වෙබ් ලිපිනය:

Showing posts with label ක්‍රය ශක්ති සාම්‍යය. Show all posts
Showing posts with label ක්‍රය ශක්ති සාම්‍යය. Show all posts

Thursday, November 17, 2022

ඩොලර් එක කීයට යයිද?

නිදහස් වෙළඳපොළක සමතුලිත මිල මොකක්ද කියලා හරියටම බලාගන්න වෙන්නේ වෙළඳපොළ නිදහස් කිරීමෙන්ම පමණයි. වෙන ක්‍රමයක් නැහැ. වෙළඳපොළ නිදහස් කරන්නෙම ඒකට. සමතුලිත මිල කලින් හරියටම පුරෝකථනය කරන්න පුළුවන්නම්, නිදහස් වෙළඳපොළක් අවශ්‍ය නැහැ. 

මේ කතාව ඩොලරයක මිලටත් අදාළයි. මිල නිදහසේ තීරණය වෙන්න ඉඩ දුන්නට පස්සේ කීයක් වෙයිද කියන එක දැනගන්න වෙන්නේ එහෙම ඉඩ දීලම තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය තර්කය වලංගු වෙන්නේ ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න දුන්නොත්. එහෙම දෙයක් කවදාවත්ම වෙලා නෑ වගේම ඉදිරියේදී වෙන එකකුත් නැහැ. ඩොලරයට ලැබෙනු ඇත්තේ සාපේක්ෂ නිදහසක්. ඒ නිසා, අපිට මිල ගැන යම් අනුමාන කරන්න පුළුවන්. 

විණිමය අනුපාතයේ හැසිරීම ගැන විස්තර කෙරෙන එක් ආර්ථික විද්‍යා න්‍යායයක් තමයි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය. මේ ගැන මම වරින් වර විස්තරාත්මක පැහැදිලි කිරීම් කරලා තියෙනවා. දැන් මෙය කියවන ගොඩක් අය අලුතෙන් එකතු වූ අය නිසා අපි ඒ ගැන නැවතත් ටිකක් කතා කරමු. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායයෙන් විස්තර කරන්නේ විණිමය අනුපාතය හා උද්ධමනය අතර සම්බන්ධය. අපි උදාහරණයක් විදිහට ලංකාව හා ඉන්දියාව ගනිමු. යම් කිසි නිශ්චිත මොහොතක ඉන්දියානු රුපියලක් හා ශ්‍රී ලංකා රුපියලක් සමානයි කියා හිතමු. 1965 වෙනකල්ම ඇත්තටම තිබුණු තත්ත්වයත් ඕකයි. ඊට පස්සේ ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට වඩා ශක්තිමත් වෙලා, ශත 65කට පමණ ඉන්දියානු රුපියලක් ගන්න පුළුවන් වූ කාලයකුත් තිබුණා. පසුව, ශ්‍රී ලංකා රුපියල දුර්වල වුනා. අපි මුල් උදාහරණයේ සඳහන් ඉන්දියානු හා ශ්‍රී ලංකා රුපියල් සමාන වූ තත්ත්වයෙන් පටන් ගනිමු.

දැන් අපි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය වෙත ගියොත්, එම න්‍යාය අනුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳාමට කිසිම බාධාවක් නැත්නම්, රටවල් දෙකේ බඩු වල මිල සමාන විය යුතුයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් සීයයි. ලංකාවේ හාල් කිලෝවක් රුපියල් දෙසීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් දෙසීයයි. 

මේක තේරුම් ගන්න අපහසු නැහැනේ. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් පණහ වුනොත් ලංකාවේ පොල් විකුණන්නේ නැතිව ඉන්දියාවට යවන එක ලාබයි. මොකද එවිට රුපියල් සීයක් ලැබෙනවා. ඒ හේතුව නිසාම ලංකාවේ පොල් මිලත් සීය වෙනවා. අනෙක් අතට ලංකාවේ හාල් කිලෝ එක රුපියල් තුන් සීයනම් ඉන්දියාවෙන් රුපියල් දෙසීයට හාල් ගේන්න පුළුවන්. හාල් මිල බහිද්දී ලංකාවේ හාල් හදා විකුණන්නේ කිලෝව දෙසීය ගානේ විකුණලා ලාබ ගන්න පුළුවන් අය විතරයි. 

දැන් මේ වැඩේ වෙද්දී ඉන්දියාවෙන් හාල් ආනයනය කරන්න විදේශ විණිමය අවශ්‍ය වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් පොල් අපනයනය කරලා විදේශ විණිමය ලැබෙන නිසා අවුලක් නැහැ. ඉංග්‍රීසි කාලයේදී ඇත්තටම වුනෙත් ඔය වගේ දෙයක්. විණිමය අනුපාතය අවුලක් නැතිව සමානව තියා ගන්න පුළුවන් කියන්නේ ආනයන වියදම් හා අපනයන ආදායම් සමතුලිත වෙනවා කියන එකයි. රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍යය පවතිනවා කියන්නේ ඔය වගේ තත්ත්වයක්.

දැන් ඔහොම සමතුලිතතාවයක් තියෙද්දී ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරලා ඒ අඩුව පුරවන්න විශාල ලෙස සල්ලි අච්චු ගැහුවොත් මොකද වෙන්නේ? අපි නිකමට වගේ හිතමු ක්ෂණිකව මුදල් සැපයුම දෙගුණ කළා කියලා. දැන් ලංකාවේ හැම බඩුවක්ම වගේ දෙගුණ වෙනවා. ඒ කියන්නේ 100%ක උද්ධමනයක්. හැබැයි ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. 

මේ වැඩේ වෙච්ච ගමන් ලංකාවේ නිෂ්පාදකයෙක්ට කිසිම දෙයක් හදලා ලංකාවේ හෝ ඉන්දියාවේ විකුණන්න බැරුව යනවා. මොකද ඉන්දියාවේ බඩු බාගෙට බාගයක් ලාබයි. අපනයන ආදායම් නැහැ. ආනයන වියදම් විතරයි. 

ඔය වගේ දෙයක් වුණාම විණිමය වෙළඳපොළේ සමතුලිතතාවය නැති වෙනවා. හැමෝම ඉන්දියන් රුපියල් ඉල්ලුවත් විකුණන්න කවුරුවත් නැහැ. ඕක වෙච්ච ගමන් ඉන්දියානු රුපියලේ මිල ඉහළ යන්න පටන් ගන්නවා. වැඩේ නවතින්නේ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකා රුපියල් දෙකක් වුනාට පස්සේ. මොකද ඊට පස්සේ ආයෙත් අර මුලින් තිබුණු තත්ත්වය. විනිමය අනුපාතය සැලකුවහම රටවල් දෙකේම බඩු මිල සමානයි. ඉන්දියාවේ හාල් කිලෝවක් ඉන්දියානු රුපියල් දෙසීයනම් ලංකාවේ රුපියල් හාරසීයයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පණහයි. ආයෙමත් ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙලා.

දැන් මේ විදිහට එක් රටක හෝ රටවල් දෙකේම මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී නැවත ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙන්නනම් රටවල් දෙක අතර උද්ධමන වෙනසට සමානව විණිමය අනුපාතය වෙනස් වෙන්න ඕනෑ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ උද්ධමනය 2%නම්, ලංකාවේ 10%නම්, ඩොලරයක රුපියල් මිල 8%කින් ඉහළ යා යුතුයි. නැත්නම් ලංකාවට කලින් වගේ අපනයන කරන්න බැහැ. ඒ වගේම ආනයන එක්ක තරඟ කරන්නත් බැහැ. 

ඔය කියන න්‍යාය කියන විදිහටම වැඩ කරනවද? වෙළඳාමට බාධා නැති රටවල් අතරනම් ඔය න්‍යාය වැඩ කරනවා. හැබැයි දිගුකාලීනව. කෙටිකාලීනව විණිමය අනුපාතය වෙනස් වෙන්න තව ගොඩක් දේවල් බලපානවා. ජාත්‍යන්තර වෙළඳාමට බාධා තිබෙන රටවල් අතර මේ වැඩේ දිගුකාලීනව වුනත් හරියටම වෙන්නේ නැහැ. 

වැදගත්ම කරුණ මේ ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අදාළ වෙන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙද්දී. එහෙම නැතුව රජය හෝ මහ බැංකුව විසින් විණිමය අනුපාතය තීරණය කරනවානම් ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගන්න සැලකිලිමත් විය යුතුයි. ලංකාව මුල ඉඳලම, ඒ කිවුවේ නිදහස ලබපු කාලේ ඉඳලම, කරපු වැරැද්ද ඔය න්‍යාය අමතක කරපු එක.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට රජයේ අයවැය හිඟය තුලනය වෙනවානම්, සල්ලි අච්චු ගහන්න උවමනාවක් නැති නිසා, විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. සිංගප්පූරුව වගේ අයවැය අතිරික්තයක් තිබුණු රටවල් ඒ අතිරික්තය යොදවා විදේශ සංචිත එකතු කර ගනිද්දී සිංගප්පූරු ඩොලරය එන්න එන්නම ශක්තිමත් වුනෙත් ඔය ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුවයි. 

ගොඩක් අය හැත්තෑ හතෙන් පස්සේ කාලය ගැන කතා කළත් ලංකාව වැඩ වරද්දා ගත්තේ ඊට ගොඩක් කලින් නිදහස ලැබුණු දවස් වල ඉඳලමයි. විශේෂයෙන්ම 1956න් පස්සේ. අන්තිමට ලංකාවේ අයවැය අතිරික්තයක් තිබුණේ 1955 අවුරුද්දේ. ඊට පස්සේ අද දක්වාම දිගටම ආදායමට වඩා වියදම වැඩියි. 

රජයේ ආදායමට වඩා වියදම වැඩියි කියන්නේ අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගැහිල්ල ජයටම වෙනවා කියන එක. මේ විදිහට සුබසාධන වියදම්, "ජනසතු" කළ රාජ්‍ය ආයතන වල පාඩු, නාස්ති, දූෂණ පියවගන්න සල්ලි අච්චු ගහද්දී විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්නවා කියන්නේ ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙනවා කියන එකයි. ඔය වැරැද්ද හදන්නේ නැතුව "දේශීය ආර්ථිකය දියුණු කරන" ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 

ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙද්දී විදේශ විණිමය හිඟයක් ඇති වෙනවා. නමුත් නිදහස් ලංකාවේ මුල් ආණ්ඩු වලට මේ විදේශ විණිමය හිඟය ප්‍රශ්නයක් වුනේ නැහැ. රටේ විදේශ ණය ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් සුද්දා ඉතුරු කරලා ගිහින් තිබුණා. ඒ කාලයක් තිස්සේ අයවැය අතිරික්ත පවත්වා ගැනීම මගින්. මේ සංචිත ටික හිඳෙන තුරු ලංකාවේ ආණ්ඩු වලට අත දිග ඇරලා ආනයන වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වුනා. එහෙම ආනයනය කරන හාල් වගේ දේවල් සලාක විදිහට නිකම්ම හෝ ඉතා අඩු මිලකට බෙදා දෙන්න පුළුවන් වුනා. හරියට මෑතක් වන තුරු අඩුවට ඉන්ධන විකිණුවා වගේ.

වැඩේ පත්තු වුනේ සුද්දා ඉතුරු කරලා ගිය සංචිත ටික ඉවර වුනාට පස්සේ. හැබැයි ඊට පස්සෙත් ආදායම ඉක්මවා වියදම් කරන පුරුද්ද නැවතුනේ නැහැ. 1965දී IMF ගිහින් පටන් ගත්ත සෙල්ලම දිගින් දිගටම සිදු වුනා. දිගින් දිගටම ණය ගනිමින් අයවැය හිඟය නඩත්තු කෙරුණා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියෙවුවත් ඊට හරියන තරමට රුපියල අවප්‍රමාණය කළේ නැහැ. ඒ නිසාම, ක්‍රය ශක්ති සාම්‍යය නඩත්තු වුනේ නැහැ. 

ලංකාව නමට හරි විණිමය අනුපාතය පා කළේ 2001 අවුරුද්දේදී. එතෙක් තිබුණේ කිසියම් ආකාරයක පාලිත විණිමය අනුපාත ක්‍රමයක්. ඔය ක්‍රමයට දිගටම යන්න බැරි වෙලා 2001දී නිල වශයෙන් රුපියල පා කළත් ඒ පා කිරිල්ල කවදාවත්ම හරියට සිදු වුනේ නැහැ. හැමදාමත් රුපියලට පාවෙන්න ලැබුණේ රජයට හා මහ බැංකුවට අවශ්‍ය තරමට පමණයි.

පහළින් තියෙන්නේ 2001දී රුපියලේ මිලෙන් ක්‍රය ශක්ති සාම්‍යය නිරූපණය වුනා කියන උපකල්පනය මත, ඉන් පසුව සිදු වුන දේ. ඇත්තටම 2001දීත් ක්‍රය ශක්ති සාම්‍යය තිබුණේ නැහැ. නමුත් අපි එතැන් සිට සිදු වූ දේ දිහා බලමු.


විණිමය අනුපාතය පා කළ 2001 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඉඳලා 2022 ඔක්තෝබර් මාසය දක්වා ගත වූ මාස 250ක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.12 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ ඇයි කියා කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ රජය වගේම ඇමරිකාවේ රජයත් ආදායම ඉක්මවා වියදම් කරමින් සල්ලි අච්චු ගහන නිසා ඇමරිකාවෙත් ඔය වැඩේ වෙලා තිබෙනවා. හැබැයි ලංකාවේ තරමට නෙමෙයි. ඔය මාස 250 තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වැඩි වෙලා තියෙන්නේ 68.6%කින් පමණයි. 

ලංකාවේ අයවැය හිඟය නිසා මේ විදිහට ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙද්දී ඒ බාල්දු වීම විණිමය අනුපාතයෙන් නිරූපණය විය යුතුයි. ඒ වැඩේ හරියට වුනානම් තිබිය යුතු වූ විණිමය අනුපාතය තමයි වගුවේ තියෙන්නේ. ඇත්තටම තිබුණු විණිමය අනුපාතයත් තියෙනවා. 

වෙනස ගොඩක්ම වැඩි සිවිල් යුද්ධය, ඉවර වීමෙන් පසු, 2010 හා 2011 වගේ අවුරුදු වලදී. ඒ කාලයේ ඩොලරයක මිල තිබිය යුතු මිලෙන් 58%ක් වගේ. ඒ කියන්නේ ආනයන වලට 42%ක වට්ටමක් දුන්නා වගේ වැඩක්. 

රටේ මිනිස්සු වැඩියෙන් ආනයන පරිභෝජනය කළා කියා බනින, දුක් වෙන ගොඩක් අය ඉන්නවා. නමුත්, 42%ක වට්ටමකට බඩු ලැබෙද්දී නොගන්නේ කවුද? විශාල ආනයන අපනයන පරතරයක් හැදුනේ ඔය හේතුව නිසා. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 195ක් වෙද්දී , ඇත්ත මිල තිබුණේ රුපියල් 113 වගේ මට්ටමක. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 219ක් වෙද්දී ඇත්ත මිල තිබුණේ 131 වගේ මට්ටමක. ඒ කියන්නේ, රුපියල් ලක්ෂ 22ක් විය යුතු වාහනයක් ලංකාවට එන්නේ රුපියල් ලක්ෂ 13ට. රජය වාහන වලට විශාල තීරු බද්දක් අය කළ නිසා ඔය වාසිය ලැබුනේ වාහන බලපත්‍ර තිබුණු දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට පමණක් වුනත් අනෙක් ගොඩක් ආනයනික බඩු මිල දී ගනිද්දී හැමෝටම ඔය වට්ටම ලැබුණා.

මගේ ගණන් හැදීම් අනුව 2022 ඔක්තෝබර් අවසාන වෙද්දී ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ක් පමණ. ඔය ගණන් හැදීම කරලා තියෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිවැරදියි කියා උපකල්පනය කරලා. එය ගණන් හදා තිබෙන ක්‍රමය නිවැරදි සේ සැලකුවත්, ඩොලරයක මිල රුපියල් 393 වුනානම් පාරිභෝගික මිල දර්ශකය දැන් තියෙන මට්ටමේ තියෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ට වඩා වැඩි විය යුතුයි. සමහර විට රුපියල් 450ක් පමණ. 

මෙයින් අදහස් කරන්නේ රුපියල පා කළොත් ඩොලරයක මිල ඔය මට්ටමට යනවා කියන එක නෙමෙයි. නමුත්, ඔය වගේ මට්ටමකදී බොහෝ විට ආනයන ඉල්ලුම හා ණය නොවන ඩොලර් සැපයුම සමාන වෙන්න පුළුවන්. හැබැයි පහුගිය කාලය පුරාම ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා නොගනිමින්, ඩොලරයක මිල පහළින් තියා ගැනීම සඳහා යෙදවූ විදේශ ණය හා ඒ ණය වල පොලිය ගෙවන්න ඩොලර් නැති වීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරි වෙනවා. ඒ නිසා, ණය ගෙවන්න ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්න ගියොත් ඩොලරයක මිල ඔය වගේ තැනක නවතින්නේ නැහැ.

මේ ඔක්කොම වෙන්නේ රුපියල පා කළොත්නේ. මම හිතන්නේ IMF වැඩ පිළිවෙළ තුළ තියෙන්නෙත්, මහ බැංකුව බලාපොරොත්තු වෙන්නෙත්, තව යම් ණය ප්‍රමාණයක් අරගෙන රුපියල පා කරන්න මිසක් හදිසියේ පා කරන්න නෙමෙයි. විණිමය අනුපාතය තිබිය යුතු තැන ගැන හිතද්දී ඔය කණ්ඩායම් දෙකම අනිවාර්යයෙන්ම මම ලිපියේ විස්තර කරපු ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය සලකා බලනවා. වැඩ පිළිවෙළ දැනටම හදලා තියෙන්නේ ඕක සලකා බලලා.

හැබැයි එයින් අදහස් වන්නේ වැඩ පිළිවෙළේ ඇස්තමේන්තුව මගේ ඇස්තමේන්තුවම කියන එක නෙමෙයි. මගේ ඉහත ඇස්තමේන්තුව අනුවනම් ඩොලරයක මිල තව ටිකක් ඉහළ යා යුතුයි. හැබැයි මම ගණන් හැදුවා වගේ 2001 සිට පටන් නොගෙන 2004 වගේ තැනකින් පටන් අරගෙන සැසඳීමක් කළොත් දැන් තිබෙන රුපියල් 360 මට්ටමත් ඕනෑවට වඩා වැඩි මට්ටමක් ලෙස පෙනෙන්න පුළුවන්. මහ බැංකු අධිපතිගේ කතා වලින් පෙනෙන්නේ ඔහුගේ අදහස එවැන්නක් බවයි. ඇතැම් විට මේ අදහස සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී සිටිනවා වෙන්න පුළුවන්. 

කතාව එවැන්නක්නම්, එයින් කියැවෙන්නේ ඩොලරයක මිල දැන් තිබෙන රුපියල් 360 මට්ටමේ තියා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් හොයා ගෙන මිස රුපියල පා නොකෙරෙනු ඇති බවයි. එය කිරීමේ ශක්‍යතාවය ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

Saturday, June 4, 2022

ලංකාවේ අධි උද්ධමන භීතිකාව ඉවරද?

අධි උද්ධමනය ලෙස හඳුන්වන්නේ උද්ධමනය මනින දර්ශකයක අගය මාසයක් තුළ 50%කින් ඉහළ ගිය විටයි. සාමාන්‍යයෙන් උද්ධමනය සේ හඳුන්වන්නේ දර්ශකයක අගයේ වසරක් තුළ සිදුවන වෙනස් වීම. මාසයකට 50%ක වැඩි වීමක් කියන්නේ වසරකට 12,875%ක වැඩි වීමක්. එහෙමත් නැත්නම් 12,875%ක උද්ධමනයක්.

ලංකාවේ උද්ධමනය මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරමකට වැඩි වෙලා. ඉදිරි මාස වල තවත් වැඩි වෙයි. මෙය බිය විය යුතු හා සැලකිලිමත් විය යුතු කරුණක්. නමුත් අවශ්‍ය පමණට මිස අනවශ්‍ය පමණට බිය විය යුතු නැහැ. දැනටනම් ලංකාවේ ඉහළ මට්ටමක උද්ධමනයක් මිසක් අධි උද්ධමන තත්ත්වයක් නැහැ. 

හැම විටම වගේ පවතින තත්ත්වය එලෙස නොදැක අතිශයෝක්තියට නැංවීමෙන් වෙන්නේ ඇත්තටම අවධානය අවශ්‍ය දෙය අවධානයෙන් ගිලිගෙන එකයි. හොඳම උදාහරණය හොරකම් හා දූෂණ. මිලියනයක හොරකම බිලියන දහයක් කළාම එහෙම හොරකමක් වුනේ නැහැ කියන එක පෙන්වන්න ඉතාම පහසුයි. අන්තිමට වෙන්නේ අර මිලියනයේ හොරකම යට යන එක. අධි උද්ධමන කතාවෙන් වෙන්නෙත් ඔය වගේ වැඩක්. 

ලංකාවේ උද්ධමනය මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) හෝ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) යන දෙකෙන් එකක්වත් තවම මාසයකට 50%කින් ඉහළ ගොස් නැහැ. එහෙත්, මහ බැංකුවේ දත්ත අනුව 2022 මාර්තු මාසයේදී ඩොලරයක මිල රුපියල් 201.06 සිට 306.08 දක්වා 52.2%කින් ඉහළ ගියා. මේ සමඟම ලංකාව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ස්ටීව් හැන්කිගේ අවධානයට යොමු වුනා. ඔහු ලෝකයේ කඩා වැටෙන මුදල් ඒකක ගැන විශේෂඥයෙක්.

ස්ටීව් හැන්කි විසින් රටක උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විකල්ප දර්ශකයක් තිබෙනවා. ඒ අනුව, උද්ධමනය සේ සලකන්නේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වෙනස් වීමේ හා ඩොලරයක මිල වෙනස් වීමේ එකතුවයි.  ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ වෙනස් වන්නේ ඉතා සුළුවෙන් නිසා ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ ඩොලරයක මිල වෙනස් වීමයි. ,ඒ පදනම මත බැලුවොත් නිල විණිමය අනුපාතයේ වෙනස්වීම අනුව 2022 මාර්තු මාසයේදී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් පැවතී තිබිය යුතුයි. 

කෙසේ වුවත් හැන්කි ඔහුගේ දර්ශකය ගණනය කිරීම සඳහා මහ බැංකුවේ නිල විනිමය අනුපාතය යොදා ගන්නේ නැහැ. ඔහු  ඒ සඳහා දත්ත ලබා ගන්නේ වෙනත් තැනකින්. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ ඩොලරයක නිල මිල හා හැන්කිගේ මූලාශ්‍රය අනුව කළුකඩ මිල පසුගිය කාලය තුළ වෙනස් වී ඇති ආකාරයයි.

මේ අනුව පෙනෙන පරිදි හැන්කිගේ උද්ධමන දර්ශකය කිසිදු මාසයක 50%කින් වැඩි වී නැහැ. එහෙත්, 2022 පෙබරවාරි හා මාර්තු මාස වලදී එම දර්ශකය 25% ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. කිසියම් රටක උද්ධමන දර්ශකය (ඔහුගේ මිනුම අනුව) මාසයක් තුළ 25%කින් වැඩි වී ඇත්නම් හැන්කි එය නිරන්තරව පරීක්ෂාවට ලක් කරන්න පටන් ගන්නවා. 

පහත දෙවන වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ  (CCPI), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ  (NCPI), ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකයේ (US CPI) හා ක්‍රය ශක්ති සාම්‍යය (PPP) මත පදනම් වූ හැන්කිගේ උද්ධමන දර්ශකයේ මාසික වෙනස් වීමයි. මේ අනුව පෙනෙන්නේ අධි උද්ධමන තත්ත්වයක් පෙන්වන්නේ නැතත් ලංකාවේ නිල උද්ධමන දර්ශක අනුව මාසික මිල වෙනස් වීම මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 


මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය හා ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම දෙස බලා  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන අදහසක් ගන්න පුළුවන්.

හැන්කිගේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වූ දර්ශකය (PPP I) නිල උද්ධමන දර්ශක දෙකටම වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. විකල්පයක් ලෙස නරක නැතත්, මෙහි නිල උද්ධමන දර්ශක හා කිට්ටුවෙන් තැබිය හැකි නිරවද්‍යතාවයක් නැහැ. නිල දර්ශක පදනම් වන්නේ අයිතමයන් සිය ගණනක මිල ගණන් වෙනස් වීමේ සාමාන්‍ය අගය මතයි. එහෙත්, හැන්කිගේ දර්ශකය පදනම් වන්නේ එක් වෙබ් අඩවියකින් ලබා ගන්න ඩොලරයක කළුකඩ මිල මතයි.

ගෙවුණු මැයි මාසයේදී ඩොලරයක කළුකඩ මිල 3.3%කින් පහත වැටී තිබෙනවා. තවම සංඛ්‍යාලේඛණ ඇවිත් නැතත් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ කීයටවත් 3.3%කින් වැඩි වන්නේ නැහැ. ඒ කියන්නේ හැන්කිගේ දර්ශකය නිවැරදිනම් මැයි මාසයේදී ලංකාවේ මිල මට්ටම් අඩු වී තිබිය යුතුයි. මැයි මාසයේදී ඒ විදිහට ලංකාවේ බඩු මිල කලින් තිබුණාට වඩා පහළ ගිහින්ද? 

හැන්කිගේ දර්ශකය මහ පොළොවේ පවතින සැබෑ තත්ත්වය වඩා හොඳින් නිරූපණය කරන බව හිතන අයට මෙය හිතන්න කාරණයක්. සම්මත ක්‍රම තිබියදී තමන්ගේ රුචිකත්වයට ගැලපෙන මිනුම් තෝරා ගත් විට ඔය වගේ අවුල් ඇති වෙනවා. ඩොලරයක කළුකඩ මිල පහළ යද්දී හැන්කිගේ දර්ශකය තවත් පහළ යයි. හැබැයි ලංකාවේ බඩු මිල පහළ යන එකක් නැහැ.

Thursday, May 26, 2022

හැන්කිගේ උද්ධමනය


ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව කියන ස්ටීව් හැන්කි විසින් මෑතක සිට වරින් වර ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරනවා. ඔහුගේ අලුත්ම සංඛ්‍යාලේඛනය අනුව මැයි 19 වනදා වන විට ලංකාවේ උද්ධමනය 123%ක්. මැයි මාසය තවමත් අවසන්ව නැහැ. මැයි මාසයේ නිල උද්ධමනය දැන ගන්න ලැබෙන්නේ මාසය අවසන් වූ පසු නිසා අපට දැනට මැයි මාසයේ හැන්කිගේ උද්ධමනය හා නිල උද්ධමනය සංසන්දනය කළ නොහැකියි. 

කෙසේ වුවත්, හැන්කිට අනුව අප්‍රේල් 28 වනදා ලංකාවේ උද්ධමනය පැවතියේද 123% මට්ටමේ. මෙය අපට අප්‍රේල් මාසයේ නිල උද්ධමනය වූ 33.8% සමඟ සංසන්දනය කළ හැකියි. මේ ගණන් අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ ඇයි?

ලංකාවේ නිල උද්ධමනය ඇස්තමේන්තු කරන ආකාරය මම කලින් සටහනක විස්තර කළා. වෙනත් රටවල මෙන්ම ලංකාවේද නිල උද්ධමනය ගණනය කරන්නේ රටේ ජනතාවගේ පරිභෝජන රටාව නිරූපණය වන භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස් වීම මතයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා උපයෝගී  කර ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි අයිතමයන් 407ක් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඒ එක් එක් අයිතමයේ මිල ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයෙහි පිහිටි ස්ථාන තුනකින් එකතු කර ගන්නවා. මෙසේ දිස්ත්‍රික්ක සියල්ලෙන්ම මිල ගණන් තුන බැගින් එකතු කර ගැනීමෙන් පසුව එම මිල ගණන් වල සාමාන්‍ය අගය මත පදනම්ව භාණ්ඩ හා සේවා පැසෙහි මිල වෙනස් වීම ගණනය කරනවා. උද්ධමනය කියන්නේ වසරක් තුළ මෙම අගයේ වෙනස් වීමයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමට මිල ගණන් විශාල ප්‍රමාණයක් එකතු කරගත යුතු නිසා එය ප්‍රකාශයට පත් කරන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එහෙත්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මාසය අවසන් වූ වහාම ප්‍රකාශයට පත් කරනවා. ඒ සඳහා, මිල ගණන් එකතු කර ගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ වල පිහිටි මධ්‍යස්ථාන 14කින්. එයින් ලංකාවේම පරිභෝජන රටා නිරූපණය වන්නේ නැහැ. එහෙත්, එමගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන ආසන්න අදහසක් කලින්ම ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අප්‍රේල් මාසයේදී උද්ධමනය 29.8%ක් වුනා. එය ලංකාවේම උද්ධමනය වූ 33.8%ට බොහෝ ආසන්නයි. 

ස්ටීව් හැන්කි විසින් උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ මේ සම්මත ක්‍රමයට නෙමෙයි. ඔහු විසින්ම හදාගත් සරල ක්‍රමයකට. ඒ සඳහා ලංකාවෙන් අවශ්‍ය වන්නේ විණිමය අනුපාතය පමණයි.

හැන්කිගේ ක්‍රමයේ පදනම ක්‍රය ශක්ති සාම්‍ය (Purchasing Power Parity) න්‍යායයි. එයින් කියවන්නේ මොන මුදල් ඒකකය භාවිතා කර මොන රටේ විකිණුවත් එක සමාන භාණ්ඩ විකිණෙන්නේ එකම මිලකට කියන එකයි. උදාහරණයක් විදිහට ලංකාවේ අඹ ගෙඩියක් රුපියල් 100යි. ඇමරිකාවේ ඒ වගේම අඹ ගෙඩියක් ඩොලර් සත 50යි. ඒ කියන්නේ ඩොලර් සත පණහක් රුපියල් සීයක් විය යුතු බවයි. ඩොලර් එකක් රුපියල් දෙසීයක් විය යුතු බවයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායට පදනම් වන තර්කය වන්නේ කිසියම් බඩුවක් එක් රටක වඩා ලාබනම් අනෙක් රටට එය ආනයනය කළ හැකි නිසා ඒ බඩුවම වැඩි මිලට විකිණෙන්නට හේතුවක් නැති බවයි. මේ පදනම අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අඩංගු භාණ්ඩ හා සේවා සියල්ල ඇමරිකාවේදී ඩොලර් ගෙවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ගණන එම භාණ්ඩ හා සේවා පැස ලංකාවෙන් මිල දී ගැනීම සඳහා වැය වන රුපියල් ප්‍රමාණයට සමාන විය යුතුයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය ආසන්නව නිවැරදි වුවත් හේතු ගණනාවක් නිසා හරියටම හරියන න්‍යායයක් නෙමෙයි. පළමු හේතුව ප්‍රවාහන ගාස්තු. බොහෝ භාණ්ඩ එක් රටක වඩා ලාබ වුවත් වෙනත් ප්‍රවාහන ගාස්තු ගෙවා වෙනත් රටකට ගෙන ආ විට ඒ ලාබය නැති වෙනවා. දෙවන හේතුව බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව කල් තබා ගත නොහැකි වීමයි. අළුත් මාළු උදාහරණයක්. සේවා නිෂ්පාදන සෛද්ධාන්තික ලෙසම නිපදවන මොහොතේම පරිභෝජනය කළ යුතුයි. 

මෙවැනි අඩුපාඩු තිබුණත්, හැන්කි විසින් උද්ධමනය ගණනය කිරීමට යොදා ගන්නේ මේ න්‍යායයි. එහිදී ඔහුට ලංකාවෙන් මිල ගණන් කිසිවක් එකතු නොකරම ලංකාවේ උද්ධමනය ගණනය කළ හැකියි. ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්.

උද්ධමනය ගණනය කිරීම සඳහා හැන්කි විසින් කරන්නේ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි ඩොලර් අගය රුපියල් වලට හරවා ඒ ඇසුරෙන් ලංකාවේ උද්ධමනය මනින එකයි. එවිට, ඇමරිකාවේ උද්ධමනය හා රුපියල් වලින් ඩොලරයක මිල වෙනස් වීම පදනම් කර ගනිමින් ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කළ හැකියි. මේ සඳහා විණිමය අනුපාතය ලෙස ඔහු ගන්නේ ඩොලරයක කළු කඩ මිලයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.2%යි. ඒ කියන්නේ වසරක් තුළ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා භාවිතා කරන භාණ්ඩ හා සේවා පැසේ මිල 8.2%කින් ඉහළ ගියා කියන එකයි. ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අනුව එම භාණ්ඩ හා සේවා පැස ලංකාවේ විකිණෙන මිලේ ඩොලර් වටිනාකමද හරියටම 8.2%කින් ඉහළ ගොස් තිබිය යුතුයි. රුපියල් වලින් ඉහළ යාම හොයා ගන්න වෙන්නේ අදාළ කාලයේ විණිමය අනුපාතය වෙනස් වූ ආකාරය අනුවයි.

මහ බැංකුවට අනුව අද (මැයි 26) ඩොලරයක තැන් මිල (spot rate) රුපියල් 359.71ක්. වසරකට පෙර මෙම මිල 199.56ක්. මේ අනුව ඩොලරයක මිල වසරක් තුළ 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ උද්ධමන පැසේ රුපියල් අගය 8.2%කින් හා නැවත 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ධනය වීම් දෙකම එකට ගත් විට නිල විණිමය අනුපාතයේ වෙනස් වීම මත පදනම්ව හැන්කිගේ ක්‍රමයට ලංකාවේ උද්ධමනය 95%ක් ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්.. 

කෙසේ වුවත්, හැන්කි විණිමය අනුපාතය සේ සලකන්නේ කළුකඩ මිලයි. ඔහුට අනුව ඊයේ (මැයි 25) එම මිල 426.07ක්. වසරකට පෙර මෙම මිල රුපියල් 200 සේ සැලකුවොත් මෙහි 113%ක පමණ වැඩි වීමක් තිබෙනවා. ඇමරිකාවේ උද්ධමනයද සැළකු විට මෙයින් අදහස් වන්නේ ලංකාවේ උද්ධමනය 131% පමණ වන බවයි. වසරකට පෙර කළුකඩ මිල හරියටම නොදන්නා පොඩ්ඩක් එහා මෙහා විය හැකි වුවත්, මේ වන විට ලංකාවේ හැන්කි උද්ධමනය 131% ආසන්නව පැවතිය යුතුයි. 

හැන්කි ක්‍රමය ලංකාවේ නිල උද්ධමනය ගණන් හදන සම්මත ක්‍රමය මෙන් පොදු භාවිතය සඳහා පිළිගත් ක්‍රමයක් නෙමෙයි. එහෙත් ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්. ඔහු මේ ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේම අධි උද්ධමන (hyperinlfation) තත්ත්වයක් ඇති රටවල් සඳහායි. අධි උද්ධමනය ලෙස අර්ථ දක්වන්නේ මාසයකට 50% ඉක්මවන මිල වැඩි වීමක්. 

සිම්බාබ්වේ කියන්නේ මෑත ඉතිහාසයේදී මෙවැනි අධි උද්ධමන තත්ත්වයක් ඇති වූ එක් රටක්. 2008 ජූලි මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයේ නිල උද්ධමනය 231,150,889% දක්වා ඉහළ යාමෙන් පසුව නිල වශයෙන් එරට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම අත් හිටවනු ලැබුවා. ස්ටීව් හැන්කි හා තවත් අයෙකු විසින් ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය මත පදනම්ව විකල්ප ක්‍රමයක් හඳුන්වා දුන්නේ මේ අඩුව පිරවීමටයි. ඔහුගේ ක්‍රමය අනුව, 2008 නොවැම්බර් 14 දින වන විට සිම්බාබ්වේ උද්ධමනය 89,700,000,000,000,000,000,000% දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් සංඛ්‍යාලේඛනයක් නැති නිසා මෙය විකල්ප මිනුමක් ලෙස පොදුවේ භාර ගැනුණා. 

තවත් ඇතැම් රටවල් විසින් අධි උද්ධමන තත්ත්වයක් ඇති විට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම හිතාමතාම ප්‍රමාද කරනවා. එවැනි තත්ත්වයක් යටතේද කුමක් හෝ විකල්පයක් තිබීම වැදගත්. 

ලංකාවේ ඉහත තත්ත්වයන් දෙකෙන් එකක්වත් නැහැ. හරියටම මාසය අවසානයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙනවා. එයින් දින 21කට පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයද ප්‍රකාශයට පත් කෙරෙනවා. ඉදිරියේදී මේ දේවල් වෙනස් වෙන්න තිබෙන ඉඩකඩ අපට බැහැර කරන්න බැහැ. එහෙත් දැනටනම් උද්ධමනය මනින මිනුමක් නැති නිසා මොකක් හෝ විකල්පයක් හොයන්න අවශ්‍යතාවයක් ඇති වී නැහැ. 

හැන්කිගේ උද්ධමන මිනුම වෙනුවෙන් පෙනී සිටින අය එයට හේතුව සේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ නිල උද්ධමන මිනුම් වල අඩුපාඩු ඇති බවයි. මෙය ඇත්තක්. නිල උද්ධමන මිනුම් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ප්‍රශ්නය හැන්කිගේ උද්ධමන මිනුම ඊට වඩා හොඳ එකක්ද කියන එකයි.

නිල උද්ධමන මිනුමට තිබෙන පළමු විවේචනය එමගින් ලංකාවේ වත්මන් පරිභෝජන රටාව නිරූපණය වන්නේ නැහැ කියන එකයි. දැනට එයින් පිළිබිඹු වන්නේ 2012/2013 කාලයේ පැවති පරිභෝජන රටාවයි. මේ වෙද්දී මෙහි වෙනසක් වී ඇතැයි යන්න පිළිගත හැකි තර්කයක්. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාවේ වත්මන් පරිභෝජන රටාව මත පදනම් වූ මිනුමක් ආදේශ කිරීම කිසිසේත්ම නිවැරදි නැහැ. පසුගිය දසවසරක කාලය තුළ ලංකාවේ පරිභෝජන රටාවන්හි සැලකිය යුතු වෙනසක් සිදුව තිබෙනවා විය හැකි වුවත් එසේ සිදු විය හැකි වෙනස ඇමරිකාවේ හා ලංකාවේ පරිභෝජන රටා වල වෙනසට වඩා ගොඩක් අඩු එකක්. 

දෙවැනි තර්කය ලංකාවේ බොහෝ මිල ගණන් රජය විසින් පාලනය කරනවා කියන එකයි. මෙය ඉතා නිවැරදි තර්කයක්. ලංකාවේ බොහෝ මිල ගණන් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත නෙමෙයි. එසේ තීරණය වන්නට ඉඩ දෙනවානම් මිල ගණන් මීට වඩා ගොඩක් ඉහළ යා යුතුයි. කෙසේ වුවත්, මෙය අලුත් තත්ත්වයක් නෙමෙයි. හැමදාමත් තිබුණු තත්ත්වයක්. ඒ නිසා, එහි බලපෑම මත පාරිභෝගික මිල දර්ශකයේ අගය අඩුවෙන් පෙන්වන නමුත් එම දර්ශක අගයේ වෙනස් වීම හෙවත් උද්ධමනය අඩුවෙන් පෙන්වන බවක් එයින් අදහස් වන්නේ නැහැ. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. 

අනෙක් අතට හැන්කිගේ දර්ශකය පදනම් වෙන්නේ විණිමය අනුපාතය මතයි. පාරිභෝගික භාණ්ඩ වල මිල මෙන්ම ඩොලරයක මිලද රජය හා මහ බැංකුව විසින් පාලනය කරන බව නොරහසක්. මේ හේතුව නිසාම හැන්කි විසින් නියම මිල සේ සලකන්නේ කළුකඩ මිලයි. කෙසේ වුවත්, නිල විණිමය අනුපාතය පාලනය කිරීම හරහා වක්‍ර ලෙස කළුකඩ මිලද පාලනය වෙනවා. මේ හේතුව නිසා දෙවැනි තර්කය අනුව නිල මිනුමේ තිබෙන අඩුපාඩුව වැනිම අඩුපාඩුවක් හැන්කිගේ මිනුමේත් තිබෙනවා.

තුන්වෙනි තර්කය වන්නේ හැන්කි කියන උද්ධමනය මහ පොළොවේ පෙනෙන තත්ත්වය හා වඩා ගැලපෙන බවයි. මෙය සාමාන්‍ය පුද්ගලයින් හිතන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. හැමදාම තිබෙන ප්‍රශ්නයක්. උද්ධමනය ඉතා අඩු කාල වකවානු වලදී පවා ගොඩක් අය ඔය කතාව කියනවා. එයට හේතුව විශාල ලෙස මිල ඉහළ යන භාණ්ඩ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වන නමුත් එතරම් මිල ඉහළ නොයන දේ එවැනි අවධානයකට ලක් නොවීමයි. මේ තුන් වන කරුණ ගැන පසුව විස්තරාත්මක ලෙස කතා කරමු.  

Monday, February 14, 2022

කෙට්ටු වෙන ඩොලරය හා හෙට්ටු නොවෙන රුපියල

වසංගතය හමුවේ පසු ගිය දෙවසර තුළ ඇමරිකන් ආණ්ඩුව කිහිප වරක්ම ඇමරිකානුවන්ට සල්ලි බෙදුවා. ඒ බෙදුවේ, ජනාධිපති බයිඩන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. එයින් සැලකිය යුතු කොටසක් අච්චු ගහපු සල්ලි. සල්ලි අච්චු ගැසීමේ අනිවාර්ය ප්‍රතිඵලය සල්ලි බාල්දු වීම. රුපියලද ඩොලරයද කියා ඒකේ වෙනසක් නැහැ.

පසුගිය ජනවාරි මාසය වෙද්දී ඇමරිකාවේ උද්ධමනය 7.5%ට නැග්ගා. මෙය අවුරුදු හතළිහකින් ඇමරිකාවේ වාර්තා වූ ඉහළම උද්ධමනය. මෙයින් අදහස් වන්නේ වසරක් ඇතුළත ඩොලරය 7.5%කින් බාල්දු වී ඇති බවයි.

ඩොලරය මේ විදිහට බාල්දු වෙද්දී අනෙක් මුදල් ඒකක වලින් ඩොලරයක මිල පහළ යා යුතුයි. හැබැයි අනෙක් මුදල් ඒකක ඊටත් වඩා බාල්දු වෙලානම් එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉහළ උද්ධමනය හමුවේ ගොඩක් රටවල් පරාද වී ඇතත්, ලංකාවනම් සෙකන්ඩ් වෙලා නැහැ. ජනවාරි මාසයේ ලංකාවේ උද්ධමනය 14.2% දක්වාම ඉහළ ගියානේ. ඩොලරය 7.5%කින් කෙට්ටු වෙද්දී රුපියල 14.2%කින්ම කෙට්ටු වෙලා. කෙට්ටු ඩොලරය එක්ක දුවලා වුවත්, රුපියල ගිහින් තියෙන්නේ තවත් පස්සටයි.

හැබැයි කෙට්ටු වෙන ඩොලරය එක්ක රුපියල හරියට හෙට්ටු වෙන්නේ නැහැ. රුපියල තාම ඉන්නේ ඇඟේ තරමට වඩා ලොකු ඇඳුමක් ඇඳගෙන. මේ ඇඳුම නඩත්තු කරන්න ලංකාවට ලොකු වියදමක් යනවා. ආණ්ඩුව ණයට කමින් ඇඳුම නඩත්තු කරනවා.

හැපී වැලන්ටයින්!




වෙබ් ලිපිනය: