වෙබ් ලිපිනය:

Showing posts with label බඩු මිල. Show all posts
Showing posts with label බඩු මිල. Show all posts

Thursday, February 1, 2024

2023 සංචිත මුදල් සැපයුම


සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. 

සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.

ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි. 

ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා. 

ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. 

විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.

කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.

ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?

පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.

2017 අවසානයේදී - රුපියල් බිලියන 939.8

2018 අවසානයේදී - රුපියල් බිලියන 961.1

2019 අවසානයේදී - රුපියල් බිලියන 932.6

2020 අවසානයේදී - රුපියල් බිලියන 964.4

2021 අවසානයේදී - රුපියල් බිලියන 1,305.8

2022 අවසානයේදී - රුපියල් බිලියන 1,349.4

2023 අවසානයේදී - රුපියල් බිලියන 1,328.7

දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.

මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ. 

ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා. 

මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.

Tuesday, January 2, 2024

වැට් බද්ද හා බඩු මිල


වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු.

තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ අගය කියන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක විකිණුම් මිල සහ එහි යෙදවුම් පිරිවැය අතර වෙනස. මේ කොටස මත අදාළ බද්ද රජයට ගෙවන්නේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදකයා විසින්. මෙහිදී අතරමැදියන්ද සලකා තිබෙන්නේ අගය එකතු කිරීමක් කරන සේවා නිෂ්පාදකයින් ලෙසයි. 

හැබැයි මෙහෙම කිවුවත්, ඇත්තටම බද්දේ බර දරන්නේ පාරිභෝගිකයා විසින්. නිෂ්පාදකයා විසින් කරන්නේ පාරිභෝගිකයාගෙන් එම බද්ද අය කරලා රජයට දෙන එක. 

වැට් බද්ද එන්න කලින් තිබුණු පිරිවැටුම් බදු ක්‍රමයේදීත් බද්ද අය කළේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණද්දී එහි විකිණුම් මිලෙන් ප්‍රතිශතයක් විදිහටයි. ඒ ක්‍රමයේ තිබෙන ප්‍රශ්නය එකම භාණ්ඩය හෝ සේවාව මත අදියර කිහිපයකදී නැවත නැවත බදු ගෙවන්නට සිදු වීම. සාමාන්‍ය මූලධර්මයක් විදිහට වැට් බදු ක්‍රමයේදී මේ වැඩේ වෙන්නේ නැහැ. වැට් බද්දේ මූලධර්ම අනුව, භාණ්ඩයක් හෝ සේවාවක් අවසන් පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා මිලේ ප්‍රතිශතයක් පමණයි අවසාන වශයෙන් රජයට බදු සේ එකතු වෙන්නේ. ඊට කලින් අදියර වලදී අය කෙරෙන වැට් බදු රජය විසින් ආපසු ගෙවනවා. 

හරියටම කිවුවොත්, කිසියම් නිෂ්පාදකයෙකු විසින් දරනු ලැබූ යෙදවුම් පිරිවැය සඳහා ගෙවූ වැට් බදු කොටස ආපසු ලැබෙනවා. ඒ නිසා, නිෂ්පාදකයෙක් විසින් අවසාන වශයෙන් කරන්නේ තමන් විසින් එකතු කළ අගය මත පමණක් බදු ගෙවන එක. ගෙවන එක කිවුවත් අවසන් පාරිභෝගිකයාගෙන් සෘජුව හෝ වක්‍රව රජයට එකතු කරලා දෙන එක. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ ඒ රටේ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළදපොළ වටිනාකම. මේ සියලුම භාණ්ඩ හා සේවාවන් මත එකම අනුපාතයකින් වැට් බදු අය කරනවානම් රජයේ වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතික විය යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එක් එක් නිෂ්පාදකයා විසින් සිදු කළ අගය එකතු කිරීම් වල එකතුවද වන නිසා එය එසේ විය යුතුයිනේ. එහෙත් විවිධ බදු නිදහස් කිරීම් නිසා ප්‍රායෝගිකව මෙය මෙලෙසම වෙන්නේ නැහැ. 

දළ දේශීය නිෂ්පාදිතය තුළ අදියරෙන් අදියර අගය එකතු කිරීම් වන පරිදිම ඊට සමානුපාතිකව වැට් බදුද එකතු වෙනවා. මෙය මූලික නිෂ්පාදන වල සිට අවසන් පාරිභෝගිකයා දක්වා එන දාමයක්. එය මෙවැන්නක් විය හැකියි.

මොරකැටියේ කෙසෙල් ගොවියා -> ඇඹිලිපිටියේ කෙසෙල් එකතු කර කොළඹට ප්‍රවාහනය කරන්නා -> පිටකොටුවේ තොග වෙළෙන්දා -> හෝමාගම සිල්ලර වෙළෙන්දා -> පනාගොඩ පාරිභෝගිකයා 

පහසුව සඳහා අපි අගය එකතු වීමේ අදියර තුනක් සලකමු.

නිෂ්පාදකයා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා 


මේ එක් එක් අදියරේදී අගය එකතු වීම මේ විදිහට කියා හිතමු.

ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක නිෂ්පාදකයාට ලැබෙන මිල - රුපියල් 100

තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට ලැබෙන මිල - රුපියල් 150

පාරිභෝගිකයාට ලැබෙන මිල - රුපියල් 200

මෙහිදී නිෂ්පාදකයා විසින් රුපියල් 100ක අගය එකතු කිරීමක් කරන අතර තොග වෙළෙන්දා විසින් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද, සිල්ලර වෙළෙන්දා විසින් තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද කරනවා. ඒ අනුව, පාරිභෝගිකයාට රුපියල් 200ක් ගෙවන්නට සිදු වෙනවා. 

දැන් මේ සියලු දෙනාටම 20%ක වැට් බද්දක් ගෙවන්නට සිදු වුනොත් වෙන්නේ කුමක්ද?

නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. ඒ අනුව, නිෂ්පාදකයා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 100 නිෂ්පාදකයාට ලැබෙනවා.

තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර තොග වෙළෙන්දා විසින් නිෂ්පාදකයාට ගෙවූ රුපියල් 20ක වැට් බද්ද තොග වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, තොග වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 තොග වෙළෙන්දාට ලැබෙනවා. 

සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කර එයින් රුපියල් 40ක් රජයට ගෙවන අතර සිල්ලර වෙළෙන්දා විසින් තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද සිල්ලර වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, සිල්ලර වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 සිල්ලර වෙළෙන්දාට ලැබෙනවා. 

අවසාන වශයෙන් රුපියල් 40ක මුළු බදු මුදලම ගෙවා තිබෙන්නේ පාරිභෝගිකයා විසින්. එයින් රුපියල් 20ක් නිෂ්පාදකයා විසින්ද, රුපියල් 10ක් තොග වෙළෙන්දා විසින්ද, තවත් රුපියල් 10ක් සිල්ලර වෙළෙන්දා විසින්ද රජයට එකතු කර දී තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම නිෂ්පාදකයින් (සේවා නිෂ්පාදකයින්ද ඇතුළුව) වැට් බදු සඳහා ලියා පදිංචි වූවන් නොවන නිසා ප්‍රායෝගිකව මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ. වැට් බදු ආපසු ලැබෙන්නේ වැට් බදු සඳහා ලියා පදිංචි වූ අයට පමණයි. එසේ නොකළ අයට වැට් බදු අය කරන්නත් බැහැ. 

දැන් මෙහි නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් අය කරන්නේ රුපියල් 100ක් පමණයි. එහෙත් තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන්, කලින් මෙන්ම, රුපියල් 180ක් (150 +30) අය කරනවා. එසේ අය කර රජයට රුපියල් 30ක් ගෙවනවා. සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අයකර රුපියල් 40 රජයට ගෙවන අතර තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30 ආපසු ලබා ගන්නවා.

මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවූ බදු මුදල වෙනස් වන්නේ නැහැ. රජයට ලැබෙන බදු ආදායම වෙනස් වන්නේද නැහැ. සිදුවන එකම වෙනස රජයට බදු එකතු වන ආකාරය වෙනස් වීම පමණයි. කලින් නිෂ්පාදකයා විසින් රජයට එකතු කර දුන් රුපියල් 20ත් දැන් රජයට එකතු කර දෙන්නේ තොග වෙළෙන්දා විසින්. 

තොග වෙළෙන්දාත් වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 150ක් අය කරන අතර සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කරනවා. එම රුපියල් 40 රජයට ගෙවනවා. රජයට ලැබෙන බදු ආදායමේ හෝ පාරිභෝගිකයාට ගෙවන්නට වන මිලේ කිසිදු වෙනසක් නැහැ.

මෙයින් පැහැදිලි වන පරිදි, අවසන් වශයෙන් භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට විකුණන අවස්ථාවේදී වැට් බදු අය කෙරේනම් ඊට පෙර අදියර වලදී එම බදු අය කළත් නොකළත් ප්‍රතිඵලය එකයි. 

එහෙත් අවසන් අදියරේ සේවා නිෂ්පාදකයා, ඒ කියන්නේ මේ නිදර්ශනයේ සිල්ලර වෙළෙන්දා, වැට් සඳහා ලියා පදිංචි වී නැත්නම් එම අදියරේදී අගය එකතු කිරීම මත බදු එකතු වන්නේ නැහැ. මෙහිදී අප විසින් සලකා බලන්නේ සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැතත්, තොග වෙළෙන්දා එසේ ලියාපදිංචි වී ඇති තත්ත්වයයි. නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී සිටීම හෝ නොසිටීම අවසාන ප්‍රතිඵලය කෙරෙහි එතරම් වැදගත් නැහැ.

මෙහිදී තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවනවා. (නිෂ්පාදකයාට වැට් බදු ගෙවා ඇත්නම් එම මුදල රජයෙන් ආපසු ලබා ගන්නවා.) නමුත් සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැති නිසා තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද රජයෙන් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එම මුදල සිල්ලර වෙළෙන්දාගේ පිරිවැයට එකතු වී එම පිරිවැය රුපියල් 180ක් වෙනවා. ඒ මත රුපියල් 50ක අගය එකතු කිරීමකින් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 230ක් වෙනවා.

මෙහිදී පාරිභෝගිකයාගෙන් සෘජුව වැට් බද්දක් අය නොකළත්, පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල රුපියල් 30කින් වැඩි වෙලා. ඒ රුපියල් 30 තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් අය කර රජයට ගෙවූ රුපියල් 30ක වැට් බදු මුදලයි. පාරිභෝගිකයින් විසින් සෘජුව වැට් බදු නොගෙවන බොහෝ අවස්ථා වලදී මේ ආකාරයෙන් එම බද්දෙන් කොටසක් වක්‍ර ලෙස පාරිභෝගිකයාගේ මිලට එකතු වී තිබෙන්න පුළුවන්. ඒ සැපයුම් දාමයේ මුල් අදියර වලදී අය කර තිබෙන වැට් බදු. මේ අනුව, මෙහිදීද අවසන් වශයෙන් බදු බර පාරිභෝගිකයා මතයි.

නිෂ්පාදකයා හා සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියදී තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මේ අවස්ථාවේදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. නමුත් තොග වෙළෙන්දාට ගෙවූ වැට් බදු මුදල රජයෙන් ආපසු ලබාගත නොහැකි නිසා එම මුදල තොග වෙළෙන්දාගේ පිරිවැයට එකතු වෙනවා. එම රුපියල් 120ක මුදලට රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව සිල්ලර වෙළෙන්දාට විකුණන්නේ රුපියල් 170ක මුදලකටයි. සිල්ලර වෙළෙන්දා එයට තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 220 දක්වා ඉහළ යන අතර වැට් බදු මුදලද එයට එකතු වූ පසු පාරිභෝගිකයාට රුපියල් 264ක් (220 + 44) ගෙවන්නට සිදු වෙනවා. 

තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියේනම් පාරිභෝගිකයාට වැය වන්නේ රුපියල් 240ක මුදලක් පමණයි. දැන් එය රුපියල් 24කින් වැඩි වෙලා. රජයට ලැබුණු වැට් ආදායම රුපියල් 64ක් වෙලා. මෙයට හේතුව නිෂ්පාදකයාගේ රුපියල් 100ක අගය එකතු කිරීම මත දෙවරක් වැට් බදු අය වනවාට අමතරව එම වැට් බද්ද මතද නැවත වරක් වැට් බදු ගෙවන්නට පාරිභෝගිකයාට සිදු වීමයි. මෙයින් කොටසක් සෘජුවත් (රුපියල් 44ක්) තවත් කොටසක් වක්‍ර ලෙසත් (රුපියල් 20ක්) පාරිභෝගිකයාට ගෙවන්නට සිදු වෙනවා. 

සැපයුම් දාමයේ මුල් කොටසේදී වැට් බදු අය වී මැදදී එය ඛණ්ඩනය වූ විට ඉහත තත්ත්වය ඇති විය හැකියි. ප්‍රායෝගිකව සැපයුම් දාම මෙහි උදාහරණයට වඩා දිගු හා සංකීර්ණ නිසා බොහෝ අවස්ථා වලදී මෙවැන්නක් සිදු විය හැකියි. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් මත වැට් අය කෙරෙන තරමට මේ විකෘතිය සීමා වෙනවා.

Friday, April 28, 2023

උද්ධමනය විශාල ලෙස පහත බසී!


උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පැවති හා වේගයෙන් ඉහළ යමින් තිබුණු පසුගිය වසරේ මැද කාලයේ සිටම අප විසින් දිගින් දිගටම විශ්වාසනීය ලෙස කියූ පරිදි අප්‍රේල් උද්ධමනය විශාල ලෙස අඩු වී තිබෙනවා. මාර්තු මාසයේදී 50.3%ක් වූ උද්ධමනය අප්‍රේල් වන විට 35.3% දක්වා 15.0%කින්ම අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 30.6% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 37.6% දක්වාත් අඩු වී තිබෙනවා. 

මේ උද්ධමනය වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා පමණයි. මැයි මාසයේදී 25% ආසන්න මට්ටමකටත්, ජූනි මාසයේදී 13% ආසන්න මට්ටමකටත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති අතර ජූලි මාසය වන විට බොහෝ විට උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මිල මට්ටම ස්ථාවරව පවතින අතර, සැප්තැම්බර්-අප්‍රේල් අතර මාස හතක කාලය තුළ මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.6%කින් පමණයි.

ප්‍රධානම අභියෝගය වූ උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය මේ වන විට ජයගෙන අවසන්ව ඇතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  අභියෝගය තවමත් එලෙසම තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීම මතයි.

Thursday, December 16, 2021

ආර්ථිකය කඩා වැටිය හැක්කේ කොතැනකටද?


ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක හෝ නොවැටෙන එක, බංකොලොත් වීම හෝ නොවීම, කඩා වැටෙනවානම් එය සිදු වන දවස, බංකොලොත් වෙනවානම් එය සිදු වන දවස ආදිය ගැන ඇතැම් අය අනාවැකි කියනවා. තවත් අයට මේ ගැන දැන ගන්න උනන්දුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව අඩුවෙන් කතා වෙන දෙයක් වන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ කොතැනටද කියන එකයි. කඩා වැටෙන තැනක් ගැන කතා නොකරමින් ආර්ථිකය කඩා වැටෙන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙනවා කියා කතාවට කිවුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එතරම්ම පැහැදිලි දෙයක් නෙමෙයි. ආර්ථිකය හෝ රට බංකොලොත් වෙනවා කියන එක ඊට සාපේක්ෂව තරමක් හෝ පැහැදිලියි. බොහෝ දෙනෙක් රට බංකොලොත් වීම ලෙස හඳුන්වන්නේ රටේ විදේශ ණය ගෙවා ගන්න බැරි තැනකට රට වැටෙන එකටයි. රටේ විදේශ ණය කියා කිවුවත්, මෙහිදී වැඩි අවධානයක් යොමු වී තියෙන්නේ රජයේ විදේශ ණය වලටයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ බංකොලොත් වීම කියන වචනය භාවිතා වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ, සමාගමක හෝ වෙනත් කිසියම් නෛතික ව්‍යුහයක වත්කම් වලට වඩා බැරකම් වැඩි වී ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිය විටයි. එහෙත්, ශුද්ධ වත්කම් සෘණ පැත්තට නොගියත්, ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නැති අවස්ථාවක පුද්ගලයෙකුට හෝ වෙනත් නෛතික ව්‍යුහයකට තමන් අරගෙන තිබෙන ණය ආපසු ගෙවන්න බැරි වෙන්න පුළුවන්. 

රටක වත්කම් මූර්ත වත්කම් හා මූල්‍ය වත්කම් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකෙන් මූර්ත වත්කම් කොටසට ගත්තොත් එය සාමාන්‍යයෙන් සෘණ පැත්තට නොයන්නක්. එහෙත්, මූල්‍ය වත්කම් කොටස සෘණ පැත්තට යන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ලංකාව ඇතුළු ලෝකයේ රටවල් වලින් බාගයක වගේ ශුද්ධ මූල්‍ය වත්කම් තියෙන්නේ සෘණ පැත්තේ. 

ශුද්ධ මූල්‍ය වත්කම් සෘණ වූ පමණින් රටක් බංකොලොත් වෙන්නේ හෝ ණය පැහැර හරින තැනකට වැටෙන්නේ නැහැ. බැරකම් දිගුකාලීන ඒවානම් සහ වත්කම් ද්‍රවශීල වත්කම්නම් රෝලක් ගහගෙන යන්න පුළුවන්. එහෙත්, රටක මූල්‍ය වත්කම් සංචිතය කෙටිකාලීන මූල්‍ය බැරකම් පියවන්න ප්‍රමාණවත් නොවන මට්ටමකට වැටුණු විට රටකට ණය පැහැර හරින්න වෙනවා.

ලංකාව තවම ණය පැහැර හැරලා නැහැ. එය සිදුවීමේ අවදානම ගොඩක් වැඩි වී තිබෙනවා පමණයි. 

ආර්ථිකය කඩා වැටෙනවා කියන එක රටක් බංකොලොත් වීම වගේ එක නිශ්චිත මොහොතක සිදු වෙන දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් සිදු වන දෙයක්. ලංකාව තවමත් බංකොලොත් වී නැතත්, ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමනම් මේ වෙන කොටත් පටන් ගෙනයි තියෙන්නේ. ඒ කඩා වැටීම කවදා කොතැනින් නවතීද කියන එක තමයි සාකච්ඡා කළ යුතු ගැටළුව.

රටක ආර්ථිකය කියන්නේ සංකීර්ණ පද්ධතියක්. ආර්ථිකයක කඩා වැටීම මේ පද්ධතියේ හැම කොටසකටම එක පරිදි දැනෙන්නේ නැහැ. සමහර කොටස් වලට ඒ බලපෑම වැඩියි. සමහර කොටස් වලට අඩුයි. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයටත් මේ කරුණ අදාළයි.

ලංකාවේ ආර්ථික අර්බුදය දරුණුවටම දැනෙන්නේ විදේශ අංශයට බව අපි දැනටමත් දන්නවා. රජයට ආනයන භාණ්ඩ සීමා කරන්න සිදු වී තිබීමෙන් පමණක්ම වුවත් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටී ඇති බවයි. මේ කඩාවැටීමේ අනාගතය කුමක්ද?

ඉන්දීය සහන පැකේජය හා තවත් එවැනි විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් මාස ගණනක් අල්ලාගෙන හිටියත්, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියා ගන්න එක දිගටම කරන්න බැහැ. මේ විදිහට ගියොත් යම් මොහොතක ඩොලරයක මිල අනිවාර්යයෙන්ම එකවර විශාල ලෙස ඉහළ යනවා. ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් මේ විදිහට එකවර කඩා වැටෙන්න කලින් ටිකෙන් ටික රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න කියා ලංකාවට යෝජනා කරයි. ඔය දෙකෙන් කොයි එක වුනත්, අවසාන වශයෙන් ඩොලරයක මිල සැලකිය යුතු තරම් ඉහළ යයි.

විණිමය අනුපාතය කඩා වැටුනොත් ඩොලරයක මිල කීයක් වෙලා නවතියිද? 

සරල හා කෙටි පිළිතුර ඩොලරයක මිල ඕනෑම ගණනක් විය හැකි බවයි. මොකද කිසිදු පාලනයකින් තොරව ඩොලරයක රුපියල් මිල කඩා වැටෙන තත්ත්වයක් යටතේ එය නැවතිය යුතු තැන තීරණය වෙන්නේ සමපේක්ෂනය මත මිසක් සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි. හැබැයි මේ සමපේක්ෂකයින් විසින් ආර්ථික විද්‍යා මූලධර්ම නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නැවතිය යුතු තැනට වඩා පහළින් ඩොලරය නවතින්නේ නැහැ.

ඩොලරයක නියම මිල ගැන මීට පෙර කතා කර ඇති අවස්ථා වලදී මම ඒ සඳහා යොදාගත් ප්‍රධාන මූලධර්මයක් වුනේ ක්‍රය ශක්ති සාම්‍යය පිළිබඳ අදහසයි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව ලංකාවේ අපනයනකරුවෙකුට අඩු වශයෙන් 2001 වසරේදී පැවති මට්ටමේ අපනයන තරඟකාරිත්වයක් පවත්වාගන්නනම් ඩොලරයක මිල කීයක් විය යුතුද කියන එකයි. ඒ වගේම ලංකාවේ ජීවත් වන විදෙස් ශ්‍රමිකයෙකුගේ පවුලක සාමාජිකයින්ට 2001 තරමට පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා ඩොලරයක් වෙනුවෙන් කීයක් ලැබිය යුතුද කියන එකයි.

Year SL-CPI US-CPI Ratio PPP-Rate Actual Real Rate
2001 100.00 100.00 1.00 89.36 89.36 1.00
2002 109.55 101.58 1.08 96.37 95.66 1.01
2003 116.47 103.90 1.12         100.18 96.52 1.04
2004 125.29 106.66 1.17         104.97 101.19 1.04
2005 139.87 110.28 1.27         113.34 100.50 1.13
2006 159.03 113.83 1.40 124.84 103.96 1.20
2007 186.59 117.05 1.59         142.45 110.62 1.29
2008 228.69 121.57 1.88 168.10 108.33 1.55
2009 236.59 121.14 1.95         174.52 114.94 1.52
2010 250.66 123.13 2.04 181.92 113.06 1.61
2011 259.13 127.01 2.04 182.31 110.57 1.65
2012 278.62 129.64 2.15         192.05 127.60 1.51
2013 297.95 131.54 2.27 202.41 129.11 1.57
2014 307.70 133.67 2.30 205.70 130.56 1.58
2015 310.44 133.83 2.32 207.28 135.94 1.52
2016 322.07 135.52 2.38 212.37 145.60 1.46
2017 343.12 138.41 2.48 221.53 152.46 1.45
2018 357.82 141.79 2.52 225.51 162.54 1.39
2019 373.39 144.36 2.59 231.14 178.78 1.29
2020 390.40 146.14 2.67 238.72 185.52 1.29
Nov-21 426.33 155.94 2.73 244.30 202.05 1.21

ඉහත පදනම අනුව බැලුවොත් 2011 පමණ වෙද්දී ඩොලරයක් විකිණුනේ එහි ක්‍රය ශක්ති සාම්‍ය මිලෙන් 40%ක් පමණ දක්වා වන වට්ටමක් සමඟයි. ඒ කියන්නේ ආනයන භාණ්ඩ විකිණුනේ දේශීය ආදේශක වලට වඩා 40%ක් අඩුවෙන් කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදකයින්ට ලබා දුන් ඔය විශාල වට්ටම නිසා ලංකාවේ එම ආනයන වේගයෙන් ප්‍රචලිත වුනා. වෙළඳ හිඟය විශාල ලෙස වැඩි වුනා. දේශීය කර්මාන්ත ගොඩනැගෙන එක වැළකුණා. අපනයන අධෛර්යමත් වුනා.

මේ වෙද්දී ඩොලරයක මිල ඒ කාලයට සාපේක්ෂව යම් තරමකින් නිවැරදි වී ඇතත් 2001 මට්ටමට යන්නනම් ඩොලරයක මිල රුපියල් 245ක් පමණවත් විය යුතුයි. මොකද ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම 4.26 ගුණයකින් ඉහළ යද්දී ඇමරිකාවේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ 1.56 ගුණයකින් පමණයි. ඒ අනුව ඩොලරයක මිල 2.73 ගුණයකින් ඉහළ යා යුතු වුවත්, ඇත්තටම ඉහළ ගිහින් තියෙන්නේ 2.26 ගුණයකින් පමණයි. 

මේ මට්ටමට ඩොලරය ඉහළ ගියා කියලා ලංකාවේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙළඳ හිඟය නැති වෙන්නේ හෝ නැහැ. නමුත්, බොහෝ විට තාවකාලිකව හෝ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මේ සඳහා 2001 වසර යොදා ගත්තේ එම වසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කරනු ලැබ ඩොලරයක මිල වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ වසරක් නිසයි. එහෙත්, එම වසර හා පෙර වසරවල්ද ලංකාව විදේශ ණය ලබා නොගෙන සිටි වසරවල් නොවූ බවද අමතක නොකළ යුතුයි.     

ඒ කියන්නේ දැන් මහ බැංකුව විසින් ඩොලරය පාලනය කිරීම නැවැත්තුවොත් ඩොලරයක මිල රුපියල් 245ක් වී එම මට්ටමේ ස්ථාවර වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. අපි ඉහත ක්‍රය ශක්ති සාම්‍ය ගැලපීම කළේ ලංකාවේ මිල මට්ටම නිවැරදි මිල මට්ටම සේ සලකා. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ පැවති මිල මට්ටම ඒ මට්ටමේ තියා ගත්තේත් ඩොලරයක මිල පාලනය කිරීමේ උදවුවෙන් කියන එක අප‍ට අමතක කරන්න බැහැ. උදාහරණයක් විදිහට 2011දී රුපියල් 110 මට්ටමේ තියාගත් ඩොලරය එහි ක්‍රය ශක්ති සාම්‍ය අගය වූ 182ට ගොස් තිබුණා කියා අපි හිතමු. එසේ වුනානම්, ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු බොහෝ දේවල් වල මිල 65%කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, රටේ සාමාන්‍ය මිල මට්ටම ඔය තිබුණාට වඩා ගොඩක් ඉහළ යනවා. හරියටම කොපමණකින්ද කියන එක තීරණය වන්නේ පාරිභෝගික මිල දර්ශකයේ තිබෙන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රතිශතයේත්, දේශීය භාණ්ඩ හා සේවා වල ආනයනික යෙදවුම් ප්‍රතිශතයේත් එකතුව කොපමණද කියන එක මතයි.

අපි මෙම ප්‍රතිශතය 40%ක් ලෙස සලකමු. ඒ කියන්නේ ඩොලරය රුපියලකින් වැඩි වෙද්දී රටේ බඩු මිල සමස්තයක් ලෙස ශත 40කින් වැඩි වෙනවා කියන එකයි. මේ ප්‍රතිශතය මම හරියටම දන්නේ නැහැ. කෙසේ වුවත්, එය 40% ලෙස සැලකුවොත් ඩොලරය 65%කින් වැඩි වෙද්දී බඩු මිල 26%කින් වැඩි වෙනවා. ඒ අනුව, ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිලද තවත් 26%කින් වැඩි වෙනවා. 

එතැනින් නවතිනවද? නැහැ. ඩොලරයක මිල ක්‍රය ශක්ති සාම්‍ය මිල හා ගැලපෙමින් තවත් 26%කින් ඉහළ යද්දී බඩු මිල නැවතත් 10.4%කින් ඉහළ යනවා. ඩොලරයක මිල හා ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම අතර චක්‍රීය සම්බන්ධයේ ස්වභාවය අනුව මේ වැඩේ දිගින් දිගටම සිදු වෙනවා. හැබැයි යම් අගයකදී ඩොලරයක මිල ස්ථාවර වෙනවා. එතරම් සංකීර්ණ නැති ගණිතය යොදා ගෙන අපට මේ මට්ටම හොයා ගන්න පුළුවන්. 

පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය x ලෙස සැලකුවොත් ඩොලරය කෙටිකාලීනව රුපියකින් වැඩි වීම හේතුවෙන් දිගුකාලීනව රටේ මිල මට්ටම x/(1-x) ගුණයකිනුත්, ඩොලරයේ මිල දිගුකාලීනව 1/(1-x) ගුණයකිනුත් වැඩි වෙනවා. අපි x=0.33 සේ සලකමු. ඒ කියන්නේ ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.5%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.33%කින්ම ඉහළ යනවා. හරියටම ගණන දන්නේ නැති නිසා x=0.4 සේ සැලකුවොත් ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.6%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.67%කින් ඉහළ යනවා. හැබැයි යම් මට්ටමක ස්ථාවර වෙනවා. පළමු වටය ඉන්ධන මිල වැඩි වීම වගේ. දෙවන වටය බස් ගාස්තු වැඩිවීම වගේ.

මේ චක්‍රය කැඩිය හැකි හෝ ආපසු හැරවිය හැකි ස්ථිරසාර ක්‍රමය සල්ලි අච්චු ගැහීම සීමා කරන එකයි. ඒ සඳහා, අයවැය හිඟය අඩු කළ යුතුයි. රාජපක්ෂ ක්‍රමය වුනේ ඒ වෙනුවට කෙටි මාර්ගයක් සොයා ගැනීම. මේ අනුව, සල්ලි අච්චු ගැසීම අඩු නොකර විදේශ ණය අරගෙන විණිමය අනුපාතය පාලනය කළා. විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කළා. දැන් විණිමය අනුපාතය කඩා වැටුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටමද ඉහළ යනවා. ඉන් පසු, නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. හැබැයි යම් තැනක නවතිනවා.

පවතින විණිමය අනුපාතය දැන් මිල මට්ටම අනුව රුපියල් 245 දක්වා 21%කින් අවප්‍රමාණය විය යුතුයි. එහෙත් ඒ එක්කම බඩු මිල ඉහළ යන නිසා නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ අරින්න වෙනවා. කලින් කී පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය 40% සේ සැලකුවොත් අවසාන වශයෙන් ඩොලරයක මිල 35%කින් පමණ අවප්‍රමාණය විය යුතුයි. ඒ කියන්නේ රුපියල් 272ක් පමණ මට්ටමකට යා යුතුයි. ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය මීට වඩා වැඩිනම් මෙය මීටත් ඉහළ අගයක් විය හැකියි.

ඉහත උපකල්පන අනුව ඩොලරයක මිල නිවැරදි වෙන්න ඇරියොත් එය ක්ෂණිකව රුපියල් 245 පමණ මට්ට්මකටත් ඉන් පසුව රුපියල් 270-275 පමණ මට්ටමකටත් යා හැකියි. එම කාලය තුළ සමස්තයක් ලෙස බඩු මිල 15%කින් පමණ ඉහළ යා හැකියි. මේ සල්ලි අච්චු ගැසීම නිසා කොහොමටත් සිදුවන බඩු මිල ඉහළ යාමට අමතරව.

සල්ලි අච්චු ගැසීමේ බලපෑම ඉහත "කඩා වැටීමට" එකතු කරමු. පසුගිය දෙවසර තුළ සල්ලි අච්චු ගැසීම ඉතා ඉහළින්ම කෙරුණා තමයි. ඇතැම් අය විවිධ කතා කිවුවත්, මේ සල්ලි අච්චු ගැහීම තවමත් සිම්බාබ්වේ වැනි මට්ටමකට හෝ "පෙර නොවූ විරූ" මට්ටමකට ගිහින් නැහැ. පසුගිය දෙවසර තුළ පුළුල් මුදල් සැපයුම ඉහළ ගොස් තියෙන්නේ 40%කින් පමණ. මුදල් සැපයුමේ සිදුවන වසරකට 10-15%ක ඉහළ යෑමක් ලංකාවට සාමාන්‍ය දෙයක්. සල්ලි අච්චු ගැසීම නිසා වැඩිම වුනොත් මිල මට්ටම තව 10-15%කින් ඉහළ යයි. මම මේ කියන්නේ අනාගතයේ සිදු විය හැකි සල්ලි අච්චු ගැසීම් ගැන නෙමෙයි. දැන් තත්ත්වය ගැන. 

ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමේ බලපෑම එකතු කළ විට මිල මට්ටම 25-30%කින් පමණ ඉහළ යා හැකියි. ඩොලරය රුපියල් 300 පමණ දක්වා යා හැකියි. හැබැයි මේ දේවල් මේ විදිහට විය හැක්කේ ආණ්ඩුව කිසිවක් නොකර හිටියොත් බව අමතක කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහෙන් හෝ ණයක් අරගෙන ඔය තත්ත්වය පාලනය කර ගන්න. මම මේ විග්‍රහය කරන්නේ "ආර්ථිකය කඩා වැටුනොත් අපට මොකද වෙන්නේ?" කියන බය ගොඩක් අයට තිබෙන නිසා. 

ඔය විදිහට ඩොලරය රුපියල් 300 වී බඩු මිල 25-30%කින් ඉහළ ගියා කියා අපි හිතමු. ඕක ලෝක විනාසය නෙමෙයිනේ. ඒ වගේම, තනි පුද්ගලයෝ ලෙස ගත්තොත් ඇතැම් අයට මෙහි බලපෑම වඩා හොඳ එකක් වෙන්න වුනත් පුළුවන්.

තනි පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම ඉහළ යාම. එය වැඩිපුරම දැනෙනු ඇත්තේ විශ්‍රාමිකයන් වැනි නිශ්චිත ආදායමක් ලබන අයට. රජයේ සේවකයින් ඇතුළු අනෙකුත් මාස් පඩි කාරයින්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගොඩක් අයට යම් තරමකින් පටි තද කරගන්න වෙයි. නමුත්, ආහාර, ඖෂධ වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බැහැනේ. ඒ නිසා, මේ වැඩෙන් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙන එකයි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයට මේ කඩා වැටීමෙන් ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන කෘෂිකර්මයේ හෝ වෙනත් අපනයන කර්මාන්ත වල නියැලී ඉන්න අයට කොහොමටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයටත් වැඩේ හොඳයි.

අත්‍යවශ්‍ය නොවන සේවා ආශ්‍රිත කර්මාන්ත වල නියැලී ඉන්න අයටනම් අවුලක් වෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරුවෝ වගේ අයට. කන්න බොන්න අඩු වෙද්දී ගෙවල් හදන එක ගැන හිතන්නේ කවුද? සමස්තයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම, වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වගේ අයගේත් ආදායම අඩු වෙන්න පුළුවන්. මිනිස්සු වැඩි වැඩියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යයි. සදාකාලිකව නෙමෙයි. ආර්ථිකය නැවත පහළ මට්ටමක ස්ථාවර වෙන්න යන කාලය ඇතුළත. ආනයන වෙළඳාමේ නියැලී ඉන්න අයට, සිල්ලර වෙළඳසැල් වලට, භෝජන ශාලා පවත්වාගෙන යන අයට බිස්නස් අඩු වෙයි. ටිකක් විතර කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. පුරුදු නැති තත්ත්වයක් නෙමෙයිනේ.

ඔය හැම දෙයක්ම නිසා දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙයි. හැබැයි එහෙම වුනා කියලා රට හතලිස් අටේදී හිටපු තැනට හෝ හැත්තෑ හතේදී හිටපු තැනට වැටෙන්නේ නැහැ. අවුරුදු කීපයකින් පස්සට යයි. ඊට පස්සේ නැවතත් ඉස්සරහට යන්න පුළුවන්. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. 

දැන් ඇති වී තිබෙන අර්බුදය නිදහස ලබපු දවසේ පටන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඇති කළ අර්බුදයක් තමයි. හැබැයි එයින් අදහස් කරන්නේ ඒ අය මුකුත්ම කළේ නෑ කියන එක නෙමෙයි. දෙදාස් විස්සේ ලංකාව හතළිස් අටේ ලංකාවට වඩා බොහෝ දුර ගිය රටක්. දැන් තිබෙන අස්ථාවරත්වය ප්‍රශ්නයක් වුවත් එවැනි අස්ථාවරත්වයකට පාර කපමින් වුවද ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ඉතා විශාලයි. ආර්ථිකය කඩා වැටුනා කියලා ඒ සියල්ල එක රැයින් නැති වෙන්නේ නැහැ. රැයවල් ගණනාවකින් පසුව නැති වෙන්නේත් නැහැ. විදේශ අංශයේ හා මිල මට්ටමේ යම් නිවැරදි වීමක් වෙනවා පමණයි. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2500 පමණ මට්ටමකට වැටුණත්, එය නිදහස ලබන කොට තිබුණු මට්ටම වගේ 20 ගුණයක්!

විදේශ අංශයෙන් පටන් අරගෙන, උද්ධමනය ගැනත්, මූර්ත අංශය ගැනත් අපි කතා කළා. මේ සියල්ල වෙද්දී රාජ්‍ය අංශයට වෙන්නේ මොකක්ද?

ලොකුම ප්‍රශ්නය වෙන්නේ රජයටයි. ලොකුවට නැතත් යම් තරමකින් හෝ ආර්ථිකය හැකිලීමත්, විරැකියා අනුපාතය ඉහළ යාමත් නිසා රජයට බදු ආදායම් ඉහළ දමා ගන්න වඩාත් අසීරු වෙනවා. ඒ අතර, විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගිහින් ණය පොලී හා වාරික වල වියදම ඉහළ යනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතික ඉහළ දැමීමත්, රටේ දේශීය ණය සැපයුම අඩු වීමත් නිසා දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ අතර රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා පාරට බහින්න ඉඩ තිබෙනවා. 

දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔය වගේ තත්වයක් යටතේ රජය මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගහන්න යොමු වුනොත්. එහෙම කළොත්නම්, බේරෙන්න බැරි දිය සුළියකට අහු වෙනවා. වසර ගණනකින් පසුව සිම්බාබ්වේ මට්ටමට වුනත් යන්න පුළුවන්!

මේ තත්ත්වය වලක්වාගන්න තවත් කාලයක් යන තුරු යම් තරමකට හෝ තවත් විදේශ ණය ගන්නම වෙනවා. එසේ ණය අරගෙන තාවකාලිකව තත්ත්වය පාලනය කර ගන්නා අතරම විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරීම, මිල මට්ටම යම් තරමකින් ඉහළ යන්න ඉඩ ඇරීම හා දැඩි රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා අයවැය හිඟය පාලනය කිරීමත් කරන්නම වෙනවා.

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


වෙබ් ලිපිනය: