වෙබ් ලිපිනය:

Sunday, March 31, 2024

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?


පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, "බිංදුවටම හිඳී තිබුණු" නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?

පළමුවෙන්ම, ඔය සංචිත "බිංදුවටම හිඳී තිබුණු" කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?

ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. 

මෙය කියවන හැමෝම වගේ දන්නා පරිදි 1965 අවුරුද්දේ ඉඳලා ලංකාව දිගින් දිගටම 17 වාරයක් IMF ගියා. ගිහින් ණය ගත්තා. සාමාන්‍යයෙන් IMF එක ණය දෙන්නේ රටේ මහ බැංකුවට. ඒ ණය ආපසු ගෙවන්නෙත් මහ බැංකුව. ඒ හැර රජයේ ණය වලට මහ බැංකුවේ සෘජු සම්බන්ධයක් නැහැ.

මහ බැංකුවට IMF එක විසින් ණයක් දුන් විට ඒ ණය වාරික වශයෙන් ආපසු ගෙවීම සඳහා යම් කාලයක් දෙනවා. නමුත් මෙතෙක් දිගින් දිගටම වුනේ ඒ කාලය අවසන් වෙන්න කලින් ලංකාව නැවත IMF එකට ගිහින් අළුත් ණයක් ගන්න එක. මේ හේතුව නිසා, දිගින් දිගටම හැම වසරකම වගේ මහ බැංකුව විසින් IMF එකට ගෙවිය යුතු යම් ණය ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා, මහ බැංකුව සතු වූ නිල සංචිත වලින් යම් කොටසක් හැමදාමත් ආපසු ගෙවිය යුතු, ණයට ගත් මුදල්. 

මීට අමතරව ලංකාව 1974 සිටම ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජිකයෙක්. මෙහි සාමාජික රටවල් ආනයන අපනයන කරද්දී ඒ අවස්ථාවේදීම මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ගෙවිය යුතු මුළු මුදලම මාස දෙකකට වරක් එක වර ගෙවන එකයි කරන්නේ. හරියට ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවනවා වගේ.

මෙහෙම කිවුවට ලංකාවේ ආනයනකරුවෙක් යම් දෙයක් ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටකින් ආනයනය කරද්දී මුදල් නොගෙවා ආනයනය කරන්නේ නැහැ. එකම වෙනස අදාළ මුදල එම රටට නොගෙවා ලංකාවේ මහ බැංකුවට ගෙවන එක. ඒ බව දැනුම් දුන් පසු අදාළ රටේ මහ බැංකුවෙන් ගෙවිය යුතු තැනට මුදල් ගෙවනවා. ටිකක් විතර අර උන්ඩියල් ක්‍රමයේදී වගේ. 

ඔය විදිහට මහ බැංකුව විසින් එකතු කර ගන්න මුදල් මාස දෙකකට වරක් පියවන තුරු මහ බැංකුවේ ණයක්. නමුත් මේ ප්‍රමාණයත් සංචිත ඇතුළේ තිබෙනවා. 

මීට අමතරව, පසුගිය කාලයේදී මහ බැංකුව විසින් අසල්වැසි රටවල මහ බැංකු වලින් අතමාරු ණය ගන්න පුරුද්දකුත් ඇති වුනා. චීන මුදල් හුවමාරු ණය ඒ වගේ ණයක්. ඊට අමතරව ඉන්දියාවෙන් වගේම බංග්ලා දේශයෙනුත් ඔය ක්‍රමයට ණය ගත්තා. 

ආර්ථික අර්බුදය ලංකාවේ ගොඩක් අයට දැනෙන කොට සංචිත ඇත්තටම තිබුණේ බිංදුවටම හිඳිලා නෙමෙයි. බිංදුවෙනුත් ගොඩක් පහළට වැටිලා. මහ බැංකුවේ ණය ගැන සැලකුවාට පස්සේ සංචිත බිංදුවටම හිඳුනේ රුපියල කඩා වැටෙන්න මාස ගණනකට කලින්. 2021 මාර්තු අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 2,704ක විදේශ සංචිත තිබුණත්, ඒ වන විට මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,073ක්. රුපියල කඩා වැටෙන කොට මේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන හයකට ආසන්න වෙලා.

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස සංචිත ගොඩ නගාගත්තා තමයි. නමුත් මහ බැංකුවේ විදේශ ණය ටික ඒ විදිහටම වගේ තිබෙනවා. ගෙවා දමා තිබෙන්නේ බංග්ලා දේශයෙන් ගත් ඩොලර් මිලියන 200 ඇතුළු තවත් සුළු කොටසක් පමණයි. 2023 වසර අවසන් වන විට මහ බැංකුව විසින් ගෙවිය යුතු වූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,081ක්. මෙම මුදල 2022 වසර අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,391ට වඩා අඩු වුනත් ඒ තරම්ම අඩු නැහැ.

මහ බැංකුව විසින් ආපසු ගෙවිය යුතු ඉහත ණය ප්‍රමාණය සැළකු විට, 2023 වසර අවසානයේදී මහ බැංකුව සතු වූ ඩොලර් මිලියන 4,392 යොදාගෙන එම ණය පියෙවුවොත් මහ බැංකුව තව දුරටත් ඩොලර් මිලියන 1,688ක ණය කරුවෙක්. 

ගිය අවුරුද්දේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 2,245කින් සංචිත වැඩි කරගෙන තිබුණනේ. මේ අවුරුද්දෙත් ඔය වගේ ප්‍රමාණයකින් සංචිත වැඩි කරගත්තොත් 2024 වර්ෂය අවසන් වෙද්දී මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකුගේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ වසරේදීත් පසුගිය වසරේ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. වාහන ආනයනය කරන්න හදිස්සි වුනොත් ඒක කරන්න අමාරුයි.

දැනට මහ බැංකුව ණය කාටද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට = ඩොලර් මිලියන 2,189

ඉන්දියාවට = ඩොලර් මිලියන 2,471

චීනයට = ඩොලර් මිලියන 1,420

එකතුව = ඩොලර් මිලියන 6,081

ඉන්දියානු ණය වලින් වැඩි කොටසක් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොගෙවූ බිල්පත්". ලොකුවට කතා නොකෙරුණත් ඇත්තටම මෙය මහ බැංකුව විසින් ණය පැහැර හැරීමක්. ඉන්දියාවේ එකඟත්වය ලැබුණු නිසා නිල වශයෙන් ණය පැහැර හැරීමක් ලෙස සැලකෙන්නේ නැති වුනත් ඇත්තටම වුනේ මාස දෙකකට වරක් ගෙවිය යුතු "බිල්පත්" ගෙවන්නේ නැතුව මහ බැංකුව විසින් ඉන්දියාවේ මහ බැංකුවට "පොල්ල තියපු එක". 

මුලින් මුලින් ලංකාව මේ "බිල්පත්" ගෙවන්න අමතර සහන කාලයක් ඉල්ලාගෙන දිගින් දිගටම ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනය ඇතුළේ හිටියා. ඒ කාලයේ ලංකාවේ ආනයනකරුවන් විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ මුදල් මහ බැංකුව විසින් එකතු කරගෙන ඉන්දියාවට නොගෙවා හිටපු නිසා මහ බැංකුවට රෝල ගහගන්න වඩා ලේසි වුනා. ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහාත්, දිගටම ගෙවා ගෙන ගිය ණය ගෙවීම සඳහාත් යොදා ගත්තේ මේ විදිහට එකතු කරගත් ඩොලර්. නමුත්, ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැරි නිසා අන්තිමට මහ බැංකුවට තාවකාලිකව ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රනයෙන් ඉවත් වෙන්න සිදු වුනා. නැවත එම යාන්ත්‍රනයට ඇතුළු වෙන්නනම් නොගෙවූ ණය හා පොලී ගෙවලා ඉන්න වෙනවා. 

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට මහ බැංකුව විසින් ආසියානු නිෂ්කාශන සංගමයේ "නොපියවූ බිල්පත්" වෙනුවෙන් ඩොලර් මිලියන 2,198ක් ඉන්දියාවට ගෙවිය යුතුව තිබුණා. ඊට අමතරව මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක් අරගෙන තිබුණා. එකතුව ඩොලර් බිලියන 2.6ක් පමණ. ඔය මුදලින් ඩොලර් මිලියන 150ක් පමණ ආපසු ගෙවා තිබෙන බව පේනවා. ඉතිරි හිඟ මුදල සහ පොලිය තමයි ඩොලර් මිලියන 2,471. 

චීනයට ගෙවිය යුතු ඩොලර් මිලියන 1,420 කියන්නේ චීනයෙන් ලබාගත් යුවාන් බිලියන 10ක මුදල් හුවමාරු ණයේ ඩොලර් අගය. මේ මුදලනම් නමට වගේ තියෙන එකක් පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,285ක් ලංකාවට හදිසියකදී ප්‍රයෝජනයකට ගත හැකි, අරමුදලේ සාමාජික ගිණුමේ තිබුණු මුදල්. එම මුදල ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නැහැ. ඉතිරි ඩොලර් මිලියන 904 වරින් වර ගත් ණය. ඒ කොටස ඉදිරි වසර වලදී ගෙවන්න වෙනවා. 

එක වාසියකට තියෙන්නේ මහ බැංකුවේ ඔය ණය හෙට අනිද්දා ආපසු ගෙවන්න අවශ්‍ය නැති වීම. IMF එකෙන් වගේම චීනයෙන් හා ඉන්දියාවෙනුත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා, එම ණය ගෙවන්න හදිස්සි නොවී සංචිත එකතු කර ගන්න පුළුවන්. හැබැයි ඉතිං ණය කියන්නේ ණය. තව අවුරුද්දක් දෙකක් ලැබුණත් චීනයේ හා ඉන්දියාවේ ණය වසර කිහිපයක් ඇතුළත ආපසු ගෙවන්න වෙනවා. IMF ණය ආපසු ගෙවන්නනම් ඊට වඩා වැඩි කාලයක් ලැබෙනවා.

යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, 2024 වසර අවසන් වන විට මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128 දක්වා වැඩි කර ගත යුතුයි. ලොකු ප්‍රයෝජනයක්ච නැති, චීනයෙන් ලැබී තිබෙන යුවාන් බිලියන 10 හැර ඉතිරි කොටස ඩොලර් මිලියන 4,692ක් දක්වා වැඩි කර ගත යුතුයි. ඒ කියන්නේ තවත් ඩොලර් මිලියන 1,700ක් පමණ මහ බැංකුවට මේ අවුරුද්ද තුළ එකතු කර ගන්න සිදු වෙනවා. ඊට අමතරව ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලෙනුත් යම් කොටසක් හෝ ගෙවන්න සිදු වෙනවා. 

දැන් යන විදිහට දිගටම ගියොත් මහ බැංකුවට මේ වසර ඇතුළත ඩොලර් බිලියන තුනක් පමණ එකතු කර ගන්න ඉලක්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 250ක්. එහෙම කළොත් සංචිත ඉලක්කයටත් ගිහින් ඉන්දියානු ණයෙන් බාගයක් පමණ ගෙවා දමන්න පුළුවන්. වාහන ආනයන වෙනුවෙන් මේ අවුරුද්දේ විදේශ විණිමය වැය කරන්න වුනොත් ඔය ඉලක්කයට යන්න අමාරුයි. 

6 comments:

  1. දුම්රිය, බස් සේවා හොඳ වෙනවා නං
    කලට වෙලාවට එව්වා දුවනව නං
    රට වැසියන් යාවි එව්වයෙ ගමන්-බිමන්
    වාහන තදබදෙත් නැතිවෙයි roadවලින්!

    ReplyDelete
  2. ඉකොනෝ ඇත්තටම ලංකාවේ පහුගිය යහපාලන රජය සමයේ ප්‍රාථමික අයවැය අතර වෙනස පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. 2017 ඔය අයවැය ප්‍රාථමික අගය ධන වෙන්නෙ ඒ අවුරුද්ද පුරාම ගෙවන්න තිබුණ රුපියල් බිලියන 395ක් නොගෙව ඉඳල. ඒක කපටිකමට එවකට හිටපු මුදල් ඇමති මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් කරපු ජිල්මාට් එකක්. ඒක ගෙව්ව නම් 2017 දීත් අනිවාර්යයෙන්ම අය වැය හිඟය ඍණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔය රුපියල් බිලියන 395 ඊට පස්සෙවත් ගෙවුවේ නැද්ද? ගෙවුවනම් මොන අවුරුද්දේදීද?

      Delete
    2. ඔය උඩ ඇනෝකාරය කියන්නෙ ඒ දවස් වල පොහොට්ටු කුක්කො කියපු බොරුවම තමයි.
      ඉකොනොම ඔය ගැන පැහැදිලි කලා ඒ දවස් වල ලිපියක.

      Delete
  3. ලහිරු රණවීරApril 2, 2024 at 3:55 AM

    මෙතන ඇත්තම ප්‍රශ්නය විනිමය අනුපාතය පාලනය කිරීමට අවශ්‍ය වීම නේද? වාහන ආනයනයට ඉඩ දුන්නත් මහ බැංකුවට සංචිත එකතු කරගන්න පුළුවන්නේ. හැබැයි එතකොට ඩොලර් එක ඉහළ යනවා!

    ReplyDelete
    Replies
    1. විණිමය අනුපාතය පාලනය කිරීමකුත් වෙනවා. නමුත් වාහන ආනයනයට ඉඩ දුන්නොත් ඩොලර් රටෙන් එළියට යන නිසා සංචිත ඉලක්ක වලට යන්න අමාරු වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: