වෙබ් ලිපිනය:

Showing posts with label නීතියේ පාලනය. Show all posts
Showing posts with label නීතියේ පාලනය. Show all posts

Saturday, February 21, 2026

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?


ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?

මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.

පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.

මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.

නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා. 

ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.

පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන "නීති විරෝධී" තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 


Friday, October 18, 2024

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි.

- අදාළ වර්ෂය සඳහා රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු 

- රාජ්‍ය ණය පිළිබඳ ඇස්තමේන්තු 

- ඉහත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී සිදු කර ඇති උපකල්පන 

- රාජ්‍යමූල්‍ය තත්ත්වය කෙරෙහි බලපෑ හැකි අවදානම් පිළිබඳ ප්‍රකාශයක්.

මේ වන විට ඉහත වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම 

ඉහත වාර්තාව අනුව ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා මාස අටක කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,557.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 40.5%ක වර්ධනයක්. මෙය අයවැය ඇස්තමේන්තු අනුව අපේක්ෂිත වර්ධනය වූ 20.5%ට වඩා සැලකිය යුතු තරමින් ඉහළ මට්ටමක්. 

බදු ආදායම පමණක් සැලකුවහොත් රුපියල් බිලියන 2,348.5 දක්වා 41.4%කින් වර්ධනය වී ඇති අතර ඇස්තමේන්තුගත වර්ධනය 22.0%ක් පමණයි. බදු නොවන ආදායම්ද ඇස්තමේන්තුගත වර්ධනය වූ 3.2% විශාල ලෙස ඉක්මවමින් 31.7%කින් වර්ධනය වී තිබෙනවා.

බදු ආදායම ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කරන බදු වලින් ලැබෙන ආදායම 59.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 1,421.3 දක්වා ඉහළ යාමයි. ඇස්තමේන්තුගත වර්ධනය 26.8%ක් පමණයි. විදේශ වෙළඳාම මත අය කරන බදුද ඇස්තමේන්තුගත වර්ධනය වූ 11.0% ඉක්මවා 29.0%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, ආදායම් බදු වර්ධනය වී තිබෙන්නේ 16.3%කින් පමණයි. මෙම වර්ධනය ඇස්තමේන්තුගත මට්ටම වූ 18.4%ට වඩා තරමක් අඩුයි. එහෙත්, වසරේ ඉදිරි මාස හතරක කාලය තුළ ආදායම් බදු එකතු වෙද්දී වර්ෂාවසාන ඉලක්කය කරා යා හැකි වනු ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. 


රාජ්‍ය වියදම් 

වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය වියදම් වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 12.2%කට සීමා කිරීම ඉලක්කය වුවද, සැබෑ රාජ්‍ය ආදායම් වර්ධනය 5.4%කට සීමා කරගෙන තිබෙනවා. රුපියල් බිලියන 3,477ක් වන පළමු මාස අටේ රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1,560ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම් සඳහා වුවත්, පොලී ගෙවීම් වියදම් වර්ධනය ඇස්තමේන්තුගත වර්ධනය වූ 20.9%ට සාපේක්ෂව 2.2%කට සීමා වී තිබෙනවා. අනෙකුත් පුනරාවර්තන වියදම් සිදු කෙරී තිබෙන්නේද ඇස්තමේන්තුගත මට්ටමට වඩා අඩුවෙන්. එම ඉතිරියෙන් කොටසක් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය කිරීම පිණිස යොදවා තිබෙනවා.


අයවැය අතිරික්තය 

වසරේ පළමු මාස අටක කාලය තුළ රුපියල් බිලියන 648.6ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති නමුත් පොලී වියදම් වලින් පසුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 911.0ක්. මෙම හිඟය පියවා ගැනීම සඳහා රුපියල් බ්ලියන 742.4ක දේශීය ණය සහ රුපියල් බිලියන 168.6ක විදේශීය ණය යොදාගෙන තිබෙනවා.

ණය සේවාකරණය 

වසරේ මුල් මාස අටක කාලය තුළ ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2,321ක මුදලක් යොදවා තිබෙනවා. ඒ, පෙර සඳහන් කළ රුපියල් බිලියන 1,559ක පොලී වියදමේ සහ රුපියල් බිලියන 762ක ණය වාරික ආපසු ගෙවීම් වල එකතුව ලෙසයි. 

පොලී වියදම් වලින් රුපියල් බිලියන 1,459ක්ම දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් වැය වී ඇති අතර විදේශ ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 100ක මුදලක් වැය වී තිබෙනවා. ඒ අතර, විදේශ ණය වල වාරික ලෙස රුපියල් බිලියන 107ක් සහ දේශීය ණය වල වාරික ලෙස රුපියල් බිලියන 655ක් වැය වී තිබෙනවා. මෙම ණය ආපසු ගෙවීම් වලට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගන්නා ණය ආපසු ගෙවීම් ඇතුළත්ව නැහැ. 

ඉහත දත්ත අනුව විදේශ ණය වාරික හා පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 207ක් වැය වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 650-700 අතර මුදලක්.


භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය 

අලුත් මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව රජයට හිතුනු හිතුනු වෙලාවට මහ බැංකුවෙන් ණය ගත නොහැකියි. ඒ නිසා, හදිසියකදී ප්‍රයෝජනයට ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගත යුතුයි. මෙම අරමුණ ඇතිව, පසුගිය කාලයේදී අඩු පොලියට ණය ලබා ගත හැකිව තිබුණු අවස්ථා වලදී ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා වියදමට සහ ණය හා පොලී ගෙවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් මුදල් රැස් කිරීමක් සිදු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර මුල රුපියල් බිලියන 94.0ක් වූ රජයේ බැංකු ගිණුම් ශේෂය අගෝස්තු අවසානය වන විට රුපියල් බිලියන 760.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත සම්මත කරගනු ලැබීමට පෙර සිදු වූ සෑම ආණ්ඩු වෙනසකින් පසුවම අහන්නට ලැබුණේ තමන්ට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් බවයි. මැතිවරණයක් ආසන්න වෙද්දී පවතින ආණ්ඩුව විසින් අත දිග හැර සල්ලි වියදම් කිරීම හැම විටම මෙන් දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත නිසා මෙවර එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. රුපියල් බිලියන 760.1ක මුදල් අතිරික්තය වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කර ඇති රුපියල් බිලියන 660ක මුදල හා සැසඳීමෙන් මේ වන විට රාජ්‍යමූල්‍ය තත්ත්වය කොපමණ යහපත් මට්ටමක ඇත්ද යන්න පිළිබඳව අදහසක් ගත හැකියි. 

දැනට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විසින්ද මෙම යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය එලෙසම දිගටම පවත්වා ගැනීමට හෝ තවත් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි. විශේෂයෙන්ම කලින් ආණ්ඩුව විසින් සිදු කිරීමට තීරණය කර තිබුණු රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් අත් හිටවීම හේතුවෙන් රාජ්‍යමූල්‍ය තත්ත්වය වඩා යහපත් මට්ටමකට පැමිණීමට නියමිතයි. 

Monday, August 12, 2024

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය


ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. 

මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.

ඔය තුනෙන් වඩා වැදගත් නීතියේ පාලනය. මොකද කිසියම් ආකාරයක නීතියේ පාලනයක් නැතුව සමාජයකට පවතින්න බැහැ. මේ නීතීන් අලිඛිත සම්මුතීන් පමණක් වෙන්න පුළුවන්. සමහර සමාජ සම්මුතීන් ලිඛිත නීති වලට වඩා බලසම්පන්නයි. ඒ වගේම, නීතියක් පහසුවෙන් බලාත්මක කළ හැක්කේ එය සම්මුතිය හා ගැලපෙන්නේනම් පමණයි. එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන්.

නීති හදන්නේ කවුද කියන එක රාජ්‍යයක ආකෘතිය අනුව වෙනස් වන දෙයක්. රාජ්‍ය ආකෘතිය කුමක් වුවත් නීති හදා ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍ය වෙනවා. නමුත් නීති අවසාන වශයෙන් සම්මුතීන් හා ගැලපුනේ නැත්නම් නීති හදන හා ක්‍රියාත්මක කරන බලය අභියෝගයට ලක්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. 

නීති හැදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජෙකුට තිබෙන බලය බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න නොකර පිළිගන්නවානම් එය සම්මුතියක්. ප්‍රජාතන්ත්‍රවාදය මේ සඳහා තිබෙන විකල්ප සම්මුතියක්. මෙහිදී නීති හැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා බොහෝ දෙනෙකුට අවකාශ සැලසෙනවා.

සම්මුතිය රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීම වී ඇති සමාජ වල රජු වෙනස් වීමද ඒ සම්මුතියේම කොටසක්. ඒ නිසා, රජු වෙනස් වුනා කියලා රාජ්‍ය ආකෘතියේ වෙනසක් වෙන්නේ නැහැ. රාජ්‍යයට අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. 

රජෙකුගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරලා හදා ගන්න විකල්ප සම්මුතියකට රජු වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවකින් සිදුවන්නේ මේ කාර්ය භාරය. සම්මුතියක් ලෙස ව්‍යවස්ථාවක් හදා ගත්තට පස්සේ අනෙකුත් නීති හදාගන්න වෙන්නේ ඒ ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාව අනෙකුත් නීති වලට වඩා ඉහළින් තිබෙන උත්තරීතර නීතියක්. 

ව්‍යවස්ථාව කියන්නෙත් සම්මුතියක් නිසා සම්මුතියෙන් ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුවනම්, ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය දිගටම පවතිනවා. රජු වෙනස් වෙද්දී රාජ්‍යත්වය එලෙසම පවතිනවා වගේ. 

ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීති හැදීම සිදු වන්නේ ජනතා නියෝජිතයින් හරහා. කිසියම් නීතියක් සම්බන්ධව හෝ නීති ක්රියාත්මක වීම පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක ජන කණ්ඩායමට බරපතල ප්‍රශ්න ඇති වූ විට ඒ පිළිබඳ විරෝධයක් ඇති වෙනවා. එසේ විරෝධතා දක්වන්නට ඉඩක් තිබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්. 

සාමකාමී විරෝධතා හරහා විරෝධතාකරුවන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය හැකි වූ විට විරෝධතාවක් අවසන් වෙනවා. එවැන්නක් සිදු නොවූ විට සාමකාමී විරෝධතා දිග් ගැසුණු අරගල බවට පත් වෙනවා. අරගල අවස්ථාවක යම් කාලයකට, යම් ස්ථානයක නීතියේ පාලනය බිඳ වැටෙන්න පුළුවන්. නමුත් එයින් සමස්තයක් ලෙස රටේ නීතියේ පාලනය බිඳ වැටෙන්නේ නැහැ. 

සමහර විට විරෝධතාවකට හේතුව වන්නෙම නීතියේ පාලනය දුර්වල වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විරෝධතාවකින් හෝ එයින් ඔබ්බට ගිය අරගලයකින් නීතියේ පාලනය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. 

මේ වගේ අවස්ථාවලදී දිගුකාලීනව නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිසා වුවත් කෙටිකාලීනව නීතියේ පාලනය කඩා වැටෙන්න පුළුවන්. නමුත් එසේ වූ පමණින් ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය නැති වන්නේ හෝ රාජ්‍ය ආකෘතිය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීම අමාරු වැඩක් නෙමෙයි. 

ඇතැම් විප්ලවීය අවස්ථාවන් වලදී එකවර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය යන තුනම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකින් පස්සේ සාමාන්‍යයෙන් රාජ්‍යයක ආකෘතියත් වෙනස් වෙනවා. අලුතෙන් රටක් බිහි වෙන අවස්ථාව මෙවැනි සුවිශේෂී අවස්ථාවක්. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව සිටීම ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව නිදහස් රටක් වීම මෙවැනි විප්ලවීය අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍යයකට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් නැහැ. අලුත් රටක් හදා ගැනීමේ මූලික පියවරක් වෙන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. 

රටක ව්‍යවස්ථාවක් හදන කටයුත්තට රටේ හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ බලය තිබෙන සීමිත කණ්ඩායමක් විසින්. ව්‍යවස්ථාවක් හෝ එහි මූලික අදියර වන නිදහස් ප්‍රකාශනයක් වැනි දෙයක් බලාත්මක වී ප්‍රායෝගික යථාර්ථයක් විදිහට අලුත් රටක් හෝ අලුත් රාජ්‍ය ආකෘතියක් හැදෙන්නේ අභ්‍යන්තරව හා බාහිරව එයට ලැබෙන පිළිගැනීම එක්කයි. 

ඇමරිකාව මේ විදිහට හැදුනු අලුත් රටක්. එහි රාජ්‍ය ආකෘතියේ ඉවත් කළ නොහැකි මූලික අංගයක් වන්නේ ව්‍යවස්ථාව. අනෙකුත් නීති සියල්ල හැදෙන්නේ ව්‍යවස්ථාවට යටත්ව. ඒ අනුව, රටේ නීතියේ පාලනය පවත්වා ගෙන යන්නේ ව්‍යවස්ථාවේ සහ ජනසම්මතයෙන් එයට තිබෙන පිළිගැනීමේ උදවුවෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වී ඇතත්, ඒ සියළු සංශෝධන සිදු කර තිබෙන්නේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය පවත්වා ගනිමිනුයි.

අසල්වැසි ඉන්දියාව ගත්තත් තත්ත්වය මීට සමානයි. නිදහසින් පසු හැදුණු ඉන්දියාව කලින් නොතිබුණු අලුත්ම රටක්. ඒ අලුත් රටට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් තිබුණේ නැහැ. ඉන්දියාවත් කළේ ඇමරිකාව වගේම මුලින්ම ව්‍යවස්ථාවක් හදා ගෙන ඒ හරහා නීතියේ පාලනය ස්ථාපනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම. ඒ සම්ප්‍රදාය එයින් පසුව කැඩුනේ නැහැ. 

බංග්ලාදේශය කියන්නෙත් මේ විදිහටම හැදුනු අලුත් රටක්. ඒ වගේ අලුත් රටකට මුලින්ම කරන්න සිදු වන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. මේ වැඩේ කළේ බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය දුන් අවාමි ලීගය විසින්. නමුත් බංග්ලාදේශයට ඇමරිකාවට මෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාව හා ඒ යටතේ සිදු වන නීතියේ පාලනය දිගටම අඛණ්ඩව පවත්වා ගත හැකි වූයේ නැහැ. 

බංග්ලාදේශයේ ව්‍යවස්ථාව මුලින්ම බලාත්මක වුනේ 1972 දෙසැම්බර් මාසයේදී. ඒ මත පදනම්ව, 1973 මාර්තු මාසයේදී පැවති මැතිවරණයේ ප්‍රතිඵලය මගින් එම ව්‍යවස්ථාව සඳහා ජනතා අනුමැතිය තහවුරු වුනා. නමුත්. 1975 අගෝස්තු මාසයේදී රටේ නායකයා වූ මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් හා හමුදා ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව මේ ව්‍යවස්ථාව අත්හිටවනු ලැබුවා. ඊට පස්සේ තිබුණේ හමුදා නීතිය.

ඔය ව්දිහට 1975දී අත් හිටවූ ව්‍යවස්ථාව නැවතත් බලාත්මක වෙන්නේ 1979දී. නමුත්, 1982දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එර්ශාඩ් බලය ගැනීමෙන් පසුව නැවතත් මුලට යනවා. එර්ශාඩ් 1986 මැතිවරණය ජයගෙන නැවත ව්‍යවස්ථාව බලාත්මක කළත්, එර්ශාඩ්ගේ මැතිවරණ සාධාරණ මැතිවරණ ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඛලිඩා සියා සහ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ විසින් එර්ශාඩ්ගේ පාලනය අවසන් කරලා 1991 මැතිවරණය පවත්වන තුරු පැවතුණේ ඔය තත්ත්වය වුනත් 1986 වර්ෂයේ ඉඳලා නමට හරි බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වයක් තියෙනවා. ඒක වුනත් සාපේක්ෂව කෙටි කාලයක් තමයි.

ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය තිබූ පමණින් හා මොනවා හෝ මැතිවරණ තිබු පමණින් නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වෙන බවත්, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නට තිබිය යුතුයි. නිල නොවන පැහැර ගැනීම් ආකාරයෙන් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ නීතියේ පාලනය නෙමෙයි. ඒ වගේම, විධිමත් ලෙස නීතියක් හැදු පමණින් එය සාධාරණ නීතියක් නොවන නිසා විධිමත් ලෙස හදන හැම නීතියකට පුළුල් මහජන අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයන් තුළ ආණ්ඩු මාරු වලින් එහාට යන, රාජ්‍ය ආකෘතියම අභියෝගයට ලක් වන තත්ත්වයන් රටක ඇති වෙන්න පුළුවන්. බංග්ලාදේශයේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

දැන් බංග්ලාදේශයේ පිහිටුවා තිබෙන අන්තර්වාර පාලනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව හදපු එකක් නෙමෙයි. වත්මන් බංග්ලාදේශ ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ආණ්ඩු කියා නීත්‍යානුකූල ව්‍යුහයක් නැහැ. අගමැති ඉල්ලා අස් වුනත්, නැවත අගමැති කෙනක් පත් වන තුරු අගමැති බලතල තියෙන්නේ හිටපු අගමැතිටයි. හරියට 1978ට පෙර ලංකාවේ තත්ත්වය වගේ. අගමැති කෙනක් පත් කරගත හැක්කේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිට තමන්ගේ කැමැත්ත අනුව අගමැති කෙනෙක් පත් කරන්න බැහැ. විධායක බලතල නැති නාමික ජනාධිපතිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානම් ඒ විසුරුවා හැරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. බංග්ලාදේශ ව්‍යවස්ථාවෙන් රාජ්‍යය බිඳ වැටෙන එක වලක්වා තිබෙන්නේ ඒ විදිහටයි. 

මේ මොහොතේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන තුනම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේ තැනක ඉඳන් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම රටක් හදනවා වගේ වැඩක්. ඒ අර්ථයෙන් කැරලිකරුවන් විසින් මෙය දෙවැනි නිදහස් සටනක් සේ හැඳින්වීම නිවැරදියි. 

බංග්ලාදේශය බිහි කළ 1971 නිදහස් සටන සිදු වුනේ පුළුල් මහජන සහයෝගයක් ඇතුවයි. මේ වගේ ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතුව කළ හැක්කේ ඉන් පසු පැවති 1973 මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එය තහවුරු වන නිසා. 2024 අරගලයට පුළුල් මහජන සහයෝගයක් තියෙනවාද නැද්ද කියා කියන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ ජනතා කැමැත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණයි. එතෙක් එය තවත් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පමණයි.

ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් වුවත් බංග්ලාදේශය ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. දැනටනම් ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී නැහැ. අලුත් ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නෙත්, කරමින් සිටින්නේත්, නීතියේ පාලනය ස්ථාපනය කිරීම. නමුත් ආණ්ඩුව බිහිවන්නේම ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් නිසා, නීතියේ පාලනය කුමක්ද කියන එක පිළිබඳ තාක්ෂනික ගැටලුවක් මතු වෙනවා. 

අරගලයට නායකත්වය දුන් සිසුන්ගේ ඉල්ලීම් වෙනස් වුනත්, බංග්ලාදේශයට ව්‍යවස්ථා සම්ප්‍රදාය වෙත නැවත යා හැක්කේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට සහතිකයක් දිය හැක්කේත්, සාධාරණ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් හා අගමැතිවරයෙක් තෝරා පත් කරගැනීමෙන් පසුව පමණයි. 

Friday, December 23, 2022

නත්තලට අලුත් තැපැල් පෙට්ටියක්!


නත්තලට තව දවසයි. මේ වෙලාවේ අපේ පැත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 9යි. සෙන්ටිග්‍රේඩ් අංශක වලින්නම් සෘණ 23ක්. පට්ට සීතලයි කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 

සීතල මැද්දේම එළියට බැහැලා ගත්ත මේ සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ වම් පැත්තේ තියෙන්නේ අපේ ගේ ඉදිරිපිට දර්ශනයක්. අඟල් දෙක තුනක් හිම වැටිලා. ඒක විශාල හිම පතනයක් නෙමෙයි. ඔයිට වඩා ගොඩක් හිම වැටෙන දවස් තියෙනවා. හැබැයි අපි දැන් ඉන්න පැත්ත සීතලම පැත්තක් නෙමෙයි. ඇමරිකාවේ සමහර පැති වල සීතල වගේම හිම පතනයත් ඔයිට වඩා ගොඩක් වැඩියි.

නත්තලට අපි ඉන්න පැත්තේ බොහෝ විට යම් තරමකින් හරි හිම වැටෙනවා. හිම වැටුණු සුදු නත්තලක් දකින්න ඇමරිකානුවන් සාමාන්‍යයෙන් කැමතියි. හැමදාම නත්තල් නැහැ වගේ හැම නත්තලටම හිම නැහැ. සමහර අවුරුදු වල කාලගුණය ටිකක් වැඩිපුර උණුසුම් වෙන අවස්ථා තියෙනවා. මේ පාරනම් නත්තලට හිම තියෙනවා. 

හිම මැද්දේ නත්තල් තොප්පියක් දාගෙන ඉන්නේ තැපැල් පෙට්ටියක්. ඇමරිකාවේ ගෙවල් ඉදිරිපිට ඔය විදිගේ තැපැල් පෙට්ටියක් තියෙනවා. කණුවක් හිටවා එහි රඳවපු එකක්. ලියුම් ගේන තැපැල් වෑන් එක ලියුම් දමලා යන්නේ ඔය පෙට්ටියට. අපිට යවන්න අවශ්‍ය ලියුම් ඔය පෙට්ටියේ දමලා තිබ්බහම ඒවත් එකතු කර ගෙන යනවා. කාට හෝ අපිට යමක් දෙන්න අවශ්‍යනම් එයත් ඔය තැපැල් පෙට්ටියටම දාලා යන වෙලාවල් තියෙනවා. 

තැපැල් පෙට්ටිය රඳවා තිබෙන කණුවේ ආකෘතිය හා පාට වගේම තැපැල් පෙට්ටියේ සැලසුම වගේ දේවල් සම්මතයක්. මේ සම්මතය හදාගෙන තියෙන්නේ අසල්වැසි සංගමය විසින්. සම්මතය පිළිපදින්න එහි සාමාජිකයින් බැඳී සිටිනවා. නිවසේ අංකය හා පාරේ නම තැපැල් පෙට්ටියේ සඳහන්ව තිබෙනවා. හොඳින් බැලුවොත් හැම ගෙයක් ඉදිරිපිටම තිබෙන මේ වගේ එක සමාන තැපැල් පෙට්ටි ගණනාවක් පෙනෙයි. 

තැපැල් පෙට්ටිය හෝ කණුව පරණ වී නියමිත ප්‍රමිතිය නැති වුනොත් ඒ වෙනුවට අලුත් කණුවක් හිටවා අලුත් පෙට්ටියක් සවි කරගන්න එක නිවෙස් හිමියන්ගේ වගකීමක්. එසේ නොකළොත් නිවාස හිමියන්ගේ සංගමයෙන් සිහි කැඳවීමක් එන්න පුළුවන්. වසර කිහිපයකට පෙර අපි අපේ තැපැල් කණුව මාරු කළා. ඒ වෙද්දී කණුව ටිකක් දිරලා තැන් තැන් වල තීන්ත වල පාට ගිහිනුයි තිබුණේ. 

මේ තැපැල් කණු හදලා සවි කරන වැඩේම කරන සමාගම් තිබෙනවා. කෝල් එකක් දී මුදල් ගෙවීම පමණයි කළ යුත්තේ. ගෙයි ලිපිනය දුන්නට පස්සේ අදාළ තැපැල් කණුවේ හා පෙට්ටියේ සම්මතය ඔවුන්ට දත්ත ගබඩාවකින් හොයා ගන්න පුළුවන්.

තැපැල් කණුවට දමලා තියෙන නත්තල් තොප්පියනම් ඔය විදිහේ සම්මතයක් නෙමෙයි. ඒක අපේ පාරේ ඉන්න අසල්වැසියෙක් හැමදාම නත්තලට කරන දෙයක්. නත්තල කිට්ටු වෙද්දී හැම තැපැල් කණුවකටම ඔය වගේ නත්තල් තොප්පියක් දමාගෙන යන මේ අසල්වැසියා නත්තල් සතිය ඉවර වෙද්දී නැවත තොප්පි ටික ඉවත් කරන වැඩේත් කරනවා.

මේ පාර නත්තලට අපිට අලුත් තැපැල් පෙට්ටියක් සහ තැපැල් කණුවක් ලැබුණා. නත්තල් සීයාගෙන්නම් නෙමෙයි. ආණ්ඩුවෙනුත් නෙමෙයි. කාගෙවත් බදු සල්ලි වලිනුත් නෙමෙයි.

තැපැල් පෙට්ටිය ලැබුණේ කොහොමද කියන එක ඡායාරූපයේ දකුණු පැත්තේ තිබෙන ලිපිය දිහා බැලුවොත් පැහැදිලි වෙයි. අපේ අල්ලපු ගෙදර අසල්වැසියා වාහනය රිවස් කරද්දී මොන විදිහකින් හරි අපේ තැපැල් පෙට්ටියේ කොණක වැදිලා. තැපැල් පෙට්ටියේ කොණක් ඇද වෙලා. රෑ වෙලාවක ඔය වැඩේ වෙන්න ඇත්තේ. 

ඔය ලියුම තැපැල් පෙට්ටියට දාලා ගිහින් නොතිබුණානම් වැඩේ කළේ කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගොඩක් ඇමරිකානුවෝ තමන් අතින් වෙනත් අයෙකුගේ දේපොළකට සුළු හෝ හානියක් වුනහම එහි වගකීම ගන්නවා. හැමෝම ඔය වැඩේ කරන්නේ නැහැ තමයි. සද්ද නැතුව මාරු වෙලා යන අයත් ඉන්නවා. නමුත් එහෙම නොකරන අය වැඩියි. 

මේකට එක හේතුවක් තාක්ෂනය. ගොඩක් ගෙවල් වල කැමරා තිබෙනවා. ඒ නිසා, ඔය වගේ දෙයක් වුනාට පස්සේ කරපු කෙනාව හොයා ගන්න පුළුවන් වෙන්න ලොකු සම්භාවිතාවක් තිබෙනවා. දෙවන හේතුව නීතිය හරියට ක්‍රියාත්මක වීම. ඔය වගේ දෙයක් කරලා සද්ද නැතුව ඉඳලා පස්සේ වැරැද්ද කරපු කෙනා ඒ ගැන පැමිණිල්ලක් කළොත් අනිවාර්යයෙන්ම වැඩේ දුරදිග යනවා. තුන් වන කාරණය මිනිස්සු අතේ සල්ලි තිබීම. කන්න බොන්නවත් අතේ සල්ලි නැති කෙනෙක් ඔය වගේ දේවල් ගැන වද වෙනවා අඩුයි. හතරවෙනි හා වැදගත්ම කාරණය මිනිස්සුන්ට පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ ගැඹුරටම කාවැදුණු හැඟීමක් තිබීම. තමන්ගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැන හිතන කෙනෙක් වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළ අයිතිය ගැනත් ඒ විදිහටම හිතනවා.

සුබ නත්තලක්!

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Tuesday, March 30, 2021

උඩ කරනම් ගහන රාළහාමිත් වින්දිතයෙක්!


රථවාහන පොලීසියේ රාළහාමිගේ උඩ කරනම් වීඩියෝව ගොඩක් අය දකින්න ඇති. රාළහාමිගේ වැඩ තහනම් වෙලා වගේ කතාවකුත් දැක්කා. පහර කෑ පුද්ගලයා ජෝජ් ෆ්ලොයිඩ් තරම් අවාසනාවන්ත වුනේ නැහැ. හැබැයි ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල හිර කරපු පොලිස් නිලධාරියා විසින් කළේ පොලිස් අත්පොතේ තිබුණු, තමන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වූ දෙයක්. හෙළ බොජුන් ඉස්සරහ රාළහාමි ගහන උඩ කරනම්නම් පොලිස් පොතේ තියෙනවා වෙන්න බැහැ. රාළහාමි ක්‍රියාවෙන් වගේම කතාවෙනුත් හරිම සංවරයි! පහර කෑ මනුස්සයා අපේ රජය තියෙද්දීත් වරදක් කළ නිසා රාළහාමිට කේන්ති ගියාද දන්නේ නැහැ. කරපු වැරැද්ද මොකක් වුනත් රාළහාමිගේ හෙළ බොජුන් සත්කාරයනම් මාරයි!

ලංකාවේ පොලිස් නිලධාරීන්ට උඩ කරනම් බිම කරනම් ගහන එකේ ඉඳලා පන්දාහේ කොළ ගිලින එක දක්වා ගොඩක් රාජකාරී කරන්න තිබෙනවා. ඔය අතරේ සමහර වෙලාවට පොලිස් රාජකාරිත් කරනවා. නිවාඩු වෙලාවට බෙලි කපලා බෑග් වල පැක් කරන එක වගේ වැඩත් කරනවා.

ලංකාවේ පොලිස් සේවය මධ්‍යගත එකක්. ඒ නිසා පස්සර බස් අනතුර සිදු වූ තැන වගේ තැන් වල සේවයේ යොදවන්න පොලිස් නිලධාරීන් නැතත් ප්‍රභූ ආරක්ෂාවට ඕනෑ තරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදී සිටිනවාද කියන එක හොඳ ප්‍රශ්නයක්.

පොලිස් සේවය විමධ්‍යගත වී තිබුණානම් බොහෝ විට පස්සර ප්‍රශ්නය වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම කියන්නේ පළාත් සභා වලට පොලිස් බලතල දීම වැනි ජාතිවාදී අරමුණකින් කරන විමධ්‍යගත කිරීමක් ගැන නෙමෙයි. මහජන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ප්‍රාදේශීය සභා මට්ටමටම යනවානම් වඩාත් හොඳයි. දැන්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා ආදී සියල්ලම දේශපාලනඥයින් පුහුණු කරන ඇකඩමි විතරයිනේ.

පොලීසිය පහළම මට්ටමකින් පාලනය වන ඒකකයක් වූ විට අදාළ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න පොලීසියට සිදු වෙනවා. මධ්‍යගත පොලීසියකට සේවය කරන නිලධාරීන්ට වෙන්නේ ලොක්කෝ කියන විදිහට උඩ කරනම් බිම කරනම් ගහන්නයි. සමහර වෙලාවට නැන්ද මාමලා බලන්න තෑගි බෝග අරගෙන යන්නත් වෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් පඩි ගත්තත් ගොඩක් පොලිස් රාළහාමිලාට සේවය කරන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. විශේෂයෙන්ම රථවාහන පොලීසියේ නිලධාරීන්ට. මේ අය තමන්ට දෙන ටාගට් කවර් කළ යුතුයි. මාසේ අන්තිමට ටාගට් කවර් කරලා නැත්නම් උඩ කරනම් රාළහාමිගේ ලොක්කා උඩ කරණම් රාළහාමිට කතා කරන්නෙත් ඔය වීඩියෝ එකේ ඇහෙන වචන වලින්ම තමයි.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ඉන්නේ නොපෙනෙන තැනක හැංගිලා. එහෙම කරන්නේ වරදක් කරන්න පොළඹවා දඩ කොළයක් දෙන්නයි. අරමුණ දඩය මිසක් වරද සිදු වීම වැළැක්වීම නෙමෙයි. ඇමරිකාවේනම් ඔය වැඩේ වෙන්නේ අනෙක් පැත්තට. පොලිස් නිලධාරියෙක් බොහෝ විට පෙනෙන්නම ඉන්නවා. නිලධාරියාව දැක්කට පස්සේ ගොඩක් අය ක්ෂණිකව වේගය අඩු කරනවා. ඉලක්කය වන්නේ අනතුරු වැළැක්වීම මිසක් දඩ ගහන එක නෙමෙයි. දඩ ගහන්නේ අනතුරු අඩු කරගන්න.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන්ට ටාගට් දෙන්නේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කරලා දෙන්න මිසක් අනතුරු අඩු කරන්න නෙමෙයි. දඩ කොළ ලියලා ටාගට් කවර් කරන්නනම් වැරදි අඩු කරලා හරියන්නේ නැහැ. වැරදි දිගටම සිදු වෙන්න ඕනෑ. සුරාබදු නිලධාරීන් වගේ අය ගත්තත් ඔහොමයි. හොර මත්පැන් මත්ද්‍රව්‍ය නැති වුනොත් ටාගට් කවර් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩ කරන අයත් එක්ක සහජීවනයක් පවත්වා ගන්න වෙනවා. නැත්නම් කොහොමද මාසෙ අන්තිමට ටාගට් කවර් කරන්නේ?

රථවාහන පොලිස් නිලධාරීන් රියැදුරන්ට වේගයෙන් යන්න ඉඩ සලසමින් හැංගිලා ඉඳිද්දී ලයිට් ගහලා වාහන වල වේගය පාලනය කරන්නේ පාරේ අනෙක් පැත්තෙන් එන වාහන වල රියැදුරන්. අනෙක් පැත්තෙන් වෙන්නේ අඳුරන වාහනයක් වෙන්න අවශ්‍ය නැහැ. මේවා ලංකාවේ වාහන එළැවීමේ ආචාර ධර්ම. ඇමරිකාවේනම් රියැදුරෙක් පාරේ පිස්සු කෙළින කොට අනෙක් රියැදුරන් විසින් කරන්නේ පොලීසියට දැනුම් දෙන එකයි. 

ලංකාවේ හා ඇමරිකාවේ සාමූහිකත්වයේ වෙනස ඕකයි. ලංකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ව ආරක්ෂා කරන්න. ඇමරිකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කරන්න. 

එක පැත්තකින් මේ වෙනසට හේතු වී තිබෙන්නේ ලංකාවේ නීතිය හා සාමාන්‍ය මිනිස්සු අතර තිබෙන දුරස්ථ භාවයයි. නීතිය උන්ගේ. පොලීසියත් උන්ගේ. පොලීසිය ප්‍රාදේශීය පොලීසියක් වුනානම් එය අපේ පොලීසියක් මිසක් උන්ගේ පොලීසියක් වෙන්නේ නැහැ. නීතිය මිනිස්සුන්ගේ තේරීමක් වුනානම් එය අපේ නීතියක් මිසක් උන්ගේ නීතියක් වෙන්නේ නැහැ. වැරැද්ද එංගලන්තයට පටවන්න පුළුවන් වුනත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේත් එංගලන්තයටම බැණ බැණ ඉන්න එකේනම් අවුලක් තියෙනවා.

උඩ කරනම් රාළහාමි විශාල පීඩනයකින් ඉන්න බව පැහැදිලියි. මාසේ අන්තිම වෙද්දී රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ආතතිය වැඩි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ආණ්ඩුව පිස්සුවෙන් වගේ සල්ලි හොයන මේ දවස් වල පොලිස් නිලධාරීන්ගේ ටාගට් සමහර විට වැඩි කරලා ඇති. ඔය මහ පාර මැද්දේ හෙළ බොජුන් සත්කාර භුක්ති විඳින මනුස්සයා වගේම උඩ කරනම් ගහන රථවාහන පොලීසියේ රාළහාමිත් වින්දිතයෙක්!

Friday, February 5, 2021

අපි කොයි තරම් නිදහස්ද?


රටවල් වලට, විශේෂයෙන්ම ලෝක දේශපාලනයේ පර්යන්තයේ පිහිටි ලොකු ආර්ථික ශක්තියක් නැති කුඩා රටවල් වලට, ස්වාධීන තීරණ ගන්න කොයි තරම් නිදහසක් තියෙනවද? මේක පසුගිය දවස් වල ලංකාවේ ටිකක් කතා වුනු මාතෘකාවක්. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව බලය කියන සාධකය මත වෙනස් වෙනවා කියන එක පැහැදිලියි.

මේ කතාව රටවල් වලට වගේම ඒකීය පුද්ගලයින්ටත් අදාළයි. පුද්ගලයෙකුට ස්වාධීන තීරණ ගන්න තිබෙන හැකියාව එම පුද්ගලයාට බලය පැතිරවිය හැකි හා එමගින් පාලනය කළ හැකි සීමිත අවකාශයකට සීමා වෙනවා. එතැනින් එහාට ස්වාධීන කැමැත්තක් නැහැ. 

මිනිහෙක්ට මොන විදිහක හෝ නිදහස් කැමැත්තක් නැති වෙන්න බැරිද? මේ වගේ ප්‍රශ්න දර්ශනයේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන එක පහසු නැහැ. සමහර විට කරන්නම බැහැ. 

මිනිසෙකුට කිසිම නිදහස් කැමැත්තක් නැති විය හැකි බව ප්‍රතික්ෂේප කිරීම අසීරු වුවත් වුවත්, පූර්ණ නිදහස් කැමැත්තක් නැති බවනම් ඉතාම පැහැදිලියි. මෙය පෙන්වා දෙන එක අපහසු නැහැ. අපි හිතමු එක් පුද්ගලයෙකුට පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙනවා කියලා. එහෙමනම් ඒ පුද්ගලයාට එම පූර්ණ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරමින් වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට බාධා කරන්න පුළුවන්. ඒ නිසා, දෙවැන්නෙකුට කිසිසේත්ම පූර්ණ නිදහස් කැමැත්තක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, පූර්ණ නිදහස් කැමැත්තක් තිබිය හැක්කේ උපරිම වශයෙන් එක් අයෙකුට පමණයි. අනෙක් අයගේ නිදහස් කැමැත්ත හැම විටම ඒ පූර්ණ නිදහස් කැමැත්ත තිබෙන පුද්ගලයාගේ නිදහස් කැමැත්තට යටත් සීමිත නිදහස් කැමැත්තක්. හැබැයි එවැනි පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු නැහැ.

අපි හිතමු එසේ පූර්ණ නිදහස් කැමැත්තක් වගේම ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ බලයක්ද තිබෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමනම්, ඇත්තටම අනෙක් ඕනෑම කෙනෙකුගේ නිදහස් කැමැත්ත කියන එක මායාවක් පමණයි. මොකද වෙනත් ඕනෑම කෙනෙකු තමන්ගේ නිදහස් කැමැත්ත ලෙස ක්‍රියාත්මක කරන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්ත. ඒක එහෙමද නැද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්තට යටත්ව පමණයි.

ඒ කියන්නේ එක දෙයක් පැහැදිලියි. එක්කෝ අපට සීමිත නිදහස් කැමැත්තක් තිබෙනවා. එහෙම නැත්නම් කිසිසේත්ම නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. අපේ නිදහස් කැමැත්ත කියා අපි හිතාගෙන ඉන්න දෙය වෙනත් කෙනෙකුගේ කැමැත්තට යටත්. 

මේ වගේ දාර්ශනික ගැටළුවක් තිබීම අපේ එදිනෙදා ජීවිත වලට ප්‍රශ්නයක්ද? පැහැදිලිවම නැහැ. අපට තිබෙන නිදහස් කැමැත්ත සැබෑ නිදහස් කැමැත්තක්ද නැද්ද කියන ගැටළුව ගැන අඥේයවාදීව සිටින අතරම ඔය ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් කළ යුතු හොඳම දෙය අපට තිබෙන හෝ ඇත්තටම නොතිබෙන එහෙත් තිබෙනවාක් සේ පෙනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එක කියන නිගමනයට අපට පහසුවෙන්ම එන්න පුළුවන්. ඒ කොහොමද?

අපට යම් තරමක හෝ නිදහස් කැමැත්තක් ඇත්තටම තිබෙනවානම් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එකයි. අපට දැනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව හරහා සිදු වන්නේ වෙනත් අයෙකුගේ කැමැත්තක් ක්‍රියාත්මක වීමනම්, අපට එයින් ගැලවෙන්න විදිහක් කොහොමටවත් නැත්නම්, ඒත් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත සේ පෙනෙන දෙය ක්‍රියාත්මක කරන එකයි. 

ඒකීය පුද්ගලයින් සේ අප විසින් හැම විටම කළ යුතු හොඳම දෙය අපේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමනම් මේ කතාව වෙනත් අයටත් පොදු විය යුතුයි. ඒ නිසා, අපට වෙනත් අයට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට තිබෙන අයිතියත් පිළිගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේකේ අවුලක් නැතත් එක් අයෙකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේදී තවත් අයකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට බාධා වන අවස්ථාවක මේ වැඩේ අවුලක් ඇති වෙනවා. දෙකෙන් එකක් මිසක් දෙකම කරන්න බැහැ. එක් අයෙකුට පරාජය භාර ගෙන අනෙක් තැනැත්තාගේ නිදහස් කැමැත්තට ඉඩ දෙන්න සිදු වෙනවා.

මේ ප්‍රශ්නයට හැම විටම හරියන (universal) විසඳුමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ මේ වගේ අවස්ථාවකදී හැමෝම කතාබහ කරලා එකඟත්වයක් ඇති කර ගැනීම. නමුත්, හැම තත්ත්වයක් යටතේදීම ඒ ආකාරයට කතා බහ කරලා විසඳුමක් ඇති කර ගත හැකි බවට සහතිකයක් නැහැ. ඒ වගේ වෙලාවක ක්‍රියාත්මක වන්නේ කාගේ නිදහස් කැමැත්තද කියන එක අවසාන වශයෙන් තීරණය වන්නේ බලය කියන සාධකය මත.

ඒකාධිපති ක්‍රමයකදී වෙන්නේ එක් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත අනෙක් සියලු දෙනා විසින්ම පිළිගැනීමක් හෝ එම නිදහස් කැමැත්තට අනෙක් හැම දෙනෙක්ම යටත් වීමක්. තමන්ගේ නිදහස් කැමැත්ත අමතක කර ඒකාධිපතියාගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම අනෙක් හැම දෙනෙකුගේම නිදහස් කැමැත්තනම් මෙහි පරස්පරයක් ඇති වන්නේ නැහැ. 

"මොනවද අපි ඕඩර් කරන්නේ?"

"ඔයා කැමති දෙයක්!"

"අද අපි කොහෙද යන්නේ?"

"ඔයා කැමති දිහාවක යමු!"

ආදරය මත ගොඩ නැගෙන ලෝකයක් වගේ සුන්දර කතා කියන්න පුළුවන් වුනත් ඔය වැඩෙන් වෙන්නේත් තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවට වෙනත් කෙනෙකුගේ කැමැත්ත පිළිගැනීම. මේ වගේ ක්‍රමයක තර්කානුකූල දිගුව වන්නේ අනෙක් හැම දෙනෙක්ම ඒකාධිපතියෙකුගේ නිදහස් කැමැත්ත පිළිගැනීමයි. ප්‍රායෝගිකව මේ වගේ දෙයක් සැබෑ ලෝකයේ වෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අකැමැත්තෙන් තමන්ගේ කැමැත්ත ඒකාධිපතියෙකුගේ කැමැත්තට යටපත් කරන්න සිදු වෙන එකයි වෙන්නේ.

නීතියේ පාලනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකම නෙමෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් නිසා ඇති වන ප්‍රශ්න අඩු කර ගත හැකි ක්‍රමයක්. මෙහිදී වෙන්නේ ඒකාධිපතියෙකු වෙනුවට නීතිය ආදේශ වීම. බලය කියන සාධකය තවමත් එලෙසම තිබෙනවා. දැන් එය ඒකාධිපතියාගෙන් නීතිය වෙත මාරු වෙලා.

සමහර වෙලාවට ඒකාධිපතිත්වයක් යටතේ වුවත් නීතියේ පාලනයක් තියෙන්න පුළුවන්. ලී ක්වාන් යූ ක්‍රමයේ තිබුණේ ඒ වගේ එකක්නේ. මේ වගේ ක්‍රමයකදී නීතිය හදන්නේ ඒකාධිපතියාගේ කැමැත්ත පරිදි වුනත්, ඒකාධිපතියාට අවශ්‍ය විදිහට නීතිය නැමීමක් වෙන්නේ නැහැ. සමහර විට නීතියේ පාලනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයකට වඩා නීතියේ පාලනයක් තිබෙන ඒකාධිපතිත්වයක් හොඳ වෙන්න වුනත් පුළුවන්. මොකද තිබෙන තත්ත්වය රටේ මිනිස්සු කැමතිම තත්ත්වය නොවුනත්, එම තත්ත්වය කුමක්ද කියා පැහැදිලි නිසා අවිනිශ්චිතතාවය අඩුයිනේ.

සමහර ඒකාධිපතිත්ව ක්‍රියාත්මක කරන්නේ තනි පුද්ගලයෙක් විසින් නෙමෙයි. කල්ලියක් හෝ දේශපාලන පක්ෂයක් විසින්. නීතිය කියා කියන්නේ මේ කල්ලියේ සාමාජිකයින්ගේ කැමැත්ත. අනෙක් අතට කොයි රටක වුනත් රටේ හැම මිනිහෙක්ම නීති හදන්න එක විදිහට දායක වෙන්නේ නැහැ. බොහෝ විට ප්‍රායෝගිකව ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ කිසියම් සීමිත පිරිසක්. ඔය කණ්ඩායම විශාල වන තරමට හා ඕනෑම කෙනෙකුට කණ්ඩායමට සම්බන්ධ විය හැකි තරමට විවෘත වූ තරමට කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්න පුළුවන්.

මිනිස්සු ජාති, ආගම්, දේශපාලන පක්ෂ විදිහට නොහිතා ස්වාධීනව තමන්ගේ නිදහස් තීරණ ක්‍රියාත්මක කරන තරමට ප්‍රජාතන්ත්‍රවාදයක් වඩා ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නොසලකා හැරිය යුතුයි කියන එක නෙමෙයි. තමන්ගේ ජාතියේ, ආගමේ හෝ දේශපාලන පක්ෂයේ සාමූහික කැමැත්ත සමඟ තමන්ගේ පෞද්ගලික කැමැත්ත අතිපිහිත වන්නේනම් පමණක් සාමූහික මතය සමඟ සිටිය යුතුයි කියන එක. අවසානයේදී සාමූහික තීරණය පිළිගන්න එක වෙනම කරුණක්. හැබැයි එය කළ යුත්තේ තමන්ගේ අදහස ඉදිරිපත් කරලා සාකච්ඡාවට ලක් වෙන්න ඉඩ ඇරීමෙන් පසුව පමණයි.

ලෝකයේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් මොනවාද? සෑම අවුරුද්දකම වාගේ "දී ඉකොනොමිස්ට්" සඟරාවේ ආර්ථික බුද්ධි අංශය විසින් පිළියෙල කරන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක සහිත වාර්තාව 2020 වසර සඳහාත් පළ කරලා තිබෙනවා. මෙහි රටවල් 167ක් අතරින් නියම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුනාගෙන තිබෙන්නේ රටවල් 23ක් පමණයි. ඇමරිකාව වගේම ලංකාවත් වර්ග කර තිබෙන්නේ අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් ලෙසයි. 

ලකුණු 98.1%ක් අරගෙන ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ නෝර්වේ රාජ්‍යය. පහළින්ම ඉන්නේ ලකුණු 10.8%ක් පමණක් අරගෙන තිබෙන උතුරු කොරියාව. ඇමරිකාව ඉන්නේ 25 වන ස්ථානයේ. ලකුණු 79.2%යි. ලංකාව ලකුණු 61.4%ක් අරගෙන 68 වන ස්ථානයේ ඉන්නවා. 



වෙබ් ලිපිනය: