වෙබ් ලිපිනය:

Showing posts with label කැනඩාව. Show all posts
Showing posts with label කැනඩාව. Show all posts

Friday, March 21, 2025

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව


ක්‍රීඩා න්‍යාය විෂයයේදී (game theory) උගන්වන මූලික ක්‍රීඩා වලින් එකක් වන්නේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවයි. කාසි වලට දැන් එතරම් වටිනාකමක් නොමැති නිසා අපි කාසිය වෙනුවට රුපියල් 1000ක් වැනි මුදලක් යොදා ගනිමු. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දෙදෙනාට ඉහත සඳහන් රුපියල් 1000ක මුදල ලබා ගත හැකි අතර ඒ සඳහා ඔවුන් විසින් කළ යුතු එකම දෙය එම මුදල බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණීමයි. එවැනි එකඟතාවයකට පැමිණිය නොහැකිනම් ඔවුන්ට මුදල හිමිවන්නේ නැහැ. 

ඉතා පැහැදිලිවම කවර හෝ එකඟතාවයකට පැමිණීම එවැනි එකඟතාවයකට නොපැමිණීමට වඩා දෙදෙනාටම වාසිදායකයි. මේ එකඟතාවය කුමක් විය යුතුද?

මුදල දෙදෙනා අතර සමසමව, එනම් රුපියල් 500 බැගින්, බෙදා ගැනීමට දෙදෙනා එකඟ වනු ඇති බව ඇතැමෙකු කියනු ඇති. එය එසේ විය හැකියි. නමුත් අනිවාර්යයෙන්ම එය එසේ විය යුතු නැහැ. 

ඔබ මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුනම්, අවම වශයෙන් තමන්ට රුපියල් 900ක් අවශ්‍ය බව අනෙක් ක්‍රීඩකයා දැඩි ලෙස කියා සිටින්නේනම්, ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ මෙයට එකඟ වුවහොත් ඔබට රුපියල් 100ක් ලැබෙනු ඇත. එකඟ නොවුවහොත් කිසිවක් නොලැබෙනු ඇත. ඒ නිසා, ආරක්ෂාකාරී හා වාසිදායක තීරණය වනුයේ රුපියල් 100ක් ලබා ගැනීමට කැමති වීමයි. 

අනෙකා මෙසේ කිවුවත්, ඔබ මේ යෝජනාවට අකමැති වී අවම වශයෙන් රුපියල් 400ක්වත් ඉල්ලා සිටියහොත්, අනෙක් ක්‍රීඩකයා තමන්ට ලැබෙන රුපියල් 600 අතහැර යෝජනාව ඉවත දමයිද? එසේ වෙන්නට හෝ නොවෙන්නට පුළුවන්. ඒ නිසා, ඔබට ලැබෙන මුදල වැඩි කර ගැනීමට අවශ්‍යනම් ඔබට වැඩි අවදානමක්ද ගන්නට සිදු වෙනවා. අනෙක් ක්‍රීඩකයා රුපියල් 900ක්ම ඉල්ලා සිටින්නේ එවැනි අවදානමක් අරගෙනයි. 

කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවෙන් වැඩි වාසියක් ගන්නටනම් වැඩි පංගුවක් ඉල්ලා සිටින අතරම තමන් තමන්ගේ තීරණය වෙනස් නොකරන බව අනෙක් ක්‍රීඩකයාට ඒත්තු ගන්වන්නට සිදු වෙනවා. හෙට්ටු කිරීම් අවසානයේ මුලින් පසුබසින ක්‍රීඩකයාට අඩු පංගුවක් භාර ගන්නට සිදු වෙනවා. දෙදෙනාම දැඩි ස්ථාවර වල සිටින තරමට මුදල සමානව බෙදෙන්න ඉඩකඩ වැඩියි. 

වෙළඳ තරඟයකදී සිදු වන ක්‍රියාවලියද මීට සමාන එකක්. රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාම දෙරටටම වාසිදායකයි. ඒ නිසා, වෙළඳාම් කරනවාද නොකරනවාද යන්න රුපියල් දහස ලබා ගන්නවද නැද්ද වැනි පිළිතුර පැහැදිලි කරුණක්. එහෙත්, වෙළඳාමේ වාසි දෙරට අතර බෙදී යන ආකාරය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මතයි. කැනඩාව සහ ඇමරිකාව අතර දැන් සිදුවන දෙයද මෙයට සමාන කළ හැකියි. 

මේ වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඇමරිකාවයි. ඊට හේතුව කාසිය බෙදෙන්නේ ඇමරිකාවට අවාසිදායක ලෙස බව  ඇමරිකාව සිතීමයි. ඇමරිකාව කියා කිවුවත් අඩු වශයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආණ්ඩුව එසේ සිතීමයි. ඇමරිකාව වෙළඳ යුද්ධය අරඹමින් කියා සිටියේ "අපිට රුපියල් 1000 මුදලින් මීට වඩා වැඩි පංගුවක් අවශ්‍යයි. එය අපට නොලැබේනම් අප මෙම මුදල බෙදා ගන්න කැමති වන්නේ නැහැ" යන්නයි. ඇමරිකාවේ ඉහත තීරණයට කැනඩාව එකඟ වුනේ නැහැ. 

රුපියල් 1000 නැති කර ගැනීම ඇමරිකාවට වගේම කැනඩාවටත් විශාල පාඩුවක්. ඒ නිසා, කොයි වෙලාවක හෝ දෙපාර්ශ්වය කිසියම් එකඟතාවයකට එන එක විය යුතු දෙයක්. එතෙක්, තමන්ගේ පංගුව වැඩි කර ගැනීමට ඇමරිකාව හෙට්ටු කරයි. තමන්ගේ පංගුව ආරක්ෂා කර ගැනීමට කැනඩාව හෙට්ටු කරයි. මේ වෙළඳ යුද්ධය මොන විදිහට අවසන් වේද යන්න අපි අනාගතයට භාර කරමු. මොන විදිහට අවසන් වුවත් එය දෙපාර්ශ්වය අතර එකඟතාවයක් බව පමණක් දැනට කිව හැකියි. 

අවධානය යොමු කළ යුතු වඩා වැදගත් කරුණ ඇමරිකාවේ වෙළඳ හිඟයයි. මේ වෙළඳ හිඟයට හේතුව කුමක්ද? 

ධවල මන්දිරයට අනුව, වෙළඳ හිඟයට ප්‍රධාන හේතුවක් වන්නේ ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිදායක ලෙස පැවතීමයි. ඒ අනුව, ට්‍රම්ප් ආණ්ඩුව විසින් උත්සාහ දරන්නේ මේ වැරැද්ද නිවැරදි කිරීමටයි. 

ඇත්ත වශයෙන්ම, ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළදාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිසහගත ලෙස පවතිනවාය යන්න බොරුවක් නෙමෙයි. ඇමරිකාව ලෝකයේ අනෙකුත් රටවලට සිය වෙළඳපොළ විවෘතව තබා ඇති තරමට සාපේක්ෂව ඇමරිකාවට අනෙකුත් රටවල් බොහොමයක වෙළඳපොළවල් විවෘත වී නැහැ. ඒ බව ධවල මන්දිරය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙනවා.

- බ්‍රසීලය ඇමරිකාවට එතනෝල් අපනයනය කරද්දී ඇමරිකාව විසින් අය කරන්නේ 2.5%ක බද්දක් පමණක් වුවත්, ඇමරිකාව බ්‍රසීලයට එතනෝල් අපනයනය කරද්දී බ්‍රසීලය විසින් 18%ක බද්දක් අය කරනවා.

- ඉන්දියාවේ කෘෂි අපනයන මත ඇමරිකාව විසින් අය කරන්නේ 5% බද්දක් වුවත්, ඇමරිකානු කෘෂි අපනයන මත ඉන්දියාව විසින් 39%ක බද්දක් අය කරනවා. එමෙන්ම ඉන්දියාව ඇමරිකානු මෝටර් සයිකල් මත 2.4%ක බද්දක් පමණක් අය කළත්, ඉන්දියාව ඇමරිකානු මෝටර් සයිකල් මත 100%ක බද්දක් අය කරනවා. 

- ඇමරිකාව යුරෝපීය සංගමයේ මෝටර් රථ මත 2.5%ක බද්දක් අය කරද්දී යුරෝපීය සංගමය ඇමරිකානු මෝටර් රථ මත 10%ක බද්දක් අය කරනවා. 

මේ උදාහරණ අනුව, ධවල මන්දිරය කියන්නේ බොරුවක් නොවන බව පේනවා. ඔය වගේ තෝරාගත් උදාහරණ දෙක තුනක් ඇසුරෙන් සමස්ත තත්ත්වය ගැන නිගමනයකට එන්න බැරි වුනත්, සමස්ත තත්ත්වය දිහා බැලුවත් ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිදායක ලෙස පවතිනවා කියන කරුණ පැහැදිලිව පේනවා. අවශ්‍ය කෙනෙකුට ලංකාවේ අපනයන මත ඇමරිකාව අය කරන බදු සහ ඇමරිකාවේ අපනයන මත ලංකාව අය කරන බදු සසඳා බලන්න පුළුවන්. 

මේ අසමතුලිතතාවය දෙස බලද්දී ඇමරිකාව පැත්තෙන් වෙළද යුද්ධයක් ආරම්භ වෙන්නේ ඇයි කියන කරුණත් පැහැදිලි වෙනවා.

වෙළඳ යුද්ධ පැත්තකින් තියමු. සාමාන්‍ය යුද්ධ ඇති වෙන්නේ ඇයි? හැම විටම කොහොම වුනත්, ගොඩක් වෙලාවට යුද්ධ ඇති වෙන්නේ භූමියේ අයිතිය සම්බන්ධව. එක් පාර්ශ්වයක් විසින් වෙනත් පාර්ශ්වයකට අයිති භූමිය ආක්‍රමණය කරනවා. යුද්ධයේ පළමු පියවර බොහෝ විට එයයි.

වෙනත් රටක් ලංකාව ආක්‍රමණය කර භූමිය ක්‍රමයෙන් අල්ලාගෙන එනවානම් ලංකාව කුමක් කරයිද? අනිවාර්යයෙන්ම තමන්ට අයිති භූමිය ආරක්ෂා කර ගන්න සටන් කරනවා. මොකද එහෙම නොකර පාඩුවේ හිටියොත් ආක්‍රමණිකයා අවුලක් නැතිව මුළු රටම අල්ල ගන්න පුළුවන්. අමාරු යුද්ධයක් වුනත්, යම් ප්‍රතිරෝධයක් දැක්වුවහොත් පමණයි රටෙන් කොටසක් හෝ ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. 

ගොඩක් යුද්ධ අවසන් වෙන්නේ කිසියම් සම්මුතියකින්. ඒ සම්මුතිය හැදෙන්නේ ජයග්‍රහකයාට වාසිදායක ලෙසයි. යුද්ධයක් ආරම්භ කරන කෙනෙක් එසේ කරන්නේ අන්තිමේදී සිතියම තමන්ට වාසිදායක ලෙස ඇඳගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්.

මේ වැඩේම තමයි වෙළඳ යුද්ධයකදී වෙන්නෙත්. යුද්ධය අවසානයේදී ජයග්‍රාහකයාට වාසිදායක ලෙස සිතියම නැවත ඇඳෙනවා. ජයග්‍රාහකයා වෙන්නේ වැඩිම හානියක් දරා ගන්න පුළුවන් පාර්ශ්වය. 

සමහර වෙලාවට යුද්ධ වලදී කියවෙන කතාවක්නේ "අපිට තවත් නැති වෙන්න දෙයක් නැහැ" කියන එක. ඔය කතාව අතිශයෝක්තියක් වුනත්, කිසියම් පාර්ශ්වයකට නැති වෙන්න දේවල් අඩු වුනාම යුද්ධයකට පෙළඹෙනවා. මොකද අපේක්ෂිත උපරිම හානිය ඔය නැති විය හැකි දේවල් ටික.

ඇමරිකාව ලංකාව එක්ක වෙළඳ යුද්ධයක් පටන් ගත්තොත්, ලංකාවටත් ප්‍රතිරෝධයක් දක්වන්න වෙනවා. ලංකාවට ඇමරිකාවට දැක්විය හැකි උපපරිම ප්‍රතිරෝධය ඇමරිකාවෙන් කිසිම දෙයක් ආනයනය නොකර ඉන්න එක. එහෙම කළොත් ඇමරිකාවට අන්තිමට වෙන්නේ පාඩුවක් තමයි. නමුත් උපරිම පාඩුව ඩොලර් මිලියන 500ක පමණ අපනයන වෙළදපොළක් නැති වෙන එක. නමුත් ලංකාවට ඩොලර් බිලියන 3ක පමණ අපනයන වෙළදපොළක් නැති වෙනවා. 

දැන් මේ තත්ත්වය එක්ක ලංකාව සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කරන එකෙන් ඇමරිකාවට නැති වෙන්න දෙයක් නැති තරම්. ඒ නිසා, ඇමරිකාව ලංකාව එක්ක වෙළඳ යුද්ධයක් ආරම්භ කළොත්, ලංකාව අතේ තුරුම්පු කිසිවක් නැහැ. එය ඇමරිකාව බලවත් රටක් සහ ලංකාව එතරම් බලවත් නැති පර්යන්ත රටක් වීම නිසාම සිදුව ඇති දෙයක් නෙමෙයි. ලංකාව සහ ඇමරිකාව අතර වෙළදාමේ පවතින ඇමරිකාවට අවාසිදායක තත්ත්වයේ ප්‍රතිඵලයක්. 

ඇමරිකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වීය වෙළඳාමේ කොන්දේසි ඔය තරමටම ඇමරිකාවට අවාසිදායක නැහැ. නමුත් ඇමරිකාවට අවාසියි. කැනඩාව අතේත් තුරුම්පු තිබෙනවා. නමුත් ඇමරිකාව අතේ තිබෙන තුරුම්පු එක්ක බලද්දී කැනඩාව අතේ තුරුම්පු නැති තරම්. 

කැනඩාවේ ලොකුම අපනයන වෙළඳපොළ ඇමරිකාව. ඇමරිකාව විසින් 2024දී මිල දී ගත් කැනඩාවේ අපනයන වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 412.7ක්. එම ප්‍රමාණය කැනඩාවේ දදේනියෙන් 19.5%ක්. අනෙක් අතට ඇමරිකාවේ ලොකුම අපනයන වෙළඳපොළත් කැනඩාව. 2024දී කැනඩාව විසින් මිල දී ගත් ඇමරිකන් අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 349.4ක්. නමුත් එම ප්‍රමාණය ඇමරිකාවේ දදේනියෙන් 1.2%ක් පමණයි. 

කැනඩාවට ඇමරිකාව කියන්නේ තමන්ගේ "ලෝක වෙළඳපොළ". නමුත් ඇමරිකාවට කැනඩාව කියන්නේ තවත් එක් අපනයනකරුවෙක් පමණයි. ඒ නිසා, කැනඩාව කොයි තරම් එකට එක කළත්, කැනඩාවට රිදෙන තරමට සාපේක්ෂව බලද්දී ඇමරිකාවට දැනෙන්නේවත් නැති තරම්. 

ඔය ඇමරිකාවේ පැත්තෙන් බලද්දී ලොකුම අපනයන වෙළඳපොළේ තත්ත්වය. අනෙක් රටවල් වල වෙළඳපොළවල් ඇමරිකාවට ඔය තරමටවත් වැදගත් නැහැ. මෙයින් කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ඇමරිකාවට වැඩක් නැහැ කියන එක නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාමට බාධා සිදු වෙද්දී අනෙකුත් පාර්ශ්වකාර රටවලට වෙන බලපෑම එක්ක බලද්දී ඇමරිකාවට දැනෙන බලපෑම ඉතාම අඩුයි. ඒ නිසාම, ඇමරිකාවට අනෙකුත් ඕනෑම රටක් එක්ක හෙට්ටු කර වඩා වාසිදායක ගනුදෙනුවකට යාමේ හැකියාවක් තිබෙනවා. 

වෙළඳ යුද්ධයකින් එයට සම්බන්ධ වන දෙපාර්ශ්වයටම තුවාල සිදු වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය යුද්ධය පවත්වාගෙන යාම තවදුරටත් ශක්‍ය නොවන මට්ටමට මේ තුවාල වල වේදනාව දැනෙන මොහොත කුමක්ද කියන එකයි. හෙට්ටු කිරීමේදී කොයි තරම් අවාසිදායක තැනක හිටියත්, කැනඩාවට තිබෙන වාසිය මෙය ඔවුන් විසින් ඉල්ලා සිටි වෙළඳ යුද්ධයක් නොවීම. කැනඩාව විසින් මේ කරුණ දිගින් දිගටම අවධාරණය කළා. සාමාන්‍යයෙන් යුද්ධයකදී ජනමතය තියෙන්නේ ආක්‍රමණිකයාට විරුද්ධව.

වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඇමරිකාව නිසා කැනඩාවේ රජය සමඟ එරට ජනමතය තිබෙනවා. නමුත් ඇමරිකාවේ ජනමතය පක්ෂ පදනම මත බෙදිලයි තියෙන්නේ. මේ වෙළඳ යුද්ධය ඇමරිකාව පැත්තෙන් ආරම්භ කරන්නේ තවත් එවැනිම යුද්ධ ගණනාවක් එක්ක නිසා ඒ සියලු යුද්ධ වලට එරෙහි ඇමරිකානු ජනමතයේ වාසිය කැනඩාවට තිබෙනවා. කැනඩාව පැත්තෙන් ඇමරිකාවේ ජනමතය තමන්ට වාසිදායක ලෙස හසුරවාගන්න දරන උත්සාහයක්ද පේන්න තිබෙනවා. 

ඇමරිකානුවන්ට කැනේඩියානුවන් එක්ක සංස්කෘතික ප්‍රශ්නයක් නැහැ. නමුත් චීනය වැනි අනෙකුත් රටවල් එක්ක මේ විදිහේම වෙළඳ යුද්ධ සිදු වෙද්දී එයට තවත් මාන එකතු වෙන නිසා ට්‍රම්ප් ආණ්ඩුවට ජනමතයේ වාසිය වැඩියෙන් ලැබෙනවා. අවසාන වශයෙන් ජනමතය කෙරෙහි බලපාන්නේ වෙළඳ යුද්ධයේ ආර්ථික බලපෑම. ඇමරිකාව ඇතුළෙන් දේශපාලන ප්‍රතිරෝධයක් එන්නනම් වෙළඳ යුද්ධ නිසා මිල ගණන් දැනෙන තරමින් ඉහළ යා යුතුයි. වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලය භාණ්ඩ මිල වැඩිවීමක් වුවත්, ගොඩක් වෙලාවට එය ඇමරිකාව ඇතුළේ දැනෙන බලපෑමක් ඇති නොකරන්න පුළුවන්. 

මේ සියලු තත්ත්වයන් එක්ක ට්‍රම්ප් රජයට දැනට ආරම්භ කර තිබෙන වෙළඳ යුද්ධ සහ ඉදිරියේදී ආරම්භ කිරීමට ඉඩ තිබෙන තවත් වෙළඳ යුද්ධ ගණනාවක් ජයග්‍රහණයෙන් කෙළවර කර ගෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්න පුළුවන් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය එය ඇමරිකාවට ඔය තරම්ම වාසියක්ද කියන එකයි

රටක දිගින් දිගටම පවතින වෙළඳ ශේෂයක් තිබෙනවා කියන්නේ ඒ රටට භාණ්ඩ අපනයනයෙන් ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් භාණ්ඩ ආනයන සඳහා රටෙන් එළියට යනවා කියන එකයි. නමුත් එහෙම වෙන්නනම්, ඒ අමතර විදේශ විණිමය ප්‍රමාණය වෙනත් යම් ක්‍රමයකින් රටට පැමිණිය යුතුයි. 

භාණ්ඩ වෙළඳාමෙන් විදේශ විණිමය ප්‍රවාහ වල හිඟයක් වාර්තා කරන ඇමරිකාවේ වගේම ලංකාවෙත් සේවා වෙළඳාමේ විදේශ විණිමය අතිරික්තයක් තිබෙනවා. නමුත් ඒ අතිරික්තයෙන් හිඟය වැහෙන්නේ නැහැ. ලංකාවේනම් මේ හිඟය වැහෙන්නේ ද්වීතියික ආදායම් වලින්. ඒ නිසා, රජය විදේශ ණය නොගෙන ඉන්නවානම්, විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දෙනවානම්, වෙළඳ ශේෂ හිඟයක් දිගටම තිබුණත් ජංගම ගිණුම තුලනය වෙනවා. 

හැබැයි ඇමරිකාවේ ද්වීතියික ආදායම් ගිණුමේ තිබෙන්නේත් හිඟයක්. ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ආවත්, ඇමරිකාව වගේ රටවලින් ශ්‍රමික ප්‍රේෂණ පිටතට යන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ නිසා, ලංකාවේ වගේ ද්වීතියික ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය ආවරණය වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ හිඟය පියවෙන්නෙත් නැහැ.

රටක ජංගම ගිණුමේ හිඟයක් තියෙනවානම්, එය තුලනය විය යුත්තේ මූල්‍ය ගිණුම හරහා. දැන් ලංකාවේ ජංගම ගිණුම තුලනය වුනත්, පසුගිය වසර ගණනාවක් එය එසේ නොවුනේ ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම විදේශ ණය ලබාගත් නිසා. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් වැඩි වැඩියෙන් විදේශ ණය ගනිද්දී ජංගම ගිණුමේ හිඟයද ඉහළ යනවා. එහි කොටසක් වෙන වෙළඳ ගිණුමේ හිඟයත් ඉහළ යනවා. 

ලංකාවේ රජය මෙන් ඇමරිකාවේ රජය විදේශ ණය ගන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ ඇමරිකානු රජය විසින් ලබා ගන්නා (දේශීය) ණය විදේශ රටවල් විසින් මිල දී ගැනීම. අන්තිමට දෙකම එකයිනේ කියලා කාට හරි කියන්න පුළුවන් වුනත් මේ වෙනස වැදගත් වෙනසක්. 

කොයි තරම් ප්‍රශ්න තිබුණත්, තවමත් ලෝකයේ ශක්තිමත්ම මුදල් වර්ගය ඇමරිකන් ඩොලරය. ඇමරිකන් ඩොලර් සඳහා ලෝකය පුරාම සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා. ඇමරිකන් ඩොලර් ආයෝජන වලටත් ඒ ඉල්ලුමම තිබෙනවා.

ඉහත හේතුව නිසා ඇමරිකාවට ආයෝජන ගලාගෙන එනවා. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. මූල්‍ය ගිණුම හරහා විදේශ විණිමය රටට එද්දී ජංගම ගිණුමේ ඊට සමාන හිඟයක් ඇති වෙනවා. මේ හේතුව නිසා, සමහර අයගේ මතය ජංගම ගිණුමේ හිඟයක් තියෙන එකේ කිසිම වැරැද්දක් නැහැ කියන එක. මෙය ප්‍රශ්නයක් සේ දකින අය සැලකුවත්, ඔවුන් මේ ප්‍රශ්නයට විසඳුම තීරු බදු වැඩි කිරීම මගින් ජංගම ගිණුම තුලනය කර ගැනීම විදිහට දකින්නේ නැහැ. 

මොන ආකාරයෙන් හෝ වෙළඳ යුද්ධ ගණනාවක් ජයගෙන ඇමරිකාව විසින් වෙළඳ ශේෂය වඩා වාසිදායක මට්ටමකට හරවා ගත්තා කියා හිතමු. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ගිණුම හරහා ඇමරිකාවට එන ප්‍රාග්ධන ආයෝජනද පහළ යා යුතුයි. ඒ කියන්නේ එම අඩුව පුරවන්න වෙන්නේ දේශීය ඉතිරි කිරීම් වලින් කියන එකයි.

ඇමරිකාවේ දේශීය වෙළඳපොළේ ණය ඉල්ලුම සහ සැපයුම සමතුලිත වෙන්නේ විදේශ සැපයුමත් එක්ක. ඒ කොටස ඉවත් වෙනවා කියන්නේ සැපයුම අඩු වෙලා පොලී අනුපාතික ඉහළ යනවා කියන එක. ඒ නිසා, වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට භාණ්ඩ මිල ඉහළ යාමට අමතරව පොලී අනුපාතික වලද යම් ඉහළ යාමක් සිදු විය යුතුයි. සමහර විට දැනට ක්‍රියාත්මකව පවතින පොලී අනුපාතික අඩු කිරීමේ (චක්‍රීය) ප්‍රතිපත්තිය නිසා මේ බලපෑම සැඟවී යන්න පුළුවන්. එසේ වුවත්, ඉලක්කගත පරිදි තීරු බදු වැඩි කර වෙළඳ හිඟය අඩු කරගන්නවා කියන්නේ පවතින තත්ත්වයට (status quo) සාපේක්ෂව බඩු මිල වගේම පොලී අනුපාතිකත් ඉහළ යනවා කියන එකයි.

හැබැයි මෙහෙම දෙයකුත් තිබෙනවා. තීරු බදු වැඩි වෙද්දී රජයේ ආදායම් ඉහළ ගිහින් අයවැය හිඟය අඩු වෙනවා. ඒ වගේම, මේ දවස් වල රජයේ වියදම් කප්පාදු කරගෙන යන වේගය අනුව, රජයේ ණය ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. එහෙම වුනොත්, පොලී අනුපාතික අඩු වීමේ බලපෑම නිශේෂණය වෙනවා. 

බඩු මිල ටිකක් ඉහළ ගියත්, වෙළඳ හිඟය අඩු වෙනවා කියන්නේ දේශීය නිෂ්පාදිතය වැඩි වෙලා රැකියා වැඩි වෙනවා කියන එකනේ. දැන් මේ වෙලාවෙනම් ඇමරිකාවේ විරැකියා ප්‍රශ්නයක් නැහැ. අනෙක් අතින් නීති විරෝධී සංක්‍රමණිකයින් විශාල පිරිසක් රටෙන් පිටුවහල් කෙරෙමින් තිබෙනවා. නීත්‍යානුකූල ලෙස රටේ ඉන්න අයගේ වුනත් වීසා අලුත් නොකිරීමේ ප්‍රවණතාවක් පේන්න තිබෙනවා. මේ දේවල් නිසා වෙන්නේ රැකියා වෙළඳපොළේ ඉල්ලුම අඩු වෙන එක. මේ තත්ත්වයන් එක්ක වැටුප් ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. රජයේ රැකියා කප්පාදු කෙරෙමින් තිබෙන නිසා, යම් තරමකින් මේ බලපෑම නිශේධනය වෙන්නත් පුළුවන්. කොහොම වුවත්, සැලසුම් වල විදිහට නීති විරෝධී සංක්‍රමණිකයින් රටෙන් පිටුවහල් කළොත් එහි ප්‍රතිඵලය වන්නේ වැටුප් ඉහළ යාම. විශේෂයෙන්ම පහළ මට්ටමේ රැකියා වල. 

යුරෝපය වාගේ නොවුණත්, ඇමරිකාව කියන්නෙත් සුබසාධන රාජ්‍යයක්. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් බදු මුදල් වලින් ලොකු කොටසක් වැය වෙනවා. රැකියා වැඩි වෙලා, රැකියා අයදුම්කරන්නන් අඩු වෙලා, ශ්‍රමයේ මිල ඉහළ යනවා කියන්නේ දැනට රජයෙන් යැපෙන සැලකිය යුතු පිරිසක් දරිද්‍රතා සීමාවෙන් උඩට යනවා කියන එක. ඒ හරහා රජයේ වියදම් තවත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම, වැටුප් වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියොත් වෙළඳ යුද්ධය නිසා බඩු මිල ඉහළ යාමේ අවාසිය කැපී ගිහින් ට්‍රම්ප් රජයට සිදු විය හැකි දේශපාලන අවාසියද නැති වී යන්න පුළුවන්. 

වෙළඳ යුද්ධය, සංක්‍රමණික විරෝධය, රාජ්‍ය වියදම් කප්පාදුව ආදී වත්මන් ඇමරිකන් රජයේ ප්‍රතිපත්ති පැකේජය සමස්තයක් ලෙස ගත් විට එහි සියලුම කොටස් හීන් හුයකින් සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඒවා ශීත සෘතුවේ කෙටි දහවලක කවුරු හෝ තනි පුද්ගලයෙකුට පෙනුණු විකාර සිහිනයක කොටස් නෙමෙයි. සංගත ප්‍රතිපත්ති පැකේජ් එකක කොටස්. නමුත් සම්ප්‍රදායික වාමාංශික හෝ දක්ෂිණාංශික කෝණ වලින් බැලුවොත් මේ ප්‍රතිපත්ති එකිනෙකට සම්බන්ධ නැති සේ පෙනෙන්න පුළුවන්. 

Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

Tuesday, December 29, 2020

කෝවිඩ් ජාතිකත්වය


මා පෙර ලිපියක විස්තර කළ පරිදි, ඇමරිකාව විසින් කෝවිඩ් එන්නත් වැඩි දියුණු කිරීම සඳහා කරන ආයෝජන වශයෙනුත්, එන්නත් මිල දී ගැනීම සඳහා කරන පෙර ගෙවුම් ලෙසත්, සමාගම් ගණනාවකට ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මේ ආයෝජන හා පෙර ගෙවුම් සිදු කර තිබෙන්නේ අදාළ එන්නත් සාර්ථක වනු බවට කිසිදු සහතිකයක් නැතිවයි. වෙනත් විදිහකට කිවුවොත් නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ගේ බදු මුදල් වලින් ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මේ ආකාරයෙන් එන්නත් හදන්නත් කලින් එන්නත් මිල දී ගත් එකම රට ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් සියල්ලම මෙන්ම නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා. මේ විදිහට සමාගම් ගණනාවකට අදාළ එන්නත් හදන්න කලින්ම පෙර ගෙවුම් කිරීමෙන් කර තිබෙන්නේ ඔට්ටු ඇල්ලීමක්. එම රට වලට ගත් අවදානම වෙනුවෙන් මේ වෙද්දී ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. 

විවිධ රටවල් විසින් පෙර ගෙවුම් ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවම වශයෙන් එන්නත් බිලියන 8ක් මේ වන විට විකිණී අවසන්. එය ලෝක ජනගහණය ඉක්මවන ප්‍රමාණයක්. එක් අයෙකුට බොහෝ විට එන්නත් දෙකක් අවශ්‍ය වන නිසා මේ එන්නත් ප්‍රමාණය අවම වශයෙන් ලෝක ජනගහණයෙන් බාගයකට ප්‍රමාණවත් වුවත්, එම එන්නත් ලෝකයේ රටවල් අතර ජනගහණයට සමානුපාතිකව බෙදී යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. උදෙන්ම ඇහැරුණු කුරුල්ලෝ වැඩියෙන් පණුවෝ අල්ලයි.

ඇමරිකාව වෙනුවෙන් සමාගම් හයකින් දැනටමත් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 550 කට ප්‍රමාණවත්. එහෙත්, ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණයි. ඒ අනුව, රටේ ජනගහණය මෙන් 167%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකාව මේ වන විට මුදල් ගෙවා අවසන්. එහෙත්, මේ එන්නත් වලින් මේ වන තුරු අනුමත වී තිබෙන්නේ සමාගම් දෙකක එන්නත් පමණයි. එම සමාගම් දෙකෙන් මිල දී ගැනෙන එන්නත් වුවත් ජනගහණයෙන් 60%කට ප්‍රමාණවත්. එම මට්ටමේදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඊයේ උදේ වෙද්දී ඇමරිකානුවන් 2,127,143 දෙනෙකු විසින් කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබුණා. මේ ප්‍රමාණය ලෝකයේ කිසියම් රටක ලබා දී තිබෙන වැඩිම එන්නත් ප්‍රමාණය වුවත්, එම ප්‍රමාණය ඇමරිකාවේ ජනගහණයෙන් 0.64%ක් පමණයි.

මේ කාර්යයේදී වෙනත් බටහිර රටවල් ගණනාවක්ම ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. මිලියන 38ක ජනගහණයක් සිටින කැනඩාව විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 117කට, එනම් රටේ ජනගහණය මෙන් 308%කට, ප්‍රමාණවත්.දැනට අනුමත වී තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් පමණක් වුවත් කැනේඩියානුවන්ගෙන් 80%කට ප්‍රමාණවත්. ඒ මට්ටමේදී කැනඩාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවන්නට හේතුවක් නැහැ. මේ වන විට අවම වශයෙන් කැනේඩියානුවන් 52,324 දෙනෙකු විසින් එන්නත ලබා ගෙන තිබෙනවා. එහෙත්, එම ප්‍රමාණය කැනඩාවේ ජනගහණයෙන් 0.16%ක් පමණයි.

එක්සත් රාජධානිය විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය එරට ජනගහණය මෙන් 290%කට ප්‍රමාණවත්. එහෙත්, එක්සත් රාජධානිය විසින් මේ වන තුරු අනුමත කර තිබෙන්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණයි. එම එන්නතෙන් මිල දී ගෙන ඇති ප්‍රමාණය එරට ජනගහණයෙන් 30%කට ප්‍රමාණවත්. එක්සත් රාජධානිය විසින් වැඩිපුර ඔට්ටු දමා තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවෙනුයි. ඇස්ට්‍රසෙනිකා එන්නත එක්සත් රාජධානිය තුළ ඉතා ඉක්මණින් අනුමත වේයැයි අපේක්ෂිතයි. එම එන්නත අනුමත වුවහොත්, එක්සත් රාජධානියේ ජනගහණයෙන් ඉතිරි 70% සඳහා අවශ්‍ය වන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එරටට ලැබෙනවා. දැනට ලැබී තිබෙන දත්ත අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීත්වය අඩු නිසා එරටට සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ජනගහණයෙන් 90%ක් පමණ එන්නත් කරන්න අවශ්‍ය විය හැකියි. එක්සත් රාජධානිය තුළ මේ වන විට අවම වශයෙන් 625,981 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එම ප්‍රමාණය ජනගහණයෙන් 1.18%ක්. මේ අනුව, එන්නත්කරණය අතින් එක්සත් රාජධානිය ඇමරිකාවට හා කැනඩාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

යුරෝපීය සංගමය විසින්ද කලාපයේ රටවල ජනගහණය මෙන් 170%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් සමාගම් හයකට පෙර ගෙවුම් කර තිබෙනවා. දැනට අනුමත කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙන් යුරෝපීය සංගමයට ලැබෙන ප්‍රමාණය කලාපයේ ජනගහණයෙන් 22%කට ප්‍රමාණවත්. යුරෝපීය සංගමය විසින් මේ වන විට ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හා ජැන්සෙන් (ජොන්සන් සහ ජොන්සන්) එන්නත් අනුමැතිය සඳහා සලකා බලමින් සිටිනවා. එම සමාගම් වලට කර ඇති පෙර ගෙවුම් මත යුරෝපීය සංගමයට ලැබෙන එන්නත් ප්‍රමාණය ජනගහණයේ ඉතිරි 78% සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

ඕස්ට්‍රේලියාව එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 230% කටද, නවසීලන්තය එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 247% කටද පෙර ගෙවුම් කර ඇතත් එම රටවල් විසින් තවමත් කිසිදු එන්නතක් අනුමත කර නැහැ.

ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් එන්නත්කරණයෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රට ඊශ්‍රායලයයි. මිලියන 9ක පමණ ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විටද 495,000 දෙනෙකු එන්නත් කර අවසන්. මේ ප්‍රමාණය එරට ජනගහණයෙන් 5.7%ක් පමණ වන අතර එරටෙන් මෙතෙක් හඳුනාගෙන තිබෙන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වන 409,338ද ඉක්මවනවා. ඊශ්‍රායලය විසින් පයිසර්-බයෝඑන්ටෙක් සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව එන්නත් මිලියන 8ක්ද, මොඩර්නා සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව තවත් එන්නත් මිලියන 6ක්ද, එරටට හිමි වෙනවා. මෙම ප්‍රමාණය මිලියන 7කට, එනම් ඊශ්‍රායලයේ ජනගහණයෙන් 80%කට පමණ, ප්‍රමාණවත්. මේ එන්නත් දෙකේම ඵලදායීතාවය 95% මට්ටමේ තිබෙන නිසා ලෝකයේ මුලින්ම සාමූහික ප්‍රතිශක්තිය ලබන රට ඊශ්‍රායලය විය හැකියි. හරියටම දිනන අස්සයින්ට ඔට්ටු දමමින් අඩුම වියදමකින් ඉලක්කයට යන්නට සමත්වීම ඊශ්‍රායලය සතු උපාය මාර්ගික හැකියාව හොඳින් පෙන්වා දෙනවා.


උදෙන් ඇහැරුණු කුරුල්ලන් ලොකු පණුවන් කලින්ම අල්ලා ගනිද්දී, දවල් වන තුරු නිදා ගන්නා කුරුල්ලන්ගේ අහිංසක පැටවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ අයගේ පිහිටට ඉන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව විසින් එන්නත් දැනටමත් ඇනවුම් කර නැති රටවල් වලට අවම එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත්, ඒ එන්නත් අතරින් එළැඹෙන 2021 වසර තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතට පමණයි. 

ලෝක බැංකුව විසින් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින යූබීඅයි එන්නත තවමත් තිබෙන්නේ සතුන් යොදවා පරීක්ෂා කරන අදියරකයි. ලෝක බැංකුව විසින් තවත් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින සනෝෆි එන්නත මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත්ව නැහැ. එම එන්නත වෙනුවෙන් වැය කළ ඩොලර් බිලියන 2.1ක ඇමරිකානු බදු මුදල්ද, යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව විසින් වැය කළ මුදල්ද දැනට පෙනෙන විදිහටනම් වතුරේ. 

කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක බැංකුවට දැනට ලැබෙන බවට සහතිකයක් තිබෙන්නේ මිලියන 150කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් පමණයි. මේ එන්නත් ලබා ගන්නට බලා සිටින රටවල ජනගහණය සැලකූ විට, ලෝක බැංකුවේ ඉලක්කය සෑම රටකම අවම වශයෙන් 20%ක්වත් එන්නත් කෙරෙනු ඇති බවට වගබලාගැනීම වුවත්, සැබැවින්ම යා හැක්කේ 2% මට්ටමට පමණයි. 


Monday, September 28, 2020

කේල් සමඟ පරිප්පු කරියක්!


අද නිවුයෝර්ක් ටයිම්ස්හි කේල් සමඟ සම්ප්‍රදායික ශ්‍රී ලංකා පරිප්පු කරියක් හදා ගන්නා ආකාරය විස්තර කර තිබෙනවා. ලිපිය ලියා ඇති තේජල් රාවෝට රෙසිපිය ලබා දී තිබෙන්නේ මීරා ශෝධානම් බ්‍රිතාන්‍ය සූපවේදිනියක විසිනුයි. ඇය කියා ඇති පරිදි පරිප්පු කරිය උඩට කේල් කොළ එකතු කිරීම ලංකාවේ සාම්ප්‍රදායිකව කරන දෙයක් නොවූවත් එසේ එකතු කිරීමෙන් මේ ආහාරය වඩා සම්පූර්ණ එකක් බවට පත් වෙනවා.


කේල් ඇමරිකාවේ වගේම යුරෝපයේත් ජනප්‍රිය හා සුලභ කොල වර්ගයක්. එය සෞඛ්‍ය සම්පන්න ආහාරයක් සේ සැලකෙනවා. පරිප්පු වලට කේල් කොළ එකතු කිරීම සමාන කළ හැක්කේ ලංකාවේදී පරිප්පු වලට නිවිති කොල එකතු කිරීමටයි.

ලංකාවේ කේල් වවන්නේ නැතත් සුපිරි වෙළඳසැල් වල කේල් මිල දී ගන්න ඇතැයි මම සිතනවා. මේ වසරේ පළමු මාස හත ඇතුළත පමණක් ආනයනය කර තිබෙන ඩොලර් මිලියන 228.0 ක එළවලු අතර කේලුත් නොතිබෙන්න හේතුවක් නැහැ. සුළු වශයෙන් හෝ ලංකාවේ කේල් වවනවා ඇති කියලත් මම හිතනවා. දැනට වවන්නේ නැත්නම් උඩරට පළාත් වල වවන්න බැරි දෙයක් නෙමෙයි.

දැන්නම් අපේ වත්තේ ඇති වෙන්න ගොටුකොළ මුකුණුවැන්න තිබෙනවා. ඇමරිකාවේ වැවෙන අනෙක් දේශීය බෝග බොහොමයක් වගේම ගොටුකොළ මුකුණුවැන්නත් ශීත කාලයේදී මැරිලා ගිහින් කාලගුණය උණුසුම් වෙද්දී නැවත ඉබේම මතු වෙනවා. කන්කුන්නම් ශීත කාලයේදී මැරිලා ගියාට පස්සේ ඒ විදිහට නැවත මතු වෙන්නේ නැහැ. ආපහු දඬු හොයාගෙන පැල කර ගන්න ඕනෑ. මේවා වවාගන්න කලින් අපි සමහර දවස් වල බත් එක්ක කන්න කේල් වලින් ලංකාවේ ක්‍රමයට පොල් එකතු කර කේල් මැල්ලුම් හා කේල් සම්බෝල හදා ගන්නවා. නරක නැහැ. 

කේල් වගේම පරිප්පුත් ලංකාවේ වැවෙන්නේ නැහැ. 2018 වසරේදී ලංකාව පරිප්පු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 70.2 ක් වැය කර තිබෙනවා. ලෝක පරිප්පු වෙළඳ පරිමාවෙන් 4.2%ක්ම ආනයන කරන ලංකාව ගැනුම්කාර රටවල් අතර අටවන තැන ඉන්නවා. පසුගිය දවස් වල පරිප්පු වෙනුවට බඩඉරිඟු ආදේශ කිරීම පිළිබඳ යෝජනාවකුත් ඇමතිවරයෙකුගෙන් ඉදිරිපත් වී තිබුණා. ඒ එක්කම වගේ ලංකාවේ පරිප්පු කරිය නිවුයෝර්ක් ටයිම්ස් එන එක අහම්බයක් නෙමෙයි කියලා මම කියන්නේ නැහැ.


පරිප්පු නිෂ්පාදනය මෙන්ම අපනයනය අතින්ද මුල් තැන සිටින්නේ කැනඩාවයි. එහෙත්, ලංකාව වැඩිපුරම පරිප්පු ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම පරිප්පු නිෂ්පාදකයා වුවත් ඉන්දියාවේ දේශීය ඉල්ලුම නිෂ්පාදනයට වඩා වැඩියි. ඇමරිකාවත් ප්‍රමුඛ පරිප්පු නිෂ්පාදකයෙක් හා අපනයනකරුවෙක්. ඇමරිකාවේ වාර්ෂිකව ජාතික පරිප්පු උත්සවයක්ද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පරිප්පු කරිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. එහෙත්, ශ්‍රී ලාංකික සම්භවයක් හෝ සම්බන්ධයක් ඇති කිහිප දෙනෙක්ම ප්‍රතිචාර දමමින් සඳහන් කර තිබෙන්නේ මේ රෙසිපිය සම්ප්‍රදායික ශ්‍රී ලංකා පරිප්පු රෙසිපියට සමාන නොවන බවයි. 

Wednesday, October 31, 2018

චීන සුබ පැතුමේ සිට ඉන්දියානු නිහඬතාවය දක්වා...


ලංකාවේ පවතින තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් බටහිර මාධ්‍ය වල අවධානය දිනා ගනිමින් තිබෙනවා. මේ හා අදාළ වාර්තා පිරික්සන විට සුවිශේෂී කරුණු කිහිපයක්ම කැපී පෙනෙනවා.

මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම හා අදාළ පුවත වාර්තා කෙරෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවට එරෙහිව සිදු වූවක් ලෙස. එසේ නැත්නම් ව්‍යවස්ථාවට එරෙහිවද යන්න පැහැදිලි නොමැතිව ලෙස.

මහින්ද රාජපක්ෂ නම බොහෝ විට ලියැවෙන්නේත් නිකම්ම නෙමෙයි. "මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වී ඇති", "මාධ්‍ය මර්දනය කිරීමේ චෝදනා වලට ලක් වී ඇති" වැනි හඳුන්වාදීම්ද සමගයි.

ඒ එක්කම අර්ජුනගේ ආරක්ෂකයෙකු විසින් කළ වෙඩි තැබීම ඇතුළුව මේ වන විට සිදුව තිබෙන මරණ දෙකකට විශාල බරක් වැටෙමින් තිබෙන බව පෙනෙනවා. නමුත්, මේ ගැන බොහෝ විට කියැවෙන්නේ පසුබිම් කතා නැතිව "බල අරගලය නිසා මේ වන විටත් ජීවිත හානි සිදු වී තිබෙනවා" වැනි කතා. විශාල ජීවිත හානියක් සිදු වීමේ අවදානමක් ගැන බොහෝ විට අවධාරණය කෙරෙනවා.

මහින්ද රාජපක්ෂව පත් කර වැඩි වෙලාවක් යන්න කලින්, 27 සෙනසුරාදා, චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා. ඔහු එදිනම රනිල් වික්‍රමසිංහවත් හමු වී තිබෙනවා. ප්‍රශ්නය මේ තරම් දුරදිග යයි කියා චීනය ඒ වන විට දැන සිටියාද කියා මා දන්නේ නැහැ.

මේ වන විට චීනයේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීමයි. දින දෙකකට පෙර (29 සඳුදා) චීන විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය රට ඇතුළේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

නියම අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය දිග් ගැස්සෙද්දී, අනෙකුත් රටවල් මුලින් කළේ විමසිල්ලෙන් බලා සිටීම පමණයි. ඔවුන් එක්වරම කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැහැ. එසේ වුවත්, එක්සත් රාජධානිය, යුරෝපීය රටවල් කිහිපයක්, කැනඩාව හා ඉන්දියාව ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටියා. මේ වන විට (27 සෙනසුරාදා) රනිල් වික්‍රමසිංහ විසින් ඉහත රටවල් ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක තානාපතිවරුන් ගෙන්වා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර උදවු ඉල්ලා සිටි බව වාර්තා වී තිබුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය වගේම රනිල් පාර්ශ්වයත් අද දක්වාම කියන්නේ ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි බවයි. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටීම පසුව ඕනෑ පැත්තකට නැවිය හැකි පතෝල ප්‍රකාශයක් පමණයි.

ඉරිදා (28) වෙද්දී කථානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව තීරණය කර තිබුණා. එයට සමාන්තරව ඒ වන විට ජනාධිපතිවරයා විසින් කල් තබා තිබුණු පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් ඉල්ලීමක් එජාපයෙන් මතු වුණා. ඒ ඉල්ලීමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කොටස්ද එකතු වුනා.

එදිනම (28 ඉරිදා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මෙයින් ඇමරිකාව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නා බවක් අදහස් නොවුනත්, පාර්ලිමේන්තුව කල් තැබීම ඇමරිකාව අනුමත නොකරන බව ප්‍රකාශ වුනා. එය රනිල් පාර්ශ්වයට වාසිදායක ප්‍රකාශයක්.

සඳුදා (29) වෙද්දී කැනඩාවත් මේ ඉල්ලීම කරමින් ඇමරිකාවට එකතු වුනා. එයට අමතරව මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන මෙන්ද කැනඩාව ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් මේ වන විට (31 බදාදා) ඕස්ට්‍රේලියාවද ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති සිරිසේන විසින්ද පසුගිය සඳුදා (29) තානාපතිවරුන් හමු වී තිබෙනවා. එයින් අනතුරුව, නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමය විසින්ද වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

සඳුදා (29) එක්සත් රාජධානිය විසින් නිකුත් කෙරුණු නිවේදනයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් කර තිබෙන ඉල්ලීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ කටයුතු කිරීමට කැප වී සිටින බව අවධාරණය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ඉන්දියාව විසින් කරපු පතෝල අදහස් දැක්වීමෙන් පසුව තවමත් ඒ පැත්තෙන් සද්දයක් නැහැ.

කූඹියෝ බලපු අය දන්නවා ඇති සමහර ගේම් ගැහුවේ කවුද කාටද කියා දැන ගන්න සෑහෙන කාලයක් යන බව.

Monday, October 22, 2018

උපන් බිමේ මැරෙන්නට උඩු ගං බලා...


කලින් ලිපියෙන් කතා කළ අභ්‍යාවකාශ තරණය කියන්නේ විශාල වියදමක් දරන්න වෙන වැඩක්. ඒ වියදමට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන එක පැහැදිලි නැහැ. ඒ වුනත්, මේ වගේ ප්‍රතිලාභ පැහැදිලි නැති දේවල් වෙනුවෙන් මිනිස්සු වියදම් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

අභ්‍යාවකාශ තරණයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත පිටුපස තියෙන්නේ තමන් දන්න සීමාවෙන් ඔබ්බට තිබෙන දේවල් ගවේෂණය කරන්න මිනිස්සුන්ගේ තිබෙන ස්වභාවික කැමැත්ත. එය මිනිස්සුන්ව සංක්‍රමණයට පොළොඹවන ප්‍රධාන හේතුවක්ද  වෙනවා. ආර්ථික වාසි හොයාගෙන මිනිස්සු වගේම වෙනත් සත්තුත් උපන් බිමේ සිට දුර බැහැර පෙදෙස් වලට සංක්‍රමණය වනවා වගේම අලුත් දේවල් දැනගන්න තිබෙන ස්වභාවික කුතුහලය නිසා සංක්‍රමණය තෝරා ගන්නා අයත් ඉන්නවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් දවස් කිහිපයකට කලින් ප්‍රසිද්ධ කරලා තිබුණු ලැයිස්තුවේ ඉන්නේ ලංකාවේ සරසවියක සේවය කරමින් සිට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා ලංකාවට ආපසු නොපැමිණි අයගෙන් එක් කොටසක් පමණයි. සරසවිය සමඟ බැඳුම්කරයකට අත්සන් නොතබා රටින් පිටව ගිය අය මෙහි නැහැ.

ලංකාවේ සරසවි වල ආචාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක්ට උසස් අධ්‍යාපනය ලබාගන්න ලංකාවේ රජයෙන් අරමුදල් හෝ ණය දෙනවද කියා මම දන්නේ නැහැ. එහෙම දෙනවනම් ඒ ඉතාම සීමිත පිරිසකට පමණක් විය යුතුයි. බොහෝ දෙනෙක් මේ විදිහට විදේශගත වෙන්නේ අදාළ රටේ මහජන මුදල් වලින් ලබා දෙන ශිෂ්‍යත්ව ලබා ගෙනයි.

විදේශ ශිෂ්‍යත්වයක් ලබා ලංකාවෙන් බැහැර යන කෙනෙක් ඒ වෙලාවේ ආපසු ලංකාවට නොපැමිණීමේ තීරණයේ ඉන්නවානම් මේ විදිහේ බැඳුම්කරයකට අත්සන් කරන්නේ නැහැ. එවැනි අයෙක් ලංකාවේ තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අස්වෙලා විදේශගත වුනා කියා පාඩුවක් වෙන්නේ නැහැ.

බැඳුම්කරයකට අත්සන් කර විදේශගත වෙන්නේ නැවත ලංකාවට එන්න හිතාගෙන රටින් පිටව යන අයයි. රැකියාවෙන් ඉවත් වෙලා විදේශගත වුනොත් නැවත ලංකාවට පැමිණියාට පසුව සුදුසු රැකියාවක් හොයා ගැනීම පහසු නොවන බව දන්නා නිසා ලංකාවේ රැකියාව සුරක්ෂිතව තියාගන්නයි මේ විදිහට බැඳුම්කරයකට අත්සන් කර රටින් පිටවෙන්නේ. නමුත්, ඒ අයගෙන් කොටසක් නැවත ලංකාවට එන්නේ නැහැ.

මුල් තීරණය පසුව වෙනස් වී තමන් ගිය රටේම නවතින්න ගොඩක් අය පෙළඹීමට ආර්ථික වාසි වගේම වෙනත් හේතුත් බලපානවා. තමන් කලින් නොදුටු අවස්ථා දකින්න ලැබෙන විට ඇතැම් අයගේ මුල් තීරණය වෙනස් වෙනවා.

මිනිස්සුන්ට පමණක් නෙමෙයි සත්තුන්ට පවා තමන්ගේ පැවැත්ම සඳහා වඩාත්ම හොඳ තීරණය ගැනීමේ ස්වභාවික ඉවක් තිබුණත් එවැනි තීරණයක් හොඳම තීරණය වෙන්නේ ඒ මොහොතේ තමන්ගේ දැනුමට සාපේක්ෂව. දැනුම අලුත් වෙද්දී කලින් හොඳයි සිතා ගත් තීරණ හොඳම තීරණ නොවන බව පෙනෙන්න පුළුවන්. එහෙම පෙනුනා කියා බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ වගේ අතීතයට ගිහින් කලින් ගත්ත තීරණය වෙනස් කරන්න බැහැ. නමුත්, කලින් සැලසුම් කර තිබුණු අනාගත තේරීම් වෙනස් කරන්න පුළුවන්.

සංක්‍රමණය කියන්නේ අවදානම් කටයුත්තක්. මේ තීරණය ගනිද්දී එහි අනාගත ප්‍රතිඵල සියල්ලක්ම හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත්, ඉතිහාසය පුරාම මිනිස්සු ඒ අවදානම අරගෙන තිබෙනවා. මිනිස්සු වගේම ඒ අවදානම ගන්න සත්තුත් ඉන්නවා.

සත්ත්ව ලෝකයේ සංක්‍රමණිකයින් ගැන කතා කරද්දී සැමන් මාළු ගැන කතා නොකරම බැහැ. අපි පොඩි කාලේ සැමන් කියා කිවුවේ පොදුවේ ටින් මාළු වලටයි. මේ සමහර ටින් වල අසුරා තිබුණේ මැකරල් වගේ වෙනත් මාළු වර්ග. මේ කියන්නේනම් ඔරිජිනල් සැමන් මාළු ගැන.

මාළු සාමාන්‍යයෙන් මිරිදිය මාළු හා මුහුදු මාළු විදිහට වර්ග කෙරෙනවා. කරදිය මාළුන්ට මිරිදියේ ජීවත් වෙන්න බැරුවා වගේම මිරිදිය මාළුන්ට මුහුදේ ජීවත් වෙන්නත් බැහැ. මිනිස්සු වගේම සත්තුත් පරිණාමය වෙලා තිබෙන්නේ තමන් පරම්පරා ගණනක් ජීවත් වූ පරිසරයට උචිත ආකාරයටයි.

සැමන් මාළුවාගේ පොඩි වෙනසක් තියෙනවා. සැමන් මාළු ඉපදෙන්නේ වගේම මැරෙන්නත් මිරිදියේ වුවත් වැඩිකලක් ජීවත් වෙන්නේ කරදියේ. ඔවුන්ට තියෙන්නේ අපූරු ජීවන චක්‍රයක්.

මිරිදිය මාළු විදිහට පරිණාමය වෙලා ඉන්න සැමන් මාළුන්ට කුඩා කාලයේ කරදියේ ජීවත් වෙන්න බැහැ. නමුත්, වැඩුණු සැමන් මාළුවෙකුට කරදියට හුරු වෙන්න පුළුවන්.

මුහුද කියන්නේ මාළුවෙකුට ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් විශාල වශයෙන් තියෙන තැනක්. මිරිදිය ජලාශ වල ඒ තරම් සම්පත් නැහැ. තරමක් ලොකු මාළුවෙක් වන සැමන් මාළුවෙකු තමන් උපන් තැනම මුළු ජීවිත කාලයම ගෙවනවානම් එක්තරා ප්‍රමාණයකට වැඩුනට පස්සේ මේ සම්පත් හිඟය අභියෝගයක් වෙනවා. එහෙම වුනොත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය බෙදාගන්න සැමන් මාළුන්ට එකිනෙකා එක්ක සෑහෙන තරඟයක් කරන්න වෙනවා. මේ වගේ තරඟයක් කුඩා සැමන් පැටවුන්ට අවාසිදායක සේ බලපාන්න පුළුවන්. තියෙන කෑම ඩිංගිත්ත ලොකු සැමන් මාළු ටික දෙනෙක් උලා කෑවට පස්සේ පොඩි එවුන්ට හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.

කොහොම වුනත්, තමන් උපන් තැනින් ලබා ගන්න පුළුවන් සම්පත් අරගෙන එක ප්‍රමාණයකට ලොකු මහත් වුන සැමන් මාළු වඩා දුර්වල සැමන් පැටවුන්ට ඇණයක් වෙමින් එතැනම ටැග් ගැහි ගැහී ඉන්නේ නැහැ. උන් කරන්නේ විශාල අවදානමකට මුහුණ දෙමින් සම්පත් බහුල මුහුද කරා ගමන් අරඹන එකයි.

සංක්‍රමණය හා අදාළව එකට කතා වෙන වචන දෙකක් වන බුද්ධි ගලනය හා බුද්ධි ජනනය (Brain Drain & Brain Gain) කියන වචන දෙකෙන් දෙවැන්න ගැන කතාබහක් ලංකාවේදී ඇහෙන්නෙම නැති තරම්. මේ දෙකෙන්  බුද්ධි ජනනයේ වාසිය තිබෙන්නේ සංක්‍රමණිකයින් ආකර්ශනය කරගන්නා රටවල් වලට පමණක් නෙමෙයි. සංක්‍රමණිකයින්ගේ මුල් රටවලටත් බුද්ධි ජනනය වාසියක් වෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේදී මේ වාසිය බුද්ධි ගලනයේ අවාසිය ඉක්මවනවා.

සාමාන්‍යයෙන් සංක්‍රමණයට පෙළඹෙන්නේ අවදානම් ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය. සමාන කුසලතා තිබෙන දෙදෙනෙකුගෙන් නුහුරු බිමක ජීවත් වන අයෙකුට වඩා උපන් බිමේ ජීවත්වන අයෙකුට ජීවිතය පහසුයි. ඒ නිසා, සංක්‍රමණිකයෙකුට ගමනාන්ත රටේදී තරඟයට මුහුණ දී ජයගන්න පුළුවන් වෙන්නේ කුසලතා අතින් වඩා ඉදිරියෙන් සිටියොත් පමණයි.

සංක්‍රමණයට තිබෙන අවස්ථා පුළුල් වන තරමට කිසියම් රටක ඉන්න ශ්‍රම බලකාය සංක්‍රමණයේ අවදානම් වලට මුහුණ දිය හැකි තරමට කුසලතා වර්ධනය කර ගන්න පෙළඹෙනවා. නමුත්, ඒ විදිහට තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්න හැමෝම අන්තිමේදී සංක්‍රමණයට පෙළඹෙන්නේ නැහැ. මෙය බුද්ධි ජනනයට හේතු වන එක් කරුණක්.

හැබැයි සැමන් මාළුනම් එහෙම නැහැ. සංක්‍රමණයට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගත්තට පස්සේ සැමන් මාළු කිසිවෙක් උපන් තැන නැවතිලා ඉන්නේ නැහැ.

ගඟක ඉහළ ඉපදෙන සැමන් මාළුන්ට මුහුද බලා ගඟ පහළට යන එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් පොඩි මාළු කරන්නේ ඔළුව ගඟ ඉහළට තබාගෙන දිය පාර දිගේ හෙමින් පහළට ගසාගෙන යන්න ඉඩ අරින එකයි. තරමක් ලොකු මාළුනම් ඒ විදිහට දෛවයට ඉඩ දී බලා ඉන්නේ නැතුව ඔළුව දිය පාර දිහාවට හරවලා සක්‍රිය ලෙස පීනනවා. මේ සංක්‍රමණය ආරම්භ කරන්නේ වයස අවුරුද්දක් පමණ වූ සැමන් මාළු. මේ වයස සැමන් ප්‍රභේදය අනුව වෙනස් වෙනවා.

මේ විදිහට හරිත තණ බිම් හොයාගෙන යන සැමන් මාළුන්ට වැඩේ බරපතලකම තේරෙන්න ගන්නේ මිරිදියෙන් කරදියට මාරු වෙද්දී. අලුත් පරිසරයට හැඩගැහෙන අතරේ මේ සැමන් මාළු හොඳට කාලා වේගයෙන් වැඩෙනවා. අලුත් පරිසරයේ සම්පත් වගේම අභියෝගත් වැඩියිනේ. ඒ අභියෝග ජයගන්නනම් තමන්ගේ කුසලතා තවත් හොඳින් වර්ධනය කරගන්න ඕනෑ.

කරදියට හුරුවෙන සැමන් මාළු අවුරුදු හතරක් පහක්ම කර දියේ ගෙවනවා. ඇතැම් විශේෂ අවුරුදු හත අටක්ම. මේ කාලය ඇතුළත මුහුදේ තිබෙන විශාල සම්පත් ප්‍රමාණයේ වාසිය ලබමින් මේ සැමන් මාළු පුෂ්ඨිමත්ව වැඩෙනවා.

පොඩි අවුලකට තියෙන්නේ ලොකු සැමන් මාළුන්ට මේ විදිහට කරදියට හුරු වෙන්න පුළුවන් වුනත් සැමන් බිත්තර වලට හෝ කුඩා සැමන් පැටවුන්ට කරදියේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි වීමයි. මොකද සැමන් මාළු පරිණාමය වෙලා තිබෙන්නේ මිරිදිය මාළු වර්ගයක් විදිහට නිසා.

මේ හේතුව නිසා සංක්‍රමණික සැමන් මාළුන්ට අලුත් පරිසරයේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නැහැ. අනෙක් අතට සැමන් මාළු ඉපදුණු ගඟ ඉහළ නිජබිම් වල සැමන් පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි වැඩිහිටි සැමන් මාළු කිසිවෙක් ඉතිරි වෙලත් නැහැ. එහෙමනං සැමන් පරම්පරාව වඳ නොවී දිගටම පවතින්නේ කොහොමද?

සැමන් මාළු කියන්නේ යුතුකම් දන්න සත්තු. විශ්වාස නැත්නම් සැමන් මාළුවෙකුගෙන් අහල බලන්න. මුහුදට ඇවිදින් සම්පත් මැද්දේ ජීවත් වුණත් සැමන් මාළු තමන් උපන් තැන අමතක කරන්නේ නැහැ. පරම්පරාව ගෙනියන්න පැටවු බෝ කරන්න අවශ්‍ය බව අමතක කරන්නෙත් නැහැ.

අවුරුදු හතරක් පහක් මුහුදේ සැපට හැදෙන සැමන් මාළු අන්තිමට කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කිරීමේ කටයුත්ත සඳහා නැවත උපන් තැනට ප්‍රති-සංක්‍රමණය වීමයි. නමුත්, මුහුදේ ඉඳන් උපන් තැනට ආපහු යන එක මුහුදට ආපු තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා සැතපුම් සිය ගණනක් ගඟ ඉහළට පීනන්න ඕනෑ.

මේ විදිහට වර්ගයා බෝ කිරීමේ අරමුණින් ඉතා අමාරුවෙන් සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු මේ දුෂ්කර චාරිකාවේ යෙදෙන්නේ උපවාසයකද යෙදෙමිනුයි. ඇඟේ තැන්පත් වී තිබෙන මේද දහනය වෙද්දී ඔවුන්ට උඩු ගං පීනන්න අවශ්‍ය ජවය ලැබෙන අතරම ඇඟේ බර සැහැල්ලු වීම මේ කටයුත්තට තවත් උදවුවක් වෙනවා.

ගමන අවසන් වන විට මේ සැමන් මාළුන්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව හැර අනෙකුත් අවයව සියල්ලම හොඳටම දුර්වල වෙලා අවසන්. ඒ නිසා, තමන් උපන් තැනට ආපසු පැමිණි වහාම ගැහැණු මාළු කරන්නේ තමන්ගේ වරල් වලින් සුරක්ෂිත තැනක් හදලා බිත්තර දමන එකයි. පිරිමි මාළු ඒ එක්කම වගේ මේ බිත්තර සංසේචනය කරන්න අවශ්‍ය කරන දේ එතැනටම හලනවා.

ඔය යුතුකම ඉටු කරලා ඉවර වෙන කොට ගැහැණු පිරිමි දෙවර්ගයේම සැමන් මාළුන්ගේ හොඳ පණ ගිහිං ඉවරයි. එයින් පස්සේ මේ මාළු වැඩිම වුනොත් සතියකට වඩා ජීවත් වෙන්නේ නැහැ. අන්තිමේදී ඔවුන්ගේ සිරුරු දිරා ගිහින් ඔවුන් මුහුදෙන් රැගෙන ආ පෝෂ්‍ය පදාර්ථ උපන් වතුරට එකතු වෙද්දී අලුතෙන් බිහිවුණු පැටවුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න ඉඩක් ඔවුන්ට සැලසෙනවා.

කොහොම වුනත් හැම සැමන් මාළුවාටම මේ අවසන් චාරිකාව නිමා කරලා උපන් වතුරට නැවත එන්න ලැබෙන්නේ නැහැ. ඒ වාසනාව ලැබෙන්නේ දිය පහර සමඟ සටන් කරමින් උඩු ගං පීනන සැමන් මාළුන්ව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න වලස්සු වගේ සත්තුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙනුත් බේරී ගමන අවසන් කරන්න හැකි වන සැමන්ලාට පමණයි.

උතුරු ඇමරිකාවේ සැමන්ලා මේ විදිහට උඩු ගං බලා පීනීම පටන් ගන්නේ උත්තරාර්ධගෝලය උණුසුම් වෙන්න පටන් ගනිද්දී. උත්තරාර්ධගෝලය ශීතල වෙන්න පටන් ගන්න මේ කාලය සැමන් රන් එකේ අන්තිම කාලය. ඔය මාස හයේ තමයි උතුරු ඇමරිකාවේ සැමන් දඩයම ජයටම කෙරෙන්නේ.

මේ විදිහට අමාරුවෙන් උඩුගං පීනන සැමන් මාළුන්ව දඩයම් කිරීම බලා ඉන්න කණගාටුදායක දෙයක් බවත් සඳහන් කරමින්, මේ ගැන ලියන්න කියා අපේ පාඨකයෙක් මගෙන් ඉල්ලීමක් කළේ හරියටම අවුරුද්දකට කලින්. ඔහු මේ හා අදාළ ගොඩක් විස්තරත් එවලා තිබුණා. ලිපියක් ලියන්නම් කියා පොරොන්දු වුනත් අවුරුද්දකට පස්සේ සිහි කැඳවීමක් ලැබෙනකල්ම වැඩේ කෙරුණේ නැහැ.

හොයලා බැලුවොත් ඔය විදිහට ඉකොනොමැට්ටා පොරොන්දු වෙලා ඉටු නොකරපු දේවල් තව සෑහෙන්න ඇති. පොරොන්දු කියන්නේ ඉතිං ඉටු කරන දේවල්ම නෙමෙයිනේ!

සැමන් මාළු මැරෙන්න කලින් තමන් උපන් තැනට ආපහු එන්නේත් පොරොන්දුවක් ඉටු කරන්න හෝ මුහුද බලා යන්න කලින් බැඳුම්කරයක් අත්සන් කර තිබීම නිසාද කියා දැනගන්න වෙන්නෙත් උන්ගෙන්ම තමයි. කොහොම වුනත් කමක් නෑ ඊළඟ සැරේ හොද්දක් හරි බැදුමක් හරි හදන්න සැමන් ටින් එකක් කඩන කොට මතක තියා ගන්න ඔය ටින් එක ඇතුළේ සැමන් වගේ පැක් වෙලා ඉන්නේ උපන් දියට සහ මව්දියේ සැමන්ලාට ද්‍රෝහියෙක් නොවූ සැමන් කෙනෙක් බව.

පසු එකතු කිරීම: සැමන් මාළු ගැන වසර කිහිපයකට කලින් ඔමා ලියපු ලිපියක මේ හා අදාළ තොරතුරු ගොඩක් තියෙනවා.

රැඩිකල් මාළුවා ('Salmon fish')

(Image: https://healthyeating.sfgate.com/benefits-canned-salmon-4196.html)

වෙබ් ලිපිනය: