ජනාධිපති ජේආර් ජයවර්ධන ඇමරිකන් ජනාධිපති රේගන්ව හම්බු වෙන්න ගිහින් අලි පැටියෙක් තෑගි කරපු කතාව ගැන අපි කලින් කතා කළානේ. ඔය සිද්ධිය වුනේ 1984 ජූනි 18 වෙනිදා. ඊට සතියකට දෙකකට කලින්, ජූනි 4-10 අතර දවස් වල රේගන් එංගලන්ත සංචාරයක නිරත වුනා. මේ ගමනේ අරමුණ වුණේ G7 රටවල් වල ආර්ථික සමුළුවට සහභාගී වීමයි. රොනල්ඩ් රේගන් ඔය සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරේදී නැන්සි රේගන් ලන්ඩන් සත්ත්වෝද්‍යානය බලන්න ගියා.
(Image: https://abc7chicago.com)
ලන්ඩන් සත්වෝද්‍යානයේ හිටපු සත්තු අතරින් නැන්සි රේගන්ගේ හිත ගොඩක් ඇදිල ගියේ කුඩා අලි පැටික්කියෙක් වූ ඩිල්බර්ටා වෙතටයි. ඩිල්බර්ටා ලංකාවේ අලියන් සාමාන්‍යයෙන් කරන විදිහට (කරන්න පුරුදු කරලා තියෙන විදිහට) හොඬවැල උස්සලා නැන්සි රේගන්ට ආචාර කලා.
මේ ඩිල්බර්ටාත් ඉපදිලා තියෙන්නේ පින්නවලදී. ලංකාවේදී ගීතා ලෙස හැඳින්වුණු ඇය ඩිල්බර්ටා වෙලා තියෙන්නේ එංගලන්තයට ආවට පස්සෙයි. 1980 ඔක්තෝබර් මාසයේදී ඉපදී තිබෙන ඇය එංගලන්තයට පැමිණ තිබෙන්නේ 1982 ජූනි 30 වෙනිදා. මේ සිද්ධිය වෙන කොට ඇයට වයස අවුරුදු හතරයි.
ඩිල්බර්ටා දැනට ජීවතුන් අතර නැහැ. ඒත් ඩිල්බර්ටා වගේ ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට යවනු ලැබූ අලි සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අලි විශාල ප්‍රමාණයකගෙන් සමන්විත ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාවක් මේ වන විට ලෝකය පුරා විසිරී සිටිනවා.
ලංකාවේ ඉපදුණු කමලා, ස්වර්ණා හා බණ්ඩාර කැනඩාවේ කැල්ගරි සත්ත්වෝද්‍යානයට එන්නේ 1976 අවුරුද්දේ මැයි 25 වෙනිදා. ඒ වන විට බණ්ඩාරට වයස අවුරුද්දයි. ස්වර්ණාට හා කමලාට මාස නවයක් විතර. මේ තුන්දෙනාගෙන් බණ්ඩාර 1991 නොවැම්බර් 25 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විට බණ්ඩාරගේ වයස අවුරුදු දාසයයි.
බණ්ඩාර එක්ක කැනඩාවට පැමිණි ස්වර්ණා හා කමලා තවමත් ජීවත් වෙනවා. ඒ දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි පිහිටි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. දැනට වයස අවුරුදු 43ක් වන මේ දෙන්නා කැනඩාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ 2014 මැයි 22 වෙනිදා. බණ්ඩාර අඩු වයසකින් මිය ගියත් ඊට පෙර කමලා එක්ක එකතු වෙලා දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ දරුවෝ තවත් දරුවන් ගණනාවක් හැදුවා. දැන් ලෝකය පුරා විසිරිලා ඉන්න බණ්ඩාරගේ හා කමලාගේ දරුවන් හා මුණුපුරන් ගැන පසුව ලියන්නම්.
මේ වන විට ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත්වන වයස අවුරුදු 42ක් වූ ශාන්ති ඇමරිකාවට පැමිණියේත් බණ්ඩාර, කමලා හා ස්වර්ණා කැනඩාවට පැමිණි 1976 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈ ඇමරිකාවට පැමිණෙන විට ඇගේ වයසත් අවුරුද්දකට අඩුයි. ශාන්තිටත් දරුවන් දෙදෙනෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා. එක් දරුවෙක්ගේ පියා බණ්ඩාරගේ හා කමලාගේ පුතෙක්.
ශාන්ති ඇමරිකාවට පැමිණෙන්න මාසයකට පෙර, 1976 නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි ලින්කන් සත්ත්වෝද්‍යානයට පැමිණි බොසී දැන් ඉන්නේත් ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. ඇමරිකාවට ලංකාවේ සිට පැමිණි පෙර කී අලි පැටවුන්ගේ සමකාලීනයෙකු වන බොසීටත් දැන් අවුරුදු 43ක්. ඇයටත් දරුවෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා.
උතුරු ඇමරිකාවට පෙර කී අලි පැටවුන් පස් දෙනා පැමිණි 1976 අවුරුද්දේදී යුරෝපයටත් ලංකාවෙන් අලි පැටවුන් පැමිණිලා තිබෙනවා. ඒ අවුරුද්දේ මාර්තු 24 වෙනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් සත්ත්වෝද්‍යානයට පැමිණි සීලා-හිමාලි එහි පැමිණෙන විට ඇගේ වයස මාස අටයි. දරුවන් හය දෙනෙකු වැදූ සීලා-හිමාලිට මුණුපුරු මිණිපිරියන් විශාල පිරිසක් ඉන්නවා.
ඔය කාලයේදීම පිලිපීනයේ මැනිලා සත්ත්වෝද්‍යානයට ලබා දුන් මාලිටත් දැන් වයස අවුරුදු 44යි. දරුවන්නම් නැහැ.
කලින් කී අලි පැටවුන් සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් පිටරට පටවනු ලැබූ පළමු අලි කණ්ඩායම නෙමෙයි. අනුෂාව සහ කෝමලීව ලංකාවේ සිට සිංගප්පූරු සත්ත්වෝද්‍යානයට එවල තියෙන්නේ 1973 වසරේදී. ඒ වන විට අනුෂාට වයස අවුරුදු 28ක්. කෝමලීටනම් අවුරුදු 3ක් වුණා පමණයි. අනුෂා 1999 සැප්තැම්බර් 27 වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 54ක්. දැන් වයස අවුරුදු 48ක් වන කෝමලී මේ වන විට සිංගප්පූරුවේ සිටින ජ්‍යෙෂ්ඨතම කෙණෙරයි.
යුරෝපයේදී හෝ උතුරු ඇමරිකාවේදී මෙන් මේ කෙණෙරන්ගෙන් පැටවුන් ලබා ගන්න සිංගප්පූරුව සමත් වී නැති නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් කිසිවෙකු නැහැ. ඒ වුනත්, අනුෂා හා කෝමලී ලංකාවේ අලි සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රචලිත කර තිබෙනවා. සිංගප්පූරු සත්ත්වෝද්‍යානයේ දැනට සිටින විවිධ රටවලින් පැමිණි අලින්ගේ සම්බන්ධීකරණ භාෂාව ලංකාවේ අලි භාෂාවයි.
මීටත් කලකට පෙර බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් ජපානයට අවුරුදු තුනක අලි පැටියෙක් ලබා දී තිබෙනවා. හිරෝහිතෝ අධිරාජයාගේ මල්ලී වූ මිකාසා කුමරුට 1957දී තෑගි කෙරුණු, අගමැති පුතු ලෙසින්ම අනුර සේ නම් කර තිබෙන මේ අලි පැටවා දැන් වයස අවුරුදු 65ක අලියෙක්. ජපානයේ තමා සත්ත්ත්වෝද්‍යානයේ ජීවත් වෙනවා.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝසල හා අනුලානම් වූ තවත් අලි පැටවුන් දෙදෙනෙකු ජපානයේ හිගශියමා සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා. 2007 ජූලි 28 වෙනිදා මේ අලි පැටවුන් ලබා දී තිබෙන්නේ රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු සමඟ හුවමාරුවක් ලෙසිනුයි. කෝසල ඉපදිලා තියෙන්නේ 2004 මැයි 10 වෙනිදා පින්නවලදී. ඔහුට දැන් වයස 14ක්. ඊට වසර තුනකට පෙර ඉපදුනු අනුලාට දැන් වයස 17ක්. මේ දෙන්නට දැන් ජපානයේදී උපන් සුරතල් දියණියකුත් ඉන්නවා.
ඉන්පසුව නැවතත් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර හැටක් පිරීම නිමිත්තෙන් 2012 නොවැම්බර් 30 වෙනදා ජපානයේ තමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙන්නෙක් ලබා දී තිබෙනවා. ඒ, 2004 ඔක්තෝබර් 29 දා පින්නවලදී උපන් අමරා සහ 2007 අගෝස්තු 25 එහිදීම උපන් විදුර කියන අලි පැටවු දෙන්නා. දැන් මේ දෙන්නට වයස පිළිවෙලින් අවුරුදු 16ක් හා 11ක්.
ඊටත් පස්සේ 2013 සැප්තැම්බර් මාසයේදී ජපානයේ තොකුයමා සත්වෝද්‍යානයට නාමලී හා මිලින්ද නම් වූ තවත් අලි පැටවු දෙන්නෙක් ලබා දී තිබෙනවා. මේ දෙන්නට දැන් පිළිවෙලින් අවුරුදු 12ක් හා 10ක් වෙනවා. මෙයට අමතරව චිබා සත්ත්වෝද්‍යානයේ සිටින සුරතලා නම් වූ අලියාත් ලංකාවෙන් එහි ගිය අලියෙක් වෙන්න පුළුවන්.
රාජපක්ෂ ආණ්ඩුව කාලෙදීම 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයටත් අලි පැටියෙක් දීල තියෙනවා. 2001 ජූනි මාසේදී පින්නවලදී ඉපදිලා තිබෙන, දැනට බීජිං සත්ත්වෝද්‍යානයේ ඉන්න, මිගාර කියන මේ අලි පැටියට දැන් වයස අවුරුදු 17ක්.
දැනට ස්විට්සර්ලන්තයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයේ ජීවත් වන තමරා සහ ජනිතා ලංකාවේ සිට එහි පැමිණ තිබෙන්නේ 2012 ඔක්තෝබර් 7 වෙනිදා. වැඩිමල් ජනිතාට වයස 14යි. තමරාට 13යි. මොවුන් එහි ගිහින් වැඩි දවසක් යන්න කලින් මියන්මාරයෙන් පැමිණ සිටි අන්කෝර් තමරාට වහ වැටෙද්දී වියට්නාමයේ සිට ආ මීකොන්ගේ කැමැත්ත ලැබෙන්නේ ජනිතටයි. මේ දෙන්නටම දැන් අවුරුදු දෙක පහු කළ පුත්තු ඉන්නවා.
මීට අමතරව 1977දී ලංකාවේ සිට පැමිණි දේවී ඇමරිකාවේ සැන් දියාගෝ සත්වෝද්‍යානයේ ජීවත් වෙනවා. ඇය එහි පැමිණ තිබෙන්නේ මාස නවයක කාලයේදී. දේවී මෙන්ම ඉපදී මාස කිහිපයකින් 1968දී එහි පැමිණි සුමති අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත් වී දෙවසරකට පෙර මිය ගියා.
පසුගිය ආණ්ඩුව කාලයේදී කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයටත් සුගලා හා ගජබා නම් වූ අලි පැටවු දෙන්නෙක් ලබා දීල තියෙනවා. සුගලා තවමත් ජීවත් වුනත් ගජබා මේ වන විට ජීවතුන් අතර නැහැ.
පසුගිය 7 වෙනිදා මද කිපී සිටි වයස 14ක් වූ ගජබා අවාසනාවන්ත ලෙස මිය ගිහින්. කෙසේ වුවත් ගජබා මිය ගියේ පියෙකු වීමෙන් පසුවයි. 2016 ජූනි මාසයේදී උපන් ගජබාගේ හා සුගලාගේ දරුවාව නම් කෙරුණේ කොරිලංකා ලෙසයි.
පකිස්ථානයේ ලාහෝර් සෆාරි උද්‍යානයටත් ලංකාවෙන් අලි පැටවු දෙන්නෙක් ලබා දෙන්න නියමිත බව
මාස දෙකකට පෙර වාර්තා වී තිබුණා. මේ වන විට යවල වෙන්නත් පුළුවන්.
ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකටම ලංකාවේ සිට වෙනත් රටකට යන්නට සිදුවන අලින්ටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුනම් සංක්‍රමණය වන්නේ තමන්ගේ තීරණයේ තිබෙන හොඳ නරක කිරා මැන බැලීමෙන් පසුව කැමැත්තෙනුයි. නමුත් අලින්ගේ සංක්‍රමණ තීරණය ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවන්නක් නෙමෙයි.