වෙබ් ලිපිනය:

Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts
Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts

Thursday, May 8, 2025

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?

 

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී නැහැ. 

මැතිවරණයක් කොයි තරම් සාමකාමීව හෝ සාධාරණව පැවැත්වුවත්, ඡන්දදායකයින් තමන්ගේ තීරණය ගන්නේ විශාල අවිනිශ්චිතතාවයක් එක්කනම් හෝ ආවේගශීලිවනම් මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන්නේ යම් විකෘතියක් සහිත ජනමතයක්. පසුගිය ජාතික මැතිවරණ වලදී මේ තත්ත්වයන් දෙකම අඩු වැඩි වශයෙන් බලපෑම් කළා. නමුත් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ ඡන්දදායකයින්ට නිවී සැනසිල්ලේ සිතා බලා තීරණයක් ගන්න පුළුවන් වටාපිටාවක. ඒ නිසා, මේ ප්‍රතිඵලයේ වටිනාකම වැඩියි.

ඡන්දය දීමේ ප්‍රතිශතය අඩු වීම නිසා ඉහත කරුණ නිශේධනය වෙන්නේ නැහැ. ඡන්දය නොදීමත් ඡන්දදායකයෙකුට ගත හැකි තීරණයක්. එයින් අදහස් වන්නේ තමන් විසින් අනෙකුත් ඡන්දදායකයින්ගේ තීරණය කවර එකක් වුනත් එය පිළිගන්නවා කියන එකයි. ඒ වගේම, මහ මැතිවරණය එක්ක බලද්දී අඩුව ලක්ෂ හතක් පමණයි. 

අඩු වෙලා තියෙන්නේ මාලිමාවේ ඡන්ද. මාලිමාවේ ඡන්ද ලක්ෂ හැටනවයෙන් තුනෙන් එකකට වඩා අඩු වෙලා තිබෙනවා. කල්මුණේ ප්‍රාදේශීය සභාව නැති වීමේ බලපෑම සැලකුවත්, ලක්ෂ 23 ඉක්මවන අඩු වීමක්. එයින් ලක්ෂ 16ක් පමණම අනෙකුත් පක්ෂ අතර බෙදී ගිහින් තිබෙනවා.

මාලිමා ඡන්ද වලින් ලක්ෂ හයක් පමණම එකතු කරගෙන තිබෙන්නේ පොහොට්ටුව විසින්. සජබ ලක්ෂ තුනක් පමණ එකතු කරගෙන තිබෙනවා. ඉතිරි ඡන්ද ලක්ෂ හත අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එකතු කරගෙන තිබෙනවා.

බැලූ බැල්මටම මෙය ආණ්ඩුවේ පරාජයක්. නමුත් මහ මැතිවරණයේදී ආණ්ඩුවට ලැබුණු ඡන්ද මාලිමාවේ නොවන මාලිමා ඡන්ද. මාස හයකට පසුව ඒ ඡන්ද ඒ විදිහටම ලැබෙයි කියලා එම පක්ෂයේ නායකයින්වත් විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණානම් මැතිවරණ ව්‍යාපාරයට ඔය තරම්ම බර දමන්න හේතුවක් නැහැ. 

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී රටේ මිනිස්සු හිටියේ විශාල අවිනිශ්චිතතාවයක. ඒ එක්කම මහ මැතිවරණය තියද්දී මේ අවිනිශ්චිතතාවය අවසන් වෙලා තිබුණේ නැහැ. ඒ අනුව බලද්දී, මාස හයකට පසුවත් මාලිමාව විසින් මහ මැතිවරණ ඡන්ද වලින් තුනෙන් දෙකක් ලබා ගැනීමට සමත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් කියා කියන්නත් පුළුවන්. පොහොට්ටුවෙන් කැඩී ආ මේ ඡන්ද ස්ථිර ලෙස මාලිමාවේ නැවතී ඇති බවකුයි එයින් පෙනෙන්නේ.

අනෙක් අතට මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ කලින් පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵලය අතර විශාල සමානකමක් තිබෙනවා. මේ කරුණට වැඩි දෙනෙක් බර තබා තිබෙන බවක් මම දැක්කේ නැහැ. මෙහි පළකරන සිතියම් වල සහ ප්‍රතිඵල විශේලේෂණ වල ඇල්පිටියත් එකතු කරලයි තියෙන්නේ.

ජාතික මැතිවරණ වලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා කිරීමේ පෙළඹුම අඩු වීම සාමාන්‍ය කරුණක්. මේ විදිහට පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා නොකරන පිරිස අහඹු පිරිසක් නෙමෙයි. ඒ නිසාම, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව ජාතික මැතිවරණ ප්‍රතිඵල ගැන පුරෝකථනය කරන එකේ අවුලක් තිබෙනවා. ජාතික මැතිවරණයකදී මේ ඡන්ද වැටෙද්දී සමස්ත ප්‍රතිඵලයේ සංයුතියත් වෙනස් වෙන්න පුළුවන්. 

එයින් අදහස් කරන්නේ ඒ ඡන්ද ටික මාලිමාවට වැටෙනවා කියන එක නෙමෙයි. එහෙම කියන්න හෝ එහෙම නෙමෙයි කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ ගොඩේ තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි තීරක ඡන්ද. ඊට සාපේක්ෂව, පළාත් පාලන මැතිවරණයකදී භාවිතා වෙන්නේ ස්ථිර ඡන්ද. 

චිත්‍රයෙන් මාලිමාව ඉවත් කරලා ඉතිරි කොටස දිහා බැලුවොත්, අරගලයට පෙර පැවති දේශපාලන සංයුතිය නැවතත් ගොඩ නැගෙමින් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක වූ පොහොට්ටුව සහ සජබ දෙවන හා තෙවන තැන් වල සිටින අතර එම පක්ෂ තමන්ගේ ඡන්ද පදනම් වර්ධනය කර ගනිමින් සිටිනවා. ඒ වගේම, වාර්ගික දේශපාලන පක්ෂ විසින්ද තමන් පෙර සිටි තැනට එමින් තිබෙනවා. ඒ අතරම, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක වූ එජාපය සහ ශ්‍රීලනිපයද තවමත් මියගොස් නැහැ. 2020දී මාලිමාව සිටි මට්ටමේ ඒ පක්ෂ දෙකම ඉන්නවා. 

සර්වජන බලයද ඡන්ද ලක්ෂයකට වඩා එකතු කරගෙන ඉදිරියට පැමිණ ඇතත්, එම පක්ෂය සිටින්නේ ඉහත පක්ෂ සියල්ලටම පසුපසින්. එම පක්ෂයේ ඡන්ද ප්‍රමාණවත් වන්නේ මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට පමණයි. ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ගැනීම ගැන කතා කරනවානම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂද සැලකිය යුතු වර්ධනයක් පෙන්වා තිබෙනවා. 

සජබ හා පොහොට්ටු ඡන්ද වර්ධනය වී ඇතත්, එම කණ්ඩායම් දෙකම තවමත් සිටින්නේ මාලිමාවට වඩා සැලකිය යුතු තරම් පසුපසින්. පොහොට්ටු ඡන්ද වල විශාල වර්ධනයක් දැකිය හැකි වෙතත්, එම කණ්ඩායමට කිසිදු පළාත් පාලන ආයතනයක මුල් තැනට පැමිණීමට හැකි වී නැහැ. ඊට සාපේක්ෂව, සජබ ආයතන යම් ප්‍රමාණයක පළමු තැනට පැමිණ තිබෙනවා. එහෙත්, ඒ එක් තැනක හෝ බහුතරය ලබා ගැනීමට සජබ සමත්ව නැහැ.


දකුණේ පළාත පාලන ආයතන විශාල ප්‍රමාණයක පළමු තැනට පැමිණ සිටින්නේ මාලිමාව වුවත්, එම ආයතන වලින් අඩක පමණ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ඔවුන් සමත්ව නැහැ. පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා මන්ත්‍රී ධුර ගණනින් හරි අඩකට සහ එකකට නොඅඩු නියෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වුවත්, මේ ප්‍රශ්නය මාලිමාවටද වඩා බරපතල සේ බලපා තිබෙන්නේ ඇතැම් තැන් වල මුල් තැනට පැමිණ සිටින අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලටයි.

ඇතැම් අය මේ තත්ත්වයට හේතුව අලුත් මැතිවරණ ක්‍රමය බව සිතන බවක් පේනවා. නමුත් පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීනම්, බහුතරය නොමැති පළාත් පාලන ආයතන ගණන මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා.

පැරණි ක්‍රමයේදී මුල් තැනට පැමිණෙන පක්ෂයට ප්‍රසාද ආසන දෙකක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත් එහි වාසිය ලබා ගෙන පළාත් පාලන ආයතනයක බහුතර බලය හිමි කර ගත හැක්කේ 50% සීමාවට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැක්කේනම් පමණයි. එම මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ඇති සෑම අවස්ථාවකදීම අලුත් ක්‍රමය යටතේද මුල් තැනට පැමිණි පක්ෂයට බහුතර බලය ලැබී තිබෙනවා. 

අලුත් ක්‍රමය යටතේ ප්‍රසාද මන්ත්‍රී ධුර නොලැබෙතත්, කොට්ඨාශ ජයග්‍රහණ මත පදනම්ව අමතර මන්ත්‍රී ධුර හිමි වෙනවා. මේ ක්‍රමයට බොහෝ විට අමතර මන්ත්‍රී ධුර දෙකකට වඩා ලබා ගත හැකියි. එවැනි අමතර මන්ත්‍රී ධුර වලින් වැඩිම ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ මාලිමාවයි. 

දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව පෙනී යන්නේ අරගලයට පෙර පැවති ද්විපක්ෂ දේශපාලන වාතාවරණය වෙනුවට, කඳවුරු තුනක් වටා ශ්‍රී ලාංකික ඡන්දදායකයා පෙළ ගැසෙමින් සිටින බවයි. ඒ පෙර සිටම ඉදිරියෙන් සිටි ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක සහ මේ මොහොතේ ඉදිරියෙන් සිටින සමාජවාදී කඳවුරයි. මේ අනුව, ඉදිරි කාලයේදී බොහෝ විට එජාපය හා සජබය නැවත සන්ධානගත වීමත්, සර්වජන බලය නැවත පොහොට්ටු කඳවුරට එකතු වීමත් සිදු විය හැකියි. ශ්‍රීලනිපයට ඔය කඳවුරු දෙකෙන් ඕනෑම එකකට එකතු වීමේ හැකියාව තිබෙනවා. 

ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ සජබ ප්‍රමුඛ ලිබරල් කඳවුර වුවත්, එම කඳවුර විසින් සමත්ව තිබෙන්නේ සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට පමණයි. ඒ නිසා, මාලිමා ඡන්ද පදනම දුර්වල වෙද්දී ශක්තිමත් වීමේ වැඩි විභවයක් තිබෙන්නේ පොහොට්ටු කඳවුරටයි. කෙසේ වුවත්, දේශපාලන ආස්ථානාවලියේ මධ්‍යය ආසන්නයේ ස්ථානගත වීම මගින් අනෙක් කඳවුරු දෙකට ඡන්ද විතැන් වන්නට නොදී රඳවා ගැනීම මාලිමාවේ උපාය මාර්ගය බව පෙනෙනවා. මාලිමාව පසුගිය ජාතික මැතිවරණ ජයග්‍රහණය කළේද මෙම උපාය මාර්ගය අනුගමනය කරමිනුයි. 

බහුතර බලය කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා සන්ධාන ගොඩ නගා ගන්නා ආකාරය විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. එහිදී, බොරු හොඳ වෙයිද නැත්නම් හොරු බොඳ වෙයිද?

Monday, March 25, 2024

සුදාගේ ජනමත සමීක්ෂණ


සුදත්ත තිලකසිරි, එහෙමත් නැත්නම් සුදා, විසින් නගරයන් නගරයට යමින් "ජනමත සමීක්ෂණ" මාලාවක් පවත්වා ගෙන යනවා. මේ වැඩේ කරන්නේ "විද්‍යාත්මක ක්‍රමවේදයකට" නෙමෙයි. ඔහුට එවැනි පුහුණුවකුත් නැතුව ඇති. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන ජනමත සමීක්ෂණයකදී වගේම මේ වගේ අවිධිමත් ජනමත සමීක්ෂණයකිනුත් අප වැනි අයට ලංකාවේ ජනමතය ගැන අදහසක් ගන්න ඉඩක් ලැබෙනවා. 

සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්. සුදත්ත පැහැදිලිව කියන්නේ ඔහුගේ ජනමත සමීක්ෂණ වීඩියෝ එඩිට් නොකර එලෙසම ප්‍රසිද්ධ කරන බවයි. ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝ දෙස බැලූ විට ඒවා එඩිට් කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මේ වන විට සුදත්ත විසින් පිටකොටුවේ, නුගේගොඩ, මහරගම, හම්බන්තොට හා තිස්සමහාරාමයේ ඔහුගේ සමීක්ෂණය සිදු කර තිබෙනවා. මේ එක් තැනකින්වත් ලංකාවේ ජනමතය හරියටම නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ තැන් අහඹු ලෙස තෝරා ගත් තැන් නෙමෙයි. එහෙත්, මෙවැනි තැන් කිහිපයක ජනමතයේ පොදු රටාවන් යම් දුරකට සාධාරණීකරණය (generalize) කරන්න පුළුවන්. වැදගත්ම කාරණය සුදත්ත තිලකසිරි විසින් "අමු දත්ත" එකතු කර ඒවා එලෙසම ප්‍රසිද්ධ කිරීමයි.

මේ වගේ අමු දත්ත වලින් යම් විශ්ලේෂණයක් නොකර සෘජුව ජනමතය ඇස්තමේන්තු කරන්න බැහැ. එසේ වුවත්, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට වඩා මම මේ වගේ අමු දත්ත වලට පෞද්ගලිකව කැමතියි. 

අමු දත්ත පරිශීලනය කරද්දී විශ්වාසය තියන්න වෙන්නේ එම අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන පමණයි. මෙහිදී එය සියයට සියයක්ම මෙන් පාරදෘශ්‍ය ලෙස සිදු වී තිබෙනවා. එයින් වෙනස්ව, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු විශ්වාස කරද්දී අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන වගේම ඒවා විග්‍රහ කර ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදය ගැනත් අන්ධ ලෙස විශ්වාස කරන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ අමු දත්ත වලට වඩා කැමති ඒ නිසා.

සුදත්ත මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් අහන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන අපේක්ෂකයින් හතර දෙනෙකුට තිබෙන කැමැත්ත පිළිබඳවයි. අපේක්ෂකයින් හතර දෙනා අනුර, සජිත්, රනිල් සහ නාමල්. ආකෘතිය අනුව මෙය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy හෙවත් IHP) අනුරූපී සමීක්ෂණයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම, මෙම සමීක්ෂණ ප්‍රතිඵල එම ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වූ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. ප්‍රධානම වෙනස සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නාමල් වෙනුවට ඔහුගේ පක්ෂයේ "කවර හෝ අපේක්ෂකයෙක්" විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වඩා විවෘත ලෙස ප්‍රශ්නය ඇසීමයි.

පහත තිබෙන්නේ සුදත්තගේ මහරගම හා හම්බන්තොට සමීක්ෂණ ප්‍රතිඵල. මම මේ ස්ථාන දෙක තෝරා ගත්තේ එම ස්ථාන දෙක හා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වීඩියෝවේම සාරාංශගත කර ඉදිරිපත් කර තිබෙන නිසා. මුල් සමීක්ෂණ තුන දිහා බැලුවත් ප්‍රධාන රටාවන්ගේ ලොකු වෙනසක් පේන්න නැහැ. 

හම්බන්තොට ප්‍රතිඵලය 

අනුර - 67 (34%)

සජිත් - 38 (19%)

රනිල් - 2 (1%)

නාමල් - 1 (1%)

වෙනත් - 91 (46%)

එකතුව - 199 (100%)


මහරගම ප්‍රතිඵලය 

අනුර - 93 (33%)

සජිත් - 38 (14%)

රනිල් - 17 (6%)

නාමල් - 5 (2%)

වෙනත් - 125 (45%)

එකතුව - 278 (100%)


ඉහත "අමු දත්ත" අපට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සමඟ සංසන්දනය කළ හැකියි. 

අනුර - 50%

සජිත් - 33%

රනිල් - 9%

පොහොට්ටු අපේක්ෂකයා - 8%

එකතුව - 100%


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර සමානතා කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්.

- ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා. එය ඉතාම පැහැදිලියි. 

- අනුර කුමාර දිසානායක ඉන්න තැනට කිට්ටුවක නැතත්, දෙවැනි තැන ඉන්නේ සජිත්.

- රනිල් හෝ පොහොට්ටු අපේක්ෂකයෙක් කිට්ටුව පාතක නැහැ.


කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර කැපී පෙනෙන වෙනස් කමක් තිබෙනවා. ඒ තමයි සුදාගේ "අමු දත්ත" අනුව, විශාල පිරිසක් ඉහත කිසිවකු වෙනුවෙන් තවමත් සෘජු  කැමැත්තක් පළ කරන්නේ නැති බව. හම්බන්තොට හා මහරගම නියදි අනුව එම ප්‍රමාණය 45%ක් තරම් විශාලයි.

මෙහිදී වැදගත්ම කාරණය "වෙනත්" කියා විකල්පයක් සුදා විසින් ඉදිරිපත් නොකිරීමයි. වෙනත් පිළිතුරු ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ එවැනි පසුබිමක. ඒ තත්වය තුළ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයටද මේ ආකාරයේ "වෙනත් පිළිතුරු" ප්‍රතිචාර ලෙස නොලැබෙන්නට හේතුවක් නැහැ. අහඹු දුරකථන අංක වලට ඇමතීමෙන් පසුව ඔවුන් විසින් ජනමතය විමසන්නේද සුදා අසන ආකාරයේ ප්‍රශ්නයක් අසමිනුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඔවුන් විසින් එකතු කරගත් අමු දත්ත ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන් ඔවුන්ගේ "සකස් කළ ඇස්තමේන්තු" ඉදිරිපත් කර තිබෙන්නේ එකතු කරගත් අමු දත්ත වල "හිස්තැන් පිරවීමෙන්" පසුවයි. හරියටම කිවුවොත්, ප්‍රතිචාර දක්වන්නන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු මත පදනම්ව ඔවුන්ගේ "ලබා නොදුන් ප්‍රතිචාරය" ඇස්තමේන්තු කිරීමෙන් පසුවයි. එම "සකස් කළ ඇස්තමේන්තු" වල "වෙනත්" ගොඩක් නැත්තේ ඒ නිසා. ඒ කොටස අපේක්ෂකයින් හතර දෙනා අතර බෙදී ගිහින්. සුදාගේ "අමු දත්ත" අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" පිළිබඳවද අදහසක් ගන්න පුළුවන්.

මේ ආකාරයේ "හිස් තැන් පිරවීමකදී" වෙන්නේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කැමැත්ත පළ කළ කණ්ඩායමේ රුචිකත්වයන් එසේ නොකළ කණ්ඩායම මතද ආදේශ වීමයි. එහිදී උපකල්පනය කෙරෙන්නේ  වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු සමාන වේනම් රුචිකත්වයන්ද සමාන විය යුතු බවයි. ප්‍රස්තුත සන්දර්භය තුළ මෙම උපකල්පනයේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. 

සුදාගේ වීඩියෝ වලින් "වෙනත්" කණ්ඩායම සිටින තැන පැහැදිලිව දැන ගන්න පුළුවන්. එම කණ්ඩායමේ වැඩි පිරිසක් සෘජු ලෙසම ඉහත අපේක්ෂකයින් සියලු දෙනාවම ප්‍රතික්ෂේප කරනවා. එම තත්ත්වය තුළ ඔවුන් කිසියම් අපේක්ෂකයෙකුට කැමැත්ත පළ කරන කණ්ඩායමෙන් වෙනස් වෙනම පිරිසක්. 

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් අරගලය තුළ සිටි පිරිස් අතරද පැහැදිලි ලෙස කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකි වුනා. එයින් එක් කණ්ඩායමක් මෙතෙක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ, එහෙත් ජවිපෙ සම්බන්ධව එවැනි විරෝධයක් නොතිබුණු පිරිසක්. අනෙක් කණ්ඩායම, විකල්පයක් ගැන අදහසක් නොමැතිව වුවත්, ජවිපෙද ඇතුළුව සියලුම පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් "225ම එපා" කියූ පිරිසක්. මගේ විග්‍රහය අනුව සුදාගේ අමු දත්ත වල "වෙනත්" ගොඩේ ඉන්නේ මේ මොහොතේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන, එහෙත් ජවිපෙ ගොඩට එකතු වීමටද හිත හදාගෙන නැති පිරිසක් බවයි. ඒ නිසා, එම ප්‍රතිශතය අනුර, සජිත්, රනිල් හා පොහොට්ටුව අතර අනුපාතිකව බෙදා දැමීම නිවැරදි උපකල්පනයක්යැයි මා සිතන්නේ නැහැ. 

එක පැත්තකින් මේ 45% විසින් පෙන්නුම් කරන්නේ දැනට නැති විකල්පයකට තිබෙන දේශපාලන අවකාශය. එහෙත්, වෙනත් ප්‍රබල විකල්පයක් ඉදිරි ජාතික මැතිවරණ වලට පෙර අලුතෙන් ගොඩ නැගීමේ ඉඩක් පෙනෙන්නට නැති නිසා එම ගොඩ දැනට තිබෙන විකල්ප අතර බෙදී යා යුතුයි. එය මොන විදිහට වෙයිද?

සිදු විය හැකි එක් දෙයක් වන්නේ මේ කණ්ඩායම කිසිවෙකුට ඡන්දය නොදී සිටීමයි. එසේ වුවහොත්, පවතින විකල්ප සතු ප්‍රතිශත ඉහළ ගොස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සකස් කළ ඇස්තමේන්තු වලට කිට්ටු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙත්, ජාතික මැතිවරණයකදී 45%ක පිරිසක් ඡන්දය නොදීමේ ඉඩක් නැහැ. එම ප්‍රමාණය, සුළු පක්ෂ අපේක්ෂකයින්ගේ ඡන්ද හා අවලංගු ඡන්දද ඇතුළත්ව, වැඩිම වුනොත් 20%ක් වෙයි. ඉතිරි 25%කට නොඅඩු කොටස ඉදිරියේදී ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් අතර බෙදී යාමට නියමිතයි.

මේ ගොඩේ බොහෝ දුරට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී බලාපොරොත්තු කඩ කරගත් අයයි. එම කඳවුරට ආකර්ශනීය සේ පෙනෙන අලුත් මූණකට මෙම ප්‍රතිශතයෙන් යම් කොටසක් ආකර්ශනය විය හැකියි. එම ගොඩෙන් තවත් කොටසක් රැල්ල තිබෙන පැත්තට ගසා ගෙන යන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහරගම ආසනයේ ඡන්ද වලින් 66%ක් පමණ ගෝඨාභය විසින් ලබා ගනිද්දී අනුර කුමාර 5%ක් පමණ ලබා ගත්තා. එම මැතිවරණ ප්‍රතිඵලය අනුව යමින්, වලංගු ඡන්ද ප්‍රමාණය 83%ක් සේ සැලකුවහොත්, සුදාගේ අමු දත්ත අනුව, මේ වන විට අනුර කුමාර විසින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ගෝඨාභය ලබාගත් 66% ප්‍රතිශතයෙන් 35%ක් පමණයි. නාමල්ගේ 2% ඉවත් කළ විට, එයින් 29%ක්ම තවමත් තිබෙන්නේ "වෙනත්" ගොඩේ. සජිත් විසින් ලබා ගත් 27% ප්‍රතිශතයෙන් 10%ක් පමණද දැන් එම ගොඩේ නැහැ. එයින් 7%ක් පමණ රනිල්ගේ ගොඩේ තිබෙනවා. ඒ අනුව, අවසාන වශයෙන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට (ජවිපෙද ඇතුළු) ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත අවකාශයකයි.

සමස්ත චිත්‍රය දෙස බැලූ විට අනුර කුමාර තවමත් සිටින්නේ 50% සීමාවට පහළින්. එහෙත් වෙනත් කිසිවකු ඔහුගේ ළඟපාතකවත් නැහැ. 

සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඔබ්බට ගියොත්, ජවිපෙ හැමදාම මෙන් ඔවුන් ගැන අධි තක්සේරුවක සිටියා. ඒ නිසා, ජවිපෙ ප්‍රකාශ පැත්තකින් තිබ්බත්, බැසිල් හා රනිල් වැනි ප්‍රතිපක්ෂයේ නායකයින්ගේ ප්‍රකාශ වලින් ජවිපෙ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව කුමක්දැයි පැහැදිලි වෙනවා. දැනට පවතින තත්ත්වය තුළ ජවිපෙ ගොඩ ඉක්මවීමටනම් අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මෙන් එකතු වෙන්නට සිදු වෙනවා. එක පැත්තකින් එය සිදු වීමේ ප්‍රායෝගික ඉඩකඩ ගොඩක් අඩුයි. අනෙක් පැත්තෙන් එවැන්නක් සිදු වුවහොත් එයින්ද ජවිපෙට වක්‍ර වාසි කිහිපයක්ම ලැබෙනවා. 

අනෙක් ප්‍රධාන පක්ෂ සියල්ල එකතු වී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත්, ජවිපෙට ඔවුන්ගේ ජනප්‍රිය "හොරු ඔක්කොම එකගොඩේ" තර්කය ඉදිරියට ගෙන යාම පහසු වෙනවා. ඒ වගේම, අනෙක් සියලු කණ්ඩායම් වලට එකතු වෙන්නට සිදු වන තරමට ජවිපෙ ශක්තිමත්ය යන අදහස ඉස්මතු වෙනවා. අඩු වශයෙන් මේ හේතු දෙක නිසා දැනට පිටිය සකස් වී තිබෙන්නේ කවර තත්ත්වයක් යටතේ වුවද ජවිපෙට වාසිදායක ලෙසයි.

කෙසේ වුවත්, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ඡන්ද වල හැසිරීම වැනි වෙනත් සාධක නිසා ජනාධිපතිවරණයකදී අනුර කුමාර ඉදිරියට ආවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 50% නොඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත් දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙනවා. දැනට පවතින ජවිපෙ හා ජවිපෙට එරෙහි බෙදීම අනුව, ජවිපෙට දෙවන මනාප ලොකුවට ලැබෙන්න ඉඩක් නැහැ. කෙසේ වුවත්, එවැනි තත්ත්වයකදී වුවද ඉදිරියෙන් සිටීමට බැරිකමක් නැති පරතරයක් දැනට ජවිපෙ විසින් පවත්වා ගෙන යනවා. 

ප්‍රසිද්ධ කර නොමැති, එහෙත් නිසි ක්‍රමවේදයකට එකතු කර ගෙන ඇති සේ උපකල්පනය කළ හැකි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" නිවැරදි බවත්, එහෙත් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන "සකස් කළ ඇස්තමේන්තු" සඳහා පාදක කරගෙන තිබෙන උපකල්පන නිවැරදි නොවන බවත් සලකා, එම ඇස්තමේන්තු වල කිසියම් අපේක්ෂකයෙකුගේ ගොඩට එකතු කර තිබෙන ඡන්ද වලින් 30%ක් "වෙනත්" ගොඩට දැම්මොත් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක්.

අනුර - 35%

සජිත් - 23%

රනිල් + පොහොට්ටුව  - 12%

වෙනත් - 30%

එකතුව - 100%

මේ අනුව, අනුරට පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගැනීමටනම් "වෙනත්" ගොඩේ ඡන්ද වලින් 15%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. සජිත්ටනම් 27%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. එජාප/ පොහොට්ටු කඳවුරේ අපේක්ෂකයෙකුද සිටියදී එවැන්නක් ප්‍රායෝගිකව ඉතාම අසීරු ඉලක්කයක්. රනිල්ට, පොහොට්ටු කඳවුරේ පූර්ණ සහයෝගය ඇතුව වුවද, එවැනි ඡන්ද ප්‍රතිශතයක් ඉලක්ක කිරීමේ ඉඩකඩක් දැනට පෙනෙන්නට නැහැ. 

රනිල්ට තිබෙන එක් වාසියක් වන්නේ සජිත්ගේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක "දෙවන මනාපය" ලබා ගත හැකි වීමයි. එහෙත්, එය වාසියක් වන්නේ සජිත් අභිබවා දෙවන ස්ථානයට පැමිණිය හැකිනම් පමණයි. දැනට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් + පොහොට්ටු කඳවුරේ දෙවන මනාප වලින් යම් කොටසක් සජිත්ට ලබා ගත හැකි වුවත්, එම ප්‍රමාණයේ උදවුවෙන් අනුර කුමාර සමඟ දැනට තිබෙන පරතරය ඉක්මවිය හැකිද යන්න සැක සහිතයි. දෙවන මනාපයක් ලබා ගත හැකි තරමට සජබ ඡන්දදායකයින්ට රනිල්ව ආකර්ශනීය වුවත්, පොහොට්ටු ඡන්දදායකයින්ට සජිත් ඒ ආකාරයෙන් ආකර්ශනීය නැහැ. 

මේ තත්ත්වය තුළ ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් පවත්වයිද? එසේ නැත්නම් මහ මැතිවරණයකට යයිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධව රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ඇති බව හෝ අඩු වශයෙන් විරුද්ධත්වක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඉතා සීමිත පිරිසක් හැර, ඒ ගොඩෙන් වැඩි පිරිසක් මෙම වැඩ පිළිවෙළ වෙනුවෙන් විවෘතව පෙනී සිටීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීට ප්‍රධානම හේතුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දේශපාලන කඳවුරේ පරමාදර්ශ සහ වැඩ පිළිවෙළේ පරමාදර්ශ අතර තිබෙන ප්‍රතිවිරෝධයයි. 

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින්  කාලයක සිටම පෙනී සිටි වැඩ පිළිවෙලයි. නමුත් පොහොට්ටු කඳවුර සමඟ සිටියේ එවැනි වැඩ පිළිවෙලකට ප්‍රතිපක්ෂව කාලයක් තිස්සේ මොළ ශෝධනය කරනු ලැබූ පිරිසක්. ඒ නිසා, දැන් ඔවුන් මෙම වැඩ පිළිවෙලට කැමැත්තක් දක්වන්නේ හෝ අකැමැත්තක් නොදක්වන්නේ "වෙන කළ හැකි හැකි දෙයක් නැති නිසා" මිස ඇඟෙන්ම නෙමෙයි.

අනෙක් පැත්තෙන් සජබ විසින් දිගටම පෙනී සිටියේ මෙම වැඩ පිළිවෙලට බොහෝ දුරට සමාන වැඩ පිළිවෙලක් වෙනුවෙන් වුවත් දැන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් නිසා ඔවුන් කරන්නේ මෙම වැඩ පිළිවෙළේ අඩුපාඩු උලුප්පන එකයි. 

ඉහත තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ලංකාවේ දේශපාලනය තුළ, හරියකට අම්මෙක් අප්පෙක් නැති, "අවජාතක" වැඩ පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ ගැන ස්වාධීනව විමසා බලා නිගමනයකට පැමිණිය හැකි නාගරික මධ්‍යම පාන්තිකයින් සුළු පිරිසක් හැරුණු විට, එය වැඩ කරන බව "ඇඟෙන් දැනෙන" බොහෝ දෙනෙකු සිටින්නේ කාලයක් තමන් සිර වී සිටි දේශපාලන සිර කූඩු වල සීමාවෙන් බැහැර වී එම වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි තත්ත්වයකයි. මෙය කණගාටුදායක සිරකරුවාගේ උභතෝකෝටිකයක් (prisoner's dilemma). 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි "අයිතියට" උරුම කිව හැකි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් දැනටනම් පෙනෙන්නට නැහැ. ජවිපෙට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි සජිත් ප්‍රේමදාසට අවස්ථාව දී එජාප-පොහොට්ටු කඳවුර පැත්තකට වීමේ ඉඩක්ද නැහැ. එසේ වුවද, එම කඳවුරේ ඡන්ද සියල්ල සජිත්ට ආකර්ශනය කරගත නොහැකියි. සජිත්ට සාපේක්ෂව අනුර කුමාරට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසුයි. 

කෙසේ වුවත්, සරත් ෆොන්සේකා හෝ පාඨලී වැනි, සජබ හා එජාප/පොහොට්ටු කඳවුරු දෙකටම මැදින් සිටින අපේක්ෂකයෙකුට අනුර කුමාරට තරඟයක් දෙන්න පුළුවන්. එසේ නැත්නම් අලුත්ම මුහුණක් කරලියට එන්න පුළුවන්. ජවිපෙ විරෝධී කඳවුර එවැනි තේරීමක් කරයිද?

ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් මෙවැනි ක්‍රියා මාර්ගයක අවදානම් දෙකක් තිබෙනවා. පළමුව, යම් හෙයකින් මෙසේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුවද ජවිපෙ ජය ගතහොත්, ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී ජවිපෙ විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකියි. කෙසේ වුවත්, එසේ නොකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද මෙයම නිසා එම කඳවුරේ පැත්තෙන් බැලූ විට මෙවැන්නක් නරක අදහසක් වන්නේ නැහැ. 

මහ මැතිවරණයක් මුලින්ම පැවැත්වීමෙන් ඉහත අවදානම ඉවත් කරගත හැකියි. බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය බව පෙනෙන්නේ එයයි. මෙය පොදුවේ පොහොට්ටුවේ ස්ථාවරය විය හැකියි. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක්නම්, එජාප, පොහොට්ටු හා සජබ කණ්ඩායම් වෙනම තරඟ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවිපෙ තනි කණ්ඩායමක් ලෙස මුල් තැනට පැමිණියද මන්ත්‍රී ධුර වලින් බහුතරය නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා, ජවිපෙ විරෝධී කණ්ඩායම් වලට පශ්චාත් මැතිවරණ සන්ධානයක් සදා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේ ස්ථාවරයේද?

මෙහිදී ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් දැකිය හැකි දෙවන අවදානම සැලකිල්ලට ගන්න වෙනවා. කවර ක්‍රමයකින් හෝ ජවිපෙ විරෝධී කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්නේනම්, එම ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා කැඳ හැලියක් වීම නොවැලැක්විය හැකියි. එවැනි ආණ්ඩුවකට නොකරම බැරි ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් වැඩි කාලයක් පවතින්නට බැහැ. ඒ, ජවිපෙ විසින් ආණ්ඩුවක් නොපිහිටුවද, ජවිපෙ අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල විපක්ෂයක් බවට පත් වන නිසයි. ඒ නිසා, අවසාන වශයෙන් සිදු වන්නේ යම් කාල පමාවකින් පසුව ජවිපෙ ජයග්‍රහණයකට පාර කැපෙන එක පමණයි.

මෙවැන්නක් වුවද, බැසිල් රාජපක්ෂ වැනි අයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් නරක තත්ත්වයක් නොවන්නට පුළුවන්. ඒ මගින් යම් කාලයක් හෝ බලය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙත්, ස්වකීය පෞද්ගලික අභිලාශ වලට වඩා දෘෂ්ඨිවාදී අභිලාශ වෙනුවෙන් පෙනී සිටින අයෙකු සේ හඳුනා ගත හැකි රනිල් වික්‍රමසිංහ හිතන්නේ මේ විදිහටද?

පමා වී හෝ ජවිපෙ බලයට පැමිණීම නොවැලැක්විය හැකි සේ පෙනේනම් එය කලින්ම සිදු වන්නට ඉඩ හැරීම ඇතැම් විට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුගේ තේරීම වන්නට ඉඩ තිබෙනවා. එය එසේනම්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍යතාවයක් නැහැ.

තුන් වන විකල්පයක් විය හැක්කේ මැතිවරණ සාමාන්‍ය පරිදි නොපවත්වා "ජිල්මාට් එකක්" දැමීමයි. පළාත් පාලන මැතිවරණ අත්දැකීම අනුව එවැන්නක් සිදු නොවිය හැකි දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, එවැන්නක් කෙරෙහි යොමු වීම දේශපාලනික ලෙස ප්‍රතිඵලදායක වන්නේ ජනමතය පසුව ආණ්ඩුව වෙත නැඹුරු වීමේ ශක්‍යතාවක් ඇත්නම් පමණයි. ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකියි. 

මේ හේතු නිසා, ජනමතය තිබෙන්නේ මාලිමාව පැත්තේනම්, එම ජනමතයට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉඩ හරින්නට ඉඩකඩ වැඩියි. එවිට තමන් හා එකතු වෙන ජනතාව දිගටම තමන් සමඟ රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ මාලිමාවටයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වා ගත යුතු වෙනවා. 

මාලිමාව මේ අභියෝගය යම් දුරකට හඳුනාගෙන ඇති බව පෙනෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන එක් ආකාරයක් වන්නේ නාමික විරෝධයක් පමණක් පෙන්වමින් පවතින ආණ්ඩුවට ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කලින්ම සිදු කිරීමට ඉඩ හැරීමයි. එය අත පුච්චා නොගෙන කොස් ඇට පුච්චා ගත හැකි ක්‍රමයක්. එහෙත්, එය ප්‍රමාණවත් උපාය මාර්ගයක් නෙමෙයි. ඉදිරි ජාතික මැතිවරණ ජය ගෙන ආණ්ඩුවක් හදන්නේ කවර පාර්ශ්වයක් වුවත්, තමන් පැළඳ ගත් ඔටුන්න කටු ඔටුන්නක් බව පෙනී යන්නට වැඩි කාලයක් ගත වන එකක් නැහැ. 

Saturday, February 17, 2024

ඊළඟ ජනාධිපති කවුද?

අද ජනාධිපතිවරණයක් පැවතුණි නම්, ඔබ ඡන්දය ලබා දෙන්නේ කාටද?

ඉහත ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් වසර කිහිපයක සිට අඛණ්ඩව සිදු කරන ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි එක් ප්‍රශ්නයක්. ප්‍රශ්නයට පිළිතුරු ලෙස තේරීම් හතරක් තිබෙනවා. 2023 දෙසැම්බර් මාසය තුළ 522 දෙනෙකු විසින් ඉහත ප්‍රශ්නයට ලබා දී තිබෙන පිළිතුරු සහ ඊට පෙර 2021 ජනවාරි 1 දින සිට 2024 ජනවාරි 7 දින දක්වා සිදු කර තිබෙන සම්මුඛ පරීක්ෂණ 14,941ක් මත පදනම්ව, එම ආයතනය විසින් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන සමීක්ෂණ ප්‍රතිඵල පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 50%

සජිත් ප්‍රේමදාස - 33%

රනිල් වික්‍රමසිංහ - 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් - 8%


මහ මැතිවරණයක් පැවැත්වුනහොත් ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳවද ඉහත සමීක්ෂණයේදී විමසා තිබෙනවා. 


කෙසේ වුවත්, මෙම ලිපියෙහි අප විසින් වැඩි අවධානයක් යොමු කරන්නේ ජනාධිපතිවරණය හා අදාළව අසා ඇති ප්‍රශ්නය වෙතයි. අපගේ ඉලක්කය වන්නේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල සකස් කර තිබෙන ක්‍රමවේදය පැහැදිලි කිරීම සහ විමසුමට ලක් කිරීම මිස, දේශපාලන විග්‍රහයක් කිරීම නෙමෙයි. එහෙත්, ස්වභාවය අනුවම මෙය දේශපාලන කරුණක් බැවින් අමාරුවෙන් දේශපාලනය බැහැර කර අදහස් දැක්වීමටද අප උත්සාහ කරන්නේ නැහැ. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් ඉහත කී මත විමසුම් සමීක්ෂණය වසර තුනකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ඇමරිකාව වැනි රටවල මෙවැනි මත විමසුම් සමීක්ෂණ ගණනාවක් අඛණ්ඩව සිදු වෙතත්, ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු වී නැහැ. අපගේ ස්වාධීන නිගමනය වනුයේ ඇමරිකාව වැනි රටක කරන මෙවැනි සමීක්ෂණයකට සාපේක්ෂව ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි ක්‍රමවේදයේ විශාල ගැටළු නොමැති බවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අදාළ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර රන්නන්එළිය මෙවැනි කටයුත්තක් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා පළපුරුද්ද ඇති අයෙක්. මෙයින් අදහස් වන්නේ මෙම සමීක්ෂණය අඩුපාඩු නැති, අංග සම්පූර්ණ මත විමසුම් සමීක්ෂණයක් බව නෙමෙයි. මෙහි ක්‍රමවේදයේ පැහැදිලි අඩුපාඩු හා අපැහැදිලි තැන් ගණනාවක් හඳුනා ගත හැකියි. මහාචාර්ය ආනන්ද ජයවික්‍රම විසින් එවැනි අඩුපාඩු පිළිබඳව පුළුල් විමසුමක් සිදු කර තිබෙනවා. 

ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය ඇසුරෙන් ඉහත ඇස්තමේන්තු සකස් කර ඇති ආකාරය මෙන්ම ඒ පිලිබඳව ආනන්ද ජයවික්‍රමගේ විවේචනද අතිශයින්ම තාක්ෂනිකයි. අදාළ විෂය පිළිබඳව සැලකිය යුතු මට්ටමක පුහුණුවක් නොමැතිව මෙම ක්‍රමවේදය හෝ ඒ සම්බන්ධව සිදු කර තිබෙන විවේචන තේරුම් ගැනීම පහසු නැහැ. ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පාඨකයෙකුට එවැනි පුහුණුවක් තිබීමේ ඉඩකඩ ඉතා අඩුයි. මේ ලිපිය එවැනි මට්ටමකට නොයන, සාමාන්‍යයෙන් මෙම පිටුව කියවන පාඨකයින් ඉලක්ක කර ලියන්නක්. 

"In 2022, there were 16,692,398 (16.692398 mn) voters in the country according to the Election Commission. Thus, an average sample of 553 voters is 0.0033% of total voters or simply 3.3 voters per 100,000 voters."

ඉහත සඳහන්ව තිබෙන්නේ ක්‍රමවේදය සම්බන්ධව ආනන්ද ජයවික්‍රමගේ විවේචනයක්. මීට සමාන විවේචන වෙනත් අය විසින්ද සිදු කර තිබුණා. අපි ගැටලුව සරල ලෙස පහත ආකාරයෙන් ඉදිරිපත් කරමු.

මිලියන 16.7ක ඡන්දදායක පිරිසක් විසින් ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන ඔවුන්ගෙන් 500 දෙනෙකුගේ (ආසන්න වශයෙන්) නියැදියක් ඇසුරෙන් දැන ගත හැකිද?

සරල පිළිතුර, පුළුවන්. කලාතුරකින් සිදු කරන සංගණන හැරුණු විට අනෙකුත් බොහොමයක් සංඛ්‍යාලේඛණ සකස් කරන්නේ නියැදි සමීක්ෂණ මතයි. එසේ කළ නොහැකිනම් සංඛ්‍යානය කියන විෂයයෙන් වැඩක් නැහැ. එහෙත්, මෙම කාර්යය සාර්ථක වීමටනම් ඉහත ජනගහණයෙන් අහඹු නියැදියක් ලබා ගත යුතුයි.

අදාළ ක්‍රමවේද අනුගමනය කරමින් 500 දෙනෙකුගෙන් යුත් එවැනි අහඹු නියැදියක් ලබා ගත්තා කියා හිතමු. උදාහරණයක් ලෙස, ලිපිය ආරම්භයේ ඇති ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන් ආකාරය පහත පරිදි විය හැකියි. 

අනුර කුමාර දිසානායක - 250 හෙවත් 50%

සජිත් ප්‍රේමදාස - 165 හෙවත් 33%

රනිල් වික්‍රමසිංහ - 45 හෙවත් 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 40 හෙවත් 8%

ඉහත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, අද (හෝ අදාළ දිනයේ) ජනාධිපතිවරණයක් පැවතුණි නම්, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ස්ථිරව කිව හැකිද?

පිළිතුර, එසේ කිව නොහැකියි. එසේ කිව නොහැක්කේ නියැදියේ ප්‍රමාණය 500ක් තරම් අඩු නිසා නෙමෙයි. මෙම ප්‍රමාණය 5000 හෝ 50,000 වුවද නියැදිය අනුසාරයෙන් මැතිවරණ ප්‍රතිඵලය ගැන පුරෝකථනය කළ හැක්කේ එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව මත පදනම්ව පමණයි. ඉහත ප්‍රතිඵලය අනුව, අනුර කුමාර දිසානායක විසින් 50%ක ඡන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපති වීමට 50%ක සම්භාවිතාවක් තිබෙනවා. 

එමෙන්ම, අනුර කුමාර දිසානායක විසින් අවම වශයෙන් 45%, 50%, 55% හෝ වෙනත් එවැනි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවද ගණනය කළ හැකියි.

45%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 98.7%
50%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
55%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 1.3%

සජිත් ප්‍රේමදාස හා අදාළවද මෙවැනි ගණනයක් කළ හැකියි.

30%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 92.3%
33%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
35%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 17.1%

සාමාන්‍යයෙන් නියැදි සමීක්ෂණයක් මත පදනම්ව ජනගහණයේ හැසිරීම ගැන පුරෝකථන කළ හැක්කේ ඔය විදිහට යම් සම්භාවිතාවන් යටතේයි. එහෙම නැතුව ජනගහණයේ හැසිරීම ගැන හරියටම කියන්න බැහැ. වෙන්න 99%ක ඉඩක් තියෙන දෙයක් වගේම වෙන්න 1%ක ඉඩක් තියෙන දෙයක් වුනත් වෙන්න පුළුවන්. හැබැයි පළමුවැන්න වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඉහත විස්තර කළ පරිදි නියැදි සමීක්ෂණ ඇසුරෙන් පුරෝකථන කළ හැක්කේ යම් ඇස්තමේන්තු වරදක් එක්කයි. නියැදියේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. නමුත් නියැදියේ ප්‍රමාණය වැඩි කරද්දී සමීක්ෂණය සඳහා යන පිරිවැයද අනුපාතිකව ඉහළ යනවා. ඒ වියදම එක්ක බලද්දී, මාසයකට 500ක් කියා කියන්නේ නියැදියක් සඳහා නරක ප්‍රමාණයක් නෙමෙයි. 

මිලියන 16.7ක ඡන්දදායක පිරිසකගේ හැසිරීම ගැන දැන ගන්න 500ක අහඹු නියැදියක් ගත් විට ඒ නියැදිය තුළ ජනගහණය හරියටම නිරුපණය නොවෙන්න පුළුවන්. ඒ නිසාම, ප්‍රතිඵලය ජනගහණය හා අදාළ ප්‍රතිඵලයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉහත සම්භාවිතා ගණනය කර තිබෙන්නේ මේ බව සැලකිල්ලට අරගෙනයි. 

කොහොම වුනත්. මේ විදිහට 500 බැගින් වන නියැදි ගණනාවක් ගත්තොත් ඒ හැම නියැදියක්ම "වැරදි නියැදි" වෙන්න බැහැ. උදාහරණයක් විදිහට ඔය වගේ නියැදි පහක් ගත් විට අනුර කුමාර දිසානායකට එම නියැදි වලින් ලැබී තිබෙන "ඡන්ද" ප්‍රතිශතය 45%-55% අතර සීමාවේනම්, තව නියැදි පහක් හෝ වැඩි ගණනක් ගත්තත් ඔය තත්ත්වයේ වැඩි වෙනසක් නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය වැනි සමීක්ෂණයක් දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල වල විශාල වෙනසක් නැත්නම් නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැහැ කියන එක පැහැදිලි වෙනවා.

හැබැයි ඉහත කී පරිදි, සමීක්ෂණය දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල ආසන්නව සමාන වීම මත පදනම්ව නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැති බව කිව හැක්කේ එම නියැදි වෙනස් නියැදිනම් පමණයි. එකම නියැදිය දිගින් දිගටම ප්‍රශ්න කළොත් මුලින් වුනු වැරැද්දක් ඇත්නම් එය දිගටම යනවා. එහෙම නැත්නම්, පරණ නියැදි වල තොරතුරු අනුසාරයෙන් අළුත් නියැදියේ ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් එවැන්නක් කර ඇති බවයි පෙනෙන්න තියෙන්නේ.

නැවත ඉහත සම්භාවිතා වෙත ආවොත්, එම සම්භාවිතා ගණනය කර තිබෙන්නේ 500ක නියැදිය ජනගහණයේ අහඹු නියැදියක් ලෙස සලකලා. හැබැයි ප්‍රායෝගිකව ඔය විදිහේ අහඹු නියැදි හොයා ගන්න අමාරුයි. විවිධ හේතු නිසා නියැදියක අහඹුතාවය නැති වෙනවා. 

සංඛ්‍යානයේ ඔය ලෙඩේටත් බෙහෙත් තියෙනවා. නියැදි වල අහඹුතාවය නැති වී තිබෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හොයා ගත්තට පස්සේ අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න පුළුවන්. මෙහිදී දත්ත විශේලේෂකයාට යම් නිදහසක් ලැබෙන නිසා අපක්ෂපාතීව වැඩේ කරන එක වැදගත්. ඕනෑම පුද්ගලයෙකු අතින් තමන්ගේ පක්ෂපාතීත්වයන් අවිඥානිකව හෝ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්.

කලින් කිවුවා වගේ ආනන්ද ජයවික්‍රම විසින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබෙනවා. නමුත් මේවා බොහොමයක් සිදු වීමේ ඉඩක් තිබෙන වැරදි මිසක් අනිවාර්යයෙන්ම සිදු වී තිබෙන වැරදි නෙමෙයි. මෙවැනි වැඩක් නිවැරදිව කරන වෙනත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින්ව කරනවා වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ද ඔවුන්ගේ සමීක්ෂණ දත්ත වල අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කර තිබෙනවා. 

මේ හැම එකක්ම පියවරෙන් පියවර විස්තර කර එම විස්තර ප්‍රසිද්ධ කර නැතත්, පර්යේෂකයින් විසින් ඒ මට්ටමේ විස්තර කිරීම් කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වගේ වැඩකදී තමන්ගේ කීර්ති නාමය පරදුවට තියන්න වෙන නිසා නමක් තිබෙන පර්යේෂකයෙක් තමන් කරන දේ ගැන පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා. 

මීට අමතරව අසා තිබෙන ප්‍රශ්නයේ සැලසුමේ ප්‍රශ්න තිබෙනවා. මෙයත් ආනන්ද ජයවික්‍රම විසින් පෙන්වා දී ඇති දෙයක්. උඩින්ම තිබෙන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ තේරීම් හතරක් පමණයි. නමුත් සැබෑ ජනාධිපතිවරණයකදී ඡන්දය කටු ගෑම, ඡන්දය නොදැමීම, වෙනත් කුඩා පක්ෂ වලට ඡන්දය දීම වැනි තේරීම් තිබෙනවා. මෙහි ඒ අයට තේරීමක් නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව, එවැනි අය තමන්ට දී තිබෙන විකල්ප අතරින් අනුර කුමාර දිසානායකව තෝරා ගන්න වැඩි ඉඩක් තිබෙනවා. 

නියැදිය තෝරා ගැනීමේදී බොහෝ දුරට යොදා ගෙන තිබෙන්නේ අහඹු ලෙස දුරකථන අංක වලට කතා කිරීමේ ක්‍රමයයි. මෙය සම්මත ක්‍රමයක්. එහෙත්, මෙහිදී ප්‍රතිචාර දක්වන්නන් ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය නොදන්නා දෙයක් නොවන නිසා ජනගහණයේ ජාති, ආගම්, වයස ආදී දේවල් ඇසුරෙන් නිවැරදි කිරීමක් කර ඇතත් මෙසේ තෝරා ගන්නා නියැදියක් හා රටේ සමස්ත ජනගහණය අතර එම නිවැරදි කිරීම් වලින් නිවැරදි නොවන සියුම් වෙනස්කම් තිබෙනවා. 

දුරකථන සමීක්ෂණයක් වෙනුවෙන් කාලය යොදවන අය හා සමාජ ජාලා වල නිතර සැරිසරන අය ආසන්න වශයෙන් එකම කොටසක් සේ සලකන්න පුළුවන්. මෙම කුලකය තුළ අනුර කුමාර දිසානායකට වගේම රනිල් වික්‍රමසිංහටත් යම් වාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගොඩක් අඩු වී තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහට හා පොදුජන පෙරමුණට කැමැත්තක් දක්වන අය ඒ බව ප්‍රකාශ කරන්න යම් මැලිකමක් දක්වන්න පුළුවන්. අනෙක් අතට අනුර කුමාර දිසානායකට කැමැති, පාක්ෂිකයින් නොවන, ඇතැම් අය වුනත් ඒ බව කියන්න මැලි වෙන්න පුළුවන්.

ඉහත කී ආකාරයේ හේතු නිසා සිදු විය හැකි වැරදීම් සමීක්ෂණයක් කරන කෙනෙකුට හඳුනා ගන්න අමාරුයි. සමීක්ෂණයට සහභාගී වන අය මොනවා කිවුවත් ඒ කියපු දේ නිවැරදියි කියා සලකන්න වෙනවා. ඒ හැරුණු විට, සමීක්ෂණය කරන ආයතනයට කළ හැකි තරම් නිවැරදිව මේ සමීක්ෂණය කර ඇති බවයි මටනම් පේන්නේ. මේ ප්‍රතිඵලය මට "හිතෙන" ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. නමුත්, මට "හිතෙන" දෙයට වඩා සමීක්ෂණ ප්‍රතිඵලයක් නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

(යාවත්කාලීන කිරීම: ගණනයේ වරදක් තිබී පසුව නිවැරදි කළා.)

Sunday, January 22, 2023

මාර්තු 9 - අලුත් වෙනසක්!


මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. 

මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී මැතිවරණයක්. පළමුවැන්න, මේ වෙලාවේ දැකිය දේශපාලන බලතුලනයේ ස්වභාවයයි. දැකිය හැකි කියා කිවුවත් මේ කියන බලතුලනය හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයෙන් පසුවයි. දෙවැන්න මැතිවරණය පැවැත්වෙන ආකාරයයි.

ලිපිය තුළ කතා කරන්න අපේක්ෂා කරන ප්‍රධාන දෙය ඉහත දෙවැන්න වුවත්, ඊට පූර්විකාවක් ලෙස පළමුවැන්න ගැනද කතා කරන්නට සිදු වෙනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

නිදහස ලැබූ අලුත සිට ලංකාවේ ක්‍රියාත්මක වූ ද්විපක්ෂ ක්‍රමය මේ වන විට බිඳ වැටිලා. අඩු වශයෙන් විශාල පරිවර්තනයකට ලක් වෙලා. ඓතිහාසික පසුබිම අනුව, ලංකාවේ ප්‍රධානම ජාතික පක්ෂය වූ එජාපය තව දුරටත් ප්‍රධාන ජාතික පක්ෂයක් සේ හැඳින්විය නොහැකි තරමට දිය වී ගිහින් ඉවරයි. අනෙක් ප්‍රධාන ජාතික පක්ෂය වූ ශ්‍රීලනිපය එම පක්ෂයේ ශක්තිය කලින්ම දුර්වල කර ගත්තා. 

සම්ප්‍රදායික පක්ෂ වල කඩා වැටීම තීරණාත්මක ලෙස සටහන් වුනේ, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට එරෙහිව තරඟ කර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වලින් බලයට පත් වූ ජනාධිපති සිරිසේන විසින් ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් විදිහට එජාපය හා ශ්‍රීලනිපය එකම කඳවුරක් බවට පත් වී, එයට විකල්පයක් ලෙස පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය මතු වුනා. විකල්ප නැති කරන්න යද්දී අලුත් විකල්ප මතුවීම සාමාන්‍ය තත්ත්වයක්.

ඉන්පසුව, එජාපය දෙකඩ වී සජබ හැදුණා. එජාප පාක්ෂිකයින්ගෙන් බහුතරය සජබ වෙත ඇදුනා. අවසන් ජාතික මැතිවරණය වූ 2020 මහ මැතිවරණයයේදී ප්‍රධාන බලවේග දෙක ලෙස මතුව තිබුණේ පොදුජන පෙරමුණ සහ සජබයි. පොදුජන පෙරමුණ විසින් රටේ ඡන්ද වලින් 59.1%ක් ලබා ගනිද්දී සජබ 23.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එජාපය 2.2% දක්වා පහත වැටෙද්දී ජාජබ විසින් 3.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. 

නාම යෝජනා භාර ගෙන අවසන්ව ඇතත්, අදාළ සියලු තොරතුරු තවමත් ප්‍රසිද්ධ වී නැහැ. ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, තැන් කිහිපයක හැර, එජාපය තනිව තරඟ කරන්නේ නැහැ. මේ වන විට පවතින දේශපාලන වාතාවරණය තුළ, විශාල විකෘතියක් වුවත්, එජාපය සහ පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. මෙම කඳවුර තුළ එජාපය ප්‍රමාණාත්මක සුළුතරය වුවත්, පොදුජන පෙරමුණේ මතවාදය අසාර්ථක වී අතහැර දමනු ලැබීමෙන් පසුව, එහි මතවාදී නායකත්වය දරන්නේ එජාපයයි. 

එජාප-පොහොට්ටු කඳවුර තුළ සිටින එජාපයේ ශක්තිය මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් දුර්වල වී ඇතැයි සිතන්නට හේතුවක් නැහැ. මහ මැතිවරණයේදීම එජාපය තවත් වැටෙන්නට තැනක් නැති තරමටම වැටුණා. රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටුවට හිසක් දැමීමේ ආශ්වාදය සමඟ එජාපය සතු වූ ඡන්ද ලක්ෂ දෙකහමාර සුළු වශයෙන් හෝ වැඩි වෙන්නට මිස අඩු වෙන්නට හේතුවක් නැහැ. එහෙත්, පොහොට්ටු ඡන්ද පදනමේ විශාල කඩා වැටීමකින් පසුව වුවද, එම කඳවුර තුළ එජාප ඡන්ද නියෝජනය පවතිනු ඇත්තේ ඉතා පහළ මට්ටමකයි. 

ප්‍රධාන විපක්ෂය වන සජබය සතු වූ 23.9%ක ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්නට විශාල හේතුවක් නැහැ. අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් අතර බෙදී යාමට නියමිතව ඇත්තේ පොදුජන පෙරමුණ සතුවූ 59.1%ක ඡන්ද ප්‍රමාණයෙන් කැඩී යන කොටසයි. එම පෙරමුණට ඉතාම වාසිදායක තත්ත්වයක් යටතේ පවා, දැනට එම කඳවුර සතු දේශපාලන බලය විශාල ලෙස ගිලිහී යාම පැහැදිලි කරුණක්. අවිනිශ්චිත කරුණු වන්නේ ඒ කොපමණද හා කෙලෙසද යන්නයි. එජාප ගොඩද එකතු කළොත්, මේ කඩා වැටීම පටන් ගන්නේ 61.2%ක ප්‍රතිශතයක සිටයි. ඒ නිසා, මේ ගොඩෙන් තුනෙන් දෙකක්ම කඩා වැටුණත්, 20%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඉතිරි වෙනවා. බාගයක් කඩා වැටුනොත්, 30% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. 

පළාත් පාලන මැතිවරණ වලට වඩාත් සංවිධානාත්මක ලෙස මුහුණ දෙන්නේ ජාජබයයි. ප්‍රධාන පක්ෂ දෙකම කෙටි කලක් තුළ අසාර්ථක වීම තුළ පෙර කෙදිනකටත් වඩා එම කඳවුරට වාසිදායක ලෙස පිටිය සකස් වී තිබෙනවා. එම බිම් වාසියද ලබා ගනිමින්, ජාජබ කඳවුර සැලසුම්සහගත ලෙස කල් තබා සූදානම් වී, අලුත් ඡන්දදායකයින් හා පොදුජන පෙරමුණට සහාය දුන් පාවෙන ඡන්දදායකයින් විශාල ලෙස ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. කෙසේ වුවත්, ඔවුන්ට ගොඩ නැගෙන්නට සිදු වන්නේ 3.8% මට්ටමේ සිටයි. 

ජාතික මට්ටමෙන් තරඟයක් දිය හැකි අනෙක් ප්‍රධානම කණ්ඩායම අලුතෙන් හදාගත් නිදහස් ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටර් සන්ධානයයි. ඒ තුළ සිටින සියලුම කණ්ඩායම් කලින් පොදුජන පෙරමුණේ කොටස්ව සිටි අයයි. අසාර්ථක වීමෙන් පසු පොදුජන පෙරමුණට ඉවත ලන්නට සිදු වූ එහි ආරම්භක මතවාදය මේ වන විට නියෝජනය වන්නේ මෙම කඳවුර තුළ බව කිව හැකියි. නිදහස් ජනතා සන්ධානයේ දේශපාලන බලය ප්‍රධාන වශයෙන්ම රැඳී තිබෙන්නේ ඉතිරිව ඇති ශ්‍රීලනිපයේ ශක්තිය මතයි. 

මීට පෙර පැවැත්වුණු 2018 පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් 40.5%ක ඡන්ද ලබා ගනිද්දී ශ්‍රීලනිපය විසින් 12.1%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලැබූ 59.1%ක ඡන්ද ප්‍රතිශතය තුළ මෙම ශ්‍රීලනිප ඡන්දද තිබුණා. එම ඡන්ද රඳවා ගන්නා අතරම පොදුජන පෙරමුණෙන් ගිලිහෙන ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් රඳවා ගැනීමේ හැකියාවද නිදහස් ජනතා සන්ධානය සතුව තිබෙනවා.

ඉහත කඳවුරු හතරටම 15% ඉක්මවන හෝ ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙනවා. මීට පෙර මැතිවරණ වලදී එවැනි බල තුලනයක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

ඉහත කඳවුරු හතරට අමතරව වාමාංශික පක්ෂ කිහිපයක්ද දිවයින පුරා තරඟ කරනවා. පවතින වාතාවරණය තුළ එම පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රමාණ වල වුවද යම් වැඩි වීමක් සිදු විය හැකියි. ඊටත් අමතරව, එකම කණ්ඩායමක් ලෙස නොවුනත්, අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම් ප්‍රදේශ ගණනාවක් තුළ ස්වාධීන කණ්ඩායම් ලෙස තරඟ කරනවා. මැතිවරණයට පෙර ඒකාබද්ධ බලයක් ලෙස පෙනී සිටිය හැකිනම් ඔවුන්ටද සැලකිය යුතු නාගරික ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

ජනවාර්ගික පදනමින් දේශපාලනය කරන ප්‍රාදේශීය දේශපාලන පක්ෂ වලට පළාත් පාලන මැතිවරණ කොහොමටත් වාසිදායකයි. මේ සියලුම පක්ෂ හා කණ්ඩායම් අතර ඡන්ද බෙදී යද්දී බල තුලනය වඩාත් සංකීර්ණ වෙනවා. 

ඉහත පසුබිම මතකයේ රඳවා ගනිමින් අපි මෙම මැතිවරණ පැවැත්වෙන ආකාරය දෙස බලමු.

මෙම මැතිවරණ පැවැත්වෙන්නේ කුඩා කොට්ඨාශ මත පදනම්වයි. අඩු වශයෙන් හැටේ දශකයේ හෝ ඉන්පසුව ඉපදුණු අයට මෙය අලුත්ම අත්දැකීමක්. මෙතෙක් බොහෝ දෙනෙකු දැන සිටි කුඩාම මැතිවරණ ඒකකය එක්කෝ ආසනයක්. නැත්නම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්. මෙම මැතිවරණයේදී එක එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය කුඩා කොටස් ගණනාවකට කැඩෙනවා. 

මැතිවරණ ආසන ලෙස ලංකාව කැඩෙන්නේ කොටස් 160කට පමණයි. පළාත් පාලන බල ප්‍රදේශ ලෙස කොටස්  340කට කැඩෙනවා. කොට්ඨාශ ක්‍රමය යටතේ ලංකාව ඡන්ද කොට්ඨාශ 4,919කට කැඩෙනවා. මෙම කොට්ඨාශයක් ඉතා කුඩා ප්‍රදේශයක්.

ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් තිබෙනවා. මේ අනුව පෙනෙන පරිදි මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ සාමාන්‍ය වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුනක ප්‍රමණ ප්‍රදේශයක්. එහෙත්, ඇතැම් තැන් වල මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින්ද කොටසක්. 

ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610ක්. ඒ අනුව, මැතිවරණ කොට්ඨාශයක සාමාන්‍ය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 13.3ක්. එනම් පැත්තක් කිලෝමීටර 3.65ක් වූ චතුරශ්‍රයක භූමි ප්‍රමාණය. ගොඩක් මැතිවරණ කොට්ඨාශ මීටත් වඩා පොඩියි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

කිලෝමීටර තුන හතරක දුරක් කියා කියන්නේ පහසුවෙන්ම බයිසිකලයකින් හෝ පයින් ඇවිද ගමන් කළ හැකි දුරක්. මේ වගේ පොඩි ප්‍රදේශයක ඡන්ද ප්‍රචාරණයේ යෙදෙන්න විශාල වියදමක් දැරිය යුතු නැහැ. ලංකාවේ නිවාස ඒකක ගණන ආසන්න වශයෙන් මිලියන 5ක් පමණ බව සලකද්දී, එක් මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ගෙවල් දහසක පමණ ප්‍රදේශයක්. අපේක්ෂකයෙකුට ගෙවල් දහසකට ගෙයින් ගෙට යාම වුවත් එතරම් අසීරු නැති වැඩක්. 

ඉහත තත්ත්වයන් එක්ක ප්‍රධාන කඳවුරු හතරට වගේම කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වුවත් මැතිවරණ කොට්ඨාශයක් තුළ ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, ජාති, ආගම්, කුල හා ප්‍රාදේශීය සාධක වල බලපෑම් කැපී පෙනෙන ලෙස ඉස්මතු විය හැකියි. 

පසුගිය පළාත් පාලන මැතිවරණ වලින් පසුවත්, ඊටත් පෙර 2015 ජනාධිපතිවරණයෙන් පසුවත්, සමාජ මාධ්‍ය වල සංසරණය වූ ප්‍රතිඵල සිතියම බොහෝ දෙනෙකුට මතක ඇති. එහි රටේ සිංහල-බෞද්ධ බහුතර ප්‍රදේශ සියල්ලම වගේ පොදුජන පෙරමුණේ දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වනු ලැබ තිබුණා. රටම එක් මැතිවරණ කලාපයක් සේ සැලකෙන ජනාධිපතිවරණයකදී ඡන්ද වල ප්‍රාදේශීය වෙනස්කම් ඉලිප්පීම නිවැරදි නොවුනත්, අදාළ සිතියමෙහි ආසන මට්ටමෙන් එවැනි චිත්‍රණය කිරීමක් සිදු කර තිබුණා.

ඉහත ආකාරයේ ප්‍රතිඵල සිතියමක් මේ මැතිවරණයෙන් පසුවද සංසරණය විය හැකියි. එහෙත් එහි පැහැය පුරෝකථනය කිරීම පහසු නැහැ.

ආසන මට්ටමේදී යම් නිශ්චිත පක්ෂයක් පැහැදිලි ජයග්‍රහණයක් ලබන විටදී පවා, ආසනය තුළ, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දැකිය හැකියි. ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස කටයුතු කර ඇති අය මේ ගැන දන්නවා. මෙවැනි වෙනස්කම් මෙතෙක් පොදු සමාජයේ අවධානයට ලක් වුනේ නැහැ. එහෙත්, මෙවර එය සිදු විය හැකියි. 

උදාහරණයක් ලෙස සුළුතර වාර්ගික හා ආගමික කොටස්, ඇතැම් කුල වලට අයත් අය, ගම්කාරයින් හා පිටින් ආ අය පදිංචි ප්‍රදේශ තරමක් ලොකු මැතිවරණ සිතියමක වෙන් වශයෙන් පෙනෙන්නේ නැහැ. එහෙත්, කොට්ඨාශ කුඩා වීමේදී මෙවැනි වෙනස්කම් හොඳින් කැපී පෙනෙන්න පුළුවන්. සුළුතර කණ්ඩායම් වල රුචිකත්වයන් වඩා හොඳින් නිරූපණය වීමක් නිසා මම මෙය නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් ඡන්දදායකයින් 1000-1500 අතර ප්‍රමාණයකට එක් ඡන්ද මධ්‍යස්ථානයක් වැටෙන නිසා එක් මැතිවරණ කොට්ඨාශයක් තුළ බොහෝ විට තිබෙනු ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් පමණයි. ඇතැම් විට එකක් පමණක් විය හැකියි. ගණන් කිරීමේ කටයුතුද ඡන්ද මධ්‍යස්ථාන තුළම සිදු වීමට නියමිත නිසාත්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නට අවශ්‍යනම් එසේ කිරීමට සිදු වන්නේ කොට්ඨාශය තුළම පිහිටි තවත් මධ්‍යස්ථානයකට නිසාත් ගණන් කිරීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට ඉඩ ලැබේයැයි සිතිය හැකියි. 

බොහෝ විට එක් කොට්ඨාශයක වලංගු ඡන්ද ප්‍රමාණය දෙදහසක් පමණ විය හැකියි. මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ගණන් කිරීම සඳහා විශාල කාලයක් ගත වන්නේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන්න පුළුවන්. නමුත්, විවිධ සංකීර්ණ තත්ත්වයන් ඇති විය හැකියි. 

උදාහරණයක් ලෙස සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රමාණයක් කණ්ඩායම් හතරක් හෝ වැඩි ගණනක් අතර බෙදී යද්දී කොට්ඨාශ එකක හෝ කිහිපයක සමාන-වැඩිම ඡන්ද වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ජයග්‍රාහකයා තෝරන්න වෙන්නේ කුසපත් ඇදීමකින්. ඒ වගේම, මේ කුඩා බෙදීම තුළ, තැපැල් ඡන්ද වෙනම ගණන් කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. 

කොට්ඨාශ ක්‍රමය තුළ වුවත්, අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමිනුයි. එසේ තේරී පත් වන නියෝජිතයෙකුට පසුව පක්ෂ මාරු කිරීමේ අයිතිය ඇත්ද යන්න මා දන්නේ නැහැ. මගේ අදහසනම් ඒ අයිතිය තිබිය යුතු බවයි. ප්‍රාදේශීය සාධක සැලකිල්ලට ගනිමින් හොඳම නියෝජිතයෙකු තෝරා ගැනීමට ඡන්දදායකයින්ට ඉඩ ලැබෙන්නේ එම අයිතිය නියෝජිතයාට ඇත්නම් පමණයි.

කොට්ඨාශ 4,919 අතරින් 4,750ක් කේවල නියෝජිත කොට්ඨාශයි. කොට්ඨාශ 165කින් නියෝජිතයින් දෙදෙනෙකු බැගින්ද, තවත් කොට්ඨාශ 4කින් නියෝජිතයින් තිදෙනෙකු බැගින්ද තෝරාපත් කර ගත හැකි නිසා තේරීපත් වන සෘජු නියෝජිතයින් ප්‍රමාණය 5,092ක් වුවත් කේවල කොට්ඨාශ 20ක් හා බහු මන්ත්‍රී කොට්ඨාශ දෙකක් අයත් කල්මුණේ නගර සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්වෙන නිසා මෙවර තේරී පත් වීමට නියමිතව ඇත්තේ සෘජු නියෝජිතයින් 5,068 දෙනෙකු පමණයි. මීට අමතරව, එම ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජිතයින් ප්‍රමාණයක් (3,300+) සමානුපාතික ක්‍රමයට තේරී පත් වීමට නියමිතයි. 

Thursday, December 17, 2020

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයිද?


ඇමරිකාවේ පැවැත්වුණු පසුගිය ජනාධිපතිවරණ පහෙන් දෙකකදීම තේරී පත් වුනේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නෙමෙයි. තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ පාරත් ඒ වැඩේම වෙනවා. ලංකාවේ ගොඩක් අය වගේම ඇමරිකාවෙන් හා ලංකාවෙන් පිටත වෙනත් රටවල ගොඩක් අයත් මෙය අවුලක් සේ දකිනවා. එහෙත්, ඇමරිකාව ඇතුළේ මේ සම්බන්ධව තිබෙන්නේ බෙදුණු මතයක්.

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය වගේම රිපබ්ලිකන් පක්ෂයත් මූලික වශයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන පක්ෂ. එසේ වූ පමණින් මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන නොවන බව කවුරුත් දන්නා කරුණක්. රිපබ්ලිකන් පක්ෂයට ජාතිකවාදී නැඹුරුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තරවාදී පක්ෂයක්. පක්ෂ දෙකම යම් තරමකින් ධනවාදය නමනවා. හැබැයි එකම විදිහට නෙමෙයි. ඩිමොක්‍රටික් ක්‍රමයේ යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙනවා. එයින් වෙනස්ව රිපබ්ලිකන් පක්ෂය ධනවාදය නමන්නේ ආර්ථික ආරක්ෂණවාදය හරහා. සංක්‍රමනික විරෝධයත් එහිම කොටසක්.

ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වූ වහාම, හරියටම කියනවානම් බලයත් පත් වීමට නියමිත බව පැහැදිලිව පෙනී ගිය වහාම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය වගේ කරුණු උඩට පැමිණ තිබෙනවා. සුළුතර ප්‍රජාවන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන කණ්ඩායම් වල වැඩි සහයෝගය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට කියන එකත් ප්‍රචලිත කරුණක්. අනෙක් පැත්තෙන් බැළුවහම ඒකීය පුද්ගලයෙක් කියා කියන්නේ කුඩාම මට්ටමේ සුළුතරය. රාජ්‍ය නියාමනයට එරෙහිව ඒකීය පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඉදිරියෙන් ඉන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක නෙමෙයි. හැමෝගෙම අදහස්  සැලකිල්ලට ගෙන පොදු එකඟතාවයකට එන එක. මෙහිදී ඇතැම් අදහස් යටපත් වෙනවා. ඇතැම් අදහස් මතු වෙනවා. හැම විටම උඩට මතු වන්නේ බහුතර මතය නෙමෙයි. බහුතරයට එකඟ විය හැකි මතය. එය සුළුතර මතයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ වෙන්නේ හැමෝගෙම අදහස් වලට හැමෝම සවන් දෙන තරමේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබේනම් පමණයි. හැමෝම තම තමන්ගේ මත වල දැඩිව එල්බ සිටින විට වෙන්නේ හැම විටම බහුතරයේ මතය උඩට මතු වීම. එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස හඳුන්වන්න බැහැ. ඒ කියන්නේ හැම විටම කිහිප දෙනෙකුගේ හෝ සුලුතරයක මතය උඩට මතු වෙන ක්‍රමයක් හොඳයි කියන එක නෙමෙයි. එය කොහොමත් නරකයි.

බහුතරයකට එකඟ විය නොහැකි සුළුතරයකගේ මතයක් ක්‍රියාත්මක වීමට සාපේක්ෂව බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීම සාධනීයයි. හැබැයි බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීමට වඩා බහුතරයකට එකඟ විය හැකි කාගේ හෝ වඩාත්ම පිළිගත හැකි මතය සාකච්ඡා, සම්මුති ආදියෙන් පසුව අවසානයේදී පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක වීම හැම විටම වඩා සාධනීයයි. වඩා විශාල පිරිසකට එකතු වී මෙවැනි පොදු සම්මුතියක් ඇති කර ගැනීම අසීරුයි. අඩු පිරිසකට එය වඩා පහසුයි.

ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය පහළ මට්ටමේ සිට ඉහළට ජනතා කැමැත්ත එසැවෙන ක්‍රමයක්. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. තමන් තරඟ කරන්නේ ප්‍රධාන  දේශපාලන පක්ෂයකින්ද, සුළු පක්ෂයකින්ද, තමන් විසින් අළුතින් හදා ගන්නා දේශපාලන පක්ෂයකින්ද, එහෙමත් නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද කියන එක මුලින්ම තීරණය කරන්න වෙනවා. මොන ආකාරයෙන් තරඟ කළත් ඡන්ද පත්‍රිකාවට නම දමා ගන්න පුළුවන් වෙන්නේ අවම අත්සන් ප්‍රමාණයක් හෝ අවම සහයෝගයක් ඇත්නම් පමණයි. ඒ මට්ටමට යන්න බැරි කෙනෙකුට ඡන්ද පත්‍රිකාවේ නම නැතත් ඡන්ද ලබා ගන්න පුළුවන්කමක්ද තිබෙනවා. එවැනි අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දදායකයෙකු විසින් නම ලියා ඡන්දය දිය යුතුයි.

තමන්ට සහයෝගය ලබා ගන්න වැඩිම ඉඩක් තිබෙන්නේ දැනටම ක්‍රියාත්මකව පවතින දේශපාලන පක්ෂයක සාමාජිකයින් අතරෙන්නම් එවැනි පක්ෂයක අපේක්ෂකත්වය වෙනුවෙන් කැමති කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. පක්ෂයට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රාථමික මැතිවරණ වලදී වෙන්නේ එයයි. ප්‍රාථමික මැතිවරණ වලට ඉදිරිපත් වන කෙනෙක් පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා උඩට එනවානම් ඔහු හෝ ඇය පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්ද ආදී අවශේෂ කරුණු වැදගත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ දේශපාලන පක්ෂ කාගෙවත් පෞද්ගලික බූදල් නෙමෙයි. 

ඇමරිකාවේ ප්‍රාථමික මැතිවරණ ක්‍රමය ඉතාම පහළ මට්ටමෙන් පටන් අරන් උඩට යන ක්‍රමයක්  නිසා මේ ක්‍රියාවලියේ එක් එක් අදියරේදී එයට සහභාගී වන හැමෝගෙම වගේ අදහස් සලකා බලන්න යම් තරමක ප්‍රායෝගික ඉඩක් ලැබෙනවා. මුළු රටේ සියලු දෙනාගේම කැමැත්ත එකවර විමසන අවස්ථාවකදී එවැන්නක් කරන්න අමාරුයි. එවිට සිදු වෙන්නේ තම තමන් දැනට එල්බ සිටින මත ප්‍රකාශ වීමක් පමණයි. අදහස් ගැටීමක් හෝ සංවාදයක් නැහැ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවසන් අදියරේදී ඒ කටයුත්තට සහභාගී වෙන්නේ 538 දෙනෙක් පමණයි. එවැනි පිරිසකට කතාබහ කරලා හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන හොඳම තීරණය ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඒ විදිහටම සිදු නොවීම වෙනම කරුණක්.

මේ විදිහට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කටයුත්තට සහභාගී වෙන 538 දෙනා එක් එක් ප්‍රාන්ත වල නියෝජිතයෝ. ඒ අයව පත් කර එවන්නේ අදාළ ප්‍රාන්ත විසිනුයි. ඒ තේරීම කරන්නේ කොහොමද කියන එක අදාළ ප්‍රාන්තයට භාර කටයුත්තක්. ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට අවශ්‍යනම් තේරීම කරන ක්‍රමය වෙනස් කර ගන්න බාධාවක් නැහැ. දැනට ප්‍රාන්ත දෙකක් හැර අනෙක් සියළුම ප්‍රාන්ත විසින් කරන්නේ ප්‍රාන්තයේ වැඩිම සහයෝගයක් තිබෙන දේශපාලන පක්ෂය විසින් නම් කරන නියෝජිතයින්ට අවස්ථාව ලබා දෙන එකයි. ප්‍රාන්ත දෙකක් අනුපාතික ක්‍රමයක් අනුගමනය කරනවා. එම ප්‍රාන්ත වල ප්‍රාන්තයේ බහුතරය මත වගේම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශීය මැතිවරණ කලාප වල බහුතර කැමැත්ත මත නියෝජිතයින් පත් කර ගැනෙනවා.

ඇමරිකාවේ ජනාධිපති ලෙස රටේම වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා පත් නොවෙන්න පුළුවන්නේ. ඒ වගේම, එය කිහිප වරක්ම සිදු වෙලත් තිබෙනවනේ. මෙය මේ විදිහට නොවන බවට වග බලාගන්න අවශ්‍යනම් කරන්න තිබෙන්නේ පොඩි වැඩක් පමණයි. එක් එක් ප්‍රාන්ත විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් පත් කර යැවීමේදී තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත ගැන නොසලකා රටේ බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කරන එක. වැඩේ එතැනින්ම ඉවරයි.

මේක යුරෝපයට ආදේශ කළොත්, මුළු යුරෝපයම පාලනය කරන්න තනි නායකයෙක් තීරණය කරනවා කියා හිතමු. එය කරන්නේ යුරෝපීය සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්ගේ ඡන්දයෙන්. එක් එක් රටට හිමි වන සාමාජිකයින් ප්‍රමාණය එම රටේ ජනගහණයට සමානුපාතිකව අඩු වැඩි වෙනවා වගේම හැම රටකටම සමානව බෙදී යන කිසියම් අවම නියෝජිතයින් ගණනකුත් ඉන්නවා. දැන් ඩෙන්මාර්කය වැනි රටක අති මහත් බහුතරය කිසියම් අපේක්ෂකයෙකුට කැමති නැති වුනත් සමස්තයක් ලෙස යුරෝපයේ වැඩි දෙනෙක් කැමති ඒ අපේක්ෂකයාටනම් ඩෙන්මාර්කය නියෝජනය කරන නියෝජිතයින් විසින්ද අර යුරෝපයේ වැඩි දෙනෙක් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙනවා වගේ වැඩක්. 

මේ ආකාරයට රටේම බහුතර කැමැත්ත ලබන පුද්ගලයාව ජනාධිපති ධුරයට පත් කර ගැනීම පිළිබඳ අදහස මෑත ඉතිහාසය තුළ ඇමරිකාවේ ප්‍රබලවම මතු වුනේ 2000 ජනාධිපතිවරණයෙන් පසුව කියා කියන්න පුළුවන්. 2016 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිළිබඳ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, ඉහත අවස්ථා දෙකේදීම "අවාසිය" සිදු වුනේ ඩිමොක්‍රටික් පක්ෂයට නිසා මේ අදහස වැඩිපුරම එහෙමත් නැත්නම් මුළුමනින්ම වාගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරියට ගෙනගිය අදහසක් කියා කියන්න පුළුවන්.

මේ අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස යෝජනා වුනේ අන්තර්-ප්‍රාන්ත එකඟතා ගිවිසුමක්. යෝජිත ගිවිසුම අනුව, ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් තෝරා පත් කර යැවීමේදී ප්‍රාන්ත අතර ඇති කර ගන්නා පොදු එකඟතාවයක් අනුව එම එකඟතාවයට යටත් ප්‍රාන්ත විසින් තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත නොසලකා රටේම බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කර යැවිය යුතුයි. 

උදාහරණයක් විදිහට දකුණු කැරොලයිනා ප්‍රාන්තය මේ ගිවිසුම අත්සන් කළා කියා හිතමු. දැන් මැතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකයා දකුණු කැරොලයිනා ඡන්ද වලින් 43%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 55%ක් ගන්නවා. එහෙත් මුළු රටේම ඡන්ද භාවිතාව බැලුවහම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ඡන්ද වලින් 51%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 47%ක් ගන්නවා. හරියම මේ අවුරුද්දේ ත්ත්වය වගේ. දැන් ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ එම ප්‍රාන්තයේ වැඩිම ඡන්ද ලබාගත් රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්. එහෙත්, යෝජිත ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ මුළු රටෙන්ම  වැඩිම ඡන්ද ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්.

අපි හිතමු අවම වශයෙන් නියෝජිතයින් 270 දෙනෙකු පත් කර යැවීමේ අයිතිය තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ යෝජනාවට කැමති වී අන්තර්-ප්‍රාන්ත ගිවිසුමක් අත්සන් කළා කියලා. එවැනි ගිවිසුමකින් පසුව, මේ ප්‍රාන්ත සියල්ලේම ඡන්ද ලැබෙන්නේ රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාටයි. එම ඡන්ද ප්‍රමාණය 270 ඉක්මවන නිසා රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වෙනවා. 

මේ වන විටත් ප්‍රාන්ත 16ක් (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කරගෙන අවසානයි. එයින් ප්‍රාන්ත 4ක්ම අදාළ නීති සම්මත කරගත්තේ පසුගිය වසරේදී. ඒ අනුව, මේ ක්‍රමයට දැනටමත් පක්ෂව සිටින ප්‍රාන්ත සතුව මේ වන විටත් නියෝජිතයින් 196 දෙනෙකු සිටිනවා. තවත් නියෝජිතයින් 74 දෙනෙකු ලබා දීමේ හැකියාව තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කර ගැනීමෙන් පසුව අදාළ අන්තර්-ප්‍රාන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවත් ප්‍රාන්ත ගණනාවක මේ වන විටත් මේ යෝජනාව නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම හා එය තව සුළු ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුනානම් එම ජයග්‍රහණය නොලැබී යන්නට ඉඩ තිබීම යන කරුණු මත ඉහත කී සම්මුතියට තවත් ප්‍රාන්ත අලුතෙන් එකතු වීමේ ශක්‍යතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත කී සම්මතය සමඟ මෙතෙක් එකඟව සිටින හැම ප්‍රාන්තයක්ම වාගේ ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන ප්‍රාන්ත. එහෙත්, ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන හැම ප්‍රාන්තයක්ම වුවත් මේ යෝජනාවට කැමති නැහැ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වල ඡන්දදායකයින් සතු බලය අඩු වී, නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වැනි ජනගහණය වැඩි ප්‍රාන්ත කිහිපයක අවශ්‍යතාවය මත ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී පත් වීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මෙය එක ආකාරයක කාටල ක්‍රමයක්. කාටලය බලවත් වූ පසු කාටලයට අයත් නැති ප්‍රාන්ත වලට දේශපාලන බලයක් නැති වනවා වගේම කාටලය තුළ සිටින කුඩා ප්‍රාන්ත වලටද තමන්ගේ ස්වාධීනත්වය නැති කර ගන්න වෙනවා. කලින් ඉදිරිපත් කළ යුරෝපීය උදාහරණයට ගිහින් ඩෙන්මාර්කය පත් වන තත්ත්වය දිහා බැලුවොත් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තරවාදී දෘෂ්ඨිවාදයක ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයට රටේ සාමූහික එකඟතාවය තුළ ප්‍රාදේශීය අනන්‍යතා යටපත් වී ගිලී යාම ප්‍රශ්නයක් නෙමෙයි.

දේශපාලන දෘෂ්ඨිවාදයක් විදිහට සාමූහික කැමැත්තට පෞද්ගලික කැමැත්ත යටපත් වෙන්න අරින එක පිළිගත් පසුව සුළුතර ප්‍රශ්න ලෙස හැඳින්විය හැකි ප්‍රශ්න මතු වීම ඉතාම ස්වභාවිකයි. එවිට එම ප්‍රශ්න වලට විසඳුම් දීමටද සිදු වෙනවා. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වීම දේශපාලන දෘෂ්ඨිවාදයේම කොටසක් කර ගන්න සිදු වෙනවා. සමාජවාදීන්ට බොහෝ විට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වෙන්නේ මේ හේතුව නිසයි. යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වී තිබෙන්නේත් මේ හේතුව නිසයි.

සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වල මුල තිබෙන්නේ සාමූහික කැමැත්ත තුළ පෞද්ගලික කැමැත්ත යටපත් වීමයි. එය එසේ නොවන්නේනම් කිසිදු ඒකීය පුද්ගලයෙක් වෙනත් අයෙකුට සාපේක්ෂව බහුතරයක හෝ සුළුතරයක කොටසක් වෙන්නේ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට විශේෂ අවධානය යොමු කරන්න යාමේදී සුළුතරයක් සේ පොදුවේ හඳුනා නොගැනෙන කණ්ඩායම් වල ඉන්න අයට තමන්ට අසාධාරණයක් වන බව දැනෙන්න පටන් ගන්නවා. ඒ ඔවුන්ද ඒකීය පුද්ගලයින් ලෙස ඉතාම කුඩා සුළුතරයක් වන නිසයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන්ටත් කවර හෝ සාමූහිකයක කොටසක් වෙන්න සිදු වෙනවා. එවැනි ප්‍රති-සාමූහිකයක් හැදෙන්නේ සුළුතර විරෝධයක් එක්කයි. 

යම් හෙයකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මුල් කාලයේදී එහි වාසිය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙයි. ඒ එක්කම, සුළුතර සේ හඳුනා ගැනෙන කණ්ඩායම් වලට වාසිදායක හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති යම් කාලයක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම, ආර්ථික තලයේදී කාර්යක්ෂමතාවය වෙනුවට යම් තරමකින් සමානාත්මතාවය ප්‍රමුඛතාවයක් බවට පත් වෙයි. හැබැයි මේ දේවල් වලින් දිගුකාලීනව වෙන්නේ ඒකීය පුද්ගලයින් ලෙස ක්‍රියා කරන පොදුවේ බහුතරයේ සාමාජිකයින් ලෙස හැඳින්වෙන කොටස් සාමූහිකයක කොටස් බවට පත් කර එකම කණ්ඩායමක් බවට පත් කරන එකයි. මෙය දැනටමත් කාලයක් තිස්සේ සිදු වෙමින් තිබෙන දෙයක්. ට්‍රම්ප්ව බලයට ගෙනාවේ එවැනි සාමූහික මානසිකත්වයක්.

ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මේ තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? දැනට පෙනෙන්න තිබෙන චිත්‍රය අනුවනම් මේ වැඩෙන් වාසිය ඩිමොක්‍රටික් පක්ෂයටයි. එහෙත්, මේ චිත්‍රය වෙනස් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජේආර් ජයවර්ධන ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය හැදුවේ එජාපය දිගටම බලයේ තියා ගැනීමේ අරමුණින්. 1977 දක්වා මැතිවරණ ප්‍රතිඵල දැන් ක්‍රමයට නැවත ගණනය කළොත් එජාපයට ලැබිය හැකිව තිබුණු වාසිදායක ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙනවා. එහෙත්, අතීතයේ සිදු වූ දේවල් ඒ දේවල් සිදු වූ පසුබිම තුළම මිස අප විසින් උපකල්පනය කරන වෙනත් පසුබිමක එළෙසම සිදු විය හැකිව තිබුණේයැයි සිතීම මුලාවක්. අනාගතය ගැන කියන්න තිබෙන්නේත් එවැනිම දෙයක්. ජේආර්ගේ මැතිවරණ ක්‍රමය නිසා අවසාන වශයෙන් වුනේ එජාපය නැත්තටම නැති වී යාමයි.


Sunday, December 13, 2020

ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණය හෙටයි!


මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම හා වොෂින්ටන් ඩීසීහි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිල ප්‍රතිඵල නිකුත් වුනේ ගෙවුණු සතියේදීයි. ඒ අනුව, මේ වන විට බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙස සමස්ත නියෝජිතයින් ගණන බෙදී ගොස් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජිතයින් බෙදී ගියේ හරියටම අනික් අතට, ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙසයි.

ඉහත කී ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කරන්නේ හෙටයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන්නේ හෙට (දෙසැම්බර් 14) කියා කිව හැකියි. එහිදී බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙසින්ම ඡන්ද බෙදී යාම අනිවාර්ය දෙයක් නෙමෙයි. පසුගිය වර ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙස නියෝජිතයින් බෙදී ගොස් තිබුණත් ඔවුන්ට සැබෑවටම ලැබුණේ පිළිවෙලින් ඡන්ද 304ක් හා 227ක් පමණයි. ඉතිරි ඡන්ද 7, කොලින් පවල්ට 3ක්, බර්නි සැන්ඩර්ස්ට 1ක්, රොන් පෝල්ට 1ක්, ජෝන් කේසික්ට 1ක් හා ෆේත් ස්පොටඩ් ඊගල්ට 1ක් ලෙස බෙදී ගියා. මෙවර ප්‍රතිඵලය දැනගන්න ලැබෙන්නේ ජනවාරි 6 වනදා ප්‍රාන්ත නියෝජිතයින්ගේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි.

පැහැදිලිවම පෙනෙන්නට ඇති පරිදි මෙවර ජයග්‍රාහකයා බයිඩන් වුවත් එම ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. බයිඩන්ට සහයෝගය දීමට නියමිත නියෝජිතයින් ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය වන 270ට වඩා වැඩි වන්නේ 36කින් පමණයි. බයිඩන් යාන්තමින් ජයග්‍රහණය කළ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල නියෝජිතයින් ප්‍රමාණය 37ක්. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය ඡන්ද 1,274කින් අඩු වී තිබෙනවා. විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව එහි පරතරය ඡන්ද 87කින් වැඩි වී තිබෙනවා. ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල අවසන් නිල ප්‍රතිඵල මෙහෙමයි. 


ඉහත සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිව පෙනෙන පරිදි මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කර තිබෙන්නේ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල ආන්තික ඡන්දදායකයින් 43,349 දෙනෙකු විසිනුයි. එම එක් එක් ප්‍රාන්තය තුළ ලිබටේරියන් අපේක්ෂිකාව වූ ජෝ ජෝර්ගන්සන් විසින් ලබා ගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉක්මවනවා.

ජනාධිපති ට්‍රම්ප්ව ගෙදර යවන්න හේතු වුනේ මෙවර මැතිවරණයේදී ඡන්ද භාවිතය වාර්තාගත ලෙස ඉහළ යාම බව පැහැදිලි කරුණක්. ඡන්ද භාවිතය ඉහළ ගියේ පසුගිය වසර වලදී පැවැත්වුණු ප්‍රධාන මැතිවරණ වලට සාපේක්ෂවයි. එහෙම වුනේ ඇයි?

මැතිවරණයකදී කිසියම් පුද්ගලයෙකු විසින් ඡන්දය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගනිද්දී සවිඥානිකව හෝ අවිඥානිකව තමන්ට ලැබෙන ආකාර දෙකක වාසි හෝ අවාසි ගැන සලකා බලනවා.

1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර ගැනීමේ හැකියාව නිසා දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වන නමුත් දෙවැන්න ධන හෝ සෘණ අගයක් විය හැකියි. බොහෝ විට සෘණ අගයක්. ඒ වගේම පළමුවැන්න තමන්ගේ ඡන්දය නිසා ප්‍රතිඵලය වෙනස් වීමට තිබෙන සම්භාවිතාව මත වෙනස් වන දෙයක්. 

ඇමරිකානු ජනාධිපතිවරණය වැනි අවස්ථාවකදී ඡන්දය දැමීමේ ක්‍රියාවලිය හරහා ඡන්දදායකයෙකුට ලැබෙන ශුද්ධ වාසිය පහත ආකාරයට සරල ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. මෙහිදී පහසුව සඳහා තෙවන අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් සාධක වල බලපෑම් බැහැර කර තිබෙනවා.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 
C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

දැන් මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

ඇමරිකාව වැනි රටක මැතිවරණ ප්‍රතිඵල මත ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. කවුරු ජනාධිපති වුනත් අපි හම්බ කළොත් අපි කනවා. ඒ නිසා, U1 හා U0 අතර ලොකු වෙනසක් නැහැ. පරතරය අඩුයි. ඒ වගේම, තමන් වාසය කරන්නේ දෝලන ප්‍රාන්තයක නොවේනම් p අගය ඉතාම අඩුයි. ඒ නිසා, සමස්තයක් ලෙස (U1 - U0)p අගය ගොඩක් විශාල නැහැ. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය තුළ සතුටක් ලබන අයෙකුට C>0 නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එවැන්නෙකු හා අදාළව සමස්තයක් ලෙස B>0 නිසා ඔවුන් ඡන්දය දමනවා. එහෙත්, ඡන්දය වෙනුවෙන් වෙනත් වැඩ පැත්තක දමා පැය කිහිපයක් රස්තියාදු වීම වදයක් සේ සලකන අයට C<0 නිසා (C වල ලකුණ නොසලකා මාපාංකය පමණක් ගත්තොත්) ඉහත සූත්‍රය B = (U1 - U0)p - C බවට පත් වෙනවා. එවැන්නෙකුට B>0 වෙන්නේ (U1 - U0)p > C වුවහොත් පමණයි. ඒ කියන්නේ ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය ඡන්දය දමන්නට යාමේ කෙටිකාලීන අවාසියට වඩා වැඩිනම් පමණයි.

සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අය බොහෝ විට ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය එතරම් විශාල සේ සලකන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට ඡන්දය දැමීමේ ක්‍රියාවලිය වියදමක් සේ සලකනවා. ඒ නිසා එවැනි අය සාමාන්‍යයෙන් ඡන්දය දැමීමට දක්වන උනන්දුව අඩුයි.

මේ වෙද්දී ඇමරිකාව විශාල ලෙස දේශපාලනිකව බෙදුණු රටක්. දේශපාලනික බෙදීම තීව්‍ර වන තරමට U1 හා U0 අතර පරතරය විශාල වෙනවා. එවිට (U1 - U0)p ඉහළ ගොස් B ඉහළ යනවා. ඡන්ද භාවිතය ඉහළ යනවා. මෙවර වගේම 2016 මැතිවරණයේදීත් ඇමරිකාවේ ඡන්ද භාවිතය යම් තරමකින් ඉහළ යාමට මේ සාධකය ඉවහල් වුනා.

කෝවිඩ් නිසා ඡන්දය දමන්නට ඡන්ද පොළට යාමේ හා එහි පැය කිහිපයක් ගත කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ ගියා. ඒ කියන්නේ C අගය ඉහළ ගියා. ඒ අනුව, සිදු විය හැකිව තිබුණේ (U1 - U0)p - C අගය පහළ ගොස් ඡන්ද භාවිතය අඩු වීමයි. මෙය සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. ඒ වගේම කෝවිඩ් වලට වැඩිපුර බය අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. මේ දෙකෙන්ම විය හැකිව තිබුණේ රිපබ්ලිකන් ඡන්ද අඩු ප්‍රමාණයක් අඩු වෙද්දී ඩිමොක්‍රටික් ඡන්ද වැඩි ප්‍රමාණයක් අඩු වීමයි.

මේ තත්ත්වය කලින් අවබෝධ කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල C අගය අඩු කිරීමට කටයුතු කළා. කොන්දේසි විරහිතව තැපැල් ඡන්ද දැමීමට ඉඩ දීමෙන් කළේ එයයි. මේ නිසා, එසේ නොකළේනම් B<0 විය හැකිව තිබුණු බොහෝ දෙනෙකුට B>0 වුනා. ඒ බොහෝ දෙනෙක් පැයේ ශ්‍රමයට රැකියා කරන අඩු ආදායම්ලාභීන්, සංක්‍රමණිකයින්, සුළු ජාතිකයින් වැනි ඩිමොක්‍රටික් නැඹුරුවක් තිබුණු අයයි. එහි වාසිය බයිඩන්ට ලැබුණා. මෙය එක අතකින් කෝවිඩ් නිසා ලැබුණු අනපේක්ෂිත වාසියක්.



Saturday, November 14, 2020

බයිඩන් නැගිට්ටේ කොහොමද?


ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි, මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

දැන් මේ ආකාරයට කිසියම් පක්ෂයක් යටතේ ලියාපදිංචි වුනා කියලා එම පක්ෂයටම ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වී හිටියත්, රිපබ්ලිකන් හෝ වෙනත් පක්ෂයක් යටතේ ලියාපදිංචි වී හිටියත්, කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයෙකු ලෙස ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වී හිටියත්, කිසිදු වෙනසක් නැතුව ජාතික මැතිවරණයකදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න පුළුවන්. මේ විදිහටම ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට ඡන්දය දෙන්නත් පුළුවන්.

මේ නිදහස තිබුණත් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වන අය, අපේක්ෂා කළ හැකි පරිදිම, බොහෝ විට ඡන්දය දෙන්නේ එම පක්ෂයේ අපේක්ෂකයෙකුටයි. රිපබ්ලිකන් පක්ෂය හා අදාළවත් මෙය එලෙසමයි. කුඩා පක්ෂ යටතේ ලියාපදිංචි වී ඉන්න අයනම් අන්තිමේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක දුලබ දෙයක් නෙමෙයි. පක්ෂයකට බැඳීමක් නැති අය බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දෙනවා වගේම ඔවුන් බොහෝ දෙනෙකුටත් මේ පක්ෂ දෙකෙන් එකක් වෙත නැමියාවක් තිබෙනවා. වෙනස පක්ෂය වෙත බැඳීම එතරම් දැඩි නොවීම පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙකුත් "පාවෙන ඡන්දදායකයින්" කියා කිව හැකි අය නෙමෙයි.

එක් එක් පක්ෂ යටතේ ලියාපදිංචි වන ඡන්දදායකයින් ප්‍රමාණ අනුව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. කැලිෆෝර්නියා ප්‍රාන්තය සැලකුවොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමාණය රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රමාණයට වඩා දෙගුණයකට ටිකක් අඩුයි. මැතිවරණයේ සැබෑ ඡන්ද භාවිතය බැලුවහම ගොඩවල් දෙකම විශාල වී තිබුණත් ආසන්න වශයෙන් අනුපාතය සමානයි.

කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ බල කඳවුරක් වන කැලිෆෝර්නියා ප්‍රාන්තය අත ඇරලා පක්ෂ දෙකටම ආසන්නව සමාන බලයක් තිබෙන ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තයක් දිහා බැලුවත් ඉහත කී කරුණ තහවුරු කර ගන්න පුළුවන්. නමුත්, ඒ මත පදනම්ව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්න අසීරුයි. මෙවර මැතිවරණයට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයින් පක්ෂ වලට බෙදී සිටියේ (හෝ නොසිටියේ) පහත ආකාරයටයි.

ඩිමොක්‍රටික් - 5,203,795 (37.0%)

රිපබ්ලිකන් - 5,020,199 (35.7%)

වෙනත් පක්ෂ - 188,587 (1.3%)

පක්ෂයකට බැඳීමක් නැති - 3,653,046 (26.0%)

මම කලින් ලිපියක ලිවුවනේ මම පෞද්ගලිකව ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කියලා. ඒ අය අතර රිපබ්ලිකන් පාක්ෂිකයින් නැති තරම්. එහෙත්, ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි නොවූ, "පක්ෂයකට බැඳීමක් නැති" ගොඩේ ඉන්න අය.

මගේ මේ මිතුරු මිතුරියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්. මාද ඇතුළු මේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ එක කකුලක් තවම ලංකාවේ තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. ලංකාවේ ජනමතය නියෝජනය කරමින් මේ බොහෝ දෙනෙක්ද රාජපක්ෂවාදියෝ. එජාප, ජවිපෙ වැනි ලංකාවේ වෙනත් පක්ෂ වලට පක්ෂපාතිත්වයක් තිබෙන ටික දෙනෙක්ද ඉන්නවා. 

ලංකාවේ ජනමතය කියා කිවුවේ අර තාප්ප පාට කරපු කාලයේ ජනමතය ගැන මිසක් දැන් ජනමතය ගැන නෙමෙයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලයේ හැම තැනම හිටියේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු අය. හැබැයි ටික දවසක් යද්දී එහෙම කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. බේතකට වගේ ඕනෑ වුනොත් රාජපක්ෂවාදීන්නම් තවමත් හොයාගන්න අමාරු නැහැ.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කාලයේදී වුවත් ඇමරිකාවෙන් පිටත ඔහුට තිබුණේ දැඩි අප්‍රසාදයක්. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල. එහෙත්, ලංකාවේ ජාතිකවාදීන් හා රාජපක්ෂවාදීන් හිටියේ මීට වඩා වෙනස් ස්ථාවරයක. ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම කැමැත්තක් තිබුණු රට සමහර විට ලංකාව වෙන්න වුනත් බැරි නැහැ.

හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි.

ලාංකික සම්භවයක් නැති මගේ මිතුරු මිතුරියන්ගෙන් වැඩි දෙනෙක්ද සංක්‍රමණිකයින්. මේ අය අතර ඉන්දියාව, චීනය, වෙනත් නැගෙනහිර හා දකුණු ආසියානු රටවල්, රුසියාවෙන් හා පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් වලින් පැමිණි අය, දකුණු ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි අය, අප්‍රිකාවේ විවිධ රටවලින් පැමිණි අය වගේම බටහිර යුරෝපීය රටවල් වලින් හා කැනඩාවෙන් පැමිණි අයත් ඉන්නවා. පොදුවේ ගත්තහම මේ කාගේත් කැමැත්ත තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ඔවුන් වැඩි දෙනෙක් ට්‍රම්ප් විරෝධීන්.

ඊට අමතරව මගේ මිතුරන් සේ සැලකිය හැකි සංක්‍රමණිකයින් නොවන සුදු ඇමරිකානුවන් හැම දෙනෙක්ම වාගේත් ඩිමොක්‍රටික් පැත්තට බර අයයි. ඔවුන් හැම දෙනෙක්ම වගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන වෘත්තීය රැකියා කරන අය. ඒ අයට පොදු වශයෙන් ගත් විට ට්‍රම්ප් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් විද්‍යාව පිළි නොගැනීම හා ඇමරිකාවේ ආයතනික පද්ධතියට ගරු නොකිරීම හේතුවෙනුයි.

වෘත්තීය මට්ටමෙන් මා දන්නා රිපබ්ලිකන් පක්ෂයට බර අදහස් ඇති, පොදුවේ ඇමරිකාව තුළ හා ඇමරිකාවෙන් පිටතත් පිළිගැනීමක් තිබෙන, ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ විද්‍යාව මත පදනම්වයි. රිපබ්ලිකන් පාක්ෂිකයින් වුවත් ඔවුන්ගෙන් ඇතැම් අයටත් ට්‍රම්ප් සමඟ ප්‍රශ්න තිබෙනවා.

කෙසේ වුවත්, මා ජීවත් වන ප්‍රදේශය ඉතා පැහැදිලි ලෙසම රිපබ්ලිකන් ප්‍රදේශයක්. මේ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර මා සමඟ හිතවත්, නිතර හමුවෙන හා කතාබස් කරන, අසල්වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා විය යුතුයි. එහෙත්, ඔවුන් දේශපාලනය කතා කරන්න එන්නේ නැහැ. ඇතැම් විට මා සංක්‍රමණිකයෙකු හා සුළු ජාතිකයෙකු වීම ඊට හේතුවක් විය හැකි වුවත් ඊටත් වඩා මෙය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන අයගේ මූලික ස්වභාවයක්.

ට්‍රම්ප්වාදීන් ට්‍රම්ප් විරෝධීන්ට සාපේක්ෂව පැත්තකට වී පාඩුවේ ඉන්න පිරිසක්. ඔවුන් තර්කනය මත පදනම්ව හෝ සාක්ෂි මත පදනම්ව තීරණ ගන්නා අය නෙමෙයි. ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ.

පසුගිය දෙසැම්බරය වන විටත් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය පෙනෙන සීමාවක හිටියේ නැහැ. පළමුව කෝවිඩ්-19 වසංගතය විසිනුත්, දෙවනුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව හමා ගිය විරෝධතා රැල්ල නිසාත් ඩිමොක්‍රටික් පක්ෂයට ගැම්මක් ආවා. හැබැයි කරුණු දෙකේදීම ට්‍රම්ප්ගේ විවේචකයින් වී සිටියේ කොහොමටත් ට්‍රම්ප් විරෝධීන්ව සිටි අයයි. ට්‍රම්ප්වාදීන් දිගටම ට්‍රම්ප් සමඟ හිටියා. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට හේතු වුනේ ට්‍රම්ප්වාදීන්ව සිටි ඇමරිකානුවන් විසින් ට්‍රම්ප්ව අතහැර බයිඩන්ව වැළඳ ගැනීම නෙමෙයි. එහෙම දෙයක් වුනේ නැහැ.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ යාමයි. එසේනම්, අපට විග්‍රහ කරන්න වෙන්නේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ ගියේ කොහොමද කියන කාරණයයි. බ්ලොග් එක පටන් ගත් අලුත ලියා පළ කළ පහත ලිපිය මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.



(Image: https://www.reddit.com/r/pics/comments/12xwqq/joe_biden_doing_pushups_with_little_girls/)

Friday, November 13, 2020

ඇමරිකාවේ සමාජවාදය


ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.

ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට  "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.

එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා. 

ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.

පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.

ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.

සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)

මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. 

ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා. 

ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!

සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි. 

කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්. 

ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්. 

මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.


Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


Monday, November 9, 2020

ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!


පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ හා ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක් එක වර පැවැත්වෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව මෙතෙක් අපරාධ වරදක් වූ හෙරොයින්, කොකේන් ඇතුළු දරුණු ගණයේ ලා සැලකෙන මත්ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් වාණිජ නොවන අරමුණකින්, තමන්ගේ පාවිච්චිය සඳහා ළඟ තබා ගැනීම තව දුරටත් අපරාධ වරදක් වන්නේ නැහැ. ඔරිගන් ඡන්දදායකයින්ගෙන් 59.51%ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙය මෙවැනි යෝජනාවක් ඇමරිකාවේ සම්මත වූ පළමු අවස්ථාවයි. පෘතුගාලයේනම් කලක සිටම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නෙමෙයි.

මේ යෝජනාවේ අරමුණ මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානි අඩු කිරීමයි. යෝජනාව සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත වන්නේ නැතත්, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් සේ දකිනවා වෙනුවට ඇබ්බැහි වූවන් පිළිබඳව මානුෂික මුහුණුවරකින් බලා මත්ද්‍රව්‍ය භාවිතය යනු ප්‍රතිකාර කළ යුතු රෝගයක් සේ දකිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කෙරෙනවා. එය නොකරන්නේනම් ඩොලර් 100කට නොවැඩි සුළු දඩ මුදලක් පමණක් අය කළ හැකියි.

මෙතෙක් ඔරිගන් ප්‍රාන්තය තුළද ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අසු වූ විට සිර දඬුවම් දෙනු ලැබුවා. එහෙත්, සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන පරිදි භාවිතා කරන්නන් සිරගත කිරීමෙන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවතින්නේ නැහැ. සිරෙන් නිදහස් වන ඔවුන් නැවත නැවතත් සිරගත වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

වරක් අපරාධ වරදකට වරදකරුවෙකුට වූ අයෙකුට රැකියාවක් ලබා ගැනීම, කුලියට නිවසක් ගැනීම ආදී බොහෝ දේ අසීරු වෙනවා. ඒ නිසා, නැවතත් පරණ වලේම වැටී සිරගත වෙනු හැර ගොඩ යන්න අවස්ථාවන් අඩුයි. එයින් වෙන්නේ මහජන මුදල් නාස්තියක්.

"කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීම" ලංකාවේ අයෙකු අසා නැති දෙයක් නෙමෙයි. ඔය විදිහට ඇතුළට යන අය ගියේ ඇත්තට වුනත්, බොරුවට වුනත්, ආපහු එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයා නෙමෙයි. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටින අය බොහෝ විට වරදකරුවන් වුවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නම් ලේසියකට අහුවෙන්නේ නැහැ.

අලුත් නීතිය සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන අසුවන අයව මහජන මුදලින් පුනරුත්ථාපනය කෙරෙනවා. යෝජනාව අනුව, මීට පෙර ගංජා භාවිතය නීතිගත කිරීමෙන් පසු ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙමින් පවතින බදු හා ගාස්තු වලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කෙරෙනවා.

ඔරිගන් වැසියන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නීති ලිහිල් කර ගනිද්දී තවත් ප්‍රාන්ත ගණනාවක ගංජා භාවිතය නීතිගත කර ගැනීම වෙනුවෙන් වූ ජනමතවිචාරණ ජයග්‍රහණය කර තිබෙනවා.


වෙබ් ලිපිනය: