වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය ව්‍යවසාය. Show all posts
Showing posts with label රාජ්‍ය ව්‍යවසාය. Show all posts

Friday, January 19, 2024

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා "කොටස්කරණය"


වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා. ඒ කියන්නේ 1986 වන තුරු වියට්නාමයේ ව්‍යවසාය කියන්නේ රාජ්‍ය ව්‍යවසායම තමයි.

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන්ම ඊට පෙර ඇතැම් වකවානු වලදීද ලංකාව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් වෙත ටිකෙන් ටික විතැන් වුනත් ලංකාවේ වියට්නාමයේ මෙන් පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ පැත්තට ටිකෙන් ටික යද්දී රටේ මිනිස්සු ආණ්ඩුව මාරු කළා. 

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ රාජ්‍ය අංශය ලංකාවේ රාජ්‍ය අංශය හා සම කළ හැකි මට්ට්මක තිබුණු එකක් නෙමෙයි. ඒ වගේ තැනක ඉඳන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ පටන් ගෙන දශක ගණනක් ගියාට පසුවත් රටක සැලකිය යුතු රාජ්‍ය අංශයක් ඉතිරි වෙනවා. වියට්නාමයේ තරම් විශාල රාජ්‍ය අංශයක් කෙදිනක හෝ නොතිබුණු ලංකාවේ පවා තවමත් සැලකිය යුතු තරමේ විශාල රාජ්‍ය අංශයක් තියෙද්දී කලකට පෙර පූර්ණ රාජ්‍ය අංශයක් පැවති වියට්නාමයේ එය එසේ නොවෙන්න හේතුවක් නැහැනේ.

වැදගත් කරුණ වන්නේ කාලයක සිටම වියට්නාමය විසින් එරට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් සිටිනවා කියන එකයි. හැබැයි ඔවුන් එසේ කිරීමේදී "පෞද්ගලීකරණය" යන වචනය හැම විටම භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට වියට්නාමය වැඩිපුර භාවිතා කරන්නේ "කොටස්කරණය (equitisation)" යන වචනයයි. ඒක ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී "ප්‍රසස්තකරණය" යන වචනය භාවිතා කළා වගේ දෙයක්. "Equitisation" (වියට්නාම් භාෂාවෙන් Cổ phần hóa) යන වචනය "වියට්නාම් ඉංග්‍රීසි" වචනයක් සේ සැලකෙනවා.

අවශ්‍යනම් කෙනෙකුට කොටස්කරණය කියන්නේ පෞද්ගලීකරණය නෙමෙයි කියා තර්ක කරන්න පුළුවන්. එවැනි තර්ක වලට පිළිතුරු දීම සඳහා කාලය නාස්ති කරන්න අදහසක් නැහැ. නම මොකක් වුනත් වියට්නාමයේ වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය වල අයිතිය කොටස් කර එම කොටස් දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විකුණන එකයි. 

වියට්නාමයේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පටන් ගත්තේ කෘෂිකාර්මික අංශයෙන්. එහිදී සමූහ ගොවිපොළ ක්‍රමය වෙනුවට පෞද්ගලික ඉඩම් අයිතිය ආදේශ වුනා. එම ප්‍රතිසංස්කරණය පමණක්ම වුනත් රටේ ආහාර ප්‍රශ්නය හා දරිද්‍රතා ප්‍රශ්නය බොහෝ දුරට විසඳුවා.

පෙර ලිපියේ සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, වියට්නාමයේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විශාල වෙනස්කම් තිබෙනවා. 2009දී පළ කළ එක්තරා පර්යේෂණ පත්‍රිකාවකට අනුව [1], කිසියම් පළාතක ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණයේ ඝනත්වය වැඩි වන තරමට එම ප්‍රදේශයේ ඒක පුද්ගල ආදායම අඩුයි. එය සිදු වන යාන්ත්‍රනයද එම පර්යේෂණ පත්‍රිකාවේ විස්තර කරනවා.

[1] Van Thang, N., and N. Freeman, 2009, “State-Owned Enterprises in Vietnam: Are They ‘Crowing Out’ the Private Sector?” Post-Communist Economies, Vol. 21, pp. 227–247.

කිසියම් පළාතක රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය වැඩි තරමට එම රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයෙන් ලැබෙන වැඩි ප්‍රමුඛතාවය නිසා පෞද්ගලික ව්‍යවසාය වලට කුඩම්මාගේ සැලකිලි ලැබීමේ ප්‍රවණතාවද වැඩියි. උදාහරණයක් ලෙස එවැනි පළාත් වල පෞද්ගලික ආයෝජකයෙකුට බැංකු ණයක් ලබා ගැනීම වඩා අසීරුයි. ඒ නිසා, එවැනි පළාත් වල පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාකාරිත්වය අඩුයි. පෞද්ගලික ව්‍යවසාය වල දායකත්වය අඩු නිසා ආර්ථික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවයද අඩුයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායමද අඩුයි. 

කෙසේ වුවත්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වියට්නාමය පවා මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පෞද්ගලික අංශය වෙත විතැන් කරමින් සිටිනවා. පහත සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව දැකිය හැකි පරිදි වියට්නාම් දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වෙනවා.

Year

State share of GDP (%)

2005

37.62

2006

36.69

2007

35.35

2008

35.07

2009

34.72

2010

24.18

2011

23.59

2012

23.56

2013

23.30

2014

23.08

2015

22.84

2016

22.78

2017

22.31

2018

21.34

2019

20.59

2020

20.67

2021

20.81

2022

20.53

පහත තිබෙන්නේ 2000 වසර සිට ගත වූ කාලය තුළ වියට්නාමයේ ව්‍යවසාය හිමිකාරිත්වයේ සංයුතිය වෙනස් වූ ආකාරයයි.

රාජ්‍ය අංශය:
2000- 5,759 (13.62%)
2021- 1,906 (0.27%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 35,004 (82.77%)
2021- 694,121 (96.59%)

විදේශීය:
2000- 1,525 (3.61%)
2021- 22,610 (3.15%)

මෙම කාලය තුළ රාජ්‍ය නොවන දේශීය ව්‍යවසාය ප්‍රමාණය විසි ගුණයකින්ද, විදේශ සමාගම් ප්‍රමාණය පහළොස් ගුණයකින්ද වැඩි වෙද්දී රාජ්‍ය ව්‍යවසාය ගණන තුනෙන් එකක් දක්වා අඩු වී තිබෙනවා. මීටත් වඩා කැපී පෙනෙන්නේ මෙම කාලය තුළ සේවා නියුක්ති සංයුතියේ සිදු වූ වෙනස් වීමයි.

රාජ්‍ය අංශය:
2000- 2,088,531 (59.05%)
2021- 978,200 (6.61%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 1,040,902 (29.43%)
2021- 8,604,400 (58.14%)

විදේශීය:
2000- 407,565 (11.52%)
2021- 1,044,851 (18.11%)

දැනටත් වියට්නාම් රජය සතුව ව්‍යවසාය සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. 2021 වන විට මෙම ප්‍රමාණය 1,906ක්. එහෙත්, එම රාජ්‍ය ව්‍යවසාය වලින්ද වියට්නාම් රජයට පූර්ණ අයිතියක් තිබෙන්නේ ව්‍යවසාය 877ක පමණයි. ඉතිරි ව්‍යවසාය 1,029හිද 50% නොඉක්මවන කොටස් යම් ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකුණා අවසන්. 

වියට්නාම් රජය ඉතිරි රාජ්‍ය ව්‍යවසාය සියල්ල හැකි ඉක්මනින් මොන විදිහකින් හෝ විකුණා දැමීමේ ඉලක්කයක නැහැ. උපාය මාර්ගිකව වැදගත් සේ හඳුනා ගන්නා ක්ෂේත්‍ර වල රාජ්‍ය ව්‍යවසාය වල කළමනාකරණ අයිතිය ඉක්මනින් අත නොහැර 50%ක කොටස් අයිතිය දිගටම තබා ගැනීමේ උත්සාහයක වියට්නාම් රජය නිරතව සිටිනවා. එහෙත්, මෙම ප්‍රවේශය ආයෝජකයින්ට ආකර්ශනීය නැහැ. ප්‍රායෝගිකව මේ වන විට පවතින තත්ත්වය වනුයේ ඉතිරි වී තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල කොටස් පහසුවෙන් විකිණිය නොහැකි වීමයි. 

පහත තිබෙන්නේ පසුගිය කාලයේදී වියට්නාම් රජය විසින් "කොටස්කරණය" කළ, එහෙත් තවමත් රජය සතුව වැඩි හෝ සැලකිය යුතු කොටස් අයිතියක් තිබෙන, රාජ්‍ය ව්‍යවසාය දහයක්.

වියට්කොම් බැංකුව (Vietcombank): ඩොලර් බිලියන 15 ඉක්මවන වටිනාකමක් ඇති, විසි දහසකට වැඩි පිරිසක් සේවය කරන බැංකුවක්.  2008 වසරේදී රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම බැංකුවේ කොටස් සාර්ථක ලෙස වෙන්දේසි කරනු ලැබුවා.

වියටින් බැංකුව (Vietinbank): ඩොලර් බිලියන 75 ඉක්මවන වත්කම් ඇති වියට්නාමයේ දෙවන විශාලතම බැංකුවයි. තවමත් මෙහි වැඩි කොටස් අයිතිය වියට්නාමයේ මහ බැංකුවට වුවත් මෙම බැංකුවද 2009දී කොටස්කරණය කරනු ලැබුවා. සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ජපානයේ මිට්සුබිෂි සමාගම සතුයි.

බාඕ වියට් (Bao Viet): වියට්නාමයේ ලොකුම රක්ෂණ සමාගමයි. 2007දී "කොටස්කරණය" කළ මෙම සමාගමේ කොටස් HSBC සහ ජපානයේ සුමිටෝමෝ රක්ෂණ සමාගම සතුයි.

වියට්නාම් වානේ සංස්ථාව: වියට්නාමයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන මෙම ආයතනය 2010 වසරේදී කොටස්කරණය කරනු ලැබුවා.

වියට්නාම් ඖෂධ සංස්ථාව (විනාපාර්ම්): වියට්නාමයේ විශාලතම ඖෂධ සමාගමයි. 1971දී ආරම්භ කළ මෙම ආයතනයේ කොටස් 2016දී වෙන්දේසි කෙරුණා.

වියට්නාම් එයාර්ලයින්ස්: වැඩි අයිතිය තවමත් රජයට වුවත් 2014 වසරේදී කොටස්කරණය කළා. 

පෙට්‍රොලිමෙක්ස් (Petrolimex) සමාගම: වියට්නාමයේ ප්‍රධානම ගෑස් හා තෙල් නිෂ්පාදන සමාගමයි. මුලින්ම 2011 වසරේදී කොටස්කරණය කරනු ලැබූ අතර පසුව තවත් කොටස් විකුණා දමනු ලැබුවා.

විනාමිල්ක්: කලකට පෙර 1976 වසරේදී මධ්‍යගත සැලසුම් ආර්ථික ප්‍රතිපත්ති යටතේ නෙස්ලේ සමාගම ඇතුළු පෞද්ගලික කිරි නිෂ්පාදන සමාගම් තුනක් රජයට පවරාගෙන වියට්නාමයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය බවට පත් වුනා. මේ වන විට මෙම සමාගමේ වැඩි කොටස් අයිතිය විදේශ සමාගම් සතුයි. රජය සතුව ඇති කොටස් ප්‍රමාණය 36%ක් පමණයි. 

සැබෙකෝ (Sabeco): වියට්නාමයේ ප්‍රධාන බීර නිෂ්පාදන සමාගමයි. 2008 වසරේදී කොටස්කරණය කළ මෙම සමාගමේ කොටස් වලින් 36%ක් තවමත් රජය සතුයි. වැඩි කොටස් අයිතිය තායි සමාගමකටයි. 

හබෙකෝ (Habeco): මෙය වියට්නාමයේ තෙවන විශාලතම බීර නිෂ්පාදන සමාගමයි. තවමත් වැඩි කොටස් අයිතිය රජයට වුවත් කාල්ස්බර්ග් සමාගමට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබෙනවා.

වියට්නාමය ඒක පුද්ගල ආදායම අනුව ලංකාව සිටින මට්ටමට පැමිණ තිබෙන්නේ ලිපියේ ඉහත විස්තර කර ඇති මට්ටමේ පෞද්ගලීකරණයක් කරමිනුයි. කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් මෙම පෞද්ගලීකරණ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතින්නක්. වියට්නාමයට දැන් සිටින තැනින්, ඒ කියන්නේ ලංකාව සිටින තැනින්, ඉදිරියට යද්දී රාජ්‍ය අංශය තව දුරටත් දිය වෙන බව ඉතාම පැහැදිලියි. ඉගෙනගන්නවානම් "රතු වියට්නාමයෙන්" වුනත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. 

Saturday, April 1, 2023

හැත්තෑ හතට කලින් රාජ්‍ය ව්‍යවසාය


සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන ඔය වගේ බොරු අදහස් ලංකාවේ අති මහත් බහුතරය විසින් පිළිගන්නවා. හැත්තෑ හතේදී ලංකාව ඒ වන විට පැවති තත්ත්වයට සාපේක්ෂව තරමක් විවෘත වුනා. වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට යම් ඉඩක් ලැබුණා. නමුත් රටේ ආර්ථිකයේ සංවෘත හා සමාජවාදී ලක්ෂණ බොහොමයක් අද දක්වාම තවමත් එලෙසම තිබෙනවා. 

ධනවාදී ක්‍රමයක් කියා කියන්නේ පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීම අරමුණු කරගෙන, තරඟකාරිත්වයට මුහුණ දෙමින්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සිදු කරන ක්‍රමයක්. මධ්‍යගත සැලසුමකට අනුව, රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම කිරීම සමාජවාදී ක්‍රමයයි. 

පළමුවැන්න මිනිස් සංස්කෘතිය දියුණු වීමේදී ස්වභාවික ලෙසම පරිණාමය වූ ක්‍රමයක්. හැමදාම දිගින් දිගටම වෙනස් වන ක්‍රමයක්. දෙවැනි ක්‍රමය මාක්ස්ගේ (සහ තවත් අයගේ) ඉගැන්වීම් මත පදනම්ව කෘතිම ලෙස ගොඩ නගන ලද "ආගමික" ක්‍රමයක්. දෙවැනි ක්‍රමය ඇතැම් රටවල පූර්ණ වශයෙන් හෝ ඊට ආසන්නව ක්‍රියාත්මක කර තිබෙන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම හා/හෝ පවත්වාගෙන යාම මගින් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැත්තේ එම ක්‍රමය පවත්වාගෙන යාමට රටක බහුතරය සාමාන්‍යයෙන් කැමති නොවන නිසයි. මෙම ප්‍රකාශයට ව්‍යතිරේඛ තිබිය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වය මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් එකට නොගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇතැම් ජනප්‍රිය සමාජවාදී අදහස් එකට යනවා. එවැනි ජනප්‍රිය සමාජවාදී අදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවලද ක්‍රියාත්මක වෙනවා.

ඉහත කතාව ධනවාදයටද එක සේ වලංගුයි. හැම දෙයක්ම වෙළඳපොළට තීරණය කරන්නට ඉඩ දී රජය මුළුමනින්ම පැත්තකට වීම කිසිම රටක කවදාවත්ම සිදු වී ඇති දෙයක් නෙමෙයි. වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකාවේ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. එහෙත් මෙවැනි රාජ්‍ය මැදිහත්වීම් තිබෙන්නේ අවම මට්ටමකයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් යටතේ, බහුතර කැමැත්ත මත, රජය වෙළඳපොළට මැදිහත් වන අවස්ථා තිබෙනවා. ඇතැම් විට එසේ මැදිහත් වන්නේ සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. ඇතැම් විට වෙනත් හේතු මතයි. 

ධනවාදයට නැඹුරු බොහොමයක් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. සමාජවාදී ක්‍රමය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ කිසියම් ආකාරයක ඒකාධිපතිත්වයක් සමඟයි. එහෙත් ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ, බොහෝ තැන් වලදී එකිනෙක ගැටෙන, වෙනම දේවල් දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ හැමවිටම මෙන් සමාජවාදී අදහස් වලටද නියෝජනයක් ලැබෙනවා. 

ධනවාදයේ පදනම මිනිස් නිදහස හා සමානාත්මතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමද එයයි. ඒ නිසාම ධනවාදියෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීමේ තාර්කික හැකියාවක් නැහැ. මේ නිසාම, ධනවාදය තුළ සමාජවාදී අදහස් වලට තිබෙන තැන කවදාවත්ම මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. 

රටක් විවෘත හෝ සංවෘත වීම වෙනමම කතාවක්. රටක් ධනවාදී වූ පමණින්ම එය පූර්ණ වශයෙන් විවෘත රටක් වන්නේ නැහැ. ඒ වගේම, සංවෘත ආර්ථික පවත්වා ගැනීම සමාජවාදී අදහසක්ද නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය හා සංවෘත ආර්ථික ක්‍රමය එක් වී හැදෙන ජාතික සමාජවාදය තිබිය හැකි නරකම සංයෝගයයි. මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත් වීම පිළිබඳ නරකම උදාහරණ දැකිය හැක්කේ ජාතික සමාජවාදී ක්‍රමය තුළයි. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ නිදහස ලැබෙන්නත් ගොඩක් කලින්. එය ඉංග්‍රීසීන්ගේ යම් අත්හදාබැලීමක් වෙන්නත් පුළුවන්. එංගලන්තයේ වගේම ඇමරිකාවේත් ලංකාවට සමාන පරිපූර්ණ සර්වජන ඡන්ද ක්‍රමයක් ඇති වුනේ ලංකාවට පසුවයි. 

ලංකාවේ මුලින්ම ඇති වුනු දේශපාලන පක්ෂ සමාජවාදය මත පදනම් වූ දේශපාලන පක්ෂ. එම පක්ෂ වලට රට තුළ මතවාදී බලයක් තිබුණා. සැලකිය යුතු ජන බලයක්ද තිබුණා. මැතිවරණ දේශපාලනය තුළ සමාජවාදී පක්ෂයකට ප්‍රධානම දේශපාලන බලවේගය ලෙස මතු වෙන්න බැරි වුනත් සමාජවාදී පක්ෂ දිගින් දිගටම සභාග ආණ්ඩු ඇතුළේ බලවත්ව සිටියා.

එජාපය ජයගත් නමුත් බහුතර ආසන ලබා නොගත්, 1947 මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තු ආසන දහයක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ද ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂය ආසන පහක්ද ලෙස ආසන 95කින් 18ක් ලබා ගත්තා. ඉන් පසුව, 1956 මැතිවරණයේදී ආසන ගණන අනුව දෙවන විශාලතම පක්ෂය වී විපක්ෂ නායක ධුරය ලබා ගන්නේ ලංකා සමසමාජ පක්ෂය. විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය වගේ පක්ෂ ආණ්ඩුව ඇතුළේ. ඉන් පසුව 1964දී වගේම 1970දීත් මුදල් ඇමති වෙන්නේ සමසමාජ පක්ෂයේ නායක ඇන් ඇම් පෙරේරා. 

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවරක්ම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගෙන පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ නිසාම, කවදාවත්ම ලංකාවේ පූර්ණ සමාජවාදී ක්‍රමයක් හැදුනේ නැහැ. නමුත් ආණ්ඩු ඇතුළේ හා ආණ්ඩුවෙන් පිටත ප්‍රබල ලෙස සමාජවාදී අදහස් නියෝජනය වීම නිසා ලංකාවේ ආර්ථික ක්‍රමය සැලකිය යුතු තරමකින් සමාජවාදී පැත්තට නැඹුරු වුනා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සමාජවාදී විය හැකි උපරිම මට්ටමටම ලංකාව සමාජවාදී වී තිබෙනවා කිවුවොත් නිවැරදියි.

මීට කලින් කොමියුනිස්ට් ප්‍රකාශනය ගැන ලිවුවේ මේ ගැන විමසීමක් කිරීමේ පහසුවට. හැම සමාජවාදියෙක්ම ඔය ලැයිස්තුව අතට අරගෙන එයින් එකින් එක ක්‍රියාත්මක කරන්න යනවා කියන එක අදහස් නොවුනත් ඔය ලැයිස්තුවෙන් ප්‍රායෝගිකව සමාජවාදී අදහස් කියන්නේ මොනවාද කියන එක බොහෝ දුරට නිරූපණය වෙනවා. 

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් පෞද්ගලික ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැහැ. පුලුවන් සීමාව දක්වා ඔය වැඩේ කරලා තිබෙනවා. වතු ජනසතු කිරීමේදී වුනේ මේකයි. නමුත් ඒ වැඩෙන් වුනේ හොඳට තිබුණු වතු පාළු වෙලා, වංචා දූෂණ හොරකම් වලට පාර කැපිලා, අපනයන ආදායම් අඩු වෙලා, රජයේ ආදායම් වෙනුවට පාඩු එකතු වෙලා විශාල ආර්ථික හානියක් සිදු වුන එක පමණයි. තව අක්කර පණහේ නීතිය වගේ නීතිත් ගෙනාවා. මතක හැටියට දැනටත් ලංකාවේ ඉඩම් වලින් 77%ක් පමණ අයිති රජයටයි. පරම්පරා කීපයක් ජීවත් වුනු ඉඩම් වල සම්පූර්ණ අයිතියක් ගොඩක් අයට නැහැ. වසර කිහිපයකට පෙර මේ ඉඩම් අයිතිකරුවන්ට ලැබෙන පරිදි සංශෝධන ගේන්න හදපු අවස්ථා වලදී සමාජවාදී දේශපාලන පක්ෂ එම ප්‍රතිසංස්කරණ වලට විශාල විරෝධයක් දැක්වූවා. ඉදිරියේදී වුනත් වෙන්න ඉඩ තියෙන්නේ ඒකයි.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

මේක සමාජවාදී අදහසක් වුනත් ජනප්‍රිය අදහසක්. ඒ නිසා ලෝකයේ හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දිගටම වගේ ක්‍රියාත්මක වී තිබෙන දෙයක්. දැන් IMF වැඩ සටහනෙන් වෙන්නෙත් මේ පැත්තට යාමක්. හැබැයි මේ කාරණයේදීනම් සමහර සමාජවාදී පක්ෂ ඉන්නේ ධනවාදය පැත්තේ. 

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් මේ වැඩේ කරන්න බැහැ. නමුත් යම් සීමා කිරීම් කරලා තිබෙනවා. කලින් කියපු අක්කර පණහේ නීතිය වගේම ගෙවල් හතේ නීතිය වගේ නීති උදාහරණයි. කලින් සමාජවාදී ආණ්ඩු යටතේ තිබී පසුව අහෝසි වී ඇති, දැන් අලුතෙන් දමන්න යන ධන (සම්ප්‍රේෂණ) බද්දත් මේ ගොඩට දමන්න පුළුවන් එකක්.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

මේ වැඩේ ලංකාවේ සිදු වෙලා තිබුණත් ඒකට හේතුවනම් සමාජවාදී අදහස් නෙමෙයි. ඒ වගේම, වෙනත් හේතු නිසා සමාජවාදී පක්ෂ මේ වැඩේට විරුද්ධ වෙලා තිබෙනවා. මේක අද සන්දර්භයේ ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

පෞද්ගලික අයිතිය යටතේ තිබුණු ලංකා බැංකුවේ සියලු කොටස් රාජ්‍ය අයිතියට ගන්නේත්, ෆෙඩරල් සමුපකාර බැංකුවේ කොටස් රජයට අරගෙන මහජන බැංකුව හදන්නේත් මේ මූලධර්මය අනුවයි. දැනටත් මේ බැංකු දෙක රටේ ප්‍රධානම බැංකු දෙකක්. ඒකාධිකාරය නැති වෙමින් ඇතත් මේ සමාජවාදී නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව තිබෙනවා. ඒ වගේම සියලුම රක්ෂණ සමාගම් රජයට ගෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හදන්නෙත් මේ මූලධර්මය අනුවයි. 

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

මේ දෙකම සියයට සියයක්ම වගේ කරලා තිබෙන දේවල්. ප්‍රවාහනය කෙළින්ම රජයේ තනි පාලනයට යටත් කළා. ජනමාධ්‍යත් රජයට ගත්තා. දැනටත් මෙම ජනමාධ්‍ය ආයතන පාඩු ලබමින් බදු මුදල් වලින් නඩත්තු වෙනවා.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

කලින් කියපු ටයර් සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් ගණනාවක්ම ඇති කළේ ඔය මූලධර්මය අනුව. ඒ වගේම, "පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම" කියන එක ලංකාවේ ඒ විදිහටම ක්‍රියාත්මක වුනා.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කළ හැකි සීමාව තුළ ඔය වැඩේ කරන්න උත්සාහ කරලා තිබෙනවා. හාල් පොලු මිරිස් පොලු දැම්මේ ඔය වැඩේට. 

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

මේකත් කලින් එක වගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. හාල් පොලු මිරිස් පොලු දැමීම තුළ ඔය ඉලක්කයත් තිබුණා.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම.

මේ වැඩේ කොහොමටත් ලංකාවේ සිදු වෙනවා. ලෝකයේ අනෙක් හැම රටකම වගේමත් සිදු වෙනවා. 

කෙටියෙන් කතාව මේකයි. සමහර සමාජවාදී ඉලක්ක වලට මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත්ම යන්න බැහැ. යන්න පුළුවන් ඉලක්ක හැම එකකටම වගේ ලංකාව ගිහින් තියෙනවා. දිගටම කළ හැකි වූ දේවල් දැනටත් සිදු වෙනවා. අසාර්ථක වූ දේවල් පසුව අත හැර දමා තිබෙනවා. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට අලුතෙන් කළ හැකි, කලින් අත්හදා නොබැලූ දේවල් කිසිවක්ම නැති තරම්. කළ හැකි ඕනෑම දෙයක් කලින් අසාර්ථක වූ දෙයක් නැවත අත්හදා බැලීමක් පමණයි. 

රජය විසින් ව්‍යාපාර කිරීම කාලයක් තිස්සේ අත්හදා බලා තිබෙන දෙයක්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් ලංකාවේ අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 75ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ තුන්වන සහ හයවන තීරුවල තිබෙන්නේ හැත්තෑ හතට පෙර කාලයේ සමස්තයක් ලෙස ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම් හා වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් හා එම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පැත්තකින්ම තිබ්බත් අවම වශයෙන් අදාළ ආයතන වල ආදායමෙන් වර්තන වියදම් හෝ ආවරණය වී නැහැ. ඒ කියන්නේ හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ. රට මේ තරම් ණය වුනේ ඇයි කියන එකට එකම පිළිතුර මෙය නොවූවත් මෙය ප්‍රධානම හේතුවක්. 

දැන් මේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළාට පසුව ප්‍රශ්නය විසඳිලාද? පැහැදිලිවම ඔව්. ඔය ආයතන ඔය ආකාරයෙන් පාඩු ලබමින් දිගින් දිගටම නඩත්තු කළානම් රටේ ණය ගොඩ ගැසී, එම ණය ගෙවා ගන්න බැරි වී රට අර්බුදයට යන්නේ මීට වඩා ගොඩක් කලින්. 

Saturday, March 25, 2023

ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර


රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. 

රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම යන සියල්ලම කිරීම සමාජවාදී ආර්ථික ක්‍රමයයි. ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ රජය විසින් වෙළඳපොළට මැදිහත්වීමක් කරන්නේ වෙළඳපොළට විසඳිය නොහැකි ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමට පමණයි.

ඉහත කී සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව මේ වන විට සමාජවාදී අදහස් දරන බොහෝ දෙනෙක් පවා පිළිගන්නා දෙයක් නිසා ඒ බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා, පැරණි සෝවියට් දේශයේ සිට කියුබාව හා උතුරු කොරියාව දක්වා ඓතිහාසික හා ජීවමාන නිදර්ශන ඕනෑ තරම් තිබෙනවා. වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය ආදිය මේ ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණ. මේවා ගැන ලාංකිකයින්ට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් සමාජවාදී ආර්ථික දැක්මක් ඇතුව හදපුවා. ඊට අමතරම පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ලෙස හඳුනාගෙන කළ දේවල් මෙන්ම ජාතිකවාදී හා ආරක්ෂණවාදී පදනමකින් කරපු දේවලුත් තිබෙනවා. මේ අරමුණු එකට සම්බන්ධ වී ඇති නිසා ඉරි ගහලා වෙන් කරන්න අමාරුයි.

නිදහස ලබද්දී පෞද්ගලික අංශය හරහා හොඳින් ක්‍රියාත්මක වූ තෙල් කර්මාන්තය, වැවිලි කර්මාන්තය, බස් කර්මාන්තය ආදිය ජනසතු කෙරුණේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුවයි. නමුත් අන්තිමට ඉතිරි වුනේ වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය එක්ක පාඩු පමණයි. මේ ඇතැම් අංශ පසුව නිදහස් වුවත්, ලංකාවේ රජය තවමත් පෞද්ගලික අංශයට කළ හැකි බොහෝ දේ කරනවා. 

සෝවියට් පන්නයේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් දැන් තිබෙනවානම් තියෙන්නේ උතුරු කොරියාවේ පමණයි. අනෙකුත් බොහෝ සමාජවාදී රටවල් විසින් එක්කෝ සමාජවාදී ක්‍රමය එකවර අතහැර තිබෙනවා. නැත්නම් ක්‍රමයෙන් අත හරිමින් සිටිනවා. චීනය දෙවන ක්‍රමයට උදාහරණයක්. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් (socialist market economy) ලෙස හඳුන්වන චීන ක්‍රමයේදී රජයේ (කොමියුනිස්ට් පක්ෂයේ) මධ්‍යගත සැලසුම හා අනුගත වන පරිදි වෙළඳපොළ ක්‍රමයෙන් නිදහස් කෙරෙමින් තිබෙනවා. ඒ එක්ක චීනයේ වේගයෙන්  බිලියනපතියන් බිහිවෙනවා. ඒ සමහර අයනම් හිටපු ගමන් අතුරුදහන් වෙනවා.

මෙයින් වෙනස්ව ධනවාදී රටකදී රජයක් වෙළඳපොළට මැදිහත් වෙන්නේ පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් කරන්න පමණයි. අනෙක් ගොඩක් දේවල් කරන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ව්‍යවසාය විසින්. ඒ අතර ආදායම් විෂමතා අඩු කිරීම වැනි සමාජවාදී අරමුණු, වෙනත් ජාතික අභිලාශ ආදිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. 

කිසියම් ව්‍යාපාරයක් කිරීමෙන් ලාබ ලැබිය හැකිනම් පෞද්ගලික ව්‍යවසායකයෙක් බොහෝ විට වැඩේට අත ගහනවා. එහෙම නොකළොත් අවදානම වැඩිකම, විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම වැනි හේතු නිසා පමණයි. ඒ කියන්නේ, ධනවාදී ක්‍රමයක් ඇතුළේ රජයකට ව්‍යාපාර කරලා ලාබ ලබන්න අමාරුයි කියන එක. මොකද එහෙම පුළුවන්කමක් තිබෙනවානම් රජය ඒ වැඩේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබීම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රාජ්‍ය ව්‍යවසායයක් අනිවාර්යයෙන්ම පාඩු ලැබිය යුතුයි කියන එක මෙයින් අදහස් වන්නේ නැහැ. ආර්ථික ලාබ නැතත් රාජ්‍ය ව්‍යවසායක් ගිණුම්කරණ ලාබ ලබන්න පුළුවන්. ආර්ථික ලාබ නැතුව ගිණුම්කරණ ලාබ තිබුණු පමණින් පෞද්ගලික අංශය ව්‍යාපාරයකට අත ගහන්නේ නැහැ. නමුත් රජයකට එවැනි ව්‍යාපාර පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ වගේම, ලාබ නොලබන පදනමකින්, එහෙත් පාඩු නැතිව, ව්‍යාපාර පවත්වාගෙන යන්නත් පුළුවන්. මෙහිදී ගිණුම්කරණ පාඩුවක් නැතත්, ආර්ථික පාඩුවක් වෙනවා. මෙයිනුත් ඔබ්බට ගිහින් ගිණුම්කරණ පාඩු එක්කම වුනත් ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන එකේ ඒ හේතුව නිසාම වැරැද්දක් නැහැ.

පෞද්ගලික අංශය විසින් නොකරන, ආර්ථික ලාබ නැති කටයුත්තකට රජය අත ගහද්දී එසේ කිරීමේ පිරිවැය පැහැදිලිව හඳුනාගත යුතුයි. මොකද එම පිරිවැය දරන්න වෙන්නේ බදු ගෙවන්නන්ටයි. ගිණුම්කරණ පාඩු ඇත්නම් මේ පිරිවැය වහාම දරන්න වෙනවා. ගිණුම්කරණ පාඩු නැතුව ආර්ථික පාඩු පමණක් ඇත්නම්, යම් කාලයක් ලැබෙන නමුත්, අවසානයේදී බදු ගෙවන්නට පිරිවැය දරන්න වෙනවා. ඒ නිසා, රජය විසින් යම් වැඩකට බදු මුදල් යොදවද්දී එයින් ආර්ථික ලාබ නැත්නම් ඒ වෙනුවට ලැබෙන ආර්ථික නොවන වාසි මොනවද කියන එක පැහැදිලි ලෙස බදු ගෙවන්නන්ට දැනුම් දිය යුතුයි.

කොහොම වුනත් පෞද්ගලික අංශයට කරලා ලාබ ගන්න පුළුවන් දෙයක් රජය විසින් කරමින් පාඩු ලබනවානම් එය විශාල ප්‍රශ්නයක්. පාඩු නොලබන නමුත් ප්‍රමාණවත් ලාබ නොලබනවානම් ඒකත් ප්‍රශ්නයක්. ප්‍රමාණවත් ලාබ ලබනවාම වුනත් තරඟ තීරකයා වන නියාමකයා තරඟකරුවෙකුද වූ විට එහි පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබෙනවා. 

බැංකු, රක්ෂණ, හෝටල්, විදුලි සංදේශ, ජනමාධ්‍ය වගේ අංශ දැනටත් පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ලංකාව තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. නියාමනය කරනවා හැරෙන්න රජයට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙම අංශ වල පෞද්ගලික ව්‍යවසායකයින් ආකර්ශනය වන තරමේ ලාබයක් වගේම ප්‍රමාණවත් තරඟයකුත් තිබෙනවා. 

කාලයකට පෙර ලංකාවේ විදුලි සංදේශ සේවාවන් සැපයුණේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඒකාධිකාරය යටතේ. පසුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සංස්ථාවක් වී ඉන්පසුව සමාගමක් වුනා. ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස නම වෙනස් වුනා. දැන් මෙය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. 

කෙසේ වුවත්, තවමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49.5%ක කොටස් අයිතියක් මහා භාණ්ඩාගාරයට තිබෙනවා. ඒ හරහා, රජයට, විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට, මෙම ආයතනයට බලපෑම් කළ හැකියි. උදාහරණයක් ලෙස කලකට පෙර මෙම ආයතනයේ සභාපති සේ පත් කෙරුණේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. රජය ව්‍යාපාර කරද්දී ඔය වගේ දේවල් වෙනවා. මේවා අදාළ පුද්ගලයින්ගේ ප්‍රශ්න වුනත්, පුද්ගලයින්ට මේ වගේ දේවල් කළ හැකි වන්නේ ක්‍රමය තුළයි. 

ස්ථිර සම්බන්ධතා දුරකථන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අයිතිය නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ආරම්භයේදී අනෙක් තරඟකරුවන්ට නැති වාසියක් තිබුණා. නමුත් මෙම වෙළඳපොළ මිය යමින් තිබෙන වෙළඳපොළක්. තමන්ගේ සම්ප්‍රදායික වෙළඳපොළ අහිමි වෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සාර්ථක ලෙස ජංගම දුරකථන හා දත්ත සේවා සැපයුම් වෙළඳපොළට පිවිසුනා. මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් හැම වසරකදීම ලාබ ලබනවා. 

ආයතනයක ලාබ පරීක්ෂාවට ලක් කළ හැක්කේ යොදවා ඇති කොටස් ප්‍රාග්ධනයට සාපේක්ෂවයි. මෙය ප්‍රතිලාභ අනුපාතය ලෙස හැඳින්වෙනවා. පහත තිබෙන්නේ 2012-2021 අතර වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිලාභ අනුපාතයි. 

2012- 7.00%

2013- 9.06%

2014- 9.39%

2015- 5.71%

2016- 6.97%

2017- 5.52%

2018- 6.71%

2019- 8.09%

2020- 9.35%

2021- 12.94%

වසර දහයක සාමාන්‍ය අගය 8.1%ක්. ආසන්න වසර පහේ සාමාන්‍ය අගය 8.5%ක්. රටේ සාමාන්‍ය උද්ධමනය 5% ලෙස සැලකුවොත් මූර්ත ප්‍රතිලාභය 3%කට ආසන්නයි. මෙය ප්‍රමාණවත් වුවත් ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාතයක් නෙමෙයි.

අදාළ වකවානු තුළ ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ආයෝජන වල සාමාන්‍ය ප්‍රතිලාභ 14.83% (2012-2021) හා 17.04 (2017-2021) වූ බවත්, ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය පවත්වා ගන්නේ 2% මට්ටමේ බවත් සැලකූ විට මෙම ප්‍රතිලාභ අනුපාතිකය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම්හි තරඟකරුවෙකු වන ඩයලොග් සමාගමේ ප්‍රතිලාභ අනුපාතික පහත තිබෙනවා. එම අගයන්හි සාමාන්‍යය 15.04%ක්. 

2017- 17.8%

2018- 11.2%

2019- 14.2%

2020- 14.2%

2021- 17.8%

කොටස් ආයෝජනයක් සැලකෙන්නේ දිගුකාලීනම බැඳුම්කරයකටද වඩා දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ශ්‍රී ලංකා රජයට 8% පොලියට දිගුකාලීනව අරමුදල් ලබා ගැනීම කළ නොහැක්කක් නොවුනත් ඉතා අසීරු දෙයක්. විශේෂයන්ම මේ අවස්ථාවේදී එය කළ නොහැකියි. දිගුකාලීන පොලී අනුපාතික 15% මට්ටම දක්වා අඩු වනු ඇතැයි සිතුවත්, 15%කට ණයට ගෙන 8% පොලියට ආයෝජනය කිරීම මෝඩ වැඩක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ඊටත් අමතරව මෙහි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්හි ලාභ සියල්ල කොටස්හිමියන් අතර බෙදා හරින්නේ නැහැ. එයින් වැඩි කොටසක් නැවත එම සමාගම තුළම ආයෝජනය කෙරෙනවා. කොටස්හිමියන්ට ලැබෙන්නේ ආසන්න වශයෙන් ලාබයෙන් තුනෙන් එකක් පමණ.

වසරකට 8%ක පමණ ප්‍රතිලාභ ලැබෙන නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් තුළ මුදල් ආයෝජනය කිරීමෙන් බදු ගෙවන්නන්ට පාඩුවක් නොවන බව අපි හිතමු. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ ආයෝජනය කරන්නට තරම් ප්‍රමාණවත් අතිරික්ත වත්කම් රජය සතුව ඇත්නම් පමණයි. රජයකට බදු මුදල් සියල්ල වැය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගන්න පුළුවන්. 

සිංගප්පූරුව වැනි රටවල රජයයන් බදු මුදල් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගෙන තිබෙනවා. ඒ වත්කම් ආයෝජනය කර තිබෙනවා. නිදහස ලැබෙන තුරු ලංකාවේ තිබුණේත් එවැනි ක්‍රමයක්. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ක්‍රමයෙන් විනාශ වී ගියේ එසේ වැය නොකළ බදු ආදායම් ලෙස එකතු කරගත් ධනයයි. 

නමුත් දැන් ලංකාව නහයටත් උඩින් ණය වී ණය පැහැර හැර ඇති රටක්. ශ්‍රී ලංකා රජය සතු කවර හෝ වත්කම් ඇත්නම් එම වත්කම් දැනටමත් ණය හිමියන්ට අයිති වී අවසානයි. තිබෙන වත්කමක් මුදල් කර ණය ගෙවනු හැර මුදල් හිර කර තැබීමේ හැකියාවක් මේ වෙලාවේ ශ්‍රී ලංකා රජයට නැහැ. 

වෙබ් ලිපිනය: