වෙබ් ලිපිනය:

Showing posts with label ස්ථායීකරණ වැඩපිළිවෙල. Show all posts
Showing posts with label ස්ථායීකරණ වැඩපිළිවෙල. Show all posts

Friday, January 5, 2024

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!


පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.

ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළෙහි සඳහන්ව තිබුණු විදේශ සංචිත ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට ඉතාම ආසන්නයි. මෙය උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීම වැනි නූලෙන් මිස් වුනොත් කිසිම වැඩක් නැති ඉලක්කයක් නොවන නිසා, ඉලක්කය ලඟා කර ගැනීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි. එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. 

කෙසේ වුවත්, දෙසැම්බර් මාසය තුළ සංචිත ඉහළ යාම ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදලට වඩා වැඩි නිසා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බව පැහැදිලියි. දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම එයට උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි. 

මෙසේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම හමුවේ වුවද ඩොලරයක මිල පහත වැටීම විශේෂත්වයක්. මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වසර අවසාන වන විට ජංගම ගිණුමේ පැහැදිලි අතිරික්තයක් සටහන් වීමට නියමිතව ඇති බවයි. එය වාර්තාගත තත්ත්වයක්.

Sunday, December 24, 2023

විදේශ අංශයේ තුලනය


ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා.

ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම වසර අවසන් වෙද්දී වැඩ සටහනෙහි ආරම්භක රාජ්‍ය ආදායම් ඉලක්කය වූ දදේනියෙන් 11.0 කරා යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, අපගේ ඇස්තමේන්තු අනුව, මීට ආසන්න 10.7% වැනි ඉලක්කයක් කරා යාමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. මෙය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන දදේනියෙන් 10.2%ට වඩා වැඩි අගයක්. ඊට අමතරව, රාජ්‍ය වියදම් සීමා කිරීම මගින්, අරමුදල ලබා දී ඇති ප්‍රාථමික අයවැය හිඟ ඉලක්කය ඉක්මවමින්, ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීමේ ඉඩකඩද පෙනෙන්නට තිබෙනවා. මේ අනුව, සංරචක ඉලක්ක වල අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස අවසාන ඉලක්කය දෙස බැලූ විට පෙනී යන්නේ මුලින් අපේක්ෂා කළාට වඩා හොඳ තත්ත්වයක්.

මෙම ලිපියෙන් අප කතා කරන්නට යන්නේ දෙවන අභියෝගය වන කෙටිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳවයි.

අප දන්නා පරිදි, මෙම ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ විදේශ අංශයේ අර්බුදයක්. රාජ්‍යමූල්‍ය අංශයේ අසමතුලිතතාව එම අර්බුදයට පාදක හේතුවක්. විදේශ අංශයේ අසමතුලිතතා සමනය කර ගැනීම සඳහා රාජ්‍යමූල්‍ය අංශයේ සමතුලිතතාව වැදගත් වන්නේ ඒ නිසා. කෙසේ වුවත්, ප්‍රධාන ප්‍රශ්නය විදේශ අංශය තුලනය කර ගැනීමයි.

ආර්ථික අර්බුදයේ ආසන්න හේතුව වූයේ විදේශ අංශයේ සමතුලිතතාව ගිලිහී විදේශ ණය වාරික හා පොලී ආපසු නොගෙවිය හැකි තත්ත්වයක් ඇති වීමයි. මෙහිදී ඇති වූ අසමතුලිතතාවයේ ප්‍රමාණය අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් පමණක් එම අසමතුලිතතාව සමනය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකරම බැරි තත්ත්වයක් ඇති වී තිබුණා.

මැදිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීම සඳහා කළ යුතු වූ ප්‍රධානම දෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මේ වන විට ඒ සඳහා පැරිස් සංසදයේ හා චීනයේ මූලික එකඟතාවය ලැබී තිබෙනවා. කෙසේ වුවත්, කරුණක් ලෙස, මේ වන තුරුද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැහැ. එමෙන්ම වසර අවසාන වන විට එය සිදුවීමේ ඉඩක්ද පෙනෙන්නට නැහැ. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැති පසුබිමක, විදේශ අංශයේ තුලනය පවත්වා ගෙන යන්නේ ණය වාරික හා පොලී ගෙවීම් දිගින් දිගටම පැහැර හරිමිනුයි. මෙය දිගුකාලීනව ස්ථායී සමතුලිතතාවයක් නෙමෙයි. එහෙත්, එය තාවකාලික සමතුලිතතාවයක්. දැනට අපට කළ හැක්කේ මෙම තාවකාලික සමතුලිතතාවය පිළිබඳව විමසා බැලීමක් කිරීම පමණයි.

අරමුදලේ ඉලක්ක අනුව වසර අවසන් වෙද්දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,184 නොඉක්මවිය යුතුයි. එහෙත්, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව වර්ෂාවසානයේදී ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,234ක අතිරික්තයක් වාර්තා වීමට නියමිතයි. එය එසේ වුවහොත් මෙම 2023 වසර 1977 වසරෙන් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන පළමු වසර බවටත්, 1956න් පසුව එවැනි අතිරික්තයක් වාර්තා වන තුන්වන වසර බවටත් පත් වෙනවා. 

ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යනු ණය ගැනීම් ආදිය නැතිව, ඇත්තටම උපයන විදේශ විණිමය ප්‍රමාණයෙන් වසරේ සියලු විදේශ විණිමය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ඉතිරි කර ගන්නා විදේශ විණිමය ප්‍රමාණයයි. එවැනි තත්ත්වයක් පැවතීම 1956න් පසු ලංකාවට නුහුරු දෙයක්. 1956 වසරෙන් පසුව මෙවැන්නක් සිදුව තිබෙන්නේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළ හා මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබාගත් 1965 වසරේදී සහ ඉන් පසුව ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අවසන් කර නිල විණිමය අනුපාතය වෙළදපොළ අනුපාතය හා ගලපනු ලැබූ 1977 වසරේදී පමණයි. 

කෙසේ වුවද, මෙවැන්නක් සිදු වන්නේ ආනයන සඳහා සීමා පනවා ඇති පසුබිමකයි. එම සීමා ඉවත් වීනම් මේ තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා. 

දැන් අපි විදේශ අංශයේ එක් එක් කොටස් දෙස වෙන වෙනම විමසා බලමු.

අපනයන ආදායම් 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ අපනයන ආදායම් ඩොලර් මිලියන 13,666ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව අපේක්ෂා කළ හැක්කේ ඩොලර් මිලියන 12,365ක අපනයන ආදායමක් පමණයි. මේ අනුව, වසර තුළ අපේක්ෂිත ඩොලර් ලැබීම් වල මිලියන 1,301ක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත අපනයන ආදායම ඩොලර් මිලියන 9,909.8ක් පමණයි. මෙය පෙර වසරේ පළමු මාස දහයට සාපේක්ෂව 10.3%ක අඩුවක්. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 977.9කින් අඩුවීමයි. එයට හේතුව පැහැදිලි නැහැ. 

සමස්තයක් ලෙස මෙම වසරේ අපනයන ආදායම් පෙර වසරට සාපේක්ෂව 10.3%කින් පහළ ගියහොත් වසර අවසන් වන විට වාර්තා වන අපනයන ආදායම විය හැක්කේ ඩොලර් මිලියන 11,761ක් පමණයි. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික අපනයන ආදායම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 11,893ක්. ඒ අනුව, අපගේ ඇස්තමේන්තුව වනුයේ අරමුදලේ සංශෝධිත අපනයන ආදායම් ඉලක්කය ලඟා කර ගැනීමද අසීරු විය හැකි බවයි. සැබෑ අපනයන ආදායම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 400-600කින් පමණ අඩු විය හැකියි.

ආනයන වියදම් 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ ආනයන වියදම් ඩොලර් මිලියන 20,597ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම වියදම ඩොලර් මිලියන 17,887කට සීමා වෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත ආනයන වියදම ඩොලර් මිලියන 13,933.8ක් ලෙස සටහන්ව තිබෙන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.6%කින් අපනයන වියදම් අඩුවීමක්. මෙම අනුපාතය අනුව, මෙම වසරේ අපනයන වියදම ඩොලර් මිලියන 16,527ක් විය යුතුයි. එම අගය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක්. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික ආනයන වියදම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 16,721ක්. සැබෑ ආනයන වියදම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 1200-1400කින් පමණ අඩු විය හැකියි.

වෙළඳ ශේෂය 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 6,921ක වෙළඳ ශේෂ හිඟයට සාපේක්ෂව සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හිඟය ඩොලර් මිලියන 5,523ක් පමණයි. අපගේ ඉහත ඇස්තමේන්තු අනුව මෙම හිඟය ඩොලර් මිලියන 4,800ක් පමණ විය යුතුයි. ඒ නිසා, වෙළඳ ගිණුමේ හිඟය අරමුදලේ ඇස්තමේන්තුවට වඩා අඩු වීමට මිස වැඩි වීමට ඉඩක් පෙනෙන්නේ නැහැ. 

සේවා ගිණුම 

සේවා අපනයන ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 5,511 සිට 4,438 දක්වාත්, සේවා ආනයන වියදම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,004 සිට 1,507 දක්වාත් පහත හෙළා තිබෙනවා. මේ අනුව සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 3,507 සිට 2,868 දක්වා පහත වැටී තිබෙනවා. මෙම සංශෝධිත ඇස්තමේන්තුව වැඩිදුර විමර්ශනය කළ හැකි ප්‍රමාණවත් අමතර දත්ත අප සතුව නැහැ. එහෙත් වසරේ පළමු අර්ධයේ සේවා ගිණුම් අතිරික්තය 1,242ක් වූ බවත්, දෙවන අර්ධයේ සංචාරක ඉපැයීම් වල පළමු අර්ධයට සාපේක්ෂව විශාල වෙනසක් නොතිබීමත් සැලකූ විට සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 2,500ක් පමණ වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මෙය සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 300-400කින් පමණ අඩුයි. කෙසේ වුවත්, වෙළඳ හා සේවා ගිණුම් එකට ගත් විට දැකිය හැක්කේ අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න හා තරමක් හොඳ තත්ත්වයක්.

ප්‍රාථමික ආදායම් ගිණුම

අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වල ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,993 සිට ඩොලර් මිලියන 1,715 දක්වා පහත හෙළා තිබෙනවා. පළමු මාස හය තුළ මෙම හිඟය ඩොලර් මිලියන 992ක්. පොලී අනුපාතික පහත යාම නිසා මෙම හිඟය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. ඇතැම් විට ඊට වඩා තරමක් වැඩි හා මුල් ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. එසේ වුවද, සේවා, වෙළඳ හා ප්‍රාථමික ආදායම් ගිණුම් ඇස්තමේන්තු සමස්තයක් ලෙස ගත් විට අප දකින ප්‍රතිඵලය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු මත පදනම් වූ සමස්ත චිත්‍රයට සමානයි.

ද්වීතියික ආදායම් ගිණුම 

ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන්නේ මෙම ගිණුමේ. එම ලැබීම් ශුද්ධ ලෙස ඩොලර් මිලියන 4,233 සිට ඩොලර් මිලියන 5,602 දක්වා ඉහළ නංවා තිබෙනවා. පළමු මාස 11 තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,399.8ක් දැනටමත් ලැබී ඇති අතර දෙසැම්බර් මාසයේ ප්‍රේෂණ එකතු වූ විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න විය යුතුයි. මෙම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 400ක් පමණ නැවත රටින් පිටට ප්‍රේෂණය කෙරෙන බව සැලකුවහොත්, ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ ශේෂය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න වෙනවා.

ජංගම ගිණුම 

ජංගම ගිණුමේ ශේෂය ඉහත ගිණුම් හතරේ ශේෂයන්හි එකතුවයි. අපගේ විශ්ලේෂණය අනුව වෙළඳ ගිණුමේ හිඟය මෙන්ම සේවා ගිණුමේ අතිරික්තයද අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට වඩා අඩු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයද සුළු වශයෙන් වැඩි විය හැකියි. ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය යුතුයි. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය අනුව අප දකින චිත්‍රය අනුව ජංගම ගිණුමේ ශේෂය හා අදාළව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 1,234ක අතිරික්තය යථාර්තයට බොහෝ දුරට කිට්ටු විය යුතු බව අපේ අදහසයි. එය එසේ වුවහොත් මෙය දදේනියෙන් 1.5%කට සමාන ජංගම ගිණුම් අතිරික්තයක්. පෙර සඳහන් කළ පරිදි, 1956න් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1965 හා 1977 වර්ෂ වලදී පමණයි.

කළ යුතුම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විටද සිදු වී නැහැ. එහෙත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙන තිබෙන නිසා අලුතෙන් විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි විදේශ ණය ගෙවීම සඳහා පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන තුරු එම ණය හා වාරික ආපසු ගෙවීමක් සිදු නොවන නිසා මේ තත්ත්වය යටතේ වැඩි අපහසුතාවයකින් තොරව විදේශ අංශයේ සමතුලිතතාවය පවත්වා ගත හැකියි. කෙසේ වුවත්, මෙවැන්නක් සිදු වන්නේ ආනයන වෙළඳපොළ නිදහස්ව නැති පසුබිමකයි. ඒ නිසා මෙය ස්ථාවර තත්ත්වයක් වන්නේ කෙටිකාලීනව පමණයි.

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය

ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් හැදුවා. මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව අරමුදලේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී රටේ ආර්ථිකය නැවත ස්ථාවර වෙනවා. නමුත්, ඒ සඳහා වැඩසටහනේ ඉලක්ක වලට හරි වෙලාවට යා යුතුයි. මේ දක්වා තත්ත්වය දිහා ආපසු හැරී බැලුවොත්, යන පාර නිවැරදි වුනත්, හැම දෙයක්ම හරියටම වෙලා නැති බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි.

ඇතැම් පාර්ශ්ව විසින් මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඒ හා අදාළ සාරාංශයක් ප්‍රසිද්ධ කරනවා. මෙය ඉතාම හොඳ කටයුත්තක්. ඒ වුනත්, අප මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය දෙස බලන්නේ 46/73 = 63% වගේ සරල ආකාරයකට නෙමෙයි. මොකද සමහර දේවල් ඒ විදිහටම සිදු නොවුනා හෝ ටිකක් පරක්කු වුනා කියලා සමස්ත වැඩපිළිවෙළට ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත්, වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණක් කලට වෙලාවට හදාගන්න බැරි වුනොත්, අනෙක් මොන දේ වෙලා තිබුණත්, වැඩපිළිවෙළ සාර්ථක වෙන්නේ නැහැ. 

මේ වැඩපිළිවෙළ යෝජනා වූ මුල් අවස්ථාවේදීම අප විසින් එය ක්‍රියාත්මක කිරීම හා අදාළ මූලික අභියෝග හතරක් හඳුනාගෙන ඒවා විස්තර කළා. ඒ අතරින් දෙකක් ක්ෂණිකව කළ යුතු වූ, කෙටිකාලීන දේවල්. ඉතිරි දෙක මැදිකාලීනව, හරියටම කිවුවොත් වැඩසටහන් කාලය තුළ, සිදු විය යුතු දේවල්. මේ අභියෝග හතර සහ එම අභියෝග ජයගැනීමේ ප්‍රගතිය ගැන අප විසින් ඉන් පසුවද වරින් වර කතා කර තිබෙනවා. මෙය මේ සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සහ විශ්ලේෂනාත්මක විග්‍රහයක්.

මුලින්ම අප විසින් හඳුනා ගත් අභියෝග හතර ගැන නැවත මතක් කරන්නම්. පළමුවැන්න ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා 2023 වසර අවසාන වෙද්දී ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ලඟා කර ගැනීම. දෙවැන්න විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු අනෙක් දේවල් මගින් 2023 වසර අවසාන වෙද්දී ජංගම ගිණුම් ශේෂ ඉලක්කය ලඟා කර ගැනීම. මේ දෙක ක්ෂණිකව කළ යුතු වූ කෙටිකාලීන දේවල්. තුන්වැන්න, වැඩ සටහන් කාලය අවසන් වෙද්දී ආදායම් වැඩි කරගෙන තිරසාර ලෙස ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය පවත්වා ගනිමින්, ආර්ථික වර්ධනය හා අත්‍යවශ්‍ය සුබසාධනය පවත්වා ගත හැකි මට්ටමක රාජ්‍ය වියදම්ද පවත්වා ගැනීම. හතරවැන්න, අපනයන ආදායම් වැඩි කර ගෙන, ආනයන සීමා නොකරමින්, තිරසාර ලෙස ජංගම ගිණුම් ශේෂ ඉලක්කය පවත්වා ගැනීම.

මේ ඉලක්ක හතර හරහා කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත රෝග දෙක වන අයවැය හිඟය සහ ජංගම ගිණුම් හිඟය කියන ප්‍රශ්න දෙකට දිගුකාලීනව විසඳුම් සපයමින් ඒ හරහා දිගුකාලීනව රටේ ආර්ථික ස්ථායීතාවය ඇති කරන එකයි. කෙටිකාලීන ඉලක්ක දෙක ළඟා කර ගැනීම මගින් රට වැටී සිටි තැනින් එළියට පැමිණීමට අවකාශ සැලසෙනවා. නමුත්, එය සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර ආයතන වල වගේම විදේශ ණය හිමියන්ගේද උදවුවෙන්. 

ඉහත පරිදි කී පරිදි ක්ෂණික ක්‍රියාමාර්ග මගින් දැනට ප්‍රශ්නය විසඳා ගැනීම මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගත් අවස්ථාවන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ මේ වෙලාවේ එම අරමුදලට අමතරව ණය හිමියන් ඇතුළු වෙනත් පාර්ශ්ව වල මැදිහත්වීමක්ද අවශ්‍ය වීම යන කරුණ මතයි. ප්‍රශ්නය බාහිර උදවු නැතුව තනිව විසඳා ගත නොහැකි වීම යන කරුණ හා අදාළව මේ අවස්ථාව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය අවස්ථා වලට සමානයි. නමුත්, මෙවර අරමුදලේ උදවුවෙන් පමණක් ගොඩ යන්න බැරි වුනා කියන්නේ නැවත වරක් පරණ චක්‍රයේම යාම තවදුරටත් විසඳුමක් නෙමෙයි කියන එක. ආර්ථිකය නැවත වරක් අස්ථාවර වුවහොත් එය සමතුලිත වෙන්නේ මෙවර හානිය මෙන් කිහිප ගුණයක හානියක් සිදු වීමෙන් පසුවයි.

මෙවැනි තත්ත්වයක් වලක්වා ගනිමින්, නැවත 17 වන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් තනිව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගත හැකි තත්ත්වයක් ගැන හිතන්නනම්, කෙටිකාලීන ඉලක්ක දෙකෙන් පසුව, දැනට අවම වශයෙන් ඉහත කී මැදිකාලීන ඉලක්ක දෙකද ලඟා කර ගෙන ඉන් පසු ඒ තත්ත්වය දිගටම පවත්වා ගන්න වෙනවා. ඒ මාර්ගයේ යමින්, රටේ ආර්ථිකය යම් අවම මට්ටමක් දක්වා ඔසොවා ගන්නා තෙක් කාලය අතරතුර විශාල බාහිර කම්පනයක් නොපැමිණියහොත්, මේ පාරේ යමින් නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු අවශ්‍ය වන තත්ත්වයක් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. 

මේ කරුණු හතරෙන් එක් එක් කරුණ ගැන වෙන වෙනම විස්තරාත්මකව විමසා බැලීමට අවශ්‍ය වුවත්, තනි ලිපියකින් එය කිරීම අසීරුයි. ඒ නිසා, මෙම ලිපිය අපි ඉහත ඉලක්ක කරුණු හතරෙන් පළමුවැන්න වන කෙටිකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්කයට සීමා කරමු.

මෙම කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්කය හඹා යාමේදී වූ ප්‍රධාන අභියෝගය රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය සඳහා දේශපාලනිකව කරන්නට අසීරු බදු වැඩි කිරීම, ඉන්ධන හා විදුලි ගාස්තු ගැලපීම වැනි දේ කළ යුතු වීමයි. සියයට සියයක්ම ඉලක්ක වලට ගොස් නැතත්, රජය විසින් මේ වන විට මේ අභියෝගය බොහෝ දුරට ජයගෙන තිබෙනවා. 

වැඩ සටහනේ ආරම්භයට පෙර, 2022 වසර තුළ, රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 895ක්. වැඩසටහනේ ඉලක්ක අනුව, 2023 වසර තුළ මෙම හිඟය රුපියල් බිලියන 209 දක්වා අඩු විය යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් දදේනියෙන් 11.0% මට්ටම දක්වා වැඩි කර ගන්නා අතර පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් 11.7% මට්ටමේ පවත්වා ගත යුතුයි. එවිට, ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 0.7% මට්ටමට සීමා වෙනවා. 2022දී රාජ්‍ය ආදායම් පැවතුණේ දදේනියෙන් 8.5% මට්ටමේ. පොලී ගෙවීම් හැර වියදම් දදේනියෙන් 12.3% මට්ටමේ. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 3.8%ක් වුනා. ඒ එම වසර තුළද යම් රාජ්‍යමූල්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව. ඊට පෙර, 2021 වසරේදී ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 5.7%ක්. කෙටිකාලයක් තුළ ප්‍රාථමික අයවැය හිඟය මේ මට්ටමින් අඩු කර ගැනීමේ විශාල අභියෝගයක් තිබෙනවා. 

අරමුදල විසින් ඉහත ඉලක්ක සකස් කරන අවස්ථාවේදී 2023 වසරේ ලංකාවේ දදේනිය රුපියල් බිලියන 29,852ක් කියලයි ඇස්තමේන්තු කර තිබුණේ. 2021 හා 2022 දෙවසර තුළ බදු වැඩි කිරීම් නොකළේනම්, 2023 රාජ්‍ය ආදායම මෙම අගයෙන් 6.8%ක් පමණක් වනු ඇති බව ඔවුන් ගණන් හදා තිබුණා. නමුත්, 2021 බදු වැඩි කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම අගය 1.0කින්ද, 2022 බදු යෝජනා ක්‍රියාත්මක වෙද්දී තවත් 3.3%කින්ද ඉහළ ගොස්, මහ බැංකුව ස්වාධීන කිරීම නිසා මහ බැංකුවේ ලාබ වලින් රජයට ලැබෙන ආදායම (දදේනියෙන් 0.1%ක්) අඩු වීමෙන් පසු 2023 රාජ්‍ය ආදායම දදේනියෙන් 11.0% දක්වා ඉහළ යනු ඇති බව අරමුදලේ ඇස්තමේන්තුව වුනා. 2025 සිට පැනවිය යුතු වූ වත්කම් හා ධන බදු හැර 2023 හා 2024 වසර වලදී වෙනත් බදු පැනවීමක් හෝ බදු වැඩි කිරීමක් මෙම වැඩපිළිවෙළ තුළ යෝජනා වී තිබුණේ නැහැ. නිශ්චිත කරුණක් ලෙස, 15% මට්ටමේ වූ වැට් බද්ද 18% කිරීමක් ආරම්භක යෝජනා අතර තිබුණේ නැහැ. 

මේ විදිහට රාජ්‍ය ආදායම් ඉහළ යාමෙන් පසුව 2023 රාජ්‍ය ආදායම රුපියල් 3,280 ලෙස ගණන් බලා තිබුණා. එම මුදල ඇස්තමේන්තුගත දදේනිය වූ රුපියල් බිලියන 29,852න් 11.0%ක්. පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 3,483ක්. ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 209ක්. 

කොහොම වුනත්, ඉහත දදේනි ඇස්තමේන්තුව සකස් කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් උපකල්පනය කර තිබුණේ 2023 මූර්ත ආර්ථික වර්ධනය සෘණ 3.0 හා දදේනි අවධමනකය අනුව සාමාන්‍ය වාර්ෂික උද්ධමනය 30.0 ලෙස පවතිනු ඇති නිසා නාමික ආර්ථික වර්ධනය 26.0%ක් වනු ඇති බවයි. නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියෙන් හා වේගයෙන් උද්ධමනය අඩු වූ නිසා නාමික දදේනිය ඔවුන් මුලින් ඇස්තමේන්තු කළ මට්ටමට යන්නේ නැහැ. මේ අනුව, පළමු විමර්ශනය කරද්දී ඔවුන් ඔවුන්ගේ දදේනි ඇස්තමේන්තුව රුපියල් බිලියන 28,033 දක්වා පහත හෙළා තිබෙනවා. 

දදේනි ඇස්තමේන්තුව අඩු වෙද්දී එයින් 11.0% කියන එකත් අඩු වන නිසා රාජ්‍ය ආදායම් ඉලක්කයත් අඩු වෙනවා. ඒ වගේම, රාජ්‍ය වියදම් හා ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කත් අඩු වෙනවා. 

මේ (2023) වසරේ දදේනිය ඇත්තටම කොපමණ වෙයිද?

මේ වෙද්දී, මෙම (2023) වසරේ පළමු කාර්තු තුනේ දදේනි ඇස්තමේන්තු ප්‍රකාශයට පත් වී අවසන්. එම ඇස්තමේන්තු සලකා බැලීමෙන් පසුව, 2023 දදේනිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධික ඇස්තමේන්තුව නිවැරදි වීමටනම් සිදුවන කාර්තුවේ නාමික ආර්ථික වර්ධනය 16.4%ක් විය යුතුයි. අපගේ අදහස වන්නේ එවැන්නක් කෙසේවත් සිදු නොවනු ඇති බවයි. 

සිවුවන කාර්තුවේ උද්ධමනය පවතිනු ඇත්තේ 2%-3% අතර මට්ටමකයි. මූර්ත ආර්ථික වර්ධනය 5%-7% අතර මට්ටමක පැවතිය හැකියි. ඒ අනුව, නාමික ආර්ථික වර්ධනය 10% ඉක්මවීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. මෙය 8%ක් පමණ විය හැකියි. මේ අනුව, අපගේ ඇස්තමේන්තුව වන්නේ 2023 දදේනිය රුපියල් බිලියන 27,500-27,600 අතර මට්ටමක පවතිනු ඇති බවයි. 

අපගේ මෙම ඇස්තමේන්තුව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා 1.0%-1.5%කින් අඩු මට්ටමක්. ඒ වගේම, අරමුදලේ මුල් දදේනි ඇස්තමේන්තුවට සාපේක්ෂව බැලුවොත් 7.5%-8.0% අතර අඩුවීමක්. මෙහි තියෙන්නේ උද්ධමනය අරමුදලේ ඉලක්ක මට්ටමට වඩා ගොඩක් වැඩියෙන් අඩුවීමේ ප්‍රතිඵලය. 

මූර්ත වර්ධනය බැලුවොත්නම් ගොඩක් වෙලාවට අරමුදලේ ඇස්තමේන්තුව වඩා හොඳ මට්ටමක තියෙයි. අපගේ අදහස වන්නේ අරමුදලේ මුල් ඇස්තමේන්තුව වූ සෘණ 3.0%ට මෙන්ම ඊටත් වඩා නරක සංශෝධිත ඇස්තමේන්තුව වන සෘණ 3.6%ට සාපේක්ෂව, 2023 වසරේ මූර්ත ආර්ථික වර්ධනය සෘණ 2.0%-2.5% අතර පවතිනු ඇති බවයි. මෙයින් නාමික දදේනි ඇස්තමේන්තුව ඉහළ ගියත්, උද්ධමනය අඩු වීමේ බලපෑම ඊට වඩා වැඩි නිසා, එහි පෙර කී අඩුවීම සිදු වීමට නියමිතයි.

කෙසේ වුවත්, අපි දැනට අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව සමඟ ඉදිරියට යමු. 

අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉලක්කය වූ රුපියල් බිලියන 3,280ට සාපේක්ෂව, 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,847ක් පමණයි. මෙය දදේනියෙන් 10.2%ක් පමණයි. ඒ අනුව, ඉලක්කයට සාපේක්ෂ දදේනියෙන් 0.8%ක අඩුවක් තිබෙනවා. සංශෝධිත වියදම් ඇස්තමේන්තුවේද අඩුවක් තිබෙනවා. මුල් ඇස්තමේන්තුව වූ රුපියල් බිලියන 3,489ට සාපේක්ෂව පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 3,043ක් හෙවත් දදේනියෙන් 10.9%ක්. මෙහිද 0.8ක අඩු වීමක් තිබෙන නිසා ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 196ක් වී තව දුරටත් දදේනියෙන් 0.7 මට්ටමේ පවතිනු ඇති බව අරමුදලේ ඇස්තමේන්තුවයි. 

දැන් රජය විසින් නැවත වටයකින් බදු සංශෝධනයක් ගෙනත් තිබෙනවා. නිශ්චිතව කිවුවොත්, වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කරලා වැට් ගෙවිය යුතු අවම පිරිවැටුම් සීමාව වසරකට රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කරලා තිබෙනවා. මෙය මුල් වැඩසටහනේ නොතිබුණු දෙයක්. මෙවැනි තත්ත්වයක් ඇති වුනේ ඇයි කියන එක කතා කළ යුතු දෙයක් වුවත්, මෙම සංශෝධනය ක්‍රියාත්මක වන්නේ 2024 සිට නිසා මේ වසරේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වලට මෙයින් බලපෑමක් නොවන නිසා, මේ ගැන කතා කරන එක අපි පසුවට තියමු. 

දැනට වඩා වැදගත් විමසා බැලිය යුතු කරුණ අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට සාපේක්ෂව රාජ්‍යමූල්‍ය තත්ත්වය කොයි වගේ වෙයිද කියන එක. මෙම ඇස්තමේන්තු වලට අනුව, 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,847ක්. වසරේ පළමු මාස නවය ඇතුළත එකතු වී තිබෙන රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,118.8ක්. ඒ කියන්නේ අරමුදලේ ඇස්තමේන්තුව හරියන්නනම්, අන්තිම මාස තුනේදී රුපියල් බිලියන 728.2ක ආදායමක් එකතු කර ගන්න සිදු වෙනවා. ඒ මාස තුනේ දදේනියේ අනුපාතයක් විදිහට මේ ආදායම 10.4%ක්. 

පෙර වසරේ තුන් වන කාර්තුවේ රාජ්‍ය ආදායමට සාපේක්ෂව 2023 වසරේ තුන් වන කාර්තුවේදී රාජ්‍ය ආදායමේ 51%ක වර්ධනයක් තිබෙනවා. අවසාන කාර්තුවේදී අවම වශයෙන් මීට සමාන වර්ධනයක් නොතිබෙන්න හේතුවක් නැහැ. එහෙම වුනොත්, හතරවන කාර්තුවේදී රුපියල් බිලියන 849ක ආදායමක් එකතු වී වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,967.8 මට්ටමට යා යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව, මෙයින් අදහස් වන්නේ මෙම 2023 වසර තුළ දදේනියෙන් 10.7%-10.8% අතර රාජ්‍ය ආදායමක් ඉලක්ක කළ හැකි බවයි. මෙය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්කය වන දදේනියෙන් 11.0% මට්ටමට වඩා අඩු වුවත්, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන දදේනියෙන් 10.2% මට්ටමට වඩා ගොඩක් හොඳ මට්ටමක්. 

වඩා වැදගත් කරුණ වන්නේ වසරේ පළමු මාස නවය තුළ පොලී ගෙවීම් හැර රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායමට වඩා පහළින් තබා ගැනීම මගින් රුපියල් බිලියන 123.78ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන තිබීමයි. මෙය එම මාස නවයේ දදේනියෙන් 0.6%ක අතිරික්තයක්. වසර අවසාන වන විටද මෙවැනි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම, වැඩසටහන අනුව අවශ්‍ය දෙයක් නොවෙතත්, නොකළ හැක්කක් නෙමෙයි.

රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගන්නවා යන්නෙන් අදහස් වන්නේ අදාළ කාලය තුළ රාජ්‍ය මූල්‍යනය ස්ථාවරව පැවතී ඇති බවයි. එසේනම්, නැවත වටයකින් බදු වැඩි කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?

අවසාන ඉලක්කය වන ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ගිලිහී යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ආදායම් ඉලක්කය මග හැරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සලු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙයට හේතුව වර්ෂාවසාන ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය මැදිකාලීන වැඩපිළිවෙලක පළමු පියවරක් පමණක් වීමයි. ඒ නිසා, ආදායමට ගැලපෙන සේ වියදම් ගලපාගෙන වසරේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ලඟා කර ගත්තත්, මැදිකාලීනව ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක ලඟා කර ගැනීම සඳහා දිගින් දිගටම වියදම් සීමා කරන්නට සිදු වෙනවා. එය වර්ධන ඉලක්ක කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකියි.

ආදායම් ඉලක්කය මග හැරුනේ ඇයි?

රජය විසින් කළ හැකි හැම දෙයක්ම කිසිදු අඩුපාඩුවක් නැතිව ප්‍රශස්ත ලෙස කර ඇතැයි අප නොකියන නමුත් රාජ්‍ය ආදායම් ඉලක්කය ගිලිහීම රාජ්‍ය අකාර්යක්ෂමතාවයට බැර කළ නොහැකියි. මෙයට ප්‍රධානම හේතුව උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටීමයි. උද්ධමනය වඩා ඉක්මණින් පහත වැටීම හොඳ දෙයක් වුවත්, බොහෝ හොඳ දේ වල මෙන්ම මෙහිද නරක පැති තිබෙනවා. රාජ්‍ය ආදායම් අඩුවීම එවැනි නරක ප්‍රතිඵලයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උද්ධමන ඉලක්කය ඉදිරියේ සටහන් තබා තිබෙන්නේ මග හැරී ගිය ඉලක්කයක් ලෙස බවද මෙහිදී සඳහන් කළ යුතුයි.

උද්ධමනය වේගයෙන් අඩු වීම රාජ්‍ය ආදායම් කෙරෙහි බලපාන්නේ කොහොමද?

වසර අවසාන වෙද්දී උද්ධමනය 15% වීනම් එයින් අදහස් වන්නේ වසර තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් 15%කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වැඩි වීම 3% දක්වා අඩු වූ විට මිල ගණන් පවතින්නේ කලින් ඇස්තමේන්තු කළ මට්ටමට වඩා 12%ක් පහළින්. මෙය වැට් බදු ආදායම කෙරෙහි සෘජු ලෙසම බලපානවා. හරියටම කිවුවොත්, මේ හේතුව නිසා කලින් ඇස්තමේන්තු කළ වැට් බදු ආදායම 12%කින් අඩු වෙනවා. මේ ආකාරයෙන්ම සමාගම් වල පිරිවැටුම ඇස්තමේන්තුවට වඩා 12%කින් අඩු වී සමාගම් වල ආදායම් මත අය කරන බදුද අවම වශයෙන් 12%කින් අඩු වෙනවා.

කෙසේ වුවත්, උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩුවීම හේතුවෙන් නිසා මේ ආකාරයෙන් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී ඊට සමාන්තරව නාමික දදේනියද අඩු වන නිසා රුපියල් අගයක් ලෙස මිස දදේනිහි අනුපාතයක් ලෙස රාජ්‍ය ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙමනම්, 11.0% ඉලක්කය 10.7% පමණ දක්වා පහත වැටෙන්නේ කොහොමද?

මෙයට හේතුව උද්ධමනයේ බලපෑම බදු පදනම කෙරෙහිද බලපෑමයි. එය එසේ සිදු වන්නේ වැට් වැනි බදු වල බදු පදනම තීරණය වන්නේ අවම පිරිවැටුම් අගයක් මත නිසායි. මෑතකාලීන බදු සංශෝධනයට පෙර මෙම අවම අගය වූයේ වසරකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක්. වර්ෂාවසාන උද්ධමන අගය 15%ක් වීනම් මෙම සීමාව ඉක්මවිය හැකිව තිබුණු ව්‍යාපාර ගණනාවක පිරිවැටුම උද්ධමන අගය 3%ක් පමණ වෙද්දී රුපියල් මිලියන 80 සීමාවට පහළින් නවතිනවා. ඒ නිසා, එවැනි ව්‍යාපාර වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු නැහැ. මේ හේතුව නිසා, දදේනි අනුපාතයක් ලෙසද රාජ්‍ය ආදායම් පහත වැටෙනවා.

මෙයට විසඳුම, දැන් කර ඇති පරිදි, වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු අවම පිරිවැටුම් අගය පහළට ගෙන ඒමයි. ඇතැම් විට මුලින්ම එවැන්නක් කළේනම් වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි නොකරම දදේනියෙන් 11.0%ක් වූ මුල් රාජ්‍ය ආදායම් ඉලක්කය කරා යා හැකිව තිබුණු බව අපගේ අදහසයි. වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි කිරීම නිසා උද්ධමනය මත උඩුකුරු තෙරපුමක් ඇති වී නාමික දදේනියද ප්‍රසාරණය වන නිසා දදේනියේ අනුපාතයක් ලෙස ගත් විට රාජ්‍ය ආදායම්හි ලොකු වැඩි වීමක් වෙන්නේ නැහැ. රුපියල් අගය වැඩිවීමේ වාසිය දදේනි වැඩිවීම මගින් නිශේධනය වෙනවා. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් එයට වැඩිපුර දායකත්වය සපයන්නේ වැට් බදු අනුපාතය ඉහළ දැමීම නොව, ලියාපදිංචි විය යුතු අවම පිරිවැටුම් අගය පහත දැමීමයි. 

මෙතෙක් අප කතා කළේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ අභියෝග හතරෙන් පළමුවැන්න හා අදාළ ප්‍රගතිය පිළිබඳවයි. ඉතිරි අභියෝග තුනේ ප්‍රගතිය ගැන කතා කිරීම පසුවට තබා මෙම කරුණු සාරාංශගත කළහොත්, අපගේ ඇස්තමේන්තුව වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන 10.2% ඉක්මවමින් මෙම වසර අවසන් වන විට දදේනියෙන් 10.7%කට ආසන්න රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට රජය සමත් වනු ඇති බවයි. එමෙන්ම, වර්ෂාවසාන උද්ධමනය අගය අරමුදලේ ඉලක්කය වූ 15% මට්ටමේ පැවතියේනම් 11.0% ඉලක්කය ලඟා කර කර ගත හැකිව තිබුණු බවයි. ඒ අනුව, මේ නිශ්චිත කාරණයේදී කාර්ය සාධනයේ දුර්වත්වය ගැන රජයට චෝදනා කිරීමේ හැකියාවක් අපට පෙනෙන්නට නැහැ. 

කෙසේ වුවත්, උද්ධමනය අඩුවීම දැන් සිදු වී අවසන් නිසා මේ වසර අවසානයේදී 11.0% රාජ්‍ය ආදායම් ඉලක්කයට යා නොහැකියි. එසේ වුවද, රාජ්‍ය වියදම් සීමා කර ගැනීම මගින් ඉලක්කගත ප්‍රාථමික අයවැය හිඟයට වඩා අඩු හිඟයක් හෝ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වසර අවසාන වෙද්දී වාර්තා වීමේ ඉඩක් අපට පෙනී යන බැවින් සමස්තයක් ලෙස ගත් විට මෙම පළමු අභියෝගය රජය විසින් සාර්ථක ලෙස ජයගෙන ඇති බව සැලකීමේ වරදක් අපට පෙනෙන්නට නැහැ. 

වෙබ් ලිපිනය: