වෙබ් ලිපිනය:

Showing posts with label සහල්. Show all posts
Showing posts with label සහල්. Show all posts

Saturday, February 8, 2025

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?


පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. 

ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන සහ වැඩියෙන්ම තිරිඟු පරිභෝජනය කරන රටවල් වන්නේද චීනය සහ ඉන්දියාවයි. සහල් ඉන්දියාවක් සහ තිරිඟු ඉන්දියාවක් ඇති අතර සහල් චීනයක් හා තිරිඟු චීනයක්ද තිබෙනවා. මේ හේතුව නිසා, ඒක පුද්ගල සහල් පරිභෝජනය අනුව ඉදිරියෙන්ම සිටින රටවල් අතර චීනය හෝ ඉන්දියාව නැතත්, එම රටවල සහල් කලාප පමණක් සැලකුවහොත් වෙනස් රූපයක් දැකිය හැකියි. 

ඉහත රටවල් දෙකට අමතරව බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල් ඇතුළත් ප්‍රධාන "සහල් රටවල්" අට ලෝක සහල් පරිභෝජනයෙන් 76.8%කට වගකියන අතර (2023/24 දත්ත අනුව), ලෝක සහල් නිෂ්පාදිතයෙන් 76.4%ක් සිදු වන්නේද එම රටවලයි. 

මෙම රටවල් අතරින් පිලිපීනය තුළ ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. පිලිපීනය වියට්නාමයෙන් සහල් ආනයනය කරනවා. එම ප්‍රමාණය පිලිපීනයේ මුළු සහල් ආනයන වලින් 85%ක් පමණ ප්‍රමාණයක්. වියට්නාමය පැත්තෙන් බැලුවත්, එහි ප්‍රධාන සහල් ගැනුම්කරු පිලිපීනයයි. පිලිපීනයට කිට්ටුවෙන්ම තිබෙන සහල් අපනයනය කරන රට වියට්නාමය වීමත්, එම දෙරට තුළ නිපදවන සහල් වර්ග අතර සමානත්වයත් මීට හේතු වෙනවා විය හැකියි. ඊට අමතරව, වියට්නාමය විසින් චීනයටද සහල් යම් ප්‍රමාණයක් අපනයනය කරනවා. ලංකාව සාමාන්‍යයෙන් වියට්නාමයෙන් සහල් ආනයනය කරන්නේ නැහැ. 

බොහෝ දුරට තායිලන්තයේ නිෂ්පාදනයක් සේ සැලකිය හැකි සුවඳ සමන් එසේත් නැත්නම් ජැස්මින් සහල ලෝකය පුරාම විශාල ඉල්ලුමක් තිබෙන සහලක්. අස්වැන්න අඩු වුනත්, එම සහල අධි මිලකට විකිණිය හැකියි. තායිලන්තය ලෝක සහල් වෙළඳපොළ අල්ලාගෙන සිටින්නේ මෙම දේශීය සහල් වර්ගය සඳහා තිබෙන සුවිශේෂී ඉල්ලුම නිසා. කෙසේ වුවත්, ජැස්මින් සහල ලංකාවේ සාමාන්‍ය පාරිභෝගික රුචිකත්වය හා ගැලපෙන සහලක් නෙමෙයි. 

ලෝකයේ ප්‍රධාන සහල් රටවල් අට අතර නැති පකිස්ථානය ලෝකයේ ප්‍රධාන සහල් අපනයනකරුවෙක්. මෙහිදී පකිස්ථානය සතු සුවිශේෂී වාසිය වනුයේ එරට තුළ සැලකිය යුතු සහල් නිෂ්පාදනයක් සිදු වුනත්, පකිස්ථානයේ ප්‍රධාන ආහාරය සහල් නොව තිරිඟු බැවින්, රටේ නිපදවන සහල් වලින් සැලකිය යුතු කොටසක් අපනයනය කළ හැකි වීමයි. ලංකාවද ඇතැම් විට පකිස්ථානයෙන් සහල් ආනයනය කරන නමුත් බොහෝ විට ලංකාවට සහල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. 

පකිස්ථානය මෙන්ම ඉන්දියාව විසින්ද සැලකිය යුතු අධි මිලකට බාස්මතී සහල් අපනයනය කරනවා. එම සහල් මැදපෙරදිග කලාපයේ සහ බටහිර රටවල විකිණෙනවා. එහෙත්, ලංකාව සාමාන්‍ය පරිභෝජනය පිණිස ඉන්දියාවෙන් ආනයනය කරන්නේ දකුණු ඉන්දියාවේ නිපදවන ලාබ සහල් වර්ගයි. ඉන්දියාව එම සහල් වර්ග නිපදවන්නේ දේශීය පරිභෝජනය පිණිසයි. මිල අඩු මෙම සහල් වර්ග අප්‍රිකානු රටවලටද අපනයනය කෙරෙනවා.

ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරු වන ඉන්දියාව ඒ ස්ථානයේ සිටින්නේ මිල තරඟය තුළ ඉදිරියෙන් සිටීම මගිනුයි. සහල් වෙළඳපොළ තුළ තායිලන්තය සහ පකිස්ථානය වැනි රටවලට ඉන්දියාව සමඟ මිලෙන් තරඟ කළ නොහැකියි. මීට ප්‍රධානම හේතුව ඉන්දියාව විසින් සහනාධාර මගින් වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කිරීමයි. වී ගොවිතැන සුබසාධනය කිරීම ලංකාව ඇතුළු බොහෝ රටවල රජයයන් විසින්ද සිදු කරන දෙයක් වුවත් මේ කාරණයේදී ඉන්දියාව සිටින්නේ "සම කළ නොහැකි" තැනකයි. 

සාමාන්‍යයෙන් කිසියම් රජයක් වී වැනි කර්මාන්තයක් සුබසාධනය කරන්නේ දේශීය ගොවිතැන රැකගැනීම සහ ඒ හරහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම යන අරමුණු පෙරදැරිවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය පාරිභෝගිකයින්ට අඩු මිලට සහල් මිල දී ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. කෙසේ වුවත්, මේ අයුරින් සුබසාධනය කර අඩු මිලට නිපදවන සහල් එම මිලටම අපනයනය කළහොත් සිදු වන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල් වලින් වෙනත් රටක පාරිභෝගිකයින් සුබසාධනය කිරීමක්. ඒ නිසා, මෙසේ දේශීය වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කරන ඉන්දියාව වැනි රටවල් සෘජු ලෙස සිදු කරන අපනයන පාලනය සහ අපනයන බදු පැනවීම මගින් මේ තත්ත්වය කළමනාකරණය කරනවා. සහල් සැපයුම පහත වැටෙන අවස්ථා වලදී මෙම අපනයන පාලනය විශේෂයෙන්ම දැකගත හැකියි.

කෙසේ වුවද, සැපයුම දේශීය අවශ්‍යතාවය ඉක්මවා විශාල ලෙස ඉහළ ගිය විට මේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඊට හේතු තේරුම් ගන්න අසීරු නැහැ. ඉල්ලුම ඉක්මවා රටේ දේශීය සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙන අතර, රජයට සහතික මිලකට වී මිල දී ගැනීමට (හෝ සහතික මිලක් වී ගොවියාට ලැබෙන පරිදි සහනාධාර දීමට) විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා. අපනයන සීමා තාවකාලිකව ඉවත් කිරීම සහ අපනයන බදු තාවකාලිකව ඉවත් කිරීම මගින් මේ තත්ත්වය වෙනස් කර ගත හැකියි. එවිට රට ඇතුළේ වී මිල ඉහළ ගොස් ස්ථාවර වෙනවා. නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා.

ඉන්දියාව විසින් ඉහත කී පරිදි දේශීය සහල් ඉල්ලුම සහ සැපයුම තුලනය වන පරිදි අපනයන කළමනාකරණය කරද්දී, ජාත්‍යන්තර සහල් මිල ඊට අනුරූපව උච්ඡාවචනය වෙනවා. ඒ නිසා, ඉන්දියාවේ දේශීය වී නිෂ්පාදනය පහත වැටී මිල ඉහළ යන විට, ඊට වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර සහල් මිල ඉහළ යනවා. එවිට පකිස්ථානය සහ තායිලන්තය වැනි තරඟකරුවන්ට වාසිදායක පිටියක් සකස් වෙනවා. ඉන්දියාවේ වී සැපයුම ඉහළ යන විට මේ තත්ත්වය කණපිට හැරී ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා. 

මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවොත්, 2023 ජූනි 20 දෙන ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කිරීම තහනම් කළා (Notification No 20/2023). ඒ වන විටද ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කරමින් සිටියේ 20%ක අපනයන බද්දකට යටත්වයි (2022 සැප්තැම්බර් 9 සිට). මෙය දේශීය සහල් මිල ඉහළ යද්දී ඉන්දියාව විසින් සාමාන්‍යයෙන් කරන දෙයක්. පසුගිය (2024) සැප්තැම්බර් මාසයේදී මෙම අපනයන තහනම ඉවත් කෙරුණු අතර 20% අපනයන බද්දද ඉවත් කෙරුණා. ඒ නිසා, මේ අවස්ථාවේදී ඉන්දියාව විසින් සහල් අපනයනය කෙරෙන්නේ සැලකිය යුතු අඩු මිලකට වුවත්, ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

මීට අමතරව මේ වන විට (2024 නොවැම්බර් 11) ඉන්දියාව විසින් විශාල ලෙස සහල් මිල සුබසාධනය කිරීමට එරෙහිව ඇමරිකාව විසින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ යුක්‍රේනය යන රටවල්ද සමඟ එකතුව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි පත්‍රයක් යවා තිබෙනවා (G/AG/W/250). එම රටවල් විසින් එහිදී ගණනය කර පෙන්වා දෙන පරිදි, ඉන්දියානු රජය විසින් ලබා දෙන සහනාධාර වල වටිනාකම එකතු කළහොත් ඉන්දියාවේ සහල් මිල 87.9%කින් ඉහළ යනවා. ඉන්දියාව විසින් එකඟ වී තිබෙන උපරිම සීමාව 10%යි. මෙම වෙනස සලකා බැලීමේදී ඉන්දියාවේ අවාසියට තීන්දුව ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන අතර එය එසේ වුවහොත් ඉන්දියානු සහල් අපනයන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ තිබෙනවා.

මේ අවස්ථාවේදී ලංකාවේ සහල් මිලට වඩා ඉන්දියාවේ සහල් මිල සැලකිය යුතු තරම් අඩු මට්ටමක තිබෙන්නේ ඉහත තත්ත්වයන් සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා, මේ අවස්ථාව කිසිසේත්ම සහල් ආනයන මත අය කෙරෙන බදු මුදල ඉවත් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් නෙමෙයි. 

(Image: https://www.ifpri.org/blog/indias-new-ban-rice-exports-potential-threats-global-supply-prices-and-food-security/)

Thursday, February 6, 2025

ලෝක සහල් සිතියම


රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි?

විශේෂයෙන්ම සහල් සම්බන්ධව ලංකාව තුළ ධ්‍රැවීකරණය වූ මත දෙකක් දැකිය හැකියි. පළමු මතය රට සහලින් ස්වයංපෝෂිත කරගත යුතු බවයි. නිදහසින් පසු සෑම ආණ්ඩුවක් මෙන්ම අඩු වැඩි වශයෙන් සිටියේ මේ මතය තුළයි. දෙවන මතය "වී වෙනුවට රෝස" මතයයි. මෙයින් සංකේතාත්මකව අදහස් කෙරෙන්නේ වී වැවීම නවතා වඩා ලාභදායී අපනයන භෝගයක් වැවීම මගින් උපයන විදේශ විණිමය යොදා ගෙන සහල් ආනයනය කළ යුතු බවයි.

පළමු මතය වෙනුවෙන් ලංකාවේ සැලකිය යුතු පිරිසක් පෙනී සිටීම තේරුම් ගන්න අපහසු නැහැ. පොදුවේ වෙළඳපොළ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම, අහේතුක වෙළඳපොළ විරෝධය, සංස්කෘතික සාධක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බිය මෙන්ම විශාල පිරිසක් වී ගොවිතැන ආශ්‍රිත රැකියා වල නිරතව සිටීම හා එවැනි පවුල් පසුබිමක් තිබීම මීට හේතු වන බව සිතිය හැකියි. එසේනම්, දෙවන මතයටද සැලකිය යුතු සහයෝගයක් ලැබී තිබෙන්නේ කොහොමද?

මෙහිදී විශේෂයෙන් දැකිය හැකි කරුණක් වන්නේ මේ අයුරින් දෙවන මතය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පොදුවේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය නොවන බවයි. එවැනි අය ඒ අතරින් කොටසක් පමණයි. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම පසුපස දැකිය හැකි ප්‍රධාන සාධකය වන්නේ එසේ කිරීමෙන් "අඩුවට හාල් කන්න" ලැබෙනු ඇතැයි යන විශ්වාසයයි. 

ලංකාවේ "හාල් සිතියම්" දෙස බැලීමෙන් මේ දේශපාලනික බෙදීම තේරුම් ගන්න පුළුවන්. යාපනය හැර උතුරු නැගෙනහිර පළාත්, උතුරු මැද පළාත සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක අයත් වියලි කලාපයේ විශාල කොටසක් වී වවන ප්‍රදේශයි. මෙම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනයට සාපේක්ෂව විශාල වී අතිරික්තයක් පවතින අතර එම දිස්ත්‍රික්ක වල බොහෝ පවුල් වල ප්‍රධාන යැපුම් මාර්ගයක් වන්නේ වී වගාවයි. සාපේක්ෂව අඩු වුවත්, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලද වී අතිරික්තයක් තිබෙනවා. රටට අඩු මිලට ආනයනික සහල් පැමිණෙනවා කියන්නේ මෙම දිස්ත්‍රික්ක වල ජීවත් වන බොහෝ ගොවි පවුල් වල ප්‍රධාන ආදායම් මාර්ගයක් ඇහිරෙනවා කියන එකයි.

මෙයින් වෙනස්ව බස්නාහිර හා සබරගමු පළාත, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. ජනගහණ ඝණත්වය වැඩි එම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනය ඉහළ මට්ටමක තිබුණත් ඊට සාපේක්ෂව ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. ඒ ප්‍රදේශ වල ජීවත් වන බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ හැකි අඩුම මිලට සහල් මිල දී ගැනීමටයි. රටේ දේශපාලන බලය තිබෙන්නේද මේ පිරිස අතේ බැවින් "වී වෙනුවට රෝස" ව්‍යාපෘතියට නොමැති දේශපාලන බලයක් "සහලින් ස්වයංපෝෂිත රටක්" ව්‍යාපෘතියට ලැබී තිබෙන්නේ ඇයි කියන එකත් විමසා බැලීම වටින කරුණක්.

මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගෙන තිබෙන කරුණ වනුයේ "හැකි තරම් අඩුවට භාණ්ඩ මිල දී ගැනීම මහින් ආනයන ආදේශනය" සහ "වෙළඳපොළ විවෘත කිරීම" කියන්නේ වෙනස් කරුණු දෙකක් බවයි. ආනයන සඳහා වෙළඳපොළක් විවෘත කළ පමණින් රටක දේශීය නිෂ්පාදනය නැති වී යන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළක් විවෘත කිරීමේ අරමුණ පුළුල් අර්ථයකින් දේශීය නිෂ්පාදන රැක ගැනීමම මිස දේශීය නිෂ්පාදන විනාශ කිරීම නෙමෙයි.  

රටක වෙළඳපොළක් විවෘත කර තබා ගැනීමේ ප්‍රධානම වාසිය වනුයේ එවැනි රටකට ලෝක මට්ටමේදී තරඟකාරී ලෙස නිෂ්පාදනය කළ හැකි වීමයි. ලෝකයේ රටවල් අතරින් වඩාත්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ජාතික ආර්ථිකය සතු රටද වන්නේ මේ නිසා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පසෙක ලා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත පසු බැසීමට ඇමරිකාව නොපැකිළෙන බව මේ දවස් වල ඇමරිකාව දෙස බලා සිටි ඕනෑම කෙනෙකුට පෙනුණු දෙයක්. රටක වෙළඳපොළක් හැකි තරම් බාහිර තරඟයට විවෘත කළ යුතු වුනත්, එසේ කිරීමේ අරමුණ විය යුත්තේ තරඟයට නිරාවරණය කිරීම මගින් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මිස කර්මාන්තය විනාශ කර ගෙන ඉල්ලං කෑම නෙමෙයි. 

සියලුම මිනිසුන්ට පොදු "මිනිස් ගුණ" තිබුණත්, එක් එක් මිනිසා වෙනස් මිනිසෙක්. ඒ වගේම, සියලුම වෙළඳපොළ වලට පොදු මූලික ලක්ෂණ ගණනාවක් තිබුණත්, එක් එක් වෙළඳපොළ වෙනස් වෙළඳපොළක්. එක් එක් වෙළඳපොළ සතු අනන්‍ය ලක්ෂණ තිබෙනවා. 

නූතන ආර්ථික විද්‍යාවේ මූලික ආකෘතියක් වන ඉල්ලුම්-සැපයුම් ආකෘතිය කියන්නේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේදී යොදා ගන්නා එක් මූලික හා සරල ආකෘතියක් පමණයි. ඒ ආකෘතිය පමණක් ඇසුරෙන් ආර්ථිකය තේරුම් ගත හැකියැයි සිතීම හෝඩිය ඉගෙන ගැනීමෙන් පසුව භාෂා විශාරදයෙකුයැයි සිතීමට වඩා වෙනස් නැහැ. "අර වෙළඳපොලට එහෙමනම්, මේ වෙළඳපොළට එහෙම නැත්තේ ඇයි?" වගේ ප්‍රශ්න සමහර අයට මතු වන්නේ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේදී මුලින්ම උගන්වන සරල ඉල්ලුම්-සැපයුම් ආකෘතිය ගැන දැන ගැනීමෙන් පසුව ආර්ථික විද්‍යාව කියා ඊට වඩා දෙයක් නැතැයි සිතන නිසා. කෙසේ වුවත්, එවැනි ප්‍රශ්න මතු කරන එක හොඳ දෙයක්. 

වෙළඳපොළ ක්‍රමය තුළ හැම විටම තරඟකාරී වෙළඳපොළවල් හැදෙන්නේ නැහැ. එය කිසියම් භාණ්ඩයක නිෂ්පාදන තාක්ෂනය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මත තීරණය වන්නක්. වෙළඳපොළ ක්‍රමය තුළ කතිපයාධිකාර මෙන්ම ඇතැම් විට ඒකාධිකාරද හැදෙන එක සාමාන්‍ය, නෛසර්ගික තත්ත්වයක්. ඒ වගේම, වෙළඳපොළ යාන්ත්‍රණය පරිපූර්ණ එකක් නෙමෙයි. එය අකාර්යක්ෂම විය හැකි විවිධ හේතු තිබෙනවා. වෙළඳපොළක් අකාර්යක්ෂම විය හැකි එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම් නොවන්නාක් මෙන්ම රාජ්‍ය මැදිහත්වීම මගින් වෙළඳපොළක් වඩා කාර්යක්ෂම කරගත හැකි තත්ත්වයන්ද ඕනෑ තරම් තිබෙනවා. 

තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපොළකට නිරාවරණය කිරීම මගින් දේශීය කර්මාන්තයක් වඩා කාර්යක්ෂම හා තරඟකාරී කරගත හැකියි. ජාත්‍යන්තර සහල් වෙළඳපොළ එවැනි තරඟකාරී වෙළඳපොළක්ද?

ලෝක සහල් පරිභෝජනය (2023/24 වර්ෂය සඳහා USDA-FAS PS&D දත්ත අනුව) මෙට්‍රික් ටොන් මිලියන 520ක්. එයින් ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 53ක් පමණයි. මීට හේතුව ලෝකයේ සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් 90%ක් පමණම දේශීයව සිදු වීමයි. වෙනත් වසරක් සැලකුවද දැකිය හැක්කේ මීට සමාන තත්ත්වයක්. අස්වනු හොඳ මට්ටමක ඇති වසරකදී ලෝක සහල් නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර අස්වනු අඩු මට්ටමක ඇති විට මෙම ප්‍රමාණය තවත් පහත වැටෙනවා.

සහල් යනු ලෝකයේ වැඩිම පිරිසකගේ ප්‍රධාන ආහාරය වන අතර විශේෂයෙන්ම ආසියානු කලාපයේ ප්‍රධානම ආහාරයයි. සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ එම ප්‍රදේශයේ පහසුවෙන් වැවෙන දෙයක්. ලෝකයේ වැඩිපුරම සහල් නිෂ්පාදනය වන කලාපය වන්නේද ආසියාවයි. ලෝකයේ ජනගහණය වැඩිම රටවල් දෙක වන ඉන්දියාව හා චීනය තිබෙන්නේ මෙම ආසියානු කලාපයේ වනවා පමණක් නොව එම එක් එක් රටේ වැඩි කොටසක ප්‍රධාන ආහාරය වන්නේ සහල්. එබැවින් ලෝකයේ සමස්ත සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් බාගයක්ම චීනයේ හා ඉන්දියාවේ සහල් පරිභෝජන අවශ්‍යතාවයයි.

ලෝක සහල් පරිභෝජනයෙන් 51%කට වග කියන චීනය හා ඉන්දියාව හැරුණු විට වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන රටවල් වන්නේ බංග්ලා දේශය, ඉන්දුනීසියාව සහ වියට්නාමයයි. මෙම ප්‍රධාන රටවල් පහ ලෝක සහල් පරිභෝජනයෙන් 69%කට වග කියනවා. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් පරිභෝජනය කළ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන  148.1 (28.5%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන  116.4 (22.4%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.6 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන  36.1 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන  22.4 (4.3%)

6. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන  16.6 (3.2%)

7. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන  12.3 (2.4%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන  9.8 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන  120.5 (23.2%)

චීනය සහ ඉන්දියාව බිලියන 1.4ක ජනගහණයකට ආහාර සැපයීමේ අභියෝගය දරාගෙන සිටින රටවල්. එවැනි විශාල ජනගහණයක් සිටින රටක් තමන්ගේ ප්‍රධාන ආහාරය වෙනත් රටකින් ආනයනය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒ නිසා, ලෝකයේ සහල් නිපදවන රටවල් අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ එම රටවල් දෙකයි. එම ප්‍රධාන රටවල් දෙකට අමතරව ලෝකයේ වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන අනෙකුත් රටවල්ද දේශීය වශයෙන් සහල් නිපදවා ගැනීම සඳහා යොමු වී ඇති බැවින් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන රටවල් වන්නේද ඉහත රටවල්මයි. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් නිපදවූ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන 144.6 (28.3%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 137.8 (22.3%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.0 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන 33.0 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන 26.3 (4.3%)

6. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 20.0 (2.4%)

7. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන 12.3 (3.2%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන 11.9 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 123.3 (23.6%)

මේ අනුව පැහැදිලි වන්නේ, පරිභෝජනය අනුව බැලුවත්, නිෂ්පාදනය අනුව බැලුවත්, ලෝක සහල් වෙළඳපොළ කියන්නේ ආසියානු කලාපයේ පිහිටි ඉහත රටවල් අට බවයි. එම රටවල් අටේ වෙළඳපොළ පංගුව හතරෙන් තුනකටත් වඩා වැඩියි. ඒ නිසා, මේ රටවල් වල සහල් වෙළඳපොළ මග හැර ලෝක සහල් වෙළඳපොළ ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. එම රටවල් අතරින්ද චීනය සහ ඉන්දියාව ප්‍රධානයි. 

එසේ වුවද, ඊළඟ වැදගත් කාරණය වන්නේ සහල් පරිභෝජනය කරන සෑම ප්‍රධාන රටක්ම සහලින් ස්වයංපෝෂිතව සිටීම පිණිස මහත් පරිශ්‍රමයක් දරන බවයි. ඉහත රටවල් අතරින් ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය සහල් අපනයනය කරන අතර ඉතිරි රටවල් වල සහල් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් රට තුළම නිපදවා ගන්නවා.

චීනය - 97.6%

බංග්ලා දේශය - 98.4%

ඉන්දුනීසියාව - 91.5%

පිලිපීනය - 74.2%

මෙහිදී කිව යුත්තේ මේ රටවල් බොහොමයක් මෙන්ම සහලින් ස්වයංපෝෂිතව සිටින ඉන්දියාව වැනි රටවල්ද සිය දේශීය සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පවත්වා ගන්නේ කර්මාන්තය විශාල ලෙස සුබසාධනය කිරීම මගින් බවයි. එසේ කිරීමේ අරමුණ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමයි. 

ලෝකයේ වැඩිපුරම සහල් පරිභෝජනය කරන, එමෙන්ම වැඩිපුරම සහල් නිපදවන රට වන චීනය යනු තව දුරටත් 1952දී ලංකාව සමඟ රබර්-සහල් ගිවිසුම අත්සන් කළ රට නෙමෙයි. මේ වෙද්දී චීනය විශාල ලෙස කාර්මීකරණය වී ඇති රටක්. ගම් වල සිටි ගොවීන් දැන් නගර වලට සංක්‍රමණය වෙලා. ඒ වගේම, ඉතිරි වෙලා ඉන්න ගොවීනුත් "වී වෙනුවට රෝස" වවන්න පෙළඹිලා. රෝස කෙසේ වුවත්, ඔවුන් ඩ්‍රැගන් ෆ්‍ර්රුට්, නෙලුම් අල වැනි මුදල් භෝග වවනවා. මේ දේවල් කියන්නේ අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන නෙමෙයි. චීන කෘෂි-ආර්ථික පර්යේෂකයින් එක්ක සමීපව කටයුතු කරන අයෙක් ලෙසයි. රැකියා අවස්ථා වැඩි වෙද්දී ලංකාවේ වී ගොවීනුත් කරනු ඇත්තේ ඔය වැඩේම තමයි. ඒ සඳහා අමුතු පෙළඹවීමක් අවශ්‍ය වෙන එකක් නැහැ.

චීනය කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක් විසින් මධ්‍යගත සැලසුමකට අනුව පාලනය කරන ආර්ථිකයක් තිබෙන රටක්. දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම චීන ආර්ථික සංවර්ධන සැලසුමේ ප්‍රධාන අංගයක්. මේ අනුව, චීනය විවිධ ආකාර වලින් වී ගොවිතැන සුබසාධනය කරනවා.එමගින් දේශීය සහල් නිෂ්පාදිතය පරිභෝජන අවශ්‍යතාවයට ආසන්න මට්ටමක පවත්වා ගන්නවා. කෙසේ වුවත් චීනය තව දුරටත් ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටක් නෙමෙයි.

මේ වන විට ලෝක සහල් වෙළඳපොළ තුළ අපනයනකරුවෙකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවට ලෝක සහල් වෙළඳපොළ තුළ විශාල බලපෑමක් කළ හැකියි. ලෝක වෙලඳ සංවිධානයේ දත්ත අනුව 2023 වර්ෂයේදී ලෝකයේ රටවල් 124ක්ම ශුද්ධ වශයෙන් සහල් ආනයනය කළත්, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටවල් තිබුණේ 23ක් පමණයි. මෙම රටවල් 23 විසින් සිදු කළ ශුද්ධ සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 30.2ක් පමණයි. එනම් ලෝක සහල් පරිභෝජනයෙන් 5.8%ක් පමණයි.

පහත තිබෙන්නේ 2023දී ශුද්ධ වශයෙන් සහල් අපනයනය කළ ලෝකයේ ප්‍රධාන රටවල්. එනම්, සහල් අතිරික්තයක් තිබුණු ප්‍රධාන රටවල්.

1. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 16.3 (54.1%)

2. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 7.6 (25.3%)

3. පකිස්ථානය - මෙට්‍රික් ටොන් මිලියන 3.2 (10.7%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 3.0 (9.9%)

කවර හෝ හේතුවක් නිසා, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් වන වියට්නාමය හා අදාළ සංඛ්‍යාලේඛණ මෙහි ඇතුළත්ව නැහැ. එම ප්‍රමාණයද මෙට්‍රික් ටොන් මිලියන 3-4 අතර ප්‍රමාණයක්. මේ අනුව පැහැදිලි වන පරිදි, ජාත්‍යන්තර සහල් වෙළඳපොළ යනු ඉහත රටවල් තුන සහ වියට්නාමයයි. මෙම රටවල් හතරට අමතරව, සෑම වෙළඳපොළකටම මෙන් කිසියම් බලපෑමක් කරන ඇමරිකා එක්සත් ජනපදයද ලෝක සහල් වෙළඳපොළට යම් බලපෑමක් කළ හැකි රටක්. ඊට හේතුව ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන්නේ අඩුවෙන් වුවත්, ආනයන හා අපනයන දෙකම සිදු කරන බැවින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ පරිමාව ඉහළ මට්ටමක පැවතීමයි.

ඉහත රටවල් අතරින් ප්‍රධානම රට වන ඉන්දියාවේ විශේෂත්වය වන්නේ ඉන්දියාව අපනයනය මූලික ඉලක්කය කරගෙන සහල් නිපදවන රටක් නොවීමයි. චීනය වැනි රටවල් මෙන්ම ඉන්දියාව විසින්ද වී වගාව ප්‍රවර්ධනය කරන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමේ මූලික අරමුණ පෙරදැරිවයි. ඉන්දියානු සහල් අපනයන යනු මෙම අරමුණ කරා යාමේ අතුරු ප්‍රතිඵලයක් පමණයි. ඒ නිසා, විශාල ලෙස සුබසාධනය කිරීම මගින් ආරක්ෂා කෙරෙන ඉන්දියාවේ සහල් කර්මාන්තය එලෙස පවත්වා ගැනීම සඳහා අස්වනු අධික වසර වලදී ඉන්දියාව විසින් අඩු මිලට ජාත්‍යන්තර සහල් වෙළඳපොළට සහල් සපයන (ඩම්ප් කරන) නමුත් අස්වනු සීමා වන වසර වලදී අපනයන පාලනය කිරීමට ඉන්දියාව පැකිලෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වනුයේ සමස්ත ලෝක සහල් නිෂ්පාදිතයට හා පරිභෝජනයට සාපේක්ෂව කුඩා වෙළඳපොළක් වන ජාත්‍යන්තර සහල් වෙළඳපොළ තුළ මිල ගණන් නිරන්තරයෙන් විශාල ලෙස උච්ඡාවචනය වීමයි.

මතු සම්බන්ධයි.

Saturday, February 1, 2025

සහල් වෙළඳපොළ තුලනය වන හැටි...


ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි.

වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම සහල් වර්ග විවිධ මිල ගණන් වලට විකිණෙනවා. පාරිභෝගිකයින් විසින් එම සහල් වර්ග අතරින් තෝරා ගැනීමක් කරනවා. එහිදී ඔවුන් සාධක දෙකක් සලකා බලනවා. පළමුවැන්න විවිධ සහල් වර්ග සඳහා ඔවුන්ගේ රුචිකත්වයයි. දෙවැන්න විවිධ සහල් වර්ග වල මිලයි. 

පාරිභෝගිකයෙකුගේ සහල් රුචිකත්ව අනුපිළිවෙළ අනන්‍ය එකක්. දකුණේ බොහෝ දෙනෙකුගේ පළමු තේරීම රතු කැකුළු සහල් වෙද්දී, යාපනයේ ප්‍රමුඛ තේරීම රතු නාඩු සහලයි. බදුල්ලේ වැඩි කැමැත්ත සුදු කැකුළු වලට වෙද්දී කොළඹ පළමු මනාපය සම්බා සහලයි. එහෙත් රටේම වැඩිපුරම විකිණෙන්නේ සුදු නාඩු සහලයි. 

සහල් මිල දී ගැනීම සඳහා වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකු විසින් මුලින්ම සොයන්නේ තමන් වැඩියෙන්ම කැමති සහලයි. එහෙත් එයින් අදහස් වන්නේ අනිවාර්යයෙන්ම එම සහල මිල දී ගන්නා බව නෙමෙයි. මිල දී ගැනීමේ තීරණයට සහල් වර්ග වල සාපේක්ෂ මිල ගණන්ද බලපානවා. තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහලනම් වෙනත් සහලක් තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. නමුත් තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහල නොවේනම් මිල සහ රුචිකත්ව අනු පිළිවෙළ අතර තේරීමක් කරන්නට පාරිභෝගිකයෙකුට සිදු වෙනවා.

උදාහරණයක් ලෙස රුචිකත්ව අනු පිළිවෙළ සහ වෙළඳපොළ මිල පහත පරිදියැයි සිතමු.

1. රතු කැකුළු - රුපියල් 240

2. රතු කැකුළු සම්බා - රුපියල් 250

3. සුදු කැකුළු - රුපියල් 230

4. සුදු කැකුළු සම්බා - රුපියල් 240

5. සුදු නාඩු - රුපියල් 230

දැන් මේ පාරිභෝගිකයාට රතු කැකුළු සම්බා මිල දී ගැනීමට කිසිදු තර්කානුකුල හේතුවක් නැහැ. ඊට වඩා අඩු මිලකට වඩා කැමති සහල් වර්ගයක් මිල දී ගත හැකියි. එමෙන්ම, සුදු කැකුළු සම්බා හෝ සුදු නාඩු මිල දී ගැනීමටද හේතුවක් නැහැ. ඊට හේතුව එකම මිලට ඊට වඩා කැමති සහල් වර්ගයක් වෙළඳපොළේ තිබීමයි. නමුත්, රතු කැකුළු සහ සුදු කැකුළු අතරින් තේරීමක් කිරීම ඒ තරම්ම පහසු නැහැ. 

රතු කැකුළු වඩාත්ම කැමති සහල වුවත්, අඩුවෙන් කැමති සුදු කැකුළු වල මිල රුපියල් දහයක් අඩුයි. ඒ නිසා, කළ යුත්තේ රුපියල් දහයක් වැඩියෙන් ගෙවා වඩා කැමති සහල මිල දී ගැනීමද එසේ නැත්නම් අඩු මිලකට අඩු කැමැත්තක් තිබෙන සහල් වර්ගය මිල දී ගැනීමද? 

මෙය තීරණය වන්නේ සුදු කැකුළු වලට සාපේක්ෂව රතු කැකුළු වලට තිබෙන කැමැත්ත කෙතරම් ප්‍රබලද යන්න මතයි. එම කැමැත්ත ඉතා ප්‍රබලනම් පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු වැඩි මිලක් ගෙවන්නට පෙළඹෙනවා. නමුත් එය තරමක් වැඩි කැමැත්තක්නම්, මිල වෙනස සැලකිල්ලට ගෙන සුදු කැකුළු මිල දී ගන්නවා. ඒ නිසා, වෙළඳපොළ හැසිරීම් දෙස බලා අපට විවිධ සහල් වර්ග සඳහා තිබෙන පාරිභෝගික කැමැත්ත ගැන නිශ්චිතවම කියන්න බැහැ, නමුත් අදහසක් ගන්න පුළුවන්. 

මිල අඩුනම් හෝ මිල වැඩි වුවත් මිල පරතරය අඩුනම් පාරිභෝගිකයෙකු විසින් තමන්ගේ පළමු කැමැත්ත තෝරා ගන්නවා. එහෙත් මිල පරතරය ඉහළ යද්දී දෙවන හෝ තෙවන කැමැත්ත තෝරා ගැනීමට පෙළඹෙනවා. මෙය සාමාන්‍ය පාරිභෝගික හැසිරීමයි. ඒ අනුව, එක් එක් වර්ගයෙන් විකිණෙන සහල් ප්‍රමාණය තීරණය වෙනවා.

සාමාන්‍ය වසරකදීනම් ඉහත සහල් ප්‍රමාණය වෙළඳපොළට පැමිණෙන්නේ රට ඇතුළෙන්මයි. ආනයන සිදු වන්නේ ඉතා අඩුවෙන්. සහල් පරිභෝජනය වගේම සහල් සැපයුමද සමජාතීය නැහැ. සහල් සැපයුමේ සංයුතිය තීරණය වන්නේ කෙසේද?

සහල් නිපදවන්නන් එසේ කරන්නේ තමන්ට උපරිම ලාබයක් ලැබෙන පරිදියි. කැකුළු සහල් නිපදවීම වැනි වෙනස්කම් සිදු වන්නේ පසු-අස්වනු අදියරකදී වුවත් සහල් සැපයුමේ විවිධත්වය පටන් ගන්නේ වී වගා කරන අවස්ථාවේදීමයි. වී ගොවියෙකු විසින් වගා කරන වී වර්ගය තෝරා ගන්නේ කොහොමද?

මේ සඳහා කරුණු ගණනාවක් බලපානවා. අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය, පසේ ස්වභාවය ආදිය අනුව වෙනස් වන අපේක්ෂිත අස්වැන්න සහ විකිණිය හැකි මිල ඒ අතරින් ප්‍රධානයි. අස්වැන්න අඩු, මිලද අඩු වී වර්ගයක් වගා කිරීම සඳහා තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. එහෙත් අස්වනු අඩු මිල වැඩි සහල් වර්ගයක් සහ අස්වනු වැඩි මිල අඩු සහල් වර්ග දෙකක් අතර තේරීමක් තිබෙනවා. වෙළඳපොළ මිල වෙනස අනුව මේ තේරීමද වෙනස් වෙනවා. 

මේ අනුව පෙනී යන්නේ සහල් ඉල්ලුමේ සංයුතිය මෙන්ම සහල් (වී) සැපයුමේ සංයුතිය කෙරෙහිද එක් එක් සහල් වර්ගය අලෙවි වන මිල බලපාන බවයි. කිසියම් සහල් වර්ගයක මිල අනෙක් සහල් වර්ග වලට සාපේක්ෂව ඉහළ යද්දී එම සහල් වර්ගය සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඊට හේතුව කිසියම් පිරිසක් එම සහල් වර්ගය අතහැර තමන්ගේ දෙවන තේරීම වෙත යාමයි. නමුත් එසේ වෙද්දී කිසියම් වී ගොවීන් පිරිසක්ද මිල අඩු සහල් වර්ගය හදන වී වර්ගය අත හැර මිල වැඩි සහල් වර්ගය හදන වී නිපදවන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල අඩු සහල් වර්ගයේ සැපයුම අඩු වී මිල වැඩි සහල් වර්ගයේ සැපයුම ඉහළ යනවා. ඒ හේතුවෙන් මිල පරතරය අඩු වෙනවා.

ලංකාවේ ජනප්‍රිය සහල් වර්ග සඳහා තිබෙන රුචිකත්වයන් කාලයත් සමඟ ඉතා ඉක්මණින් වෙනස් වෙන්නේ නැහැ. දකුණේ රතු කැකුළු කා හැදුනු පවුලක අයෙකු මහනුවරට ගොස් පදිංචි වුනත් රතු කැකුළු රුචිකත්වය වහාම නැති වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ සහල් ඉල්ලුමේ සංයුතිය බොහෝ දුරට පොදු දැනුමක්. මේ පොදු දැනුම මත පදනම්ව සැපයුම කාලයක් තිස්සේ සකස් වී තිබෙනවා. ඒ නිසාම, විවිධ සහල් වර්ග වල මිල ගණන් අතර වෙනස්කම් ඒ තරම්ම විශාල නැහැ.

දෙදහස් විසි තුන (2023) වසරේදී සහල් ආනයන ලංකාවේ සහල් පරිභෝජනයෙන් 1%කටත් වඩා අඩුයි. එම වසර සාමාන්‍ය වසරක්. 2023 ජනවාරි තෙවන සතියේදී විවිධ සහල් වර්ග වල සිල්ලර මිල ගණන් පැවතුණේ පහත පරිදියි.

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 215.00

සුදු කැකුළු - රුපියල් 211.67

රතු නාඩු - රුපියල් 233.82

සුදු නාඩු - රුපියල් 215.68

සම්බා - රුපියල් 233.88

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 190.71

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 200.43

සම්බා - රුපියල් 222.67

මේ ඇසුරෙන් අපට නිරීක්ෂණ කිහිපයක් කළ හැකියි. පළමුව, රතු කැකුළු සහ රතු නාඩු සඳහා වෙළඳපොළේ ආනයනික ආදේශක තිබී නැති බවයි. දෙවැන්න, ආනයනික සහල් දේශීය සහල් වලට වඩා අඩු මිලකට වෙළඳපොළේ විකිණී ඇති බවයි. තෙවැන්න, විවිධ දේශීය සහල් වර්ග අතර මිල පරතරය ඒ තරම්ම විශාල නැති බවයි.

ආනයනික සහල් වර්ග අඩු මිලකට විකිණෙන්නේ ඉන්දියාව වැනි ඇතැම් රට වල එම සහල් වර්ග වල මිල අඩු නිසා. මෙසේ රුපියල් 10-20 අතර අඩු මිලකට ආනයනික සහල් විකිණෙන්නේ රජය විසින් බද්දක් අය කිරීමෙන්ද පසුවයි. එහෙත්, ඒ සමඟම නිරීක්ෂණය කළ යුත්තේ රතු සහල් වර්ග ඒ අයුරින් ආනයනය නොකෙරෙන බවයි. ඊට හේතුව එම සහල් වර්ග ආනයනය කර ලංකාවේ වෙළඳපොළ මිලට විකිණීය නොහැකි වීමයි.

ආනයනික සහල් වර්ග රුපියල් 10-20 පමණ මිල අඩු වුවද දේශීය සහල් වෙළඳපොළේ විකිණුනේ දේශීය සහල් වර්ග සඳහා වන ඇබ්බැහිය එවැනි මිල වෙනසක පාඩුවට වඩා ප්‍රබල නිසයි. මේ අවස්ථාවේදී (2023 ජනවාරි) බදු අඩු කර ආනයනික සහල් මීටත් වඩා අඩු මිලකට විකිණෙන්නට හැරියේනම්, දේශීය සහල් විකුණා ගැනීම අසීරු වී මිල අඩු කරන්නට සිදු වෙනවා. එසේ වීනම්, එය ඊළඟ වර්ෂයේ වී නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. නමුත්, රුපියල් 10-20 අතර මිල වෙනසක් එවැනි හානියකට තුඩු දුන්නේ නැහැ. එම මිල වෙනස තිබියදීද රටේ නිපදවනු ලැබූ සහල් ටික ප්‍රශ්නයක් නැතිව වීකිණුනා. 

මීට සාපේක්ෂව 2022 වර්ෂය සහල් සැපයුම හා අදාළව සාමාන්‍ය වර්ෂයක් නෙමෙයි. එම වර්ෂයේදී රට තුළ නිපදවුනේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 75.8%ක් පමණයි. අඩුව පිරවීම සඳහා සහල් ආනයනය කෙරුණා. 2022 ජනවාරි තෙවන සතියේදී පැවති මිල ගණන් මෙසේයි. 

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 165.83

සුදු කැකුළු - රුපියල් 163.05

රතු නාඩු - රුපියල් 158.46

සුදු නාඩු - රුපියල් 162.58

සම්බා - රුපියල් 173.93

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 131.28

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 137.71

සම්බා - රුපියල් 139.31

මේ අනුව අපට පෙනෙන පළමු කරුණ විවිධ දේශීය සහල් වර්ග වල මිල ගණන් අතර ලොකු වෙනසක් නැති බවයි. එහෙත් ආනයනික සහල් වර්ග විකිණී තිබෙන්නේ රුපියල් 25-35 අතර අඩු මිලකටයි. ආනයනික සහල් එපමණ අඩු මිලකට විකිණෙද්දී දේශීය සහල් මිල අඩු නොවුනේ ඇයි?

මීට හේතුව තමන් කැමති හාල් වර්ගයට තිබෙන ඇබ්බැහිය සහ ඒ ඇබ්බැහිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්නට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. පෙර කී පරිදි, 2022 රටේ සහල් සැපයුම 25%කින් අඩු වූ වසරක්. මෙම අඩුවීම රතු කැකුළු කෙරෙහි අනුපාතිකව බලපෑවේයයි සිතමු. එසේනම් එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍යයෙන් රතු කැකුළු කන හතර දෙනෙකුගෙන් එක් අයෙකුට රතු කැකුළු කන්නට නොලැබෙන බවයි. වෙළඳපොළ මිල කීයක් වුවත් මෙහි වෙනසක් නැහැ.

රතු කැකුළු සැපයුම සීමිතයි. රතු කැකුළු වලට කැමති පිරිස වඩා වැඩියි. දැන් ඔවුන්ට රටේ තිබෙන සීමිත රතු කැකුළු ප්‍රමාණය සදහා තරඟ කරන්නට සිදු වෙනවා. රතු කැකුළු මිල වැඩි වන තරමට කලින් රතු කැකුළු කෑ යම් පිරිසක් අඩුවට තිබෙන වෙනත් හාල් වර්ගයකට මාරු වෙනවා. මිල යම් මට්ටමක් දක්වා ඉහළ යාමෙන් පසුව රතු කැකුළු වෙළඳපොළේ තිබුණත්, පාරිභෝගිකයින්ගෙන් 25%ක් වෙනත් හාල් වර්ගයක් මිල දී ගැනීමට පෙළඹෙනවා. එය ඔවුන්ගේ දෙවන හෝ තෙවන තේරීම වෙන්න පුළුවන්. කෙසේ වුවත් යම් පිරිසක් රතු කැකුළු ඉල්ලන එක නැවතුනු විට, රතු කැකුළු ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඒ නිසා, වෙළඳපොළේ රතු කැකුළු හිඟයක් ඇති වෙන්නේ නැහැ. මිල ගෙවන්නට කැමති අයට රතු කැකුළු අඩු නැතිව තිබෙනවා.

රතු කැකුළු වලට වගේම ආනයනික ආදේශක නොමැති රතු නාඩු වලටත් වෙන්නේ ඔය දේමයි. යම් මට්ටමකට මිල වැඩි වූ පසු, ඉල්ලුම 25%කින් අඩු වෙනවා. ඒ අයට ප්‍රමාණවත් සැපයුමක් රටේ තිබෙනවා.

මේ විදිහට මිල වැඩි වීම නිසා රතු කැකුළු හෝ රතු නාඩු අත හැර දෙවන තේරීම සොයන අය ඉන් පසු හොයන්නේ සුදු කැකුළු, සුදු නාඩු හෝ සම්බා වැනි වෙනත් දේශීය සහලක්. එහෙත්, ඒ සහල් වලද සැපයුම 25%කින් අඩු වෙලා. ඒ වගේම දැන් අමතර ඉල්ලුමකුත් ඇති වෙලා. මෙහි ප්‍රතිඵලය ඒ සහල් වර්ග වල මිලද ඉහළ යාමයි. 

රතු සහල් වර්ග වලට කැමති ප්‍රමාණය 30%ක් සහ ඉතිරි පිරිස 70%ක් යැයි සිතමු. දැන් රතු සහල් සැපයුම 22.5%ක් සහ අනෙක් දේශීය සහල් වර්ග සැපයුම 52.5%ක්. රතු සහල් පාරිභෝගිකයින් 7.5%ක් එකතු වූ විට අනෙක් සහල් සඳහා ඉල්ලුම 77.5% දක්වා ඉහළ යනවා. වෙළඳපොල සමතුලිත වීමටනම්, එම ප්‍රමාණය 52.5% දක්වා අඩු විය යුතුයි. ඒ කියන්නේ 25%ක් දේශීය සහල් අතහැර ආනයනික සහල් ඉල්ලා සිටිය යුතුයි. එය සිදු වන තුරු ආනයනික සහල් සහ දේශීය සහල් අතර මිල පරතරය වැඩි විය යුතුයි. 2022දී එම පරතරය රුපියල් 25-35 දක්වා ඉහළ ගොස් තිබෙන්නේත්, 2023දී රුපියල් 10-20 මට්ටමේ තිබෙන්නේත් 2022දී දේශීය සහල් ඉල්ලුම හා සැපයුම අතර සැලකිය යුතු පරතරයක් තිබීම සහ 2023දී එවැනි තත්ත්වයක් නොතිබීම නිසායි.

මිල පාලනය කිරීමේදී මෙන්ම බදු හා කෝටා හරහා වෙළඳපොළට මැදිහත්වීමේදීද වෙළඳපොළ විකෘතියක් සිදු වෙනවා. නමුත් මේ විකෘති වීම් වල බලපෑම් සමාන නැහැ. ආනයන බදු හා ආනයන කෝටා දැමීමෙන් පසුවද වෙළඳපොළ මිල සංඥාව නැති වී යන්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බඩු හිඟ වෙන්නේ නැහැ. කළු කඩ ඇති වෙන්නේ නැහැ. නමුත් මිල පාලනය කළ විට මිල සංඥාව සම්පූර්ණයෙන්ම නැතිව යනවා. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ. බඩු හිඟ වෙනවා. කළුකඩ හැදෙනවා. දැන් සහල් වෙළඳපොළ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

පහත තිබෙන්නේ 2025 ජනවාරි තෙවන සතියේදී පැවති තත්ත්වයයි.

දේශීය සහල් වර්ග:

රතු කැකුළු - රුපියල් 310.00

සුදු කැකුළු - රුපියල් 244.00

රතු නාඩු - රුපියල් 260.00

සුදු නාඩු - රුපියල් 238.33

සම්බා - රුපියල් 248.33

ආනයනික සහල් වර්ග:

රතු කැකුළු - නැත

සුදු කැකුළු - රුපියල් 223.33

රතු නාඩු - නැත

සුදු නාඩු - රුපියල් 226.67

සම්බා - රුපියල් 246.50

රතු කැකුළු සහල් සඳහා අඩු මිල ආනයනික ආදේශක නැහැ. අනුර කුමාර දිසානායකට අනුව රතු කැකුළු සහල් කිලෝවක් ආනයනය කිරීම සඳහා රුපියල් 380ක් වැය වෙනවා. හරියටම ගණන කීයක් වුවත් මේ කියන කතාව ඇත්ත. සුදු නාඩු සහල් අඩුවට ආනයනය කළ හැකි වුනත්, රතු කැකුළු අඩු මිලට ආනයනය කරන්න බැහැ. නමුත් මිල පාලනයක් නොතිබුනානම් මෙය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2022දී රටේ හාල් හිඟයක් ඇති නොවුනේ ඒ නිසා.

මිල පාලනයක් නොතිබුණේනම්, රතු කැකුළු කන පිරිසක් රතු කැකුළු මිල දෙස බලා සුදු කැකුළු වලට මාරු වෙනවා. එවිට සුදු කැකුළු මිල ඉහළ ගොස් සුදු කැකුළු කෑ පිරිසක් අඩු මිලට තිබෙන ආනයනික සහල් වලට මාරු වෙනවා. වෙළඳපොළේ තව දුරටස් සෑම වර්ගයකම සහල් තියෙනවා.

මිල පාලනය නිසා ආනයනික සහල් රටට පැමිණියත් මේ ආදේශනය වුනේ නැහැ. රතු කැකුළු සාමාන්‍ය මිලටම විකිණුනා. ඒ නිසා, රතු කැකුළු වලට කැමති අය තව දුරටත් රතු කැකුළුම මිල දී ගත්තා. රතු කැකුළු වේගයෙන් ඉවර වුනා. ඉතිරි වී තිබෙන රතු කැකුළු සඳහා විශාල තරඟයක් තිබෙනවා. වැඩිම මිලක් ගෙවන්න කැමති අය රතු කැකුළු මිල දී ගන්නවා. හරි පාරෙන් බැරිනම් කළු කඩෙන් ගන්නවා. 

වෙළඳපොළේ රතු කැකුළු නැති නිසා රතු කැකුළු අහිමි වන අය තමන්ගේ දෙවන කැමැත්ත හොයනවා. ඒ නිසා, වෙනත් දේශීය හාල් වර්ග වල ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනය නිසා ඒ ඉල්ලුම අඩු වීමේ යාන්ත්‍රණයද ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා, අනෙකුත් සහල් වර්ගද හිඟ වී තිබෙනවා. 

Thursday, January 30, 2025

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි.

- ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා.

- ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු කොටසක් (0.3%) පමණයි. මෙම සහල් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉලක්ක කර අපනයනය කෙරෙන අතර ඉතා ඉහළින් මිල කෙරෙනවා. 

- රටේ සහල් නිෂ්පාදනය හොඳ මට්ටමක ඇති විට පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, එවැනි වසර වලදීද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා. මෙසේ ආනයනය කෙරෙන්නේ බාස්මතී වැනි මිල අධික සහල් වර්ගයි. මෙම සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් රටේ සහල් ඉල්ලුමෙන් 1%කට වඩා අඩුයි.

- එහෙත් රටේ සහල් නිෂ්පාදනය අඩු වන වසර වලදී පොදු පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. මෙම අවශ්‍යතාවය රටේ සහල් ඉල්ලුමෙන් 25%ක් පමණ දක්වා ඉහළ යා හැකියි. 

- ඉහත පරිදි සහල් ආනයනය කෙරෙන්නේ රටේ සහල් සැපයුම අඩු වකවානු වලදී බැවින් එවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් දේශීය සහල් මිල තිබෙන්නේ ඉහළ මට්ටමකයි. ඒ නිසා, කලාපයේ රට වලින් ඊට වඩා අඩු මිලකට සහල් ආනයනය කළ හැකියි. 

කෙසේ වුවද, සහල් යනු සමීප ආදේශක ගණනාවක් හඳුන්වන තනි වචනයක් මිස සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. විවිධ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ලංකාවේ සහල් භාවිතයේ විවිධත්වය පහත පරිදියි.

සුදු කැකුළු - 17.8%

සුදු කැකුළු සම්බා - 2.2%

රතු කැකුළු - 23.9%

රතු කැකුළු සම්බා - 1.0%

සම්බා - 15.6%

රතු නාඩු - 3.5%

සුදු නාඩු - 33.7%

බාස්මතී - 0.2%

වෙනත් - 1.9%

රටේ දිස්ත්‍රික්ක ගණනාවකම ජනප්‍රියම සහල සුදු නාඩු සහලයි. මෙම දිස්ත්‍රික්ක රටේ මැද කොටසේ සහ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයි. දකුණු, බටහිර හා උතුරු කලාප වල වෙරළබඩ දිස්ත්‍රික්ක වල වෙනස් රුචිකත්වයන් හඳුනා ගත හැකියි. සුදු නාඩු වඩාත්ම ජනප්‍රිය දිස්ත්‍රික්ක වල ඊළඟට ජනප්‍රිය සහල සුදු කැකුළු හෝ සම්බා සහලයි. මෙම දිස්ත්‍රික්ක වල රතු කැකුළු ඇතුළු රතු සහල් වර්ග භාවිතා වෙන්නේ ඉතා අඩුවෙන්. පහත තිබෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක සුදු කැකුළු, සම්බා සහ සුදු නාඩු භාවිතයේ ප්‍රමාණයයි. 

අනුරාධපුර - 95%

පොළොන්නරුව - 96%

කුරුණෑගල - 97%

පුත්තලම - 96%

කෑගල්ල - 94%

මහනුවර - 91%

මාතලේ - 96%

ත්‍රිකුණාමලය - 90%

අම්පාර - 87%

ගම්පහ දිස්ත්‍රික්කයේද ජනප්‍රියම සහල් වර්ග තුන ඉහත තුනම වුවත් ඒ අතරින් වඩා ජනප්‍රිය සම්බා සහලයි. රතු කැකුළු එතරම් ජනප්‍රිය නැහැ.

ගම්පහ - 88%

මෙයින් වෙනස්ව දකුණේ ජනප්‍රියම සහල රතු කැකුළු සහලයි. දෙවන තේරීම සුදු කැකුළු සහලයි. ඌව පළාත තුළ සුදු කැකුළු මුල් තැනට පමණ රතු කැකුළු දෙවන තැනට පැමිණෙනවා. නාඩු භාවිතය ඉතා අඩු එම ප්‍රදේශ වල රතු කැකුළු හා සුදු කැකුළු සහල් භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. 

ගාල්ල - 84%

මාතර - 95%

හම්බන්තොට - 96%

රත්නපුර - 84%

බදුල්ල - 87%

මොණරාගල - 93%

උතුරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ජනප්‍රියම සහල රතු නාඩු සහල වන අතර රතු කැකුළු සහ සම්බා ඔවුන්ගේ ඊළඟ තේරීම් දෙකයි. මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්ක වලදී රතු කැකුළු මුල් තැනට පැමිණෙන අතර, මන්නාරමේදී සම්බා මුල් තැනට එනවා. එම ප්‍රදේශ වල සුදු නාඩු සහල් ජනප්‍රිය නැහැ. අදාළ දිස්ත්‍රික්ක වල රතු නාඩු, රතු කැකුළු සහ සම්බා සහල් භාවිතය පහත පරිදියි.

යාපනය - 95%

කිලිනොච්චි - 84%

මුලතිවු - 85%

වවුනියා - 74%

මන්නාරම - 79%

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල දැකිය හැක්කේ මිශ්‍ර රටාවක්. කොළඹදී සම්බා සහල් සහ කළුතරදී රතු කැකුළු සහල් මුල් තැනට පැමිණෙන නමුත් ලංකාවේ ජනප්‍රිය අනෙකුත් සහල් වර්ග භාවිතයද ආසන්න මට්ටම් වල තිබෙනවා. 

මේ අනුව, ලංකාවේ සහල් රුචිකත්වය අනුව ප්‍රධාන කලාප හතරක් සහ අතුරු කලාප ගණනාවක් හඳුනා ගත හැකියි. ඒ අතරින් විශාලම කලාපය සුදු නාඩු - සුදු කැකුළු - සම්බා කලාපයයි. එහි අනු කලාප තුනක් තිබෙනවා.

සුදු නාඩු - සුදු කැකුළු ප්‍රදේශ 

සුදු නාඩු - සම්බා ප්‍රදේශ 

සම්බා - සුදු නාඩු ප්‍රදේශ 

සම්බා භාවිතය රුචිකත්වයට වඩා ආදායම් මට්ටම මත තීරණය වන්නක් විය හැකියි.

දෙවන ප්‍රධාන කලාපය කැකුළු කලාපයයි. ඒ තුළ රතු කැකුළු අනු කලාපයක් සහ සුදු කැකුළු අනු කලාපයක් තිබෙනවා.

තෙවන ප්‍රධාන කලාපය උතුරේ රතු නාඩු - රතු කැකුළු - සම්බා කලාපයයි. එහිද අනු කලාප තුනක් දැකිය හැකියි. 

සිවු වන ප්‍රධාන කලාපය මිශ්‍ර කලාපයක් වන අතර එය ඉහත පළමු කණ්ඩායම් දෙකේ මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි.

සාමාන්‍ය වසරකදී ඉහත සියලු පාරිභෝගික කණ්ඩායම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වෙනවා. එහෙත් එම සහල් නිපදවෙන්නේ රටේ එක් කොටසකයි. සහල් අතිරික්ත කලාපය ලෙස හඳුනාගත හැකි එම කලාපයන් බාහිරව සහල් හිඟ කලාප දෙකක් තිබෙනවා. ඒ නිරිතදිග තෙත් කලාපයේ දිස්ත්‍රික්ක දහයක් අයත් විශාල කලාපය සහ උතුරේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ කලාප වලට සහල් අතිරික්ත කලාපයෙන් සහල් සැපයෙනවා.

එහෙත් අස්වනු අඩු වසර වලදී රටේ සහල් අවශ්‍යතාවය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී මෙන්ම සාමාන්‍ය වසරකදී වුවද සහල් හිඟ කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අඩු මිලට සහල් මිල දී ගැනීමටයි. එහෙත් සහල් අතිරික්ත කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් වැඩි මිලකට තමන්ගේ වී අස්වනු විකුනා ගැනීමටයි. රජය විසින් ආනයන බදු හා ආනයන පාලනය මගින් මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා අතර තුලනයක් පවත්වා ගන්නවා. 

මතු සම්බන්ධයි.

Saturday, January 25, 2025

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද?


ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්.

"අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය පෙන්වා එහි උදවුවෙන් සහල් මිල වැඩි කරනවා. ඊට පස්සේ දිගින් දිගටම වැඩි මිලට සහල් එළියට දමනවා. නමුත් එහෙම කරන්නේ සැපයුම පාලනය කරමිනුයි. මේ විදිහට සැපයුම පාලනය කිරීම මගින් සහල් හිඟය පෙන්වමින් මිල තව තව වැඩි කරනවා. එසේ කරමින් ලාබ එකතු කර ගන්නවා. ඔය විදිහට මිල ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා ඊළඟ කන්නේ අස්වනු කැපෙන්න කිට්ටු වෙද්දී අර එකතු කරගත් වී මහා පරිමාණයෙන් සහල් කර අඩු මිලට වෙළඳපොළට දැමීම මගින් සහල් මිල බස්සනවා. එහෙම සහල් මිල බස්සලා එහි උදවුවෙන් නැවතත් වී ටික කුණු කොල්ලෙට ගන්නවා."

මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙනවා කියලා විශ්වාස කරන, නමුත් කතාව හරියට පැහැදිලිව ගලපාගන්න අමාරු අයට ඔය විස්තරය කියෙවුවහම "හරියටම හරි! ඕක තමයි වෙන්නේ" කියලා හිතෙයි. මෙය විස්තරාත්මක සහ බැලූ බැල්මටම තර්කානුකූල සේ පෙනෙන කතාවක්. ඔය දේ ඔය විදිහටම වෙනවා කියන එක කෙනෙකුට ඒත්තු ගන්වන්න අපහසු නැහැ. ඒ වගේම, වරින් වර මහ පොළොවේ පෙනෙන සංයුක්ත නිරීක්ෂණ එක්ක මේ කතාව ගලපන්නත් පුළුවන්. 

මෙහි මම ලියා තිබෙන තරම් සංක්ෂිප්තව සහ නිරවුල්ව විස්තර කරන්න අමාරු විය හැකි වුවත්, මෙය කියවන විශාල පිරිසක් වුවද ඇත්තටම සිදු වන දේ ලෙස හිතන්නේ මීට කිට්ටු දෙයක්. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබෙන අයෙකුට හැර වෙනත් අයෙකුට මේ කතාවේ තිබෙන වැරදි හා අඩුපාඩු පැහැදිලි කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අවබෝධය තිබෙන බොහෝ දෙනෙකුට වුවත්, මේ කතාවේ අවුලක් තිබෙන බව තේරුණත්, අවුල පහසුවෙන් විස්තර කළ හැකියයි මම හිතන්නේ නැහැ. 

ඇත්තටම වෙන්නේ ඔය වගේ දෙයක් කියන නිගමනයට ආවට පස්සේ ප්‍රශ්නය විසඳිය හැකි ක්‍රමය යෝජනා කරන්න අමාරු නැහැ. පළමු පියවර සහල් වලට පාලන මිලක් නියම කිරීම. මේ ප්‍රවාදය විශ්වාස කරන බොහොමයක් අයට අනුව, සහල් වලට පාලන මිලක් නියම කරපු ගමන්ම වී මෝල්හිමියෝ සහල් සැපයුම තව දුරටත් සීමා කරලා සහල් හිඟයක් ඇති කරනවා. ඒකට විසඳුම රජය මැදිහත් වෙලා වී මෝල්හිමියන් සතු වී තොග සහල් කර පාලන මිලට වෙළඳපොලට නිකුත් කරන බවට වග බලා ගැනීම. 

නමුත්, මේ ප්‍රවාදය විශ්වාස කරන අයට අනුවම, ඔය විදිහේ මැදිහත් වීමක් කළාට පස්සේ ඊළඟ කන්නයේදී වී මෝල්හිමියන් විසින් වී මිලදී නොගෙන ඉන්න පුළුවන්. එහෙම වුනොත්, වී ගොවීන්ට තමන්ගේ වී ටික විකුණගන්න බැරි වෙනවා. ඒකටත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි රජය මැදිහත් වී සහතික මිලකට වී ටික මිල දී ගන්න එක. ඒ වැඩේ මේ වෙලාවේ හදිස්සියේ කළ නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් රජය සතුව නැති නිසා. ගබඩා ප්‍රශ්නය විසඳාගත් විට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සේ වී මිල තීරණය කරන්නේ රජය. සහල් මිල තීරණය කරන්නෙත් රජය. 

තව දුරටත් ඉතිරි වන ප්‍රශ්නයක් වන්නේ රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම. මේකටත් විසඳුම් තිබෙනවා. ඒ තමයි දිගුකාලීනව රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගන්නා අතර, එම ඉලක්කයට යන තුරු හරියටම ඉල්ලුම හා සැපයුම අතර වෙනසට සමාන සහල් ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම සහ ඒ විදිහට ආනයනය කරන සහල් රජය විසින් නියම කර ඇති පාලන මිලට විකිණීම. දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා. එකම දේ මේ වැඩේ කරන්න රටේ සහල් පරිභෝජනය සහ සහල් සැපයුම පිළිබඳ දත්ත හරියටම අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩේ වැරදෙන්න පුළුවන්.

මේ සමස්ත විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් කළ යුතු විශාල කාර්ය භාරයක් තියෙනවා. පළමුව, වී ගොවියාගේ පිරිවැය රජය විසින් හරියට ගණන් හදලා, වී ගොවියාට සාධාරණ ලාබයකුත් තියලා වී මිල තීරණය කරන්න වෙනවා. වී ගොවියාගේ ලාබය කොපමණ විය යුතුද කියන එක තීරණය කරන්නේ රජය. ඊළඟට වී එකතු කර ගබඩා කර තබා ගැනීමේ, සහල් කිරීමේ හා බෙදා හැරීමේ පිරිවැය හරියටම නිවැරදිව ගණනය කරන්න වෙනවා. වෙළෙන්දන්ගේ ලාබය කොපමණ විය යුතුද කියන එකත් තීරණය කරන්න වෙනවා. මේ අනුව තමයි සහල් මිල තීරණය කරන්නේ. ඔය සියල්ලම කරන්නේ රජය විසින්. 

ඕකට තමයි සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියා කියන්නේ. මේ ක්‍රමය ඇතුළේ රජයට සෘජු සම්බන්ධයක් නැති වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඉන්න පුළුවන්. එහෙම හිටියා කියලා මෙය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් නොවෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රමය ඇතුළේදී වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඇතුළු සියල්ලන්ම ඉන්නේ රජයේ මධ්‍යගත සැලසුම ඇතුළේ. ඒ අය රජය නොවන්නේ නමට පමණයි. 

වී ගොවියාගේ ලාබය තීරණය කරන්නේ රජය. වී මෝල්හිමියාගේ, තොග හා සිල්ලර වෙළෙන්දාගේ, ආනයනකරුවගේ ලාබය තීරණය කරන්නෙත් රජය. ඒ හැමෝම මධ්‍යම සැලසුම් යාන්ත්‍රණයේ දැති රෝද පමණයි. කිසිවෙකුටත් ස්වාධීනව කටයුතු කර තමන්ගේ ලාබ හොයන්න බැහැ. 

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියා කියන්නේ වෙළඳසැල් වල ගොඩනැගිලි සහ ඒවායේ අයිතිකරුවන් හා සේවකයින් නෙමෙයි. ඒ භෞතික දේවල් වලින් එහාට ගිය සංකල්පයක්. සමුපකාර හෝ රජයටම අයිති ව්‍යාපාර ක්‍රියාත්මකව තිබුණත්, මූලික ලක්ෂණ අනුව රටක තිබෙන ආර්ථික ක්‍රමය ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පෞද්ගලික අංශය විශාල ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතරම සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වන මූලික මූලධර්ම මොනවද කියන එකයි.

ඉහත හේතුව නිසාම, ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් පැවතීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තැන් ලෝකයේ නැහැ. වැදගත් වෙන්නේ රජය මැදිහත් වෙන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාවය වැඩි කරන විදිහටද එහෙම නැත්නම් වෙළඳපොළට බාධා වෙන විදිහටද කියන එකයි. 

නැවත මුලට ගියොත්, දුෂ්ඨ වී මෝල්හිමියාගේ කතාවේ එක කොටසක් මේ වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි වී මෝල්හිමියන් විසින් සහල් තොග සඟවනවා කියන කතාව. ජනතාව අනුරව ගල් ගුහාවට යැවුවේ එහි සිටින බව විශ්වාස කළ ගිණි මකරාව මරන්න. ගල් ගුහාව ඇතුළේ ඔය කියන විදිහේ ගිණි මකරෙක් නැති බව ඩඩ්ලි සිරිසේන වගේ වී මෝල්හිමියන් විසින් දිගින් දිගටම කිවුවා. නමුත් ගල් ගුහාවට ගිහින් නැති මිනිස්සු ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. 

ගල් ගුහාවට ගිහින් නැති අපි වගේ අය ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැහැ කියන්නේ ලෝකයේ ගිණි මකරු කියා ජාතියක් ඉන්න බවට සාක්ෂි නැති නිසා සහ ඇතැම් මූලික දැනුම් අනුව ඒ කියන විදිහේ සත්තු වර්ගයක් සිටිය නොහැකි නිසා. ඒ හැර ගල් ගුහාවට ගිහින් පරීක්ෂා කර බලලා නෙමෙයි. දැන් අනුර ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කියන්නේ ගල් ගුහාව පරීක්ෂා කරලා. ඒ විදිහට පරීක්ෂා කර තහවුරු කරගත්තට පස්සේ ඔහු ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කීමෙන් නොනැවතී ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරනවා.

එක දෙයක් ගැනනම් ජනාධිපති අනුරව විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට පැහැදිලි කිරීම් කරන එක ගැන. මේක තමයි මහජන දේශපාලනය. සන්නිවේදන හැකියාවන්ගේ සීමාවන් නිසා හෝ හැම දෙයක්ම මහජනයා දැනගත යුතු නැතැයි සිතපු නිසා මීට කලින් රාජ්‍ය නායකයෝ කවුරුවත් ඔය මට්ටමට ගිහින් පැහැදිලි කිරීම් කළේ නැහැ. ඒ අනුව, පැහැදිලි කිරීම් වල මොන තරම් වැරදි හා අඩුපාඩු තිබිය හැකි වුවත්, මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයක්.

අනුර කියන විදිහට වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ. එහෙම හංගන්න තර්කානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔහු එහෙම කිවුවා කියලා මුලින්ම විස්තර කරපු ජනප්‍රිය ප්‍රවාදය අවලංගු වෙන්නේ නැහැ. වී හැංගුවේ නැතත්, කතාවේ විස්තර කෙරෙන ආකාරයට වී කුණු කොල්ලෙට ගැනීම සහ පසුව වැඩි මිලට විකිණීම කරන්න පුළුවන්නේ.

හැබැයි අනුර බිඳ දමන්නේ වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ කියන මතය පමණක් නෙමෙයි. ඔහු එතැනින් එහාට ගිහින් වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලෙට වී මිල දී ගන්නවා කියන මතයත් බිඳ දමනවා. අනුර කියන විදිහට දැන් වෙන්නේ මී මෝල්හිමියන් විසින් "ඕනෑවට වඩා" වැඩි මිලකට වී මිල දී ගන්න එක.

අනුරට අනුව, වී මෝල්හිමියන් විසින් දැන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140ක පමණ මිලකටයි. ඒ මිලට වී අරගෙන කිලෝව රුපියල් 220ට හාල් විකුණන්න බැහැ. රුපියල් 220ට හාල් විකුණන්නනම් රුපියල් 117ට වී මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ වී සහල් කිරීමේ පිරිවැය පිළිබඳ රජයේ හෝ අනුරගේ ඇස්තමේන්තු සහ ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම අනුව අතරමැදියන් විසින් ලබා ගත යුතු ලාබ එකතු කළාට පස්සේ වී සහ සහල් කිලෝවක මිල ගණන් අතර අනුපාතය 1.88 පමණ වෙනවා. මේ අනුපාතය අනුව, රුපියල් 140ට මිල දී ගන්න වී සහල් කර විකුණන්න වෙන්නේ රුපියල් 263ක පමණ මිලකටයි. 

අනුර කියන විදිහට දැන් රතු කැකුළු සහල් විකිණෙන්නේ රුපියල් 280 වැනි මිලකට. වී මෝල්හිමියන් විසින් වී හංගා නැතත්, වී කුණු කොල්ලයට අරගන්නේද නැතත්, ඔවුන් ඕනෑවට වඩා ලාබයක් ලබනවා කියා තව දුරටත් තර්ක කරන්න පුළුවන්. කොහොම වුවත්, ඒ ලාබය කවර හෝ ක්‍රමයකින් "අවශ්‍ය ප්‍රමාණයට" සීමා කළත්, ආණ්ඩුවට අවශ්‍ය මිලට පාරිභෝගිකයාට සහල් ලබා දීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ වී ගොවියාට ගෙවන මිල අඩු කිරීම මගින් පමණයි. පෙනෙන විදිහට අනුර ඉලක්ක කරන මැදිහත්වීම තුළ සිදු වෙන්නෙත් එයයි. නිශ්චිතව සූත්‍රගත කළොත් අතරමැදියාගේ ලාබ සීමා කිරීමෙන් නොනැවතී "වී ගොවියා විසින් උපයන අසාධාරණ ලාබය සීමා කිරීම". ඒ සඳහා රජය සතු වැඩ පිළිවෙලක් තිබෙන බවයි අනුර කියන්නේ.

සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්ක විවිධ ආර්ථික ක්‍රම ගැන සන්සන්දනයක්ද කරමින් ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

මේ සමඟ පළ කරන පළමු ඡායාරූපයේ තිබෙන්නේ ඊයේ දිනයේදී අපේ ගෙවල් ළඟ තිබෙන වෙළඳසැලකදී ගත් රතු කැකුළු සහල් කොට්ටයක ඡායාරූපයක්. මා රතු කැකුළු ලෝලියෙකු නෙමෙයි. එහෙත් අවශ්‍යනම් එම වෙළඳසැලෙන් අවශ්‍ය පමණ රතු කැකුළු සහල් මිල දී ගන්න පුළුවන්. තවත් ලංකාවේ සහල් වර්ග ගණනාවක් මිල දී ගන්නත් පුළුවන්. ලෝකයේ වෙනත් රටවල නිපදවන වෙනත් සහල් වර්ග විශාල ප්‍රමාණයක් මිල දී ගන්න වගේම පොල් සහ පොල් නිෂ්පාදනත් කිසිදු හිඟයකින් තොරව මිල දී ගන්න පුළුවන්. ගාපු පොල්, පොල් කිරි ටින්, ලෙලි ගැසූ පොල්, ලෙලි සහිත පොල්, කුරුම්බා, කොට්ට පොල්, පොල් වතුර ආදී බොහෝ දේවල් එම වෙළඳසැලේ ඇති තරම් තිබෙනවා. දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ලෙලි ගැසූ පොල් තොගයක්. අපිනම් අවශ්‍ය වූ විට ආහාර පිසින්න භාවිතා කරන්නේ පොල් කිරි ටින් සහ ගාපු පොල්. පොල් ගාන්න මහන්සි වෙනවාට වඩා මේවා භාවිතා කරන එක පහසුයි. රසේ එහෙමට දැනෙන වෙනසකුත් නැහැ. 

අපට අවශ්‍යනම් ගාපු පොල් වලින් සම්බෝල හදාගන්න පුළුවන්. පොල් මිල දී ගෙන පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. ලෙලි සහිත පොල් මිල දී ගෙන ලෙලි ගහලා, පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. අපට ප්‍රශ්නයක් නැත්නම් සහ අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, පොල් නාස්ති වෙනවද නැද්ද කියන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ හාල් පොල් හැම දෙයක්ම දුර කතර ගෙවා අපේ අත ලඟට එන්නේ රජයේ කිසිදු මැදිහත් වීමක් නැතිවයි. ඒ තමයි වෙළඳපොළ ක්‍රමයේ අපූර්වත්වය! 


Monday, January 13, 2025

කුඩා වී මෝල් හිමියන්ට ණය සහනයක්!


රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා සහන ණය ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා ගත හැකි අතර, අදාළ ණය මුදල දින 180ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතුයි. 

මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වී තිබෙන්නේ ඉදිරි මහ කන්නයේදී (2024/25) රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙන අවම මිලක් යටතේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට පහසුකම් සැලසීමයි. යෝජනා ක්‍රමය යටතේ මැයි 15 දක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 10,000ක් දක්වා මුදලක් නිදහස් කිරීමට නියමිතයි.

මෙම ණය යෝජනා ක්‍රමය ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ලෙස (Pledge Loan Scheme) හඳුන්වා දී ඇතත්, ණය සඳහා රජය විසින් ඇප වන බවක් සඳහන්ව නොමැති බැවින් ණය සඳහා ඇපකරයක් ඉදිරිපත් කිරීමේ වගකීම ණය අයදුම්කරුවන් විසින් කළ යුතු බවකුයි පෙනී යන්නේ. ඒ අනුව, ඔවුන්ට මෙමගින් ලැබෙන විශේෂ වාසිය වනුයේ වෙළඳපොළ පොලී අනුපාතික වලට වඩා අඩු පොලී පිරිවැයක් දරන්නට සිදු වීමයි. 

රජය විසින් මෙවැනි මැදිහත් වීමක් සිදු කර යම් පිරිසකට වාසියක් සලසන විට එම වාසිය වෙනුවෙන් තවත් කවර හෝ පිරිසකට පාඩුවක් දරන්නටද සිදු වෙනවා. ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ බැංකු හරහා බැවින් මෙහිදී බැංකු වලට සිදු වන පාඩුව යම් ආකාරයකින් ප්‍රතිපූරණය විය යුතුයි. එහෙත්, රජය විසින් මෙම ණය සහනයේ පිරිවැය බැංකු වලට ප්‍රතිපූරණය කරන බවක් සඳහන්ව නැහැ. 

ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. එම ප්‍රශ්නයනම් වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී තිබීම සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් ලැබීමයි. මෙය ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන, එහෙත් කිසිවකු විසින් තහවුරු කර නොමැති ආඛ්‍යානයක්.

කාලයක් තිස්සේම වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ දේශපාලන මතය වූයේද ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය මැදිහත් වී විසඳිය යුතු ප්‍රශ්නයක් ඇති බවයි. ඒ අනුව, එම මතය දැරූ ලංකාවේ බොහෝ දෙනෙකුව වත්මන් ආණ්ඩු පක්ෂය විසින් දේශපාලනිකව නියෝජනය කළා. තමන් බලය ලබා ගැනීමෙන් පසුව මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දීම එම කණ්ඩායමේ ඡන්ද පොරොන්දුවක්. දැන් ආණ්ඩුව විසින් කරන්නට යන්නේ එම ඡන්ද පොරොන්දුව ඉටු කිරීමයි. 

දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරු මත පදනම්ව නිගමනය කළ හැක්කේ මෙම ණය යෝජනා ක්‍රමය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු එකඟ කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. එහෙත්, එහිදී රජය විසින් බැංකු වලට සිදු වන පාඩුව ප්‍රතිපූරණය නොකරන බැවින්, මෙහිදී සිදු වනු ඇත්තේ මෙම ණය සහනයේ පිරිවැය පොදුවේ බැංකු වල තැන්පතු කරුවන්ට සහ අනෙකුත් ණය අයදුම්කරුවන්ට දරන්නට සිදු වීමයි. එය සිදු වනු ඇත්තේ බැංකු වල තැන්පතු පොලී පහළ යාමක් සහ අනෙකුත් ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතික ඉහළ යාමක් ලෙසයි. කෙසේ වුවත්, මෙම මැදිහත් වීමේ බලපෑම ඒ තරම්ම විශාල නොමැති බැවින් එමගින් පොලී අනුපාතික වලට දැනෙන බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී සමස්තයක් ලෙස වාණිජ බැංකු වල ස්ථිර තැන්පතු සඳහා ගෙවූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 9.27%ක්. ස්ථිර තැන්පතු නොවන පොලී රහිත හෝ අඩු පොලී තැන්පතුද සැලකූ විට එම පොලී අනුපාතිකය 7.53%ක්. වාණිජ බැංකු විසින් ණය ලෙස නිකුත් කරන්නේ මේ අයුරින් තැන්පතුකරුවන්ගෙන් ලබා ගන්නා අරමුදල් වන බැවින් තැන්පතු වෙනුවෙන් දැරිය යුතු පිරිවැය එම අරමුදල් සැපයීමේ සෘජු පිරිවැයක්. 

ඉහත තැන්පතු පොලී පිරිවැයට අමතරව බැංකු විසින් ඔවුන්ගේ පරිපාලන වියදම් පියවා ගත යුතු අතර කොටස්හිමියන් විසින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් අවදානමට සරිලන ප්‍රතිලාභයක්ද ගෙවිය යුතුයි. ඒ නිසා, ණය ලෙස අරමුදල් ලබා දිය හැක්කේ සාමාන්‍ය තැන්පතු පොලිය ඉක්මවන පොලී අනුපාතිකයකටයි.

ජනවාරි පළමු සතියේදී වානිජ බැංකු විසින් ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දී තිබෙන සාමාන්‍ය පොලී අනුපාතිකය 8.74%ක්. මෙම හොඳම පාරිභෝගිකයින් යනු ණය පැහැර හැරීමේ අවදානම අඩුම පාරිභෝගිකයිනුයි. එම අවදානම ඉහළ යාමට අනුරූපව බැංකු විසින් පිරිවැය ආවරණය කර ගැනීම සඳහා අය කළ යුතු පොලී අනුපාතිකයද ක්‍රමයෙන් ඉහළ යනවා. උදාහරණයක් ලෙස කිසියම් කාණ්ඩයක ණයහිමියන් අතරින් 1%ක් ණය ආපසු නොගෙවීමට ඉඩ ඇත්නම්, එම හානිය වලක්වා ගැනීම සඳහා අදාළ කාණ්ඩයේ සියලුම ණයහිමියන්ගෙන් 1%ක අමතර පොලියක් අය කරන්නට සිදු වෙනවා. 

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම සාපේක්ෂව වැඩියි. එබැවින් මෙම සහන ණය ක්‍රමය නොපැවතියේනම් ඔවුන්ට ණය ලබා ගත හැකි වනු ඇත්තේ 11%-13% වැනි පොලියකටයි. ඒ අනුව, 7%ක වාර්ෂික පොලියකට ණය ලැබෙද්දී ඔවුන්ට 4%-6% පමණ ණය සහනයක් ලැබෙනවා. එය මාස හයක කාලයක් සඳහා ලබා ගන්නා ණය මුදලෙන් 2%-3% පමණ වූ ණය සහනයක්.

මේ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයෙන් එක් ණයහිමියෙකුට ලැබෙන සහනය රුපියල් මිලියන 1.0-1.5 පමණ වන අතර සමස්තයක් ලෙස බැංකු පද්ධතියට මේ වෙනුවෙන් රුපියල් මිලියන 200-300 පමණ වූ අමතර පිරිවැයක් දරන්නට සිදු වෙනවා. බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන අටක් පමණ වන අතර, මාස හයක කාලයක් ඇතුළත එම ණය වලින් 5%ක් අලුත් වන බවත්, එම අලුත් ණය වෙනුවෙන් 10%ක පොලී අනුපාතිකයක් අය කෙරෙන බවත් උපකල්පනය කළහොත්, එම අලුත් ණය කොටසේ මාස හයක පොලී ආදායම රුපියල් බිලියන 20ක් පමණ වෙනවා. ඊට සාපේක්ෂව රුපියල් මිලියන 200-300ක මුදලක් එතරම් විශාල මුදලක් නොවන බැවින්, බැංකු වලට පොදුවේ ණය පොලිය 0.10-0.15%කින් වැඩි කර හෝ තැන්පතු පොලී එපමණකින් අඩු කර ණය සහනයේ අලාභය පහසුවෙන්ම පියවා ගත හැකියි. එමගින් එක් තැන්පතුකරුවෙකුට හෝ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු හෝ සමුපකාර සමිතියක් නොවන අලුත් ණයහිමියෙකුට ඒ තරම් විශාල පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මෙහිදී ආර්ථික විද්‍යාවේදී අකාර්යක්ෂමතාවය අර්ථදක්වන්නේ කෙසේද යන්න පිළිබඳවද යම් මතක් කිරීමක් කළ යුතුයි. රජය මැදිහත් වී එක් අයෙකුගෙන් යම් මුදලක් ගෙන එම මුදලම වෙනත් අයෙකු වෙත ලබා දේනම් එහිදී ආර්ථික විද්‍යාව අනුව කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, මෙම මැදිහත්වීමෙන් පසුවද අදාළ මුදල කවර හෝ අයෙකු සතුව තිබීමයි. මෙවැන්නක් කිරීම සාධාරණද නැද්ද යන්න ආර්ථික විද්‍යාවෙන් පරිබාහිර දේශපාලනික කරුණක්.

ආර්ථික විද්‍යාවේදී රාජ්‍ය මැදිහත්වීම අකාර්යක්ෂම බව පවසන්නේ මේ අයුරින් මැදිහත් වීමක් කරද්දී එක් අයෙකුගෙන් රජය විසින් ලබා ගන්නා මුදල එලෙසම වෙනත් අයෙකුට නොලැබෙන බැවිනුයි. එහිදී මුල් මුදලෙන් යම් කොටසක් කිසිවකු සතුව නොමැති බැවින් කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා. 

ඉහත උදාහරණය වෙත පැමිණියහොත්, බැංකු විසින් තැන්පත්කරුවන්ගේ පොලිය අඩු කිරීම හෝ අනෙකුත් ණයහිමියන්ගේ පොලිය වැඩි කිරීම නිසා ඔවුන්ට සිදු වන පාඩුවට හරියටම සමාන වාසියක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට ලැබේනම් එයින් කිසිදු කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. එහෙත් මේ සඳහා කිසියම් රාජ්‍ය කාර්යාංශයක් පිහිටුවනු ලැබුවහොත් ඒ සඳහා යන පිරිවැය ඉහත අයුරින් සම්ප්‍රේෂණය වන්නේ නැහැ. 

උදාහරණයක් ලෙස කිසියම් බද්දක් අය කර අස්වැසුම වැනි සහනාධාරයක් ලබා දෙන විට එකතු කරන මුළු බදු මුදලම අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීමේදී කාර්යක්ෂමතා හානියක් සිදු නොවන නමුත් අදාළ නිලධාරීන් වෙනුවෙන් එම බදු මුදල් කොටසක් වැය වන බැවින් එකතු කරගන්නා මුළු බදු මුදල් ප්‍රමාණයම අස්වැසුම ප්‍රතිලාභීන්ට ලැබෙන්නේ නැහැ. එහිදී කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා.

මේ ආකාරයෙන් රජය සෘජු ලෙස මැදිහත් නොවී බැංකු මගින් අවශ්‍ය කටයුත්ත කර ගැනීමේදී වුවද කාර්යක්ෂමතා හානියක් සිදු වන නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය මුඛ්‍ය කරුණ එය නොවෙයි. එම මුඛ්‍ය කරුණ මෙමගින් දේශීය සහල් වෙළඳපොළට කවර බලපෑමක් වේද යන්නයි.

මේ වන විට ලංකාවේ වී ගොවීන්ගෙන් වී මීල දී ගැනීම, වී ගබඩා කර තබා ගැනීම, සහල් බවට පත් කිරීම සහ එම සහල් වෙළඳපොළට නිකුත් කිරීම බොහෝ දුරට සිදු කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින්.  සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ඔවුන් සමඟ තරඟ කළ නොහැකියි. ඒ ඇයි?

මෙයට හේතු කිහිපයක් පාදක වෙනවා.

1. ප්‍රාග්ධනයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන්ට සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට වඩා අඩු පොලියකට බැංකු ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට හේතුව ඔවුන් විසින් ණය පැහැර හරිනු ලැබීම අවදානම අඩු මට්ටමක පැවතීමයි. මගේ තක්සේරුව වනුයේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු විසින් ණය ලබා ගැනීමේදී 11%-13% වැනි පොලියක් ගෙවිය යුතු වුවත්, මහා පරිමාණ වී මෝල් හිමියෙකුට 9%ක පමණ පොලියකට බැංකු ණය ලබා ගත හැකි බවයි. තමන්ගේ අරමුදල් මේ වෙනුවෙන් යෙදවීමේ හැකියාව කණ්ඩායම් දෙකටම තිබෙන නිසා මා ඒ ගැන සලකා බලන්නේ නැහැ.

2. පරිමාණයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් සතු ප්‍රධානම වාසිය පරිමාණයේ වාසියයි. 

3. කීර්ති නාමයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ගොඩ නගා ගෙන ඇති කීර්ති නාමයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙළඳපොළට නිකුත් කරන සහල් වල ගුණාත්මක භාවය අමාරුවෙන් තහවුරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

දැන් ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කෙසේද?

සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට 7% පොලියට ණය ලැබීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ඉහත පළමු වාසිය නැතිව යනවා පමණක් නොව එම කරුණ හා අදාළව අවාසිදායක තරඟයකට මුහුණ දීමටද සිදු වෙනවා. එහෙත්, දෙවන හා තෙවන වාසි වලට බලපෑමක් සිදු වන්නේ නැහැ. 

සහන ණය ලබා ගන්නා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට පනවා ඇති එක් කොන්දේසියක් වන්නේ රජය විසින් නියම කරන අවම මිලට වී මිල දී ගත යුතු බවයි. මෙමගින් සිදු වන බලපෑම කුමක්ද? 

වී කිලෝවක සහතික මිල රුපියල් 100ක් සේ සැලකුවහොත් සහන ණය ලෙස ලබා දෙන රුපියල් මිලියන 10,000ක මුදලෙන් වී කිලෝග්‍රෑම් මිලියන 100ක් පමණ මිල දී ගත හැකියි. එම ප්‍රමාණය මහ කන්නයේ වී සැපයුමෙන් 4%ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, මෙම සහන ණය හේතුවෙන් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන්ට විශාල තරඟයකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. එමෙන්ම ගුණාත්මක භාවයෙන් අඩු (තෙත) වී මිල දී ගෙන භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේද මහා පරිමාණ වී මෝල් හිමියන් සතුවයි. මේ අනුව, අරමුදල් සහන පොලියකට ලැබුණද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට කළ හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගන්නා මිලට හෝ ඊට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීමටයි. මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් රජය නියම කර තිබෙන අවම මිලට වී මිල දී ගන්නේනම් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ටද අවම වශයෙන් ඒ මිලම ගෙවන්නට සිදු වෙනවා. 

ණය සහනය නිසා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට, මහා පරිමාණ වී මෝල් හිමියන්ට සාපේක්ෂව, 2%ක පමණ වන (= 9% - 7%) ප්‍රාග්ධන පිරිවැය අඩු වීමේ වාසියක් ලැබෙනවා. මෙය මාස හයකට 1%ක පමණ වාසියක්. එනම්, වී කිලෝවකට රුපියලක පමණ වාසියක්. මෙම රුපියලේ වාසියේ උදවුවෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය ඉක්මවා යමින් අඩු මිලකට සහල් නිපදවීමට ඔවුන්ට හැකි වනු ඇත්ද? 

මගේ අදහසනම්, මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලක වාසියට වඩා වැඩි බවයි. ඒ නිසාම, මෙම ණය සහනය ලබා දුන්නද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ තරඟ කළ නොහැකි බවයි. එය එසේනම්, මෙම මැදිහත්වීම නිසා වෙළදපොළ සිල්ලර සහල් මිල කෙරෙහි කිසිදු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ.

යම් හෙයකින් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලකට වඩා බෙහෙවින්ම වැඩිනම්, උදාහරණයක් ලෙස රුපියල් පහක් පමණ වේනම්, මෙම සහන ණය ලබා දීමෙන් පසුවද සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ප්‍රමාණවත් ලාබයක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. කෙසේ වුවත්, එවැන්නක් විය හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" නොලබන්නේය යන උපකල්පනය යටතේයි.

යම් හෙයකින්, ආණ්ඩුව විශ්වාස කරන පරිදි, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" උපයන්නේනම් සිදු විය හැක්කේ කුමක්ද? එය එසේනම්, මෙම සහන ණයෙහි වාසිය කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ ලාබ බවට පරිවර්තනය වනු ඇති අතර වෙළඳපොල සහල් මිල ගණන් තව දුරටත් තීරණය වනු ඇත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කරන සැපයුම මත බැවින් සිල්ලර සහල් මිලෙහි විශාල වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. මෙයින් අදහස් වන්නේ වී සැපයුම ඉහළ යාමෙන් සහල් මිල පහත වැටීම සිදු නොවන බව නෙමෙයි. සහන ණය ක්‍රමය හරහා සිදු කරන රාජ්‍ය මැදිහත්වීම හේතුවෙන් එවැන්නක් සිදු වීමේ ලොකු ඉඩක් නැති බවයි. අවසාන වශයෙන් සිදු වන්නේ තැන්පතුකරුවන්ට පොලී ලෙස ලැබෙන්නට තිබුණු මුදලක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සුළු පිරිසක් වෙත විතැන් වීම පමණයි.

කෙසේ වුවත්, වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු ඇති බව සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් උපයන බව ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන බැවින් මෙවැනි මැදිහත්වීමේ පරීක්ෂණයක් සිදු කර ප්‍රතිඵල දෙස බලන එක නරක දෙයක් නෙමෙයි. 

Saturday, May 30, 2020

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!


ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.

මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.

දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.

හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් ක‍රන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.

ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.

ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.

එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්‍රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්‍රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.

වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.

ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.

ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.

ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.

වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක  වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.

වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.

මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.

හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...

ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.

හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.

ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.


ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.

මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.

මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්‍රහ කරගෙන තේරුම් ගත යුතුයි.

ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.

- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.

- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.

- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.

අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.


නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.


නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්‍රමුඛ ඉලක්කයක් වුනා.

ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.


එහෙමනම් සැබෑ ප්‍රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.


Thursday, May 28, 2020

ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර


තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.

නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?

ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?

නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!

ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.

නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!

***

ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.

ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.

මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක්  කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.

ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.

රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.

තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.

මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.

Tuesday, May 26, 2020

වී බිස්ස අවුස්සමු!


ධනවාදය කියා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස් ගනුදෙනු මිසක් මුදල් නෙමෙයි. මුදල් කියා කියන්නේ ගනුදෙනු සඳහා භාවිතා කරන මෙවලමක් පමණයි. ඒ නිසා, ධනවාදය පවතින්න මුදල් අවශ්‍යම නැහැ. වැදගත් වන්නේ මුදල් භාවිතා කර හෝ නොකර නිදහස් ගනුදෙනු සිදු වීමයි. එහෙත්, ගනුදෙනු නිදහසේ සිදු නොවනවානම් එතැන ධනවාදයක් නැහැ.

යුරෝපීයයන් පැමිණ වෙනස් කරන්න කලින් ලංකාවේ තිබුණේ මොන විදිහේ ආර්ථිකයක්ද? ඒ කාලයේ ලංකාවේ ජීවත් වුනේ ගනුදෙනු කිසිවක් නොකර තම තමන්ගේ දූපත් වල ජීවත් වූ රොබින්සන් කෲසෝලාද?

යුරෝපීයයන් ලංකාවට මුලින්ම පැමිණෙන කාලයේදී යුරෝපයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 50-75% අතර පිරිසක් නිරතව හිටියේ කෘෂිකාර්මික රැකියා වලයි. ලංකාවේ මේ ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් වී ගොවිතැනේ නිරතව හිටිය බව පැහැදිලියි.

බත් කියන්නේ ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය. මේ පුරුද්ද විජයගෙන් සංකේතවත් වන වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් සියවස් කිහිපයක් තිස්සේ කණ්ඩායම් වශයෙන් මෙහි ආ සංක්‍රමණිකයින් හේතුවෙන් ප්‍රචලිත වූ පුරුද්දක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටත් ඉන්දියාවේ වැඩිපුරම සහල් නිපදවන ප්‍රාන්තය බටහිර බෙංගාලයයි. කොහොම වුනත් අවම වශයෙන් සහශ්‍ර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වී ගොවිතැන සිදු වෙනවා.

ජනප්‍රිය සාහිත්‍යය කෙසේ වුවත් ලංකාවෙන් පිටරට වලට සහල් අපනයනය කළ බවට තිබෙන සාක්ෂි වලට වඩා ලංකාව සහල් ආනයනය කළ බවට සාක්ෂි වැඩියි. මේ ගැන අප පෙර කතා කර තිබෙනවා. හැබැයි ගම්පොළ යුගය පමණ වන තුරු ඔය ආනයන අපනයන දෙකම ඉතා කලාතුරකින් සිදු වී ඇති දේවල් මිස නිතර සිදු වී ඇති දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිපදවාගෙන තිබෙන්නේ ලංකාවේමයි. ඒ සහල් ප්‍රමාණය රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ කාල වකවානු වගේම කිසියම් අතිරික්තයක් තිබුණු කාල වකවානුත් තියෙන්න ඇති. එහෙත්, කාලයක් තිස්සේ එක දිගටම විශාල අතිරික්තයක් තිබී ඇති බවක්නම් පෙනෙන්නේ නැහැ.

සැලකිය යුතු විදේශ වෙළඳාමක් සිදු නොවූයේය යන අර්ථයෙන් ලංකාව සහලින් ස්වයංපෝෂිතව සිටි බව කියන්නට පුළුවන්. එහෙත්, එවැනි තත්ත්වයක් පැවතුණේ නෛසර්ගික හේතු මත මිස කෘතීම ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බාධා පමුණුවා තිබුණු නිසා නෙමෙයි. නාවික තාක්ෂනය එක්තරා මට්ටමකට දියුණු වන තුරු මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.

ලංකාවේ ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් තෙත් කලාපයට මාරු වීමෙන් පසුව රටේ සහල් නිෂ්පාදනයේ පෙර වූ සාර සොබාව නැවත දකින්නට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙටි කාලාන්තර තුළ රාජධානි මාරු වීම, රාජ්‍යය ශක්තිමත්ව නොපැවතීම, නිතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් ආදියත් එයට හේතු වෙන්න ඇති. අනෙක් අතට මේ කාලය වන විට නාවික තාක්ෂනයේ යම් මට්ටමක දියුණුවක් ඇති වී තිබෙනවා. මේ කරුණු හේතුවෙන් යුරෝපීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙරත් ලංකාව නැගෙනහිර හා දකුණු ඉන්දියාවෙන් වරින් වර සහල් ආනයනය කර තිබෙනවා. එහෙත්, රටේ අති මහත් බහුතරයක්, කුසගින්නෙන් නොපෙළුනානම්, තව දුරටත් යැපෙන්න ඇත්තේ දේශීය සහල් වලින්.

මේ අර්ථයෙන් බැලු විට ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ රොබින්සන් කෲසෝලා නොවූවත් මිනිසුන් අතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ගම් හා පරිවාර ගම් සීමාව තුළයි. රටේ විවිධ ප්‍රදේශ අතර ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා සීමිතවයි. එයට හේතුවද මාර්ග පහසුකම් වැඩි දියුණු වී නොතිබීම නිසා භාණ්ඩ ප්‍රවාහනයට වූ ස්වභාවික බාධාව මිස ආණ්ඩු විසින් පැනවූ හාල් පොලු වැනි නියාමන රෙගුලාසි නෙමෙයි.

මේ කාලය වන විට හාල් කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය පමණක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන මුදල් ඒකකයද හාල්  කියා කියන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේදී මුදල් අර්ථ දක්වන ගුණාංග තුනක් තිබෙනවා.
- ගනුදෙනු වලදී ගෙවීම් කිරීමට යොදා ගන්නා මෙවලමක් වීම
- ගිණුම් තැබීමේ ඒකකයක් වීම
- වටිනාකම ගබඩා කර තබා ගත හැකි දෙයක් (වත්කමක්) වීම

ලංකාවේ ආර්ථිකය තුළ සහල් විසින් අඩු වැඩි වශයෙන් මේ කාර්යයන් තුනම ඉටු කර තිබෙනවා. මේ කාලය වෙද්දී වගේම ඊට සියවස් ගණනාවකට පෙරත් ලංකාවේ රන් රිදී ඇතුළු ලෝහ කාසි භාවිතා වී තිබෙනවා තමයි. සමාජ ධුරාවලියේ ඉහළින් සිටි අය ලෝහ කාසි භාවිතා කරන්න ඇති. ජාත්‍යන්තර වෙළඳාමේදී වගේම නිතර සිදු නොවූ ගමෙන් පිට අයෙකු සමඟ කරන ඇතැම් ගනුදෙනුවකදී ලෝහ කාසි භාවිතා කරන්න ඇති. එහෙත්, ගම ඇතුලේ සිදු වූ බොහෝ ගනුදෙනු වලදී ලෝහ කාසි හුවමාරුවක් වුනා කියා හිතන්න බැහැ. ඇතැම් අය අතේ ලෝහ කාසි තිබෙන්නම නැතුව ඇති.

ධනවාදය හා සමාජවාදය වෙනස් වන එක් මූලික කරුණක් වන්නේ සමාජවාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතුය කියන කරුණ බැහැර කිරීම. නමුත්, ධනවාදය විසින් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මේ එක් එක් නිෂ්පාදන සාධකය සපයන අය අතර නියම අනුපාතයට බෙදී යා යුතු බව පිළිගන්නවා. ඒ නිසා, ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ ලබන ප්‍රාග්ධනය අහිමි අයෙකුට තමන්ගේ වත්මන් පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා අනාගතයේදී ප්‍රාග්ධනය වෙනුවෙන්ද ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වෙනවා.

සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා. ප්‍රාග්ධනය මිනිසුන් අතේ එක් රැස් වීම වැළැක්වෙනවා. ඒ හරහා ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය පවත්වා ගැනීමට ඉඩ සැලසෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මිනිසුන් අතර බෙදා හරින්නේ (හෝ නොහරින්නේ) කොහොමද කියා තීරණය කිරීමේ අයිතිය ඉතිරි වන්නේ රජයේ ඉහළ ස්ථරයේ සිටින සුළු පිරිසකගේ අතේ. ඒ නිසා, ඒ පිරිසට ඔවුන්ගේ අභිමතය අනුව තීරණය කෙරෙන කටයුත්තක් සඳහා ඒ අතිරික්තය යෙදෙවීමේ හැකියාවක් ලැබෙනවා. එය වෙනත් රටක විකුණන පොත් වල මිල සුබසාධනය කිරීම, වෙනත් රටක යුද්ධයකට මැදිහත් වීම හෝ අභ්‍යවකාශ වැඩ සටහනක් වෙන්න පුළුවන්.

ලංකාවේ කෘෂි කර්මාන්තයේ කාලයක් තිස්සේම පැවතුණු අඳ ගොවි ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හා ශ්‍රමයේ ප්‍රතිලාභ පිළිගන්නා ක්‍රමයක්. ඒ කාලයේ මිනිස්සු මේ බර වචන හෝ ධනවාදය කියන්නේ කුමක්ද කියා දැන සිටින්න නැතුව ඇති. එහෙත්, ඉඩම් හිමියාට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ගොවියා විසිනුත්, ගොවියාට ශ්‍රමයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ඉඩම් හිමියා විසිනුත් පිළි ගැනුණා. මැණික් පතල් කර්මාන්තයේ බිම් පංගුව (හා පසුව එකතු වූ මැෂින් පංගුව) කියන්නෙත් ඔය වගේම දෙයක්.

ඇතැම් විට ඉඩම් හිමියා වුනේ පන්සලක් හෝ දේවාලයක්. ඇතැම් විට රජය වෙනුවෙන් කිසියම් සේවයක් කළ අයෙක්. ඇතැම් විට රට වෙනුවෙන් සේවයක් කර රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙක්.

මේ ගනුදෙනු වලදී ලෝහ කාසි යොදා ගැනුනේ නැහැ. මුදල් ඒකකය වුනෙත් වී කුරුණිම තමයි. ඒ වගේම, රජයට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා බොහෝ විට යොදා ගත්තෙත් වී. මීට අමතරව කෘෂිකාර්මික අංශයෙන් පිටත වෙනත් අංශ වල රැකියා වල නිරත වූ අයට, උදාහරණයක් ලෙස කම්මල් වැඩ කළ හෝ වලං හැදූ අයට ගෙවීම් කළේත් වී වලින්. මේ වැඩේට වෙනත් ආහාර බෝගත් යොදා ගෙන ඇතත් ජනප්‍රියම ගෙවීම් මාධ්‍යය වුනේ වී.

අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ වත්කම් පිළිබඳ නිර්ණායකයක් වුනෙත් වී. වී බිස්ස හිස්වීමෙන් සංකේතවත් වුනේ බංකොලොත් වීමයි. හැමදාම අටුව පිරෙන්න වී තිබුණානම් ඔහු සාපේක්ෂ ධනවතෙක්. වෙනත් ලෙසකින් කිවුවොත් වී ගබඩා කර තබා ගැනීම යන්නෙන් අදහස් වුනේ වත්කම් ගබඩා කර තබා ගැනීමක්.

ඒ වගේම, ඉඩම් වල වටිනාකම තීරණය වුනේ වැපිරිය හැකි වී ප්‍රමාණය හෝ ලැබිය හැකි වී අස්වැන්න මතයි. වී මිටි, වී නෑලි, වී කුරුණි, වී බෙර, වී පෑල්, වී අමුණු වගේ ඉඩම් මනින ඒකක හැදී තිබෙන්නේ මේ පදනමෙන්. ඉඩම් වල සරු නිසරු බව අනුව මේ ඒකකයක වර්ග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිණුම් තැබීමේ ඒකකයක් ලෙසත් වී වලට කාර්ය භාරයක් තිබී තිබෙනවා.

ඉහත පැහැදිලි කර ඇති පරිදි වී කියා කියන්නේ ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය වගේම කාලයක් තිස්සේ භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකයක්. ආදායම හා වත්කම් පිළිබඳ නිර්ණායකයක්.

මුදල් ඒකකය ලෙස සෘජුවම ශ්‍රම ඒකක යොදා ගැනුණු අවස්ථාත් තිබෙනවා. අත්තම් ක්‍රමයේදී සිදු වන්නේ එවැනි දෙයක්. මෙහිදී හුවමාරු වන්නේ ශ්‍රම ඒකකයි.

ශ්‍රම ඒකක හුවමාරු කිරීම මාක්ස්වාදය සමඟ ගැලපෙන අදහසක්. මෙය ස්වභාවිකව ක්‍රියාත්මක විය හැක්කේ ශ්‍රම ඒකක වල වටිනාකම් ආසන්නව සමානනම් පමණයි. එහෙත් සියල්ලන්ගේම ශ්‍රම ඒකක හැම විටම සමාන නැහැ. මාක්ස්වාදී ප්‍රවේශය නිවැරදි නොවන්නේ ඒ නිසයි. එසේ වුවත්, අත්තම් සන්දර්භයේදී ශ්‍රම ඒකක බොහෝ දුරට සමානයි. පේලියට ගොයම් කපාගෙන යන කොට එක් කෙනෙක්ට වැඩි වේගයකින් හා තවත් කෙනෙක්ට අඩු වේගයකින් ගොයම් කපන්න බැහැ. ඒ නිසා, නූතන කම්හලක නිෂ්පාදන පේළියකදී (production line) වගේ කවුරුත් එකම වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මේ සන්දර්භයේදී අත්තම් ක්‍රමය මාක්ස්වාදය සමඟ මෙන්ම ධනවාදය සමඟත් ගැලපෙනවා.

මේ ශ්‍රම ඒකක හුවමාරු ක්‍රමය නවීන තොරතුරු තාක්ෂනය සමඟ මුසු වී විකල්ප ගනුදෙනු ක්‍රමයක් ලෙස මේ වෙද්දී බටහිර ලෝකය තුළ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන වෙන වෙලාවක විස්තර කරන්නම්.

මෙතෙක් විස්තර කළ දේවල් වල සාරය ගත්තොත්, යුරෝපීයයන් එන කාලය වෙද්දී ලංකාවේ ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් තිබුණා. එහෙත්, මේ ගම් වෙනත් ගම් වලින් හෝ ලෝකයෙන් වෙන් කෙරෙන කෘතීම බාධා තිබුණේ නැහැ. ගම් ඒකක බාහිර තරඟකාරිත්වයට මුහුණ දුන්නා. ගනුදෙනු සීමා වී තිබුණේ ගම් අතර පාරවල් හැදී ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබීමේ හේතුව නිසා පමණයි. බාහිර සාධක සැළකු විට පැවති තත්ත්වය කාර්යක්ෂමයි.

රටේ බොහෝ තැන් වල තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් මේ ආකෘතිය ඇතුළේ නොතිබුණු තැන් තිබුණා. උදාහරණයක් ලෙස මන්නාරමේ මුතු කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය රට ඇතුළේ කෘෂි ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තරකරණය වී තිබුණා. කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනෙක් තාවකාලික සංක්‍රමනික ශ්‍රමිකයින්. අද ව්‍යවහාරය අනුව ලංකාවේ හා ඉන්දියාවේ ද්විත්ව පුරවැසියන් කියා කියන්නත් පුළුවන්. යුරෝපීයයන් පැමිණීමට පෙර සිටම ඔවුන්ගේ පරිභෝජනය පිණිස දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබෙනවා.

එක පැත්තකින් පැවති ප්‍රවාහන බාධක නිසා රට මැද සිට මන්නාරමට සහල් ප්‍රවාහනය කරනවාට වඩා දකුණු ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගේන එක කාර්යක්ෂමයි. අනෙක් පැත්තෙන් රට මැද තෙත් කලාපයේ ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි වී අතිරික්තයක් තිබී නැහැ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසුව ස්වයංපෝෂිත ගම් ඒකක වලින් බාහිරව වූ ආර්ථිකය තව තවත් පුළුල් වුනා. එහිදී දුම්කොළ හා කුරුඳු ආශ්‍රිත අපනයන ඉලක්ක කරගත් වාණිජ කෘෂි කර්මාන්තයේ නියැළුණු ශ්‍රමිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් දිගින් දිගටම ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා. රට මැද ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි තරමේ සහල් අතිරික්තයක් නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. අඩු වශයෙන් ලන්දේසි යුගයේ ආරම්භයේ සිට මෙසේ ආනයනය කළ වී ප්‍රමාණ හා මිල ගණන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තා තිබෙනවා. ලිපිය වෙන පැත්තකට යන නිසා වැඩි විස්තර කතා නොකර සිටිමු.

ඉංග්‍රීසින් විසින් කෝපි හා තේ හඳුන්වාදීමත්, දකුණු ඉන්දීය ශ්‍රමිකයින් රැගෙන ඒමත් නිසා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය එසේම තිබියදී එයින් බාහිර ආර්ථිකය විශාල ලෙස පුළුල් වුනා. ඒ නිසා, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ සාපේක්ෂ වැදගත්කම අඩු වුනා. දකුණු ඉන්දීය ශ්‍රමිකයින්ට අවශ්‍ය ආහාර බොහෝ දුරට ඉන්දියාවෙන්ම ආනයනය කිරීමයි සිදු වුනේ. වාණිජ කෘෂිකර්මයෙන් ඉපැයූ ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට ලංකාවේ ඔවුන්ගේ වියදම් ලංකාවෙන් උපයන ආදායම් වලින්ම පියවා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස මහන්සි වුනා. කෝපි හා තේ හඳුන්වා දීමත් මේ උත්සාහයන් තුළ කළ අත්හදා බැලීම්. කෝපි අසාර්ථක වුනත් තේ හා රබර් ආශ්‍රිත කෘෂිකර්මය සාර්ථක වුනා.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක අපි තවත් දවසකට කල් දමමු.

Monday, May 25, 2020

සහල් මාෆියාව හඹා යමු!


මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය හා අදාළ අවුල් ජාලයක පැටලී ඉන්නවා. එක අවුලක් ලෙහන්න ගිහින් තවත් අවුල් ගණනාවක් හදා ගන්නවා. සහල් වෙළඳපොළ සම්බන්ධව දැනට ආණ්ඩුව පැටලී ඉන්න අවුලත් ඒ අවුල් ජාලයේම කොටසක්.

මතු පිටින් පේන්න තිබෙන පරිදි ඩඩ්ලි සිරිසේන හා ආණ්ඩුව අතර අවුලක් තිබෙනවා. ඒ අවුල ගැන කතා කිරීමට කාලය යොදවන්න මම කැමති නැහැ. එය තේරුමක් නැති දෙයක්. මේ අය කොහොමටත් එකම කණ්ඩායමක සාමාජිකයෝ. එළියට පේන්න තිබෙන අවුල තව ටික දවසකින් ඇතුළෙම විසඳිලා තියෙයි. (ලිපියේ මේ කොටස ලිවුවේ ඊයේ. මේ වන විටත් අවුල ලෙහිලා බව පෙනෙනවා!). නමුත්, අවුලට පාදක වී තිබෙන ලංකාවේ ආර්ථික ව්‍යුහයේ මූලික ආකෘතිමය ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. මම අවධානය යොමු කරන්න කැමති ඒ මූලික ආකෘතිමය ප්‍රශ්නයටයි.

මේ ගැන කතා කරන්න කලින් පැහැදිලි කළ යුතු වෙනත් අවශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම පැහැදිලි කරන්න තව ලිපි විසිපහක් තිහක් ලියන්න වෙයි. ඒ වැඩේට මාසයක් විතර යයි. ඒ නිසා, අපි ටිකක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරමු. ඔය ෆාස්ට් ෆෝර්වර්ඩ් කියන වචනය අපේ තරුණ කාලයේ කැසට් යුගයේ වචනයක්. කැසට් යුගයට පසුව ඉපදුණු තරුණ අයට වචනය නුහුරු ඇති. හුරු වුනත් සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති.

කොහොමටත් මේ බ්ලොග් එකේ ලිපි ලියැවෙන්නේ වනකතා ස්ටයිල් එකට. එහෙමත් නැත්නම් කථා සරිත් සාගරයේ ස්ටයිල් එකට. හැබැයි ගොඩක් වෙලාවට අළුතෙන් අරින වරහන් වහන්න වෙන්නේ නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂාවෙන් කියනවානම් පුනරාවර්තිතව නීඩායානය කරමින් (recursive nesting) යනවා මිසක් එළියට ඒමක් නැහැ. කෘෂිකර්මයට ආවේ කෝවිඩ් හා අදාළ වැදගත් කරුණු ටිකක් කතා කරන්න අවශ්‍ය මූලික ප්‍රවේශයක් විදිහටයි. දැන් යන්නේ වෙනම පැත්තකට. ඒකට කමක් නැහැ. මේ හැම දෙයක්ම වැදගත්නේ.

ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් කළ යුතු පළමු දෙය ප්‍රශ්නය නිවැරදිව හඳුනාගන්නා එකයි. ඇතැම් විට ලොකුවට දැඟලුවවාට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රශ්නයක් නැති වෙන අවස්ථාත් තිබෙනවා.

දැන් සිදු වෙමින් තිබෙන්නේ ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කිරීමත්, ඒ මිලට සහල් සපයන්න මෝල් හිමියන් එකඟ නොවීමත් පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේම පාලන මිලක් නියම කිරීම තුළයි. පාලන මිලක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කර තිබෙන්නේ ඇයි?

පාලන මිලක් නොතිබුණානම් සහල් මිල වෙළඳපොළ තුළ තීරණය වෙනවා. කවර හෝ හේතුවක් නිසා වෙළඳපොළ සමතුලිත මිල නියම මිල නොවන බව ආණ්ඩුව විසින් තීරණය කර වෙනත් නිශ්චිත මිලක් නියම කර තිබෙනවා. ඒ මිල සමඟ මෝල් හිමියන් එකඟ නැහැ. ඒ නිසා ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාලන මිල ඉවත් කළ වහාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, පාලන මිලක් දැමීමට ආණ්ඩුව පෙළඹුණු කවර හෝ ප්‍රශ්නය එවිට නැවත ඇති වෙනවා. ඒ ප්‍රශ්නය කුමක්ද?

මෙය ආණ්ඩුව විසින් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට අනුව වී මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවා. ඒ නිසා, වෙළඳපොළ මිල නියම මිල නෙමෙයි. වෙළඳපොළ මිල නියම මිල නොවන නිසා ආණ්ඩුවට අනුව ආණ්ඩුව විසින් වෙළඳපොළ මිලට මැදිහත්වීමක් කළ යුතුයි.

දැන් අපිට ආණ්ඩුව දකින ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න පොටක් පෑදී තිබෙනවා.

- ආණ්ඩුව කියන පරිදි මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවාද?
- එවැන්නක් සිදුවනවානම් එය රජය මැදිහත් වී වෙනස් කළ යුතු තත්ත්වයක්ද?

පළමු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. එහෙම කිවුවත් මේ ප්‍රශ්න දෙක එකිනෙකට ගැට ගැසී ඇති නිසා එකක් වෙනම ගලවලා ගන්නත් අමාරුයි.

සහල් මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ආනයනික සහල් සැපයුම හා වී අලෙවි මණ්ඩලය හරහා රජයේ මැදිහත් වීම පැත්තකින් තිබ්බොත් පාරිභෝගිකයා වෙත සහල් සැපයෙන සැපයුම් දාම ක්‍රියාවලිය මේ විදිහයි.

දේශීය වී නිෂ්පාදකයා -> වී එකතු කරන්නා/තැරැව්කරුවා  ->  මෝල් හිමියා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මෙතැනින් එහාට යන්න කලින් අපිට ඒකාධිකාරයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කර ගන්න වෙනවා. ඒ සඳහා, පළමුව තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද කියන තැනින් පටන් ගන්න වෙනවා.

නිදහස් වෙළඳාමට ඉඩ දුන් පමණින් හැම විටම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. එය තීරණය කෙරෙන වෙනත් සාධක ගණනාවක් තිබෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ ස්වභාවිකවම හැදෙන්නේ ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. ඒකාධිකාරම නැතත් බොහෝ විට ඒකාධිකාරයක් හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් හැදෙනවා.

තරඟකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
- කිසිදු තනි මිල දී ගන්නෙකුට (තනි පාරිභෝගිකයෙකුට) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් මිල දී ගන්න පුළුවන්. නැත්නම් මිල දී නොගෙන ඉන්න පුළුවන්. එච්චරයි.
- කිසිදු තනි විකුණන්නෙකුටත් (තනි නිෂ්පාදකයෙකුටත්) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් විකුණන්න  පුළුවන්. නැත්නම් නොවිකුණා ඉන්න පුළුවන්. එච්චරයි.

වෙළඳපොළ මිලට කිසිදු නිෂ්පාදකයෙකු හෝ පාරිභෝගිකයෙකු විසින් බලපෑම් කරන්නේ නැත්නම් මිල තීරණය වෙන්නේ කොහොමද?

තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැරි වුනත් සියලුම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් විසින් තනි තනිව සිතා ගන්නා තීරණ වල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොල මිල තීරණය වෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එය වෙනම කරන්නම්. දැනට අපි ඉදිරියට යමු.

මේ කියපු විදිහේ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් ඇතැම් මූලික කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. ඒ කරුණු බොහෝ දුරට නිෂ්පාදන තාක්ෂනය හා සම්බන්ධයි.

- විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල මිල දී ගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති විය යුතුයි.
- විශාල නිෂ්පාදකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු අයෙකු වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල නිෂ්පාදනයක් නොකරන්නේ විය යුතුයි.
- කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදකයෙක් වීමට නෛසර්ගික බාධාවක් නොතිබිය යුතුයි.
- කැමති ඕනෑම නිෂ්පාදකයෙකුට වහාම නිෂ්පාදනයෙන් ඉවත් වීමට බාධාවක් නොතිබිය යුතුයි.

දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ මේ විදිහටයි. කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම අඩු වුනොත්, සැපයුම් අතිරික්තයක් ඇති වෙනවා. එවිට අදාළ භාණ්ඩය විකුණා ගැනීම අසීරු වෙද්දී තරඟය නිසා මිල පහත වැටෙනවා. වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අඩු වූ මිල යටතේත් ලාබ තියෙනවා. එහෙත්, අකාර්යක්ෂම නිෂ්පාදකයින්ට මේ අඩු වූ මිලට භාණ්ඩ සපයා ලාබ ගන්න බැහැ. ඔවුන්ට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වෙනවා. එවිට සැපයුම පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල ස්ථාවර වෙනවා.

කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම වැඩි වුනොත් මෙහි අනිත් පැත්ත වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යනවා. ඉහළ ගිය මිල යටතේ දැනට ඉන්න නිෂ්පාදකයින් තරමටම කාර්යක්ෂම නැති අයටත් ලාබ ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා, අලුත් නිෂ්පාදකයින් බිහි වී සැපයුම ඉහළ යනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවර වෙනවා.

නිදහස් වෙළඳාමට බාධාවක් නොතිබුණත් හැම විටම තරඟකාරී වෙළඳපොළක් බිහි නොවන බව මම කිවුවනේ. එයට විවිධ හේතු තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය ගොඩක් සංකීර්ණ වීම එක් බාධාවක්. ලාබ ලැබීමේ අවස්ථාවක් තිබුණත් තාක්ෂනය ළඟ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය සරල වූ තරමට තරඟකාරී වෙළඳපොළක් බිහි වීමට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. නිෂ්පාදනය ආරම්භ කිරීමට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම තවත් බාධාවක්. ඔය වගේ තවත් නෛසර්ගික බාධා තිබෙනවා.

මේ වගේ නෛසර්ගික බාධා ඇති විට, එහෙම නැත්නම් රාජ්‍ය මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කෘතීම බාධා හේතුවෙන්, ඒකාධිකාර හෝ ඒකාධිකාර හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වුවත් ගනුදෙනු සිදු වෙන්නේ නිදහසේ නිසා එහි පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙත්, එක් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ ලාබය අඩු කර තමන්ගේ ලාබය වැඩි කර ගන්න පුලුවන්. මෙය සිදු වන්නේ එක් පාර්ශ්වයකට වෙළඳපොල මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබීම මතයි.

බොහෝ විට මෙසේ වෙළඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙන්නේ සැපයුම්කරුටයි. එය තනි පුද්ගලයෙකුට හිමි වූ විට ඒකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා. මෙහි අනෙක් පැත්ත, එනම් තනි පාරිභෝගිකයෙකුට මිල තීරණය කිරීමේ හැකියාවක් ලැබීම ක්‍රයෛකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා.

දැන් අපි නැවත සහල් වෙළෙඳපොළේ සැපයුම් දාම ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළොත් එහි අන්ත දෙකේම ඉන්නේ වෙළඳපොල මිල තීරණය කිරීමේ හැකියාවක් නැති අයයි. ඉතා කලාතුරකින් හැර තනි සහල් පාරිභෝගිකයෙකුට මිල හෙට්ටු කිරීමේ හැකියාවක් නැහැ. වී ගොවියන් බොහෝ දෙනෙකු සම්බන්ධව තත්ත්වයත් එවැන්නක්. ලංකාවේ වී ගොවියන්ගෙන් 95%ක් සතුවම තිබෙන්නේ කුඹුරු අක්කර පහකට අඩු ප්‍රමාණයක්. කුඹුරක සාමාන්‍ය ප්‍රමාණය අක්කර දෙකයි. මේ අයට වෙළඳපොළ මිලට වී විකුණනු මිස මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අපට අවධානය යොමු කරන්න වෙන්නේ සැපයුම් දාමයේ මැද කොටස් වෙතයි.

සැපයුම් දාමයේ පාරිභෝගිකයාට කලින් ඉන්නේ සිල්ලර වෙළෙන්දා. මේ සිල්ලර වෙළෙන්දා බොහෝ විට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් දාමයක වෙළඳසැලක් වෙන්නත් පුළුවන්. ඒත් සුපිරි වෙළඳසැල් වලට තවමත් ලංකාවේ ඒකාධිකාරී බලයක් නැහැ. එක පැත්තකින් සුපිරි වෙළඳසැල් අතරම පවතින තරඟය. අනෙක් පැත්තෙන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්දෝ. ඒ නිසා, පාරිභෝගිකයෙකු විසින් සිල්ලර වෙළෙන්දෙක් එක්ක කරන ගනුදෙනුවේදී පාරිභෝගිකයාට විශාල තේරීමක් තිබෙනවා. සිල්ලර වෙළෙන්දාට හිතු මනාපෙට මිලට බලපෑම් කරන්න බැහැ.

අනෙක් කොනේ දේශීය වී නිෂ්පාදකයාට පසුව හමුවෙන වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා මේ සැපයුම් දාමයේ අනිවාර්ය පුරුකක් නෙමෙයි. ඔහු බොහෝ විට වී මෝල් හිමියෙකුගේ නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔය වී වවන පැත්තක රැකියාව කරන රජයේ සේවකයෙක් වගේ කෙනෙක්. මේ පුද්ගලයා විසින් කරන්නේ වී ගොවියාගෙන් වී ටික මිල දී ගෙන පසුව කීයක් හෝ තියාගෙන මෝල් හිමියාට විකුණන එකයි. ඇතැම් විට වැඩේට යොදවන්නේ වී මෝල් හිමියාගේම සල්ලි.

සාමාන්‍යයෙන් මේ වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා වී මිල දී ගන්නේ අස්වැන්න කැපෙන්න කලින්. අස්වැන්න කැපෙන කොට අනික් පැත්තට විකුණලා දමනවා. ඒ නිසා වී ගබඩා කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගබඩා කර ගන්නා අයත් ගොඩක් වෙලාවට තමන්ගේම ගෙදර කොටසක ටික කලකට වී ටික ගබඩා කර ගන්නවා මිසක් ඔය වැඩේට කියලා මුදල් ආයෝජනය කරලා වී ගබඩා හදන්නේ නැහැ.

මේ විදිහට කලින්ම වී ටික විකුණන එකෙන් වී ගොවියාට වාසි දෙකක් ලැබෙනවා. පළමුව කලින් අතට මුදලක් ලැබෙන එක. හැබැයි මේ විදිහට බොහෝ විට ලැබෙන්නේ අත්තිකාරම් මුදලක් පමණයි. දෙවැන්න වී අස්වැන්න ලැබෙන විට මිල පහළ වැටී තිබීමේ අවදානමෙන් ආරක්ෂා වීම. ඒ අතින් මෙය ඉදිරි සුරැකුම් ගිවිසුමක් වගේ. වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා විසින් උපයන ලාබය මේ වෙනුවෙන් වී ගොවියා විසින් ගෙවන මිලක් කියා කියන්න පුළුවන්.

මේ වැඩේ සංකීර්ණ වැඩක් නොවනවාක් මෙන්ම බොහෝ දෙනෙක් විසින් කරන වැඩක්. වැඩේ කරන මිනිස්සු ලොකු ධනවතුන් නෙමෙයි. ඒ වගේම වැඩේ පාඩුනම් වී ගොවියා කෙළින්ම වී මෝල් හිමියා වෙත යනවා මිසක් අතරමැදියෙකු හරහා යන්නේ නැහැ.

දැන් ඉතිරි වෙලා ඉන්නේ තොග වෙළෙන්දා සහ වී මෝල් හිමියා. මේ තොග වෙළෙන්දා බොහෝ විට අවට කඩ විස්සකට තිහකට තොග සපයන ප්‍රාදේශීය නගරයක තිබෙන වෙළඳසැලක්. බොහෝ විට සෘජුවම සිල්ලර වෙළඳාමේත් යෙදෙනවා. පාරිභෝගිකයා කෙළින්ම සිල්ලර වෙළෙන්දා වෙත නොඑන්නේ සිල්ලර වෙළෙන්දා විකුණන මිල තොග වෙළෙන්දාගේ මිලට වඩා ගොඩක් වැඩි නැති නිසයි. තොග වෙළෙන්දෙකුට තමන්ගේ ප්‍රදේශයේ කිසියම් ඒකාධිකාරී බලයක් තියෙන්න පුළුවන්. එහෙත් ලංකාවම ගත්තහම මේ කියන මට්ටමේ තොග වෙළෙන්දෝ විශාල පිරිසක් ඉන්න නිසා එක් අයෙකුට සමස්ත වෙළඳපොල තුළ කළ හැකි විශාල බලපෑමක් නැහැ. සහල් වෙළඳපොළේ තොග වෙළෙන්දාගේ භූමිකාව එතරම් විවේචනයට ලක් වෙලත් නැහැ. ඒ නිසා අපි එයාවත් පැත්තකින් තියමු.

දැන් ඉතිරි වී ඉන්නේ වී මෝල් හිමියා. වී මෝල් හිමියා විසින් මේ සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ආයෝජනයක් කළ යුතුයි. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ඒ වෙනුවෙන් සැලකිය යුතු මූලික ආයෝජනයක් කළ යුතුයි. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. මේ වැඩේට සැලකිය යුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වනවාක් මෙන්ම සැලකිය යුතු විචල්‍ය පිරිවැයක්ද දරන්න වෙනවා. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. බොහෝ දුරට මෙහි තිබෙන්නේ විචල්‍ය පිරිවැයක්.

ඉහත කී කාර්යයන් කරන වී මෝල් හිමියන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙත්, ඒ අය අතරින් බොහෝ දෙනෙක් සුළු හෝ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෝ. සහල් මාෆියාවක් පවත්වා ගෙන යන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ වී මෝල් හිමියන් අතර සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුටයි.

සහල් මෝල් ව්‍යාපාරය තුළ කෙතරම් පිරිසක් සිටියත් ඒ අතරින් හතර පස් දෙනෙක්ගේ පංගුව ගොඩක් විශාලයි. නිශ්චිත සංඛ්‍යලේඛන නැතත් මේ කරුණ පිළිබඳ පොදු එකඟතාවයක් තිබෙනවා. මේ මොහොතේ වත්මන් ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මීට පෙර වරින් වර දැන් විපක්ෂයේ ඉන්න එජාප හා ජවිපෙ විසින්ද මේ සහල් මාෆියාව ගැන කතා කරලා තිබෙනවා. ඒ නිසා, මේ කරුණ ලංකාවේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන දෙයක් කියා නිගමනය කරන්න පුළුවන්.

මා කලින් විස්තර කළ පරිදි, තරඟකාරී වෙළඳපොළකින් වෙනස්ව, ඒකාධිකාරයක් ඇති තැනක සැපයුම්කරුට වෙළඳපොළ මිලට තමන්ගේ අභිමතය පරිදි බලපෑම් කළ හැකියි. එයින් කියන්නේ සැපයුම්කරුට අසීමිත ලෙස මිල ඉහළ දමමින් තමන්ගේ ලාබ වැඩි කර ගත හැකි බව නෙමෙයි. ඒකාධිකාරයක් ඇති විට පවා ඉල්ලුම් සාධක නොසලකා හැර මිල ඉහළ දමන්න බැහැ. එහෙත්, ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවෙකු විසින් උපයන "සාමාන්‍ය ලාභය" ඉක්මවන "සුපිරි ලාබයක්" ලැබීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට සුපිරි ලාබ ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ ඒකාධිකාරයක් ඇති විට පමණයි. ඒ කියන්නේ එකම එක සැපයුම්කරුවෙක් පමණක් සිටින විට. සහල් මෝල් කර්මාන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ටික පැත්තකින් තිබ්බත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති විට අවසන් සමතුලිතතාවය තීරණය වන්නේ මේ සීමිත පිරිස අතර තිබෙන තරඟයේ ප්‍රමාණය අනුවයි. සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටියත් ඒ දෙදෙනා ඉතා ආක්‍රමනශීලී ලෙස එකිනෙකා සමඟ තරඟ කළොත් අවසන් ප්‍රතිඵලය තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයටම සමානයි. මෙහිදී වෙළඳ තරඟයේ වාසිය පාරිභෝගිකයාට මුළුමනින්ම ලැබෙනවා. විශාල සැපයුම්කරුවන් පිරිසක් නොසිටීම ප්‍රශ්නයක් නෙමෙයි. සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලාභ වලට අමතරව සුපිරි ලාභ කිසිවක් හිමි වන්නේ නැහැ.

මෙහි අනෙක් අන්තය ලෙස සැපයුම්කරුවන් දෙදෙනකු හෝ හත් අට දෙනෙකු තනි කණ්ඩායමක් හෙවත් කාටලයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. එහිදී ඔවුන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ නොකර තම තමන්ගේ පංගු පිළිබඳ සම්මුතියකට එනවා. මෙය ලිඛිත හෝ වාචික ගිවිසුමක් නැතිව අවබෝධය මත සිදු වන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවබෝධයක් ඇති වෙන්න හමු වී කතාබහ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඔය විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ හොරකම් ගැන කොයි තරම් කතා කළත්, ආණ්ඩු මාරු වුනාට පස්සේ ඒවා පස්සේ පන්නලා දඬුවම් නොදෙන්නේ කතාබහ කරගෙන ඩීල් දමාගෙනම නෙමෙයිනේ. ඔය වගේ දේවල් වැඩිදුර නොගෙනියන එක තමන්ට වාසියි කියන අවබෝධය දෙපැත්තටම තිබෙනවා. මේකත් බොහෝ විට ඒ වගේ දෙයක්.

මේ ආකාරයේ කාටලයක් හැදුනු පසු සැපයුම්කරුවන් සියලු දෙනාම තනි ඒකකයක් ලෙස පාරිභෝගිකයාට එරෙහිව කටයුතු කරමින් තමන්ගේ ලාබ හැකි තරමින් වැඩි කරගන්නවා. අවසාන ප්‍රතිඵලය තනි සැපයුම්කරුවෙකු පමණක් සිටින විට ඇති වන තත්ත්වයට සමානයි.

මේ කතා කළ දෙවන තත්ත්වය වගේම මුලින් කිවූ පළමු තත්ත්වයත් කතිපයාධිකාරී වෙළඳපොලක ඇති විය හැකි නමුත් ඔය අන්ත දෙකෙන් එකකට යන්නේ ඉතා කලාතුරකින්. බොහෝ විට සැපයුම්කරුවන් අතර එකිනෙකා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් නැහැ. එවැනි විශ්වාසයක් මත කටයුතු කරගෙන යද්දී එක් අයෙකුට අනෙත් අයට වංචා කර තමන්ගේ ලාබ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා, පූර්ණ ඒකාධිකාරයක් ඇති වෙන්න කලින් බොහෝ විට සම්මුතිය බිඳ වැටෙනවා.

අනෙක් පැත්තෙන් බොහෝ විට සැපයුම්කරුවන් අතර පූර්ණ තරඟයක් ඇති වෙන්නේත් නැහැ. ටික දුරක් යද්දී දෙපැත්තම හති වැටෙනවා. අවසානයේදී පාරිභෝගිකයින්ට මිසක් තමන්ට යහපතක් නොසැලසෙන බව දෙපැත්තටම තේරුම් යනවා. එවිට තරඟය නැවතී සම්මුතියක් ඇති වෙනවා.

මෙය පැහැදිලි කරන්න අපි හාල් මෝල් කර්මාන්තයටම එමු. අපි හිතමු සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටියා කියා. මේ එක් අයෙකුට හාල් කිලෝවක් හදන්න යන අවම මිල රුපියල් 80යි කියා කියමු. ඒ කියන්නේ ඊට වඩා අඩු මිලකට ඔහු කොහොමටත් හාල් විකුණන්නේ නැහැ. අනෙක් මෝල් හිමියාගේ තත්ත්වයත් එයමයි.

දැන් පළමු මෝල්හිමියා රුපියල් 10ක ලාබයක් තියාගෙන රුපියල් 90 බැගින් සහල් විකුණනවා. දෙවැන්නාත් එයම කරනවා. පාරිභෝගිකයාට විකල්ප දෙකක් තිබෙනවා. දෙකේදීම මිල සමානයි. ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැත්නම් පාරිභෝගිකයා විසින් අහඹු ලෙස කාගේ හෝ හාල් මිල දී ගන්නවා. හාල් ඉල්ලුම කිලෝ 100ක්නම් එක් අයෙකුගේ හාල් කිලෝ 50 බැගින් විකිණෙනවා. කිලෝවකින් ලාබය රුපියල් 10ක් නිසා රුපියල් 10x50 = 500ක ලාබයක් එක් මෝල් හිමියෙක්ට ලැබෙනවා.

මේ වගේ තත්ත්වයක් කිසියම් අලිඛිත එකඟතාවයක් ලෙස දිගු කාලයක් පවතින්න පුළුවන්. ඒ සඳහා මෝල් හිමියන් දෙන්නා යාලුවෝ වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේ මරා ගන්න තරම් තරහක් තිබෙන දෙන්නෙක් අතර වුවත් මෙවැනි ව්‍යාපාරික එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්.

අපි හිතමු ඔහොම කාලයක් යද්දී පළමු සැපයුම්කරුගේ ව්‍යාපාරයේ පාලනය ඔහුගේ පුතාට යනවා. පුතා හොයා බලනවා ලාබ වැඩි කරගත හැකි ක්‍රමයක්. එක පාරටම මිල රුපියල් 89 දක්වා අඩු කළොත් මුළු වෙළඳපොළම තමන්ගේ බව ඔහුට තේරෙනවා. ඊට අමතරව මිල අඩු වෙද්දී ඉල්ලුමත් තරමක් ඉහළ යනවා. දැන් කිලෝවකින් ලාබය රුපියල් 9ක් පමණයි. කිලෝ 105ක් විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් 9x105 = 945ක ලාබයක්. කලින් ලාබය රුපියල් 500ක් පමණයි. තාත්තා අවුරුදු ගාණක් තිස්සේ මොනාද කරලා තියෙන්නේ?

මේ වැඩෙන් පළමු සැපයුම්කරුගේ ලාබය විශාල ලෙස ඉහළ ගියත් දෙවන සැපයුම්කරු නැත්තටම නැති වෙනවා. ඔහුට සතයක්වත් නැහැ. ඊළඟ වටයේදී ඔහු රිටර්න් එක දෙනවා. මිල රුපියල් 88 දක්වා අඩු කරනවා. හාල් කිලෝ 110ක් විකිණෙනවා. ලාබය රුපියල් 8x110 = 880ක්. දැන් පළමුවැන්නා හාන්සි. පළමු වටයේදී රුපියල් 445ක් වැඩියෙන් ලැබුණත් දෙවන වටයේදී තිබුණු 500ත් නැති වෙලා. එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බැහැ. ඔහු මිල තවත් අඩු කරනවා.

ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. දෙන්නාම දැඩි ආක්‍රමණශීලී ස්ථාවරයක හිටියොත් අන්තිමට තරඟය නවතින්නේ මිල රුපියල් 80 මට්ටමට වැටුණු පසුවයි. ඊටත් වඩා අඩුවෙන් හාල් විකුණන එක කොහොමටත් පාඩු නිසා කලින් වැඩේ නැවතුනේ නැත්නම් තරඟය එතනදී අනිවාර්යයෙන්ම නවතිනවා. අන්තිමට දෙන්නාටම ඉතිරි වෙන්නේ වෙළඳපොළේ මුලින් තිබුණු 50% පංගුවමයි. නමුත්, ආරම්භයේදී තිබුණු රුපියල් 10ක සුපිරි ලාබය දැන් නැහැ. දැන් තිබෙන්නේ පිරිවැය ආවරණය වන සාමාන්‍ය ලාබයක් පමණයි. තරඟකාරී වෙළඳපොළක තත්ත්වය.

අපි හිතමු ඔය වැඩේ වෙන විදිහකට වුනා කියලා. පළමු සැපයුම්කරුගේ පුතා ව්‍යාපාරයේ පාලනය බාර ගත් වහාම දෙවන සැපයුම්කරු හමු වී ඩීල් එකක් දමනවා. ඩීල් එක අනුව දෙන්නාම වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ 50 සිට 45 දක්වා අඩු කරනවා. දැන් වෙළඳපොළට එන්නේ සහල් කිලෝ 90ක් පමණයි. ඒ නිසා රුපියල් 90 සිට 92 දක්වා හාල් මිල ඉහළ යනවා. හාල් කිලෝවකින් ලාබය රුපියල් 12 දක්වා වැඩි වන නිසා විකිණෙන හාල් ප්‍රමාණය අඩු වුනා කියා පාඩුවක් නැහැ. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 12x45 = 540යි. දෙන්නාගේම ලාබ ඉහළ ගිහින්.

ඔය වැඩේ තවත් එහාට ගෙනියන්න පුළුවන්. අපි හිතමු සැපයුම කිලෝ 10කින් අඩු කළාම මිල රුපියල් 2කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව, සැපයුම කිලෝ 40x2 = 80ක් වූ විට මිල රුපියල් 94 වී කිලෝවකින් ලාබය රුපියල් 14 දක්වා ඉහළ යනවා. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 14x40 = රුපියල් 560ක්.

නමුත් ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. අපි හිතමු සැපයුම කිලෝ 30x2 = 60ක් දක්වා අඩු කළා කියා. සැපයුම කිලෝ 10කින් අඩු කරද්දී මිල රුපියල් 2 බැගින් වැඩි වී රුපියල් 8 කින්, ඒ කියන්නේ රුපියල් 98 දක්වා ඉහළ ගිහින්. හාල් කිලෝවකින් ලාබය රුපියල් 18ක්. එහෙත්, එක් අයෙකුගේ සමස්ත ලාබය රුපියල් 18x30 = 540ක් පමණයි. ඒ නිසා, මේ විදිහට එකඟතාවයක් ඇති වුනත් මිල යම් නිශ්චිත මට්ටමක් දක්වා වැඩි වී වැඩේ නවතිනවා. ඊටත් වඩා මිල වැඩි කරන එක සැපයුම්කරුවන්ට පාඩුයි. හැබැයි ඒ වෙද්දී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවහම මිල ගොඩක් ඉහළ ගිහින්. සැපයුමත් ගොඩක් අඩු වෙලා.

ඔය ආකාරයේ වෙළඳපොල සම්මුති මගින් සැපයුම්කරුවන්ට විශාල සුපිරි ලාබ උපයන්න පුළුවන්. නමුත්, සැපයුම්කරුවන් එකිනෙකා අතර ඔය මට්ටමේ සම්මුතියක් පවත්වා ගත හැකි තරමට එකඟතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. සැපයුම්කරුවන් වැඩි වන තරමට ඒ අයගෙන් එක්කෙනෙක් සම්මුතිය කඩන්න තිබෙන ඉඩ ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 90 මිලට කිලෝ 100ක ඉල්ලුම සැපයුම්කරුවන් පස් දෙනෙක් අතර බෙදී ගිහින් තිබුණා කියලා. එක් අයෙක් කිලෝ 20ක් සපයන නිසා එක් අයෙකුගේ ලාබය රුපියල් 10x20 = 200යි. කිලෝවක ලාබය රුපියල් 12 දක්වා වැඩි කර ගන්නනම් සැපයුම කිලෝ 90 මට්ටමට සීමා කළ යුතුයි. ඒ කියන්නේ එක් අයෙක් සැපයිය යුත්තේ කිලෝ 18ක් පමණයි. එවිට එක් අයෙකුගේ ලාබය රුපියල් 12x18 = 216 දක්වා ඉහළ යනවා.

හතර දෙනෙක්ම එකඟ වූ පරිදි කිලෝ 9 බැගින් වෙළඳපොළට දමද්දී පස් වැන්නා ඒ අඩුව හරියන්න කිලෝ 28ක්ම දැම්මොත් මොකද වෙන්නේ?

දැන් වෙළඳපොළට එන හාල් සැපයුම කිලෝ 18x4 + 28 = 100යි. ඒ කියන්නේ මුල් ප්‍රමාණයමයි. ඒ නිසා මිල රුපියල් 90මයි. කිලෝවකින් ලාබය කලින් ලැබුණු රුපියල් 10මයි. එකඟතාවය අනුව කටයුතු කළ එක් අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 180ක් පමණයි. රුපියල් 20ක් පාඩුයි. නමුත්, එකඟතාවය කඩපු සැපයුම්කරුගේ ලාබය රුපියල් 280ක් වෙලා. කලින් ලැබූ රුපියල් 200ක ලාබයට වඩා රුපියල් 80ක් ලාබයි. එකඟතාවය තුළ සිටියානම් ලැබෙන ලාබය වන රුපියල් 216ට වඩා රුපියල් 64ක් ලාබයි.

ගොඩක් වෙලාවට එක් සැපයුම්කරුවෙකු මිල එකඟතාවයකින් බැහැර වෙද්දී එය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වුනත් සැපයුම සීමා කිරීමේ එකඟතාවයක් පිළිපදිනවාද නැද්ද කියන එක පහසුවෙන් නිරීක්ෂණය කරන්න අමාරුයි. කවුරු හෝ හොර කරලා බව තේරෙන්නේ හිතපු විදිහට මිල ඉහළ නොගිය විටයි. එයින් පසුවත් හොර කරපු කෙනා කවුද කියලා හරියටම දැන ගන්න අමාරුයි. මේ බව සියලු දෙනාම දන්නා නිසා කණ්ඩායමේ හැමෝම උත්සාහ කරන්නේ හොර කරන්නයි. ඒ නිසා, මේ ආකාරයේ සැපයුම කෘතීම ලෙස සීමා කර මිල ඉහළ යන්න ඇරීමෙන් ලාබ ලබන සම්මුති වලට වැඩි දුරක් යන්න බැහැ.

අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන් එකිනෙකා අතර ඇති වන තරඟත් අවසානය දක්වා යන්නේ නැහැ. වැඩෙන් හැමෝම අමාරුවේ වැටෙන බව කාටත් තේරෙන අවස්ථාවක් එනවා. එවිට සැපයුම්කරුවන් අතර තරඟය නවතිනවා.

මේ හේතු නිසා ලංකාවේ සහල් මෝල් ව්‍යපාරය වගේ කතිපයාධිකාරී වෙළඳපොලක සමතුලිතතාවය තරඟකාරී වෙළඳපොල අන්තය හා ඒකාධිකාර අන්තය අතර යම් තැනක නවතිනවා. ඒ කියන්නේ, මෝල් හිමියන්ට යම් ප්‍රමාණයක සුපිරි ලාබ උපයන්න අවස්ථාවක් සැලසෙනවා. නමුත්, ඒ සුපිරි ලාබ ඒකාධිකාරයක මට්ටමටම යන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය රජය මැදිහත් වී මේ තත්ත්වය වෙනස් කළ යුතුද කියන එකයි. ඒ සඳහා, අපට කතිපයාධිකාරී වෙළඳපොලක් ඇති වී තිබෙන්නේත්, පවතින්නේත් ඇයි කියන එක විග්‍රහ කරගන්න වෙනවා. ඇතැම් විට කතිපයාධිකාරී වෙළඳපොලක් පවතින්නේ තිබිය හැකි වඩාත්ම කාර්යක්ෂම තත්ත්වය එය නිසා වෙන්න පුළුවන්. එහෙමනම්, එය වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බොහෝ විට එය එසේ නොවන්න පුළුවන්.

මෙය නිගමනය කිරීමට හොඳ ප්‍රවේශයක් වන්නේ ලංකාවේ සහල් වෙළඳපොළ හා එහි සැපයුම් දාමයේ පුරුක් ඓතිහාසිකව විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමයි. දැනටමත් ලිපිය ගොඩක් දිග නිසා අපි එය වෙනත් ලිපියකට ඉතිරි කරමු.

(Image: https://wallhere.com/en/wallpaper/742926)

වෙබ් ලිපිනය: