වෙබ් ලිපිනය:

Showing posts with label සේවා ආර්ථිකය. Show all posts
Showing posts with label සේවා ආර්ථිකය. Show all posts

Tuesday, August 19, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන


පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.

පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස්ද ලංකාවේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරද්දී එයින් අදහස් කළේ භාණ්ඩ නිෂ්පාදනය සහ භාණ්ඩ අපනයනයයි. ඒ නිසා, මේ හා අදාළ වත්මන් තත්ත්වය විමසා බැලීමේ වැදගත්කමක් තිබෙනවා. 

දෙවනුව, ලෝක වෙළඳාම තුළ සේවා වෙළඳාමේ වැදගත්කම ඉහළ ගියේ සාපේක්ෂව පසු කාලයකදී නිසා ලෝකයේ විවිධ රටවල භාණ්ඩ අපනයන හා අදාළ සංඛ්‍යාලේඛණ තිබෙන තරමටම සේවා අපනයන පිළිබඳ විශ්වාසනීය දීර්ඝකාලීන සංඛ්‍යාලේඛණ නැහැ. 

තුන්වනුව, ලංකාවේ සේවා අපනයන හා එහි විභවය ගැන කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස භාණ්ඩ අපනයන  වලින් සාකච්ඡාව පටන් ගන්න අවශ්‍ය වුනා. සේවා අපනයන ගැන කොහොමටත් පසුව වෙනම කතා කරන්නයි හිටියේ. දැන් මේ කරන්නේ ඒ වැඩේ.

කලින් ලිපියෙහි සඳහන් කළ පරිදි,  2024 වන විට ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.00052ක් හෙවත් 0.052%ක් පමණයි. භාණ්ඩ හා සේවා අපනයන කාණ්ඩ දෙකම සැලකූ විට මේ පංගුව මීට වඩා තරමක් වැඩියි. නමුත් ඒ වෙනස ලෝක මට්ටමේදී බලපෑමක් කළ හැකි තරමේ වෙනසක් නෙමෙයි. 2024දී මේ පංගුව 0.00061ක් හෙවත් 0.061%ක් පමණයි. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වේගයෙන් පහත වැටුණු නිදහසින් පසු මුල් යුගය පැත්තකින් තිබ්බොත්, මේ පංගුව වැඩිම මට්ටමක තිබී ඇත්තේ 2016 හා 2017 වසර වලදීයි. මෙම උපරිම අගය 0.084%ක් පමණ. නාමික ඩොලර් අගය සැලකුවොත් දැනට ලංකාව වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායමක් උපයා තියෙන්නේ 2018 වර්ෂයේදීයි. එම අගය ඩොලර් බිලියන 20.3ක්. වෙන ආණ්ඩුවක කාලය තුළ මේ දේවල් සිදු වුනානම් ඒවා විශාල ලෙස ප්‍රචාරණය කෙරෙනවා. පාස්කු ප්‍රහාරය සිදු වූ 2019දී පවා ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන පංගුව 0.078% තරම් ඉහළ අගයක පැවතුණා. මෙම පංගුවේ 2015-2019 සාමාන්‍ය අගය 0.081%ක්. එය අනෙකුත් වකවානු එක්ක බලද්දී කැපී පෙනෙනවා.

ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ලංකාවේ අපනයන පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව ඒ ආණ්ඩුව විසින් කළ දේවල් කියා කියනවාට වඩා නොකළ දේවල් කියා කියන්න පුළුවන්. ඔය කාලයේදී සාපේක්ෂව විණිමය අනුපාතය මත මහ බැංකු මැදිහත්වීම් සිදු වුනේ අඩුවෙන්. රජය මුල් වී රටේ නිෂ්පාදනයේ හා අපනයන වල සංයුතිය හෝ දිශානතිය මත බලපෑම් කළේ අඩුවෙන්. ඒ නිසා, වෙළඳපොළ යාන්ත්‍රනය වඩා හොඳින් ක්‍රියාත්මක වුනා. ඊට අමතරව, ඊට පෙර යුගයේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව, සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. එය දිගටම සිදු වුනා. ඔය සේවා අපනයන ආදායම් වලින් විශාල කොටසක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විණිමය. 

මෙම වසරේදී ලංකාවේ නාමික භාණ්ඩ හා සේවා අපනයන ආදායම 2018 මට්ටම ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ඒ අනුව, මෙම 2025 වසරේදීද, 2018දී මෙන්, ලංකාවේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම වාර්තා වෙයි. එහෙත්, ලංකාවේ වෙළඳ පංගුවනම් 2015-2019 මට්ටමට යන එකක් නැහැ. 

කෙසේ වුවත්, ඉහත සඳහන් ලංකාවේ පංගුව වසරක් හෝ දෙකක් ඇතුළත 2015-2019 පැවති මට්ටමට ඔසොවා ගන්න එක අසීරු වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු දේවල් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එතැනින් උඩට වුනත්, යම් සීමාවක් දක්වා වැඩි කර ගැනීමේ විභවයක් තිබෙනවා. නමුත් ගොඩක් වැඩි කරගන්න එකනම් ප්‍රායෝගිකව අසීරු වැඩක්. 

මේ ආණ්ඩුව රටේ භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයනය වැඩි කර ගැනීම සඳහා සාපේක්ෂව වැඩි බරක් තබමින් සිටින බව පේනවා. චීනය වගේ රටක වෙළඳපොළට ඇතුළු වෙන්න ව්‍යවසායකත්වය තිබිලා මදි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ භාණ්ඩ අපනයන ලොකුවට වර්ධනය නොවීමට හේතු වන මූලික හේතු තිබෙනවා. කලින් ලිපියක විස්තර කළ, මානව සම්පත් වෙනුවෙන් ප්‍රශස්ත මට්ටම ඉක්මවා ආයෝජනය කර තිබීම එක් හේතුවක්. එයටම සම්බන්ධ, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවත් හේතුවක්. මේ වගේ සාර්ව ආර්ථික සාධක නිසා ලංකාවේ නිෂ්පාදන පිරිවැය වඩා වැඩියි. 

ආණ්ඩුව, බලයට පත් වෙන්න පෙර කියපු විදිහටම, "විද්‍යාත්මක ක්‍රමයකට" අපනයන භාණ්ඩ හා අපනයන වෙළඳපොළවල් තෝරා ගෙන ඒවා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ මගින් යා හැකි උපරිම සීමාව කාලයක් යද්දී අවබෝධ වෙයි. හැබැයි මේ උත්සාහයන් නරක නැහැ. අවම වශයෙන් භාණ්ඩ අපනයන පංගුව තියෙන මට්ටමේම තියා ගන්න වුනත්, ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ භාණ්ඩ අපනයන වර්ධනය කර ගන්න වෙනවා. 

කොහොම වුනත්, මේ ආණ්ඩුව පවා, කෙටිකාලීනව විශ්වාසය තබා තියෙන්නේ සංචාරක ඉපැයීම් මතයි. ප්‍රායෝගිකව දැනට ලංකාවට වැඩිම ශක්‍යතාවයක් තිබෙන තැන මෙයයි. ජූලි මාසය අවසන් වෙද්දී සංචාරකයින් 1,368,288 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. අගෝස්තු 18 වන විට මෙම ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවලා කියලා වාර්තා වී තිබෙනවා. කෙසේ වුවත්, 2018දී, ජූලි මාසය අවසන් වන විට සංචාරකයින් 1,382,476 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. තවමත් සංචාරක පැමිණීම් 2018 මට්ටමට වඩා අඩුයි. 

පුරෝකථන අනුව, මෙම (2025) වසරේදී ලෝක සංචාරක කර්මාන්තය 3%-5% අතර වර්ධනයක් පෙන්නුම් කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය නිසා 2019දී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් සිදු වුනත්, එම වසරේදී ලෝක සංචාරක කර්මාන්තයේ 3.6%ක වර්ධනයක් සිදු වුනා. ඉන් පසුව, කෝවිඩ් නිසා කර්මාන්තය කඩා වැටුණත්, 2024 වන විට නැවතත් 2019දී සිටි තැනට එම කර්මාන්තය පැමිණුනා. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් 2018 මට්ට්ටමට පැමිණ නැහැ. ඒ නිසා, මෙම වසරේදී 2018 මට්ටමට පැමිණුනත්, එය 2018ට සාපේක්ෂව ලංකාවේ පංගුවේ 7%-9% පමණ අඩු වීමක්. 

එක පැත්තකින් මෙය නරක දෙයක්මත් නෙමෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාවට පහසුවෙන්ම අත්පත් කර ගත හැකි විභවයක් පවතින බවයි. 

රටට විදේශ විණිමය ලැබේනම් එසේ ලැබෙන්නේ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද යන්න වැදගත් නැහැ. මොන විදිහකින් ලැබුණත් ඒ විදේශ විණිමය වලින් රටට අවශ්‍ය ආනයන සිදු කළ හැකියි. ණය ගෙවිය හැකියි. 

සංචාරක කර්මාන්තය වැනි තනි විදේශ විණිමය ප්‍රභව මත යැපීමේ අවදානමක් තිබෙනවා. ඇඟලුම් වැනි නිෂ්පාදනයක් සැලකුවත් ඒ අවදානම තිබෙනවා. අවදානම ආවරණය කර ගැනීම සඳහා කළ යුත්තේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නංවා ගෙන පවත්වා ගෙන යාමයි.

තවත් විශේෂ කරුණක් පැහැදිලිව සටහන් කර තැබිය යුතුයි. එනම් දිගුකාලීනව නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරමින් කෙටිකාලීනව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරියන උපාය මාර්ගයක් නොවන බවයි. සංචාරක කර්මාන්තයෙන් රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ලැබෙන තරමට රුපියල වඩ වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන තරඟකාරිත්වය තව තවත් අඩු වීම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මුලින් සංචාරක කර්මාන්තය මගින් විදේශ විණිමය උපයා ගෙන පසුව භාණ්ඩ අපනයන පංගුව වැඩි කර ගැනීම එකිනෙක හා ගැටෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙකක්. දොන් සිමන් දෙකම එකවර ඉලක්ක නොකර සේවා ආර්ථිකය ගැන වැඩි විශ්වාසයක් තබා කටයුතු කර ඇති 2015-2019 කාලයේදී ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව එයයි. 

දත්ත වල මූලාශ්‍රය ලෝක බැංකුව (https://data.worldbank.org/indicator/NE.EXP.GNFS.CD).

Wednesday, December 27, 2023

ආර්ථිකයේ අතරමැදියාගේ භූමිකාව


ලංකාවේ වර්තමාන ආර්ථිකය මොන වගේ එකක්ද? රටේ ආර්ථිකය දියුණු කිරීම ගැන වත්පොතේ අදහස් පළ කරන ගොඩක් අය එසේ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථිකයේ ස්වභාවය ගැන නිසි අවබෝධයක් නැතුව. සමහර අයට අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම කියන්නේ පිටරටින් බී ළූණු ගේන එක නවත්තලා රට ඇතුළේ බී ළූණු නිපදවා ගැනීම වගේ දේවල් කිරීම. තවත් අයට අනුව, අතරමැදියා ඉවත් කරලා ගොවියා හා පාරිභෝගිකයා කෙළින්ම සම්බන්ධ කරවීම. 

බරපතල මැදිහත්වීම් නැතිව ඔය කියපු ආකාරයේ දේවල් ඓන්ද්‍රීය ලෙසම වෙනවානම් ඒවා වලක්වන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔය වගේ දේවල් බලහත්කාරයෙන් කරවලා රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. බැහැ කියන්නේ කිසිසේත්ම බැහැ. රටේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරය ගැන බරපතල යෝජනා කරන්න කලින් රටේ ආර්ථිකය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගත්තොත් ඔය වගේ යෝජනා වල නිරර්ථක භාවය තමන්ටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකයේ ප්‍රමාණය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) ඇසුරෙන්. දදේනි කියන්නේ අවුරුද්දක් හෝ කාර්තුවක් වැනි කිසියම් කාල වකවානුවක් තුළ, රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. ඒ නිසාම, රටේ සියලු දෙනා විසින්ම අදාළ කාලය තුළ ඉපැයූ සමස්ත ආදායම. රටේ කියා කිවුවත්, අවශ්‍යනම් පළාතක් වැනි රටේ කොටසක් සඳහා මේ ගණනය කිරීම් කරන්නත් පුළුවන්. මේ ලිපිය තුළ අපි මුළු රටම තනි ඒකකයක් ලෙස සලකමු. 

අලුත්ම සංඛ්‍යාලේඛණ වලින් පටන් ගත්තොත්, 2023 තුන් වන කාර්තුවේදී ලංකාවේ දදේනි රුපියල් බිලියන 6,906.9ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත්, එක් අයෙකුට සාමාන්‍ය වශයෙන් මාසයකට රුපියල් 103,900ක පමණ ආදායමක්. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක් අයෙක් මාසයකට රටේ ආර්ථිකයට රුපියල් 103,900ක පමණ අගය එකතු කිරීමක් කරනවා. නමුත්, රටේ බොහෝ දෙනෙකු විසින් මේ මට්ටමේ අගය එකතු කිරීමක් සිදු නොකරන බවත්, සීමිත පිරිසක් විසින් සාමාන්‍ය අගයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මේ සාමාන්‍ය අගය මේ මට්ටමේ තිබෙන බවත් පැහැදිලි විය යුතුයි. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ ඒ කරුණ වෙත නෙමෙයි.

ආදායම් බෙදී යාමේ විෂමතා නැති නොවෙතත්, සාමාන්‍ය මූලධර්මයක් විදිහට රටේ දදේනි ඉහළ යද්දී පොදුවේ රටේ කාගේත් ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ නිසා, වඩා වැදගත් කරුණ රටේ දදේනි ඉහළ නැංවිය හැක්කේ කොහොමද කියන එකයි. ඒ හා අදාළව මේ ලිපියෙන් විමසා බලන්නේ රටේ ආර්ථිකයට විවිධ අංශ වලින් ලබා දෙන දායකත්වය පිළිබඳවයි. 

බිලියන වලින් කියූ විට තේරුම් ගන්න අමාරු නිසා, තේරුම් ගැනීමේ පහසුව සඳහා රටේ එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් ලෙස සලකමු. මෙය ඉහත කී රටේ මාසික ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගයට බොහෝ ආසන්න අගයක්. දැන් ප්‍රශ්නය මේ රුපියල් ලක්ෂය වැඩි කර ගත හැක්කේ කොහොමද?

රටේ ආර්ථිකය 2%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 102,000ක් වෙනවා. රටේ ආර්ථිකය 8%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 108,000ක් වෙනවා. රටේ ආර්ථිකය 2%කින් හැකිලුනොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 98,000ක් වෙනවා. 

රටේ ආර්ථිකය වර්ධනය වන්නේ හෝ හැකිළෙන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වර්ධනය වන හෝ හැකිළෙන ආකාරය අනුවයි. ආර්ථිකයේ මේ අංශ මොනවාද?

රටේ ආර්ථිකය ගැන කතා කරද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් තවමත් මුලින්ම මතක් කර ගන්නේ කෘෂිකාර්මික අංශය. රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් වැඩ කරන්නේ කෘෂිකාර්මික අංශය තුළ වුවත් එම අංශයෙන් රටේ ජාතික ආදායමට හා ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සාපේක්ෂව කුඩා දායකත්වයක්. හරියටම ගණන ඉහත රුපියල් 100,000ක මුදලින් රුපියල් 7,847.83ක් පමණයි.

කෘෂිකාර්මික අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

වී වගාව - රුපියල් 838.02

අනෙකුත් ධාන්‍ය වර්ග - රුපියල් 251.81

එළවලු - රුපියල් 1,097.03

පළතුරු - රුපියල් 752.64

පොල්, තැඹිලි ආදිය - රුපියල් 677.41

තේ (අමු දළු) - රුපියල් 453.83

රබර් - රුපියල් 174.41

අනෙකුත් දිගුකාලීන වගා - රුපියල් 244.50

කුළුබඩු ආදිය - රුපියල් 578.82

කරදිය ධීවර නිෂ්පාදන - රුපියල් 781.84

මිරිදිය ධීවර නිෂ්පාදන - රුපියල් 217.46

සත්ත්ව නිෂ්පාදන - රුපියල් 1,345.85

කෘෂිකර්මය හා අදාළ සේවාවන් - රුපියල් 191.30

දැව - රුපියල් 177.31

නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බරක් තබා තිබුනත්, මුළු රටේම වී වගාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමෙන් අඩු වෙන්නේ රුපියල් 838ක් පමණයි. ඒ කියන්නේ දදේනි අඩු වෙන්නේ 0.84%කින් පමණයි. තේ වගාව ගත්තත් කතාවේ වෙනසක් නැහැ. එහි දායකත්වය දදේනියෙන් 0.45%ක් පමණයි. (මීට අමතරව තේ දළු සකස් කිරීමේ කර්මාන්තයේ  දායකත්වය තිබෙනවා. මෙහි එය නැහැ. එය වැටෙන්නේ කාර්මික නිෂ්පාදිතය යටතට. රබර් ගත්තත් එහෙමයි.)

දැන් මේ කියන්න හදන්නේ රටේ කෘෂිකාර්මික අංශය වැදගත් නැති බව හෝ එය නොසලකා හළ යුතු බව නෙමෙයි. ඒ නිසා, කියන දේ වරදවා තේරුම් ගන්න එපා. ලෝකයේ ඕනෑම රටක් කෘෂිකර්මයට ප්‍රමුඛත්වයක් දෙනවා. මොනවා කරන්නත් කාලා ඉන්න ඕනෑ. හැබැයි කෘෂිකාර්මික අංශය දියුණු කරලා රටේ ආර්ථිකය දැනෙන තරමකින් ප්‍රසාරණය කරවන්න බැහැ. රටේ වී නිෂ්පාදනය දෙගුණ වුනත්, රටේ ආර්ථිකය 1%කින්වත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. 

රටේ සේවා නියුක්තිය පවත්වා ගැනීම සඳහා වී, තේ වගේ අංශ වල දායකත්වය ඉතාම වැදගත්. ඒ වගේම, තේ වලින් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක්ද ලැබෙනවා. නමුත්, මේ අනු අංශ වලින් දදේනියට ලැබෙන දායකත්වය ඒ තරම්ම විශාල නැහැ. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව කර්මාන්ත අංශයෙන් දදේනියට වැඩි දායකත්වයක් ලැබෙනවා. අර රුපියල් ලක්ෂයේ මාසික ආදායමට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය රුපියල් 28,103.40ක්. ඒ කියන්නේ, සැලකිය යුතු දායකත්වයක්. මේ කොටස ඇතුළේ ඉදිරියෙන්ම තිබෙන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ දායකත්වය. එය රුපියල් 7,567.14ක්. ඒ කියන්නේ දදේනියෙන් 7.56%ක්. මුළු කෘෂිකාර්මික අංශයේම දායකත්වයට ආසන්නව සමානයි. ආහාරපාන හා දුම්කොළ සැකසුම් වලින් තවත් රුපියල් 7,472.66ක් එකතු වෙනවා. තේ සැකසුම් කර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ මේ කොටස තුළ විය යුතුයි. ඔය අනු අංශ දෙක එකතු වුණාම කර්මාන්ත නිෂ්පාදිතයෙන් බාගයකට වඩා වැඩියි. ඉදිකිරීම් කර්මාන්තයෙන් තවත් රුපියල් 5,085.30ක් එකතු වෙනවා. කැණීම් හා ගල් කැඩීම් වලින් රුපියල් 1,406.32ක් එකතු වෙනවා. අනෙකුත් සියලුම කර්මාන්ත වලින් ඉතිරි රුපියල් 6,572.02ක මුදල එකතු වෙනවා.

ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය - රුපියල් 7,567.14

ආහාරපාන හා දුම්කොළ සැකසුම් - රුපියල් 7,472.66

ඉදිකිරීම් කර්මාන්තය - රුපියල් 5,085.30

කැණීම් හා ගල් කැඩීම් - රුපියල් 1,406.32

අනෙකුත් සියලු කර්මාන්ත අංශ - රුපියල් 6,572.02

ලංකාවේ වත්මන් ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඉහත කී රුපියල් ලක්ෂයෙන් රුපියල් 57,541.20ක්ම ලැබෙන්නේ සේවා අංශ වලින්. බස්නාහිර පළාත වැනි නාගරික පළාත් පැත්තකින් තියලා නැගෙනහිර, වයඹ, උතුරු මැද වගේ කෘෂිකාර්මික පළාත් සැලකුවත්, ඒ පළාත් වල ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය මිසක් කෘෂිකාර්මික අංශය නෙමෙයි. කාර්මික අංශයේ දායකත්වය වුනත් කෘෂිකාර්මික අංශයේ දායකත්වයට වඩා වැඩියි. ඒ කියන්නේ, සේවා, කාර්මික හා කෘෂිකාර්මික අංශ වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ අනුපිළිවෙල සැලකූ විට රටේ පළාත් අතර වෙනසක් නැහැ. වයඹ පළාතේ දදේනියෙන් 48.9%කුත්, අනෙක් හැම පළාතකම දදේනියෙන් බාගයකට වඩා වැඩියෙනුත් ලැබෙන්නේ සේවා අංශයෙන්. 

සේවා අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

තොග හා සිල්ලර වෙළඳාම - රුපියල් 14,269.40

ප්‍රවාහනය - රුපියල් 10,558.00

බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා - රුපියල් 7,886.01

නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් 3,993.74

ආහාරපාන හා නවාතැන් සැපයීම් - රුපියල් 2,015.30

පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන් - රුපියල් 1,466.58

පොදු පරිපාලනය හා ආරක්ෂාව - රුපියල් 3,886.82

අධ්‍යාපනය - රුපියල් 1.841.56

සෞඛ්‍යය - රුපියල් 1,794.04

අනෙකුත් විවිධ සේවාවන් - රුපියල් 8,833.67

මේ සේවාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන්, ආහාරපාන හා නවාතැන් සැපයීම් වගේ දේවල් ගත්තහම වෙන්නේ සේවා නිෂ්පාදනයක් කරලා එය පාරිභෝගිකයාට සෘජුව අලෙවි කරන එක. සමහර විට නිෂ්පාදනය සහ අලෙවිය එකම මොහොතේ සිදු වෙන්න පුළුවන්. 

මෙයින් වෙනස්ව, තොග හා සිල්ලර වෙළඳාම වගේ සේවාවන් අතරමැදි සේවාවන්. මෙහිදී සපයන සේවාව වන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන එක. කැලණියේ ජීවත් වන කෙනෙක් ලඟම තියෙන සුපිරි වෙළඳසැලකින් මිසක් අම්පාරේ වී ගොවියෙක් ලඟට ගිහින් හාල් මිල දී ගන්නේ නැහැ. නිෂ්පාදකයාව සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරවන්නේ අතරමැදි තොග හා සිල්ලර වෙළෙන්දන් විසින්.

භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගත්තත් එය මේ වගේම අතරමැදි සේවාවක්. ශ්‍රමිකයෙකුට හා ශ්‍රමය මිල දී ගන්නා අයෙකුට සම්බන්ධ වෙන්න තිබෙන ස්ථානීය බාධකය ප්‍රවාහන සේවා සපයන්නා විසින් ඉවත් කරනවා. සමහර විට දෙපැත්තේ ඉන්නේ සේවා නිෂ්පාදකයෙක් හා සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. පාසැල් වෑන් වලින් කරන්නෙත්, විනෝද චාරිකා යද්දී වෙන්නෙත් ඒක. 

බැංකු විසින් කරන්නෙත් ඔය වැඩේමයි. මෙහිදී වෙන්නේ ඉතිරි කරන්නන් හා ණය ගන්නන් සම්බන්ධ කරවීම. බැංකු නැත්නම් ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ. 

තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වෙළඳාම් හා බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා කියන කොටස් හතර එකතු කළොත් දදේනියෙන් 36.7%ක්. මේවා අතරමැදි සේවා. මීට සාපේක්ෂව, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ලම එකතු කළත් ලැබෙන්නේ 36.0%ක පමණ දායකත්වයක් පමණයි. අතරමැදියෝ නැත්නම් රටේ ජාතික ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා නැති වෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ල නැති වුනත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය.

කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන නොවැදගත් බවක් මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. එම නිෂ්පාදන නැත්නම් සේවා අංශ වලට පවතින්න බැහැ. නමුත් එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි. සේවා අංශ නැත්නම් කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන ඔය මට්ටමේ පවතින්නේත් නැහැ. 

අම්පාරේ වී ගොවියා සහ කැළණියේ පාරිභෝගිකයෙකු අතර තොග හා සිල්ලර වෙළෙන්දන් ගණනාවක් ඉන්නවා. ප්‍රවාහන සේවා සපයන්නෝ ඉන්නවා. ඒ අයට බැංකු, රක්ෂණ වැනි මූල්‍ය සේවා සපයන්නෝ ඉන්නවා. මේ අයව ඉවත් කරලා අම්පාරේ වී ගොවියාට කැළණියේ පාරිභෝගිකයා එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්න ඉඩ සලසන එක වඩා කාර්යක්ෂමද? කිසිසේත්ම නැහැ. එය වඩා කාර්යක්ෂමනම් ඒ වැඩේ මේ වෙද්දීත් වෙලා. එහෙම වෙලා නැත්තේ එය අකාර්යක්ෂම නිසා.

අම්පාරේ වී ගොවියාට සහ කැළණියේ පාරිභෝගිකයාට සම්බන්ධ වෙන්න අතරමැදියෙකු හෝ අතරමැදියන් ජාලයක් අවශ්‍යයි. මේ අතරමැදියන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ඒ වෙනුවට රජය ආදේශ කරන එක. ඒ කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හදන එක. එහෙම කළා කියලා පිරිවැය නැති වෙන්නේ නැහැ. පිරිවැය ඒ විදිහටම තියෙනවා.

තොග හා සිල්ලර වෙළඳාම හෝ ප්‍රවාහනය කියන්නේ අදාළ ව්‍යාපාර වල අයිතිකාරයෝ පමණක් නෙමෙයි. මේ අංශ වල සේවය කරන ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉන්නවා. ජාතික ආදායමේ අදාළ පංගුව මේ සියලු දෙනා අතර බෙදී යනවා. ඒ අය තමන් උපයන ආදායම වියදම් කරද්දී කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ නිෂ්පාදන අංශ වල ආදායම් ඉහළ යනවා. ඒ අනුව, සේවා අංශ විසින් ජාතික ආදායමට අගය එකතු කිරීමක් නොකළේනම්, එහි බලපෑම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ වලටත් දැනෙනවා.

ලංකාවේ ගොඩක් අය පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම විදිහට සිල්ලර කඩයක් දමන එක, ත්‍රිරෝද රථ සේවා සපයන එක වගේ අතරමැදි සේවාවන් ගැන හිතනවා. මෙය සමහර අයගේ විවේචනයට ලක් වෙනවා. නමුත්, ආදායමක් උපයන්න පුලුවන්නම්, මෙහි කිසිම වැරැද්දක් නැහැ. ආදායමක් උපයනවා කියන්නේ ආර්ථිකයට ඊට සමාන අගය එකතු කිරීමක් කරලා. ඒ සඳහා, බී ළූණු වවන්නම අවශ්‍ය නැහැ. කඩෙන් බී ළූණු මිල දී ගන්න පුළුවන් ආදායමක් ලැබෙනවානම් එච්චරයි. 

බී ළූණු නැත්නම් ලොකු ලූනු වෙන්නේ කලින් බොම්බයි ළූණු ලෙස හැඳින්වුණු ළූණු වර්ගය. මේවා අනාදිමත් කාලයක සිට ලංකාවේ වවපුවා නෙමෙයි. බොම්බයි ළූණු කියන නමින්ම කියවෙන පරිදි මේ ළූණු වර්ගය ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කෑම වේලකට නැතුවම බැරි මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු වුනෙත් ඔය හේතුව නිසා. මේ ආහාර වර්ග වල නම් වෙනස් වුනේ 1988/89 කාලයේදී. ජවිපෙ ඉන්දියානු විරෝධය එක්ක නිල නොවන ලෙස බොම්බයි ළූණු, මයිසූර් පරිප්පු තහනම් වෙනවා. මේ ආහාර ද්‍රව්‍ය විකුණන වෙළෙන්දන්ට මරණ තර්ජන එනවා. නමුත් ඔය කාලය වෙද්දීත් ලංකාවේ ලොකු ළූණු වවනවා. ජවිපෙ තර්ජන නිසා ලංකාවේ වවන ලොකු ළූනුත් විකුණගන්න අමාරු වෙනවා. ඔය කාලයේ තමයි රජය විසින් බොම්බයි ළූණු කියන නම වෙනුවට ලංකා ලොකු ළූණු කියන නම ආදේශ කළේ. ඔය විදිහටම මයිසූර් පරිප්පු රතු පරිප්පු වුනා.

දැන් ලංකාවේ ලොකු ලූනු වවන්නේ යම් කිසි අවස්ථාවක මේ ආහාර වර්ගය ඉන්දියාවෙන් ආනයනය කළ නිසා. නැත්නම් ලංකාවේ ලොකු ළූණු කියා දෙයක් නැහැ. දැන් ලංකාවේ වවන අර්තාපල්, කැරට්, බෝංචි වගේ ගොඩක් දේවල් මුලින් වෙනත් රටකින් ආනයනය කළ නිසා රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඒ අනුව රට ඇතුළේ නිෂ්පාදනයක්ද ඇති වූ දේවල් මිසක් අනාදිමත් කාලයක සිට ලංකාවේ තිබුණු ආහාර ද්‍රව්‍ය නෙමෙයි. 

මිනිස්සුන්ගේ රුචිකත්වය විවිධයි. එයට සීමාවක් නැහැ. අපිට කන්න අවශ්‍ය, කන්න කැමති දේවල් අපිම වවාගෙන කන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැතත්, කැමති දෙයක් කඩෙන් සල්ලි දීලා අරගෙන කන්න අවශ්‍ය කෙනෙක් එහෙම කරන එකෙත් කිසිම වැරැද්දක් නැහැ. කඩෙන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ආදායම කොහොම හරි හොයාගන්න පුළුවන්නම් එච්චරයි. ආදායම හොයාගන්නේ වී වවලද, බී ළූණු වවලද නැත්නම් ත්‍රිරෝද රථ සේවාවක් සපයලාද කියන එක වැදගත් නැහැ. එය පෞද්ගලික තේරීමක්. මේ මොන දේ කළත් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක්. එක ක්‍රමයකින් අගය එකතු කරන එක වෙන ක්‍රමයකින් අගය එකතු කරන එකට වඩා බාල වැඩක් නෙමෙයි.

ආනයන ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. වෙන රටකින් බී ළූණු ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්නම් බී ළූණු රට ඇතුළේම හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ලෙසම එය අකාර්යක්ෂමයි. ඒ වගේම, එහෙම කළා කියලා රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නෙත් නැහැ. 

රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ රටේ සිදුවන නිදහස් ගනුදෙනු ප්‍රමාණය ඉහළ යන තරමටයි. නිදහස් ගනුදෙනුවක් සිදුවන හැම විටකම සිදුවන්නේ රටේ තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඒවා වඩා ඵලදායී ලෙස යොදාගන්නා අයෙකු වෙත විතැන් වෙන එකයි. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වැඩිම වටිනාකමක් දෙන පාරිභෝගිකයෙකු වෙත විතැන් වෙන එකයි. අතරමැදියන් නිසා මේ විතැන් වීම වඩා වේගයෙන් හා වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. දදේනිය ඉහළ යනවා. අතරමැදියෝ නැත්නම් රටේ වත්මන් ජාතික ආදායමෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසක් නැති වෙනවා. 

Wednesday, April 20, 2022

ගෝටාගෝගම ආර්ථිකය


අධිපති මාරුවෙන් පසුව ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතයේ පාලනය අතට ගනිමින් ඉන්නවා. මතුපිටින් බලන, විණිමය වෙළඳපොළ ගැන හා සාර්ව ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙකුට සිදුවන වෙනස්කම් ග්‍රහණය කර ගන්න අමාරුයි. එයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන තුරුම ගොඩක් අයට එය නොපෙනුනා වගේම දෙයක්. 

අද වන විට සයමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24.77% දක්වාත්, තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 23.21% දක්වාත් ඉහළ යන්නට සලස්වා තිබෙනවා. කැමති අයෙකුට බැංකු වල තිබෙන තමන්ගේ රුපියල්  භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර මේ ඉහළ පොලිය ලබා ගත හැකියි. පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමකට යන්නට ඉඩ සලසමින් හා එහි පීඩාව විඳ ගනිමින් භාණ්ඩාගාර ලේකම් වරයා විසින් මහ බැංකුවට ලබා දී තිබෙන සහයෝගය අගය කළ යුතුයි. මහ බැංකුවේ ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළද පොලී අනුපාතික තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික 30% පමණ දක්වාවත් ඉහළ දමන්නට සිදු විය හැකියි.

විණිමය වෙළඳපොළ අසමතුලිතාවන් හා සාර්ව-ආර්ථික අසමතුලිතාවන් මුලින්ම හඳුනාගන්නේ බැංකු පද්ධතියයි. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳව බැංකු පද්ධතිය තුළ වූ සැක සංකා දුරු කිරීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. බැංකු අතර සිදුවන තැන් ගනුදෙනු මේ වෙද්දී සුමට හා ස්ථාවර ලෙස සිදු වෙනවා. මේ ස්ථාවරත්වය බැංකු පද්ධතියෙන් ඔබ්බට ගෙන යාම සීරුමාරුවට කළ යුතු වැඩක්. බැංකු පද්ධතිය විසින් මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ වෙළඳපොළෙන් හැකි තාක් ඩොලර් එකතු කර ගනිමින් සිටිනවා. ඩොලරයේ "මිල සංඥාව" තවමත් අහු වී නැතත් ඉතා ඉක්මණින් එය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතිය හැකියි. 

ඩොලරයේ මිල අවශ්‍ය මට්ටම දක්වා ටිකෙන් ටික ඉහළ යවද්දී, ආනයනික භාණ්ඩ මිලද ඉහළ යන අතර එය එසේ ඉහළ යන්නට ඉඩ හරින්නටද වෙනවා. සහන දෙන්න ගියොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය දේශපාලනිකව කෙතරම් ශක්‍යද කියන එක ගැටලුවක්. 

ගෝටාගෝගම ජනපදය පිහිටුවා දැන් සති දෙකකට කිට්ටුයි. ඇතැම් අය එහි කොමියුනිස්ට් සමාජයක ලක්ෂණ දකිනවා. හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන හැකි පමණ දී අවශ්‍ය පමණ ගන්නා සාමූහිකත්වයක් එහි තිබෙනවා. ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. 

නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝටාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත් ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝටාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්. 

ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝටාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මූදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි "ආනයනය කරලා" රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.  

භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුනත් ගෝටාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක්නම් ලොකුවටම සිදු වෙනවා. ගෝටාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ යම් කිසි කාලයක් තුළ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. ඒ නිසා, රටක භාණ්ඩ කිසිවක් හැදුවේ නැතත්, ඒ රටේ සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් හා ඒක පුද්ගල ආදායමක් තියෙන්න පුළුවන්. මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කළ රටවල් සේවා නිෂ්පාදන නිෂ්පාදන සේ සැලකුවේ නැහැ. ඔවුන් නිෂ්පාදන සේ සැලකුවේ භාණ්ඩ පමණයි. ඒ නිසා, ඔවුන් දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ආර්ථික වර්ධනය මැනීම සඳහා යොදා ගත්තේ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Net Material Product -NMP) නම් වූ නිර්ණායකයක්. මේ වන විට මේ නිර්ණායකය භාවිතා කරන්නේ කියුබාව සහ උතුරු කොරියාව පමණයි. 

ගෝටාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා. 

කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද?

ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක්නම් පමණයි. ටිකක් ලොකු ගෝටාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාවය වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.

ගෝටාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝටාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝටාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝටාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝටාගෝගමෙන් පිට රැකියා කරලා ගෝටාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝටාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝටාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා. 

නලින් ද සිල්වා කියනවා වගේ ගෝටාගෝගම වැසියන් නිෂ්පාදනය කරන ප්‍රධානම දෙය ආතල්. කොහොමටත්, මොන නමින් තිබුණත්, වෙළඳපොලක හුවමාරු වන්නේ ආතල්. මිනිස්සු ආහාර වෙනුවෙන් මිලක් ගෙවන්නේ ආහාර පරිභෝජනය කිරීමේදී ලැබෙන ආතල් එක නිසා. ඇඳුම් වෙනුවෙන් මිලක් ගෙවන්නේ ඇඳුමක් ඇඳීමෙන් ලැබෙන ආතල් එක නිසා. සිංදුවක් අහන්න හෝ චිත්‍රපටයක් බලන්න මිලක් ගෙවන්නේ එයින් ලැබෙන ආතල් එක නිසා. මොන ස්වරූපයෙන් විකිණුවත් අන්තිමට කවුරු වුනත් විකුණන්නේ ආතල්. භාණ්ඩ නිෂ්පාදනය කරන අය වගේම සේවා නිෂ්පාදනය කරන අයත් කරන්නේ ආතල් නිපදවන එක. ආතල් නිපදවිය නොහැකිනම් කවර නිෂ්පාදනයක වුවත් වෙළඳපොළ වටිනාකමක් නැහැ. 

විනෝදාස්වාද සේවා, අධ්‍යාපන සේවා ආදිය නිපදවමින් ගෝටාගෝගමින් අපනයනය කරන ආතල් ලෝකය පුරාම විකිණෙනවා. ලැබෙන අපනයන ආදායම ගෝටාගෝගම ආනයන වියදමට හොඳටම ප්‍රමාණවත්. ගෝටාගෝගම ආර්ථිකය කඩා නොවැටී දිනෙන් දිනම දියුණු වෙන්නේ ඒ නිසයි. හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Sunday, February 14, 2021

විදේශ සංචිත අඩුවුණේ කොහොමද?


පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි. 

ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.

ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?

වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා. 

අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.

අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි. 

ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා. 

මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.

එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?

ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ. 

පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ. 

ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.

දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ. 

වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්. 

සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.

දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි. 

වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.

පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.

මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා. 

දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.

පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්. 

රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද  තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි. 

ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.

මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා. 

Thursday, December 6, 2018

ලංකාවට සංචාරකයින් පැමිණීම අඩු වෙලාද?


පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දිග්ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් වන ආකාරයක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැහැ. හෙට ලැබෙනු ඇතැයි සිතිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවත් තත්ත්වයේ ලොකු වෙනසක් වේදැයි සැක සහිතයි.

ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපද ඇතුළු බොහෝ දෙනෙක් විසින් කතා කර තිබෙන දෙයක්. කොළඹ කොටස් වෙළඳපොළෙහි හා රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන රටින් පිටවීම පසුගිය මාසයේ දකින්නට හැකි වූ තත්ත්වයක්. එහෙත්, අප මීට පෙරද සටහන් කර තිබෙන පරිදි මේ ආකාරයෙන් විදේශ ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාම තනිකරම දේශපාලන අර්බුදය නිසාම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ ප්‍රවණතාව කලින්ම ඇරැඹී තිබුණු එකක්. දේශපාලන අර්බුදය නිසා තත්ත්වය තරමක් උග්‍ර වුණා. ණය පොලී අනුපාතික ඉහළ යාමටනම් දේශපාලන අර්බුදය සෘජුවම සම්බන්ධයි.

දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑමත් කතාබහට ලක් වූ කරුණක්. ඇතැම් රටවල් සිය පුරවැසියන්ට ලංකාවට පැමිණීම ගැන අවවාද කර තිබුණා. කලින් නියම කරගෙන තිබුණු සංචාර අවලංගු වී ඇති බව වාර්තා වී තිබුණා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙස නොබලා, මෙවැනි වාර්තා මත පදනම්ව නිගමන වලට පැමිණීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන විදිහට 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 16.8%කින් වැඩි වී තිබෙනවා. මෙය සැලකිය යුතු වැඩි වීමක්. වසරේ මුල් මාස දහය තුළ වූ සාමාන්‍ය වර්ධනය මීට වඩා අඩුයි. වසරේ පළමු මාස එකොළහ පෙර වසරේ එම කාලය හා සසඳා බැලුවොත් 11.2%ක වර්ධනයක් දැකිය හැකියි. පසුගිය වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වුනේ 3.2%කින් පමණක් බව සැලකූ විට මේ වර්ධනය කැපී පෙනෙනවා. මෙයින් 2018 ආර්ථික වර්ධනයටත් සැලකිය යුතු යහපත් බලපෑමක් වෙයි.

ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් 5.3%ක සෘජු දායකත්වයකුත්, 11.6%ක සමස්ත දායකත්වයකුත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ හා ඇඟලුම් අපනයන හැරුණු විට වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නෙත් සංචාරක කර්මාන්තය හරහායි. රටේ රැකියා වලින් 11%ක්ම සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. ඒ නිසා, සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයට විශාල සාධනීය බලපෑමක් සිදු කරන දෙයක්.

ලංකාවට පැමිණෙන සංචාරකයෙකු සාමාන්‍යයෙන් දින 11ක් පමණ නැවතී සිටින අතර දිනකට ඩොලර් 170ක පමණ මුදලක් වියදම් කරනවා. මේ මුදල වාර්ෂිකව ඩොලර් කිහිපයකින් හෝ ඉහළ යනවා. ඒ අතරම ඩොලරයක රුපියල් මිලත් ඉහළ යන නිසා කර්මාන්තයේ නියැලෙන අයගේ අයට අතට ලැබෙන ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා.

නොවැම්බර් මාසය තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. එය 37.1%ක්. එක්සත් රාජධානිය පමණක් ගත්තොත් 61.1%ක වර්ධනයක්. ඇමරිකානුවන්ගේ පැමිණීම 24.9%කිනුත්, සමස්තයක් ලෙස උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප වලින් පැමිණීම 23.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා.  ඕස්ට්‍රේලියානු මහාද්වීපයෙන් පැමිණෙන්නන් 50.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියානුවන්ගේ පැමිණීම 21.4%කින් ඉහළ ගොස් ඇතත් අනෙකුත් දකුණු ආසියානු රටවල සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. චීනය, ජපානය හා කොරියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම මැදපෙරදිග රටවල සිට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දැකිය හැකියි. සමස්ත වර්ධනය 16.8% මට්ටමට සීමා වී තිබෙන්නේ මේ අඩුවීම් වල බලපෑමෙන්. නොවැම්බර් දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 2,080,627ක්. පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 1,871,871ක් පමණයි.

එහෙමනම්, දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයට වෙලා තිබෙන්නේ යහපතක්ද?

දේශපාලන අර්බුදය හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම ඉහළ යන්න සෘජු හේතුවක් නැහැ. මේ යහපත් වර්ධනයට ප්‍රධාන හේතුව මේ මාසය හා පෙර මාසය තුළ රුපියල සෑහෙන තරමින් අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්‍රතිඵල මුලින්ම පෙන්වන තැනක්. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරකයින්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබුණා.

(Image: http://www.travelvoice.lk/2018/04/15/sri-lanka-encouraged-tourism-upsurge/)

Sunday, October 21, 2018

එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය ෆිස්කල් බූස්ටරයක් ලෙස...


ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ඇති කළා කියන එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ ආකෘතිය අනුව එහි ප්‍රකාශිත අරමුණ කොයි තරම් දුරට ඉටුවෙයිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත්, ඒ හේතුව නිසාම මේ වැඩසටහන නරකයි කියා කියන්නත් බැහැ.

මහ බැංකුව හෝ රජය විසින් කෙළින්ම කියා නැතත්, එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය දිහා රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් (fiscal stimulus) විදිහට බලන්නත් පුළුවන්. එහෙම බැලුවොත් මේ වෙලාවේ රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමන්න ගත හැකි විකල්ප මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලට සාපේක්ෂව මෙය නරක එකක් නෙමෙයි.

මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්න වසර වල පැවතුණු ඉහළ ආර්ථික වර්ධනයට එක හේතුවක් වුණේ යුද්ධය අවසන් වීමෙන් පස්සේ ලංකාවේ විභව දළ දේශීය නිෂ්පාදිතය එකවරම ඉහළ මට්ටමකට යාමයි. නමුත්, ඒ විදිහට ඉහළ ගියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මිසක් එහි වර්ධන වේගය නෙමෙයි. මේ දෙක දෙකක්.

රටේ දළ දේශීය නිෂ්පාදිතය ඔය වගේ බාහිර කරුණක් හේතුවෙන් එක වර ඉහළ යන විට ආර්ථික වර්ධන වේගයත් තාවකාලිකව ඉහළ යන නමුත් නැවතත් කලින් තැනටම එනවා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් වරද්දා ගත්ත තැන වුනේ මේ වැඩි වීම (ලෙවල් ශිෆ්ට් එක) වර්ධන වේගයේ වැඩි වීමක් සේ සැලකීමයි. මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්නම්.

කොහොම හරි පහුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රකාශිත ඉලක්කයක් තිබුණනේ. ආර්ථික වර්ධන වේගය ඉහළ යනවනම් හොඳයි. එහි කතා දෙකක් නැහැ. නමුත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලින් හෝ මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්න බැහැ. වරද්ද ගත්ත තැන ඔතැනයි. එය කරන්න උත්සාහ කරන තරමට වෙන්නේ විභව නිෂ්පාදිතය වැඩි වීම වෙනුවට නිපැයුම් පරතරය ඉහළ යාමයි. එය භයානකයි. බොහෝ විට අවසන් වෙන්නේ ආර්ථිකයේ එකවර සිදුවන ලොකු කඩා වැටීමකින්.

කොහොම වුනත් මහ බැංකුව හා රජය කල් පසුවී හෝ මෙය තේරුම් ගෙන ආර්ථික වර්ධනයට තිරිංග යොදපු නිසා එවැනි එකවර සිදුවන කඩා වැටීමක් වැළකුණා. මේ කියන්නේ රටේ මූර්ත අංශය ගැන. විණිමය අනුපාතිකය, ගෙවුම් ශේෂය වැනි විදේශ අංශයේ අංග ගැන හෝ මුදල් අංශය වැනි අනෙකුත් අංශ ගැන නෙමෙයි. විදේශ අංශයේ අවදානම් තවමත් පහවී නැහැ.

ඉහත කී තිරිංග දැමීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය දිගුකාලීන මට්ටමෙන් පහළට වැටිලා තිබෙනවා. රජය වගේම මහ බැංකුවත් දිගින් දිගටම දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි වසර දෙක තුන තුළ ආර්ථික වර්ධනය පහළ ගිහින් ව්‍යාපාර චක්‍රයේ අනික් පැත්ත දැකගන්න පුළුවන් විය හැකියි.

ඒ අතරම ලංකාවේ ආර්ථිකයේ දිගු කලක් තිස්සේ තිබෙන ආකෘතිමය ප්‍රශ්න දෙක වන රාජ්‍ය අයවැය හිඟය හා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් හොයන එක ගැනත් රජය හා මහ බැංකුව හිතමින් ඉන්න බව පේනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යාම මේ අරමුණට බාධාවක්. රැවුලයි කැඳයි දෙකම බේරගෙනයි කරන දෙයක් කරන්න වෙන්නේ.

රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් විදිහට එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ වැදගත්කම මම දකින්නේ ඉහත පදනම මතයි.

ආර්ථිකය උත්තේජනය කරන්න රජයට මැදිහත් විය හැකි විවිධ ආකාර තිබෙනවා. රජයේ වියදම් වැඩි කිරීම හා බදු අඩු කිරීම කියා පොතේ තිබුණත් මේ දේවල් කළ හැකි ආකාර රැසක් තිබෙනවා. බදු කොටස ගත්තොත් අඩු හෝ වැඩි කරන්නේ කවර බදුද කියන එක මත ඇති වන බලපෑම වෙනස්. ඒ වගේම තමයි රජය විසින් කරන වියදම් රට ඇතුළට ගලා එන්නේ කොහොමද කියන එක.

අපි මුලින්ම බදු අඩු කිරීමේ විකල්පය ගැන හිතමු. මේක ප්‍රායෝගිකව ලංකාවට ඒ තරම් හරියන විකල්පයක් නෙමෙයි. බදු අඩු කළාම භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. නමුත්, විදේශ අංශයේ තිබෙන අසමතුලිතතාවයත් එක්ක මේ වෙලාවේ ඒක වෙන්නේ රටේ රැකියා ජනනය වීම එක්ක නෙමෙයි. බොහෝ විට වෙන්නේ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම වෙනුවට ආනයන තවත් වැඩි වෙන එකයි. බදු අඩු කිරීමෙන් අයවැය හිඟය වැඩි වීමේ අවාසිය ගැන බැලුවහම තේරුමක් නැති වැඩක්. කොහොමත් මේ වෙලාවේ කෙරෙන දෙයකුත් නෙමෙයි. ආණ්ඩුව ඉන්නේ බදු තවත් වැඩි කරලා අයවැය හිඟය අඩු කරගන්න උත්සාහ ගනිමින්.

බදු අඩු කරන්නේ නැත්නම් රජයේ වියදම් වැඩි කරන්න ඕනෑ. කාලයක් තිස්සෙම ලංකාවේ ආණ්ඩු වල ජනප්‍රිය තේරීම වුනේ මෙයයි. හැබැයි වියදම් කරපු ආකාරයන්ගේ වෙනස්කම් තිබෙනවා.

ලංකාවේ රජයේ වියදම් ඉහළ යවන සම්ප්‍රදායික ක්‍රමය රජයේ සේවය පුළුල් කිරීමයි. මේ හරහා රටේ තෝරාගත් පවුල් ටිකක මිල දී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. නමුත්, ඊට සාපේක්ෂව රටේ නිෂ්පාදිතය වැඩි වීමක් වෙන්නේ නැහැ. නිපැයුම් පරතරය සෘණ පැත්තට ගිහින් තියෙන වෙලාවට මේ වැඩෙන් ඒ පරතරය පියවගන්න පුළුවන් වුනත් ඒ හේතුව නිසා දිගුකාලීනව අවුල තවත් වැඩි වෙන එකයි වෙන්නේ. මොකද රජයේ සේවයට බඳවා ගන්නවා මිසක් බඳවා ගත්ත අය ඉවත් කරන්න ප්‍රායෝගික ක්‍රමයක් නැති නිසා.

තවත් විකල්පයක් වෙන්නේ රජය මැදිහත් වෙලා මහා පරිමාණ ආයෝජන කරන එක. මේ වැඩේට ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. ඒකට ඩොලර් ඕනෑ. ඒ නිසා ප්‍රායෝගිකව විදේශ ණය නොගෙන බැහැ. විදේශ ණය විදිහට ගන්න මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත රටින් එළියට යනවා. උප කොන්ත්‍රාත්තු ආදිය හරහා රට ඇතුළට මුදල් ටිකක් යනවා. රැකියා ටිකකුත් හැදෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න මේ වැඩේ නරක නැති වුණත් දැන් කාලයක් තිස්සෙම ඕක කරලා අමාරුවේ වැටිලනේ ඉන්නේ. මේ වෙලාවේ තවත් විදේශ ණය අරගෙන රට ඇතුළේ වියදම් කරන්න පුළුවන් කමක් නැහැ.

මේ විකල්ප එක්ක බැලුවහම එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ නරක අදහසක් නෙමෙයි.

රජයෙන් වියදමක් කියල යනවනම් යන්නේ සහන පදනමකට ණය දෙන්න යන මුදල පමණයි. අපි හිතමු රුපියල් සීයකට ණය සහනය රුපියල් පහයි කියලා. ආණ්ඩුව රුපියල් පහක් වියදම් කරන කොට රුපියල් සීයක් රට ඇතුළට ගිහින්. කෙළින්ම වියදම් කරලා සමස්ත ඉල්ලුම ඉහළ දානවට වඩා විසිගුණයක් ප්‍රතිඵලදායකයි.

ඔය සල්ලි ගන්න හැමෝම මේ මුදල් යොදවලා ඵලදායී වැඩ කරයි කියා කියල සහතික වෙන්න බැහැ. නමුත්, ණය ගන්න අයගෙන් ටික දෙනෙක් හෝ යමක් කරයි. ණය ලබා දීමේ සැලසුමේ ඇතැම් කොටස් නරකම නැහැ. පාසැල් වෑන් රථ සේවා, සංචාරක සේවාවන් ආදිය කෙළින්ම ඉලක්ක කරලා තියෙනවා. උපාධිධාරීන්ට ණය දෙන එකේනම් තියෙන්නේ දේශපාලනික අරමුණක් වෙන්න පුළුවන්.

කොහොම වුණත් රජයේ අයවැය මත තිබෙන පීඩනය ලිහිල් කර ගන්නා අතරම ආර්ථිකය තරමක් ප්‍රසාරණය කරගන්න හෝ අඩු ගානේ සංකෝචනය වෙන එක වලක්වගන්න මේ ව්‍යාපෘතියෙන් උදවුවක් ලැබෙයි කියා හිතනවා.

Wednesday, October 17, 2018

ගැලවීමේ මාර්ගය සේවා ආර්ථිකයයි!

ලංකාව කියන්නේ තව දුරටත් කෘෂි කාර්මික හෝ කාර්මික රටක් නෙමෙයි. පසුගිය 2017 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 57%ක්ම සේවාවන්. වසරක් තුළ ආර්ථිකය ප්‍රසාරණය වීමේදී සේවා අංශයේ දායකත්වය ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ මේ 57% ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වෙමිනුයි තියෙන්නේ.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය වෙනුවෙන් කරන පොදු වියදම් හරහා ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒ අතරම, රටේ ඉතුරුම් අනුපාතය ආයෝජන අනුපාතයට වඩා අඩු නිසා, විදේශ ණය නැත්නම්, ප්‍රාග්ධන සංචිත ප්‍රසාරණය වීමක් සිදු නොවන තරම්. 

කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට සාපේක්ෂව සේවා නිෂ්පාදන සඳහා වැඩිපුර අවශ්‍ය වෙන්නේ මානව ප්‍රාග්ධනයයි. ඒ නිසා, මානව ප්‍රාග්ධනය වේගයෙන් වර්ධනය වන, එහෙත් භෞතික ප්‍රාග්ධනය එසේ වර්ධනය නොවන ලංකාව වගේ රටක කාර්මික නිෂ්පාදන වර්ධනය කරනවාට වඩා සේවා නිෂ්පාදන වර්ධනය කිරීම පහසුයි. ඇත්තටම ස්වභාවිකව වෙන්නෙත්, විය යුත්තේත් ඒකම තමයි. 

බැටින් ලයින් එක ශක්තිමත්නම් පුළුවන් තරම් ස්කෝර් කරන්න ඕනෑ. බෝලිං ලයින් එක හොඳනම් විකට් ගන්න ඕනෑ. එහෙම නැතුව බැරි මගුල පස්සේ පන්නමින් හිටියොත් මැච් එක පරදිනවා.

මානව ප්‍රාග්ධනය තරඟකාරී මට්ටමක තිබෙන ලංකාව වගේ රටකට සේවා නිෂ්පාදනයේදී වෙනත් රටවල් එක්ක තරඟ කිරීම පහසුයි. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ නිපදවා අපනයනය කර ආදායම් උපයනවාට වඩා පහසුවෙන් සේවා අපනයනය හරහා විදේශ විණිමය ඉපැයිය හැකියි. 

කොහොමටත් ලංකාවේ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සේවා අපනයන  ආදායම ක්‍රමයෙන් වර්ධනය වෙමිනුයි තියෙන්නේ. අවශ්‍ය දිරි ගැන්වීම් නොකඩවා ලැබුණොත් තව වසර කිහිපයක් යද්දී ලංකාවේ සේවා අපනයන ආදායම භාණ්ඩ අපනයන ආදායමට වඩා වැඩි වෙයි. දැනටත් සේවා අපනයන වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ප්‍රමාණයෙන් 70%කට පමණ ආසන්නයි.

බළලා මැටියෙන් වුනත් මීයෝ අල්ලනවනම් ප්‍රශ්නයක් නෑ කියනවනේ. ඒ වගේ, රටට ඩොලර් එනවනම් ඒ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩ අපනයන හා ආනයන අතර හිඟයක් තිබුණත්, එය ඉක්මවන අතිරික්තයක් සේවා වෙළඳාමෙන් ගන්න පුළුවන්නම් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් එන්නේ නැහැ.

ගොඩක් අය කියන කතාවක් තමයි ඩොලර් එක කීයට ගියත් වාහන, ඉන්ධන වගේ දේවල් ආනයනය අඩු නොවන බව. ඒ වගේම අපේ අපනයන ඩොලර් එකේ මිලට ප්‍රතිචාර නොදක්වන බවත් අහන්න ලැබෙනවා. මේ කතා වල යම් කිසි පදනමක් තිබෙනවා. 

මේ වන විට ඩොලර් හිඟය නිසා ලංකාවේ අත්‍යාවශ්‍ය නොවන ආනයන සෑහෙන තරමකට අඩු වෙලයි තියෙන්නේ. ඒ නිසා, ඩොලර් එක කීයට ගියත් ආනයන පරිමාව විශාල ලෙස අඩුවෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන වැඩි කරන එක එක පාරටම කරන්නත් බැහැ.

එහෙමනං ඉකොනොමැට්ටා කියනවා වගේ තවදුරටත් ඩොලර් එකේ මිල ඉහළ යන්න ඇරියොත් රට අමාරුවේ නේද?

නෑ. එහෙම වෙන්නේ නැහැ.

අවුල ලිහන යතුර තියෙන්නේ සේවා ආර්ථිකයේ. අපනයන වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන එක ක්ෂණිකව කරන්න බැරි වුනත්, සේවා නිෂ්පාදන ඉහළ දමන එක ක්ෂණිකව කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සම්පත් රට ඇතුළේ තියෙනවා. 

මේ ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ යම් තරමකින් විණිමය අනුපාතිකය ඉහළ යන්න ඉඩ දුන්නා. ඒ හේතුව නිසා වෙළඳ ගිණුමේ හිඟය ලොකුවට අඩු වුනේ නැතත්, සේවා ගිණුමේ අතිරික්තය දැනෙන තරමට ඉහළ ගියා. මේ අවුරුද්දේ තවත් ඉහළ යයි.

ඉකොනොමැට්ටා අනාවැකිකරුවෙක් නොවෙයි. එහෙත්, මේ වසර ඉවර වෙද්දී රුපියල් 180 පමණ මට්ටමටත්, 2019 වසර තුළදී  රුපියල් 220-230 මට්ටමටත් ඩොලරයක මිල ඉහළ යන්න ඇරලා පහුගිය කාලයේ සිදුවුණු ඓතිහාසික වැරැද්ද නිවැරදි කළොත් 2020 වෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැති වෙයි කියන එක මගේ දැඩි විශ්වාසයයි.

මේක වෙන්නේ කොහොමද?

දැනටත් මූල්‍ය සේවා අංශය හැර ලංකාවේ අනෙකුත් සේවා අංශයන් සියල්ලම ඩොලර් උපයනවා. උදාහරණයක් විදිහට අපි සංචාරක අංශය ගනිමු. 2017 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් රටට ඩොලර් බිලියන 3.9ක් ගෙනාවා. ලංකාවේ අය විදේශ සංචාර වෙනුවෙන් ඩොලර් බිලියන 1.6ක් වැය කළා. මේ අනුව, ඩොලර් බිලියන 2.4ක් ලංකාවේ ඉතිරි වුනා. 

ඩොලර් එක වැඩි වන විට ලාංකිකයින්ට විදේශ සංචාර වඩා මිල අධික වෙනවා. එවිට ඔය ඩොලර් බිලියන 1.6න් කොටසක් ඉතුරු වෙනවා. ඒ වගේම සංචාරකයින්ට ලංකාව වඩා ලාභදායී වන නිසා රටට එන ඩොලර් ඉහළ යනවා. මෙය සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම මගින් වගේම ඔවුන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි වීමෙනුත් වෙන්න පුළුවන්. 

අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඩොලර් අතිරික්තය ඉහළ යන එකයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා ඉතුරු කරගන්න සොච්චමකට වැඩිය ලොකු ගාණක් මේ විදිහට ඉතුරු වෙයි.

ගුවන් ප්‍රවාහනය වගේ වෙනත් අංශයක් ගනිමු. විදේශිකයෙක් ශ්‍රී ලන්කන් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නා විට රටට ඩොලර් එනවා. ලාංකිකයෙක් වෙනත් ගුවන් සේවයක් භාවිතා කරන කොට ඩොලර් එළියට යනවා. ගුවන් සේවා සැපයීමේ වියදම බොහෝ දුරට ඉන්ධන වියදම. එය කොයි ගුවන් සේවයටත් සමානයි. පිරිවැය වෙනස් වෙන්නේ අනෙකුත් වියදම් වලින්. ඩොලර් එක ඉහළ යන කොට ලංකාවට සාපේක්ෂව අනෙක් රටවල මේ අනෙකුත් වියදම් ඉහළ යනවා. එතකොට ශ්‍රී ලන්කන් එකට සාපේක්ෂව අඩු මිලකට ප්‍රවේශපත් විකිණිය හැකියි. ඒ හරහා වෙනත් ගුවන් සේවා වලට යන ලාංකිකයින්ගේ මුදල් ඉතුරු කර ගත්තොත් එතැනම සෑහෙන ඩොලර් ප්‍රමාණයක්.

සේවා ආනයන අපනයන සිදුවන ආකාරය මතුපිටින් පෙනෙන්නේ නැහැ. පිටරටක කෙනෙක් ලංකාවට කතා කරන හැම වෙලාවෙම ලංකාවට මුදල් එනවා. කතා කරන්නේ මොබිටෙල් දුරකථනයකටනම් ඒ සමාගමටයි මුදල් එන්නේ. දුරකථන ඇමතුමට මුදල් අය කලේ ස්කයිප් එකෙන් කියමු. කෝල් එක එන්නේ මොබිටෙල් එකකටනම් එම සමාගම කරන්නේ සේවා සැපයීමක්. ඔවුන් එහි මිල අය කරගන්නවා. මේ විදිහටම වෙනත් රටක දුරකථනයකට ලංකාවේ සිට කතා කරද්දී ඩොලර් එළියට යනවා. ඩොලර් එකේ මිල වැඩි වෙද්දී මේ සමතුලනය වහාම වෙනස් වෙනවා. භාණ්ඩ නිෂ්පාදනයේදී වගේ කාලයක් ගත වෙන්නේ නැහැ.

මහ බැංකු වාර්තාවෙන් උපුටාගෙන පළ කරන පහත වගුවේ තිබෙන්නේ ලංකාවේ සේවා ගෙවීම් හා ලැබීම්. 2017 වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 11.36ක් රටට එනකොට සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 7.76ක්ම ලැබී තිබෙනවා. ඒ වගේම වෙළඳ ගිණුම ඩොලර් බිලියන 9.62ක හිඟයක් පෙන්වද්දී සේවා ගිණුමේ තිබෙන්නේ ඩොලර් බිලියන 3.3ක අතිරික්තයක්. 


ඩොලර් එක කීයට ගියත් ජංගම ගිණුමේ ශේෂය වෙනස් නොවන බව ඇතැම් අය කියනවනේ. සාමාන්‍ය අයත් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමේ බලය තිබුණු, තිබෙන හෝ ඉදිරි කාලයේදී ගන්නට ඉඩ ඇති අය. ඩොලර් එක මේ තරමට හෝ ඉහළ යන්න ඉඩ දීමේ බලපෑම කොයි තරම්ද කියන එක ඉදිරි ලිපියකින් පෙන්වන්නම්.

Tuesday, July 24, 2018

වූල්වර්ත්ස් ලාබ අසාධාරණද?

ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගම් සමූහයේ මාර්ක්-අප් එක ගැන අපි පෙර ලිපියෙන් කතා කළා. නමුත්, එම සමාගමේ ලාභ ගැන හරියටම කතා කළේ නැහැ. වූල්වර්ත්ස් සමාගම ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමට හෝ ලංකාවේ කාර්ගීල්ස් සමාගමට වඩා ලොකු මාර්ක්-අප් එකක් තබා ගන්නා බව පෙනුනත් ඒ හේතුව නිසාම ඒ සමාගම අධික ලාභ උපයන බවක් අදහස් වෙන්නේ නැහැ.

වූල්වර්ත්ස් වැනි සමාගමක සේවක වියදම්, ගොඩනැගිලි හා වාහන කුලී හෝ නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම්, ණය පොලී, විදුලි බිල් වැනි ගෙවීම් ඇතුළු අටෝරාසියක් වියදම් ආවරණය කරගන්න වෙන්නේ මේ මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් පියවීමෙන් පසුව ඉතිරිවන ශුද්ධ ලාභයෙනුත් කොටසක් රජයට බදු සේ ගෙවීමෙන් පසුවයි සමාගම වෙනුවෙන් ආයෝජනය කර ඇති කොටස් හිමිකරුවන්ට එහෙමත් නැත්නම් සමාගමේ අයිතිකරුවන්ට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාගත හැක්කේ.

තවත් දෙයක් කිවයුතුයි. අප මේ ලිපිමාලාවේදී අවධානයට ලක්කළ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස්, ඇමරිකාවේ වෝල්මාර්ට් හා ලංකාවේ කාර්ගීල්ස් වැනි සුපිරි වෙළඳසැල් කර්මාන්තයේ නියැලෙන ප්‍රධාන සමාගම් හැම එකක්ම වගේ අදාළ රටවල කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කර තිබෙන පොදු සමාගම්. ඒ නිසා, මෙවැනි සමාගමක අයිතිකරුවෙකු වෙන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් කිසියම් ලැයිස්තුගත සමාගමක ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ බව පෙනෙනවනම් ඒ ප්‍රතිලාභ තමන්ටත් ලබා ගන්න කිසිවෙකුට බාධාවක් නැහැ. ඒ නිසා, එකම පුද්ගලයෙකු එක වරම මෙවැනි සමාගමක පාරිභෝගිකයෙකු, සේවකයෙකු හා අයිතිකරුවෙකු විය හැකියි. ඒ හැර, සමාගම් අයිතිකරුවන් කියා ඉරකින් වෙන්කළ හැකි නිශ්චිත පුද්ගලයින් කණ්ඩායමක් නැහැ.

සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ලාභාංශ වශයෙනුයි. ශුද්ධ ලාභය මත රජයට බදු ගෙවීමෙන් පසුව ඉතිරි වන මුදල හෝ එයින් කොටසක් මෙසේ ලාභාංශ සේ කොටස්කරුවන් වෙත ලබා දෙනවා. එහෙත්, ඇතැම් විට සමාගමට ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අමතර ප්‍රාග්ධනය අවශ්‍යනම් මේ ලාභ වලින් කොටසක් හෝ මුළු මුදලම ලාභාංශ සේ මුදා නොහැර සමාගම වෙතම තබාගන්නත් පුළුවන්. එය අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමණාකාරිත්වයේ තීරණයක්.

සමාගමක කොටස් හිමිකරුවෙකුට ප්‍රතිලාභ ලබාගත හැක්කේ ලාභාංශ හරහා පමණක් නෙමෙයි. සමාගමේ කොටසක වෙළඳපොළ මිල ඉහළ ගිය විටෙක ගැනුම් මිලට වඩා වැඩි මිලකට කොටසක් එකවර විකුණා ප්‍රාග්ධන ලාභයක් ලබන්නත් පුළුවන්. නමුත්, කොටස් මිල පහළ වැටෙන්නත් ඉඩ තිබෙන නිසා මෙය ප්‍රාග්ධන අලාභයක් වෙන්නත් බැරි නැහැ. මේ අනුව, සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ලැබෙන සමස්ත ප්‍රතිලාභය කියන්නේ ලැබුණු ලාභාංශ වල හා ප්‍රාග්ධන ලාභයේ හෝ අලාභයේ එකතුවයි.

සමාගමක ලාභ ඉහළ යන විට සාමාන්‍යයෙන් කොටස් හිමිකරුවන්ට ගෙවන ලාභාංශත් ඉහළ යනවා. දිගින් දිගටම සමාගමක ලාභ හා ලාභාංශ ඉහළ යන විට සමාගමේ අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන්ද ඉහළ යන නිසා එහි කොටස් මිලත් වැඩි වෙනවා. මෙවැනි අවස්ථාවක කොටස්හිමියෙකුට තමන්ගේ කොටස් විකුණා ලොකු ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකි වුවත් එය රන් බිජු දමන කිකිළියකගේ බඩ පලනවා වැනි දෙයක් වෙන්න පුළුවන්. කොටස් විකුණා නොදැම්මොත්, අතට මුදල් නොලැබෙන නමුත් මුදල් නොකළ ප්‍රාග්ධන ලාභ නිසා කොටස් හිමිකරුවෙකුගේ වත්කම් ඉහළ යනවා. ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යද්දී ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම වත්කම්හිමියා බවට පත් වුණේ මේ විදිහටයි.

සමාගමක ලාභ ලාභාංශ සේ බෙදා නොහැර සමාගමේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා වෙන් කරන්නේ එසේ කිරීමෙන් එහි අනාගත ලාභ තවත් වැඩි කර ගත හැකි බව පෙනෙන විටයි. ඒ නිසා, සමාගමක ලාභ ඉහළ ගොස් ඒවා ලාභාංශ ලෙස බෙදා නොහැර සමාගමේම ඉතිරි කරගත් විටත් එහි අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන් ඉහළ කොටස් මිල වැඩි වීම නිසා කොටස් හිමිකරුවන්ගේ වත්කම් ඉහළ යනවා. කොටස් හිමිකරුවෙකුට අවශ්‍යනම් තමන්ගේ වත්කම් වලින් කොටසක් මුදල් කිරීමේ හැකියාව තිබෙන නිසා සමාගමේ ලාභ ලාභාංශ ලෙස ලබා නොදී සමාගමේම රඳවාගත්තාය කියා දිගුකාලීනව එවැන්නෙකු විසින් ලබන ප්‍රතිලාභ වල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

පහත වගුවේ හා රූප සටහන් තුනේ පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දහය තුළ වූල්වර්ත්ස් කොටස්හිමිකරුවන්ට ගෙවූ ලාභාංශ, එම සමාගමේ කොටස් මිල විචලනය වූ ආකාරය හා කොටස් මිලට සාපේක්ෂව ලාභාංශ වල ප්‍රතිලාභ අනුපාතිකයයි.

වූල්වර්ත්ස් සමාගම සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ලාභාංශ ගෙවා ඇති බව පෙනෙනවා. ඒ වසරේ පළමු හා තෙවන කාර්තු අවසානයේදී. පුරුද්දක් ලෙස තෙවන කාර්තුව අවසානයේදී සුළුවෙන් වුවත් තරමක් වැඩි මුදලක් ලාභාංශ සේ ගෙවා තිබෙනවා.





ඉහත කී සේ සයමසකට වරක් ලාභාංශ වශයෙන් කොටස් හිමිකරුවෙකුට ගෙවා ඇති මුදල කොටසක වෙළඳපොල වටිනාකමේ ප්‍රතිශතයක් සේ ගත්තොත් මධ්‍යන්‍ය අගයක් ලෙස 2% කට වඩා තරමක් අඩුයි. ඒ කියන්නේ, කොටස් හිමියන්ගේ ආයෝජන වෙනුවෙන් ලාභාංශ සේ වසරකට ලැබී ඇති ප්‍රතිලාභය 4% මට්ටම ඉක්මවා නැහැ. 2008 මාර්තු හා 2018 මාර්තු අතර කාලය සැලකුවොත් වූල්වර්ත්ස් කොටසක මිලෙහි අඩුවීමකුයි දැකිය හැක්කේ. එම මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 29.35 සිට 26.29 දක්වා පහත වැටී තිබෙනවා. මේ වන විට මේ කොටස් මිල නැවතත් ඕස්ට්‍රේලියානු ඩොලර් 30.99 මට්ටමට පැමිණ තිබෙන බව සැලකුවත් එය වසරකට 0.5% කට වඩා නොවැඩි වර්ධනයක්. ඒ නිසා, වූල්වර්ත්ස් කොටස් හිමියකු විසින් ලබා තිබෙන සාමාන්‍ය ප්‍රතිලාභය වසරකට 4.5% කට වඩා නැහැ.

වසර දහයකට පෙර, එනම් 2008 වසරේ මුල් අර්ධය තුළ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කළ දස අවුරුදු බැඳුම්කර වෙනුවෙන් ලැබිය හැකිව තිබුණු ප්‍රතිලාභය 6% මට්ටමටත් වඩා වැඩියි. මේ බැඳුම්කර කොටස් ආයෝජන මෙන් අවදානම් ආයෝජන නෙමෙයි. ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක් වෙනුවෙන් පොරොන්දු වන ප්‍රතිලාභය නොලැබී යන්න ඉඩක් නැති තරම්. මේ පදනම මත බැලුවොත් වූල්වර්ත්ස් කොටස්හිමිකරුවෙක් 2008 මුලදී තමන්ගේ කොටස් මුදල් කර ඕස්ට්‍රේලියානු රජයේ බැඳුම්කර මිල දී ගත්තානම් මේ වන විට 6% ඉක්මවන ප්‍රතිලාභයක් ලබා අවසන්. එසේ නොකර වූල්වර්ත්ස් ලාභ මත විශ්වාසය තබාගෙන සිටීම නිසා ඔවුන්ට සිදුවී තිබෙන්නේ ආයෝජනය කළ මුදලින් 1.5% ක් ඉක්මවන අලාභයක්.

තත්ත්වය මෙසේනම්, වූල්වර්ත්ස් අයිතිකරුවන් පාඩු විඳිමින් මේ ව්‍යාපාරය තුළ රැඳී සිට ඇත්තේ ඇයි? ඔවුන් අපේක්ෂා කරන්නට ඇත්තේ පසුගිය දස වසර තුළ එම සමාගමේ ලාභ මීට වඩා වැඩි වනු ඇති බවයි. එහෙත්, සේවක වියදම් ඉහළ යාම, ඉහල ගිය තරඟකාරිත්වය හෝ වෙනත් හේතුවක් මත එය එසේ සිදු වී නැහැ. ස්වයංකරණය හඳුන්වා දෙමින් සේවක වියදම් අඩු කර ලාභ වැඩිකරගන්නට ඔවුන් උත්සාහ දරා තිබුණත්, හොරකම් වැඩි වීම හෝ වෙනත් හේතුවක් නිසා එසේ කිරීමෙන් පසුවත් ඔවුන්ට අවශ්‍ය පමණ ලාභයක් ලබන්නට හැකි වී නැහැ.

මා වූල්වර්ත්ස්හි සුළු කොටස්හිමියෙක්ව සිටියානම් මේ වෙලාවේ උනන්දුවෙන් බලා සිටින්නේ අනාගත ලාභ වැඩි කරගැනීම සඳහා සමාගමේ කළමනාකාරිත්වය විසින් කවර ක්‍රියාමාර්ග ගන්නේද යන්න දෙසයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නේ නැත්නම් මා කරන්නේ මගේ කොටස් විකුණා දැමීමයි. මේ වෙලාවේ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 2.7% පමණ මට්ටමක තිබුණත් ආසන්නම වසර කිහිපය තුළ වූල්වර්ත්ස් සමාගමේ ලාභාංශ අනුපාතික දෙස බැලූ විට අවදානම අඩු බැඳුම්කර වලට මුදල් මාරු කිරීම වුණත් නරකම නැහැ. හොයා බැලුවොත්, අවදානමට සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ලැබීමේ ඉඩක් තිබෙන වෙනත් ඕස්ට්‍රේලියානු සමාගම් වල කොටස් ඕනෑ තරම් ඇති.

බොහෝ දෙනෙක් මෙසේ සිතා තමන් සතු වූල්වර්ත්ස් කොටස් විකුණන්න පෙළඹුනොත් සිදුවන්නේ වූල්වර්ත්ස් කොටසක මිල දැන් තිබෙන මට්ටමට වඩා පහළට වැටීමයි. එය එසේ නොවන්නටනම් එහි කළමනාකාරිත්වයට ඉතා ඉක්මණින්ම සමාගමේ ලාභ වැඩි කරගැනීමේ උපාය මාර්ගයක් ගැන හිතන්නට වෙනවා.

Monday, July 23, 2018

වූල්වර්ත්ස් මාර්ක්-අප් එක කොපමණද?


වූල්වර්ත්ස් වෙළඳසැල් සමූහය වගේ සමාගමක් පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් අසීමිත ලාභ නොලබන බවත්, සමාගමකට එසේ කිරීමේ හැකියාවක් නැති බවත් මගේ පෙර ලිපියේ සඳහන් කළ නමුත් එහි මා නිශ්චිත සංඛ්‍යාලේඛණ කිසිවක් ඉදිරිපත් කළේ නැහැ. එම සමාගමේ මූල්‍ය වාර්තා වලින් මේ සංඛ්‍යාලේඛණ සොයා ගත හැකියි.

2017 වසර සඳහා වූ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55,475.0 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 39,739.7ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක විකිණුම් මිලෙන් 28.4%ක්. එය ඇතැම් පාරිභෝගිකයින් හිතන තරමේ විශාල මාර්ක්-අප් එකක් නෙමෙයි.

සමාගමක සේවක වියදම් ආදී සියලු අමතර වියදම් පියවා ගන්න වෙන්නේ ඉහත කී මාර්ක්-අප් එකෙනුයි. කොහොම වුවත්, ඒ වියදම් පියවා ගන්න විකිණුම් මිලෙන් 28.4%ක මාර්ක්-අප් එකක් අවශ්‍යද කියන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නැහැ. අවශ්‍යනම් අපට මේ මාර්ක්-අප් එක වෙනත් රටවල් වල මේ ආකාරයේම කර්මාන්තයක නියැලෙන සමාගම් වල මාර්ක්-අප් සමඟ සැසඳිය හැකියි.

2018 ජනවාරි 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ ඇමරිකාවේ වෝල්මාර්ට් වෙළඳ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඇමරිකන් ඩොලර් මිලියන 485,751ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 373,396ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 23.1%ක් පමණයි. මේ අනුව වෝල්මාර්ට් සමාගම තබා ගන්නා මාර්ක්-අප් එක වූල්වර්ත්ස් මාර්ක්-අප් එකට වඩා 5.3%කින් අඩුයි.

මේ ආකාරයෙන්ම අපට ලංකාවේ කාර්ගීල්ස් ආයතනයේ 2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ මූල්‍ය වාර්තාත් පිරික්සිය හැකියි. එම වසර තුළ ඔවුන් රුපියල් මිලියන 91,293.1 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් රුපියල් මිලියන 80,718.8 ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 11.6%ක් පමණයි.

එහෙමනම්, ලංකාවේ කාර්ගීල්ස් ආයතනය ඇමරිකාවේ වෝල්මාර්ට් ආයතනයට හා ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් ආයතයනයට වඩා කාර්යක්ෂමද?  එසේ නැත්නම් එම ආයතන දෙකට වඩා සාධාරණ වෙළඳාමක නියැලෙනවාද? එසේත් නැත්නම් ඒ සමාගම් දෙකටම වඩා වැඩියෙන් සේවකයින්ව සූරාකනවද?

ඉහත දත්ත සසඳමින් මේ කිසිවක් කීමේ හැකියාවක් අපට නැහැ. අප සැලකිල්ලට ලක් කළ එක් එක් රටේ සේවක වැටුප් තීරණය වන්නේ රටේ සමස්ත ආර්ථිකයේ තත්ත්වය හා කම්කරු නීති ආදිය මතයි. සුපිරි වෙළඳසැල් සමූහයකට කළ හැක්කේ ශ්‍රම වෙළඳපොළේ පවතින තත්ත්වයන් අනුව ඔවුන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රශස්ත ලෙස සැලසුම් කර ගැනීම පමණයි.

ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ කම්කරු ශ්‍රමය ලාබයි. ඒ නිසා, සේවක වැටුප් ගෙවීමෙන් පසුවත් තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය තරමේ ප්‍රතිලාභයක් ලැබීමට 11.6%ක මාර්ක්-අප් එක ප්‍රමාණවත්. ඒ වගේම රටේ පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීමේ හැකියාව ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක තරමට ඉහළ නැති නිසා පවතින තරඟකාරී වෙළඳපොළ තුළ මේ මාර්ක්-අප් එක තවත් වැඩිකර ලාභ වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. එසේ කළොත් සිදුවන්නේ භාණ්ඩ විකිණෙන එක අඩු වී ලාබ අඩු වීමයි.

ඒ වගේම අනෙක් අතට මෙවැනි එක් සමාගමකට පමණක් සේවක හෙට්ටු කිරීම් වැනි හේතුවක් මත සේවක වැටුප් ඕනෑවට වඩා වැඩි කරන්නට සිදු වුනොත් ඒ අමතර වියදම අල්ලන්නට මාර්ක්-අප් එක ඉහළ දමා පාරිභෝගිකයින් එලෙසම රඳවා ගන්න බැහැ. එවිට සිදුවන්නේ යොදන ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය වන අවම ප්‍රතිලාභය හෝ නොලැබී යාම නිසා සමාගම වැසී යාමයි. එහෙත්, රටේ ආර්ථික වර්ධනයට හා පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමට අනුරූපව ශ්‍රම වෙළඳපොළ මිල ගණන් අනුව යමින් සේවක වැටුප් ඉහළ දමන්නට සිදුවීමෙන් එවැනි ගැටළු මතු වන්නේ නැහැ.

රටක එක් සමාගමක මූල්‍ය ප්‍රකාශන පමණක් පිරික්සා ලොකු නිගමන වලට පැමිණීම නිවැරදි නැහැ. ඒ බව අමතක කර, මේ සමාගම් අදාළ රටවල සුපිරි වෙළඳසැල් නියෝජනය කරන සමාගම් සේ සැලකුවොත් ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මාර්ක්-අප් එකෙහි ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමේ මාර්ක්-අප් එකට සාපේක්ෂව වුවත් කැපී පෙනෙන තරමේ වෙනසක් දැකිය හැකියි.

මෙයට හේතුවත් දෙරටේ ශ්‍රම වෙළඳපොළ සාධක වල වෙනස්කම් වෙන්න පුළුවන්. එය එසේනම්, ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමට වැඩි මාර්ක්-අප් එකක් තබාගන්න අවශ්‍ය වෙන්නේ එරට කම්කරු නීති නිසා හෝ ශ්‍රම වෙළඳපොළේ ස්වභාවික තත්ත්වයන්ම නිසා සේවක වියදම් ඇමරිකාවේ සේවක වියදම් වලට වඩා වැඩි වීම විය යුතුයි.

ඇමරිකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ වැඩි ප්‍රමාණයක් හොරකම් කරනු ලැබීමත් මෙයට තවත් හේතුවක් වෙන්න පුළුවන්. පෙනෙන විදිහට සේවකයින් අඩු කරන විට හොරකම් ඉහළ යන නිසා වක්‍ර ලෙස ගත්තොත් මෙයට හේතුවත් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල වඩා වැඩි වීමයි.

(Image: https://www.dailymercury.com.au/news/woolworths-standing-firm-on-no-nudity-at-melbourne/3435499/)

Sunday, July 22, 2018

හොරකම් කර සමාගම් වල ලාබ අඩු කළ හැකිද?


පහතින් තිබෙන්නේ පෙර ලිපියකට අපේ පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් කොටසක්.

"වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්"

ඔහු මෙහි සටහන් කර ඇති දේ නිවැරදි නොවන බව නොකියා අර්ධ සත්‍යයක් බව කීම වඩා සුදුසුයි. ඔහු මෙහි සටහන් කරන පාරිභෝගික හා සේවක ආකල්ප හා හැසිරීම් පිළිබඳ තොරතුරු නිවැරදියි කියා මා සිතනවා. වූල්වර්ත්ස්හි සියලුම පාරිභෝගිකයින් හා සේවකයින් මේ අයුරින්ම සිතන බවක් මා නොසිතන නමුත් එසේ සිතන හා හැසිරෙන විශාල පිරිසක් සිටින බව පැහැදිලියි. ඔවුන්ගෙන් අති මහත් බහුතරය ලංකාවෙන් එහි ගිය අය හෝ වෙනත් රටවලින් එහි ගිය සංක්‍රමණිකයින්ම නොවන බව මගේ අදහසයි.

ඉහත කී පරිදි හිතන හා හැසිරෙන බොහෝ දෙනෙකුට අනුව සුපිරි වෙළඳසැල් වල ලාභ පිලිබඳව ප්‍රතිචාරයේ සඳහන් අදහස් නිවැරදි වුවත්, ඇත්තටම එය එසේ නැහැ.

පළමුව, සුපිරි වෙළඳසැල් වල විකුණන ඇතැම් භාණ්ඩ වලින් 200-500%ක පමණ මාර්ක්අප් එකක් තබා ගන්නවා වුවත්, මෙවැනි සුපිරි වෙළඳසැලක ඉතා අඩු මාර්ක්අප් එකක් තබාගෙන විකුණන බඩු වගේම ගත් මිලට වඩා අඩුවෙන් විකුණන බඩුත් තිබෙනවා. ඇතැම් බඩු කල් ඉකුත් වීම වැනි විවිධ හේතු නිසා කොහොමටවත් විකුණන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට මෙවැනි සුපිරි වෙළඳසැලක විකුණන සියලුම බඩු වෙනුවෙන් තබා ගන්නා සාමාන්‍ය මාර්ක්අප් එක මෙහි සඳහන් ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුයි. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක් සමඟ පළවනු ඇති.

දෙවනුව, පාරිභෝගිකයින් විසින් තමන්ටම සේවය සලසා ගැනීමේ වාසිය මුළුමනින්ම ලැබෙන්නේ අදාල සමාගමට කියන එක නිවැරදි නැහැ. ඔවුන් එසේ නොකළේනම්, අදාළ සමාගමට සේවකයින් වෙනුවෙන් වේතන සේ වැඩි මිලක් ගෙවන්න සිදුවන බව හා එම සේවකයින් ඉවත් කිරීමෙන් කිසියම් මුදලක් ඉතිරි වන බව ඇත්තක් වුවත් එසේ කිරීමේ වාසිය තනිකරම ගන්නේ සමාගම් විසින් නොවෙයි. වාසියෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ටත් ලැබෙනවා.

සුපිරි වෙළඳසැල් අතර කිසියම් හෝ මට්ටමක තරඟයක් තිබෙන නිසා ඔවුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තරමක මාර්ක්අප් එකක් තබාගෙන බඩු විකිණීමේ හැකියාවක් නැහැ. එක් සුපිරි වෙළඳසැල් සමූහයකට කිසියම් රටක ඒකාධිකාරයක් තිබෙන්නේ වුවත්  එසේ කළ නොහැකියි.

එය එසේ වන්නේ මිල යම් සීමාවක් ඉක්මවූ පසු ඕනෑම පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී නොගෙන ඉන්න නිසයි. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අදාළව මේ කරුණ පැහැදිලිව පෙනෙන්නේ නැතත්, මිල වැඩි වන තරමට විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වන බව පැහැදිලි කරුණක්. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි උපරිම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

සුපිරි වෙළඳසැලක් ඔවුන්ගේ සේවක වියදම් මෙන්ම ප්‍රාග්ධන ආයෝජන වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ආවරණය කරගත යුත්තේත් භාණ්ඩ විකිණීමේදී තබා ගන්නා මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් ආවරණය නොවන්නේනම් සුපිරි වෙළඳසැලකට දිගුකාලීනව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැඳී සිටිය නොහැකියි. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි අවම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

අවම වැටුප් ඉහළ යාම, සේවකයින්ගේ සාමූහික හෙට්ටු කිරීම් හෝ බාහිර වෙළඳපොල තත්ත්වයන් හේතුවෙන් සේවක වියදම් ඉහළ ගිය විට සුපිරි වෙළඳසැලක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම ලාභය දිගටම පවත්වා ගන්නනම් මාර්ක්-අප් එක වැඩි කරන්න සිදු වෙනවා. එවිට මිල ඉහළ ගොස් පාරිභෝගික ඉල්ලුමත් අඩු වෙනවා. වෙළඳපොළ තරඟය වැඩි වන තරමට මාර්ක්-අප් එක වැඩි කිරීම වඩා අසීරුයි. මේ ප්‍රශ්නයට කලින්ම මුහුණ දෙන්න වෙන්නේ සේවක වැටුප් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරන සුපිරි වෙළඳසැලකටයි.

ස්වයංකරණය හඳුන්වා දීමෙන් සුපිරි වෙළඳසැලකට මාර්ක්-අප් එක හා මිල ඉහළ නොදමා එලෙසම පවත්වා ගන්න ඉඩක් ලැබෙනවා. එයින් පාරිභෝගිකයින්ට සිදුවන්නේ ලාබයක්.

කෙසේ වුවත්, මෙහිදී කිසියම් සේවක පිරිසකට රැකියා අහිමි වෙනවා.  ඒ නිසා, ඉතිරිවන සේවකයින් පිරිසෙන් ඇතැම් අය අධෛර්යමත් වී හොරකම් සිදුවනු දකිද්දීත් නොදැක්කා මෙන් සිටීම විය හැකි දෙයක්.

ඒ වගේම, පාරිභෝගිකයින්ට භාණ්ඩ තමන් විසින්ම මිලදී ගන්නට සිදුවීමේ අපහසුතාවයට මුහුණ දෙන්නත් සිදුවෙනවා. එය වැඩි මිලක් නොගෙවා සිටීමේ වාසිය වෙනුවෙන් ඔවුන්ට කැප කරන්නට සිදුවන දෙයක්. ඇතැම් පාරිභෝගිකයින්ට මෙසේ සිදුවන අපහසුතාවයේ අවාසිය ලැබෙන වාසියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, ඇතැම් පාරිභෝගිකයින් මේ අලුත් වෙනසට විරෝධය දැක්වීමක් සේ භාණ්ඩ හොරකම් හෝ වංචා කිරීමට පෙළඹෙන්නත් පුලුවන්.

පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් භාණ්ඩ හොරකම් කිරීමත්, සේවකයින් එයට උඩගෙඩි දීමත් නිසා සිදුවන්නේ සමස්තයක් ලෙස ගණනය කළ විට සුපිරි වෙළඳසැලක මාර්ක්අප් එක අඩු වීමයි. එවිට ස්වයංකරණය හඳුන්වාදීමෙන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවෙන්න පුළුවන්.

සමාගමක් මේ තත්ත්වයට කෙසේ මුහුණ දෙනු ඇත්ද යන්න කරුණු ගණනාවක් මත තීරණය වන දෙයක්. ඒ නිසා, සමාගමේ අවසාන උපාය මාර්ගික ප්‍රතිචාරය ලෙස නැවතත් සේවකයින් යෙදවීම සිදු විය හැකි වුවත්, එහිදී සමාගමේ පිරිවැය ඉහළ යන නිසා සමාගම විසින් අවශ්‍ය මාර්ක්-අප් එක පවත්වා ගැනීම තුළ මිල ඉහළ යා හැකියි. එහි අවාසිය පරිභෝගිකයින්ටමයි.

සමාගමක් විසින් ගන්නට ඉඩ තිබෙන අනෙකුත් විකල්පය වන්නේ හොරකම් වැළැක්වීම වෙනුවෙන් ආයෝජනය කිරීමයි. මේ වෙනුවෙන් අමතර සේවකයින් හෝ තාක්ෂනය යොදා ගන්න ඉඩ තිබෙනවා. ඒ දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් සමාගම ඔවුන්ගේ මාර්ක්-අප් එක පවත්වා ගත යුතුයි. ඒ නිසා, එසේ කළත්, මිල ඉහළ යාම හරහා හොරකම් වල අවාසිය වැඩි වශයෙන්ම දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටමයි.

මේ පැහැදිලි කිරීම් සියල්ල කළත්, ඇතැම් පාරිභෝගිකයින්ට තිබෙන බව පෙනෙන මූලික සැක සංකාවක් මා මෙහි දුරලා නැහැ. ඒ වූල්වර්ත්ස් වැනි සුපිරි වෙළඳසැල් ඇත්තටම අධික ලාභ නොලබන්නේද කියන කරුණයි. ඒ ගැන කතා කිරීම අපි ඊළඟ ලිපියකට ඉතිරි කරමු.

(Image: https://thehighlife.com.au/woolworths-joins-qantas-mall/)

Saturday, July 14, 2018

සුපර් මාර්කට් හොරු


පසුගිය ලිපියකට ප්‍රතිචාරයක් ලෙස ඇනෝ කෙනෙක් විසින් දමා ඇති කමෙන්ටුවකට අනුව හා ඔහු විසින් අපව යොමු කරන පුවත් වාර්තාවකට අනුව වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල්  තුළ සිදුවන සොරකම් නිසා එම වෙළඳ ආයතන වලට සිදුවන අලාභය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 9.3ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 3%කට සමාන මුදලකි.

ඇමරිකාවේ 2017 සිල්ලර ආරක්ෂාව පිළිබඳ ජාතික සමීක්ෂණය (2017 National Retail Security Survey) අනුව, 2016 වසර තුළ ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් වල වූ භාණ්ඩ තොග වලින් විකිණීම හැර වෙනත් හේතු නිසා අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 48.9ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 1.44%කි. ඊට පෙර වසරේදී මේ ප්‍රතිශතය පිරිවැටුමෙන් 1.38%ක් විය.

ඉහත සඳහන් අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකමින් 36.6%කට හේතුව පාරිභෝගිකයින් විසින් සිදුකළ කළ හොරකම් හා වංචාවන්ය. ඉතිරියට සේවක හොරකම් හා වංචාවන් (30.0%), දත්ත ඇතුළු කිරීමේ වැරදි (21.3%), භාණ්ඩ සැපයුම්කරුවන්ගේ වංචා හෝ වැරදීම් (5.4%) හා වෙනත් නොදන්නා කරුණු (6.8%) හේතු වේ. මේ අනුව, ඇමරිකාවේ පාරිභෝගිකයින් විසින් කරන හොරකම් හා වංචාවන් නිසා සිල්ලර වෙළඳසැල් වලට සිදුවන අලාභය එම සමාගම් වල පිරිවැටුමෙන් 0.53%කි. ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාව නිවැරදිනම් ඕස්ට්‍රේලියාවේ සිදුවන මෙවැනි හොරකම් වල අලාභය කිහිප ගුණයකින්ම වැඩිය.

ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකුට ලංකාවේ එවැනි පාරිභෝගිකයකුට නැති විශාල නිදහසක් තිබේ. ඇමරිකාවේ පාරිභෝගිකයෙකු ලංකාවේදී මෙන් වෙළඳසැලකට ඇතුළු වන්නට පෙර තමන්ගේ අතේ තිබෙන සබ්බ සකල මනාවම කවුන්ටරයක තබා යා යුතු නැත. එමෙන්ම, ලංකාවේදී මෙන් සිල්ලර වෙළඳසැලකට ඇතුළු වූ තැන් පටන් පාරිභෝගිකයාගේ පස්සෙන්ම එන වෙළඳ සේවිකාවන් ඇමරිකාවේ නැත. මා දන්නා තරමින් වෙනත් බොහෝ බටහිර රටවල තත්ත්වයද මෙසේමය.

බටහිර රටක සිල්ලර පාරිභෝගිකයෙකුට ලංකාවට සාපේක්ෂව ඉහත ආකාරයේ නිදහසක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ නිදහස අපහරණය කරන්නන්ට හොරකම් හෝ වංචා කිරීමටද වැඩි ඉඩක් ලැබී තිබේ. ලංකාවේදී සිල්ලර පරිභෝගිකයින්ව වෙළඳ සේවකයන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙද්දී පවා අපමණ හොරකම් සිදුවන සන්දර්භයක එවැනි අධීක්ෂණයක් රහිත වාතාවරනයකදී හොරකම් සිදුවීමේ පුදුම වන්නට දෙයක් නැත.

අපේ පාඨකයා විසින් අපව යොමු කරන පුවත් වාර්තාවෙහිද සඳහන් වන පරිදි, ස්වයං සේවා මිලදී ගැනීම් වැඩි වන තරමට පාරිභෝගිකයින්ගේ හොරකම් හා වංචාවන්ද වැඩි වන බව පෙනේ. ඇතැම් විට ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික වංචා ඇමරිකාවට සාපේක්ෂව වැඩි වන්නට එක් හේතුවක් වන්නේ එරට ස්වයං සේවා විකිණීම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස වැඩිවීම වන්නට පුළුවන.

පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිදුවන අලාභයෙන් සැලකිය යුතු කොටසක් අවසාන වශයෙන් අය වන්නේ පාරිභෝගිකයින්ගෙන්මය. ඒ, සිල්ලර වෙළඳසැල් විසින් හොරකම් වල අලාභය හෝ එයින් සැලකිය යුතු කොටසක් ආවරණය වන පරිද්දෙන් ලාභ ආන්තික ඉහළ දමා ගැනීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස විකිණුම් මිල ඉහළ යාමත් මඟිනි. එහෙත්, ඔවුන්ට මෙය කරන්නට වෙන්නේ සිල්ලර වෙළඳසැල් අතර තරඟයට මුහුණ දෙමින් හා පාරිභෝගික ඉල්ලුම ගැන සැලකිලිමත් වෙමින් නිසා සමස්ත අලාභයම පාරිභෝගිකයින් මත පැටවෙන්නේද නැත. පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිල්ලර කර්මාන්තයේ නියැලෙන සමාගම් වල ලාභද යම් ප්‍රමාණයකින් පහත වැටේ.

තත්ත්වය එසේනම් බටහිර රටවල් ස්වයං සේවා විකිණීම් වැඩි කරන්නට යොමු වන්නේත්, එහිදී ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේත් ඇයි?

මේ වන විට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප ඕස්ට්‍රේලියානු ඩොලර් 18.93කි. මෙය ඇමරිකන් ඩොලර් 14 ඉක්මවන මුදලකි. ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප ඇමරිකන් ඩොලර් 7.25ක් පමණි. බොහෝ ප්‍රාන්ත වල අවම වැටුප ෆෙඩරල් අවම වැටුපට වඩා වැඩි වුවත් ඇමරිකන් ඩොලර් 14ක් තරම් වැඩි නැත.

ඕස්ට්‍රේලියාවේ අවම වැටුප වෙනත් බොහෝ බටහිර රටවලටද සාපේක්ෂව ඉහළ එකක් බව ප්‍රචලිත කරුණකි.

මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයක මිල රුපියල් 120ක් පමණ වන අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ අවම වැටුප රුපියල් 2270 ඉක්මවයි. එනම් පැය අටක දවසකට රුපියල් 18,170ක් පමණ මුදලකි. මේ මුදලට ලංකාවේදී මාසයක කාලයක් වෙළඳ සේවකයෙකුගේ සේවය ලබා ගැනීම අපහසු නැත. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේදී වෙළඳ සේවකයකු බඳවා ගන්නා මුදලින් ලංකාවේදී වෙළඳ සේවකයින් 20ක් පමණ බඳවා ගන්නට පුළුවන. නමුත් ලංකාවේ සුපිරි වෙළඳසැලක විකුණන භාණ්ඩ වල මිලෙහි හා ඒ නිසා හොරකමකින් සිදුවිය හැකි අලාභයේ එතරම් වෙනසක් නැත.

ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැලක ලංකාවේ තරම් සේවකයින් නැත්තේ ඇයිද යන්න මෙයින් පැහැදිලි වේ.

අවම වැටුප ඉහළ යන තරමට සිල්ලර කර්මාන්තයේ ලාභ අඩුවේ. එවිට කර්මාන්තයේ රැඳී සිටීමටනම් සේවක සංඛ්‍යාව අඩු කර සේවක වියදම් කපා හරින්නට සිදු වේ. මෙය කළ හැක්කේ ස්වයංකරණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම මඟිනි. ඒ නිසා, අවම වැටුප් ඉහළ යන තරමට සිල්ලර වෙළඳසැලක් ස්වයංකරණය කරන්නට වැඩි වැඩියෙන් පෙළඹේ. මේ අනුව, අවම වැටුප් වැඩිම බටහිර රටක් වන ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල් ස්වයං සේවා විකිණීම් ඉහළ දමන්නට වැඩි වැඩියෙන් පෙළඹීම තේරුම් ගත හැකිය.

සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කෙරෙහි යොමුවන්නට එකම හේතුව අවම වැටුප් නොවේ. වෙනත් හේතුවක් මත සේවක වැටුප් ඉහළ ගිය විටද සිදුවන්නේ එයමය. පසුගිය දිනක මෙහි (ඇමරිකාවේ) සිල්ලර වෙළඳසැලක සේවකයින් බඳවා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීමකට අනුව ඔවුන් ගෙවන්නට සූදානම්ව සිටින පැයක වැටුප ඇමරිකන් ඩොලර් 12 ඉක්මවයි. මෙය ඇමරිකාවේ අවම වැටුපට වඩා බොහෝ වැඩි මුදලකි.

මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන අතර විරැකියා අනුපාතය විශාල ලෙස අඩු වී තිබේ. ඒ නිසා, ශ්‍රම වෙළඳපොළේ දැකිය හැක්කේ ශ්‍රමිකයින්ට වාසිදායක තත්ත්වයකි. අඩු කුසලතා සහිත සංක්‍රමණිකයින්ට ඇමරිකාවට පැමිණ රැකියාවක් කිරීම වඩා අසීරු වී තිබීමද මේ තත්ත්වයට දායක වී තිබේ. මේ හේතුව නිසා, ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල්ද ස්වයංකරණය වේගවත් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන දෙයකි.

මුලින් සාකච්ඡා කළ ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාවෙන් පෙන්වන පරිදි ස්වයංකරණය ඉහළ යාමට අනුරූපව හොරකම් හා වංචාද ඉහළ යන බව පෙනේ. ඕස්ට්‍රේලියාව හා අදාළ දත්ත නිවැරදිනම්, විකිණීම ස්වයංකරණය කිරීමෙන් ලැබෙන වාසිය පිරිවැටුමෙන් 1%ක් වෙද්දී හොරකම් වල අලාභය පිරිවැටුමෙන් 3%කි. එම වාර්තාවටම අනුව ස්වයංකරණය කළ වෙළඳසැල්වල හොරකම් ප්‍රමාණය 52% සිට 86% දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය මෙසේ පැවතීමෙන් පෙනෙන්නේ ස්වයංකරණය නොකළද හොරකම් නිසා අවම වශයෙන් පිරිවැටුමෙන් 2%ක අලාභයක් සිදුවන බවයි. එසේ නැත්නම් මේ සිල්ලර වෙළඳසැල් 1%ක වාසියක් වෙනුවෙන් ස්වයංකරණය හඳුන්වා දෙන්නට හේතුවක් නැත.

මෙයටම අදාළ තවත් කරුණක් වන්නේ එක් පැත්තකින් ශ්‍රම වෙළඳපොළේ මිල ගණන් ස්වභාවිකව හෝ අවම වැටුප් හරහා කෘතිමව ඉහළ යද්දී, තාක්ෂණයේ දියුණුව නිසා ස්වයංකරණය කිරීමේ පිරිවැය පහළ යාමයි. ඒ නිසා, ස්වයංකරණය සමඟ හොරකම් ඉහළ ගියත්, සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කිරීමේ ප්‍රවනතාවය ආපසු හැරවෙන්නට වැඩි ඉඩක් නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ මිනිස් ශ්‍රමය යොදා නොගනිමින් ස්වයංකරන ක්‍රමවේද හරහාම හොරකම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම වෙනුවෙන් මේ සමාගම් වැඩි වැඩියෙන් ආයෝජනය කරනු ලැබීමයි.

Thursday, July 5, 2018

හිරු නැග එද්දී පියුම් ලියුම් බෙදයි!


උදේ පාන්දරම අපේ වත්තට මෝටර් සයිකලයක් හරවනු පෙනේ. ඇමරිකාවේ අපේ වත්තට නොවේ. මගේ දෙමවුපියන් ජීවත් වූ ලංකාවේ අපේ වත්තටය. සති දෙක තුනකට පෙරය.

පුරුදු මූණක් නොවේ. ලංකාවේ අපේ වත්තට පැමිණෙන අමුත්තෙකුගේ මූණ මට නුපුරුදු වීම අමුතු දෙයක්ද නොවේ.

"කවුද මේ උදැහැනැක්කෙම?"

මම තරමක් විපිලිසර වීමි.

"ලියුම්කාරයා ලොකු අප්පච්චී! ඉන්න මම ගන්නම්..."

මල්ලීගේ ලොකු පුතා ලියුම් ගන්නට යයි.

"අම්මටසිරි! දැන් ලියුම් බෙදන්නෙ මෝටර් සයිකලෙන්ද?"

මගේ බිරිඳ අසන්නේ විමතියෙනි.

ලංකාවේ ලියුම් බෙදන්නන් මෝටර් සයිකල් භාවිතා කිරීම කලක සිටම සිදුවන්නක් බවත්, අමුතු දෙයක් නොවන බවත් පෙනේ. එහෙත්, මේ වෙනස අප ලංකාවෙන් සංක්‍රමණය වීමෙන් පසුව සිදු වී ඇති දෙයකි. පාගන බයිසිකල් වලින් මිස මෝටර් සයිකල් වලින් ලියුම් බෙදන්නන් ලංකාවේදී අපට මීට පෙර හමු වී නොතිබුණේය.

සමහරුන් කියන්නේ ලංකාව කවදාවත් දියුණු නොවන රටක් බවයි. එහෙත්, එය එසේ නොවන බව පෙනෙන්නේ වසර කිහිපයක් රටින් පිට ජීවත් වී නැවත ආපසු පැමිණි විටය.

වසර දෙක තුනකට පසු රටට පැමිණෙන විට බොහෝ අංශ වල කිසියම් හෝ දියුණුවක් පෙනේ. තවත් අංශ වල දියුණුවක් කියා හරියටම කිව නොහැකි වෙනස්කම් පෙනේ. මෙය සෙමින් එහෙත් අඛණ්ඩව සිදු වන වෙනස් වීමක ප්‍රතිඵලයකි. වෙනස් වන්නේ සෙමින් නිසා රටේ සිටින බොහෝ දෙනෙකු මේ වෙනසට සංවේදී නැතත් රටින් පිට සිට පැමිණි විට සියුම් වෙනස්කම් වුවද කැපී පෙනේ.

ලංකාවෙන් පිටත ජීවත් වන අයෙකු මානසිකව දකින ලංකාව තමන් රටින් පිටත් වෙද්දී දුටු ලංකාවයි. මේ මානසික ප්‍රතිරූපය තරමක් හෝ වෙනස් වන්නේ රටින් පිටතට සම්ප්‍රේෂණය වන සමාජ ජාලා ඇතුළු මාධ්‍ය වාර්තා වලිනි. නැවත ලංකාවට පැමිණි විට මේ මානසික ප්‍රතිරූපය යම් තරමකින් හෝ වෙනස් කරගන්නට සිදු වේ. දැන හැඳින සිටි අයෙකු වසර ගණනාවකට පසු නැවත හමු වූ විට ඇයගේ දැන සිටි මුහුණ එලෙසම දකින්නට නොලැබෙන අයුරිනි.

ලංකාවට කලකට පසු පැමිණෙන බොහෝ අවස්ථා වලදී ගොඩනැඟිලි, මංමාවත් ආදී පෞද්ගලික මෙන්ම රජයේ අයිතිය යටතේ ඇති භෞතික සම්පත් කලින් තිබුණාට වඩා දියුණු වී ඇති බව පෙනේ. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන සංවර්ධනය මහ පොළොවේ දැකිය නොහැකිය යන්න බොරු කතාවකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මහ පොළොවේ දකින්නට බැරිකමක් නැත. ආදායම් විෂමතා තිබුණත් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සමාජයේ පහළ ස්ථර වෙත සම්ප්‍රේෂණය වී නැතැයි කීම මුසාවකි.

භෞතික දියුණුවට අමතරව කලකට පසු නැවත රටට පැමිණි විට ලංකාවේ මිනිසුන්ගේ චර්යාවන්ගේ වුවද හොඳ අතට සිදුව ඇති වෙනස් කම් දැකිය හැකිය. රටේ රැකියා වියුක්තිය පහළ යාම පිළිබිඹු කරමින් තැන් තැන් වල බෝක්කු උඩ රස්තියාදු වූ තරුණ කණ්ඩායම්ද නොපෙනී ගොස් ඇත. පෙර ලිපියක ලියූ පරිදි ලංකාවේ රථවාහන සමාචාර තවමත් බොහෝ අපිළිවෙළ වුවත් එහිද කිසියම් හෝ දියුණුවක් නැතැයි කිව නොහැකිය.

කෙසේ වුවත්, තවමත් ලංකාවේ භෞතික පහසුකම් වල තත්ත්වය මෙන්ම වෙනත් බොහෝ සමාජයීය හැසිරීම්ද බටහිර රටක තත්ත්වයට සාපේක්ෂව බොහෝ පසුපසින් බව කිව යුතු නැත. මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන තරමට ඔවුන්ට අනුන් ගැනත්, සමාජය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ. සමස්තයක් ලෙස රටක ආර්ථිකය දියුණු වන තරමට මිනිසුන් වැඩි දෙනෙකුට තමන්ගේ මූලික ප්‍රශ්න විසඳා ගන්නට ඉඩ ලැබේ. බටහිර රටවල අද දැකිය හැකි භෞතික සම්පත් හා සමාජ චර්යාවන් අවුරුද්දකින් දෙකකින් සිදු වූ දියුණුවක ප්‍රතිඵල නොවේ.

"දැන් ලියුම් බෙදන්නේ මෝටර් සයිකල් වලින්ද?"

"ගොඩක් වෙලාවට මෝටර් සයිකලෙන් එනව, ලොකු අප්පච්චී...සමහර වෙලාවට බයිසිකලෙනුත් එනවා."

මල්ලීගේ පුතා පිළිතුරු දෙයි.

"මේල්මෑන්! මෝටර් සයිකලේකින්!!"

මගේ දරුවාද අපේ විමතියට හවුල් වෙයි. එහෙත්, ඔහු විමතියට පත් වන්නේ මා සහ බිරිඳ විමතියට පත් වූ හේතුව නිසාම නොවේ.

ඇමරිකාවේ මේල්මෑන් ලියුම් බෙදන්නේ මේල් වෑන් එකකිනි. ඇය රියෙන් නොබැසම නිවෙස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකට ලියුම් දමයි. මගේ පුතා විමතියට පත් වන්නේ මේල්මෑන් මේල්වෑන් එකේ නොපැමිණ මෝටර් සයිකලයක පැමිණ ඇති බැවිනි.

මීට පෙර ලංකාවට පැමිණි විටෙක ලංකාවේ පොලිස් නිලධාරියෙකු පෙන්වූ විටද ඔහු මෙසේම විමතියට පත් විය.

"පොලිස් කොප් කෙනෙක්නම් කෝ එයාගෙ පොලිස් කාර් එක?"

ලංකාවේ පොලිස් නිලධාරීන් සියල්ලන්ටම පොලිස් කාර් නැති බව ඔහු මේ වන විට දැන සිටියත් ලංකාවේ මේල්මෑන්ලාට මේල්වෑන් නැති බව ඒ වන විටත් නොදනී.

ලංකාවේ ගෙවල් වලට ලියුම් බෙදන්නට මේල්වෑන් නැතත් අප කුඩා කාලයේ සිටම ලංකාවේ මේල් බස් හා මේල් කොච්චි ගැනනම් දැන සිටියෙමු. මේ සේවාවන් තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි මා දන්නේ නැත. අපේ නිවස ආසන්නයේ වූ තැපැල් කාර්යාලයට නිශ්චිත වෙලාවකට පැමිණෙන සීඝ්‍රගාමී දුර ගමන් බස් රථයක නැඟී අඩු වෙලාවකින් යාබද ප්‍රධාන නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත යා හැකි බව කුඩා කළ මා අත්දැකීමෙන් දැන සිටියෙමි. ප්‍රධාන නගරයේ පුස්තකාලය තිබුණේ හරියටම තැපැල් කාර්යාලය ඉදිරිපිට නිසා බසයේ ගමන් කාලය අඩු වීමේ වාසියට අමතරව බස් නැවතුමේ සිට පුස්තකාලයට පයින් යාමේ කාලයද ඉතිරි කර ගත හැකි විය.

හිරු නැග එද්දී පියුම් පිපුණත්, පියුම් ලියුම් මල්ලත් රැගෙන බයිසිකලයෙන් පැමිණියේ හිරු නැඟී පැය දෙක තුනකට පසුවය. ජංගම දුරකථන, ස්කයිප් හෝ වයිබර් නොතිබුණු ඒ කාලයේ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා තැපැල් සේවය නැතුවම බැරි දෙයක් විය. එහෙත් අද සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තැපැල් සේවය වෙනුවට වෙනත් විකල්ප ක්‍රම ඕනෑ තරම් තිබේ. ඒ නිසා, ඇමරිකාවට මෙන්ම ලංකාවටද තැපැල් සේවයේ වැදගත්කම අඩු වී ඇත. තැපැල් සේවය හා බැඳුනු මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශද අප කුඩා කාලයේදී තරම් දැන් ජනප්‍රියව නොපවතී.

විද්‍යුත් සන්නිවේදනය දියුණු වීම නිසා තැපැල් සේවයෙහි ඇති වැදගත්කම අඩු වී ඇති බව පෙනෙන්නට ඇතත්, අවම වශයෙන් ඇමරිකානු සන්දර්භයේදී, එහි තවත් පැත්තක් තිබේ. වසර තිහකට පමණ පෙර ජීවත් වූ ඇමරිකානුවෙකු මෙන් අද ඇමරිකානුවෙකු තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ ළඟම ඇති වෙළඳසැලකින් පමණක් නොවේ. ඇතැම් විට සැතපුම් දහස් ගණනක් ඈත වෙනත් ප්‍රාන්තයක හෝ මුහුදෙන් එතෙර රටක සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දෙකුගෙනි. මෙසේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කළත් ඒ භාණ්ඩ නිවෙසට ප්‍රවාහනය කර දෙන්නට කාර්යක්ෂම ප්‍රවාහකයෙකු අවශ්‍යය.

ඇමරිකානු තැපැල් සේවය විසින් ඉහත ව්‍යාපාරික අවස්ථාව සාදරයෙන් වැළඳගෙන තිබේ. තාක්ෂනය විසින් එක් දොරක් වසන විට තවත් දොරක් අරී. දැන් අප බොහෝ විට මේල්මෑන් එනතුරු බලා සිටින්නේ ලියුමක් නොව පාර්සලයක් ලබා ගන්නටය.

ලංකාවේ තැපැල් සේවය බයිසිකල් වෙනුවට මෝටර් සයිකල් යොදාගෙන ඇති අයුරින්ම, ඇමරිකාවේ තැපැල් සේවයද එක තැන පල් වෙන්නේ නැත. එය විවිධ අමතර සේවාවන් සපයයි. අද දින මට ලැබෙන්නට නියමිත ලිපි, පාර්සල් හෝ වෙළද දැන්වීම් මොනවාදැයි දැනගන්නට මා මේල්මෑන් එනතුරුම සිටින්නට අවශ්‍ය නැත. මේ ලිපි පාර්සල් ආදියේ මුහුණත ස්කෑන් ඡායාරූප දිනපතා මගේ විද්‍යුත් ලිපිනයට එන නිසා ලැබෙන ලිපි හා පාර්සල් ගැන අදහසක් කලින්ම ගන්නට පුළුවන.

මේ සේවාවේ වැදගත්කම තේරෙන්නේ රටින් පිට සිටින විටය. ලංකාවේ මාසයක් ගත කරද්දී ලැබෙන ලියුම් පාර්සල් ආදී සියල්ල දමන්නට තරම් නිවස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකේ ඉඩ නැත. ඒ නැතත්, ඒ ලිපි පාර්සල් ආදිය තැපැල් කාර්යාලයේම රඳවා තැබීම වඩා ආරක්ෂාකාරිය.

ඇමරිකන් තැපැල් සේවය ඉහත සේවාව සපයයි. රටින් පිට වීමට පෙර (අන්තර්ජාලය හරහා) දැනුම් දීමක් කළ විට ඔවුහු අදාළ මාසය තුළ ලැබෙන සියලු ලිපි, පාර්සල් ආදිය නොබෙදා තැපැල් කාර්යාලයේම රඳවා ගනිති. අදාළ කාලය අවසානයේදී මේ මල්ලම එකවර නිවසට ගෙනත් දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ හැකිය.

ඉහත පහසුකම නිසා නැවත ඇමරිකාවට පැමිණි පසු මාසයේම ලිපි එකවර අතට ලැබුණත් මේ ලිපි අතර කිසියම් හදිසි ලිපියක් තිබුනොත් ඒ ගැන ක්‍රියාකරන්නට ප්‍රමාද වැඩි වී තිබෙන්නට පුළුවන. එහෙත්, ලිපි මුහුණත් විද්‍යුත් තැපෑලෙන් දිනපතා ලැබෙන නිසා දැන් ඒ ප්‍රශ්නයත් නැත.

අන්තර්ජාල වෙළඳාම් වර්ධනය වෙද්දී තැපැල් සේවයට ව්‍යාපාරික අවස්ථාවන් වැඩි වන සේම එහි අනිත් පැත්තද සිදු වේ. තැපැල් සේවය ඇතුළු භාණ්ඩ ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම වන තරමට අන්තර්ජාල වෙළඳාම සඳහා වන ඉල්ලුමද ඉහළ යයි. ඉදිරියේදී ලංකාවේද විශාල ලෙස වර්ධනය වීමට නියමිත අන්තර්ජාල වෙළඳාම් ප්‍රවර්ධනය කිරීම හා එමඟින් ලාභ ලැබීම ගැන සිතන්නේනම් ලංකාවේ තැපැල් සේවයටද නැවත පණ ගසා නැගිටින්නට හැකි වනු ඇත.

Wednesday, June 20, 2018

ලංකාවට වාහන වැඩිද?

ගත වෙමින් පවතින්නේ මෙවර ග්‍රීෂ්ම නිවාඩුව තුළ ලංකාවේ ගෙවන අවසන් සතියයි. නිවසෙන් බැහැරව මසක කාලයක් ගෙවන විට සාමාන්‍යයෙන් කරන බොහෝ දේ මඟ හැරී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ප්‍රමුඛතාවන් වෙනස්වීම, අන්තර්ජාල සම්බන්ධතා වල සීමාවන් ආදී විවිධ හේතු මත ඉකොනොමැට්ටාගේ වියුණු යාවත්කාලීන කිරීමද එසේ මඟ හැරුණු කටයුතු ලැයිස්තුවට එකතු වී ඇති අතර අවසන් වියුණු සටහන ලියා පළ කර තිබෙන්නේ මසකටද පෙරය.

කෙසේ වුවද, මෙවර ලංකාවේ ගත කළ මසකට ආසන්න කාලය සාපේක්ෂව ඵලදායී වූ බැව් කිව මනාය. ජීවිතයේ විවිධ කාල වලදී සමීපව ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වන්නට ඉඩ සැලසුණු අතර ඉදිරි දින කිහිපය තුළද එවැනි හමු ගණනාවක්  සිදුවීමට නියමිතව තිබේ. එමෙන්ම දිවයිනේ පළාත් හයක් ආවරණය කරමින් ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද මෙවර ඉඩ ලැබුණේය.

මෙවර කළ "වෙනස් දෙයක්" වූයේ සෑහෙන කලකට පසු රියැදුරෙකුගේ සේවය ලබා නොගනිමින් ලංකාවේ දී මෝටර් රථයක සුක්කානම අතට ගැනීමේ සංකීර්ණ කටයුත්තට අත ගැසීමයි. ලංකාවේ වාහන ධාවනය කිරීමේ සමාචාර විධි (etiquette) නැවත අලුතෙන් ඉගෙන ගැනීම මුලින් හිතූ තරම්ම අමාරු වුණේ නැත.

ඇමරිකාව දකුණෙන් වාහන එළවන රටකි. පොතේ හැටියට මෙන්ම ඇත්තටමද එය එසේමය. ඇමරිකාවේ පාරක වම් පැත්තේ වාහනයක් දකින්නට ලැබීම සුලභ සිදු වීමක් නොවේ.

පොතේ හැටියට ලංකාව වමෙන් එළවන රටකි. එහෙත්, වාහන එළවීමේ සමාචාර විධි අනුව පාරේ වාහනයක් ධාවනය කළ යුතු පැත්ත වාහනයේ විශාලත්වය හා එහි වටිනාකම වැනි කරුණු මත තීරණය වේ. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථ වලටත්, මිල අධික ජීප් රථ හා මෝටර් රථ ආදිය සඳහාත් බලපාන්නේ ඇමරිකානු නීතිය බව පෙනේ. ඒ වාහන වැඩි වෙලාවක් තිබෙන්නේ පාරේ දකුණු පැත්තේය. නැත්නම් පාරේ මැදය. මෙවැනි වාහනයක් හෙඩ් ලයිට් ගසා සංඥා කළ විට පාරේ වමෙන් එන වාහන පාරෙන් ඉවත් වී කාණුවට බැස ඉදිරියෙන් එන වාහනයට ඉඩ දිය යුතුය.

ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් වැනි වැනි කුඩා වාහන වලට කැමති පරිදි පාරේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ගමන් කිරීමට තහනමක් නැත. අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරකට ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට පෙර ත්‍රිරෝද රථ රියැදුරෙකු සෑහෙන වෙලාවක් පරීක්ෂාකාරීව බලා සිටී. පාරේ වාහනයක් නැත්නම් එසේ සෑහෙන වෙලාවක් බලා සිටින එවැනි රියැදුරෙකු වාහනය පාරට දමන්නේ හරියටම වෙනත් වාහනයක් පැමිණෙන අවස්ථාවකදීය.

ලංකාවේ වාහන වල සංඥා එළි භාවිතය හොඳ තත්ත්වයක තිබේ. කොයි තරම් හොඳද කියනවානම් බොහෝ රියැදුරන් විසින් දකුණු පස සංඥා එළිය වරක් දැල්වීමෙන් පසු එය නැවත නිවා දමන්නේ ගමන අවසන් කිරීමෙන් පසුව විය යුතුය. වාහනය වමට හැරවුවත්, දකුණට හැරවුවත්, දකුණෙන් ඉස්සර කළත්, වමෙන් ඉස්සර කළත් සංඥා එළියනම් දකුණටමය. කිසියම් පාරක මංතීරු දෙකක් සලකුණු කර ඇත්නම් එයින් අදහස් වන්නේ ලොකු වාහන තුනකට ගමන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් බවයි. ඊට අමතරව ත්‍රිරෝද රථ වලට හා මෝටර් සයිකල් වලට මේ ලොකු වාහන අතරින් රිංගන්නට ඉඩ තිබේ.

බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ තිබෙන පාරවල් ප්‍රමාණයට වාහන ඕනෑවට වඩා වැඩි බවයි. මේ කතාවේ කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. පසුගිය කාලයේ සැලකිය යුතු තරමේ මාර්ග සංවර්ධනයක් සිදු වී ඇතත් එයට අනුරූපව වාහන භාවිතයද ඉහළ ගොස් ඇති නිසා වාහන එළැවීමේ සමාචාර ලොකුවට වෙනස් වී නැත. එහෙත්, සාපේක්ෂව පාරවල් හොඳ හා වාහන අඩු කුරුණෑගලින් උතුරේ ප්‍රදේශ වල තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. බෙදාගන්නට ඇති සම්පත් ප්‍රමාණය වැඩි වන විට මිනිසුන්ගේ චර්යාවන්ද වඩා හොඳ වීම සාමාන්‍ය දෙයකි.

මගේ අදහස අනුව ලංකාවේ මහාමාර්ග වල දැකිය හැකි මහා වියවුලට එකම හේතුව පාරවල් ප්‍රමාණවත් නොවීම හා වාහන ප්‍රමාණය වැඩිවීමම නොවේ. වාහන ධාවනය විධිමත් ලෙස සිදුවේනම් පවතින මහාමාර්ග පද්ධතිය මීට වඩා බොහෝ කාර්යක්ෂම සේ භාවිතා කළ හැකි බව මගේ අදහසයි.

පහත වගුවේ තිබෙන්නේ ලෝකයේ එක් එක් රටවල මහා මාර්ග වල දිග, ලියාපදිංචි වාහන සංඛ්‍යාව හා මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණනයි. රට කුඩා වන තරමට මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණන වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. මාල දිවයිනේ මහාමාර්ග කිලෝමීටරයකට වාහන 700ක් පමණ තිබේ. (වාහන ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගත් දත්ත වන අතර වසර පහක් පමණ පැරණි දත්ත වේ. මහා මාර්ග වල දිග විකිපීඩියාවෙනි.) සිංගප්පූරුවේ 293කි. දකුණු කොරියාවේ 218ක්ද, මැලේසියාවේ 165ක්ද, ජපානයේ 75ක්ද, නේපාලයේ 68ක්ද වේ. බංග්ලා දේශයේ 61කි. චීනයේ 52කි. ඇමරිකාවේ 39කි. ඉන්දියාවේ හා පකිස්ථානයේ 35ක් පමණ වේ. ලංකාවේ 46කි.

ඉන්දියාව, පකිස්ථානය හා ඇමරිකාව වැනි ලොකු රටවලට මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණනට වඩා ලංකාවේ ගණන තරමක් වැඩි වුවත් ලංකාව සමඟ සැසඳිය හැකි බොහෝ රටවල් වලට සාපේක්ෂව එවැනි වැඩි කමක් පෙනෙන්නට නැත. එහෙත්, මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණන ලංකාවේ ගණනට වඩා වැඩි බොහෝ රටවල දැකිය නොහැකි තරමේ අවුලක් ලංකාවේ මහාමාර්ග වලදී දැකිය හැකිය. ලංකාවේ වාහන එළවීමේ සමාචාර විධිද මෙයට එක් හේතුවක් විය යුතුය.


Sunday, May 13, 2018

ලංකාවෙන් ඇමරිකාවට ඩිරෙක්ට් ෆ්ලයිට් නැත්තේ ඇයි?


ලංකාවේ සිට යුරෝපයේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ හා වෙනත් බොහෝ ආසියාතික රටවල ප්‍රධාන නගර දක්වා සෘජු ගුවන් සේවා ඇතත් ලංකාවේ සිට උතුරු ඇමරිකාව දක්වා එවැනි සෘජු ගුවන් සේවා නැත. ඒ නිසා, ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලංකාවට පැමිණෙන අයෙකුට අඩු වශයෙන් තවත් එක් අතරමැදි තැනක හෝ නැවතී ගුවන් යානය මාරු කරන්නට සිදු වේ. මේ නිසා උතුරු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණීමට ගත වන අවම කාලය පැය කිහිපයකින් වැඩි වෙයි. එහෙත්, ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා සෘජු ගුවන් සේවා තිබේ.

ගුවන් යානයක් ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා නොනවත්වා පියාසර කරවිය හැකිනම්, ලංකාව දක්වා තවත් සුළු දුරක් පියාසර කරවිය නොහැක්කේ ඇයි? මෙය තාක්ෂණයේ සීමාවක්ද?

මෙය තාක්ෂණයේ සීමාවක් නොවේ. දිගු දුර පියාසර කරවීම පිණිස සැලසුම් කර ඇති ගුවන් යානා මාදිලි ගණනාවකටම ලෝකයේ ඕනෑම නගර දෙකක් අතර නොනවත්වා ගමන් කිරීමේ තාක්ෂණික හැකියාව තිබේ. එහෙත්, එසේ නොකෙරෙන්නේ ආර්ථික සාධක හරස් වන බැවිනි.

ගුවන් යානයක් පියාසර කරවීමේ විචල්‍ය පිරිවැයෙහි ප්‍රධානම සංරචකය වන්නේ ඉන්ධන වියදමයි. වැඩිපුරම ඉන්ධන දහනය වන්නේ ගුවන් යානයක් ඉහළට නැංවීමේදී වුවත් ඉන් පසුවද දිගටම ඉන්ධන දහනය වන නිසා පියාසර කරවන දුර වැඩි වන තරමට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයද වැඩි වේ. වැඩි දුරක් නොනවත්වා පියාසර කරවීම සඳහා ගුවන් යානාවක ගබඩා කර තබා ගන්නා ඉන්ධන ප්‍රමාණය වැඩි කරන විට එහි මුළු බරද වැඩි වේ. රසික විසින් පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් පෙන්වා දී ඇති පරිදි, ගුවන් යානයක මුළු බර වැඩි වන විට එය ඉහළට නැංවීම සඳහාත් ඉන්පසුවත් දැවිය යුතු ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා, ඉන්ධන කාර්යක්ෂමතාවය සැලකූ විට ගුවන් යානයක් විශාල දුරක් එක දිගට පියාසර කරවනවාට වඩා අතරමඟ නවත්වා නැවත ඉන්ධන පුරවා ගැනීම වාසිදායකය. මෙසේ එක දිගට නොනවත්වා පියාසර කරවීම තව දුරටත් වාසිදායක නොවන තීරණාත්මක දුර තීරණය කිරීමේදී ගමන සඳහා වැයවන මුළු ඉන්ධන ප්‍රමාණය ගැන මිස ඉන්ධන මිල ගැන සලකා නැත.

ගුවන් යානයක් පියාසර කරවීමෙන් ලැබෙන ආදායම එහි ගෙන යන මගීන් ගණන හා ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වන තරමට ඉහළ යන නමුත් ඒ සමඟම ගුවන් යානයේ බර වැඩි වී අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. එසේ වැඩිවන ඉන්ධන ප්‍රමාණයේ බර නිසා තවත් ඉන්ධන අවශ්‍ය වෙයි. මේ නිසා, ඉහත කී තීරණාත්මක දුර ඉක්මවා ගුවන් යානයක් නොනවත්වා පියාසර කරවීම ආර්ථික වශයෙන් වාසිදායක වන්නටනම් ඉහළ යන ඉන්ධන පිරිවැය ඉක්මවන ආදායමක් මගීන්ගෙන් ලැබිය යුතුය. ඒ සඳහා, එක්කෝ ගුවන් ප්‍රවේශපත් ගාස්තුව විශාල ලෙස ඉහළ යා යුතුය. එසේ වන්නටනම් කිසියම් නගර දෙකක් අතර සෘජු ගුවන් ගමනක් සඳහා විශාල ඉල්ලුමක් තිබිය යුතුය. එවිට, මේ අමතර පිරිවැය මඟීන් විශාල ප්‍රමාණයක් අතර බෙදී යයි.

වසර කිහිපයකට පෙර සිංගප්පූරු ගුවන් සේවය විසින් නිව්යෝර්ක් හා සිංගප්පූරුව අතර පැය දහඅටහමාරක පමණ නොනවත්වන ගුවන් ගමන් සේවාවක් ලබා දුන්නේ ගුවන් යානයේ සියලුම ආසන ව්‍යාපාරික පන්තිය වෙනුවෙන් වෙන් කර එක් මගියෙකුගෙන් විශාල මුදලක් අය කර ගනිමින් අමතර ඉන්ධන වියදම ආවරණය කරගැනීම මඟිනි. මෙහි රැගෙන ගියේ මඟීන් සිය දෙනෙකු පමණක් නිසා සාමාන්‍ය ගාස්තු ගෙවන මඟීන්ගේ බර වෙනුවට ඉන්ධන බර ආදේශ කර මුළු බර සීමා කරගැනීම එම ගුවන් සේවාවේ උපක්‍රමය විය. කෙසේවුවද, මේ ගුවන් සේවාව ලාභදායක ලෙස පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පමණ ඉල්ලුමක් දිගටම නොතිබුණු බැවින් වසර කිහිපයකට පෙර එය අත් හිටවනු ලැබුවේය. (ඉල්ලුම නැවතත් ඉහළ ගොස් ඇතැයි සිතන නිසා මේ වසර අවසානයේදී නැවතත් එම සේවාව ඇරඹීමට නියමිතය).

මෙයින් වෙනස්ව, සාමාන්‍ය ගාස්තු අය අය කරමින්, එයාර් ඉන්දියා ගුවන් සේවය ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හා වොෂින්ටන් ඩීසී නගර වල සිට දිල්ලිය දක්වා ගුවන් සේවා සපයයි. මෙහිදී ඔවුන් සතු වාසිය වන්නේ මේ දිගු ගමනාන්ත සඳහා වන ඉන්ධන වියදම් වැඩි පිරිසක් අතර බෙදා හැරීම මඟින් ආවරණය කර ගත හැකි වීමයි.

ඇමරිකාවේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් හා සැසඳූ විට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය සිටින්නේ සුළු ප්‍රමාණයකි. ඒ නිසා, ඇමරිකාවේ කිසිදු නගරයක සිට කොළඹට සෘජු ගුවන් සේවාවක් දිනපතා හෝ දින දෙක තුනකට වරක් සපයා එහි ගමන් කිරීම සඳහා මඟින් දෙසිය ගණනක් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවේ.

ඉල්ලුම එතරම් විශාල නොවන නිසා ඇමරිකාවේ සිට ලංකාවට නොනවත්වා පියාසර කරන ගුවන් වාර ක්‍රියාත්මක වන්නේ නැත. සැපයුම් සාධක වල සීමාවන් නැතත් ඉල්ලුම් සාධක වල සීමාවන් පවතින නිසාත්, මේ ඉල්ලුම් සාධක නුදුරු වසරකදී වෙනස් වීමට හේතුවක් නොපෙනෙන නිසාත්, පැය කිහිපයක් ඉතිරි කරන නොනවත්වන ගුවන් ගමනක් වෙනුවෙන් විශාල මුදලක් වැඩිපුර ගෙවන්නට මා ඇතුළු බොහෝ දෙනෙකු සූදානම් නැති නිසාත් ඇමරිකාවේ සිට ලංකාව දක්වා අතරමඟ නොනවත්වා පියාසර කරවන ගුවන් යානයක ලංකාවට පැමිණෙන දිනයක් මට හිතාගත නොහැකිය.

(Image: http://colombodiary.com/srilankan-airlines-connects-visakhapatnam-to-the-world/)

වෙබ් ලිපිනය: