වෙබ් ලිපිනය:

Showing posts with label විදේශ විණිමය. Show all posts
Showing posts with label විදේශ විණිමය. Show all posts

Sunday, February 8, 2026

ඩොලර් වැඩියෙන් එද්දී ඩොලරය ඉහළ යන්නේ ඇයි?

 



පෙර ලිපියෙහි පෙන්වා දුන් පරිදි, රටට ලැබෙන ඩොලර් ප්‍රවාහ ශක්තිමත් වෙමින් තිබෙනවා. නමුත්, ඒ අතරම ඩොලරයක මිලද ඉහළ යමින් තිබෙනවා. මෙහෙම වෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නය අහපු කිහිප දෙනෙකු විසින්ම හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙතද අපගේ අවධානය යොමු කරවා තිබුණා. "රටේ ආර්ථිකය හොඳ මට්ටමක නැහැ" කියන, හර්ෂ ද සිල්වා විසින් ඉස්මතු කරන්නට උත්සාහ කරන දේශපාලනික මතය පැත්තකින් තිබ්බොත්, ඔහු එහි කරන පැහැදිලි කිරීමේ වැරැද්දක් නැහැ. ඩොලරයක මිල ඉහළ යන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩි නිසා. ඔහු විස්තර කරන පරිදි, ඩොලර් ඉල්ලුම තරමට ඩොලර් සැපයුමක් නැති තත්ත්වයක් ලෙස එය විස්තර කරන්නත් පුළුවන්.

පසුගිය 2025 වසර තුළ ජංගම ගිණුම හරහා ඩොලර් මිලියන 29,344.5ක් රටට පැමිණ තිබෙනවා. ඊට පෙර (2024) වසර තුළ එසේ පැමිණ තිබුණු මුදල ඩොලර් මිලියන 26,876.7ක්. මේ අනුව, ඩොලර් මිලියන 2,448.1ක හෙවත් 9.1%ක වර්ධනයක් දකින්න පුළුවන්. විදේශ විණිමය ලැබීම් මේ විදිහට ඉහළ යද්දීත් ඩොලරයක මිල ඉහළ යාමෙන් පෙනෙන්නේ විදේශ විණිමය ඉල්ලුම ඊට වඩා වැඩි වේගයකින් ඉහළ ගිහින් කියන එකයි. 

විදේශ විණිමය ඉල්ලුම ඉහළ යාම සමස්තයක් ලෙස රටේ සාර්ව ආර්ථික ඉල්ලුම ඉහළ යාමේ ප්‍රතිඵලයක්. සාර්ව ආර්ථික ඉල්ලුම ඉහළ යාම පුළුල් මුදල් සැපයුම ඉහළ යාම අනුසාරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ පුළුල් මුදල් සැපයුමේ ප්‍රධාන සංරචක දෙකක් වන බැංකු පද්ධතියෙන් මධ්‍යම රජයට ලබා දුන් ණය ප්‍රමාණය සහ අනෙකුත් අංශ වලට ලබා දුන් ණය ප්‍රමාණය. එහි නැති තුන්වන සංරචකය බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්. අපට අවධානය යොමු කරන්න අවශ්‍ය වන්නේ මෙහි පෙන්වා තිබෙන සංරචක දෙකේ ප්‍රවණතා වලටයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම වර්ධනය වෙන ඓන්ද්‍රීය වේගයක් තිබෙනවා. මේ ඉල්ලුම බොහෝ දුරට ආයෝජන සඳහා වන ඉල්ලුමක්. ඒ නිසාම, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් ඒ ඉල්ලුමට බාධා කරන්නේ නැහැ. ඒ වගේම, ආයෝජන හේතුවෙන් රටේ නිෂ්පාදනය අනුපාතිකව ඉහළ ගියොත්, එමගින් උද්ධමනකාරී බලපෑමක් ඇති වන්නේ නැහැ. 

ප්‍රායෝගිකව පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම තනිකරම ආයෝජන ඉල්ලුමක් නොවන නිසා ණය වැඩි වන තරමටම නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, යම් උද්ධමනයක් ඇති වුනත්, උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන්නේ නැහැ. දළ අදහසක් අවශ්‍යනම් පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය. පරිභෝජන ණය කොටස 25%ක් වගේ.

නමුත් රාජ්‍ය අංශයේ දකින්න පුළුවන් තත්ත්වය මෙහි අනෙක් පැත්ත. සාමාන්‍යයෙන් ණය වලින් 75%ක් පමණම වැය වන්නේ පරිභෝජනයට. ආයෝජන සිදු වන්නේ 25%ක් පමණ. ඒ නිසා උද්ධමනකාරී බලපෑම වැඩියි. මේ ගණන් අවශ්‍ය කරුණ පැහැදිලි කිරීම සඳහා උපයෝගී කර ගන්නා ගණන් මිසක් ඇත්තම ගණන් නෙමෙයි. 

ඉහත ප්‍රස්ථාරයේ 2015-2019 යුගය දිහා බැලුවොත් මේ ප්‍රවර්ග දෙකේ හැසිරීම් වල වෙනස පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. රාජ්‍ය අංශයේ ණය වගේම පෞද්ගලික අංශයේ ණයත් යම් නිශ්චිත වේගයකින් ඉහළ ගොස් ඇතත්, පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට වැඩිපුර දායක වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ ණය. 

පෞද්ගලික අංශයේ ණය වර්ධනය නිසා මුදල් සැපයුම වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇතත්, එයින් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු වී තිබෙන නිසා උද්ධමනකාරී බලපෑම අඩුයි. අනික් අතට, රාජ්‍ය අංශයේ ණය වල උද්ධමනකාරී බලපෑම වැඩි වුනත්, වර්ධන වේගය අඩු නිසා උද්ධමනකාරී බලපෑම සීමා වෙලා තිබෙනවා. ඒ නිසා, ඔය ප්‍රවර්ග දෙකේම උද්ධමනකාරී බලපෑම් අතර තුලනයක් තිබෙනවා. අවසාන වශයෙන් උද්ධමනය මහ බැංකුවේ අපේක්ෂිත සීමාව ඇතුළේ රැඳුනේ ඒ නිසා. 

ඉන් පසුව, 2020-2022 යුගය. ඔය යුගයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් තවමත් පෙනී සිටින අය දැනටත් වරින් වර දකින්න පුළුවන්. මේ කාලයේ සිදු වූ බදු කප්පාදුව කවුරුත් දන්නා දෙයක්.

සාමාන්‍යයෙන් දක්ෂිණාංශික අදහස් දරන අය අඩු බදු වෙනුවෙන් පෙනී සිටිනවා. වැඩි බදු වෙනුවෙන් පෙනී සිටින්නේ වාමාංශික අදහස් දරන අය. රටේ ආර්ථික වර්ධනය ගැන සැලකිලිමත් වෙනවානම් බදු අඩු වන තරමට හොඳයි. ඒකේ කතා දෙකක් නැහැ. 

නමුත් රජයක් බදු අඩු කළ යුත්තේ පළමුව වියදම් සීමා කිරීමෙන් පසුවයි. වියදම් සීමා නොකර බදු අඩු කරද්දී ඒ අඩුව පුරවා ගන්න වෙන්නේ වැඩිපුර ණය ගැනීම මගිනුයි. 2020-2022 කාලය තුළ වුනේ ඕකයි.

වියදම් සීමා නොකර බදු අඩු කළ විට ඒ අඩුව පුරවා ගන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. වැඩියෙන් ණය ගන්නනම් වැඩියෙන් ඉතිරි කිරීම් අවශ්‍ය වෙනවා. ඉතිරි කිරීම් වැඩි කරන්න පොලී අනුපාතික ඉහළ දමන්න වෙනවා. නමුත් පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ හැරිය විට එය පෞද්ගලික අංශයේ ණය ගැනීම් වලටත් නිශේධනාත්මක ලෙස බලපානවා. ඒ නිසා, ආයෝජන අඩු වී ආර්ථික වර්ධනය අඩු වෙනවා. 

පොලී අනුපාතික වැඩි වෙන්නේ ඉඩ හරින්නේ නැත්නම්, රජයට ණය විදිහට ලබා ගන්න වෙන්නේ රටේ මිනිස්සු කොහොමටත් ඉතිරි කරන මුදල් වලින් කොටසක්. එවිට වෙන්නේත් පෞද්ගලික අංශයට ලබා ගත හැකි ණය ප්‍රමාණය අඩු වී, ආයෝජන අඩු වී, ආර්ථික වර්ධනය අඩු වෙන එක. 

ඔය දෙකෙන් එකක්වත් නොකර, පෞද්ගලික අංශයේ ණය අවශ්‍ය මට්ටමට වර්ධනය වෙන්න ඉඩ හරින අතරම, රාජ්‍ය අංශයේ ණය වැඩි කරනවා කියන්නේ පුළුල් මුදල් සැපයුමේ වර්ධන වේගය වැඩි වෙනවා කියන එක. ප්‍රස්ථාරයේ 2020-2022 කාලය දෙස බැලුවොත් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට පුළුල් මුදල් සැපයුමේ වර්ධන වේගය ඕනෑවට වඩා වැඩියෙන් ඉහළ යාමේ ප්‍රතිඵලය වන්නේ අවසාන වශයෙන් එම වැඩි වීම උද්ධමනය ලෙස නිරූපණය වීම. ඒ තත්ත්වය අපි ප්‍රායෝගිකවම දැක්කනේ. 

ඊට අමතරව ඔය කාලයේ තවත් දෙයක් වුනා. ඒ තමයි ඔය විදිහට මුදල් සැපයුම ඉහළ යද්දී ඇති වීමට නියමිතව තිබුණු උද්ධමනකාරී බලපෑම විණිමය අනුපාතයේ උදවුවෙන් පාලනය කරන්න උත්සාහ කිරීම. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත හිඳිලා, ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. අන්තිමට ඩොලරයේ පාලනය ගිලිහිලා උද්ධමනයත් ආවා. නමුත් විණිමය අර්බුදයට පාදක හේතුව වුනේ මුදල් සැපයුමේ ඉහළ යාම. එයට හේතු වුනේ රාජ්‍ය ණය ඉහළ යාම. රාජ්‍ය ණය ඉහළ යාමට බදු කප්පාදුව හේතු වුනා.

ඊට පස්සේ 2022-2024 කාලය. මේ කාලය අර්බුදය විසඳන්න උත්සාහ ගත් කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා, බදු වැඩි කරන්න වුනා. පොලී අනුපාතිකත් වැඩි කරන්න වුනා. ඒ මගින්, මධ්‍යම රජය විසින් බැංකු අංශයෙන් ණය ගැනීම නවතා ගන්න හැකි වුනා. මේ තත්ත්වය තවමත් ඒ විදිහටම තිබෙනවා.

ඒ වෙද්දී පැවති තත්ත්වය අනුව රාජ්‍ය අංශයේ ණය වර්ධනය පාලනය කිරීම මගින් පමණක් මුදල් සැපයුම ප්‍රමාණවත් තරම් සීමා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උද්ධමනය පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගිහිල්ලයි තිබුණේ. කොහොම වුනත්, ඉහළ දැමූ බදු සහ ඉහළ පොලී අනුපාතික නිසා පෞද්ගලික අංශයේ ණය වර්ධනය නැවතුනා පමණක් නෙමෙයි යම් තරමකින් අඩු වුනා. අවසාන වශයෙන් අවධමනයක් ඇති වන මට්ටමටම මුදල් සැපයුම සීමා වුනා.  

උද්ධමනය සාර්ථකව පාලනය කිරීමෙන් පසුව මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරන්න පටන් ගත්තා. එසේ කරද්දී රාජ්‍ය අංශයේ කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නය විසඳිලා තිබුණු නිසා, රාජ්‍ය අංශයට බැංකු පද්ධතියෙන් තව තවත් ණය අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා, මුදල් සැපයුමේ වැඩි වීමට තනිකරම වගේ දායක වුනේ පෞද්ගලික අංශය. මෙය 2024දීම ආරම්භ වූ දෙයක් වුවත්, ලොකුවටම සිදු වුනේ 2025 වර්ෂය තුළයි.

පසුගිය 2025 වසර තුළ, වාණිජ බැංකු වල දේශීය ශාඛා වලින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,560.2 සිට රුපියල් බිලියන 9,630.4 දක්වා 27.4%කින් වර්ධනය වී තිබෙනවා. රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවන ඉතාම විශාල මුදල් ප්‍රමාණයක්. ඩොලර් වලට හැරෙවුවොත් ඩොලර් බිලියන 7.5ක් පමණ. නමුත් ඩොලර් සැපයුම වැඩි වෙලා තියෙන්නේ බිලියන 2.5ක් වගේ ගණනකින්. 

රටේ මුදල් සැපයුම වැඩි වූ පමණින් ඒ තරමට විදේශ විණිමය ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. ආර්ථික වර්ධනය නිසා දේශීය නිෂ්පාදනයත් ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් 5%කින් වර්ධනය වුනොත්, එතැන ඩොලර් බිලියන 5ක පමණ අතිරික්ත නිෂ්පාදිතයක් තිබෙනවා. නමුත් එයින් කොටසක් අපනයන ලෙස රටෙන් එළියට යන නිසා, ආනයන ඉල්ලුමේ ඉහළ යාමක් වෙනවා. ඒ එක්ක ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. 

මේ විදිහට මුදල් සැපයුම ඉහළ යාම නිසා විදේශ විණිමය ඉල්ලුම ඉහළ ගියත්, මහ බැංකුව මැදිහත් වී විදේශ විණිමය සැපයුම පාලනය කරන නිසා, ආනයන ඕනෑවට වඩා වැඩි වෙලා නැහැ. නමුත් ආනයන ඉල්ලුම තිබෙන නිසා ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙනවා. මෙය පාලනය කරන්නනම් එක්කෝ ඩොලරයක මිල වැඩි වෙන්න ඉඩ අරින්න වෙනවා. එවිට මිල වැඩි නිසා ආනයන ඉල්ලුම සීමා වෙනවා. එහෙම නැත්නම් මුදල් සැපයුම පාලනය කරන්න වෙනවා. දැනට මහ බැංකුව විසින් කරන්නේ පළමුවැන්න.

ආර්ථික අර්බුදයට පෙර කාලය තුළනම් මුදල් සැපයුම පාලනය කිරීම සඳහා කළ යුතුව තිබුනේ රාජ්‍ය අංශයේ ණය වර්ධනය පාලනය කරන එක. නමුත් දැන් ඒ ප්‍රශ්නය නැහැ, මුදල් සැපයුම වර්ධනය වෙන්න තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය සීමා කිරීම සඳහා මහ බැංකුව විසින් කළ යුත්තේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය පාලනය කරන එකයි.

මහ බැංකුව විසින් තවමත් මේ වැඩේ නොකරන්නේ ඇයි?

මෙයට සරල හේතුව මහ බැංකුවට රජය විසින් ලබා දී තිබෙන 5% උද්ධමන ඉලක්කය. උද්ධමනය තවමත් තිබෙන්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක නිසා, මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි වෙන්න ඉඩ හරිමින් උද්ධමනය "හදමින්" සිටිනවා. මහ බැංකුවට තව කොපමණ කාලයක් මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

මුදල් සැපයුම වැඩි වුනත් ඊට අනුරූපව නිෂ්පාදනය වැඩි වන තුරු උද්ධමනය ප්‍රශ්නයක් වන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය තවමත් තිබෙන්නේ 2018 පැවති මට්ටමට වඩා පහළින්. ආර්ථිකය වර්ධනය වෙනවා කියා කිවුවත් ඇත්තටම වෙන්නේ කලින් හිටපු මට්ටම දක්වා පැමිණෙමින් සිටීම. එය ආර්ථිකයේ විභවය වර්ධනය වීමක් නෙමෙයි.

ආර්ථිකයේ නිෂ්පාදන ධාරීතාව තියෙද්දී ඉල්ලුම අඩු වීම නිසා නිෂ්පාදනය සීමා වී ඇති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම වැඩි කිරීම මගින් ඉල්ලුම උත්තේජනය කර සැපයුම වැඩි කරන්න පුළුවන්. දැනට ඒ වැඩේ වෙනවා. නමුත් මේ වැඩේ දිගටම කරන්න බැහැ. ආර්ථිකය 2018 මට්ටමට ආවට පස්සේ, මුදල් සැපයුම වැඩි වූ පමණින් ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒ නිසා, මුදල් සැපයුමේ වැඩි වීම උද්ධමනය බවට පත් වෙනවා. ඒ එක්කම විණිමය අනුපාතය මත පීඩනයද ඉහළ යන්න පටන් ගන්නවා. 

මගේ අදහස මේ වෙද්දී මුදල් සැපයුම සහ දේශීය ඉල්ලුම ඒ මට්ටම කිට්ටුවට ඇවිත් කියන එකයි. ප්‍රස්ථාරයේ පෞද්ගලික ණය වර්ධනය ආර්ථික අර්බුදයට පෙර වර්ධනය වූ වේගයෙන් දිගටම වර්ධනය වුනානම් වර්ධනය විය යුතු මට්ටම දක්වාම මේ වෙද්දී වර්ධනය වෙලා ඉවරයි. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමා කරන එක ගැන මහ බැංකුව දැන් සිටම හිතුවේ නැත්නම් පසුව එය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනවා. 

පසුගිය අවුරුද්ද ඇතුළත පුළුල් මුදල් සැපයුම 11.5%කින් වර්ධනය වී තිබෙනවා. ආර්ථික වර්ධනය 5% ලෙස සැලකුවොත්, 5%ක උද්ධමනයක් තියාගන්න 10%ක වර්ධනයක් ප්‍රමාණවත්. 11.5% ඊට වඩා වැඩි වර්ධනයක්. ඒ වගේම, පෞද්ගලික අංශයේ ණය 27.4%කින් වර්ධනය වෙද්දී පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 11.5%කට සීමා වී තිබීමත් රජය සහ මහ බැංකුව විසින් අවධානය යොමු කළ යුතු කරුණක්. රාජ්‍යමූල්‍ය කළමනාකරණය තුළ දිගටම දැනට පවතින තත්ත්වය තියාගන්න පුලුවන්නම්, පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණවත් තරමින් වර්ධනය වීම සඳහා 5%ක උද්ධමන ඉලක්කයක් අවශ්‍යවන්නේ නැහැ. එම ඉලක්කය 4% දක්වාවත් අඩු කළ යුතුයි කියලා මම යෝජනා කරන්නේ ඒ නිසා. එහෙම අඩු කළා කියලා ආර්ථික වර්ධනයට හානියක් වෙන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය පුළුල් මුදල් සැපයුම 11.5%කින් වර්ධනය වෙද්දී උද්ධමනය 2.1% මට්ටමේ තිබුණේ කොහොමද කියන එක. මෙහිදී මතක තබාගත යුතු කරුණ වන්නේ 2.1% කියන්නේ පාරිභෝගික භාණ්ඩ හා අදාළ උද්ධමනය කියන එක. මුදල් සැපයුම වැඩි වෙද්දී පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලුම වගේම ආයෝජන ඉල්ලුමද ඉහළ යනවා. කොළඹ කොටස් මිල දර්ශකය දිහා බැලුවොත් පසුගිය වසර තුළ 41.9%ක පමණ වැඩි වීමක් පේන්න තිබෙනවා. මේ විදිහට පේන්න තියෙන්නේ වැඩි වුනු මුදල් සැපයුමේ බලපෑම.

අවසාන ආණ්ඩු මාරුවෙන් පසුවද බදු අඩු කිරීමක් සිදු වුනා. එයින් රාජ්‍ය අයවැයට සිදු වූ බලපෑම ඒ තරම් විශාල නැතත්, අදාළ ආදායම් කාණ්ඩයට පෞද්ගලිකව එහි සැලකිය යුතු ඉතිරියක් තිබෙනවා. ආනයන ඉල්ලුම එන්නේත් බොහෝ දුරට මේ පිරිසගෙන්. ඒ වගේම, එම කාණ්ඩය තුළ ඉන්නේ ආර්ථික අර්බුද සමය තුළ වුවද, මූලික අවශ්‍යතා සීමා කරන්න සිදු වූ පිරිසක් නෙමෙයි.

මුදල් සැපයුම ඉහළ යාම, පොලී අනුපාතික අඩු වීම සහ බදු අඩු වීම හේතුවෙන් රටේ මධ්‍යම පාන්තිකයින්, විශේෂයෙන්ම ඉහළ මධ්‍යම පාන්තිකයින් අතේ මුදල් සංසරණය ඉහළ ගොස් තිබෙනවා. නමුත් ඊට සාපේක්ෂව පහළ මධ්‍යම පාන්තිකයින් සහ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වල ලොකු වැඩි වීමක් පසුගිය වසර තුළ සිදු වී නැහැ. 

ඉහත පළමු කාණ්ඩය කොහොමටත් මූලික අවශ්‍යතා සීමා කළ පිරිසක් නොවන නිසා ඔවුන්ගේ අතට වැඩිපුර මුදල් ආවා කියලා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. අනෙක් අතට පහළ ස්ථර වල ආදායම් ලොකුවට වැඩි වෙලා නැහැ. ඒ නිසා පාරිභෝගික මිල දර්ශක මගින් මනින උද්ධමනය සීමා වෙලා තිබෙනවා. ආර්ථිකයට එකතු කළ අමතර මුදල් කොටස් වෙළඳපොළ වැනි තැන් වලට යනවා. 

මේ තත්ත්වය බටහිර රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයේ ඉන්න විට තත්ත්වයට තරමක් සමානයි. බටහිර රටවල දක්ෂිණාංශික ආණ්ඩු සාමාන්‍යයෙන් කරන්නේ සුබසාධන වියදම් සීමා කරලා, ආදායම් බදු සීමා කරලා, සමාගම් වලට වැඩියෙන් මුදල් ගලා යන්න ඉඩ සලස්වන එක. එහිදී පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම ඉහළ නොයන නිසා උද්ධමනයක් පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට කොටස් මිල ගණන් ඉහළ යනවා. 2008 ආර්ථික අර්බුදයෙන් පසුව ඇමරිකාව විශාල වශයෙන් මුදල් සැපයුම වැඩි කළත් උද්ධමනය ප්‍රශ්නයක් නොවුනේ ඒ නිසා.

කෝවිට් වලින් පසුව ඇමරිකාවේ වුනේ මෙහි අනෙක් පැත්ත. ඒ අවස්ථාවේදී බයිඩන් ආණ්ඩුව විසින් සෘජුව අඩු ආදායම්ලාභීන්ට හා පහළ මධ්‍යම පාන්තිකයින්ට මුදල් දුන්නා. ඒ අය ඒ මුදල් වියදම් කළා. පාරිභෝගික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ ගිහින් මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ ගියා. ලංකාවේ වත්මන් ආණ්ඩුව දැනට කටයුතු කරන විදිහ අනුව දිත්වා ආධාර නිසා වුනත් ඒ වගේ බලපෑමක් ඇති වෙයි කියා හිතන්න අමාරුයි. පහළ ස්ථර වලට ලොකුවට දිත්වා ආධාර ගලායාමක් පෙනෙන්න නැහැ.

මේ දක්වා ප්‍රවණතා දෙස බැලුවොත් කොටස් වෙළඳපොළට අරමුදල් ගලා එන එක හොඳයි. නමුත් කොටස් වෙළඳපොල ආයෝජන කියන්නේ මූල්‍ය ආයෝජන මිසක් මූර්ත ආයෝජන නොවන නිසා ඒ ආයෝජන වලින් අනිවාර්යයෙන්ම ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ IPO හරහා කෙළින්ම සමාගම් වලට යන සල්ලි වලින් පමණයි. ඒ නිසා, මේ කොටස් වෙළඳපොළ වර්ධනය ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. මිල වැඩි වෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම නිසා. සමපේක්ෂණ ඉල්ලුම දිගටම පවතින්නේ නැහැ.

ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයකට පසුව ගොඩ යමින් සිටින නිසා සමාගම් වල අපේක්ෂිත අනාගත ලාභ ඉහළ යාමක් තිබෙනවා වගේම කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ යාම තුළින් එය නිරූපණය වීමක් සිදු වෙනවා. ඒ සීමාව දක්වා මේ වර්ධනය හොඳයි. නමුත් එතැනින් එහාට ගියොත් වෙන්නේ බුබුලක් හැදෙන එක. බුබුළු කඩා වැටෙනවා. තවම එවැනි තත්ත්වයක් ඇති වී නැතත් මුදල් සැපයුම පාලනය කළේ නැත්නම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

මුදල් සැපයුම වර්ධනය වෙන්න ඉඩ හැරීම මගින් ඉදිරි වසර පහක කාලය ඇතුළත රටේ ආර්ථිකය තිරසාර ලෙස තවත් අමතර 10%කින් පමණවත් ප්‍රසාරණය කර ගැනීම සඳහා තිබුණු අවස්ථාවක් මේ ආණ්ඩුව විසින් නැති කරගත්තා. කරපු පළමු හා ප්‍රධානම වැරැද්ද ඉඩම් වෙළඳපොළ නිදහස් කිරීම හා අදාළ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම. ඒ ගැනනම් කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ තඹුත්තේගම මානසිකත්වය කියලා. දෙවන හානිය ගෙවල් කුලී පණත. ඒ පනතේ සමහර කොටස්නම් සාධනීයයි. නමුත් ආයෝජකයින්ගේ පැත්තෙන් බලද්දී හානිය වඩා වැඩියි.

මේ වෙද්දී කොටස් වෙළඳපොලට අවශෝෂණය කර ගත හැකි මුදල් ප්‍රමාණය සංතෘප්ත මට්ටම දක්වා පැමිණෙමින් තිබෙනවා. ඉඩම් හා නිවාස වෙළඳපොළ මීට වඩා නිදහස්ව තිබුණානම් තවත් ලොකු පිම්මක් පනින්න තිබුණත්, එය අවහිර වී තිබෙන නිසා ඉතා ඉක්මණින්ම මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් ආර්ථිකය ප්‍රසාරණය කළ හැකි උපරිම සීමාව වෙත ආර්ථිකය ලඟා වෙනවා.

මේ සංතෘප්ත තත්ත්වය ඇති වන තුරු, බොහෝ විට 2026 අවුරුද්ද තුළද, මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන් වෙයි. නමුත් මෙය කළ හැක්කේ ආර්ථිකය නැවත 2018 මට්ටම දක්වා පැමිණෙන තුරු පමණයි. ඒ සීමාවේදී මුදල් සැපයුම තව දුරටත් වර්ධනය වීම වලක්වා ගැනීම සඳහා මහ බැංකුවට ආර්ථික වර්ධනය අමතක කර නැවතත් මුදල් ප්‍රතිපත්ති දැඩි කරන්න සිදු වෙයි. එවැන්නක් නොකර ඩොලරයක මිල ඉහළ යාම පාලනය කළ හැකි වන්නේ නැහැ.

Tuesday, May 7, 2024

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!


මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තොරතුරු එළිදරවු වීමෙන් පසුව විණිමය වෙළඳපොළෙහි ඇති වූ කම්පනය ඉතා ඉක්මණින්ම සමනය වී ඇති බව දැකිය හැකියි. මේ හා අදාළව ඇති විය හැකි නරකම තත්ත්වය දැන් රහසක් නෙමෙයි. එම නරකම තත්ත්වය වුවද එතරම් නරක තත්ත්වයක් නෙමෙයි. 

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ ස්ථාවර වී ඇති අතර සංචාරක කර්මාන්තයේ ආදායම් වල සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකියි.  වාහන ආනයන සිදු නොවෙන පසුබිමක වුවද, ඉහත සඳහන් මාර්ග දෙක හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රවාහ වලට සාපේක්ෂව ආනයන ඉල්ලුම විශාල මට්ටමක නැහැ. එම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින්, රුපියල "ඕනෑවට වඩා" ශක්තිමත් වීම පාලනය කරමින් සිටිනවා. 

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ගැන වසර නවයක කාලයක් තිස්සේ අප මෙම වියුණුව හරහා පැහැදිලි කිරීම් හා විග්‍රහ කිරීම් සිදු කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධානම හේතුවක් වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොදී එය පාලනය කරන්නට යාම බවයි. 

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ගෙවුම් ශේෂ අර්බුද පැමිණෙන බව කීවත් වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රශ්නය වූයේ විණිමය අනුපාතය පාලනය කිරීම මගින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමයි. ලංකාවේ දිගින් දිගටම සිදු වූයේ එයයි. විණිමය අනුපාතය පාලනය කිරීම රුපියල දුර්වල මට්ටමක පවත්වා ගත්තේනම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැහැදිලි කළත්, අපේ බොහෝ පාඨකයින් වුවද අප කියූ දෙය තේරුම් ගත්තේ හෝ විශ්වාස කළේ නැහැ. පසුකාලීනව වුවත් බොහෝ දෙනෙකුට තිබුණේ මෙවැනි ප්‍රශ්නයක්.

"ආණ්ඩුව විසින් එක ඩොලරයක් හෝ උපයන්න කිසිම දෙයක් නොකර රුපියල ශක්තිමත් විය හැක්කේ කොහොමද?"

ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවා හෝ කර තිබේද, කළ යුතුද, වගේ දේවල් වඩා දේශපාලනික කරුණු. එසේ කර තිබීම හෝ නොතිබීම වගේම එසේ කළ යුතුද යන්න විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ ද්වීතියික කරුණු ලෙසයි. ඒ කිසිම දෙයක් සිදු නොවුනත්, ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැරිය විට වෙළඳපොළ විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා.

රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබාගත් විට හැමෝටම කෙසේ වෙතත් විණිමය වෙළඳපොළ හැසිරීම ගැන යම් අවබෝධයක් ඇති අයට මෙම තත්ත්වය කොයි වෙලාවක හෝ ආපසු හැරෙන බව පෙනෙනවා. එහි ප්‍රතිඵලය රටට එන විදේශ විණිමය ප්‍රවාහ සීමා වීම සහ රටෙන් යන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යාමයි. ඒ නිසා, රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එය වඩාත් දුර්වල වීමයි.

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ඉලක්ක අනුව මෙම වසර අවසාන වෙද්දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128ක් දක්වා ඉහළ නංවා ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 690ක් පමණයි. පසුගිය මාස දෙක තුළ පැවති තත්ත්වය දිගටම පැවතුණහොත් ජූනි මාසය අවසන් වන විට මේ ඉලක්කයට යා හැකියි. 

මැයි දිනයේදී නිවේදනය කෙරුණේ තේ කර්මාන්තයේ කම්කරුවන්ගේ අවම වැටුපෙහි වැඩි වීමක් සිදු කෙරෙන බවයි. මෙය සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීම දැනටමත් තේ නිෂ්පාදකයින්ගේ කණස්සල්ලට හේතු වී ඇති පසුබිමකයි. රුපියල තව දුරටත් විශාල ලෙස ශක්තිමත් වුවහොත් එය අපනයනකරුවන්ට දරා ගැනීමට අසීරු තත්ත්වයක් විය හැකියි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියර ආසන්නයට පැමිණ ඇත්නම් එය රටේ විදේශ අංශය හා අදාළ ලොකු තීරණ ක්ෂණිකව නොගෙන එතෙක් කල් මරන්නට සාධාරණ හේතුවක්. එය එසේ වුවත්, නොවුවත්, දැනට පවතින වර්ධනයන් තුළ වාහන ආනයනය සඳහා තරමක් කලින් දොර හරින්නට ඉඩකඩ විවෘත වී තිබෙනවා. මෙම අවස්ථාව මැතිවරණ අල්ලස් ලෙස වාහන ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවෙන් නොයොදවා, රටේ ආර්ථික ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන්නේනම් එයින් රජයේ බදු ආදායම්ද වර්ධනය කරගත හැකියි. 

පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. ඒ වගේම, ඒ හරහා ඉහළ යන ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ සමාජ ස්ථර දක්වා විහිදී එම සමාජ ස්ථර වල සිටින්නන් සවිබල ගන්වන්නක්. ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙන ලොරි, කුඩා ලොරි, වෑන් ආදියෙහිද එවැනි ආර්ථික බලපෑමක් තිබෙනවා. 

රටට ලොකු ආර්ථික බලපෑමක් නොමැතිව රටේ විණිමය සංචිත හින්දවීමට පමණක් දායක වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, මිල අධික වාහනයි. බදු රහිතව ආනයනය කරන්නට ඉඩ ලැබුණහොත් හානිය තවත් වැඩියි. 

Sunday, April 21, 2024

ණයහිමියන්ගේ උපාය මාර්ගය


ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි.

අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 83.2

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 81.8

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 83.4

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 87.2

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 84.2

මෙම ඇස්තමේන්තු අවුරුද්දකට කලින්, 2023 මාර්තු වලදී, IMF එක විසින්ම හදා තිබුණු ඇස්තමේන්තු වලට වඩා වැඩියි. පහත තියෙන්නේ එම ඇස්තමේන්තු.

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 75.3

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 76.0

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 78.4

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 81.3

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 85.0

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වෙයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?

ඔය අගය, ඒ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය, IMF එක කියන ඇමරිකානු ඩොලර් බිලියන 84.2 වුනොත්, 28%ක ණය කප්පාදුවක් කරන්න ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කැමතියි. මොකද එහෙම ණය කප්පාදුවක් නොකර ලංකාවට තිරසාර ලෙස ණය ගෙවාගෙන යන්න බැරි නිසා. හැබැයි මේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වුනොත් ලංකාවට ඔය තරම් කප්පාදුවක් නොකළත් ණය ආපහු ගෙවන්න පුළුවන්. ඒ නිසා, කප්පාදුව 7.3%කට සීමා විය යුතුයි. ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන්ගේ තර්කය ඒක.

දැන් ඔය IMF ඇස්තමේන්තුව හරියයි කියලා ලංකාවට හොඳටම විශ්වාසනම් බයක් සැකක් නැතුව ණයහිමියන්ගේ යෝජනාවට කැමති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ණයහිමියන්ගේ ඇස්තමේන්තුව නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

ඔය IMF ඇස්තමේන්තු හදන විට දැනගෙන නොසිටියත් 2023 ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දැන් අපි දන්නවා. එම අගය ඩොලර් මිලියන 84.5ක්. එම අගය IMF එකේ 2023 මාර්තු ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 75.3ට වගේම දෙසැම්බර් ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 83.2ටත් වඩා වැඩියි. ඒ වුනත්, දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96.3ක් තරම්ම වැඩි වෙන්න පුලුවන්ද?

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්න හේතු තුනක් බලපානවා.

1. මූර්ත ආර්ථික වර්ධනය 

2. මිල මට්ටමේ වෙනස් වීම (උද්ධමනය)

2. ඩොලරයක මිල වෙනස් වීම 

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විසින් යෝජනා කරන අලුත් ණය උපකරණ වර්ගයට ආර්ථික වර්ධනය හා බැඳුනු බැඳුම්කර කියන්නේ නැතිව සාර්ව ආර්ථිකය හා බැඳුනු බැඳුම්කර කියන හේතුවත් මේ අනුව පැහැදිලි විය යුතුයි. ආර්ථිකයේ මූර්ත අංශයේ ප්‍රසාරණය නිරූපණය කරන ආර්ථික වර්ධන වේගය ඉහත හේතු තුනෙන් එකක් පමණයි. මිල මට්ටම වැඩි වීම මගින් රටේ මුදල් අංශයේ ප්‍රසාරණය නිරූපණය වෙනවා. ඩොලරයක මිල වෙනස් වීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් වීම හෝ දුර්වල වීම නිරූපණය වෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වෙනස් වීමට රටේ මූර්ත, මුදල් හා විදේශ අංශ තුනේම සිදු වන දේවල් බලපානවා.

පහත තියෙන්නේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව IMF එකේ 2023 මාර්තු පුරෝකථන.

2023 -  (-3.0)

2024 - 1.5

2025 - 2.6

2026 - 3.0

2027 - 3.1

මිල මට්ටමේ වෙනස් වීම පුරෝකථනය කරලා තිබුණේ මේ විදිහටයි.

2023 -  30.0

2024 - 10.7

2025 - 5.2

2026 - 5.1

2027 - 5.0

මේ අනුව, නාමික ආර්ථික වර්ධන වේගය මේ විදිහට පුරෝකථනය කරලා තිබුණා.

2023 -  26.0

2024 - 12.3

2025 - 8.3

2026 - 8.4

2027 - 8.3

ඩොලරයක මිල පුරෝකථනය කරලා තිබුණේ මෙහෙමයි.

2023 - 396

2024 - 441

2025 - 462

2026 - 484

2027 - 502

ඔය ඇස්තමේන්තු 2023 දෙසැම්බර් වෙද්දී මේ විදිහට වෙනස් වෙනවා. මුලින්ම ආර්ථික වර්ධන වේගය.

2023 -  (-3.6)

2024 - 1.8

2025 - 2.7

2026 - 3.0

2027 - 3.1

ඊළඟට මිල මට්ටමේ වෙනස් වීම.

2023 - 20.4

2024 - 10.1

2025 - 6.3

2026 - 5.4

2027 - 5.3

මේ අනුව, 2023 දෙසැම්බර් වෙද්දී නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු මේ විදිහට වෙනස් වෙලා තිබුණා.

2023 - 16.1

2024 - 12.1

2025 - 9.1

2026 - 8.6

2027 - 8.5

හොඳින් පරීක්ෂා කර බැලුවොත් ආර්ථික වර්ධන ඇස්තමේන්තු තරමක් එහා මෙහා වෙලා තිබුණත් ලොකු වෙනසක් නැහැ. උද්ධමන ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් නැහැ. ඒ නිසා, නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙමනම්, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වුනේ කොහොමද?

මේ වෙනස් වීමට ලොකුවටම බලපා තියෙන්නේ ඩොලරයක මිල පිළිබඳ ඇස්තමේන්තු.

2023 - 334

2024 - 385

2025 - 419

2026 - 446

2027 - 463

දැන් අපි 2023 දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව හරියටම දන්නවනේ. ඔය පුරෝකථන සහ සැබෑ අගයන් කොයි තරම් සමීපද?

ආර්ථික වර්ධන වේගය: (-2.3)

මිල මට්ටම වෙනස් වීම: 17.5

නාමික ආර්ථික වර්ධන වේගය: 14.8

ඩොලරයක මිල: 327

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය: 84.5

නාමික ආර්ථික වර්ධන වේගය දෙසැම්බර් ඇස්තමේන්තුවට වඩා තරමක් අඩු වෙලා වුනත්, ඩොලරයක මිල ඇස්තමේන්තුවට වඩා අඩු වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය තරමක් වැඩි වෙලා තිබෙනවා. 

දැන් මේ අගය IMF ඇස්තමේන්තු වල විදිහට 2025-2027 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 84.2 මට්ටමේ තියෙයිද? එහෙම නැත්නම් බැඳුම්කර හිමියෝ හිතන විදිහට ඩොලර් බිලියන 96.3 මට්ටමට යයිද? 

මෙය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඩොලරයක මිල වෙනස් වීම මතයි. මුලින් IMF එක විසින් ඇස්තමේන්තු කර තිබුණු විදිහට 2027දී ඩොලරයක මිල රුපියල් 502ක් නොවුනත්, සංශෝධිත ඇස්තමේන්තු වල විදිහට රුපියල් 463 මට්ටමට යයිද? 

මේ අවුරුද්දේ මාස තුනහමාරක් යද්දී ඩොලරයක මිල රුපියල් 300 මට්ටමට බැහැලා. එහෙමනම් මේ අවුරුද්දේ සාමාන්‍ය අගය රුපියල් 385 දක්වා යයිද? ඩොලරයක මිල මේ අවුරුද්දේ ඒ තරම් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඒ වගේම, උද්ධමනය දැනටමත් 5% මට්ටමේ ස්ථාවර වෙලා. මහ බැංකුවට උද්ධමනය ඒ මට්ටමේ තියා ගැනීමට දැන් නීතිමය වගකීමක් තියෙනවා.

අපි හිතමු උද්ධමනය දිගටම 5% මට්ටමේ තිබිලා ආර්ථික වර්ධන වේගය IMF දෙසැම්බර් පුරෝකථන වලට කිට්ටුවෙන් යයි කියලා. එහෙම වෙද්දී ඩොලරයක මිල පහත ආකාරයෙන් වෙනස් වුනා කියලා හිතමු.

2024 - 320

2025 - 335

2026 - 360

2027 - 390

ඔය වගේ තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ මෙහෙමයි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 84.5

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 92.3

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 95.1

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 95.7

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 98.1

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 96.3

ඒ කියන්නේ ඩොලරයක මිල ඉහත ආකාරයෙන් වෙනස් වුනොත් ණයහිමියන්ගේ ඇස්තමේන්තුව පහසුවෙන්ම හරියන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙයිද?

මෙය තීරණය වෙන්නේ ඉදිරි වසර වලදී රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ මත. එම විදේශ විණිමය ප්‍රවාහ යහපත් මට්ටමක තිබුණොත් ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලරයක මිල IMF පුරෝකථන වල මට්ටමට ඉහළ යන්න පුළුවන්.

ඉදිරි වසර වලදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ ආර්ථික වර්ධනය අනුව හෝ උද්ධමනය අනුව නෙමෙයි. ඒවා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. මේ අගය ලොකුවට වෙනස් විය හැක්කේ ඩොලරයක මිල වෙනස් වීම අනුවයි. එය සිදු වන්නේ රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ අනුවයි. 

ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ. ඒ අය ඔය තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩි වුනොත් වැඩියෙන් ණය ආපසු ගෙවිය යුතුයි කියා කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඉදිරි වසර වලදී රටට වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ ගලා ආවොත් ඒ විදේශ විණිමය යොදාගෙන ඔවුන්ගේ ණය වලින් වඩා වැඩි කොටසක් ගෙවන්න කියන එකයි. 

එහෙම වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ රටට ගලා ආවේ නැත්නම් ඔවුන්ට කොහොමටවත්ම තමන්ගේ ණය වලින් ලොකු කොටසක් ආපහු ගන්න බැහැ. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අඩුනම් වැඩි ණය කප්පාදුවකට ඔවුන් නොපැකිල කැමති වෙන්නේ ඒ නිසා.

Friday, March 29, 2024

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!


පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. 

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. 

ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි. 

මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?

පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.

විදේශ විණිමය ලැබීම්:

භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911

සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416

ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989

ආදායම් එකතුව = 23,779


විදේශ විණිමය ගෙවීම්:

භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811

සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012

ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027

විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371

වියදම් එකතුව = 22,221


රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559


මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ. 

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්. 

මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. 

පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?

ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.

රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා. 

වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා. 

Wednesday, March 20, 2024

ඩොලරය බහින එක හොඳද?


මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්.

ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස සලකනවා. ඩොලරයක මිල ඉහළ යද්දී එය ආර්ථිකයේ කඩා වැටීමක් විදිහටත්, මිල අඩු වෙද්දී එය ආර්ථිකය ස්ථායී වීමක් විදිහටත් දකිනවා. ලංකාවේ දේශපාලනයේ දිශානතිය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි, ආනයන පරිභෝජනය මත ජීවිතයේ සන්තුෂ්ඨිය රඳවා ගත්, ලංකාවේ ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ ආර්ථික අභිලාෂ එක්ක මේ සිතීම සමපාත වෙනවා. 

මේ විදිහට ඩොලරයක මිල "කඩා වැටීම" ඇත්තටම හොඳද? 

ඉහත ප්‍රස්ථාරය දිහා බැලූ විට "කඩා වැටීම" කියන වචනය යොදා ගැනීමේ ලොකු වැරැද්දක් පේන්න නැහැ. මිල පහත යන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මේ දවස් වල ලංකාවේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සැලකිය යුතු තරම් වැඩියි.

පෙර ලිපියකද විස්තර කළ පරිදි මීට හේතුව ණය නොගෙවීම නෙමෙයි. ණය ගෙවපු කාල වකවානු වල, හැම විටම මෙන්, ණය ගෙවුවේ අලුතෙන් තව ණය අරගෙනයි. ඒ නිසා, ණය නොගෙවනවා කියන එක ඒ තරම් බරක් තැබිය යුතු නැති තර්කයක්. සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙන පරිදි, මේ දවස් වල ලංකාව උපයන ඩොලර් ප්‍රමාණය වැය කරන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියි. 

වාහන ආනයන වලට තවමත් ඉඩ දී නැති බව ඇත්ත. නමුත්, වඩා වැදගත් කරුණ මහ බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආනයන ඉල්ලුම සීමා කර තිබීමයි. වාහන හැර අනෙකුත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ඒ නිසා. අපනයන ආදායම් හා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ඇතුළත් සේවා ආදායම් වලට ශ්‍රමික ප්‍රේෂණ එකතු වූ විට සෑම මාසයකදීම ආනයන වියදමට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. 

මේ වගේ වෙනසක් එක්ක විදේශ විණිමය වෙළඳපොළ තුලනය වෙද්දී ඩොලරයක මිල දවසෙන් දවස බහිනවා. එය නවතින්නේ ආනයන ඉල්ලුම ඩොලර් සැපයුමේ මට්ටමට ඉහළ ගිය විටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශද එක්ක මහ බැංකුව ඉන්නේ පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තියක. ඒ අනුව, ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කලින් නිශ්චය කර තිබෙන මට්ටමක් දක්වා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නවා. ඩොලරයක මිල මේ විදිහට කඩා වැටෙන්නේ එසේ කරද්දී. මහ බැංකුවේ මැදිහත් වීම් නොවන්නට මේ වෙද්දී ඩොලරයක මිල මීට වඩා ගොඩක් අඩුවෙලා. 

ඩොලරයක මිල අඩු වීමේ වාසි වගේම අවාසිත් තිබෙනවා. මෙයින් පාඩු ලබන ප්‍රධානම පාර්ශ්වය අපනයනකරුවෝ. ඩොලරයක මිල ඉහළ යද්දී තේ වගාකරුවන් වැනි අයගේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුනා. මීට සාපේක්ෂව කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප්ද වැඩි වුනා. දැන් තේ ආදායම් ලෙස ලැබෙන මුදල අඩු වෙද්දී ශ්‍රමිකයින්ට ගෙවිය යුතු මිල අනුපාතිකව අඩු වෙන්නේ නැහැ. 

කොහොම වුනත්, මම හිතන විදිහට, ශ්‍රමික වැටුප් ඩොලරයක මිල ඉහළ ගිය තරමටම වැඩි වී නැති නිසා ඩොලරයක මිලේ යම් අඩුවීමක් දරා ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මේ සීමාව ගැන මට අදහසක් නැති වුනත්, ඩොලරයක මිල දිගටම පහළ වැටෙද්දී එය කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන බවනම් පැහැදිලියි. මෙය අනෙකුත් අපනයන කර්මාන්ත වලටත් අඩු වැඩි වශයෙන් අදාළයි.

ඩොලරයක මිල පහත වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයට ලැබෙන රුපියල් ප්‍රමාණයද අඩු වෙනවා. එය ඔවුන්ට අවාසියක්. ලැබෙන මුදලෙන් තමන්ගේ වියදම තියාගෙන වැඩි කොටස කොහොමටත් ලංකාවට එවන අයට ඩොලරයක මිල කීය වුනත් එවන මුදල වැඩි කරන්න බැහැ.

ලංකාවට ප්‍රේෂණ එවන ගොඩක් අය ඔය වගේ අය වුනත් හැමෝම ඔය කාණ්ඩයේ අය නෙමෙයි. කාලයක් තිස්සේ ඇමරිකාවේ පදිංචිව සිටින මම දන්නා ගොඩක් අය ලංකාවට මාස්පතා සල්ලි යවනවා. ඒ විදිහට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටම නෙමෙයි. උදාහරණයක් ලෙස ගොඩක් අය ලංකාවේ තෝරාගත් පාසැල් සිසුන්ට හා සරසවි සිසුන්ට උදවු කරනවා. එහිදී ඔවුන් කරන්නේ මාස්පතා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් යවන එක නිසා ඩොලරයක මිල අඩු වෙද්දී වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට යවන්න වෙනවා. මේ වගේ ප්‍රේෂණ හා අදාළව ඩොලරයක මිල අඩුවීම කෙටිකාලීනව ලංකාවට වාසිදායකයි. 

සංචාරක ලැබීම් සැලකුවොත් ගොඩක් වෙලාවට සංචාරකයින්ගෙන් අය කරන්නේ රුපියල් වලින්. ගාස්තු ඩොලර් වලින් කිවුවත් ඩොලර් වලට හරවන්නේ රුපියල් ගණන නිසා ඔවුන් ගෙවන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල අඩු වෙද්දී සංචාරක ලැබීම් ලෙස රටට එන විදේශ විණිමයද ඉහළ යනවා. අඩු වශයෙන් කෙටිකාලීනව. 

ඩොලරයක මිල අඩු වෙද්දී, අඩු වශයෙන් කෙටිකාලීනව, ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ යන නිසා, අපනයන වල යම් අඩුවක් වුනත් එය පහසුවෙන්ම නිශේධනය වෙනවා. දිගුකාලීනව විය හැකි බලපෑම් වෙනම කතාවක්. නමුත්, ප්‍රශ්නය අනෙක් අතට ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානමයි.

මහ බැංකුව විසින් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානම පාලනය කර තිබෙන්නේ මුදල් සැපයුම පාලනය කිරීම හරහා. කොහොමටත් යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ මුදල් සැපයුම වැඩි කළ හැක්කේ යම් සීමාවන් තුළ පමණයි. 

ඩොලරයක මිල පහළ යද්දී ආනයන වඩා ආකර්ශනීය වීම ඉතාම පැහැදිලි කරුණක් වුනත් ඒ වෙනුවෙන් වැය කිරීම සඳහා ඩොලර් මිල දී ගන්න රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා, රුපියල් සැපයුමේ ප්‍රසාරණය සීමා වෙද්දී ආනයනද පාලනය වෙනවා. කොහොම වුනත්, ඩොලරයක මිල "කඩා වැටීමේ" ප්‍රශ්න තියෙනවනේ. මහ බැංකුවට මැදිහත්වීම් වැඩි කරලා මේ කඩා වැටීම නවත්වන්න බැරිද?

පුළුවන්. නමුත් එහෙම කරද්දී රටේ රුපියල් සැපයුම ඉහළ යනවා. මොකද ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. වෙනත් වචන වලින් කිවුවොත් යම් සීමාවකින් එහාට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නනම් සල්ලි අච්චු ගහන්න වෙනවා.

සල්ලි අච්චු ගහන්නෙත් නැතුව වෙළදපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?

එහෙම ක්‍රමයකුත් තියෙනවා. මහ බැංකුව දැන් බොහෝ දුරට අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඩොලර් මිල දී ගනිද්දී එළියට යන රුපියල් ප්‍රමාණය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණලා නැවත ආපසු ලබා ගන්න පුළුවන්. එවිට වෙළඳපොළේ රුපියල් ප්‍රමාණය වැඩි නොකර ඩොලර් ටිකත් එකතු කර ගන්න පුළුවන්.

එහෙමනම් ඔය වැඩේ නොකරන්නේ ඇයි?

මේ වෙද්දී රජය ප්‍රාථමික අයවැය හිඟය තුලනය කරගෙන තිබෙනවා. ඒ නිසා, රජයේ වියදමට අලුතෙන් ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම, දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයම නැවත අලුත් කරනවා මිස වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ස්ථාවරව තිබෙනවා.

එසේ වුවත්, දැනට නිකුත් කර තිබෙන රාජ්‍ය සුරැකුම්පත් වලින් විශාල කොටසක් තියෙන්නේ මහ බැංකුව සතුවයි. මහ බැංකුව ඒ රාජ්‍ය සුරැකුම්පත් එළියට දමද්දී වෙළඳපොළේ තිබෙන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ ගිහින් ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. රජය අලුතෙන් සුරැකුම්පත් නිකුත් කරද්දී වෙන දෙයමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොලී අනුපාතික ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට බාධාවක්.

බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් වැඩි වැඩියෙන් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරද්දී පෞද්ගලික අංශයට ණය සේ ලබා දිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ආර්ථික වර්ධනයට බාධා වෙන්නේ ඒ නිසා. පෞද්ගලික අංශයට දෙන ණය ඕනෑවට වඩා ඉහළ ගියොත් ආනයන ඉල්ලුම සීමාව පනින නිසා ඒකත් ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික වර්ධනය සඳහා මෙම ණය වල යම් වර්ධනයක් අවශ්‍යයි. මේ සියල්ල තුලනය කර ගන්න එක සීරුමාරුවට කළ යුතු සංකීර්ණ වැඩක්.

ඉහත විස්තර කළ පරිදි, මහ බැංකුව උත්සාහ කරන්නේ විනිමය අනුපාතය හා පොලී අනුපාතික යන දෙකම එකවර පාලනය කරන්නයි. මූලධර්මයක් විදිහටම ඔය දෙකම එකවර පූර්ණ වශයෙන් පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය අවශ්‍ය විදිහට පාලනය කරන්නම් පොලී අනුපාතික නිදහස් කරන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අමතක කරන්න වෙනවා. පොලී අනුපාතික අවශ්‍ය විදිහට පාලනය කරන්නනම් විණිමය අනුපාතය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න වෙනවා. මහ බැංකුව දැනට උත්සාහ කරන්නේ ඔය දෙකම යම් තරමකින් නිදහස් කර සහ යම් තරමකින් පාලනය කර උද්ධමන ඉලක්ක හා ආර්ථික වර්ධනය අතර තුලනයක් පවත්වා ගන්නයි.

මැදිකාලීනව මහ බැංකුවට විදේශ සංචිත සැලකිය යුතු ලෙස වැඩි කරගන්න සිදු වෙනවා. ඒ වගේම, දැනට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කන්දරාවෙන් නිදහස් වෙන්නත් වෙනවා. මේ දෙක එකවර කරද්දී විණිමය අනුපාතය ඉහළට තෙරපෙනවා වගේම පොලී අනුපාතිකත් ඉහළට තෙරපෙනවා. පළමුවැන්න ආර්ථික වර්ධනයට නරක නැතත් දෙවැන්න ආර්ථික වර්ධනයට හානිකරයි. ඒ නිසා, මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් එළියට දමමින් සිටින්නේ එයින් පොලී අනුපාතික මත වන පීඩනයද කළමනාකරණය කරමිනුයි. මේ වැඩේ කරන නිසා, මහ බැංකුවට මිල දී ගත හැකි විදේශ විණිමය ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා, ඩොලරය බහිනවා. 

Wednesday, December 6, 2023

ඕස්ට්‍රේලියා යන සල්ලි...


ඕස්ට්‍රේලියාව යනු අධ්‍යාපනය විකිණීමෙන් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයන රටක්. 2019 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40,068ක්. යකඩ, ගල් අඟුරු හා ස්වභාවික වායු වලින් පසුව ඕස්ට්‍රේලියාව වැඩිම අපනයන ආදායමක් උපයන්නේ අධ්‍යාපනය විකිණීම මගින්. කෝවිඩ් හේතුවෙන් ඉහත ආදායමේ අඩු වීමක් සිදුව ඇතත්, පසුගිය 2022 වසර තුළද ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදලක් උපයා තිබෙනවා. 

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත අනුව, 2023 ජනවාරි හා සැප්තැම්බර් අතර කාලය තුළ ශිෂ්‍ය වීසා යටතේ ඕස්ට්‍රේලියාව තුළ ඉගෙන ගත් විදේශ සිසුන් ප්‍රමාණය 746,080ක්. ඒ අතරින් වැඩිම පිරිස චීන හා ඉන්දියානු සිසුන්. ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන රටවල් අතරින් මේ වන විට ලංකාව 12 වන තැන දක්වා පැමිණ තිබෙනවා. 2015 වසර වන විට ලංකාව ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන ප්‍රධාන රටවල් 20 අතර නොසිටියත් ඉන් පසුව ලංකාවේ ස්ථානය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන්නේ පහත ආකාරයටයි.

(source: https://www.education.gov.au/international-education-data-and-research/international-student-numbers-country-state-and-territory)

2016 - 19 (සිසුන් 6,871ක්)

2017 - 16 (සිසුන් 8,766ක්)

2018 - 16 (සිසුන් 10,921ක්)

2019 - 13 (සිසුන් 13,440ක්)

2020 - 13 (සිසුන් 13,336ක්)

2021 - 13 (සිසුන් 11,663ක්)

2022 - 14 (සිසුන් 11,864ක්)

2023 - 12 (සිසුන් 15,270ක්)

පසුගිය 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණනු ලැබූ ප්‍රධාන රටවල් දහය පහත තිබෙනවා.

(source: https://www.education.gov.au/international-education-data-and-research/education-export-income-2021-calendar-year)

චීනය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5,972යි 

ඉන්දියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4,408යි 

නේපාලය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2,579යි 

වියට්නාමය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1,176යි 

දකුණු කොරියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 856යි 

මැලේසියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 819යි 

හොංකොං - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 701යි 

පිලිපීනය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 591යි 

කොලොම්බියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 688යි 

තායිලන්තය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 674යි 

ඉහත ප්‍රධාන රටවල් දහය අතර තවමත් ලංකාව නැහැ. කෙසේ වුවත්, මෙම ලැයිස්තුවේ ඊළඟ තැන් කිහිපයෙන් එකක් ලංකාවට හිමිව තිබිය යුතුයි. 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් විදේශ සිසුන්ට අධ්‍යාපනය විකුණා ඉපැයූ මුළු ආදායම වන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදල එම වසරේ විදේශ සිසුන් ගණන වූ 619,371න් බෙදූ විට එක් විදේශ සිසුවෙකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් 42,931ක්. එම මුදල 2023 ශ්‍රී ලාංකික සිසුන් ගණන වන 15,270න් වැඩි කළ විට ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 656ක්. මෙම මුදල අධ්‍යාපන වියදම් ලෙස වසරකට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල පිළිබඳ අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 2022 සිට 2023 දක්වා ඕස්ට්‍රේලියාවේ "අධ්‍යාපන උද්ධමනය" 9.7%ක් ලෙස සැලකූ විට මෙම ඇස්තමේන්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720 දක්වා ඉහළ යනවා.

බොහෝ ශ්‍රී ලාංකිකයින් ස්ථිර පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත යනවා. එසේ යන අයගේ දරුවන්ටද ස්ථිර පදිංචිය හිමි වන නිසා ඔවුන් විසින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වියදම්ද ලංකාවෙන් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. එම මුදලද එකතු කළ විට, අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720ට වඩා වැඩි විය යුතුයි. එනම්, ඇමරිකන් ඩොලර් 472 ඉක්මවිය යුතුයි. 

මීට අමතරව අධ්‍යාපනය හැර වෙනත් කටයුතු සඳහාද සංක්‍රමණිකයින් විසින් මුදල් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. මෙම මුදලට සාපේක්ෂව වසරකට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රේෂණ ලෙස ලංකාවට ලැබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් පමණයි.

තවත් අමතර කරුණක් ලෙස, අධ්‍යාපනය සඳහා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන සිසුන්ගෙන් වැඩිම පිරිසක් යන්නේ වික්ටෝරියා (මෙල්බර්න්) වෙතයි. එම ප්‍රමාණය 9,474ක් වන අතර වික්ටෝරියා වෙත සිසුන් එවන රටවල් අතරින් පස්වන තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි. 

Monday, October 9, 2023

නිල විදේශ සංචිත - සැප්තැම්බර් 2023

 


අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට ඩොලර් මිලියන 3,600 දක්වා පහත වැටුණු නිල විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 3,530 දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි, ඩොලර් මිලියන 200ක බංග්ලාදේශ ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් කලින් මාස වලදී එකතු කරගත් සංචිත යොදාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් වෙළඳපොළෙන් අලුතෙන් සංචිත මිල දී ගැනීමක් සිදු වී නැහැ. ඒ වෙනුවට සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණා දැමීමයි.

ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය ශුද්ධ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) නෙමෙයි. එය පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (managed float). පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී විණිමය අනුපාත වල ස්ථිර වෙනස්වීම් පාලනය නොකෙරෙන නමුත් කෙටිකාලීන විචලනයන් මහ බැංකුව මැදිහත් වී පාලනය කරනවා. නමුත් මෙහිදී මතු වන ප්‍රශ්නය ස්ථිර වෙනස්වීම් හා කෙටිකාලීන විචලනයන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීමයි. ඒ නිසා, මෙහිදී මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තමන්ගේ වෛෂයික රුචිකත්වයන් (subjective preferences) මත පදනම්ව මැදිහත්වීම් කිරීමට (හෝ නොකිරීමට) ඉඩ සැලසෙනවා. ලංකාවේ සන්දර්භයේදී බොහෝ විට ප්‍රතිපත්ති වැරදි සිදුව තිබෙන්නේ මෙම සන්දර්භය තුළයි.


අගෝස්තු මාසය අවසන් වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 330 සීමාව ආසන්නයට ගියා. ඉන් පසුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම වෙනුවට කලින් මිල දී ගත් ඩොලර් විකුණමින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ඇති බව මේ වන විට පැහැදිලියි. පසුගිය දෙමස තුළ ඩොලරයක මිල රුපියල් 320-330 සීමාව තුළ පවත්වා ගැනීමේ උත්සාහයක් පැවති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. මහ බැංකුවට මෙය දිගටම කළ හැකිද?

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, ඩොලර් මිලියන 333ක් පමණ වන අරමුදලේ දෙවන වාරිකය ලබා ගත හැකි වුවද, වසරේ අවසන් මාස තුන තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 568ක විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ නොදී එම ඉලක්කයට යාම පහසු කටයුත්තක් නෙමෙයි. පොලී අනුපාතික පහත වැටෙමින් ඇති පසුබිමක කෙටිකාලීන ආයෝජන පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක්ද නැහැ. යම් හෙයකින් අරමුදලේ දෙවන වාරිකය වසර තුළ නොලැබුනහොත් මෙම ඉලක්කය යා නොහැකි තරම් දුරස්ථ ඉලක්කයක්. 

දැනට පවතින උද්ධමන මට්ටම අනුව, ඩොලරයක මිල යම් තරමකින් ඉහළ ගියද උද්ධමනය විශාල ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත්, ඉන්ධන, විදුලි ගාස්තු ඇතුළු රාජ්‍ය ඒකාධිකාරය තුළ තීරණය වන මිල ගණන් ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වෙනවා. ආණ්ඩුව මැතිවරණ ඉලක්කයක සිටින බව පෙනෙන පසුබිමක ආණ්ඩුවේ කැමැත්ත වනු ඇත්තේ ඩොලරයක මිල හැකි තාක් කාලයක් පහළින් තබා ගැනීමයි. 

ඩොලරයක මිල දැනට පවතින මට්ටමේ තියෙන්නේ ආනයන සීමාවන්ද සමඟයි. එමෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගතහොත් එතැන් සිට දැනට නොගෙවන විදේශ ණය යම් ප්‍රමාණයක්ද ගෙවන්නට සිදු වෙනවා. මේ තත්ත්වයන් හමුවේ ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගැනීමටනම් කවර හෝ ආකාරයකින් ඩොලර් ආදායම් ඉහළ යා යුතුයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ අනාගතය හා අදාළව තිබෙන ප්‍රධාන අවිනිශ්චිතතා දෙකෙන් එකක් වන්නේ රටේ ඩොලර් ආදායම් ඉහළ යා හැකි ආකාරයන් පැහැදිලිව පෙනෙන්නට නොතිබීමයි.

Saturday, July 15, 2023

ජූනි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම්


ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 77.5ක් මිල දී ගෙන ඩොලර් මිලියන 91.0ක් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5ක් විකුණලා. මේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් විකුණන්නේ මාස ගණනාවකට පසුවයි. 

පසුගිය අප්‍රේල් හා මැයි මාස වලදී මහ බැංකුව ඩොලර් විකිණුවේම නැහැ. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එක පමණයි කළේ. ඊට පෙර මාස තුනේදී යම් ඩොලර් ප්‍රමාණයක් විකිණුවත් ඒ ප්‍රමාණය මිල දී ගත් ප්‍රමාණයට වඩා අඩුයි. සුළුවෙන් වුවත්, ජූනි මාසයේදී මේ ප්‍රවණතාව වෙනස් වෙලා. ඒ වගේම, සුළුවෙන් වුනත් නිල සංචිත ප්‍රමාණයත් පහළ ගිහින්.

මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබුණා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබුණා. ජුනි අවසාන වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,659.43 දක්වා අඩු වෙලා. ඒ වගේම, සංචිත ප්‍රමාණයත් ඩොලර් මිලියන 3,491 සිට ඩොලර් මිලියන 3,468 දක්වා අඩු වෙලා.

විණිමය අනුපාතයේ තාවකාලික විචලනයන් සීමා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි මැදිහත් කිරීම් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී මහ බැංකුව මැදිහත් වෙලා විශාල වශයෙන් ඩොලර් මිල දී ගෙන එම පහත වැටීම සීමා කළා. දැන් මිල ඉහළ යද්දී ඒ විදිහට කලින් මිල දී ගත් ඩොලර් වලින් යම් ප්‍රමාණයක් විකුණන එකේ කිසිම වැරැද්දක් නැතත්, මහ බැංකුව විසින් ළඟා කර ගත යුතු විදේශ සංචිත ඉලක්කත් එක්ක මහ බැංකුවට ලොකුවට ඩොලර් විකුණන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල ඉහළ යන එක ලොකුවට පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. දිගින් දිගටම ඔය වැරැද්ද කරන්න ගිහින් අත විතරක් නෙමෙයි සරුවාංගෙම පුච්චගෙන ඒ ගින්නෙන් රටම ගිණි තියපු මහ බැංකුව විසින් නැවතත් එම පරණ වැරැද්දම කරන්න උත්සාහ කරන එකක් නැහැ. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ එහෙම කරන්න පුළුවන් අවකාශයකුත් නැහැ.

පසුගිය දෙසතියක කාලය තුළ ඩොලරයක මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලි ලෙසම දකින්න පුළුවන්. එම කාලය තුළ මහ බැංකුව විසින් සුළු වශයෙන් හෝ ඩොලර් විකිණුවා මිසක් මිල දී ගත්තා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ, බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා කියන එක. මේ හිඟයට කරුණු කීපයක් හේතු වෙන්න පුළුවන්.

පළමුව, ඩොලර් මිලියන 855ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 748ක්ම තිබෙන්නේ දේශීය බැංකු සතුව. දේශීය බැංකු වල විදේශ ශාඛා වලින් රජය විසින් ලබාගත් තවත් ඩොලර් ණය යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ණය වලින් 30%ක් නොලැබී යද්දී බැංකු වල ඩොලර් වත්කම්ද ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වල උදවුවෙන් බැංකු වල ශේෂ පත්‍ර වල මේ විදිහට විදේශ වත්කම් අඩු වෙන එක නොපෙන්වා ඉන්න පුළුවන් වුනත්, එහෙම කළා කියලා කවුරු හරි බැංකුවෙන් ඩොලර් ආපසු ඉල්ලුවාම මතු වන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. ඒ නිසා, අඩුව පුරවා ගන්න බැංකු වලට යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා.

මේ විදිහට කප්පාදුවට ලක්වෙන්නේ බැංකු වල දේශීය ණය පමණක් නෙමෙයි. බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ප්‍රමාණය ඉහත සංවර්ධන බැඳුම්කර ආයෝජන ප්‍රමාණය මෙන් දෙගුණයකට කිට්ටුයි. මේ ඩොලර් වලින් 30%කුත් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අඩුව පුරව ගන්නත් බැංකු වලට සංචිත හදා ගන්න වෙනවා. මේ වැඩේට කොපමණ කාලයක් යයිද කියලා මම හරියටම දන්නේ නැහැ. මාස කිහිපයක් වෙන්න පුළුවන්. කාලය කොපමණ වුනත් අඩුව පිරෙනකම් ඔය ඩොලර් ඉල්ලුම තිබෙනවා.

දෙවනුව, පසුගිය මාස කිහිපය තුළ ඩොලරයක මිල පහත යාම සහ ඉහළ පොලී අනුපාතික නිසා කෙටිකාලීන ආයෝජන විදිහට රටට ඩොලර් ගලා ආවා. දැන් මේ තත්ත්වයන් දෙකම කණපිට හැරිලා නිසා ඒ ආපු ඩොලර් ආපසු යන්න පටන් අරගෙන. ඩොලර් රටට එද්දී මහ බැංකුව විසින් එම ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කරගත් නිසා අවශ්‍ය වූ විටෙක ආපසු විකුණන එකේ ප්‍රශ්නයක් නැතත්, එහෙම කළොත් මහ බැංකුවේ සංචිත ඉලක්ක වලට යන්න අසීරු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගත් ඩොලර් ආපසු විකිණුවේ නැත්නම් ඒ ඩොලර් ටික අඩු වෙන්නේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන ඩොලර් වලින්.

තෙවනුව, තවමත් ආනයන පාලන ඉවත් වෙලා නැහැ. මේ තහනම් කොයි වෙලාවේ හෝ ඉවත් කරන්නම වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම ඉහළ ගිහින් ඩොලරයක මිල වැඩි වෙනවා. මේ වැඩේ කරලා ඉවරයක් කරන තුරු, ඔය දිහා බලාගෙන තීරණ ගන්න අය ඉන්න නිසා, ඩොලර් සැපයුම තරමක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා, මිල ඉහළ යන එකට බයේ ඔය වැඩේ ප්‍රමාද කරනවානම් ඒක මෝඩ වැඩක්. 

ආනයන සීමාවන් ඉවත් කළොත් මිල පොඩ්ඩක් ඉහළ ගිහින් ඊට පස්සේ අළුත් තැනක ස්ථාවර වෙයි. ඔය වැඩේ කරන එක කල් යද්දී ඔය මිල වැඩි වීම දිහා බලාගෙන ඩොලර් සැපයුම්කරුවෝ තමන්ගේ අර්පණයන් ඉහළ දමන එක වලක්වන්න බැහැ. ඒ නිසා, වැඩේ පරක්කු කළත් මිල තෙරපුමෙන් සැලකිය යුතු කොටසක් තිබෙනවා. වැඩේ කරලා අහවර කළානම් ඔය ප්‍රශ්නය ඉවරයි.

සමහර විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු හෝ ලෝක බැංකු සල්ලි ලැබෙන තුරු වැඩේ අදිනවා වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ හේතුවක් තියෙනවානම් පොඩ්ඩක් කල් දැම්මට කමක් නැහැ. නමුත් එහෙම කරන්නත් අවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ලෝක බැංකු සල්ලි සති දෙකකින් හෝ මාසයකින් එනවනම් ඒ එද්දී මිල පහත වැටෙන බව වෙළදපොළ සහභාගීවන්නෝ දන්නවා. ඒ නිසාම, ඊට කලින් වුනත් අර්පණයන් සිදු කරන්නේ ඒ ගැන සලකලා. ඒ නිසා, ඒ අනාගත මිල අඩු වීමේ බලපෑම කළින්ම එනවා. 

Thursday, March 2, 2023

ඩොලරය කඩා වැටීම


ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. අද (මාර්තු 2) අන්තර් බැංකු ඩොලර් වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 353.65යි. වාණිජ බැංකු විසින් ඩොලරයක් වෙනුවෙන් ගෙවන මිල රුපියල් 340 පමණ දක්වා පහත වැටී තිබෙනවා. ඇතැම් වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල ඊටත් අඩුයි. මේ වෙන්නේ කුමක්ද?

ඩොලරයක මිල අඩු වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව බව පහසුවෙන්ම කෙනෙකුට කියන්න පුළුවන්. ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වුවත්, ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ නිදහසේ නොව මහ බැංකුවේ (හා ආණ්ඩුවේ) අවශ්‍යතාවය පරිදියි. ඒ අනුව, මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා ඇතැයි කිවහොත් එය වැරදි නැහැ. 

කාලයක් තිස්සේම මහ බැංකුව විසින් අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මිල විචලනය විය හැකි සීමාව තීරණය කරමින් සිටියා. මගේ මතය නිවැරදිනම්, ආරම්භයේදී මෙම සීමාව වූයේ දෙපැත්තටම රුපියල් 3.60ක්. මෙය ආසන්න වශයෙන් 1%ක විචලනයකට ඉඩ දීමක්. 

එහෙත්, ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යා හැකි සීමාව රුපියකට සීමා කළා. ඒ මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට සංඥා කළේ ඩොලරයක මිල තවත් ඉහළ යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව නොවන බවයි. 

මෙම සංඥාව වාණිජ බැංකු විසින් ග්‍රහණය කර ගැනීමෙන් අනතුරුව වාණිජ බැංකු විසින් ඩොලරයක මිල තවත් වැඩි නොකර, ඒ වෙනුවට ඩොලර් විකිණීම සීමා කර, තම තමන්ගේ ඩොලර් ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කර ගත්තා. හරියටම කිවුවොත් ඩොලර් ලැබෙන ප්‍රමාණයට ඩොලර් විකිණීම සීමා කළා. පසුව මහ බැංකුව විසින් නැවත ඉහත සීමාව රුපියල් 2.60 දක්වා ඉහළ දමනු ලැබුවේ ඩොලරයක මිල රුපියල් 360 ආසන්නව ස්ථාවර වී ඇති බවත්, රුපියල් 2.60 සීමාව දක්වා වුවද මිල ඉහළ නොයන බවත් තහවුරු කර ගැනීමෙන් පසුවයි. මහ බැංකුවේ අපේක්ෂාව පරිදිම විණිමය අනුපාතය තීරණය වුනා.

මගේ ලියවිලි තුළ මා මහ බැංකුවේ ඉහත ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටියා. එසේ පෙනී සිටි හේතුවද මා විසින් නැවත නැවත විස්තර කර තිබෙනවා. පැවති තත්ත්වය තුළ ඩොලරයක මිල ඉහළ ගියේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම මතයි. සමපේක්ෂණය මත මිල ඉහළ යද්දී එය ස්ථාවර විය හැකි සෛද්ධාන්තික සීමාවක් නැහැ. ඒ නිසා, මිල ඉහළ යන්නට ඉඩ දීමෙන් රටේ ආර්ථිකය තවතවත් අස්ථාවර වනු මිස ස්ථාවර වීමක් සිදු වන්නේ නැහැ. ඒ විදිහට දිගින් දිගටම ඩොලරයක මිල ඉහළ ගියේනම් එය කෙළවර විය හැකිව තිබුණේ රුපියල කිසිදු වටිනාකමක් නැති මුදල් ඒකකයක් බවට පත් වීමෙන් පසුවයි.

ගෙවුණු සඳුදා දිනයේ (පෙබරවාරි 27) මහ බැංකුව විසින් ඩොලරයක මිල මත වූ රුපියල් 2.60 විචලන සීමාව රුපියල් 5.00 දක්වා වැඩි කළා. ඒ, ඊට සමාන්තරව, වාණිජ බැංකු වලට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් අනිවාර්යයෙන්ම මහ බැංකුව වෙත විකිණිය යුතු බවට වූ නියමයද 15% දක්වා ලිහිල් කරන අතරයි. මේ හරහා වාණිජ බැංකු වල ඩොලර් ද්‍රවශීලතාව සැලකිය යුතු ලෙස ඉහළ දමන අතරයි. අද වන විට එම සීමාව රුපියල් 7.50 දක්වා ඉහළ දමා තිබෙනවා. 

මේ තරම් කෙටි කාලාන්තරයක් තුළ ඉහත සීමාව පුළුල් කිරීම මගින් මහ බැංකුව අපේක්ෂා කරන්නේ කුමක්ද? පවතින වෙළඳපොළ තත්ත්වයන් තුළ ඩොලරයක මිල පහත යාමේ ඉඩක් මිස ඉහළ යාමේ ඉඩක් නැහැ. ඒ අනුව, රුපියල් 7.50 ඉහළ සීමාවෙහි තව දුරටත් තේරුමක් නැහැ. පවතින වෙළඳපොළ තුළ අදාළ වන්නේ පහළ සීමාවයි. ඉහළ සීමාව වැඩි කිරීම පහළ සීමාව වැඩි කිරීම සඳහා යොදාගෙන තිබෙන ආවරණයක් පමණයි.

ඩොලරයක මිල දිනක් තුළ පහළ හා හැකි උපරිම සීමාව රුපියල් 7.50 දක්වා වැඩි කිරීම මගින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත පැහැදිලි ලෙසම සංඥා කර තිබෙන්නේ ඩොලරයක මිල පහත යනු දැකීම මහ බැංකුවේ අපේක්ෂාව බවයි. මෙවැනි තත්ත්වයක් තුළ වාණිජ බැංකු විසින් තමන් වෙත ලැබෙන ඩොලර් හැකි ඉක්මණින් විකුණා දමනු මිස අතේ තියා ගන්නට පෙළඹෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය බැංකු විසින් ඩොලර් විකිණීමට පෙළඹෙන තරමට ඩොලර් මිල දී ගැනීමට පෙළඹීමක් නැති වීමයි. එනම් ඩොලර් ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි වීමයි. මෙවැනි තත්ත්වයක් තුළ අනාගතයේ ලැබෙන්නට නියමිත ඩොලර් පවා බැංකු විසින් කලින්ම විකිණීම (short selling) සාමාන්‍ය තත්ත්වයයි. 

මේ වගේ තත්ත්වයක් තුළ බැංකු වලින් පිටත සිටින ගනුදෙනුකරුවන් කටයුතු කරන්නේ කෙසේද? 

ලංකාවට ඩොලර් එවන අයගේ පැත්තෙන් බැලූ විට මේ වෙලාවේ වාසිදායකම දෙය දවසක් හෝ කලින් සල්ලි එවන එකයි. එමෙන්ම අපනයනකරුවන්ට වාසිදායක හැකි ඉක්මණින් තමන්ගේ ඩොලර් රටට රැගෙන එන එකයි. මේ අනුව පවතින තත්ත්වය තුළ කෙටිකාලීනව රට තුළට ක්ෂණිකව ඩොලර් ප්‍රවාහ ගලා ඒමක් අපේක්ෂා කළ හැකියි. මීට අමතරව මෙවැනි තත්ත්වයක් තුළ ඩොලර් රුපියල් කර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන අයෙකුට 30% පොලියට අමතරව රුපියල ශක්තිමත් වීමේ වාසියද ලබාගත හැකියි. මේ සියල්ලේ ප්‍රතිඵලය කෙටිකාලීනව රුපියල තව තවත් ශක්තිමත් වීමයි.

මේ ආකාරයෙන් රුපියල ශක්තිමත් වීමට ඉඩ හැරීම නිවැරදිද? මගේ අදහස මෙය නිවැරදි නැති බවයි. දේශපාලනික ඉලක්ක නැත්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමයි. සමපේක්ෂනය මත පදනම්ව මිල ඉහළ යාම මහ බැංකුව විසින් පාලනය කළ අයුරින්ම, සමපේක්ෂනය මත පදනම්ව මිල පහළ යාමද මහ බැංකුව විසින් පාලනය කළ යුතුයි. 

තවමත් කියන්නට කල් වැඩි වුවත්, මහ බැංකුවේ අපේක්ෂාව මෙය නොවන්නට පුළුවන්. පැවති සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගියා. ඩොලරය අඩු මිලක තියාගෙන සල්ලි අච්චු ගහද්දී ඒ අච්චු ගැසූ රුපියල් ඩොලර් වී රටෙන් එළියට ගියා. බැංකු පද්ධතියට එන ඩොලර් නොලැබී ගියේ මෙම හුවමාරුව බැංකු පද්ධතියෙන් පිටතදී සිදු වූ නිසයි. 

මහ බැංකුවේ අපේක්ෂාව මෙසේ රටින් පිටතට ගිය විදේශ විණිමය නැවත රටට ආකර්ෂණය කර ගැනීමනම් එහි වරදක් නැහැ. ඒ සඳහා, ඩොලරයක මිල යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හැරියද එහි වරදක් නැහැ. එහෙත්, දේශපාලනික ඉලක්ක නැත්නම්, ඩොලරයක මිල මේ තරම්ම වේගයෙන් පහත වැටෙන්නට ඉඩ හරින්නට අවශ්‍ය නැහැ. ඉහත ඩොලර් ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම සඳහා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වීම ප්‍රමාණවත්. 

අපි පරිකල්පනීය තත්ත්වයන් දෙකක් ගැන හිතමු. 

පළමු පරිකල්පනීය තත්ත්වය: ඉතා ඉක්මණින් මැතිවරණයක් පවත්වනු ලැබීමට ඉඩකඩ ඇති පසුබිමක දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරන රජයකට සහ එම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද? 

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගන්නා නමුත් ඉහත සඳහන් පහත වැටීම පාලනය වන තරමට ඩොලර් මිල දී නොගනී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් මසක් වැනි කෙටිකලක් තුළ රටට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද ඉහළ යයි. ඩොලරයක මිල තවතවත් පහළ යයි. ඩොලරයක මිල විශාල ලෙස පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු කරයි. ආනයනික භාණ්ඩ බොහොමයක මිල අඩු වෙයි. උද්ධමනය කොහොමටත් අඩුවීමට නියමිතව ඇති පසුබිමක මිල විශාල ලෙස අඩුවීම අවධමන තත්ත්වයක් ඇති කරයි. මහ බැංකුව විසින් අවධමන තත්ත්වය වළක්වමින් මුදල් සැපයුම වැඩි කරයි. මුදල් සැපයුම වැඩි කරද්දී පොලී අනුපාතික වේගයෙන් පහළ යයි.  රටේ මධ්‍යම පන්තිය අතේ නැවතත් මුදල් ගැවසෙන්නට පටන් ගනී. ආනයන වෙළඳපොළ නැවත විවෘත වෙයි. මේ සියල්ල මාස දෙකක පමණ කාලයක් තුළ ඉතා ඉක්මණින් සිදු වේ. එහෙත්, මාස හතර පහක් යද්දී සමපේක්ෂණ ඩොලර් පැමිණ අවසන් වන නිසා නැවතත් විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යයි. 

දෙවන පරිකල්පනීය තත්ත්වය: දිගුකාලීනව රටේ ආර්ථිකය ස්ථායී කිරීමේ ඉලක්කයක් ඇතිව කටයුතු කරන රජයකට සහ  මහ බැංකුවකට මේ වගේ වෙලාවක කටයුතු කළ හැක්කේ කෙසේද? 

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයක මිල වේගයෙන් පහත වැටේ. මහ බැංකුව විසින් සක්‍රිය ලෙස මැදිහත්ව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඉහත සඳහන් පහත වැටීම බොහෝ දුරට පාලනය කරයි. එහෙත් ඩොලරයක මිල අඩු වේගයකින්, යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ හරී. මේ තත්ත්වය තුළ පසුගිය දෙවසර තුළ රටින් පිට රඳවාගත් ඩොලර් යම් ප්‍රමාණයක් ක්‍රමක්‍රමයෙන් රට තුළට පැමිණේ. බැංකු පද්ධතියට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණද තරමක් ඉහළ යයි. ඩොලරයක මිල යම් තරමකින් පහළ යන නමුත් විශාල ලෙස පහළ නොයයි. ඩොලරයක මිල පහත යාම මත පදනම්ව රජය විසින් ඉන්ධන මිල අඩු නොකරයි. එයින් ලැබෙන අමතර ලාබය තෙල් සංස්ථාවේ අලාබ පියවීම සඳහා යොදා ගනී. ආනයනික භාණ්ඩ වල මිල තවදුරටත් වැඩි නොවන නමුත් අඩු වන්නේද නැත. උද්ධමනය අපේක්ෂිත පරිදි අඩුවේ. එහෙත් අවධමන තත්ත්වයක් ඇති නොවේ. මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකරයි. ඩොලර් මිල දී ගැනීමේදී ඉහළ යන මුදල් සැපයුම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් නැවත එකතු කර ගනී. රජයට විදේශ ණය ලැබීමට අනුරූපව මිස සල්ලි අච්චු ගැසීම නිසා පොලී අනුපාතික පහළ නොයයි. ආනයන වෙළඳපොළ නැවත විවෘත වන නමුත් ඉහළ විණිමය අනුපාතය හේතුවෙන් තව දුරටත් ආනයන අධෛර්යමත් වේ. විණිමය අනුපාතය තිරසාර ලෙස පවත්වා ගත හැක. 

පළමු පරිකල්පනීය තත්ත්වය සිදුවෙයි කියා මම නොහිතන තත්ත්වයක්. මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කළ අයුරින්ම ඩොලරයක මිල පහළ යාමද පාලනය කරයි කියා මම හිතනවා. 

Sunday, December 11, 2022

අපනයන ආදායම් 100%ක්ම රටට ගෙනත් - මහ බැංකු අධිපති


මෑතකදී මහ බැංකුව විසින් ස්ථාපනය කරන ලද අපනයන ආදායම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රනය හරහා එකතු කරගත් දත්ත අනුව පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. ඔහු මෙසේ පවසන්නේ දෙරණ හයිඩ්පාක් වැඩ සටහනේ මාධ්‍යවේදිනියක විසින් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

(සබැඳිය: https://www.youtube.com/watch?v=66YrYTTNi-Y)

ප්‍රශ්නයට පාදක වන්නේ අධිකරණ ඇමතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක්. 

"අවුරුදු 12ක් රටින් හැංගු ඩොලර් බිලියන 53ක් ගිය වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් හංගලා - විජයදාස රාජපක්ෂ" - හිරු නිවුස් 

(සබැඳිය: https://www.youtube.com/watch?v=S1BxOZFsEnM)

විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුව පසුගිය වසර 12ක කාලයක් තුළ මහ බැංකුවේ නියෝග උල්ලංඝනය කරමින් ඩොලර් බිලියන 53.5ක මුදලක් රටින් පිට කර තිබෙනවා. මේ ප්‍රකාශය පදනම් වන්නේ පුවත්පතක පළව ඇති ලිපියක් මතයි. එම ලිපිය සඳහා පාදක කර ගෙන ඇත්තේ (අප විසින් මීට පෙර සාකච්ඡාවට බඳුන් කර ඇති) රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාවක්. විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුවම පසුගිය වසර තුළ මේ අයුරින් රටට රැගෙන විත් නැති අපනයන ආදායම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනක්. මහ බැංකුව මෙවැන්නක් කියා ඇත්තේ කොතැනකද යන්න පැහැදිලි නැහැ. 

ඉහත සඳහන් "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාව ගැන විස්තරාත්මක ලිපි දෙකක්ම පළ කර ඇති නිසා මම ඒ ගැන තව තව කතා කරන්න යන්නේ නැහැ. මෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරයටයි. පහළින් තියෙන්නේ මහ බැංකු අධිපති වරයාගේ පිළිතුරේ සාරාංශයක්.

- මේ ප්‍රකාශයේ මූලාශ්‍රය වන "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාව මට තවමත් කියවන්නට ලැබී නැහැ. මෙය එම වාර්තාවේ ඇතැයි කියන දෙයක් හා මා කියූ දෙයක් එකට සම්බන්ධ කර වැරදි අර්ථකතනයක් දෙමින් සිදු කර ඇති නොමග යවන සුළු ප්‍රකාශයක්. අදාළ කාලයේ අපනයනකරුවන් විසින් මෙවැනි මුදලක් රටින් පිටකර ඇති බව තහවුරු කළ හැකි  සාක්ෂි හෝ තොරතුරු කිසිවක් අප සතුව නැහැ. 

-1994 සිට 2016 දක්වා කාලය තුළ අපනයනකරුවන් විසින් අපනයන ආදායම් ලංකාවට රැගෙන ඒමේ නීතිමය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රටේ විණිමය ප්‍රතිපත්තිය අනුව, ඔවුන්ට එම මුදල් රටින් පිට තබා ගත හැකිව තිබුණා. ඒ නිසා, යම් හෙයකින් එම කාලය තුළ අපනයන ආදායම් රටට ගෙනත් නැතත්, එයින් නීතිය කඩවීමක් සිදු වීමේ හැකියාවක් නැහැ. නීතිය කඩවීමක් සිදු විය හැකිව තිබුණේ එසේ කිරීම නිතී විරෝධී කටයුත්තක් වීනම් පමණයි.

අපගේ එකතු කිරීම: අලුත්ම (2021) "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාවෙහි ඩොලර් බිලියන 53.3ක් රටින් පන්නා ඇති බවට කිසිදු සඳහනක් නැහැ. මෙය අදාළ වාර්තාව ගැන සඳහන් කරමින් ලංකාවේ ඇතැම් අය කියන බොරුවක්. එයින් කියන්නේ රේගුවට පෙන්වා ඇති අපනයන ආදායම් හා එම අපනයන යවනු ලැබූ රටවල රේගු වලට පෙන්වා ඇති ගණන් අතර වෙනසක් ඇති බවයි. කෙසේ වුවද, එම ගණනය කිරීම් කර ඇති ක්‍රමවේදයේද අඩුපාඩු හා දුර්වලතා ගහණයි. එම ආයතනයේම පැරණි (2017) වාර්තාවක මෙවැනි (පැහැදිලි ලෙසම දෝෂ සහගත) සඳහනක් ඇතත්, අළුත් වාර්තාව සකස් කිරීමේදී කලින් කළ වැරැද්ද නොකිරීමට අදාළ ආයතනය ප්‍රවේශම් වී තිබෙනවා.

- අපනයන ආදායම් රටට ගෙන ආ යුතු බවට නියෝගයක් 2016දී පනවනු ලැබුවා. එසේ වුවත්, එසේ රැගෙන එන විදේශ විණිමය රුපියල් බවට හැරවීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 2021 අග භාගයේදී මහ බැංකුව විසින් මෙවැනි නියෝගයක් පැනවූ අතර එම නියෝගය අනුව රටට ගෙන එන අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වලට හැරවීම අනිවාර්ය කරනු ලැබුවා. මෙය නිසි පරිදි සිදු වේදැයි පරීක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් මෙම වසරේ ජූලි මාසයේදී ස්ථාපනය කරනු ලැබුවා. ඒ අනුව, රේගු දත්ත හා බැංකු වල විදේශ විණිමය ලැබීම් සංසන්දනය කිරීමෙන් පසු පැහැදිලි වන්නේ පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බවයි.

- මගේ [මහ බැංකු අධිපතිගේ] පෙර ප්‍රකාශයක මා සඳහන් කළේ අපනයන ආදායම් වලින් රුපියල් බවට පරිවර්තනය වී ඇති කොටස ගැනයි. එම කොටස ආසන්න වශයෙන් 25%ක් පමණ. නමුත්, අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන කොටස 50%ක් පමණවත් විය යුතුයි. මේ අනුව, ඉතිරි 25%ට කුමක් වුනේද යන්න පැහැදිලි නැහැ. දැනට අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. ඇතැම් විට ඉන්ධන සපයන්නන් වැනි වක්‍ර ආදාන (indirect inputs) සැපයුම්කරුවන්ට ඩොලර් වලින් ගෙවීම් කිරීම සඳහා මෙම මුදල් යොදාගත්තා විය හැකියි. 

අපගේ එකතු කිරීම: මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් ලංකාවේ අපනයන වල දේශීය අගය කිරීම් කොටස 50%ක් විය යුතු බව නිගමනය කරනවා. මෙය ඔහුගේ උපකල්පනයක් පමණයි. ඔහුට, මහ බැංකුවට හෝ වෙනත් කිසිවෙකුට මේ පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. මෙය අඩු වශයෙන් 2016 පමණ සිට අප විසින් අවධාරණය කර ඇති කරුණක්. 

"අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය." - 2016 මැයි 20, ඉකොනොමැට්ටාගේ සතපහ. 

මේ සාධකය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ලංකාවේ වෙළඳ ශේෂය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණේ එහි වූ භයානක අවදානමෙන් කොටසක් පමණයි. අවදානමෙන් විශාල කොටසක් සැඟවී තිබුණේ ලංකාවේ අපනයන ආදායම් වලින් විශාල කොටසක්ද ශුද්ධ අපනයන ආදායම් නොවීම තුළයි. මෙම ජාතික වශයෙන් ඉතාම වැදගත් පර්යේෂණ කාර්යය වෙත මහ බැංකුවේ පර්යේෂණ අංශ වලින් හෝ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආර්ථික අධ්‍යනාංශ වලින් ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කර නැහැ. 

ලංකාවේ අපනයන වල සාමාන්‍ය දේශීය අගය එකතු කිරීම් අනුපාතය 50% ලෙස සැලකුවොත්, එම ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වී ඇත්නම්, එයින් අදහස් වන්නේ රටට ආ අපනයන ආදායම් වලින් 50%ක් රුපියල් වී ඇති බවයි. එසේනම්, මෙහිදී මහ බැංකුවේ නියෝග කඩවීමක් සිදු වී නැහැ. ඉතිරි කොටස රුපියල් වී නැත්නම් එයින් පෙනෙන්නේ පවතින විණිමය අනුපාතයේ තිරසාර පැවැත්ම පිළිබඳව අපනයනකරුවන් විශ්වාස නොකරන බවයි. තත්ත්වය එවැන්නක්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ එම විශ්වාසය ඇති කිරීම මිස අපනයනකරුවන්ට චෝදනා කිරීම නෙමෙයි. 

අපනයනකරුවන්ගේ දේශීය අගය එකතු කිරීම් ගැන නිසි අධ්‍යයනයක් කර ඇස්තමේන්තු කරන්නේ නැතිව, ඒ පිළිබඳව තමන්ට හිතෙන දේවල් මත පදනම්ව අපනයනකරුවන්ට චෝදනා කිරීම මහ බැංකු අධිපතිවරයා විසින් නොකළ යුතු දෙයක්. රටට ගෙනාවත්, රටට නොගෙනාවත්, රටට ගෙනත් ඩොලර් වලින් තියා ගත්තත්, රුපියල් කළත්, ඒ ඔවුන් විසින් උපයන ඔවුන්ගේ සල්ලි. 

Friday, December 9, 2022

ශ්‍රමික ප්‍රේෂණ තවත් ඉහළට!

ගෙවුණු නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 384.4ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. මෙම ප්‍රමාණය පෙර වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 42%ක වැඩි වීමක්ද, පෙර මාසයට සාපේක්ෂව 8%ක වැඩිවීමක්ද පෙන්නුම් කරන අතර, 2021 අගෝස්තු මාසයෙන් පසුව වාර්තා වන ඉහළම අගයයි. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඉහත මුදල ලැබෙද්දී, නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම්ද ඩොලර් මිලියන 107.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, අපනයන ආදායම් වලට අමතරව, ආනයන වෙනුවෙන් වැය කළ හැකි ඩොලර් මිලියන 492ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් නොවැම්බර් මාසය තුළ ලංකාවට ලැබී තිබෙනවා.

නොවැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය පෙර මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 1,705 සිට ඩොලර් මිලියන 1,804 දක්වා ඩොලර් මිලියන 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, මෙම සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ චීනයෙන් මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබාගත් මුදල්. 

නොවැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 219ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන අතර අත්‍යාවශ්‍ය ආනයන සඳහා පහසුකම් සලසමින් එම විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 213ක් නැවත විකුණා තිබෙනවා. 

Wednesday, November 16, 2022

රුපියල ශක්තිමත් වෙලාද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට දෙන්න පුළුවන් තාක්ෂනික පිළිතුර "ඔව්. රුපියල ශක්තිමත් වෙලා!".

එහෙමනම්, ඔය ගැන තිබෙන විවේචනයට පදනමක් නැද්ද? තිබෙනවා. ඉතාම පැහැදිලි පදනමක් තිබෙනවා. ඒ වගේම, රුපියල ශක්තිමත් වෙලා කියන ප්‍රකාශය තාක්ෂනිකව නිවැරදි බව පෙන්විය හැකි වුනත්, එය සිදු වී තිබෙන සන්දර්භය තුළ, ඒ ගැන පාරම්බාන එක විහිළුවක්. 

මේ ප්‍රකාශය විවේචනය කරන අය කියන්නේ මේ වගේ දෙයක්. රුපියල දැන් තිබෙන මට්ටමේ රඳවා ගෙන ඉන්නේ කෘතීම ලෙස. රුපියල ඔය කියන විදිහට ශක්තිමත් වෙලානම් පෙග් එක අත අරින්න. කොහේ නවතියිද කියලා ඊට පස්සේ බලා ගන්න පුළුවන්.

ඔය කතාව සහතික ඇත්ත වගේම ගොඩක් දෙනෙක්ට පැහැදිලි කරුණක්. මහ බැංකුවේ පාලනය නැත්නම් ඩොලරයක මිල කීයක් වෙයිද කියන එක කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ තත්ත්වය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. එසේ තිබියදී රුපියල ශක්තිමත් වෙලා කියා මම කියන්නේ ඇයි කියලා මම පසුව පැහැදිලි කරන්නම්. හැබැයි ඔය අයවැය කතාව ලියා දුන් කෙනා රනිල් ලවා කියවන්නේ මම කියන්න යන දෙයම කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඒ කියන්නේ ඉහත සඳහන් විවේචකයා කියන දෙයම තමයි. ඒ නිසා අදාළ විවේචනය සාධාරණ විවේචනයක්.

මේක අපි සරල උදාහරණයක් එක්ක විමසා බලමු.

මුහුදේ පාවෙන, බර පටවපු, හිල් හැදුණු බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ හිල් වහන්න කාටවත් උවමනාවක් නැහැ. හිල් වලින් වතුර ඇවිත් බෝට්ටුව ගිලෙන එකට විසඳුම විදිහට හැමදාම කරන්නේ වතුර ඉහින එක. ඒ අතර බෝට්ටුවට තව තව බර පටවන එකත් කරනවා.

ඔහොම පාවෙවී තියෙන බෝට්ටුවට පිරෙන වතුර ඉහ ගන්න බැරුව බෝට්ටුව ගිලෙන්න යනකොට උදවු ගන්න IMF යනවා. IMF එකෙන් ඇවිත් වතුර මෝටරයක් අරන් ඇවිත් ටික දවසක් වතුර ඉහගන්න උදවු කරනවා. ඒ අතර, හිල් වහගන්න සහ බර පටවන එක අඩු කරන්නත් උපදෙස් දෙනවා. IMF එක වතුර ඉහළ දීලා යනකම් ඔය ටික කරනවා. ඊට පස්සේ ආයෙම හිල් වහන එක මතක නැති වෙනවා. බර පටවන එකත් සීමාවක් නැතුව කෙරෙනවා.

මේ සැරේ IMF යන්නේ නැතුව වෙන වෙන විසඳුම් හොයලා අන්තිමට IMF ගියේ බෝට්ටුව ගිලුනටත් පස්සෙනේ. දැන් IMF එක මෝටරේ ගෙනාවා කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා බෝට්ටුව ගොඩ ගන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුම පටන් ගන්න කොටත් බෝට්ටුව අඩි දහයක් පහළොවක් මුහුද යට. හැබැයි මුහුදු පතුළේ නෙමෙයි. මුහුදු පතුළ අඩි දාස් ගාණක් ගැඹුරුයි. 

අලුත් මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් ආවාට පස්සේ මුලින්ම කළ හැකිව තිබුණු දෙය කොක්කක් එක්ක කඹයක් දමලා බෝට්ටුව සම්බන්ධ කර ගන්න එක. ඒ වැඩේ පොඩි කාලයකින් සිදු වුනා. ඊට පස්සේ ඔය කඹේ ගොඩ තියෙන කණුවක ගැට ගහලා බෝට්ටුව තව තවත් යටට යන එක නවත්වන එක. මොකද බෝට්ටුව පාලනයක් නැතුව ගිලෙනවා කියන්නේ කවදාවත් ගොඩ ගන්න බැරි ගැඹුරු මුහුදු පතුලක් දක්වාම ඒක යනවා කියන එකයි. ඔය විදිහට බෝට්ටුව ගැට ගහලා තවත් ගිලෙන එක නවත්වා ගන්න තවත් මාස දෙක තුනක් ගියා. දැන් බෝට්ටුව තවත් ගිලෙන්නේ නැහැ. හැබැයි තවමත් අඩි ගාණක් වතුර යට.

කඹේ තියෙන නිසා බෝට්ටුව ගොඩට අදින්න බැරිද? මේක කරන්න අමාරු වගේම අවදානම් වැඩක්. කොක්ක ගැලවෙන්න පුළුවන්. කඹේ කැඩෙන්න පුළුවන්. ගොඩට ඇද්දේ නැතත් ඔය දේවල් වෙන්න පුළුවන්. නමුත් ගොඩට අදින්න යද්දී අවදානම වැඩියි. බෝට්ටුව ගොඩට අදින්න කලින් එයට පටවා තිබෙන බරෙන් කොටසක් අඩු කළ යුතුයි. අඩු අවදානමකින් බෝට්ටුව ගොඩ ගන්න වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට බර අඩු කළොත් පමණයි. ඒ වැඩේ සිදු විය යුත්තේ රජය පැත්තෙන්. 

බෝට්ටුව ගිලුනේ බෝට්ටුවේ හිල් නිසා. අනිවාර්යයෙන්ම ඒ හිල් වැසිය යුතුයි. හැබැයි හිල් වහන්නත් බෝට්ටුව ගොඩ අරගෙන ඉන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගන්න එක අමතක කරලා හිල් වහන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම බෝට්ටුව මුහුද යට තියෙද්දී ඒකට නිදහසේ පාවෙන්න ඉඩ දීමේ වැදගත්කම ගැන කතා කරලත් වැඩක් නැහැ. මේ වෙලාවේ කඹේ කැපුවොත් වෙන දේ ඉතාම පැහැදිලියි.

මම කිවුවනේ තාක්ෂණික ලෙස බැලුවොත් රුපියල ශක්තිමත් වෙලා කියලා. ඒ කියන්නේ, බෝට්ටුව දැන් තියෙන්නේ කලින් තිබුණාට වඩා අඟල් කීපයක් උඩින්. හැබැයි අඩි දහයක් පහළොවක් මුහුදේ ගිලිලා තියෙන බෝට්ටුවක් කඹයක් දමලා අඟලක් දෙකක් උඩට ඇද්දා කියන්නේ අගය කළ යුතු දෙයක් වුනත් ජයග්‍රහණය සැමරිය යුතු දෙයක් නෙමෙයි. බෝට්ටුව ගොඩට ගන්න එක තවමත් දුරස්ථ කරුණක්. ඕනෑම වෙලාවක කඹේ කැඩෙන්න පුළුවන්. කොක්ක ගැලවෙන්න පුළුවන්. සතුටු විය හැකි එකම දේ බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ලොකුවට නොවුණත් එහි ප්රතිඵල පේනවා. ඒ අතර බර අඩු කරන්න මුහුදට දමන්න වෙන බෝට්ටුවේ තිබෙන දේවල් ගැන කෑගහන අයත් ඉන්නවා. 

පසුගිය සැප්තැම්බර් මාසයට ආවොත් අපනයන ආදායම ඩොලර් මිලියන 1,079ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,284ක්. වෙනස ඩොලර් මිලියන 206ක හිඟයක්. නමුත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 359ක් ලැබී තිබෙනවා. අනෙකුත් ලැබීම් හා ගෙවීම් සියල්ල එකතු කළ විට ඩොලර් මිලියන 108ක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා. මෙවැන්නක් සිදු වන්නේ විශාල කාලයකට පසුව. 

ඉතා පැහැදිලිවම මෙය ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. රටේ දැඩි ආනයන පාලනයක් ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන්නට ඔය ඩොලර් මිලියන 110 ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි එවැනි දැඩි පාලිත තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් සුළු ප්‍රමාණයක් ඉතිරි වෙන්නේ කාලයකට පසුවයි.

2022 ජනවාරි හා පෙබරවාරි මාස වල ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-1697)

2022 මාර්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-572)

2022 අප්‍රේල් ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-300)

2022 මැයි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-26)

2022 ජූනි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-219)

2022 ජූලි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-172)

2022 අගෝස්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-49)

2022 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-3035)

2022 සැප්තැම්බර් මාසයේ ගෙවුම් ශේෂ අතිරික්තයෙන් පසුව වසරේ ගෙවුම් ශේෂ හිඟය  ඩොලර් මිලියන (-3035) සිට  ඩොලර් මිලියන (-2927) දක්වා අඩු වී තිබෙනවා. තාක්ෂනික ලෙස බැලුවොත් මෙය රුපියල ශක්තිමත් වීමක් වුනත්, නහයට වඩා උඩින් අඩි දහයක් වතුර පිරී තියෙද්දී එය අඩි නවයක් වුනා වගේ වැඩක් පමණයි.

රුපියලේ බාහිර වටිනාකම ගැන කතා කරද්දී වැදගත්ම දෙය මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයයි. පහළින් තිබෙන්නේ පසු ගිය කාලයේ මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී ගිය ආකාරය.

2020 ජූලි - රුපියල් බිලියන 785.2

2020 අගෝස්තු - රුපියල් බිලියන 822.4

2020 සැප්තැම්බර් - රුපියල් බිලියන 758.6

2020 ඔක්තෝබර් - රුපියල් බිලියන 574.2

2020 නොවැම්බර් - රුපියල් බිලියන 540.1

2020 දෙසැම්බර් - රුපියල් බිලියන 526.8

2021 ජනවාරි - රුපියල් බිලියන 393.9

2021 පෙබරවාරි - රුපියල් බිලියන 341

2021 මාර්තු - රුපියල් බිලියන 342.9

2021 අප්‍රේල් - රුපියල් බිලියන 349.1

2021 මැයි - රුපියල් බිලියන 306.6

2021 ජූනි - රුපියල් බිලියන 10.3

2021 ජූනි මාසය අවසන් වෙද්දී මහ බැංකුවට කෘතීම ක්‍රමයකින් මිස ස්වභාවික ලෙස ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමේ හැකියාව නැතිව යනවා. ඒ මහ බැංකුවේම විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා යාම නිසයි. ඒ කියන්නේ නහය වතුරෙන් යට. 

2021 ජූලි - රුපියල් බිලියන (-83.9)

2021 අගෝස්තු - රුපියල් බිලියන (-158.7)

2021 සැප්තැම්බර් - රුපියල් බිලියන (-252.6)

2021 නොවැම්බර් - රුපියල් බිලියන (-386.0)

2021 දෙසැම්බර් - රුපියල් බිලියන (-662.7)

2022 ජනවාරි - රුපියල් බිලියන (-734.2)

2022 පෙබරවාරි - රුපියල් බිලියන (-1,203.4)

2022 මාර්තු - රුපියල් බිලියන (-1462.2)

2022 අප්‍රේල් - රුපියල් බිලියන (-1546.5)

2022 මැයි - රුපියල් බිලියන (-1612.7)

2022 ජූනි - රුපියල් බිලියන (-1546.5)

2022 ජූලි - රුපියල් බිලියන (-1686.2)

2022 ජූලි මාසය දක්වාම මේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. එහෙත් ඉන්පසුව තත්ත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා.

2022 අගෝස්තු - රුපියල් බිලියන (-1614.9)

2022 සැප්තැම්බර් - රුපියල් බිලියන (-1590.8)

කෙසේ වුවත් තවමත් මහ බැංකුව සතුව ඇත්තේ සෘණ ශුද්ධ විදේශ වත්කම්. ඒ කියන්නේ මහ බැංකුවේම බැරකම් පියවන්නට මහ බැංකුවට තවත් ඩොලර් බිලියන 4.4ක් පමණ අවශ්‍යයි. රුපියල තිරසාර ලෙස ශක්තිමත් කිරීමට තවත් ඩොලර් බිලියන කිහිපයක් අවශ්‍යයි. මාසයකට ඩොලර් මිලියන 100 බැගින් ඉතිරි කරගෙන එවැනි ඉලක්කයකට යන එක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. දිගුකාලීන විසඳුම කුමක් වුවත් රුපියල හා ඒ මගින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගන්නටනම් ඩොලර් බිලියන කිහිපයක විදේශ ණය හෝ වෙනත් ලැබීම් රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

වෙබ් ලිපිනය: