වෙබ් ලිපිනය:

Showing posts with label මැතිවරණ. Show all posts
Showing posts with label මැතිවරණ. Show all posts

Monday, January 1, 2024

මේ අවුරුද්ද කොහොම වෙයිද?


ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ලිපිය පටන් ගනිමු. 

පසුගිය වසරේ පළමු ලිපිය ලෙස පළ කර තිබෙන්නේ යූටියුබ් වීඩියෝවක්. එහි පැහැදිලි කර තිබෙන්නේ වසර තුළ උද්ධමනය අඩු වන විදිහ. පසුගිය වසර ආරම්භ වන විට තිබුණු ලොකුම ප්‍රශ්නය එයයි. 2022 වසර අවසන් වුනේ උද්ධමනය 57.2% ලෙස සටහන් කරමින්. මේ වගේ ඉහළ මට්ටමක තිබුණු උද්ධමනය වසර මැද වන විට, විශේෂයෙන්ම දෙවන කාර්තුව තුළ, විශාල ලෙස අඩු වන ආකාරය අප විසින් එම වීඩියෝවෙන් පැහැදිලි කළා. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් පිළිගන්න මැලි වුනත්, එය එලෙසම සිදු වුනා. 2023 වසර අවසන් වුනේ උද්ධමනය 4.0% ලෙස සටහන් කරමින්.

උද්ධමනයේ හැසිරීම ගැන අප විසින් මෙවැනි නිවැරදි පැහැදිලි කිරීම් කළේ උද්ධමනය එහි උපරිම මට්ටමට ආසන්න වෙමින් තිබුණු 2022 වසර මැද සිටයි. මේ අයුරින්ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රටේ බැංකු පද්ධතිය කඩා නොවැටෙන බවත්, විණිමය අනුපාතය නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ නොයන බවත් අප විසින් කරුණු සහිතව පෙන්වා දුන්නා. ඒ දේවල් ඒ විදිහටම සිදු වුනා. අප මේ දේවල් පෙන්වා දුන්නේ ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත පදනම්ව මිස මේ දේවල් මෙසේ සිදු වන බව කීමේ දේශපාලනික බලපෑම් ගැන සලකමින් නෙමෙයි. 

දේශපාලනය පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ආර්ථික ස්ථායීතාවය හා අදාළව ගෙවුණු වසර සුවිශේෂී වසරක්. එම වසර විශාල ආර්ථික අර්බුදයකින් පසුව, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගැනීම මගින් අළු ගසා නැගී සිටි වසරක් ලෙස හදුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් වන තැන දක්වා තල්ලු කළ නිදන්ගත රෝග දෙක වුනේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම සහ රටේ විදේශ විණිමය වැය විදේශ විණිමය ලැබීම් වලට වඩා වැඩි වීමයි. මේ ප්‍රශ්න දෙක රජයේ ප්‍රාථමික අයවැය හිඟයෙන් සහ රටේ ජංගම ගිණුමේ හිඟයෙන් නිරූපණය වෙනවා.

ප්‍රාථමික අයවැය හිඟයක් පැවතීම සහ ජංගම ගිණුමේ හිඟයක් පැවතීම 1956න් පසු ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වයයි. 1955 වසරෙන් පසු, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනු ලැබුවේ 1992, 2017 හා 2018 වසර තුන තුළ පමණයි. එහෙත්, එම වසර වල ජංගම ගිණුමේ තිබුණේ හිඟයක්. එමෙන්ම, 1956 වසරෙන් පසුව, ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණේ 1965 හා 1977 වසර දෙකේදී පමණයි. එහෙත්, එම දෙවසර තුළ ප්‍රාථමික අයවැය ශේෂය හිඟයක්ව පැවතුණා. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ 1950 වසරෙන් පසුව, මෙම ගිණුම් දෙකේම අතිරික්තයක් තිබී ඇත්තේ 1954 හා 1955 වසර දෙකේදී පමණයි. 

ඉන් පසුව පළමු වරට 2023 පළමු මාස නවය තුළ එක වර ප්‍රාථමික අයවැය ගිණුමේ මෙන්ම ජංගම ගිණුමේද අතිරික්ත වාර්තා වී තිබෙන අතර වසර අවසානය වන විටද මෙම තත්ත්වයන් මෙලෙස පවත්වා ගැනීමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, 2023 වසර සාර්ව ආර්ථික ස්ථායීතාවය අතින් 1955න් පසුව හොඳම වසරයි.

කෙසේ වුවද, ස්ථායීතාවය යනු සාර්ව ආර්ථික ඉලක්ක වල ප්‍රමුඛතා දෙකකින් එකක් පමණයි. ස්ථායීතාවය තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් වැදගත් වන්නේ ආර්ථික වර්ධනයයි. වසරේ දෙවන අර්ධය තුළ ආර්ථික වර්ධනයක් සටහන් වනු ඇති නමුත් ගෙවුණු 2023 වසර සමස්තයක් ලෙස සටහන් වනු ඇත්තේ ආර්ථිකය හැකිළුණු වසරක් ලෙසයි. ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, මෙසේ හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය කර ගැනීම 2024 වසරේ ප්‍රධාන ආර්ථික අභියෝගයයි. 

අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉහළ දමා ඇති බදු හමුවේ වුවද මෙම 2024 වසර තුළ ලංකාවේ ආර්ථිකය යම් තරමකින් වර්ධනය වනු ඇති බවයි. එහෙත්, ඉහළ බදු වල බලපෑම නිසා එම වර්ධනයේ බලපෑම ඉදිරි වසර තුළදී රටේ ජනතාවට නොදැනෙන්න පුළුවන්. මෙයට හේතුව ආර්ථික වර්ධනය නිසා රටේ ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස රජය විසින් ලබා ගැනීමයි. 

ලෝක දේශපාලනය දෙස බැලුවත්, ලංකාවේ දේශපාලනය දෙස බැලුවත්, 2024 වසර තීරණාත්මක වසරක්. 2024 නොවැම්බර් 5 වනදා ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගන්නේද මහජන ඡන්දයෙන් බැවින් ප්‍රධාන තරඟකරුවන් කවුදැයි හරියටම දැන ගැනීමට මාස ගණනාවක් බලා ඉන්නට සිදු වනවා. එහෙත්, මෙය වත්මන් ජනාධිපති බයිඩන් හා හිටපු ජනාධිපති ට්‍රම්ප් අතර තරඟයක් වීමට විශාල ඉඩක් තිබෙනවා. මේ දෙදෙනාම බොහෝ වයස්ගත පුද්ගලයින් වීම විශේෂත්වයක්.

මෙම 2024 වසර ලංකාවේද මැතිවරණ වසරක්. වසර තුළ ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතයි. එහෙත්, ඇමරිකාවේ මෙන් නොව, බලයේ සිටින කණ්ඩායමේ අභිමතය පරිදි ලංකාවේ මැතිවරණ දින නියම වන නිසා මුලින් පැවැත්වෙන්නේ මේ මැතිවරණ දෙකෙන් කුමක්ද යන්න අවිනිශ්චිතයි. එමෙන්ම, මැතිවරණ සන්ධාන වටා පක්ෂ හා කණ්ඩායම් පෙළ ගැසෙන ආකාරයද තවමත් අවිනිශ්චිතයි.

කෙසේ වුවත්, මේ අවිනිශ්චිතතාවය ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ආණ්ඩු බලය හොබවන රනිල්-රාජපක්ෂ කඳවුර හා අදාළවයි. විපක්ෂයේ ජවිපෙ/ජාජබ කඳවුර මෙන්ම සජබ කඳවුරද පැහැදිලිව හඳුනා ගත හැකියි. දැනට ආණ්ඩු බලය හොබවන කණ්ඩායම තුළ සිටින එජාප-රනිල් පාර්ශ්වය පෙනී සිටින්නේ මේ වන විටද ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගෙනයාම වෙනුවෙනුයි. රට බංකොලොත් වීම දක්වා තල්ලු කෙරුණු ප්‍රතිපත්ති වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින සුළුතරයක් රාජපක්ෂ කඳවුර තුළ සිටියත්, නැවතත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා අනුමැතිය ලැබේයැයි සිතන්නට අසීරුයි.

දැනට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ සජබ විසින් මුල සිටම පෙනී සිටි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සජබ විසින්ද කරන්නට වඩාත්ම ඉඩ තිබෙන දෙයයි. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ජවිපෙ/ජාජබ බලයට පැමිණියහොත් කුමක් වේද යන්නයි.

පෞද්ගලිකව මා මෙහි විශාල අවදානමක් දකින්නේ නැහැ. රාජ්‍ය ව්‍යවසාය ආදිය හා අදාළව එජාප-සජබ කඳුවුරු වලට වඩා වෙනස් තැනක සිටියත්, සාර්ව ආර්ථික තුලනය පවත්වා ගැනීම හා අදාළව ඔවුන්ගේ ප්‍රතිපත්ති නරක තැනක ඇතැයි මා සිතන්නේ නැහැ. රජය කුඩා නොකර එලෙසම පවත්වා ගන්නා බවක් ඔවුන් කියන නමුත් එම රජය නඩත්තු කළ හැකි ආදායමක් උපයා ගන්නා බවද ඔවුන් විසින් හැම විටම කියන නිසා ජවිපෙ-ජාජබ ප්‍රතිපත්ති වලින් සාර්ව ආර්ථික තුලනය නැති වීමේ අවදානමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, දේශපාලන අවිනිශ්චිතතා හමුවේ වුවද, 2024 ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ මගේ දැක්ම සුබවාදී දැක්මක්.

Tuesday, November 7, 2023

අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණය හා කොන්ග්‍රස් මැතිවරණ වල සිට ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ මෙන්ම ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක්ද එක වර පැවැත්වෙන්නේ මෙම මැතිවරණ දිනයේදීයි.

මේ අයුරින්, මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් තිබෙන නිසා ඇමරිකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව හෝ පැවැත්වෙන දිනය පිළිබඳව අවිනිශ්චිතතාවයක් නැහැ. බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්වෙන දිනය කල් දමන්නට හෝ මැතිවරණ කලින් පවත්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම, සියලුම මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා වියදමත් අඩුයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක් නිසා වසර හතරකට වරක් මැතිවරණ දිනය කෙරෙහි ලෝකයේම අවධානය විශාල ලෙස යොමු වෙනවා. වසර දෙකකට වරක් කොංග්‍රස් මැතිවරණ පැවැත්වෙන නිසා එම වසර වල මැතිවරණ දිනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. මේ අයුරින් ප්‍රධාන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේ ඉරට්ටේ අවුරුදු වලයි. ඒ නිසා, මේ අවුරුද්ද වැනි ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ දිනය කෙරෙහි යොමු වන්නේ සාපේක්ෂව අඩු අවධානයක්. 

ප්‍රධාන ජාතික මැතිවරණ නොපැවැත්වුනත්, ඔත්තේ අවුරුදු වලදී අනෙකුත් මැතිවරණ හා ජනමතවිචාරණ දහස් ගණනක් එක වර පැවැත්වෙනවා. එමෙන්ම, හදිසි මරණයක් හෝ ඉල්ලා අස්වීමක් වැනි විශේෂ හේතුවක් නිසා කොංග්‍රස් ආසන පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු පිරවීම සඳහාද ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ පැවැත්වෙනවා.

මීට වසර කිහිපයකට පෙර අපේ පාසැල් කලාපයේ පාසැල් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ගුරු වැටුප් වැඩි කිරීම, සිසු-ගුරු අනුපාතය අඩු කිරීම හා අනෙකුත් පහසුකම් වැඩි කිරීම පිණිස වසර හතක කාලයක් සඳහා වසරකට 0.2275%ක අමතර දේපොළ බද්දක් පැනවීම යෝජනා වූ අතර එම යෝජනාව ජනමත විචාරණයකින් අනුමත වුනා. වසර හතක කාලය අවසන් වීම නිසා මෙම බද්ද මේ වසරේදී අහෝසි වෙනවා. ඒ නිසා, පාසැල් පවත්වාගෙන යාම සඳහා ලැබෙන අරමුදල් පහත වැටෙනවා. මේ තත්ත්වය හමුවේ තරමක වියදම් කප්පාදුවක් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර අටක කාලය තුළ 0.1995%ක අමතර දේපොළ බද්දක් පැනවීම සඳහා අද ජනමත විචාරණයක් පැවැත්වුණා. මෙය කලින් වසර හත තුළ පැවති බදු අනුපාතයට වඩා තරමක් අඩුයි. මෙම යෝජනාව අනුමත කරමින් 70%ක පමණ ඡන්ද ලැබී තිබෙනවා.

ඇමරිකාව පුරාම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් අද දින මෙවැනි ජනමතවිචාරණ ගණනාවක් පැවැත්වුණා. ඒ අතරින් එක් වැදගත් ජනමතවිචාරණක් වූයේ මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් ඇති කිරීම සඳහා පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. දැනට ප්‍රාන්තයේ විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධති ප්‍රධාන වශයෙන්ම අයිති ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකකටයි. එහෙත්, මෙම සමාගම් දෙකේ සේවා සැපයීම පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා. ජනමතවිචාරණයෙන් යෝජනා කෙරුණේ මෙම සමාගම් සතු යටිතල පහසුකම් මිල දී ගෙන අදාළ සේවා සැපයීම සඳහා ලාබ ලැබීම ඉලක්ක නොකරන පොදු සමාගමක් පිහිටුවීමටයි. තවමත් ප්‍රතිඵල මුළුමනින්ම ප්‍රකාශයට පත්ව නැතත්, මෙම යෝජනාව පරාජය වී ඇති බව පැහැදිලියි. 70%ක් පමණම ඡන්දය දී තිබෙන්නේ යෝජනාවට විරුද්ධවයි. 

Sunday, January 22, 2023

මාර්තු 9 - අලුත් වෙනසක්!


මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. 

මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී මැතිවරණයක්. පළමුවැන්න, මේ වෙලාවේ දැකිය දේශපාලන බලතුලනයේ ස්වභාවයයි. දැකිය හැකි කියා කිවුවත් මේ කියන බලතුලනය හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයෙන් පසුවයි. දෙවැන්න මැතිවරණය පැවැත්වෙන ආකාරයයි.

ලිපිය තුළ කතා කරන්න අපේක්ෂා කරන ප්‍රධාන දෙය ඉහත දෙවැන්න වුවත්, ඊට පූර්විකාවක් ලෙස පළමුවැන්න ගැනද කතා කරන්නට සිදු වෙනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

නිදහස ලැබූ අලුත සිට ලංකාවේ ක්‍රියාත්මක වූ ද්විපක්ෂ ක්‍රමය මේ වන විට බිඳ වැටිලා. අඩු වශයෙන් විශාල පරිවර්තනයකට ලක් වෙලා. ඓතිහාසික පසුබිම අනුව, ලංකාවේ ප්‍රධානම ජාතික පක්ෂය වූ එජාපය තව දුරටත් ප්‍රධාන ජාතික පක්ෂයක් සේ හැඳින්විය නොහැකි තරමට දිය වී ගිහින් ඉවරයි. අනෙක් ප්‍රධාන ජාතික පක්ෂය වූ ශ්‍රීලනිපය එම පක්ෂයේ ශක්තිය කලින්ම දුර්වල කර ගත්තා. 

සම්ප්‍රදායික පක්ෂ වල කඩා වැටීම තීරණාත්මක ලෙස සටහන් වුනේ, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට එරෙහිව තරඟ කර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වලින් බලයට පත් වූ ජනාධිපති සිරිසේන විසින් ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් විදිහට එජාපය හා ශ්‍රීලනිපය එකම කඳවුරක් බවට පත් වී, එයට විකල්පයක් ලෙස පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය මතු වුනා. විකල්ප නැති කරන්න යද්දී අලුත් විකල්ප මතුවීම සාමාන්‍ය තත්ත්වයක්.

ඉන්පසුව, එජාපය දෙකඩ වී සජබ හැදුණා. එජාප පාක්ෂිකයින්ගෙන් බහුතරය සජබ වෙත ඇදුනා. අවසන් ජාතික මැතිවරණය වූ 2020 මහ මැතිවරණයයේදී ප්‍රධාන බලවේග දෙක ලෙස මතුව තිබුණේ පොදුජන පෙරමුණ සහ සජබයි. පොදුජන පෙරමුණ විසින් රටේ ඡන්ද වලින් 59.1%ක් ලබා ගනිද්දී සජබ 23.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එජාපය 2.2% දක්වා පහත වැටෙද්දී ජාජබ විසින් 3.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. 

නාම යෝජනා භාර ගෙන අවසන්ව ඇතත්, අදාළ සියලු තොරතුරු තවමත් ප්‍රසිද්ධ වී නැහැ. ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, තැන් කිහිපයක හැර, එජාපය තනිව තරඟ කරන්නේ නැහැ. මේ වන විට පවතින දේශපාලන වාතාවරණය තුළ, විශාල විකෘතියක් වුවත්, එජාපය සහ පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. මෙම කඳවුර තුළ එජාපය ප්‍රමාණාත්මක සුළුතරය වුවත්, පොදුජන පෙරමුණේ මතවාදය අසාර්ථක වී අතහැර දමනු ලැබීමෙන් පසුව, එහි මතවාදී නායකත්වය දරන්නේ එජාපයයි. 

එජාප-පොහොට්ටු කඳවුර තුළ සිටින එජාපයේ ශක්තිය මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් දුර්වල වී ඇතැයි සිතන්නට හේතුවක් නැහැ. මහ මැතිවරණයේදීම එජාපය තවත් වැටෙන්නට තැනක් නැති තරමටම වැටුණා. රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටුවට හිසක් දැමීමේ ආශ්වාදය සමඟ එජාපය සතු වූ ඡන්ද ලක්ෂ දෙකහමාර සුළු වශයෙන් හෝ වැඩි වෙන්නට මිස අඩු වෙන්නට හේතුවක් නැහැ. එහෙත්, පොහොට්ටු ඡන්ද පදනමේ විශාල කඩා වැටීමකින් පසුව වුවද, එම කඳවුර තුළ එජාප ඡන්ද නියෝජනය පවතිනු ඇත්තේ ඉතා පහළ මට්ටමකයි. 

ප්‍රධාන විපක්ෂය වන සජබය සතු වූ 23.9%ක ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්නට විශාල හේතුවක් නැහැ. අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් අතර බෙදී යාමට නියමිතව ඇත්තේ පොදුජන පෙරමුණ සතුවූ 59.1%ක ඡන්ද ප්‍රමාණයෙන් කැඩී යන කොටසයි. එම පෙරමුණට ඉතාම වාසිදායක තත්ත්වයක් යටතේ පවා, දැනට එම කඳවුර සතු දේශපාලන බලය විශාල ලෙස ගිලිහී යාම පැහැදිලි කරුණක්. අවිනිශ්චිත කරුණු වන්නේ ඒ කොපමණද හා කෙලෙසද යන්නයි. එජාප ගොඩද එකතු කළොත්, මේ කඩා වැටීම පටන් ගන්නේ 61.2%ක ප්‍රතිශතයක සිටයි. ඒ නිසා, මේ ගොඩෙන් තුනෙන් දෙකක්ම කඩා වැටුණත්, 20%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඉතිරි වෙනවා. බාගයක් කඩා වැටුනොත්, 30% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. 

පළාත් පාලන මැතිවරණ වලට වඩාත් සංවිධානාත්මක ලෙස මුහුණ දෙන්නේ ජාජබයයි. ප්‍රධාන පක්ෂ දෙකම කෙටි කලක් තුළ අසාර්ථක වීම තුළ පෙර කෙදිනකටත් වඩා එම කඳවුරට වාසිදායක ලෙස පිටිය සකස් වී තිබෙනවා. එම බිම් වාසියද ලබා ගනිමින්, ජාජබ කඳවුර සැලසුම්සහගත ලෙස කල් තබා සූදානම් වී, අලුත් ඡන්දදායකයින් හා පොදුජන පෙරමුණට සහාය දුන් පාවෙන ඡන්දදායකයින් විශාල ලෙස ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. කෙසේ වුවත්, ඔවුන්ට ගොඩ නැගෙන්නට සිදු වන්නේ 3.8% මට්ටමේ සිටයි. 

ජාතික මට්ටමෙන් තරඟයක් දිය හැකි අනෙක් ප්‍රධානම කණ්ඩායම අලුතෙන් හදාගත් නිදහස් ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටර් සන්ධානයයි. ඒ තුළ සිටින සියලුම කණ්ඩායම් කලින් පොදුජන පෙරමුණේ කොටස්ව සිටි අයයි. අසාර්ථක වීමෙන් පසු පොදුජන පෙරමුණට ඉවත ලන්නට සිදු වූ එහි ආරම්භක මතවාදය මේ වන විට නියෝජනය වන්නේ මෙම කඳවුර තුළ බව කිව හැකියි. නිදහස් ජනතා සන්ධානයේ දේශපාලන බලය ප්‍රධාන වශයෙන්ම රැඳී තිබෙන්නේ ඉතිරිව ඇති ශ්‍රීලනිපයේ ශක්තිය මතයි. 

මීට පෙර පැවැත්වුණු 2018 පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් 40.5%ක ඡන්ද ලබා ගනිද්දී ශ්‍රීලනිපය විසින් 12.1%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලැබූ 59.1%ක ඡන්ද ප්‍රතිශතය තුළ මෙම ශ්‍රීලනිප ඡන්දද තිබුණා. එම ඡන්ද රඳවා ගන්නා අතරම පොදුජන පෙරමුණෙන් ගිලිහෙන ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් රඳවා ගැනීමේ හැකියාවද නිදහස් ජනතා සන්ධානය සතුව තිබෙනවා.

ඉහත කඳවුරු හතරටම 15% ඉක්මවන හෝ ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙනවා. මීට පෙර මැතිවරණ වලදී එවැනි බල තුලනයක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

ඉහත කඳවුරු හතරට අමතරව වාමාංශික පක්ෂ කිහිපයක්ද දිවයින පුරා තරඟ කරනවා. පවතින වාතාවරණය තුළ එම පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රමාණ වල වුවද යම් වැඩි වීමක් සිදු විය හැකියි. ඊටත් අමතරව, එකම කණ්ඩායමක් ලෙස නොවුනත්, අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම් ප්‍රදේශ ගණනාවක් තුළ ස්වාධීන කණ්ඩායම් ලෙස තරඟ කරනවා. මැතිවරණයට පෙර ඒකාබද්ධ බලයක් ලෙස පෙනී සිටිය හැකිනම් ඔවුන්ටද සැලකිය යුතු නාගරික ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

ජනවාර්ගික පදනමින් දේශපාලනය කරන ප්‍රාදේශීය දේශපාලන පක්ෂ වලට පළාත් පාලන මැතිවරණ කොහොමටත් වාසිදායකයි. මේ සියලුම පක්ෂ හා කණ්ඩායම් අතර ඡන්ද බෙදී යද්දී බල තුලනය වඩාත් සංකීර්ණ වෙනවා. 

ඉහත පසුබිම මතකයේ රඳවා ගනිමින් අපි මෙම මැතිවරණ පැවැත්වෙන ආකාරය දෙස බලමු.

මෙම මැතිවරණ පැවැත්වෙන්නේ කුඩා කොට්ඨාශ මත පදනම්වයි. අඩු වශයෙන් හැටේ දශකයේ හෝ ඉන්පසුව ඉපදුණු අයට මෙය අලුත්ම අත්දැකීමක්. මෙතෙක් බොහෝ දෙනෙකු දැන සිටි කුඩාම මැතිවරණ ඒකකය එක්කෝ ආසනයක්. නැත්නම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්. මෙම මැතිවරණයේදී එක එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය කුඩා කොටස් ගණනාවකට කැඩෙනවා. 

මැතිවරණ ආසන ලෙස ලංකාව කැඩෙන්නේ කොටස් 160කට පමණයි. පළාත් පාලන බල ප්‍රදේශ ලෙස කොටස්  340කට කැඩෙනවා. කොට්ඨාශ ක්‍රමය යටතේ ලංකාව ඡන්ද කොට්ඨාශ 4,919කට කැඩෙනවා. මෙම කොට්ඨාශයක් ඉතා කුඩා ප්‍රදේශයක්.

ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් තිබෙනවා. මේ අනුව පෙනෙන පරිදි මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ සාමාන්‍ය වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුනක ප්‍රමණ ප්‍රදේශයක්. එහෙත්, ඇතැම් තැන් වල මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින්ද කොටසක්. 

ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610ක්. ඒ අනුව, මැතිවරණ කොට්ඨාශයක සාමාන්‍ය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 13.3ක්. එනම් පැත්තක් කිලෝමීටර 3.65ක් වූ චතුරශ්‍රයක භූමි ප්‍රමාණය. ගොඩක් මැතිවරණ කොට්ඨාශ මීටත් වඩා පොඩියි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

කිලෝමීටර තුන හතරක දුරක් කියා කියන්නේ පහසුවෙන්ම බයිසිකලයකින් හෝ පයින් ඇවිද ගමන් කළ හැකි දුරක්. මේ වගේ පොඩි ප්‍රදේශයක ඡන්ද ප්‍රචාරණයේ යෙදෙන්න විශාල වියදමක් දැරිය යුතු නැහැ. ලංකාවේ නිවාස ඒකක ගණන ආසන්න වශයෙන් මිලියන 5ක් පමණ බව සලකද්දී, එක් මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ගෙවල් දහසක පමණ ප්‍රදේශයක්. අපේක්ෂකයෙකුට ගෙවල් දහසකට ගෙයින් ගෙට යාම වුවත් එතරම් අසීරු නැති වැඩක්. 

ඉහත තත්ත්වයන් එක්ක ප්‍රධාන කඳවුරු හතරට වගේම කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වුවත් මැතිවරණ කොට්ඨාශයක් තුළ ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, ජාති, ආගම්, කුල හා ප්‍රාදේශීය සාධක වල බලපෑම් කැපී පෙනෙන ලෙස ඉස්මතු විය හැකියි. 

පසුගිය පළාත් පාලන මැතිවරණ වලින් පසුවත්, ඊටත් පෙර 2015 ජනාධිපතිවරණයෙන් පසුවත්, සමාජ මාධ්‍ය වල සංසරණය වූ ප්‍රතිඵල සිතියම බොහෝ දෙනෙකුට මතක ඇති. එහි රටේ සිංහල-බෞද්ධ බහුතර ප්‍රදේශ සියල්ලම වගේ පොදුජන පෙරමුණේ දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වනු ලැබ තිබුණා. රටම එක් මැතිවරණ කලාපයක් සේ සැලකෙන ජනාධිපතිවරණයකදී ඡන්ද වල ප්‍රාදේශීය වෙනස්කම් ඉලිප්පීම නිවැරදි නොවුනත්, අදාළ සිතියමෙහි ආසන මට්ටමෙන් එවැනි චිත්‍රණය කිරීමක් සිදු කර තිබුණා.

ඉහත ආකාරයේ ප්‍රතිඵල සිතියමක් මේ මැතිවරණයෙන් පසුවද සංසරණය විය හැකියි. එහෙත් එහි පැහැය පුරෝකථනය කිරීම පහසු නැහැ.

ආසන මට්ටමේදී යම් නිශ්චිත පක්ෂයක් පැහැදිලි ජයග්‍රහණයක් ලබන විටදී පවා, ආසනය තුළ, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දැකිය හැකියි. ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස කටයුතු කර ඇති අය මේ ගැන දන්නවා. මෙවැනි වෙනස්කම් මෙතෙක් පොදු සමාජයේ අවධානයට ලක් වුනේ නැහැ. එහෙත්, මෙවර එය සිදු විය හැකියි. 

උදාහරණයක් ලෙස සුළුතර වාර්ගික හා ආගමික කොටස්, ඇතැම් කුල වලට අයත් අය, ගම්කාරයින් හා පිටින් ආ අය පදිංචි ප්‍රදේශ තරමක් ලොකු මැතිවරණ සිතියමක වෙන් වශයෙන් පෙනෙන්නේ නැහැ. එහෙත්, කොට්ඨාශ කුඩා වීමේදී මෙවැනි වෙනස්කම් හොඳින් කැපී පෙනෙන්න පුළුවන්. සුළුතර කණ්ඩායම් වල රුචිකත්වයන් වඩා හොඳින් නිරූපණය වීමක් නිසා මම මෙය නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් ඡන්දදායකයින් 1000-1500 අතර ප්‍රමාණයකට එක් ඡන්ද මධ්‍යස්ථානයක් වැටෙන නිසා එක් මැතිවරණ කොට්ඨාශයක් තුළ බොහෝ විට තිබෙනු ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් පමණයි. ඇතැම් විට එකක් පමණක් විය හැකියි. ගණන් කිරීමේ කටයුතුද ඡන්ද මධ්‍යස්ථාන තුළම සිදු වීමට නියමිත නිසාත්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නට අවශ්‍යනම් එසේ කිරීමට සිදු වන්නේ කොට්ඨාශය තුළම පිහිටි තවත් මධ්‍යස්ථානයකට නිසාත් ගණන් කිරීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට ඉඩ ලැබේයැයි සිතිය හැකියි. 

බොහෝ විට එක් කොට්ඨාශයක වලංගු ඡන්ද ප්‍රමාණය දෙදහසක් පමණ විය හැකියි. මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ගණන් කිරීම සඳහා විශාල කාලයක් ගත වන්නේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන්න පුළුවන්. නමුත්, විවිධ සංකීර්ණ තත්ත්වයන් ඇති විය හැකියි. 

උදාහරණයක් ලෙස සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රමාණයක් කණ්ඩායම් හතරක් හෝ වැඩි ගණනක් අතර බෙදී යද්දී කොට්ඨාශ එකක හෝ කිහිපයක සමාන-වැඩිම ඡන්ද වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ජයග්‍රාහකයා තෝරන්න වෙන්නේ කුසපත් ඇදීමකින්. ඒ වගේම, මේ කුඩා බෙදීම තුළ, තැපැල් ඡන්ද වෙනම ගණන් කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. 

කොට්ඨාශ ක්‍රමය තුළ වුවත්, අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමිනුයි. එසේ තේරී පත් වන නියෝජිතයෙකුට පසුව පක්ෂ මාරු කිරීමේ අයිතිය ඇත්ද යන්න මා දන්නේ නැහැ. මගේ අදහසනම් ඒ අයිතිය තිබිය යුතු බවයි. ප්‍රාදේශීය සාධක සැලකිල්ලට ගනිමින් හොඳම නියෝජිතයෙකු තෝරා ගැනීමට ඡන්දදායකයින්ට ඉඩ ලැබෙන්නේ එම අයිතිය නියෝජිතයාට ඇත්නම් පමණයි.

කොට්ඨාශ 4,919 අතරින් 4,750ක් කේවල නියෝජිත කොට්ඨාශයි. කොට්ඨාශ 165කින් නියෝජිතයින් දෙදෙනෙකු බැගින්ද, තවත් කොට්ඨාශ 4කින් නියෝජිතයින් තිදෙනෙකු බැගින්ද තෝරාපත් කර ගත හැකි නිසා තේරීපත් වන සෘජු නියෝජිතයින් ප්‍රමාණය 5,092ක් වුවත් කේවල කොට්ඨාශ 20ක් හා බහු මන්ත්‍රී කොට්ඨාශ දෙකක් අයත් කල්මුණේ නගර සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්වෙන නිසා මෙවර තේරී පත් වීමට නියමිතව ඇත්තේ සෘජු නියෝජිතයින් 5,068 දෙනෙකු පමණයි. මීට අමතරව, එම ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජිතයින් ප්‍රමාණයක් (3,300+) සමානුපාතික ක්‍රමයට තේරී පත් වීමට නියමිතයි. 

Friday, January 13, 2023

සල්ලි නැති නිසා මැතිවරණ එපාද?


රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දී මැතිවරණ පැවැත්විය යුතුද සහ හැකිද කියන එක ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. ස්වභාවය අනුවම මේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක්. නමුත් රටේ ආර්ථික තත්ත්වයත් ප්‍රශ්නයට ගෑවිලයි තියෙන්නේ.

සමහර අය මැතිවරණයක් පැවැත්වීමේ ආර්ථික බලපෑම ගැන අවධානය යොමු කරවමින් කතා කළත් ඇත්තටම මේ යෝජනාවට පක්ෂව වගේම විපක්ෂව අදහස් දක්වන හැමෝම වගේ එසේ කරන්නේ අපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵලය ගැන සිතමිනුයි.

පැවැත්වීමට ඉඩ තිබෙන මැතිවරණයක ප්‍රතිඵලය ගැන අනාවැකි කියන්න අමාරුයි. නමුත් වැඩි අපහසුවක් නැතුව කියන්න පුළුවන් දේවල් ටිකක් තිබෙනවා. ඒ ප්‍රධාන කඳවුරු තුනේ බල තුලනය වෙනස් විය හැකි ආකාරය. 

ඉතා පැහැදිලි ලෙසම පොහොට්ටු ඡන්ද පදනම කඩා වැටිලා තිබෙනවා. කොපමණකින්ද කියන එක හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයක් තියලම තමයි. සජබ ඡන්ද පදනම යම් තරමකින් හෝ වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. ජවිපෙ/ජාජබ ඡන්ද පදනමේ පැහැදිලි වැඩි වීමක් පේන්න තිබෙනවා. 

මේ තත්ත්වය තුළ කවර හෝ මැතිවරණයකට යන එක සජබට වගේම ජවිපෙ/ජාජබට වාසියි. එම කඳවුරු වලට ලැබෙන්න මිසක් නැති වෙන්න දෙයක් නැහැ. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට නැති වෙන්න මිසක් ලැබෙන්න දෙයක් නැහැ. ඒ නිසා, ආණ්ඩුවේ පැත්තෙන් මැතිවරණ පැවැත්වීමට ප්‍රතිරෝධයක් එන එක තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. 

මට පෙනෙන හැටියටනම් කඩා වැටිලා තිබෙන පොහොට්ටු ඡන්ද පදනමෙන් සැලකිය යුතු කොටසක් ජවිපෙ/ජාජබ පැත්තටත්, තවත් යම් කොටසක් සජබ වෙතටත් තල්ලු වෙලා වුනත් විශාල කොටසක් තවමත් කොහේටවත් තල්ලු වෙලා නැහැ. ඒ ඡන්ද එකතු කර ගැනීමේ උත්සාහයක් ලෙස හදාගෙන තිබෙන හෙලිකොප්ටර් වලට මුලින් කී ප්‍රධාන ධාරා තුනට සාපේක්ෂව ලොකු ඉල්ලුමක් තියෙයි කියලා හිතන්න අමාරුයි. පැවති දේශපාලන ක්‍රමයම එපා වුනු අය ඉලක්ක කරගත් වෙනත් සංවිධානාත්මක ව්‍යාපාරයක් හරියකට හැදිලත් නැහැ. ඒ නිසා, පොඩි පොඩි කණ්ඩායම් අතර ඡන්ද බෙදී යාම්, ඡන්දය නොදැමීම්, ඡන්ද අවලංගු කිරීම් ආදිය හමුවේ වුවත්, ප්‍රධාන කඳවුරු තුන අතර යම් තුලනයක් ඇති විය හැකි තත්ත්වයකුයි තියෙන්නේ. පැහැදිලි නැත්තේ ඒ මොන අනුපාතයෙන්ද කියන එකයි.

ප්‍රතිඵලය කුමක් වුවත්, අපේක්ෂිත ප්‍රතිඵලය දිහා බලාගෙන මැතිවරණ වලට දින නියම කරන එක හොඳ ක්‍රමයක් නෙමෙයි. හරි ක්‍රමය මැතිවරණ පැවැත්විය යුතු පිළිවෙළට ඒවා පවත්වන එක. මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව නැහැ. නමුත්, පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු කාලය දැනටමත් පහු වෙලා. පළාත් සභානම් දැන් අකර්මන්‍ය වෙලා වගේ. 

මම හිතන විදිහට පැවැත්විය යුත්තේත්, පවත්වන්න ඉඩ තිබෙන්නේත් පළාත් පාලන මැතිවරණයි. ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියලා ලොකු හඬක් නැහැ. නමුත්, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට විපක්ෂ කණ්ඩායම් හඬ නගනවා. පළාත් පාලන මැතිවරණ පැවැත්වුවහොත් එහි ප්‍රතිඵලය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය කලින්ම පැවැත්වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ටික මුලින් ලිවුවේ, ඔය ටික නැතුව මැතිවරණ සඳහා යන වියදම් ගැන කතා කළ නොහැකි නිසා. මැතිවරණ පවත්වන්න සල්ලි යනවා. ඒ සල්ලි රජය විසින් අයවැයෙන් වෙන් කළ යුතුයි. මැතිවරණ නියමිත පරිදි පැවැත්වෙනවානම් මේ වැඩේ අමාරු වැඩක් නෙමෙයි. නමුත්, අනපේක්ෂිත විදිහට මැතිවරණයක් ආවොත් සල්ලි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවක එවැන්නක් ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. 

මේ වෙලාව ඉතිරි කර ගත හැකි සතයක් වුනත් ඉතිරි කර ගත යුතු වෙලාවක්. නමුත්, එහෙමයි කියලා කළ යුතු දේවල් නොකර ඉන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණ නොවුණත්, ලංකාවේ සන්දර්භයේදී මැතිවරණ නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ කියන එක වගේ දෙයක්. ඒ නිසා, නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රමුඛතාවයක්. නමුත්, නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම එවැනි ප්‍රමුඛතාවයක් කියා මම හිතන්නේ නැහැ. එය මුළුමනින්ම දේශපාලනික තීරණයක්.

මැතිවරණයක් තියන්න කොපමණ මුදලක් වැය වෙනවද? 

පහළින් තියෙන්නේ පසුගිය වසර වල ජාතික මැතිවරණ කොමිසම වෙනුවෙන් වෙන් කළ අරමුදල් ප්‍රමාණ.

2018 - රුපියල් මිලියන 4,105

2019 - රුපියල් මිලියන 4,108

2020 - රුපියල් මිලියන 7,866

2021 - රුපියල් මිලියන 1,017

2022 - රුපියල් මිලියන 928

මැතිවරණයක් නොපැවැත්වෙන වසරකදී වුනත්, ජාතික මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් බිලියනයකට කිට්ටු මුදලක් වෙන් කරන්න වෙනවා. මැතිවරණ පැවැත්වෙන අවුරුදු වලදී වැඩි මුදලක් වෙන් කරන්න වෙනවා. 

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණ සඳහා රුපියල් බිලියන 3.5ක් පමණ වැය වී ඇති බව පේනවා. නමුත්, දැන් මේ වියදමින් පළාත් පාලන මැතිවරණ තියන්න බැරි බව පැහැදිලියි. 

රට පුරා පැවැත්වෙන ඕනෑම මැතිවරණයක මූලික වියදම් බොහෝ දුරට සමාන විය යුතුයි. ජනාධිපතිවරණයක ඡන්ද ගණන් කිරීමට ගතවන කාලය සාපේක්ෂව අඩු නිසා වියදමේ යම් අඩුවක් තිබිය යුතු වුවත්, පළාත් පාලන මැතිවරණයක වියදම් හා මහ මැතිවරණයක වියදම් අතර ලොකු වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. 

අවසන් වරට පැවැත්වුණු 2020 පාර්ලිමේන්තු මැතිවරණයට රුපියල් 5,700,655,000ක මුදලක්, ඒ කියන්නේ රුපියල් බිලියන 5.7ක්, වැය වී තිබෙනවා. මේ වන විට, මැතිවරණ රාජකාරි වල යෙදෙන නිලධාරීන්ට ගෙවන දීමනා ආදිය සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි මම හිතන්නේ නැහැ. නමුත්, ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ඇතුළු සැපයුම් වියදම්, විදුලි ගාස්තු ආදියද ඉහළ ගොස් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගත් පසුවද රුපියල් බිලියන 10කින් මැතිවරණයක් පවත්වන්න බැරි වෙන්න හේතුවක් නැහැ.

පසුගිය අයවැයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාන්‍ය වියදම් වලට අමතරව මැතිවරණ පැවැත්වීමේ වියදම් ලෙස රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. දැනටම වෙන් කර තිබෙන මෙම මුදල් වියදම් කළා කියලා රාජ්‍ය සේවක වැටුප් හෝ විශ්‍රාම වැටුප් කපන්න වෙන්නේ නැහැ. නමුත්, රජය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ආදිය ගෙවා ගත නොහැකිව අර්බුදයක ඉන්න බවත් පේනවා. මම හිතන විදිහට ඒක වෙනම හේතුවක්. 

රජය හැමදාමත් කළේ ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් හදලා ඒ ඇස්තමේන්තු තරමට ආදායම් එකතු නොවෙද්දී සල්ලි අච්චු ගහන එක. දැන් සල්ලි අච්චු ගහන එක නවත්වලා නිසා, ඇස්තමේන්තු තරමට බදු ආදායම් එකතු වුනේ නැත්නම් වියදම් පවත්වා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතත්, දැනට වෙන් කරලා තිබෙන රුපියල් බිලියන 10 ඉවර වුනාට පස්සේ වසර තුළ දෙවන මැතිවරණයක් තියන්න සිදු වුනොත් සල්ලි ප්‍රශ්නයක් එනවා.

වෙන් කරලා තිබෙන රුපියල් බිලියන 10ක මුදලින් මොකක් හෝ එක මැතිවරණයක් තියන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න මේ සල්ලි ප්‍රමාණවත්. නමුත්, කලින් පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ප්‍රතිපාදන ඉතිරි වෙන්නේ නැහැ.

ලංකාවේ මැතිවරණයක් කියා කියන්නේ මැතිවරණයට සහභාගී වන නිලධාරීන්ට ගාණක් හම්බ කර ගන්න ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණන් වලින් නොවුණත්, කීයක් හරි කියා කියන්න පුළුවන්. මැතිවරණයකට නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වන නිසා පොඩි පොඩි ගණන් වුනත් එකතු කළහම රජයේ පැත්තෙන් ලොකු වියදමක්. මේ වියදම් සීමා කළ හැකිනම්, මැතිවරණ වියදම් අඩු කළ හැකියි. වියදම් අඩු කළ හැකි ආකාර ගැන හොයා බලන එක මැතිවරණ කොමිසමේ වගකීමක්. 

මම මෙහෙම කියන්නේ ඡන්දපොළ සහායකයෙකුගේ සිට සහකාර තේරීම් භාර නිලධාරියෙකු දක්වා මගේම පෞද්ගලික අත්දැකීම් එක්ක. මගේ අත්දැකීම් පරණ නිසා දැන් මේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉහළ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගනිද්දී කීයක් හරි නාමික මුදලකට තක්සේරුවක් හදලා තමන් පාවිච්චි කළ වාහනය ගෙදර අරන් යනවා වගේ පොත් වල නැති පිළිගත් සම්මත මැතිවරණ ආශ්‍රිතවද තිබෙනවා. උදාහරණයක් විදිහට ඡන්ද රාජකාරි අවසන් කර ගෙදර යද්දී ඒ සඳහා යොදාගත් පෞද්ගලික වාහන වලට ෆුල් ටෑන්ක් ඉන්ධන පුරවලා දෙන එක වගේ දේවල්. ඇත්තක්ද බොරුවක්ද කියලා මම හරියටම දන්නේ නැතත්, මැතිවරණ වියදම් විගණනයට ලක් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. නීතියක් නොවන හදාගත් සම්මතයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, මැතිවරණ වලට සම්බන්ධ වෙන රාජ්‍ය සේවකයෝ බයක් සැකක් නැතුව විවිධ ක්‍රම වලින් සල්ලි හොයනවා. 

ආර්ථික අර්බුදය නිසා මැතිවරණ වලට වියදම් කළ නොහැකිනම් එයට විසඳුම මැතිවරණ නොපවත්වා ඉන්න එක නෙමෙයි. පුළුවන් තරම් අඩු වියදමකින් මැතිවරණ පවත්වන එක. මැතිවරණ කොමිසම විසින් මස් රාත්තලම ඉල්ලලා භාණ්ඩාගාරය මත පීඩනයක් එල්ල කරන එක සුදුසු නැහැ. වියදම් කපන එක හැම තැනකදීම සිදු විය යුතුයි. මැතිවරණ වලදී කියලා විශේෂයක් නැහැ. 

ඇමරිකාවේ මැතිවරණ රාජකාරි සඳහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි. රජයේ සේවකයින් විය යුතු නැහැ. ඡන්ද හිමිකම් නැතත්, වයස අවුරුදු 16 ඉක්මවූ පාසැල් සිසුන්ට පවා මැතිවරණ රාජකාරි සඳහා අයැදුම් කළ හැකියි. මැතිවරණ කටයුතු පිළිබඳ පුහුණුව සඳහාත්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් වැය කරන කාලය සඳහාත්, ගත වන පැය ගණන අනුව ඔවුන්ට මුදලක් ලැබෙන නමුත් මෙම මුදල විශාල මුදලක් නෙමෙයි. අවම වැටුපට වඩා ටිකක් වැඩි මුදලක්. මුදල් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් මැතිවරණ රාජකාරි සඳහා ඉදිරිපත් වන අයට මුලින්ම ඒ බව සඳහන් කළ හැකි අතර බොහෝ දෙනෙකු විසින් එසේ කරනවා. 

ප්‍රාන්ත මට්ටමෙන් නීති තිබුණත්, ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව මැතිවරණ දින සේවකයින්ට නිවාඩු දීම අනිවාර්ය නැහැ. ඒ නිසා, තමන්ගේ වැටුප් අහිමි කරගෙන මැතිවරණ රාජකාරි සඳහා එන අයෙකුට එම පාඩුවට ගැලපෙන මුදලක් ලැබෙනවා. එහෙත්, බොහෝ සමාගම් විසින් මැතිවරණ රාජකාරි සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීම දිරිමත් කරමින් එම කාලය සඳහා තමන්ගේ සේවකයින්ට වැටුප් ගෙවනවා. මෙහිදී වක්‍ර ලෙස සිදුවන්නේ මැතිවරණ වියදම් අදාළ සමාගම් විසින් දැරීමක්.  මැතිවරණ රාජකාරි සඳහා හැම විටම මෙන් බඳවා ගැනීම් කරන්නේ එක් එක් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නව ජීවත් වන අය නිසා ප්‍රවාහන වියදම් ලෙස ලොකු මුදලක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

ලංකාවේ මැතිවරණ රාජකාරි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රජයේ සේවකයින්ට පමණයි. මේ සඳහා ඔවුන්ට රාජකාරි නිවාඩු ලැබෙන අතර මැතිවරණ රාජකාරි වෙනුවෙන් අමතර ගෙවීම් හිමි වෙනවා. මම හිතන්නේ අඩු වශයෙන් මේ වගේ අර්බුද අවස්ථාවක මේ දේවල් ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ වගේම, යමෙකුගේ නිවසෙන් සහ සේවා ස්ථානයෙන් දුර බැහැර තැනක මැතිවරණ රාජකාරි සඳහා යද්දී ප්‍රවාහන වියදම් ලෙස ලොකු මුදලක් ගෙවන්න වෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව ලබා දුන්නොත් ඒ සඳහා ගම් වල තරුණ තරුණියන් ඕනෑ තරම් ඉදිරිපත් වෙයි. පළමුව, යම් පිරිසක් මේ අයුරින් සහායකයින් ලෙස බඳවාගතහොත් මැතිවරණ කිහිපයකින් පසුව වඩා වැඩි වගකීමක් භාර දිය හැකි මැතිවරණ රාජකාරි පිළිබඳ පළපුරුද්දක් ඇති ස්වේච්ඡා ශ්‍රමික සංචිතයක් හැදෙනවා. ඇමරිකාවේ මෙවැනි පිරිසක් සිටිනවා. ලංකාවේ දැනටත් කරන්නේ සෑම මැතිවරණයකදීම අලුත් පිරිසක් බඳවා ගෙන මැතිවරණ රාජකාරි පිළිබඳ පුහුණුවක් ඇති නිලධාරී සංචිතයක් නඩත්තු කිරීම වුවත්, මෙහිදී අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය සේවකයින්ට පමණයි. එමෙන්ම, ඔවුන්ට ඔවුන්ගේ වැටුප් තල මත පදනම් වූ අමතර ගෙවීම් කෙරෙනවා. 

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් පමණක්ම බඳවාගත යුතු බව ඇතැම් විට නීතිමය අවශ්‍යතාවයක් නොවෙන්නත් පුළුවන්. ඒ ගැන මම සොයා බලා නැහැ. එය එසේ වුවත්, මේ වගේ අර්බුද අවස්ථාවක මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට ස්ව කැමැත්තෙන් ඒ සඳහා කිසිදු අමතර ගෙවීමක් ලබා නොගෙන සිටීමට බාධාවක් නැහැ. මැතිවරණ කොමිසමට අවශ්‍යනම් එසේ ස්වේච්ඡාවෙන් මැතිවරණ රාජකාරි කිරීමට කැමැති නිලධාරීන්ට ඉදිරිපත් වන සේ ඉල්ලීමක් කළ හැකියි. 

මැතිවරණයක වියදම් කියන්නේ රජයේ වියදම් පමණක් නෙමෙයි. අපේක්ෂකයින් විසින් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින්ද විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. ඉන්ධන, කඩදාසි පරිභෝජනය ඉහළ යනවා. මේ වෙලාවේ මේවාත් ප්‍රශ්න තමයි. නමුත්, විසඳුම් නැති ප්‍රශ්න නෙමෙයි.

වෙබ් ලිපිනය: