වෙබ් ලිපිනය:

Showing posts with label ගනුදෙනු. Show all posts
Showing posts with label ගනුදෙනු. Show all posts

Saturday, July 19, 2025

ගනුදෙනු වල ආරම්භය කුමක්ද?

සම්භාව්‍ය ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ නිදහස් ගනුදෙනු සිදුවන්නේ ස්වාර්ථය මතයි කියන අදහස පාදකවයි. ඇඩම් ස්මිත්ට අනුව ඔබට පාන් ලැබෙන්නේ බේකරිහිමියාගේ කරුණාව නිසා නොව බේකරිහිමියා ස්වාර්ථය මත ක්‍රියා කිරීම නිසායි. මේ ප්‍රකාශයේ වරදක් නැතත්, මෙවැනි අදහස් ඉදිරියට යද්දී එයින් එහාට ගිය ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ය යන අදහස ඉස්මතු වීමක්ද දැකිය හැකියි. ධනවාදයේ සදාචාරත්මක පදනම වන්නේද මෙම අදහසයි.

නූතන ආර්ථික විද්‍යාවට අනුව ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ම නෙමෙයි. පරාර්ථය නිසාද ගනුදෙනු සිදු වෙනවා. ඒ කියන්නේ ඇතැම් විට බේකරිහිමියාගේ කරුණාව නිසාත් ඔබට පාන් ලැබෙන්න පුළුවන්. මෙය චර්යා ආර්ථික විද්‍යාවේදී දිගින් දිගටම පර්යේෂණාත්මකව තහවුරු වී ඇති දෙයක්. 

ඇත්ත වශයෙන්ම ඇඩම් ස්මිත් වුවද, ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්යැයි කියන්නේ නැහැ. ඔහු කියන්නේ වෙනත් අයෙකු විසින් පරාර්ථය මත සිදු කරන දේවල් පිළිබඳව පමණක් ඔබට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

"But man has almost constant occasion for the help of his brethren, and it is in vain for him to expect it from their benevolence only."

කෙසේ වුවත්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ උපකල්පන මත ගොඩ නැගී ඇති ආකෘති සැබෑ ලෝකයෙහි වැඩ කරනවා. ඊට හේතුව එම ආකෘති වැඩ කිරීම සඳහා මුලින් එම ආකෘති ගොඩ නැගීමේදී සිදු කෙරුණු උපකල්පන සියල්ලක්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවීමයි. සීමිත උපකල්පන යටතේ වුවද ආකෘති බොහොමයක් වැඩ කරනවා.

මුදල් ක්‍රමයේ විකාශනය ගැන විස්තර කෙරෙද්දී සෘජු භාණ්ඩ හුවමාරුව යන්නෙන් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු. ඒ නිසාම, සෘජු භාණ්ඩ හුවමාරුව ඇරඹුණු කාලය සේ සැලකෙන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි ඇති කාලයයි. 

නිදහස් ගනුදෙනු යනු පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි අදහසක්. එයට ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු පමණක් ඇතුළත් විය යුතු නැහැ. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් සිදු වන ඕනෑම ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් සේ සැලකිය හැකියි. 

ජීව විද්‍යාත්මක හේතු මත සිදු වන ගනුදෙනු මූලිකම මට්ටමේ ගනුදෙනු සේ සලකන්න පුළුවන්. මෙවැනි මූලික ගනුදෙනු ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත වුවද සිදු විය හැකියි. 

ඕනෑම සත්ත්ව ගහණයක් වඳ නොවී පැවතිය හැක්කේ තිරසාර ලෙස වර්ගයා බෝවීමක් සිදු වන්නේනම් පමණයි. මිනිසුන් ඇතුළු බොහෝ සතුන් හා අදාළව මේ සඳහා ගැහැණු හා පිරිමි සතුන් අතර ලිංගික එක්වීමක් අවශ්‍ය වෙනවා. මෙවැන්නක් සිදු විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් ලිංගික බලහත්කාරය. දෙවැන්න නිදහස් කැමැත්ත මත සිදු වන එක් වීම. 

මිනිසුන් අතර වුවද බලහත්කාරය මත පදනම් වූ ලිංගික එක් වීම් සිදු වෙනවා. නමුත් බොහෝ විට දැකිය හැක්කේ කැමැත්ත ලබා ගැනීම පිණිස සිදු කරන පොළඹවා ගැනීමුයි. මේ තත්ත්වය සතුන් අතරද දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම අහඹු ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු අතර ලිංගික එක්වීමක් සිදු වන්නේ නැහැ. 

මීට පෙර වාලම්පුරි ගැන ලියා ඇති ලිපියක විස්තර කර ඇති පරිදි, කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලන් ඉතා දුලබයි. කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලෙකුට කටුව වාමාවර්තව කැරකුණු බෙල්ලෙකු හා ලිංගිකව එක්වීම භෞතික වශයෙන් ඉතා අසීරු දෙයක්. අපේ ප්‍රදේශයේ ඇති සත්ත්ව උද්‍යානයක එක්තරා බෙල්ලන් වර්ගයක කටුව දක්ෂිණාවර්තව කැරකුණු සතෙකු හිටියා. එම සතාගෙන් ජනිතයින් බිහි කරගැනීමේ අරමුණින් එවැනිම තවත් සතෙකු සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දැරීමෙන් පසුව එවැනි තවත් සතෙකු සොයා ගැනීමට හැකි වුනා. නමුත් මේ සතුන් දෙදෙනා අතර ලිංගික එක් වීමක් සිදු වූයේ නැහැ.

වඩා දියුණු මොළයක් සහිත සතුන් අතර ලිංගික සහකරුවන් තෝරා ගැනීමේ චර්යාව පැහැදිලිව දකින්න පුළුවන්. ක්ෂීරපායීන්, පක්ෂීන් මෙන්ම යම් දුරකට මත්ස්‍යයන් විසින්ද මෙම චර්යාව පෙන්නුම් කරනවා. මෙහි පදනම සවිඥානිකත්වය මත පදනම් වූ නිදහස් කැමැත්තක්ය යන්න එයින් අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ නැහැ. මෙය සිදු වන්නේ ජීව විද්‍යාත්මක හේතු මතයැයි සලකන්නේනම්, මේ කාරණය හා අදාළව මිනිස් හැසිරීම්ද එවැනිම පදනමකින් සිදු වීමේ හැකියාව බැහැර කරන්න බැහැ. 

ලිංගික එක්වීම් හා අදාළව පැහැදිලි වන පරිදි මිනිසුන් විසින් විරුද්ධ ලිංගිකයෙකුගේ කැමැත්ත ලබා ගැනීම සඳහා විවිධ දේවල් කරනවා. එසේ කළ පමණින් අනිවාර්යයෙන්ම අනෙකාගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. මෙය මිනිසුන්ට අනන්‍ය දෙයක් නෙමෙයි. ඇතැම් සතුන්ටද පොදු දෙයක්. අවසාන වශයෙන් මෙහි තිබෙන්නේ ස්වාර්ථය පිණිස සිදු කරන ගනුදෙනුවක් හෝ එහි මූලික ස්වභාවයක්. 

මිනිසුන් පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරන්නාක් මෙන්ම සතුන්ද සාමූහිකව කටයුතු කරනවා. වෘකයින් කණ්ඩායමක් ලෙස සාමූහිකව දඩයමේ යනවා. නමුත් මේ අවස්ථාවේදී වුවද සහයෝගීතාවයක් ඇති වීමේ පදනම ස්වාර්ථ සාධනයයි. 

එහෙත් සිය ජනිතයින් ලොකු මහත් කර ගැනීම පිණිස කාලය හා ශ්‍රමය වැය කරද්දී මෙවැනි ස්වාර්ථ සාධන අරමුණකින් ඔබ්බට ගිය පරාර්ථකාමී අරමුණක් දකින්න පුළුවන්. මෙය මිනිසුන්ට අනන්‍ය වූ තත්ත්වයක් නෙමෙයි. සිය ජනිතයින් කෙරෙහි වන මෙම පරාර්ථකාමී අරමුණ නොවන්නේනම් මිනිස් ගහණය ඇතුළු බොහෝ සත්ත්ව ගහණයන් මේ වන විට වඳ වී ගිහින්. 

පරිනාමිකව ඉදිරීයෙන් සිටින සත්ත්ව ගහණයක තිරසාර පැවැත්ම සඳහා ස්වාර්ථ සාධනය මුල් කර ගනිමින් ආහාර සපයා ගැනීම මෙන්ම පරාර්ථකාමය මත පදනම්ව ජනිතයින් ලොකු මහත් කිරීමද අවශ්‍ය වෙනවා. ඒ නිසා, ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත පදනම්ව සිදු වන ගනුදෙනු වලටද ජීව විද්‍යාත්මක පදනමක් තිබෙනවා. 

මිනිසුන් අතර සිදු වන සංකීර්ණ ගනුදෙනු ගහණයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සීමාවෙන් ඔබ්බට ගිය ගනුදෙනු බව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි සංකීර්ණ ගනුදෙනු වල මූලාරම්භය කුමක්ද? 

සත්ත්ව චර්යා දෙස බැලූ විට පෙනෙන්නේ ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොමැති සතුන් දෙදෙනෙකු අතර සිදු වන ගනුදෙනු මුලින්ම ආරම්භ වන්නේ ස්වාර්ථය මුල් කොටගත් ක්‍රියාවකින් නොව පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවකින් විය හැකි බවයි. මෙම පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දැක්වීම හේතුවෙන් (reciprocal altruism) එම පරාර්ථකාමී ක්‍රියාව ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඉන් පසුව, පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු මගින් ලබා ගත් "අධ්‍යාපනය"හේතුවෙන්  ස්වාර්ථය මත පදනම්වද එවැනි ගනුදෙනු සිදුවිය හැකියි.

ලේ උරා බොන වවුලෙකු විසින් වෙනත් වවුලෙකුට ආහාර සැපයීම හෝ  වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකුගේ සිරුර පිරිසිදු කිරීම උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. මුලින්ම මෙවැන්නක් කරන්නේ ස්වාර්ථය මුල් කරගත් ගනුදෙනුවක් ලෙස නෙමෙයි. තමන්ගේ ජනිතයෙකු වෙනුවෙන් කරන ආකාරයේ පරාර්ථකාමී ක්‍රියාවක් ලෙසයි. මෙවැනි එක් පරාර්ථකාමී ක්‍රියාවක් නිසා වෙනත් සතුන්ද එසේ කිරීමට පෙළඹෙනවා. නමුත් සියල්ලන්ම මෙවැනි ක්‍රියාවකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අහඹු අයෙකුට උදවු කිරීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් උදවු කර ගැනීමේ චර්යාවක් ගොඩ නැගෙන්න පුළුවන්. එවිට එය ස්වාර්ථය මත පදනම් වූ ගණුදෙනුවක්. 

මිනිස් ක්‍රියාකාරකම් බොහොමයකට කිසියම් ජානමය සම්බන්ධයක් තිබෙනවා. ආහාර තේරීම්, මත්ද්‍රව්‍ය සඳහා වන කැමැත්ත වැනි දේවල් වල සිට මුදල් ඉතිරි කිරීමේ නැඹුරුව දක්වා විශාල පරාසයක ක්‍රියාකාරකම් වල මේ සම්බන්ධය දැකිය හැකියි. ඒ නිසා, මිනිසුන්ගේ තීරණ මුළුමනින්ම ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන තීරණ නෙමෙයි. නමුත් ස්වාධීන කැමැත්තක් නොමැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. පුහුණු වීම මගින් මුත්‍රා කිරීම වැනි අතිශය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් පවා පාලනය කිරීමේ හැකියාවක් මිනිසුන්ට තිබෙනවා. එහෙත් මිනිසුන් කියන්නේත් අනෙක් සතුන් වැනිම කාබනික යන්ත්‍ර.

සතුන්ට පමණක් නැති සවිඥානිකත්වයක් මිනිසුන්ට පමණක් ඇති බව යල් පැන ගිය හෝ ආගමික අදහසක් පමණයි. දර්පණ පරීක්ෂණය යමෙකුගේ ස්වයං දැනුවත්භාවය (self-awareness) පිළිබඳ පරීක්ෂාවක්. දර්පණයකින් පෙනෙන්නේ ඔබේම ප්‍රතිබිම්බයක් බව ඔබට හඳුනා ගත හැකිද? දර්පණයක ඇති ප්‍රතිබිම්බයක් දෙස බලාගෙන ඔබේ සිරුරේ ඇති කිසියම් සලකුණක් ස්පර්ශ කිරීමේ හැකියාවක් ඔබට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබට ස්වයං දැනුවත්භාවයක් ඇති බවයි.

මිනිස් දරුවන් දර්පණ පරීක්ෂණය සමත් වන්නේ මාස 18-24 අතර වයසකදීයි. එයින් අදහස් වන්නේ මිනිසුන් තුළ ස්වයං දැනුවත්භාවය ගොඩ නැගෙන්නේ එම කාලයේදී බවයි. චිම්පන්සි, බොනබෝ වඳුරන්, අලි, ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම පොල්කිචි වර්ගයේ පක්ෂීන් විසින්ද මෙම දර්පණ පරීක්ෂණය සමත්ව තිබෙනවා. 

වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. කපුටන් විසින්ද වෙනත් කපුටෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. මෙයින් පෙනී යන්නේ එම සතුන්ට අනෙක් සතුන්ගේ හැසිරීම් පිළිබඳව පවා අවබෝධයක් ඇති බවයි. එමෙන්ම ආයුධ භාවිතයද බොහෝ සත්ත්ව වර්ග විසින් කරන දෙයක්. 

ඉහත කරුණු අනුව සියල්ල එක්ව ගත් විට පෙනී යන්නේ සවිඥානිකව හා ස්වාර්ථය මුල් කරගෙන, අනෙකාගේ කැමැත්ත පිළිබඳවද තක්සේරුවක් ඇතිව, ගනුදෙනු කිරීමේ හැකියාවක් සතුන්ට පවා ඇති බව බැහැර කළ නොහැකි බවයි. එය එසේනම් මිනිස් සත්ත්වයා විසින් ස්වාර්ථය මුල් කරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව  වර්ධනය කර ගන්නට ඇත්තේ මිනිසා සතුන්ගෙන් විභේදනය වීමටද පෙර කාලයකදීයි. 

කෙසේ වුවද දඩයම් සතෙකු වූ මිනිසා කෘෂිකාර්මික සතෙකු බවට පත් වී පෞද්ගලික දේපොළ මත පදනම් වූ සමාජ ගොඩ නැගුනු පසු මිනිසාගේ ස්වාර්ථ සාධන අරමුණ වෙනුවෙන් කරන ගනුදෙනු වේගයෙන් ඉහළ යනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි සමාජ ක්‍රමයකදී ශ්‍රම විභජනයේ වාසි ඉහළ යාමයි. ඊටම සම්බන්ධ අනෙක් හේතුව නිෂ්පාදන අතිරික්තය සහ ඒ මගින් වත්කම් බිහිවීමයි.

සෛද්ධාන්තිකව භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වෙනත් සත්ත්ව ගහණයක වුනත් ඇති වෙන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසි වන ස්වයං දැනුවත්භාවය සහ අනෙකාගේ හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව ඇතැම් සත්ත්ව වර්ග විසින් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. නමුත් සත්ත්ව සමාජ කිසිවක භාණ්ඩ හුවමාරු ක්‍රමයක් බිහි විය හැකි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නැහැ. ඒ සඳහා සංකීර්ණ සමාජ ගොඩ නැගුමක් අවශ්‍ය වෙනවා.

මිනිසුන්ගේ වුවද, දඩයම් සමාජයක මේ වාස්තවික තත්ත්වයන් නැහැ. භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වීම සඳහා පළමුව පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් විය යුතුයි. දඩයම් සමාජයක් කෘෂිකාර්මික සමාජයක් බවට පරිණාමය වෙද්දී මේ වෙනස සිදු වෙනවා. මා වගා කළ දෙයක අස්වැන්න මගේ දෙයක්. ඔබ වගා කළ දෙයක අස්වැන්න ඔබේ දෙයක්. ඔබට අයිති දෙය ඔබේ කැමැත්ත ලබා නොගෙන මා විසින් ලබා ගැනීම වරදක්. සොරකම වරදක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් වීමෙන් පසුවයි. පෞද්ගලික දේපොළ අයිතිය සමාජ සම්මතයක් වන තුරු සොරකම කියන වරදට අර්ථයක් නැහැ. 

පෞද්ගලික දේපොළ අයිතිය සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන්නේ සිය දරුවන් පිළිබඳව මවට තිබෙන අයිතියයි. මෙය සතුන්ටද තිබෙන හැඟීමක්. සපයා ගන්නා ආහාර වල අයිතිය පිළිබඳ හැඟීමද මෙවැනි මූලික දෙයක්. තමන් සතු මෙවැනි "දේපොළ" ආරක්ෂා කර ගැනීම සඳහා සාපේක්ෂව දියුණු මොළයක් තිබෙන ඕනෑම සතෙක් සටන් කරනවා. නමුත් භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වෙන්නනම් පෞද්ගලික දේපොළ අයිතියේ පරාසය මීට වඩා විශාල විය යුතුයි. දඩයම් සමාජයක් ඒ සීමාව පනින්නේ නැහැ. 

කිසියම් සමාජයක පෞද්ගලික දේපොළ පරාසය විශාල වීමෙන් පසුව වුවද හැම පෞද්ගලික දේපොළක්ම හුවමාරු භාණ්ඩ බවට පත් වන්නේ නැහැ. ඉඩමක් වැනි දෙයක අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සංකීර්ණ සමාජ සම්මුතීන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඉඩමක් අතින් අරගෙන යන්න බැහැ. නමුත් කුකුළෙක් හෝ එළුවෙක් අතින් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කුකුළෙක් හෝ එළුවෙක් කියන්නේ කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළක් කියන සාමූහික විශ්වාසය ගොඩ නගා ගත්තාට පස්සේ එවැනි දේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක වෙළඳ භාණ්ඩ බවට වීමේ විභවයක් ඇති වෙනවා.

මේ සියල්ල සිදු වූ පමණින්ද භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රම විභජනය මත පදනම් වූ සමාජ ක්‍රමයක් ගොඩ නැගෙන්නත් අවශ්‍යයි. ස්වයංපෝෂිත ආර්ථික ඒකක පමණක් තිබෙන සමාජ ගොඩනැගුමක භාණ්ඩ හුවමාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 

කෘෂිකාර්මික සමාජ ක්‍රමයක මූලික අදියරේදී බිහි වන්නේ ඔය විදිහේ ස්වයංපෝෂිත ආර්ථික ඒකකයි. දඩයම් කර ආහාර සපයා ගැනීම වෙනුවට වගා කොට හෝ සත්ත්ව පාලනය මගින් ආහාර සපයා ගැනීම ආදේශ වෙනවා. නමුත් එපමණකින්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා අනෙකෙකු සමඟ කරන ගනුදෙනු පිළිබඳව විශ්වාසය තැබීමක් සිදු වන්නේ නැහැ.

පෞද්ගලික දේපොළ අයිතිය සම්මුතියක් බවට පත් වී, වත්කම් ගොඩ නැගීමක්ද සිදු වීමෙන් පසුව, කිසියම් සමාජ කණ්ඩායමක් තුළ යම් ප්‍රමාණයක හෝ වත්කම් විෂමතාද ඇති වෙනවා. මෙයින් අදහස් කෙරෙන්නේ මූලික ආර්ථික ඒකකය මූලික සමාජ ඒකකයකට වඩා විශාල වූ තත්ත්වයක්. සාමාන්‍යයෙන් දඩයම් සමාජයක හෝ සත්ත්ව ගහණයක සමාජ ඒකකයක් හා ආර්ථික ඒකකයක් අතර වෙනසක් නැහැ. ඒ නිසාම, එකට ජීවත් වන කණ්ඩායමක් අතර සම්පත් විෂමතා නැහැ.

කෘෂිකාර්මික හැරවුමකින් පසුව මිනිස් සමාජයේ මේ මූලික සැකැස්මේ වෙනසක් සිදු වෙනවා. මූලික ආර්ථික ඒකකය පවුල. මූලික සමාජ ඒකකය ගම හෝ ගෝත්‍රික කණ්ඩායම. මෙවැනි සමාජ ඒකකයක් තුළ ආර්ථික ඒකක අතර වත්කම් විෂමතා පැවතීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත්, සමාජ ඒකකය තුළ පවතින පොදු බැඳීම නිසා ආර්ථික ඒකක අතර පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. වැඩිපුර ආහාර තිබෙන අයෙකු විසින් ආපසු යමක් අපේක්ෂා නොකර ආහාර නොමැති අයෙකුට ආහාර ලබා දීමක් සිදු වෙන්න පුළුවන්. 

මෙවැනි අවස්ථාවකදී පෞද්ගලික දේපොළ සමාජ සම්මතයක් වී ඇති කණ්ඩායමක් තුළ අනෙකෙකුගේ උපකාර ලබන අයෙකුට තමන් විසින් ලබා ගත් දේ වෙනුවෙන් ආපසු යමක් කිරීමේ පෙළඹුමක් ඇති වෙන්න පුළුවන්. ඒ පෙළඹුම නිසා මුල් ගනුදෙනුව පසුව ආපසු හැරවෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ණය දීමේ සහ ණය ලබා ගැනීමේ සංස්කෘතියක මූලික බීජය පැල වෙනවා. ඒ නිසා, කාලයක් යද්දී ණය දීම හා ගැනීම සම්මුතියක් සහ ස්වාර්ථ සාධනය මත පදනම් වූ ගනුදෙනුවක් බවට පත් වෙන්න පුළුවන්. 

මෙවැනි තත්ත්වයක් යටතේ වුවද සිදු වන්නේ භාණ්ඩ හුවමාරුවක්. එකම වෙනස ගනුදෙනුවේ සංරචක දෙක අතර කාල වෙනසක් පැවතීමයි. එවැන්නක් සිදු විය හැක්කේ අදාළ පාර්ශ්ව දෙක අතර සැලකිය යුතු මට්ටමේ විශ්වාසයක් ගොඩ නැගී ඇත්නම් පමණයි. නමුත් එසැණින් අවසන් වන භාණ්ඩ හුවමාරුවක් සඳහා මෙවැනි විශ්වාසයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, භාණ්ඩ හුවමාරුව සඳහා අවශ්‍ය වන්නේ ණය ගනුදෙනු සිදු වීම සඳහා අවශ්‍ය වන වාස්තවික තත්ත්වයන්ට වඩා අඩු කොන්දේසි ප්‍රමාණයක්. 

ණය ගනුදෙනු ඇති වීමට හෝ භාණ්ඩ මුදල් බිහි වීමට පෙර භාණ්ඩ හුවමාරු ක්‍රමය ඇති වීම තර්කානුකූලව සිදු විය යුතු දෙයයි. ඒ සඳහා අවශ්‍ය වන කොන්දේසි වල ස්වභාවය නිසා ලෝකයේ විවිධ කලාප වල මෙය සිදු වන්නට ඇත්තේ විවිධ කාල වකවානු වලයි. 

පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 9000 වැනි කාලයක පවා භාණ්ඩ හුවමාරු සිදුව ඇත්තේයැයි විශ්වාස කෙරෙනවා. මෙම විශ්වාසයේ පදනම වන්නේ කිසියම් ස්ථානයක සිට කිලෝ ඈතින් පමණක් ලබා ගත හැකි දේ අදාළ ප්‍රදේශයේ වීමයි. වත්මන් ඊශ්‍රායලය, තුර්කිය හා පකිස්ථානය රටවලට අයත් විවිධ පෙදෙස් වලින් මෙවැනි සාක්ෂි හමු වී තිබෙනවා. නමුත් එයින් අදහස් වන්නේ මුදල් විකාශනයේ ඊළඟ අදියරකට යාමෙන් පසුව එම ප්‍රදේශ වලින් භාණ්ඩ හුවමාරු ක්‍රමය අතුරුදහන් වූ බව නෙමෙයි. අද පවා යම් සීමිත තත්ත්වයන් යටතේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 

මෙවැනි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සංකල්පීය ලෙස ස්වාර්ථය මුල් කොට ගෙන සිදු වන මූලික මට්ටමේ ගනුදෙනු සේ සැලකිය හැකියි. ලිපියෙහි විස්තර කර ඇති පරිදි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු වීම සඳහා මුලින්ම ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ඇති විය යුතුයි. එහෙත් කිසියම් සමාජ කණ්ඩායමක් තුළ මේ අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී භාණ්ඩ හුවමාරු ගනුදෙනු ආරම්භ වීමෙන් පසුව එම කණ්ඩායමට එවැනි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. ඒ නිසාම, අවසාන වශයෙන්, වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් දෙකක් අතර වුවද මේ භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු විය හැකියි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පරීක්ෂණ තත්ත්වයන් යටතේ, කැපුචින් වඳුරන් මිදි වෙනුවට ඇපල් හුවමාරු කරගෙන තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම්ව, සවිඥානික තේරීමක් හා හුවමාරුවක් කිරීමේ හැකියාව එම වඳුරන් සතු බවයි. මෙය තොප්පි වෙළෙන්දාගේ කතාවේ වඳුරන්ගේ ප්‍රතිචාරය වැන්නක් නෙමෙයි. එහෙත් මෙවැනි හුවමාරුවක් සිදු වන්නේ පර්යේෂකයින් විසින් එම වඳුරන්ට මුලින්ම මිදි ලබා දී පසුව එම මිදි වෙනුවට ඇපල් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් නිසා. ස්වභාවික තත්ත්වයන් යටතේ වඳුරන් සතුව මෙවැනි හුවමාරු කළ හැකි පෞද්ගලික දේපොළ හෝ හුවමාරු කිරීමේ අවස්ථාවන් නැහැ. ඒ නිසාම වඳුරන් අතර භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමයක්ද නැහැ. 

භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමට පෙර දඩයම් සමාජයක් තුළ පවතින්නේද මෙවැනි තත්ත්වයක්. එහෙත්, යම් කෘෂිකාර්මික සමාජයක් තුළ භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමෙන් පසුව, ඔවුන්ට දඩයම් සමාජයක් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. වඳුරන්ට තේරෙන තරමේ දෙයක් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු නැහැ. 

මුදල් ක්‍රමයේ විකාශනයේ පසු අදියර වලදී සිදු වී තිබෙන්නේද මෙවැන්නක්. එම විකාශනයේ බොහෝ පසුකාලීන අදියරක් ගැන එකවරම දැනගන්නා සමාජයකට ඒ අදියරට යාම සඳහා මුල් අදියර සියල්ල සම්පූර්ණ කර පැමිණෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. එකවරම පියවර ගණනාවකින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ස්වභාවික විකාශනය හරහා පසු අදියරකට යාමටනම් මුල් අදියර පසු කරන්නට සිදු වෙනවා. 

මේ හේතුව නිසා මුදල් ක්‍රමයේ ඓතිහාසික විකාශනය පිළිබඳ ආකෘති වල ආකෘති සලකද්දී ලොකු වැරැද්දක් නැහැ. නමුත් මේ ආකෘති ඉතිහාසය සමඟ ගලපන්න ගියොත් අනිවාර්යයෙන්ම විශාල නොගැලපීම් හමු වෙනවා. මේ සටහන "ගනුදෙනු වල ආරම්භය කුමක්ද?" යන ලිපියේ මාතෘකාවට පිළිතුරක් නෙමෙයි. එම ප්‍රශ්නයද මුල් කරගෙන මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවක් පමණයි. 

ඉතිහාසය කියා කියන්නේ දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ ඇසුරෙන් හදා ගන්නා කතාවකටයි. මෙහි දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ කියද්දී එයට අපට පෙර පරම්පරා වලින් දැනගන්නට ලැබුණු ඉතිහාස කතන්දරද ඇතුළත්. මේ කතා සහ අතීතයේ ඇත්තටම සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම සමාන විය යුතු නැහැ.

සමහර වෙලාවට, සමහර කරුණු හා අදාළව බොහෝ වෙලාවට, මේ ඉතිහාස කතා හැදෙන්නේ ඒ මොහොතේ පවතින දේශපාලනික අවශ්‍යතා මතයි. ඒ නිසා, විකල්ප කතා ගණනාවක් තියෙන්න පුළුවන්. මේ කතා අතරින් හරි කතාව තෝරා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

කිසියම් දෙයක ඓතිහාසික විකාශනය තේරුම් ගත හැකි විකල්ප ක්‍රමයක් වන්නේ දැනටත් අප‍ට නිරීක්ෂණය කළ හැකි, එම විකාශනයේ මුල් අදියරක තවමත් සිටින සමාජ පරීක්ෂාවට ලක් කිරීමයි. සියවසකට හෝ දෙකකට පෙර එවැනි මිනිස් සමාජ තිබුණත් මේ වෙද්දීනම් නැති තරම්. මෙයට එක් විසඳුමක් වන්නේ සත්ත්ව ලෝකය වෙත අවලෝකනය කිරීමයි. 

වඳුරන් සමඟ සිදු කර ඇති ගනුදෙනු ගැන මෙම ලිපියෙහි මෙන්ම පෙර ලිපියකද කතා කළා. නමුත් මේ ගනුදෙනු පර්යේෂණ තත්ත්ව යටතේ සිදු කර ඇති ගනුදෙනු පමණයි. ඒ කිසිම අවස්ථාවක් වඳුරන් හෝ වෙනත් සතුන් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වූ අවස්ථා නෙමෙයි.

සාපේක්ෂව මෑතකදී ඉන්දුනීසියාවේ බාලිහි පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදු කර ඇති වීඩියෝ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇති පරිදි, මිනිසුන් විසින් සෘජුව පුහුණු නොකරම වදුරන් විසින්ම ගනුදෙනු කිරීමට ඉගෙන ගෙන ඇති බවද දකින්නට ලැබී තිබෙනවා. මෙවැනි ගනුදෙනු දඹුල්ල වැනි තැන් වල සිටින ලංකාවේ රිළවුන් විසින් වුවද කරනවා වෙන්න පුළුවන්.

මේ වඳුරන් වඩා වටිනා දෙයක් සමඟ හුවමාරු කරගැනීමේ අරමුණින්ම ඔවුන්ට වැඩක් නැති, මිනිසුන්ට වටිනා දේවල් පැහැර ගන්නවා. මෙය දරුවෙකු පැහැරගෙන කප්පම් ඉල්ලීමකට සමානයි. 

ඔවුන් කරන්නේ පැහැදිලි ගණුදෙනුවක්. පූජනීය ස්ථාන වලට පැමිණෙන සංචාරකයින්ගෙන් මේ පැහැර ගැනීම් කරද්දී ඔවුන් කිසි විටෙකත් මිනිසුන්ට හිරිහැර කරන්නේ නැහැ. සැලසුම් කර, කල් යල් බලා, ඉතා ක්ෂණිකව තමන්ට අවශ්‍ය දේ පැහැර ගැනීමයි හැම විටම මෙන් සිදු කර තිබෙන්නේ. එසේ පැහැර ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ලඟා විය නොහැකි තරම් ඈතකට යන්නේ නැහැ. ගනුදෙනුවක් සිදු කළ හැකි සීමාවක රැඳෙනවා.

ජංගම දුරකථනයකින්, කාන්තා අත් බෑගයකින් හෝ උපැස් යුවලකින් වඳුරෙකුට වැඩක් නැහැ. විශ්ලේෂණ අනුව පෙනී ගොස් ඇති පරිදි වඳුරන් මෙවැනි දේ පැහැර ගන්නේම හුවමාරුවක් කර ගැනීමේ අරමුණින්. ඒ වගේම, මේ වඳුරන්ට මිනිසුන්ට වටිනා දේවල් ගැන අවබෝධයක් තිබෙනවා. එය අත්දැකීම් ඇසුරෙන් ලබාගත් අවබෝධයක්. හුවමාරු වටිනාකමක් නැති, මිනිසුන්ට එතරම්ම නොවටිනා දේ වඳුරන් විසින් පැහැර ගන්නේ ඔවුන්ට එහි වටිනාකමක් ඇත්නම් පමණයි.

මෙවැනි පැහැර ගැනීම් කරන්නේ ආහාර නොමැතිකම නිසාද නෙමෙයි. මේ වඳුරන්ට ප්‍රමාණවත් තරම් ආහාර ලැබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වඩා කැමති දෙයක් ලබා ගැනීමයි. පැහැර ගත් දෙයක් ආපසු ඉල්ලා සිටි විට වඳුරන් විසින් ඵලදායී හෙට්ටු කිරීමක් කරනවා. ඔවුන්ට සාපේක්ෂ වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් වඳුරාගෙන් වඳුරාට වගේම, අවස්ථාව අනුවද වෙනස් වෙනවා. තමන්ට ලබා ගත හැකි උපරිම මිල ලැබෙන තුරු ඔවුන් පැහැර ගත් දෙය ආපසු දෙන්නේ නැහැ. අඩු මිල අර්පණයන් සියල්ල පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මගින් මිනිසුන් අතර භාණ්ඩ හුවමාරු සංස්කෘතියක් ඇති වූ ආකාරය ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්. 


Monday, July 14, 2025

ගනුදෙනු කළ හැක්කේ මිනිසුන්ට පමණද?


මේ සටහන දමන්නේ පසුගිය සටහනකට අරුණි ශපීරෝ විසින් දමපු පහත ප්‍රතිචාරය මුල් කරගෙනයි.

"ආර්ථික විද්‍යාවේ එන trade කියන ගනුදෙනු කරන්න සත්තුන්ට බැහැ කියල ඇඩම් ස්මිත් පෙන්වා දුන්නෙ අවුරුදු 300 කට විතර කලින්!"

ඇගේ ප්‍රතිචාරයේ ඇඩම් ස්මිත්ව උපුටා දැක්වීමක්ද තිබෙනවා. අවුරුදු 300 කට විතර කලින් කවුරු හෝ කෙනෙක් ඔය වගේ දෙයක් "පෙන්වා දුන්නා" කියන එක මටනම් කිසිම විශේෂ වැදගත්කමක් තිබෙන දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් කියා කියන්නේ පසුගිය වසර 300ක පමණ කාලයේ මිනිසුන් විසින් සාමූහිකව දැනගත් බොහෝ දේවල් නොදැන සිටි කෙනෙක්. නමුත් පසුගිය කාලයේ අපගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ වෙනත් අය විසින්ද වරින් වර මේ බව "පෙන්වා දී" තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම නූතන මිනිසුන් විසින් සාමූහිකව කරන ආකාරයේ සංකීර්ණ ක්‍රියාකාරකම් සතුන්ට කළ නොහැකියි. ඒ වගේම මිනිසුන් කරන ආකාරයේ ගනුදෙනු සතුන් විසින් කිරීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. නමුත් සතුන් හැම විටම ක්‍රියා කරන්නේ සහජ ආශය මත පදනම්ව පමණක්ය යන්න ඇතැම් අය විසින් පහසුවට කරන උපකල්පනයක් (convenience assumption) හා එම උපකල්පනය මත පදනම්ව ඇඳගෙන තිබෙන බෙදුම් ඉරක් පමණයි. කාලයක් මේ බෙදුම් ඉර ඇන්දේ දැන් මිනිසුන් සේ සලකන ඇතැම් කණ්ඩායම්ද බැහැර කරමිනුයි. ඇඩම් ස්මිත්ගේ කාලයට බොහෝ පසුවද මෙය සිදු වුනා. 

සත්තු වගේම මිනිස්සුත් කාබනික යන්ත්‍ර. මිනිස්සුත් සහජ ආශය නිසා බොහෝ දේවල් කරනවා. ඊට අමතරව මිනිසුන්ට නිදහස් කැමැත්තක් තිබෙන බව අපි දන්නවා. මේ නිදහස් කැමැත්තේ ස්වරූපය බොහෝ දුරට තීරණය වන්නේ මිනිසෙකු හැදී වැඩෙන සමාජය සහ ජීවත්වන සංස්කෘතිය අනුවයි. එසේ නැතුව එය තනිකරම තමන් තුළින්ම පැන නගින දෙයක් නෙමෙයි.

ඉහත ඇඩම් ස්මිත් විසින් කරන බෙදීම සැලකුවත්, එය ආබ්‍රහමික ආගමික විශ්වාස හා ගැලපෙන වෙන් කිරීමක්. එම ආගම් අනුව මිනිසා මවන්නේ දෙවියන්ගේ ස්වරූපයෙන්. ඒ නිසා සතුන් හා මිනිසා අතර පැහැදිලි බෙදුම් ඉරක් තිබෙනවා. ඇඩම් ස්මිත්ගේ ප්‍රකාශය සහ මේ ආගමික විශ්වාසය අතර ආකෘතිමය වෙනසක් නැහැ. ඒ නිසා, ආබ්‍රහමික ආගමික විශ්වාස සමඟ හිතන්න පුරුදු වූ අයට සහ එවැනි අය වැඩිපුර සිටින සමාජයකට මේ වගේ අදහසක් හොඳින් පත්තියම් වෙනවා.

ආබ්‍රහමික නොවන ආගම් වල මේ විදිහේ තියුණු බෙදුම් ඉරක් නැහැ. ඉන්දියානු ආගම් අනුව වරින්වර සත්තු මිනිස්සු ලෙසත් මිනිස්සු සත්තු ලෙසත් ඉපදෙනවා. පරිධියේ දේවල් වුනත්, පාරිලෙයිය වනයේ වස් වසද්දී බුදුන්ට උදවු කරන වඳුරා සහ ඇතා එසේ කරන්නේ හිතාමතා. ඒ නිසා ඒ ක්‍රියාවන්හි යහපත් ප්‍රතිඵල ඒ සතුන්ට ලැබෙනවා. මූලික අදහස සංකල්පීය වශයෙන් ආබ්‍රහමික වල තරම් දැඩි බෙදුම් ඉරක් ඉන්දියානු ආගම් වල නැති බව පෙන්වීම. නමුත් මේ ආගම් වල වුනත් සතුන් මිනිසුන්ට සමාන කිරීමක් වෙන්නේ නැහැ. මිනිස් භවය ස්ථානගත වෙන්නේ වඩා ඉහළ තැනක.

සතුන්ටද ගනුදෙනු ආකාරයේ ක්‍රියාකාරකම් කළ හැකි බව පර්යේෂණ ගණනාවකින් පෙනී ගොස් තිබෙනවා. එක් සතෙකු විසින් තවත් සතෙකු පිරිසිදු කිරීම බොහෝ සත්ත්ව ප්‍රභේද වල චර්යාවක්. නමුත් මෙය ගණුදෙනුවක් කියා කියන්න බැහැ. සහජ ආශය නිසා මෙවැන්නක් සිදු විය හැකියි. එහෙත්, එක් සතෙකු විසින් තවත් සතෙකුව පිරිසිදු කරන්නේ ඒ සතා විසින්ද එසේ කරන්නේනම් පමණක්නම් (grooming reciprocation) එහි තිබෙන්නේ ගණුදෙනුවක්. වානර ප්‍රභේද 22ක නියැදි 48ක් ඇසුරෙන් වරින් වර සිදු කර තිබෙන නිරීක්ෂණ ඇසුරෙන් මෙම චර්යාව තහවුරු වී තිබෙනවා [1]. 

කැපුචින් වඳුරන් යොදා ගෙන සිදු කළ පර්යේෂණයක් මගින් එම වදුරන්ගේ රුචිකත්ව අනුපිළිවෙල පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී තිබෙනවා [2]. මෙහිදී එම වඳුරන් මිනිසුන් මෙන්ම තමන් අඩුවෙන් කැමති දෙයක් වැඩියෙන් කැමති දෙයක් සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස මුලින් පළතුරක් දී පසුව ඒ වෙනුවට විස්කෝතු හුවමාරු කර ගැනීමට අවස්ථාව දුන් විට වඳුරන් එසේ කර තිබෙනවා. නමුත් එය අනෙක් පැත්තට සිදු කර නැහැ. එමෙන්ම, මිදී වෙනුවට ඇපල් හුවමාරු කර ගැනීමට මෙම වඳුරන් ඉදිරිපත්ව ඇතත්, ඇපල් වෙනුවට මිදී හුවමාරු කර ගැනීමට පෙළැඹී තිබෙන්නේ අඩුවෙන්. 

ගනුදෙනු කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ වානර කුලයේ සතුන් පමණක් නෙමෙයි. ලේ උරා බොන වවුලන් එම ලේ නැවත වමාරා වෙනත් වවුලන්ට දීම සිදු කරන අතර මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ ඥාතිත්වය වැනි කරුණු නොව වෙනත් අවස්ථා වල තමන්ටද එසේ ආහාර ලබා දීමයි [3,4].

තවත් මෙවැනි පර්යේෂණයකදී කැපුචින් වඳුරන් විසින් එකම වර්ගයේ දේවල් යම් ප්‍රමාණයකට වඩා වෙනස් වර්ග වල දේවල් වලට වැඩි කැමැත්තක් ඇති බව ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙම එකම වර්ගයේ දේවල් පැකේජය සමන්විතව තිබුණේ ඔවුන් වඩා කැමති දේවල් වලින් වුවත්, විවිධත්වයට ඇති කැමැත්ත නිසා අඩුවෙන් කැමති දේවල්ද සහිත පැකේජය මේ වඳුරන්ගේ තේරීම වී තිබෙන්නේ ඊට සමාන මිනිස් චර්යාව සිහිපත් කරමිනුයි [5]. එමෙන්ම මේ වඳුරන් විසින්ම, යම් ආහාරයක කුඩා ප්‍රමාණයක් පසුව ලොකු ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමේ අවස්ථාව ගැන දැන ගැනීමෙන් පසුව, මුලින් දෙන කුඩා ප්‍රමාණය ආහාරයට නොගෙන තමන් වෙත තබාගෙන සිට තිබෙනවා [6]. කැපුචින් වඳුරන් විසින් මෙන්ම බල්ලන් විසින්ද මෙම චර්යාව ප්‍රදර්ශනය කර තිබෙනවා [7].

මෙවැනි චර්යාවන් සාමූහික මිනිස් ක්‍රියාකාරකම් තරම් සංකීර්ණ නොමැති වුවත් සහජ ආශය නිසාම සිදු වන්නේයයි කියන්න අමාරුයි. මේ හා අදාළ පර්යේෂණ පළ කෙරෙන Animal Cognition වැනි විමර්ශිත ජර්නල පවා තිබෙනවා. 

සතුන්ටද යම් සිතීමේ හැකියාවක් තිබෙනවා විය හැකි වුවත් එම කරුණ හා අදාළව මිනිසුන් සිටින්නේ බොහෝ ඉදිරියෙන් බැවින් මෙහි ප්‍රායෝගික ප්‍රශ්නයක් නැතත් කෘතීම බුද්ධිය හමුවේ මිනිස් චින්තනයේ සීමාවන් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. වඩා දියුණු බුද්ධියකට මිනිසුන් ඇතුළු සියලුම කාබනික යන්ත්‍ර සහජ ආශය මත ක්‍රියා කරන්නන් සේ පෙනෙන්න පුළුවන්. 

References: 

1. Schino, G., & Aureli, F. (2008). Grooming reciprocation among female primates: a meta-analysis. Biology Letters, 4(1), 9-11.

2. Westergaard, G. C., Liv, C., Rocca, A. M., Cleveland, A., & Suomi, S. J. (2004). Tufted capuchins (Cebus apella) attribute value to foods and tools during voluntary exchanges with humans. Animal Cognition, 7(1), 19-24.

3. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts donations more than relatedness or harassment. Proceedings of the Royal Society B: Biological Sciences, 280(1753), 20122573.

4. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts.

5. Addessi, E., Mancini, A., Crescimbene, L., Ariely, D., & Visalberghi, E. (2010). How to spend a token? Trade-offs between food variety and food preference in tufted capuchin monkeys (Cebus apella). Behavioural Processes, 83(3), 267-275.

6. Drapier, M., Chauvin, C., Dufour, V., Uhlrich, P., & Thierry, B. (2005). Food-exchange with humans in brown capuchin monkeys. Primates, 46(4), 241-248.

7. Leonardi, R. J., Vick, S. J., & Dufour, V. (2012). Waiting for more: The performance of domestic dogs (Canis familiaris) on exchange tasks. Animal Cognition, 15(1), 107-120.

වෙබ් ලිපිනය: