වෙබ් ලිපිනය:

Showing posts with label සංචාරක කර්මාන්තය. Show all posts
Showing posts with label සංචාරක කර්මාන්තය. Show all posts

Monday, April 20, 2026

විදේශ අංශයේ අනාගත අභියෝග


මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ, වසරේ අප්‍රේල් 19 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 828,845කට සීමා වී තිබෙනවා. පසු ගිය වසරේ එම කාලය තුළ සංචාරකයින් 841,103 දෙනෙකු රටට පැමිණ තිබුණා.

යුද තත්ත්වය ඇති වීමට පෙර, වසරේ පළමු මාස දෙකක කාලය තුළ, රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ පෙර වසරට සාපේක්ෂව 12.9%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. එහෙත් ඉන් පසු කාලය තුළ 21.8%ක අඩු වීමක් සිදු වී ඇති හෙයින් සමස්තයක් ලෙස මෙම අඩු වීම පෙනෙන්නට තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඩොලර් 954.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙම අගයෙහි පෙර වසරට සාපේක්ෂව 15.0%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මාර්තු මාසය පමණක් සලකද්දී සංචාරක කර්මාන්තයේ ඉපැයීම් වල, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, 36.8%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මෙය ඩොලර් මිලියන 130.3ක අඩු වීමක්. 

මාර්තු මාසයේ ශ්‍රමික ප්‍රේෂණ, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, ඩොලර් මිලියන 121.5කින් වැඩි වී තිබුණු නිසා මාර්තු මාසය තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් අඩු වීමෙන් විදේශ අංශයට සිදු විය හැකිව තිබුණු හානිය යම් තරමකින් නිශේධනය වී තිබුණු අතර වසරේ පළමු කාර්තුව තුල සමස්තයක් ලෙස ශ්‍රමික ප්‍රේෂණ වල 26.5%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. ඉදිරි කාලයේදී යුද තත්ත්වය ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහිද යම් බලපෑමක් ඇති කළහොත් විදේශ අංශය මත පීඩනය තවත් ඉහළ යනවා.

මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැරීම මගින් විදේශ අංශයේ තුලනය පවත්වා ගනිමින් සිටිනවා. මේ වන විට (අප්‍රේල් 20) ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 320 සීමාව ඉක්මවා ඇති අතර මැදි මිල රුපියල් 316.44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද තත්ත්වය අවසන් වුවද සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා යම් කාලයක් ගත විය හැකියි.

මෙම අර්බුද තත්ත්වය තුළ, ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටීමේ වාසිය පැහැදිලිව දකින්නට පුළුවන්. පසුගිය සතිය තුළ මූල්‍ය අරමුදලේ වසන්ත සැසිවාර අවසන් වූ අතර, ඊට පෙර ශ්‍රී ලංකාවේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළ පස් වන හා හයවන විමර්ශන අවසන්ව පැවති බැවින්, ඉතා ඉක්මණින්ම මූල්‍ය අරමුදලේ හයවන හා හත්වන ණය වාරික දෙක එක වර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. 

හයවන ණය වාරිකය ලැබෙන්නට නියමිතව තිබුණේ පසු ගිය වසරේදී වුවත්, දිත්වා හානියෙන් පසුව ගන්නට සිදු වූ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් එම වාරිකය ලබා ගැනීම ප්‍රමාද වුනා. කෙසේ වුවද, හයවන සහ හත්වන වාරික එක වර ලබා ගැනීම සඳහා මේ වන විට නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගෙන අවසානයි. මෙම වාරික දෙකට අමතරව, මෙම වසර තුළම, මූල්‍ය අරමුදලේ අටවන වාරිකයද ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඉතා ඉක්මණින්ම ඩොලර් මිලියන 700ක පමණ මුදලක් සංචිත වලට එකතු වනු ඇති අතර, වසර අවසන් වන විට තවත් ඩොලර් මිලියන 350ක පමණ මුදලක් එකතු වීමට නියමිතව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් පසුව, 2023 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය අනුව, 2026 සැප්තැම්බර් 1 දින අටවන වාරිකය ලැබිය යුතු අතර එය ලබා ගැනීම සඳහා ඊට පෙර හත් වන විමර්ශනය අවසන් විය යුතුයි. නවවන හා අවසන් වාරිකය ලැබෙන්නට නියමිතව තිබෙන්නේ 2027 මාර්තු 1 දිනයි. 

වැඩ සටහන ආරම්භයේදී ඉලක්ක කළ පරිදි, 2026 වසර අවසාන වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10,888 දක්වාත්, 2027 අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208 දක්වාත් ඉහළ යා යුතුව තිබුණා. පසු ගිය දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල විසින් යාවත්කාලීන කර තිබුණු ඇස්තමේන්තු අනුව, 2026 අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,884ක් වීමට නියමිතව තිබුණු අතර 2027 අවසානයේදී එම අගය ඩොලර් මිලියන 13,371ක්. 

යුද තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම වසර අවසානයේදී ඩොලර් මිලියන 8,884ක සංචිත ඉලක්කය කරා වුවද යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව, ඉදිරි වසර මුල මූල්‍ය අරමුදලේ වැඩ සටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවද, රටේ විදේශ අංශය මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. මහ බැංකුව විසින් ජංගම ගිණුම ඉලක්ක ඉක්මවා සාර්ථකව කළමනාකරණය කර ගැනීමෙන් අනතුරුවද මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මුලින් අපේක්ෂා කළ පරිදි විදේශ ආයෝජන රටට පැමිණ නොතිබීමයි. 

අපේක්ෂිත තරමට ආයෝජන රටට නොපැමිණ තිබීම මගින් පෙන්නුම් කරන්නේ විදේශ ආයෝජකයින්ගේ පැත්තෙන් බලද්දී ආයෝජන සඳහා ප්‍රමාණවත් තරම් හිතකර වාතාවරණයක් තවමත් රටේ නොමැති බවයි. එමෙන්ම, මුල් සැලසුම පරිදි, 2027දී නැවතත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කළ හැකි වාතාවරණයක් ඇති වන බවක්ද දැනට පෙනෙන්නට නැහැ. මේ තත්ත්වය තුළ රටේ විදේශ අංශයේ අර්බුදයකට නැවතත් පාර කැපෙන බවක් අදහස් වන්නේ නැතත්, මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින ගිවිසුම අවසන් වෙද්දී නැවතත් අලුත් ගිවිසුමකට යන්නට අවශ්‍ය වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

මැද පෙරදිග යුද තත්ත්වය වාසියකට හරවා ගනිමින් කොළඹ වරාය නගරයට සහ අනෙකුත් ප්‍රදේශ වලට ආයෝජන ආකර්ශනය කර ගත හැකිනම් මේ තත්ත්වයේ යම් වෙනසක් සිදු කර ගත හැකියි. යුද තත්ත්වයන් හමුවේ සාමය විකිණීම ලංකාව විසින් කාලයක් තිස්සේම සාර්ථකව සිදු කර ඇති රාජ්‍යතාන්ත්‍රික කාර්යයක්.

Monday, January 5, 2026

සංචාරක පැමිණීම් සහ ඉලක්ක


පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගිය වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයක් දැකිය හැකියි.

වසරේ පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරට සාපේක්ෂව, 16.7%ක වර්ධනයක් තිබෙනවා. අවසන් මාස දෙකේ එම වර්ධනය 9.0%ක් පමණයි. අවසන් මාස දෙකේ වර්ධනයද 16.7%ක් වුනානම් සංචාරකයින් ගණන තවත් 33,000කින් පමණ ඉහළ යනවා. එම අඩුව, සුළි කුණාටුවේ බලපෑම ලෙස සලකන්න පුළුවන්. 

සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් සිදු වුනේ කෘෂිකාර්මික නිෂ්පාදිතයට සහ සංචාරක කර්මාන්තයටයි. නමුත් මේ බලපෑමෙන් පසුවද, හතරවන කාර්තුව තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 12.0%ක වර්ධනයක් දකින්න පුළුවන්. මේ අනුව, හතර වන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකිව තිබුණු දායකත්වය විශාල ලෙස අඩු වී ඇති බවක් පෙනෙන්න නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදිතය පිළිබඳ සෘජු දත්ත නැතත්, වෙළඳපොළ මිල ගණන් දෙස බලා සිදු වූ හානිය ගැන වක්‍ර අදහසක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසය තුළ එළවලු ආදියේ මිල ගණන් ඉහළ යාමෙහි පෙර වසරට සාපේක්ෂව විශාල වෙනසක් නැහැ. ඒ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය තුළින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ වුවද ඒ තරම් විශාල අඩුවක් සිදු වී නොමැති බවයි. 

මූල්‍ය අරමුදල විසින් පුරෝකථන සකස් කර තිබෙන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි උපකල්පනය කරලා. එහෙත් ඉහත නිරීක්ෂණ අනුව පෙනෙන්නේ හතරවන කාර්තුව තුළද 4% ඉක්මවන වර්ධනයක් වාර්තා වීමේ විභවයක් ඇති බවයි. එසේ වුවහොත් මෙම වසරේ ආර්ථික වර්ධනයද 5%කට ආසන්න මට්ටමකට එන්න පුළුවන්. 

සුළි කුණාටුවේ බලපෑම බොහෝ දුරට ක්ෂණික බලපෑමක්. එයින් මේ වසරේ හතර වන කාර්තුවට විශාල බලපෑමක් සිදු වී නැත්නම්, ඉදිරි වසරේ දකින්නට ලැබෙනු ඇත්තේද ඒ තරම් විශාල නොවන බලපෑමක්. ඒ බලපෑම ඉදිකිරීම් ආදිය ඉහළ යාම නිසා පහසුවෙන්ම නිශේධනය වී යන්න පුළුවන්. 

වසරක් තුළ රටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මේ වසරේදී වාර්තා වී ඇතත්, එම ප්‍රමාණය වසර මුල සකස් කර තිබෙන ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ අඩුවට හේතුවනම් සුළි කුණාටුව නෙමෙයි. ඇස්තමේන්තු ඕනෑවට වඩා ඉහළ  මට්ටමක තිබීම කියා කියන්නත් පුළුවන්. පසුගිය වසර සඳහා සකස් කළ ඇස්තමේන්තු ඉදිරි වසර සඳහානම් නරක ඉලක්ක නෙමෙයි.

Thursday, December 18, 2025

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය


මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. 

වසරේ අවසාන දෙසතිය තුළ සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි නිසා මෙම වසර, යාන්තමින් වුවත්, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණි වසර ලෙස වාර්තා වීමට ඉඩ තිබෙනවා. එසේ වුවද, මෙම සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ශුභවාදී ඇස්තමේන්තුව වූ මිලියන 3 තබා අවම ඇස්තමේන්තුව වූ 2,415,000 මට්ටමට හෝ නොයන බව දැන් ඉතාම පැහැදිලියි.

නොවැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් මිලියන 7,197.1ක මුදලක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. සාමාන්‍ය ප්‍රවණතාවය අනුව මෙන්ම, ආපදාව නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයේ බලපෑම නිසාද, දෙසැම්බර් මාසය තුළ සැලකිය යුතු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් මෙම වසර තුළ පළමු වරට ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.  

මෙවැනි තත්ත්වයක් පැවතියද, විණිමය අනුපාතික වල මෑතකාලීන හැසිරීම අනුව පෙනී යන්නේ විණිමය වෙළඳපොළ තුළ යම් ආතති තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි. මෙයට හේතුව ආපදා තත්ත්වය මෙන්ම ඉදිරි වසර තුළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රුපියල් බිලියන 500ක අමතර මුදලක් වැය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන්ද ඇති වූ අවිනිශ්චිතතාවය විය හැකියි. කෙසේ වුවද, මෙම මුදල වැය කිරීමේදී එයින් වැඩි කොටසක් සඳහා දැනටමත් වෙනත් කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් යෙදවීමට රජය විසින් අදහස් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ වන විට රජය විසින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (දෙසැම්බර් 19 දින) රැස් වෙනවා. එම රැස්වීමෙන් පසුව අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

ඉහත ණය මුදල ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා වාරික වශයෙන් ලැබෙන ණය වලට සම්බන්ධයක් නැති, රජය විසින් අලුතෙන් ඉල්ලා තිබෙන, අමතර ණය මුදලක්. මෙම ණය මුදල ලබා දීමේදී සාමාන්‍ය "කොන්දේසි" අදාළ වන්නේ නැහැ. හදිසි ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා දෙන මෙම ප්‍රවර්ගයේ ණය වසර 3.5 සිට 5 දක්වා කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු අතර, ලංකාවේ වත්මන් ණය අවදානම් තත්ත්වය අනුව, 5.4%ක් පමණ වන වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකියි.

හෙට දිනයේ ඉහත සඳහන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබුණහොත් රටේ නිල විදේශ සංචිත වල එපමණක වැඩි වීමක් සිදු විය හැකියි. කෙසේ වුවද, මේ අයුරින් මූල්‍ය අරමුදලේ ණය හේතුවෙන් රටේ දළ නිල විදේශ සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිත වල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වීමට සමානව විදේශ බැරකම් ඉහළ යාමක්ද සිදු වීමයි.

Thursday, December 4, 2025

ආපදාවෙන් පසු විදේශ අංශය

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි. 

අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි. 

සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි. 

අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි. 

නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්. 

ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.

සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.

සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්. 

කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. 

ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි. 

නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා. 

මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි. 

විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි. 

සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි. 

ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.

ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. 

පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි. 

Friday, November 14, 2025

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විටද ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් මිලියන දෙකකට වඩා අඩු ප්‍රමාණයක් (1,972,957ක්). ඉදිරි සතිය තුළ (නොවැම්බර් 17 හෝ ආසන්න දිනක) මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක ඉක්මවා යා හැකියි. එහෙත් ඉන් පසුව වසර අවසන් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සති හයක පමණ කාලයක් පමණක් බැවින් වසර අවසන් වෙද්දී අපේක්ෂා කළ හැක්කේ වැඩිම වුනොත් සංචාරකයින් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් 3,000,000ක් (මිලියන තුනක්) ඉලක්ක කර තිබුණු අතර එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් 2,676,596 දෙනෙකු රටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණා. එමෙන්ම නරකම තත්ත්වයන් යටතේ වුවද සංචාරකයින් 2,415,000 දෙනෙකුගේ පැමිණීම සිදු වනු ඇති බව ඇස්තමේන්තු කර තිබුණා. දැනට පෙනෙන පරිදි ඇත්තම තත්ත්වය වසර මුලදී ඉලක්ක කර තිබෙන නරකම තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සලකා තිබෙන්නේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 3.5%ක් වනු ඇති වුවද, ඉදිරි 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1%ක් දක්වා අඩු වනු ඇති බවයි. රටේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට වඩා වැඩි කර ගැනීමේ උත්සාහය තුළ දැනට වැඩිම බරක් තබා තිබෙන්නේ සංචාරක කර්මාන්තය මත බැවින් සංචාරක පැමිණීම ඉලක්ක මට්ටමට වඩා බොහෝ අඩු වීම අවධානය යොමු විය යුතු කරුණක්.

ඔක්තෝබර් මාසය අවසන් වන විට රටට පැමිණ සිටි සංචාරකයින් ප්‍රමාණය 1,890,687ක් ලෙස වාර්තා වන අතර මෙම ගණන 2018 පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 1,885,045ට වඩා යාන්තමින්  (0.3%කින්) වැඩියි. කෙසේ වුවත්, 2018 පළමු මාස දහයක කාලය තුල සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 3,495.9ක් ලැබී තිබුණද, ඩොලරයක මූර්ත අගය 22.5%කින් අඩු වී ඇති තත්ත්වයක් තුළ පවා, මෙම වසරේ පළමු මාස දහය තුළ උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 2,659.0ක් පමණයි. මෙය, 2018 වසරට සාපේක්ෂව, සංචාරක ඉපැයීම් වල 23.9%ක නාමික අඩු වීමක් වන අතර මූර්ත පදනමින් 41.0%ක අඩු වීමක්. ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ මූර්ත ආදායමයි. 

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නරකම තත්ත්වයක් යටතේ පළමු මාස දහයක කාලය ඇතුළත සංචාරකයින් 1,942,909ක්ද, සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරකයින් 2,137,227ක්ද, හොඳ තත්ත්වයක් තුළ සංචාරකයින් 2,395,462ක්ද පැමිණෙනු ඇති බව ඇස්තමේන්තු කර තිබුනත්, ඇත්තටම පැමිණ ඇති ගණන නරකම තත්ත්වයටත්  වඩා 2.7%කින්ද, සාමාන්‍ය තත්ත්වයට වඩා 11.5%කින්ද, ශුභවාදී තත්ත්වයට වඩා 21.1%කින්ද අඩුයි. පැමිණෙන සංචාරකයින් විසින් වැය කර ඇති සාමාන්‍ය මුදල විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන් මෙහි අවාසිය වඩා විශාල වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාම වෙනම විශේෂ බද්දක් අය කරනවා. එය සංචාරක හෝටල්, සංචාරක නියෝජිත ආයතන, සංචාරක වෙළඳසැල් වැනි ආයතන වල පිරිවැටුමෙන් 1%ක් දක්වා වන බද්දක්. එම බදු මුදල් වලට සාධාරණයක් ඉටු වන්නේ රජය මැදිහත්ව සිදු කරන ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් කර්මාන්තයේ ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වන්නේනම් පමණයි.



වෙබ් ලිපිනය: