වෙබ් ලිපිනය:

Showing posts with label ඉන්දියාව. Show all posts
Showing posts with label ඉන්දියාව. Show all posts

Sunday, September 13, 2026

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!


පසු ගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. 

මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා. 

සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්‍රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.

පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.

මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.

Tuesday, September 1, 2026

ඉන්දියාවේ විදේශ සංචිත වාර්තාගත මට්ටමකට!


ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට (2026 අගෝස්තු 21) ඩොලර් බිලියන 729.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වන අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් හත් ගුණයකට ආසන්න අගයක්. එමෙන්ම, ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් සිය ගුණය ඉක්මවන අගයක්.

ලංකාවට වඩා බොහෝ විශාල ආර්ථිකයක විදේශ සංචිත ලංකාවේ විදේශ සංචිත සමඟ සැසඳීම නිවැරදි නැහැ. එසේ හෙයින්, ආනයන වියදම් සමඟ ගැලපුවද මෙය මාස නවයකට වඩා වැඩි කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් අගයක්. එමෙන්ම ඉන්දියාවේ රාජ්‍ය අංශයේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 168.7 මෙන් හතර ගුණයකටත් වඩා වැඩි අගයක්. 

විදේශ සංචිත එකතු කර ගැනීම "මිල අධික" කටයුත්තක්. මහ බැංකුවක් විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය ඉවත් කර ගන්නා තරමට රටේ මුදල් ඒකකයේ වටිනාකම පහත වැටෙනවා. රට තුළ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එහෙත් මේ මගින් ආනයනික භාණ්ඩ පරිභෝජනය සීමා වන බැවින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වෙනවා. අපනයන ඉහළ යනවා. මේ හරහා දිගුකාලීනව රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ගලා එනවා. අවසාන වශයෙන් දිගුකාලීනව රටේ මුදල් ඒකකය වඩා ශක්තිමත් වෙනවා.

ලෝකයේ රටවල් අතරින් වැඩිම විදේශ සංචිතයක් පවත්වා ගන්නා රට චීනයයි. මේ වන විට (2026 ජූලි 31) චීනය සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3791.6ක්. ඉන් පසුව, වැඩිම නිල විදේශ සංචිත ඇති රටවල් වන්නේ ජපානය, ස්විට්සර්ලන්තය සහ රුසියාවයි. ඉන්දියාව මේ වන විට රුසියාවේ මට්ටමට බෙහෙවින්ම ආසන්නව පස් වන තැන සිටිනවා. මේ වන විට (2026 අගෝස්තු 21) රුසියාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 761.2ක්.

විදේශ සංචිත ලෙස පොදුවේ හැඳින්වුනද ඉහත සංචිත වලට රන් සංචිතද ඇතුළත්. චීනයේ නිල විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 306.3ක ප්‍රමාණයක් රන් සංචිත වන අතර ඉන්දියාව සතු රන් සංචිත වල වටිනාකම ඩොලර් බිලියන 114.2ක්. 

Monday, August 31, 2026

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය


ලෝකයේ බොහෝ රටවලට බාහිර කම්පන තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ පසු ගිය කාර්තුව තුළද ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 7.8%ක් ලෙස වාර්තා වෙනවා. මෙම වර්ධන වේගය පුරෝකථන ඉක්මවා යන්නක්. මෙම වසරේ මුල් කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථිකය 8.6%ක වර්ධන වේගයක් වාර්තා කළා. 

Friday, January 2, 2026

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මග

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. 

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.

මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 

උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්. 

ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්‍රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි. 

ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්. 

ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.

දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්‍රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා. 


Thursday, December 25, 2025

ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය


මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර * සලකුණ ඇති ප්‍රාන්ත වල ඇස්තමේන්තු 2023/24 මූල්‍ය වර්ෂය සඳහායි. ගුජරාට් ප්‍රාන්තයේ අගය 2022/23 ඇස්තමේන්තුවයි. සංසන්දනය සඳහා ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ පළාත් වල 2024 වර්ෂයේ ඇස්තමේන්තුද ඉදිරිපත් කර තිබෙනවා.

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් සියලු පළාත් එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,642ක් පමණයි. ලංකාවට යාබදව පිහිටි දකුණු ඉන්දීය ප්‍රාන්ත වන කේරළ, තමිල්නාඩු, කර්ණාටක, ගෝව, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත හය එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,130ක්. 

ඉහත දත්ත අනුසාරයෙන් බැලුවහොත් ලංකාව හා සංසන්දනය කළ හැකි ඉන්දියානු භූගෝලීය කලාපය සහ ලංකාව අතර මේ වන විටද ආර්ථික තත්ත්වයෙහි විශාල වෙනසක් නොමැති බව පැහැදිලිව පේනවා. මෙම සටහනෙහි විශේෂයෙන් පෙන්වා නොදෙන නමුත් පකිස්ථානය සහ බංග්ලා දේශය සමඟ සංසන්දනය කළ හැකි උතුරු ඉන්දියානු භූගෝලීය කලාපය සහ එම රටවල් දෙක අතරද එවැනිම ආසන්න සමානකමක් දැකිය හැකියි. 

මේ නිරීක්ෂණ අහම්බ නෙමෙයි. ආර්ථිකයන් වර්ධනය වන්නේ කලාප ලෙසයි. පහත තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අදාළ දත්ත.


සීකිම්* - ඇමරිකන් ඩොලර් 7,116

ගෝව* - ඇමරිකන් ඩොලර් 7,094

බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852


දිල්ලිය - ඇමරිකන් ඩොලර් 5,890

චන්දිගර්* - ඇමරිකන් ඩොලර් 5,490

තෙලන්ගානා - ඇමරිකන් ඩොලර් 4,631

කර්ණාටක - ඇමරිකන් ඩොලර් 4,551

ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543

වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411


තමිල්නාඩු - ඇමරිකන් ඩොලර් 4,320

හර්යානා - ඇමරිකන් ඩොලර් 4,220

දකුණු ඉන්දීය ප්‍රාන්ත - ඇමරිකන් ඩොලර් 4,130

මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906

උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806

සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757


මහාරාෂ්ට්‍ර -  ඇමරිකන් ඩොලර් 3,696

කේරළය - ඇමරිකන් ඩොලර් 3,684

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් පළාත් - ඇමරිකන් ඩොලර් 3,642

ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404

දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393


පුදුච්චේරි - ඇමරිකන් ඩොලර් 3,363

අන්දමන් සහ නිකොබාර් දූපත්* - ඇමරිකන් ඩොලර් 3,341

ගුජරාට්** - ඇමරිකන් ඩොලර් 3,310

උත්ත්රඛන්ඩ් - ඇමරිකන් ඩොලර් 3,274

උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216


ආන්ද්‍රා ප්‍රදේශ්  - ඇමරිකන් ඩොලර් 3,181

හිමාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 3,060

අරුණාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 2,949

ලදාඛ්* - ඇමරිකන් ඩොලර් 2,934

මිසෝරාම්* - ඇමරිකන් ඩොලර් 2,845


නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777

පන්ජාබ් - ඇමරිකන් ඩොලර් 2,643

ත්‍රීපුර - ඇමරිකන් ඩොලර් 2,304

රාජස්ථාන් - ඇමරිකන් ඩොලර් 2,221

ඔදිෂා - ඇමරිකන් ඩොලර් 2,019

බටහිර බෙංගාලය - ඇමරිකන් ඩොලර් 1,953

චටිශ්ගර් - ඇමරිකන් ඩොලර් 1,946

ඇසෑම් - ඇමරිකන් ඩොලර් 1,902

මෙඝාලයා - ඇමරිකන් ඩොලර් 1,877

නාගලන්ඩ්* - ඇමරිකන් ඩොලර් 1,874

ජම්මු සහ කාශ්මීර් - ඇමරිකන් ඩොලර් 1,850

මධ්‍ය ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,823

මනිපූර් - ඇමරිකන් ඩොලර් 1,452

ජාර්ඛාන්ඩ්- ඇමරිකන් ඩොලර් 1,394

උත්තර ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,297

බිහාර් - ඇමරිකන් ඩොලර් 828


* 2023/24 මූල්‍ය වර්ෂය; **2022/23 මූල්‍ය වර්ෂය; අනෙකුත් ඉන්දියන් ප්‍රාන්ත 2024/25 මූල්‍ය වර්ෂය.

Monday, December 8, 2025

ඉන්දියාවේ 8.2%ක ආර්ථික වර්ධනයක්!


මෙම වසරේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු 3.5%කින් වර්ධනය වෙද්දී ඉදිකිරීම් අංශය 7.2%කින්ද නිෂ්පාදන අංශ 9.2%කින්ද වර්ධනය වී ඇති අතර සේවා අංශ (මූල්‍ය, නිවාස හා දේපොළ සහ වෘත්තීය සේවා) 10.2%කින් වර්ධනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 7.8%ක වර්ධන වේගය හා එක්ව ගත් විට වසරේ පළමු අර්ධයේ වර්ධන වේගය 8.0%ක් ලෙස වාර්තා වෙනවා. 

Saturday, June 7, 2025

ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ප්‍රමාණවත්ද?



ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.

බංග්ලා දේශය - කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)
ඉන්දියාව - කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,481)
නේපාලය - කිලෝවොට් පැය 321 (ඩොලර් 1,378)
පකිස්ථානය - කිලෝවොට් පැය 606 (ඩොලර් 1,365)
ශ්‍රී ලංකාව - කිලෝවොට් පැය 684 (ඩොලර් 3,828)
දකුණු ආසියාව - කිලෝවොට් පැය 956 (ඩොලර් 2,303)

සිංගප්පූරුව - කිලෝවොට් පැය 10,143 (ඩොලර් 84,734)
තායිලන්තය - කිලෝවොට් පැය 2,867 (ඩොලර් 7,182)
මැලේසියාව - කිලෝවොට් පැය 4,986 (ඩොලර් 11,379)
ඉන්දුනීසියාව - කිලෝවොට් පැය 1,257 (ඩොලර් 4,876)
මියන්මාරය - කිලෝවොට් පැය 354 (ඩොලර් 1,233)

වියට්නාමය - කිලෝවොට් පැය 2,624 (ඩොලර් 4,282)
චීනය - කිලෝවොට් පැය 6,112 (ඩොලර් 12,614)

පහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 905 (ඩොලර් 2,416)
ඉහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 4,286 (ඩොලර් 10,451)
ලෝකය - කිලෝවොට් පැය 3,486 (ඩොලර් 13,170)

කවුරු කැමති වුනත්, අකැමති වුනත්, ඒක පුද්ගල විදුලි පරිභෝජනය සහ ඒක පුද්ගල ආදායම අතර සෘජු සම්බන්ධයක් තියෙනවා. එය කරුණුමය සත්‍යයක්. රටක් සංවර්ධනය වෙද්දී ඒක පුද්ගල විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි. 

ඉහත දත්ත දෙස බලා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි, තෝරාගත් රටවල් අතර, ලංකාවට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන හැම රටකම ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවට වඩා වැඩියි. ලංකාවට වඩා අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනයක් කරන හැම රටකම ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා අඩුයි. 

පෞද්ගලික හෝ ජාතික ඉලක්කයක් විදිහට අඩුවෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව කාටවත් විරුද්ධ වෙන්න බැහැ. නමුත් ඒ ඉලක්කය සහ රටේ ඒක පුද්ගල ආදායම වැඩි ගැනීම කියන ඉලක්ක දෙක කිසිසේත්ම එකට යන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙද්දී විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි.

මෙහිදී මම කතා කරන්නේ නාස්තිය අඩු කිරීම මගින් කළ හැකි සංරක්ෂණය ගැන නෙමෙයි. පරිභෝජනය හා නාස්තිය කියන්නේ කරුණු දෙකක්. නාස්තිය අඩු කිරීම පරිභෝජනය අඩු කිරීමක් විය යුතු නැහැ. 

ඒක පුද්ගල ආදායම් මට්ටම දෙස බලද්දී ලංකාවේ අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනය කැපී පෙනෙනවා. ඒක පුද්ගල විදුලි පරිභෝජනය අතින් ලංකාව ඉන්නේ පකිස්ථානය සහ බංග්ලා දේශය ඉන්න තැනට කිට්ටුව. ඒ දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න රටවල්. විශේෂයෙන්ම පකිස්ථානය. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න වියට්නාමයේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවේ මෙන් හතර ගුණයක්. 

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය. මේ ගණන් සංසන්දනය කළ විට පැහැදිලි විකෘතියක් පේනවා. ලංකාවේ ජීවන තත්ත්වය ඇත්තටම ඉන්දියාවේ ජීවන තත්ත්වයට වඩා වැඩිද? ඒක පුද්ගල ආදායම් වෙනස එවැන්නක් පෙන්නුවත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය දෙස බලද්දී එවැනි තත්ත්වයක් පේන්නේ නැහැ.

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක තිබෙන නිසා සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන දකුණු ආසියාවේ සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජන අගය සැලකුවත් ලංකාව ඉන්නේ ඊට වඩා පහළින්. ඒ වගේම, ලංකාව දැන් ඉන්න පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල සාමාන්‍ය අගය සැලකුවත් ලංකාවේ අගයට වඩා වැඩියි. 

දැන් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටී සිටියත්, ලංකාව කියන්නේ ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ හිටපු රටක්. ඉහළ මැදි ආදායම් රටවල සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 4,286ක්. ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය වන කිලෝවොට් පැය 684 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට කිසිසේත්ම නොගැලපෙන අගයක්. ලංකාවට කවදා හෝ සංවර්ධිත රටක් වීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබේනම් මේ කරුණ ගැන දැන් සිටම බරපතල ලෙස හිතන්න වෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? 

පළමුව ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීම හා බෙදා හැරීම කළේ සහ කරන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා. හැබැයි එපමණකින්ම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවලත් විදුලි බල කර්මාන්තය තුළ රාජ්‍ය බලපෑම දකින්න පුළුවන්.

මේ ප්‍රශ්නයට හේතු වී තිබෙන්නේ ලංකාවේ විදුලි ගාස්තු සුබසාධනය කළ ආකෘතිය. දිගින් දිගටම සිදු වුනේ සුබසාධනයේ බර රාජ්‍ය අයවැයෙන් ඉවත් කරලා ලංවිම ගිණුම් ඇතුළේ සඟවපු එක. ඒ නිසා ලංකාවේ විදුලි බල කර්මාන්තයට ආර්ථිකයත් එක්ක ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය එකතු කරගන්න ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ හැකියාවක් කර්මාන්තයට තිබුණේ නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදකයෙක් උත්සාහ කරන්නේ තමන්ගේ නිෂ්පාදනය පුළුවන් තරම් විකුණාගන්න. ඒ කියන්නේ පරිභෝජනය වැඩි කරවාගන්න. නමුත් විදුලිබල මණ්ඩලය තමන්ගේ පාරිභෝගිකයින්ට කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පරිභෝජනය කරන්න කියලයි. ඇත්තටම මේ කර්මාන්තය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ සලාක ක්‍රමයකට ආසන්න ක්‍රමයක්. 


ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය මේ තරමටම ඉහළ ගොස් තිබීමට එරට විදුලි බල කර්මාන්තයට පෞද්ගලික අංශය සම්බන්ධ වීම විසින් සෑහෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර පහළොවක පමණ කාලය ඇතුළත. පසුගිය කාලය තුළ ඉන්දියාවේ විදුලි බල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ ගොස් ඇති ආකාරය මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව දැක ගත හැකියි. 

මෙයට විසඳුම විදුලි ගාස්තු සුබසාධනය කිරීම මගින් පරිභෝජනය දිරිමත් කිරීම නෙමෙයි. ඒ ක්‍රමය හරි ගියානම්, ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඔය තරම් පහළ මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. 

විදුලිබල කර්මාන්තයේ ආයෝජන ඉහළ යන තරමට ඒකක පිරිවැය අඩු කළ හැකි ආයෝජන එකතු වී ඒකක පිරිවැය අඩු වෙනවා. ආයෝජන සිදු වෙන්නේ නැත්නම් විදුලිය නිපදවන්න වෙන්නේ ඒකක පිරිවැය වැඩි අකාර්යක්ෂම ක්‍රමවේද අනුව. යම් කාලයකදී කාර්යක්ෂම ක්‍රමයක් කාලයක් යද්දී අකාර්යක්ෂම ක්‍රමයක් වෙනවා. දිගටම ආයෝජන අවශ්‍ය වෙන්නේ ඒ නිසා. නමුත් අවශ්‍ය ආයෝජන කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න බැරි ආයතනයකට මේ සෙල්ලම කරන්න බැහැ. තියෙන්නේ එකම ආයතනයක් පමණක්නම් එය රටේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. 

මම හිතන්නේ ඔය හිරවීම ඉන්දියාවේ රාජ්‍ය අංශයේත් වෙන්න ඇති. නමුත් පෞද්ගලික ආයෝජන නිසා කර්මාන්තය ප්‍රසාරණය වෙනවා. අලුත් ආයෝජන වැඩි වැඩියෙන් එද්දී ඒකක පිරිවැය වැඩි පැරණි ආයෝජන වලින් විදුලිය හදලා ලාබයක් ගන්න බැරි වෙනවා. අලුත් ආයෝජන වලින් පරණ ආයෝජන විස්ථාපනය වෙනවා. එහෙම වෙද්දී විදුලි ගාස්තුත් අඩු වෙනවා. 

Thursday, December 26, 2024

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!


අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා.

පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව, 1954දී එම වීශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තා. ඉන් පසුව වසර තුනක කාලයක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහි ආර්ථික විද්‍යාව හැදෑරූ ඔහු 1957දී එම සරසවියෙන් ලබාගත් උපාධියක්ද සමඟ නැවත ඉන්දියාවට පැමිණ කෙටි කලක් පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව, ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙතගොස් 1962දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තා.

ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ආචාර්ය මන්මෝහන් සිං පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මෙන්ම දිල්ලි විශ්ව විද්‍යාලයේද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළා. ඊට අමතරව ඔහු UNCTAD වැනි ජාත්‍යන්තර සංවිධාන වලද සේවය කළා. පසුව ඉන්දියාවේ රාජ්‍ය සේවයට සම්බන්ධ වූ ආචාර්ය මන්මෝහන් සිං මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන උපදේශක ලෙස මෙන්ම ඉන්දියාවේ මහ බැංකුවේ අධිපති ලෙසද ඉන්දියාවට සිය සේවය ලබා දුන්නා. 

දශක ගණනාවක් තිස්සේ සමාජවාදී, සංවෘත, රාජ්‍යමූලික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දියාවේ ආර්ථිකය 1991දී විශාල ගෙවුම් ශේෂ අර්බුදයක සිරව සිටි අවස්ථාවේදී මුදල් ඇමති ධුරය භාර ගන්නා මෙන් එවකට ඉන්දියාවේ අගමැති වූ නරසිංහ රාඕ විසින් ඔහුට බල කර සිටියා. මේ අවස්ථාවේදී ආචාර්ය මන්මෝහන් සිං දේශපාලනයට සම්බන්ධ වුනා. 

එම අවස්ථාවේදී ඉන්දියාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අවදානම් තත්ත්වයක ඇති බව ක්‍රොන්ග්‍රස් පක්ෂ ප්‍රධානීන්ට පැහැදිලි කළ ආචාර්ය මන්මෝහන් සිං දැඩි ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු නොකර ඉන්දියාවට ගොඩයාමක් නැති බව පෙන්වා දුන්නා. පක්ෂ ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මධ්‍යයේ වුවද අගමැති නරසිංහ රාඕ විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආචාර්ය මන්මෝහන් සිංට අනුමැතිය දුන්නා. ඒ අනුව, ඉන්දියාව පෙර නොවූ විරූ ධනවාදී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් අද තිබෙන ශක්තිමත් ඉන්දියන් රාජ්‍යය ගොඩ නැගීමට මූලික පියවර ගත්තා. 

මේ වන විට නාමික විණිමය අනුපාත අනුව ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන අතර, ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකයයි. එදා ඩොලර් බිලියනයකවත් විදේශ සංචිත නොතිබුණු ඉන්දියාව සතුව අද වන විට ඩොලර් බිලියන 650 ඉක්මවන විදේශ සංචිතයක් තිබෙනවා. 1991දී හරි පාරට වැටුණු ඉන්දියාවට ඉන් පසුව ගෙවුම් ශේෂ අර්බුද ප්‍රශ්නයක් වී නැහැ.

කෙසේ වුවත්, ආචාර්ය මන්මෝහන් සිංගේ කාර්ය භාරය එදා එපමණම අගය කෙරුණේ නැහැ. 1992දී සිදු වූ කොටස් වෙළඳපොළ වංචාවකට ඔහුගේ නමද ගාවමින් චෝදනා කිරීමට දේශපාලන විරුද්ධවාදීන් පෙළඹුණු අතර 1996 මහ මැතිවරණදී ඉන්දියානු ඡන්දදායකයින් විසින් කොංග්‍රස් පක්ෂය පරාජය කර භාරතීය ජනතා පක්ෂය බලයට පත් කරගත්තා. 

කෙසේ වුවද, 2004දී ඉන්දියාවේ අගමැති ධුරයට පත් වුනු ආචාර්ය මන්මෝහන් සිං වසර දහයක් එම ධුරයේ කටයුතු කළා. මෙම කාලය, විශේෂයෙන්ම ඔහුගේ පළමු ධුර කාලය, ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන්ම වර්ධනය වූ කාලයක්. ආචාර්ය මන්මෝහන් සිංව ඉන්දියානුවන් විසින් අදටත් වඩා අගය කරනු ඇත්තේ අනාගතයේදීයි.

Saturday, March 23, 2024

මහ බැංකුව වැටුප් නැවත සලකා බලයි!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇති පරිදි, සාමූහික ගිවිසුමක් හරහා වැඩි කර ගනු ලැබූ මහ බැංකු සේවකයන්ගේ වැටුප් පිළිබඳව නැවත සලකා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහ වෘත්තීයවේදීන්ගේ බහුතරය විසින් තීරණය කර තිබෙනවා. ඒ අතරම, මේ හා අදාළව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්ද මහ බැංකුව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සභාපති වරයාගේ 2019 වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 203,500ක්ව පැවත ඇති අතර උප සභාපති ඇතුළු අනෙකුත් අධිපති මණ්ඩල සාමාජිකයින් හය දෙනාගේ වාර්ෂික වැටුප ඩොලර් 183,100ක්. මෙම වැටුප් මේ වන විට මීට වඩා වැඩි වී තිබිය හැකියි. එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් ඉහළම ශ්‍රේණියේ ආරම්භක වැටුප 2024 වර්ෂයේදී ඩොලර් 147,000ක් වන අතර පහළම ශ්‍රේණියේ ආරම්භක වාර්ෂික වැටුප ඩොලර් 35,400ක්. මෙම පහළම වැටුප 2024දී ඇමරිකාවේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක දරිද්‍රතා මට්ටම සලකා බලන ආදායම වන ඩොලර් 31,200ට වඩා 13.5%කින් වැඩියි. 

අනෙකුත් දීමනා ආදිය ඇතුළුව ෆෙඩරල් සංචිත බැංකුවේ ඇතැම් නිලධාරීන් විසින් 2022 වසරේදී ඩොලර් 298,359 දක්වා වන වැටුප් ලබාගෙන තිබෙනවා. එම වසර තුළ ඩොලර් 225,000 ඉක්මවන වැටුපක් ලැබු නිලධාරීන් ප්‍රමාණය 538ක්. 2019 වසරේදී ෆෙඩරල් අධිපති මණ්ඩලයෙහි 2,843 දෙනෙකු සේවය කළ අතර සමස්තයක් ලෙස ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය තුළ 22,725 දෙනෙකු සේවය කළා.

ඉන්දියාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වරයෙකු විසින් රුපියල් 225,000ක මාසික වැටුපක් ලබා ගන්නවා. එහි අනෙකුත් සේවකයින් 13,887 දෙනෙකු අතරින් වැඩිම වැටුප් ගන්නා (Class I) සේවකයින් විසින් 2023 ජූලි මාසයේදී මසකට ඉන්දියානු රුපියල් 185,900ක් ලබා ගෙන ඇති අතර අඩුම වැටුප් ගන්නා සේවකයින් (Class IV) විසින් මසකට ඉන්දියානු රුපියල් 17,270ක වැටුපක් ලබා ගෙන තිබෙනවා. 

Saturday, March 16, 2024

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?


ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක් නෙමෙයි. 

පහත තිබෙන්නේ ඉහත සඳහන් ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, ලෝකයේ රටවල් අතරින් වැඩිම වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයක් තිබෙන රටවල්.

ඉන්දියාව - 600

බ්‍රසීලය - 375

ඇමරිකා එක්සත් ජනපදය - 211

චීනය - 164

මෙක්සිකෝව - 147

පකිස්ථානය - 123

තුර්කිය - 109

බංග්ලා දේශය - 100

රුසියාව - 91

ඉන්දුනීසියාව - 91

ජපානය - 82

ඉරානය - 64

කොලොම්බියාව - 59

පිලිපීනය - 54

පේරු - 50

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලෝකයේ තිබෙන වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් බාගයකට වඩා තිබෙන්නේ රටවල් දහයකයි. එයින් රටවල් අටක වෛද්‍ය විද්‍යාල සීයකට වඩා තිබෙනවා. මෙම රටවල් අට අතර අපේ අසල්වැසි රටවල් තුනක්ම තිබෙනවා. වෛද්‍ය විද්‍යාල පණහකට වඩා තිබෙන රටවල් ගණන 15ක්.

පෙර ලිපියක විස්තර කළ පරිදි ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල උපාධි වර්ග දෙකක් ලබා දෙනවා. ලබා දෙන වෛද්‍ය උපාධිය අනුව, මෙම වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන ආකාරයද වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාල වැඩි ගණනකින් ලබා දෙන MD උපාධිය පිළිගැනීමට ලක් කරන්නේ (accredit) වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුව (LCMA) විසින්. මෙම කමිටුව ඇමරිකානු වෛද්‍ය සංගමයේ හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මෙම ආයතන කිසිවකට ඇමරිකාවේ ෆෙඩරල් හෝ ප්‍රාන්ත රජයක සෘජු සම්බන්ධයක් නැහැ. 

ඇමරිකානු වෛද්‍ය සංගමයට හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මක භාවය පවත්වා ගන්නට අවශ්‍ය ඇයිද කියන එක තේරුම් ගන්න අපහසු නැහැ. එක් වෛද්‍ය විද්‍යාලයකින් ලබා දෙන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක නැත්නම් එය ඊට සමාන උපාධි ලබා දෙන අනෙක් වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධි වල කීර්ති නාමය කෙරෙහිද බලපානවා. ඒ නිසා, MD උපාධිය ලබා දෙන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වල එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම, ඇමරිකාවේ MD උපාධියක ගුණාත්මක භාවය පහත වැටීම දැනට එම උපාධිය තිබෙන සියල්ලන්ටම බලපානවා. ඒ නිසා, එවැන්නන්ගේ එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. 

ඉහත පිළිගැනීම ලබා ඇති වෛද්‍ය විද්‍යාල ගණන 158ක්. එම වෛද්‍ය විද්‍යාල 158ට තවමත් පූර්ණ පිළිගැනීමක් ලැබී නොමැති අලුත් වෛද්‍ය විද්‍යාල 8ක් සහ පිළිගැනීම පරිවාස මට්ටමට ලක් කර ඇති පැරණි වෛද්‍ය විද්‍යාල 3ක්ද ඇතුළත්. මීට පෙර අපේ ලිපි කිහිපයකට මාතෘකාව වූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට මේ වන විට පරිවාස තත්ත්වයේ තිබෙන වෛද්‍ය විද්‍යාලයක්. එයින් අදහස් වන්නේ කිසියම් අඩුපාඩුවක් නිවැරදි කර ගැනීම සඳහා යම් කාලයක් ලබා දී ඇති බවයි. මීට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල පහක් වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවේ ඇගයීම අපේක්ෂාවෙන් සිටිනවා. 

මේ දක්වාම කැනඩාවේ වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන්නේද ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවයි. එහෙත්, ලබන වසරේ මැද (2025 ජූනි 30) සිට මෙම කාර්යය කැනේඩියානු වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.

ඇමරිකාවේ විද්‍යා විද්‍යාල වලින් ලබා දෙන දෙවන උපාධි වර්ගය වන DO උපාධි පිළිගැනීමට ලක් කරන්නේ ඇමරිකානු ඔස්ටියෝපති සංගමය විසින්. මෙහිදීද, උපාධියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ගැන උනන්දු වන්නේ දැනට එම උපාධිය ලබා ඇති අයයි. මේ ආයතනයටද ඇමරිකන් රජයේ සම්බන්ධයක් නැහැ. මේ වන විට DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් ඇමරිකානු ඔස්ටියෝපති සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ඉහත සඳහන් උපාධි වර්ග දෙක ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් අඩක් පමණ පෞද්ගලික විශ්ව විද්‍යාලයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වෛද්‍ය විද්‍යාල වලද පාඨමාලා ගාස්තු අය කෙරෙන බැවින් මේ දෙවර්ගයේ විශාල වෙනසක් නැහැ. අදාළ ප්‍රාන්ත රජයයන් විසින් තමන්ගේ ප්‍රාන්තයේ සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් බදු මුදල් වැය කර සුබසාධනය කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහොමයක් පවුලේ ආදායම් මට්ටම සලකා පාඨමාලා ගාස්තු වලින් සැලකිය යුතු කොටසක් කපා හරිනවා. ඒ නිසා, දක්ෂ සිසුවෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ආදායම විශාල බාධාවක් වන්නේ නැහැ. 

රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයේ විශාල වෙනසක් නැහැ. හොඳම වෛද්‍ය විද්‍යාල අතර වැඩියෙන්ම තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. එහෙත් එම හොඳම වෛද්‍ය විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි. රජයට සම්බන්ධයක් නැති ඉහත සඳහන් ආයතන විසින් ඇමරිකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාල සියල්ලේම ගුණාත්මක භාවය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ගුණාත්මක භාවය ඉහළින් තබා ගැනීමට වැඩි බරක් තබන නිසාම, ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලින් ඇමරිකාවට අවශ්‍ය පමණ වෛද්‍යවරුන් බිහිවන්නේ නැහැ. 

මේ තත්ත්වයේ වාසිය වැඩි වශයෙන්ම ලබා ගෙන තිබෙන්නේ ඇමරිකාවට ආසන්නව පිහිටි කැරිබියන් දූපත් රාජ්‍ය වල වෛද්‍ය විද්‍යාලයි. එම වෛද්‍ය විද්‍යාල ඇමරිකානු වෛද්‍ය සිසුන් ඉලක්ක කරනවා. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා ගෙන නැවත ඇමරිකාවට පැමිණෙනවා.

ඇමරිකාවේ රජය විසින් වෛද්‍ය විද්‍යාල නියාමනය නොකළත්, වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ වීම නියාමනය කරනවා. ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලද පමණින් වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කළ නොහැකියි. ඒ සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත එකකින් හෝ වැඩි ගණනකින් බලපත්‍ර ලබා ගත යුතුයි. මෙය අසීරු හා සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම අදාළ විභාග සමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ විභාග සඳහා පෙනී සිටිය හැකි උපරිම වාර ගණනක් තිබෙනවා. ඉන් පසුව වසර 1 සිට 3 දක්වා කාලයක් ගත වෙන (ප්‍රාන්තය අනුව) සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වෙනවා. 

මේ සියලු අවශ්‍යතා නිසි සේ සම්පූර්ණ නොකර වෛද්‍ය බලපත්‍රයක් ලබා ගත නොහැකියි. එසේ ලබා ගත්තද ඇමරිකාවේ වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබෙන්නේ නැහැ. තමන් විසින් වෛද්‍ය සේවා සපයා මුදල් සොයා ගත යුතුයි. මෙම තත්ත්වය තුළ නමට මොකක් හෝ වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. වෛද්‍ය උපාධිය තුළින් වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා වැඩි දියුණු විය යුතුයි. මෙය වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වූ තත්ත්වයක් නෙමෙයි. තවත් වෘත්තීන් ගණනාවක් සඳහා උපාධියක් ලබා ගැනීමට අමතරව වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර මෙවැනි බලපත්‍රයක් ලබා ගත යුතුයි. රැකියාවක් කළ හැක්කේ ඉන් පසුවයි. උදාහරණ ලෙස ඉංජිනේරු හා ගුරු වෘත්තීන් පෙන්වා දිය හැකියි. 

ඇමරිකාවේ ප්‍රාන්තයක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ඇමරිකාවෙන් පිටත ලංකාව ඇතුළු වෙනත් රටවල වෛද්‍ය උපාධි ලබා ඇති අයටද විවෘතයි. මේ සඳහා ඇමරිකාවෙන්ම වෛද්‍ය උපාධියක් ලබාගත යුතු නැහැ. මුලින්ම විස්තර කළ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියේ නම සඳහන් වෛද්‍ය විද්‍යාලයකින් එම උපාධිය ලබා තිබිය යුතුයි. මෙම නාමාවලියේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල අටක නම් ඇතුළත්ව තිබෙනවා. ඒවානම් කොළඹ, පේරාදෙණිය, රුහුණු, යාපනය, රජරට, නැගෙනහිර, කැළණිය හා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. මීට අමතරව මෙම නාමාවලියෙහි නම සඳහන් දැනට ක්‍රියාත්මක නැති වෛද්‍ය පීඨයකින් වෛද්‍ය උපාධිය ලබා ගත් අයටද මෙම අවස්ථාව විවෘතයි. 

වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක සිසුවෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා ඇමරිකාවේ ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගැනීම අදාළ වෛද්‍ය විද්‍යාලයේ හා පොදුවේ අදාළ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ පිළිබිඹුවක් සේ සැලකිය හැකියි. ඇමරිකානු වෛද්‍ය උපාධිධාරීන් හැරුණු විට ඇමරිකාවේ බලපත්‍රලාභී වෛද්‍යවරුන් අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලැබූ අයයි. 

ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද වෛද්‍ය විද්‍යාල වලින් අඩක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව, එරට හොඳම වෛද්‍ය විද්‍යාල දහය අතර වෙල්ලෝරාවේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය, කොයිම්බතූර්හි අම්රිතා විශ්ව විද්‍යාපීතම්, කස්තුර්බා වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද තිබෙනවා.

ඇමරිකාවේ දැනට සිටින බලපත්‍රලාභී වෛද්‍යවරුන් 1,044,734 දෙනෙකු අතරින් (2022 සංඛ්‍යාලේඛණ) ඇමරිකාවේ හෝ කැනඩාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධි ලැබූ ප්‍රමාණය 77%ක් පමණයි. ඉතිරි 23% අතර ඉන්දියානු වෛද්‍ය උපාධි ලැබූ 51,383ක්, පකිස්තානු වෛද්‍ය උපාධි ලැබූ 14,793ක් හා පිලිපීන වෛද්‍ය උපාධි ලැබූ 11,402 දෙනෙකු සිටිනවා. මේ අනුව පෙනෙන පරිදි ඉන්දියාව, පකිස්ථානය හා පිලිපීනය වැනි රටවල් ඉතා තරඟකාරී ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොළ වෙතද මහා පරිමාණයෙන් වෛද්‍යවරුන් සපයමින් සිටිනවා.

Friday, August 25, 2023

චන්ද්‍රයාන් - ඉන්දියානු ක්‍රමය


අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත් තැන් වල ලියැවී ඇති.

මේ වෙද්දී ලෝකයේ "හඳ ඇල්ලීමේ" තරඟයක් තිබෙන බව බොහෝ දෙනෙක්ට රහසක් වෙන්න බැහැ. මේ තරඟයේ ප්‍රමුඛ ක්‍රීඩකයින් වන ඇමරිකාව, රුසියාව හා චීනය අතරට දැන් ඉන්දියාවත් එකතු කරන්න පුළුවන්. මේ ප්‍රධාන රටවල් හතරට අමතරව ජපානය, ඊශ්‍රායලය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් තරඟයේ ඉන්න බවත් අමතක කළ යුතු නැහැ. 

චන්ද්‍රයාන් සාර්ථකත්වය ගොඩක්ම වැදගත් වන ප්‍රධානම හේතුව ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු මුදලකින් වැඩේ කිරීම. දෙවැන්න හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩ බැස්සවීම. වඩා වැදගත් දෙවැනි කරුණට එන්න කලින් පළමුවැන්න ගැන කතා කරලා ඉවර කරමු. 

කවුරු හෝ නොදන්නා කෙනෙක් ඉන්නවානම්, පොළොවට හැම විටම පෙනෙන්නේ හඳේ එක් අර්ධයක් පමණයි. පොළොව මෙන්ම හඳද තමන්ගේ අක්ෂය වටා කැරකෙන නමුත් එසේ කැරකෙන්නේ හඳේ පොළොවට පෙනෙන පැත්ත හා නොපෙනෙන පැත්ත මාරු නොවන විදිහටයි. ඒ නිසා, ඒ නොපෙනෙන පැත්ත පොලොවේ සිට දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න බැහැ. ඒ නිසාම, ඒ පැත්තේ භූ විෂමතා ආදී තොරතුරු දන්නේ අඩුවෙන්. ඒ වගේම, මෙතෙක් සඳ මත කළ ගොඩ බැස්වීම් බොහොමයක් කර තිබෙන්නේ හඳේ සමකය ආසන්න ප්‍රදේශ වලට. ධ්‍රැව පැත්තට යන්න ප්‍රයත්න දරා තිබෙන්නේ අඩුවෙන්.

හඳේ පෙනෙන පැත්තට යානයක් ගොඩ බැස්වීමට සාපේක්ෂව අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වන එක තාක්ෂණිකව වඩා අභියෝගාත්මක කටයුත්තක්. එයට එක හේතුවක් වන්නේ ඒ පැත්තේ භූ විෂමතා ආදිය ගැන හරියටම නොදැනීම. මෙය යානයක් ගොඩ බැස්වීම සඳහා ස්ථානයක් තෝරා ගැනීම කෙරෙහි බලපානවා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය සන්නිවේදන ප්‍රශ්නය. හඳේ හෝ පොළොවේ තිබෙන කඳු, ආවාට වැනි භූ විෂමතා නිසා ප්‍රශ්නයක් නොවුනොත්, හඳේ පේන පැත්තේ සිට රේඩියෝ තරංගයකට කෙළින්ම පොළොව වෙත එන්න පුළුවන් වුනත්, පොළොව එක්ක සෘජු රේඛාවක් හැදෙන්නේ නැති නිසා (line of sight) නොපෙනෙන පැත්තේ සිට රේඩියෝ තරංගයකට ඒ විදිහට එන්න බැහැ. සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දීත් මේ සන්නිවේදන අභියෝගය ඉහළ යනවා. 

ඔබට ඇතැම් විට මතක ඇති මීට කලින් 2019 වසරේදී ඉන්දියාව විසින්ම සිදු කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම. එම මෙහෙයුම යටතේ හඳට ගොඩ බස්වන්නට සැලසුම් කළ වික්‍රම් යානය (lander) හඳට ඔන්න මෙන්න තියා කඩා වැටීමට හේතුවක් වුනේ යානය සමඟ පොළොවේ සිට සන්නිවේදනය කළ නොහැකි වීම. 

කවුරුත් දන්නා පරිදි සෝවියට් දේශය අභ්‍යවකාශතරණයේදී ඉදිරියෙන්ම සිටි රටක්. ඇමරිකානු රජය අභ්‍යවකාශ වැඩ සටහන් සඳහා විශාල ලෙස මුදල් වෙන් කර මිනිසුන් හඳ වෙත යැවීම දක්වා දුර ගමනක් ගියේ සෝවියට් දේශය විසින් මුලින්ම මිනිසෙකු අභ්‍යාවකාශගත කිරීමෙන් පසුව ඇති වූ කම්පනයෙන් පසුවයි. විශාල කාලයක් සෝවියට් දේශය හා ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය අතින් කරට කර සිටියා. පසුව මේ දෙරටම සිය අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කරන ආයෝජන සීමා කළා. හඳ ගමන් නැවතුනා. කළ ආයෝජන වල තරමට ප්‍රතිලාභ නොතිබීම ඊට හේතුවක්.

ඇමරිකාව විසින් පෞද්ගලික අංශයේ දායකත්වයද සහිතව මෑතකදී සිය අභ්‍යවකාශ වැඩ සටහන් නැවත ආරම්භ කරද්දී රුසියාවද 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගත්තා. 1976දී සෝවියට් දේශය විසින් මිනිසුන් රහිතව හඳට යැවූ ලූනා-24 යානය සාර්ථක ලෙස හඳ මත ගොඩ බස්වනු ලැබූ අතර හඳෙන් පස් සාම්පල් පොළොවට රැගෙන ආවා. මෙය සෝවියට් දේශය විසින් එවැන්නක් කළ පළමු අවස්ථාව නොවුනත් අවසන් අවස්ථාවයි.

මෑතකදී රුසියාව නැවතත් 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගනිමින් දෙසතියකට පෙර (2023 අගෝස්තු 10 දින) ලූනා-25 යානය හඳ වෙත යැවුවා. ඒ 2023 ජූලි 14 දින චන්ද්‍රයාන්-3 හඳ වෙත ගමන් අරඹා සති හතරකට පමණ පසුවයි. රුසියාවේ සැලසුම වූයේ ඉන්දියාවට පෙර නැවත හඳ මතට යානයක් ගොඩ බැස්වීමයි. අගෝස්තු 23 දින චන්ද්‍රයාන්-3 හඳ මත ගොඩ බැස්වීමට දින දෙකකට පෙර අගෝස්තු 21 දින ලූනා-25 ලෑන්ඩරය හඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්වීම රුසියාවේ ඉලක්කය වුනා. 

කෙටියෙන් කිවුවොත් ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 යානය "කොට කොටා" හඳට යද්දී "පාගා ගොස්" ඊට පෙර හඳට යාම රුසියාවේ ඉලක්කය වුනා. එහෙත්, රුසියාවේ වත්මන් අභ්‍යාවකාශ තාක්ෂණ හැකියා ප්‍රශ්න කරමින් දශක ගණනාවකට පසුව රුසියාව විසින් සිදු කළ මෙම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූයේ නැහැ. අගෝස්තු 19 දෙන රුසියාවට ලූනා-25 හා තිබුණු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටුනා. එසේ නොවන්නට චන්ද්‍රයාන්-3 හඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යන්නට දින දෙකට පෙර රුසියාව එහි යනවා. ඊට පෙර, අසාර්ථක වූ 2019 චන්ද්‍රයාන්-2 සඳ මෙහෙයුමට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය විසින් දියත් කළ බෙරසිට් මෙහෙයුම අසාර්ථක වීමටද සන්නිවේදනය බාධකය හරස් වුනා. කොහොම වුනත්, පෞද්ගලික අංශය මුල් වී මෙතෙක් සිදු කළ සාර්ථකම සඳ මෙහෙයුම ලෙස ඉලක්කය කිට්ටුවටම ගිය බෙරසිට් මෙහෙයුම සටහන් වෙනවා. 

චන්ද්‍රයාන්-2 මෙහෙයුමේ අවසන් අදියරේදී අසාර්ථක වුවත් එහිදී සඳ වෙත යවනු ලැබූ ප්‍රධාන යානය තවමත් සඳේ කක්ෂයේ තිබෙනවා. මෙවර වික්‍රම් ලෑන්ඩරය හඳ මත ගොඩ බැස්වීමෙන් පසුව එම චන්ද්‍රයාන්-2 යානය මෙන්ම චන්ද්‍රයාන්-3 මවු යානයද වික්‍රම් ලෑන්ඩරයේ සිට පොළොව වෙත සංඥා එවීමේදී අතරමැදි සංඥා සම්ප්රේෂකයින් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ සැලසුම වුනා. මේ මගින් සන්නිවේදනය බිඳ වැටීමේ අවදානම අඩු කරගත හැකි වුනා. 

තාක්ෂනික බාධා වැඩි වුවත් ලෝකයේ හැම රටකම අවධානය යොමු වී තිබෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය වෙතයි. ඊට හේතුව, හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙන් ජලය (අයිස්) සොයා ගත හැකි වීමේ හැකියාවයි. සඳ ඉලක්ක කරන අනාගත වැඩ පිළිවෙලකදී පොළොවේ සිට ජලය ගෙන යාමට සාපේක්ෂව ජලය හඳ තුළින්ම හොයා ගැනීමේ ආර්ථික වටිනාකම ඉතාම විශාලයි. ඒ වගේම, මේ හරහා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි හයිඩ්‍රජන් හදා ගැනීමටද ඉඩකඩ විවර වෙනවා. 

මීට පෙර, 2019දී චීනයේ චංඅ 4 මෙහෙයුමේදී පළමු වරට සන්නිවේදන අභියෝග ජයගනිමින් හඳේ අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වනු ලැබුවා. චීනය හඳේ අඳුරු පැත්ත වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා.

හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩබස්වන රට ඉන්දියාවයි. රුසියාවද මේ සඳහා උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. රුසියාව මෙන්ම දශක ගණනාවකට පසු සිය අභ්‍යවකාශ වැඩ සටහන් වලට නැවත පණ දී තිබෙන, සඳ වෙත මිනිසුන් යවා ඇති එකම රටද වන ඇමරිකාව මේ වන විට හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මිනිසුන් සහිත යානාවක් යැවීම සඳහා සැලසුම් කරමින් සිටිනවා. 

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 75ක් පමණක් වීම ලංකාවේ බොහෝ දෙනෙක් කතා කර ඇති දෙයක්. ඉන්දියාවේ අඩු වියදම් අභ්‍යවකාශ වැඩසටහන් ගැන මට මුලින්ම දැන ගන්න ලැබුණේ වසර කිහිපයකට පෙර නාසා ආයතනයේ සඳ ගමන් සැලසුම් වලට සම්බන්ධව සිටි (දැන් පෞද්ගලික ආයතනයක සඳ ගමන් හා අදාළ සැලසුම් වල නිරත) මිතුරෙකු හා කතා කරද්දී. ඔහු එහිදී පැවසුවේ ඉන්දියාවේ අඩු වියදම් සැලසුම ඇමරිකානුවන්ට හිතාගන්නවත් බැරි බවයි. ඇමරිකාවේ ඇපලෝ වැඩ සටහනේ පිරිවැය අද ඩොලර් වලින් බිලියන 280ක් පමණ.  

මිනිසුන් රහිත යානයක් හඳට යවන්න ඇමරිකාවටනම් ඩොලර් මිලියන 400-500 පමණවත් යනවා. චීනයට චංඅ 4 හඳට යවන්න වගේම රුසියාවේ අසාර්ථක වූ ලූනා-25 මෙහෙයුමටත් ඩොලර් මිලියන 200-250 පමණ ගියා. ඉන්දියාව මේ වැඩේ ඩොලර් මිලියන 75කින් කරලා පෙන්නලා තියෙනවා.

ඉන්දියාවේ අඩු වියදම් හඳ ගමනේ රහස වූයේ ගමන් කාලය අඩු කර ගැනීමට මහන්සි නොවී පොළොවේ ගුරුත්ව බලයම හැකිතාක් යොදා ගනිමින් හඳට යානයක් යැවීමට සැලසුම් කිරීමයි. චන්ද්‍රයාන්-3 හඳ වෙත යවන්නට දින 41ක් පමණ ගත වුනේ ඒ නිසා. ඇමරිකන් යානා වලට මිනිසුන්ද සහිතව දින හතරකදී හඳ වෙත යා හැකි වී ඇති අතර මිනිසුන් රහිත සෝවියට් යානා දින තුනකින් හඳ වෙත ගොස් තිබෙනවා. එහෙත්, හඳ වෙත යානාවක් කෙළින්ම, එකවර යැවිය හැකි තරම් බලයක් ඇති රොකට් ඉන්දියාව සතු වූයේ නැහැ. ඉන්දියාව කළේ කාලයක් පොළොව වටා රවුම් ගසන අතර ක්‍රමයෙන් රවුම ලොකු කර ගනිමින් අවශ්‍ය සීමාවට යාමෙන් පසුව පොළොවේ ගුරුත්වයෙන් මිදී හඳ වෙත යාමයි. ඉන් පසුව, ඒ විදිහටම හඳ වටා රවුම් ගසමින් හඳට කිට්ටු වීමයි. මේ ක්‍රමයේදී විශාල බලශක්ති ඉතිරියක් වෙනවා.

තාක්ෂනිකව කාර්යක්ෂමතාව මැනීමේදී බොහෝ විට උපයෝගී කරගන්නා නිර්ණායකයක් වන්නේ යොදවන බලශක්තියට සාපේක්ෂව සිදුවන කාර්යයයි. එහිදී ආර්ථික සාධක සැලකිල්ලට ගැනෙන්නේ අඩුවෙන්. එහෙත්, ආර්ථික කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී සැලකිලිමත් වන්නේ යොදවන පිරිවැයට සාපේක්ෂව සිදුවන ආර්ථික වශයෙන් ඵලදායී කාර්ය භාරය පිළිබඳවයි. ආර්ථික කාර්යක්ෂමතාවය ප්‍රශස්ත වන්නේ තාක්ෂනික කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමට වඩා අඩු මට්ටමක ඇති විටෙක වෙන්න පුළුවන්. 

කාලයක් ගුවන් යානා වල වේගය වැඩි කර ගැනීමේ තරඟයක් තිබුණා. දැන් එය නැවතිලා. දැනට තිබෙන තාක්ෂනය යොදා ගෙන අවශ්‍යනම් දැන් ඇමරිකාවේ සිට යුරෝපය වෙත යාමට ගත වන කාලයට වඩා ගොඩක් අඩු කාලයක් තුළ ගුවන් යානයක් පියාසර කළ හැකියි. එහෙත්, එවැන්නක් සිදු නොවන්නේ එහිදී ඉහළ යන ඉන්ධන වියදම නිසා මෙය ආර්ථික වශයෙන් කාර්යක්ෂම නොවන නිසයි. ගුවන් ගමන් වල යෙදෙන බොහෝ පාරිභෝගිකයින්ට වේගයට වඩා වැදගත් අඩු මිලයි. 

මිනිසුන් රහිත යානයක් හඳට යවන විට මෙන් නොව මිනිසුන් සහිත යානයක් හඳට යවන විට ගමන් කාලය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මිනිසුන් වැඩි කාලයක් යානයක් තුළ රඳවා ගැනීමේදී මතුවන අභියෝග ගණනාවක් තිබෙනවා. එහෙත්, ඒ හේතුව නිසා, ඉන්දියාවේ අඩු පිරිවැය විකල්පයේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. 

ඉන්දියාව හඳට ගලක් ගසා තිබෙනවා. මෙය එක පැත්තකින් අඹ ගහේ වඳුරු රංචුවට අඹයකින් ගහනවා වගේ වැඩක්. ඩොලර් බිලියන 550ක පමණ ඉන්දියානු ෆෙඩරල් අයවැය ඇතුළේ ඩොලර් මිලියන 75ක් කියන්නේ අබ ඇටයක්. රටේ ඉන්න බිලියන 1.4ක ජනගහණය සැලකූ විට, එක් අයෙකුට ඉන්දියන් රුපියල් 4ක පමණ මුදලක්. චන්ද්‍රයාන්-3 හඳට යාම නිසා ඉන්දියානුවෙකු ලබපු සතුට පමණක් සැලකුවත් රුපියල් හතරකට වඩා වැඩි විය යුතුයි. ඒ නිසා, මේ වැඩේ ඉන්දියානු රජය විසින් කළ මුදල් නාස්තියක් කියලා මමනම් කොහොමටවත් හිතන්නේ නැහැ. මම පෞද්ගලිකව ගත්තොත් ඇමරිකාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, රුසියාව වේවා මිනිස්සු අභ්‍යවකාශය ජය ගනිද්දී මට ලැබෙන සතුට රුපියල් කිහිපයක සතුටට වඩා ගොඩක් වැඩියි.

නුදුරු අනාගතයේ අභ්‍යාවකාශය තුළ මිනිස් පා සටහන් වේගයෙන් සලකුණු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ එක්කම "භූ දේශපාලනය" වගේ වචන ගැනත් නැවත සිතා බලන්න වෙයි. භූ දේශපාලනය වෙනුවට "අභ්‍යවකාශ දේශපාලනය" ආදේශ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඒ වගේම, අභ්‍යාවකාශය ආශ්‍රිත අලුත් කර්මාන්ත, අලුත් රැකියා අවස්ථා, අලුත් විනෝදාංශ වේගයෙන් බිහි වෙයි. ඉන්දියාව දැනටමත් මේ ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි.

ඩොලර් මිලියන 75ක ගලක් ගහලා ඉන්දියාව එක පැත්තකින් උත්සාහ කරන්නේ මේ කර්මාන්තය වෙත රට ඇතුළේ තිබෙන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගන්න. ඔය වගේ මුදලක් කජ්ජක් නොවන බිලියනපතියන් ගණනාවක් ඉන්දියාවේ ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවට මේ කර්මාන්තය තුළ ආයෝජනය කරන්න විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන්. අඩු වියදමෙන් වැඩේ කරලා ඉන්දියාව විදේශ ආයෝජකයින්ට පෙන්වලා තියෙන්නේ තමන්ගේ මුදල් මේ කර්මාන්තයේ ආයෝජනය කරන්න හිතනවානම් ඉන්දියාව ඒ සඳහා හොඳ තැනක් වන්නේ ඇයි කියන එකයි.

හඳට මිනිසෙකු යවද්දී දින තුනකින් නොයවා දින හතළිහකින් යවන එක ඒ තරම් ආකර්ශනීය නොවෙන්න පුළුවන්. නමුත් හඳ ගමන් ඉහළ යද්දී හඳට විශාල ලෙස භාණ්ඩ ගෙනයන්න අවශ්‍ය වෙනවා. එහිදී කාලයට වඩා වැදගත් වෙන්නේ පිරිවැයයි. මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් ඉන්දියාවට කියලා ඉන්දියාව දැනටමත් පෙන්නලා ඉවරයි. වට ගහලා හඳ අල්ලපු ඉන්දියාවට වට ගහලා ලෝකය අල්ලන එක අමාරු වැඩක් නෙමෙයි.

Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

Thursday, June 22, 2023

මෝදිට අද ධවල මන්දිරයෙන් ඉහළම පිළිගැනීමක්!


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හා ඇමරිකානු ජනාධිපති බයිඩන් අද ධවල මන්දිරයේදී හමු වීමට නියමිතයි. මෙම ඇමරිකානු සංචාරයේදී අගමැති මෝදීට ඇමරිකාවේදී රාජ්‍යතාන්ත්‍රිකයෙකුට ලැබෙන ඉහළම පිළිගැනීම ලැබෙනවා.
අද අගමැති මෝදීව ධවල මන්දිරය වෙත පිළිගන්නේ රතු පලස මතින්. මීට පෙර ජනාධිපති බයිඩන් විසින් රාජ්‍ය නායකයෙකුට මෙම ගෞරවය ලබා දී ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඒ ප්‍රංශ හා දකුණු කොරියා ජනාධිපතිවරුන්ටයි. අගමැති මෝදීට ඇමරිකානු කොන්ග්‍රසය ඇමතීම සඳහාද අවස්ථාවක් ලැබෙනවා. ඉන්දීය අගමැතිවරයා විසින් මෙම සංචාරයේදී ඇමරිකාව සමඟ ආර්ථික සහයෝගීතා හා ආරක්ෂක ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට හා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.
චීන හා පකිස්තානු දේශ සීමා වල භාවිතය සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 3ක නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යානා තිහකට ආසන්න ප්‍රමාණයක් මිල දී ගැනීම පිණිස මෙහිදී ගිවිසුමක් අත්සන් කෙරෙන බව වාර්තා වී තිබෙනවා. පාලක මැදිරියක සිට දුරස්ථව හසුරුවන මෙම ගුවන් යානා ඔත්තු බැලීමේ කටයුතු සඳහා පමණක් නොව දුරස්ථ ප්‍රහාරක කටයුතු සඳහාද භාවිතා කළ හැකියි.
ලෝකයේ විශාලතම ආයුධ හා යුද උපකරණ ආනයනකරු වන ඉන්දියාව ඇමරිකාවෙන් මෙන්ම රුසියාවෙන්ද යුද උපකරණ මිල දී ගන්නවා. කලක සිටම ඉන්දියාව වෙත වැඩියෙන්ම ආයුධ විකිණුවේ රුසියාව වුවත් මෑතක සිට, විශේෂයෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසුව, රුසියාවෙන් කරන ආයුධ මිල දී ගැනීම් පහත වැටී තිබෙනවා.
අගමැති මෝදීගේ ඉන්දීය සංචාරයට සමාන්තරව දෙරට විශ්ව විද්‍යාල, වෙනත් පර්යේෂකයින්, පෞද්ගලික සමාගම්, ආයෝජකයින් හා නවෝත්පාදකයින් සම්න්බන්ධ කරමින්, යුද උපකරණ වැඩි දියුණු කිරීම හා නිෂ්පාදනය හා අදාළ තාක්ෂනය බෙදා ගැනීම හා හවුල් නිෂ්පාදනය සඳහා ඉන්දුස්-එක්ස් නමින් වේදිකාවක් සකසා සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙහි ඉලක්කය වනුයේ 2025 වසර වන විට ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයන ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නංවා ගැනීමයි. මෙය සිදු වන්නේ ඇමරිකාවේ මෙන්ම ක්වාඩ් නමින් සම්මුතියකට එළඹ සිටින ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව අතර සැපයුම් දාම වලට සම්බන්ධ වීම මගිනුයි.
ජෙනරල් ඉලෙක්ට්‍රික් ඒරෝස්පේස් සමාගම හින්දුස්ථාන් එරෝනෝටික්ස් සමාගම සමඟ එක් වී ඉන්දියාව තුළ ගුවන් යානා එන්ජින් නිපදවීම සඳහාද මෙහිදී ගිවිසුමක් අත්සන් කෙරෙන අතර මෙම එන්ජින් ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සඳහා යොදා ගැනෙනවා. තවත් ආරක්ෂක ගිවිසුමක් අනුව ඇමරිකානු නාවික හමුදා යාත්‍රා ඉන්දියානු වරාය තුළ අලුත්වැඩියා කිරීම සඳහා පහසුකම් සැලසෙනවා.
අගමැති මෝදී විසින් දැනටමත් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හමු වී ඇති අතර ගූගල්, ඇපල්, මයික්‍රොසොෆ්ට් හා ෆෙඩෙක්ස් සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරින්ද හමු වීමට නියමිතයි. මොවුන් කිහිප දෙනෙකුම ඉන්දීය සම්භවයක් ඇති අයයි. ඇපල් සමාගම විසින් දැනටමත් ඉන්දියාව තුළ නිෂ්පාදන කටයුතු අරඹා ඇති අතර ටෙස්ලා සමාගමද ඉතා ඉක්මණින් ඉන්දියාව තුළ නිෂ්පාදනය ඇරඹීමට නියමිතයි. කෘතීම බුද්ධිය ඇතුළු තවත් අංශ ගණනාවක තාක්ෂනික සහයෝගීතාවය සඳහාද මෙම සංචාරය අතරතුර කටයුතු ආරම්භ වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු අනුව ගෙවුණු අප්‍රේල් මාසයේදී ඉන්දියාව චීනය අභිබවමින් ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රට බවට පත් වුනා. සමාජවාදී ආකෘතියෙන් ක්‍රමයෙන් බැහැර වෙමින් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීම මගින් පසුගිය දශක කිහිපය තුළ චීනය විසින් වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට සමත් වුවත්, එම ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ප්‍රතිසංස්කරණ චීනය තුළ සිදු වූයේ නැහැ. මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් තිබෙනවා.
චීනයෙන් වෙනස්ව, ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මෙන්ම ඉංග්‍රීසි කතා කළ හැකි විශාල ජනගහණයක්ද සමඟ බටහිර රටවලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පාර්ශ්වකරුවෙක්ව සිටිනවා. ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීමට නියමිත 2023-2025 කාලය තුළද 6% ඉක්මවන වේගයකින් ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වීමට නියමිතව ඇති අතර චීනයේ ඇති ඇමරිකන් හා අනෙකුත් බටහිර රටවල ආයෝජන ක්‍රමයෙන් ඉන්දියාව වෙත විතැන් වීමේ නැඹුරුවක් මේ වන විට දැකිය හැකිව තිබෙනවා. මෙම නැඹුරුව හා අනෙකුත් සාධක අනුව ඉදිරි දශක දෙක ඉන්දියාවේ දශක විය හැකියි.

Friday, May 5, 2023

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි නෙමෙයි. මේ සල්ලිත් ණයට ගත් අනුන්ගේ සල්ලි. 

ලංකාව නිදහස ලබද්දී ලංකාව සතුව ඒ විදිහට ඉතිරි කරගත් තමන්ගේම විදේශ වත්කම් තිබුණා. ඒවා නියම විදේශ වත්කම්. දැන් තිබෙන නමට පමණක් විදේශ සංචිත වගේ නෙමෙයි. නිදහසින් පසු අනුගමනය කළ ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා අවුරුදු පහළොවක් පමණ යද්දී ඒ වත්කම් ඉවර වෙලා ලංකාව ශුද්ධ ණයකරුවෙක් බවට පත් වුනා. තවමත් කතාව වගේම තවත් දශක ගණනක් යන තුරු කතාව වන්නේත් එතැන් සිට කතාවයි. 

රටක් සතුව ප්‍රමාණවත් තරමින් තමන්ගේම විදේශ වත්කම් තිබේනම් එවැනි රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. නමුත්, ණයට ගත් අනුන්ගේ සල්ලි වලින් විදේශ සංචිත පවත්වා ගනිද්දී වරින් වර ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමයි. ඔය ක්‍රමය තුළ සිටින තාක් වරින් වර නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වෙනවා. 1965 සිට ලංකාවේ කතාව ඕකයි. තවත් රටවල් ගණනාවක කතාවත් ඕකයි.

ඉන්දියාව නිදහස ලැබුවේ ලංකාවට ආසන්න කාලයකයි. රටේ ප්‍රමාණයට සාපේක්ෂව නිදහස ලබද්දී ඉන්දියාව සතුව ලංකාව සතු වූ තරම් විදේශ සංචිත තිබුණේ නැහැ. ඒ වගේම, ඉන්දියාව අනුගමනය කළේත් ජාතිකවාදී හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක්. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවට ලංකාවටත් කලින් ගෙවුම් ශේෂ අර්බුද යුගයට පා තබන්න වුනා. 

ඉන්දියාවට මුල් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනේ 1957දී. එතැන් සිට 1991 දක්වා කාලය තුළ ඉන්දියාවට 7 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනා. එහෙත්, 1991දී ඉන්දියාව මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කර ගත්තා. ඉන්පසුව, ඉන්දියාවට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වී නැහැ. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වී නැහැ. 

ලංකාවේ 1977දී සිදු වූ ආකාරයේ වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ආර්ථිකය විවෘත කිරීම පිළිබඳවද ඉන්දියාව ගැඹුරෙන් සිතුවේ 1991දී. ඒ අතින් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටියා. එහෙත්, ලංකාවේ ප්‍රවේශය වූයේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් රජය මුල් වී ප්‍රාග්ධන ආයෝජන කිරීමයි. ඒ නිසා, ආර්ථිකය විවෘත කිරීමේ හා වෙළඳපොළට වැඩියෙන් ඉඩ දීමේ වාසි හමුවේ වුවත්, ලංකාවේ ගොඩ නැගුනේ අස්ථාවර, භංගුර ආර්ථිකයක්. 

වඩා විවෘත හා වෙළඳපොළ වෙත නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය වුනා. එහෙත්, එයට සමාන්තරව රටේ ශුද්ධ විදේශ බැරකම්ද වේගයෙන් ඉහළ ගියා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික වර්ධනය ගැන සිතු තරමටම ආර්ථික ස්ථාවරත්වය ගැන හිතුවේ නැහැ. එයින් වෙනස්ව, ඉන්දියාව ආර්ථික වර්ධනය ගැන හිතුවේ ආර්ථික ස්ථාවරත්වයද පවත්වා ගනිමිනුයි. ලංකාවේ හා ඉන්දියාවේ ඉරණම් වෙනස් වුනේ මේ හේතුව නිසා. 

හැම විටම මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විසඳුම් හොයන්නේ ඒ වෙලාවේ අතේ සල්ලි නැති ප්‍රශ්නයටයි. රටක ශුද්ධ විදේශ වත්කම් හිඟයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේම ජාත්‍යන්තර සංවිධානයක්. ජාත්‍යන්තර සංවිධානයකට ලෝකයේ හැම රටක් දෙසම එක ලෙස බලනවා මිස එක් රටකට විශේෂත්වයක් දක්වන්න බැහැ. ලෝකයේ හැම රටකටම ශුද්ධ විදේශ වත්කම් පවත්වා ගන්න බැහැ. ශුද්ධ විදේශ වත්කම් තිබෙන රටවල් තියෙන්නනම් ශුද්ධ විදේශ බැරකම් තිබෙන රටවලුත් ලෝකයේ තිබිය යුතුයි. තමන් සිටිය යුත්තේ කොයි ගොඩේද කියා තෝරා ගැනීම අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩක්. 

දශක හයක පමණ කාලයක් තිස්සේ රටක් විදිහට ලංකාවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තිබුණත් මහ බැංකුව සතුව ශුද්ධ විදේශ වත්කම් තිබුණා. එවැනි ශුද්ධ විදේශ වත්කම් නොමැතිව ජාතික මුදල් ඒකකය වන රුපියලේ වටිනාකම පවත්වා ගැනීමේ හැකියාවක් කවදාවත්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වූයේ නැහැ. ලංකාවේ රුපියලට ලංකාවෙන් පිටතදී කිසිම පිළිගැනීමක් නැහැ.

ඇමරිකාවට, එක්සත් රාජධානියට හෝ ජපානයට තමන්ගේ මුදල් ඒකක වලින් ගෙවා වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ නිසාම, යම් සීමාවන් තුළ වුවත්, සැබෑ නිෂ්පාදනයක් සිදු නොකර සල්ලි අච්චු ගැසීම මගින්ම වුවත් භාණ්ඩ ආනයනය කළ හැකියි. එහෙත්, ලංකාව වැනි රටකට එසේ කළ නොහැකියි. රුපියල් හුවමාරුවට කිසිවෙකු ලංකාවට භාණ්ඩ හෝ සේවාවන් සපයන්නේ නැහැ. රුපියලේ වටිනාකම රැඳී තිබෙන්නේම ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට හුවමාරු කිරීමේ හැකියාව මතයි. 

රුපියල් දී ඩොලර් වැනි වෙනත් මුදල් වර්ග ලබා ගත හැකි බවද විශ්වාසයක්. ඒ විශ්වාසයේ පදනම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ නිසාම, රුපියල ගනුදෙනු මාධ්‍යයක් ලෙස පිළිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ සංචිත පවත්වා ගත යුතුයි. එම ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන්නේනම්, තිබෙන ප්‍රමාණය හා ගැලපෙන පරිදි රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතුයි. මෙය නොකිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය ගෙවුම් ශේෂ අර්බුදයක්.

වෙනත් ඕනෑම මහ බැංකුවක් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද කාලයට අනුරූපව හා ආර්ථික වර්ධනයට අනුරූපව රුපියල් සැපයුම ඉහළ දමනවා. එහි වරදක් නැහැ. මේ විදිහට රුපියල් සැපයුම ඉහළ දමද්දී ඊට සමාන්තරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යා යුතුයි. මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගත හැකියි. එසේ නැත්නම් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරිමින් දැනට තිබෙන විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම ඉහළ දමාගත හැකියි. ඔය දෙකෙන් එකක්වත් නොකර රුපියල් සැපයුම වැඩි කළොත් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

රූප සටහනෙහි දැකිය හැකි පරිදි, 2020 පෙබරවාරි පමණ වන තුරු මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ ගියා. මෙය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ඉන්පසුව මේ ප්‍රවණතාව වෙනස් වුනා. ඩොලරයක මිල ප්‍රමාණවත් තරමින් ඉහළ යාමට නොදී දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා. 2021 අගෝස්තු වෙද්දී මහ බැංකුවේ විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා ගොස් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ මහ බැංකුව බංකොලොත් වුනා.

මහ බැංකුවේ  ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට යාමෙන් පසුවද තවතවත් ණය වීම නැවතුනේ නැහැ. මහ බැංකුව විසින් අසල්වැසියන්ගෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන්, ඩොලර් ණයට ගනිමින් එම ඩොලර් අඩු මිලට වෙළඳපොළේ විකිණුවා.  මේ වෙද්දී දළ සංචිත යම් තරමකින් වැඩි වී ඇතත්, තවමත් මහ බැංකුව ශුද්ධ ණයකරුවෙක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබුණා කියා ඉහත තත්ත්වය ක්ෂණිකව වෙනස් වෙන්නේ නැහැ. එක පැත්තකින් ශේෂ පත්‍රයට වත්කමක් එකතු වෙද්දී අනෙක් පැත්තෙන් ඊට සමාන බැරකමක්ද එකතු වෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ වත්කම් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. කෙටියෙන් කිවුවොත්, ණය අරගෙන විදේශ වත්කම් වැඩි කරගැනීම මගින් මේ අවුල ලිහන්න බැහැ. 

අවුල ලිහන්නනම් මහ බැංකුවට රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ක්‍රමය මගින් සංචිත වැඩි කර ගන්න වෙනවා. වෙන විසඳුමක් නැහැ. 

මහ බැංකුවට  රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළේ ප්‍රමාණවත් ඩොලර් අතිරික්තයක් තිබුණොත් පමණයි. අපනයන ආදායම්, සේවා ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදී කවර හෝ ක්‍රමයකින් එම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රටට පැමිණිය යුතුයි. රටට ඩොලර් ආවේ නැත්නම් මහ බැංකුවට ඩොලර් මිල දී ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසාම, ශුද්ධ විදේශ වත්කම් වැඩි කරගන්නත් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ, රුපියලට නැවත වටිනාකමක් ලබා දීමේ හැකියාවක් නැහැ.

වෙළඳපොළේ යම් ඩොලර් අතිරික්තයක් තිබුණත් එම අතිරික්තය ඉක්මවා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් වැඩියෙන් ඩොලර් මිල දී ගන්න ගියොත් එහි ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල ඉහළ යාමයි. ශුද්ධ විදේශ වත්කම් ධන පැත්තේ ඇති වෙලාවකනම් මෙයින් වෙන්නේ එම වත්කම් (රුපියල් අගය) තවත් ඉහළ යාමයි. නමුත් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තියෙද්දී ඩොලරයක මිල ඉහළ යාමෙන් එම සෘණ අගය ඉහළ යනවා. ඒ නිසා, මේ වගේ වෙලාවක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එකත් දෙපැත්ත කැපෙන ආයුදයක්. ඒ නිසාම, මේ වැඩේ කරන්න වෙන්නේ පරිස්සමට හා සීරුමාරුවට. 

ඉහත කරුණු සියල්ල සලකා බලමින්, යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගෙන ක්‍රමයෙන් ශුද්ධ විදේශ වත්කම් ගොඩ නගා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ වැඩ පිළිවෙළ අනුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නේ ඉලක්ක සීමාවක් තුළයි. ඕනෑවට වඩා හදිසියෙන් හෝ වැඩියෙන් ඩොලර් මිල දී ගන්න යන්නේ නැහැ. විණිමය අනුපාතයද ස්ථාවරව තබා ගනිමින් සංචිත ගොඩ නගා ගත හැක්කේ ඒ ක්‍රමයටයි.

මාර්තු අවසානයේදී ඩොලර් මිලියන 2,755ක් වූ මහ බැංකුවේ දළ නිල සංචිත මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 දක්වා ඉහළ නංවා ගැනීම යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ඉලක්කයයි. එහෙත්, ඒ වන විටද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සටහන් වනු ඇත්තේ රුපියල් බිලියන සෘණ 480ක් ලෙසයි. මෙම අගය ධන පැත්තට යනු ඇත්තේ 2024 වසර තුළයි. අපහසුවක් නොමැතිව රුපියලේ වටිනාකම පවත්වාගත හැකි මට්ටමකට ඉහළ යනු ඇත්තේ 2026 වසර තුළයි. එතෙක්, ශ්‍රී ලංකා රුපියලේ ශක්තිය වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රැඳී සිටීම නිසා ලැබෙන සහතිකයයි. 

Wednesday, April 5, 2023

ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස ලබද්දී ලංකාවට පහළින් සිටි රටක් ඇත්නම් ඒ දකුණු කොරියාව පමණයි.

1960

ජපානය- 475.3

සිංගප්පූරුව- 428.1

හොංකොං- 424.1

පිලිපීනය- 263.8

මැලේසියාව- 244.6

දකුණු කොරියාව- 158.3

ශ්‍රී ලංකාව- 142.8

කාම්බෝජය- 115.0

තායිලන්තය- 103.8

චීනය- 89.5

බංග්ලාදේශය- 84.8

ඉන්දියාව- 83.0

පකිස්ථානය- 81.6

ඇෆ්ඝනිස්තානය- 62.4

නේපාලය- 50.0

කෙසේ වුවත්, 1978 වසර වන විට තායිලන්තය මෙන්ම ඉන්දියාව, පකිස්ථානය හා ඇෆ්ඝනිස්තානයද ලංකාව පසු කර ඉදිරියට ගිහින්. දැන් චීනයත් ලංකාව පසු කර ගිහින්.

හැබැයි 2021 වන විට ලංකාව නැවතත් ඉන්දියාව, පකිස්ථානය මෙන්ම ඇෆ්ඝනිස්තානයද පසුකර ඉදිරියට ගිහින්. ඒ විතරක් නෙමෙයි පිලිපීනයද පසු කරලා. 

2021

සිංගප්පූරුව- 72,794.0

හොංකොං- 49,800.5 

ජපානය- 39,312.7

දකුණු කොරියාව- 34,997.8

චීනය- 12,556.3

මැලේසියාව- 11,109.3

තායිලන්තය- 7,066.2

ශ්‍රී ලංකාව- 4,013.7

පිලිපීනය- 3,460.5

බංග්ලාදේශය- 2,457.9

ඉන්දියාව- 2,256.6

කාම්බෝජය- 1,625.2

පකිස්ථානය- 1,505.0

නේපාලය- 1,208.2

ඇෆ්ඝනිස්තානය- 368.8

එකම කාලයක නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුනම මුල් කාලයේ අනුගමනය කළේ සමාජවාදයට බර වූ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ලංකාව වැනි කුඩා රටකට සාපේක්ෂව ඉන්දියාව වැනි විශාල රටකට සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක හානිය අඩුයි. ඒ නිසා, දෙරටම සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ටිකෙන් ටික පස්සට ගියා (එකම හේතුව නොවුනත්). 1978 වන විට ඒක පුද්ගල ආදායම අනුව ඉන්දියාව මෙන්ම පකිස්ථානයද ලංකාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියා. 

1978

ශ්‍රී ලංකාව - 188.1

ඉන්දියාව - 206.1

පකිස්ථානය - 238.2

ලංකාව ඉන්දියාවට හා පකිස්ථානයට පෙර, 1977දී, ආර්ථිකය සාපේක්ෂව නිදහස් කළා. ඒ එක්කම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාව හා පකිස්ථානය පසු කර වේගයෙන් වර්ධනය වුනා. 1998 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ හා පකිස්ථානයේ එම අගයයන් මෙන් දෙගුණයක් වෙලා.

1998

ශ්‍රී ලංකාව - 850.8

ඉන්දියාව - 412.5

පකිස්ථානය - 427.5

ලංකාවට වඩා වසර 15කට පමණ පසුව වුවත්, ඉන්දියාවද ආර්ථිකය විවෘත කළා, ඉන්පසුව ඉන්දියාවද ලංකාවේ වේගයෙන්ම වර්ධනය වුනා. එහෙත්, ඉන්දියාවට වඩා වසර පහළොවක් ඉක්මන් වීමේ වාසිය තවමත් ලංකාවට තිබෙනවා.

ඉන්දියාවේ ආර්ථිකය විවෘත කළ කාලයේම පකිස්ථානයේ ආර්ථිකයද විවෘත කළත් වසර දෙක තුනකින් පසුව බෙනාසීර් භූතෝ විසින් නැවතත් එම ප්‍රතිපත්තිය ආපසු හරවනු ලැබුවා. පකිස්ථාන ආර්ථිකයේ ඉන්දියාව හා සැසඳිය හැකි වෙනස්කම් සිදු වුනේ තවත් වසර දහයකට පමණ පසුවයි. 

හැත්තෑ හතේදී ලංකාවේ සිදු වුනු වෙනස්කම් ඉන්දියාව තුළ සිදු වුනේ අනූ එකේදී. පකිස්ථානයේනම් දෙදාහේදී. රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් සැසඳූ විට මේ ප්‍රමාද වීමේ අවාසිය හොඳින්ම දකින්න පුළුවන්.

වඩා වැදගත් හැකි ඉක්මණින් අවදි වී ගමන පටන් ගන්න එකයි. නමුත්, එහෙම කළත්, කලින්ම ගමන පටන් ගත් අයව අල්ලන එක ලේසි නැහැ. 

(සියලුම ගණන් ඇමරිකන් ඩොලර් වලින්)

ආසියාවේ දෙවන පෝසත් රට


ඉතිහාසය කියා කියන්නේ කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේම නෙමෙයි. කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේ කියා ගොඩක් අය හිතන්න කැමති දෙය. ඇතැම් වෙලාවට මිනිස්සු ඇහැට පෙනෙන ඇත්ත නොදැක මවාගත් බොරුවක් දකින්න කැමතියි. බොරු දිගින් දිගටම ප්‍රචාරය කළාම ඒ බොරු ඇත්ත වෙලා ඊට පස්සේ ඉතිහාසය බවට පත් වෙනවා. 

නිදහස ලබද්දී ලංකාව ආසියාවේ දෙවන පෝසත්ම රට කියන එකත් ඔය විදිහේ ජනප්‍රිය බොරුවක්. අද තිබෙන රටවල් සියල්ලම ඒ දවස් වල තිබුණේ නැහැ. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කළේ තිබුණු රටවල් වලිනුත් සීමිත රටවල් ප්‍රමාණයක් පමණයි. 

නූතන ආර්ථික විද්‍යාව නොපිළිගත් මාක්ස්වාදී රටවල් දළ දේශීය නිෂ්පාදිතය කියන අදහසවත් පිළිගත්තේ නැහැ. වෙළඳපොළ මත පදනම් නොවූ වෙනම ආර්ථික ක්‍රමයක් තිබුණු සමාජවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම ගණනය කරන එකේ තේරුමක් තිබුණෙත් නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට විකල්පයක් විදිහට සමාජවාදී රටවල් විසින් ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා එකක්. එහිදී ගණන් ගැනුණේ භාණ්ඩ නිෂ්පාදනය පමණයි. මාක්ස්වාදීන් විසින් සේවා නිෂ්පාදන නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය සමඟ අනන්‍ය ලෙස දකිනවා මිස භාණ්ඩ නිෂ්පාදනය වැනි නිෂ්පාදනයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම, මාක්ස්වාදය අනුව, භාණ්ඩයක එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවන ශ්‍රමය හැර වටිනාකම් නිෂ්පාදනයක් දැක්කෙත් නැහැ. 

පාරිභෝගිකයින්ට වැඩක් තිබුණත් නැතත්, ද්‍රව්‍ය (භාණ්ඩ) නිෂ්පාදනය වැඩි වෙලානම් දළ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වුනා. නිෂ්පාදන ඉලක්ක තිබුණේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ලංකාව ඔය ක්‍රමයට දළ ද්‍රව්‍ය නිෂ්පාදනය ගණනය කළේ නැතත්, ටයර් සංස්ථාවේ නිෂ්පාදන ඉලක්ක හදලා තිබුණෙත් ඔය මූලධර්මය අනුවයි. දැන් සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නෙත් අවුරුදු සීයකටත් වඩා පරණ ආගමික අදහස් මත පදනම්ව, පහුගිය කාලයේ නූතන ආර්ථික විද්‍යාවේ සිදු වූ වෙනස්කම් ගැන කිසිම අදහසක් නැතුවයි. ද්‍රව්‍යවාදීන්ට අනුව ලෝකය කියන්නේ ඇහැට පේන්න තිබෙන ද්‍රව්‍ය පමණයි.

ඒ කාලයේ සිංගප්පූරුව කියා රටක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්. මැලේසියාවම ගත්තත් ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙනුයි හිටියේ. ජපානයට පවා ඉදිරියෙන්. කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කිහිප ගුණයක් වැඩියි වගේම ඒ කාලයට සාපේක්ෂව දියුණු නගරයක් වූ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස මැලේසියාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළින් තිබුණා. එහෙම නැතුව සිංගප්පූරුව හෝ මැලේසියාව ලංකාව පහු කරගෙන ගියේ නැහැ. ඒවා කාලයක් තිස්සේ නැවත නැවත කීමෙන් පළමුව ඇත්ත බවටත්, දෙවනුව ඉතිහාසය බවටත් පත් කර තිබෙන බොරු.

කොහොම වුනත්, ඒ දවස් වල ලංකාවට වඩා පසුපසින් සිටි තායිලන්තය හා කොරියාව වැනි රටවල් ලංකාව පහු කරගෙන ගියා. ඒ දවස් වල දළ දේශීය නිෂ්පාදිතය ගණනය නොකළත් සාපේක්ෂව මෑත කාලයකදී පවා ලංකාවට වඩා පසු පසින් සිටි චීනයත් ලංකාව පහු කරගෙන ඉදිරියට ගියා. ඉන්දියාව තවමත් ලංකාවට පසුපසින් සිටියත් ඉන්දියාව හා ලංකාව අතර ඒක පුද්ගල ආදායම් වෙනස තව කොපමණ කාලයක් මේ විදිහට තියෙයිද කියන එක අනාගතයට භාර කරුණක්.

(පසු සටහන: වගුවේ තිබෙන්නේ ඒක පුද්ගල ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය - ක්ෂය වීම්. ආදායම් ලෙස ඉතිරි වන කොටස.)

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

වෙබ් ලිපිනය: