කලින් සටහන පළ කළේ, කිහිප දෙනෙකු විසින්ම අහපු, "විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. නමුත් ලිපියේ පිළිතුරු දී තිබෙන්නේ "වැඩි කර ගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයට නෙමෙයි. "වැඩි වෙන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයටයි. "වැඩි කර ගන්නේ කොහොමද?" කියන එක දේශපාලනික කරුණක්. නමුත් ඒ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පුළුවන් වෙන්නේ "වැඩි වෙන්නේ කොහොමද?" කියන එක ගැන අදහසක් ඇත්නම් පමණයි.
මෙහිදී අප මේ සටහන් ලියද්දී වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාව කෙරෙහි නිසා ලංකාවට අදාළ කර ගත නොහැකි දේවල් කතා කිරීමෙන් ඒ තරම් පලක් නැහැ. වත්මන් ලංකාවට දඬු මොණරයකින් ගිහින් පැය කිහිපයක් ඇතුළත වෙනත් රටක රාජ්‍ය නායකයෙක් පැහැර ගෙන එන්න බැහැ. අසල්වැසි රටක් රටේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා පරිප්පු දැම්මොත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේ රටකට ලෝකය කැරකෙන විදිහ බලලා කැරකෙනවා මිසක් ලෝකය කැරකෙන විදිහ වෙනස් කරන්න බැහැ.
අනෙක් අතට ලංකාව කියන්නේ කුඩා නාගරික රාජ්‍යයක් හෝ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකුත් නෙමෙයි. කවුරු කවදා කොහොම කිවුවත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පමණක් රට ගොඩ දමන්න බැහැ. ලොකු ආර්ථිකයක් නැති, ලෝක බලවතෙකු නොවන පර්යන්තයේ පිහිටි රටක් වුනත්, ලංකාව කියන්නේ මිලියන 21කට වඩා වැඩි ජනගහණයක් ඉන්න රටක්. රටට ඉදිරියට යා හැක්කේ ඔය මිලියන 21ක ජනගහණය ඉදිරියට තල්ලු කරගෙනයි. ඒ නිසා ලෝක බලවතෙකුට කළ හැකි දේ වගේම කුඩා නාගරික රාජ්‍යයකට කළ හැකි දේවලුත් ලංකාවට කරන්න අමාරුයි.
ලෝකයේ රටවල් තිබෙන්නේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක්. මේ රටවල් දෙසීය එකිනෙකට වෙනස් රටවල්. ලංකාවට වෙනත් අයෙකු දෙස බලා වෙනස් වෙනවානම් එසේ බලන්න වෙන්නේ බොහෝ කරුණු අතින් ලංකාවට සමාන රටක් දෙසයි. මෑත කාලයේදී ලංකාවේ ආදායම් මට්ටමේ සිට වේගයෙන් දියුණු වූ, එසේ ලංකාව හා සමාන කළ හැකි රටවල් නැති තරම්. ලංකාව හා සමාන කළ නොහැකි වුවද, එසේ වේගයෙන් දියුණු වූ රටවල් වුනත් තිබෙන්නේ අතළොස්සක් පමණයි. ඒ නිසා, ලංකාවට එසේ බැලිය හැකි තනි රටවල් නැති තරම්.
ලංකාව හා සංසන්දනය කළ හැකි, වේගයෙන් දියුණු වූ තනි රටවල් නැත්නම්, ලංකාවට බලන්න වෙන්නේ එසේ වේගයෙන් දියුණු වූ රටවල් සහ අනෙකුත් රටවල් අතර වෙනස්කම් මොනවාද කියන එකයි. එවැනි වෙනස්කම් හඳුනාගත්තත්, සමහර දේවල් වෙනස් කරන්න බැරි දේවල්. උදාහරණයක් විදිහට රටේ පිහිටීමේ බලපෑමක් පෙනෙන්න තිබුණා කියලා රට වෙනත් තැනකට අරගෙන යන්න බැහැ. ඒ නිසා, අවධානය යොමු කිරීමට අවශ්‍ය වන්නේ වෙනස් කර ගත හැකි දේවල් කෙරෙහියි.
පෙර ලිපියෙහි කරුණු ඉදිරිපත් කළේ ඔය පදනම මත. එහි පෙන්වා දුන් විභව ආර්ථික වර්ධනය ඉහළ දමන පළමු කරුණ ලෝකයේ දියුණු රටවල් දෙස බලා ඵලදායීත්වය වැඩි කරගැනීම. මෙය දියුණුම රටවල් හැරුණු විට අනෙක් හැම රටකටම කළ හැකි දෙයක්. ඒ වගේම අඩු වැඩි වශයෙන් කරන දෙයක්. එහෙමත් නැත්නම් සිදු වන දෙයක්. ඒ නිසා, අතළොස්සක් හැර ලෝකයේ බොහොමයක් රටවල් වල ආර්ථිකයන් වසරින් වසර වර්ධනය වෙනවා වගේම දියුණු රටවල් වලට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. නමුත් ඒ රටවල් අතරින්, කෙටි කාලයක් ඇතුළත වර්ධන වේගය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන, වෙනම තලයකට ගිහින් තියෙන්නේ රටවල් අතළොස්සක් පමණයි.
විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම නොකරන රටක් නැති තරම්. ඒ රටවල් වල ආර්ථිකයන් බොහොමයක් වසරින් වසර දියුණු වන බවත් පේනවා. ලංකාවත් මේ රටවල් අතර ඉන්නවා. නමුත් මේ රටවල් අතරින් කෙටි කාලයක් තුළ විශාල පිම්මක් පැනපු රටවල් ප්‍රමාණය අතළොස්සක් පමණයි. ඒ අනුව, පැහැදිලි වනු ඇත්තේ මේ පරිවර්තනයට හේතුව විදේශ ප්‍රාග්ධනය නොවන බවයි.
ඔය විදිහට විශාල පිම්මක් පැනපු රටවල් සහ එසේ නැතුව ලංකාව වගේ සාමාන්‍ය වේගයකින් හෙමිහිට වර්ධනය වන රටවල් අතර හඳුනාගත හැකි ප්‍රධාන වෙනසක් වන්නේ එසේ දියුණු වූ රටවල දේශීය ඉතිරි කිරීම් අනුපාතය එක දිගට විශාල කාලයක් ඉහළ මට්ටමක තිබීමයි. අනෙකුත් රටවල එසේ සිදු වී නැහැ. මේ විදිහට දියුණු වූ රටවල් අතර චීනය වැනි විශාල රටවල් වගේම සිංගප්පූරුව වැනි කුඩා රටවල්ද තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ මේ වර්ධනයට දායක වී තිබෙන්නේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය මිස රටේ ප්‍රමාණය නොවන බවයි.
පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතිරි කිරීම් අනුපාත. විශේෂයෙන් සඳහන් කර නැත්නම් 2024 අගයයන්.
අයර්ලන්තය - 60.5%
සිංගප්පූරුව - 57.9%
බහරේන් - 46%
කටාර් (2022) - 67.6%
චීනය - 43.4%
ඕමාන් - 42.1%
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2023) - 42.9%
වියට්නාමය - 37.2%
ඉන්දුනීසියාව - 36.9%
දකුණු කොරියාව - 34%
ඉන්දියාව - 28.6%
ලංකාව - 24.3%
බංග්ලා දේශය - 24.0%
ආජන්ටිනාව - 18.4%
ග්‍රීසිය - 12.7%
වෙනිසියුලාව - 12.5%
පකිස්ථානය - 6.4%
නේපාලය - 6.2%
රටක දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබේනම්, ඒ රටට විදේශ ප්‍රාග්ධනය නොමැතිව රට තුළ විශාල ලෙස ආයෝජන කළ හැකියි. දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ බොහොමයක් රටවල් රට තුළ විශාල ආයෝජන කරනවා පමණක් නොව, රටින් පිටතද තමන්ගේ ඉතිරි කිරීම් ආයෝජනය කරනවා.
පහත තිබෙන්නේ පසුගිය වසර වල සිංගප්පූරුවට ආ ශුද්ධ විදේශ ප්‍රාග්ධනය (මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂය). වරහන් ඇතුළේ තිබෙන්නේ සෘණ ගණන්.
2024 - S$ Bn (88.1)
2023 - S$ Bn (39.4)
2022 - S$ Bn (288.7)
2021 - S$ Bn (27.9)
2020 - S$ Bn 17.6
2019 - S$ Bn (92.7)
2018 - S$ Bn (61.3)
2017 - S$ Bn (47.3)
2016 - S$ Bn (81.7)
2015 - S$ Bn (72.1)
ඒ කියන්නේ ශුද්ධ වශයෙන් විදේශ ප්‍රාග්ධනය රටෙන් එළියට ගිහින් කියන එක. 1994 සිට පසු ගිය වසර 31ක කාලය තුළ, 2020දී හැර, අනෙක් සියලුම වර්ෂ වලදී සිදු වී තිබෙන්නේ සිංගප්පූරුවට එන විදේශ ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් සිංගප්පූරුවේ ප්‍රාග්ධනය රටින් එළියට යන එකයි.
මෙයින් අදහස් වන්නේ සිංගප්පූරුවට විදේශ ප්‍රාග්ධනය පැමිණ නැති බව නෙමෙයි. 2024 වසර සැලකුවොත්, සිංගප්පූරු ඩොලර් බිලියන 203.0ක සෘජු විදේශ ආයෝජන රටට පැමිණ තිබෙනවා. එහෙත් ආයෝජන ලෙස සිංගප්පූරුවේ සිට රටින් පිටතට ගොස් ඇති මුදල ඊට වඩා සිංගප්පූරු ඩොලර් බිලියන 88.1කින් වැඩියි.
ඕනෑම රටකට විදේශ ආයෝජන ලැබෙන එකේ වාසි ගණනාවක්ම තිබෙනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වල. ප්‍රධානම වාසිය සෘජු විදේශ ආයෝජනත් එක්ක රටේ දැනට නැති තාක්ෂනය රටට එන එක. සෘජු විදේශ ආයෝජන ලැබෙන එක වුනත්, විදේශ විණිමය ප්‍රභවයක් ලෙස සැලකුවොත් අමතර ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා.
රටකට විදේශ ප්‍රාග්ධනය එනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙනවා කියන එක. විදේශ ප්‍රාග්ධනය එන රටකට වඩාත්ම වාසිදායක ආකාරය වන සෘජු විදේශ ආයෝජන සැලකුවත්, ඒ එක්ක මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ අවාසිය තිබෙනවා. මුදල් ඒකකය අධිප්‍රමාණය වූ විට රට ඇතුළේ ආනයනික භාණ්ඩ ලාබ වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වෙනවා. දේශීය නිෂ්පාදකයින්ට ආනයන එක්ක තරඟ කරන්න බැරි වෙනවා. අවසාන වශයෙන් රටේ නිෂ්පාදිතය සීමා වෙලා සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණි විදේශ විණිමය ටික ආනයන විදිහට රටින් එළියට යනවා.
ප්‍රශ්නය වඩා දරුණු වෙන්නේ විදේශ ණය සහ අනෙකුත් මූල්‍ය ආයෝජන විදිහට විදේශ ප්‍රාග්ධනය රටට එද්දී. මේ විදියට එන විදේශ ප්‍රාග්ධනය යම් නිශ්චිත කාලයකට පසුව අනිවාර්යයෙන්ම රටෙන් ආපසු යනවා. ඒ යන්නේ කලින් මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ වාසිය පොලියත් එක්ක ආපහු අරගෙන. ඊට අමතරව රටේ නිෂ්පාදිතයත් කඩා දමලා. වැඩේ කෙළවර වෙන්නේ ආයෝජන තියා ණය විදිහටවත් විදේශ ප්‍රාග්ධනය එකතු කරගන්න බැරි තැනකට වැටිලා. ලංකාවට වුනෙත් ඕක.
ගොඩක් රටවල් මේ උගුලේ පැටලී හිටියත් සිංගප්පූරුව, චීනය, දකුණු කොරියාව වගේ මේ උගුලේ පැටලුනේ නැති රටවලුත් තිබෙනවා. ඒ රටවල් විදේශ ප්‍රාග්ධනය ඇවිත් තමන්ගේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයින් ඇත්තටම වෙන්නේ ආර්ථිකය ශක්තිමත් වීමක් නොවන බව ඒ රටවල් තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා, මේ රටවල් කරන්නේ රටට එන විදේශ ප්‍රාග්ධනය වෙළඳපොලෙන් ඉවත් කරගෙන මුදල් ඒකකය අවප්‍රමාණය වෙන්න අරින එක.
මුදල් ඒකකය අවප්‍රමාණය වෙද්දී ආනයන මිල අධික වෙනවා. ඒ නිසා ආනයන ඉල්ලුම අඩු වෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. පරිභෝජනය අඩු වෙනවා. දේශීය ඉතිරි කිරීම් ඉහළ යනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන නිසා තව තවත් විදේශ ප්‍රාග්ධනය ගලාගෙන එනවා. ඉතිරි කිරීම් තවත් ඉහළ යනවා. රටට රටින් පිටට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය යවන්න පුළුවන් වෙනවා.
පසුගිය වසරේ චීනයේ සිට ඩොලර් බිලියන 434.0ක් ප්‍රාග්ධනය විදිහට ශුද්ධ වශයෙන් එළියට ගිහින් තිබෙනවා. සිංගප්පූරුව වගේම චීනයත් වැඩි වැඩියෙන් ආයෝජන කරන්නේ රටේ දේශීය ඉතිරි කිරීම් වලින් මිසක් විදේශ ප්‍රාග්ධනය අරගෙන නෙමෙයි. අනෙක් බොහොමයක් රටවල් වලට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය කරගෙන තිබෙන අතළොස්සක් රටවලට පොදු විශේෂ ලක්ෂණයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය මත යැපෙන්නේ නැතිව, පරිභෝජනය සීමා කර, දේශීය ඉතිරි කිරීම අනුපාතය ඉහළ මට්ටමක තබා ගෙන සිටීමයි.
සිංගප්පූරුව මේ වෙද්දී ලෝකයේ ධනවත්ම රටක්. චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය. ඒ වගේ රටකට ඉතිරි කිරීම් අනුපාතය උඩින් තියාගෙන ඉන්න පුළුවන් වුනත් ලංකාවට එහෙම කරන්න බැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඔය රටවල් ඔය වැඩේ කළේ අද ඊයෙක නෙමෙයි. මෙය ආදායම් මට්ටම ඉහළ යන්න කලින්ම කළ වැඩක්. ආදායම් මට්ටම වේගයෙන් ඉහළ ගියේ ඒ නිසා. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායමක් ඇති රටක් වන වියට්නාමයත් මේ වෙද්දී ඉතිරි කිරීමේ අනුපාතය විශාල ලෙස ඉහළ දමාගෙන තිබෙනවා. ඉදිරි වසර විස්සක කාලය ඇතුළත එහි ප්‍රතිඵල දකින්න හැකි වෙයි.