 13කින් අඩු වීම නිසා සමස්ත වැඩිවීම ඩොලර් බිලියන 60කට සීමා වී තිබෙනවා. 

මෙම වෙනස්කම් දෙස බලද්දී පෙනී යන්නේ මධ්‍යම පාන්තිකයින් මත වැඩි බදු බරක් පැටවී ඇති ආකාරයයි. 

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය වියදම් ඩොලර් බිලියන 33කින් පහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

මෙයට ප්‍රධානම හේතුව ෆෙඩරල් අයවැයේ ප්‍රධාන අයිතමයක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් මුළුමනින්ම මෙන් කප්පාදු කර තිබීමයි. 2024 ජූනි මාසයේදී ඩොලර් බිලියන 90ක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් 2025 ජූනි මාසයේදී ඩොලර් බිලියන 11කට සීමා වී තිබෙනවා. මෙහි ඉතිරිය ඩොලර් බිලියන 79ක්. එහෙත් අනෙකුත් වියදම් ඩොලර් බිලියන 46කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස වියදම් අඩු වී තිබෙන්නේ ඩොලර් බිලියන 33කින් පමණයි. 

අධ්‍යාපන වියදම් විශාල ලෙස කප්පාදු කිරීම ඇමරිකාවේ පොදු අධ්‍යාපනය විශාල අර්බුදයකට තල්ලු කර තිබෙනවා.

Monday, May 19, 2025

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025 පළමු කාර්තුව


වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල් බිලියන 985.88ක්. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, මුළු ආදායම රුපියල් බිලියන 4,990ක්. මේ අනුව, පළමු මාස තුනක කාලය ඇතුළත එකතු වී තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් පිළිවෙලින් 21.5%ක් හා 21.4%ක් පමණයි. 

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී එක් එක් කාර්තුව සඳහා වෙන වෙනම ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම, වසර තුළ එකතු වන රාජ්‍ය ආදායම එක් එක් කාර්තුව තුළ සමානව එකතු වන්නක්ද නෙමෙයි. එහෙත්, අපට පෙර (2024) වසරේ මුල් කාර්තුව තුළ එකතු වූ ආදායම් ප්‍රතිශත සමඟ මෙම ගණන් සසඳා බැලිය හැකියි.

පසුගිය වසර තුළ එකතු වූ රාජ්‍ය ආදායමෙන් 22.4%ක්ද, බදු ආදායමෙන් 22.6%ක්ද එකතු වූයේ පළමු කාර්තුව ඇතුළතයි. එම අනුපාත සැලකුවහොත්, වර්ෂාවසාන ඉලක්ක වලට යාම පිණිස, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1,137.5ක පමණ බදු ආදායමක් සහ රුපියල් බිලියන 1,117.6ක සමස්ත ආදායමක් එකතු කරගන්නට සිදු වෙනවා. එකතු වී ඇති බදු ආදායම එම ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 51.7කින් අඩුයි. 

මෙම ප්‍රවණතාව මේ අයුරින්ම ඉදිරියට ප්‍රක්ෂේපණය කළහොත්, වසර අවසන් වන විට, බදු ආදායම අපේක්ෂිත ඉලක්කයට වඩා රුපියල් බිලියන 228.6කින් පමණ අඩු මට්ටමකට සීමා වීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් වූයේ පළමු කාර්තුව මැදදී යන්නද අපට මෙහිදී සැලකිල්ලට ගන්නට සිදු වෙනවා. ඒ නිසා, පළමු කාර්තුවට සාපේක්ෂව ඉතිරි කාර්තු තුන ඇතුළත වාහන හා අදාළ බදු වලින් යම් ආදායම් වැඩි වීමක් සිදු විය හැකි වුවත්, පළමු කාර්තුව තුළ එක වර වාහන වැඩි ප්‍රමාණයක් ගෙන්වීමේ බලපෑමද තිබිය හැකි නිසා, මෙම අපේක්ෂිත වැඩි වීම කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු වීමේ ඉඩක්ද තිබෙනවා. මේ ගැන වැඩිමනත් යමක් නිශ්චිතව කිව හැක්කේ වාහන ආනයනය පිළිබඳ දත්ත පරිශීලනය කරන්නට ඉඩක් ලැබීමෙන් පසුවයි. 

ආදායම් අඩු වීම හමුවේ, රජය විසින් පසුගිය දෙවසර තුළද කළ පරිදි, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය මට්ටමේ පවත්වා ගෙන ගොස් තිබෙනවා. පළමු මාස තුන තුළ පොලී ගෙවීම් හැර රාජ්‍ය වියදම රුපියල් බිලියන 669.92කට සීමා වී ඇති අතර එම ප්‍රමාණය වසරේ ඇස්තමේන්තුගත වියදමෙන් 15.6%ක් පමණයි. පසුගිය වසරේ පොලී වියදම් හැර අනෙකුත් වියදම් වලින් 17.4%ක්ම පළමු කාර්තුව තුළ වියදම් වී තිබීම සැළකු විට මෙහි වියදම් සීමා කිරීමක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

කෙසේ වුවත්, ඉහත සඳහන් වියදම් සීමා කිරීමසිදු කර තිබෙන්නේ විශාල වශයෙන් ප්‍රාග්ධන වියදම් සීමා කිරීම මගිනුයි. පුනරාවර්තන වියදම් වල එවැනි සීමා වීමක් පෙනෙන්නට නැහැ. 

පසුගිය වසරේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනර්වර්තන වියදම් වලින් 18.4%ක් පළමු කාර්තුව තුළ සිදු වූ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ අපේක්ෂිත වාර්ෂික සීමාවෙන් 20.0%ක්ම වියදම් කර තිබෙනවා. මෙවැන්නක් සිදුව තිබෙන්නේ වැටුප් වැඩි වීමේ බලපෑම එකතු වන්නට පෙරයි. ඒ නිසා, ඉදිරි කාර්තු වලදී මේ ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වීමට ඉඩ තිබෙනවා.

පළමු කාර්තුව තුළ අයවැය තුලනය කරගෙන තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා කිරීම මගිනුයි. මෙය වෙනත් වසර වලදීද සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් වල 27.4%ක විශාල අඩු වීමක් දකින්නට ලැබෙනවා. එමෙන්ම, කාර්තුව තුළ සිදු කර තිබෙන්නේ වසරේ අපේක්ෂිත ප්‍රාග්ධන වියදම් වලින් 6.2%ක සොච්චමක් පමණයි. මේ අනුව පෙනී යන්නේ ආර්ථිකයේ විවිධ අංශ වෙනුවෙන් අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙන් කළද, එම අරමුදල් ලබා දීමක් සිදුව නොමැති බවයි. 

රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යා නොහැකිනම් අනිවාර්යයෙන්ම වියදම් සීමා කරන්නට සිදු වෙනවා. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි තීරණ ගැනීමෙන් පසුව පුනරාවර්තන වියදම් අඩු කිරීම පහසු කටයුත්තක් නොවන බැවින් කපා හරින්නට සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණයයි. මේ මගින් කෙටිකාලීනව ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීමට උදවු කෙරෙන නමුත් එහි අහිතකර බලපෑම් මැදි හා දිගුකාලීනව ආර්ථික වර්ධන වේගය තුළ නිරූපණය විය හැකියි. 

ඊට අමතරව ආණ්ඩුවට මෙහි දේශපාලන බලපෑමක්ද තිබෙනවා. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවසුවේ මෙම අයවැය ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන අයවැයක් බවයි. එහෙත්, දැන් ඇත්තටම සිදු වී තිබෙන්නේ රට නරකම ආර්ථික අර්බුදයක පැවති කාලයට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් සීමා වී තිබීමයි. 

පුද්ගල ආදායම් බදු සීමා ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි බදු ආදායම් අඩු වන සහ පුනරාවර්තන වියදම් වැඩි කෙරෙන ක්‍රියාමාර්ග පසුගිය අයවැයෙන් දැනටමත් ගෙන අවසන් නිසා දැන් ඒ හා අදාළව කළ හැක්කක් නැහැ. එහෙත්, අයවැයෙන් ඉලක්ක කළ බදු ආදායම් අපේක්ෂිත පරිදි එකතු කර ගැනීමට සහ මෙම ආණ්ඩුව බලයට පත් වීමට පෙර විශාල බරක් තබමින් අවධාරණය කළ ගෙවා නොමැති බදු වඩා ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස එකතු කරගැනීමට කටයුතු කර ගනිමින් රාජ්‍ය ආදායම් අඩු වීමේ අවදානම ඉවත් කර ගතහොත්, අයවැයෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කරන්නට සිදු වීමේ අවදානම මග හැර ගත හැකියි. 

කෙසේ වුවත් අවසාන වශයෙන් පසුගිය වසරේ පළමු මාස තුන තුළ පැවති මට්ටමද ඉක්මවන රුපියල් බිලියන 397.47ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර, එහි උදවුවෙන් සමස්ත අයවැය හිඟයද අඩු වී තිබෙනවා. ඒ නිසා, අරමුදලේ වාරිකය ලබා ගැනීමේදී රාජ්‍යමූල්‍ය තුලනය පිළිබඳව ප්‍රශ්නයක් මතු වන එකක් නැහැ. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සහ ඊට පෙරම චීන මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය දිගු කර ගැනීම නිසා විදේශ අංශය තුළ යම් කාලයකට හුස්ම ගැනීමේ ඉඩක් ඉතිරිව තිබෙනවා.

Thursday, February 27, 2025

සිංගප්පූරු අයවැය - 2024


පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන් තුළ තිබෙන්නේ දදේනියෙන් කොපමණද යන්නයි. 

සමාගම් ආදායම් බදු - 30.88 (4.1%)

පුද්ගල ආදායම් බදු - 18.97 (2.5%)

භාණ්ඩ හා සේවා බදු - 20.61 (2.8%)

වත්කම් බදු - 6.70 (0.9%)

වාහන බදු හා අධිභාර - 9.06 (1.2%)

තීරු බදු හා කාබන් බදු - 3.45 (0.5%)

රඳවා ගැනීමේ බදු - 2.28 (0.3%)

සූදු හා ඔට්ටු බදු - 3.23 (0.4%)

අනෙකුත් බදු - 9.12 (1.2%)

මුද්දර ගාස්තු - 6.36 (0.9%)

අනෙකුත් ගාස්තු - 4.58 (0.6%)

අනෙකුත් ආදායම් - 1.39 (0.2%)

එකතුව - 116.62 (15.6%)


සිංගප්පූරු රජය විසින් අරමුදල් වැය කර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

සෞඛ්‍යය - 17.94 (2.5%)

අධ්‍යාපනය - 14.58 (2.0%)

ජාතික සංවර්ධනය - 10.05 (1.2%)

අනෙකුත් සමාජ සංවර්ධන කටයුතු - 13.37 (1.7%)

ආරක්ෂාව - 20.85 (2.8%)

ප්‍රවාහනය - 14.68 (2.0%)

රාජ්‍ය පරිපාලනය - 4.09 (0.5%)

අනෙකුත් කටයුතු - 17.35 (2.3%)

එකතුව - 112.91 (15.1%)


මේ අනුව, සිංගප්පූරුව 2024 වසර තුළ ඩොලර් බිලියන 3.7ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය එරට දදේනියෙන් 0.5%කට සමාන මුදලක්. 

ලංකාව විසින් ඉලක්ක කරන්නේ දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමටනම්, සිංගප්පූරුව දදේනියෙන් 0.5%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීම ඒ තරම් ලොකු දෙයක්ද?

දෙරට අතර වෙනස වන්නේ සිංගප්පූරු රජය විසින් කාලයක් තිස්සේ දිගින් දිගටම මෙවැනි ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වාගෙන ගොස් තිබීමයි. ඒ මගින් ඉතිරි වන අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කර තිබෙන අතර, ඉහත සඳහන් බදු හා බදු නොවන ආදායම් වලට අමතරව එම ආයෝජන වල ප්‍රතිලාභ ලෙසද සිංගප්පූරු රජයට විශාල ආදායමක් ලැබෙනවා. 2024දී එසේ ලැබුණු ශුද්ධ ප්‍රතිලාභ මුදල ඩොලර් බිලියන 24.02ක් හෙවත් දදේනියෙන් 3.2%කට සමාන මුදලක්. ඒ නිසා, සිංගප්පූරුවේ සමස්ත අයවැය අතිරික්තය ප්‍රාථමික අයවැය අතිරික්තයට වඩා වැඩියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙන බැවින් සිංගප්පූරු රජයට මෙම ආයෝජන ප්‍රතිලාභ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, එම රජය විසින් කරන්නේ මෙම අරමුදල් නැවත ආයෝජනය කිරීමයි.

ලංකාවේ තත්ත්වය තනිකරම මෙහි අනෙක් පැත්තයි. ඊට හේතුව වන්නේ ඊනියා 76-අවුරුදු සාපය කෙසේ වුවත්, ලංකාවේ 69-අවුරුදු සාපයයි. පසුගිය දෙවසර, යහපාලන කාලයේ දෙවසරක්, පණහ දශකයේ දෙවසරක් සහ තවත් එක් වසරක් හැරුණු විට ඉතිරි වසර 69 තුළම ලංකාව වාර්තා කර තිබෙන්නේ හිඟ ප්‍රාථමික ශේෂ බැවින්, සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම වත්කම් එකතු කර ගනිද්දී ශ්‍රී ලංකා රජය විසින් ණය කන්දක් ගොඩ ගසාගෙන තිබෙනවා. 

සිංගප්පූරු රජයේ වත්කම් වලින් වාර්ෂිකව ප්‍රතිලාභ ලැබෙද්දී ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව ණය පොලී ලෙස විශාල මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන ගියත් ලංකාවේ සමස්ත අයවැය ශේෂය හිඟයක්. ඒ හිඟය පියවා ගැනීම සඳහා වාර්ෂිකව තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ තමයි ලංකාවේ හැට නමයේ සාපය!

Tuesday, February 25, 2025

රාජ්‍ය අයවැය 2025 - වියදම් පාර්ශ්වය


පෙර ලිපි වලින් අප රාජ්‍ය අයවැයෙහි ආදායම් පාර්ශ්වය ගැන කතා කළා. දැන් අපි වියදම් පැත්ත දෙස බලමු. ආදායම් පැත්ත ගැන විමසීමේදී අප දුටුවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ලඟා කර ගත යුතු අවම ආදායම් ඉලක්කය වෙත යා හැකි පරිදි අයවැය ඇස්තමේන්තු සකසා ඇති බවයි. වියදම් පැත්තේ දැකිය හැක්කේ එම වැඩ පිළිවෙළ අනුව සිදු කළ හැකි උපරිම වියදමම වියදම් කෙරෙන පරිදි ඇස්තමේන්තු සකසා ඇති ආකාරයයි. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව මෙන්ම දැන් රටේ නීතියක්ව පවතින රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත අනුවද රජයේ වියදම් සීමා වෙනවා. ණය හා පොලී ගෙවීම් හැර එම වියදම දදේනියෙන් 13.0% ඉක්මවිය නොහැකියි. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවට මෙම සීමාව ඉහළ දමා ගැනීම අපහසු කාර්යයයක් නොවුවත් මෙහිදී එවැන්නක් සිදු වී නැහැ. යම් හෙයකින් මෙම සීමාව ඉහළ දමා ගත්තේ වුවද, සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි එකඟතා අනුව, වියදම් වැඩි කළ හැක්කේ ආදායම්ද අනුරූපී ලෙස වැඩි වන්නේනම් පමණයි. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, ප්‍රාථමික අයවැය අතිරික්තය අවම වශයෙන් දදේනියෙන් 2.3%ක් විය යුතු බැවින්, 13.0% වියදම් සීමාව සීමාකාරී බාධකයක් වන්නේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 15.3% ඉක්මවුවහොත් පමණයි. රාජ්‍ය ආදායම ඊට වඩා අඩු, 15.1% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක ක‍ර තිබෙන නිසා වියදම් කළ හැකි උපරිම සීමාව කොහොමටත් 13.0% මට්ටමට පහළින් 12.8% මට්ටමේ නවතිනවා. 

ඉහත සඳහන් සීමාවට පොලී ගෙවීමේ වියදම් සහ ණය ආපසු ගෙවීම් ඇතුළත් වන්නේ නැහැ. සීමාව බලපාන්නේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් වලට සහ ප්‍රාග්ධන වියදම් වලට පමණයි.

පහත තිබෙන්නේ ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය වියදම.

පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,588.7

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,525.7

රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 4,630.4

එකතුව - රුපියල් බිලියන 11,754.9


මෙම (2025) වසරේ වියදම් ඇස්තමේන්තු පහත පරිදියි.

පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,920.0

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,315.0

රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,600.0

එකතුව - රුපියල් බිලියන 8,835.0

රාජ්‍ය ණය ආපසු ගෙවීම් වල විශාල වෙනසින් පෙන්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ බැඳුම්කර හුවමාරුවේ බලපෑමයි. එම කොටස ඉවත් කළ විට, ඉතිරි රාජ්‍ය වියදම් රුපියල් බිලියන 7,124.5 සිට රුපියල් බිලියන 7,235.0 දක්වා රුපියල් බිලියන 110.6කින් වැඩි වී තිබෙනු දැකිය හැකියි. මෙය 1.6%ක, සාපේක්ෂව සුළු, වැඩි වීමක්. පොලී ගෙවීම් රුපියල් බිලියන 200.9කින් වැඩි වී තිබීම සැළකු විට, සමස්තයක් ලෙස ප්‍රාථමික වියදම් රුපියල් බිලියන 90.4කින් පහත වැටී තිබෙනු දැකිය හැකියි. 

වියදම් පැත්ත දෙස බැලූ විට නිරීක්ෂණය කළ හැකි වැදගත් කරුණක් වන්නේ පුද්ගල පඩිනඩි වියදම් වැඩිවීම රුපියල් බිලියන 3.1ක "සොච්චමක්" පමණක් බවයි. එය ප්‍රතිශතයක් ලෙස 0.4%ක වැඩිවීමක් පමණයි. සංක්ෂිප්ත ලෙස කිවහොත්, මෙම අයවැයෙහි අනවශ්‍ය වියදම් වැඩිවීමක් දැකිය නොහැකියි. ඒ වෙනුවට, මෙහි පෙනෙන්නේ බදු අය කිරීම් සීමා කර ගන්නා අතර වියදම් ආදායම් හා ගලපා ගැනීමේ ප්‍රවේශයක්. එය කිසිසේත්ම නරක ප්‍රවේශයක් නෙමෙයි. 

Saturday, February 22, 2025

2024 අයවැය පිළිබද පසු විපරමක්...


මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. 

ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. 

කොහොම වුනත්, ලංකාවේ අයවැය ඉතිහාසයේ පසුගිය දශක කිහිපය දෙස බැලුවොත් මේ අයවැය ඉදිරිපත් කිරිල්ල විහිළුවක් වෙලයි තිබුණේ. ආදායම් ඇස්තමේන්තු ඉදිරිපත් කළත්, ප්‍රායෝගිකව ඒ ඉලක්ක ලඟා කර ගැනීමක් සිදු වුනේ නැහැ. ඒ වගේම, වියදම් ඉලක්ක තිබුණත්, වියදම් ඒ ඉලක්ක වලට සීමා වුනේ නැහැ. එහෙම බලද්දී, 2024 කියන්නේ බොහෝ දුරට අයවැය ඉලක්ක ලඟා කරගත් වසරක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ, ඇත්තටම අවශ්‍යනම් සෑහෙන තරම් නිවැරදිව ආදායම් හා වියදම් ඇස්තමේන්තු හදාගන්න බැරිකමක් නැහැ කියන එක.

පසුගිය වසරේ අයවැය සකස් කරද්දී දිගුකාලීන ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකාව 2048දී සංවර්ධිත රාජ්‍යයක් බවට පක් කිරීමයි. සමහර අයට මේ වැඩේ මීට වඩා හදිසියෙන් කරන්න අවශ්‍ය වෙලා තිබුනා වගේම 2048 ඉලක්කය විහිළුවක් වෙලා තිබුණා. නමුත්, ඔය 2048 ඉලක්කය වුනත් පහසුවෙන් ලඟා කරගත හැකි ඉලක්කයක් නෙමෙයි. 


කෙටිකාලීන ඉලක්ක ලෙස ඉදිරිපත් කර තිබුණේ මේවායි.

1. 2024දී ආර්ථිකයේ 1.8%ක වර්ධනයක් අත් කර ගැනීම 
2. උද්ධමනයේ සාමාන්‍ය අගය තනි ඉලක්කමක මට්ටමේ පවත්වා ගැනීම 
3. විරැකියා මට්ටම 2024දී 5%ට වඩා අඩු අගයක පවත්වා ගැනීම 
4. විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.

ආර්ථික වර්ධනය 5% පමණ මට්ටමකට යා හැකි බවයි මේ වෙද්දී පෙනී යන්නේ. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස උද්ධමනය 1.2% වැනි මට්ටමකට අඩු වෙලා. විරැකියා අනුපාතය දිගටම තිබුණේ 5% මට්ටමට පහළින්. තුන්වන කාර්තුවේදී එය 4.1%යි. වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තියෙනවා. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ නිවැරදි රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල. 

පසුගිය වසර සඳහා අයවැය ඉලක්ක හදා තිබුණේ ඉහත සාර්ව ආර්ථික ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කෙටුම්පත් අවස්ථාවේ සිට වරින් වර අයවැය ඇස්තමේන්තු සුළු වශයෙන් වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා, විවිධ ලේඛණ වල තිබෙන ඇස්තමේන්තු හරියටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම වියදම් පැත්ත විවිධ ලේඛණ වල වෙනස් ආකාර වලින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා, සංසන්දනයක් කරන එක ටිකක් අසීරු වැඩක්. ආදායම් පැත්තේ එවැනි වෙනස්කම් අඩුයි. 

පහත තිබෙන්නේ අනුමත අයවැය ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය ආදායම. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලින්.

2024 රාජ්‍ය ආදායම - අනුමත ඇස්තමේන්තු 
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 507.9
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,215.6
බලපත්‍ර ගාස්තු ආදිය = 16.5
ආදායම් හා ලාභ මත බදු = 1,080.0
බදු නොවන ආදායම් = 324.0
ප්‍රදාන = 20.0
පළාත් සභා ආදායම් = 78.2
එකතුව = 4,242.2

මෙම වසරේ අයවැය කෙටුම්පතේ ඇති ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව, ඉහත ඉලක්ක ලඟා කර ගෙන තිබෙන්නේ පහත පරිදියි.

2024 රාජ්‍ය ආදායම - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 481.3
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,177.6
බලපත්‍ර ගාස්තු ආදිය = 19.5
ආදායම් හා ලාභ මත බදු = 1,026.2
බදු නොවන ආදායම් = 388.9
ප්‍රදාන = 60.0
පළාත් සභා ආදායම් = 84.4
එකතුව = 4,237.9

අනු කාණ්ඩ වල අඩු වැඩිවීම් තිබුණත්, සමස්තයක් ලෙස ආදායම් ඉලක්කයෙන් 99.9%ක් එකතු කරගෙන තිබෙනවා.

වියදම් පැත්තෙන් වඩා වැදගත් පුනරාවර්තන වියදම් කොටසයි. එයින් සැලකිය යුතු කොටසක් පොලී වියදම්. 

2024 රාජ්‍ය වියදම් - අනුමත ඇස්තමේන්තු 
පොලී වියදම් = 2,651.0
පුද්ගල පඩිනඩි = 799.2
අනෙකුත් පුනරාවර්තන වියදම් = 1,848.5
ප්‍රාග්ධන වියදම් = 1,709.8
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,268.4
එකතුව = 11,276.8

2024 රාජ්‍ය වියදම් - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු  
පොලී වියදම් = 2,749.1
පුද්ගල පඩිනඩි = 744.7
අනෙකුත් පුනරාවර්තන වියදම් = 2,104.9
ප්‍රාග්ධන වියදම් = 1,525.7
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,630.4
එකතුව = 11,754.9
 
මේ අනුව, වියදම් පැත්තේ රුපියල් බිලියන 478.1ක වැඩි වීමක් පේනවා. එහෙත්, එයින් රුපියල් බිලියන 362.0ක් වැඩි වී තිබෙන්නේ මුලින් ඇස්තමේන්තු කළාට වඩා වැඩියෙන් ණය ආපසු ගෙවූ නිසා. තවත් රුපියල් බිලියන 98.10ක් අමතර පොලී ගෙවීම්. මේ කොටස් දෙකේ එකතුව රුපියල් බිලියන 460.1ක්. අනෙකුත් වියදම් වැඩි වීම රුපියල් බිලියන 17.9ක් පමණයි. ඒ අනුව, එම කොටස මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව 100.4%ක් වී තිබෙනවා. එය සුලු වැඩිවීමක්. 

සමස්ත චිත්‍රය දෙස බැලු විට පෙනී යන්නේ 2024 අයවැය ඉලක්ක ඉතා කිට්ටුවට ලඟා කරගත් වසරක් බවයි. එමෙන්ම, මුලින් සැලසුම් කළාට වඩා වැඩියෙන් ණය හා පොලී ආපසු ගෙවා තිබෙනවා. ආර්ථික වර්ධනය, උද්ධමනය, විණිමය අනුපාතය, විරැකියා අනුපාතය ආදිය කලින් ඉලක්ක කළාටත් වඩා ගොඩක් හොඳ මට්ටමක තියෙන්නේ මේ යහපත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ උදවුවෙන්. 

Wednesday, February 19, 2025

අයවැය කොහොමද?


මේ වෙද්දී අලුත් ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන සමස්තයක් ලෙස සහ ඉතා සංක්ෂිප්තව කියන්න තියෙන්නේ "කියන්න තරම් වැරැද්දක් නැහැ" කියන එකයි. අයවැයේ කියන්න තරම් වැරැද්දක් නැහැ වගේම ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි හෝ ඇස් උඩ යන මැජික් කිසිවකුත් නැහැ. ඇත්තටම කිවුවොත් මේ වගේ වෙලාවක අයවැයකින් එහෙම මැජික් කරන්නත් බැහැ. එහෙම මැජික් කරන්න උත්සාහ කර නොතිබීමේ පදනම මත අවශ්‍යනම් හොඳ අයවැයක් කියා කියන්නත් පුළුවන්.

මූලික වශයෙන්ම මෙය IMF වැඩ සටහනේ පරාමිතීන් අනුව හදපු අයවැයක්. ආදායම් ඉලක්කය අවශ්‍ය අවම මට්ටමට (දදේනියෙන් 15.1%) යනවා. ඊට පස්සේ එයින් අවශ්‍ය අවම ප්‍රාථමික අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉතුරු කරලා ඉතිරි ටික වියදම් කරනවා. ඔය සීමාවන්ට යටත්ව ආණ්ඩුවට කරන්න අවශ්‍ය දේවල් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඇත්තටම කිවුවොත්, ඔය සීමාවන්ට යටත්ව ලොකු දේවල් කරන්න බැරි නිසා කරන්න පුළුවන් දේවල් ටික කරලා තියෙනවා. 

අයවැයේ පළමු හා ප්‍රධානම ප්‍රතිඵලය මේ මාසය ඉවරවෙන්න කලින් ලැබෙයි. මේ වෙද්දී IMF එක ලංකාවේ ඊළඟ වාරිකය ගැන සාකච්ඡා කිරීම න්‍යාය පත්‍රයට දමලා. පෙබරවාරි 28 එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වූ විට ඊළඟ වාරිකය අනුමත නොවෙන්න හේතුවක් පේන්නේ නැහැ. ඒ වගේම, IMF වැඩ සටහනේ පරාමිතීන් අනුව අයවැය හැදීමේ ප්‍රතිඵල දේශීය ණය වෙළඳපොළ පොලී අනුපාතික තුළද පිළිඹිමු වෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වාහන ආනයන තහනම ඉවත් කිරීමත් කරලා ඉවරයි කියන්නේ දැන් IMF වැඩ සටහන යටතේ කළ යුතු ලොකු වැඩ ටික සියල්ලම කරලා ඉවරයි. ඒ නිසා, අයවැයේ ආදායම් ඉලක්ක ලඟා කර ගැනීම හැර වෙන කරන්න අමාරු දෙයක් ඉතිරි වෙලා නැහැ. මම හිතන විදිහට මේ ආදායම් ඉලක්ක ලඟා කර ගන්නත්  පුළුවන්කම තියෙනවා. වැඩිදුර විශේලේෂණයක් කරන්නනම් තවම වෙලාව ලැබුණේ නැහැ. එවැන්නක් කළාට පස්සේ සමහර විට අදහස වෙනස් වෙන්න පුළුවන්. 

වාහන ආනයන වලට ඉඩ දුන්නා කියලා විණිමය අනුපාතය අස්ථාවර වෙලා නැහැ. ඒ නිසා, දැන් නැවත විණිමය අනුපාතය අස්ථාවර වෙන්න විශේෂ හේතු කිසිවක් නැහැ. ඒ වගේම ඊළඟ IMF වාරික ටික වැඩි අමාරුවක් නැතුව ගන්න පුළුවන් වෙයි. ඔය තත්ත්වයන් එක්ක ස්ථාවරත්වය ගැන දැන් බය වෙන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ වර්ධනය ගැන හිතන්න කාලය හරි. 

මේ ආණ්ඩුව යන පාර ගැන අවිනිශ්චිතතාවයක් තිබුණානම් අයවැය යෝජනා එක්ක ඒ අවිනිශ්චිතතා ඉවත් වී යනවා. මැතිවරණ වලට පෙර වුනත්, සිදු වෙන්න වඩාත්ම ඉඩකඩ තිබෙන දේ ලෙස පෙනුණු දේ තමයි දැන් වෙලා තියෙන්නේ. අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තිබුණේ දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමේ විවිධ අය විවිධ අවස්ථා වල කියපු දේවල් වල සංගත භාවයක් නොතිබුණු නිසා. 

ආණ්ඩු පක්ෂ කණ්ඩායමට අත්දැකීම් නැහැ කියලා මැතිවරණ වලට කලින් අනෙකුත් කණ්ඩායම් විසින් කරපු විවේචනය පදනමක් නැති එකක් නෙමෙයි. අත්දැකීම් නැති කම දැනට වුනත් පේනවා. නමුත් අත්දැකීම් නැති බව තේරුම් ගෙන කටයුතු කරනවානම්, ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් අවුල් හැදෙන්නේ නොදන්නා දේවල් නොදන්නා බව නොදැන වැඩ කරන්න ගියාමයි. මේ ආණ්ඩුවේ ප්‍රවේශය සහ වියත්මග ප්‍රවේශය අතර දැනට දැකිය හැකි වෙනස ඒකයි. සමහර විට මේ ආණ්ඩුව වියත්මග තැනට තවම තල්ලු වී නැත්තේ IMF වැඩසහන නිසා වෙන්නත් පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව "මහජන ආණ්ඩුවක්" වෙන්න උත්සාහ කිරීම ඊට හේතුවක් ඇති බව අමතක කරන්නත් බැහැ.

මේ අයවැය මහජන අයවැයක්ද? මම හිතන්නේ ඒ විදිහට නම් කර ගැනීමේ වැරැද්දක් නැහැ. අයවැය මහජන අයවැයක් කියන එක ව්‍යුත්පන්න වෙන්නේ ආණ්ඩුව මහජන ආණ්ඩුවක් කියන එකෙන්. ඔය දෙකම "මහජන" වෙන්නේ මහජනතාවට අයවැයෙන් විශාල සහන ලැබී ඇති නිසා නෙමෙයි. ඊනියා මහජනතාවට රාජ්‍ය පාලනයට සම්බන්ධ වුනොත් කරන්න ඉඩ තියෙන දේවල් බොහෝ දුරට ආණ්ඩුවේ තීරණ තුළ නිරූපණය වෙන නිසා. විශේෂයෙන්ම අයවැය තුළ. 

දැන් එහෙම කිවුවහම එහෙම නැති දේවල් විශාල ලැයිස්තුවක් කෙනෙකුට වහාම මතක් වෙයි. කෙටි පිළිතුර, ඒ මතක් වෙන ලැයිස්තුවේ තිබෙන ගොඩක් දේවල් කියන්න මිසක් කරන්න පුළුවන් දේවල් නොවීමයි. රුපියල් සීයක් රුපියල බැගින් සිය දෙනෙකුට බෙදා දෙන්න පුළුවන්. රුපියල් දහය බැගින් දහ දෙනෙකුට බෙදා දෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් හොඳ තීරණය කොයි එකද කියන එක අවසාන වශයෙන් දේශපාලනික තීරණයක්. ඔය දෙකම සමාන බවක් අදහස් වන්නේ නැතත් ප්‍රායෝගිකව දෙකෙන් කැමති එකක් කරන්න පුළුවන්. නමුත් රුපියල් සියය රුපියල් දහය බැගින් සිය දෙනෙකුට බෙදන එක කරන්න බැරි දෙයක්. ඒ වගේ දේවල් ගැන කියන්න විතරයි පුළුවන්කමක් තියෙන්නේ. කරන්න බැහැ. 

පසුගිය දවස්වල ලංවිමට උපදෙස් දෙන්න ගොඩක් අය හිටියා. ඔය වගේ පිටින් ඉඳලා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමේ තිබෙන ප්‍රායෝගික සීමාවන් දන්නේ වැඩේ කරන අය. හැබැයි ඒ අයම වෙනත් දේවල් සම්බන්ධව ඒ විදිහටම යෝජනා ඉදිරිපත් කරනවා. රෝහල් පරිපාලනය වගේ දෙයක් ගත්තොත් එහි තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න දන්නේ ඒ වැඩේ කරන අය. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩේ හෝ ආර්ථිකය කළමනාකරණය වගේ දෙයක් ගත්තත් එහෙමයි. පිටින් ඉඳලා බලන කොට පේන තරම් ලේසියෙන් කිසිම දෙයක් කරන්න බැහැ. කලිසම් හැලෙන්නේ, බොත්තම් මාරු වෙන්නේ වැඩක් කරන්න යන කොට. 

හැබැයි එයින් අදහස් වෙන්නේ හැම තැනකම හැම දෙයක්ම සිදු විය යුතු හොඳම විදිහට වෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා, ඒ තරම් පදනමක් නැති අවස්ථා වලදී පවා නිරන්තර විවේචනයක් සිදු වෙන එක හොඳ දෙයක්. ආණ්ඩුව තමන් මහජන ආණ්ඩුවක් සේ සලකනවානම් විවේචන ප්‍රශ්න විදිහට දකින්න අවශ්‍ය නැහැ. 

මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලමද? කිසිසේත්ම නැහැ. එය ඒ වගේ පෙනෙන්නේ මේ ආණ්ඩුව IMF වැඩ පිළිවෙළ ඇතුළේ ඉන්න නිසා. රනිලුත් IMF වැඩ පිළිවෙළ ඇතුළේ හිටියට එය රනිල්ගේ වැඩ පිළිවෙලක් නෙමෙයි. හරියටම කිවුවොත් IMF වැඩ පිළිවෙළකුත් නෙමෙයි. එහි තියෙන්නේ මේ වෙලාවේ ලංකාවට යන්න පුළුවන් පාරේ දෙපැත්තේ සුදු ඉරි දෙක. කවුරු බලය ගත්තත් ඔය ඉරි කපන්න බැහැ. ඉරි කැපුවොත් ආයෙමත් කන්දක හැපෙනවා. නැත්නම් පල්ලමකට වැටෙනවා. දැන් මේ ආණ්ඩුවත් රනිල් වගේම ඉරි නොකපා ඉස්සරහට යන්න පුළුවන් විදිහට අයවැයක් හදලා තියෙනවා.

හැබැයි ඉහත සමානකම තිබුනට ඒ ඉරි දෙක ඇතුළේ මේ ආණ්ඩුව වාහනේ එළවන්නේ තමන්ගේ ක්‍රමයට. ඒ ක්‍රමය රනිල් යන්න හදපු ක්‍රමයම නෙමෙයි. IMF වැඩ පිළිවෙළ ඇතුළේ යන ගමන් එහා මෙහා කරගන්න පුළුවන් සීමිත ඉඩ මේ ආණ්ඩුව විසින් තමන්ගේ දේශපාලන අභිලාශ අනුව ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. ඒ බව ලොකුවට නොපෙනෙන්නේ ඒ සඳහා ලොකු ඉඩක් නොතිබුණු නිසා. ඒ වෙනස්කම් දිහා වැඩි අවධානයකින් බැලුවේ නැත්නම් මේ ආණ්ඩුවේ අනාගත දිශානතිය මග හැරෙනවා.

Tuesday, February 18, 2025

2025 අයවැය - අපේක්ෂිත ලැබීම් සහ මුදල් වෙන් කිරීම්


පහත තිබෙන්නේ 2025 අයවැයෙහි අපේක්ෂිත ලැබීම් සහ මුදල් වෙන් කිරීම් පිළිබඳ සාරාංශයක්.

අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)

බදු ආදායම් - 4,590

බදු නොවන ආදායම් හා ලැබීම් - 400

ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200


අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)

වැටුප් හා වේතන - 1,290

පොලී වියදම් - 2,950

පොදු ආයෝජන - 1,315

සුබසාධන වියදම් හා සහනාධාර - 1,290

අනෙකුත් වියදම් - 405


පොලී වියදම් හැර ඉතිරි මුදල් අමාත්‍යංශ, පළාත් සභා සහ අනෙකුත් විශේෂ ඒකක අතර බෙදා හැර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය - රුපියල් බිලියන 703.8 (16.4%)

පොදු පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය - රුපියල් බිලියන 583.5 (13.4%)

පළාත් සභා නවය සඳහා - රුපියල් බිලියන 535.8 (12.5%)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - රුපියල් බිලියන 508.5 (11.9%)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය - රුපියල් බිලියන 473.4 (11.0%)

ආරක්ෂක අමාත්‍යංශය - රුපියල් බිලියන 442.0 (10.3%)

කෘෂිකර්ම, සත්ව සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශය - රුපියල් බිලියන 271.0 (6.3%)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය - රුපියල් බිලියන 208.7 (4.9%)

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය - රුපියල් බිලියන 175.4 (4.1%)

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය - රුපියල් බිලියන 101.3 (2.4%)

අනෙකුත් අමාත්‍යංශ සහ විශේෂ වියදම් ඒකක - රුපියල් බිලියන 291.6 (6.8%)

Thursday, December 5, 2024

අතුරු අයවැය ඉතා කෙටියෙන්...


සාමාන්‍යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා. මෙහිදී රජයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම  ප්‍රශ්නයක් වෙනවා. එයට පිළියමක් ලෙස මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් මේ වන විට සම්මත කරගෙන තිබෙනවා. මෙය වසර සඳහා සම්පූර්ණ අයවැයක් සකස් කරන තුරු ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. 

මේ අතුරු අයවැය අනුව ඉදිරි වසරේ පළමු මාස හතරක කාලය තුළ රාජ්‍ය මූල්‍යනය සිදු වන්නේ පහත පරිදියි.

අපේක්ෂිත ආදායම = රුපියල් බිලියන 1,600

අපේක්ෂිත වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,425

ණය හා පොලී ගෙවීම් = රුපියල් බිලියන 1,175

අපේක්ෂිත මුළු වියදම = රුපියල් බිලියන 2,600

අපේක්ෂිත අරමුදල් හිඟය = රුපියල් බිලියන 1,000

මේ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත පමණක් රජය තවත් රුපියල් බිලියන 1000ක් හෙවත් රුපියල් ට්‍රිලියනයක් ණය වීමට නියමිතයි. මෙය ආසන්න වශයෙන් රටේ එක් අයෙකු මාස හතරක් ඇතුළත තවත් රුපියල් 50,000ක් පමණ ණය වීමට සමානයි.

කෙසේ වුවත්, රජයට මෙලෙස ණය වීමට තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පරණ ණය හා පොලී ගෙවීමේ අවශ්‍යතාවයයි. ණය නොවී ණය ගෙවිය හැකි කිසිදු මැජික් විසඳුමක් තවමනම් යෝජනා වී නැහැ. 

පරණ ණය හා පොලී ගෙවීම් නොවීනම් රජය සතුව රුපියල් බිලියන 175ක මුදලක් ඉතිරි වෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය නමින් හඳුන්වන්නේ එම ඉතිරියයි. 

මේ (2024) වසරේ පළමු මාස හතර ඇතුළත ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 365ක් වූ අතර, වසරේ පළමු මාස නවය ඇතුළත එම අතිරික්තය රුපියල් බිලියන 785ක්ව පැවතුණා. මේවා ඇස්තමේන්තු නොව ඇත්තම ගණන්. මෙම සංඛ්‍යාලේඛණ සමඟ සැසඳීමේදී පැහැදිලිව පෙනී යන්නේ අලුත් ආණ්ඩුව රාජ්‍යමූල්‍ය විනය කෙරෙහි පැවති ආණ්ඩුව තරමට බරක් තබා නොමැති බවයි. 

ඇතැම් විට ආණ්ඩුව උත්සාහ කරන්නේ ස්ථායිකරණ වැඩ පිළිවෙළ අනුව පවත්වා ගත යුතු අවම ප්‍රාථමික අයවැය අතිරික්තය පමණක් යාන්තමින් පවත්වා ගනිමින් වියදම් ඉහළ දැමීම විය හැකියි. එවැනි ප්‍රවේශයක අවදානම වන්නේ අපේක්ෂිත ආදායම් එලෙසම නොලැබී යා හැකි වීමයි. 

ඉදිරි (2025) වර්ෂයේ පළමු මාස හතරේ අපේක්ෂිත ආදායම් හා වියදම් මේ (2024) වසරේ පළමු මාස හතර හා සෘජුව සංසන්දනය කළ හැකියි.

2024 පළමු මාස හතරේ ආදායම = රුපියල් බිලියන 1,218

2024 පළමු මාස හතරේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 853

මේ අනුව පෙනී යන්නේ අතුරු අයවැය ඇස්තමේන්තු අනුව රාජ්‍ය ආදායම 31%කින් වැඩි වෙද්දී ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් 67%කින් ඉහළ යාමට නියමිත බවයි. 2024 පළමු මාස පහක කාලයේ රාජ්‍ය ආදායම 2025 පළමු මාස හතරේ අපේක්ෂිත රාජ්‍ය ආදායමට ආසන්නව සමාන නිසා (මාස ගණන වෙනස් වුවත්), අපට එම මාස පහ සමඟද මෙවැනිම සංසන්දනයක් කළ හැකියි.

2024 පළමු මාස පහේ ආදායම = රුපියල් බිලියන 1,619

2024 පළමු මාස පහේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,065

මේ අනුව, 2024 පළමු මාස පහට සාපේක්ෂව 2025 පළමු මාස හතර තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම 1%කින් අඩු වුවත් රාජ්‍ය වියදම් 34%කින් ඉහළ යාමක් දැකිය හැකියි. 

 "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියන්නාක් මෙන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට නියමිත සම්පූර්ණ අයවැයෙහි දිශානතිය පිළිබඳව මේ අතුරු අයවැය අනුසාරයෙන් යම් අදහසක් ලබා ගත හැකියි. ආණ්ඩුව විසින් ප්‍රදර්ශනාත්මක ලෙස යම් වියදම් අඩු කිරීම් ගැන කතා කළත්, අයවැය ඇස්තමේන්තු වලින් වියදම් අඩු වීමක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. 

රජයේ වියදම් වැඩි වී තිබෙන්නේ ඇයිදැයි විමසා බැලීමට විස්තරාත්මක අයවැය ඇස්තමේන්තු ලැබෙන තුරු බලා සිටින්නට සිදු වෙනවා.

වෙබ් ලිපිනය: