වෙබ් ලිපිනය:

Showing posts with label රන් සම්මතය. Show all posts
Showing posts with label රන් සම්මතය. Show all posts

Friday, September 5, 2025

රන් සම්මත මිථ්‍යාව

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව කියා කියන්නේ එම විෂයයෙහි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති සහ කාලයේ පරීක්ෂාව සමත් වූ ප්‍රවාද හා එම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කොටසයි. මෙම ප්‍රවාද මෙන්ම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ගද නිරන්තරයෙන් නැවත නැවත පරීක්ෂාවට ලක් වෙනවා. එහිදී ඇතැම් ප්‍රවාද හා ක්‍රියාමාර්ග අභියෝගයට ලක් වෙනවා. එසේ නැත්නම් අලුත් ප්‍රවාද වලින් විස්ථාපනය වෙනවා. මෙය ඕනෑම විද්‍යාවකට පොදු දෙයක්.  දැනුම අභියෝගයට ලක් නොවේනම්, වෙනස් නොවේනම් එය ආගමක් මිසක් විද්‍යාවක් වන්නේ නැහැ.

මේ ක්‍රියාවලිය තුළ, කිසියම් නිශ්චිත මොහොතක, කිසියම් නිශ්චිත කරුණක් අරභයා, ප්‍රධාන ධාරාව තුළ පුළුල් එකඟතාවයක් නැති වෙන්න පුළුවන්. එසේ වෙන්නේ ඒ වන විට පුළුල් ලෙස පිළිගත් අදහසක් අභියෝගයට ලක් වන අවස්ථා වලදීයි. නමුත් කෙටිකාලීනව පවතින මෙවැනි සම්ප්‍රේෂනීය තත්ත්වයන් අවසාන වශයෙන් බොහෝ විට පුළුල් එකඟතාවයකින් අවසන් වෙනවා. සාමාන්‍යයෙන් එසේ නොවන්නේ දේශපාලනික පදනමක් ඇති නොඑකඟතා පමණයි.

වඩා නිවැරදි, අලුත් අදහසකට හෝ ප්‍රවාදයකට පැරණි සම්මතය බැහැර කර ප්‍රධාන ධාරාව තුළ ස්ථාපිත වීම සඳහා යම් කාලයක් ගත විය හැකි නිසා, ප්‍රධාන ධාරාවේ පිළිගැනීමට ලක්ව නොතිබුණු පමණින් යම් අදහසක් බැහැර කරන්න බැහැ. නමුත් මේ කරුණ සාමාන්‍යයෙන් අදාළ වන්නේ අලුත් අදහස් වලට මිසක් කාලයේ පරීක්ෂාව අසමත් වී ප්‍රධාන ධාරාව තුළ ප්‍රතික්ෂේප වූ අදහස් වලට නෙමෙයි. එහෙත් එසේ කාලයකට පෙර පරීක්ෂා කොට බැහැර කරනු ලැබූ අදහස් හා ක්‍රියාමාර්ග ඒ ගැන නොදන්නා පිරිස් වෙත අලුත් අදහස් ලෙස ඉදිරිපත් කරන අයත් දකින්න පුළුවන්. 

රන් සම්මත ක්‍රමය කාලයකට පෙර පරිණාමීය ක්‍රියාවලිය තුළ විස්ථාපනය වී ගිය ක්‍රමයක්. මෙවැනි වෙනසක් සිදු වන හැම විටෙකම සිදු වන අලුත් වෙනස තේරුම් ගැනීමට අසමත් වන හෝ පිළිගැනීමට මැලි වන යම් පිරිසක් ඉතිරි වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. 

රන් සම්මත ක්‍රමය තුල සිදු වූයේ කඩදාසි මුදල් වල වටිනාකම රන් මගින් තහවුරු කිරීමයි. මෙවැන්නක් සිදු කළ යුතු වූයේ අදාළ කාලයේදී කඩදාසි මුදල් වර්ග පිළිබඳව පුළුල් විශ්වාසයක් ගොඩ නැගී නොතිබුණු නිසා. රන් පිළිබඳව ඒ වන විට එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබුණා. එහෙත්, පසුකාලීනව, කඩදාසි මුදල් වර්ග විසින්ද රන් වලට තිබුණු ආකාරයේම විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. ගඟෙන් එතෙර වීමෙන් පසුව තවදුරටත් ඔරුව කරේ තියාගෙන යන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් විසින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් දෙකක් වන්නේ ගෙවුම් උපකරණයක් වීම සහ වත්කමක් වීමයි. සියවස් ගණනාවකට පෙර, අද මෙන්, සංකීර්ණ මූල්‍ය වත්කම් වර්ග රාශියක් නිර්මාණය වී තිබුණේ නැහැ. මූල්‍ය වත්කම් වූයේ ස්වභාවයේ පැවති රන්, රිදී, මුතු, මැණික් වැනි දේවල්. ස්වභාවික ආකර්ෂණය සහ දුලබ බව හේතුවෙන් මෙවැනි දේවල් වලට වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම ලැබුණේ ගනුදෙනු කිරීමේ හැකියාව නිසා නෙමෙයි. 

මේ අතරින් රන් හා රිදී වල විශේෂත්වය වූයේ ඒවා සම්මතකරණය කළ හැකි වීමයි. සරලව කියනවානම්, එක සමාන කාසි ලෙස නැවත සකස් කළ හැකි වීමයි. ගෙවුම් උපකරණයක් ලෙස ප්‍රයෝජනයට ගත හැක්කේ සම්මතකරණය කළ හැකි හෝ ස්වභාවයෙන්ම ඒ ලක්ෂණය ඇති දෙයක්. ස්වභාවයෙන්ම මේ ලක්ෂණය තිබෙන කවඩි වැනි දේවල් මෙන්ම, සම්මතකරණය කර සකස් කර ගත් විවිධ ගල් වර්ග, තේ කොළ ගඩොල් ආදියද විවිධ සමාජ වල ගෙවුම් උපකරණ බවට පත් වුනා. එවැනි සමාජ තුළ, කවඩි වැනි දේවල් වලට ගනුදෙනු කිරීමේ හැකියාව නිසාම වටිනාමක් ලැබුණා. ගනුදෙනු සඳහා යොදා නොගත්තේනම් එවැනි වටිනාමක් කවඩි වලට ලැබෙන්නේ නැහැ. 

ගෙවුම් උපකරණ සේ භාවිතා වූ අනෙකුත් විකල්ප වලට සාපේක්ෂව රන් හා රිදී වලට තිබුණු විශේෂ වාසිය වූයේ එවැනි ලෝහ වටිනා වත්කමක් ලෙස මෙන්ම ගෙවුම් උපකරණයක්ද ලෙස ද්විත්ව කාර්යයක් එක වර ඉටු කිරීමයි. ගෙවුම් උපකරණයක් සේ භාවිතා නොකළද රන් හා රිදී වලට වටිනාකමක් තිබුණා. 

කඩදාසි මුදල් වලට, ගනුදෙනු සඳහා භාවිතා නොකරන්නේනම්, රන් හා රිදී වලට මෙන් වත්කමක් වීමේ හැකියාවක් නැහැ. වත්කමක් විය හැක්කේ ගනුදෙනු සඳහා භාවිතා කිරීමේ හැකියාව නිසාම පමණයි. රන් හා රිදී මෙන්, වත්කමක් ලෙස කඩදාසි මුදල් එකතු කිරීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. ඒ සඳහා, මේ වෙද්දී කඩදාසි මුදල් වල ව්‍යුත්පන්න ලෙස විවිධ මූල්‍ය වත්කම් වර්ග ගණනාවක් වැඩි දියුණු වී තිබෙනවා. 

රන් වැනි වටිනා ලෝහ ෆියට් මුදල් හා සසඳන්නේනම්, අපට රන් වැනි ලෝහයකින් සිදු කෙරුණු ද්විත්ව කාර්ය භාරය විසංයෝජනය කරන්නට සිදු වෙනවා. රන් වත්කමක් සේ සලකන්නේනම්, අප විසින් කළ යුත්තේ රන් වල ප්‍රතිලාභ වෙනත් මූල්‍ය වත්කම් වල ප්‍රතිලාභ හා සැසඳීමයි. 

මෙම සංසන්දනය මගේ පෙර ලිපියක සිදු කර තිබෙනවා. 2025 ජූලි 15 දින පළ කළ "රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?" ලිපියෙහි විස්තර කර ඇති පරිදි, 1975-2024 කාලය තුළ, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රන් මිල වසරකට 5.42%ක සාමාන්‍ය වේගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, යම් කිසිවකු අදාළ කාලය තුළ ඇමරිකන් ඩොලර් නෝට්ටු ළඟ තබාගෙන සිටියේනම්, එම ඩොලර් නෝට්ටු වල වටිනාකම වසරකට 5.42% බැගින් ක්ෂය වෙනවා. බොහෝ දෙනෙකු ෆියට් මුදල් හා රන් සංසන්දනය කරන්නේ මෙම පදනමින්. 

එහෙත් ඉහත සංසන්දනය නිවැරදි නොවන්නේ වත්කමක් ලෙස ඩොලර් නෝට්ටු ළඟ තබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා. ඩොලර් නෝට්ටු භාවිතා කරන්නේ ගෙවුම් උපකරණයක් ලෙස පමණයි. ගෙවුම් උපකරණයක් හැකි වහාම ගනුදෙනුවක් වෙනුවෙන් යොදා ගනු මිස එක දිගට ළඟ තබා ගෙන ඉන්නේ නැහැ. වත්මන් සන්දර්භයෙහි ගනුදෙනු සඳහා වුවද වැඩි වශයෙන්ම භාවිතා වන්නේ ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්න වන බැංකු ගිණුම් මිස ඩොලර් නෝට්ටු නෙමෙයි.

වත්කම් සංසන්දනයක් කරන්නේනම්, ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්නයක් සේ සැලකිය හැකි, වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වලින් 6.05%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. මෙය රන් වල ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක්. ඊට අමතරව, 12% ඉක්මවන සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකි කොටස් වෙළඳපොළ විකල්පය වැනි විකල්පද තිබෙනවා. එවැනි විකල්ප වලට සාපේක්ෂව රන් කියන්නේ පැහැදිලිවම නරක ආයෝජනයක්. 

ඉහත ලිපියෙහි සංසන්දනය කර ඇත්තේ ඇමරිකාවේ ඇති විකල්පයි. 2025 ජූලි 16 දින පළ කළ "ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන" ලිපියෙහි මෙම සංසන්දනය ලංකාව සඳහාද සිදු කර තිබෙනවා. 1989-2024 කාලයේ ලංකාවේ සාමාන්‍ය උද්ධමනය වූ 9.65% සැලකූ විට, රන් වල ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ හානිය වළකන 10.85%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත්, සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් පොලිය වූ 12.95% එම ප්‍රතිලාභය ඉක්මවනවා. කොටස් වෙළඳපොළ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 20% ද ඉක්මවනවා. ඉතා පැහැදිලිවම, ඇමරිකාව තුළ මෙන්ම ලංකාව තුළද, රන් හොඳ මූල්‍ය වත්කමක් වී නැහැ. එමෙන්ම උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වෙනවා කියන එකත් අර්ධ සත්‍යයක් පමණයි. එසේ වන්නේ යම් කිසිවෙකු මුදල් ආයෝජනය නොකර නෝට්ටු මිටි ගොඩ ගසා ගෙන සිටියහොත් පමණයි.

වත්කම් සේ සලකන්නේනම් මුදල් වලට විකල්ප ගණනාවක් තිබෙනවා. මුදල් වල ප්‍රධානම කාර්ය භාරය වනුයේ ගෙවුම් උපකරණයක් ලෙස කටයුතු කිරීමයි. හොඳ ගෙවුම් උපකරණයක් සේ සැලකිය හැක්කේ වටිනාකම වෙනස්වීම වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකි වත්කමක්. වටිනාකම වෙනස්වීම නිවැරදිව පුරෝකථනය කළ හැකිනම්, දිගුකාලීනව වටිනාකම ක්ෂය වීම බරපතල ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඊට හේතුව ආයෝජනය කිරීම මගින් එසේ ක්ෂය වන වටිනාකම ප්‍රතිපූරණය කරගත හැකි වීමයි.

උදාහරණයක් ලෙස ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මහ බැංකු ජනතාවට පොරොන්දු වී තිබෙන්නේ දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තබා ගන්නා බවටයි. ලංකාවේ මෙම අගය 5%ක්. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ මෙම අගය 2% ද නැත්නම් 5% ද යන්න නෙමෙයි. දිගුකාලීනව උද්ධමනය ඇත්තටම මේ පොරොන්දු මට්ටම ආසන්නයේ තිබෙනවාද කියන එකයි.

අපේක්ෂිත උද්ධමනය 2% වුනත්, 5% වුනත්, එම අගය නිශ්චිතව දන්නවානම් පුද්ගලයෙකුට අපහසුවක් නොමැතිව අනාගතය සැලසුම් කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ අවදානම පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. ඒ නිසා, වැදගත් වන්නේ ඉලක්කය කීය වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගන්නේද යන්නයි. එය එසේ සිදුවන තරමට මුදලක් පිළිබඳ විශ්වාසය වැඩි දියුණු වෙනවා.

උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම නිසි පරිදි ගැලපිය යුතුයි. පෙර ලිපියේ විස්තර කළ පරිදි, මුදල් ඉල්ලුම පාලනය කිරීම පහසු නැහැ. මුදල් සැපයුම වුවද මුළුමනින්ම මහ බැංකුවක පාලනය යටතේ ඇති දෙයක් නෙමෙයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමනය මගින් මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම අතර තුලනයට බලපෑමක් කිරීමයි. එය අසීරු කාර්යයක් වුවත්, ලෝකයේ මහ බැංකු විසින් පසුගිය දශක ගණනාවක් පුරාම සාර්ථක ලෙස මේ කාර්යය ඉටු කර තිබෙනවා. 

රන් සම්මත ක්‍රමයකදී සිදු වන්නේ මේ තුලනය කිසිවෙකුගේ පාලනයට යටත් නැති "රන් දෙවියාට" භාර දීමයි. මුදල් ඉල්ලුමට වඩා රන් සැපයුම වැඩි වූ 1500-1650 අතර කාලයේදී මෙය අනපේක්ෂිත උද්ධමනයකට හේතු වුනා. අපේක්ෂිත උද්ධමනයකදී මෙන් නොව අනපේක්ෂිත උද්ධමනයකදී වත්කම් හානි වීමක් සිදු වෙනවා. එහෙත්, මේ වන විට රන් සැපයුම වැඩි වන්නේ මුදල් ඉල්ලුම වැඩි වන වේගයට වඩා අඩුවෙන් නිසා රන් සම්මතයක දිගුකාලීන ප්‍රතිඵලය අවධමනයයි. මෙහිදී අවධමනයට වඩා විශාල ප්‍රශ්නයක් වන්නේ වටිනාකම වෙනස් වීමෙහි සිදු වන විශාල විචලනයයි. එමෙන්ම අවධමනය වාසියක් වන්නේ එය අනපේක්ෂිතව සිදු වන්නේනම් පමණයි. 

මුදල් ඉල්ලුම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වෙනවා. නියාමකයෙකුට සක්‍රිය ලෙස මැදිහත් වී මේ විචලනයන් සීමා කළ හැකියි. එහෙත් "රන් දෙවියා" විසින් එවැනි සක්‍රිය මැදිහත්වීමක් නොකරන නිසා වත්මන් සන්දර්භයේදී රන් සම්මතයක් පවත්වා ගතහොත් සිදු වන්නේ මුදලේ වටිනාකම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දිගුකාලීනව අවධමනයක් පවතින තත්ත්වයක් යටතේ වුවද, කෙටිකාලීනව උද්ධමනය විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි.

මේ සමඟ පළ කෙරෙන රූප සටහනෙහි පෙන්වා දී ඇත්තේ පසුගිය වසර දහයක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය මත පදනම් වූ උද්ධමනය සහ රන් මත පදනම් වූ උද්ධමනය වෙනස් වී ඇති ආකාරයයි. සාමාන්‍ය අගයක් ලෙස ඩොලර් උද්ධමනය 3.3%ක් වන අතර, රන් උද්ධමනය -4.4%ක් හෙවත් 4.4%ක අවධමනයක්. නමුත් මුදලක් හා අදාළව වඩා වැදගත් වන්නේ එහි ස්ථාවරත්වයයි. එනම් විචලනයන් අඩු වීමයි.

මෙම වසර දහයක කාලය සැලකුවොත් ඩොලර් උද්ධමනය වන 3.3% පොරොන්දු මට්ටම වූ 2.0%ට වඩා තරමක් වැඩියි. ඊට ප්‍රධානම හේතුව වසංගත සමයේදී එම අගය 10.1% දක්වා ඉහළ යාමයි. කෙසේ වුවද, වසංගත අවස්ථාව මුදල් ඉල්ලුම අනපේක්ෂිත ලෙස එක වර විශාල ලෙස පහත වැටුණු දුලබ අවස්ථාවක්. එවැනි දුලබ අවස්ථාකදී නියාමනය මගින් විචලනය සීමා කර ගැනීම බොහෝ අසීරු කාර්යයක්. එසේ වුවද, ඉතා කෙටි කලකින් උද්ධමනය නැවත ඉලක්ක සීමාව දක්වා පහත හෙළා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුව සමත් වුනා.

ලංකාව සැලකුවද, පෙර සිදු කළ ප්‍රතිපත්ති වැරදි වලට වසංගතයේ කම්පනය එකතු වීම නිසා උද්ධමනය 70% දක්වා ඉහළ ගියද, කෙටි කලකින් නැවතත් උද්ධමනය ඉලක්ක මට්ටම ආසන්නයට පහත හෙළා ගැනීමට මහ බැංකුව සමත් වීමෙන් පෙනී යන්නේ මහ බැංකු ක්‍රමයේ සාර්ථකත්වයයි. අවධමනයේ අහිතකර ප්‍රතිඵල නොසලකා හැරියද, ප්‍රස්ථාරයේ පෙනෙන ආකාරයේ මිල විචලනයන් සමඟ ආර්ථික තීරණ ගැනීම පහසු නොවන බව පැහැදිලිව තේරුම් යා යුතු කරුණක්. ඇමරිකාවේ භාණ්ඩ මිල තීරණය වූයේ ඩොලර් වලින් නොව රන් වටිනාකම අනුවනම්, පසු ගිය වසර දහයක කාලයේදී ඇමරිකාවේ උද්ධමනය 17.5% සිට -29.1% දක්වා විචලනය වෙනවා.

ඇත්ත වශයෙන්ම රන් සම්මත කාලයේදී වුවද, දැන් මෙන්ම, මුදල් අධිකාරයක් විසින් රන් සැපයුමෙන් ස්වායත්තව මුදල් සැපයුම නියාමනය කළා. එම කාලයේදී මේ ප්‍රස්ථාරයේ දැකිය හැකි තරමේ මිල විචලනයන් දැකිය හැකි නොවූයේ ඒ නිසා. උදාහරණයක් ලෙස ලංකාවේ ව්‍යවහාර මුදල් මණ්ඩලය ආරම්භ කිරීමෙන් පසුව, තබා ගත් රිදී ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා මුදල් නිකුත් කිරීමේ හැකියාවක් එම මණ්ඩලයට තිබුණා. පසුව මෙම ප්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කරනු ලැබුවා. ඉන්දියාවේ හා ඇමරිකාවේ තිබුණේද මෙවැනි තත්ත්වයක්. සියලුම දෙනා රිදී (ඇමරිකාවේනම් රන්) ඉල්ලා සිටියේනම් ලබා දීමේ හැකියාවක් ඒ කාලයේදී වුවද අදාළ බලාධිකාරයන්ට තිබුණේ නැහැ.

වෙනත් විදිහකින් කිවහොත්, රන් සම්මතය බොහෝ දුරට නමට තිබුණු එකක්. ඒ හරහා සිදු වූයේ අදාළ මුදල පිළිබඳව විශ්වාසය ගොඩ නැගීමයි. රන් නොමැතිව එම විශ්වාසය ගොඩ නැගිය හැකිනම්, තව දුරටත් රන් සම්මතයක අවශ්‍යතාවයක් නැහැ. නූතන මහ බැංකුවක් විසින් මේ විශ්වාසය ගොඩ නැගීම සිදු කරන්නේ කලින් දැනුම් දී ඇති කවර හෝ නිශ්චිත මට්ටමක උද්ධමනය කාලයක් පවත්වා ගැනීම මගිනුයි. එම මට්ටම මහ බැංකුවකට එසේ ස්ථාවරව පවත්වා ගත හැකි මට්ටමක් විය යුතුයි.

වසංගත සමයේදී ඇමරිකාවේ උද්ධමනය 10% මට්ටම දක්වා ඉහළ ගියේ එවැනි විශාල ඉල්ලුම් කම්පනයකට මුහුණ දෙමින් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීම නොකළ හැක්කක් වූ නිසා. ඉලක්කය 5% වැනි ඉහළ අගයක් වීනම්, ඇතැම් විට මෙය කළ හැකිව තිබුණා. ලංකාව වැනි රටකට 2% මට්ටම යනු පවත්වා ගත නොහැකි තරම් පහළ මට්ටමක්. එවැනි පහළ මට්ටමක් ඉලක්ක කළහොත්, සුළු කම්පනයක් නිසා වුවද මහ බැංකුවේ පාලනය ගිලිහී යන්න පුළුවන්. ඒ ඇයි කියා පෙර ලිපියක විස්තර කර තිබෙනවා. මහ බැංකුව විශ්වාස කරන පරිදි 5% මට්ටම එසේ දිගුකාලීනව පවත්වා ගත හැකි මට්ටමක්. එහෙත් මහ බැංකුව විසින් කාලයේ පරීක්ෂණය සමත් වී මෙය තහවුරු කළ යුතුයි.

මා හිතන්නේ මේ වන විට මෙම ලිපි මාලාව හරහා කාලයේ පරීක්ෂාව අසමත්ව කලකට පෙර අත හැර දමනු ලැබූ රන් සම්මත ක්‍රමය හෝ නිදහස් බැංකු ක්‍රමය මහ බැංකු ක්‍රමයට විකල්පයක් නොවන්නේ ඇයි යන්න ප්‍රමාණවත් ලෙස විස්තර කර ඇති බවයි. රන් සම්මත ක්‍රමයේ ප්‍රශ්නය මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි. ඇතැම් අය ෆියට් මුදල් වල වටිනාකම අඩු වීම සැලකිල්ලට ගෙන ඉදිරිපත් කරන තර්කය වැරදි තර්කයක් බවද මෙම ලිපි මාලාව තුළ කරුණු සහගතව පෙන්වා දී තිබෙනවා.

නිදහස් බැංකු ක්‍රමය හා අදාළව නැවත කෙටියෙන් කිව හැක්කේ දැනට වුවද මුදල් සැපයුමෙන් ලොකු කොටස තීරණය කරන්නේ වාණිජ බැංකු විසින් මිස මහ බැංකුව විසින් නොවන බවයි. ඒ නිසා, නිදහස් බැංකු ක්‍රමයක් මගින් කළ හැකි එකම වෙනස මහ බැංකුව විසින් සිදු කරන නියාමනය ඉවත් කිරීමයි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේද නියාමනයක් නොමැති මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි.

මෙහි විස්තරාත්මකව සාකච්ඡා කර නොමැති තවත් කරුණක් වන්නේ මහ බැංකු ක්‍රමය තුළම ඇතැම් රටවල අධි උද්ධමන තත්ත්වයන් ඇති වීමයි. එහෙත්, එවැනි සෑම අවස්ථාවක මෙන්ම එසේ සිදු වී තිබෙන්නේ මහ බැංකු ස්වාධීනත්වය නැති වී රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් සල්ලි අච්චු ගැසීම නිසා මිස මහ බැංකු ක්‍රමයේ වරදකින් නෙමෙයි. මෙවැනි තත්ත්වයන් රන් සම්මත ක්‍රමය තුළද සිදු වුනා. රන් සම්මත පැවති රටවල් බොහොමයකද, රජයට අරමුදල් අවශ්‍ය වූ විට සිදු වූයේ පැවති රන් සම්මතය නොසලකා හරිමින් සල්ලි අච්චු ගැසීමයි. මූල්‍ය විනයක් නොමැති වීමේ ප්‍රශ්නයට මහ බැංකු ක්‍රමය විසඳුමක් නොවනවාක් මෙන්ම, රන් සම්මත ක්‍රමයද විසඳුමක් නෙමෙයි. 

මෙම ලිපිය ඇතුළු ලිපි මාලාවේ ලිපි පහම එකට කියවිය යුතු ලිපි පහක්. මේ ලිපි වලට එක් කර තිබෙන්නේ අනිවාර්යයෙන්ම එකට කිව යුතු කරුණු පමණයි. ලිපි මාලාව ලිවුවේ මේ මොහොත වෙනුවෙන් නෙමෙයි. ප්‍රශ්න, ප්‍රතිවාද හෝ විවේචන ඇත්නම් පිළිතුරු දිය හැකියි.


Tuesday, July 15, 2025

රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?


පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්.

"රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.

රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.

1975: $64,000/බාර්

2025: $1,300,000/බාර්

රත්තරන් මිල වැඩි වෙලා නෑ.

ගෙවල් මිල වැඩි වෙලා නෑ.

මහ බැංකු ක්‍රමය නිසා ෆියට් ඩොලරයේ අගය අඩු වෙලා සහ ඒ හා සමානව වේතන වැඩි වෙලා නෑ.

නමුත් 1975 වගේ නෙමේ දැන් ඇමෙරිකාවේ තරුණ පරපුරට ගෙයක් ගන්න ඉතා අපහසු වෙලා."

මම හිතන විදිහට මේ ප්‍රතිචාරයේ මූලික අදහස 1975-2025 අතර කාලයේදී ඇමරිකාවේ නිවාස මිලට සාපේක්ෂව රන් මිල ස්ථාවරව පැවතී ඇතත්, ඇමරිකන් ඩොලරයක මිල විශාල ලෙස අඩු වී ඇති බවයි. එම මූලික අදහස පමණක් සැලකුවොත් කරුණුමය වශයෙන් මෙහි ඇති දේ නිවැරදියි. 

නිවුයෝර්ක් සරසවියේ මහාචාර්ය දමෝදරන් විසින් මහත් පරිශ්‍රමයකින් පිළියෙල කර ඇති සංඛ්‍යාලේඛණ අනුව, 1975-2024 කාලයේදී ඇමරිකාවේ නිවාස මිල 13.08 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙය නිවාස මිලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම එම අනුපාතයෙන් අඩු වීමක් ලෙසත් සලකන්න පුළුවන්. නමුත් මෙම කාලය තුළ රන් මිල 14.00 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත් විට රන් මිල හා නිවාස මිල වැඩි වී තිබෙන්නේ එකම අනුපාතයකින්. ඇත්ත වශයෙන්ම රන් මිල තරමක් වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, 1975දී නිවසක් මිල දී නොගෙන ඒ සඳහා ප්‍රමාණවත් වූ තමන් සතු වත්කම් රන් වල ආයෝජනය කළ අයෙකුට 2024දී එම රන් මුදල් කර පහසුවෙන්ම නිවසක් මිල දී ගත හැකියි. යමෙක් තමන් සතු වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තබා ගත්තේනම්, 1975දී එවැනි නිවෙස් 13ක් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් වූ මුදල් ප්‍රමාණය තිබුණත් එය නොකළ හැකියි. 

සංසන්දනය හා ඒ මත පදනම් වූ ගණනය නිවැරදි වුවත්, මේ සංසන්දනය සිදු කෙරෙන්නේ වැරදි උපකල්පනයක් මතයි. එනම් මිනිසුන් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු වල ආයෝජනය කරන බවයි. සිහි බුද්ධියක් තිබෙන කෙනෙක් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තියා ගන්නේ නැහැ. එසේ තබා ගන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. 

ෆියට් මුදල් ක්‍රමයක් යටතේ මුදල් වල වටිනාකම අඩුවෙනවා කියන එක ඇත්ත. නමුත් තමන් සතු මුදල් කිසියම් වෙනත් වත්කමක ආයෝජනය කිරීම මගින් එහි හානිය ඉක්මවන වාසියක් ලබා ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකු සතුව තිබෙනවා. 1975දී මුදල් ගෙවා නිවසක් මිල දී ගත හැකි තරමේ ධනයක් තිබුණු කිසිම කෙනෙක් තමන්ගේ එම ධනය මුදල් නෝට්ටු සේ වසර 50ක් තියා ගන්නේ නැහැ. රන් වල ආයෝජනය කිරීමද මෙහිදී පුද්ගලයෙකු සතු විකල්පයක්. නමුත් කොටස් ආයෝජනය හා බැඳුම්කර ආයෝජන වැනි ඊට වඩා හොඳ ආයෝජනද තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් 1975දී තමන්ගේ මුදල් දස අවුරුදු බැඳුම්කර වල ආයෝජනය කළේනම් වසර 50කට පසුව එම මුදල 18.84 ගුණයකින් වැඩි වෙලා. රන් වල ආයෝජනය කළේනම් එම වැඩිවීම 14.00ක් පමණයි. මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත (Baa) සාංගමික බැඳුම්කර වල ආයෝජනය කළේනම් එම මුදල 62.44 ගුණයකින් වැඩි වෙලා. 1975දී ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් 2024දී ගෙවල් හතරක් අරගෙන ඒ ගෙවල් වලට ගෘහභාණ්ඩ ගන්නත් සල්ලි ඉතිරි වෙනවා. වැඩි අවදානමක් නැති (S&P 500) කොටස් වල ආයෝජනය කළේනම් මෙම මුදල 235.05 ගුණයකින් වැඩි වෙලා. වඩා වැඩි අවදානමක් සහිත (Small cap) කොටස් වල ආයෝජනය කළේනම් මුදල 435.90 ගුණයකින් වැඩි වෙලා. 1975 එක ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් ගෙවල් 33කටත් වඩා ගන්න පුළුවන්!

ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව රන් කියන්නේ වත්කමක් මිසක් මුදලක් නෙමෙයි. වත්කම් වල ප්‍රතිලාභ වෙනත් වත්කම් සමඟ මිස මුදල් වල ප්‍රතිලාභ සමඟ සංසන්දනය කරන්න බැහැ. මුදල් කියන්නේ ගෙවීම් සඳහා යොදා ගන්නා උපකරණයක් මිසක් ආයෝජන උපකරණයක් නෙමෙයි.

ආයෝජන උපකරණයක් ලෙස රන් කොයි තරම් හොඳද? 

රන් වල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභය අඩු නිසාම රන් නරක ආයෝජනයක් කියන නිගමනයට එන්න බැහැ. මෙහිදී අප‍ට අවදානම ගැනද සලකා බලන්න වෙනවා. මූල්‍යකරණයේදී සහ මූල්‍ය ආර්ථික විද්‍යාවේදී වත්කම් ප්‍රතිලාභ වල සම්මත අපගමනය එහි අවදානම පිළිබඳ නිර්ණායකයක් ලෙස යොදා ගන්නවා.  පහත තිබෙන්නේ 1975-2024 කාලයේදී විවිධ වත්කම් වර්ග වල වාර්ෂික ප්‍රතිලාභ වල ජ්‍යාමිතික සාමාන්‍ය අගය සහ සම්මත අපගමනයයි. වරහන් තුළ තිබෙන්නේ සම්මත අපගමනය.

නිවාස හා දේපොළ - 5.38% (5.71%)

රන් - 5.42% (23.74%)

භාණ්ඩාගාර බැඳුම්කර (වසර 10) - 6.05% (10.14%)

සාංගමික බැඳුම්කර (Baa) - 8.62% (8.74%)

සමාගම් කොටස් (S&P 500) - 12.26% (16.34%)

සමාගම් කොටස් (Small cap) - 12.92% (25.46%)

මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.

නිවාස මිල වසරින් වසර ඉහළ යාමට මුදල් සැපයුමෙහි බලපෑමක් තිබුණත් එයට ප්‍රධාන හේතුව ෆියට් මුදල් ක්‍රමයක් පැවතීම නෙමෙයි. රන් සම්මතයක් තිබුණු කාලයේදීද මෙය මෙසේම සිදු වුනා. 1935-1967 කාලය තුළ ඇමරිකාවේ නිවාස මිල වසරකට සාමාන්‍ය වශයෙන් 4.06%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ වසර 33ක කාලයක් තුළ 3.72 ගුණයක මිල වැඩි වීමක්. මෙම කාලයේදී රන් වල මිල වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ 1967දී නිවසක් මිල දී ගැනීම සඳහා 1935දී අවශ්‍ය වූ රන් ප්‍රමාණය මෙන් 372%ක් අවශ්‍ය වුනා. මෙයින් අදහස් වන්නේ නිවාස මිලට සාපේක්ෂව අදාළ කාලයේදී රන් 73%කින් බාල්දු වූ බවයි. මෙහිදී සිදු කර තිබෙන්නේද මුදල් හා වත්කම් සංසන්දනයක් නිසා මේ සංසන්දනය නිවැරදි නැහැ. 1935දී නිවසක් මිල දී ගැනීමට තරම් වත්කම් තිබුණු අයෙකුට එම මුදල් කොටස් වෙළපොළෙහි (Small cap) ආයෝජනය කිරීම මගින් 271 ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබුණා. එමගින් එක ගෙයක් වෙනුවට ගෙවල් 73ක් පමණ මිල දී ගත හැකිව තිබුණා. 

ධනවාදී ක්‍රමයක් පවතිද්දී රටක ධනය උත්පාදනය වීම හොඳින් සිදු වෙනවා. නමුත් එහිදී සුළු පිරිසක් අතේ ධනය ඒකරාශීවීමද සිදු වෙනවා. රට පොහොසත් වූ පමණින් රටේ සෑම අයෙකුගේම ආදායම් ඉහළ යන්නේ නැහැ. ධනවත් වන සීමිත පිරිස නිසා ඉහළ යන ඉල්ලුමෙන් නිවාස දේපොළ වල මිල ඉහළ යද්දී ඒ වේගයෙන්ම අඩු ආදායම් ලබන අයගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදු වන්නේ නැහැ. මෙය ධනවාදී ක්‍රමයේම ප්‍රශ්නයක් මිසක් මුදල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. 

Sunday, July 13, 2025

රටවල් ධනවත් වීම සහ රන් වාසිය


ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බැලූ බැල්මටම "මෝඩ විග්‍රහයක්" ලෙස පෙනෙන, සරල පැහැදිලි කිරීමක් එක්ක මේ ප්‍රශ්නය දිහා බලමු. 

පසුගිය 2024 වර්ෂයේ ඇමරිකාවේ ඒක පුද්ගල දදේනිය 85,912ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් පමණයි. මේ නිර්ණායකය දිහා බැලුවොත්, ඇමරිකානුවෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙන් 19 ගුණයක් ධනවත්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

පළමුවෙන්ම අපට ඔය වෙනස පෙනෙන්නේ සංසන්දනයක් කරන නිසා. සංසන්දනය කරන්නේ ඇමරිකන් ඩොලර් මත පදනම් වූ නිර්ණායකයක් යොදා ගෙනයි. ඇමරිකානුවෙකුගේ ධනවත්කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට කිසියම් ඇමරිකන් ඩොලර් වටිනාකමක් තිබෙනවා. නමුත් ලාංකිකයෙකුගේ ධනවත් කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට සෘජු ඇමරිකන් ඩොලර් වටිනාකමක් නැහැ. ඒවාට තියෙන්නේ රුපියල් වටිනාකමක්.

ලංකාවේ දදේනිය මනින්නේ රුපියල් වලින්. සංසන්දනය කිරීම සඳහා අප එම අගය ඇමරිකන් ඩොලර් වලට හරවනවා. එය කරන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගෙන. පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ අඩුපාඩු නිවැරදි කෙරෙන ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතය කියා එකකුත් තිබෙනවා. නමුත් මෙහිදී අප කතා කරන්න යන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ වැරැද්ද ගැන නෙමෙයි. ඒ නිසා අපි පවත්නා නාමික විණිමය අනුපාතය වෙතම අවධානය යොදවමු. 

පසුගිය 2024 වසරේ ලංකාවේ ඒක පුද්ගල දදේනිය රුපියල් 1,364,235ක්. මෙම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් වෙන්නේ රුපියල් 302ක් ඇමරිකන් ඩොලරයකට සමාන සේ සැලකූ විටයි. එසේ නොමැතිව, යම් ආකාරයකින් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 302කට සමාන නොවී රුපියල් 16කට සමාන වීනම්, ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඇමරිකාවේ මට්ටම කිට්ටුවටම ඇවිත්. 

දැන් අපිට ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය වෙනුවට එහි ව්‍යුත්පන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 16කට සමාන නොවී රුපියල් 302කට සමාන වී තිබෙන්නේ ඇයි?

ඇතැම් රටවල් දුප්පත් වීම සහ තවත් රටවල් ධනවත් වීම සහ විවිධ රටවල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලකට වඩා ඇමරිකන් ඩොලරයක් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකා රුපියල් වගේම ඇමරිකන් ඩොලර් කියා කියන්නෙත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග. මෙවැනි කිසියම් මුදල් වර්ගයකට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටිනාකමක් තිබෙන බව බොහෝ දෙනෙකු විසින් සාමූහිකව විශ්වාස කරන නිසා. ඒ හැරෙන්න වෙනත් වැදගත් හේතුවක් නැහැ. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය පිළිබඳව එම විශ්වාසය වැඩියි. ඒ නිසා, එහි වටිනාකමද වැඩියි.

ගනුදෙනු සහ හුවමාරු ඉතාම ස්වභාවික දේවල්. සත්තු එක්ක පවා ගනුදෙනු කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් දීම මගින් වඳුරෙක්ව කිසියම් දෙයක් කරන්න පොළඹවා ගන්න පුළුවන්. මස් කෑල්ලක් දී බල්ලෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන්. අඩු වශයෙන් යම් පුහුණුවකින් පසුව සතුන් මේ විදිහේ ගනුදෙනු කරනවා. නමුත් රුපියල් හෝ ඩොලර් දී බල්ලෙක්ගෙන් හෝ වඳුරෙක්ගෙන් වැඩක් ගන්න බැහැ. 

කිසියම් හේතුවක් නිසා කුඩා කළ සිටම මිනිස් සමාජයෙන් මුලුමනින්ම දුරස්ථව සිටි පුද්ගලයෙක් හෝ ජන කණ්ඩායමක් හදිසියේ සම්මුඛ වුවහොත් රුපියල් හෝ ඩොලර් දී ඔවුන් සමඟ ගනුදෙනු කළ හැකි වෙයිද? පැහැදිලිවම නොහැකියි. නමුත් කිසියම් ආහාර වර්ගයක් වැනි දෙයක් දී ගනුදෙනුවක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. මුදල් වලට වටිනාකමක් තිබෙන්නේ අපගේ සාමූහික විශ්වාසය නිසා පමණයි.

ඇතැම් අයගේ අදහස රුපියල් හෝ ඩොලර් වලට සැබෑ වටිනාකමක් නොමැති වුවත් රන් වලට එවැනි වටිනාකමක් ඇති බවයි. රන් වලට තිබෙන්නේත් රුපියල් හෝ ඩොලර් වලට තිබෙන ආකාරයේම වටිනාකමක්. වෙනසක් ඇත්නම් එය ඉතාම සුළු වෙනසක්. 1799දී කොනාඩ් රීඩ්ට හමු වූ රාත්තල් 17ක රත්තරන් කුට්ටිය කාලයක්ම පාවිච්චි කළේ දොර අඩයක් ලෙසයි. ඒ වැඩේට රත්තරන් කුට්ටියක් ඩොලර් නෝට්ටු මිටියකට වඩානම් තරමක් හොඳයි. 

රත්තරන් ආභරණ සේ භාවිතා වන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවත් රත්තරන් වලට ලොකු වටිනාකමක් ඇති බවට වන පොදු පිළිගැනීම. රත්තරන් පළඳින අය එසේ කරන්නේ තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නයි. සන්නාම සහිත ඇඳුම් වලට ඉහළ මිලක් ගෙවනවා වගේ දෙයක්. සමහර අය රත්තරන් සේ පෙනෙන ඉමිටේෂන් ආභරණ පළඳින්නේ ඒ නිසා. රත්තරන් වලට තියෙන්නේ සැබෑ වටිනාකමක්නම් කවුරුවත් ඉමිටේෂන් ආභරණ පළඳින්න පෙළඹෙන්නේ නැහැ. 

ඉතිහාසයේ සෑහෙන කාලයක් රන් හා රිදී මුදල් ලෙස භාවිතා වුනා. ඒ ඒ කාලයේ ඒ සඳහා වඩා හොඳ විකල්ප නොතිබුණු නිසා. ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග වලින් මේ වෙද්දී ඒ කාර්ය භාරය ඊට වඩා හොඳින් කෙරෙනවා. රන් රිදී වැනි ලෝහ වර්ග සැලකුවත්, ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග සැලකුවත් මේවායේ තිබෙන්නේ සාමූහික විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික වටිනාකමක්. 

දැන් ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඇහැට නොපෙනෙන, අතින් අල්ලන බැරි බිට්කොයින් වැනි දේවල් වලටත් වටිනාකමක් තියෙනවා කියලා සාමූහිකව විශ්වාස කරනවා. කිසිදු නෛසර්ගික වටිනාකමක් නොමැති, ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි, ක්‍රිප්ටෝ මුදලක වටිනාකම පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම සහ ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙවි කෙනෙකු පිළිබඳව හෝ කර්මය වැනි සංකල්පයක් පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම අතර ලොකු වෙනසක් නැහැ. 

අඩු වශයෙන් වසර තුන් දහසක පමණ කාලයක් පුරා වෙළඳාම් හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වී තිබෙනවා. මෙම වෙළඳාම් වලදී ගෙවීම් මාධ්‍යයක් ලෙස රන් හා රිදී යොදා ගැනුනා. ඒ නිසාම එම ලෝහ වර්ග වල වටිනාකම පිළිබඳ සාමූහික විශ්වාසයක් ගොඩ නැගුණා. ලෝකයේ බොහෝ සංස්කෘතීන් මේ සාමූහික විශ්වාසයේ කොටස්කරුවන් බවට පත් වුණා. එහෙත් මේ ජාත්‍යන්තර වෙළඳ ජාලයට සම්බන්ධව නොසිටි සංස්කෘතීන්ද තිබුණා.

කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් රෂ් ඇති වූ දහනවවන සියවසේ මැද භාගය වන තුරුම ලෝකයේ ඇතැම් පෙදෙස් වලින් පොළොව මතුපිට තිබී රත්තරන් හමු වුනා. ඉන් පසුව පොළොව මතුපිට රත්තරන් අවසන් වී රන් රිදී "නිපදවීම" වියදම් අධික කර්මාන්තයක් බවට පත් වුණා. පොළොව මතුපිට තිබී රත්තරන් හමු වෙද්දී එය සිදු වුනේ අහම්බෙන්, වාසනාවට හෝ පිං මහිමය නිසා කියා කියන්න පුළුවන්. 

ජාත්‍යන්තර වෙළඳාමට වඩා වැඩියෙන් නිරාවරණය වී සිටි රටවල රන් හා රිදී වල වටිනාකම පිළිබඳ අදහසද කලින්ම පැතිරුණා. අඩු වශයෙන් සමාජයේ ඉහළ ස්ථරය රන් හා රිදී වලින් ගනුදෙනු කළා. ඒ නිසාම, පොළොව මතුපිට තිබුණු රන් හා රිදී කාගේ හෝ අවධානයට යොමු වී මුදල් වුනා. ලංකාවේ පොළොව මතුපිටින් හමු වූ රන් හා රිදී ගැමුණු රජුගේ කාලයේදීම මුදල් වී අවසන් වුනා වෙන්න පුළුවන්.

ස්වදේශිකයින් ජාත්‍යන්තර ගනුදෙනු සමඟ ගැට ගැසී නොසිටි උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැන්නක් සිදු වුනේ නැහැ. එම කලාප වල මතුපිට රන් ඉතිරිව තිබුණා. මෙහි වාසිය එම රටවලට සංක්‍රමණය වූ යුරෝපීයයන්ට ලැබුණා. එය එම රටවලට ධනවත් වීමටද උදවුවක් වුනා.

රන් හා රිදී ඕනෑම රටකින් අහම්බයෙන් හමු විය හැකි දෙයක්ව තියෙද්දී එය යම් ආකාරයක "දිව්‍යමය" දෙයක්. කවුරු හෝ උත්සාහ කළා කියලා රන් හෝ රිදී නිපදවා ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ රටකින් රන් හෝ රිදී හමු වෙන්නේ රජුගේ පිං මහිමයෙන්, එහෙමත් නැත්නම් රජු දෙවියන්ට ප්‍රිය වීමෙන්, වැනි ප්‍රවාදයකට සාමූහිකව විශ්වාස කළ හැකි තරමේ වලංගු භාවයක් තිබෙනවා. රටේ කොහේ හෝ තැනකින් අහම්බෙන් රන් හෝ රිදී හමු වෙන එක පැහැදිලි කරන්න ඊට වඩා ගොඩක් හොඳ ප්‍රවාදයක් හදාගන්න අමාරුයි. 

මේ හේතුව නිසාම රටක මිනිස්සු හෝ රටක් ධනවත් වෙන එකත් කිසියම් බාහිර හේතුවක් නිසා සිදු වෙන දෙයක් බවත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නොමැති බවත් පැහැදිලි වෙනවා. කාලයෙන් කාලයට සමහර රටවල් ධනවත් වීම සහ දුප්පත් වීම වෙනස් කළ නොහැකි දෙයක් ලෙස භාර ගන්න වෙනවා. වෙනස් කර ගන්න කළ හැක්කේ රජු දැහැමි වීම හෝ රජු දෙවියන්ට ප්‍රිය වන ලෙස හැසිරීම වැනි සීමිත දේවල් ටිකක් පමණයි. ඒ නිසාම, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් බාහිර දෙයක් වන රන් සැපයුම එක්ක හෝ රිදී සැපයුම එක්ක අනෙකුත් වටිනාකම් ගැට ගහන එක ගැන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්.

ඔය වගේ ලෝක සම්මතයක් තියෙද්දී ලෝකයේ සමහර රට වලින් හිටිවනම විශාල රන් හෝ රිදී සංචිත හමු වෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී එවැනි රටවලට විශේෂ වාසියක් ලැබෙනවා. පොළොවෙන් නිකම්ම වගේ ලැබෙන රන් හෝ රිදී එක්ක වෙනත් වටිනා දේවල් හුවමාරු කර ගැනීම මගින් එවැනි රටවල මිනිසුන්ගේ කෙසේ වෙතත් අඩු වශයෙන් රජ පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වය අවාසියි. එවැනි රටවල රජු සාපේක්ෂව දුප්පත් කියන්නේ රටත් සාපේක්ෂව දුප්පත් කියන එකයි. ඉතිහාසයේ සෑහෙන කාලයක් රටක දුප්පත්කම හෝ ධනවත්කම කියන්නේ රජුගේ දුප්පත්කම හෝ ධනවත්කම.

රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වයට අභියෝග කරන්න හේතුවක් නැහැ. තමන්ගේ රටෙන් වුනත් රන් හෝ රිදී හමු වීමේ යම් විභවයක් තිබෙනවා. නමුත් එසේ හමු නොවෙන්නේ තමන්ට දෙවියන් ප්‍රිය නැති නිසා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන පවුකාර කමට. වැරැද්ද තමන්ගේමනම් පවතින තත්ත්වය භාර ගන්න වෙනවා.

රන් හා රිදී "නිපදවීම" කර්මාන්තයක් වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ වටිනා ලෝහ තව දුරටත් දිව්‍යමය දේවල් වෙන්නේ නැහැ. ඒවා මිනිසුන් විසින් ශ්‍රමය යොදවා නිපදවා ගත යුතු දේවල්. එවිට අර මුල් කතන්දරය අභියෝගයට ලක් වෙනවා. රන් හා රිදී කියා කියන්නෙත් හාල් පොල් වගේ ශ්‍රමය යොදවා නිපදවා ගත හැකි දෙයක්නම්, හාල් පොල් වල නැති අමුතු දෙයක් රන් රිදී වල තියෙන්නේ හේතුවක් නැහැ. වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යෝජනා වෙන්නේ ඔය විදිහට රන් රිදී වල තිබෙන වටිනාකමේ දිව්‍යමය ස්වභාවය තව දුරටත් සාමූහිකව විශ්වාස කරන්න බැරි වෙද්දීයි.

මිනිස් චින්තනයේ මේ විදිහේ සුසමාදර්ශී වෙනසක් සිදු වුනාට පස්සේ ලෝකයේ රන් සම්මුතියක් පවතින්න හේතුවකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම බිඳ වැටිය යුතුයි. නමුත් සාමූහික මිනිස් විශ්වාස එක වර වෙනස් නොවන නිසා ඒ සඳහා යම් කාලයක් ගතවෙන්න පුළුවන්. 

අවසාන වශයෙන් රන් සම්මත බිඳ වැටී ෆියට් මුදල් නිර්මාණය වීම අහම්බයක් හෝ වැරැද්දක් නෙමෙයි. එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුව තිබුණා. කොයි තරම් විවේචන තිබුණත් ෆියට් මුදල් ක්‍රමය කියන්නේ රන් සම්මතයට වඩා ගොඩක් දියුණු මුදල් ක්‍රමයක්. ෆියට් මුදල් වල වටිනාකම තීරණය කරන දිව්‍යමය බාහිර බලවේගයක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ මිනිස්සු. 

රන් සම්මත ක්‍රමය ඒකාධිකාරී ක්‍රමයක්. ඊට සාපේක්ෂව ෆියට් මුදල් ක්‍රමයේදී මුදල් වර්ග අතර තරඟයක් තිබෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත හැකි මුදල් වර්ගයක වටිනාකම ඉහළ යනවා. එවැනි මුදල් වර්ගයක් භාවිතා කරන රට ධනවත් වෙනවා. 

නමුත් සාමූහික විශ්වාසය මත පදනම් වන මුදල් වැනි දෙයක් හා අදාළව ඒකාධිකාරයක් හැදෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සියවස් ගණනක් රන් සම්මත ක්‍රමය පැවතුනේ ඒ නිසා. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. සම්මතයක්. අඩි, රාත්තල් හෝ මීටර, ග්‍රෑම් වගේ දෙයක්. ඒ නිසා ලෝකයේම කෙසේ වුවත් කිසියම් ප්‍රදේශයක එකම සම්මතය පවතින එක වඩා කාර්යක්ෂමයි. 

කිසියම් රටක් ගත්තොත් බර මනින, දුර මනින සම්මත තිබෙනවා. රටක් ඇතුළේ මෙවැනි සම්මත ගණනාවක් නැත්තේ රාජ්‍ය බලහත්කාරයක් නිසා නෙමෙයි. එක සම්මතයක් භාවිතා කිරීම කාටත් පහසු නිසා. රටක් තුළ විවිධ මුදල් වර්ග භාවිතා කිරීම වෙනුවට එක් මුදල් වර්ගයක් භාවිතා වීම ප්‍රචලිතව තිබෙන්නේත් මේ නිසා. මෙය සීමිත ඒකාධිකාරයක් සේ දැකිය හැකි වුනත්, එය ස්වභාවික ඒකාධිකාරයක්. කිසියම් මුදල් වර්ගයකට කිසියම් භූගෝලීය සීමාවක් තුළ ඒකාධිකාරයක් තිබුණත් ඒ සීමාවෙන් එහා තවත් එවැනිම මුදල් වර්ග තිබෙන නිසා නිරන්තර තරඟයකට මුහුණ දෙන්න වෙනවා. විණිමය අනුපාත වලින් පිළිබිඹු වෙන්නේ රට රටවල මහ බැංකු මේ තරඟය තුළ කොයි තරම් සාර්ථක වී ඇත්ද යන්නයි.

මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය විවේචනය කරන අය බොහෝ විට එසේ කරන්නේ අතීතකාමය සහ වෙනස්වීමට තිබෙන අකැමැත්ත නිසා. අතීතයේ පැවති රන් සම්මත, නිදහස් බැංකු ක්‍රමය වගේ ක්‍රම එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය දියුණු සහ තව දුරටත් දියුණු වෙමින් පවතින ක්‍රමයක්. පැරණි ක්‍රම බිඳ වැටී මහ බැංකු ක්‍රමය ඇති වී තිබෙන්නේ ඒ නිසා. 

අනාගතයේදී මහ බැංකු ක්‍රමය බිඳ වැටී රන් සම්මත යුගයේ පැවති ආකාරයේ වෙනත් ලෝක ඒකාධිකාරයක් ඒ වෙනුවට ආදේශ වෙන්න පුළුවන්. එහෙම වෙන්නනම්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වටිනාකම පාලනය නොවන කිසියම් "දිව්‍යමය" දෙයක් ඒ වෙනුවෙන් ආදේශ විය යුතුයි. කෘතීම බුද්ධිය දියුණු වෙද්දී එවැන්නක් වෙන්න පුළුවන්. නමුත් දැනට තිබෙන ලෝක සන්දර්භය තුළ, ඉතිහාසයේ යම් යම් කාල වල පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප වූ විකල්ප වලට සාපේක්ෂව, මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය දියුණු ක්‍රමයක්. 

Friday, April 25, 2025

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස)


මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා වුනා (Source: https://www.stlouisfed.org/on-the-economy/2019/may/historical-u-s-trade-deficits).

ඇමරිකාවේ වෙළඳ ගිණුමේ එක දිගටම හිඟයක් තිබීම ප්‍රශ්නයක් නැහැ කියා තර්ක කරන අය ඒ බැව් තහවුරු කිරීම සඳහා 1870ට පෙර කාලය වෙත අවධානය යොමු කරනවා. නමුත් එහිදී එසේ එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු කිරීමට හැකි වුනේ කොහොමද කියන එක ගැන එතරම් කතා කෙරෙන්නේ නැහැ. 

රටක එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු වෙනවා කියන්නේ ඒ රටෙන් එක දිගටම විදේශ විණිමය එළියට යනවා කියන එක. එවැනි දෙයක් වෙන්නනම්, එක්කෝ ඒ රට දිගින් දිගටම ණය විය යුතුයි. එහෙම නැත්නම් රටට විදේශ විණිමය ලැබෙන වෙනත් කවර හෝ ක්‍රමයක් හෝ ක්‍රම තිබිය යුතුයි.

දහනවවන සියවසේ පළමු අර්ධය කියන්නේ අද තිබෙන ඇමරිකාව ගොඩ නැගෙන කාලය. සියවස ආරම්භ වෙද්දී ඇමරිකාව කියන්නේ පළමු කොලනි දහතුන. අවුරුදු පණහක් යද්දී අද තිබෙන මහද්වීපික ඇමරිකාව බොහෝ දුරට හැදිලා. ඔය අතර කාලයේ සංඛ්‍යාලේඛණ ඒ තරම්ම නිවැරදි හෝ සම්පූර්ණ නැහැ. ඒ කාලය තුළ ඇමරිකාවට අයත් හා අයත් නැති භූමි ප්‍රදේශ අතර සීමා ඉර තරමක් බොඳ වූ එකක්. ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර සීමා ඉරත් ඒ වගේම බොඳ වූ එකක්. කෙසේ වුවත්, 1848දී මෙක්සිකෝ යුද්ධය ජයගෙන මෙක්සිකෝවෙන් බාගයක් ඇමරිකාවට එකතු කර ගැනීමෙන් පසුවනම් වෙළඳ හිඟයක් නඩත්තු වුනේ කොහොමද කියන එක ඉතාම පැහැදිලියි.

කැලිෆෝනියාවෙන් රත්තරන් හමු වෙන්නේ ඔය මෙක්සිකෝ යුද්ධය සිදු වෙන අතරවාරයේ. ඒ වන විටත් කැලිෆෝනියාව නිල වශයෙන් මෙක්සිකෝවේ කොටසක්. මෙහිදී කැලිෆෝනියාව යන්නෙන් අදහස් වන්නේ වර්තමාන කැලිෆෝනියා, නෙවාඩා, යූටා, ඇරිසෝනා, නිවු මෙක්සිකෝ, කොලරාඩෝ ආදී ප්‍රාන්ත හෝ ප්‍රාන්ත වල කොටස් ඇතුළත් විශාල ප්‍රදේශයක්. මෙක්සිකෝවේ කොටසක් වුනත්, මේ වෙද්දී ඇමරිකන් හමුදා විසින් මේ ප්‍රදේශ වල බලය අල්ලා ගෙනයි තිබුණේ. පසුව මෙක්සිකෝව විසින් මේ ප්‍රදේශ ඇමරිකාවට භාර දෙනවා.

කැලිෆෝනියාවෙන් මේ විදිහට මුලින්ම හමු වෙන්නේ පොළොව යට තිබෙන රත්තරන් නිධි නෙමෙයි. වල් ළූණු හාරද්දී හමු වෙන්න තරම් පොළොව මතුපිටට ආසන්නව තිබුණු රත්තරන්. 

ඔය කාලය වෙද්දී රත්තරන් වලට ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමක් ලැබිලා. සහශ්‍ර ගණනාවක් පුරාම ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ රත්තරන් වටිනා ලෝහයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. නමුත් බොහෝ සංස්කෘතීන් කියන්නේ හැම සංස්කෘතියම නෙමෙයි. 

රත්තරන් දුලබයි. ලස්සනයි. ඒ වගේම රත්තරන් වලින් පහසුවෙන් සියුම් ආභරණ ආදිය හදන්න පුළුවන්. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, මෙසපොතේමියාව වගේම දකුණු ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශ වල රත්තරන් වලට සියවස් ගණනාවක් පුරා ලොකු වටිනාකමක් තිබුණා. නමුත් අනෙක් අතට රත්තරන් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් නෙමෙයි. අඩු වශයෙන් රත්තරන් වලින් ආයුධයක්වත් හදා ගන්න බැහැ. ඒ නිසා, ඔය කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අයට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. ඔවුන් මුදල් සේ භාවිතා කළේ සිප්පි කටු, වර්ණවත් ගල්, වඩා ප්‍රයෝජනවත් ලෝහයක් වන තඹ ආදියයි. ඔවුන්ගේ සංස්කෘතීන් වල රත්තරන් වලට තිබුණේ අඩු වටිනාකමක්. පසුව යුරෝපීයයන් පිස්සුවෙන් වගේ රත්තරන් හොයද්දී ඔවුන් තමන් දැන සිටි රත්තරන් තිබෙන තැන් යුරෝපීයයන්ට නොපැකිල පෙන්වා දී තිබෙනවා.

ඔය වෙද්දී අයිසෙක් නිවුටන් විසින් සිදු කළ වැරදි ගණනයක් නිසා එංගලන්තයේ රන් සම්මතයක් හැදිලා අවුරුදු සීයකටත් වැඩියි. බොහෝ රටවල මුදල් ඒකක රන් වටිනාකමට සම්බන්ධ කරලා තිබුණා. වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය බිහි වුනෙත්, ඔය නිරීක්ෂණ මත පදනම්වයි. 

රන් කියන්නෙත් තවත් එක් හුවමාරු භාණ්ඩයක් පමණයි. ඒ නිසා, එක් හුවමාරු භාණ්ඩයකින් අනෙක් හැම භාණ්ඩයකම වටිනාකම් තීරණය වෙනවා කියන්නේ පිළිගන්න අමාරු දෙයක්. එහෙමනම්, වටිනාකම් වල මූලය රන් වෙන්න බැහැ. එය වෙනත් දෙයක් විය යුතුයි. රන් වෙනුවට ශ්‍රම කාලය ආදේශ වුනේ ඔන්න ඔය පදනමින්. ඒ අනුව, රන් වල වටිනාකමට හේතුව රන් ගොඩ ගැනීම සඳහා ශ්‍රමය යෙදවිය යුතු වීම. නූතන ආර්ථික විද්‍යාව ඔය ශ්‍රම න්‍යායේ සිට බොහෝ දුර පැමිණ තිබෙනවා. 

අප හැම දෙනෙකුටම රත්තරන් වලින් පෞද්ගලිකව ප්‍රයෝජනයක් නැහැ. එහෙම කිවුවත් රත්තරන් පොරෝගෙන ඉන්න කැමති බොහෝ අය ඉන්නවා. අර එක සැරයක් බ්‍රේස්ලට් කතාවකුත් ජනප්‍රිය වුනේ. රන් ආභරණ වලට දකුණු ආසියාවේ කාන්තා පක්ෂය ගොඩක් කැමතියි. ලොකු රන් දම්වැල්, මුදු ආදියට කැමති පිරිමි පාර්ශ්වයේ අයත් ඒ තරම්ම අඩු නැහැ. ඔය අතර එවැනි කැමැත්තක් නැති මම වගේ අයත් ඉන්නවා.

හැබැයි මගේ වත්තේ වල් ළූණු හාරද්දී ලොකු රත්තරන් කෑල්ලක් දැක්කොත් මම ඒක නැවත පස් දමා වසන්නේ නැහැ. එය විකුණා මම වඩා කැමති, මට අවශ්‍ය, දේවල් මිල දී ගන්න පුළුවන් බව මම දන්නවා.

නමුත් කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අය බාහිර කණ්ඩායම් එක්ක ගනුදෙනු කළ අය නෙමෙයි. ඔවුන් එසේ කළානම්, ඔවුන්ට රන් විකුණා තමන්ට අවශ්‍ය වෙනත් දේවල් ලබා ගන්න තිබුණා. (එහෙම කරන්න ගියානම් ඒ ගෝත්‍ර වලට පසුව සිදු වූ විනාශය ඊට කලින්ම වෙන්නත් තිබුණා). එහෙත් ඔවුන් එසේ නොකර රත්තරන් විසිරුණු පොළොවක සියවස් ගණනක් ජීවත් වුනා. 

කොහොම හරි කැලිෆෝනියා රත්තරන් ගැන ආරංචිය ප්‍රචාරය වෙද්දී ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලින් වගේම ලෝකයේ විවිධ රටවලින් මිනිස්සු විශාල වශයෙන් කැලිෆෝනියාවට එන්න පටන් ගත්තා. ඉක්මණින් පෝසත් වෙන්න කෙටි මාර්ගයක් එහි තිබුණා. ඔය කාලය වෙද්දී කැලිෆෝනියා ඉඩම් වලට හරියකට දේපොළ අයිතියක් නැහැ. ඒ වගේම ඔය ප්‍රදේශයේ නීතියේ පාලනයක් කියලා එකකුත් නැහැ. ඇමරිකාව මෙක්සිකෝවෙන් මේ කොටස ලබා ගත්තත් නීතියේ පාලනය පිහිටුවන්න කාලයක් ගියා.

ඉඩම් වල මුල් පදිංචි කරුවන් වූ ස්වදේශිකයින්ව මේ විදිහට පැමිණි අය විසින් එළවා දමනු ලැබුවා. ඔවුන් බොහෝ දෙනෙකු ආහාර හිඟයෙන් මිය ගියා. ඔය දවස් වල ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය දිනක වැටුප ඩොලරයක් වගේ. මාසයකටනම් ඩොලර් 20-30 පමණ. නමුත් රත්තරන් එකතු කිරීමෙන් එක දවසකට ඩොලර් 100ක පමණ දක්වා මුදලක් හොයාගන්න පුළුවන්කම තිබුණා. ශ්‍රම න්‍යාය අනුවනම්, රත්තරන් මිල අඩු විය යුතුයි. නූතන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වුනත් රන් මිල අඩු විය යුතුයි.

කැලිෆෝනියාවේ රත්තරන් මිල ඇත්තටම අඩු වුනා. නමුත් ඩොලර් වලට සාපේක්ෂව නෙමෙයි. අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව. ලෝකයේ හා ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් ඉතා කෙටි කාලයක් තුළ විශාල පිරිසක් රන් සොයා කැලිෆෝනියාවට එනවා කියන්නේ ඔවුන්ට ආහාර පාන ඇතුළු අනෙකුත් දේවල්ද විශාල වශයෙන් අවශ්‍ය වෙනවා කියන එක. නමුත් එවැනි ප්‍රමාණවත් සැපයුමක් කැලිෆෝනියාවේ තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ මෙම ප්‍රදේශයේ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමයි. උදාහරණයක් ලෙස බිත්තරයක මිල ඩොලරයක සිට ඩොලර් තුනක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මට්ටමට ඉහළ යන්නේ ඩොලර් ශත තුනක හෝ ශත පහක මිලකට අලෙවි වෙමින් තිබුණු බිත්තර. ඉල්ලුම ඉහළ යද්දී, සැපයුම සීමිත නිසා, අනෙක් හැම දෙයක් වගේමත් ඔය විදිහට මිල වැඩි වී වෙනවා. 

අද අර්ථයෙන් කියනවනම් මෙය ඉතාම ඉහළ මට්ටමක අධි උද්ධමනයක්. බිත්තර වලින් බැලුවොත් උද්ධමනය 2000%-10000% පමණ. ඒ කියන්නේ සල්ලි ඉතාම විශාල ලෙස බාල්දු වීමක්. මීට හේතුව රන් මිල අවුන්සයක් ඩොලර් 20.67 ලෙස නියම කර තිබීම. ඒ නිසා, කොයි තරම් රත්තරන් ලැබුණත් රන් මිල අඩු වෙන්න විදිහක් තිබුනේ නැහැ. රන් සහ ඩොලර් අතර වටිනාකම් අනුපාතය නියතයක්. 

රන් මිල වෙනස් වෙන්නේ නැති නිසා සිදු වුනේ රන් වලට සාපේක්ෂව අනෙක් භාණ්ඩ හා සේවා හැම එකකම හුවමාරු වටිනාකම වැඩි වෙන එක. එහිදී එම භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව රත්තරන් බාල්දු වෙනවා. රත්තරන් වලට පෙග් කර තිබෙන නිසා ඩොලරයත් විශාල ලෙස බාල්දු වෙනවා. එහෙමත් නැත්නම් ඩොලරයක මිල දී ගැනීමේ හැකියාව විශාල ලෙස අඩු වෙනවා.

රන් සොයන්න ආ අයට සාමාන්‍ය ශ්‍රමිකයෙක් මාස හයකදී ලබන වැටුප පහසුවෙන්ම සතියෙන් හොයා ගන්න හැකි වී තිබෙනවා. නමුත්, එයින් අදහස් වන්නේ ඒ අනුපාතයෙන්ම ඔවුන් ධනවත් වූ බව නෙමෙයි. රන් හොයන අතර ආහාර පාන ඇතුළු වියදම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් වැය කරන්න සිදු වී තිබෙනවා. 

පහසුවෙන්ම රන් එකතු කරගත හැකිව තියෙද්දී සහ එම රන් අලෙවි කර ඩොලර් එකතු කර ගත හැකිව තියෙද්දී රන් හා ඩොලර් වල වටිනාකම දැනෙන්නේ අඩුවෙන්. සල්ලි අත දිග හැර වියදම් කරන්න හිතෙනවා. නමුත් අතේ කොයි තරම් රන් හා ඩොලර් තිබුනත්, රාත්‍රී ආහාරය ගන්න තැනක් ළඟ පාතක නැත්නම් ඒ රන් වලින් හෝ ඩොලර් වලින් ඇති වැඩක් නැහැ. ස්වදේශිකයෝ රන් එකතු නොකළේ ඔය හේතුව නිසා. නවාතැන පිරෙන්න රන් එකතු කර ගොඩ ගසා ගත්තත්, දඩයමක් කර ගත්තේ නැත්නම් බඩගින්නේ මැරෙන්න වෙනවා. රන් වලින් කළ හැකි දෙයක් නැහැ.

නමුත් ස්වදේශිකයින් හා සංක්‍රමණිකයින් අතර එක් ලොකු වෙනසක් තිබුණා. සංක්‍රමණිකයින්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක්. හුවමාරුව මගින් තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බව ඔවුන් දැන සිටියා. රන් එකතු කරන ප්‍රදේශ වල ජනගහණය ඉහළ ගොස්, භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ යද්දී ඒවා සපයන සැපයුම්කරුවන්ගේ ජාලද බිහි වෙන්න පටන් ගත්තා. මේ මගින් සෘජුව රන් එකතු නොකර, වක්‍රව රන් එකතු කර ධනවත් වීමටද මාර්ග පෑදුනා.

ඔය වගේ කාලයක හදිසියෙන් රන් සොයා එද්දී දරු මල්ලන් අරගෙන එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එන්නේ පිරිමි පමණයි. ඒ නිසාම, කාන්තාවන්ගේ වටිනාකම සහ කාන්තාවන් සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන රන් එකතු කරන පිරිමින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා පැමිණි කාන්තාවන් විසින් රන් එකතු නොකරම විශාල ලෙස රන් එකතු කරගෙන තිබෙනවා. රන් එකතු කළ ගොඩක් අය තමන්ට දවස අවසානයේ ලැබුණු මුදල් වලින් සැලකිය යුතු කොටසක් කාන්තා ඇසුර, මත්පැන්, සූදු ක්‍රීඩා ආදිය වෙනුවෙන් වැය කර තිබෙනවා. මේ ආදී හේතු නිසා අවසාන වශයෙන් වැඩිපුරම පෝසත් වී තිබෙන්නේ රන් මිල දී ගත් අතරමැදියෝ සහ වෙනත් සේවාවන් සපයපු අය. කොහොම වුනත්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත් නිසා විවිධ භාණ්ඩ හා සේවා සැපයුම් ව්‍යාපාර ගණනාවක්ම අලුතෙන් බිහි වී තිබෙනවා. ඒ සමහර ව්‍යාපාර මේ වෙද්දී දැවැන්ත ව්‍යාපාර.

රන් සුලභ කැලිෆෝනියා ප්‍රදේශයේ ආර්ථිකය සංවෘත එකක් වීනම් අවසාන වශයෙන් වෙන්නේ රත්තරන් ඉතා ලාභදායී ලෝහයක් වීම පමණයි. නමුත් කැලිෆෝනියා ආර්ථිකය ඇමරිකාවට වගේම ලෝකයටම විවෘතවයි තිබුණේ. කැලිෆෝනියාවෙන් පිටත ලෝකයේ රත්තරන් තව දුරටත් දුලබ ලෝහයක් වුනා වගේම සැලකිය යුතු ඉල්ලුමක් තිබුණු දෙයක්. ලෝකයේ රටවල් ගණනාවක්ම ඒ වෙද්දී තමන්ගේ මුදල් එක්ක රත්තරන් වලට පෙග් කර තිබුණු නිසා, ආභරණ සෑදීම ආදී "ඇත්ත හේතු" වලට අමතරව මිනිසුන්ට රන් එකතු කරන්න තවත් හේතුවක් තිබුණා. රත්තරන් තමන්ගේ වත්කම් ගබඩා කර ගත හැකි ක්‍රමයක්ව පැවතුණා. ඒ නිසා, රත්තරන් වලට කෘතීම ඉල්ලුමක් ඇති වී තිබුණා. එහි ප්‍රතිඵලය රන් මිල සාමාන්‍ය මිලට වඩා ඉහළින් නිර්ණය වීමයි. අද දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි.

භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රන් හා ඩොලර් විශාල ලෙස බාල්දු වුනේ කැලිෆෝනියා ප්‍රදේශයේ පමණයි. අඩු වශයෙන් ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වල හෝ එවැන්නක් සිදු වී තිබුණේ නැහැ. මේ වගේ අවස්ථාවක ගනුදෙනු සංස්කෘතියක ඉන්න මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අදාළ ප්‍රදේශයට භාණ්ඩ හා සේවා සැපයුම් වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කැලිෆෝනියා ප්‍රදේශයේ භාණ්ඩ හා සේවා සැපයුම් ඉහළ ගොස් මිල ගණන් ක්‍රමයෙන් අඩු වුනා. ඒ කියන්නේ රන් සහ ඩොලර් වල වටිනාකම නැවත ක්‍රමයෙන් ඉහළ ගියා කියන එක. 

මෙය සිදු වීමට සමාන්තරව කැලිෆෝනියා රත්තරන් ඇමරිකාව පුරා පැතිරී යාමද සිදු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් ලෙස ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් රන් බාල්දු වීමක් සිදු වෙනවා කියන එක. රන් බාල්දු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ඩොලරයද බාල්දු වෙනවා කියන එක. මොකද ඩොලරයක් කියන්නේ රන් අවුන්සයකින් 20.67කින් කොටසක වටිනාකම. වෙනත් විදිහකින් කිවුවොත්, කැලිෆෝනියා ප්‍රදේශයේ මෙන් අධි උද්ධමනයක් නොවුනත්, සමස්තයක් ලෙස ඇමරිකාවේම උද්ධමනයක් ඇති වෙනවා කියන එක. මොකද රන් සැපයුම, ඒ කියන්නේ මුදල් සැපයුම, වැඩි වූ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. මෙවැන්නක් සිදු වීම වැළකුණේ කොහොමද?

මේ දවස් වල ඇමරිකාව කාර්මීකරණය වී නැහැ. නමුත් යුරෝපය කාර්මීකරණය වෙලා. ඇමරිකාවට යුරෝපයෙන් කාර්මික භාණ්ඩ ආනයනය කළ හැකිව තිබුණේ මූලික කෘෂිකාර්මික නිෂ්පාදන, බොරතෙල් වැනි ස්වභාවික සම්පත් ආදිය අපනයනය කිරීම මගිනුයි. ඒ දේවල් නිපදවීම සඳහා සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වුනා. කාර්මීකරණය වී සිටි යුරෝපය වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදන කටයුතු සිදු කළා. ඒ නිසා, ඇමරිකාවට අසීරුවෙන් වෙළඳ හිඟය පියවා ගැනීමට සිදු වී තිබුණා.

රත්තරන් හමු වීමත් එක්ක මේ සියල්ල වෙනස් වුනා. රත්තරන් අපනයනය කිරීම මගින් ඇමරිකාවට අවශ්‍ය බොහොමයක් දේවල් යුරෝපයෙන් ගෙන්වා ගත හැකි වුනා. රත්තරන් කියන්නෙත් තවත් භාණ්ඩයක් සේ සැලකුවහොත් ඇත්තටම ඔය කාලයේ ඇමරිකාවේ වෙළඳ ශේෂය අතිරික්තයක්. නමුත් රත්තරන් තවත් භාණ්ඩයක් සේ නොසැලකෙන නිසා, රත්තරන් අපනයන වෙළඳ ගිණුමේ සටහන් වන්නේ නැහැ. එය සැලකෙන්නේ මුදල් පියවීමක් ලෙසයි. ඉතින් ඔය කාලයේ ඇත්තටම සිදු වුනේ ඇමරිකාව විසින් "මහ පොළොවෙන් එකතු කරගත්" ඩොලර් ගෙවා ආනයන සිදු කිරීමයි. 

මේ අර්ථකතනය නිවැරදි වන්නේ, පළමුව, කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම සඳහා යෙදවිය යුතු වූ ශ්‍රමය වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. විශේෂයෙන්ම අදාළ කාලයේදී ලෝකයේ වෙනත් ප්‍රදේශයකින් රන් ගොඩ ගැනීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට (පිරිවැයට) වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. දෙවනුව, රන් හා ඩොලර් (සහ ලෝකයේ අනෙකුත් බොහෝ මුදල් වර්ග) අතර වූ නිශ්චිත සම්බන්ධය නිසා රන් හා මුදල් යනු දෙකක් නොව එකක් වූ නිසා. ඉතිං මෙය කතාවට කියන සල්ලි ගස් වලින් කැඩීම වැනි දෙයක්!

පොළොවෙන් "නිකම්ම" ලැබෙන රත්තරන් පිටරට පැටවීම මගින් ඇමරිකාවට ඔය කාලයේදී තමන්ගේ අනෙකුත් භාණ්ඩ හා සේවා අපනයන වලට වඩා බෙහෙවින්ම වැඩි ආනයන ප්‍රමාණයක් සිදු කළ හැකි වුණා. ඒ මගින් පරිභෝජනය ඉහළ මට්ටමකට තබා ගත හැකි වුනා. ඒ වගේම ඉක්මණින් කාර්මීකරණය වීම සඳහා උදවු වෙමින් ප්‍රාග්ධන භාණ්ඩ විශාල ලෙස යුරෝපයෙන් ආනයනය කිරීමටද මෙය උදවුවක් වුනා.

වෙළඳ හිඟයක් තිබෙනවා කියන්නේ රට තුළ හුවමාරු වන භාණ්ඩ ප්‍රමාණය රට තුළ නිපදවන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට (වෙළඳ ගිණුම සමතුලිත තත්ත්වයට) සාපේක්ෂව රට තුල භාණ්ඩ සැපයුම වැඩි බවයි. මෙහි ප්‍රතිඵලය භාණ්ඩ මිල අඩු වී ඩොලරය ශක්තිමත් වීමයි. රන් සැපයුම වැඩි වීම වක්‍ර ලෙස ඩොලර් සැපයුමද වැඩි වීමක් වුවත්, වෙළඳ හිඟය පියවීම සඳහා ඩොලර් රටින් පිටතට යැවෙන බැවින් එය පාලනය වෙනවා. මේ කාලයේදී ඇමරිකාවෙන් හමු වූ රත්තරන් විශාල ලෙස යුරෝපයට (හා අනෙකුත් රටවලට) ගියා. ඇමරිකාවට විශාල ලෙස ආනයන භාණ්ඩ පැමිණුනා. ඒ සියල්ලේ මුල කැලිෆෝනියා රත්තරන් නිසා හිමි වූ ස්වභාවික වාසිය තිබුණා.

මේ කරුණ මා මේ තරම් විස්තර කරන්නේ ෆියට් මුදල් යුගයේදී සිදු වූ දෙයද මේ හා සංසන්දනය කළ හැකි නිසයි. පළමු යුගයේදී ඇමරිකාවට මුදල් ලැබුනේ ස්වභාවික වාසියක් නිසා. රත්තරන් වලට ලෝකයේ තිබුණු ඉල්ලුම මත පදනම් වූ වෙළඳපොළ වටිනාකමට සාපේක්ෂව එම රත්තරන් නිපදවීම සඳහා ඇමරිකාව විසින් පිරිවැයක් දැරිය යුතු වූයේ නැහැ. තුන් වන යුගයේදීද ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම මත වෙළඳපොළ වටිනාකමක් හැදී තිබුණා. නමුත් ඇමරිකාවට ඩොලර් "නිපදවීම' සඳහා පිරිවැයක් දරන්නට අවශ්‍ය නොවූ තරම්. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයක් නඩත්තු වුනා.

මෙයින් මා කිසිසේත්ම ඇමරිකානු ව්‍යවසායකත්වය වැනි දේ අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, ලෝකය පුරා රන් වලට විශාල ඉල්ලුමක් ඇති විට, කිසියම් රටක විශාල රන් නිධියක් හමු වී වෙළඳපොළ මිලට වඩා බෙහෙවින්ම අඩු පිරිවැයකින් රන් නිපදවිය හැකි වූ විට, ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ එවැනි රටකට විශාල වාසියක් අත් වීම පැහැදිලි කරුණක්. මැද පෙරදිග රටවල් අද ඔවුන් සිටින තැන සිටින්නේ තනිකරම මෙන් තෙල් නිසා ලැබී තිබෙන ස්වභාවික වාසියේ උදවුවෙන්. තෙල් නොවන්නට මේ රටවල් අදටත් ඉතා දුප්පත් රටවල්.

මහ පොළොවේ රත්තරන් නැති, පොළොව යට තෙල් නැති, ලෝකයේ උතුම් රටකට පෝසත් වීම ඔය තරමටම  ලේසි නැහැ. රන් සම්මත ක්‍රමය තුළ, රන් නොමැති රටකට වුවද වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් රන් එකතු කර ගත හැකිව තිබුණා. නමුත් එය ප්‍රායෝගිකව ලේසි වැඩක් වුනේ නැහැ. කාර්මීකරණය වී නොමැති රටකට තේ, රබර්, පොල් නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍යයි. එම මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා ආහාර පාන ඇතුළු තවත් බොහෝ දේ අවශ්‍යයි. ඒ සියල්ල නිපදවන අතරම අපනයනය සඳහා තේ, රබර්, පොල් නිපදවීම සඳහාද මිනිස් ශ්‍රමය යෙදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දේවල් ආනයනය කරන්නට සිදු වෙනවා. මෙම හුවමාරුව මගින් විශාල අතිරික්තයක් එකතු වන්නේ නැහැ. ඊට සාපේක්ෂව රන්, ඉන්ධන වැනි දෙයක් අපනයනය කරන රටක විශාල අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. එම අතිරික්ත ප්‍රාග්ධනයේ උදවුවෙන් රටකට ඉක්මණින් කාර්මීකරණ කඩ ඉම පැනගන්න පුළුවන්. 

කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම ඔය තරම්ම පහසුවෙන්ම කළ හැකි වූයේ වසර කිහිපයක් පමණක් බව මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැකියි. එය ඇත්ත. කාලයත් සමඟ මේ කටයුත්ත වඩා අපහසු හා පිරිවැය වැඩි කටයුත්තක් බවට පත් වුනා. එහෙත් අඩු වශයෙන් වසර විසිපහක් පමණ කාලයක් ඇමරිකාවට මේ වාසිය තිබුණා. 1870 පමණ වන තුරු ඇමරිකාව වෙළඳ හිඟයක් නඩත්තු කළේ කැලිෆෝනියා රත්තරන් වල උදවුවෙන්.

ඉන් පසු එළඹුණු දෙවන යුගයේදී කැලිෆෝනියා රත්තරන් ඉවර වුනා. මෙහිදී ඉවර වුනා කියන එකෙන් අදහස් වෙන්නේ දේශීය ඉල්ලුම සැපිරීමෙන් පසුව අපනයනය කළ හැකි ශුද්ධ රත්තරන් අතිරික්තයක් තව දුරටත් ඇමරිකාවේ නිෂ්පාදනය වුනේ නැහැ කියන එක. රත්තරන් ඉවර වුනත්, ඉන්ධන වැනි අනෙකුත් ස්වභාවික සම්පත් ඉවර වුනේ නැහැ. ඉන්ධන අතිරික්තය තවත් අවුරුදු සීයක් යන තුරුම ඇමරිකාවට ධනවත් වීමට උදවු කළා. රත්තරන් අවසන් වෙද්දී පළමු යුගය අවසන් වුනා වගේම දෙවන යුගය අවසන් වුනේ ඉන්ධන ඉවර වෙද්දී. දැන් නැවතත් ඇමරිකාවේ ඉන්ධන අතිරික්තයක් ඇති වීමෙන් පසුව, තුන්වන යුගයද අවසන් වෙමින් තිබෙනවා. ඇමරිකාවට ෆියට් මුදල් ක්‍රමය අවශ්‍ය වුනේ ඔය අතරමැදි කාලයේදීයි. පැවති ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය අවශ්‍ය වූයේත් ඔය අතරමැදි කාලයේදීයි. 

මතු සම්බන්ධයි. 

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

Saturday, April 3, 2021

සල්ලි බාල්දු වීමේ කතාව


සීනි සීරිස් එකට දවස් ගාණක් යට වුනානේ. අපි නැවතත් ඊට කලින් කතා කරපු අයිසෙක් නිවුටන්ගේ කාලයට යමු. නිවුටන් විසින් ඉදිරිපත් කරපු, දැනටත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, භෞතික විද්‍යා ප්‍රවාද ගොඩක් ප්‍රචලිතයිනේ. නිවුටන් මේ ප්‍රවාද ඉදිරිපත් කළේ පෙනෙන්න තිබෙන දේවල් දිහා වියුක්ත ලෙස බලලා. නිවුටන් කියා කියන්නේ ඒ කාලයේ හැටියට ගොඩක් හොඳින් වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම තිබුණු කෙනෙක්.

අයිසෙක් නිවුටන් 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ බව මම කිවුවනේ. ඔය කාලයේ එංගලන්තය මුහුණ දුන්න බරපතලම ප්‍රශ්නයක් වුනේ එංගලන්තයේ මුදල් ලෙස භාවිතා කළ රිදී කාසි වක්කඩ කැඩුවා වගේ රටින් පිටතට යන එක. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක නිවුටන් හමුවේ තිබුණු අභියෝගයක්.

මුදල් වල ඉතිහාසය දිහා බැලුවොත්, ආරම්භයේදී මුදල් කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලට වඩා ලොකු වෙනසක් නොතිබුණු දෙයක්. ආභරණ වැනි දේ හදන්න මිනිස්සු රන් හා රිදී භාවිතා කළා. එම ලෝහ වල මිල තීරණය වුනේ පුද්ගලයින්ට සාපේක්ෂව එක් එක් පුද්ගලයාගේ ප්‍රයෝජ්‍ය වටිනාකම් මත පදනම් වූ ඉල්ලුම හා ලෝහ කැණීම මත තීරණය වූ සැපයුම සමතුලිත වීමෙන්. වෙනත් පාරිභෝගික භාණ්ඩයක මිල තීරණය වන ආකාරයටම තමයි. මෙහිදී මිල කියා කියන්නේ හුවමාරු වටිනාකම. හුවමාරුව සිදුවෙන්නේ කුමක් සමඟ හෝ වෙන්න පුළුවන්.

රන් හා රිදී කාසි ලෙස, ආභරණ ලෙස වගේම වෙනත් විවිධ ස්වරූප වලින් තිබුණා. මොන විදිහට තිබුණත් වටිනාකම තීරණය වුනේ (බොහෝ දුරට) ලෝහ ප්‍රමාණය මත. කාසි උණු කරලා ආභරණත්, ආභරණ උණු කරලා කාසිත් හැදුවා. මිනිස්සු පාරිභෝගික භාණ්ඩ මේ කාසි සමඟත්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමඟත් හුවමාරු කළා. කාසි හදා තිබුණු ලෝහත් පාරිභෝගික භාණ්ඩම වූ නිසා ඔය දෙකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. 

පොල් අවාරෙට පොල් ගණන් යනවා වගේ, වාරකන් කාලෙට මාළු ගණන් යනවා වගේ රන් හා රිදී වල මිල ගණනුත් එකිනෙකින් ස්වායත්තව වෙනස් වුනා. හාල් පොල් මිල ගණන් වගේම මේ මිල ගණන් වෙනස් වීම්ද හැම තැනකම එකම අනුපාතයකින් සිදු වුනේ නැහැ. ඒ නිසා, සමහර රටවල රිදී වලට සාපේක්ෂව රන් මිල ඉහළ යද්දී තවත් රටවල එය ඒ විදිහටම වුනේ නැහැ. 

ලංකාවේ සීනි හදනවාට වඩා අඩු මිලකට ඉන්දියාවෙන් සීනි මිල දී ගන්න පුලුවන් නිසා ලංකාව ඉන්දියාවෙන් සීනි ආනයනය කරනවා වගේ එංගලන්තයේ රිදී මිල අඩු වූ නිසා වෙනත් රටවල්, විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය, එංගලන්තයෙන් රිදී ආනයනය කළා. එංගලන්තය රන් වලට හොඳ මිලක් ගෙවපු නිසා රන් එංගලන්තයට අපනයනය කළා. මේ දේවල් සිදු වුනේ ඉල්ලුම හා සැපයුම මත හා මා මගේ ජාත්‍යන්තර වෙළඳාම ගැන ලියද්දී විස්තර කළ සංසන්දනාත්මක වාසිය කියන සංකල්පයෙන් විස්තර කරන ආකාරය අනුවයි. හැබැයි ඔය ප්‍රවාද දෙකෙන් එකකවත් ඔය කාලය වෙද්දී ඉදිරිපත් වී තිබුණේ නැහැ. ඒවා ආවේ පස්සේ.

නිවුටන් වගේම ඊට කලින් හා පසුව සිටි තවත් බොහෝ අය දැනුම සොයනවා කියලා කළේ ලෝකයේ පෙනෙන්නට තිබෙන සිදුවීම් සිදුවන සාධාරණ නීති මොනවාද කියලා එළිදරවු කරගන්න උත්සාහ කරන එකයි. එහෙම කළේ අපි නොදන්නවා වුවත් එවැනි සාධාරණ නීති තිබෙනවා කියන පරම විශ්වාසයෙන්. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් විවිධ වස්තූන් උඩ සිට බිමට වැටෙන එක සාධාරණ ලෙස පැහැදිලි කළ හැකි වුනා. ඒ වෙද්දී භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයිති බොහෝ නිරීක්ෂණ මෙවැනි සාධාරණ නීති හෝ ප්‍රවාද ඇසුරෙන් සාර්ථකව පැහැදිලි කළ හැකිව තිබුණා.

නිවුටන් එංගලන්තයේ රිදී කාසි ප්‍රශ්නය විසඳන්න අත ගැහුවේත් මෙවැනි ප්‍රවේශයකින්. ඔහු රන් වලට සාපේක්ෂව රිදී වල නියම වටිනාකම හොයන්න උත්සාහ කළා. ස්ටර්ලින් පවුම් 4.25ක වටිනාකම රන් අවුන්සයක වටිනාකමට සමාන සේ ඔහු නිගමනය කළේ මේ ප්‍රවේශය අනුව අධ්‍යයනයක් කරලා. 

හැබැයි නිවුටන්ට මේ කටයුත්තේදීනම් වියුක්තව හිතලා වියුක්ත ප්‍රවාදයක් හදන්න බැරි වුනා. ඔහු පවුමක නියම වටිනාකම තීරණය කළේ යුරෝපයේ රටවල් දෙස බලා යුරෝපයේ මිල නියම මිල ලෙස සලකලා. ඒ වෙද්දී එංගලන්තය මුහුණ දුන් ආකාරයේ ප්‍රශ්නයකට යුරෝපය මුහුණ දී සිටියේ නැහැ. නිවුටන්ගේ යුරෝ කේන්ද්‍රීය දැක්ම නිසා ඔහුට ඉන්දියාවේ හා චීනයේ වෙළඳපොළ පරිමාවේ බලපෑම මග හැරුණා. අන්තිමේදී නිවුටන් විසින් තීරණය කළ මිල රිදී වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නෙමෙයි. ඒ නිසා, එංගලන්තයේ රිදී කාසි සියල්ලම වගේ රටින් පිටතට ඇදී ගොස් එංගලන්තයට රන් සම්මතයකට යන්න වුනා.

මේ වැඩෙන් එංගලන්තය අමාරුවේ වැටුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ එංගලන්තය විසින් තමන් වැටී සිටි වලෙන්ද දියමන්ති සොයා ගැනීමයි. එංගලන්තයේ වගේම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල මුදල් ලෙස භාවිතා වුනු රිදී රටෙන් පිටතට ඇදී ගිහින් මුදල් ලෙසද සැලකුනත් බොහෝ දුරට පාරිභෝගික භාණ්ඩයක් වූ රන් එංගලන්තයේ ගොඩ ගැහෙද්දී එංගලන්තය විසින් කළේ රිදී සම්මතය අත ඇරලා රන් සම්මතයකට යන එකයි. 

එංගලන්තය මේ වැඩේ සැලසුම් සහගතව නොකළා වෙන්න පුළුවන්. ඒ වන විට එංගලන්තය මුහුණ පා සිටි ගෙවුම් ශේෂ ප්‍රශ්නය හමුවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හිතාමතා කළ දෙයක් වුනත්, අහම්බයක් වුනත්, මේ වැඩෙන් එංගලන්තයට විශාල වාසියක් සිදු වුනා. 

එක පැත්තකින් ලෝකයේම තිබුණු රන් සංචිත එංගලන්තයට එකතු වෙද්දී අනෙක් පැත්තෙන් අළුතෙන් කැනෙන රන් ආකාර බොහොමයක් තිබුණේත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල රන් වලට වඩා රිදී ඉල්ලුමක් තියෙද්දී රන් සැපයුම පාලනය කිරීමේ ඒකාධිකාරය හරහා රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ යවන්න එංගලන්තයට හැකි වුනා. 

ඉතිහාසය පුරාම ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙකෙන් එකක් වූ චීනය දිගින් දිගටම රිදී සම්මතයේ හිටියා. අනෙක් විශාලම ආර්ථිකය වූ, ඒ වන විට බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබුණු, ඉන්දියාව තුළද රිදී වෙනුවට රන් ආදේශ කළ හැකි වුනේ නැහැ. මේ රටවල් වල ධනය තිබුණේ රිදී ලෙසයි. එංගලන්තය රන් වඩා වටිනා සේ සැලකූ නිසා ඉන්දියාවේ හා චීනයේ තිබුණු රත්තරන්ද එංගලන්තය වෙතම ඇදී ගියා. පසුකාලීනව අලුත් නිධි හමු වී ලෝකයේ රිදී සැපයුම ඉහළ යද්දී ඉන්දියාව හා චීනය රන් සම්මතයේ සිටි රට වලට සාපේක්ෂව දුප්පත් වී එංගලන්තය පෝසත් වුනා. ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් ඒකාධිකාරය බිඳෙන තුරු එංගලන්තයට පවුමේ වටිනාකම ඉහළින් තියා ගැනීම අසීරු වුනේ නැහැ.

නිවුටන් විසින් 1717දී හදපු එංගලන්තයේ රන් සම්මතය 1930 පමණ වන තුරු අවුරුදු දෙසීයකටත් වඩා කාලයක් පැවතුණා. මේ සම්මතය කැඩුනේ කේන්ස්ගේ අදහස් මත පදනම්වයි.

රන් සම්මතය තියෙද්දී රජයකට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සල්ලි එළියට දමන්නනම් සල්ලි වල වටිනාකමට රත්තරන් තිබිය යුතු වුනා. ඒ නිසා සල්ලි වල සැබෑ වටිනාකමක් තිබුණා. මේ කාලයේදී පෙනෙන්නට තිබුණු ආකාරය අනුව භාණ්ඩයක වටිනාකමේ මූලය වුනේ රත්තරන්. 

පළමුව, වෙළඳපොළේදී කිසියම් භාණ්ඩයක මිල ඩොලර්, පවුම් වගේ මුදල් ඒකකයකින් කියැවුනා. ඒ කියන්නේ පෙනෙන විදිහට භාණ්ඩයේ වටිනාකම එන්නේ මේ මුදල් ඒකක සමඟ හුවමාරුව සිදුවන ආකාරය මතයි. අනෙක් අතට මේ මුදල් ඒකක වල මිල තීරණය වුනේ රත්තරන් වලට සාපේක්ෂවයි. ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක වටිනාකමේ ප්‍රභවය රත්තරන්. 

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස සාධාරණ න්‍යායයක් හොයපු අයට වටිනාකම එන්නේ රත්තරන් වලින් කියන එක විකාරයක් වගේ පෙනෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. රත්තරන් වලට අනෙක් කිසිවකට නැති විශේෂ වටිනාකමක් ලැබෙන්න කිසිදු දාර්ශනික හේතුවක් නැහැ. ඒ නිසා රත්තරන් වෙනුවට වඩා යෝග්‍ය ආදේශකයක් ගැන හිතපු ඇඩම් ස්මිත් වගේ අය සියලු වටිනාකම් වල මූලය ඒ මත යොදවන මිනිස් ශ්‍රමය විය යුතුයි කියන අදහස කරා යොමුවුනා. 

කාල් මාක්ස් විසින් පසුව ඉදිරියට ගෙන ගියේ ඔහුගේ කාලය වෙද්දී තව දුරටත් වැඩි දියුණු වී තිබුණු, ශ්‍රමය මත පාදක වූ වටිනාකම් පිළිබඳ අදහසයි, ඔහු මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්, හේගල්ගේ දයලෙක්තිකය හා පරිණාමය පිළිබඳ සමකාලීනව වැඩි දියුණු වෙමින් තිබුණු අදහස් එකතු කරමින් මාක්ස්වාදය ඉදිරිපත් කළා. 

මේ ශ්‍රම න්‍යාය වටිනාකම් පිළිබඳව දැන් පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ අදහස් සමඟ පසුකාලීනව ප්‍රතික්ෂේප වුවත් මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ එය තවමත් ඉතිරිව තිබෙනවා. ශ්‍රම න්‍යාය බිඳ වැටෙද්දී ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහස් වලට හානියක් නොවූවත්, එය මාක්ස්වාදයේ පාදම වන බැවින් මාක්ස්වාදීන්ට ශ්‍රම න්‍යාය කෙතරම් අවලංගු එකක් වුවත් එය අත අරින්න පුළුවන්කමක් නැහැ. එහෙම කළොත් තවදුරටත් මාක්ස්වාදයක් කියා එකක් ඉතිරි වන්නේ නැහැ.

වටිනාකම් සාපේක්ෂ වුවත් ඒ සාපේක්ෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය වටිනාකම් මිසක් අහසෙන් කඩාපාත් වෙන දෙයක් නෙමෙයි. කෝවිඩ් එන්නතක වටිනාකම එකිනෙකාට සාපේක්ෂයි. එහෙත් ඒ වටිනාකමේ මූලය එන්නත මගින් කෝවිඩ් වලට එරෙහිව සපයන හෝ සපයනු ඇතැයි අපේක්ෂිත ආරක්ෂාවයි. එය ප්‍රයෝජ්‍ය වටිනාකමක්. එවැනි ප්‍රයෝජ්‍ය අගයක් නැත්නම් කෝවිඩ් එන්නතකින් වැඩක් නැහැ. 

රුපියල් පන්දාහේ නෝට්ටුවක ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒ වගේම ඩොලර් සීයේ නෝට්ටුවක වුවත් කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ ආකාරයේ ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම තනිකරම ආරෝපිත වටිනාකමක්. ඒ ආරෝපිත වටිනාකම මුදල් නෝට්ටුවකට ලැබෙන්නේ මුදල් නෝට්ටුව සමඟ හුවමාරු කර ලබා ගත හැකි භාණ්ඩ හෝ සේවා වල ප්‍රයෝජ්‍ය අගය මතයි. 

නිව්ටන්ගේ රන් සම්මතයේ සිට වසර 213කට පසුවත් බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රන් අවුන්සයකින් 4.25කින් පංගුවක් සේ පැවතුණා. මේ අනුපාතය ඉන්දියාවේ හා ලංකාවේ රුපියල් වල වටිනාකමද තීරණය කළා. එය සම්මත නිශ්චිත වටිනාකමක්. 

පළමු ලෝක යුද්ධයේ වියදම් වල බරට 1929 ආර්ථික අවපාතයේ බර එකතු වීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයට අයවැය තුලනය කර ගන්න බැරි වුනා. එංගලන්තය විසින් ඇමරිකාවෙන් යුද්ධය වෙනුවෙන් ගත් ණය පියවිය යුතුව තිබුණා. ඒ සල්ලි අය කර ගත යුතුව තිබුණේ ප්‍රංශයෙන්. ප්‍රංශය ණය අය කර ගත යුතුව තිබුණේ ජර්මනියෙන්. නමුත් ජර්මනිය යුද්ධයෙන් පසුව බංකොලොත් වෙලා. 1931 සැප්තැම්බර් 21 වනදා බ්‍රිතාන්‍ය රජය විසින් නිවුටන්ගේ කාලයේ සිට පැවති රන් සම්මතය බිඳිමින් රන් ප්‍රමාණයේ වටිනාකම ඉක්මවා සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගත්තා. 

බ්‍රිතාන්‍යය තමන් සතු වූ රන් ප්‍රමාණයට වඩා පවුම් අච්චු ගසා එළියට දැමීම නිසා රන් වලට සාපේක්ෂව පවුමක වටිනාකම අඩු වුනා. ඒ කියන්නේ පවුම බාල්දු වුනා. කලින් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් වුනා. කලින් පවුම් 4.25ක් වූ රන් අවුන්සය පවුම් 5.60ක් වුනා. ඒ කියන්නේ පවුමක රන් වටිනාකම අවුන්සයකින් 4.25කින් කොටසක සිට අවුන්සයකින් 5.60කින් කොටසක් දක්වා අඩු වුනා. ඇමරිකන් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් දක්වා අඩු වුනා. 

පවුම අවප්‍රමාණය කිරීම නිසා බ්‍රිතාන්‍යය නිපදවන බඩු ඇමරිකන් බඩු වලට වඩා ලාබ වී ඇමරිකාවේ අපනයන තරඟකාරීත්වය අඩු වුනා. මේ නිසා ඇමරිකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වුනා. මා කලින් ලිපියක විස්තර කළ "රත්තරන් මංකොල්ලය" කරන්නට ඇමරිකානු රජයට සිදුවුනේ මේ තත්ත්වයට පිළියමක් ලෙසයි. 

"රන් මංකොල්ලයෙන්" පසුව, කලින් ඇමරිකන් ඩොලර් 20.67කට සමාන වූ රන් අවුන්සය ඇමරිකන් ඩොලර් 35ක් වුනා. එයට අනුරූපව ඇමරිකන් ඩොලරය පිරිහුණා. පවුමක අගය නැවතත් ඇමරිකන් ඩොලර් 5 ඉක්මවා ඉහළ ගියා. ඇමරිකානු තරඟකාරීත්වය නැවතත් ඇති වුනා. ඇමරිකාව විසින් පවත්වාගත් වෙළඳ ශේෂ අතිරික්තය හරහා වසරින් වසර රන් සංචිත ගොඩ ගැහෙද්දී කාලයක් ලෝක ආධිපත්‍යය දැරූ පවුමට තිබුණු තැන ටිකෙන් ටික පිරිහී ඇමරිකන් ඩොලරය ඒ තැනට එන්න පටන් ගත්තා.

දෙවන ලෝක යුද්ධය ආසන්න කාලය වන විට ඇමරිකන් ඩොලරය පවුමකට ඩොලර් 4.03 මට්ටමට එන තුරු  පවුම පිරිහිලා තිබුණා. ලංකාවට නිදහස ලැබෙන කොටත් ඇමරිකන් ඩොලරයක් ස්ටර්ලින් පවුම් 4.03ක්. එහෙත් බ්‍රිතාන්‍යය තවදුරටත් ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණු දෙමින් සිටියා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ ලොකු කෑල්ලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවුනාට පස්සේ. 1949 සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රිතාන්‍යයට පවුම 30%කින් පමණ අවප්‍රමාණය කරන්න වුනා. ඉන් පසුව පවුමක් ඇමරිකන් ඩොලර් 2.80 වුනා.

බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමාණය වන වාරයක් පාසා ලංකාවේ රුපියලද අවප්‍රමාණය වුනා. ජාත්‍යන්තර ආදායම් බොහොමයක් බ්‍රිතාන්‍ය පවුම් වලින් ඉපැයූ ලංකාවට එසේ නොකර රටේ අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්න බැරි වුනා. 1949දී පවුම හා රුපියල අවප්‍රමාණය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවද්දී, ඇමරිකන් ඩොලරයක් රුපියල් 4.76යි.

වසර 18ක් පමණ ඔය තත්ත්වය ඔය විදිහට තිබුණා. බ්‍රිතාන්‍ය පවුම ඔය මට්ටමේ වුවත් දිගටම තියා ගන්න පහසු වුනේ නැහැ. 1967 නොවැම්බර් 18 වනදා බ්‍රිතාන්‍යය විසින් නැවතත් පවුම අවප්‍රමාණය කළා. ඩොලර් 2.80ක් වූ පවුම ඩොලර් 2.40ට බැස්සා. 

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවත් රුපියල බ්‍රිතාන්‍ය පවුමෙන් නිදහස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පවුමට කිඹුහුමක් යන වාරයක් පාසා රුපියලට හෙම්බිරිස්සාව හැදුනා. පවුම 14%කින් අවප්‍රමාණය කරලා දවස් හතරකට පස්සේ 1967 නොවැම්බර් 22 වෙනිදා රුපියල 20%කින් අවප්‍රමාණය කෙරුණා. මේ අනුව එතෙක් රුපියල් 13.33ක් වූ පවුම රුපියල් 14.28ක් වෙද්දී ඇමරිකන් ඩොලරය රුපියල් 5.95ක් වුනා.

ඇමරිකන් ඩොලරයකට තව දුරටත් රන් අවුන්ස 1/35ක වටිනාකමක් තිබුණා. එහෙත් කලින් බ්‍රිතාන්‍ය පවුම් 12.5කට මිල දී ගත හැකිව තිබුණු රන් අවුන්සයක් මිල දී ගන්න අවශ්‍ය පවුම් ප්‍රමාණය 14.59 දක්වා ඉහළ ගියා. රන් ග්‍රේන්ස් 2.88ක හෙවත් රන් අවුන්ස 0.006ක වටිනාකමක් තිබුණු රුපියල රන් අවුන්ස 0.0048 දක්වා පහත වැටුනා. වෙනත් විදිහකින් කිවුවොත් රන් අවුන්සයක මිල රුපියල් 208 දක්වා ඉහළ ගියා. 

නිදහස ලැබූ තැන් සිට රුපියල රන් වලට, ඩොලරයට වගේම පවුමටද සාපේක්ෂව යම් තරමකින් බාල්දු වී තිබුණත් මේ වන විටද රන් සම්මතයක් තව දුරටත් එසේම තිබුණා. 1971 අගෝස්තු 15 වනදා ඇමරිකාව විසින් රන් සම්මතය අත හරින විටත් ඇමරිකන් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් නිල වශයෙන් රුපියල් 208යි. ඉතිරි හැම දෙයක්ම සිදු වී අද තිබෙන තැනට රුපියල වැටුනේ ඉන්පසු ගෙවුණු වසර පණහකට යාන්තමින් අඩු කාලය තුළයි.

Friday, March 12, 2021

අයිසෙක් නිවුටන්ගේ විණිමය අනුපාතය


කියවන අය අතරේ අයිසෙක් නිවුටන් කියන නම අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ? කමක් නෑ. මමම කියන්නම් කවුද කියලා. අයිසෙක් නිවුටන් කියන්නේ 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ පුද්ගලයා.

පුරප්පාඩු වූ තනතුරට අයදුම් කරන අයිසෙක් නිවුටන් 1696 අප්‍රේල් මාසයේදී රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙනවා. ඒ වෙද්දී ඔහු "ස්වභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම" කියලා පොතක් එහෙම ලියලා ටිකක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. 

අයිසෙක් නිවුටන් රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පස්සේ රෝයල් මින්ට් එකේ මාස්ටර් විදිහට සේවය කළ පුද්ගලයා මිය ගිහින් එම තනතුර පුරප්පාඩු වෙනවා. මාස්ටර් තනතුර වෝඩන් තනතුරට වඩා පහළ තනතුරක්. හැබැයි රජය වෙනුවෙන් කාසි ටන්කනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඔය මාස්ටර් තනතුරේ ඉන්න පුද්ගලයාටයි. ඒ නිසා, කාසි ටන්කනය කරන අයට උප-කොන්ත්‍රාත්තු දීලා කොමිස් විදිහට හොඳ ආදායමක් ලබන්න පුළුවන්කම තිබෙන රස්සාවක්. 1699 නත්තල් දවසේ නිවුටන් වෝඩන් කමෙන් අයින් වෙලා මාස්ටර් විදිහට වැඩ භාර ගත්තා. ඉන් පසු මැරෙන තුරුම ඔය තනතුර අත ඇරියේ නැහැ.

කොමිස් ගන්නවා කිවුවට මේ කිවුවේ තනතුර දරන පුද්ගලයාට නිල වශයෙන්ම ලැබුණු කොමිස් මුදල් ගැන. එහෙම නැතුව හොරට කොමිස් ගහපුවා නෙමෙයි. නිවුටන්ව සැලකෙන්නේ ඉතා අවංකව සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් හැටියටයි. වරක් පවුම් පන්දහසක අල්ලසක්ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙනවා. 

මොන නම භාවිතා කළත් ඔය කාලයේ ලෝකයේ තිබුණේ ප්‍රධාන මුදල් ඒකක දෙකයි. එකක් රත්තරන්. අනෙක් එක රිදී. අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රත්තරන් හෝ රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. මේ විදිහට රත්තරන් හා රිදී වල සාපේක්ෂ වටිනාකම් එකිනෙකින් ස්වායත්තව වෙනස් වෙද්දී  රත්තරන් හා රිදී යොදා හදා තිබුණු මුදල් වල සාපේක්ෂ හුවමාරු අගයන්ද නිදහසේ තීරණය වුනා. 

මුලින්ම එංගලන්තයේ ස්ටර්ලින් රිදී කාසි ටන්කනය කළේ කාසි 240ක බර රාත්තලක් වන විදිහටයි. මේ රාත්තල දැන් රාත්තලකින් 80%ක් පමණ බර රාත්තලක්. සිලිමක් වුනේ ඔය කාසි 12ක බරක්. එතකොට සිලිම් 20ක් රාත්තලක් බරයි. ඔය රාත්තලකට අවුන්ස 12ක් තිබුණා. ඒ කියන්නේ අවුන්සයක බරක් කියන්නේ රිදී කාසි 20ක බරක්. මේ ස්ටර්ලින් කාසි තමයි පසුව පැන්ස කාසි වුනේ.

දැන් මට්ටමට නැති වුනත් සල්ලි බාල්දු කරන වැඩේ දිගින් දිගටම සිදු වුනු වැඩක්. මේ වැඩෙන් රජයට බදු නොගහා බදු ගහන්න පුළුවන් වුනා. මුලින්ම සල්ලි බාල්දු කරන එක කියලා කළේ රිදී වලට ටික ටික තඹ කලවම් කරන එක. ඔහොම ගිහින් දාහත්වන සියවස පටන් ගනිද්දී පැන්ස කාසි රාත්තලක බර හැදුනේ රිදී අවුන්ස හතරක (තුනෙන් එකක) හා තඹ අවුන්ස අටක (තුනෙන් දෙකක) කලවමකින්.

සල්ලි බාල්දු කළාම එක පාරට මිනිස්සු රැවටෙනවා. මේ වැඩේ ටික ටික මිසක් එක පාරට කරන්නේ නැහැනේ. මුලින්ම රිදී වලට තඹ යාන්තමින් කලවම් කරනවා. පස්සේ ටිකෙන් ටික රිදී අඩු කරලා තඹ අනුපාතය වැඩි කරනවා. වෙනසක් වුනා කියා එක පාරට තේරෙන්නේ නැහැ. එහෙත් රිදී කාසියක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ට දැන් රිදී වෙනුවට ලැබෙන්නේ තඹ කලවමක්.

එක පාරට තේරුණේ නැතත් කාලයක් යද්දී තමන්ට ලැබෙන කාසි වල හිතපු තරම් වටිනාකමක් නැති බව මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා. එතකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා. පැන්සයකට විකුණපු තමන්ගේ නිෂ්පාදන වලට පැන්ස දෙකක් ඉල්ලන්න ගන්නවා. ඔන්න උද්ධමනය. 

රජය රිදී වලට තඹ කලවම් කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා නොතේරෙන්න බද්දක් ගහන්නනේ. එහෙම නැත්නම් අඩු රිදී ප්‍රමාණයක් ගෙවලා වැඩි ශ්‍රමයක් මිල දී ගන්න. මිනිස්සු ඕක තේරුම් අරගෙන වැඩි පඩි ඉල්ලන කොට සල්ලි බාල්දු කරපු එකේ වාසිය නැතුව යනවා. එතකොට සල්ලි තවත් බාල්දු කරන්න වෙනවා. මිනිස්සුන්ට වටින්නේ කාසියක තිබෙන රිදී ප්‍රමාණය මිසක් එහි මුළු බර නොවන බව පැහැදිලි වුණාම තුනෙන් එකක් රිදී තිබෙන කාසියක් වෙනුවට එම බරෙන් තුනෙන් එකක තනි රිදී කාසියක් ආදේශ වෙනවා. කලවම් කාසියේ රිදී තියෙන්නේ තුනෙන් පංගුවක් පමණක් බව දැනගත්තට පස්සේ මිනිස්සුන්ට ඔය දෙකේ වෙනසක් නැති නිසා තඹ කලවම් කරන එකේ තේරුමක් නැහැ. බර අඩු රිදී කාසියක්ම දෙන්න පුළුවන්.

දාහත්වන සියවස පටන් ගනිද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් රිදී සිලින් කාසි 60ක් කැපුවා. නමුත් ඒ වෙද්දීත් පවුම සිලිං 20යි. ස්ටර්ලින් වල පසුකාලීන වර්ෂන් එක වූ පැන්ස 240යි. ඒ කියන්නේ ඒ වෙද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී සමාන වෙන්නේ පැන්ස 720ක තිබෙන රිදී වලට. සල්ලි වල වටිනාකම මුල් වටිනාකමෙන් 1/3ක් දක්වා බාල්දු වෙලා. එහෙමත් නැත්නම් බඩු මිල තුන් ගුණයකින් වැඩි වෙලා. 

දාහත් වන සියවස මුලදී එංගලන්තයේ සල්ලි තවත් බාල්දු වෙනවා. ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් කපන සිලින් කාසි ගණන 62 දක්වා වැඩි කෙරෙනවා. අයිසෙක් නිවුටන්ගේ ප්‍රසිද්ධ වාර්තාව ඉදිරිපත් කෙරුණු 1717 සැප්තැම්බර් 21 දින වෙද්දී තිබුණේ ඔය රාත්තලට සිලින් හැට දෙකේ රිදී සම්මතය. රිදී කිවුවට තනි රිදීමත් නෙමෙයි. කොටස් 120කින් කොටස් 111ක් රිදී හා ඉතිරිය වැඩි වටිනාකමක් නොතිබුණු වෙනත් ලෝහයක් වූ කලවමක්.

ඔය දවස් වල එංගලන්තයේ රන් කාසිත් නිකුත් වී තිබුණා. රන් පවුමේ මුල් ස්වරූපය වූ ගිනි කාසිය එවැන්නක්. දැනටත් ලංකාවේ ඉතිරි වී තිබෙන ගිනි කනවා, ගිනි ගණන් වගේ යෙදුම් වල සම්භවය ඔය ගිනි කාසිය. ගිනි කාසි ටන්කනය කර තිබුණේ කැරට් විසි දෙකේ රත්තරන් රාත්තලක් ගිනි කාසි 44.5ක බරට සමාන වෙන විදිහටයි. කැරට් විසි දෙකේ කියා කියන්නේ කොටස් 22/24ක් රත්තරන්. ඉතිරි 2/24 රිදී.

අපි හිතමු රත්තරන් ගිනි කාසියක වටිනාකම රිදී සිලිං කාසි 20කට සමානයි කියලා. දැන් අපිට මේ සමානතාවය යොදාගෙන රන් හා රිදී අතර විණිමය අනුපාතිකය හොයා ගන්න පුළුවන්. නිවුටන් ගණන් හදලා පෙන්නපු විදිහට එංගලන්තයේ රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57කට පමණ සමාන වුනා. 

"I humbly represent, that a pound weight Troy of Gold eleven ounces fine and one ounce allay is cut into 44½ Guineas, and a pound weight of Silver eleven ounces two penny weight fine & eighteen penny weight allay is cut into 62 Shillings. And according to this rate, a pound weight of fine gold is worth Fifteen pounds weight six ounces seventeen penny weight & five grains of fine silver..."

මුදල් විදිහට රන් කාසි හා රිදී කාසි භාවිතා කළේ එංගලන්තයේ පමණක් නෙමෙයි. අනෙක් රට වලත් රන් වලින් හදපු කාසි හා රිදී වලින් හදපු කාසි භාවිතා වුනා. ඒ අනුව, රන් හා රිදී වටිනාකම් අතර කිසියම් අනුපාතයක් තිබුණා. කාසි තිබුනේ එක වර්ගයකින් පමණක් වුනත් එම කාසි එක්ක අනෙක් ලෝහය හුවමාරු වන අනුපාතයක් තිබුණා. හැබැයි මේ අනුපාතය රටින් රටට වෙනස් වුනා.

අයිසෙක් නිවුටන්ගේ වාර්තාවේ තිබෙන තොරතුරු අනුව, චීනයේ හා ජපානයේ රත්තරන් රාත්තලක් හුවමාරු වුනේ රිදී රාත්තල් නවයකට හෝ දහයකට. නැගෙනහිර ඉන්දියාවේ රිදී රාත්තල් දොළහකට. ප්‍රංශයේ රිදී රාත්තල් පහළොවකට. ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ රිදී රාත්තල් දහසයකට.

යුරෝපයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් කිහිපයක් ඇරුනහම ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව  එංගලන්තයේ රත්තරන් වල රිදී මිල ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, එංගලන්තයෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් හැම වෙලාවෙම වගේ ගෙවුවේ රත්තරන් වලින්. රත්තරන් රාත්තලක බඩු වලට රිදී රාත්තල් 15.57ක් ගෙවන්න වෙනවනේ. ඉන්දියාව, චීනය වගේ ආසියාතික රටවල රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57ක වටිනාකමට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා රත්තරන් වලින් ගෙවන එක ලාබයි. රිදී වලින් ගෙවන එක වාසියි. 

අනෙක් අතට එංගලන්තයට භාණ්ඩ අපනයනය කරද්දී චීනය වගේ රටවල් රත්තරන් බාර නොගෙන රිදී වලින්ම ගෙවන්න කියලා ඉල්ලුවා. මේ නිසා එංගලන්තයේ රිදී දිගින් දිගටම එළියට ගිහින් රිදී හිඟයක් ඇති වුනා. එංගලන්තයට චීනය ඉන්දියාව වගේ රටවලින් බඩු ගන්න එක ප්‍රශ්නයක් වුනා. නිවුටන්ට විසඳන්න වුනේ මේ බැරෑරුම් ප්‍රශ්නය.

නිවුටන්ගේ විසඳුම වුනේ පවුම (සිලිං විස්ස) අවප්‍රමාණය කිරීම. මේ යෝජනාව ක්‍රියාත්මක වුනා. ඒ අනුව, ගිනි එකක් සිලිං 21 කට සමාන කරමින් රන් හා රිදී අතර විණිමය අනුපාතය වෙනස් කෙරුණා. මේ අනුපාතයට රන් අවුන්සයක මිල පවුම් 4.25 ක් බවට පත් වුනා.

නිවුටන් කොයි තරම් ගණන් කාරයෙක් වුනත් විණිමය අනුපාතය සකස් කිරීම මගින් රටේ තිබුණු රිදී කාසි රටෙන් පිටවෙන එක වලක්වාගන්නනම් බැරි වුනා. ගණන් කාරයෙක් කියා කිවුවට නිවුටන් කියා කියන්නේ කොටස් ආයෝජන කරන්න ගිහින් අන්තිම කාලයේදී සේසතම නැති කර ගත්ත මනුස්සයෙක්නේ. ඒ වගේම සම්ප්‍රදායික දැනුම් පිළිබඳව හැදෑරීම සඳහා රහසිගතව විශාල කාලයක් වැය කරපු කෙනෙක්. 

නිවුටන් විණිමය අනුපාතය හැදුවේ යුරෝපය සමඟ කරන වෙළඳාමට ගැලපෙන විදිහටයි. ආසියාතික රටවල් සමඟ කරන වෙළඳාමට ඔහු තිබ්බේ ඉතා අඩු බරක්. විණිමය අනුපාතයේ තවදුරටත් තිබුණු විශාල අසමතුලිතතාවය නිසා නිවුටන්ගේ රන් සම්මතයෙන් පස්සේ සිදු වුනේ එංගලන්තයේ රිදී කාසි ඔක්කොම වගේ රටෙන් පිටතට ඇදී යාමයි. එයින් පස්සේ එංගලන්තය කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රිදී සම්මතය බිඳ වැටිලා රන් සම්මතයකට යන්න වුනා. නිවුටන්ගේ අවුන්සයට පවුම් 4.25 රන් සම්මතයනම් කාලයක්ම වෙනස් නොවී තිබුණා.

එංගලන්තයෙන් එළියට ගිය රිදී කාසි ඉන්දියාවේ ගොඩ ගැහුනා. ඉන්දියාවේ රත්තරන් එංගලන්තට ගියා. එංගලන්තය රන් කාසි වලට මාරු වෙද්දී ඉන්දියාවේ ජනප්‍රිය වී තිබුණේ රිදී කාසි. ලංකාවේ මුලින් භාවිතා වුනේත් මේ ඉන්දියානු රිදී කාසි. මුලින් පවුමක වටිනාකමට හදපු ගිනි එකක් සිලිං 21 කරලා කාලෙකට පස්සේ එංගලන්තය සිලිං 20ක් වටින පවුමේ රන් කාසි නිකුත් කළා. මේ පවුමේ කාසියක රත්තරන් ප්‍රමාණය ගිනි එකක ප්‍රමාණයෙන් 20/21ක්. ලංකාවේ රත්තරන් පවුම් කියා කියන්නේ ඔය කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය. නිවුටන්ගේ වාර්තාවේ යෝජනා කරපු විදිහටම ඔය රන් පවුම් 4.25ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.

යුරෝපයට සාපේක්ෂව ආසියානු රටවල රිදී වල රන් වටිනාකම ඉහළ මට්ටමක තිබුණා. ඉන්දියානුවන් රිදී කාසි අත ඇරලා රන් කාසි ලබා ගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ වගේම ඉන්දියාව හරහා ලංකාවෙත් වැඩිපුර ජනප්‍රිය වෙලා තිබුණේ රිදී කාසි. ලංකාවේද භාවිතා වූ ඉන්දියානු රුපියලක් මුලදී සිලිං දෙකක වටිනාකමක් ඇති සේ සැලකුණා. එංගලන්තයේ සිලිං විස්සක් පවුමකට සමාන සේ සැලකුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් දහයක් වුනා.

නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් ලංකාවට එන්න වසර දෙක තුනකට කලින් රිදී මිල විශාල ලෙස පහළ ගිහින් ඉන්දියානු රුපියල් වල සැබෑ වටිනාකම පහත වැටුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වගේම ලංකාවේත් රත්තරන් වල වෙළඳපොළ මිල කාසි වල නාමික අගයට වඩා ගොඩක් ඉහළ ගියා. නෙලී බ්ලයිට ඇගේ ඩොලර් විස්සේ රත්තරන් කෑල්ල එහි නාමික මිලට වඩා වැඩි මිලකට කොටුවේදී මාරු කරන්න පුළුවන් වී තිබෙන්නේ ඒ නිසයි. හරියට අද වෙනවා වගේ.

පහතින් තියෙන්නේ මේ වියුණුව පටන් ගත් දිනට පසු දින පළ කළ ලිපියක්. නිවුටන් ගැන සමහර දේවල් එම ලිපියේ තිබෙනවා. වියුණුවේ පළ වූ තෙවන ලිපිය. නමුත් නිවුටන් ගැන වැඩිපුර කතා නොවන ඇතැම් සුවිශේෂී දේවල් මේ ලිපියේ වගේම ඒ ලිපියේත් නැහැ. 

"එල්ලෙන සියල්ල රඹුටන් නොවේ."

ඒ දවස් වල අපේ වියුණුව කියෙවුවේ දහ පහළොස් දෙනෙක් වගේ ඉතාම සුළු පිරිසක් පමණයි. දැන් ආපසු හැරී බැලුවත් පෙනෙන්නේ ලියන්න පටන් ගත් විදිහ හා අවුරුදු හයකට ආසන්න මෙතෙක් ආ මග නරක නැති බවයි. 

ප්‍රධාන වශයෙන්ම පාඨක පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ලියූවක් වුවත් ඉහත ලිපියේ මම මෙහෙම ලියා තිබෙනවා.

"ඔය කියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්‍රිනිටි කොලිජියේ දීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්‍යාව මැනවින් හදාරා තිබුණේය. ඒ නිසා, තවත් අලුත් භෞතික විද්‍යා නියමයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්‍යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි."

ඇත්තමට කියනවානම් ඒ දවස් වල නිවුටන්ට ගණිතය සහ භෞතික විද්‍යාව වගේ විෂයයක් මිසක් ආර්ථික විද්‍යාව හදාරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද අර්ථයෙන් එහෙම විෂයයක් ඒ කාලයේ තිබුණේ නැහැ. නිවුටන් ආර්ථික විද්‍යා සංකල්ප තේරුම් ගත්තේ භෞතික විද්‍යා න්‍යාය ඇසුරෙන්. මෙය ලෝක ඉතිහාසයේ නිවුටන්ට පසු කොටස විශාල ලෙස වෙනස් කළා. ඒ අර්ථයෙන් බැලුවොත් අයිසෙක් නිවුටන් කියන්නේ ලෝකයම වෙනස් කළ කෙනෙක්. කවුරුවත් සාකච්ඡා කර තිබෙන බවක් මා දන්නේ නැතත් කාල් මාක්ස් වගේම ඇඩම් ස්මිත් විසින් පසුකාලීනව වටිනාකම් න්‍යාය හදන්නේ නිවුටන්ගේ රන් වටිනාකම් න්‍යායේ ආභාෂය ලබමින්.

නිවුටන් රාජකීය ටන්කනාගාරයේ රස්සාව කරන අතර ගෙදර ගිහින් හවසට ඇල්කෙමි පරීක්ෂණ කරද්දී ජෝන් ලොක් ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන අදහස් ලියා පළ කළා. පසුව ඇඩම් ස්මිත් විසින් නිවුටන්ගේ ආභාෂය ලබන අතරම ජෝන් ලොක්ගේ අදහස් වර්ධනය කළා. එහෙත් කාල් මාක්ස් ඔවුන්ව නොසලකා හරිමින් භෞතික විද්‍යාව පස්සේම නොන්ඩි ගගහා ගියා. ඔහු වඩා වැදගත් සේ සැලකුවේ හේගල්ගේ දර්ශනවාදය හා මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්.

වෙබ් ලිපිනය: