වෙබ් ලිපිනය:

Showing posts with label ඒකාධිකාර. Show all posts
Showing posts with label ඒකාධිකාර. Show all posts

Thursday, February 13, 2025

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?


තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන් ගණනාවක් තිබෙනවා. කිසියම් වෙළඳපොළක ව්‍යුහය තීරණය වෙන්නේ අදාළ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව ඇතුළු වාස්තවික සාධක ගණනාවක් මතයි. රාජ්‍ය මැදිහත්වීම් වෙළඳපොළ ව්‍යුහය තීරණය කරන එක් සාධකයක් වුනත් එකම සාධකය නෙමෙයි. මුලින්ම අපි මේ වෙළඳපොළ ව්‍යුහයන් හඳුනා ගනිමු.

1. ඒකාධිකාරී වෙළඳපොළ (Monopoly)

2. පූර්ණ තරඟකාරී වෙළඳපොළ (Perfect competition)

3. ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ (Monopolistic competition)

4. කතිපයාධිකාරී වෙළඳපොළ (Oligopoly)

තවත් ව්‍යුහයන් තිබුණත් මේ හතර ප්‍රධානම ව්‍යුහයන් හතර කියා කියන්න පුළුවන්. මේ අතරින් මුල් ව්‍යුහ දෙක අන්ත දෙකක් නියෝජනය කරනවා. 

ඒකාධිකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී වෙළඳපොළක ඉන්නේ එක් සැපයුම්කරුවෙක් පමණයි. හරියට ලංකාවේ විදුලි බල සැපයුම් වෙළඳපොළ වගේ. නමුත් මෙය හොඳ උදාහරණයක් නෙමෙයි. මොකද ලංකාවේ මේ ඒකාධිකාරය හැදිලා තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ, නිදහස් තරඟයක් තුළ නෙමෙයි. එය එසේ වී තිබෙන්නේ රජයේ මධ්‍යගත සැලසුමක කොටසක් විදිහට. කැමති අයෙකුට නිදහසේ අදාළ සේවාව සපයන්න පුළුවන්කම තිබියදීත් ඒකාධිකාරයක් හැදී ඇත්නම්, එය වෙළඳපොළ ක්‍රමය ඇතුළේ ස්වභාවිකවම හැදුනු ඒකාධිකාරයක් කියා කියන්න පුළුවන්. ඒ වගේම, ලංකාවේ විදුලිබල සේවා සපයන ලංවිම කියන්නේ පුළුවන් තරම් ලාබ ඉපැයීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකුත් නෙමෙයි. කොහොම වුනත්, ස්වභාවික ඒකාධිකාරයක දැකිය හැකි ඇතැම් ලක්ෂණ මේ ඇසුරෙන් පෙන්වන්න පුළුවන්.

ඒකාධිකාරී වෙළඳපොළක තිබෙන විශේෂම ලක්ෂණය සැපයුම්කරුට මිල හෝ සැපයුම යන දෙකෙන් ඕනෑම එකක් පාලනය කරන්න පුළුවන් වීම. මොකද මිල වැඩි කළා කියලා අඩුවෙන් විකුණන්න වෙන තරඟකරුවෙක් නැහැ. සැපයුම සීමා කලා කියලා වෙළඳපොළ පංගුව අල්ල ගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා, ලංවිමට අවශ්‍යනම් මිල තීරණය කරන්න පුළුවන්. සැපයුම සීමා කරන්නත් පුළුවන්. 

හැබැයි මේ විදිහට වෙළඳපොළ මිල හෝ සැපයුම යන දෙකෙන් එකක් පාලනය කළ හැකි වුනත්, ඒකාධිකාරී සැපයුම්කරුවෙක් "අසීමිත ලෙස" මිල වැඩි කරන්නේ නැහැ. ඊට හේතුව, එක් සීමාවකින් එහාට මිල වැඩි කිරීමෙන් ලාබය අඩු වීමයි. විදුලි ගාස්තු උදාහරණයට ගත්තොත්, මිල වැඩි කරන තරමට විදුලි පරිභෝජනය අඩු වෙනවා. මිල වැඩි කිරීමේ වාසියට වඩා ඉල්ලුම අඩු වීමේ අවාසිය වැඩිනම්, තව දුරටත් මිල වැඩි කරලා ලාබ ගන්න බැහැ. ඒ සීමාවේදී ඒකාධිකාරී සැපයුම්කරුවෙක් මිල වැඩි කරන එක නවත්වනවා. ඉහළ මිල නිසා වක්‍ර ලෙස සැපයුමද සීමා වෙනවා. එසේ නැත්නම්, ප්‍රසස්ත මට්ටමකදී සැපයුම සීමා කරනවා. සැපයුම් සීමාව නිසා මිල අවශ්‍ය තරම් ඉහළ මට්ටමක රැඳෙනවා.

මේ වගේ ඒකාධිකාරී වෙළඳපොළක වුනත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල තීරණය වෙන්නේ ඒ අනුව. නමුත් සැපයුම තීරණය කරන්නේ එක් සැපයුම්කරුවෙක් විසින් නිසා අවසාන වශයෙන් මිල තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාවක් ඒකාධිකාරී සැපයුම්කරුට තිබෙනවා. 

ඔය වැඩේම අනෙක් පැත්තට වෙද්දී එයට ක්‍රයේධිකාරයක් (Monopsony) කියා කියනවා. ක්‍රයේධිකාරයකදී ඉන්නේ එක් ගැනුම්කරුවෙක් පමණයි. මිල හෝ ඉල්ලුම තීරණය කරන්නේ මේ එකම ගැනුම්කරුවා විසින්. උදාහරණයක් විදිහට ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය නිපදවන නිෂ්පාදකයින් සියලු දෙනාටම විදුලිය විකුණන්න වෙන්නේ ලංවිමට. මිල තීරණය කරන්නේ ගැනුම්කරුවා විසින්. සැපයුම්කරුවෙකුට මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකියි.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් කරුණු ගණනාවක් සම්පූර්ණ විය යුතුයි.

i) විකුණන භාණ්ඩය හෝ සේවාව සමජාතීය වීම සහ එහි ගුණාංග පොදු දැනුමක් වීම 

ii) නිෂ්පාදන තාක්ෂනය සරල වීම සහ ඒ නිසාම බොහෝ දෙනෙකුට අපහසුවකින් තොරව අදාළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ හැකි වීම 

iii) නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු වීම සහ ඒ නිසාම අලුත් තරඟකරුවෙකුට ඉතා කෙටි කළකින් නිෂ්පාදනය ආරම්භ කළ හැකි වීම සහ අවශ්‍ය විටක නිෂ්පාදනය නැවැත්විය හැකි වීම.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක විශේෂත්වය වන්නේ කිසිදු තරඟකරුවෙකුට වෙළඳපොළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැකි වීමයි. 

මේ සඳහා උදාහරණයක් ලෙස ඉඳි ආප්ප හදා විකිණීම පෙන්විය හැකියි. මේ වැඩේ කරන්නට විශාල පුහුණුවක් අවශ්‍ය නැහැ. තාක්ෂනය සරලයි. විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ නිසා, කැමති කෙනෙකුට කැමති වෙලාවක නිෂ්පාදනය පටන් ගන්න ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, ලොකුවට සල්ලි යට කරලා නැති නිසා, නිෂ්පාදනය නැවැත්වුවා කියලා ලැබෙන ආදායම නැති වෙනවා මිසක් වෙනත් අමතර පාඩුවක් වෙන්නේත් නැහැ. අනෙක් පැත්තෙන් ඉඳි ආප්ප කිවුවම ඉඳි ආප්ප තමයි. පාන් පිටි ඉඳි ආප්ප සහ හාල් පිටි ඉඳි ආප්ප වගේ ප්‍රභේද තිබුණත්, මේ කරුණු එවැනි ප්‍රභේද බොහොමයකට එක සේ අදාළයි. 

ඉඳි ආප්පයක මිල වැඩි කළ හැක්කේ හැමෝම එසේ කරනවානම් පමණයි. එහෙම වෙන්නේ පිටි මිල වැඩිවීම වැනි අවස්ථාවකදී පමණයි. ඒ කියන්නේ පිරිවැය ඉහළ යද්දී. එය කාටත් පොදුවේ බලපාන දෙයක්. ඒ හැර එක් අයෙකුට වැඩි මිලකට ඉඳි ආප්ප විකුණා ලාබ ගන්න බැහැ. එහෙම කළොත් වෙනත් තරඟකරුවෙක් ඒ වෙළඳපොළ පංගුව අල්ලා ගන්නවා.

බිත්තර නිෂ්පාදනයත් ඔය ගොඩට දමන්න පුළුවන්. බිත්තර කිවුවහම කොයිවත් බිත්තර. හදන නිෂ්පාදකයා අනුව බිත්තර වල වෙනසක් නැහැ. තමන් මිල දී ගන්නා බිත්තරය ගැන සැපයුම්කරුවාට තිබෙන දැනුමම පාරිභෝගිකයාටත් තිබෙනවා. අල්ලගන්න අමාරු ලොකු තාක්ෂණයක් නැහැ. යම් මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වුනත්, එය ඒ තරම්ම විශාල නැහැ. ඒ ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඉඳි ආප්ප නිෂ්පාදනය වගේ එක දවසකින් නිෂ්පාදනය පටන් ගන්න බැහැ. කුකුළු පැටවු ලොකු වෙලා බිත්තර දමන වයසට ආ යුතුයි. ඒ වගේම, එක දවසකින් නිෂ්පාදනය නවත්වන්නත් බැහැ. කිකිළියෝ දිගටම බිත්තර දමනවා. නමුත් මාස ගණනක් ඇතුළත නිෂ්පාදනය පටන් ගන්න හෝ නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. වැදගත්ම කාරණය එක නිෂ්පාදකයෙකුට වෙළඳපොළ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ. ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන වෙළඳපොළ මිලට බිත්තර විකුණන්න වෙනවා. තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

වී නිෂ්පාදනය සැලකුවත් ඔය ලක්ෂණ තිබෙනවා. විවිධ වී වර්ග තිබෙනවා තමයි. නමුත් ඒ කිසියම් නිශ්චිත වී වර්ගයක් සැලකුවත් නිෂ්පාදකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා සතුවම අවශ්‍ය නිෂ්පාදන තාක්ෂනය තිබෙනවා. ඉඩම් වැනි මූලික ප්‍රාග්ධන සම්පත් තිබෙනවා. ලංකාවේ වී ගොවිතැන් කරන ගොඩක් ඉඩම් නිදහසේ විකුණන්න බැරි වුනත්, වෙනත් අයෙකුට ඉඩම බදු දී නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසාම, සුදුසු ඉඩමක් තමන් සතුව නැති අයෙකුට වෙනත් අයෙකුගේ ඉඩමක් බදු ගෙන නිෂ්පාදනයට පිවිසෙන්නත් පුළුවන්. වැදගත්ම කරුණ තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ මිශ්‍ර වී තිබෙන වෙළඳපොළක් කියා කියන්න පුළුවන්. පූර්ණ තරඟකාරී වෙළඳපොළකට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධානම වෙනස අදාළ භාණ්ඩය හෝ සේවාව සමජාතීය නොවීමයි. හැමෝම සපයන්නේ පොදු ලක්ෂණ ගණනාවක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිසා සැපයුම්කරුවන් අතර තරඟයක් තිබෙනවා. නමුත්, ඒ අතරම, එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ සුවිශේෂී ලක්ෂණ තිබෙනවා. මේ හේතුව නිසා, තරඟකාරී සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටියත්, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කිරීමේ හැකියාවක් තිබෙනවා. 

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළකට හොඳම උදාහරණය ලෝකයේ පැරණිම රැකියාව කරන අයගේ කර්මාන්තය. කර්මාන්තයට ඇතුළු වෙන්න කිසිම අමාරුවක් නැහැ. අමුතුවෙන් ඉගෙන ගන්න කියලා ලොකු තාක්ෂනයකුත් නැහැ. ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා, නීත්‍යානුකූල වෙළඳපොළක් නොවුනත් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලු දෙනාම පොදුවේ එකම සේවාව සපයන අය වුනත්, සැපයුම්කරුවාගෙන් සැපයුම්කරුවාට වෙනසක් තිබෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කළ හැකියි.

මීට සාපේක්ෂව යම් පුහුණුවක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය රූපලාවන්‍යාගාර කර්මාන්තය තවත් උදාහරණයක්. කොයි තරම් රූපලාවන්‍යාගාර තිබුණත්, පාරිභෝගිකයෝ හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. 

සුපිරි වෙළඳසැලක ෆුඩ් කෝට් එක තවත් උදාහරණයක්. මෙහිදී පාරිභෝගිකයින්ට හොඳ තේරීමක් තිබුණත් ඔවුන් හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. හැම සැපයුම්කරුවෙක් විසින්ම කෑම සපයන නමුත් එක් එක් සැපයුම්කරු විසින් සපයන කෑම අනන්‍යයි. 

මේ අනුව පෙනෙනු ඇත්තේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සලකුණු වෙන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ස්වභාවය අනුව බවයි. එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ පාරිභෝගිකයාට හඳුනාගත හැකි ලොකු වෙනසක් නැත්නම් එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙනවා. එවැනි පැහැදිලි වෙනස්කම් ඇති විට එය ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් වෙනවා. ඒ නිසාම, සැපයුම්කරුට මිල කෙරෙහි බලපෑමක් කළ හැකි වෙනවා. 

ඉහත වෙනස හැරුණු විට මේ වෙළඳපොළ ව්‍යුහයන් දෙකේම පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු මට්ටමක තිබීම, අවශ්‍ය තාක්ෂනය සරල වීම, සැපයුම්කරුවෙකුට පහසුවෙන් කර්මාන්තයට පිවිසීමට සහ එයින් පිටවීමට හැකි වීම ඒ අතරින් විශේෂයි.

මේ විදිහට වෙන් කළත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර ඉරක් ඇඳ වෙන් කරන එක අසීරු වැඩක්. සැබෑ බොහෝ තරඟකාරී වෙළඳපොළ වල ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ යාන්තමින් හෝ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම හෝ ගීත ගැයීම වගේ දෙයක් සැලකුවොත්, එක් එක් ක්‍රීඩකයා හෝ ගායකයා සෑහෙන දුරට අනන්‍යයි. ඒ නිසා බොහෝ දුරට ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක්. ත්‍රිරෝද රථ සේවා සැපයීම වගේ දෙයක් සැලකුවත්, එක් එක් රියදුරා වෙනස්. නමුත් මේ වෙනස ඒ තරම්ම වැදගත් වෙනසක් නෙමෙයි. ඒ නිසා මෙහි ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ තිබෙන්නේ ඉතාම සුළුවෙන්. ඒ නිසා, මෙම වෙළඳපොළ බොහෝ දුරට පූර්ණ තරඟකාරී වෙළඳපොළක් සේ සලකන්න පුළුවන්. එසේ වුවත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සන්තතික ලෙස වෙනස් වන දෙයක් මිසක් ඉරක් ඇඳ ගොඩවල් දෙකකට වෙන් කළ හැකි වෙනසක් නෙමෙයි. 

කතිපයාධිකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ කතිපයාධිකාර හැදෙන බව බොහෝ විට නිරීක්ෂණය කළ හැකියි. මෙයත්  ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක අතරමැදි තත්ත්වයක්. පූර්ණ තරඟකාරී වෙළඳපොළක මෙන් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. නමුත්, සැපයුම්කරුවන් එක් අයෙකුට වඩා සිටින බැවින් ඔවුන් අතර තරඟයක් තිබෙනවා. ඒ නිසා, එක් අයෙකුට නිදහසේ මිල හෝ සැපයුම තීරණය කරන්න බැහැ. එසේ වුවත්, සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් නැති නිසා මිල හා සැපයුම කෙරෙහි යම් බලපෑමක් කළ හැකියි. සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වන තරමට මෙසේ බලපෑම් කිරීමේ හැකියාව ඉහළ යනවා.

දුරකථන සේවා සැපයීම, බැංකු සේවා සැපයීම ආදිය කතිපයාධිකාර ලෙස සලකන්න පුළුවන්. එය එසේ වී තිබෙන්නේ රජයේ නියාමනය නිසා වුවත්, මේ වගේ වෙළඳපොළ වල නියාමනයක් සිදු නොවුනත් බොහෝ විට කතිපයාධිකාර හැදෙන්න ඉඩකඩ වැඩියි. සබන්, දන්තාලේප වගේ නිෂ්පාදන සැලකුවත් කතිපයාධිකාර දකින්න පුළුවන්. 

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් හෝ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් නොහැදී කතිපයාධිකාර හැදෙන්නේ සුවිශේෂී වාස්තවික හේතු නිසා. මේ අතර ප්‍රධානම හේතුනම් අවශ්‍ය මූලික ප්‍රාග්ධනය විශාල වීම සහ අදාළ තාක්ෂණය සංකීර්ණ වීමයි. 

දුරකථන සේවා කර්මාන්තයේ මේ ලක්ෂණ දෙකම පැහැදිලිව දකින්න පුළුවන්. කර්මාන්තයට පිවිසෙන්න විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, සංකීර්ණ තාක්ෂනික දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබෙන විශාල පිරිසක් නැහැ. ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තයක් ප්‍රචලිතව නැත්තේ ඔය සාධක සම්පූර්ණ නොවන නිසා. 

ඉහත සීමාවන් නිසා මේ වගේ කර්මාන්තයකට පහසුවෙන් ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම, ඇතුළු වුනාට පස්සේ එක පාරට අත ඇරලා යන්නත් බැහැ. එහෙම කළොත් මුලින් කරපු විශාල ආයෝජනය වතුරේ.

සබන් හදන එක වගේ දෙයක්නම් සුළු පරිමාණයෙන් පටන් ගන්න බැරිකමක් නැහැ. තාක්ෂනය දුරකථන සේවා සපයන එක වගේ සංකීර්ණ නැහැ. නමුත් ඒ විදිහට අලුත් සබන් වර්ගයක් හදලා වෙළඳපොළ අල්ලා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ වෙළඳපොළේ ඉන්න අය හදාගත්ත නමක් තියෙනවා. එහෙම කරන්න හැකි වී තිබෙන්නේ පොදුවේ සබන් කියා කිවුවත් එක් එක් සබන් වර්ගය සුවිශේෂී නිසා. ඒ කියන්නේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න හේතු වන තත්ත්වයන් මෙහිදීත් දැකිය හැකි නිසා. 

කාලයක් යද්දී ඇතැම් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළවල් කතිපයාධිකාරී වෙළඳපොළවල් බවට පරිණාමය වෙනවා. රූපලාවන්යාගාරයක්, කෑම කඩයක් හෝ කෝපිහලක් දැම්මට පස්සේ එයට ඉල්ලුම වැඩිනම් ඒ නමෙන්ම තවත් තැනක ශාඛාවක් දමන්න අවස්ථාව ලැබෙනවා. ඔය විදිහට ශාඛා ව්‍යාප්ත වෙලා ජනප්‍රිය සන්නාම හැදෙනවා. ජනප්‍රිය සන්නාමයකට සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් අල්ලා ගන්න පුළුවන්. ඒ වගේ සන්නාම කිහිපයක් හැදිලා වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටස සැපයුම්කරුවන් කිහිප දෙනෙකුගේ අතට ගියාම වෙළඳපොළක් ස්වභාවිකවම කතිපයාධිකාරයක් වෙනවා.

ඉහත කී තත්ත්වය යටතේ අලුත් සැපයුම්කරුවෙකුට කර්මාන්තයට පිවිසෙන්න බාධාවක් නැහැ. ඒ නිසාම, තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නත් පුළුවන්. නමුත් වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටසක් තිබෙන්නේ එයින් කිහිප දෙනෙකු අතේ. ඔවුන්ට වෙළඳපොළ මිලට සහ සැපයුමට දැනෙන බලපෑමක් කරන්න පුළුවන්. මේ විදිහේ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ ව්‍යුහකට ගොඩක් සමාන නිසා ඔය ප්‍රවර්ග දෙක අතර දැකිය හැක්කේත් ඉරක් ඇඳ වෙන් කරන්න අමාරු සන්තතික වෙනස් වීමක්.

කතිපයාධිකාර කියන්නේ වැරැද්දක් නෙමෙයි. යම් වාස්තවික තත්ත්වයන් යටතේ හැදෙන්න පුළුවන් වඩාත්ම කාර්යක්ෂම වෙළඳපොළ ව්‍යුහය කතිපයාධිකරයක්. අදාළ තාක්ෂනය සංකීර්ණ වන තරමට සහ අවශ්‍ය ප්‍රාග්ධනය විශාල වන තරමට වෙළඳපොළ තුළ රැදී සිටිය හැකි උපරිම සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය තමයි වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන් ප්‍රමාණය. මේ ප්‍රමාණය දෙකක් පමණක්නම් ද්වයාධිකාරයක් (Duopoly) හැදෙනවා. 

වාණිජ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය සැලකුවොත් ලෝකයේම ඉන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණයි. ඒ තත්ත්වය අදාළ සාධක යටතේ ස්වභාවිකවම ඇති වී තිබෙන තත්ත්වයක්. තුන්වැන්නෙකුට මේ කර්මාන්තයට එන්නනම් ඉතාම විශාල ප්‍රාග්ධනයක් යොදවන්න වෙනවා. ඒ වගේම ඉතාම සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබුණත්, නොදන්නා සැපයුම්කරුවෙකුගෙන් ගුවන් යානයක් මිල දී ගනිද්දී එහි විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ විශ්වාසය ගොඩ නගාගන්න විශාල කාලයක් යනවා. දැනට වෙළඳපොළේ ඉන්න සැපයුම්කරුවෝ දෙන්නා කාලයක් තිස්සේ ඒ විශ්වාසය ගොඩ නගාගත් අය. 

ද්වයාධිකර තත්ත්වයකදී එක් සැපයුම්කරුවෙකුට විශාල බලයක් ලැබුණත්, සැපයුම්කරුවන් දෙදෙනා අතර තරඟය තව දුරටත් තිබෙනවා. ඒ නිසා, ඒකාධිකාරයකදී තරම් පහසුවෙන් ලාබ උපයන්න බැහැ. යම් හෙයකින් ඒ වගේ විශාල ලාබ උපයනවානම්, එයින් තෙවැන්නකුට අවදානම ගෙන වෙළඳපොළට පිවිසීම දිරිමත් කෙරෙනවා. එවැන්නක් සිදු නොවන්නේ දැනට සිටින සැපයුම්කරුවන් දෙදෙනා අතර සැලකිය යුතු මට්ටමක තරඟයක් තිබෙන නිසා. 

ද්වයාධිකාර හැදෙන විදිහටම, වෙළඳපොළ ක්‍රමය ඇතුළේම ඒකාධිකාරත් හැදෙන්න පුළුවන්. නමුත් ලංකාව වගේ රටක, ආර්ථිකය විවෘතව පවතිද්දී, එවැනි ඒකාධිකාර හැදීමේ ලොකු ඉඩක් නැහැ. ඊට හේතුව, රටට පිටතින් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටීමයි. ඒකාධිකාර කියන්නේ බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ ආර්ථික වල ප්‍රශ්නයක්. එවැනි රටක වුවද ඒකාධිකාර හැදෙන එක කලාතුරකින් සිදු වන දෙයක්. ඇමරිකන් රජය මුල් වී බිඳ දමනු ලැබූ මයික්‍රොසොෆ්ට් වෙබ් බ්‍රවුසර් ඒකාධිකාරය උදාහරණයක්.

ප්‍රායෝගිකව ලෝකයේ දැකිය හැකි ඒකාධිකාර බොහොමයක් වෙළඳපොළ ක්‍රමය තුළ ස්වභාවිකව හැදුනු ඒකාධිකාර නෙමෙයි. ඒවා බොහොමයක් ලංකාවේ විදුලි සේවා සැපයීමේ ලංවිම ඒකාධිකාරය මෙන් රජයයන් විසින් මුල් වී හදා තිබෙන ඒකාධිකාර. එය සිදු වන්නේ වෙළඳපොළ ක්‍රමයට විකල්පයක් වන මධ්‍යගත සැලසුම් ක්‍රමයේ මූලධර්ම අනුවයි. සමහර කතිපයාධිකාර හැදී තිබෙන්නේත් ඒ ක්‍රමයට. උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ පෙන්වන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ක්‍රමය තුළ වුවත් ලංකාවේ ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ තුළ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් හැදෙන්න පුළුවන්. මේ දෙකේ වෙනස දෙවැන්න නිෂ්පාදන තාක්ෂනයේ ස්වභාවය ඇතුළු පවතින තත්ත්වයන් යටතේ කාර්යක්ෂම වීම සහ පළමුවැන්න එසේ නොවීමයි. 

තාක්ෂනික ලෙස බැලුවොත් කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම්කරුවන්ට කාටලයක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම කළොත්, සැපයුම්කරුවන් ගණනාවක් හිටියත්, වෙළඳපොළ ව්‍යුහය ඒකාධිකාරයක් වෙනවා. ඒ නිසා, ඒකාධිකාර සහ කතිපයාධිකාර අතර තියෙන්නෙත් ඉරකින් වෙන් කරන්න අමාරු සන්තතික වෙනසක්. මේ විදිහට කාටල හැදුනොත් වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි වන තරමට කාටල ලෙස කටයුතු කරන එක අසීරු වෙනවා. ටික දෙනෙකුට සම්මුතියක් ඇති කරගැනීම පහසු වුනත් පිරිස වැඩි වෙද්දී එය අමාරු වෙනවා.

කාටල හදන අය ප්‍රසිද්ධියේ, කිය කියා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට සම්මුතියකින් තොරව භාවිතය තුළ කාටල ලෙස කටයුතු කිරීමක් සිදු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් හඳුනා ගන්න එකක් ටිකක් සංකීර්ණ, එහෙත් කළ හැකි වැඩක්. 

මෙහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙක් පමණක් සිටියත්, ඒ දෙදෙනා අතර පූර්ණ තරඟකාරී වෙළඳපොළක තරමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුනොත්, ද්වයාධිකාරයක් වුනත් පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තරමටම කාර්යක්ෂම වෙනවා. ලංකාවේ දුරකථන සේවා සැපයුම් වෙළඳපොළේ මුලින් පැවතුනු ඒකාධිකාරය බිඳුණට පස්සේ හැදුනේ කතිපයාධිකාරයක් වුනත්, සැපයුම්කරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙද්දී එක් අවස්ථාවක ඔවුන් අතර විශාල මිල තරඟයක් ඇති වුනා. තවත් ටිකක් නිදහස් වුනොත්, ඉන්ධන වෙළඳපොළේ වුනත් යම් අවස්ථාවක ඒ මට්ටමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. 

Friday, February 2, 2024

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?


තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා යුතුයි කියලා. 

තරඟකාරිත්වය වැඩි වෙද්දී භාණ්ඩයක මිලට ඇත්තටම වෙන්නේ කුමක්ද?

තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ නිකම්ම නිකම් වියුක්ත අදහසක් පමණක් නෙමෙයි. ලෝකයේ ඇත්තටම පවතින වෙළඳපොළ ආකෘතියක්. එහෙත්, ලෝකයේ පවතින හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. බොහෝ තැන් වල අපට ප්‍රායෝගිකව දැකිය හැකි කතිපයාධිකර වැනි තවත් වෙළඳපොළ ආකෘති ගණනාවක් තිබෙනවා. මේ වෙළඳපොළ ආකෘති අතරින් තරඟකාරී වෙළඳපොළවල් හා ඒකාධිකාර කියා කියන්නේ අන්ත දෙකක් කියා කිව හැකියි. 

සමහර අවස්ථා වලදී රාජ්‍ය මැදිහත්වීම් නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. ඊට අමතරව, වෙළඳපොළ නිදහස හොඳින් තහවුරු වී ඇති විටද, විවිධ ස්වභාවික හේතු නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. මේ දෙවන තත්ත්වය බොහෝ විට නරක තත්ත්වයක් නෙමෙයි. 

ඒකාධිකාරයක් තේරුම් ගන්න එක වෙනත් වෙළඳපොළ ආකෘතියක් තේරුම් ගන්නවාට වඩා පහසුයි. ඒකාධිකාරයක් තේරුම් ගත් පසුව ඊට සාපේක්ෂව අනෙකුත් වෙළඳපොළ ආකෘති වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

ඒකාධිකාරයක් කියන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින, එහෙත් පාරිභෝගිකයින් විශාල පිරිසක් සිටින වෙළඳපොළ ආකෘතියක්. ඒකාධිකාර හා සම්බන්ධවද බොහෝ වැරදි මත ජනගත වී තිබෙනවා. ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට හිතේ හැටියට මිල වැඩි කර වැඩි වැඩියෙන් ලාබ ලබා ගත හැකි බව එවැනි එක් ප්‍රචලිත වැරදි අදහසක්. ඒකාධිකාරයක් යටතේ වුවත් සැපයුම්කරුවෙකුට මිල ඉහළ දැමීම මගින් ලාබ වැඩි කර ගත හැකි උපරිම සීමාවක් තිබෙනවා. 

මෙය තේරුම් ගැනීම සඳහා අපි කිසියම් මනඃකල්පිත භාණ්ඩයක් උපයෝගී කර ගනිමු. වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා වලට වගේම මේ භාණ්ඩයටත් කිසියම් වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. භාණ්ඩයේ මිල ඉහළ යද්දී මේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් න්‍යාය කියන්නේ එයටයි. 

පහත තිබෙන්නේ මෙම භාණ්ඩයේ මිල රුපියල් 370 සිට රුපියල් 320 දක්වා වෙනස් වෙද්දී ඒ සඳහා වන ඉල්ලුම වෙනස් වන ආකාරයයි. 

370 - 100

365 - 110

360 - 120

355 - 130

350 - 140

345 - 150

340 - 160

335 - 170

330 - 180

325 - 190

320 - 200

අපි හිතමු මේ භාණ්ඩයේ පිරිවැය රුපියල් 300ක් කියලා. ඒ කියන්නේ මෙම පිරිවැය, එනම් රුපියල් 300, සහ භාණ්ඩයේ විකුණුම් මිල අතර වෙනස සැපයුම්කරුගේ දළ ලාබය. රුපියල් 370 බැගින් විකිණුවොත් එකකින් රුපියල් 70ක් ලාබයි. රුපියල් 360 බැගින් විකුණුවොත් එකකින් රුපියල් 60ක් ලාබයි.

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරී වෙළඳපොළක්නම් සැපයුම්කරුට වෙනත් කාගෙන්වත් තරඟයක් නැහැනේ. ඒ නිසා, සැපයුම්කරුට තමන්ගේ ලාබය ඉහළ යන පරිදි මිල නියම කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ඇති විට සැපයුම්කරු විසින් කරන්නේ පුළුවන් තරම් ඉහළ මිලක් අය කරන එකද?

කිසිසේත්ම නැහැ. මොකද මිල ගොඩක් වැඩි කළොත් ඉල්ලුම අඩු වෙනවා. එකකින් ලාබය වැඩි වුනත් විකිණෙන්නේ අඩුවෙන් නිසා ලාබය අඩුයි. අනෙක් අතට ගොඩක් මිල අඩු කළොත් වැඩියෙන් විකුණන්න පුළුවන් වුනත්, එකකින් ලැබෙන්නේ සුළු ගණනක්නම් අන්තිමට ලොකු ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට ඔය අන්ත දෙක අතර තේරීමක් කරන්න වෙනවා.

ඉහත උදාහරණයේදීනම් ඒකාධිකාරී සැපයුම්කරුවෙකු විසින් භාණ්ඩය මිල කරන්නේ රුපියල් 360 ලෙසයි. එහිදී එකකින් රුපියල් 60ක ලාබයක් ලැබෙනවා. ඒකක 120ක් විකිණෙන නිසා රුපියල් 7200ක දළ ලාබයක් ලැබෙනවා. 

භාණ්ඩයේ මිල රුපියල් 365 දක්වා වැඩි කළොත් එකකින් රුපියල් 65ක ලාබයක් ලැබෙන නමුත් විකිණෙන්නේ ඒකක 110ක් පමණක් නිසා අන්තිමට ලැබෙන දළ ලාබය රුපියල් 7150ක් පමණයි. අනෙක් අතට භාණ්ඩයේ මිල රුපියල් 355 දක්වා අඩු කළොත්, ඒකක 130ක් විකුණාගන්න පුළුවන් වුනත් එකකින් ලැබෙන්නේ රුපියල් 55ක් පමණක් නිසා ලැබෙන දළ ලාබය කලින් මෙන්ම රුපියල් 7150ක් දක්වා අඩු වෙනවා. රුපියල් 7200ක් ලැබෙන්නේ හරියටම රුපියල් 360ට මිල කළොත් පමණයි. ඊට වඩා අඩුවෙන් මිල කළත්, වැඩියෙන් මිල කළත් වෙන්නේ ලැබෙන ලාබය අඩු වෙන එක.

ඔය විදිහට රුපියල් 360 බැගින් ඒකක 120ක් විකුණා රුපියල් 7200ක දළ ලාබයක් ලැබුවා කියා කියමු. නමුත් මේ ලාබය දළ ලාබයක් මිසක් ශුද්ධ ලාබයක් නෙමෙයි. ශුද්ධ ලාභය වෙන්නේ ඔය දළ ලාබයෙන් ස්ථාවර පිරිවැය අඩු කලාට පසුව ඉතිරි වන මුදල. ස්ථාවර පිරිවැය රුපියල් 3500ක්නම් ශුද්ධ ලාබය රුපියල් 3700ක්. ස්ථාවර පිරිවැය රුපියල් 4000ක් නම් ශුද්ධ ලාබය රුපියල් 3200ක් පමණයි.

කිසියම් වෙළඳපොළක් ඒකාධිකාරයක් වෙනවද නැත්නම් තරඟකාරී වෙළඳපොළක් වෙනවද කියන එක එම වෙළඳපොළ හා අදාළ ස්ථාවර පිරිවැය කොපමණද කියන එක මත තීරණය වෙනවා. 

ඉහත උදාහරණයේදී පවතින වෙළඳපොළ ඉල්ලුම හා භාණ්ඩයේ විචල්‍ය පිරිවැය අනුව ලැබිය හැකි උපරිම දළ ලාබය රුපියල් 7200ක් පමණයි. ඔය වෙළඳපොළට තවත් තරඟකරුවෙක් එකතු වුනොත් මෙම දළ ලාබය දෙදෙනෙකු අතර බෙදී යනවා. එවිට එක් අයෙකුට ලැබෙන දළ ලාබය උපරිම වශයෙන් රුපියල් 3600ක් පමණයි. 

මේ විදිහට සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විට, විචල්‍ය පිරිවැය රුපියල් 3500ක් පමණක්නම් එය ආවරණය කර ගත්තාට පස්සේ තවත් රුපියල් 100ක් ශුද්ධ ලාබය විදිහට ඉතිරි වෙනවා. නමුත්, විචල්‍ය පිරිවැය රුපියල් 4000ක්නම් දළ ලාබය රුපියල් 3600ක් වුවත් අන්තිමට රුපියල් 400ක ශුද්ධ පාඩුවකුයි වෙන්නේ. විචල්‍ය පිරිවැය මෙවැනි ඉහළ මට්ටමකට ඇති විටෙක වෙළඳපොළක් ඒකාධිකාරයක් ලෙස පවතිනු මිස එයට දෙවැන්නෙක් එකතු වී තරඟයක් ඇති වෙන්නේ නැහැ. එය ස්වභාවික තත්ත්වයක් මිසක් විකෘතියක් නෙමෙයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ඒකාධිකාරයක් තිබීමෙන් පාරිභෝගිකයාට වෙන්නේ වාසියක්. මොකද ඒකාධිකාරය නැත්නම් පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගැනීමේ අවස්ථාවම අහිමි වී යනවා. ඒක ඊට වඩා පාඩුවක්. ඕනෑම වෙළඳපොළක් මුලින්ම හැදෙන්නේ ඒකාධිකාරයක් විදිහටයි. තවත් අය එකතු වෙන්නේ ඉන් පසුව වෙළඳපොළ පුළුල් වී ඉල්ලුම වැඩි වුනාට පස්සේ. ස්ථාවර පිරිවැය දරා ගත හැකි සැපයුම්කරුවන් දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙළඳපොළ ඉල්ලුමක් හැදෙන තුරු වෙළඳපොළ නිදහස හොඳින්ම තහවුරු කර ඈතත් ඒකාධිකාරයක් පවතිනු මිස දෙවැන්නෙක් වෙළදපොලට ඇතුළු වෙන්නේ නැහැ. 

ස්ථාවර පිරිවැය රුපියල් 3600කට නොවැඩිනම් පමණක් මෙම වෙළඳපොළේ දෙවැන්නෙකුට ඉඩක් තිබෙනවා. නමුත්, තුන් වැන්නෙකුට ඉඩක් නැහැ. තුන් වැන්නෙකුට ඉඩක් ලැබෙන්නනම් ස්ථාවර පිරිවැය රුපියල් 2400කට වඩා අඩු විය යුතුයි. හතරවැන්නෙකුට ඉඩක් ලැබෙන්නේ ස්ථාවර පිරිවැය රුපියල් 1800 නොඉක්මවන්නේනම් පමණයි. ස්ථාවර පිරිවැය රුපියල් 1440 දක්වා අඩු වුනොත් පස්වැන්නෙක්ටත් එකතු වෙන්න පුළුවන්. ඔය ආකාරයකට කිසියම් වෙළඳපොළක වෙළඳපොළ ආකෘතිය තීරණය වෙන්නේ ඉල්ලුමේ ප්‍රමාණය සහ පිරිවැය ආකෘතිය අනුවයි. එය පැවතිය හැකි කාර්යක්ෂමම තත්ත්වය මිසක් "ජාවාරම්කාර මාෆියාවක්" නිසා වෙන දෙයක් නෙමෙයි. වෙළඳපොළ නිදහස තහවුරු වී නැති විට රාජ්‍ය මැදිහත්වීම් නිසා ජාවාරම්කාර මාෆියා හැදෙන්න පුළුවන්එ වීම වෙනම දෙයක්.

ඉහත වෙළඳපොළට දෙවැන්නෙකු එකතු වූ පසු එක් සැපයුම්කරුවෙකුගේ ශුද්ධ ලාබය රුපියල් 100ක් විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් 100ක් විය යුතු නැහැ. එසේ වෙන්නේ සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගීතාවයෙන් කටයුතු කළහොත් පමණයි. ඔවුන් දෙදෙනා එකනෙකා සමඟ තරඟ කළහොත් වෙන්නේ දළ ලාබය ස්ථිර පිරිවැයට සමාන වන තුරු මිල අඩු වෙන එකයි. එහිදී එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙවැන්නක් අනිවාර්යයෙන්ම වන බවට සහතිකයක් නැහැ.

අපි හිතමු ස්ථාවර පිරිවැය රුපියල් 3500ක් කියා. දැන්, සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළහොත් මිල රුපියල් 360 මට්ටමේම පවතිනවා. එක් අයෙකු ඒකක 60ක් විකුණා රුපියල් 3600ක දළ ලාබයක් හා රුපියල් 100ක ශුද්ධ ලාබයක් ලබා ගන්නවා. නමුත් දෙදෙනා තරඟ කළහොත් මිල රුපියල් 350 දක්වා අඩු වෙනවා. එහිදී එක් ඒකකයකින් ලැබෙන ලාබය රුපියල් 50 දක්වා අඩු වුනත්, ඉල්ලුම ඉහළ ගොස් එක් අයෙකුට ඒකක 70ක් විකුණන්නට ඉඩ ලැබෙන නිසා රුපියල් 3500ක දළ ලාබයක් ලැබෙනවා. එහෙත්, ස්ථාවර පිරිවැය ඉවත් වූ පසු ශුද්ධ ලාබයක් නැහැ. ඒ නිසා, මිල තරඟය එතැනින් නවතිනවා. මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට ලැබෙන මිල ලැබිය හැකි හොඳම මිලයි. වෙළඳපොළේ සිටින්නේ තරඟකරුවන් දෙදෙනෙකු පමණක් වුවත් එම හොඳම මිල පාරිභෝගිකයාට ලැබෙනවා. 

කිසියම් වෙළඳපොළක වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ වැඩිනම් එවැනි වෙළඳපොළක් ඒකාධිකාරයක් හෝ කතිපයාධිකාරයක් ලෙස පවතිනු මිස පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. සැපයුම්කරුවන් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය ආකෘතිය මතයි. තරඟකාරී වෙළඳපොළක් බිහි විය හැක්කේ වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ අඩුනම් පමණයි.

අපි හිතමු ඉහත වෙළඳපොළේ ස්ථාවර පිරිවැය රුපියල් 40ක් පමණයි කියා. ස්ථාවර පිරිවැය මේ වගේ අඩු මට්ටමක ඇති විට එම වෙළඳපොළට දිගින් දිගටම සැපයුම්කරුවෝ එකතු වෙනවා. අපි හිතමු ඒ විදිහට සැපයුම්කරුවෝ 100 දෙනෙකු එකතු වුනා කියලා. දැන් වෙළඳපොළ තරඟය නිසා භාණ්ඩයේ මිල රුපියල් 320 දක්වා පහළ යනවා. එම මිලට භාණ්ඩයේ ඒකක 200ක් විකිණිය හැකි වුවත් සැපයුම්කරුවන් 100 දෙනෙකු සිටින නිසා එක් අයෙකුට විකිණිය හැක්කේ ඒකක දෙකක් පමණයි. එකකින් ලාබය රුපියල් 20ක් පමණක් නිසා මුළු දළ ලාබය රුපියල් 40ක් පමණයි. එයින් ස්ථාවර පිරිවැය ආවරණය වෙනවා. නමුත් ඊට වඩා ලාබයක් නැහැ. තවත් තරඟකරුවෙක් ආවොත් කාට හෝ එක් අයෙකුට පාඩු වෙනවා. එම තරඟකරු ඉවත් වී නැවත සැපයුම්කරුවන් ගණන 100ක් වෙනවා. 

සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටින විට ඒ දෙදෙනා සහයෝගයෙන් කටයුතු කිරීම හා තරඟ කිරීම යන දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. නමුත් සහයෝගයෙන් කටයුතු කරන්න වැඩි ඉඩක් තිබෙනවා. එහෙත්, සැපයුම්කරුවන් 100ක් සිටින විට ඒ සියලු දෙනා අතර සහයෝගයක් ඇති වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මෙන් භාණ්ඩයේ මිල එය විකිණිය හැකි අවම මිල මට්ටම දක්වා අඩු වෙනවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ එවැනි වෙළඳපොළක්. අවම වශයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විටද මේ මට්ටමේම තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් ඇතත් එය එසේ සිදු වන බවට කිසිම සහතිකයක් නැහැ. 

වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා.

දැන් අපි හිතමු ඉහත උදාහරණයේ විචල්‍ය පිරිවැය රුපියල් 300 සිට රුපියල් 310 දක්වා ඉහළ ගියා කියලා. මෙහිදී ඒකාධිකාරයක් ඇති විට වෙන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් ඇති විට වෙන්නේ කුමක්ද?

ඒකාධිකාරයක් යටතේ කලින් මිල තීරණය වුනේ රුපියල් 360 ලෙසයි. එම මිලට ඒකක 120ක් විකිනුනු අතර එකකින් රුපියල් 60 බැගින් රුපියල් 7200ක දළ ලාබයක් ලැබුණා. දැන් කලින් වගේම එකකින් රුපියල් 60ක ලාබයක් තියා ගන්නනම් මිල රුපියල් 370 දක්වා වැඩි කරන්න වෙනවා. නමුත් එවිට විකිණෙන්නේ ඒකක 100ක් පමණක් නිසා දළ ලාබය රුපියල් 6000 දක්වා පහත වැටෙනවා. අනෙක් අතට මිල වැඩි නොකළොත්, කලින් ප්‍රමාණයම විකිණෙන නමුත් එකකින් ලැබෙන්නේ රුපියල් 50ක් පමණක් නිසා දළ ලාබය ලෙස ඒත් ලැබෙන්නේ රුපියල් 6000ක් පමණයි. 

ඔය දෙකම නොකර මිල රුපියල් 355 දක්වා පමණක් වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒකක 110ක් විකිණෙනවා. එකකින් රුපියල් 55ක් බැගින් රුපියල් 6050ක දළ ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ ඒකාධිකාරයක් පවත්වා ගන්නා සැපයුම්කරු විසින් තමන්ගේ ලාබය උපරිමයක් කර ගන්නනම් මිල වැඩි කළ යුත්තේ රුපියල් 355 දක්වා පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් පිරිවැය රුපියල් 10කින් ඉහළ ගියත් මිල වැඩි වෙන්නේ රුපියල් 5කින් පමණයි.

ඒකාධිකාරයක් වෙනුවට තරඟකාරී වෙළඳපොළක් තිබුණානම් වෙන්නේ කුමක්ද? ඒකාධිකාරයක් පවතිද්දී මෙන් තරඟකාරී වෙළඳපොළක සැපයුම්කරුවෙකුට පිරිවැය ඉහළ යාමේ කම්පනය අවශෝෂණය කර ගන්න බැහැ. ඒ නිසා, රුපියල් 10ක පිරිවැය ඉහළ යාම මුළුමනින්ම පාරිභෝගිකයා මත පටවන්න වෙනවා. ඒ අනුව, කලින් රුපියල් 320ක් වූ භාණ්ඩයේ මිල රුපියල් 330 දක්වා ඉහළ යනවා. ඒ අනුව, විකිණෙන මුළු ඒකක ගණන 180 දක්වා පහත වැටෙනවා. රුපියල් 40ක ස්ථාවර පිරිවැය ආවරණය කරගන්නනම් එක් සැපයුම්කරුවෙකු විසින් අඩු වශයෙන් ඒකක 2ක්වත් විකිණිය යුතු නිසා දැන් මේ වෙළඳපොළේ රැඳී සිටිය හැක්කේ තරඟකරුවන් 90 දෙනෙකුට පමණයි. ඉතිරි 10 දෙනාට වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

අනෙක් අතට යම් හෙයකින් ඔය විචල්‍ය පිරිවැය අඩු වුනොත් ඊට අනුරූපව මිල පහළ ගිහින් ඉල්ලුම ඉහළ යනවා. එහිදී තවත් අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේක තරඟකාරී වෙළඳපොලක ස්වභාවය. පිරිවැය විචලනය වීමට අනුරූපව සැපයුම්කරුවන් ගණන වගේම භාණ්ඩයේ මිලද විචලනය වෙනවා. ස්ථාවර පිරිවැය අඩු නිසා, අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න පහසුයි. ඒ වගේම, පිරිවැය පොඩ්ඩක් ඉහළ ගිය ගමන් යම් සැපයුම්කරුවන් පිරිසකට වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද එවැනි කම්පනයක් දරා ගත හැකි තරමේ සුපිරි ලාබ මෙවැනි වෙළඳපොළක නැහැ.

මෙයින් වෙනස්ව ඒකාධිකාරයක් ඇති විට පිරිවැය විචලනය වන තරමටම මිල විචලනය වෙන්නේ නැහැ. පිරිවැය ඉහළ යද්දී එයින් කොටසක් සැපයුම්කරු විසින් දරා ගන්නවා. ඒක කරන්නේ පාරිභෝගිකයාට තිබෙන ආදරයකට නෙමෙයි. ලාබ උපරිමයක් වෙන්නේ එසේ කළ විට නිසා. අනෙක් අතට, පිරිවැය අඩු වන තරමට මිල අඩු කරන්නේත් නැහැ. මොකද එහෙම නොකළා කියලා පාරිභෝගිකයින්ට යන්න වෙන තරඟකරුවෙක් නැහැ. 

ඒකාධිකාරයක ඉඳලා තරඟකාරී වෙළඳපොළක් දක්වා වෙළඳපොළක් පරිණාමය වෙද්දී වෙන්නේ ස්ථාවරව තිබුණු මිල වැඩි වැඩියෙන් විචලනය වෙන එක. හොඳම උදාහරණය ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ. මෙම වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්න නිසා දැඩි තරඟය හමුවේ මිල තීරණය වෙන්නේ පිරිවැය අනුව ලබා දිය හැකි අවම මට්ටමේ. මිල ඒ මට්ටමට ආවට පස්සේ පිරිවැයෙහි සිදුවන සුළු වෙනසක් වුවත් පාරිභෝගියාට පටවන්න වෙනවා. මොකද එවැනි සුළු වෙනසක් වුවත් දරා ගැනීමේ හැකියාවක් සැපයුම්කරුවෙකුට නැහැ. පිරිවැය ඉහළ යද්දී සියළුම සැපයුම්කරුවෝ එකවර මිල වැඩි කරනවා.

ඒකාධිකාරයක් ඇති විට මෙවැන්නක් වෙන්නේ නැහැ. ඒකාධිකාරී සැපයුම්කරුට තමන්ගේ සුපිරි ලාබ වලින් පිරිවැය කම්පන අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ හේතුව නිසාම, පිරිවැය ඉහළ යද්දී ඊට අනුරූපව මිල ඉහළ යනවානම් එයින් පෙනෙන්නේ තරඟකාරිත්වය හොඳ මට්ටමක තිබෙන බව. එසේ නොවේනම් එයින් පෙන්වන්නේ පිරිවැය කම්පන අවශෝෂණය කරගෙන ලාබ වැඩි කර ගත හැකි ඒකාධිකාරී බලයක් තිබෙන බව.

Wednesday, March 29, 2023

ඉන්ධන වෙළඳපොළ ප්‍රතිනියාමනය


කලින් සටහනෙන් උත්සාහ කළේ ඊට පෙර සටහනට ප්‍රතිචාර ලෙස දමා තිබුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න. එහිදී කළ පැහැදිලි කිරීම් ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම් වූ වියුක්ත පැහැදිලි කිරීම්. මම හිතන්නේ අසනු ලැබූ පහත ප්‍රශ්න වලට පිළිතුරු එම සටහනෙහි තිබෙනවා කියලා.

- ඉන්දියානු තෙල් සමාගම තෙල් සංස්ථාවට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැත්තේ ඇයි?

- ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව අතර තරඟයක් නැද්ද?

- පවතින තත්ත්වය වෙනස් විය හැක්කේ කවර තත්ත්වයන් යටතේද?

සටහනේ ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කළේ ඒකාධිකාරයක් යටතේ හා ද්වි-අධිකාරයක් යටතේ සාමාන්‍යයෙන් සිදු විය යුතු හා සිදු වන දේවල්. ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව කියා නොකියා A සමාගම හා B සමාගම ලෙස සඳහන් කළේ මෙම වියුක්ත තත්ත්වයන් ඕනෑම කර්මාන්තයක ඕනෑම සමාගම් දෙකකට අදාළ සාධාරණ තත්ත්වයන් නිසා. A සමාගම හා B සමාගම වෙනුවට වරින් වර ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව ආදේශ කර තිබෙන්නේ විස්තර කර ඇති සාධාරණ තත්ත්වයන් ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව සම්බන්ධ සංයුක්ත නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකාරය පෙන්වන්න. 

කියපු දේ තේරුම් ගත් බව පෙනෙන අය වගේම තේරුම් නොගත් අයත් ඉන්න බව පේනවා. ගොඩක් අයට වියුක්ත පැහැදිලි කිරීම් තේරුම් ගන්න බැහැ. සංයුක්ත තත්ත්වයන්ගෙන් ඔබ්බට හිතන්න බැරි අයගේ ජනප්‍රිය විවේචනය මහ පොළොවේ තත්ත්වය වෙනස් කියන එක. මහ පොළොවේ තත්ත්වයෙන් එහාට හිතන්න බැරි අයෙකුට අනාගතය සම්බන්ධව නිවැරදි සැලසුමක් හදාගන්න බැහැ. මොකද ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැක්කේ වෙලා තිබෙන දේවල් පමණයි. අනාගතයේදී කලින් සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම නැවත ඒ ආකාරයෙන්ම වෙන්නේ නැහැ.  අනාගතය තේරුම් ගැනීම සඳහා, මහ පොළොවේ තත්ත්වයන් මත පදනම්ව වුවත්, එයින් ඔබ්බට වියුක්තව හිතන්න වෙනවා.

ඊයේ සටහන පළ කිරීමෙන් පසුව ඉන්ධන වෙළඳපොළ ප්‍රතිනියාමනය කිරීමේ ආරම්භක පියවර සම්බන්ධව නිශ්චිත තොරතුරු දැන ගන්නට ලැබුණා. සමහර විට මගේ ඇස නොගැටුනත්, ලිපිය පළ කරන විට මෙම තොරතුරු ප්‍රසිද්ධ වී තිබුණා වෙන්න පුළුවන්. අදාළ තොරතුරු අනුව, තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් යම් ප්‍රමාණයක් චීන, ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු සමාගම් තුනකට විකිණීමට නියමිතයි. 

තෙල් සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1322ක් තිබෙනවා. ඉන්දියානු ඔයිල් සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාව අනුව එම සමාගම සතු පිරවුම්හල් ප්‍රමාණය 213ක් තිබෙනවා. මේ මෙම ගණන් මේ වන විට වෙනස් වී තියෙන්න පුළුවන්.

ඉහත ගණන් අනුව, පිරවුම්හල් 1535කින් ඉන්දියානු ඔයිල් සමාගම සතු ප්‍රමාණය 14%ක් පමණයි. මෙය එම සමාගමේ වෙළඳපොළ පංගුව පිළිබඳ ආසන්න දර්ශකයක් (proxy measure) සේ සලකන්න පුළුවන්. වාර්ෂික වාර්තාව අනුව ඇත්තම වෙළඳපොළ පංගුව 12%ක් පමණයි. ඉතිරි 88% තිබෙන්නේ තෙල් සංස්ථාව සතුවයි.

ඉහත තත්ත්වය ද්වී-අධිකාරයක් (duopoly) වුවත්, වඩා සමාන වන්නේ ඒකාධිකාරයකටයි. එවැනි තත්ත්වයක් තුළ ආයතන දෙක තරඟ තරඟ කළේ වුවද ඉන්දියානු ඔයිල් සමාගම විසින් තෙල් සංස්ථාවේ මිලටම තෙල් විකිණීම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අදාළ සිද්ධාන්ත පෙර ලිපියේ පැහැදිලි කර තිබෙනවා. 

ඊට අමතරව මේ තරඟකරුවන් දෙදෙනා අතර සමාන තරඟයක් නැහැ. එක් තරඟකරුවෙකු තරඟ තීරකයාද වෙනවා. එම තරඟකරු විසින් අනෙක් තරඟකරුට අත්පත් කරගත හැකි උපරිම වෙළඳපොළ පංගුවද තීරණය කරනවා. මෙය සමාජවාදී ක්‍රමයක් මිස, කිසිසේත්ම, වෙළඳපොළ ක්‍රමයක් නෙමෙයි. තෙල් සංස්ථාවේ ඒකාධිකාරයට ඉන්දියානු ඔයිල් සමාගම විසින් සුළු තරඟයක් දුන් පමණින් එය ධනවාදයක් හෝ නිදහස් වෙළඳපොළක් වෙන්නේ නැහැ.

දැන් මෙම තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? පිරවුම්හල් විකිණීම් වලින් පසුව මුලින්ම ඇති වන්නේ මෙවැනි තත්ත්වයක්.

තෙල් සංස්ථාව - පිරවුම්හල් 872යි (56.8%යි)

ඉන්දියානු සමාගම - පිරවුම්හල් 213යි (13.9%යි)

චීන සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)

ඇමරිකන් සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)

ඕස්ට්‍රේලියානු සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)


ඉන් අනතුරුව, එක් එක් විදේශ සමාගම විසින් තවත් පිරවුම්හල් 50 බැගින් හදනවා. එවිට තත්ත්වය මෙවැන්නක්. 

තෙල් සංස්ථාව - පිරවුම්හල් 872යි (50.3%යි)

ඉන්දියානු සමාගම - පිරවුම්හල් 263යි (15.2%යි)

චීන සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)

ඇමරිකන් සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)

ඕස්ට්‍රේලියානු සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)


මේ සියල්ල සිදුවීමෙන් පසුව හැදෙන්නේ මොන වගේ වෙළඳපොළක්ද?

කිසිසේත්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. ඒක කාට වුනත් පැහැදිලි දෙයක්. අඩුම වශයෙන් කතිපයාධිකරී තරඟයක් හෝ මෙහි ඇති වන්නේ නැහැ. ඒ, මෙම අවසන් තත්ත්වය තුළද වෙළඳපොළ පංගුව තීරණය වන්නේ තරඟය මත නොව ශ්‍රී ලංකා රජයේ කැමැත්ත අනුව නිසයි. වෙළඳපොළ පංගුව රජය විසින් තීරණය කරද්දී මිල ස්වායත්තව තීරණය වන්නේ නැහැ. 

මෙහිදී සිදුවන්නේද රජයේ මධ්‍යගත සැලසුමක් තුළ වෙළඳපොළ සැලසුම් කිරීමක් පමණයි. විදේශ සමාගම් වලට යම් අවස්ථාවක් ලැබීම එම සැලසුමේ කොටසක් ලෙසම සිදු වන දෙයක් පමණයි. මෙය තව දුරටත් සමාජවාදී මධ්‍යගත ක්‍රමයයි. 

දැන් මේ දෙවන පියවරට යාමෙන් පසුව පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙයිද? 

එවැනි සහතිකයක් නැහැ. එය වක්‍රව හෝ තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. තරඟකරුවන් අතර තරඟයක් ඇති වී මිල පහත වැටෙන්නටනම් කරුණු කිහිපයක්ම සම්පූර්ණ විය යුතුයි.

- තරඟකරුවන්ට ව්‍යාප්ත වී නිදහසේ වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීමට ඉඩ ලැබිය යුතුයි.

- තෙල් සංස්ථාවද අනෙක් තරඟ කරුවන් මෙන්ම ආර්ථික ලාබ උපයන ආයතනයක් විය යුතුයි.

ඉහත කොන්දේසි දෙක අවම කොන්දේසි දෙකක්. දැනෙන මිල අඩුවීමක් සිදු වනු ඇත්තේ වෙනත් තරඟකරුවන්ටද නිදහසේ වෙළඳපොළට පිවිසීමට ඉඩක් ලැබෙන්නේනම් පමණයි.

එහෙමනම්, මේ කරපු වැඩෙන් කිසිම වැඩක් නැද්ද?

අනිවාර්යයෙන්ම වැඩක් තිබෙනවා. මෙයද සමාජවාදී ක්‍රමයම වුවත් මෙහිදී සිදුවන්නේ සෝවියට් සමාජවාදී ක්‍රමයේ සිට චීන සමාජවාදී ක්‍රමය වෙත විතැන් වීමක්. සෝවියට් සමාජවාදී ක්‍රමයට සාපේක්ෂව චීන සමාජවාදී ක්‍රමය වඩා කාර්යක්ෂමයි. එහි වෙළඳපොලට යම් ඉඩක් තිබෙනවා. හැබැයි මේ සියල්ල සිදු වීමෙන් පසුවද ලංකාවේ ඉන්ධන වෙළඳපොළ චීනය සිටින තැනටවත් එන්නේ නැහැ. 

මෙහි රජයට යම් මුදලක් හොයා ගන්නට ලැබීමේ ක්ෂණික වාසිය තිබෙනවා. එහෙත් මා වැඩි අවධානයක් යොදන්නේ දිගුකාලීන ප්‍රතිඵල කෙරෙහියි. මධ්‍යගත සමාජවාදී ක්‍රමයක සිටින රටකට ක්ෂණිකව වෙළඳපොළ විවෘත කරන්න බැහැ. එය ක්‍රමක්‍රමයෙන් යම් කාලයක් අරගෙන කළ යුතු දෙයක්. දැනට වෙන්නේ පොඩි වෙනසක් පමණක් වුවත් මෙය අවශ්‍ය දිසාවට තැබූ නිවැරදි පියවරක්. 

මෙයින් ලැබෙන පළමු වාසිය තෙල් සංස්ථාව මුහුණ දෙන ව්‍යාපාරික අවදානමකදී රටේ ඉන්ධන සැපයුම සුරක්ෂිතව පැවතීමයි. දෙවන වාසිය තෙල් සංස්ථාවේ සේවකයින්ට රටේ පාරිභෝගිකයින් හා රජය ප්‍රාණ ඇපයට ගැනීමේ අවස්ථාව අහිමි වීම තුළ එම ආයතනය වඩා කාර්යක්ෂම කිරීම සඳහා දොරටුවක් විවර වීමයි. 

පවතින තත්ත්වය තුළ, අද හෙටම නොවුනත්, යම් හෝ තරඟයක් ඇති වී මිල අඩු වීමට කිසිම ඉඩක් නැද්ද?

මෙය අනිවාර්යයෙන් සිදු වීමටනම් වෙළඳපොළ පංගු මීට වඩා සමාන ලෙස බෙදී යා යුතුයි. ඒ සඳහා, අවශ්‍ය කොන්දේසි පෙර ලිපියෙහි තිබෙනවා. 

තෙල් සංස්ථාව මින් ඉදිරියටද මිල සූත්‍ර ක්‍රමය අනුගමනය කරනු ඇතැයි සිතමු. එහිදී පාඩු නැති කර ගැනීමක් මිස ලාබ වැඩි කරගැනීම ඉලක්ක කිරීමක් සිදු වන්නේ නැහැ. නමුත් ඉතිරි තරඟකරුවන් හතර දෙනාට යම් ලාබයක් අවශ්‍යයි. ඔවුන්ට ලාබ ලෙස ලබා ගන්න වෙන්නේ තෙල් සංස්ථාවට වඩා කාර්යක්ෂම වී පිරිවැය අඩු කර ගැනීමේ වාසියයි. එම වාසියෙන්  කතිපයාධිකාරී වෙළඳපොළක සාමාන්‍ය ලාබ ඉක්මවන සුපිරි ලාබ ලැබෙන්නේනම් මිස මිල තරඟයක් (price competition) ඇති වන්නේ නැහැ. මිල තවදුරටත් තීරණය වන්නේ තෙල් සංස්ථාවේ මිල අනුවයි. 

එහෙත් තෙල් සංස්ථාව හා අනෙකුත් සමාගම් අතර පිරිවැය වෙනස (කාර්යක්ෂමතා වෙනස) ගොඩක් වැඩිනම් අනෙකුත් සමාගම් වලට කතිපයාධිකාරී වෙළඳපොලක සාමාන්‍ය ලාබ ඉක්මවන සුපිරි ලාබ ලැබෙන නිසා මිල තරඟයක් ඇති වී මිල අඩුවීමක් සිදු වෙනවා. මේ හේතුව නිසාම තෙල් සංස්ථාවට යම් පමණකින් හෝ කාර්යක්ෂම වීමට සිදු වෙනවා. 

Tuesday, March 28, 2023

ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීම- ගැටළු හා අභියෝග


කලින් සටහනෙන් පසු අසා තිබුණු ප්‍රශ්න කිහිපයකට සටහනකින්ම පිළිතුරු දීම වඩා සුදුසුයි කියා හිතුනා.කිහිප දෙනෙකු විසින්ම එකම ආකාරයේ ප්‍රශ්න මතු කර තිබීම ඊට හේතුවයි. මේ ප්‍රශ්න බොහොමයක් හිතන්න පුරුදු වී සිටින ආකාරය නිසා, වඩා නිවැරදිවනම් හිතන්න පුරුදු කර තිබෙන ආකාරය නිසා, මතු වී ඇති ප්‍රශ්න. තවත් ප්‍රශ්න ඇහැට පෙනෙන නිරීක්ෂණ හා අතීතයේ සිදු වී ඇති දේවල් නිසා ඇති වන ප්‍රශ්න. විය හැකියාවක් ගැන වියුක්තව හිතන එක කාට වුනත් ටිකක් අමාරු වැඩක්. 

තවත් සමාගම් පැමිණි පසු තරඟකාරිත්වය ඇති වෙන බවට තිබෙන සහතිකය කුමක්ද?

මෙම ගැටලුවට අදාළ ප්‍රතිචාර කිහිපයක්.

"මෙතනදී ගැටළුවක් මතු වෙනවා. තරඟකාරීත්වය ගැන කියලා තමා IOC ලංකාවට ගෙනාවේ. ඒත් ඇතිවෙච්ච තරඟකාරිත්වයක් වත් CEYPETCO ලබන අලාභයේ වෙනසක් වත් උනේ නෑ. ඒ ටිකම මෙතනදිත් උනොත්?"

"IOC එක ඇයි Ceypetco එකට වඩා රුපියලක් හරි අඩුවෙන් දෙන්න try නොකරන්නේ. එහෙම උනොත් උන්ටනේ පාරිභෝගිකයෝ වැඩිපුර ඇදෙන්නේ"

"ඉදිරියේදි තව සමාගම් 03 ක් එනව එක්ක මාර්ක් ශෙයා එක අඩු වීමක් වෙනවනේ ceypetco එකේ. ඒකත් එක්ක ceypetco එකේ පවතින ව්‍යූහය වෙනස් කරල වෙලදපොල සමග තරග කරන මට්ටමට පත්කලොත් ඕකේ අලාබය අඩු වෙන්න පුලුවන් නේද?"

"ඒකාධිකාරයන් නැති තැන් වල පවා තරඟකාරී සමාගම් කීපයක් එකතු වෙලා price-fixing කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ තත්ත්වයන් නැති කරන්නේ කොහොමද?"

"ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරීම පමණක් තරඟකාරී කිරීම වැඩක් නෑ. මිලත් තරඟකාරී වෙන්න ඕනේ. නැත්නම් රජය (Ceypetco) මිල තීරකයා වූවොත් දැනටත් IOC එකට වෙන, සමාගම් අධික ලාභ ලැබීම පමණක් සිදුවෙයි."

මේ ප්‍රශ්න හා ප්‍රතිචාර සියල්ලටම එකට පිළිතුරු දෙන්නම්. පළමුව, මම පොඩි වියාචනයක් කරලා ඉන්නම්. IOC එකට මිල තීරණය කරන්න නිදහසක් නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. මම ප්‍රතිචාර දක්වන්නේ එවැනි නිදහසක් තිබෙනවා කියන උපකල්පනය මත පදනම්ව. ඒ වගේම තවත් කරුණක් විදිහට, කිහිප දෙනෙකු විසින්ම මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලෙස (නිවැරදි) පැහැදිලි කිරීම් ලබා දී තිබුනා. මම කරන්නේ ඒ දේවල් නැවත කීමක් වෙන්න පුළුවන්. 

අපි මෙහෙම තැනකින් පටන් ගනිමු. ලංකාව තුළ ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ විකිණීම ලාබ ලැබීම ඉලක්ක කරගත් තනි පෞද්ගලික සමාගමකට ලැබුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? 

මෙවැන්නක් නීතිමය ඒකාධිකාරයක් හෝ ස්වභාවික ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. අපි නීතිමය ඒකාධිකාරයක් කියන තැනින් පටන් ගනිමු.

දැන් මේ සමාගමේ එකම ඉලක්කය පුළුවන් තරම් ලාබ වැඩි කර ගැනීමයි. එය කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. 

1. ලාබ ආන්තිකය (විකුණුම් මිල හා පිරිවැය අතර වෙනස) හැකි පමණ වැඩි කර ගැනීම 

2. විකුණන ඒකක ප්‍රමාණය හැකි පමණ වැඩි කර ගැනීම 

3. පිරිවැය හැකි පමණ අවම කර ගැනීම 

පෞද්ගලික ආයතනයක්නම් ඉහත (3) කොහොමටත් කරනවා. මොකද පිරිවැය අඩු වන තරමට ලාබ ඉහළ යනවා. නමුත් (1) හා (2) ඉලක්ක දෙකම එක්ක එකවර ඉදිරියට යන්න බැහැ. ලාබ ආන්තික වැඩි කරගෙන යද්දී එයට අනුරූපව විකිණිය හැකි ඒකක ප්‍රමාණය පහළ යනවා. ඒ නිසා, එක්තරා මොහොතකදී ලාබ ආන්තික වැඩි කිරීම නිසා ලාබ වැඩිවීම වෙනුවට ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා, ලාබ ලැබීම ඉලක්ක කරගත් පෞද්ගලික ඒකාධිකාරයක් විසින් ලාබ ආන්තික වැඩි කර ගන්නේ ඔය ප්‍රශස්ත මට්ටම දක්වා පමණයි. ඒ අනුව මිල තීරණය වෙනවා. 

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරයක් නොවී ද්වි-අධිකාරියක් වුනොත් වෙන්නේ කුමක්ද? අපි හිතමු A සහ B කියා තරඟකාරී සමාගම් දෙකක් තිබෙනවා කියලා.  A කලින් තිබුණු සමාගම. B අලුතෙන් එන සමාගම. 

අලුතෙන් එන සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. පළමු එක A සමාගමේ මිලටම විකුණන එක. දෙවැනි එක ඊට වඩා අඩුවෙන් විකුණන එක. 

අපි හිතමු A සමාගමේ මිලටම විකිණුවා කියලා. දැන් පාරිභෝගිකයින්ට සමාගම් දෙක අතර වෙනසක් නැහැ. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම සමාගම් දෙක අතර සමසමව බෙදී යනවා. එක් එක් සමාගමට 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙනවා. මෙයින් B සමාගමට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. කලින් නොතිබුණු වෙළඳපොළක 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙන එකයි වෙන්නේ. නමුත් A සමාගමට පාඩුවක් වෙනවා. වෙළඳපොළ පංගුව අඩු වීමට අනුරූපව එම සමාගමේ ලාබ වලින් 50%ක් නැති වෙනවා.

මේ අවස්ථාවේදී ඊළඟට සිදු වෙන දෙය තීරණය වෙන්නේ A සමාගම ප්‍රතිචාර දක්වන ආකාරය අනුව. එම සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. එකක් මිල අඩු කිරීම මගින් වෙළඳපොළ පංගුව වැඩි කර ගන්න උත්සාහ කිරීම. දෙවැන්න අලුත් තත්ත්වය භාර ගැනීම.  A සමාගම ඔය දෙකෙන් කොයි එක කරයිද?

මේක තීරණය වෙන්නේ දැනට ලබා ගන්නා ලාබ ආන්තිකය මතයි. ලාබ ආන්තිකය තීරණය වන්නේ සාපේක්ෂ කාර්යක්ෂමතාවය මත. සාමාන්‍යයෙන් කාලයක් ඒකාධිකාරයක් ලෙස කටයුතු කළ ආයතනයක් ගොඩක්ම කාර්යක්ෂම නැහැ. අලුතෙන් එන ආයතනයක් වඩා කාර්යක්ෂමයි. නැත්නම් වැඩේට අත ගහන්නේ නැහැ. ඒ නිසා,  A සමාගම මිල අඩු කළොත් B සමාගමත් මිල අඩු කරනවා. ඔය වැඩේ දිගටම වෙනවා. අන්තිමට නවතින්නේ A සමාගමේ ලාබ ආන්තිකය ශුන්‍ය වුනාට පස්සේ. වඩා කාර්යක්ෂම B සමාගමේ පිරිවැය අඩු නිසා මේ අඩු මිල යටතේත් B සමාගමට ලාබයි. 

හැබැයි B සමාගම වැඩේ ඔතැනින් නවත්වන්නේ නැහැ. තව ඉතා සුළු මිල අඩු කිරීමක් කරලා A සමාගම වෙළඳපොලෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම නොවෙන්නනම් ඔය වෙද්දී A සමාගමටත් B සමාගම තරමටම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. එවිට 50%ක වෙළඳපොළ පංගුවක් ඉතිරි වෙනවා.

දැන් පැහැදිලියිනේ මේ ක්‍රමයට ගියොත් A සමාගමට සිදු වන දෙය. වෙළඳපොළ පංගුව කොහොමටත් 50%ට වඩා වැඩි කරගන්න බැහැ. එහෙම කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ දැනට ලැබෙන ලාබයත් නැති වෙන එක. ඒ නිසා, A සමාගමට වෙන්නේ 50% වෙළඳපොළ පංගුවෙන් සැහීමකට පත් වෙන්න. 

ඔය A සමාගමේ පැත්තනේ. B සමාගමේ පැත්තෙන් වෙන්නේ කුමක්ද?

තමන්ගේ වෙළඳපොළ පංගුව 50% මට්ටමට එන තුරු B සමාගමට මිල අඩු කරන්න අවශ්‍ය නැහැ. මොකද මිල අඩු කරද්දී ලාබ ආන්තික අඩු වෙනවා. ලාබ ආන්තික එලෙසම තියාගෙන වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම මගින් ලාබ වැඩි කරගන්න පුළුවන්කම තියෙද්දී මිල තරඟයකට යන්න අවශ්‍ය නැහැ. මෙතැනදී වෙන්නේ B සමාගම A සමාගම එක්ක "එකතු වෙලා price-fixing කිරීම" වගේ දෙයක් නෙමෙයි. තරඟකාරී සමාගම් දෙකක් තනිතනිව තීරණ ගනිද්දී සිදු වන දෙය. 

තෙල් සංස්ථාව රාජ්‍ය ඒකාධිකාරයක් වුනත්, IOC එක ආවට පස්සේ ලංකාවේ වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක්. විශේෂයෙන්ම අලුත් තත්ත්වයත් එක්ක, තෙල් සංස්ථාවට පාඩුවට තෙල් විකුණන්න බැහැ. අකාර්යක්ෂමතාවයන් නිසා IOC එකට වඩා පිරිවැයත් වැඩියි. ඒ කියන්නේ, තෙල් සංස්ථාව යාන්තම් පිරිවැය ආවරණය කර ගනිද්දී වුනත් IOC එකට හොඳ ලාබ ආන්තිකයක් ලැබෙනවා. මේ තත්ත්වයේ වාසි ගනිමින් IOC එක ක්‍රමයෙන් වෙළඳපොළ පුළුල් කර ගනිමින් සිටිනවා.

දැන් මම මේ එක්කම තවත් ප්‍රශ්නයක් ගන්නම්. මේ ප්‍රශ්නයට මම මේ වෙලාවේ පූර්ණ පිළිතුරක් සපයන්නේ නැහැ. පළමු ප්‍රශ්නයට අදාළ වන කොටස පමණයි.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ."

මේ වගේ තත්ත්වයක් යටතේ අලුතෙන් එන සමාගම් තමන්ගේ ලාබ රටෙන් එළියට අරන් යන්නේ නැහැ. වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම සඳහා නැවත රට තුළම ආයෝජනය කරන එකයි කරන්නේ. මොකද අත් පත් කරගත හැකි විශාල වෙළඳපොළක් තිබෙනවා. නමුත් වැඩේට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය එළියෙන් ගේනවට වඩා ලාබයම නැවත ආයෝජනය කිරීම හොඳ උපාය මාර්ගයක්. (දෙවන ප්‍රශ්නයට පිළිතුරු දී අවසන් නැහැ. එය පසුව කරන්නම්. මෙම පැහැදිලි කිරීම පළමු ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරට සම්බන්ධ කොටසක් පමණයි.)

මේ වගේ තත්ත්වයක් තුළ වෙළඳපොළ පංගුව 50%ක් දක්වා වැඩි කරගන්න තුරු IOC එක පැත්තෙන් හොඳම උපාය මාර්ගය තෙල් සංස්ථාවේ මිලටම තෙල් විකුණන එකයි. ඒක තරඟය තුළම සිදු වෙන දෙයක්. ඕක වෙනස් වෙන්නේ වෙළඳපොළ පංගුව 50%ක් වූ විටයි. 

නැවතත් අපි IOC එක පැත්තකින් තියලා B සමාගම ගත්තොත්, වෙළඳපොළ පංගුව 50% මට්ටමට ආපු ගමන් B සමාගම ප්‍රහාරය පටන් ගන්නවා. මිල පොඩ්ඩක් අඩු කරපු ගමන් A සමාගමේ ලාබ විශාල ලෙස අඩු වෙනවා. විශේෂයෙන්ම A සමාගමේ පිරිවැය ස්ථිර පිරිවැයනම් (සේවක වියදම් වැනි) B සමාගමට ඔය අවස්ථාවේදී A සමාගම වෙළඳපොළෙන් ඉවත් කරන්න පුළුවන්. 

දැන් අපි  A සමාගම වත්මන් තෙල් සංස්ථාව ලෙස සැලකුවොත්, මිල සූත්‍ර ක්‍රමය දිගටම තිබුණොත්, ඔය අවස්ථාවේදී තෙල් සංස්ථාවට IOC එකේ මට්ටමට මිල අඩු කරන්න බැරි වෙනවා. ඒ නිසා, IOC එක ටිකෙන් ටික වෙළඳපොළ අල්ලලා ඒකාධිකාරයක් හදා ගන්නවා. තෙල් සංස්ථාව වැහිලා යනවා. 

අනෙක් අතට, මෙතෙක් කළා වගේ තෙල් සංස්ථාවේ පාඩු බදු මුදලින් සුබසාධනය කළොත් තෙල් සංස්ථාව වැහෙන්නේ නැහැ. IOC එක මිල අඩු කරද්දී තෙල් සංස්ථාවත් මිල අඩු කරනවා. මිල සමානයි. එකම වෙනස දැන් මිල තීරණය කරන්නේ IOC එක වීම පමණයි. ඔය වගේ තත්වයකදී මිල අඩු කිරීමෙන් වෙළඳපොළ පංගුව අල්ලා ගන්න බැරි නිසා IOC එක මිල අඩු කරන්නේ නැහැ. දැන් වගේම එකම මිලක් දිගටම පවතිනවා. තෙල් සංස්ථාවේ පාඩු බදු ගෙවන්නන්ට දිගටම ගෙවන්න වෙනවා.

තවත් එක් සමාගමක් අලුතෙන් ආ විට වෙන්නේ කුමක්ද?

දැන් වෙන්නෙත් ඔය කලින් සිද්ධියම තමයි. නමුත් කලින් වෙළඳපොළ පංගුව 50% වෙද්දී සිදු වුනු දෙය ඊට කලින්ම, ඒ කියන්නේ වෙළඳපොළ පංගුව 33% වූ වහාම සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම, මේ අවස්ථාවේදී A සමාගම (තෙල් සංස්ථාව) බදු මුදලින් සුබසාධනය වුනත් B සහ C සමාගම් අතර තරඟය නිසා මිල පහත වැටෙන්න පටන් ගන්නවා. ඒ වාසිය පාරිභෝගිකයාට එනවා. සමාගම් තුනක් අලුතෙන් ඇවිත් තරඟකරුවන් ප්‍රමාණය පහක් වුනොත් වෙළඳපොළ පංගුව 20% වෙද්දීම ඔය මිල තරඟය පටන් ගන්නවා. සමාගම් ප්‍රමාණය වැඩි වන තරමට වැඩේ ඉක්මන් වෙනවා.

දැන් අපි නැවත දෙවන ප්‍රශ්නයට යමු.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ. අපේ ඩොලර් වලින් තෙල් ගෙනත්, ඒවා අපිටම විකුණලා ගන්න ලාභයත්, අපිම ඩොලර් වලට හරවලා දෙන්න ඕනේ අරං යන්න."

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ආයෝජනයක් කරන්නේ ලාබ බලාගෙන. ඒක ඉතාම පැහැදිලියි. ආයෝජනයක් කරද්දී අවදානම් ගැන සැලකිලිමත් වෙනවා. අනාගතයේ සිදුවිය හැකි ආර්ථික, දේශපාලන, සමාජ වෙනස්කම් මේ ආයෝජනය කෙරෙහි ඇති කරන අවදානම් මොනවද?

ප්‍රාග්ධනය ගේන්නේ මේ  මොහොත ගැන හිතලා නෙමෙයි. දීර්ඝ කාලයක් ඉදිරියට අනාගතය ගැන හිතලා. පළමු ප්‍රශ්නය වෙළඳපොළ විවෘත කළ පමණින්ම තෙල් සමාගම් ලංකාවට එයිද කියන එක. තෙල් සමාගම් දොර අරිනකම් බලාගෙන දොර ඉස්සරහ නැහැ. මේ වෙලාවේ සමාගම් හතරක් පහක් එනවානම් එහෙම එන එකම සුබ ලකුණක්. 

කොහොමටත් ලංකාව කියන්නේ අනාගත ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් තිබෙන රටක්. ඒ නිසා, තෙල් සමාගමක් රටට ආවත් එක පාරටම වෙළඳපොළ අල්ලගන්න තරම් විශාල ආයෝජනයක් අරගෙන එන්නේ නැහැ. පටන් ගන්නේ පොඩියට. IOC එක වෙළඳපොළ අල්ලගෙන නැත්තේ ඇයි කියන එකට පිළිතුරත් මේකමයි. එහෙම ඇවිත් ලාබ ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ තියෙනවානම් ලැබෙන ලාබ නැවත ලංකාවේම ආයෝජනය කරනවා මිසක් රටෙන් ආපහු ගෙනියන්න හදිස්සි වෙන්නේ නැහැ. ලංකාව ව්‍යාපාර කරන්න හොඳ තැනක්නම් ඔය ලාබ කවදාවත්ම රටින් ගෙනියන්නේ නැහැ. 

සිංගප්පූරුව අද තිබෙන තැනට ආවේ මේ වගේ විශාල ආයෝජන වලින්. ඒ විදිහට ආපු ආයෝජන වල ලාබත් නැවත සිංගප්පූරුවේම ආයෝජනය වුනා මිසක් රටින් එළියට ගිහින් නැහැ. මම කියන්නේ සමස්ත චිත්‍රය ගැන. තමන්ගේ ලාබ අරගෙන යන්න නිදහස වැඩි වෙන තරමට ලාබ එළියට ගෙනියන්න තිබෙන උනන්දුව අඩු වෙනවා. නිදහස සීමා වෙන තරමට ආයෝජකයෝ බලන්නේ හැකි මුල්ම අවස්ථාවේ ලාබ එළියට අරගෙන යන්න. මෑතකාලීනව ලංකාවේ වෙලා තියෙන්නේනම් දෙවැන්න තමයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ තිරසාර නිදහස් විණිමය ප්‍රතිපත්තියක් කාලයක් එක දිගට පවත්වා ගැනීම මගින් පමණයි. IMF වැඩ සටහන තුළ යෝජනා වී තිබෙන්නේ එවැනි ක්‍රමයක්.

කොහොම කළත් අවදානමක් තිබෙනවා තමයි. ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් ඉහළ ගියොත් ලාබ විතරක් නෙමෙයි ආයෝජනත් ආපහු අරගෙන යන්න ඉඩ තිබෙනවා. විශාල විනාශයකින් කෙළවර විය හැකි, ඒ වගේ තත්ත්වයක් වලක්වා ගන්න තමයි ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන තිරසාර ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය වන්නේ. එහෙම එකක් හැදෙන්නේ බලයට පැමිණීමේ ඉඩක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර ආර්ථික වැඩපිලිවෙළක මූලික කරුණු පිළිබඳ සම්මුතියක් ඇති වුනොත් පමණයි. 

මෙවැන්නක් කොළ වල අත්සන් කරන සම්මුතියක් විය යුතු නැහැ වගේම එසේ වූ පමණින් වැඩේ කෙරෙන්නේත් නැහැ. වඩා වඩා වැදගත් වන්නේ බාහිර නිරීක්ෂකයින්ට පෙනෙන, ප්‍රායෝගිකව කටයුතු සිදු වන ආකාරයයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට යම් ඉඩක් ලබා ගැනීමේ වරදක් නැතත්, ඒ ඉඩ ලබාගත යුත්තේ රටේ අනාගතය අවදානමේ වැටෙන සීමාවට නොයමිනුයි. එවැනි තිරසාර ජාතික වැඩපිළිවෙළක් හා එකඟතාවයක් නැත්නම් ඕනෑම යහපත් වෙනසකට තිරසාර පැවැත්මක් නැහැ.

Saturday, May 29, 2021

ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය

මම හිතන්නේ මේ වෙද්දී ධනවාදී පරමාදර්ශය කුමක්ද කියන එක ලිපි ගණනාවකින් ඉතා පැහැදිලිව විස්තර කර අවසන් කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදී විකල්පය ඊට වඩා පසුගාමී වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. අප සමඟ දිගටම සාකච්ඡාවක රැඳී සිටි පාඨකයෙකු විසින් පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස අහපු වැදගත් ප්‍රශ්නයක් වුනේ මේ කියන දේවල් ඔය විදිහටම සැබෑ ලෝකයේ සිදු වෙනවද කියන එකයි. ඒ ප්‍රශ්නයට මම ඒ වෙලාවේ කෙටි පිළිතුරක් දුන්නා. එහෙත්, මේ ප්‍රශ්නය විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.

ඉතා පැහැදිලිවම ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර සෑහෙන තරමක පරතරයක් තිබෙනවා. ඇත්තටම පුදුමය විය යුත්තේ එය එසේ නොවනවානම්. ධනවාදී පරමාදර්ශයත් මාක්ස්වාදය වගේම තවත් එක් වියුක්ත අදහසක් පමණයි. වියුක්ත ආකෘති හා සැබෑ ලෝකය අතර පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්. මා එම පෙර ප්‍රතිචාරයට පිළිතුරක් සේ ලියූ විදිහට, මට අනුව, මේ මොහොතේ දේශපාලනය විය යුත්තේ මේ පරතරය හැකි තරම් අවම කිරීමයි.

පරමාදර්ශී තත්ත්වයන් යටතේ වගේම ප්‍රායෝගික තත්ත්වයන් යටතේද ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකු විසින් පිළිගත හැකි පිළිතුරක් ඉදිරිපත් කර නැහැ. යම් කිසිවකු විසින් එවැනි පිළිතුරක් ලබා දෙන තුරු අපි සමාජවාදය පැත්තකින් තියලා ධනවාදී පරමාදර්ශය ඔස්සේ ඉදිරියට යමු. 

සමාජවාදය හොඳ පිළිතුරක් නොවන බව පැහැදිලි වුවත්, ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර පරතරයක් ඇති විට එම පරතරය පියවෙන පිළිතුරක් අවශ්‍යයි. ධනවාදී පරමාදර්ශය අනුව, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය ප්‍රාග්ධන හිමියාටත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත් හිමි විය යුතුයි. මේ බෙදීම සාධාරණ වන්නේ ඇයි කියන එක මම විස්තර කරලා තියෙනවා. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එයින් ඔබ්බටයි. මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

ලිපි ගණනාවකදී යොදාගත් කොබ්-ඩග්ලස් ආකෘතිය උපයෝගී කර ගැනීමේ අරමුණ වුනේ ආන්තික ඵලදායීතාවය කියන සංකල්පය පැහැදිලි කිරීම හා සමාජවාදී විකල්පය සමඟ සංසන්දය කිරීම පමණයි. එම ආකෘතිය නිෂ්පාදන ආකෘතියක් මිසක් නිෂ්පාදනය බෙදී යන ආකාරය විස්තර කරන ආකෘතියක් නෙමෙයි. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා පැහැදිලි කරන නමුත් ඒ කරා යා හැකි යාන්ත්‍රනය එම ආකෘතියෙන් විස්තර කෙරෙන්නේ නැහැ. 

එහෙමනම්, ධනවාදී පරමාදර්ශය කරා යා හැකි යාන්ත්‍රනය කුමක්ද? මේ යාන්ත්‍රනය වෙළඳපොළ යාන්ත්‍රනයයි. "අන්දරේ සීනි කෑ හැටි" ලිපි මාලාවේ මුල් කොටස් වල ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රනය විස්තර කර තිබෙනවා. 

වෙළඳපොළ තර්කනය තේරුම් ගන්න අමාරු නැහැ. ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර පරතරයක් ඇති හැම විටෙකම ඇයට තමන්ගේ රැකියාව මාරු කළ හැකියි. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි පරතරයක් නැති විටෙක කොහේ ගියත් වැඩි වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ හැම විටම ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර ගතික සමතුලිතතාවයක් නඩත්තු වෙනවා. 

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ වෙළඳපොළ තරඟයක් තිබීම තුළ මිසක් වෙළඳපොළක් තිබීම තුළ නෙමෙයි. වෙළඳපොළෙහි තිබෙන්නේ ඒකාධිකාරයක්නම්, ප්‍රමාණවත් තරඟයක් නැත්නම්, මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි නැවතත් පෙර ලිපියක් සමඟ ඉදිරිපත් කළ වගු දෙකක් කරා යමු.


උඩ වගුවෙන් පෙන්වන්නේ K හෝ/සහ L වෙනස් වෙද්දී Y වෙනස් වන ආකාරය. පහළ වගුවෙන් පෙන්වන්නේ මෙය මෙසේ සිදු වෙද්දී ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනස් වන ආකාරය.

ආන්තික ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන සාධකයක් එක් ඒකකයකින් වැඩි කළ විට නිෂ්පාදිතය ඉහළ යන ප්‍රමාණය බව අපි ඉගෙන ගත්තා. නමුත්, මේ ප්‍රකාශයේ අඩුවක් තිබෙනවා. ප්‍රශ්නයක් සේ එකවර නොතේරුණත්, මෙහි "එක් ඒකකයක්" කියා කියන්නේ කුමක්ද? 

අපි ප්‍රාග්ධනය ගනිමු. එක් ඒකකයක් කියා කියන්නේ ඇමරිකන් ඩොලරයක්ද? චීන යුවාන් එකක්ද? බංග්ලාදේශ ටාකා එකක්ද? නැත්නම් ශ්‍රී ලංකා රුපියලක්ද? ශ්‍රී ලංකා සතයක්ද? 

ශ්‍රමය ගත්තත් ඔය ප්‍රශ්නයම එනවා. එක් ඒකකයක් කියා කියන්නේ මාසයක ශ්‍රමයද? දවසක ශ්‍රමයද? පැයක ශ්‍රමයද? නැත්නම් මිනිත්තුවක ශ්‍රමයද? 

ගණිතයේ එන අවකලන සංකල්පය අනුව මේ ඒකකයේ ප්‍රමාණය ශුන්‍යය කරා ළඟා විය යුතුයි. ප්‍රාග්ධනය සතයක් ගත්තත්, ශ්‍රමය තප්පරයක් ගත්තත්, මේ ඒකක ශුන්‍යයට වඩා ගොඩක් ලොකුයි. මීට වඩා ගොඩක් කුඩා ඒකක ගැන වුවත් අපට වියුක්ත ලෙස සිතන්න පුළුවන්. නමුත්, එවැනි කුඩා ඒකක වලින් සැබෑ ලෝකයේදී ගනුදෙනු සිදු වන්නේ නැහැ. 

තමන්ගේ මාසික වැටුප සතයකින් වැඩි වෙන නිසා රැකියාව මාරු කරන කෙනෙක් ඉන්නවද? තමන්ගේ ප්‍රතිලාභ සතයකින් වැඩි වෙන නිසා ප්‍රාග්ධන ආයෝජන වෙනත් තැනකට ගෙන යන කෙනෙක් ඉන්නවද? කවුරුවත් එහෙම කරන්නේ නැහැ. 

මෙයට හේතුව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය පිරිවැයකින් තොරව "සුමට ලෙස" විතැන් කළ නොහැකි වීමයි. නිෂ්පාදන සාධක විතැන් කිරීමද පිරිවැයක් අවශ්‍ය වන කටයුත්තක්. සැබෑ ලෝකය සුමට නැහැ. එහි "ඝර්ෂණ" තිබෙනවා. ඒ නිසා, "පොඩි පාඩුවක්" වුනා කියලා කවුරුවත් එය ගණන් ගන්නේ නැහැ. 

මේ හේතුව නිසා ශ්‍රමිකයෙකුට ඇත්තටම ලැබෙන වැටුප ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවය ඇයට ගෙවිය යුතු වැටුපට වඩා පොඩ්ඩක් අඩු වුනා කියලා සමාගමක් ඇයව එකවරම ඉවත් කරන්නේ නැහැ. මොකද එහෙම කරලා අලුත් ශ්‍රමිකයෙක්ව අලුතින් බඳවා ගන්න එකත් පිරිවැයක් අවශ්‍ය කටයුත්තක්. ඒ නිසා, ඝර්ෂණ තිබීම සාමාන්‍යයක් ලෙස ගත් විට ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එලෙසම ලැබෙන එක වළක්වන්නේ නැහැ.

කෙසේ වුවත්, ශ්‍රම වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ මෙවැනි ඝර්ෂණ වල අසමමිතියක් ඇත්නම් ඉහත කී සාමාන්‍ය අගයයන් වුවත් විකෘති විය හැකියි. උදාහරණයක් විදිහට ශ්‍රමිකයන්ට වෙනත් ප්‍රායෝගික විකල්ප කිසිවක් නැහැ. එහෙත් ප්‍රාග්ධන හිමියාට එවැනි විකල්ප ඕනෑ තරමක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස වුවත් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ හිමි නොවෙන්න පුළුවන්. කාල් මාක්ස් දුටු යුරෝපයේ තිබුණේ මෙවැනි තත්ත්වයක් කියා හිතන්න පුළුවන්. අදට වුවත් බොහෝ තැන් වලදී ශ්‍රමිකයන් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නයට පිළියමක් ලෙසයි. 

ඉහත වගු වෙත අපි නැවත අවධානය යොමු කරමු. පළමු වගුව ඇසුරෙන් අප විසින් දෙවන වගුව පිළියෙළ කළේ වරෙකදී නිෂ්පාදන සාධක වල එක් ඒකකයක් පමණක් වෙනස් වන්නේය යන පදනමින්. (K,L) = (10,10) සිට (K,L) = (10,9) කරා යද්දී Y ඒකක 6කින් අඩු වෙනවා. ඒ කියන්නේ එක් ශ්‍රම ඒකකයක් අඩු කළොත් නිෂ්පාදනය ඒකක 6කින් අඩු වෙනවා. ඒ නිසා, ශ්‍රමිකයෙක්ට වැටුප් සේ ඒකක 6ක් හිමි නොවෙනවානම් සහ ඇයට වෙනත් විකල්ප තිබෙනවානම් සමාගමට ඇගේ වැටුප් ලෙස ඒකක 6ක් දී ඇය වෙනත් තැනකට යන එක වලක්වා ගන්න සිදු වෙනවා. අනෙක් අතට ඇය ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටිනවානම් එය කළ නොහැකියි. ඇයට අස් වී යන්න ඉඩ අරින්න වෙනවා. පසුව ඒ වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

ප්‍රාග්ධනය සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්. (K,L) = (10,10) සිට (K,L) = (9,10) කරා යද්දී Y ඒකක 4කින් අඩු වෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියා විසින් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස ඒකක 4කට වඩා ඉල්ලා සිටිනවානම් ඔහුට තමන්ගේ ප්‍රාග්ධනය අරගෙන කැමති තැනකට යන්න ඉඩ දී වෙනත් ප්‍රාග්ධන හිමියෙක් හොයා ගන්න පුළුවන්. නමුත් එසේ කළ හැක්කේ වෙනත් ප්‍රාග්ධන හිමියන් ඕනෑ තරම් සිටින පසුබිමකදී පමණක් බවද පැහැදිලි විය යුතුයි.

ඉහත අවස්ථා වලදී අප විසින් උපකල්පනය කළේ ශ්‍රම ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ශ්‍රමිකයන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, වරකදී ශ්‍රමිකයන් දෙදෙනෙකු ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. මේ අයුරින්ම, ප්‍රාග්ධනය සම්බන්ධව අපේ උපකල්පනය වුනේද ප්‍රාග්ධන ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ප්‍රාග්ධන හිමියන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන් දෙදෙනෙකු එක් වර ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. නමුත් සැබෑ ලෝකයේ තත්ත්වය බොහෝ විට මෙසේ නොවන බව අප අත්දැකීමෙන් දන්නවා.

අපි හිතමු ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති එක් පුද්ගලයෙක්ට කියා. දැන් මේ පුද්ගලයාට එක වර තමන්ගේ ප්‍රාග්ධන ඒකක 9ම ඉවත් කර ගත හැකියි. අඩු වශයෙන් එසේ කරන බවට තර්ජනය කළ හැකියි. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (1,10) කරා යද්දී Y ඒකක 60කින් අඩු වෙනවා. එවිට ශ්‍රම ඒකක 10 හා ඉතිරි ප්‍රාග්ධන ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 40ක නිෂ්පාදිතයක් පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත හැකි වෙනත් විකල්පයක් නැත්නම්, ප්‍රාග්ධන හිමියාව රඳවා ගැනීම සඳහා ඔහුට ඒකක 60කට නොවැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ ඇරීමෙන් අනෙක් අයට පාඩුවක් වෙන්නේ නැහැ. 

මේ අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රනය තුළම ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති පුද්ගලයාගේ ප්‍රතිලාභ ඒකක 40 සිට 60 දක්වා වැඩි විය හැකියි. එහිදී ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යන බව පැහැදිලියි. ශ්‍රමිකයන්ට වෙනත් විකල්පයක් නැත්නම්, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු වැටුපකට සේවය සලසන්න සිදු වෙන්න පුළුවන්. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම සේ හඳුනා ගැනෙන්නේ මීට ආසන්න දෙයක්.

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වෙළඳපොළ තරඟයට ඉඩ ලැබීම මත මිස වෙළඳපොළට ඉඩ ලැබීම මත ශ්‍රමිකයාගේ තත්ත්වය යහපත් නොවන බවයි. ධනවාදී පරමාදර්ශය විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ තරඟයට අවස්ථාව සැලසීම මිස වෙළඳපොළට අවස්ථාව සැලසීම නෙමෙයි. වෙළඳපොළට අවස්ථාව සැලසීම එහි අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුවත් එය අතරමැදි ඉලක්කයක් මිසක් පරමාදර්ශී තත්ත්වයක් නෙමෙයි. ලංකාව වැනි රටවල් විසින්ද වෙළඳපොළට ඉඩ දී ඇතත්, ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් නොවීමට හේතුව මේ වෙනසයි. 

ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයන් යටතේ එම ප්‍රතිලාභ හිමි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මාක්ස්වාදී හා මාක්ස්වාදී නොවන සමාජවාදය තුළ යෝජනා වී තිබෙන ජනප්‍රිය විකල්පයක් වන්නේ ශ්‍රමිකයන් සංවිධානය වීමයි. වෘත්තීය සමිති හරහා සිදු වන්නේ මෙයයි. වෘත්තීය සමිතියක් තුළ ශ්‍රමිකයන් ඒකරාශී වූ විට සිදු වන්නේ කුමක්ද?

නැවත අපි ඉහත උදාහරණයටම එමු. ප්‍රාග්ධනයේ ඒකාධිකාරී බලය උපයෝගී කර ගනිමින් ප්‍රාග්ධනයේ කොටස ලෙස 40ක් නොව 60ක් ලබා ගන්නේයැයි අපි සිතමු. මෙයට ප්‍රතිරෝධය දක්වමින් ශ්‍රමිකයින් සංවිධානය වී ශ්‍රම ඒකක 9ක් එකවර ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේයැයි සිතමු. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (10,1) කරා යද්දී Y ඒකක 75කින් අඩු වෙනවා. එවිට ප්‍රාග්ධන ඒකක 10 හා ඉතිරි ශ්‍රම ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 25ක නිෂ්පාදිතයක් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියාට තමන්ගේ ප්‍රතිලාභ ලෙස ඒකක 25ක් වුවත් භාර ගන්න සිදු වෙනවා. මෙය ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ සේ ලැබිය යුතු ඒකක 40ටත් වඩා අඩුයි.

මාක්ස්වාදයේ අවසාන ඉලක්කය ශ්‍රමිකයන් සංවිධානය වී රාජ්‍ය බලය ලබා ගැනීම හරහා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ නැත්තටම නැති කිරීමයි. මෙය අසාර්ථක ඉලක්කයක් බව මා පැහැදිලි කර අවසන්. එහෙත්, ප්‍රාග්ධනයේ ඒකාධිකාර හමුවේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමිකයින් සංවිධානය වීම අසාර්ථක දෙයක් බව එයින් අදහස් වන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් ශ්‍රමිකයින් සංවිධානය වී තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම කෙටිකාලීන අතරමැදි විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ඇයි?

මෙහිදී ප්‍රතිඵලය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මත. හෙට්ටු කිරීම් වල වාසි තීරණය වන්නේ සංවිධාන ශක්තිය මත. ශ්‍රමිකයින් සංවිධානය වූ තරමට ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව වැඩි වනවා වගේම ඊට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. එහෙත්, මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ද සංවිධානය වෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ශ්‍රමිකයන්ට වඩා ප්‍රාග්ධන හිමියන්ට සංවිධානය වෙන්න ලේසියි. 

ශ්‍රමිකයන් සංවිධානය වෙලා මොන තරම් දේවල් ලබා ගත්තත් ඒ දේවල් වැඩි කල් එලෙසම තියා ගන්න බැරි බව තේරුම් ගන්න ලංකාවෙන්ම වුනත් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ශ්‍රමිකයන්ගේ එකමුතු ඉතා ඉක්මණින් බිඳෙනවා. ප්‍රාග්ධන හිමියෝ නැවතත් තමන්ගේ කොටස ලබා ගන්නවා. මෙය දිගටම චක්‍රයක් ලෙස සිදු වෙනවා. වෘත්තීය සමිති නායකයින් බිලී බා ගැනීම වගේ දේවල් වෙන්නෙත් මේ වගේ පසුබිමක.

අතරමැදි විසඳුම් විදිහට ශ්‍රමිකයන්ට සංවිධානය වී වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි වුවත් ඒ මගින් ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වී තිබෙන ආකෘතිමය ගැටළුව විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් ලෙස යෝජනා වූ මාක්ස්වාදී විකල්පයත්  ප්‍රායෝගිකව අසාර්ථක වෙලා තිබෙනවා. එහෙත් ධනවාදී විකල්පය එලෙසම අසාර්ථක වී නැහැ. ඇස් ඇර බැලුවොත් පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වය වඩාත්ම යහපත්ව පවතින්නේ වඩාත්ම ධනවාදී රටවලයි. එම රටවල නිරන්තර ශ්‍රමික අරගල සිදු වන්නේද නැහැ.

හේගලියානු අර්ථයෙන් ගත්තොත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රාග්ධන හිමියන් විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්න කරන උත්සාහය තුළම එම ලාබ අහෝසි වී යාමේ යාන්ත්‍රනයද තිබෙනවා. නමුත්, මෙය සිදුවන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුමෙන් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් අතරම සිදුවන ගැටුමෙන්. ඒක ඉක්මණින් වෙන්නනම් එක් අදියරකදී ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය "සූරාකන්න" ඉඩ දෙන්න වෙනවා. එයට බාධා වන තරමට මේ ක්‍රියාවලිය සිදු වන එක මන්දගාමී වෙනවා. එක පැත්තකින් බැලුවොත් මෙය අවසන් යහපත වෙනුවෙන් "වියදම් අධික" සමාජවාදී විප්ලවයක මිල ගෙවීම වැනිම අදහසක්. 

Monday, May 10, 2021

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.


බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%

එක්සත් රාජධානිය - 59.1%

ප්‍රංශය - 62.2%

ජර්මනිය - 63.0%

ඕස්ට්‍රේලියාව - 58.2%

කැනඩාව - 65.3%

ඩෙන්මාර්කය - 62.5%

ෆින්ලන්තය - 59.2%

ස්වීඩනය - 54.9%

පෘතුගාලය - 58.8%

නවසීලන්තය - 55.7%


ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%

චීනය - 57.4%


එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%

ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%

ඉරාකය - 29.6%

කුවේට් - 24.5%

ඕමාන් - 30.3%

කටාර් - 17.3%

සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%

සිංගප්පූරුව - 44.0%


විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%

එක්සත් රාජධානිය - 8.7%

ප්‍රංශය - 4.6%

ජර්මනිය - 5.0%

ඕස්ට්‍රේලියාව - 4.7%

කැනඩාව - 5.0%

ඩෙන්මාර්කය - 5.5%

ෆින්ලන්තය - 6.0%

ස්වීඩනය - 5.9%

පෘතුගාලය - 5.5%

නවසීලන්තය - 8.3%

රුසියාව - 2.3%

චීනය - 8.5%

වෙනිසියුලාව - 5.6%

සිංගප්පූරුව - 15.9%

ඉරානය - 8.0%

ඉරාකය - 12.5%

කුවේට් - 12.8%

ඕමාන් - 11.8%

කටාර් - 20.7%

සවුදි අරාබිය - 11.7%

ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

Monday, May 25, 2020

සහල් මාෆියාව හඹා යමු!


මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය හා අදාළ අවුල් ජාලයක පැටලී ඉන්නවා. එක අවුලක් ලෙහන්න ගිහින් තවත් අවුල් ගණනාවක් හදා ගන්නවා. සහල් වෙළඳපොළ සම්බන්ධව දැනට ආණ්ඩුව පැටලී ඉන්න අවුලත් ඒ අවුල් ජාලයේම කොටසක්.

මතු පිටින් පේන්න තිබෙන පරිදි ඩඩ්ලි සිරිසේන හා ආණ්ඩුව අතර අවුලක් තිබෙනවා. ඒ අවුල ගැන කතා කිරීමට කාලය යොදවන්න මම කැමති නැහැ. එය තේරුමක් නැති දෙයක්. මේ අය කොහොමටත් එකම කණ්ඩායමක සාමාජිකයෝ. එළියට පේන්න තිබෙන අවුල තව ටික දවසකින් ඇතුළෙම විසඳිලා තියෙයි. (ලිපියේ මේ කොටස ලිවුවේ ඊයේ. මේ වන විටත් අවුල ලෙහිලා බව පෙනෙනවා!). නමුත්, අවුලට පාදක වී තිබෙන ලංකාවේ ආර්ථික ව්‍යුහයේ මූලික ආකෘතිමය ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. මම අවධානය යොමු කරන්න කැමති ඒ මූලික ආකෘතිමය ප්‍රශ්නයටයි.

මේ ගැන කතා කරන්න කලින් පැහැදිලි කළ යුතු වෙනත් අවශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම පැහැදිලි කරන්න තව ලිපි විසිපහක් තිහක් ලියන්න වෙයි. ඒ වැඩේට මාසයක් විතර යයි. ඒ නිසා, අපි ටිකක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරමු. ඔය ෆාස්ට් ෆෝර්වර්ඩ් කියන වචනය අපේ තරුණ කාලයේ කැසට් යුගයේ වචනයක්. කැසට් යුගයට පසුව ඉපදුණු තරුණ අයට වචනය නුහුරු ඇති. හුරු වුනත් සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති.

කොහොමටත් මේ බ්ලොග් එකේ ලිපි ලියැවෙන්නේ වනකතා ස්ටයිල් එකට. එහෙමත් නැත්නම් කථා සරිත් සාගරයේ ස්ටයිල් එකට. හැබැයි ගොඩක් වෙලාවට අළුතෙන් අරින වරහන් වහන්න වෙන්නේ නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂාවෙන් කියනවානම් පුනරාවර්තිතව නීඩායානය කරමින් (recursive nesting) යනවා මිසක් එළියට ඒමක් නැහැ. කෘෂිකර්මයට ආවේ කෝවිඩ් හා අදාළ වැදගත් කරුණු ටිකක් කතා කරන්න අවශ්‍ය මූලික ප්‍රවේශයක් විදිහටයි. දැන් යන්නේ වෙනම පැත්තකට. ඒකට කමක් නැහැ. මේ හැම දෙයක්ම වැදගත්නේ.

ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් කළ යුතු පළමු දෙය ප්‍රශ්නය නිවැරදිව හඳුනාගන්නා එකයි. ඇතැම් විට ලොකුවට දැඟලුවවාට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රශ්නයක් නැති වෙන අවස්ථාත් තිබෙනවා.

දැන් සිදු වෙමින් තිබෙන්නේ ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කිරීමත්, ඒ මිලට සහල් සපයන්න මෝල් හිමියන් එකඟ නොවීමත් පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේම පාලන මිලක් නියම කිරීම තුළයි. පාලන මිලක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කර තිබෙන්නේ ඇයි?

පාලන මිලක් නොතිබුණානම් සහල් මිල වෙළඳපොළ තුළ තීරණය වෙනවා. කවර හෝ හේතුවක් නිසා වෙළඳපොළ සමතුලිත මිල නියම මිල නොවන බව ආණ්ඩුව විසින් තීරණය කර වෙනත් නිශ්චිත මිලක් නියම කර තිබෙනවා. ඒ මිල සමඟ මෝල් හිමියන් එකඟ නැහැ. ඒ නිසා ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාලන මිල ඉවත් කළ වහාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, පාලන මිලක් දැමීමට ආණ්ඩුව පෙළඹුණු කවර හෝ ප්‍රශ්නය එවිට නැවත ඇති වෙනවා. ඒ ප්‍රශ්නය කුමක්ද?

මෙය ආණ්ඩුව විසින් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට අනුව වී මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවා. ඒ නිසා, වෙළඳපොළ මිල නියම මිල නෙමෙයි. වෙළඳපොළ මිල නියම මිල නොවන නිසා ආණ්ඩුවට අනුව ආණ්ඩුව විසින් වෙළඳපොළ මිලට මැදිහත්වීමක් කළ යුතුයි.

දැන් අපිට ආණ්ඩුව දකින ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න පොටක් පෑදී තිබෙනවා.

- ආණ්ඩුව කියන පරිදි මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවාද?
- එවැන්නක් සිදුවනවානම් එය රජය මැදිහත් වී වෙනස් කළ යුතු තත්ත්වයක්ද?

පළමු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. එහෙම කිවුවත් මේ ප්‍රශ්න දෙක එකිනෙකට ගැට ගැසී ඇති නිසා එකක් වෙනම ගලවලා ගන්නත් අමාරුයි.

සහල් මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ආනයනික සහල් සැපයුම හා වී අලෙවි මණ්ඩලය හරහා රජයේ මැදිහත් වීම පැත්තකින් තිබ්බොත් පාරිභෝගිකයා වෙත සහල් සැපයෙන සැපයුම් දාම ක්‍රියාවලිය මේ විදිහයි.

දේශීය වී නිෂ්පාදකයා -> වී එකතු කරන්නා/තැරැව්කරුවා  ->  මෝල් හිමියා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මෙතැනින් එහාට යන්න කලින් අපිට ඒකාධිකාරයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කර ගන්න වෙනවා. ඒ සඳහා, පළමුව තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද කියන තැනින් පටන් ගන්න වෙනවා.

නිදහස් වෙළඳාමට ඉඩ දුන් පමණින් හැම විටම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. එය තීරණය කෙරෙන වෙනත් සාධක ගණනාවක් තිබෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ ස්වභාවිකවම හැදෙන්නේ ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. ඒකාධිකාරම නැතත් බොහෝ විට ඒකාධිකාරයක් හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් හැදෙනවා.

තරඟකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
- කිසිදු තනි මිල දී ගන්නෙකුට (තනි පාරිභෝගිකයෙකුට) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් මිල දී ගන්න පුළුවන්. නැත්නම් මිල දී නොගෙන ඉන්න පුළුවන්. එච්චරයි.
- කිසිදු තනි විකුණන්නෙකුටත් (තනි නිෂ්පාදකයෙකුටත්) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් විකුණන්න  පුළුවන්. නැත්නම් නොවිකුණා ඉන්න පුළුවන්. එච්චරයි.

වෙළඳපොළ මිලට කිසිදු නිෂ්පාදකයෙකු හෝ පාරිභෝගිකයෙකු විසින් බලපෑම් කරන්නේ නැත්නම් මිල තීරණය වෙන්නේ කොහොමද?

තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැරි වුනත් සියලුම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් විසින් තනි තනිව සිතා ගන්නා තීරණ වල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොල මිල තීරණය වෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එය වෙනම කරන්නම්. දැනට අපි ඉදිරියට යමු.

මේ කියපු විදිහේ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් ඇතැම් මූලික කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. ඒ කරුණු බොහෝ දුරට නිෂ්පාදන තාක්ෂනය හා සම්බන්ධයි.

- විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල මිල දී ගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති විය යුතුයි.
- විශාල නිෂ්පාදකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු අයෙකු වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල නිෂ්පාදනයක් නොකරන්නේ විය යුතුයි.
- කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදකයෙක් වීමට නෛසර්ගික බාධාවක් නොතිබිය යුතුයි.
- කැමති ඕනෑම නිෂ්පාදකයෙකුට වහාම නිෂ්පාදනයෙන් ඉවත් වීමට බාධාවක් නොතිබිය යුතුයි.

දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ මේ විදිහටයි. කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම අඩු වුනොත්, සැපයුම් අතිරික්තයක් ඇති වෙනවා. එවිට අදාළ භාණ්ඩය විකුණා ගැනීම අසීරු වෙද්දී තරඟය නිසා මිල පහත වැටෙනවා. වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අඩු වූ මිල යටතේත් ලාබ තියෙනවා. එහෙත්, අකාර්යක්ෂම නිෂ්පාදකයින්ට මේ අඩු වූ මිලට භාණ්ඩ සපයා ලාබ ගන්න බැහැ. ඔවුන්ට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වෙනවා. එවිට සැපයුම පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල ස්ථාවර වෙනවා.

කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම වැඩි වුනොත් මෙහි අනිත් පැත්ත වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යනවා. ඉහළ ගිය මිල යටතේ දැනට ඉන්න නිෂ්පාදකයින් තරමටම කාර්යක්ෂම නැති අයටත් ලාබ ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා, අලුත් නිෂ්පාදකයින් බිහි වී සැපයුම ඉහළ යනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවර වෙනවා.

නිදහස් වෙළඳාමට බාධාවක් නොතිබුණත් හැම විටම තරඟකාරී වෙළඳපොළක් බිහි නොවන බව මම කිවුවනේ. එයට විවිධ හේතු තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය ගොඩක් සංකීර්ණ වීම එක් බාධාවක්. ලාබ ලැබීමේ අවස්ථාවක් තිබුණත් තාක්ෂනය ළඟ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය සරල වූ තරමට තරඟකාරී වෙළඳපොළක් බිහි වීමට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. නිෂ්පාදනය ආරම්භ කිරීමට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම තවත් බාධාවක්. ඔය වගේ තවත් නෛසර්ගික බාධා තිබෙනවා.

මේ වගේ නෛසර්ගික බාධා ඇති විට, එහෙම නැත්නම් රාජ්‍ය මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කෘතීම බාධා හේතුවෙන්, ඒකාධිකාර හෝ ඒකාධිකාර හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වුවත් ගනුදෙනු සිදු වෙන්නේ නිදහසේ නිසා එහි පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙත්, එක් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ ලාබය අඩු කර තමන්ගේ ලාබය වැඩි කර ගන්න පුලුවන්. මෙය සිදු වන්නේ එක් පාර්ශ්වයකට වෙළඳපොල මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබීම මතයි.

බොහෝ විට මෙසේ වෙළඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙන්නේ සැපයුම්කරුටයි. එය තනි පුද්ගලයෙකුට හිමි වූ විට ඒකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා. මෙහි අනෙක් පැත්ත, එනම් තනි පාරිභෝගිකයෙකුට මිල තීරණය කිරීමේ හැකියාවක් ලැබීම ක්‍රයෛකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා.

දැන් අපි නැවත සහල් වෙළෙඳපොළේ සැපයුම් දාම ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළොත් එහි අන්ත දෙකේම ඉන්නේ වෙළඳපොල මිල තීරණය කිරීමේ හැකියාවක් නැති අයයි. ඉතා කලාතුරකින් හැර තනි සහල් පාරිභෝගිකයෙකුට මිල හෙට්ටු කිරීමේ හැකියාවක් නැහැ. වී ගොවියන් බොහෝ දෙනෙකු සම්බන්ධව තත්ත්වයත් එවැන්නක්. ලංකාවේ වී ගොවියන්ගෙන් 95%ක් සතුවම තිබෙන්නේ කුඹුරු අක්කර පහකට අඩු ප්‍රමාණයක්. කුඹුරක සාමාන්‍ය ප්‍රමාණය අක්කර දෙකයි. මේ අයට වෙළඳපොළ මිලට වී විකුණනු මිස මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අපට අවධානය යොමු කරන්න වෙන්නේ සැපයුම් දාමයේ මැද කොටස් වෙතයි.

සැපයුම් දාමයේ පාරිභෝගිකයාට කලින් ඉන්නේ සිල්ලර වෙළෙන්දා. මේ සිල්ලර වෙළෙන්දා බොහෝ විට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් දාමයක වෙළඳසැලක් වෙන්නත් පුළුවන්. ඒත් සුපිරි වෙළඳසැල් වලට තවමත් ලංකාවේ ඒකාධිකාරී බලයක් නැහැ. එක පැත්තකින් සුපිරි වෙළඳසැල් අතරම පවතින තරඟය. අනෙක් පැත්තෙන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්දෝ. ඒ නිසා, පාරිභෝගිකයෙකු විසින් සිල්ලර වෙළෙන්දෙක් එක්ක කරන ගනුදෙනුවේදී පාරිභෝගිකයාට විශාල තේරීමක් තිබෙනවා. සිල්ලර වෙළෙන්දාට හිතු මනාපෙට මිලට බලපෑම් කරන්න බැහැ.

අනෙක් කොනේ දේශීය වී නිෂ්පාදකයාට පසුව හමුවෙන වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා මේ සැපයුම් දාමයේ අනිවාර්ය පුරුකක් නෙමෙයි. ඔහු බොහෝ විට වී මෝල් හිමියෙකුගේ නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔය වී වවන පැත්තක රැකියාව කරන රජයේ සේවකයෙක් වගේ කෙනෙක්. මේ පුද්ගලයා විසින් කරන්නේ වී ගොවියාගෙන් වී ටික මිල දී ගෙන පසුව කීයක් හෝ තියාගෙන මෝල් හිමියාට විකුණන එකයි. ඇතැම් විට වැඩේට යොදවන්නේ වී මෝල් හිමියාගේම සල්ලි.

සාමාන්‍යයෙන් මේ වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා වී මිල දී ගන්නේ අස්වැන්න කැපෙන්න කලින්. අස්වැන්න කැපෙන කොට අනික් පැත්තට විකුණලා දමනවා. ඒ නිසා වී ගබඩා කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගබඩා කර ගන්නා අයත් ගොඩක් වෙලාවට තමන්ගේම ගෙදර කොටසක ටික කලකට වී ටික ගබඩා කර ගන්නවා මිසක් ඔය වැඩේට කියලා මුදල් ආයෝජනය කරලා වී ගබඩා හදන්නේ නැහැ.

මේ විදිහට කලින්ම වී ටික විකුණන එකෙන් වී ගොවියාට වාසි දෙකක් ලැබෙනවා. පළමුව කලින් අතට මුදලක් ලැබෙන එක. හැබැයි මේ විදිහට බොහෝ විට ලැබෙන්නේ අත්තිකාරම් මුදලක් පමණයි. දෙවැන්න වී අස්වැන්න ලැබෙන විට මිල පහළ වැටී තිබීමේ අවදානමෙන් ආරක්ෂා වීම. ඒ අතින් මෙය ඉදිරි සුරැකුම් ගිවිසුමක් වගේ. වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා විසින් උපයන ලාබය මේ වෙනුවෙන් වී ගොවියා විසින් ගෙවන මිලක් කියා කියන්න පුළුවන්.

මේ වැඩේ සංකීර්ණ වැඩක් නොවනවාක් මෙන්ම බොහෝ දෙනෙක් විසින් කරන වැඩක්. වැඩේ කරන මිනිස්සු ලොකු ධනවතුන් නෙමෙයි. ඒ වගේම වැඩේ පාඩුනම් වී ගොවියා කෙළින්ම වී මෝල් හිමියා වෙත යනවා මිසක් අතරමැදියෙකු හරහා යන්නේ නැහැ.

දැන් ඉතිරි වෙලා ඉන්නේ තොග වෙළෙන්දා සහ වී මෝල් හිමියා. මේ තොග වෙළෙන්දා බොහෝ විට අවට කඩ විස්සකට තිහකට තොග සපයන ප්‍රාදේශීය නගරයක තිබෙන වෙළඳසැලක්. බොහෝ විට සෘජුවම සිල්ලර වෙළඳාමේත් යෙදෙනවා. පාරිභෝගිකයා කෙළින්ම සිල්ලර වෙළෙන්දා වෙත නොඑන්නේ සිල්ලර වෙළෙන්දා විකුණන මිල තොග වෙළෙන්දාගේ මිලට වඩා ගොඩක් වැඩි නැති නිසයි. තොග වෙළෙන්දෙකුට තමන්ගේ ප්‍රදේශයේ කිසියම් ඒකාධිකාරී බලයක් තියෙන්න පුළුවන්. එහෙත් ලංකාවම ගත්තහම මේ කියන මට්ටමේ තොග වෙළෙන්දෝ විශාල පිරිසක් ඉන්න නිසා එක් අයෙකුට සමස්ත වෙළඳපොල තුළ කළ හැකි විශාල බලපෑමක් නැහැ. සහල් වෙළඳපොළේ තොග වෙළෙන්දාගේ භූමිකාව එතරම් විවේචනයට ලක් වෙලත් නැහැ. ඒ නිසා අපි එයාවත් පැත්තකින් තියමු.

දැන් ඉතිරි වී ඉන්නේ වී මෝල් හිමියා. වී මෝල් හිමියා විසින් මේ සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ආයෝජනයක් කළ යුතුයි. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ඒ වෙනුවෙන් සැලකිය යුතු මූලික ආයෝජනයක් කළ යුතුයි. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. මේ වැඩේට සැලකිය යුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වනවාක් මෙන්ම සැලකිය යුතු විචල්‍ය පිරිවැයක්ද දරන්න වෙනවා. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. බොහෝ දුරට මෙහි තිබෙන්නේ විචල්‍ය පිරිවැයක්.

ඉහත කී කාර්යයන් කරන වී මෝල් හිමියන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙත්, ඒ අය අතරින් බොහෝ දෙනෙක් සුළු හෝ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෝ. සහල් මාෆියාවක් පවත්වා ගෙන යන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ වී මෝල් හිමියන් අතර සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුටයි.

සහල් මෝල් ව්‍යාපාරය තුළ කෙතරම් පිරිසක් සිටියත් ඒ අතරින් හතර පස් දෙනෙක්ගේ පංගුව ගොඩක් විශාලයි. නිශ්චිත සංඛ්‍යලේඛන නැතත් මේ කරුණ පිළිබඳ පොදු එකඟතාවයක් තිබෙනවා. මේ මොහොතේ වත්මන් ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මීට පෙර වරින් වර දැන් විපක්ෂයේ ඉන්න එජාප හා ජවිපෙ විසින්ද මේ සහල් මාෆියාව ගැන කතා කරලා තිබෙනවා. ඒ නිසා, මේ කරුණ ලංකාවේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන දෙයක් කියා නිගමනය කරන්න පුළුවන්.

මා කලින් විස්තර කළ පරිදි, තරඟකාරී වෙළඳපොළකින් වෙනස්ව, ඒකාධිකාරයක් ඇති තැනක සැපයුම්කරුට වෙළඳපොළ මිලට තමන්ගේ අභිමතය පරිදි බලපෑම් කළ හැකියි. එයින් කියන්නේ සැපයුම්කරුට අසීමිත ලෙස මිල ඉහළ දමමින් තමන්ගේ ලාබ වැඩි කර ගත හැකි බව නෙමෙයි. ඒකාධිකාරයක් ඇති විට පවා ඉල්ලුම් සාධක නොසලකා හැර මිල ඉහළ දමන්න බැහැ. එහෙත්, ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවෙකු විසින් උපයන "සාමාන්‍ය ලාභය" ඉක්මවන "සුපිරි ලාබයක්" ලැබීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට සුපිරි ලාබ ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ ඒකාධිකාරයක් ඇති විට පමණයි. ඒ කියන්නේ එකම එක සැපයුම්කරුවෙක් පමණක් සිටින විට. සහල් මෝල් කර්මාන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ටික පැත්තකින් තිබ්බත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති විට අවසන් සමතුලිතතාවය තීරණය වන්නේ මේ සීමිත පිරිස අතර තිබෙන තරඟයේ ප්‍රමාණය අනුවයි. සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටියත් ඒ දෙදෙනා ඉතා ආක්‍රමනශීලී ලෙස එකිනෙකා සමඟ තරඟ කළොත් අවසන් ප්‍රතිඵලය තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයටම සමානයි. මෙහිදී වෙළඳ තරඟයේ වාසිය පාරිභෝගිකයාට මුළුමනින්ම ලැබෙනවා. විශාල සැපයුම්කරුවන් පිරිසක් නොසිටීම ප්‍රශ්නයක් නෙමෙයි. සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලාභ වලට අමතරව සුපිරි ලාභ කිසිවක් හිමි වන්නේ නැහැ.

මෙහි අනෙක් අන්තය ලෙස සැපයුම්කරුවන් දෙදෙනකු හෝ හත් අට දෙනෙකු තනි කණ්ඩායමක් හෙවත් කාටලයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. එහිදී ඔවුන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ නොකර තම තමන්ගේ පංගු පිළිබඳ සම්මුතියකට එනවා. මෙය ලිඛිත හෝ වාචික ගිවිසුමක් නැතිව අවබෝධය මත සිදු වන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවබෝධයක් ඇති වෙන්න හමු වී කතාබහ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඔය විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ හොරකම් ගැන කොයි තරම් කතා කළත්, ආණ්ඩු මාරු වුනාට පස්සේ ඒවා පස්සේ පන්නලා දඬුවම් නොදෙන්නේ කතාබහ කරගෙන ඩීල් දමාගෙනම නෙමෙයිනේ. ඔය වගේ දේවල් වැඩිදුර නොගෙනියන එක තමන්ට වාසියි කියන අවබෝධය දෙපැත්තටම තිබෙනවා. මේකත් බොහෝ විට ඒ වගේ දෙයක්.

මේ ආකාරයේ කාටලයක් හැදුනු පසු සැපයුම්කරුවන් සියලු දෙනාම තනි ඒකකයක් ලෙස පාරිභෝගිකයාට එරෙහිව කටයුතු කරමින් තමන්ගේ ලාබ හැකි තරමින් වැඩි කරගන්නවා. අවසාන ප්‍රතිඵලය තනි සැපයුම්කරුවෙකු පමණක් සිටින විට ඇති වන තත්ත්වයට සමානයි.

මේ කතා කළ දෙවන තත්ත්වය වගේම මුලින් කිවූ පළමු තත්ත්වයත් කතිපයාධිකාරී වෙළඳපොලක ඇති විය හැකි නමුත් ඔය අන්ත දෙකෙන් එකකට යන්නේ ඉතා කලාතුරකින්. බොහෝ විට සැපයුම්කරුවන් අතර එකිනෙකා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් නැහැ. එවැනි විශ්වාසයක් මත කටයුතු කරගෙන යද්දී එක් අයෙකුට අනෙත් අයට වංචා කර තමන්ගේ ලාබ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා, පූර්ණ ඒකාධිකාරයක් ඇති වෙන්න කලින් බොහෝ විට සම්මුතිය බිඳ වැටෙනවා.

අනෙක් පැත්තෙන් බොහෝ විට සැපයුම්කරුවන් අතර පූර්ණ තරඟයක් ඇති වෙන්නේත් නැහැ. ටික දුරක් යද්දී දෙපැත්තම හති වැටෙනවා. අවසානයේදී පාරිභෝගිකයින්ට මිසක් තමන්ට යහපතක් නොසැලසෙන බව දෙපැත්තටම තේරුම් යනවා. එවිට තරඟය නැවතී සම්මුතියක් ඇති වෙනවා.

මෙය පැහැදිලි කරන්න අපි හාල් මෝල් කර්මාන්තයටම එමු. අපි හිතමු සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටියා කියා. මේ එක් අයෙකුට හාල් කිලෝවක් හදන්න යන අවම මිල රුපියල් 80යි කියා කියමු. ඒ කියන්නේ ඊට වඩා අඩු මිලකට ඔහු කොහොමටත් හාල් විකුණන්නේ නැහැ. අනෙක් මෝල් හිමියාගේ තත්ත්වයත් එයමයි.

දැන් පළමු මෝල්හිමියා රුපියල් 10ක ලාබයක් තියාගෙන රුපියල් 90 බැගින් සහල් විකුණනවා. දෙවැන්නාත් එයම කරනවා. පාරිභෝගිකයාට විකල්ප දෙකක් තිබෙනවා. දෙකේදීම මිල සමානයි. ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැත්නම් පාරිභෝගිකයා විසින් අහඹු ලෙස කාගේ හෝ හාල් මිල දී ගන්නවා. හාල් ඉල්ලුම කිලෝ 100ක්නම් එක් අයෙකුගේ හාල් කිලෝ 50 බැගින් විකිණෙනවා. කිලෝවකින් ලාබය රුපියල් 10ක් නිසා රුපියල් 10x50 = 500ක ලාබයක් එක් මෝල් හිමියෙක්ට ලැබෙනවා.

මේ වගේ තත්ත්වයක් කිසියම් අලිඛිත එකඟතාවයක් ලෙස දිගු කාලයක් පවතින්න පුළුවන්. ඒ සඳහා මෝල් හිමියන් දෙන්නා යාලුවෝ වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේ මරා ගන්න තරම් තරහක් තිබෙන දෙන්නෙක් අතර වුවත් මෙවැනි ව්‍යාපාරික එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්.

අපි හිතමු ඔහොම කාලයක් යද්දී පළමු සැපයුම්කරුගේ ව්‍යාපාරයේ පාලනය ඔහුගේ පුතාට යනවා. පුතා හොයා බලනවා ලාබ වැඩි කරගත හැකි ක්‍රමයක්. එක පාරටම මිල රුපියල් 89 දක්වා අඩු කළොත් මුළු වෙළඳපොළම තමන්ගේ බව ඔහුට තේරෙනවා. ඊට අමතරව මිල අඩු වෙද්දී ඉල්ලුමත් තරමක් ඉහළ යනවා. දැන් කිලෝවකින් ලාබය රුපියල් 9ක් පමණයි. කිලෝ 105ක් විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් 9x105 = 945ක ලාබයක්. කලින් ලාබය රුපියල් 500ක් පමණයි. තාත්තා අවුරුදු ගාණක් තිස්සේ මොනාද කරලා තියෙන්නේ?

මේ වැඩෙන් පළමු සැපයුම්කරුගේ ලාබය විශාල ලෙස ඉහළ ගියත් දෙවන සැපයුම්කරු නැත්තටම නැති වෙනවා. ඔහුට සතයක්වත් නැහැ. ඊළඟ වටයේදී ඔහු රිටර්න් එක දෙනවා. මිල රුපියල් 88 දක්වා අඩු කරනවා. හාල් කිලෝ 110ක් විකිණෙනවා. ලාබය රුපියල් 8x110 = 880ක්. දැන් පළමුවැන්නා හාන්සි. පළමු වටයේදී රුපියල් 445ක් වැඩියෙන් ලැබුණත් දෙවන වටයේදී තිබුණු 500ත් නැති වෙලා. එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බැහැ. ඔහු මිල තවත් අඩු කරනවා.

ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. දෙන්නාම දැඩි ආක්‍රමණශීලී ස්ථාවරයක හිටියොත් අන්තිමට තරඟය නවතින්නේ මිල රුපියල් 80 මට්ටමට වැටුණු පසුවයි. ඊටත් වඩා අඩුවෙන් හාල් විකුණන එක කොහොමටත් පාඩු නිසා කලින් වැඩේ නැවතුනේ නැත්නම් තරඟය එතනදී අනිවාර්යයෙන්ම නවතිනවා. අන්තිමට දෙන්නාටම ඉතිරි වෙන්නේ වෙළඳපොළේ මුලින් තිබුණු 50% පංගුවමයි. නමුත්, ආරම්භයේදී තිබුණු රුපියල් 10ක සුපිරි ලාබය දැන් නැහැ. දැන් තිබෙන්නේ පිරිවැය ආවරණය වන සාමාන්‍ය ලාබයක් පමණයි. තරඟකාරී වෙළඳපොළක තත්ත්වය.

අපි හිතමු ඔය වැඩේ වෙන විදිහකට වුනා කියලා. පළමු සැපයුම්කරුගේ පුතා ව්‍යාපාරයේ පාලනය බාර ගත් වහාම දෙවන සැපයුම්කරු හමු වී ඩීල් එකක් දමනවා. ඩීල් එක අනුව දෙන්නාම වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ 50 සිට 45 දක්වා අඩු කරනවා. දැන් වෙළඳපොළට එන්නේ සහල් කිලෝ 90ක් පමණයි. ඒ නිසා රුපියල් 90 සිට 92 දක්වා හාල් මිල ඉහළ යනවා. හාල් කිලෝවකින් ලාබය රුපියල් 12 දක්වා වැඩි වන නිසා විකිණෙන හාල් ප්‍රමාණය අඩු වුනා කියා පාඩුවක් නැහැ. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 12x45 = 540යි. දෙන්නාගේම ලාබ ඉහළ ගිහින්.

ඔය වැඩේ තවත් එහාට ගෙනියන්න පුළුවන්. අපි හිතමු සැපයුම කිලෝ 10කින් අඩු කළාම මිල රුපියල් 2කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව, සැපයුම කිලෝ 40x2 = 80ක් වූ විට මිල රුපියල් 94 වී කිලෝවකින් ලාබය රුපියල් 14 දක්වා ඉහළ යනවා. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 14x40 = රුපියල් 560ක්.

නමුත් ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. අපි හිතමු සැපයුම කිලෝ 30x2 = 60ක් දක්වා අඩු කළා කියා. සැපයුම කිලෝ 10කින් අඩු කරද්දී මිල රුපියල් 2 බැගින් වැඩි වී රුපියල් 8 කින්, ඒ කියන්නේ රුපියල් 98 දක්වා ඉහළ ගිහින්. හාල් කිලෝවකින් ලාබය රුපියල් 18ක්. එහෙත්, එක් අයෙකුගේ සමස්ත ලාබය රුපියල් 18x30 = 540ක් පමණයි. ඒ නිසා, මේ විදිහට එකඟතාවයක් ඇති වුනත් මිල යම් නිශ්චිත මට්ටමක් දක්වා වැඩි වී වැඩේ නවතිනවා. ඊටත් වඩා මිල වැඩි කරන එක සැපයුම්කරුවන්ට පාඩුයි. හැබැයි ඒ වෙද්දී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවහම මිල ගොඩක් ඉහළ ගිහින්. සැපයුමත් ගොඩක් අඩු වෙලා.

ඔය ආකාරයේ වෙළඳපොල සම්මුති මගින් සැපයුම්කරුවන්ට විශාල සුපිරි ලාබ උපයන්න පුළුවන්. නමුත්, සැපයුම්කරුවන් එකිනෙකා අතර ඔය මට්ටමේ සම්මුතියක් පවත්වා ගත හැකි තරමට එකඟතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. සැපයුම්කරුවන් වැඩි වන තරමට ඒ අයගෙන් එක්කෙනෙක් සම්මුතිය කඩන්න තිබෙන ඉඩ ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 90 මිලට කිලෝ 100ක ඉල්ලුම සැපයුම්කරුවන් පස් දෙනෙක් අතර බෙදී ගිහින් තිබුණා කියලා. එක් අයෙක් කිලෝ 20ක් සපයන නිසා එක් අයෙකුගේ ලාබය රුපියල් 10x20 = 200යි. කිලෝවක ලාබය රුපියල් 12 දක්වා වැඩි කර ගන්නනම් සැපයුම කිලෝ 90 මට්ටමට සීමා කළ යුතුයි. ඒ කියන්නේ එක් අයෙක් සැපයිය යුත්තේ කිලෝ 18ක් පමණයි. එවිට එක් අයෙකුගේ ලාබය රුපියල් 12x18 = 216 දක්වා ඉහළ යනවා.

හතර දෙනෙක්ම එකඟ වූ පරිදි කිලෝ 9 බැගින් වෙළඳපොළට දමද්දී පස් වැන්නා ඒ අඩුව හරියන්න කිලෝ 28ක්ම දැම්මොත් මොකද වෙන්නේ?

දැන් වෙළඳපොළට එන හාල් සැපයුම කිලෝ 18x4 + 28 = 100යි. ඒ කියන්නේ මුල් ප්‍රමාණයමයි. ඒ නිසා මිල රුපියල් 90මයි. කිලෝවකින් ලාබය කලින් ලැබුණු රුපියල් 10මයි. එකඟතාවය අනුව කටයුතු කළ එක් අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 180ක් පමණයි. රුපියල් 20ක් පාඩුයි. නමුත්, එකඟතාවය කඩපු සැපයුම්කරුගේ ලාබය රුපියල් 280ක් වෙලා. කලින් ලැබූ රුපියල් 200ක ලාබයට වඩා රුපියල් 80ක් ලාබයි. එකඟතාවය තුළ සිටියානම් ලැබෙන ලාබය වන රුපියල් 216ට වඩා රුපියල් 64ක් ලාබයි.

ගොඩක් වෙලාවට එක් සැපයුම්කරුවෙකු මිල එකඟතාවයකින් බැහැර වෙද්දී එය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වුනත් සැපයුම සීමා කිරීමේ එකඟතාවයක් පිළිපදිනවාද නැද්ද කියන එක පහසුවෙන් නිරීක්ෂණය කරන්න අමාරුයි. කවුරු හෝ හොර කරලා බව තේරෙන්නේ හිතපු විදිහට මිල ඉහළ නොගිය විටයි. එයින් පසුවත් හොර කරපු කෙනා කවුද කියලා හරියටම දැන ගන්න අමාරුයි. මේ බව සියලු දෙනාම දන්නා නිසා කණ්ඩායමේ හැමෝම උත්සාහ කරන්නේ හොර කරන්නයි. ඒ නිසා, මේ ආකාරයේ සැපයුම කෘතීම ලෙස සීමා කර මිල ඉහළ යන්න ඇරීමෙන් ලාබ ලබන සම්මුති වලට වැඩි දුරක් යන්න බැහැ.

අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන් එකිනෙකා අතර ඇති වන තරඟත් අවසානය දක්වා යන්නේ නැහැ. වැඩෙන් හැමෝම අමාරුවේ වැටෙන බව කාටත් තේරෙන අවස්ථාවක් එනවා. එවිට සැපයුම්කරුවන් අතර තරඟය නවතිනවා.

මේ හේතු නිසා ලංකාවේ සහල් මෝල් ව්‍යපාරය වගේ කතිපයාධිකාරී වෙළඳපොලක සමතුලිතතාවය තරඟකාරී වෙළඳපොල අන්තය හා ඒකාධිකාර අන්තය අතර යම් තැනක නවතිනවා. ඒ කියන්නේ, මෝල් හිමියන්ට යම් ප්‍රමාණයක සුපිරි ලාබ උපයන්න අවස්ථාවක් සැලසෙනවා. නමුත්, ඒ සුපිරි ලාබ ඒකාධිකාරයක මට්ටමටම යන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය රජය මැදිහත් වී මේ තත්ත්වය වෙනස් කළ යුතුද කියන එකයි. ඒ සඳහා, අපට කතිපයාධිකාරී වෙළඳපොලක් ඇති වී තිබෙන්නේත්, පවතින්නේත් ඇයි කියන එක විග්‍රහ කරගන්න වෙනවා. ඇතැම් විට කතිපයාධිකාරී වෙළඳපොලක් පවතින්නේ තිබිය හැකි වඩාත්ම කාර්යක්ෂම තත්ත්වය එය නිසා වෙන්න පුළුවන්. එහෙමනම්, එය වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බොහෝ විට එය එසේ නොවන්න පුළුවන්.

මෙය නිගමනය කිරීමට හොඳ ප්‍රවේශයක් වන්නේ ලංකාවේ සහල් වෙළඳපොළ හා එහි සැපයුම් දාමයේ පුරුක් ඓතිහාසිකව විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමයි. දැනටමත් ලිපිය ගොඩක් දිග නිසා අපි එය වෙනත් ලිපියකට ඉතිරි කරමු.

(Image: https://wallhere.com/en/wallpaper/742926)

වෙබ් ලිපිනය: