වෙබ් ලිපිනය:

Showing posts with label ශුද්ධ විදේශ වත්කම්. Show all posts
Showing posts with label ශුද්ධ විදේශ වත්කම්. Show all posts

Saturday, January 31, 2026

සංචිත මුදල් සැපයුම සහ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


පසුගිය (2025) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 712.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 2,298.5කට සමානයි. ශුද්ධ විදේශ වත්කම් යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුව සතුව ඇති දළ විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ශේෂයයි. 

පෙර (2024) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 222.1ක් වූ අත්ර අතර එය ඩොලර් මිලියන 759.3කට සමාන මුදලක්. ඒ අනුව 2025 වසර තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 1,539.2කින් ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය වසර තුළ මහ බැංකුවේ දළ නිල සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 734ක් පමණයි. ඒ අනුව පෙනී යන්නේ දළ නිල සංචිත ඉහළ යාමට අමතරව මහ බැංකුවේ විදේශ බැරකම් වලද සැලකිය යුතු අඩු වීමක් සිදු වී ඇති බවයි. 

ආර්ථික අර්බුදය ඇති වීමට දෙවසරකට පෙර, 2020 පෙබරවාරි මාසය වන විට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම, එනම් මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු රුපියල් ප්‍රමාණය, බිලියන 963.3ක්. ඒ වන විට මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 971.0ක්. 

මෙයින් අදහස් වන්නේ යම් හෙයකින් මහ බැංකුව විසින් ඒ දක්වා නිකුත් කර තිබුණු රුපියල් සියල්ලම ආපසු ලබා ගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීමට අවශ්‍ය වුවද එය කළ හැකි තරම් විදේශ වත්කම් ප්‍රමාණයක් මහ බැංකුව සතුව ඒ වන විට තිබුණු බවයි. ශ්‍රී ලංකා රජය කාලයක් තිස්සේම ණය ගොඩ ගසාගෙන හිටියත් මහ බැංකුව ඒ වන විටද ස්ථාවර තත්ත්වයක සිටියා.

සංසරණයේ ඇති මුදල් සියල්ල මහ බැංකුව විසින් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීම තනිකරම මනඃකල්පිත අදහසක් වුවත්, එවැනි හැකියාවක් තිබීම යන්නෙන් අදහස් වන්නේ රුපියලට ශක්තිමත් හා ස්ථාවර පදනමක් ඇති බවයි. එය රන් සම්මතයකට තරමක් සමාන තත්ත්වයක්. ඊට හේතුව එවැනි ස්ථාවර තත්ත්වයක් ඇත්නම් ඩොලර් වෙනුවට රන් සංචිතම වුවද පවත්වා ගත හැකි වීමයි. 

ආර්ථික අර්බුදයට පෙර මෙම ශක්තිමත් පදනම ක්‍රමක්‍රමයෙන් දුර්වල වුනා. රජයේ ආර්ථික පදනම කාලයක පටන්ම දුර්වල වෙමින් පැවතියත්, මහ බැංකුවේ ස්ථාවරත්වය මේ ආකාරයෙන් දුර්වල වූයේ පළමු වරටයි. විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගැනීම සඳහා රටේ විදේශ සංචිත විකිණීම සහ අනෙක් පැත්තෙන් රුපියල් සැපයුම වැඩි කිරීම (සල්ලි අච්චු ගැසීම) හේතුවෙන් 2021 ජූලි මාසය වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා. 

ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණු පසුවද විණිමය අනුපාතය නිදහස් කිරීමක් සිදු වූයේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ චීනයෙන්, ඉන්දියාවෙන් මෙන්ම බංග්ලා දේශයෙන්ද ණය ගනිමින් විණිමය අනුපාතය නොවෙනස්ව පවත්වා ගනු ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත මුදල් සැපයුම මෙන් දෙගුණයකයත් වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුනා. සංචිත මුදල් සැපයුම අඩුවෙන් පෙනුණේ එසේ එකතු කළ රුපියල් වලින් අඩක් පමණ මහ බැංකුව විසින් නැවතත් ණයට ගත් ඩොලර් සමඟ හුවමාරු කරගත් නිසයි. ඒ අනුව, මෙය මහ බැංකුව විසින් එක වර රුපියල් මෙන්ම ඩොලර්ද වෙළඳපොළට නිකුත් කිරීමක් සේ සැලකිය හැකියි. 

පසුව මහ බැංකුව විසින් සිය ස්ථාවරය වෙනස් කර විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ දමා ගත් නමුත් 2024 ඔක්තෝබර් මාසය වන තුරුම මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් නැවත ධන අතට හැරුනේ නැහැ. මේ වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී ඇතත්, දැනටද මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් සැපයුමෙන් 39.7%ක් පමණයි. 2020දී පැවති ස්ථාවරත්වය නැවත ඇති කරගැනීමටනම්, අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 3.5ක පමණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමට සිදු වෙනවා. 

ඉදිරි දෙවසර තුළදීද සැලකිය යුතු ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගතහොත්, 2028 වන විට මෙම ස්ථාවරත්වය ලඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේ කළ හැකිනම්, 2028 වසරේදී ණය ආපසු ගෙවීම සඳහා නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම (2025) වසරේ ජංගම ගිණුම් අතිරික්තයට නොඅඩු (ඩොලර් බිලියන 2ක පමණ) ජංගම ගිණුම් අතිරික්තයක් 2026 හා 2027 වසර වලදීද පවත්වා ගන්නා අතර, සංචිත මුදල් සැපයුමේ වර්ධනයට අනුපාතිකව ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හරින්නේනම් මේ ඉලක්කයට යා හැකියි. 

ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා මුදල් සැපයුමේ යම් වර්ධනයක් අවශ්‍යයි. එහෙත් මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩියෙන් වර්ධනය වේනම් ඊට අනුරූපව ඩොලරයක මිලද ඉහළ යාමට ඉඩ සලස්වන්න වෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, ඩොලරයක මිල පාලනය කිරීමටනම් මුදල් සැපයුම පාලනය කර උද්ධමනය පාලනය කරන්නට සිදු වෙනවා. අවසාන වශයෙන් මෙය මුදල් සැපයුම, ඩොලරයක මිල, ජංගම ගිණුම් ශේෂය සහ ආර්ථික වර්ධනය ඇතුළු සියලු සාර්ව ආර්ථික විචල්‍ය වල ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. රජය විසින් ඊළඟ වටයේදී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කළහොත් මේ ස්ථාවරත්වය ලබා ගැනීම වඩා පහසු වෙනවා. 

Friday, October 3, 2025

දැන් ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය කොපමණද?


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.

රජයේ විදේශ ණය - ඩොලර් මිලියන 36,609

මහ බැංකුවේ විදේශ ණය - ඩොලර් මිලියන 4,378

අනෙකුත් බැංකු වල විදේශ ණය - ඩොලර් මිලියන 5,158

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ ණය - ඩොලර් මිලියන 9,924

රටේම විදේශ ණය - ඩොලර් මිලියන 56,069


රටේ විදේශ ණය කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් කොටසක්. ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් විදේශිකයින්ගෙන් ලබාගෙන තිබෙන ණය රටේ විදේශ ණය වල කොටසක්. රටේ විදේශ ණය රටේ විදේශ බැරකම් වල කොටසක්. එහෙත් රටේ විදේශ බැරකම් වලට, ඒ කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට, අයත් වන්නේ රටේ විදේශ ණය පමණක් නෙමෙයි. 

විදේශ ණය වලට අමතරව වෙනත් විදේශ බැරකම්ද තිබෙනවා. ඒ විදේශිකයින්ට අයිති ලංකාවේ තිබෙන ආයෝජනයි. විදේශ ණය වෙනුවෙන් වගේම විදේශ ආයෝජන වෙනුවෙන්ද වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභ විදේශිකයින් විසින් රටින් රැගෙන යනවා. විදේශ බැරකම් වැඩි වන තරමට මේ විදිහට වාර්ෂිකව රටින් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ඉහළ යනවා. ඒ වගේම, විදේශිකයින්ට තමන්ගේ ආයෝජනද රටෙන් ආපසු රැගෙන යා හැකි බැවින්, රටේ පැත්තෙන්, විදේශ ණය වල වගේම විදේශ ආයෝජන වලද අවදානමක් තිබෙනවා. 

රටේ විදේශ ණය ප්‍රමාණය - ඩොලර් මිලියන 56,069

ණය නොවන විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 11,406

රටේ මුළු විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 67,475


මේ වගේම, රටේ විදේශ වත්කම් කියා කියන්නේ මහ බැංකුවේ තිබෙන, අපි නිතරම කතා කරන, නිල විදේශ වත්කම් ප්‍රමාණය පමණක් නෙමෙයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් තිබේනම් ඒවා රටේ විදේශ වත්කම් වල කොටසක්. නමුත් හදිසියකදී මහ බැංකුවට ප්‍රයෝජනයට ගත හැක්කේ මහ බැංකුව සතු විදේශ වත්කම් පමණයි. ඒ ගැන වැඩිපුර අවධානයක් යොදවන්නේ ඒ නිසා. 


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ වත්කම් ප්‍රමාණයයි.

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 6,081

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 5,670

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,502

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 15,254

මේ අනුව පෙනෙන පරිදි, රටේ විදේශ බැරකම් ඩොලර් 100කට විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් 22.6ක් පමණයි. ආර්ථික අර්බුදයට පෙර, 2022 මාර්තු අවසානයේදී, මෙම අනුපාතය 13.5% දක්වා පහත වැටුණා. 

ඩොලර් 50ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන එක අමාරුවෙන් හරි කරන්න පුළුවන්. නමුත් ඩොලර් 13ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන්න බැහැ. ඒ වගේම එහෙම බැහැ කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. වත්කම් බැරකම් අනුපාතය ඒ තරමටම අඩු වූ විට ආර්ථිකයක් කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි.

පහත තිබෙන්නේ 2022 මාර්තු අවසාන වන විට පැවති තත්ත්වයයි.

විදේශ බැරකම්:

රජයේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 26,522

මහ බැංකුවේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 5,923

අනෙකුත් බැංකු වල විදේශ බැරකම් - ඩොලර් මිලියන 6,815

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ බැරකම්- ඩොලර් මිලියන 20,526

රටේම විදේශ බැරකම් - ඩොලර් මිලියන 59,786


විදේශ වත්කම්:

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,441

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 2,715

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 8,073


මේ අනුව පෙනෙන පරිදි, මේ වන විට රටේ විදේශ වත්කම්, අර්බුදය කාලයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ඩොලර් බිලියන 7කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ඊට සමානව රටේ විදේශ බැරකම්ද ඉහළ ගොස් තිබෙනවා. 

ඩොලර් 22ක් අතේ තියාගෙන වුනත් ඩොලර් 100ක රෝලක් ගහන්න අමාරුයි. ලංකාව දැන් ඒ වැඩේ කරන්නේ ඉන්දියාවේ, චීනයේ සහ මූල්‍ය අරමුදලේ උදවුවෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුගත කරගත්ත නිසා. 

කෙසේ වුවත්, මේ වන විට, මහ බැංකුව හා වාණිජ බැංකු සතුව ඔවුන්ගේ ණය ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් තිබෙනවා. එහෙත්, රජය සතුව හා අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතුව ඔවුන්ගේ විදේශ බැරකම් වලට සමානව විදේශ වත්කම් නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස රටේ විදේශ වත්කම් හා බැරකම් සැලකූ විට ඩොලර් මිලියන 52,220ක හිඟයක් තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 2 බැගින් ඉතිරි කර ගත්තත්, මේ හිඟය පියවා ගන්න වෙන්නේ 2050 පමණ වෙද්දීයි. 

Thursday, October 2, 2025

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි.

අගෝස්තු මාසය තුළ පමණක් වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 249ක මුදලක් වැය වී ඇතත්, එම මාසය තුළ ඩොලර් මිලියන 368ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. 

අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදේශ අංශය තුලනය වී තිබෙන්නේ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම්:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 9,077

සේවා ආදායම් - ඩොලර් මිලියන 4,785

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 413

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 5,116

එකතුව - ඩොලර් මිලියන 19,391


විදේශ විණිමය ගෙවීම්:

වාහන ආනයන වියදම් - ඩොලර් මිලියන 918

අනෙකුත් ආනයන වියදම් - ඩොලර් මිලියන 12,423

සේවා වියදම් - ඩොලර් මිලියන 2,118

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,806

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 89

එකතුව - ඩොලර් මිලියන 17,354


ඉතිරිය = ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන 2,039


මෙම අතිරික්තයෙන් ඩොලර් මිලියන 1,238.6ක් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. 


ජනවාරි - ඩොලර් මිලියන 12.3

පෙබරවාරි - ඩොලර් මිලියන 70.3

මාර්තු - ඩොලර් මිලියන 401.9

අප්‍රේල් - ඩොලර් මිලියන 160.8

මැයි - ඩොලර් මිලියන 256.8

ජූනි - ඩොලර් මිලියන 112.2

ජූලි - ඩොලර් මිලියන 81.8

අගෝස්තු - ඩොලර් මිලියන 142.5

එකතුව - ඩොලර් මිලියන 1,238.61

එහෙත් මෙම මාස අටක කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 56කින් පමණයි. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ මහ බැංකුව විසින් ඉහත විදේශ විණිමය මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා වැය කර තිබීමයි. 

ණය ආපසු ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 222.1 සිට රුපියල් බිලියන 514.8 දක්වා රුපියල් බිලියන 292.7කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයින් රුපියල් බිලියන 90.6ක් වැඩි වී තිබෙන්නේ ජූලි සහ අගෝස්තු මාස දෙක ඇතුළතයි.

දළ ගණනයක් සඳහා ඩොලරයක් රුපියල් 300ක් සේ සැලකුවහොත්, මෙය මාස අටක කාලයක් තුළ ඩොලර් මිලියන 975කින් පමණ සහ අවසන් මාස දෙකක කාලය තුළ ඩොලර් මිලියන 300කින් පමණ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යාමක් ලෙස සැලකිය හැකියි. වසරේ පළමු මාස හයක කාලය තුළ මහ බැංකුව විසින් ඉන්දියාවට ඩොලර් මිලියන 450ක මුදලක් ආපසු ගෙවා ඇති අතර, ඒ අනුව ඉන්දියාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,101 දක්වා අඩු වී තිබෙනවා. ඉන් පසුව ගත වූ මාස තුනක කාලය ඇතුළත මෙම ණය මුදලෙන් තවත් ඩොලර් මිලියන 225 කොටසක් පියවා ඇතැයි සිතිය හැකියි. 

ජූනි මාසය අවසන් වන විට මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,081ක් වුවත්, විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,378ක් වුනා. ඒ පහත පරිදියි.

ඉන්දියාවට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,101

චීනයට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,371

මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,898

අනෙකුත් (එකතු වී ඇති පොලිය) - ඩොලර් මිලියන 8

එකතුව - ඩොලර් මිලියන 4,378

දළ විදේශ වත්කම් - ඩොලර් මිලියන 6,081

ශුද්ධ විදේශ වත්කම් - ඩොලර් මිලියන 1,703

මීට අමතරව දේශීය බැංකු වලින් ලබා ගත් මුදල් හුවමාරු ණය යම් ප්‍රමාණයක්ද ඉහත දළ විදේශ වත්කම් වලට ඇතුළත්ව ඇති බව පෙනෙන්නට තිබෙනවා.  එම ප්‍රමාණය ඩොලර් මිලියන 289ක් පමණ විය හැකියි. ඒ නිසා, ශුද්ධ විදේශ ව්‍යවහාර මුදල් වත්කම් ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා තරමක් අඩු වුනත්, ඉහත සඳහන්ව තිබෙන්නේ ජූනි මාසය අවසන් වන විට පැවති තත්ත්වයයි. අගෝස්තු අවසන් වන විට මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් වලට හැරවූ විටද ඩොලර් මිලියන 1,702ක පමණ ඇස්තමේන්තුවක් ලැබෙනවා.

Tuesday, December 3, 2024

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!


වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය පැවතුණේ ඊට වඩා වැඩි මට්ටමකයි.

ආර්ථික අර්බුදයේ උග්‍රම අවස්ථාව සේ සැලකිය හැකි 2022 ජූනි මාසය වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟයේ රුපියල් වටිනාකම බිලියන 1,686ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව, ක්‍රමයෙන් තත්ත්වය යහපත් අතට හැරුණත් නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරීමට සැලකිය යුතු කාලයක් ගත වුනා.

පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 63ක පමණ මුදලක්. ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,572ක් ලෙස වාර්තා වුනා. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,509ක් පමණ වූ බවයි.

මහ බැංකුවේ මෙම විදේශ බැරකම් වලට චීනයට, ඉන්දියාවට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ඇතුළත් වන අතර ඇතැම් විට මහ බැංකුවේ පවත්වාගෙන යන රජය සතු විදේශ මුදල් සංචිත යම් ප්‍රමාණයක්ද මෙයට ඇතුළත්ව තිබෙනවා විය හැකියි. 

මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,500 ආසන්න මට්ටමක පවතින අතර ඊළඟ ඉලක්කය විය යුත්තේ එම මට්ටම දක්වා ශුද්ධ විදේශ සංචිත ගොඩනගා ගැනීමයි. මෙය ඩොලර් බිලියන 5ක පමණ මුදලක්. එපමණ මුදලක් එකතු කර ගැනීම සඳහා තවත් දෙවසරක පමණ කාලයක් යා හැකියි. ශ්‍රී ලංකා රුපියල අර්බුදයට පෙර පැවති මට්ටමට ස්ථාවර වී ඇතැයි කිව හැක්කේ ඉන් පසුවයි. 

Tuesday, July 23, 2024

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!

 

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. 

ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය හඳුනා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරය දෙස බැලූ විට මේ කාල වකවානු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතිය යන්නෙන් අදහස් වන්නේ වාණිජ බැංකු සියල්ල හා මහ බැංකුවයි. වාණිජ බැංකු විසින් විදේශ ණය ලබා ගැනීමේදී මෙන්ම පාරිභෝගිකයින් විසින් වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමේදීද (විශේෂයෙන්ම අක්වෙරළ ශාඛාවන්හි) බැංකු පද්ධතියේ විදේශ මුදල් වගකීම් ඉහළ යනවා. ඒ නිසා, විදේශ බැරකම් සියල්ල විදේශ ණය නෙමෙයි. එහෙත් බැංකු වල විදේශ ණය සියල්ල විදේශ බැරකම් යටතට වැටෙනවා.

වාණිජ බැංකු වල විදේශ ණය ආපසු ගෙවීම සඳහාත්, තැන්පතු ආපසු ගෙවීම සඳහාත්, අවශ්‍ය පමණ විදේශ වත්කම් රඳවා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් මේ විදේශ වත්කම් පවත්වා ගන්නේ විදේශ බැංකුවක තැන්පතු හෝ වෙනත් ආයෝජන ලෙසයි. 

කිසියම් නිශ්චිත වාණිජ බැංකුවක හෝ සමස්තයක් ලෙස සියලුම වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් සෘණ වීම, එසේත් නැත්නම් විදේශ වගකීම් වලට වඩා විදේශ වත්කම් අඩු වීම, අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. වාණිජ බැංකු විසින් ඇතැම් කාල වකවානු වලදී කෙටිකාලීනව අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් විදේශ වත්කම් රඳවාගෙන ඉතිරි විදේශ වත්කම් (විදේශ ව්‍යවහාර මුදල්) විකුණා දමනවා. මෙම විදේශ වත්කම් (විදේශ විණිමය) ආනයනකරුවන් විසින් හෝ මහ බැංකුව විසින් මිල දී ගන්නවා. 

වාණිජ බැංකු විසින් ඇතැම් විට මෙසේ ශුද්ධ විදේශ වත්කම් සෘණ වීමට ඉඩ හරිමින් තමන් සතු විදේශ විණිමය විකුණා දමන්නේ අවශ්‍ය වූ විටෙක නැවත වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේ අපේක්ෂාවෙන්. මහ බැංකුව විසින් මිල දී ගන්නා විදේශ විණිමය නිල සංචිත වලට එකතු වෙනවා. එහෙත් ආනයනකරුවන් විසින් මිල දී ගන්නා විදේශ විණිමය රටෙන් බැහැර වෙනවා. මෙය සැලකිල්ලට ගෙන, ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ කොටසක්.

වාණිජ බැංකු වලට මෙන්ම මහ බැංකුවටද විදේශ වගකීම් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන ණය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එහෙත් සාමාන්‍යයෙන් මහ බැංකුවේ විදේශ වගකීම් එහි විදේශ වත්කම් ප්‍රමාණය ඉක්මවා ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සාමාන්‍යයෙන් සෘණ පැත්තට යන්නේ නැහැ.

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් 2019 වසර අවසන් වන විටද සෘණ පැත්තේ තිබුණත්, එම හිඟය ඉක්මවන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් ඒ වන විට මහ බැංකුව සතු වූ බැවින් සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ වත්කම් ධන පැත්තේ තිබුණා. එහෙත්, 2020 අප්‍රේල් වන තුරු පැවති මේ තත්ත්වය 2020 මැයි මාසයේදී වෙනස් වුනා. එම මාසයේදී සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා.

මහ බැංකුව විසින් සංචිත විකුණා දමමින් ඩොලරයක මිල පාලනය කිරීමට ගත් උත්සාහය තුළ නිල සංචිත ක්‍රමයෙන් පිරිහීමේ ප්‍රතිඵලයක් ලෙස, 2021 අගෝස්තු මාසයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා. ඉන් පසුව, මහ බැංකුව විසින් දිගින් දිගටම "අතමාරු ණය" ගැනීම නිසා මෙම ශුද්ධ විදේශ වත්කම් හිඟය එන්න එන්නම ඉහළ ගියා. වත්මන් අධිපතිවරයා විසින් මහ බැංකුව භාරගත් 2022 අප්‍රේල් මාසය වන තුරුම පැවතියේ මේ තත්ත්වයයි.

කෙසේ වුවත්, 2022 වසර මැද සිට තත්ත්වය යහපත් අතට හැරෙන්නට පටන් ගත්තා. මුලින්ම වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තේ වාණිජ බැංකු වල විදේශ වත්කම් හිඟයයි. 2023 පෙබරවාරි මාසයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරුණා. කෙසේ වුවත්, මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වඩා විශාල වූ නිසා සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ තිබුණේ විදේශ වත්කම් හිඟයක්.

මහ බැංකුව විසින් ටිකෙන් ටික විදේශ සංචිත ගොඩ නගා ගැනීම නිසා මේ වන විට සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ විදේශ වත්කම් අතිරික්තයක් ඇති වී තිබෙනවා. මහ බැංකුවේ තව දුරටත් විදේශ වත්කම් හිඟයක් තිබුණත්, එම හිඟය ඉක්මවන විදේශ විණිමය අතිරික්තයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ තිබෙනවා. 

ගෙවුණු 2024 මැයි මාසය අවසන් වන විට, වාණිජ බැංකු සතුව රුපියල් බිලියන 322.0ක විදේශ වත්කම් අතිරික්තයක් පැවති අතර, එම අතිරික්තය මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වූ රුපියල් බිලියන 248.0 ඉක්මවනවා. මේ අනුව, සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 93.9ක අතිරික්තයක් වාර්තා වෙනවා.

මැයි මස අවසානයේදී ඩොලරයක මිල රුපියල් 301.8883ක්ය යන්න සැලකූ විට, මෙය ඩොලර් මිලියන 311ක පමණ අතිරික්තයක්. මෙයින් අදහස් වන්නේ අපහසුවකින් තොරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය පියවාගෙන තවත් ඩොලර් මිලියන 311ක මුදලක් සංචිත වලට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය තරම් අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් වාණිජ බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි.

එසේනම් මහ බැංකුව විසින් බැංකු පද්ධතිය තුළ තිබෙන මෙම අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය මිල දී නොගන්නේ ඇයි? 

මෙයට හේතු කිහිපයක් තිබෙනවා. පළමුව, මහ බැංකුව විසින් මේ වන විට ක්‍රියාත්මක කරන්නේ පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. එහිදී වෙළඳපොලට මැදිහත්වීම් කරන්නේ කලින් ප්‍රකාශයට පත් කර තිබෙන සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක හා ගැලපෙන තරමට පමණයි. මහ බැංකුව විසින් "ඕනෑවට වඩා හදිස්සි නොවී" මාස්පතා යම් විදේශ සංචිත ප්‍රමාණයක් එකතු කර ගනිමින් ඉන්නවා. එම වේගයෙන් යාම වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම සඳහා ප්‍රමාණවත් වනවා විය යුතුයි.

දෙවනුව, වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේදී රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. එම රුපියල් නැවත එකතු කර ගැනීමටනම් මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට සිදු වෙනවා. මහ බැංකුව විසින් යම් පාලනයක් ඇතුව මෙය කරමින් සිටිනවා. ඕනෑවට වඩා වැඩියෙන් වෙළඳපොළට රාජ්‍ය සුරැකුම්පත් තල්ලු කළහොත්, පොලී අනුපාතික මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහළ දමා ගැනීමේ උත්සාහයකද නිරතව සිටින බව පෙනෙන්නට තිබෙනවා.

ඒ අතරම, රුපියල් සැපයුම පාලනය කිරීම මගින් මෙම විදේශ විණිමය ආනයනකරුවන් විසින් මිල දී ගැනීමද මහ බැංකුව විසින් සාර්ථක ලෙස සීමා කර තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු පද්ධතිය තුළ විදේශ විණිමය එක්රැස් වෙමින් තිබෙනවා. දැනට මහ බැංකුව විසින් එම විදේශ විණිමය මිල දී ගන්නා බව පෙනෙන්නේ ඩොලරයක මිල පහළ වැටෙන්නට යද්දී පමණයි. 

එක පැත්තකින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මැදිකාලීනව රජයේ විදේශ විණිමය අවශ්‍යතාව සීමා වී ඇති පසුබිමක, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්ද වර්ධනය වීම මගින් කියා පාන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන්හි අයහපත් හැරවුමක් සිදු නොවුවහොත් ඉදිරි කාලයේදී විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමේ කිසිදු ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. මෙම තත්ත්වය තුළ ඉක්මණින්ම වාහන ආනයනය සඳහා ඉඩ දිය හැකි පසුබිමක් ඇති වී තිබෙනවා. පවතින යහපත් තත්ත්වය ඉක්මණින් නරක අතට වෙනස් විය හැක්කේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමට කිසියම් බාධාවක් පැමිණුනහොත් පමණයි. 

Friday, April 5, 2024

රටේ විදේශ සංචිත


මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ නොහැකි වීමයි.

රටට පැමිණෙන විදේශ විණිමය හා රටෙන් එළියට යන විදේශ විණිමය අතර වෙනස රටේ විදේශ සංචිත වලට එකතු වෙනවා. නමුත්, අනිවාර්යයෙන්ම මහ බැංකුවේ නිල සංචිත වලට එකතු වෙන්නේ නැහැ. එසේ වන්නේ මහ බැංකුවට කෙළින්ම විදේශ විණිමය ලැබුනොත් හෝ මහ බැංකුව විසින් මැදිහත් වී එම විදේශ විණිමය මිල දී ගත්තොත් පමණයි.

පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත, එනම් මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,392 දක්වා ඩොලර් මිලියන 2,495කින් ඉහළ ගියා. ඊට අමතරව වාණිජ බැංකු සතු විදේශ වත්කම් ප්‍රමාණයද ඩොලර් මිලියන 3,976 සිට ඩොලර් මිලියන 4,981 දක්වා ඩොලර් මිලියන 1,005කින් ඉහළ ගොස් තිබෙනවා. බැංකු පද්ධතියෙන් පිට පුද්ගලයින් හා ආයතන සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,956 සිට ඩොලර් මිලියන 3,173 දක්වා ඩොලර් මිලියන 17කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව, 2022 වසර අවසානයේදී රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 8,830 වසර අවසාන වන විට ඩොලර් මිලියන 12,546 දක්වා ඩොලර් මිලියන 3,716කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටේ විදේශ වත්කම්- 2019 ජූනි 30:

මහ බැංකුව - ඩොලර් මිලියන 8,865

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 2,637

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,549

එකතුව - ඩොලර් මිලියන 14,051


රටේ විදේශ වත්කම්- 2022 මාර්තු 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 3,441

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,715

එකතුව - ඩොලර් මිලියන 8,073


රටේ විදේශ වත්කම්- 2023 දෙසැම්බර් 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 4,392

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 4,981

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 3,173

එකතුව - ඩොලර් මිලියන 12,546


මහ බැංකුවේ මෙන්ම සමස්තයක් ලෙස රටේද විදේශ වත්කම් ඉහළ ගොස් තිබීම හොඳ තත්ත්වයක්. එහෙත් රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙම විදේශ වත්කම් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩියි. මෙම තත්ත්වය මෑතකදී ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම කෙටි කාලයකින් විසඳාගත හැකි ප්‍රශ්නයකුත් නෙමෙයි. නමුත් විසඳාගත යුතු ප්‍රශ්නයක්. 2023 දෙසැම්බර් 31 වන විට ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 63,986ක්. මෙයින් ඩොලර් මිලියන 54,832ක් විදේශ ණයයි. ඉතිරි කොටස විදේශිකයින් සතු කොටස් ආයෝජන.

මේ අනුව, 2023 වසර අවසානයේදී රටේ ශුද්ධ විදේශ බැරකම් හිඟය ඩොලර් මිලියන 51,440ක්. මෙම ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළ බැරකම් ගණනය කර තිබෙන්නේ දැනට එම බැඳුම්කර අලෙවි වන මිල ගණන් මත පදනම්ව බැවින් සැබෑ බැරකම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි. 

ලංකාව නිදහස ලබන විට, රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ වත්කම් ප්‍රමාණයක් එකතු වී තිබුණා. එහෙත්, රජය විසින් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරද්දී විදේශ සංචිත ටිකෙන් ටික අඩු වී විදේශ ණය ටිකෙන් ටික ඉහළ ගියා. 1963 වන විටද ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, 1964 වන විට මේ තත්ත්වය කණපිට හැරී ලංකාව ශුද්ධ ණයකරුවෙකු බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගන්නට සිදු වුනා.

ලංකාව විසින් 1965 ජූනි 15 දින පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගත්තා. එම ණය මුදලේ උදවුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගත් නමුත් එසේ රටේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු වූ පාදක කරුණු ගැන සැලකිලිමත් වී ප්‍රශ්නයේ මුල් ගලවා දැමීමට උනන්දු වුනේ නැහැ. ඒ නිසා, ලංකාවට 1964 ගෙවුම් ශේෂ අර්බුදය වැනි අර්බුද වලට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදු වුනා. මෙය අවසන් වුනේ විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින්නට සිදු වන තරමේ අර්බුදයකින්.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන්ට මුහුණ නොදීමටනම් රටේ විදේශ බැරකම් වලට සාපේක්ෂව විදේශ වත්කම් ඉහළ දමා ගත යුතු වෙනවා. ඒ සඳහා, අඩු වශයෙන් යම් කාලයක් යන තුරු, උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩු විදේශ විණිමය ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙනවා. රාජ්‍ය අයවැය තුලනය පවත්වා නොගෙන මෙය කළ නොහැකියි. 

Sunday, March 31, 2024

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?


පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, "බිංදුවටම හිඳී තිබුණු" නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?

පළමුවෙන්ම, ඔය සංචිත "බිංදුවටම හිඳී තිබුණු" කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?

ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. 

මෙය කියවන හැමෝම වගේ දන්නා පරිදි 1965 අවුරුද්දේ ඉඳලා ලංකාව දිගින් දිගටම 17 වාරයක් IMF ගියා. ගිහින් ණය ගත්තා. සාමාන්‍යයෙන් IMF එක ණය දෙන්නේ රටේ මහ බැංකුවට. ඒ ණය ආපසු ගෙවන්නෙත් මහ බැංකුව. ඒ හැර රජයේ ණය වලට මහ බැංකුවේ සෘජු සම්බන්ධයක් නැහැ.

මහ බැංකුවට IMF එක විසින් ණයක් දුන් විට ඒ ණය වාරික වශයෙන් ආපසු ගෙවීම සඳහා යම් කාලයක් දෙනවා. නමුත් මෙතෙක් දිගින් දිගටම වුනේ ඒ කාලය අවසන් වෙන්න කලින් ලංකාව නැවත IMF එකට ගිහින් අළුත් ණයක් ගන්න එක. මේ හේතුව නිසා, දිගින් දිගටම හැම වසරකම වගේ මහ බැංකුව විසින් IMF එකට ගෙවිය යුතු යම් ණය ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා, මහ බැංකුව සතු වූ නිල සංචිත වලින් යම් කොටසක් හැමදාමත් ආපසු ගෙවිය යුතු, ණයට ගත් මුදල්. 

මීට අමතරව ලංකාව 1974 සිටම ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජිකයෙක්. මෙහි සාමාජික රටවල් ආනයන අපනයන කරද්දී ඒ අවස්ථාවේදීම මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ගෙවිය යුතු මුළු මුදලම මාස දෙකකට වරක් එක වර ගෙවන එකයි කරන්නේ. හරියට ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවනවා වගේ.

මෙහෙම කිවුවට ලංකාවේ ආනයනකරුවෙක් යම් දෙයක් ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටකින් ආනයනය කරද්දී මුදල් නොගෙවා ආනයනය කරන්නේ නැහැ. එකම වෙනස අදාළ මුදල එම රටට නොගෙවා ලංකාවේ මහ බැංකුවට ගෙවන එක. ඒ බව දැනුම් දුන් පසු අදාළ රටේ මහ බැංකුවෙන් ගෙවිය යුතු තැනට මුදල් ගෙවනවා. ටිකක් විතර අර උන්ඩියල් ක්‍රමයේදී වගේ. 

ඔය විදිහට මහ බැංකුව විසින් එකතු කර ගන්න මුදල් මාස දෙකකට වරක් පියවන තුරු මහ බැංකුවේ ණයක්. නමුත් මේ ප්‍රමාණයත් සංචිත ඇතුළේ තිබෙනවා. 

මීට අමතරව, පසුගිය කාලයේදී මහ බැංකුව විසින් අසල්වැසි රටවල මහ බැංකු වලින් අතමාරු ණය ගන්න පුරුද්දකුත් ඇති වුනා. චීන මුදල් හුවමාරු ණය ඒ වගේ ණයක්. ඊට අමතරව ඉන්දියාවෙන් වගේම බංග්ලා දේශයෙනුත් ඔය ක්‍රමයට ණය ගත්තා. 

ආර්ථික අර්බුදය ලංකාවේ ගොඩක් අයට දැනෙන කොට සංචිත ඇත්තටම තිබුණේ බිංදුවටම හිඳිලා නෙමෙයි. බිංදුවෙනුත් ගොඩක් පහළට වැටිලා. මහ බැංකුවේ ණය ගැන සැලකුවාට පස්සේ සංචිත බිංදුවටම හිඳුනේ රුපියල කඩා වැටෙන්න මාස ගණනකට කලින්. 2021 මාර්තු අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 2,704ක විදේශ සංචිත තිබුණත්, ඒ වන විට මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,073ක්. රුපියල කඩා වැටෙන කොට මේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන හයකට ආසන්න වෙලා.

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස සංචිත ගොඩ නගාගත්තා තමයි. නමුත් මහ බැංකුවේ විදේශ ණය ටික ඒ විදිහටම වගේ තිබෙනවා. ගෙවා දමා තිබෙන්නේ බංග්ලා දේශයෙන් ගත් ඩොලර් මිලියන 200 ඇතුළු තවත් සුළු කොටසක් පමණයි. 2023 වසර අවසන් වන විට මහ බැංකුව විසින් ගෙවිය යුතු වූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,081ක්. මෙම මුදල 2022 වසර අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,391ට වඩා අඩු වුනත් ඒ තරම්ම අඩු නැහැ.

මහ බැංකුව විසින් ආපසු ගෙවිය යුතු ඉහත ණය ප්‍රමාණය සැළකු විට, 2023 වසර අවසානයේදී මහ බැංකුව සතු වූ ඩොලර් මිලියන 4,392 යොදාගෙන එම ණය පියෙවුවොත් මහ බැංකුව තව දුරටත් ඩොලර් මිලියන 1,688ක ණය කරුවෙක්. 

ගිය අවුරුද්දේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 2,245කින් සංචිත වැඩි කරගෙන තිබුණනේ. මේ අවුරුද්දෙත් ඔය වගේ ප්‍රමාණයකින් සංචිත වැඩි කරගත්තොත් 2024 වර්ෂය අවසන් වෙද්දී මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකුගේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ වසරේදීත් පසුගිය වසරේ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. වාහන ආනයනය කරන්න හදිස්සි වුනොත් ඒක කරන්න අමාරුයි.

දැනට මහ බැංකුව ණය කාටද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට = ඩොලර් මිලියන 2,189

ඉන්දියාවට = ඩොලර් මිලියන 2,471

චීනයට = ඩොලර් මිලියන 1,420

එකතුව = ඩොලර් මිලියන 6,081

ඉන්දියානු ණය වලින් වැඩි කොටසක් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොගෙවූ බිල්පත්". ලොකුවට කතා නොකෙරුණත් ඇත්තටම මෙය මහ බැංකුව විසින් ණය පැහැර හැරීමක්. ඉන්දියාවේ එකඟත්වය ලැබුණු නිසා නිල වශයෙන් ණය පැහැර හැරීමක් ලෙස සැලකෙන්නේ නැති වුනත් ඇත්තටම වුනේ මාස දෙකකට වරක් ගෙවිය යුතු "බිල්පත්" ගෙවන්නේ නැතුව මහ බැංකුව විසින් ඉන්දියාවේ මහ බැංකුවට "පොල්ල තියපු එක". 

මුලින් මුලින් ලංකාව මේ "බිල්පත්" ගෙවන්න අමතර සහන කාලයක් ඉල්ලාගෙන දිගින් දිගටම ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනය ඇතුළේ හිටියා. ඒ කාලයේ ලංකාවේ ආනයනකරුවන් විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ මුදල් මහ බැංකුව විසින් එකතු කරගෙන ඉන්දියාවට නොගෙවා හිටපු නිසා මහ බැංකුවට රෝල ගහගන්න වඩා ලේසි වුනා. ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහාත්, දිගටම ගෙවා ගෙන ගිය ණය ගෙවීම සඳහාත් යොදා ගත්තේ මේ විදිහට එකතු කරගත් ඩොලර්. නමුත්, ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැරි නිසා අන්තිමට මහ බැංකුවට තාවකාලිකව ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනයෙන් ඉවත් වෙන්න සිදු වුනා. නැවත එම යාන්ත්‍රනයට ඇතුළු වෙන්නනම් නොගෙවූ ණය හා පොලී ගෙවලා ඉන්න වෙනවා. 

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට මහ බැංකුව විසින් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොපියවූ බිල්පත්" වෙනුවෙන් ඩොලර් මිලියන 2,198ක් ඉන්දියාවට ගෙවිය යුතුව තිබුණා. ඊට අමතරව මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක් අරගෙන තිබුණා. එකතුව ඩොලර් බිලියන 2.6ක් පමණ. ඔය මුදලින් ඩොලර් මිලියන 150ක් පමණ ආපසු ගෙවා තිබෙන බව පේනවා. ඉතිරි හිඟ මුදල සහ පොලිය තමයි ඩොලර් මිලියන 2,471. 

චීනයට ගෙවිය යුතු ඩොලර් මිලියන 1,420 කියන්නේ චීනයෙන් ලබාගත් යුවාන් බිලියන 10ක මුදල් හුවමාරු ණයේ ඩොලර් අගය. මේ මුදලනම් නමට වගේ තියෙන එකක් පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,285ක් ලංකාවට හදිසියකදී ප්‍රයෝජනයකට ගත හැකි, අරමුදලේ සාමාජික ගිණුමේ තිබුණු මුදල්. එම මුදල ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නැහැ. ඉතිරි ඩොලර් මිලියන 904 වරින් වර ගත් ණය. ඒ කොටස ඉදිරි වසර වලදී ගෙවන්න වෙනවා. 

එක වාසියකට තියෙන්නේ මහ බැංකුවේ ඔය ණය හෙට අනිද්දා ආපසු ගෙවන්න අවශ්‍ය නැති වීම. IMF එකෙන් වගේම චීනයෙන් හා ඉන්දියාවෙනුත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා, එම ණය ගෙවන්න හදිස්සි නොවී සංචිත එකතු කර ගන්න පුළුවන්. හැබැයි ඉතිං ණය කියන්නේ ණය. තව අවුරුද්දක් දෙකක් ලැබුණත් චීනයේ හා ඉන්දියාවේ ණය වසර කිහිපයක් ඇතුළත ආපසු ගෙවන්න වෙනවා. IMF ණය ආපසු ගෙවන්නනම් ඊට වඩා වැඩි කාලයක් ලැබෙනවා.

යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, 2024 වසර අවසන් වන විට මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128 දක්වා වැඩි කර ගත යුතුයි. ලොකු ප්‍රයෝජනයක්ච නැති, චීනයෙන් ලැබී තිබෙන යුවාන් බිලියන 10 හැර ඉතිරි කොටස ඩොලර් මිලියන 4,692ක් දක්වා වැඩි කර ගත යුතුයි. ඒ කියන්නේ තවත් ඩොලර් මිලියන 1,700ක් පමණ මහ බැංකුවට මේ අවුරුද්ද තුළ එකතු කර ගන්න සිදු වෙනවා. ඊට අමතරව ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලෙනුත් යම් කොටසක් හෝ ගෙවන්න සිදු වෙනවා. 

දැන් යන විදිහට දිගටම ගියොත් මහ බැංකුවට මේ වසර ඇතුළත ඩොලර් බිලියන තුනක් පමණ එකතු කර ගන්න ඉලක්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 250ක්. එහෙම කළොත් සංචිත ඉලක්කයටත් ගිහින් ඉන්දියානු ණයෙන් බාගයක් පමණ ගෙවා දමන්න පුළුවන්. වාහන ආනයන වෙනුවෙන් මේ අවුරුද්දේ විදේශ විණිමය වැය කරන්න වුනොත් ඔය ඉලක්කයට යන්න අමාරුයි. 

Saturday, March 16, 2024

සංචිත වැඩි වෙන්නේ ණය නොගෙවන නිසාද?


පසුගිය (2023) වසර අවසන් වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400 දක්වා වර්ධනය වී තිබුණා. ඊට වසර එක හමාරකට පමණ පෙර පැවති තත්ත්වය හා සසඳන විට මෙය කෙතරම් සතුටු විය හැකි තත්ත්වයක්ද කියා විස්තර කිරීමට මා වචන නාස්ති කරන්නේ නැහැ. 

සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ විදිහට විදේශ සංචිත වර්ධනය වී තිබෙන්නේ දැනට රජය විදේශ ණය ආපසු නොගෙවන නිසාද යන්නයි. කරුණක් ලෙස ගත්තොත්, මේ වන විට ලංකාව ද්විපාර්ශ්වික ණය හා වාණිජ ණය ආපසු ගෙවීම අත් හිටවා තිබෙනවා. එය රහසක් නෙමෙයි. දිගටම ආපසු ගෙවන්නේ බහුපාර්ශ්වීය ණය හා අර්බුදයට පසුව ලබාගත් ණය ඇතුළු විදේශ ණය වලින් කොටසක් පමණයි.  

කල් ඉකුත්ව ඇති විදේශ ණය සියල්ල පියවීම සඳහා ඉහත සංචිත යොදා ගත්තේනම්, එම සංචිත සියල්ලම අවසන් වන බව තර්කයක් ලෙස සැලකුවහොත් නිවැරදියි. පසුගිය (2023) වසර අවසන් වන විට ගෙවිය යුතුව තිබුණු, එහෙත් නොගෙවූ රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහත සංචිත ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. ඒ පහත පරිදියි.

නොගෙවූ ද්විපාර්ශ්වික ණය - ඩොලර් මිලියන 1,770.8

නොගෙවූ වාණිජ ණය - ඩොලර් මිලියන 2,680.3

එකතුව - ඩොලර් මිලියන 4,451.1

මේ අනුව පැහැදිලි වන පරිදි, කල් ඉකුත්ව ඇති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය පමණක් වුවද මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 51කින් වැඩියි. 

කෙසේ වුවත්, මේ තර්කය නොමග යවන සුළු තර්කයක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, මහ බැංකුවේ සංචිත රජයේ ණය ගෙවීම සඳහා යොදා ගන්නේ නැහැ. සෘජුව එසේ යොදා ගන්නත් බැහැ. නමුත්, ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදීනම් එවැන්නක් සිදු වුනා. 

මධ්‍යම රජයේ විදේශ ණය ආපසු ගෙවිය හැකි ක්‍රම තුනක් තිබෙනවා. එයින් පළමු හා තිරසාර ක්‍රමය රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් සීමා කිරීම මගින් අතිරික්ත රුපියල් ප්‍රමාණයක් එකතු කර ගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමයි. නමුත් දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඒ ක්‍රමයට විශාල රුපියල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම, විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් මිල දී ගැනීමේ හැකියාවක්ද රජයට නැහැ.

දෙවන ක්‍රමය දේශීය වෙළඳපොළෙන් රුපියල් ණය ලබාගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමයි. මෙසේ කිරීමේදී විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක් මිසක් රජයේ ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම, පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ මෙසේ කිරීම වාසිදායක දෙයක් නෙමෙයි. ඊට හේතුව, මේ වන විට පවතින පොලී අනුපාතික යටතේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ කිරීම අවාසිදායක වීමයි. 

ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදී කළේ රජය විසින් කළේ මහ බැංකුවෙන් ණයට රුපියල් ලබා ගෙන (සල්ලි අච්චු ගසා) එම රුපියල් ගෙවා මහ බැංකුවෙන්ම ඩොලර් මිල දී ගැනීමයි. මෙය රජයේ ණය ගෙවීම සඳහා සෘජුව මහ බැංකුවේ විදේශ සංචිත යොදා ගැනීමකට සමාන දෙයක්. අලුත් මහ බැංකු පණතේ විධිවිධාන අනුව දැන් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. දැන් රජය විසින් රුපියල් ණය ලබා ගන්නේනම් වෙළඳපොළ පොලී අනුපාතික ගෙවා දේශීය වෙළඳපොළෙන් එම ණය ලබා ගන්නට සිදු වෙනවා. මෙවැන්නක් කිරීමේදී පොලී අනුපාතික ඉහළ ගොස් ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන නිසා දෙවනුව රජයේ බදු ආදායම්ද අඩු වීමේ අවදාමනක් තිබෙනවා. 

විදේශ ණය පියවිය හැකි තෙවන ක්‍රමය අලුතෙන් විදේශ ණය අරගෙන එම අරමුදල් යොදවා පැරණි විදේශ ණය පියවීමයි. ඉතිහාසයේ දිගින් දිගටම සිදු වුනේද මෙයයි. මේ ක්‍රමයේදී වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමක් සිදු වන්නේ නැහැ. 

මෙතෙක් කාලයක් තිස්සේ සිදු කළ මෙම තෙවැනි ක්‍රමය දැන් යොදා ගත නොහැකිව තිබෙන්නේ පැරණි ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් විදේශ ණය අලුතෙන් ලබා ගත නොහැකි නිසා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමමෙන් පසුව, යම් කාලයක් යන තුරු, අලුත් විදේශ ණය ලබා ගෙන එම අරමුදල් වලින් පැරණි විදේශ ණය ගෙවන්නට සිදු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වන්නේ ලබා ගත හැකි ණය වලින් පැරණි ණය ගෙවිය හැකි වන පරිදි ණය ගෙවීමේ කාලය දිගු කර ගැනීමයි. නමුත්, මේ තෙවන ක්‍රමයෙන්ද රජයේ ණය අඩු වෙන්නේ නැහැ. පමා වී හෝ ණය ගෙවන්නට සිදු වෙනවා.

ණය අඩු වෙන්නේ පළමු ක්‍රමයෙන් ණය පියවුවහොත් පමණයි. ඒ සඳහා, දිගුකාලීනව එක දිගටම ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. එහිදී ඉතිරි වන රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන විදේශ ණය ගෙවිය හැකියි. තිරසාර ලෙස විදේශ ණය අඩු වන්නේ මේ ක්‍රමයෙන් පමණයි.

මේ ආකාරයෙන් රජය විසින් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ණය ගෙවීමටනම්, රජය විසින් රුපියල් සොයා ගැනීමට අමතරව රටේ ප්‍රමාණවත් ඩොලර් සංචිත තිබීමද අවශ්‍ය වෙනවා. එහෙත්, රජයට හදිසියේ විශාල රුපියල් ප්‍රමාණයක් හොයා ගත නොහැකි නිසා, මහ බැංකුවට මේ සඳහා අවශ්‍ය වන සංචිත ගොඩ නගා ගැනීමටද ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. 

කෙසේ වුවත්, මේ කතා කළේ රජයේ ණය ගැනයි. රජයේ ණය වලට අමතරව, මේ වන විට මහ බැංකුව විසින් ලබා ගෙන තිබෙන මහ බැංකුව විසින් ගෙවිය යුතු විදේශ ණයද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක් වූ විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ මහ බැංකුව විසින් චීනයෙන් ලබා ගත් මුදල් හුවමාරු ණයයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයද මහ බැංකුවේ ණයයි. මීට අමතරව, බංග්ලාදේශයෙන් ලබා ගත් ණය මේ වන විට ගෙවා ඇතත්, මහ බැංකුව විසින් ඉන්දියාවට විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. විදේශ ණය තර්කය ඇත්තටම අදාළ වන්නේ මෙම මහ බැංකුවේ ණය වලටයි.

පසුගිය (2023) වසර අවසානයේදී, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3ක්. වසර අවසානයේදී ඩොලරයක මිල වූ රුපියල් 323.93 සැලකූ විට මෙම අගය ඩොලර් මිලියන 2,584.9ක්. ඒ කියන්නේ පසුගිය වසර අවසාන වන විටද මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණයට වඩා විදේශ බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩි වූ බවයි. කෙසේ වුවද, පසුගිය (2023) වසර ආරම්භයේදී මෙම හිඟය රුපියල් බිලියන 1,606.4ක් හෙවත් ඩොලර් මිලියන 4,424.0ක්ව පැවතුණා. 

මේ අනුව, පසුගිය වසර තුළ මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,400 දක්වා ඩොලර් මිලියන 2,502කින් වැඩි කර ගනිද්දී, මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,839කින් පමණයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සැලකුවහොත් සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 1,839ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 662ට අනුරූපව විදේශ බැරකම්ද එකතු වී තිබෙනවා. මෙම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු වාරික දෙකට සමාන මුදලක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නිසා මහ බැංකුවේ සංචිත ඉහළ ගියත් අනෙක් පැත්තෙන් ඊට අනුරූපව මහ බැංකුවේ බැරකම්ද ඉහළ යන නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගත් විට විදේශ සංචිත මෙන්ම ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යනවා. 

මහ බැංකුව වගේම, ශ්‍රී ලංකා රුපියලද අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන්ම එළියට පැමිණි සේ සැලකිය හැක්කේ මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවූ විටයි. මෙම ඉලක්කයට යාම සඳහා තවත් වසරක පමණ කාලයක් යා හැකියි. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුමෙන් ලබා ගෙන ඇති අරමුදල් වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා ඕනෑ තරම් කල් ගත හැකියි. ඒ වගේම, මෑතකදී ලබා ගත් වාරික හා ඉදිරියේදී ලැබෙන්නට නියමිත වාරික ආපසු ගෙවිය යුත්තේ වසර 4-10 අතර කාලයකදීයි. චීනයෙන් හා ඉන්දියාවෙන් ලබා ගත හැකි මුදල් ආපසු ගෙවීම සඳහාද යම් කාලයක් ගත හැකියි. ඒ නිසා, මේ වෙද්දී මහ බැංකුවට මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමක් නැහැ. 

මෙම (2024) වසරේ ජනවාරි මාසය අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 745.1 දක්වා අඩු වී තිබුණා. එයට එක් හේතුවක් වන්නේ ඩොලරයක මිල රුපියල් 317.41 දක්වා අඩු වීම වුවත්, එම විණිමය අනුපාතය යටතේ වුවද මෙම හිඟය ඩොලර් මිලියන 2,347.5ක් පමණයි. මෙය මසකට පෙර පැවති ශුද්ධ විදේශ වත්කම් හිඟයට වඩා ඩොලර් මිලියන 237.4කින් අඩු අගයක්.

ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 245.3ක් මිල දී ගෙන තිබෙනවා. එහෙත්, එම මාසය තුළ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 96කින් පමණයි. මෙයින් පෙනී යන්නේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගත් විදේශ විණිමය වලින් කොටසක් ණය ගෙවීම සඳහා යොදවා ඇති බවයි. 

පෙබරවාරි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් තවත් ඩොලර් මිලියන 239.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. එහෙත් සංචිත ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 21කින් පමණයි. මෙයින් පෙනෙන්නේ පෙබරවාරි මාසය තුළද මහ බැංකුව විසින් සැලකිය යුතු මුදලක් මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් යොදවා ඇති බවයි.

දැනට පවතින වෙළඳපොළ සමතුලිතතාව තුළ, ශ්‍රමික ප්‍රේෂණ වලින් හා සේවා ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය පියැවීමෙන් පසුවද සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් පසුගිය දෙමස තුළ ශුද්ධ ලෙස ඩොලර් මිලියන 484.8ක් මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින්, දිගටම මේ මට්ටමෙන් (සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 240 පමණ බැගින්) වෙළඳපොලෙන් විදේශ විණිමය මිල දී ගතහොත් මෙම වසර අවසන් වන විට මහ බැංකුවට එහි ශුද්ධ විදේශ වත්කම් හිඟය සම්පූර්ණයෙන්ම පියවා ගන්න පුළුවන්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව රජයට එම ණය ගෙවීම පටන් ගන්නට සිදු වෙනවා. නමුත් දැනට යෝජිත ක්‍රමවේදය අනුව වාණිජ ණය වලින් කොටසක් කපා හැරෙන අතර ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු කාලයක් ලැබෙනවා. ඒ අනුව, අමතර බරක් සේ ක්ෂණිකව එකතු වන්නේ ගෙවිය යුතු වාණිජ ණය කොටස පමණයි. 

මෙම කොටස රජයේ රුපියල් ආදායම් හා වියදම් ගැලපූ පසු දරා ගත හැකි මට්ටමකට සීමා කෙරෙන බැවින් එසේ ගෙවිය හැකි ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකමද සීමා වෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ ණය වලින් නිදහස් වීමෙන් පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් මේ වෙනුවෙන් වෙන් කළ හැකි නිසා, රුපියල මත ලොකු පීඩනයක් ඇති නොවන පරිදි අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයට සපයන එක මහ බැංකුවට ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

Friday, May 5, 2023

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි නෙමෙයි. මේ සල්ලිත් ණයට ගත් අනුන්ගේ සල්ලි. 

ලංකාව නිදහස ලබද්දී ලංකාව සතුව ඒ විදිහට ඉතිරි කරගත් තමන්ගේම විදේශ වත්කම් තිබුණා. ඒවා නියම විදේශ වත්කම්. දැන් තිබෙන නමට පමණක් විදේශ සංචිත වගේ නෙමෙයි. නිදහසින් පසු අනුගමනය කළ ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා අවුරුදු පහළොවක් පමණ යද්දී ඒ වත්කම් ඉවර වෙලා ලංකාව ශුද්ධ ණයකරුවෙක් බවට පත් වුනා. තවමත් කතාව වගේම තවත් දශක ගණනක් යන තුරු කතාව වන්නේත් එතැන් සිට කතාවයි. 

රටක් සතුව ප්‍රමාණවත් තරමින් තමන්ගේම විදේශ වත්කම් තිබේනම් එවැනි රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. නමුත්, ණයට ගත් අනුන්ගේ සල්ලි වලින් විදේශ සංචිත පවත්වා ගනිද්දී වරින් වර ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමයි. ඔය ක්‍රමය තුළ සිටින තාක් වරින් වර නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වෙනවා. 1965 සිට ලංකාවේ කතාව ඕකයි. තවත් රටවල් ගණනාවක කතාවත් ඕකයි.

ඉන්දියාව නිදහස ලැබුවේ ලංකාවට ආසන්න කාලයකයි. රටේ ප්‍රමාණයට සාපේක්ෂව නිදහස ලබද්දී ඉන්දියාව සතුව ලංකාව සතු වූ තරම් විදේශ සංචිත තිබුණේ නැහැ. ඒ වගේම, ඉන්දියාව අනුගමනය කළේත් ජාතිකවාදී හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක්. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවට ලංකාවටත් කලින් ගෙවුම් ශේෂ අර්බුද යුගයට පා තබන්න වුනා. 

ඉන්දියාවට මුල් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනේ 1957දී. එතැන් සිට 1991 දක්වා කාලය තුළ ඉන්දියාවට 7 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනා. එහෙත්, 1991දී ඉන්දියාව මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කර ගත්තා. ඉන්පසුව, ඉන්දියාවට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වී නැහැ. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වී නැහැ. 

ලංකාවේ 1977දී සිදු වූ ආකාරයේ වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ආර්ථිකය විවෘත කිරීම පිළිබඳවද ඉන්දියාව ගැඹුරෙන් සිතුවේ 1991දී. ඒ අතින් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටියා. එහෙත්, ලංකාවේ ප්‍රවේශය වූයේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් රජය මුල් වී ප්‍රාග්ධන ආයෝජන කිරීමයි. ඒ නිසා, ආර්ථිකය විවෘත කිරීමේ හා වෙළඳපොළට වැඩියෙන් ඉඩ දීමේ වාසි හමුවේ වුවත්, ලංකාවේ ගොඩ නැගුනේ අස්ථාවර, භංගුර ආර්ථිකයක්. 

වඩා විවෘත හා වෙළඳපොළ වෙත නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය වුනා. එහෙත්, එයට සමාන්තරව රටේ ශුද්ධ විදේශ බැරකම්ද වේගයෙන් ඉහළ ගියා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික වර්ධනය ගැන සිතු තරමටම ආර්ථික ස්ථාවරත්වය ගැන හිතුවේ නැහැ. එයින් වෙනස්ව, ඉන්දියාව ආර්ථික වර්ධනය ගැන හිතුවේ ආර්ථික ස්ථාවරත්වයද පවත්වා ගනිමිනුයි. ලංකාවේ හා ඉන්දියාවේ ඉරණම් වෙනස් වුනේ මේ හේතුව නිසා. 

හැම විටම මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විසඳුම් හොයන්නේ ඒ වෙලාවේ අතේ සල්ලි නැති ප්‍රශ්නයටයි. රටක ශුද්ධ විදේශ වත්කම් හිඟයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේම ජාත්‍යන්තර සංවිධානයක්. ජාත්‍යන්තර සංවිධානයකට ලෝකයේ හැම රටක් දෙසම එක ලෙස බලනවා මිස එක් රටකට විශේෂත්වයක් දක්වන්න බැහැ. ලෝකයේ හැම රටකටම ශුද්ධ විදේශ වත්කම් පවත්වා ගන්න බැහැ. ශුද්ධ විදේශ වත්කම් තිබෙන රටවල් තියෙන්නනම් ශුද්ධ විදේශ බැරකම් තිබෙන රටවලුත් ලෝකයේ තිබිය යුතුයි. තමන් සිටිය යුත්තේ කොයි ගොඩේද කියා තෝරා ගැනීම අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩක්. 

දශක හයක පමණ කාලයක් තිස්සේ රටක් විදිහට ලංකාවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තිබුණත් මහ බැංකුව සතුව ශුද්ධ විදේශ වත්කම් තිබුණා. එවැනි ශුද්ධ විදේශ වත්කම් නොමැතිව ජාතික මුදල් ඒකකය වන රුපියලේ වටිනාකම පවත්වා ගැනීමේ හැකියාවක් කවදාවත්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වූයේ නැහැ. ලංකාවේ රුපියලට ලංකාවෙන් පිටතදී කිසිම පිළිගැනීමක් නැහැ.

ඇමරිකාවට, එක්සත් රාජධානියට හෝ ජපානයට තමන්ගේ මුදල් ඒකක වලින් ගෙවා වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ නිසාම, යම් සීමාවන් තුළ වුවත්, සැබෑ නිෂ්පාදනයක් සිදු නොකර සල්ලි අච්චු ගැසීම මගින්ම වුවත් භාණ්ඩ ආනයනය කළ හැකියි. එහෙත්, ලංකාව වැනි රටකට එසේ කළ නොහැකියි. රුපියල් හුවමාරුවට කිසිවෙකු ලංකාවට භාණ්ඩ හෝ සේවාවන් සපයන්නේ නැහැ. රුපියලේ වටිනාකම රැඳී තිබෙන්නේම ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට හුවමාරු කිරීමේ හැකියාව මතයි. 

රුපියල් දී ඩොලර් වැනි වෙනත් මුදල් වර්ග ලබා ගත හැකි බවද විශ්වාසයක්. ඒ විශ්වාසයේ පදනම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ නිසාම, රුපියල ගනුදෙනු මාධ්‍යයක් ලෙස පිළිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ සංචිත පවත්වා ගත යුතුයි. එම ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන්නේනම්, තිබෙන ප්‍රමාණය හා ගැලපෙන පරිදි රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතුයි. මෙය නොකිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය ගෙවුම් ශේෂ අර්බුදයක්.

වෙනත් ඕනෑම මහ බැංකුවක් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද කාලයට අනුරූපව හා ආර්ථික වර්ධනයට අනුරූපව රුපියල් සැපයුම ඉහළ දමනවා. එහි වරදක් නැහැ. මේ විදිහට රුපියල් සැපයුම ඉහළ දමද්දී ඊට සමාන්තරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යා යුතුයි. මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගත හැකියි. එසේ නැත්නම් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරිමින් දැනට තිබෙන විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම ඉහළ දමාගත හැකියි. ඔය දෙකෙන් එකක්වත් නොකර රුපියල් සැපයුම වැඩි කළොත් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

රූප සටහනෙහි දැකිය හැකි පරිදි, 2020 පෙබරවාරි පමණ වන තුරු මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ ගියා. මෙය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ඉන්පසුව මේ ප්‍රවණතාව වෙනස් වුනා. ඩොලරයක මිල ප්‍රමාණවත් තරමින් ඉහළ යාමට නොදී දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා. 2021 අගෝස්තු වෙද්දී මහ බැංකුවේ විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා ගොස් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ මහ බැංකුව බංකොලොත් වුනා.

මහ බැංකුවේ  ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට යාමෙන් පසුවද තවතවත් ණය වීම නැවතුනේ නැහැ. මහ බැංකුව විසින් අසල්වැසියන්ගෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන්, ඩොලර් ණයට ගනිමින් එම ඩොලර් අඩු මිලට වෙළඳපොළේ විකිණුවා.  මේ වෙද්දී දළ සංචිත යම් තරමකින් වැඩි වී ඇතත්, තවමත් මහ බැංකුව ශුද්ධ ණයකරුවෙක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබුණා කියා ඉහත තත්ත්වය ක්ෂණිකව වෙනස් වෙන්නේ නැහැ. එක පැත්තකින් ශේෂ පත්‍රයට වත්කමක් එකතු වෙද්දී අනෙක් පැත්තෙන් ඊට සමාන බැරකමක්ද එකතු වෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ වත්කම් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. කෙටියෙන් කිවුවොත්, ණය අරගෙන විදේශ වත්කම් වැඩි කරගැනීම මගින් මේ අවුල ලිහන්න බැහැ. 

අවුල ලිහන්නනම් මහ බැංකුවට රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ක්‍රමය මගින් සංචිත වැඩි කර ගන්න වෙනවා. වෙන විසඳුමක් නැහැ. 

මහ බැංකුවට  රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළේ ප්‍රමාණවත් ඩොලර් අතිරික්තයක් තිබුණොත් පමණයි. අපනයන ආදායම්, සේවා ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදී කවර හෝ ක්‍රමයකින් එම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රටට පැමිණිය යුතුයි. රටට ඩොලර් ආවේ නැත්නම් මහ බැංකුවට ඩොලර් මිල දී ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසාම, ශුද්ධ විදේශ වත්කම් වැඩි කරගන්නත් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ, රුපියලට නැවත වටිනාකමක් ලබා දීමේ හැකියාවක් නැහැ.

වෙළඳපොළේ යම් ඩොලර් අතිරික්තයක් තිබුණත් එම අතිරික්තය ඉක්මවා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් වැඩියෙන් ඩොලර් මිල දී ගන්න ගියොත් එහි ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල ඉහළ යාමයි. ශුද්ධ විදේශ වත්කම් ධන පැත්තේ ඇති වෙලාවකනම් මෙයින් වෙන්නේ එම වත්කම් (රුපියල් අගය) තවත් ඉහළ යාමයි. නමුත් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තියෙද්දී ඩොලරයක මිල ඉහළ යාමෙන් එම සෘණ අගය ඉහළ යනවා. ඒ නිසා, මේ වගේ වෙලාවක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එකත් දෙපැත්ත කැපෙන ආයුදයක්. ඒ නිසාම, මේ වැඩේ කරන්න වෙන්නේ පරිස්සමට හා සීරුමාරුවට. 

ඉහත කරුණු සියල්ල සලකා බලමින්, යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගෙන ක්‍රමයෙන් ශුද්ධ විදේශ වත්කම් ගොඩ නගා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ වැඩ පිළිවෙළ අනුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නේ ඉලක්ක සීමාවක් තුළයි. ඕනෑවට වඩා හදිසියෙන් හෝ වැඩියෙන් ඩොලර් මිල දී ගන්න යන්නේ නැහැ. විණිමය අනුපාතයද ස්ථාවරව තබා ගනිමින් සංචිත ගොඩ නගා ගත හැක්කේ ඒ ක්‍රමයටයි.

මාර්තු අවසානයේදී ඩොලර් මිලියන 2,755ක් වූ මහ බැංකුවේ දළ නිල සංචිත මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 දක්වා ඉහළ නංවා ගැනීම යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ඉලක්කයයි. එහෙත්, ඒ වන විටද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සටහන් වනු ඇත්තේ රුපියල් බිලියන සෘණ 480ක් ලෙසයි. මෙම අගය ධන පැත්තට යනු ඇත්තේ 2024 වසර තුළයි. අපහසුවක් නොමැතිව රුපියලේ වටිනාකම පවත්වාගත හැකි මට්ටමකට ඉහළ යනු ඇත්තේ 2026 වසර තුළයි. එතෙක්, ශ්‍රී ලංකා රුපියලේ ශක්තිය වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රැඳී සිටීම නිසා ලැබෙන සහතිකයයි. 

Wednesday, November 16, 2022

රුපියල ශක්තිමත් වෙලාද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට දෙන්න පුළුවන් තාක්ෂනික පිළිතුර "ඔව්. රුපියල ශක්තිමත් වෙලා!".

එහෙමනම්, ඔය ගැන තිබෙන විවේචනයට පදනමක් නැද්ද? තිබෙනවා. ඉතාම පැහැදිලි පදනමක් තිබෙනවා. ඒ වගේම, රුපියල ශක්තිමත් වෙලා කියන ප්‍රකාශය තාක්ෂනිකව නිවැරදි බව පෙන්විය හැකි වුනත්, එය සිදු වී තිබෙන සන්දර්භය තුළ, ඒ ගැන පාරම්බාන එක විහිළුවක්. 

මේ ප්‍රකාශය විවේචනය කරන අය කියන්නේ මේ වගේ දෙයක්. රුපියල දැන් තිබෙන මට්ටමේ රඳවා ගෙන ඉන්නේ කෘතීම ලෙස. රුපියල ඔය කියන විදිහට ශක්තිමත් වෙලානම් පෙග් එක අත අරින්න. කොහේ නවතියිද කියලා ඊට පස්සේ බලා ගන්න පුළුවන්.

ඔය කතාව සහතික ඇත්ත වගේම ගොඩක් දෙනෙක්ට පැහැදිලි කරුණක්. මහ බැංකුවේ පාලනය නැත්නම් ඩොලරයක මිල කීයක් වෙයිද කියන එක කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ තත්ත්වය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. එසේ තිබියදී රුපියල ශක්තිමත් වෙලා කියා මම කියන්නේ ඇයි කියලා මම පසුව පැහැදිලි කරන්නම්. හැබැයි ඔය අයවැය කතාව ලියා දුන් කෙනා රනිල් ලවා කියවන්නේ මම කියන්න යන දෙයම කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඒ කියන්නේ ඉහත සඳහන් විවේචකයා කියන දෙයම තමයි. ඒ නිසා අදාළ විවේචනය සාධාරණ විවේචනයක්.

මේක අපි සරල උදාහරණයක් එක්ක විමසා බලමු.

මුහුදේ පාවෙන, බර පටවපු, හිල් හැදුණු බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ හිල් වහන්න කාටවත් උවමනාවක් නැහැ. හිල් වලින් වතුර ඇවිත් බෝට්ටුව ගිලෙන එකට විසඳුම විදිහට හැමදාම කරන්නේ වතුර ඉහින එක. ඒ අතර බෝට්ටුවට තව තව බර පටවන එකත් කරනවා.

ඔහොම පාවෙවී තියෙන බෝට්ටුවට පිරෙන වතුර ඉහ ගන්න බැරුව බෝට්ටුව ගිලෙන්න යනකොට උදවු ගන්න IMF යනවා. IMF එකෙන් ඇවිත් වතුර මෝටරයක් අරන් ඇවිත් ටික දවසක් වතුර ඉහගන්න උදවු කරනවා. ඒ අතර, හිල් වහගන්න සහ බර පටවන එක අඩු කරන්නත් උපදෙස් දෙනවා. IMF එක වතුර ඉහළ දීලා යනකම් ඔය ටික කරනවා. ඊට පස්සේ ආයෙම හිල් වහන එක මතක නැති වෙනවා. බර පටවන එකත් සීමාවක් නැතුව කෙරෙනවා.

මේ සැරේ IMF යන්නේ නැතුව වෙන වෙන විසඳුම් හොයලා අන්තිමට IMF ගියේ බෝට්ටුව ගිලුනටත් පස්සෙනේ. දැන් IMF එක මෝටරේ ගෙනාවා කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා බෝට්ටුව ගොඩ ගන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුම පටන් ගන්න කොටත් බෝට්ටුව අඩි දහයක් පහළොවක් මුහුද යට. හැබැයි මුහුදු පතුළේ නෙමෙයි. මුහුදු පතුළ අඩි දාස් ගාණක් ගැඹුරුයි. 

අලුත් මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් ආවාට පස්සේ මුලින්ම කළ හැකිව තිබුණු දෙය කොක්කක් එක්ක කඹයක් දමලා බෝට්ටුව සම්බන්ධ කර ගන්න එක. ඒ වැඩේ පොඩි කාලයකින් සිදු වුනා. ඊට පස්සේ ඔය කඹේ ගොඩ තියෙන කණුවක ගැට ගහලා බෝට්ටුව තව තවත් යටට යන එක නවත්වන එක. මොකද බෝට්ටුව පාලනයක් නැතුව ගිලෙනවා කියන්නේ කවදාවත් ගොඩ ගන්න බැරි ගැඹුරු මුහුදු පතුලක් දක්වාම ඒක යනවා කියන එකයි. ඔය විදිහට බෝට්ටුව ගැට ගහලා තවත් ගිලෙන එක නවත්වා ගන්න තවත් මාස දෙක තුනක් ගියා. දැන් බෝට්ටුව තවත් ගිලෙන්නේ නැහැ. හැබැයි තවමත් අඩි ගාණක් වතුර යට.

කඹේ තියෙන නිසා බෝට්ටුව ගොඩට අදින්න බැරිද? මේක කරන්න අමාරු වගේම අවදානම් වැඩක්. කොක්ක ගැලවෙන්න පුළුවන්. කඹේ කැඩෙන්න පුළුවන්. ගොඩට ඇද්දේ නැතත් ඔය දේවල් වෙන්න පුළුවන්. නමුත් ගොඩට අදින්න යද්දී අවදානම වැඩියි. බෝට්ටුව ගොඩට අදින්න කලින් එයට පටවා තිබෙන බරෙන් කොටසක් අඩු කළ යුතුයි. අඩු අවදානමකින් බෝට්ටුව ගොඩ ගන්න වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට බර අඩු කළොත් පමණයි. ඒ වැඩේ සිදු විය යුත්තේ රජය පැත්තෙන්. 

බෝට්ටුව ගිලුනේ බෝට්ටුවේ හිල් නිසා. අනිවාර්යයෙන්ම ඒ හිල් වැසිය යුතුයි. හැබැයි හිල් වහන්නත් බෝට්ටුව ගොඩ අරගෙන ඉන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගන්න එක අමතක කරලා හිල් වහන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම බෝට්ටුව මුහුද යට තියෙද්දී ඒකට නිදහසේ පාවෙන්න ඉඩ දීමේ වැදගත්කම ගැන කතා කරලත් වැඩක් නැහැ. මේ වෙලාවේ කඹේ කැපුවොත් වෙන දේ ඉතාම පැහැදිලියි.

මම කිවුවනේ තාක්ෂණික ලෙස බැලුවොත් රුපියල ශක්තිමත් වෙලා කියලා. ඒ කියන්නේ, බෝට්ටුව දැන් තියෙන්නේ කලින් තිබුණාට වඩා අඟල් කීපයක් උඩින්. හැබැයි අඩි දහයක් පහළොවක් මුහුදේ ගිලිලා තියෙන බෝට්ටුවක් කඹයක් දමලා අඟලක් දෙකක් උඩට ඇද්දා කියන්නේ අගය කළ යුතු දෙයක් වුනත් ජයග්‍රහණය සැමරිය යුතු දෙයක් නෙමෙයි. බෝට්ටුව ගොඩට ගන්න එක තවමත් දුරස්ථ කරුණක්. ඕනෑම වෙලාවක කඹේ කැඩෙන්න පුළුවන්. කොක්ක ගැලවෙන්න පුළුවන්. සතුටු විය හැකි එකම දේ බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ලොකුවට නොවුණත් එහි ප්රතිඵල පේනවා. ඒ අතර බර අඩු කරන්න මුහුදට දමන්න වෙන බෝට්ටුවේ තිබෙන දේවල් ගැන කෑගහන අයත් ඉන්නවා. 

පසුගිය සැප්තැම්බර් මාසයට ආවොත් අපනයන ආදායම ඩොලර් මිලියන 1,079ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,284ක්. වෙනස ඩොලර් මිලියන 206ක හිඟයක්. නමුත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 359ක් ලැබී තිබෙනවා. අනෙකුත් ලැබීම් හා ගෙවීම් සියල්ල එකතු කළ විට ඩොලර් මිලියන 108ක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා. මෙවැන්නක් සිදු වන්නේ විශාල කාලයකට පසුව. 

ඉතා පැහැදිලිවම මෙය ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. රටේ දැඩි ආනයන පාලනයක් ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන්නට ඔය ඩොලර් මිලියන 110 ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි එවැනි දැඩි පාලිත තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් සුළු ප්‍රමාණයක් ඉතිරි වෙන්නේ කාලයකට පසුවයි.

2022 ජනවාරි හා පෙබරවාරි මාස වල ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-1697)

2022 මාර්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-572)

2022 අප්‍රේල් ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-300)

2022 මැයි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-26)

2022 ජූනි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-219)

2022 ජූලි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-172)

2022 අගෝස්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-49)

2022 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-3035)

2022 සැප්තැම්බර් මාසයේ ගෙවුම් ශේෂ අතිරික්තයෙන් පසුව වසරේ ගෙවුම් ශේෂ හිඟය  ඩොලර් මිලියන (-3035) සිට  ඩොලර් මිලියන (-2927) දක්වා අඩු වී තිබෙනවා. තාක්ෂනික ලෙස බැලුවොත් මෙය රුපියල ශක්තිමත් වීමක් වුනත්, නහයට වඩා උඩින් අඩි දහයක් වතුර පිරී තියෙද්දී එය අඩි නවයක් වුනා වගේ වැඩක් පමණයි.

රුපියලේ බාහිර වටිනාකම ගැන කතා කරද්දී වැදගත්ම දෙය මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයයි. පහළින් තිබෙන්නේ පසු ගිය කාලයේ මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී ගිය ආකාරය.

2020 ජූලි - රුපියල් බිලියන 785.2

2020 අගෝස්තු - රුපියල් බිලියන 822.4

2020 සැප්තැම්බර් - රුපියල් බිලියන 758.6

2020 ඔක්තෝබර් - රුපියල් බිලියන 574.2

2020 නොවැම්බර් - රුපියල් බිලියන 540.1

2020 දෙසැම්බර් - රුපියල් බිලියන 526.8

2021 ජනවාරි - රුපියල් බිලියන 393.9

2021 පෙබරවාරි - රුපියල් බිලියන 341

2021 මාර්තු - රුපියල් බිලියන 342.9

2021 අප්‍රේල් - රුපියල් බිලියන 349.1

2021 මැයි - රුපියල් බිලියන 306.6

2021 ජූනි - රුපියල් බිලියන 10.3

2021 ජූනි මාසය අවසන් වෙද්දී මහ බැංකුවට කෘතීම ක්‍රමයකින් මිස ස්වභාවික ලෙස ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමේ හැකියාව නැතිව යනවා. ඒ මහ බැංකුවේම විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා යාම නිසයි. ඒ කියන්නේ නහය වතුරෙන් යට. 

2021 ජූලි - රුපියල් බිලියන (-83.9)

2021 අගෝස්තු - රුපියල් බිලියන (-158.7)

2021 සැප්තැම්බර් - රුපියල් බිලියන (-252.6)

2021 නොවැම්බර් - රුපියල් බිලියන (-386.0)

2021 දෙසැම්බර් - රුපියල් බිලියන (-662.7)

2022 ජනවාරි - රුපියල් බිලියන (-734.2)

2022 පෙබරවාරි - රුපියල් බිලියන (-1,203.4)

2022 මාර්තු - රුපියල් බිලියන (-1462.2)

2022 අප්‍රේල් - රුපියල් බිලියන (-1546.5)

2022 මැයි - රුපියල් බිලියන (-1612.7)

2022 ජූනි - රුපියල් බිලියන (-1546.5)

2022 ජූලි - රුපියල් බිලියන (-1686.2)

2022 ජූලි මාසය දක්වාම මේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. එහෙත් ඉන්පසුව තත්ත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා.

2022 අගෝස්තු - රුපියල් බිලියන (-1614.9)

2022 සැප්තැම්බර් - රුපියල් බිලියන (-1590.8)

කෙසේ වුවත් තවමත් මහ බැංකුව සතුව ඇත්තේ සෘණ ශුද්ධ විදේශ වත්කම්. ඒ කියන්නේ මහ බැංකුවේම බැරකම් පියවන්නට මහ බැංකුවට තවත් ඩොලර් බිලියන 4.4ක් පමණ අවශ්‍යයි. රුපියල තිරසාර ලෙස ශක්තිමත් කිරීමට තවත් ඩොලර් බිලියන කිහිපයක් අවශ්‍යයි. මාසයකට ඩොලර් මිලියන 100 බැගින් ඉතිරි කරගෙන එවැනි ඉලක්කයකට යන එක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. දිගුකාලීන විසඳුම කුමක් වුවත් රුපියල හා ඒ මගින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගන්නටනම් ඩොලර් බිලියන කිහිපයක විදේශ ණය හෝ වෙනත් ලැබීම් රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

වෙබ් ලිපිනය: