වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය ණය. Show all posts
Showing posts with label රාජ්‍ය ණය. Show all posts

Sunday, August 30, 2026

වසර මැදදී රාජ්‍ය අංශයේ ණය


දෙවන කාර්තුව අවසානයේදී රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ එකම සංඛ්‍යාලේඛන විවිධ අයට වෙනස් ආකාර වලින් විග්‍රහ කරන්න පුළුවන්. බොහෝ විට එය එසේ වෙනවා. 

ලංකාවේ රාජ්‍ය අංශයේ ණය යන්නෙන් මධ්‍යම රජයේ ණය මෙන්ම පළාත් හා ප්‍රාදේශීය සභා වල ණයත්, රාජ්‍ය ව්‍යවසායයන්හි ණයත් අදහස් වෙනවා. මෙම කොටස් අතරින් වඩාත්ම වැදගත් කොටස සහ විශාලම කොටස වන්නේ මධ්‍යම රජයේ ණයයි. මධ්‍යම රජයේ ණය දේශීය ණය හා විදේශ ණය ලෙස වර්ග කළ හැකියි. 

රාජ්‍ය අංශයේ ණය මීට වඩා වෙනස් ආකාර වලින්ද අර්ථ දැක්වෙනවා. උදාහරණයක් ලෙස ඇතැම් විට මහ බැංකුවේ ණයද රාජ්‍ය අංශයේ ණය සේ සැලකෙනවා. එහෙත් මෙම ලිපියෙහි රාජ්‍ය අංශයේ ණය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඉහත සංරචක තුන පමණයි. එමෙන්ම දේශීය ණය හා විදේශ ණය ලෙස ණය වර්ග කිරීමේදීද යොදා ගැනෙන්නේ එකම සම්මතයක් පමණක් නෙමෙයි. අප මෙහිදී යොදා ගන්නේ ශ්‍රී ලංකා රජයේ වර්ගීකරණයයි. මහ බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ වර්ගීකරණය මීට වඩා තරමක් වෙනස්. 

ඉහත සඳහන් ශ්‍රී ලංකා රජයේ සම්මතය අනුව, විදේශීය ණය යන්නට බහුපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය යන සංරචක ඇතුළත් වෙනවා. වාණිජ ණය සේ සැලකෙන ස්වෛරිත්ව බැඳුම්කර වල හිමිකාරිත්වය ශ්‍රී ලාංකිකයින් හෝ ශ්‍රී ලාංකික ආයතන සතු වුවද එම ණය සැලකෙන්නේ විදේශ ණය ලෙසයි. එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකාරිත්වය විදේශිකයින් සතු වුවද එම ණය සැලකෙන්නේ දේශීය ණය ලෙසයි. මෙයින් වෙනස්ව, මහ බැංකුව හා මූල්‍ය අරමුදල විසින් දේශීය හා විදේශ ණය ලෙස ණය වර්ග කරන්නේ හිමිකාරිත්වය මත පදනම්වයි. ඒ නිසා, අප විසින්ම මහ බැංකුවේ හෝ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරද්දී සංඛ්‍යාලේඛණ අතර නොගැලපීමක් තිබිය හැකියි. 

රජයේ සම්මතය අනුව, විදේශ ණය වලට අයත් වන අනු කාණ්ඩ තුනම විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණයයි. එම ණය අතර ඩොලර්, යෙන්, යුවාන්, මූල්‍ය අරමුදලේ SDR වැනි විවිධ මුදල් ඒකක වලින් ලබා ගත් ණය තිබෙනවා. මේ ණය ආපසු ගෙවිය යුත්තේද ණය ලබාගත් මුදල් වර්ගයෙනුයි. එසේ වුවද, සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී සංසන්දනය කිරීමේ පහසුවට මෙම සියලුම ණය වල වටිනාකම් රුපියල් වලින් හා ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කෙරෙනවා.

රජයේ සම්මතය අනුව,  දේශීය ණය ප්‍රධාන වශයෙන්ම රුපියල් වලින් ලබා ගත් හා රුපියල් වලින්ම ආපසු ගෙවිය යුතු ණය වුවත්, දේශීය නීතිය යටතේ රට ඇතුළෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය යම් ප්‍රමාණයක්ද දේශීය ණය සේ සැලකෙනවා. මෙම දේශීය ණය ප්‍රමාණද සංසන්දනය කිරීමේ පහසුව තකා රුපියල් වලින් හා ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කෙරෙනවා.

ඩොලරයක මිල ඉහළ යද්දී, විදේශ ණය ප්‍රමාණය වෙනස් නොවුනත්, එම ණය වල රුපියල් වටිනාකම ඉහළ යනවා. එමෙන්ම ඩොලරයක මිල පහත වැටෙද්දී රුපියල් වලින් ණය අඩුවීමක් පෙනෙනවා. මෙසේ රුපියල් වලින් විදේශ ණය අඩු වෙද්දී පවතින රජයට හිතවත් අය එය විදේශ ණය අඩු වීමක් සේ පෙන්වනු දැකිය හැකියි. එමෙන්ම ඩොලරයක මිල ඉහළ ගොස් විදේශ ණය වල රුපියල් වටිනාකම ඉහළ යද්දී විපක්ෂ කණ්ඩායම් විසින් එය ණය ඉහළ යාමක් සේ පෙන්වනුද දැකිය හැකියි. විදේශ ණය ප්‍රමාණය දෙස බැලීමේදී වඩාත්ම යෝග්‍ය ප්‍රවේශය වන්නේ රුපියල් වටිනාකම දෙස නොබලා ඩොලර් ප්‍රමාණය දෙස බැලීමයි.

විදේශ ණය වෙනස් වීම ඩොලර් වලින් බලද්දී වුවද එයින් සියයට සියයක්ම නිවැරදි තත්ත්වය දැකිය නොහැකියි. ඊට හේතුව විණිමය අනුපාත වෙනස් වෙද්දී යුවාන්, යෙන්, SDR ආදී මුදල් ඒකක වලින් ලබා ගෙන ඇති ණය වලද ඩොලර් අගය වෙනස් වීමයි. නමුත් රුපියල් ණය වල ඩොලර් වටිනාකම දෙස බලද්දී සිදු වන තරමේ විකෘතියක් මෙහිදී සිදු වන්නේ නැහැ.

රුපියල් වලින් ලබා ගෙන ඇති ණය වල ඩොලර් අගය දෙස බැලීමනම් කිසිසේත්ම තේරුමක් නැති දෙයක්. එම ණය ලබා දෙන ඇත්තේත්, ආපසු ගෙවිය යුත්තේත් රුපියල් වලිනුයි. ඒ නිසා, රාජ්‍ය ණය වල දිශානතිය ගැන නිවැරදි අදහසක් ගැනීමට අවශ්‍ය අයෙකු විසින් කළ යුත්තේ රජයේ සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් හෝ ඩොලර් අගය දෙස නොබලා, රුපියල් ණය වල රුපියල් වටිනාකම දෙසත් අනෙකුත් ණය වල ඩොලර් අගය දෙසත් වෙන වෙනම බැලීමයි.

ඉහත ඔබ කියැවූ, තරමක් දිගු, එහෙත් අත්‍යාවශ්‍යම පූර්විකාව අවසන් කර, 2026 ජූනි 30 දින වන විට පැවති රාජ්‍ය අංශයේ ණය පිළිබඳ තත්ත්වය දෙස දැන් අපි පසු ගිය 2025 වසර අවසන් වන විට පැවති තත්ත්වය හා සංසන්දනය කරමින් බලමු. 

මධ්‍යම රජයේ දේශීය රුපියල් ණය 

වසරේ පළමු මාස හයක කාලය ඇතුලත, දේශීය රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,751 සිට රුපියල් බිලියන 18,462 දක්වා රුපියල් බිලියන 289කින් අඩු වී තිබෙනවා. 

මධ්‍යම රජයේ දේශීය ඩොලර් ණය 

මෙම ණය ඩොලර් මිලියන 2,204 සිට ඩොලර් මිලියන 2,201 දක්වා ඩොලර් මිලියන 3කින් අඩු වී තිබෙනවා.

මධ්‍යම රජයේ විදේශ ණය 

මධ්‍යම රජයේ විදේශ ණය ඩොලර් මිලියන 37,663 සිට ඩොලර් මිලියන 38,008 දක්වා ඩොලර් මිලියන 345කින් ඉහළ ගොස් තිබෙනවා. ජූනි 30 දින ඩොලරයක මිල (රුපියල් 336.6623) අනුව, මෙය ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 116ක පමණ අමතර විදේශ ණය ලබා ගැනීමකට සමානයි. 

එසේ වුවද, දේශීය රුපියල් ණය රුපියල් බිලියන 289කින්ද, දේශීය ඩොලර් ණය තවත් රුපියල් බිලියනයකින් පමණද අඩු වී ඇති බැවින්, සමස්තයක් ලෙස මධ්‍යම රජයේ ණය ආපසු ගෙවීමක් සිදු වී ඇති බව අප‍ට පෙනෙනවා. මෙම ණය ආපසු ගෙවීම ආසන්න වශයෙන් රුපියල් බිලියන 174ක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි.

ණය ගෙවුවේ කොහොමද?

වසරේ මුල් මාස හය ඇතුළත මධ්‍යම රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 9.5කට සීමා වී තිබුණා. එසේනම්, රුපියල් බිලියන 174ක ශුද්ධ ණය ආපසු ගෙවීමක් සිදු විය හැකිද? මෙවැන්නක් සිදුව ඇත්නම් එයින් පෙනීයන්නේ ණය ආපසු ගෙවීම වෙනුවෙන් රජය විසින් කලින් එකතු කරගෙන තිබුණු රුපියල් සංචිතයෙන් යම් කොටසක් වැය කර ඇති බවයි. ඒ අනුව, 2025 අවසානයට සාපේක්ෂව 2026 වසර මැද වන විට රජය සතුව තිබුණු රුපියල් සංචිතය අඩු වී තිබිය යුතුයි.

බහුපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය

බහුපාර්ශ්වීය ණය ඩොලර් මිලියන 488කින්ද, ද්විපාර්ශ්වීය ණය ඩොලර් මිලියන 119කින්ද ඉහළ ගොස් ඇති අතර, මධ්‍යම රජයේ වාණිජ ණය ඩොලර් මිලියන 263කින් අඩු වී තිබෙනවා. මේ අනුව, වසරේ පළමු මාස හයක කාලය තුළ ශුද්ධ වශයෙන් ලබාගත් බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ණය වලින් කොටසක් වාණිජ ණය අඩු කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති බවත්, තවත් කොටසක් රුපියල් කර රුපියල් ණය අඩු කර ගැනීම වෙනුවෙන් යොදවා ඇති බවත් පේනවා.

රාජ්‍ය සංස්ථා වල විදේශ ණය 

වසරේ පළමු මාස හයක කාලය තුළ රාජ්‍ය සංස්ථා වල විදේශ ණය ඩොලර් මිලියන 3,239 සිට ඩොලර් මිලියන 2,885 දක්වා ඩොලර් මිලියන 599කින් අඩු වී තිබෙනවා. මෙම අඩු වීම මධ්‍යම රජයේ විදේශ ණය ඉහළ යාම වූ ඩොලර් මිලියන 345 ඉක්මවා යනවා. ඒ අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස රාජ්‍ය අංශය විසින් රටේ විදේශ ණය ප්‍රමාණය කෙරෙහි ඩොලර් මිලියන 254ක සෘණ බලපෑමක් සිදු කර ඇති බවයි. මෙම කාලය ඇතුළත මහ බැංකුව විසින්ද යම් විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බැවින් පළමු මාස හය ඇතුළත රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව තිබිය හැකියි. 

සාමාන්‍ය කරුණු ලෙස, රජය විසින් අයවැය අතිරික්තයක් පවත්වා ගන්නේනම් රාජ්‍ය ණය ක්‍රමයෙන් පහත වැටෙනවා. එමෙන්ම, විදේශ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇත්නම් රටේ සමස්ත විදේශ ණය ක්‍රමයෙන් අඩු වෙනවා.

Friday, March 20, 2026

රාජ්‍ය අයවැය තුලනය සහ රාජ්‍ය ණය


මේ වන විට පසුගිය (2025) වසරේ රාජ්‍ය අයවැය තුලනය හා රාජ්‍ය ණය පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ මෙන්ම නිල ජාතික ගිණුම් ඇස්තමේන්තුද ප්‍රකාශයට පත් කර අවසානයි. මීට පෙර අප විසින් පළ කළ සටහන් වල අප විසින් ඉදිරිපත් කළ මේ හා අදාළ අනුපාත පදනම් වූයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අපගේ පුරෝකථන මතයි. අප එසේ කළේ, අනෙකුත් විකල්පය වූ, දදේනිය පිළිබඳ මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු ඒ තරම්ම නිවැරදි නොවූ බව අපගේ අදහස වූ බැවිනුයි. 

මේ වන විට අප දන්නා සත්‍ය ඇස්තමේන්තු අපගේ පුරෝකථන වලට බොහෝ ආසන්න බැවින්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළ පෙර සටහන් වල සඳහන් අනුපාත වලට බලපෑම් සහගත වෙනසක් සිදු වී නැතත්, මෙම ලිපියෙහි අප නැවත වරක් ඉදිරිපත් කරන්නේ නිවැරදිම අනුපාතයි. මෙම අනුපාත කිසිවක් පුරෝකථන මත පදනම් වී නැහැ.

රාජ්‍ය ආදායම් හා ලැබීම් 

දදේනි අනුපාත ලෙස 16.7%ක රාජ්‍ය ආදායම් හා ලැබීම් පසුගිය වසර තුළ වාර්තා වී තිබෙනවා. මෙම අගය වසර 19කට පසු වාර්තා වන ඉහළම රාජ්‍ය ආදායම් හා ලැබීම් අනුපාතයයි. මෙයින් 15.4%ක් බදු ආදායම් හා 1.2%ක් බදු නොවන ආදායම් වන අතර ඉතිරි 0.1% ප්‍රදානයි.

රාජ්‍ය වියදම් 

සමස්ත රාජ්‍ය වියදම දදේනියෙන් 19.0%කට සීමා වී ඇති අතර මෙම අනුපාතය පසුගිය වසරේ එම අගයට වඩා අඩු අගයක් වුවත්, 2022 (18.6%), 2018 (17.5%) වැනි වසර හා සසඳද්දී ඒ තරම් අඩු අගයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉහත වියදමෙන් 7.6%ක්ම පොලී වියදම් වන අතර අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%කට සීමා වී තිබෙනවා. එමෙන්ම, මෙම වියදමෙන් 16.0%ක්ම පුනරාවර්තන වියදම් වන අතර ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 3.0%ක් පමණයි. 

අයවැය හිඟය 

අයවැය හිඟය දදේනියෙන් 2.2%කට සීමා වී ඇති අතර එය 1956 වර්ෂයෙන් පසුව, එනම් වසර 69කට පසු, වාර්තා වන අඩුම අයවැය හිඟයයි. එමෙන්ම, දදේනියෙන් 5.4%ක් තරම් විශාල ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර ඒ මට්ටමේ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මීට පෙර යම් හෝ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1954, 1955,1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී පමණයි. 

බොහෝ වසර වල වාර්තා වී තිබුණේ සුළු ප්‍රාථමික අතිරික්තයක් වුවද, 2024දී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබුණා. ස්ථායීකරණ වැඩ පිළිවෙළ මගින් ඉලක්ක කළේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.3% දක්වා වැඩි කර ගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යාමටයි. පසුගිය වසරේ වාර්තා වී ඇති 5.4% මට්ටම එම ඉලක්කය බෙහෙවින්ම ඉක්මවා යන්නක් වන අතර එවැනි ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට ණය බරින් නිදහස් වීම සඳහා ගත වන කාලය වසර ගණනාවකින් කෙටි කරගත හැකියි.

ප්‍රාථමික අතිරික්තයකට අමතරව මෙවර දදේනියෙන් 0.7%ක ජංගම ගිණුම් අතිරික්තයක්ද වාර්තා වී ඇති අතර එවැන්නක් සිදුව ඇත්තේ වසර 38කට පසුවයි. මේ කතා කරන්නේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම ගැන නෙමෙයි. වසර 46කට පසුව, 2023දී එම ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර එම තත්ත්වය 2024 හා 2025 වසර වලදීද දැක ගත හැකි වුනා. කෙසේ වුවත්, එය බොහෝ දුරට රජයේ නොව මහ බැංකුවේ කාර්ය භාරය හා අදාළ කරුණක්.

රාජ්‍ය ණය 

මධ්‍යම රජයේ ණය බර මේ වන විට දදේනියෙන් 91.6% දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසන් වෙද්දී එම අනුපාතය 95.5%ක්ව පැවතුණා. ප්‍රාථමික අතිරික්තය ඉහළ යන තරමට ණය බර වේගයෙන් පහත වැටෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ණය බර දදේනියෙන් 95% මට්ටම දක්වා පහත දමා ගැනීමයි. මේ වන විටද එය සිදු වී තිබෙනවා.

Tuesday, March 3, 2026

මධ්‍යම රජයේ ණය - 2025 වසර අවසානයේදී


පසු ගිය (2025) වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109ක් ලෙස වාර්තා වෙනවා. මෙම ණය ප්‍රමාණය පෙර (2024) වසර අවසානයේදී පැවති මට්ටමේ සිට 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඉහත ණය ප්‍රමාණයට පළාත් පාලන ආයතන වල සහ රාජ්‍ය සංස්ථා වල ණය ඇතුළත්ව නැහැ. එම ණයද එකතු කළ විට, රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 32,195ක් දක්වා ඉහළ යනවා. 

රාජ්‍ය ණය යනු අනාගතයේදී රටේ බදු ගෙවන්නන්ගෙන් අය කර ගන්නට සිදු වන මුදලක් සේ සැලකිය හැකියි. බිලියන ගණන් ඇඟට දැනෙන්නේ නැති නිසා මෙම ගණන රටේ ජනගහණයෙන් බෙදුවහොත්, එක් අයෙකුට රුපියල් 1,479,822ක හෙවත් රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න ණය ප්‍රමාණයක්. 

මේ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යන නමුත් සමස්තයක් ලෙස තවමත් සැලකිය යුතු අයවැය හිඟයක් නඩත්තු වන බැවින් වසරක් පාසා රාජ්‍ය ණය ඉහළ යමින් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. වසරකින් හෝ දෙකකින් ලඟා කර ගත හැකි ඉලක්කයක් නොවුනත්, සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගෙන ගියහොත්, වසර දහයකින් පමණ පසුව සමස්ත අයවැය තුලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

මධ්‍යම රජයේ ණය ප්‍රමාණය වසර ඇතුළත 5.1%කින් ඉහළ ගොස් ඇතත්, වස‍ර ඇතුළත නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබිය යුතු බැවින් දදේනියෙහි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. එබැවින් ණය තිරසාරත්වය පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැහැ.

වසර ඇතුළත මධ්‍යම රජයේ විදේශ ණය ඩොලර් මිලියන 983කින් (2.7%කින්) ඉහළ ගොස් ඇති අතර, දේශීය ඩොලර් ණය තවත් ඩොලර් මිලියන 46කින් (2.1%කින්) ඉහළ ගොස් තිබෙනවා. රුපියල් ණය ඉහළ යාම රුපියල් බිලියන 490ක් (2.7%ක්). ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑමද සමඟ සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් අගයේ වැඩි වීම 5.1%ක් වී තිබෙනවා.


Thursday, December 19, 2024

රාජ්‍ය ණය කළමනාකරණයට අලුත් ආයතනයක්!

 


දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙය මහ බැංකුවක කාර්ය භාරයේ කොටසක් නොවන්නාක් මෙන්ම, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ බැඳියා පිළිගැටුමක් ඇති කරවන්නක්ද වුනා. 

මේ ගැන කතාබහ කෙරුණේ අද ඊයේ සිට නොවුවත්, දශක ගණනාවක් තිස්සේම මේ ආයතනික ආකෘතියේ වෙනසක් සිදු වුනේ නැහැ. 2015 කුප්‍රකට බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව මෙම බැඳියා පිළිගැටුම පිළිබඳ අවධානය ඉහළ ගිය අතර, පසුව මෙම කාර්ය භාරය මහ බැංකුවෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොටසක් වුනා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනික සහයෝගයද අරමුදලෙන් ලැබුණා.

රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වුනත්, විදේශ ණය කළමනාකරණය සිදු වුනේ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේයි. ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේදී එම දෙපාර්තමේන්තුව මෙන්ම මහ බැංකුවද එක්ව කටයුතු කළා. මේ සියලු කටයුතු වලට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවද සම්බන්ධ වුනා.

මේ වන විට මෙම සියලු කාර්යයයන් සිදු කිරීම සඳහා වෙනම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කොට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ජනවාරි මාසයේ සිට මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ අදාළ දෙපාර්තමේන්තු විසින් මෙතෙක් සිදු කළ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු සියල්ල පවරා ගැනීමට නියමිතයි. 

මහ බැංකුව විසින් කරන තවත් "අදාළ නොවන" කාර්යයක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමයි. 

Sunday, October 20, 2024

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?


මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද?

රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත තිබෙන්නේ පසුගිය මාසයක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය විසින් ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයයි.

සැප්තැම්බර් 25 - රුපියල් මිලියන 132,000

ඔක්තෝබර් 2 - රුපියල් මිලියන 156,750

ඔක්තෝබර් 9 - රුපියල් මිලියන 93,500

ඔක්තෝබර් 16 - රුපියල් මිලියන 106,700

එකතුව - රුපියල් මිලියන 488,950

කෙසේ වුවත්, මෙම කාලය තුළ කල් පිරුණු (ආපසු ගෙවිය යුතු) භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් මෙම අරමුදල් වලින් වැඩි කොටසක් වැය වී තිබෙනවා. පහත තිබෙන්නේ එසේ ආපසු ගෙවූ ණය ප්‍රමාණයි. 

සැප්තැම්බර් 27 - රුපියල් මිලියන 114,666

ඔක්තෝබර් 4 - රුපියල් මිලියන 135,344

ඔක්තෝබර් 11 - රුපියල් මිලියන 64,766

ඔක්තෝබර් 18 - රුපියල් මිලියන 76,138

එකතුව - රුපියල් මිලියන 390,914

මේ අනුව, භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවූ ප්‍රමාණයට වඩා රුපියල් මිලියන 98,036ක් වැඩියෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගෙන තිබෙනවා. 

මීට අමතරව, ඔක්තෝබර් 11 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් තවත් රුපියල් මිලියන 104,500ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව, මාසයක කාලය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 203,536කින් ඉහළ ගොස් තිබිය යුතුයි. 

සැප්තැම්බර් 26 දින වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,154,456ක්. මේ වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 17,356,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔක්තෝබර් 23 දින නැවතත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර එහිදී සහ ඉන් අනතුරුව තවත් රුපියල් මිලියන 137,500ක භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් 25 දින රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මේ සතියේ ඉහත ණය ප්‍රමාණයද  ලබාගතහොත් භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය තවත් රුපියල් මිලියන 30,483කින් ඉහළ යා හැකියි. 

මේ අයුරින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩියෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රධානම හේතුව ආපසු ගෙවද්දී ණය මෙන්ම පොලියද ගෙවිය යුතු වීමයි. භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගනිද්දී පොලිය මුලින්ම ගෙවන බැවීන් රජයට ඇත්තටම ලැබෙන්නේ ණය ප්‍රමාණයෙන් පොලිය අඩු වූ විට කොටසයි. 

කෙසේ වුවද ඉහත ණය ප්‍රමාණ පසුගිය මාසය තුළ ආපසු ගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය වල සහ පොලියේ එකතුවටද වඩා වැඩියි. පෙර සැලසුම් කළාට වඩා රජයේ වියදම් වැඩි වී තිබීමට හෝ ආදායම් අඩු වී තිබීමට විශේෂ හේතුවක් නොපෙනෙන බැවින් මෙම අමතර අරමුදල් ප්‍රමාණය සංචිතයක් සේ තබා ගන්නවා විය හැකියි. 

Thursday, July 25, 2024

ඩොලර් බිලියන සීයක් ණය වුනේ කවුද?


පසුගිය මාර්තු මාසය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම බිලියන 100 ඉක්මවා තිබුණු බව ගොඩක් අය දන්න, ගොඩක් කතාබහට ලක් වුනු දෙයක්නේ. මෙම ණය ප්‍රමාණය වසරේ මුල් මාස තුන ඇතුළත ඩොලර් බිලියන හතරකින් පමණ වැඩි වී තිබුණත් එයට හේතුව ඩොලරයක මිල පහත වැටීම මිසක් අලුතෙන් ණය ගැනීම නොවන බව පෙර ලිපියක පැහැදිලි කළා. 

ඉහත පැහැදිලි කිරීම ගොඩක් අය තේරුම් අරගෙන තිබුණා. මෙය සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහ සරල ගණිත දැනුමක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි. අපේ සටහන් කියවන අය අතර එසේ නොවන අය ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේ ලිපිය ලියන්නෙත් එසේ යමක් තේරුම් ගන්න පුළුවන් සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන බහුතර පාඨකයින්ට. වරින් වර විවිධ අය රාජ්‍ය ණය ගැන එක එක විදිහේ කතන්දර ගොතලා ඒවා ජනගත කරන නිසා නැවත නැවත කළ යුතු පැහැදිලි කිරීමකුයි මේ ලිපියේ තියෙන්නේ. 

මේ ඩොලර් බිලියන 100 රාජ්‍ය අංශයේ ණය. එයට රජයේ ණය සහ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ඇතැම් රාජ්‍ය සංස්ථා වල ණයත් ඇතුළත්. කතා කරන්න යන කරුණ හා අදාළව, අපි මේ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ණය කොටස අත හැර රජයේ ණය කොටස ගනිමු. ඒ වගේම, සංසන්දනය කිරීමේ පහසුවට, මාර්තු අවසානයට නොගොස් 2023 වසර අවසානයේ නවතිමු. 

පසුගිය 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් මිලියන 28,695,949ක් හෙවත් ට්‍රිලියන 28.7ක්. වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 323.92 ලෙස සැලකූ විට, මෙම ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 88,589.6ක්. මේ තරම් ප්‍රමාණයක් රාජ්‍ය ණය එකතු වුනේ කොහොමද?

රජය ආදායම ඉක්මවා වියදම් කරද්දී අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. මෙය සරල හා පැහැදිලි කරුණක්. 1950 වසර අවසානය දක්වා මේ විදිහට අරගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක්. එම ණය ප්‍රමාණයට ඉන් පසු වසරෙන් වසර ප්‍රාථමික අයවැය හිඟය එකතු වෙලා තමයි 2023 වසර අවසාන වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,695,949ක් වෙලා තියෙන්නේ. 

හැබැයි 1950 වසර අවසානයේදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉතිරි මුළු ණය ප්‍රමාණයම ඉන් පසුව රජය විසින් ණයට අරගෙන වියදම් කළා කියන එක නෙමෙයි. ගත්ත ණයක් ආපසු ගෙවන තාක් කල් ඒ ණය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට 1950 වසර අවසානය වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් මිලියන 499,779ක ණයක් වී තිබෙනවා. මෙය 764 ගුණයකින් වැඩි වීමක්.

මෙයින් අදහස් වෙන්නේ 1950 වන විට ගෙවන්න තිබුණු ණය තවම ගෙවලා නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණිකව බැලුවොත් ඒ ණය ගෙවලා සෑහෙන කාලයක් වෙනවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවලා තියෙන්නේ රජය විසින් ආදායමෙන් කොටසක් ඉතිරි කරලා නෙමෙයි. වෙනත් ණයක් අරගෙන. එතකොට සෛද්ධාන්තිකව බැලුවොත් වෙලා තියෙන්නේ අර පරණ ණයේ ස්වරූපය මාරුවීමක් පමණයි.

අලුතෙන් ණයක් අරගෙන පරණ ණයක් ගෙවද්දී ණයට ගත්ත මුදලට අමතරව පොලියත් ගෙවන්න වෙනවා. ඒ නිසා, පරණ ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතෙන් ණයට ගන්න වෙනවා. ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්නම්, ඩොලරයක මිල ඉහළ යද්දී අලුතෙන් ඩොලර් මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා, ඒ හේතුවෙනුත් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය ඉහළ යනවා. මේ ආදී හේතු නිසා ලංකාවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ණය අලුත් කරද්දී සාමාන්‍ය වශයෙන් වසරකට 10%කින් පමණ ණය ප්‍රමාණය ඉහළ යනවා. 1950වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් 499,779ක ණයක් වී තිබෙන්නේ ඔය ක්‍රමයටයි. 

තිබෙන ණය ප්‍රමාණය ඔය වදිහට වර්ධනය වනවාට අමතරව, ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා හැම අවුරුද්දකදීම ඔය ණය මල්ලට තවත් යම් මුදලක් එකතු වෙනවා. ඉන් පසු, ඒ කොටසක් දිගින් දිගටම අර 10%ක පමණ වූ සාමාන්‍ය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ප්‍රාථමික අයවැය හිඟයක් තිබී නැත්තේ 1950 වසරින් පසුව වසර හයකදී පමණයි. 

කිසියම් වසරකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න පුලුවන්ම්, ඒ ප්‍රමාණය කොයි තරම් කුඩා වුනත්, සුළු ණය ප්‍රමාණයක් හෝ ආපසු ගෙවන්න පුළුවන්. එහෙම කළා කියලා බොහෝ විට ඒ අවුරුද්ද තුළ මුළු ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද පරණ ණය වර්ධනය වීම නිසා ණය ප්‍රමාණයේ සිදුවන ඉහළ යාම ඊට වඩා ගොඩක් වැඩියි. 

හැබැයි මේ විදිහට සුළු හෝ ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වාසිය දිගුකාලීන එකක්. මොකද ඒ ණය ප්‍රමාණය ආපසු නොගෙවුවානම් වසරක් ගානේ 10%ක පමණ වේගයකින් වර්ධනය වෙලා විශාල ණයක් බවට පත් වෙනවා. සුළුවෙන් හෝ ආපසු ගෙවන එකෙන් එය නවතිනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් අවුරුදු හතර පහකින් කොහොම වෙතත්, යම් කාලයකට පසුව ණය අඩුවෙන්නට පටන් අරගෙන තවත් කාලයකට පස්සේ ණය ගෙවී අවසන් වෙනවා. 

මේ අනුව, 2023 වසර අවසානයේදී මුළු රාජ්‍ය ණය ප්‍රමාණය කියා කියන්නේ ඊට පෙර වසර වල රජයේ ප්‍රාථමික අයවැය ශේෂ වල ඒ වන විට වටිනාකම් වල එකතුව. ප්‍රාථමික අයවැය හිඟ වලින් ප්‍රාථමික අයවැය අතිරික්ත ටික අඩුවෙලා තමයි ඔය ණය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. 

පහත තිබෙන්නේ ණය ලබාගත් කාල වකවානු අනුව, 2023 අවසර අවසානයේදී ඩොලර් වලින් මිලියන 88,589.6ක් වූ ණය ප්‍රමාණය එකතු වූ ආකාරය. මතක තියාගන්න ඩොලර් වලින් ගණන් පෙන්නුවත් මේ සියල්ල ඩොලර් ණය හෝ විදේශ ණය නෙමෙයි. වැඩි ප්‍රමාණය රුපියල් ණය. අවශ්‍යනම් ඩොලරය රුපියල් 323.92 බැගින් රුපියල් ගණන ගණනය කරගන්න පුළුවන්.

1950 දක්වා - ඩොලර් මිලියන 1,542,9

1951-1955 - ඩොලර් මිලියන 549.4

1956-1960 - ඩොලර් මිලියන 1,938.5

1961-1964 - ඩොලර් මිලියන 2,175.1

1965-1969 - ඩොලර් මිලියන 2,928.8

1970-1976 - ඩොලර් මිලියන 4,819.0

1977-1988 - ඩොලර් මිලියන 27,239.6

1988-1993 - ඩොලර් මිලියන 3,960.2

1994-2001 - ඩොලර් මිලියන 10,860.0

2002-2004 - ඩොලර් මිලියන 1,838.2

2005-2014 - ඩොලර් මිලියන 14,100.9

2015-2019 - ඩොලර් මිලියන 5,833.6

2020-2022 - ඩොලර් මිලියන 11,538.5

2023 - ඩොලර් මිලියන (-535.1)

එකතුව - ඩොලර් මිලියන 88,589.6

එක් වර්ෂය තුළ ප්‍රාථමික අයවැය ශේෂය ණය ප්‍රමාණයට දායක වූ ආකාරය ප්‍රස්ථාරයේ දැකිය හැකියි. ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි. 

මේ විදිහට ආදායම ඉක්මවා වියදම් කරමින් ණය ගොඩ ගැසුවේ රටේ ආණ්ඩු මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආණ්ඩු බලයට පත් කර ගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ විදිහට තමන් විසින් බලයට පත් කර ගත් ආණ්ඩු විසින් ටිකක් හෝ ණය ගෙවද්දී මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

- 1954 හා 1955 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනිද්දී බලයේ හිටියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව. 1956 මැතිවරණයේදී රටේ මිනිස්සු එජාපය ආසන අටට බැස්සුවා. බලයට පත් වූ ආණ්ඩුව වගේම ඉන් පසුව දිගින් දිගටම බලයට පත් වූ ආණ්ඩු ගණනාවක්ම කවදාවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළේ නැහැ. හැම වසරකදීම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එක.

- ඊට පස්සේ සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ 1992 වසරේදී. ඒ වෙද්දී බලයේ සිටියේත් එජාප ආණ්ඩුවක්. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාපය 1993දී පරාද වුනා. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂිකාව වැඩි ඡන්ද ලබාගත්තේ ලංකාවෙන් එකම එක මැතිවරණ ආසනයක පමණයි. මහියංගණය හැර අනෙක් හැම තැනකදීම එජාපය පරාද වුනා. ඊට පස්සේ තවත් අවුරුදු ගණනාවක් යන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ නැහැ.

- ඊටත් පස්සේ, මෑතකාලීනව, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනා. මේක කියවන හැමෝගෙම වගේ මතකයේ තිබෙන අතීතයක්. ඒ වෙද්දී බලයේ සිටි එජාපයට ඊට පස්සේ 2020දී පැවති මැතිවරණයේදී ලැබුණේ ජාතික මට්ටමෙන් ලැබුණු මන්ත්‍රී ධුරයක් පමණයි. 

ආණ්ඩු ණය වීම ගැන විවේචනාත්මක කතා කරන "සාමාන්‍ය මිනිස්සු" ආණ්ඩුවක් ණය බරින් ටිකක් හෝ නිදහස් වෙන්න උත්සාහ කරද්දී ප්‍රතිචාර දැක්වූයේ ඔය විදිහටයි.

හැබැයි ලොකුම ප්‍රාථමික අයවැය හිඟයන් පවත්වා ගනිමින් ලොකුවටම ණය ගොඩ ගැසූ 1977-1988 කාලයේදී මෙන්ම 2005-2014 කාලයේදීත් ඒ ආණ්ඩු අනෙක් බොහෝ ආණ්ඩු වලට වඩා ජනප්‍රියව පැවතුණා. අනෙක් ආණ්ඩු වල වගේම ඒ ආණ්ඩු වලත් ජනප්‍රියත්වය අවසානයේදී පිරිහී ගිය එක වෙනම කතාවක්. 2020දී පත් කරගත්ත ආණ්ඩුවේ වුනත් ජනප්‍රියතාවය ගිලිහුණේ ඇදගන්න බැරි තරමටම ආර්ථිකය කඩා වැටුනට පස්සෙයි. නැත්නම් කවුරුවත් ණය ගැන වද වෙන්නේ නැහැ. එහෙමනම්, ඔය ණය ගැනිල්ලට වග කිව යුත්තේ ආණ්ඩු විතරයිද? ඩොලර් බිලියන සීයක් ණය වුනේ ආණ්ඩු කරපු අයමද?

වැඩියෙන් ණය වී වැඩියෙන් වියදම් කරන ආණ්ඩු අදාළ කාල වකවානු වලදී ජනප්‍රිය වෙන්න හේතුවක් තිබෙනවා. ඊට හේතුව ආර්ථික වර්ධනය ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාම. 1977-1988 හා 2005-2014 වකවානු වලදී මේ තත්ත්වය දැකිය හැකි වුනා. රටක් ආර්ථික වර්ධනය ඉලක්ක කරන එක කිසිසේත්ම නරක නැති, කළ යුතු දෙයක්. නමුත් ප්‍රශ්නය ආර්ථික ස්ථාවරත්වය පරදුවට තබමින් ලබා ගන්නා වර්ධනය තිරසාර එකක් නොවීමයි. 

මේ විදිහේ රාජ්‍යමූලික වර්ධනයකදී රජය විසින් කරන වියදම් වලට අනුරූපව රටේ ජනතාවගේ ආදායම් ඉහළ යන නමුත් ඒ ආදායම් බදු හරහා රජයේ ආදායම් බවට පත් වුනේ නැත්නම් රාජ්‍ය අංශය අර්බුදයකට යනවා. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ඒ අර්බුදය විදේශ අංශයේ අර්බුදයක් විදිහට එළියට එනවා. 

දැන් නැවතත් 2023 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, 2024 පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව, එම මාස හතර තුළද සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් වුනත් ඔය විදිහට අවුරුද්දක් දෙකක් පමණක් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත් පමණින් රට ගොඩ යන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි.

පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් පමණයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයකට තල්ලු නොකර තිරසාරව පවත්වා ගන්නනම් මේ අගය අවම වශයෙන් 2.3% මට්ටමට අරගෙන ඒ මට්ටමේ හෝ ඉහළින් තියා ගත යුතුයි. එහෙම කළොත් රට නැවත ආර්ථික අර්බුදයකට යන එක වගේම ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකත් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය ඉලක්කය අත ඇරුණොත්නම් මොනවා වෙයිද කියා කියන්න අමාරුයි.

මේක නිශ්චිත අපේක්ෂයෙක්ට සහයෝගය දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒවා පෞද්ගලික තීරණනේ. ඔබ කැමති අපේක්ෂකයා කවුරු වුනත්, දේශපාලන පක්ෂය කුමක් වුවත්, දැන් තියෙන ඔය සමතුලිතතාවය නැති කර ගත්තොත්, ආපහු වැටෙන්නේ හිටපු තැනටත් වඩා නරක තැනකටයි. එහෙම වෙන එක වලක්වා ගන්න අවශ්‍යනම් තමන්ගේ අපේක්ෂකයාව, තමන් සහයෝගය දෙන පක්ෂය, අවශ්‍ය තැනට තල්ලු කර ගන්නම වෙනවා. ඒ වැඩේ නොකර, මෙතෙක් කළා වගේ ආණ්ඩු වලට වරදින කොට විවේචනය කරන්න පමණක් බලා හිටියොත් වටයක් කැරකිලා නැවත හිටපු තැනමයි.

(වත්පොතෙන් කියවන වැඩි උනන්දුවක් දක්වන අයට 1950 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ප්‍රාථමික අයවැය ශේෂය, 2023 වන විට එය ගුණනය වී ඇති ගුණන සාධකය හා ඒ අනුව රුපියල් වලින් හා ඩොලර් වලින් වත්මන් අගය අඩංගු වගුවක් වියුණුව වෙත ගොස් බලා ගත හැකියි. මෙම අගයන්හි එකතුව රජයේ මුළු ණය ප්‍රමාණයට සමානයි.)

Monday, June 24, 2024

රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 පන්නයි!


මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන් විමසීමක් කර තිබුණා. ඇත්තටම ඒ විදිහට ණය ඉහළ ගිහින්ද? එහෙමනම් එහෙම ණය ඉහළ ගියේ කොහොමද?

මෙම සංඛ්‍යාලේඛණය තිබෙන්නේ මුදල් අමාත්‍යංශය විසින්ම නිකුත් කර ඇති වාර්තාවකයි. අදාළ වගුව මෙම ලිපිය සමඟ පළ කර තිබෙනවා. වගුවේ ඇති තොරතුරු අනුව මේ කියන කතාව බොරුවක් නෙමෙයි.

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184

2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = ඩොලර් මිලියන 4,014

කතාව හරිනේ. මාස හතරක් ඇතුළත ඩොලර් බිලියන හතරකින් ණය වැඩි වෙලා. ඒ කියන්නේ ඒ කාලයේ රජය විසින් අලුතෙන් ඩොලර් බිලියන හතරක් ණය අරගෙනද?

රාජ්‍ය අංශයේ ණය කියා කියන්නේ විදේශ ණය පමණක් නෙමෙයි. රාජ්‍ය අංශයේ ණය වලින් වැඩි කොටසක් දේශීය ණය. දේශීය ණය වලින් සුළු ප්‍රමාණයක් හැර අනෙකුත් ණය රුපියල් වලින් ලබාගත් ණය. විදේශ ණය බොහෝ දුරට ඩොලර්, යෙන්, යුරෝ වැනි විදේශ මුදල් ඒකකයකින් හෝ SDR (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය) වලින් ලබාගත් ණය. 

මෙසේ විවිධ මුදල් ඒකක වලින් ලබාගත් ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලට හරවලයි ඉහත වගුවේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ සංසන්දනය කිරීමේ පහසුවට. නමුත් මේ ණය සියල්ල ඩොලර් ණය නෙමෙයි. වැඩිම කොටස රුපියල් ණය.

ඩොලරයක මිල ඉහළ යද්දී කිසියම් නිශ්චිත රුපියල් ණය ප්‍රමාණයක ඩොලර් වටිනාකම පහළ යනවා. උදාහරණයක් විදිහට රුපියල් 300ක ණයක් ගැන හිතන්න. ඩොලරයක් රුපියල් 200නම් මෙය ඩොලර් 1.50ක ණයක්. නමුත් ඩොලරයක මිල රුපියල් 300 දක්වා ඉහළ ගියොත් මෙය ඩොලර් 1.00ක ණයක් බවට පත් වෙනවා. 

හැබැයි මෙහිදී වෙනස් වෙන්නේ සංඛ්‍යාලේඛණය පමණයි. ඇත්තටම ණය අඩුවීමක් වෙලා නැහැ. මොකද ඔය ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. ඒ නිසා, ඩොලර් 1.50 ණය ඩොලර් 1.00 වුනත් රුපියල් වලින් 300 ඒ විදිහටම තිබෙනවා. එය ආපසු ගෙවිය යුතුයි. 

ඔය විදිහටම ඩොලරයක මිල අඩු වෙද්දී රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යනවා. නමුත් මෙය ණය වැඩි වීමක් නෙමෙයි. මොකද රුපියල් වලින් ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට රුපියල් 300ක් වන ඩොලරය නැවත රුපියල් 200 වුනොත්, රුපියල් 300ක ණයක ඩොලර් වටිනාකම ඩොලර් 1.00 සිට ඩොලර් 1.50 දක්වා ඉහළ යනවා. නමුත් එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද රුපියල් 300 ණය තව දුරටත් රුපියල් 300ම තමයි. 

ලංකාවේ ඉතිහාසය පුරා දිගින් දිගටම වගේ සිදු වුනේ ඩොලරයක මිල ඉහළ යන එක. ඒ නිසා, බොහෝ විට වුනේ රුපියල් ණය වල ඩොලර් අගය අඩු වෙලා ණය අඩුවෙන් පේන එක. ඩොලරයක මිල පහළ යාම ලංකාවේ සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. 

කෙසේ වුවත්, 2024 පළමු කාර්තුව ඇතුළත ඩොලරයක මිල රුපියල් 323.92 සිට රුපියල් 301.17 දක්වා අඩු වුනා. එසේ වෙද්දී රුපියල් ණය වල ඩොලර් අගය ඉහළ යනවා. හැබැයි එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ. 

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ඉහත ඩොලර් ප්‍රමාණ රුපියල් වලට හරවමු.

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170*323.92 = රුපියල් බිලියන 31,151

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184*301.17 = රුපියල් බිලියන 30,172

2024 පළමු කාර්තුව තුළ ණය අඩු වීම = රුපියල් බිලියන 979

පේනවනේ. මේ සංඛ්‍යාලේඛණයම රුපියල් වලින් ඉදිරිපත් කළොත් බිලියන 979ක ණය අඩු වීමක් පේනවා. නැවත ඩොලර් වලට හැරෙවුවොත් බිලියන තුනකට වඩා වැඩි අඩුවීමක්. පළමු ක්‍රමය වගේම මේ දෙවෙනි ක්‍රමයත් වැරදියි. මොකද මේ දෙවන ක්‍රමයේදී ඩොලර් ණය රුපියල් වලින් පෙන්වන නිසා ඩොලරයක මිල අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට ණය අඩුවෙන් පේනවා. ඒ කියන්නේ කලින් වැරැද්ද අනෙක් පැත්තට වෙනවා. 

ගොඩක් වෙලාවට දේශපාලකයෝ ණය පිළිබඳව කතා කරද්දී තම තමන්ගේ අරමුණු වලට ගැලපෙන විදිහට ඩොලර් වලින් හෝ රුපියල් වලින් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරමින් ණය අඩු වූ බව හෝ වැඩි වූ බව පෙන්වනවා. ඔය අවස්ථා දෙකේදීම ඔවුන් කරන්නේ රැවටිල්ලක්. මේක හිතාමතාම කරන රැවටිල්ලක් වගේම තමන්ගේ ඡන්දදායකින් තුට්ටු දෙකට දැමීමක්. මේ වැඩේට පක්ෂ භේදයක් නැහැ. ඒ වගේම, ඔය වැඩේ කරන්නේ දේශපාලකයින් පමණකුත් නෙමෙයි.

ඉහත ක්‍රම දෙකම වැරදිනම්, සංසන්දනයක් කළ හැකි හරි ක්‍රමය කුමක්ද?

නිවැරදි සංසන්දනයක් කළ හැක්කේ රුපියල් ණය රුපියල් වලින් සහ ඩොලර් ණය ඩොලර් වලින් අරගෙන සංසන්දනය කිරීමෙනුයි. ඉහත වගුව හොඳින් පරීක්ෂා කළහොත් පෙනෙන පරිදි එක් උප කාණ්ඩයක හැර අනෙකුත් සියලු උප කාණ්ඩ වල ණය වල අඩු වීමක් දැකිය හැකියි. එයින් පෙනෙන්නේ පසුගිය කාර්තුව තුළ ද්විපාර්ශ්වීය, බහුපාර්ශවීය හා අනෙකුත් විදේශ ණය සුළු වශයෙන් හෝ ආපසු ගෙවා ඇති බවයි. මුළු ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යාමට හේතු වී තිබෙන්නේ දේශීය රුපියල් ණය ප්‍රමාණය ඉහළ යාමයි. 

මේ අනුව, අප විසින් පරීක්ෂා කර බැලිය යුත්තේ දේශීය රුපියල් ණය රුපියල් වලින් බැලූ විට කොපමණ වැඩි වී ඇත්ද යන්නයි. 

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 54,411*323.92 = රුපියල් බිලියන 17,625

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 58,967*301.17 = රුපියල් බිලියන 17,759

2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = රුපියල් බිලියන 134

මේ අනුව අපට කාර්තුව තුළ දේශීය රුපියල් ණය ප්‍රමාණයේ තරමක වැඩිවීමක් පේනවා. මෙය ඩොලර් වලට හැරෙවුවොත් මිලියන 446ක් පමණ. නමුත් ඩොලර් ණය ප්‍රමාණය (අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගත් ණයද ඇතුළුව) මිලියන 41,759 සිට මිලියන 41,217 දක්වා ඩොලර් මිලියන 542කින් අඩු වී තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස කාර්තුව තුළ ණය ආපසු ගෙවීමක් දැකිය හැකියි. රුපියල් ණය සුළුවෙන් ඉහළ ගොස් ඇතත් එම අරමුදල් වලින් ඩොලර් මිල දී ගෙන විදේශ ණය ආපසු ගෙවීමක් වැනි දෙයකුයි සිදු වී තිබෙන්නේ. ඊට අමතරවද (බදු මුදල් වලින්) යම් ණය ගෙවීමක් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Tuesday, July 4, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය - ඉදිරි පියවර


මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට සිය ණය හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා 2023 ජූලි 25 දින පස්වරු 4 වන තුරු අයදුම් කළ හැකියි. මෙම ඉල්ලීම් පිලිබඳව සලකා බැලීමෙන් පසු ඒ පිළිබඳ තීරණ ජූලි 31 වන දින දැනුම් දෙනු ලැබෙන අතර ජූලි 31 වන දින අදාළ හුවමාරු සිදු වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 

ඩොලර් මිලියන 837.6ක පමණ වටිනාකමැති, 2027 වසර දක්වා කාලය තුළ කල් පිරෙන, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වර්ග 32ක් හුවමාරු කර ගැනීම සඳහා මෙම කාලය තුළ අයැදුම් කළ හැකියි. හුවමාරුව කර ගත හැකි විකල්ප ක්‍රම තුනක් ඇති අතර එයින් පළමු ක්‍රමය සෑම ඩොලර් 100ක් වෙනුවෙන්ම ඩොලර් 70ක් ලබා ගැනීමයි. මේ අනුව, මෙම විකල්පය යටතේ රජයට ලැබෙන වාසිය ඩොලර් මිලියන 251.3ක්. මෙය, ජූනි මස අවසානයේ පැවති විණිමය අනුපාතිකය අනුව (ඩොලර් 1 = රුපියල් 308.93) රුපියල් බිලියන බිලියන 77.6ක වාසියක්. 

රජයට ලැබෙන ඉහත වාසිය මුළුමනින්ම මෙන් දේශීය බැංකු වලට හා වෙනත් දේශීය ආයෝජකයින්ට සිදු වන පාඩුවක්. නිවැරදිම ගණන් නිශ්චිතව නොදන්නා නමුත් දේශීය බැංකු වලින් විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන ඇති ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජනද හුවමාරු වන්නේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හුවමාරු වන ආකාරයයි.

මේ වන විට වෙනස් වී තිබිය හැකි වුවත්, පසුගිය වසර අවසාන වන විට විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් මිලියන 2,604ක්ද, රජයේ ඇපය මත රාජ්‍ය සංස්ථා විසින් එසේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 361ක්ද වුනා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 889.5ක් වන අතර රුපියල් බිලියන 274.8ක්.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල දේශීය අයිතිය ඩොලර් මිලියන 1,750ක් පමණ බව ඇස්තමේන්තු කර තිබුණා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 525ක් වන අතර රුපියල් බිලියන 162.2ක් පමණ විය හැකියි. මේ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් දේශීය වාණිජ බැංකු ප්‍රධාන අනෙකුත් ආයෝජකයින්ට රුපියල් බිලියන 515ක් පමණ දක්වා වන අලාභයක් සිදු විය හැකියි. එහෙත්, එවැනි අලාභයක් නොලබා රුපියල් වලින් ණය ආපසු ලබා ගැනීමේ විකල්පයද ඔවුන් සතුව තිබෙනවා. 

රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව විසින් පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 196.9ක් ස්වෛරිත්ව බැඳුම්කර වලත්, තවත් රුපියල් බිලියන 28.3ක් සංවර්ධන බැඳුම්කර වලත් ආයෝජනය කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 67.6ක්. 

දේශීය පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතුව පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 92.3ක ස්වෛරිත්ව බැඳුම්කර සහ තවත් රුපියල් බිලියන 193.6ක සංවර්ධන බැඳුම්කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 85.8ක්. 

මීට අමතරව මෙම බැංකු වලින් රජයට විදේශ ව්‍යවහාර මුදලින් ලබා දී ඇති අනෙකුත් ණය කොපමණද යන්න හරියටම දන්නේ නැහැ. අනෙකුත් ප්‍රධාන බැංකු වලටද මේ ආකාරයේ යම් අලාභයක් සිදු වනවා විය යුතුයි. කෙසේ වුවද, වාණිජ බැංකු විසින් මෙම ණය කපා හරිනු ලැබීමේ අවදානම සැලකිල්ලට ගනිමින් කලින්ම ඒ සඳහා සෑහෙන තරමකින් ප්‍රතිපාදන වෙන් කර තිබූ බැවින් මෙයින් බැංකු වල ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

අද නිකුත් කර ඇති ෆිච් රේටින් ආයතනයේ නිවේදනයකට අනුව, ලංකාවේ වාණිජ බැංකු විසින් ඔවුන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වල වටිනාකමෙන් 35%ක් හෝ වැඩි ප්‍රමාණයක් ණය කපා හැරීමේ අවදානම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අනෙකුත් ණය වලින් වෙන් කර තිබෙන්නේ අඩු කොටසක් වුවත් එම ණය ඩොලර් වලින් ආපසු ලබා නොගෙන රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී ණය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. එම ආයතනයට අනුව, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය කපා හැරියේනම් බැංකු වලට වැඩි අවදානමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර

මේ වන විට ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව බදු සහනය දිගටම ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මේ වසරේ අවසන් මාස තුනේදී කල් පිරෙන බැඳුම්කර වලින් 50%ක් සහ 2032 වසර දක්වා කල් පිරෙන බැඳුම්කර පමණයි. 2033-2045 අතර කල් පිරෙන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකළද බදු සහනය ලැබෙනවා. 

මෙම බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. ඒ අනුව, එම ප්‍රමාණය පමණක් සැලකූ විට, බරිත සාමාන්‍ය පරිණත කාලය වසර 3.5ක් හා බරිත සාමාන්‍ය කූපන් පොලිය 12.23%ක් වෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම නිසා වසර 2.25කදී 0.25%ක අලාභයක්ද, ඊළඟ වසර 1.25 තුළ 3.23%ක අලාභයක්ද සිදු වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති සේ සැලකුවහොත්, සේවක අර්ථ සාධක අරමුදලට සිදු වන සෘජු අලාභය රුපියල් බිලියන 113.9ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. 

මීට අමතරව, ඉදිරි කාලයේදී අලුතෙන් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන කූපන් පොලිය 9% ඉක්මවීම මත මෙම අලාභය තවත් ඉහළ යනවා. එය වැඩිවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක පමණ අලාභයක්. එහෙත්, පොලී අනුපාතික ඉහත ගණන් වලට වඩා අඩු වුවහොත් අලාබයක් වෙනුවට අඩුවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක ලාබයක් සිදු වෙනවා. පරිණත කාලය වසර හයකින් දිගුවීම සැලකූ විට අදාළ කාලය තුළ බරිත සාමාන්‍ය කූපන් පොලිය 10% වුවහොත් ඒ නිසා සිදුවන අලාභය රුපියල් බිලියන 169.1ක් වන අතර ඒ අනුව මුළු අලාභය රුපියල් බිලියන 283.0ක් බවට පත් වෙනවා. 

Friday, June 2, 2023

ණය සීමාව හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය

 


ඊයේ (ජූනි 1) ඇමරිකාවේ සෙනෙට් සභාව තුළත්, පෙරේදා (මැයි 31) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළත්, මහජන නියෝජිතයින් විසින් රෑ වන තුරු වාද විවාද කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීම් වල ප්‍රතිඵල අනුව ඇමරිකානු ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව 2025 ආරම්භය දක්වා අත් හිටවීම සඳහා වූ යෝජනාව සම්මත වුනා. ජනාධිපති බයිඩන් විසින් අත්සන් තැබීමෙන් පසුව මෙය නීතියක් වීමට නියමිතයි.

ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව වැඩි කර ගැනීම හෝ තාවකාලිකව අත්හිටවීම සඳහා ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකේම අනුමැතිය හිමි විය යුතුයි. එහෙත්, මේ වන විට ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයට බැවින් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයට මෙය අභියෝගයක්ව පැවතුණා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ ඡන්ද විමසීම් වලදී පක්ෂයේ මතය අනුව යමින් සිග්නල් කණු පමණක් වී අත ඉස්සීම සාමාන්‍ය තත්ත්වය නොවුනත්, මෑතකාලීනව එවැනි ධ්‍රැවීකරණ ප්‍රවණතාවක් දැකිය හැකිව තිබුණා. සාමාන්‍ය ජනතාව අතර වුවද පක්ෂ අනුව බෙදීම කලක සිට වැඩි වී උග්‍ර මට්ටමකට ගොස් තිබෙනවා. 

රජයේ උපරිම ණය සීමාව හා රජයේ වියදම් අතර සෘජු සම්බන්ධයක් නැතත් රිපබ්ලිකන් පක්ෂය විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා උපරිම ණය සීමාව කෙරෙහි ඔවුන්ට කළ හැකි වූ බලපෑම අවියක් ලෙස ප්‍රයෝජනයට ගත්තා. ඒ අනුව, ජනාධිපති බයිඩන්ට අවශ්‍ය වූ පරිදි කොන්දේසි විරහිතව ණය සීමාව ඉහළ දමා ගැනීම කළ හැකි වූයේ නැහැ. 

ජනවාරි 19 දින වන විට ලබාගත් ණය ප්‍රමාණය නීතිය අනුව ලබාගත හැකි උපරිම සීමාව කරා ලඟා වුනා. ඉන් පසුව, ඇමරිකාවේ මහා භාණ්ඩාගාරයට වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි තත්ත්වයකදී ගන්නා තාවකාලික ක්‍රියාමාර්ග (හදිසි නොවන ගෙවීම් ප්‍රමාද කිරීම වැනි) ගන්නට සිදු වුනා. සාමාන්‍යයෙන් මාස කිහිපයක් මේ විදිහට ඇදගෙන යා හැකියි. 

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් විසින් දැනුම් දුන් පරිදි මේ ආකාරයෙන් ඇදගෙන යා හැකි වූයේ ජුනි මාසය මුල දක්වා පමණයි. අලුතෙන් ණය ලබා ගත නොහැකි වීනම් එළැඹෙන සඳුදා (ජූනි 5) වන විට භාණ්ඩාගාරය සතු මුදල් අවසන් වී කර කියා ගත හැකි දෙයක් නැති වන බව ඇය දැනුම් දුන්නා. 

ඉහත අවදානම වලක්වා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකට හැකි ඉක්මණින් කිසියම් සම්මුතියකට එළැඹෙන්නට සිදු වුනා. ෆෙඩරල් නිවාඩු දිනයකින් අවසන් වූ පසුගිය දිගු සති අන්තයේදී මෙම සම්මුතිය ඇති කර ගැනුණු අතර පෙරේදා (මැයි 31) අදාළ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර දෙපක්ෂයේම මධ්‍යස්ථ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කර ගැනුණා. පක්ෂ දෙකෙහිම දැඩි මතධාරීන් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වාදවිවාද වලින් පසුව ඡන්ද විමසීම පවත්වා අවසන් කළේ රාත්‍රී 9:30ට පමණ. ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 165 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 149 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.  ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 46 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 71 දෙනෙකු යෝජනාවට විරුද්ධ වුනා. එක් එක් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකු බැගින් ඡන්දය දීමෙන් වැළකුණා. ඒ අනුව, යෝජනාව වැඩි අපහසුවක් නොමැතිව සම්මත වුනා. 

ඊයේ (ජූනි 1) සෙනෙට් සභාව තුළ යෝජනාව සම්මත වන විට රාත්‍රී එකොළහේ කණිසමද පසු වී තිබුණා. එහිදී යෝජනාවට පක්ෂව ඩිමොක්‍රටික් ඡන්ද 44ක් රිපබ්ලිකන් ඡන්ද 17ක් සහ ස්වාධීන ඡන්ද 2ක් ලැබුනා. ඩිමොක්‍රටික් නියෝජිතයින් 4 දෙනෙක්  රිපබ්ලිකන් නියෝජිතයින් 31 දෙනෙක්  සහ ස්වාධීන නියෝජිතයෙක් යෝජනාවට විරුද්ධ වුනා. 

මෙම යෝජනාව අනුව, 2025 ජනවාරි 1 දක්වා ණය ගැනීමේ උපරිම සීමාව අත් හිටවනු ලබනවා. ඒ සමඟම, 2024 වසර තුළ ආරක්ෂක වියදම් හැර අනෙකුත් වියදම් ඉහළ දැමිය නොහැකි බවටද සීමාවක් පැනවෙනවා. 2024 නොවැම්බරයේදී ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදයේ කෝණයෙන් මෙම ඡන්ද විමසීම් හොඳ හැරවුමක්. මෙහිදී එක් පාර්ශ්වයකට හෝ අවශ්‍ය දේ එලෙසම සිදු වූයේ නැහැ. දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව කියා සිටින්නට ඉඩ සලසමින් මධ්‍යස්ථ විසඳුමකට පැමිණීමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

Wednesday, May 17, 2023

ණය සීමාව වැඩි කළේ ඇයි?

මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්. 

මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ. 

ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)

2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි. 

පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා. 

කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා. 

පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.

මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා. 

පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.

දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.

දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.

අද (මැයි 17) වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.

පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත පහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.

අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා. 

ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.

2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය - රුපියල් බිලියන 2,834යි.

2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,840යි.

2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,740යි.

මේ අනුව, උපරිම සීමාව ක්‍රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.

මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 



Sunday, April 2, 2023

හැත්තෑ හතට කලින් විදේශ ණය

 

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි.

ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන් හාල්, සීනි, පිටි ආදිය ආනයනය කිරීම සඳහා ලබා ගත් පරිභෝජන ණයයි. පසුකාලීනව මෙම ණය හා පොලී ගෙවා තිබෙන්නේ නැවත නැවත අළුතෙන් විදේශ ණය ගැනීම මගිනුයි. ඒ අනුව, මෙම පරිභෝජන ණය ප්‍රමාණය ස්වෛරිත්ව බැඳුම්කර ලෙස හෝ වෙනත් ස්වරූපයකින් අද දක්වාම ඉතිරිව තිබෙන අතර වැල් පොලී එකතු වීමෙන් ලබා ගත් ප්‍රමාණයට සාපේක්ෂව විශාල ණය ප්‍රමාණයක් බවට පත් වී තිබෙනවා. 

සමගි පෙරමුණු රජය බලයේ සිටි කාලයට අනුරූප, 1969 සිට 1976 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ජපානය ඇතුළු ධනවාදී හා සමාජවාදී රටවලින් ලබා ගෙන තිබෙන ද්‍රව්‍ය ණය ප්‍රමාණය පමණක් රුපියල් දශ ලක්ෂ 2,636.3ක් වන අතර මෙසේ වැඩි වූ ද්‍රව්‍ය ණය ප්‍රමාණය 1976 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.9%කට සමාන ප්‍රමාණයක්. 

Thursday, March 23, 2023

මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

 


ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය . ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය. 

පහත තියෙන්නේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ කියන්නේ 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය. පැහැදිලිව මතක තියාගන්න මේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට - ඩොලර් මිලියන 212යි 

ලෝක බැංකුවට - ඩොලර් මිලියන 284යි 

ආසියානු සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 521යි 

අනෙකුත් බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට - ඩොලර් මිලියන 63යි.

බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල - ඩොලර් මිලියන 1,080යි 


ජපානයට - ඩොලර් මිලියන 197යි 

පැරිස් සංසදයේ අනෙකුත් රටවලට - ඩොලර් මිලියන 276යි 

චීනයට -ඩොලර් මිලියන 596යි 

ඉන්දියාවට - ඩොලර් මිලියන - 653යි 

පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට - ඩොලර් මිලියන 33යි 

වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව - ඩොලර් මිලියන 1,755යි 


ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් මිලියන 2,010යි 

චීන සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 477යි 

අනෙකුත් වාණිජ ණය - ඩොලර් මිලියන 2යි. 

වාණිජ ණය එකතුව - ඩොලර් මිලියන 2,489යි 


ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 400යි 

බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 200යි 

චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 1,433යි 

මුදල් හුවමාරු ගිවිසුම් එකතුව - ඩොලර් මිලියන 2,033යි 


වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 7,356යි. 

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි. 

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් නැහැ.)


දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:

වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් - ඩොලර් මිලියන 10,404යි 

බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී - ඩොලර් මිලියන 6,106යි 

අනෙකුත් ණය - ඩොලර් මිලියන 3,862යි 

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව - ඩොලර් මිලියන 20,372යි.


දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 27,727යි. 


මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.


වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:

බදු ආදායම - රුපියල් බිලියන 3,005යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 263යි 

ප්‍රදාන - රුපියල් බිලියන 12යි 

එකතුව - රුපියල් බිලියන 3,280යි 


ඇස්තමේන්තුගත වියදම්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 1,012යි 

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - රුපියල් බිලියන 300යි 

සහනාධාර - රුපියල් බිලියන 1,104යි 

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,073යි 

පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම - රුපියල් බිලියන 3,489යි


වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව - රුපියල් බිලියන 209යි.

මම හිතන්නේ දැන් තත්ත්වය පැහැදිලි ඇති. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක් ණයට අරගෙන වියදම් කරන්න වෙනවා. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගන්න වෙනවා.

වියදම පැත්තකින්ම තියමු. බදු වැඩි කරලා, රාජ්‍ය ආයතන විකුණලා අමාරුවෙන් එකතු කරගන්න රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම එක්ක රජයේ වියදම රුපියල් බිලියන 3,489යි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ල තියෙන්නේ ඔය ගණන ඇතුළේ. හොරකම්, දූෂණ නවත්වලා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වියදම් කපලා ඔය වැඩේ කරන විදිහ කාට හරි කියන්න පුළුවන්ද?

සමහර අය තවමත් සිහින ලෝක වල හිටියට ඕවා සුරංගනා කතා පමණයි. ප්‍රායෝගිකව නෙමෙයි සෛද්ධාන්තිකවවත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය ගෙවන්න කීයක් හෝ ඉතිරි කරගන්න එක. එතෙක් දිගටම ණය ගන්න වෙනවා. ඒ වගේම, ගෙවාගන්න බැරි ණය ගෙවන්න කල් ඉල්ලාගන්න වෙනවා. ඕක තමයි අවුරුදු 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය. 

කොයි තරම් කාලයකටද? 

අඩුම වශයෙන් අවුරුදු 25ක්වත් යනතුරු ඔය ණයෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්නම් ක්‍රමය කියන්න. එහෙම හරි ගොඩ එන්න පුළුවන් මේ වගේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ මේ වැටුණා වගේ කිහිප ගුණයක් විශාල අගාධයකට වැටෙන එක පමණයි.

මම හිතන්නේ මේ තරම් පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම වුනත් ලංකාව වෙනුවෙන් හදලා නැහැ. එහෙම හදන්න තරම් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් ගොඩදාගන්න පුළුවන් තාවකාලික ප්‍රශ්න. 

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගන්න පුලුවන් එකක් නෙමෙයි. මෙවර කලින් වාර වල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වැඩේට බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සැරෙත් මේ ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් එහෙමවත් ගොඩදාන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරි වෙනවා. සහසුද්දෙන්ම කතාව ඕකයි. 

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අය වාමාංශික අදහස් දරන අය බවයි පෙනෙන්නේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි. 

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නෙමෙයි. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් තිබෙනවා. එහෙම නැතුව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල හරියන්නේ නැහැ. හැබැයි හරියන්න හෝ වැරදෙන්න පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඒක තිබෙනවා. 

වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්වනවා. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස දකින්නේ ඒ නිසා වෙන්න ඇති. 

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ කියා එකක් ඉදිරිපත් කළා. කලින් ඉදිරිපත් කළ එකම යාවත්කාලීන කිරීමක්. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මේ වගේ ප්‍රතිපත්ති රාමුවක් කවදාවත් අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. 

මේ වගේ සංකීර්ණ තාක්ෂනික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට වුනත් තනිව මේ වගේ දෙයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ. දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි කතාවක්. ඒ කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේ වන විට හදා තිබෙන වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකක්. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව කියන එක ඒ අයගේ වැඩක්.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කවදාවත් හදන්න බැහැ.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකක්. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒ වගේම, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයක් එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නෙමෙයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයක්. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයක්. එහෙත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකියි. අරමුදලේ වැඩ සටහන හදද්දී මේ වගේ වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුයි. 

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුනත්, රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවන්න තියෙද්දී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒවා තනිකරම සුරංගනා කතා පමණයි. 

සමහර වාමාංශික අදහස් දරන අය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පේනවා. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නැති බවයි එයින් පෙනෙන්නේ. හැබැයි මමනම් එහෙම හිතන්නේ නැහැ. අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි කැපවීමක් තිබෙනවානම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මේකයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීම කියන එකයි. ඇතැම් අයට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

සමහර අය හිතාගෙන ඉන්නේ ලංකාවට තවත් වැටෙන්න තැනක් නැහැ කියලයි. එය මිථ්‍යාවක්. ඔය වැටුනා වගේ කිහිප ගුණයක් නරක තැනකට රට වැටෙන්න පුළුවන්. අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. 

Thursday, March 16, 2023

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!


ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.

ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්. 

ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.

යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.

රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

Tuesday, February 7, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරයිද?


නැවත වරක් එක පාරටම ඩොලරයක මිල කඩාගෙන බිඳගෙන ඉහළ යාමේ ඉඩක් නැති බවත්, ඒ වගේම ඩොලරයක මිල පහත වැටීමේ ඉඩක් කොහොමටවත්ම නැති බවත්, කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම කරපු තරම්ම විශ්වාසයකින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්න බැහැ. ඒකට හේතු තිබෙනවා.

රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය, සරලව කිවුවොත් ඩොලරයක මිල තීරණය කිරීම හෝ තීරණය වෙන ආකාරය තීරණය කිරීම, මහ බැංකුව විසින් කරන කටයුත්තක්. ඒකට රජයේ සෘජු සම්බන්ධයක් නැහැ. නමුත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ කටයුත්තක්. ඒක තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය විසින්. 

කලින් සටහනේ පැහැදිලි කිරීම් කරද්දී කරපු උපකල්පන කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න නන්දලාල් වීරසිංග ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, ඒ කියන්නේ තව අවුරුදු පහක්, මහ බැංකු අධිපති ලෙස කටයුතු කරයි කියන එක. 

මහ බැංකු අධිපති ධුරය ස්වාධීන තනතුරක්. අධිපතිවරයෙක් පත් කළාට පස්සේ ආණ්ඩුව මාරු වුනා කියලා ධුර කාලය අවසන් වන තුරු මහ බැංකු අධිපතිව ධුරයෙන් පහ කරන්න බැහැ. නමුත් මෑත වසර වලදී ඒ වැඩේ ඒ විදිහටම සිදු වුනේ නැහැ. ආණ්ඩු මාරු වෙද්දී මහ බැංකු අධිපතිත් මාරු වුනා. 2015දී කබ්රාල් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ 2019දී කුමාරස්වාමි ඉල්ලා අස්වුණා. ආණ්ඩුව මාරු වුනත් නන්දලාල් වීරසිංහ ඒ විදිහට ඉල්ලා අස් වෙන එකක් නෑ කියන එකයි මගේ උපකල්පනය. ඔහු එහෙම කියලත් තියෙනවා. 

අනෙක් අතට සජබ හරි ජාජබ හරි ආණ්ඩුවක් ආවත් මහ බැංකු අධිපතිට ඉල්ලා අස් වෙන්න කියලා බල නොකරන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. මොකද ඒ පක්ෂ දෙකෙන් එකකට වුනත් ඉන්න අධිපති අයින් කරලා වෙන කෙනෙක් දමලා කර ගන්න තරම් අමුතු විකල්පයක් නැහැ. ඒ වගේම යෝජිත මහ බැංකු පණතෙන් මහ බැංකු ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වෙනවා. මහ බැංකු ස්වාධීනත්වය ස්ථාවර නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ගන්න බැහැ. ඒක අරමුදලේ ප්‍රධාන කොන්දේසියක්.

ඔය හේතු නිසා විණිමය අනුපාතයට වෙන්න යන දේ ගැන තරමක විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් වුනත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවද නැද්ද කියන තීරණය දේශපාලන බලය වෙනස්වන ආකාරය අනුව වෙනස් විය හැකි දෙයක්. ඒ නිසාම, පළාත් පාලන මැතිවරණ වලින් පසුව මේ ගැන විග්‍රහ කරන එක තමයි වඩා සුදුසු. 

මට නිරීක්ෂණය වන විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ජනමතය හදන්න ලොකුම උවමනාවක් තියෙන්නේ සජබට. හැබැයි ජාජබ වගේම මේ ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය විසිනුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට කැමැත්තක් දක්වන බව පේනවා. වැඩේට අකැමැති බව පේන්නේ බැංකු ටික සහ මහ බැංකුව.

මේ වෙලාවේ ආණ්ඩුවට තිබෙන ජනප්‍රසාදයට වඩා මහ බැංකුවට තිබෙන ජනප්‍රසාදය ටිකක් හරි වැඩියි. ඒ නිසා, මහ බැංකුවේ කැමැත්ත සිදු වෙන්න ඉඩකඩ වැඩියි. නමුත්, ආණ්ඩුව වෙනස් වුනොත් හෝ වෙනස් වෙන්න යන බව පෙනී ගියොත්, ඔය තත්ත්වය වෙනස් වෙනවා. ජනමතය මේ ආණ්ඩුව සතුව තිබෙන බව තහවුරු වුනත් ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණ වලින් පස්සේ, කවුරු ඉස්සරහට ආවත්, ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කතාවට වැඩි බරක් වැටෙනවා. ඒ බර කොපමණද කියන එක දිනන කණ්ඩායම අනුව තීරණය වෙනවා.

කොහොම වුනත්, හදිසියේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කතාව උඩට ආවේ මැතිවරණය නිසා නෙමෙයි. ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර තිබෙන දෙයක් නිසා. ඇතැම් වාර්තා අනුව, තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නනම් දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා ඒ අය කියලා. 

මම මේ ලිපිය සැලකිල්ලෙන් කියෙවුවා. මගේ අර්ථ නිරූපණය අනුවනම් ඒ කියල තියෙන්නේ එහෙම කතාවක් නෙමෙයි. ඔය ලිපිය කියවීමෙන් පසුවද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම පිළිබඳ මගේ තක්සේරුව ලොකුවට වෙනස් වෙලා නැහැ. 

ඒ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන්න ඉඩක් නැහැ කියන එක නෙමෙයි. එහෙම ඉඩක් කොහොමටත් තිබුණා. මැතිවරණයෙන් පසුව ඒ ඉඩ තවත් ටිකක් ඉහළ යයි. හැබැයි දේශීය ණය අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් මටනම් තවමත් පෙනෙන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දේශීය ණය අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා නැහැ. හැබැයි නොකළ යුතුයි කියලත් නැහැ, අරමුදලේ වැඩ පිළිවෙළ තුළ ඇතැම් විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර බැරි තත්ත්වයක් ඇති වෙයි. හැබැයි තවම එහෙම වෙලා නැහැ.

අරමුදලේ එකඟතාව සම්බන්ධ නිශ්චිත තොරතුරු මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් වැනි අය දන්නවා. නමුත්, මම දන්නේ දැනට ප්‍රසිද්ධ කර හෝ ප්‍රසිද්ධ වී තිබෙන තොරතුරු පමණයි. මුදල් අමාත්‍යංශය විසින් අදාළ මාර්ග සිතියමේ මූලික ඉලක්ක කිහිපයක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. මේ වෙද්දී පෙර කී බැඳුම්කර හිමියන් විසින් තවත් තොරතුරු ටිකක් එළිදරවු කර තිබෙනවා. මේ තොරතුරු ගොඩවල් දෙකම එකතු කළාම තරමක් පැහැදිලි ලෙස චිත්‍රය ඇඳගන්න පුළුවන්. හැබැයි මේ චිත්‍රය අඳින්නේ මම කියන එක අමතක කරන්න එපා. එය නිවැරදි නොවෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

අරමුදලෙන් ගන්න සල්ලි ආපසු ගෙවිය යුත්තේ වසර දහයකින්. පැරිස් සංසදය විසින් යෝජනා කරලා තියෙන්නෙත් වසර දහයක ණය පමා කාලයක්. ඊට පස්සේ ණය ගෙවන්න තවත් වසර පහළොවක් ලැබෙනවා.

යම් විදිහකින් අනෙක් අයත් කැමති වෙලා මේ යෝජනාව ක්‍රියාත්මක වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ වසර දහයක් යන තුරු විදේශ ණය හා පොලී ගෙවීමේ බරක් නැහැ. අඩු වශයෙන් ද්විපාර්ශ්වික හා වාණිජ ණය හා අදාළව. වසර දහයක් ඔය වගේ සහනයක් ලැබෙනවානම් ඒ කාලය තුළ ආර්ථිකය පිළිසකර කරගෙන නැවත ණය ගෙවන්න පටන් ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් යටතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන එකක් නැහැ. 

නමුත් මේ වසර දහයේ ණය පමාව කෙරෙන වැඩක් නෙමෙයි. ඔය වැඩේට චීනය කැමති වෙයි කියලා කොහොමටවත්ම හිතන්න බැහැ. චීනය තවම කැමති වෙලා තියෙන්නේ වසර දෙකක ණය පමාවකට පමණයි. ඒ වසර දෙකෙනුත් දැන් වසරක් ගෙවිලා. තව අවුරුද්දකින් රටේ ආර්ථිකය පිළිසකර කරගෙන නැවත ණය ගෙවන්න පටන් ගන්නවා කියන එක කොහොමටවත්ම කරන්න බැරි දෙයක්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා හෝ නොකළා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

පෙර ලිපි වලින්ද විස්තර කළ පරිදි ප්‍රමාණවත් සහනයක් චීනයෙන් ලැබෙන තුරු ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කිසිවක්ම වෙන්නේ නැහැ. ඒ නිසා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අඩුම වශයෙන් මාසයක් දෙකක් යන තුරු මෙහෙම අවදානමක් ඇත්තේම නැහැ කියා කියන්න පුළුවන්.

මොකක් හෝ දෙයක් වෙන්නේ චීනය දැන් ඉන්න දෙක සහ පැරිස් සංගමයේ දහය අතර අතරමැදි තැනකට ආවට පස්සේ. ප්‍රකාශිත තොරතුරු සියල්ල එකට අරගෙන විශ්ලේෂණය කළාට පස්සේ මට පෙනෙන්නේ මේ අතරමැදි තැන වසර පහක ණය පමාවක් විය හැකි බවයි. කෙළින්ම කියා නැතත් මම විග්‍රහ කර ගන්නා විදිහට ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් වගේම ඉන්දියාවත් එකඟ වෙලා තියෙන්නේ වසර පහක ණය පමාවකට. ඒ නිසා, බොහෝ විට තව මාස දෙක තුනක් ඇතුළත චීනය දෙක පහ කරන්න කැමති වෙලා එයින් අනතුරුව වැඩේ කෙරෙන්න ඉඩ තිබෙනවා. 

මේ වැඩේ මේ විදිහට වෙයි කියලා අපි හිතමු. හැබැයි වසර පහක ණය පමාවක් එක්ක ණය තිරසාරත්වය ඇති කරන එක වසර දහයක ණය පමාවක උදවුවෙන් ඔය වැඩේ කරන තරම් ලේසි නැහැ. කොස්ස තියෙන්නේ ඔන්න ඔතැන. බැඳුම්කර හිමියන්ගේ ලිපියේ තිබෙන තොරතුරු අනුව, අරමුදලේ වැඩ පිළිවෙළ තුළ, 2027-2032 කාලයේදී ලංකාවේ ණය සේවා වියදම් දදේනියෙන් 13%කට සීමා කළ යුතු වෙනවා. බැඳුම්කර හිමියෝ කියන්නේ එයින් 4.5%ක් විදේශ ණය හා පොලී ගෙවීම් වෙනුවෙන් වෙන් කිරීමට ඉඩ සලසමින් දේශීය ණය හා පොලී වියදම් දදේනියෙන් 8.5%කට සීමා කළ යුතු බවයි.  

මේ වැඩේට අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු නැහැ. අදාළ ලිපියේ ඔවුන් භාවිතා කර තිබෙන වචනය ණය ප්‍රතිසංවිධානය කියන එක. මේක වැරදීමක් හෝ වංගු ගැසීමක් කියා මම හිතන්නේ නැහැ. මේ ලිපිය ලියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන හොඳින්ම දන්නා කණ්ඩායමක්.  ඒ වගේම, ඒ අයට වංගු ගහන්න කිසිම උවමනාවක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන නොකියා ණය ප්‍රතිසංවිධානය කිරීමක් ගැන කතා කරන්නේ මේ ඇත්තටම කතා කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන නොවන නිසා.

සාමාන්‍යයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අදාළ වෙන්නේ දැනට තිබෙන ණය වලට. නමුත් දේශීය ණය වලින් විශාල කොටසක් 2027ට කලින් කල් පිරෙන ණය. රුපියල් ට්‍රිලියන 13ක පමණ දේශීය ණය වලින් රුපියල් ට්‍රිලියන 4කට වඩා භාණ්ඩාගාර බිල්පත්. ඒ කියන්නේ වසරක් ඇතුළත ගෙවිය යුතු ණය. ඉතිරි ට්‍රිලියන 9කට අඩු කොටස බැඳුම්කර. නමුත්, එයින් කොටසක් 2017ට කලින් කල් පිරෙනවා. තව කොටසක් කල් පිරෙන්නේ 2022න් පස්සේ. 

පසුගිය 2022 අවුරුද්දේ ණය සේවා අවශ්‍යතාව දදේනියෙන් 38%ක්. බදු වැඩි කරලා, වියදම් අඩු කරලා, සැලසුම්සහගත පරිදි ප්‍රාථමික හිඟය අතිරික්තයක් කරලා පවත්වාගෙන ගියත්, 2027 වෙද්දී ඕක අඩු කරන්න පුළුවන් වෙන්නේ 25% වගේ මට්ටමකට පමණයි. මොකද එදිනෙදා වියදම් වෙනුවෙන් තව ණය නොගෙන බදු ආදායමෙන් කීයක් හෝ ඉතිරි කර ගත්තත්, ඒ ඉතිරිය (ප්‍රාථමික අයවැය අතිරික්තය) පොලී ගෙවන්න ප්‍රමාණවත් නැති නිසා, තව දුරටත් රටේ රාජ්‍ය ණය ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එක නවත්වන්න බැහැ. ණය තිරසාරත්වය නැහැ කියා කියන්නේ ඕකට. 

දැන් පටන් අරගෙන ඉදිරි වසර වලදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කළ හැකි උපරිම හොඳින් කළත් ඉතා ඉක්මණින්, ඒ කියන්නේ අඩු වශයෙන් වසර දහයක්වත් යන තුරු, බාහිර උදවු නැතිව ණය ආපසු ගෙවිය හැකි තැනකට යාමේ හැකියාවක් ලංකාවට නැහැ. ණය තිරසාරත්වය සඳහා ඔය 25% අඩු වශයෙන් 13% මට්ටමටවත් අඩු විය යුතුයි. 

වසර දහයක ණය පමා කාලයක් ලැබෙනවානම්, එම කාලය තුළ විදේශ ණය හා පොලිය (දැනට නොගෙවන කොටස) ගෙවිය යුතු නැහැ. ඒ නිසා, ගෙවන්න ඉතිරි වෙන්නේ දේශීය ණය හා පොලියත්, ජාත්‍යන්තර ආයතන වල ණය හා පොලියත් පමණයි. ජාත්‍යන්තර ආයතන වල ණය සහනදායී ණය නිසා ඒ ණය වල බර දැනෙන්නේ ඉතා අඩුවෙන්. ඔය වගේ තත්ත්වයක් යටතේ, දැඩි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් හරහා, 13% ඉලක්කයට යන්න පුළුවන්. එහිදී, ඔය 13%ම දේශීය ණය සේවාකරණයට වෙන් කරන්න පුළුවන්.

නමුත්, වසර පහක ණය පමාවක් පමණක් ලැබුනොත් ඔය වැඩේ ඔය තරම්ම ලේසි නැහැ. මොකද 2027-2032 කාලය තුළත් විදේශ ණය සේවාකරණය සිදු විය යුතුයි. ඒ වෙනුවෙන් 4.5%ක් වෙන් කිරීමට ඉඩ සලසමින් දේශීය ණය සේවාකරණය 8.5%ට සීමා කළ යුතුයි කියන ඉල්ලීම එන්නේ මේ පසුබිමේ.  මොකද ඔය දෙකේ එකතුව 13% ඉක්මවන විසඳුමකින් ආර්ථිකය ස්ථායී නොවන නිසා එවැන්නක් විසඳුමක් නෙමෙයි. දේශීය ණය සේවාකරණය වෙනුවෙන් 8.5%ට වඩා වැය වන තත්ත්වයක් තුළ විදේශ ණය හිමියන්ට තමන්ගේ සල්ලි ආපසු ලැබෙන එක ගැන සැකයක් ඇති වෙනවා. ඔන්න ඕකයි අවුල.

දැනට එළියට ඇවිත් තිබෙන ඉතාම සීමිත තොරතුරු ප්‍රමාණය මම විශ්ලේෂණය කරන විදිහට අරමුදලේ වැඩ පිළිවෙළ තුළ ඔය 8.5% ඉලක්කයට යන්න බැරිකමක් නැහැ. අවුරුදු දහයක ණය පමා කාලයක් ඉල්ලුවට හෙට්ටු කිරීමකදී ඉල්ලන දෙයම නොලැබෙන බව සාමාන්‍ය දෙයක්නේ. මම හිතන්නේ දහයෙන් පටන් ගන්නේ අවසාන වශයෙන් අඩුම වශයෙන් වසර පහක ණය පමාවක් බලාපොරොත්තුවෙන්. හැබැයි ඔය පහනම් නැතුවම බැහැ. 

මේ විදිහට 8.5% ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ අරමුදලේ ණය වාරිකයත් එක්ක ජාත්‍යන්තර සංවිධාන වලින් තවත් ණය සැලකිය යුතු ප්‍රමාණයක් ලැබිලා, පොලී අනුපාතික 10% මට්ටමට පැමිණෙයි කියන උපකල්පනය යටතේ. 2027-2032 කාලය තුළ පියවිය යුතු දේශීය ණය යම් ප්‍රමාණයක් දැනටත් තිබුණත්, මේ මොහොත වන විටත් ප්‍රශ්නය ඒ ණය ටික නෙමෙයි. ඊට පෙර ගෙවිය යුතු ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ගන්න සිදු වන ණය. මේ ණය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට තල්ලු වී 2027-2032 කාලයට යනවා.මේ වසර අවසන් වෙද්දී පොලී අනුපාතික 10% මට්ටමට අඩු වුනොත්, 2017-2032 කාලයේදී දේශීය ණය සඳහා ගෙවන්න වෙන්නේ සාපේක්ෂව අඩු පොලියක්. ඒ නිසා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර 8.5% මට්ටමට යන්න පුළුවන්කමක් තවමත් තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනය වෙනුවට ණය ප්‍රතිසංවිධානය කියන වචනය එන්නේ ඔන්න ඔය නිසා. ඒ කියන්නේ, දැනට ගෙවන්න තිබෙන දේශීය ණය, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ගෙවාගෙන යද්දී, ඒ වෙනුවෙන් අලුතෙන් ණය ගනිද්දී, 2027-2032 කාලයට වැටෙන ණය සේවා බර අදාළ සීමාව නොඉක්මවන පරිදි ණය ගැනීම් සංවිධානය කර ගත යුතු බව. 

මේක කරන්න පුළුවන්. නමුත් අරමුදලේ සල්ලි ලැබෙන එක ප්‍රමාද වෙන තරමට වැඩේ එන්න එන්නම අමාරු වෙනවා. අරමුදලේ සල්ලි ලැබෙන එක තීරණය වන්නේ චීනයේ කැමැත්ත ලැබීම මත. ඔය දේවල් සිදු වන තුරු දැන් තිබෙන 30% මට්ටමේ පොලී අනුපාතික ලොකුවට අඩු වෙන්නේ නැහැ.

අරමුදලේ සල්ලි ලැබුණා කියලත්, ඒ හේතුව නිසාම, පොලී අනුපාතික 10% මට්ටමට අඩු වෙන්නේ නැහැ. මොන විදිහකින් හෝ තවත් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් හොයාගන්න වෙනවා. හැමදාම එනවා එනවා කීවත් ආවේ නැති විදේශ ආයෝජන මේ වෙලාවේ එන්නේ නැහැ. ජාත්‍යන්තර ආයතන වලින් යම් මුදලක් ලැබෙනු ඇතත් හිතන තරමට හෝ කියන තරමට ලැබෙන එකකුත් නැහැ. ඒ නිසා, ඉලක්කයට යාම සඳහා රාජ්‍ය වත්කම් යම් ප්‍රමාණයක් විකුණන්න වෙන්න පුළුවන්. මේ හා අදාළව මම යෝජනා කිසිවක් කරන්න යන්නේ නැහැ. කරන විදිහේ ලොකු වැදගත්කමකුත් නැහැ. හැබැයි රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඉක්මණින් පැමිණිය යුතුයි. එහෙම නොවුනොත්, පොලී අනුපාතික අපේක්ෂිත මට්ටමට අඩු වෙන්නේ නැහැ.

පොලී අනුපාතික අපේක්ෂිත මට්ටමට අඩු කර නොගෙන මම කලින් කියපු 2027-2032 ඉලක්කයට යන්න බැහැ. නමුත් එවැනි තත්ත්වයකදී වුනත් හොඳම විසඳුම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. දේශීය ණය වල කල් පිරීමේ ආකෘතිය ප්‍රතිසංවිධානය කර ගැනීම මගින් පමණක් අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන් කියන එක මගේ දැඩි විශ්වාසයයි. මම සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ ඔය වැඩේ මට කරන්න සිදුවුනොත් එය කළ හැක්කේ කොහොමද කියන එක ගැන යම් අදහසක් තිබෙනවානම් පමණයි. මේක කරන්න පුළුවන්. 

මෙහිදී මම කියපු ණය ප්‍රතිසංවිධානය කියන එකත් පුළුල් අර්ථයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්ම තමයි. නමුත්, මෙහිදී ණය වාරික හෝ පොලී කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ කල් පිරීමේ කාලය දිගු වීමක් පමණයි. වෙළඳපොළට හෝ රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වයට අංශු මාත්‍රයක හෝ බාධාවක් නොවෙන විදිහට ඔය වැඩේ කරන්න පුළුවන්.

මම රනිල්ගේ නිදහස් දින කතාව ඇහුවේ නැහැ. එහෙත් කොහේ හෝ දැකපු විදිහට නිදහසේ සියවස දක්වා තිරසාර රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ගැන ඔහු කියා තිබුණු බවක් දැක්කා. ඒ කියන්නේ තව අවුරුදු 25ක්. 

ලංකාවට ආර්ථිකයේ පවතින දුර්වලතා මග හරවාගෙන කෙළින් නැගී සිටින්නනම් අනිවාර්යයෙන්ම ඔය වසර 25ක කාලය අවශ්‍යයි. ඒ කාලය තුළ තිරසාර රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියොත් ඔය ඉලක්කයට යන්න පුළුවන්. පැරිස් සංසදයේ වසර 10ක ණය පමා කාලය සහ එයින් පසුව තවත් වසර 15ක ණය ආපසු ගෙවීමේ කාලය ඔය අවුරුදු 25 සමඟ සමපාත වීම අහම්බයක් නෙමෙයි. ඔය කතා දෙකම එකම කතාවක්. 

රනිල් තව අවුරුදු 25ක් ජනාධිපති ලෙස කටයුතු කරන්නේ නැහැ. ඔය කාලය තුළ වාර ගණනක් රාජ්‍ය නායකත්වය වෙනස් වෙනවා. ආණ්ඩු මාරු වෙනවා. එහෙම ආණ්ඩු මාරු වෙද්දී රාජ්‍ය ප්‍රතිපත්තිය තිරසාර ලෙස පවතියිද කියන එක කිසිම සහතිකයක් නැති කරුණක්.

වසර 25 පැත්තකට දැම්මොත්, ණය හිමියන්ගේ පැත්තෙන් බැළුවහම ප්‍රායෝගිකව ණය ආපසු ලබාගත හැකි ආසන්නම කාලය 2027-2032 කාලය. මේ කාලසීමාව අවසන් වන කාලය වුනත්, අවුරුදු දහයක කාලයක්. එම කාලය පමණක් සැලකුවත් කිහිප වරක් ආණ්ඩු මාරු වෙනවා. ආණ්ඩු මාරු වෙද්දී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පහසුවෙන්ම පීලි පනින්න පුළුවන්. එහෙම වෙලා 2022 වගේ ආර්ථික අර්බුද නැවත නැවත එන්න පුළුවන්. දැන් ප්‍රතිව්‍යුහගත කරන ණය නැවත නැවත ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්න පුළුවන්. 

ඉහත හේතු නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට කැමැත්ත දෙන ණය හිමියෙකුට ලංකාවේ දේශපාලන අනාගතය වැදගත්. මාසයකින් පසුව පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිරවණ ප්‍රතිඵල අනුව විමසිලිමත් නිරීක්ෂකයෙකුට මේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.

දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් මම දකින්නේ නැහැ. නමුත් මෙය තීරණය කරන්නේ මම නෙමෙයි. ශ්‍රී ලංකා රජය. මේ කාරණයේදී ශ්‍රී ලංකා රජය කියා කියන්නේ පවතින ආණ්ඩුව. ආණ්ඩුව වෙනස් වුනත්, බොහෝ විට මහ බැංකු අධිපති ධුරය වෙනස් වෙන එකක් නැහැ. නමුත් ආණ්ඩු මාරු වෙන පරක්කුවට භාණ්ඩාගාරයේ ලේකම් ධුරය වෙනස් වෙන එක අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයක්. අනිවාර්යයෙන්ම අවශ්‍ය වුනත්, නැතත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුවක් රජය විසින් ගන්න ඉඩ තිබෙනවා. මොකද ලංකාවේ මේ වගේ තීරණ ගන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ සීමිත පුද්ගල කණ්ඩායමක් විසින්. එහෙම තීරණ ගනිද්දී හැම විටම මහා ලොකු විශ්ලේෂණ සිදු වෙන්නේ නැහැ. 

එක දෙයක්නම් කියන්න පුළුවන්. මේ වගේ දෙයක් ඉතාම හදිසියෙන්නම් සිදු වෙන්නේ නැහැ. මැතිවරණයෙන් පසුව එහි ප්‍රතිඵල මත පදනම්ව මේ ගැන මීට වඩා පුළුල් විග්‍රහයකට යමු. 

Thursday, November 24, 2022

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද?


මේ ප්‍රශ්නය කිහිප දෙනෙක් විසින්ම වරින් වර අසා ඇති, හරියකට පිළිතුරක් දෙන්න ඉඩ නොලැබුණු, ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ ප්‍රශ්නය අහපු අයට අමතරව යම් පිරිසක් විසින් මේ ප්‍රශ්නය හෝ කිට්ටුවෙන් යන ප්‍රශ්න පෞද්ගලිකවත් අහල තියෙනවා. පෞද්ගලිකව අහපු ප්‍රශ්න පහත ආකාරයේ ප්‍රශ්න.

"මා ලඟ අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් xxxක මුදලක් තියෙනවා. මේ සල්ලි ආයෝජනය කිරීම (බැංකුවක දැමීම/ භාණ්ඩාගාර බිල්පත් වල දැමීම) සම්බන්ධව ඔබ දෙන උපදෙස කුමක්ද?"

පොදු යහපත සලසා මේ සටහන් ලිවුවත්, මේ ලේඛකයා විසින් ඉහත ආකාරයේ පෞද්ගලික උපදේශන සපයන්නේ නැහැ. තමන්ගේ සල්ලි ගැන තීරණ ගැනීම එක් එක් පුද්ගලයා විසින් සැලකිල්ලෙන් හිතාමතා කළ යුතු දෙයක්. ආයෝජනයක ප්‍රතිලාභ එක්කම ඒ හා බැඳුණු අවදානම්ද තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුනත්, අප ලියන දේවල් වලින් ඇතැම් විට මේ ප්‍රතිලාභ හා අවදානම් කිරා බැලීමේදී යම් උදවුවක් වෙන්න පුළුවන්. 

ගොඩක් අය ඉහත ආකාරයේ ප්‍රශ්න අහන පසුබිම කුමක්ද?

උද්ධමනය නිසා අපිට හරිම අමාරුයි, අතේ සතේ නැහැ කියා පෙන්නගෙන හිටියත් ලංකාවේ ගොඩක් අය අතේ සල්ලි තිබෙනවා. ණය වෙලා හිරවෙලා ඉන්නේ රජය මිසක් රටේ මිනිස්සු නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙනුත් කොටසක් ණය වෙලා, හිර වෙලා බව ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත්තහම මිනිස්සු අතේ ණය වලට වඩා සල්ලි තියෙනවා. උද්ධමනය ඇති වෙන්නේම මිනිස්සු අතේ අතිරික්ත මුදල් තිබෙන නිසා. 

රට ණය වුනාට ඒ ණය වලට හරියන තරමේ වත්කම් රටේ නැහැ කියන බොරුව ගැන මම කලින් සටහනක පැහැදිලි කළා. ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ, 2021දී, ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

එහෙම තත්ත්වයක් තුළ ණය ගෙවාගන්න බැරි වී තිබෙන්නේ හේතු තුනක් නිසා. එකක් ඔය වත්කම් රටේ වත්කම් වුනත් රජයේ වත්කම් නෙමෙයි. රටේ වත්කම් රජයේ වත්කම් වෙන්නේ බදු හරහා. පසුගිය කාලය මුළුල්ලේම රජය විසින් වියදම් කළ තරමට බදු එකතු කරගෙන නැහැ. වියදම් කළේ කා වෙනුවෙන්ද, මොනවටද කියන එක වෙනම කතාවක්. දෙවන හේතුව ඔය වත්කම් සියල්ලම ද්‍රවශීල වත්කම් නොවීම. උදාහරණයක් විදිහට නිවාස ඒකක වල වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ගෙවල්, ඉඩම්, වාහන වගේ මූර්ත වත්කම් මිසක් මූල්‍ය වත්කම් නෙමෙයි. තුන්වෙනි කරුණ, තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය වුනත්, රුපියල් වත්කම් මිසක් ඩොලර් වත්කම් නෙමෙයි. විදේශ ණය ගෙවා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඔය තුන්වන කාරණාව.

දේශීය ණය ගැන කතා කරද්දී ඉහත තුන්වන කරුණ අදාළ නැහැනේ. නමුත්, දෙවන කරුණ සෑහෙන දුරකට අදාළයි. රජයට රටේ තිබෙන මූර්ත වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න බැරිකමක් නැතත්, ඒ වැඩේ අමාරු වැඩක්. මූල්‍ය වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු අතේ මූල්‍ය වත්කම් කොපමණ තියෙනවද? 

සංචිත මුදල් ප්‍රමාණය හා මුදල් සැපයුම අතර වෙනස මම පෙර සටහනක පැහැදිලි කළා. සංචිත මුදල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාසි හා නෝට්ටු. හැබැයි කාසි හා නෝට්ටු පමණක් නෙමෙයි. මහ බැංකුවේ ගිණුම් වල තිබෙන කාගේ හෝ සල්ලිත් සංචිත මුදල්. 

සාමාන්‍ය මිනිස්සුන්ට මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න බැහැනේ. මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න පුළුවන් බැංකු වලට. ඒ නිසා, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලි කියා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු වල සල්ලි. මීට අමතරව මහ බැංකුවේ තවත් ගිණුම් තිබෙනවා. එයින් සමහරක් රජයේ ගිණුම්. මේ ගිණුම් ගැන මම විශේෂයෙන් සඳහන් නොකළේ සාමාන්‍යයෙන් ඔය ගිණුම් වල ශේෂය අයිරා (overdraft) වී තිබෙන නිසා. තාක්ෂනික ලෙස නිවැරදි වෙන්නනම් සංචිත මුදල් අර්ථ දක්වද්දී මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුම් වල ශේෂයන්ද එකතු කළ යුතුයි.

හැබැයි, කලින් සටහනක පැහැදිලි කළ පරිදිම, ගණුදෙනු සඳහා රට ඇතුළේ භාවිතා කෙරෙන මුදල් ප්‍රමාණය ඉහත කී සංචිත මුදල් ප්‍රමාණය පමණක් නෙමෙයි. එම ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ඒ, බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය තුළ සංචිත මුදල් ප්‍රමාණය ගුණනය වීමක් සිදු වෙන නිසා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් අවසානයේදී රුපියල් දහයක් වගේ ගණනක් වෙන්න පුළුවන්. මුදල් ගුණකය කියා කියන්නේ මේ අනුපාතයට. ඒ විදිහට ගුණනය වීමෙන් පසු මුදල් ප්‍රමාණ M1, M2, M2b, M4 ලෙස හැඳින්වෙනවා. මේවාට පොදුවේ මුදල් සමස්ත කියාත් කියනවා. පහළ තියෙන්නේ මහ බැංකු වෙබ් අඩවියෙන්ම උපුටාගත් ලංකාවේ මුදල් සමස්ත වල අර්ථදැක්වීම්.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් (M0) - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ."

ඔය ටික මගේ වචන වලින්ම ලිවුවනම් වඩා හොඳින් තේරෙයි. නමුත්, මුදල් සමස්ත අර්ථ දක්වන්නේ මහ බැංකුව විසින් නිසා  මහ බැංකුවේ නිර්වචනම යොදා ගන්න එක කෝකටත් හොඳයිනේ.

හරි. දැන් ඔය තියෙන්නේ නිර්වචන. පහළින් තියෙන්නේ 2022 සැප්තැම්බර් අවසානයේදී  M0, M2b, M4 මුදල් සමස්ත වල ප්‍රමාණය.

සංචිත මුදල් (M0) - රුපියල් බිලියන 1,379 යි.

පුළුල් මුදල් (M2b)  - රුපියල් බිලියන 12,051 යි.

පුළුල් මුදල් (M4)  - රුපියල් බිලියන 14,540 යි.

සරලව කිවුවොත්, පළමු කොටස නෝට්ටු හා කාසි සහ මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි. සැප්තැම්බර් අවසානයේ ගණන හරියටම දන්නේ නැතත්, 2022 ජූනි අවසානයේදී කාසි හා නෝට්ටු විදිහට මිනිස්සු අතේ තිබුණු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 797,471ක්. ලංකාවේ ගෙවල් ගණන වන මිලියන 5.1න් බෙදුවොත්, එක ගෙදරක සාමාන්‍ය වශයෙන් ගත්තහම කාසි හා නෝට්ටු වලින්ම රුපියල් 156,000කට වඩා තිබිය යුතුයි. 

ගොඩක් ගෙවල් වල ඔය සල්ලි ප්‍රමාණය නැතුව ඇති. හැබැයි මෙය තමයි සාමාන්‍ය ගණන. ඒ කියන්නේ, එක ගෙදරක මේ ගණන නැත්නම්, වෙන ගෙදරක ඒ අඩු ප්‍රමාණයත් තියෙනවා. මතක තියා ගන්න මේ බැංකු වල තියෙන සල්ලි අත ඇරලා. කෑෂ් වලින්ම ගෙවල් වල තිබෙන කොටස පමණයි. 

මිනිස්සු අතේ තිබෙන සල්ලි වලට බැංකු වල තියෙන සල්ලිත් එකතු කරලා ගණන තමයි දෙවන ගණන. නමුත් එහි තියෙන්නේ වාණිජ බැංකු වල තියෙන සල්ලි පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ වාණිජ බැංකු නොවන බැංකු වල දමා තියෙන සල්ලි එහි නැහැ. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල දමපු සල්ලිත් නැහැ. ඒ ටික ඔක්කොම එකතු කළාම ගණන තමයි රුපියල් බිලියන 14,540 යි.

දැන් මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදුවහම ගාන කීයද? රුපියල් ලක්ෂ 28.5ක්! ඒ කියන්නේ බැංකු වල දමපුවත් එක්ක සාමාන්‍ය වශයෙන් එක ගෙදරක තිබෙන සල්ලි ප්‍රමාණය රුපියල් ලක්ෂ 28.5ක්. ලක්ෂ එකහමාරක් පමණ කෑෂ් වලින්. ඉතුරු ලක්ෂ 27 බැංකු ගිණුම් වල!

මේවා ඇස්තමේන්තු නෙමෙයි. බැංකු ලේඛණ වල ඔය රුපියල් බිලියන 14,540න් හැම සතයක්ම අයිති කාටද කියන එක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. කෑෂ් වලින් තියෙන සල්ලි තියෙන්නේ කා ළඟද කියන එකනම් හරියටම හොයාගන්න බැහැ. හැබැයි ගාණ හරියට සතේටම දන්නවා. 

මේ ගණනට EPF, ETF ආදියේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි නැහැ. මිනිස්සු තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල දමපු සල්ලි නැහැ. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ. තිලිණි ප්‍රියමාලිලා වගේ අය ළඟ ආයෝජනය කරපු සල්ලි නැහැ. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වලින් වුනත් කොටසක් විතරයි මේ ගණන ඇතුළේ තියෙන්නේ. ගෙවල්, වාහන වගේ මූර්ත වත්කම් කොහොමටවත් නැහැ. 

පසුගිය සතිය අවසාන වෙද්දී (2022 නොවැම්බර් 16) රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 12,480ක්. එයින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණයි. ඒ කියන්නේ, ඉතිරි රුපියල් බිලියන 12,455 රටේම සල්ලි. එයින් මහ බැංකුව සතු වූ කොටස රුපියල් බිලියන 2,571ක්. ඒ ටිකත් අඩු කළාම රුපියල් බිලියන බිලියන 9,884ක්.

දැන් ඔය සල්ලි කාගේ සල්ලිද? එක්කෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙම නැත්නම්, රටේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුවක දැම්මට පස්සේ එම බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙමත් නැත්නම්, EPF එක විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපු රටේ මිනිස්සුන්ගේම සල්ලි. 

රජයට ඔය සල්ලි ආපසු නොගෙවා ඉන්න අවශ්‍යනම් එය ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම වැඩේ ඉවරයි. විදේශ ණය වගේ ජාත්‍යන්තර නීති වලින් බැඳීමක් නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රජයකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙනත් විකල්ප දෙකක් තියෙනවා. එකක් බදු වැඩි කරන එක. අනෙක් එක සල්ලි අච්චු ගහන එක.

දැන් බොහෝ දුරට බදු වැඩි කරලා ඉවරයි. බදු තවත් වැඩි කරයි කියලා මම හිතන්නේ නැහැ. කියන විදිහට සල්ලි අච්චු ගහන්නෙත් නැහැ. එහෙමනම්, ඒත් ඔය ණය ප්‍රශ්නයක් නැතිව ගෙවන්න පුලුවන්ද? 

අපි නැවතත්, කලින් සටහනේ කතා කළ, යෝජිත 2023 අයවැය ඇස්තමේන්තු වෙත යමු. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශ ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

පියවා ගත යුතු හිඟය - රුපියල් බිලියන 4,446යි.


දැන් මේ හිඟය පියවා ගන්න යන්නේ කොහොමද? 

විදේශ ණය හා ආධාර - රුපියල් බිලියන 619 යි.

දේශීය මූලාශ්‍ර - රුපියල් බිලියන 3,827 යි. 

ආසන්න වශයෙන් බැලුවොත්, විදේශ ණය හා ආධාර ගන්න යන්නේ විදේශ ණය හා පොලී ගෙවීම් සඳහා. මේ වැඩේ කොහොමටත් මේ විදිහට කරන්නම වෙනවා. සල්ලි අච්චු ගහලා හෝ දේශීය වෙළඳපොළෙන් රුපියල් ණයට අරගෙන විදේශ ණය හා පොලී ගෙවීම් කරන්න බැහැනේ. වැදගත් දෙය ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්නේ නැති එක. 

ඒ කියන්නේ දේශීය මූලාශ්‍ර වලින් අරමුදල් සම්පාදනය කර ගන්න යන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම් වලට හා දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්. දැනට රජයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දේශීය ණය දීලා තියෙන්නේ (මහ බැංකුව හැරුණු විට), අතිරික්ත අරමුදල් තියෙන අයනේ. මේ අයට ඔය සල්ලි ආපසු මුදල් කරන්න හදිස්සියක් නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තිබෙන තුරු, ආපසු ලැබෙන ණය හා පොලිය නැවත ආයෝජනය කරන්න මේ ණයහිමියෝ පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, රජයට එම මුදල් ප්‍රමාණය හොයාගන්න එක කිසිම අමාරුවක් නැති වැඩක්. ඊට පස්සේ තව අඩු රුපියල් බිලියන 241ක් පමණයි. 

දේශීය මූලාශ්‍ර වලින් එකතු කර ගැනීමට අදහස් කරන රුපියල් බිලියන 3,827න් රුපියල් බිලියන 3,586ක්ම ඔය විදිහට ලේසියෙන්ම හොයා ගත්තට පස්සේ (rollover කළාට පස්සේ), ඉතුරු රුපියල් බිලියන 241 හොයා ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් මිනිස්සු ඉතිරි කරනවා. රජයේ වත්කම් විකුණා සල්ලි හොයා ගැනීමේ විකල්පයත් තියෙනවා. ඔය මොකක්වත් හරිගියේ නැත්නම් ඔය වගේ ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වුනත් පුළුවන්. එහි හානියක් තිබුණත් සාපේක්ෂව අඩු හානියක්. මේ හේතු නිසා දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

හැබැයි අවදානම් නැතුව නෙමෙයි. ප්‍රධානම අභියෝගය ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු නොවීමේ අවදානම. ලංකාවේ සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු වෙන්නේ නැහැ. මේ පාරත් ඔය වැඩේ වෙනවා කියන්නේ ඇස්තමේන්තුවට වඩා අයවැය හිඟය වැඩි වෙනවා කියන එක. එහෙම වුනා කියලත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යම නැහැ. දෙවන අවදානම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දී මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාව. ඒ අවදානමටත් මම ගොඩක් බර තියෙන්නේ නැහැ. 

Tuesday, November 15, 2022

අයවැය 2023


මේ වන විට ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. මෙය සුවිශේෂී අයවැයක්. අයවැය එසේ සුවිශේෂී වන්නේ එහි අරුම පුදුම දේවල් තිබෙන නිසා නෙමෙයි. අයවැය ඉදිරිපත් කෙරෙන අවස්ථාව වන විට රට වැටී තිබෙන තත්ත්වය හා ඒ සඳහා රාජ්‍ය අයවැයේ දායකත්වය නිසා.

මම අයවැය කතාවේ සඳහන් දිගුකාලීන ඉලක්ක ගැනනම් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්න වචන නාස්ති කරන එකත් අපරාදයක්. මේ වගේ ලස්සන ඉලක්ක මීට පෙර අයවැය කතා වලත් තිබුණා. නමුත් ඒවා ඉලක්ක වුනා පමණයි. 

එසේ වුවත්, අයවැය කතාවේ ඇමුණුමෙහි තිබෙන කෙටිකාලීන ඉලක්ක ඉතාම වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙස මේ ඉලක්ක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම, එම සංඛ්‍යා මත පදනම්ව, ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි අනාගතය ගැන විමසා බැලීමට ප්‍රවේශ වෙන්න පුළුවන්.

අයවැය කතාව සමඟ ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2094ක්. නමුත් මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙහිම තිබෙන විස්තරාත්මක ආදායම් හා වියදම් ඇස්තමේන්තු අනුව මෙම මුදල රුපියල් බිලියන 2446ක්. මේ ගණන් අතර වෙනස කජු ඇට කොස් ඇට වෙනසක් නෙමෙයි. ඉතා ඉක්මණින් අයවැය ඇස්තමේන්තු වල ගණන් හිලවු ඔය වගේ ලොකු ගණන් වලින් වෙනස් වෙන එක අරුමයකුත් නෙමෙයි. දැනට අපි අයවැය කතාවේ ඇමුණුමේ තිබෙන ගණන් නිවැරදි ගණන් ලෙස සලකමු. 

දැන් මේක 2023 අයවැයනේ. ඒ නිසා, අපි 2022 පැත්තකින් තියලා කෙළින්ම 2023ට යමු. 2023 අය හා වැය මෙහෙමයි.

ආදායම - රුපියල් බිලියන 3,415යි 

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 3,626යි 

ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 211යි 

පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි 

මුළු අයවැය හිඟය - රුපියල් බිලියන 2,404යි  

ආදායම් වැඩි කර ගන්න යන ක්‍රම වල යෝග්‍යතාව හා ශක්‍යතාවය, වියදම් වෙන් කර ඇති ආකාරයේ යෝග්‍යතාව වගේ දේවල් මම මේ සටහනේ කතා කරන්න යන්නේ නැහැ. දැනට තාවකාලික උපකල්පනය ආදායම් හා වියදම් ඔය විදිහටම සිදු වෙනවා කියන එකයි. එහෙම වෙනවානම් ප්‍රාථමික හිඟය අඩු කර ගන්න රජය විසින් සෑහෙන වැඩ කොටසක් කරලා. 

හැබැයි ඉහත තත්ත්වය යටතේ වුනත්, පොලී වියදම පමණක් රුපියල් බිලියන 2,193ක් නිසා, රුපියල් බිලියන 2,404ක අයවැය හිඟයක් තිබෙනවා. දැන් ඔය අඩුව පුරවන්න අලුතෙන් ණය ගන්න ඕනෑ.

ඊට අමතරව කලින් අරන් තියෙන, වසර තුළ ගෙවිය යුතු, ණයත් ගෙවන්න වෙනවා. ඒ සඳහා යන වියදම් ඉහත වියදම් ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. ඒ වියදම් එකතු කළොත් මුළු වියදම රුපියල් බිලියන 7,879ක්. ඒ කියන්නේ, වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 4,979ක්. 

සමහර අය ගණන් හදලා නැත්නම් විගණනය කරලා පෙන්වා දෙනවනේ රටේ ණය වැඩි වෙන තරමට වත්කම් හැදිලා නැති බව. ඔව්. ණය වැඩි වෙන තරමට වත්කම් වැඩි වෙලා නැහැ. ඉදිරියේදී වුනත්, තවත් විශාල කාලයක් යන තුරු එහෙම වෙන එකකුත් නැහැ. ඒ ඇයි කියලා ඉහත ගණන් දිහා බැලුවහම පෙනෙයි.

හැම දෙයක්ම සැලසුම් කර ඇති විදිහට වුනොත්, (කවදාවත් එහෙම නොවෙන එක වෙනම දෙයක්) ලබන වසරේ රජයට රුපියල් බිලියන 4,979ක් අලුතෙන් ණය ගන්න වෙනවා. නමුත් තියෙන ණය වල වාරික හා පොලිය ගෙවුවට පස්සේ එයින් ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 211ක් පමණයි. ඒ කියන්නේ වත්කම් හැදෙනවානම් උපරිම වශයෙන් හැදෙන්න පුළුවන් ඔය ප්‍රමාණය. 

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ණය වැඩි වුනේ ප්‍රධාන වශයෙන්ම ඔය හේතුව නිසා. ඊටත් පෙර රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැඩි වුනු ණය වලින් සැලකිය යුතු කොටසක් වැඩි වුනෙත් ඔය ක්‍රමයට. හැම ආණ්ඩුවක් යටතේම එන්න එන්නම උග්‍ර වුනා වුනත්, ලංකාවේ ණය ප්‍රශ්නය කියන්නේ අද ඊයෙක හැදුනු ප්‍රශ්නයක් නෙමෙයි. දරා ගත නොහැකි සුබසාධන වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආදිය නිසා නිදහස ලබපු කාලයේ සිටම පවතින ප්‍රශ්නයක්. දැන් මේ ණය චක්‍රයෙන් එහෙම ලේසියකට ගැලවෙන්න බැහැ. 

ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් ප්‍රශ්නය ලබන වසරේ ඔය රුපියල් බිලියන 4,979 ණයට ගන්නේ කොහොමද කියන එක. මේ කතා කරන්නේ ණය වලින් කොටසක් ගෙවීම පැහැර හැරියට පස්සේ තත්ත්වය ගැන කියලත් අමතක කරන්න එපා. ඒ ණය තිබුණානම් ඔය ගණන තවත් වැඩි වෙනවා. 

රුපියල් බිලියන 1000ක් විදේශ ණය ගන්න සැලසුම් කර තිබෙනවා. ඉතුරු ටික දේශීය ණය. ඒ කියන්නේ රුපියල් බිලියන 3,979ක් විය යුතුයිනේ. රුපියල් බිලියන 1000ක් කියන්නේ ඩොලර් කීයක්ද කියන එක තීරණය වෙන්නේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ තියෙන විණිමය අනුපාතය මත. එය කීයක්ද කියා අප දන්නේ නැහැ. දැන් තිබෙන රුපියල් 360ම සේ සැලකුවොත්, මෙම මුදල ඩොලර් බිලියන 2.78ක්. ඔය වගේ මුදලක් ලබන වසරේ රජයට ණයට ගන්න පුළුවන් වෙයිද? 

මේ කතා කරන්නේ රජයේ අයවැය හිඟය පියවන්න ගත යුතු ණය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන්නේ රජයට නෙමෙයි. මහ බැංකුවට. මහ බැංකුවට වසර තුළ ගෙවිය යුතු මහ බැංකුවේම ණය වෙනම තියෙනවා. පවතින තත්ත්වය විශේෂ තත්ත්වයක් සේ සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ණය රජයේ අයවැය හිඟය පියවීමට යොදා ගන්න ඉඩ දෙන කතාවකුත් මහ බැංකු අධිපතිවරයා විසින් ටික කලකට පෙර කියා තිබුණා. එහෙම ලැබුණත් වසර තුළ ඩොලර් මිලියන 750ක් වගේ ගණනක්නේ ලැබෙනවා ඇත්තේ. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 2ක පමණ විදේශ ණය ගන්න වෙනවා. අයවැය හදලා තියෙන්නේ එහෙම පුළුවන් වෙයි කියා උපකල්පනය කරලා. 

විදේශ ණය ඔය ප්‍රමාණය හොයා ගත්තත්, දැනටම අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණයට අමතරව තවත් රුපියල් බිලියන 1,880ක ණය 2023 වසර තුළ දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා. ඒ කියන්නේ 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු දේශීය ණය ගෙවන්න ගන්න වෙන ණයත් එක්ක ඔය ගණන දෙගුණයක් පමණ වී සතියකට රුපියල් බිලියන 80ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා කියන එකයි. ඔය වැඩේ කරන්නනම් පොලී අනුපාතික ලබන වසරේදීත් ඉහළ මට්ටමක තියා ගන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩු වෙයි. ලොකුවට අඩුවෙන්න හේතුවක් පෙනෙන්න නැහැ. බලාපොරොත්තු පරිදි විදේශ ණය ගන්න බැරි වුනොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. 

හැම දෙයක්ම හොඳම විදිහට වුනොත්, ආර්ථිකයේ තුවාල ටිකෙන් ටික සනීප වෙයි. හැබැයි කාලයක් යයි. හදිස්සියෙන් විශාල වෙනසක් වෙන්නේනම් නැහැ. 

වෙබ් ලිපිනය: