වෙබ් ලිපිනය:

Showing posts with label සේවක අර්ථසාධක අරමුදල. Show all posts
Showing posts with label සේවක අර්ථසාධක අරමුදල. Show all posts

Thursday, December 26, 2024

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. 

ඉහත ලාභයෙන් රුපියල් බිලියන 61.9ක මුදලක් බදු ලෙස රජයට ගෙවීමෙන් අනතුරුව, ඉතිරි වූ ලාභ යොදා ගනිමින් සාමාජික ගිණුම් ශේෂ මත 13.0%ක පොලියක් ගෙවා තිබෙනවා. එය පසුගිය වසර 13ක කාලය තුළ ගෙවා ඇති ඉහළම පොලියයි. 

වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් උපයා ඇති ආයෝජන ආදායම රුපියල් බිලියන 469.5ක් වන අතර, අරමුදල කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1.5ක මුදලක්ද, කම්කරු දෙපාර්තමේන්තුව විසින් තවත් රුපියල් බිලියන 0.8ක්ද වැය කර තිබෙනවා. 

වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වත්කම් රුපියල් බිලියන 3,857.4 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය රුපියල් බිලියන 397.5ක වැඩි වීමක්. 

පෙර (2022) වසර අවසන් වෙද්දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂ වැඩි වශයෙන්ම ආයෝජනය කර තිබුණේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. ඒ වෙනුවෙන් වැය කර තිබුණු මුදල රුපියල් බිලියන 3,068.7ක්. එහෙත්, 2022 අවසානය වන විට මෙම බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,914.4 දක්වා පහත වැටී තිබුණා. එය මෙම වත්කම් වල වටිනාකම 37.5%කින් අඩු වීමක්.

පසුගිය (2023) වසර තුළ භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 3,234.8 දක්වා රුපියල් බිලියන 166.1කින් ඉහළ යද්දී, එම ආයෝජන වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,168.0 දක්වා රුපියල් බිලියන 1,253.6කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටීමයි. 

විශ්‍රාම වැටුප් අරමුදලකට වාර්ෂිකව නිශ්චිත ලෙස මුදල් ගලා එන නමුත් එම මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය වන්නේ විශාල කාලයකට පසුවයි. එබැවින් විශ්‍රාම වැටුප් අරමුදලක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, කළ යුත්තේත්, තමන්ගේ භාරයේ ඇති අරමුදල් සඳහා දිගුකාලීනව වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි පරිදි, දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි ආයෝජනයක ඵලදායීතාවය විමසා බැලිය යුත්තේද දිගුකාලීනවයි. 

දිගුකාලීන බැඳුම්කර වල අරමුදල් ආයෝජනය කළ විට සිදු විය හැකි එක් දෘශ්‍යමාන අවාසියක් වන්නේ කෙටිකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය විට එහි වාසිය ලබා ගන්නට නොහැකි වීමයි. එවැනි අවස්ථා වලදී දිගුකාලීන බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම පහත වැටෙනවා. එහෙත්, කෙටිකාලීනව ඉහළ යන පොලී අනුපාතික දිගින් දිගටම එවැනි ඉහළ මට්ටමක නොපවතින බැවින් දිගුකාලීන ප්‍රතිලාභ සලකද්දී හැමවිටම මෙන් වඩා වාසිදායක වන්නේ දිගුකාලීනව ආයෝජනය කිරීමයි. 

මේ වන විට කෙටිකාලීන පොලී අනුපාතික 9% සීමාවෙන්ද පහතට වැටී තිබෙනවා. එය කෙටිකාලීනව ආයෝජනය කර ඇති අයට විශාල අවාසියක්. ඉහළ පොලී අනුපාතික වලට ආයෝජනය කර ඇති ඔවුන්ගේ අරමුදල් දැන් නැවත ආයෝජනය කරන්නට සිදු වෙන්නේ බෙහෙවින්ම අඩු පොලී අනුපාතිකයක් යටතේයි.

එහෙත්, සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් දිගුකාලීනව ආයෝජනය කර ඇති බැවින්, පොලී අනුපාතික පහත වැටෙද්දී එම අරමුදලට කිසිදු අවාසියක් නොවනවාක් මෙන්ම අරමුදලේ ආයෝජන වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස ඉහළ යාමක්ද සිදු වෙනවා. අරමුදලේ මෙම (2024) වසරේ ගිණුම් ප්‍රකාශයට පත් වූ පසුව, අදාළ වාසිය කොපමණදැයි හරියටම දැනගන්නට ඉඩ ලැබෙනු ඇති. 

සේවක අර්ථසාධක අරමුදල විසින් පසුගිය (2023) වසර තුළ ලැබූ ශුද්ධ ලාභය කොපමණද යන්න රටේ ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක බදු ගෙවීමට පෙර ලාබ සමඟ සංසන්දනය කිරීමෙන් අවබෝධ කරගත හැකියි.

සේවක අර්ථසාධක අරමුදල - රුපියල් බිලියන 468.0

ලංකා බැංකුව - රුපියල් බිලියන 40.3

මහජන බැංකුව - රුපියල් බිලියන 15.3

සම්පත් බැංකුව - රුපියල් බිලියන 29.8

කොමර්ෂල් බැංකුව - රුපියල් බිලියන 31.9

හැටන් නැෂනල් බැංකුව - රුපියල් බිලියන 32.7

LOLC හෝල්ඩින්ග්ස් (2023/24) - රුපියල් බිලියන 30.2


සේවක අර්ථසාධක අරමුදල විසින් පෙර වසර වල ලාබ ලැබුවේ පහත අයුරිනුයි.

2019 - රුපියල් බිලියන 257.7

2020 - රුපියල් බිලියන 284.0

2021 - රුපියල් බිලියන 340.7

2022 - රුපියල් බිලියන 313.9

2023 - රුපියල් බිලියන 467.2


අරමුදලේ ශුද්ධ වත්කම් ඉහළ ගොස් තිබෙන්නේ මෙලෙසයි.

2019 - රුපියල් බිලියන 2540.4

2020 - රුපියල් බිලියන 2824.3

2021 - රුපියල් බිලියන 3166.1

2022 - රුපියල් බිලියන 3459.9

2023 - රුපියල් බිලියන 3857.4

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වසරෙන් වසර ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යන ආකාරය ගණන් හදා පෙන්වූ අයත් හිටියේ වැඩි කාලයකට පෙර නෙමෙයි.

Saturday, September 23, 2023

ණය ප්‍රතිව්‍යුහගතකරණය - අප කී දේ හා නොකී දේ


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්.

- මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල් බොරු. ඒ කියන්නේ කරුණුමය වැරදි. ණය හුවමාරුව සිදු කිරීමෙන් පසුවත් දිගින් දිගටම දදේනියෙන් 0.5%කට සමාන මුදලක් වාර්ෂිකව අරමුදලෙන් කපා ගන්නවා කියන එක එක උදාහරණයක්. අරමුදල ටිකෙන් ටික අඩු වෙලා යනවා කියන එක ඔය වගේම තවත් බොරුවක්. තව ඔය විදිහේ බොරු ගණනාවක් ප්‍රචාරය කෙරුණා. ඒ බොරු ප්‍රචාරය කළ අය එසේ කළේ කාගේ උවමනාවටද කියා මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ දේවල් ලෙලි නොගහා අමුවෙන්ම ගිලින අය තවමත් ඕනෑ තරම් ඉන්නවා.

- අරමුදලේ වත්මන් අගය බාගයකින් පමණ (47%කින්) අඩු වෙනවා කියන එක ඉහත දේවල් වැනි පට්ටපල් බොරුවක් නෙමෙයි. මම හිතන විදිහට හදිසි වැඩිකමට සිදු වූ අත් වැරැද්දක් නිසා ඉදිරිපත් කළ වැරදි ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුව වැරදි වන්නේ එය සකස් කිරීමේදී කළ උපකල්පන වැරදි නිසා නෙමෙයි. එම උපකල්පන යටතේම වුවත් ඇස්තමේන්තුව වැරදියි. මේ බව අප විසින් විස්තර සහිතව හා අදාළ තාක්ෂණික කරුණුද සමඟ පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, අත්වැරැද්දක් සේ සැලකිය හැකි මෙම වරද වෙනුවෙන් යමෙකු විසින් දිගින් දිගටම පෙනී සිටින්නේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. 

- මුල සිටම මෙන් අප විසින් දිගින් දිගටම කීවේ 47%ක පාඩුවක් කිසිසේත්ම සිදු නොවෙතත්, සේවක අර්ථසාධක අරමුදලට මෙම ණය හුවමාරුව නිසා යම් පාඩුවක් විය හැකි බවයි. මුලදී අපගේ දළ ඇස්තමේන්තුව වූයේ මෙම පාඩුව රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. වෙළඳපොළ අර්පණ දත්ත ප්‍රකාශයට පත් වීමට පෙර අපගේ දළ ඇස්තමේන්තුව වූයේ හුවමාරු කරන බැඳුම්කර වල වටිනාකමෙන් 7%-15% පරාසයේ පාඩුවක් සිදු විය හැකි බවයි. රුපියල් වලින් කතා කළත්, ප්‍රතිශතයක් ලෙස කතා කළත්, අප මෙහිදී කතා කළේ අරමුදලේ වත්මන් අගය ක්ෂණිකව පහළ යාමේ ඉඩකඩ ගැනයි. මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ මෙම පාඩුව 5%ක් පමණ වනු ඇති බවයි. 

- හුවමාරුවෙන් පසුව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ද්වීතියික වෙළඳපොළ අර්පන මිල ගණන් අනුව හුවමාරුවට පෙර හා පසු ආයෝජන කළඹයන්හි වෙළඳපොළ වටිනාකම් පැවතුණේ ආසන්නව සමාන මට්ටමකයි. එයින් අදහස් වුනේ හුවමාරුවේදී රජයට ආපසු ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ඊට ආසන්නව සමාන වටිනාකමක් තිබෙන වෙනත් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරුවට සහභාගී වූ අයට ලැබී ඇති බවයි. ඒ කියන්නේ එදින පැවති වෙළඳපොළ තත්ත්වයන් තුළ කිසිදු පාර්ශ්වයකට සැලකිය යුතු පාඩුවක් සිදුව නැති බවයි. වෙළඳපොළ වටිනාකම් සමාන වුවද, මෙම ආයෝජන කළඹ දෙකෙහි කල් පිරීමේ කාලයන් අසමාන නිසා ඵලදා අනුපාතික අතර වෙනස්කම් තිබිය හැකියි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, අහම්බයකින් මිස ඵලදා වක්‍රයක් තිරස් රේඛාවක් නොවන නිසා වෙනස් කල් පිරීම් සහිත ආයෝජන කළඹ දෙකක ඵලදා අනුපාතික සමාන වන්නේ නැහැ. එය මේ විෂය පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකු දන්නා සාමාන්‍ය කරුණක්. ආයෝජන කළඹ දෙකෙහි සංරචක වල කල් පිරීමේ කාල ගැලපුවහොත් ඵලදා අනුපාතිකද ආසන්නව සමාන විය යුතුයි. 

- පැරණි ආයෝජන කළඹේ මෙන්ම අලුත් ආයෝජන කළඹේද වෙළඳපොල වටිනාකම තීරණය වන්නේ අනාගතය පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් මතයි. යම් හෙයකින් අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික දැනට අපේක්ෂිත මට්ටමට වඩා පහළ ගියහොත් මෙම වටිනාකම ඉහළ යනවා මෙන්ම අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් මෙම වටිනාකම අඩු වෙනවා. ඒ අනුව, හුවමාරුව සිදු වන විට පැවති තත්ත්වයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. එවැනි වෙනස්වීමක් හොඳ අතට හෝ නරක අතට සිදු විය හැකියි. මෙවැනි වෙනසක් ඉදිරි සතියේදී හෝ සති කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත වුවද සිදු විය හැකියි. 

- මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයේ සාධාරණත්වය පිළිබඳව අප විසින් කිසිදු අවස්ථාවක මතයක් පළ කර නැහැ. මෙම ප්‍රශ්නය අපගෙන් අසනු ලැබූ වාර ගණනාවකදීම අප විසින් පැහැදිලි ලෙස මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. සාධාරණත්වය යන්නට ලාබ පාඩු වලට මෙන් බොහෝ දෙනෙකුට පහසුවෙන් එකඟ විය හැකි නිශ්චිත තාක්ෂණික අර්ථකථනයක් දිය නොහැකියි. එය යමෙකු පැවතිය යුතු තත්ත්වය දකින ආකාරය අනුව වෙනස් වන සාපේක්ෂ දෙයක්. මේ හේතුව නිසාම සාධාරණත්වය පිළිබඳ විසංවාදයක් ඇති විටෙක තීරකයා වන්නේ අධිකරණයයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේදී රජයට හා මහ බැංකුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙය කරන්නට යන ආකාරය අසාධාරණ බවයි. කෙසේ වුවත්, පාර්ශ්ව දෙකක් මැදිහත් වී අධිකරණය හරහා රජය හා මහ බැංකුව මෙම චෝදනාවෙන් නිදහස් කළා. එහිදී මෙය අසාධාරණ වන්නේ ඇයි කියන එක සම්බන්ධව මෙම පාර්ශ්ව දෙක විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වෙනත් පාර්ශ්ව විසින් එය එසේ නොවන බව පෙන්වා දුන්නා. මුල් පෙත්සම්කරුවන් විසින් එම පාර්ශ්ව වල තර්ක ප්‍රතික්ෂේප කරමින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව, අධිකරණය පෙත්සම්කරුවන්ගේ මුල් තර්ක ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දුන්නා. එයින් රජයට මෙම ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම වඩා පහසු වුනා. අප දැනට වුවද මේ කාරණයේදී පැත්තක් ගන්නේ නැහැ. 

ඉහත කරුණු වලට අමතරව මේ ගැන කතා කරද්දී විවිධ අය සේවක අර්ථසාධක අරමුදල හා අදාළව විවිධ විවේචන සිදු කළා. එම විවේචන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සෘජුව අදාළ දේවල් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ප්‍රශ්න ලෙස අරමුදල ආරම්භ කළ අවස්ථාවේ සිටම පැවති ප්‍රශ්න. එයින් ප්‍රධානම ප්‍රශ්නය සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ තිබීම නිසා ඇතිවන මෙම බැඳියා පිළිගැටුමයි. යම් හෙයකින් මෙහිදී මහ බැංකුව විසින් කළ දෙය අසාධාරණ සේ සැලකිය හැකිනම්, ඒ අසාධාරණය සිදු වුණේ සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පැවති නිසයි. එමෙන්ම, අරමුදලේ ප්‍රතිලාභ වෙළඳපොළ ප්‍රතිලාභ වලට වඩා අඩුනම් එයට එක් හේතුවක් වන්නේද බැඳියා පිළිගැටුමයි. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පවතින තාක් කල් සිදු වීමට ඉඩක් තිබෙන අසාධාරණකම් හෝ පාඩු ගැන කතා කිරීම හෝද හෝදා මඩේ දැමීමක් පමණයි. අවශ්‍ය වන්නේ මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර වෙනම ස්වාධීන ආයතනික ව්‍යුහයක් යටතට ගැනීමයි. එය කවර ආකාරයේ එකක් විය යුතුද යන්න ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

Friday, September 15, 2023

"පාඩුව" හරියටම මෙන්න!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු කෙරුණා. මෙම අලුත් බැඳුම්කර වර්ග 12 මෙන්ම ඒ වෙනුවෙන් හුවමාරු කෙරුණු බැඳුම්කර වර්ග 49හි හුවමාරු නොකළ කොටසද මේ වන විට ද්වීතියික වෙළඳපොළෙහි සක්‍රිය ලෙස අලෙවි වනවා.

කිසියම් භාණ්ඩයක "නියම" මිල සේ සැලකිය හැක්කේ එම භාණ්ඩය වෙළඳපොළ තුළ විකිණිය හැකි මිලයි. මෙම නියමය භාණ්ඩාගාර බැඳුම්කර වලටද වලංගුයි. එම පදනම මත, හුවමාරු කිරීමේදී රජයට ආපසු ලබාදුන් බැඳුම්කර වල නියම වටිනාකම මෙන්ම ඒ වෙනුවෙන් ආපසු ලැබුණු බැඳුම්කර වල නියම වටිනාකමද දැන් අපට පහසුවෙන්ම ගණනය කළ හැකියි. මෙම මිල ගණන් අතර වෙනස හුවමාරුව නිසා සිදු වූ ලාබය හෝ පාඩුවයි.

අලුත් බැඳුම්කර නිකුත් කරනු ලැබ වෙළඳපොළ තුළ ඒවා හුවමාරු වන තුරු මෙම හුවමාරුවේ ලාබ හෝ පාඩු පිළිබඳව කිසිවකුට නිවැරදිව කිව හැකි වූයේ නැහැ. වෙළඳපොළ මිල කියන්නේ නිරීක්ෂණය කළ යුතු දෙයක් මිස කලින් හරියටම පුරෝකථනය කළ හැකි දෙයක් නෙමෙයි. 

මෙම හුවමාරුව සිදු වීමට පෙර මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ එයින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට 4.8%ක අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. වෙනත් අය මෙය 47% දක්වා වන අපේක්ෂිත පාඩුවක් ලෙස ගණන් බලා තිබුණා. අපගේ පෞද්ගලික අදහස වූයේද මහ බැංකුවේ ඇස්තමේන්තුව ඉක්මවන  7%-15% පරාසයේ අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. 

කෙසේ වුවද, අලුත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ හුවමාරු වීමෙන් පසුව පෙනී යන පරිදි මෙම හුවමාරුවෙන් ඒ සඳහා අයැදුම් කළ පාර්ශ්ව වලට කිසිදු අලාබයක් සිදු වී නැහැ. සමස්තයක් ලෙස මෙම හුවමාරුව නිසා එයට සහභාගී වූ අයගේ වත්කම් සුළු වශයෙන් (රුපියල් බිලියන 4.9කින් හෙවත් 0.16%කින්) ඉහළ ගොස් තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා අදාළව වෙනම ගණන් බැලීමක් කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නැතත්, එම අරමුදලේ ලාබ පාඩු පිළිබඳ තත්ත්වයද මීට වඩා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. 

හුවමාරු කළ බැඳුම්කර එසේ හුවමාරු නොකළේනම්, ඒවා අතරින් වැඩි කූපන් පොලියක් සහිත බැඳුම්කර මේ වන විට රුපියල් 123.45 දක්වා වන මිලකට විකිණිය හැකිව තිබුණත්, අඩු කූපන් පොලී සහිත බැඳුම්කර රුපියල් 74.18 දක්වා වන අඩු පොලියකට විකුණන්නට සිදු වෙනවා. සමස්තයක් ලෙස මෙසේ හුවමාරු කළ බැඳුම්කර සියල්ලම "තොගයක් ලෙස" විකිණුවේනම් විකුණන්නට වෙන්නේ රුපියල් 93.69ක මිලකටයි. මේ වෙනුවෙන් ලැබුණු අලුත් බැඳුම්කර "තොගයක් ලෙස" රුපියල් 93.84කට විකිණිය හැකියි. වෙනත් විදිහකින් කියනවානම්, හුවමාරුවට සහභාගී වූ අයෙකුට අවශ්‍යනම් හුවමාරුවේදී අලුතින් ලැබුණු බැඳුම්කර වෙළඳපොළෙහි විකුණා කලින් තමන් සතු වූ බැඳුම්කර වර්ග වලින් එම ප්‍රමාණ මිල දී ගන්න පුළුවන්. 

මේ සමඟම, බැංකු කඩා වැටීමේ කතාව වගේම, මේ හා අදාළව ප්‍රචාරය වූ ප්‍රවාද, දුස්තොරතුරු මෙන්ම අපගේ පූර්ව ඇස්තමේන්තුද ඇතුළු ඇස්තමේන්තු සියල්ල තේරුමක් නැති දේවල් බවට පත් වෙනවා. කතාව සංකීර්ණ වැඩිනම්, සරලව, මෙම හුවමාරුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වල කිසිම දැනෙන වෙනසක් සිදු වී නැහැ. ඒ කතාවත් මෙතැනින් සමාප්තයි!

Thursday, September 14, 2023

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව?


මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල් බිලියන 149.9ක බැඳුම්කර ප්‍රමාණයක්ද ඇතුළත්. අමතර ප්‍රමාණයද සමඟ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 83%ක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. 

මීට දින දෙකකට පෙර නිකුත් කළ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිවේදනය අනුව, සමස්තයක් ලෙස විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 84%ක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනු ලැබ එම අයැදුම්පත් පිළිගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බොහොමයක්ද සේවක අර්ථසාධක අරමුදල විසින් හුවමාරු කරගත් බැඳුම්කර ප්‍රතිශතයට නොඅඩු ප්‍රතිශතයක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන ඇති බවයි. ඊට අමතරව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නොවන අනෙකුත් ආයතන විසින්ද යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙනවා විය හැකි වුවත්, එසේ කර ඇත්නම් එම ප්‍රමාණය සාපේක්ෂව සුළු ප්‍රමාණයක් විය යුතුයි.

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා තිබෙන්නේ බැඳුම්කර හුවමාරුවෙන් පසු රජයේ මුදල් ප්‍රවාහ වෙනස් වන ආකාරයයි. රජය විසින් 2023-2043 කාලය තුළ ආපසු ගෙවිය යුතුව තිබුණු ආපසු ලබාගත් බැඳුම්කර වල මුහුණත අගය වන වන රුපියල් බිලියන 3,204.5ක මුදල, අලුත් බැඳුම්කර වල මුහුණත අගය ලෙස එලෙසම ආපසු ගෙවිය යුතු වුවත්, එම මුදල් ප්‍රමාණය දැන් ආපසු ගෙවන්නට වෙන්නේ 2027-2038 කාලය තුළ සමාන වාරික වලින් බැවින් එහි සහනය රජයට ලැබෙනවා. 

ආපසු ලබාගත් බැඳුම්කර වෙනුවෙන් රජය විසින් කූපන් පොලී ලෙස රුපියල් බිලියන 2,055.8ක් ගෙවිය යුතුව තිබුණා. හුවමාරුවෙන් පසුව, රජයට අලුත් බැඳුම්කර වල කූපන් පොලිය ලෙස ඊට වඩා රුපියල් බිලියන 771.7ක් වැඩියෙන් ගෙවන්නට සිදු වෙනවා. එහෙත්, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වීමට සාපේක්ෂව මෙම අමතර කූපන් පොලිය ගෙවීම රජයට වාසියක්. හරියටම කිවුවොත් අපේක්ෂිත වාසියක්. එම අපේක්ෂිත වාසිය කුමක්ද යන්න තීරණය වන්නේ බැඳුම්කර හුවමාරුව නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයන්හි (net cashflow) සිදුව ඇති වෙනස මතයි. එම වෙනස වගුවෙහි අවසාන සිරස් තීරුවේ පෙන්වා තිබෙනවා. 

ඉහත ශුද්ධ මුදල් ප්‍රවාහයේ වත්මන් අගය (present value) ශුන්‍ය වීමටනම් 5.5% වැනි වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදා ගෙන මුදල් ප්‍රවාහ වට්ටම් කළ යුතුයි. එහෙත්, එම අගය ලංකාවේ කිසිවෙකු විසින් ප්‍රමාණවත් සේ සලකන ප්‍රතිලාභ අනුපාතයක් නොවන නිසා හුවමාරුවට සම්බන්ධ වූ අරමුදල් වල වත්මන් වටිනාකමෙහි අපේක්ෂිත වෙනස අඩු වීමක් මිස වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකියි. වට්ටම් අනුපාතිකය 9% ලෙස සැලකුවහොත්, අරමුදල් වල වත්මන් අගය 7.8%කින් පමණ අඩු වෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධව මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 14) දින ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව අප විසින් සිදු කළ ගණනය කිරීම් වලට අනුව, 2038 දක්වා කාලය තුළ අරමුදලට සිදු වන සමස්ත අලාභය 7.8%ක්. හුවමාරුව නොකර 30% අනුපාතයෙන් බදු ගෙවීමට තීරණය කළේනම් මෙම අලාභය 20.8%ක්. මුදලින් රුපියල් බිලියන 209ක් පමණ වන ඉහත 7.8% අලාභය ගැලපෙන්නේ 9%ක වට්ටම් අනුපාතයක් සමඟයි. එහෙත්, මේ වන විට වෙළඳපොල විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය 13% තරම් විශාල විය හැකියි. 

අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වෙළඳපොළ තුළ හුවමාරු වෙද්දී එම බැඳුම්කර වල වත්මන් වෙළඳපොළ වටිනාකම හරියටම දැනගන්නට ලැබෙනවා. මේ අනුව, අපට අපේක්ෂිත අලාභය පිළිබඳව වෙළඳපොළ මත පදනම් වූ ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉඩ ලැබෙනවා. වෙළඳපොළ අපේක්ෂාවන් කිසිසේත්ම සියයට සියයක් නිවැරදි නැතත්, තනි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඇස්තමේන්තු විශ්වාස කරනවාට වඩා වෙළඳපොළ විශ්වාස කිරීම වඩා සාර්ථක ප්‍රවේශයක්. අපගේ අදහස වනුයේ වෙළඳපොළ මත පදනම් වන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු බැඳුම්කර හුවමාරුවට සම්බන්ධ වූ අයගේ අලාභය මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා වැඩි විය යුතු බවයි. 

පවතින වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, මෙම අපේක්ෂිත අලාභය 12%කට ආසන්න අලාභයක් විය හැකියි. වැඩි දවසක් නොගොස් හරියටම බලා ගන්නට ඉඩ ලැබෙන නිසා මෙම අපේක්ෂිත අලාභය ඇස්තමේන්තු කිරීමට හදිසි විය යුතු නැහැ.

Friday, September 8, 2023

මහ බැංකුව එ. වෘත්තීය සමිති


දින තුනකට පෙර පැවැත්වුණු මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කර ලිපියක් ලියන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම් සිදු නොවුනද මේ ගැන කොහොමටත් අදහස් පළ කරන්න අවශ්‍යව තිබුණත්, වෙනත් වැදගත් වෘත්තීය කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය යෙදවිය යුතු වූ නිසා එය මීට කලින් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඉහත හමුව සිදු වීමට දින කිහිපයකට පෙර ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදු කරන මහ බැංකු අධිපතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට A- ශ්‍රේණිය හිමි වී තිබුණා. අප විසින් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වලට ඕනෑවට වඩා බර තබන්නේ නැතත්, පසුගිය කාලය තුළ මහ බැංකු අධිපති ලෙස ඔහුගේ කාර්ය සාධනය මෙවැනි ඇගයීමකට පාත්‍ර වීම සිදු විය යුත්තක්. ඒ පිළිබඳව මීට පෙර ඔහුට සුබ පතන්නට නොහැකි වූයේද අපගේ කාර්ය බහුලත්වය ඊට හරස් වූ නිසයි. 

මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල්ට මෙන්ම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටද ඉහත සඟරාවෙන් B හා B+ මට්ටම් වල ශ්‍රේණිගත කිරීම් ලැබී තිබුණු අතර 2021 වසරේදී මහාචාර්ය ඩබ්ලියු ඩී ලක්ෂමන්ගේ කාර්ය සාධනය ඉදිරියේ සටහන් වුනේ C+ මට්ටමයි. මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මුහුණ දුන් අභියෝග හා එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය අනුව කබ්රාල් හා කුමාරස්වාමි වැනි පෙර අධිපතිවරුන්ද ශ්‍රේණිගත කෙරුණු B+ මට්ටමට වඩා එක් කට්ටයක් ඉහළට අධිපති නන්දලාල් වීරසිංහව ඔසොවා තැබීම විශේෂ දෙයකට වඩා අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. ඒ පිළිබඳව මෙන්ම වැඩ භාරගත් දින සිට ඔහුගේ කාර්ය සාධනය පිළිබඳවද ඔහුට ප්‍රමාද වී හෝ සුබ පතමින් මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු කරමු. 

මා පෞද්ගලිකව මහ බැංකු ස්වාධීනත්වය ඉතා වැදගත් සේ සලකනවා. මහ බැංකු ස්වාධීනත්වය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියෙන් ස්වාධීන වීමයි. එම සීමාවෙන් එහාට මහ බැංකුවට හෝ එහි ඉහළ නිලධාරීන්ට හිතුමතේ කටයුතු කළ හැකි බවක් එයින් අදහස් වන්නේ නැහැ. 

මහ බැංකු ස්වාධීනත්වය ඉහළ යන තරමටම මහ බැංකුවක් රටේ ජනතාවට වගවීමද අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක කටයුතු පරීක්ෂාවට ලක්වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය හරහායි. එහෙත්, රාජ්‍යයේ එම කොටස් තුනම යම් සීමාවන් තුළ මහ බැංකු ස්වාධීනත්වයට ගරු කරන පසුබිමක රටක මහ බැංකුවද විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තරමටම නොවුනත් රාජ්‍යයේ තවත් කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් රටේ ජනතාවටද සෘජුව වගවීම යම් තරමකින් හෝ සිදු විය යුතුයි.

කෙසේ වුවද, මහ බැංකුවක් විසින් රටේ ජනතාවට වගවීම යන්නෙන් හැම කොල්ලෙකුගේ හා බල්ලෙකුගේම විවේචන වලට සෘජුව ප්‍රතිචාර දැක්විය යුතු බවක් අදහස් වන්නේ නැහැ. මහ බැංකුවක් රටේ ජනතාවට විවෘත වීම සාමාන්‍යයෙන් සිදු වන්නේ මාධ්‍ය වෙත ප්‍රමාණවත් තරමින් නිරාවරණය වීම හරහායි. වගවීම අතින් ඉහළම මහ බැංකුවක් වුවත් ඒ සීමාව පැන සෘජුව ජනතාව වෙත ප්‍රවේශ වන්නේ නැහැ. 

මෙම සන්දර්භය තුළ මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක්. මෙය මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් තමන් වටා ඇඳ ගන්නා සීමා ඉර පැන යාමක්. ඉදිරි ආරක්ෂක වළල්ල ඉවත් කර ප්‍රතිවාදියාට සම්මුඛ වීමක්. මේ හරහා මහ බැංකුව (මහ බැංකු අධිපතිවරයා) අපේක්ෂා කළේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. 

පොදු අරමුණක් වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් හතළිහක පමණ එකතුවක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම පිරිස අපි වයි කණ්ඩායම ලෙස හඳුන්වමු. එය අපේ පහසුව වෙනුවෙන් පමණක්ම යොදා ගන්නා නාමකරණයක්. හරියටම නමක් නැති නිසාත්, එක්ස් අකුර ලංකාවේ දේශපාලනය තුළ කලින්ම පේටන්ට් කර ඇති නිසාත් අපි මොවුන්ව මේ නමින් හඳුන්වමු. කණ්ඩායමේ ක්‍රියාකාරකම් වල ස්වභාවය අනුව අවශ්‍යනම් මෙය Y කණ්ඩායම ලෙස නැතිව why කණ්ඩායම ලෙස කියවාගන්න වුනත් පුළුවන්. එසේ නැතුව Y වර්ණදේහය සමඟ සම්බන්ධ කර මේ නම කියවා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

දැන් මුලින්ම සිදුවන්නේ මෙම වයි කණ්ඩායම විසින් සමාජ ජාලා හරහා මෙන්ම කොටුව දුම්රියපොළ ඉදිරියේදීද තමන්ට පිළිතුරු දෙන මෙන් මහ බැංකු අධිපතිවරයාට අභියෝග කිරීමයි. මෙවැනි විරෝධතාකරුවන් පිරිසක් විසින් මේ ආකාරයේ අභියෝගයක් යමෙකුට කරන්නේ එම අභියෝගය භාරගනු ඇතැයි යන අපේක්ෂාවෙන්ම නෙමෙයි. ඔවුන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ "අපේ ප්‍රශ්න වලට තවම පිළිතුරු ලැබී නැහැ" කියා දිගටම කියන්නට පමණයි. ඉලක්කය වන්නේම අදාළ තැනින් පිළිතුරු නොදීම බැවින් මෙවැනි කණ්ඩායමකට පිළිතුරු දී සතුටු කිරීම ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්. 

මෙම ඉල්ලීම හමුවේ මහ බැංකු අධිපතිවරයා විසින් කරන්නේ බොහෝ විට වයි කණ්ඩායම විසින් අපේක්ෂා නොකළ දෙයක්. ඔහු ඉල්ලූ සාකච්ඡාව වහාම ලබා දෙනවා. මහ බැංකුව පැත්තෙන් එවැන්නක් සිදු වූයේ ඇයිද යන්න සිතිය යුතු දෙයක්. සමාජ ජාලා වල ඇති තොරතුරු අනුව පෙනී යන පරිදි වයි කණ්ඩායම විසින් පිළිතුරු ඉල්ලා ඇති ප්‍රශ්න වලට කිට්ටුවෙන් යන ප්‍රශ්න ටිකක් ජවිපෙ/ජාජබ පක්ෂ වලට සම්බන්ධ පිරිස් විසින්ද ඉදිරිපත් කර ඇතත් වයි කණ්ඩායමට ලැබුණු අවස්ථාව තවමත් ඔවුන්ට ලැබී නොතිබීමද විශේෂත්වයක්. 

මෙහිදී මහ බැංකුව විසින් කළේ සීමාවෙන් එළියට පැන අහක යන පන්දුවකට පහර දීමක්. මහ බැංකුවක් සාමාන්‍යයෙන් ආරක්ෂක ස්ථාවරයක සිටිනු මිස ප්‍රහාරක ස්ථාවරයකට යන්නේ නැහැ. පසුව මොනවා කිවුවත් මේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් වයි කණ්ඩායම අන්දමන්ද වෙනවා. ඔවුන් පසු බසිනවා. එහෙත්, මහ බැංකුව පැත්තෙන් එතැනින් වැඩේ නවතින්නේ නැහැ. සිදු වූ දෙය ගැන නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් කරන්නේ "ගනු කඩුව එනු සටනට" කියා පසු බැස ගිය සතුරාව සටනට කැඳවීමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ වයි කණ්ඩායමට අභියෝගය භාර නොගෙන සිටීමේ හැකියාවක් නැහැ. මහ බැංකුව තමන්ව සටනට කැඳවන්නේ තාක්ෂණික ආයුධ වලින් සන්නද්ධව බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන්ට "පණ බේරා ගැනීම" සඳහා වුවත් හැකි උපරිමයෙන් සූදානම් වෙන්නට සිදු වෙනවා. මගේ අදහස ඔවුන් අවශ්‍ය පමණ සූදානම්ව සිටි බවයි. ආයුධ රැස් කර ගැනීම සඳහා වයි කණ්ඩායමට ප්‍රමාණවත් කාලයක් ලැබුණා.

මීට සාපේක්ෂව මහ බැංකුව පැත්තෙන් අවශ්‍ය තරමේ සූදානමක් සිදුව ඇති බවක් පෙනෙන්නේ නැහැ. මහ බැංකුව තමන් ගැන අධි තක්සේරුවක සිට ඇති අතර ප්‍රතිවාදියාව අවතක්සේරු කර තිබෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ හමුව හරහා මහ බැංකුව විසින් අපේක්ෂා කළ යමක් වී නම් එය ඉටු නොවූ බව මගේ අදහසයි. කෙසේ වුවත්, හමුව අවසන් වන්නේ දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව සිතන්නට ඉඩ සලසමිනුයි. හමුවෙන් පසුව දෙපාර්ශ්වයේම හැසිරීම් වලින් ඒ බව ප්‍රදර්ශනය වෙනවා. 

මහ බැංකුවට සාමාන්‍යයෙන් සම්මුඛ වන්නේ බැංකුකරුවන්, අනෙකුත් මූල්‍ය ආයතන, රජයේ නිලධාරීන් හා දේශපාලනඥයින් යන අයයි. මේ අතරින් මුල් කණ්ඩායම් තුනේම ඉන්නේ එකම භාෂාව කතා කරන පිරිසක්. එමෙන්ම එම කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදුවන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළයි. දේශපාලනඥයින් සම්මුඛ වීමේදී මහ බැංකුවට තාක්ෂණික දැනුමේ වාසිය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා, ඒ එකදු කණ්ඩායමකින් හෝ මහ බැංකුවට ලොකු අභියෝගයක් එන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයා මහ බැංකුවට පැමිණි අවස්ථාව එසේ නොවූ සුවිශේෂී අවස්ථාවක්. 

මේ හැරුණු විට මහ බැංකුව ප්‍රශ්න කරන අනෙක් පිරිස වන්නේ මාධ්‍යවේදීන්. එහෙත් ලංකාවේ මාධ්‍යවේදීන් මහ බැංකුවෙන් වයි කණ්ඩායම විසින් ඇසූ ආකාරයේ "බරපතල" ප්‍රශ්න අහන්නේ නැහැ. ඇහුවත් අහන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළ සිටයි. මේ අනුව, මහ බැංකුවේ පැත්තෙන් බැලූ විට වයි කණ්ඩායමේ හැසිරීම බරපතල කම්පනයක්.

එහෙත් මෙවැනි පිරිසක් සටනට කැඳවීමට පෙර මහ බැංකුව විසින් මේ තත්ත්වය අපේක්ෂා කළ යුතුව තිබුණා. වයි කණ්ඩායමේ පැත්තෙන් බැලූ විට ඔවුන්ට සාපේක්ෂව ඔවුන් ආචාර ධාර්මික සීමාවන් බිඳින්නේ නැහැ. වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර සිදුවන සාකච්ඡාවක් මෙවැනි ස්වරූපයක් ගැනීම අමුතු දෙයක් නෙමෙයි. තමන්ගේ නියෝජිතයින් කේක් කෑල්ලක් කා, කිරි තේකක් බී, පූස් පැටවුන් මෙන් හාම්පුතුන් කියන දේ අහගෙන ආපසු ආවොත් ඔවුන්ව තවදුරටත් තමන්ගේ නියෝජිතයින් සේ තියා ගන්නට කිසිවකු කැමති වෙන්නේ නැහැ. 

මේ සාකච්ඡාව තනිකරම බොරු සාකච්ඡාවක් බවත්, එයින් මෙලෝ වැඩක් සිදු නොවන බවත් දෙපාර්ශ්වයම පැහැදිලිව දන්නවා. සාකච්ඡාව පැවැත්වෙන විටද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය අධිකරණ අනුමැතිය ලැබී අවසන්ව තිබුණු අතර පාර්ලිමේන්තුවේ පැවති බල තුලනය අනුව එහිදී සිදු වන දෙය පිළිබඳව සැක කරන්නට කිසිදු හේතුවක් තිබුණේ නැහැ. මේ අනුව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරි සතිය තුළ දැනගන්නට ලැබීමට නියමිතයි. මහ බැංකුව හා වයි කණ්ඩායම අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉහත තත්ත්වය වෙනස් වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ. 

වයි කණ්ඩායමට අවශ්‍යව තිබුණේ අවධානයයි. එය දේශපාලන ක්‍රියාකාරිකයින්ට බොහෝ සේ වටිනවා. මහ බැංකුව මැදිහත් වී කළේ එම අවශ්‍ය අවධානය වයි කණ්ඩායමට ලබා දීමයි. අනිවාර්ය ප්‍රතිඵලය වයි කණ්ඩායමට ඔවුන් සොයන අවධානය ලැබීම බව දැන දැනම මහ බැංකුව විසින් මෙවැනි හමුවක් කරා ඔවුන්ව තල්ලු කරනු ලැබුවේ එක්කෝ ඔවුන්ව පරාජය කර නැති කර දැමීමේ අපේක්ෂාවෙන් විය යුතුයි. එසේ නැත්නම් වෙනත් සැඟවුණු අරමුණකින් විය යුතුයි. අරමුණ පළමුවැන්න වීනම් මහ බැංකුවේ සූදානම මීට වඩා ඉහළ මට්ටමක තිබිය යුතුයි. එහෙත්, මහ බැංකුවට වයි කණ්ඩායම තලා පෙළා දැමීමේ උවමනාවක් තිබුණු බවක් පැහැදිලිව පෙනෙන්න තිබුණේ නැහැ. යම් හෙයකින් එවැනි උවමනාවක් වීනම් ඒ වෙනුවට ඇත්තටම සිදු වුනේ මහ බැංකුව විසින් ඉල්ලන් කෑමක් පමණයි. 

මෙම හමුවේදී කුමක් සිදු වුවද වයි කණ්ඩායමේ පැත්තෙන් එය ඔවුන්ගේ ජයග්‍රහණයක්. ඒ නිසා, අදාළ රැස්වීම සඳහා ඔවුන් යන විටම ඔවුන් ජයග්‍රාහකයින් වී අවසානයි. ඔවුන් දෙස බලාගෙන සිටින, ඔවුන්ට වැදගත් පිරිසට තාක්ෂණික පැහැදිලි කිරීම් තේරෙන්නේ නැහැ. ඔවුන් බලා සිටින්නේ තමන්ගේ නියෝජිතයින් බය නැතුව මහ බැංකුවෙන් ගේම ඉල්ලුවාද කියන එක පමණයි. දැන් මේ කණ්ඩායම අදාළ සාකච්ඡාවේ තමන්ට අවශ්‍ය කොටස් පෙන්වමින් සිටින්නේ මෙම ඉලක්ක කණ්ඩායමටයි. වයි කණ්ඩායම මහ බැංකුවට යන්නේ තමන්ගේ ප්‍රශ්න වලට මහ බැංකුවට පිළිතුරු නැති බව ඔවුන්ගේ ඉලක්ක කණ්ඩායමට පෙන්වීමේ අරමුණින් මිසක් එම ප්‍රශ්න වලට ඇත්තටම මහ බැංකුවෙන් උත්තර ලබා ගැනීමේ අරමුණෙන් නෙමෙයි.

අනෙක් පැත්තෙන් මහ බැංකුව මේ පිරිසට ආරාධනා කරන්නේ ඔවුන් තමන් කියන දේ අහගෙන පූස් පැටවු මෙන් කරබාගෙන ආපසු යයි කියා හිතාගෙන වෙන්න බැහැ. මහ බැංකු අධිපතිවරයා ඒ තරම්ම නොදරුවෙක් වෙන්න විදිහක් නැහැ. මහ බැංකුව වයි කණ්ඩායමට මහ බැංකුවට ආරාධනා කරන්නේ තමන් බය නැතුව ඔවුන්ට සම්මුඛ වූ බව පෙන්වන්න. හැබැයි එහෙම පෙන්නන්න යන්නේ වයි කණ්ඩායමේ ඉලක්ක පිරිසට නෙමෙයි. වෙනම පිරිසකට. ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකුවට ඒ වැඩේවත් හරියට කරගන්න පුළුවන් වුනාද කියන එකයි. මහ බැංකුව විසින් අදාළ රැස්වීමේ තමන්ට අවශ්‍ය කොටස් නැවත ප්‍රචාරය කරන විදිහෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් මේ රැස්වීම තමන්ගේ ජයග්‍රහණයක් සේ සලකන බවයි. මහ බැංකුව විසින් වැඩේ වරද්දාගත් බව මහ බැංකුව තවමත් හරියටම තේරුම් අරගෙන නැහැ. 

මහ බැංකුව කළේ වවුලාගේ මගුල් ගෙදර යාම කෙසේ වුවත් වවුලාට තමන්ගේ මගුල් ගෙදරට ආරාධනා කරන එකයි. වවුල්ලු මගුල් ගෙදර ඇවිත් වහලේ එල්ලී සිටිනවා මිසක් මේසෙට වාඩි වෙන්නේ නැහැ. ඒක කලින් තේරුම් ගන්න බැරි වුන එක මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් නෙමෙයි. වයි කණ්ඩායම මහ බැංකුවේ සම්මත අනුව පිළිවෙලකට හැසිරෙන්නේ නැහැ. නමුත්, සභාව හරියට පාලනය කර ගත නොහැකි වීමත් මහ බැංකුවේම අඩුපාඩුවක්. 

කණ්ඩායම විශාල වීම නිදහසට කාරණයක් නෙමෙයි. මහ බැංකුව පැත්තෙත් ඒ තරමේම කණ්ඩායමක් ඉන්නවා. නමුත්, ඒ අය අතරින් කටක් අරින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරිය පමණයි. එය ආයතනික ධුරාවරියක් ඇතුළේ ඉන්න පිරිසක් හා කණ්ඩායමක් අතර සාකච්ඡාවකදී ඇති විය හැකි තත්ත්වයක්. වයි කණ්ඩායමේ හැමෝම සමානයි. ස්වාධීනයි. මහ බැංකු කණ්ඩායම එහෙම එකක් නෙමෙයි. 

වයි කණ්ඩායමේ පිරිස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ද කියා ඇසීමෙන් මහ බැංකු අධිපති වැඩේ පටන් ගනිද්දීම අවුලක් හදාගන්නවා. හැබැයි දෙපාර්ශ්වය අතර මුලින්ම ආතතියක් ඇති වෙන්නේ මුලින්ම තමන්ව හඳුන්වා දුන් නීතිඥවරියගේ ප්‍රකාශයක් නිසා. ඇය තමන්ගේ පාර්ශ්වයට වාසිදායක බොරුවක් කියලා මහ බැංකු අධිපති එම බොරුව පෙන්වා දෙන්න යද්දී ස්ථාවර දෙකක වෙනසක් ලෙස හඳුන්වමින් එම බොරුව යට ගහන්න හදනවා. මෙය වාමාංශික කණ්ඩායම් වල සාමාන්‍ය උපක්‍රමයක්.

"හරකෙකුට කකුල් හතරක් තියෙනවා" කියන එකත් "හරකෙකුට තියෙන්නේ කකුල් තුනයි" කියන එකත් එකම සංසිද්ධිය දැකිය හැකි වෙනස් ආකාර දෙකක් නෙමෙයි. කකුලක් කැඩුණු හරකෙක්ව පෙන්නන්න පුළුවන් වුනා කියලා දෙවැනි ප්‍රවාදය පළමු ප්‍රවාදය තරමටම නිවැරදි එකක් වෙන්නේ නැහැ. නමුත්, වාමාංශික අදහස් දරන ඇතැම් අය වෙළඳපොළ වැනි දේ ගැන කතා කරද්දී පෙන්වන්න හදන්නේ කකුල් තුනේ හරක් කියන එකත් කකුල් හතරේ හරක් වගේම එක සමාන විය හැකියාවක් කියලා. සමහර වෙලාවට ඔය කතාව දාර්ශනික විදිහට කියනවා. "පරිණාමයේදී හරක් කකුල් හතරක් නැතිව කකුල් තුනක් තියෙන සත්තු විදිහට පරිණාමය විය හැකිව තිබුණා" වගේ කතා. 

මෙතැනදීත් වෙන්නේ ඔය වගේ දෙයක්. මහ බැංකුවට කතා කරලා පස් දෙනෙක්ට එන්න ඉල්ලලා තියෙනවා. මහ බැංකුව ඊට අවස්ථාව දුන් පසු එය ප්‍රතික්ෂේප කර තියෙනවා. මහ බැංකුවට එන දුරකථන ඇමතුම් සියල්ල පටිගත වෙනවා. මහ බැංකු අධිපති කතා කළේ සාක්කි අතේ තියාගෙන. පසුව වයි කණ්ඩායමේ අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා මහ බැංකු අධිපති නිවැරදි බව තහවුරු කළා. 

කොහොම වුනත්, ඉන් පසුව වැඩේ ඇනුවේ මහ බැංකු අධිපතිවරයා. සාකච්ඡාව අර්ථසාධක අරමුදල ගැන නිසා එයට සහභාගී විය යුත්තේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන පිරිසක්. එවැන්නෙක් එක්කෝ අරමුදලේ සාමාජිකයෙක් විය යුතුයි. එහෙම නැත්නම් අරමුදලේ සාමාජිකයින්ගේ නියෝජිතයෙක් විය යුතුයි. ඔය දෙකම වෙන්න අවශ්‍ය නැහැ. මහ බැංකු අධිපති විසින් ඇසිය යුතුව තිබුණු නිවැරදි ප්‍රශ්නය "ඔබ මෙහි ඇවිත් තියෙන්නේ අරමුදලේ සාමාජිකයෙක් ලෙසද නැත්නම් ඔවුන්ගේ නියෝජිතයෙක් ලෙසද?" කියන එකයි. ඇවිත් තියෙන්නේ නියෝජිතයෙක් විදිහටනම් සාමාජිකයෙක්ද නැද්ද කියන එක අදාළ නැහැ. අනෙක් අතට මේක ප්‍රශ්නයක්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුව තිබුණේ රැස්වීමට කලින් නම් ලැයිස්තුව අරගෙන ආරාධනා කරන්න කලින්. ආරාධනා කරලා රැස්වීමට ආවට පස්සේ ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ආචාර ධාර්මිකව වුනත් නිවැරදි නැහැ. 

ඇත්තටම හඳුන්වා දීමේදී ඔය වගේ දෙයක් අහපු එකේ වුනත් විශාල වැරැද්දක් නැහැ. වැරැද්ද මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී යම් ආතතියක් ඇති වීමෙන් පසුවද දිගින් දිගටම ඔය පස්සේ පන්නපු එක. 

ඊට පස්සේ වුනත් මහ බැංකු අධිපතිවරයා විසින් තමන් විසින්ම යෝජනා කළ නීති කඩනවා. වයි කණ්ඩායමට මුලින්ම දෙන්න පොරොන්දු වූ මිනිත්තු පහළොව ගන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ කාලය අරගෙන ඔවුන් කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් බව ඇත්ත. නමුත් ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. කියන මගුලක් කියන්න දීලා ඉවසිල්ලෙන් බලා ඉඳලා තමන්ගේ මිනිත්තු පහළොව ගත්තානම් අවුලක් වෙන්නේ නැහැ. ඊටත් වඩා සාර්ථක මහ බැංකුව විසින් කලින්ම කෙටි ප්‍රසන්ටේෂන් එකක් කරලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඉඩ දුන්නානම්. රැස්වීම මාළු කඩයක් කළේ වයි කණ්ඩායම වුනත් එය එහෙම වීමට මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීමත් හේතු වුනා. 

මහ බැංකු අධිපතිවරයා විසින් වයි කණ්ඩායම විසින් ඇසූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දුන්නා. වයි කණ්ඩායම රැස්වීම එක ගාලගෝට්ටියක් කරන අවු අස්සේ "මතු ප්‍රයෝජනය" ගැන හිතලා තමන්ට කියන්න අවශ්‍ය දේවල් ටික මහ බැංකු අධිපතිවරයා විසින් කොහෙන් හෝ ඔබා ගත්තත් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ අහුකොන් ඉතුරු කරලා. පහසුවෙන් පිළිතුරු දිය හැකිව තිබුණු ප්‍රශ්න ඒ විදිහට මග හැරියේ ඇයි කියන එක පැහැදිලි නැහැ. 

වයි කණ්ඩායම විසින් දිගින් දිගටම අහපු ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ සේවක අර්ථසාධක අරමුදලට සිදුවෙන පාඩුව හරියටම කීයද කියන එක. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ කුමක් හෝ පිළිතුරක්. ඒ පිළිතුර කීය වුනත් පිළිතුර ලැබෙන විටම වයි කණ්ඩායම දිනලා. ඊට පස්සේ ඔවුන්ගේ සටන් පාඨය වෙන්නේ "මහ බැංකු අධිපති කියන විදිහටම EPF එකේ පාඩුව ___ක්" කියන එක. මම හිතන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් පිළිතුරක් නොදී දිගින් දිගටම මග හැරියේ මේ හේතුව නිසා.

රැස්වීම දෙන කොටම ඔය ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වන බව මහ බැංකු අධිපතිවරයා දැනගන්න ඕනෑ. සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වෙන බව මේ වෙද්දී කවුරුත් දන්නා දෙයක්. හරියටම නොදන්නේ ගාණ කීයද කියන එකයි. මේ සම්බන්ධව මහ බැංකුවේ ඇස්තමේන්තුවක් තිබෙනවා. නමුත්, මහ බැංකු අධිපතිවරයා කෙලින් කට ඇරලා ඒ ගණන කිවුවේ නැහැ. ඊට පස්සේ හර්ෂ ද සිල්වා ඔය ප්‍රශ්නයම අහද්දීනම් පිළිතුරු දී තිබෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලට වෙන පාඩුව වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඔවුන් විසින් නියෝජනය කරන හා නොකරන විශාල පිරිසකගේ ප්‍රශ්නයක්. ඒ පිරිස අතර ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක වන සජබ හා ජාජබ පිරිස් වගේම පක්ෂයකට ලොකු බැඳීමක් නැති අයත් ඉන්නවා. මහ බැංකු අධිපතිට ඒ සියල්ලන් වෙනුවෙන් කෙළින් පිළිතුරක් දිය හැකිව තිබුණා. 

දැන්නම් මේ පිළිතුර ඒ තරම් වැදගත් නැහැ. තව වැඩිම වුනොත් සති දෙකක් යද්දී ප්‍රශ්නයට පිළිතුර වෙළඳපොළ විසින්ම ලබා දෙයි. එම ඇස්තමේන්තුව කිසිසේත්ම වෙරිටේ රිසර්ච් එකේ 37% හෝ 47% තරමේ එකක් විය නොහැකි වුවත් මහ බැංකුවේ 4.8% ඉක්මවන එකක් වෙන්න බැරිකමක් නැහැ. ඒ එක්කම දදේනියෙන් 0.5% ප්‍රශ්නයටත් පිළිතුරු ලැබෙනවා. මම හිතන්නේ ඒ ප්‍රශ්නයනම් අඩු වශයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් තේරුම් ගත්තේවත් නැහැ. ප්‍රශ්නය හෝ තේරුම් ගන්නනම් මහ බැංකුව විසින් වයි කණ්ඩායමේ ෆේස්බුක් පෝස්ට් කලින් බලලා කියන දේ ගැන තේරුම් ගත යුතුව තිබුණා. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ තමන්ට අවශ්‍ය පිළිතුර ලබා ගන්න මිසක් ප්‍රශ්නය පැහැදිලි කරන්න නොවූ නිසා ඔවුන් ඒ සඳහා මහන්සි වුනේ නැහැ. ඒකත් මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් ඔවුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ මොකාටද කියන එක මහ බැංකුව විසින් තේරුම් ගත යුතුව තිබුණා. 

මිස් ඉන්වොයිසින් කතාවටනම් මහ බැංකු අධිපතිවරයා සෘජුව හා නිරවුල්ව පිළිතුරු දුන්නා. ඒ සඳහා ඔහු කලින් සූදානම් වෙලයි සිටියේ. නමුත් මේ ප්‍රශ්නය වයි කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ ප්‍රශ්නයක් මිසක් කණ්ඩායමේ පොදු ප්‍රශ්නයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙද්දී වුනත් පහසුවෙන් පිළිතුරු දිය හැකි වූ පොඩි කොණක් ඉතිරි කරගත්තා. 

රටක මහ බැංකු අධිපතිවරයෙක් කිසිසේත්ම මේ විදිහට මේ වගේ කණ්ඩායමක් හමු විය යුතු නැහැ. නමුත් ඒ මහ බැංකු අධිපතිවරයා රටේ මුදල් ප්‍රතිපත්ති තීරකයා පමණක් ලෙස සැලකුවොත්. ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේද භාරකරුවෙක්. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවෙකුට මේ වගේ අවස්ථාවක එහි සාමාජිකයින්ගෙන් එන මේ වගේ ඉල්ලීමක් අහක දමන්න බැහැ. ඔය ඔලු දෙකේ ප්‍රශ්නය නිසාම, මහ බැංකු අධිපතිවරයාට මේ කණ්ඩායම මග හරින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු මහ බැංකුවට සම්බන්ධ නැති වෙනම පුද්ගලයෙක්නම් මේ වගේ වෙලාවක කරන්න වෙන දෙය ඉතාම පැහැදිලියි. 30% බද්ද ගෙවන එක සාමාජිකයින්ට පාඩුයි. ණය ප්‍රතිව්‍යුහගත කරන එක ඊට වඩා ලාබයි. ඒ අනුව, මහ බැංකු අධිපතිගේ පිළිතුර නිවැරදියි සහ පැහැදිලියි. නමුත් මෙහි තියෙන අවුල සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුට තවත් ඔලුවක් තිබීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම හදන්න ඒ අනෙක් ඔලුව සම්බන්ධ වෙනවා. වයි කණ්ඩායමේ වගේම තවත් අයගේ ප්‍රශ්නය තිබෙන්නේ මෙතැන. මම හිතන්නේ වයි කණ්ඩායමෙන් පිටත වෙනත් කණ්ඩායම් මේ ප්‍රශ්නය වඩා නිරවුල්ව අහනවා. එහෙත් මේ ප්‍රශ්නයට මහ බැංකුව විසින් නිසි පිළිතුරක් දී නැහැ. සමහර විට අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීම් වල අවශ්‍ය පිළිතුර තිබෙනවා වෙන්න පුළුවන්. 

නොගෙවූ බදු වගේ අනෙකුත් දේවල්නම් කිසිසේත්ම මහ බැංකුවට අදාළ නැති දේවල්. වයි කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම හරහා මහ බැංකු අධිපති විසින් උත්සාහ කළේ මහ බැංකුවට අදාළ නොවන වෙනත් දේවල් එම කණ්ඩායමේ උදවුවෙන් උලුප්පවන එකද?

මහ බැංකු අධිපතිට තව වසර පහක පමණ කාලයක් තියෙනවා. නමුත්, ඊට කලින්, ඉතා ඉක්මණින් ප්‍රධාන මැතිවරණ එනවා. වයි කණ්ඩායම ඇතුළේ පෙසප නියෝජනය වුනත් වයි කණ්ඩායම පෙසප නෙමෙයි. ඒ වගේම පෙසප මැතිවරණයකදී ආණ්ඩු බලය ගන්නෙත් නැහැ. ආණ්ඩු බලය හා හැක්කේ පොහොට්ටු-එජාප, සජබ හෝ ජවිපෙ/ජාජබ යන කඳුවුරු තුනෙන් එකකට. යම් හෙයකින් ආණ්ඩුව මාරු වුනොත්, දැන් ආණ්ඩුවේ හා විපක්ෂයේ භූමිකාත් මාරු වෙනවා. පත්වන කවර හෝ ආණ්ඩුවකට ආර්ථිකය ස්ථායීව පවත්වා ගැනීමේ බරට කර ගහන්න වෙනවා. එවිට මහ බැංකුවට හිටගන්න වෙන්නේ කවුරු හෝ බලයේ ඉන්න ආණ්ඩුවේ පැත්තේ. ආණ්ඩුව වෙනස් වී වෙනත් කණ්ඩායමක් බලයට ආවොත් දැන් විපක්ෂයේ ඉඳිමින් ආණ්ඩුවට කරන්න කියන දේවල් කිරීමේ බර වැටෙන්නේ එම කණ්ඩායම මත. ඒ වෙනුවෙන් දිගටම පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙන්නේ වයි කණ්ඩායම වගේ කණ්ඩායම් වලට. 

මහ බැංකු අධිපති විසින් ගොඩක් දුර බලා ගේමක් ගැහුවාද? එහෙම නැත්නම් දුර නොබලා ගේමක් ගසා ඇන ගත්තාද? පසුගිය කාලයේ ඔහුගේ කාර්ය සාධනය අනුව, A- එකක් නොව A එකක්ම ලබන්නට වුවත් ඔහු සුදුසුයි. එහෙත්, මහ බැංකු අධිපතිට එසේ හොඳින් ක්‍රීඩා කළ හැක්කේ තමන්ගේ පිට්ටනිය තුළයි. පිට්ටනියේ සීමාවෙන් ඔබ්බේදී තමන්ට විශේෂ වාසියක් නැති බව ඔහු අමතක නොකළ යුතුයි.

Monday, August 28, 2023

බැඳුම්කර කූපන් පොලිය EPF ප්‍රතිලාභ වෙන හැටි...

මෙය භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික වල සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ දක්වා කරුණු කිහිපයක් සම්බන්ධව තාක්ෂනික පැහැදිලි කිරීමක්. ඒ හැර විග්‍රහයන් කිසිවක් නැහැ.

භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වාර්ෂිකව කූපන් පොලී ගෙවනවා. කූපන් පොලිය කියන්නේ බැඳුම්කරයේ "මුහුණත වටිනාකමින්" ප්‍රතිශතයක් ලෙස වාර්ෂිකව ගෙවන පොලී මුදල. කූපන් පොලී ගෙවන ක්‍රමය ගැන භාණ්ඩාගාර බැඳුම්කරයක් මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉන් පසු බැඳුම්කරය කල් පිරෙන තුරු එය වෙනස් වෙන්නේ නැහැ. 

දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහ හැරුණු විට මේ වන විට නිකුත් කර ඇති හා කල් නොපිරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 63ක් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග 63ම නිකුත් කර තිබෙන්නේ ස්ථිර වාර්ෂික කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම කූපන් පොලිය 5% සිට 22.5% දක්වා පරාසයක විචලනය වෙනවා.

මීට අමතරව දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහක්ද දැන් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග පහ නිකුත් කර තිබෙන්නේ විචල්‍ය කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම පොලිය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මත වෙනස් වෙන, එම පොලී අනුපාතයට වඩා 1%කින් වැඩි කූපන් පොලියක්. යෝජිත භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවේදී ලබා දෙන අලුත් භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 12ක් සඳහා 2025 වසර අවසන් වන තුරු 12%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ඉන් පසුව කල් පිරෙන තුරු 9%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ලබා දීමට නියමිතයි.

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය මෙම කූපන් පොලී අනුපාතයමද?

කිසියම් භාණ්ඩාගාර බිල්පතක් එහි මුහුණත වටිනාකම ගෙවා මිල දී ගන්නා ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය එහි කූපන් පොලී අනුපාතයට සමානයි. එහෙත් භාණ්ඩාගාර බිල්පතක් හරියටම එහි මුහුණත වටිනාකමට අලෙවි වීම ඉතා විරල සිදුවීමක්. මේ වන විට වෙළඳපොළේ ඇති භාණ්ඩාගාර බැඳුම්කර වර්ග වල සාමාන්‍ය විකුණුම් මිල ගණන් රුපියල් 100ක මුහුණත අගයක් සඳහා රුපියල් 77.84 සිට රුපියල් 128.06 දක්වා වන පරාසයක විචලනය වෙනවා. 

මුහුණත අගයට වඩා අඩු මිලකට (අවමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට එහි කූපන් පොලිය ඉක්මවන වාර්ෂික ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, මුහුණත අගයට වඩා වැඩි මිලකට (අධිමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නේ එහි කූපන් පොලියට වඩා අඩු ප්‍රතිලාභයක්. ඒ නිසා, කූපන් පොලිය දෙස පමණක් බලා ආයෝජකයෙකුට ලැබෙන ප්‍රතිලාභ ගැන යමක් කියන්න බැහැ. 

බැඳුම්කරයක් මිල දී ගැනීමේදී ගෙවූ මුදල අනුව ලැබෙන සැබෑ ප්‍රතිලාභය ඵලදා අනුපාතය ලෙස හැඳින්වෙනවා. එය කූපන් පොලී අනුපාතය මෙන් ස්ථිර අනුපාතයක් නෙමෙයි. කූපන් පොලී අනුපාතයට වඩා අඩු හෝ වැඩි විය හැකි, ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වන අනුපාතයක්. 

පහත තිබෙන්නේ පසුගිය සතියේදී ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගන්නා අයෙකුට එසේ මිල දී ගත හැකි වූ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක තොරතුරු.

කල් පිරෙන දිනය: 2026 මාර්තු 1

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 83.07

කූපන් පොලී අනුපාතය: 5.35%

ඵලදා අනුපාතය: 13.50%


කල් පිරෙන දිනය: 2026 මැයි 15

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 117.83

කූපන් පොලී අනුපාතය: 22.50%

ඵලදා අනුපාතය: 13.77%

ඉහත භාණ්ඩාගාර බැඳුම්කර දෙකේම කල් පිරෙන්නේ ආසන්නව එකම කාලයකදීයි. ඒ කියන්නේ දැන් මුදල් ආයෝජනය කරන කෙනෙක් තමන්ගේ මුදල් හිර කරන්නේ ආසන්නව එකම කාලයකට. එහෙත්, මේ බැඳුම්කර දෙකෙන් එකක් වෙනුවෙන් 22.50%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙද්දී අනෙක් එකට ලැබෙන්නේ 5.35%ක වාර්ෂික කූපන් පොලියක් පමණයි. ඒ කියන්නේ 5.35% බැඳුම්කරයේ ආයෝජනය කරන එක 22.5% බැඳුම්කරයේ ආයෝජනය කරනවාට වඩා හොඳටම පාඩුද?

මේ දෙකෙන් ඕනෑම එකක් මිල දී ගන්න වෙන්නේ හරියටම ඒවායේ මුහුණත අගයටනම් 5.35% බැඳුම්කරය 13.77% බැඳුම්කරයට වඩා හොඳටම පාඩුයි. එහෙමනම් කිසිම කෙනෙක් 5.35% බැඳුම්කරය මිල දී ගන්න එකක් නැහැ. එහෙත්, බැඳුම්කර වල මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වන නිසා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. කූපන් පොලිය වැඩිනම් වෙළදපොළ මිලද වැඩි වෙනවා. කූපන් පොලිය අඩුනම් වෙළඳපොළ මිලද අඩු වෙනවා. ඒ නිසා, කූපන් පොලී අනුපාතය කීය වුනත්, එක සමාන කාලයකදී කල් පිරෙන බැඳුම්කර දෙකකින් ලැබෙන ප්‍රතිලාභ ආසන්නව සමානයි. ඉහත බැඳුම්කර දෙකේ ඵලදා අනුපාතික සංසන්දනය කළ විට මේ බව පැහැදිලි විය යුතුයි. 

ඉහත විස්තර කළේ, කූපන් පොලිය කීය වුනත්, වෙනස් වර්ග දෙකක බැඳුම්කර වල ප්‍රතිලාභ තුලනය වන ආකාරයයි. එහෙත්, ඉහත කී "වෙළඳපොළ මිල" නිශ්චිත මිලක් නෙමෙයි. එය ගනුදෙනුවකදී තීරණය වන මිලක්. ඒ නිසා, එකම බැඳුම්කරයම සැලකුවත්, ලැබෙන ප්‍රතිලාභය එය මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල අනුව වෙනස් වෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ (වෙන්දේසිය) සැලකුවත් එක් එක් ගැනුම්කරු විසින් තබන ලන්සුව අනුව මිල වෙනස් වෙනවා. ඒ අනුව, ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී එක් එක් ගැනුම්කරු විසින් ගෙවූ මිල ගණන් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන්නේ ගැනුම්කරුවන්ගේ ඵලදා අනුපාතික වල සාමාන්‍ය අගයක් පමණයි. එහෙත්, 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හා අදාළව මෙම තොරතුරු පසුව ප්‍රසිද්ධ වුනා. මේ ගැන අදහසක් ගැනීම සඳහා එම තොරතුරු ප්‍රයෝජනවත් වෙයි. 

අදාළ වෙන්දේසියේදී රුපියල් 100ක මුහුණත් අගයක් සඳහා රුපියල් 119.33 (ලංකා බැංකුව) සිට රුපියල් 62.62 (සෙලාන් බැංකුව) දක්වා පරාසයක ලන්සු ඉදිරිපත් වුනා. රුපියල් 90.17ට වඩා වැඩි ලන්සු පිළිගනු ලැබුවා. මේ අනුව, එක් එක් ලන්සුකරු විසින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය (එවකට ක්‍රියාත්මකව පැවති 10%ක රඳවා ගැනීමේ බද්ද කපා ගැනීමෙන් පසුව) 9.35% සිට 18.00% දක්වා පරාසයක පැතිරී තිබුණු අතර 12.5% නොඉක්මවන ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයගේ ලන්සු පිළිගැනුණේ නැහැ.

ඉහත වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් කාටත් ලැබුණේ 12.5%ක කූපන් පොලියකින් 10%ක් කපා ගැනීමෙන් පසුව 11.25%කට සමාන කූපන් පොලියක්. එහෙත්, තමන් ගෙවූ මුදල අනුව ඵලදා අනුපාතය 9.35% සිට 12.5% දක්වා වෙනස් වුනා. අදාළ තොරතුරු මේ සමඟ තිබෙන වගුවෙන් බලා ගන්න පුළුවන්. අද පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය දක්වා සෑම වෙන්දේසියකදීම සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයක්. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කොපමණද යන්න තීරණය වෙන්නේ බැඳුම්කර මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත මිස කූපන් පොලී අනුපාතිකය අනුව පමණක් නෙමෙයි. 


සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ කෙසේද?

සේවක අර්ථසාධක අරමුදල සතු අරමුදල් වලින් වැඩි කොටසක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස් ඇතුළු වෙනත් ආයෝජනද යම් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ මේ සියලු ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ මතයි. එහෙත්, එහිදී භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වල බලපෑම වඩා වැඩියි.

පහත තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ 2022 අවසානය වන විට පැවති සාමාජික ගිණුම් ශේෂ ආයෝජනය කර තිබුණු ආකාරයයි. 

සාමාජික ශේෂ එකතුව - රුපියල් බිලියන 3,380.6 (100.00%)

භාණ්ඩාගාර බැඳුම්කර - රුපියල් බිලියන 3,068.7 (90.77%)

භාණ්ඩාගාර බිල්පත් - රුපියල් බිලියන 166.7 (4.93%)

සමාගම් බැඳුම්කර - රුපියල් බිලියන 22.8 (0.67%)

ප්‍රති විකුණුම් - රුපියල් බිලියන 3.4 (0.10%)

ලැයිස්තුගත සමාගම් කොටස් - රුපියල් බිලියන 84.9 (2.51%)

ලැයිස්තුගත නැති සමාගම් කොටස් - රුපියල් බිලියන 9.6 (0.28%)

ආයෝජන එකතුව - රුපියල් බිලියන 3,356.3 (99.28%)

දැන් මේ අනුව, සාමාජික ශේෂ වලින් 99.3%ක්ම කවර හෝ ආකාරයකින් ආයෝජනය කර තිබෙන අතර 90.8%ක්ම ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. මෙහිදී, රුපියල් බිලියන 3,068.7ක මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඇතැයි යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම වෙනුවෙන් එපමණ මුදලක් වැය කර තිබෙන බවයි. එසේ මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල මුහුණත අගය රුපියල් බිලියන 3,174.4ක්. 

මේ අනුව, සාමාන්‍ය අගයයක් ලෙස, සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් 100ක මුහුණත් අගයක් තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් 96.67ක මුදලක් පමණයි. එහෙත්, මෙම භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරෙන විට ඒවායේ මුහුණත අගයම ආපසු ලැබෙනවා. මේ ගැන ලොකු අදහසක් නැති අයට අදහසක් ගන්න අවශ්‍යනම් මෙහිදී වෙන්නේ ගම් වල වෙන්දේසි සීට්ටු දමද්දී සිදුවන ආකාරයේ දෙයක්. ඒ වගේම, කූපන් පොලී ගෙවන්නේත් මුහුණත අගයට නිසා, සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වලින් ලැබෙන සැබෑ ප්‍රතිලාභය (සාමාන්‍ය අගයයක් ලෙස) කූපන් පොලී අනුපාතයට වඩා වැඩියි. 

උදාහරණයක් ලෙස රුපියල් 100ක මුහුණත අගයකට 12.00%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවානම්, එවැන්නක් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 96.67කටනම්, ලැබෙන කූපන් පොලිය පමණක් සැලකුවත් එය 12.41%ක ප්‍රතිලාභයක්. කූපන් පොලියට අමතරව, කල් පිරුණු විට අමතර රුපියල් 3.33ක ලාබයක්ද ලැබෙන නිසා මෙම ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන වාර්ෂික ප්‍රතිලාභ තීරණය වන්නේ කෙසේද?

මෙය තීරණය වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ලාභය මතයි. සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගය එහි ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභයි. මෙම ආදායමෙන් පළමුව අරමුදලේ පරිපාලන වියදම් ආවරණය කරගත යුතුයි. ඉන් පසුව, රජයට ගෙවිය යුතු බදු ගෙවිය යුතුයි. සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම සිදු කරන්නේ ඉතිරි වන ශුද්ධ ලාභය මත පදනම්වයි. මෙම අනුපාතය සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතය මත තීරණය වන්නක් වුවත්, එයට සමාන නැහැ. 

පහත තිබෙන්නේ 2020 හා 2021 වසර වලදී සේවක අර්ථසාධක අරමුදල විසින් ලැබූ ආයෝජන ආදායම් සහ එම ආයෝජන ආදායම් සාමාජික ගිණුම් වෙත බැර වූ ආකාරයයි.

2020 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.6යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 266.5යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 283.9යි 

ආදායම් බදු - රුපියල් බිලියන 39.1යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 244.9යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 227.3යි 


2021 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 342.4යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.3යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 340.7යි

ආදායම් බදු - රුපියල් බිලියන 41.7යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 299.1යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 251.8යි.

ඉහත විස්තර කර තිබෙන්නේ එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස් කරුණු හතරක්. මේ පැහැදිලි කිරීම කරන්නේ බොහෝ දෙනෙකුට මේ කරුණු හතර හතරක් බව පැහැදිලි නැති නිසයි. මෙම ලිපියේ අඩංගු වන්නේ තාක්ෂනික පැහැදිලි කිරීම් හා කරුණු පමණයි. විග්‍රහ, විශ්ලේෂණ හෝ පෞද්ගලික අදහස් කිසිවක් නැහැ. 


Thursday, July 13, 2023

තවත් අවදානම් අධිභාරයක් එකතු වෙලාද?


කාලෙකට පස්සේ අද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණා. ඊට පෙර, පසුගිය මාස හතරේම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වුණේ නැහැ. මාර්තු 13 දින පැවති අන්තිම වෙන්දේසියේදී 18% හා 22% කූපන් පොලී ගෙවන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කෙරුණා. එම වෙන්දේසියේදී අලෙවි වූ මිල ගණන් අනුව, ඵලදා අනුපාතික 29.99% හා 28.11% තරම් ඉහළ මට්ටමක පැවතුණා. 22.99%ක් ගෙවලත් 22% කූපන් බැඳුම්කරයෙන් ඉතා සුළු කොටසක් පමණයි විකිණුනේ. 

ඒ අන්තිම වෙන්දේසියට සාපේක්ෂව බැලුවොත්, මේ වන විට ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. අද වෙන්දේසියට දැම්මේ 9% හා 11% කූපන් පොලී ගෙවන බැඳුම්කර. ඒවා පිළිවෙළින් 15.74%ට හා 15.67%ට අලෙවි වුනා. ඕනෑනම් මාස හතරකට පෙර පැවති තත්ත්වය එක්ක සංසන්දනය කරලා බාගෙට බාගයක් අඩුවෙලා කියන්න පුලුවන්. හැබැයි ඔය මාස හතරේ සිදු වූ දේවල් සහ රජය හා මහ බැංකුවේ අපේක්ෂාවන් එක්ක බැලුවහම මේ අනුපාතික ඒ තරම්ම අඩු නැහැ. 

පසුගිය මාර්තු වෙද්දී උද්ධමනය තිබුණේ 50% මට්ටමටත් ඉහළින්. මේ වෙද්දී උද්ධමනය 12% දක්වා අඩු වෙලා. ඔය අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 4.5%කින් අඩු කළා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය හා අදාළ කළු පෙට්ටිය විවෘත කෙරුණා. වෙන්දේසියට දැමූ බැඳුම්කර වෙනුවෙන් ගෙවන 9% හා 11% කූපන් පොලී අනුපාතික වලින් පොලී අනුපාතික හා අදාළව මහ බැංකුවේ හා රජයේ අපේක්ෂාව තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතාගන්න අමාරු නැහැ. නමුත් වෙළඳපොළ තවමත් ඒ පොලී අනුපාතික භාර ගන්න සූදානම් නැහැ. ඒ ඇයි?

මේ කරුණට තවත් එකතු කිරීමක් විදිහට ඊයේ පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියද සාර්ථක එකක් නොවූ බව කියන්න පුළුවන්. රුපියල් බිලියන 160ක් වෙන්දේසියට දැම්මත් විකුණගන්න පුළුවන් වුනේ එයින් රුපියල් බිලියන 99.7ක් පමණයි. ඒ කෙටිකාලීන පොලී අනුපාතික 1.29%කින් ඉහළ යන්න ඉඩ දුන්නටත් පස්සේ. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කළු පෙට්ටිය ඇරුණු පෙර සතියේ දැකිය හැකි වූයේ වෙනස් තත්ත්වයක්. පසුගිය සතියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගියා. සතියකට පසුව එම හැරවුමෙන් යම් කොටසක් ආපහු හැරිලා. ඊට අමතරව ද්වීතියික වෙළඳපොළේ බැඳුම්කර වල ඵලදා අනුපාතික 9.57% ප්‍රමාණයේ අඩුවීමක් දක්වා විශාල ලෙස පහළ ගියා. අද බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ එම හැරවුමෙන් යම් කොටසක්ද ආපසු හැරී ඇති බවයි. 

සතියක් ඇතුළත මේ ආකාරයෙන් වෙළදපොළ මනෝගතීන් (market sentiment) වෙනස් වුනේ කොහොමද?

දිගුකාලීන ආයෝජන වලදී ආයෝජකයෙකු සැලකිය යුතු අවදානමකට මුහුණ දෙනවා. අවුරුදු ගණනක් ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ කවුද? එකම ආණ්ඩුව අවුරුදු විස්සක් තිහක් තියෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙද්දී ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඊට අමතරව, නොහිතන දේවල් වෙන්න පුළුවන්. කෝවිඩ්, සුනාමි එයි කියලා කලින් හිතුවේ කවුද? මේ සියලුම අවදානම් අවදානම් අධිභාරයක් විදිහට ඵලදා අනුපාතිකයට එකතු වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවදානම අවදානම් අධිභාරයක් ලෙස බැඳුම්කර ඵලදා අනුපාතික වලට එකතු වී තිබුණා. දැන් එය ඉවත් වෙලා. එහෙත් මෙය ආයෝජකයින් විසින් මුහුණ දුන් අවදානම් අධිභාරයෙන් එක් කොටසක් පමණයි. රටේ ඉදිරි දේශපාලන ප්‍රවණතා මොන වගේ වෙයිද, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ කොයි තරම් කාලයක් ඔය විදිහට යයිද වගේ දේවල් ගැන කාටවත්ම හරියටම හිතා ගන්න බැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට කොපමණ පාඩුවක් වෙයිද කියලා මගෙන් අහපු සමහර අයට මම කිවුවේ රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. මම එහෙම කිවුවේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික තිබිය හැකි මට්ටම ගැන මම හිතන දේ අනුව. මේ හා අදාළ ගණනයන් කර ගත හැකි එක්සෙල් ශීට් එකක් මම කලින් ඉදිරිපත් කළානේ. එහි ගොස් ඕනෑම අයෙකුට බලාගත හැකි පරිදි, ඉදිරි වසර 16ක කාලය තුළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 11.13% මට්ටමේ තිබුණොත් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් හෝ ලාබයක් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වුනොත් පාඩුවක් වෙනවා. 11.67%-13.15% පරාසයේ තිබුණොත් රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් වෙනවා. ඊටත් ඉහළ මට්ටමකට ගියොත් පාඩුව තවත් ඉහළ යනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තකින්ම තිබ්බත් ආයෝජනයක් කරද්දී අනාගත පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව තමන්ගේ ලාබ අලාබ වෙනස් වීමේ අවදානම ආයෝජකයෙකුට ගන්න වෙනවා. බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියක ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ මෙම අවදානම පිළිබඳ වෙළඳපොළ මනෝගතීන් මොන වගේද කියන එකයි. 

පසුගිය සතියේ වෙළඳපොළ ප්‍රතිචාර වලින් පෙනුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හිතපු තරම් කළු නැති යකෙකු ලෙස වෙළඳපොළ විසින් හඳුනාගෙන තිබුණු බවයි. ඒ අනුව, අවදානම් අධිභාරය සැලකිය යුතු ලෙස අඩු වුනා. නමුත් මේ හා අදාළ මහජන මතය පසුගිය සතිය තුළ වෙනස් වුනේ කොහොමද කියන එක කාටවත් රහසක් කියලා මම හිතන්නේ නැහැ. කලින් බැංකු කඩා වැටෙන එක ගැන කිඹුල් කඳුළු හෙලපු ගොඩක් අයට එක පාරටම බැංකු වලට බර නොපැටවීම ප්‍රශ්නයක් වුනා. මේ තත්ත්වය බැංකුකරුවන් විසින් හා අනෙකුත් විභව ආයෝජකයින් විසින් තේරුම් ගන්නේ කොහොමද කියන එක අමුතුවෙන් පැහැදිලි කළ යුතුද?

අනෙක් පැත්තෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. අපේ ලිපියෙන් පෙන්වූ අඩුපාඩු ගණනාවක් නිවැරදි කර වෙරිටේ රිසර්ච් විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ඇස්තමේන්තුව හදා තිබෙන්නේද ප්‍රධානම වැරැද්ද නිවැරදි කර නොවන නිසා එම අලුත් ඇස්තමේන්තුවද වැරදි වුවත්, වෙරිටේ රිසර්ච් විසින් සේවක අර්ථසාධක අරමුදලට හා මහ බැංකුවට කරන විවේචනය ඉතාම වලංගු විවේචනයක්. සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර ආයෝජන වලින් වෙළඳපොළ සාමාන්‍ය ප්‍රතිලාභ තරමට ප්‍රතිලාභ ලබා ගන්නවාද? මේ විවේචනයට පිළිතුරු දීම මහ බැංකුවේ වැඩක්.

කොහොම වුනත්, ඔය විවේචනය ඉදිරිපත්ව තිබෙන පසුබිමක, ඒ වගේම ගණන කීය වුනත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පාඩුවක් විඳින්න වී තිබෙන පසුබිමක සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියකට ලන්සු තියද්දී කලින්ට වඩා සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. අනෙක් පැත්තෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අසු නොවුණු අනෙක් සියල්ලන්ටම අනාගතයේ තමන්ගේ ණයද ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ යම් අවදානමක් පෙනෙන්න තිබෙනවා. සතියකට කලින් අනෙක් පැත්තේ තිබුණු මහජන මතය දැන් තියෙන්නේ අනෙක් අයගේ ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියන පැත්තේ. මේ ආකාරයෙන් මහජන මතය වෙනස් වීමේ අවදානම ආයෝජකයෙක්ට නොසලකා හරින්න බැහැ. ඒ නිසා, ඒ අවදානම පොලී අනුපාතික වලට එකතු කරන්න වෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තමන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇතත් මේ යෝජනා සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය තවමත් ලැබී නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම හා පවත්වා ගැනීම සෑහෙන්න අසීරු වැඩක්. මේ අවදානම් එක්ක ඉදිරි කාලයේදී දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ අවදානම මුළුමනින්ම ඉවත් වෙන්නේ නැහැ. යම් හෙයකින් එවැන්නක් කරන්න සිදු වුනොත්, නැවත වරක් එහි බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පමණක් පටවන්න බැරි බව කාට වුනත් තේරෙනවා. ඒ නිසා, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන දේශීය හෝ විදේශ ආයෝජකයෙකුට තව දුරටත් තමන්ගේ ආයෝජනය ණය පැහැර හැරීමේ අවදානමෙන් නිදහස් ආයෝජනයක් විදිහට සලකන්න බැහැ. මේ හේතුව නිසා, රාජ්‍ය සුරැකුම්පත් ණය පොලී මත කිසියම් ස්ථිර අවදානම් අධිභාරයක් එකතු වී තිබෙනවා වෙන්න පුළුවන්.

මෙයින් කියන්නේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු නොවන බව නෙමෙයි. පොලී අනුපාතික අඩු නොවේනම් මහ බැංකුවට කළ හැකි තවත් විවිධ දේ තිබෙනවා. නමුත් පොලී අනුපාතික ගොඩක්ම පහළට ගන්න එක ලේසි නැහැ. උද්ධමනය හා නාමික පොලී අනුපාතික අතර දිගුකාලීනව වුවත් අර්බුදයට පෙර නොතිබුණු පරතරයක් ඉතිරි වෙන්න පුළුවන්. 

Monday, July 10, 2023

ට්‍රිලියන 12 ඇස්තමේන්තුව වැරදි ඇයි?


කලින් සටහනෙන් පැහැදිලි කළේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට විය හැකි පාඩුව මහ බැංකුව විසින් හා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණන් බලා ඇති ආකාරයයි. මෙම ඇස්තමේන්තු වෙනස් වීමට ප්‍රධාන ලෙසම හේතු වී තිබෙන්නේ යොදාගෙන තිබෙන අනාගත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතික වෙනස් වීමයි. 

මහ බැංකුව විසින් 9.4%ක ප්‍රතිලාභ අනුපාතිකයකට සාපේක්ෂව පාඩුව ගණන් හදා ඇති අතර වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 13.52%ක ප්‍රතිලාභ අනුපාතිකයක් යොදා ගෙන තිබෙනවා. මේ ගණන් දෙකෙක් එකකවත් පදනම පැහැදිලිව පෙන්වා දී නැහැ.  වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණනය සිදු කරද්දී බදු වල බලපෑම සලකා බැලීම මග හැරී තිබෙනවා විය හැකියි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52%ක ප්‍රතිලාභ ලැබීමටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. බදු අනුපාතය 30%නම්, මේ සඳහා 19.31%ක සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් පවත්වා ගත යුතු වෙනවා. මෙම ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගණන්.

කෙසේ වුවද, ඉහත අනුපාතය 13.52% සේ සැලකුවද අදාළ ගණනය කිරීම් කර ඇති ආකාරය වැරදියි. මෙම වැරදි පෙන්වා දීම අපහසු වැඩක් නෙමෙයි.

පසුගිය සටහනෙන් පෙන්වා ඇති පරිදි, සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන රුපියල් ට්‍රිලියන 25.7 දක්වා වර්ධනය විය හැක්කේ රුපියල් 3,378ක මුදලක් එක දිගට වසර 16ක් 13.52%ක වේගයෙන් වර්ධනය වීම මගිනුයි. රුපියල් ට්‍රිලියන 12.7ක පාඩුව ගණන් හදා තිබෙන්නේ ඉහත උපකල්පනය මත පදනම්වයි.

රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි.

නමුත්, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව අදාළ මුදල් වසර 16කට හිර වෙන්නේ නැහැ. 2038 පෙබරවාරි 15 වන විට මුළු මුදලම ආපසු ලැබෙනවා. ඒ කියන්නේ උපරිම වශයෙන් සල්ලි හිරවෙන්නේ වසර 14කුත් මාස 6.5ක කාලයක් පමණයි.

අපි රුපියල් බිලියන 1000ක මුදලක් ගැන හිතුවොත් එම මුදල වෙනුවෙන් පහත ආකාරයෙන් මුදල් ආපසු ලැබෙනවා.

2027 මාර්තු 15 - රුපියල් බිලියන 83.3ක්.

2028 අප්‍රේල් 15 - රුපියල් බිලියන 83.3ක්

2029 මැයි 15 - රුපියල් බිලියන 83.3ක්

2030 ජූනි 15 - රුපියල් බිලියන 83.3ක්.

2031 ජනවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2032 පෙබරවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2033 මාර්තු 15 - රුපියල් බිලියන 83.3ක්.

2034 අප්‍රේල් 15 - රුපියල් බිලියන 83.3ක්

2035 මැයි 15 - රුපියල් බිලියන 83.3ක්

2036 ජූනි 15 - රුපියල් බිලියන 83.3ක්.

2037 ජනවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2038 පෙබරවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

මේ අනුව, වසර 3කුත් මාස 7.5ක සිට මුදල් ආපසු ලැබෙන්නට පටන් ගන්නා අතර එතැන් සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා හිරවෙන මුදල ක්‍රමයෙන් අඩු වෙනවා.

2027 මාර්තු 15 සිට- රුපියල් බිලියන 917.7යි

2028 අප්‍රේල් 15 සිට - රුපියල් බිලියන 833.3යි 

2029 මැයි 15 සිට - රුපියල් බිලියන 750යි 

2030 ජූනි 15 සිට - රුපියල් බිලියන 667.7යි 

2031 ජනවාරි 15 සිට - රුපියල් බිලියන 583.3යි 

2032 පෙබරවාරි 15 සිට - රුපියල් බිලියන 500යි 

2033 මාර්තු 15 සිට - රුපියල් බිලියන 417.7යි .

2034 අප්‍රේල් 15 සිට - රුපියල් බිලියන 333.3යි

2035 මැයි 15 සිට - රුපියල් බිලියන 250යි

2036 ජූනි 15 සිට - රුපියල් බිලියන 167.7යි

2037 ජනවාරි 15 සිට - රුපියල් බිලියන 83.3යි

2038 පෙබරවාරි 15 සිට - කිසිවක් නැත.

මේ ආකාරයෙන් මුල් මුදල 2027 මාර්තු 15 සිට කොටස් වශයෙන් ආපසු ලැබෙද්දී 2023 අගෝස්තු 15 සිට සෑම මාසයකදීම කූපන් පොලී ආපසු ලැබෙනවා. ඒ විදිහට ආපහු ලැබෙන මුදල් වසර 16ක් හිර වෙන්නේ නැහැ. නමුත් වෙරිටේ රිසර්ච් ගණනය කිරීමේ පදනම මුළු මුදල වගේම කූපන් ගෙවීම්ද වසර 16ක් යන තුරු, ඒ කියන්නේ 2039 ජූලි 31 දක්වා, හිර වෙනවා කියන එකයි. මේ අනුව, වෙරිටේ රිසර්ච් විසින් යොදාගෙන තිබෙන 13.52% ප්‍රතිලාභ උපකල්පනය යටතේම වුනත් අදාළ ඇස්තමේන්තුව වැරදියි. මේ වැරැද්ද සුළුපටු වැරැද්දක් නෙමෙයි.

අපි වසර 16ක ආයෝජන කාල රාමුවක් සලකා බැලුවොත්, වෙරිටේ රිසර්ච් විසින් අරගෙන තිබෙන විදිහටම 13.52%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ඔය අවුරුදු 16 තිස්සේම ගන්න පුළුවන් කියලත් හිතුවොත්, ඔය අතරවාරයේ කූපන් පොලී විදිහට සහ මුල් මුදලේ වාරික විදිහට අතට ලැබෙන මුදල් වෙනුවෙන් එසේ මුදල් ලැබෙන දවසේ ඉඳලා 2039 ජූලි 31 දක්වා 13.52%ක වාර්ෂික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ නිසා, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වසර 16කින් පසුව අරමුදල රුපියල් ට්‍රිලියන 13.6කට සීමා වෙන්නේ නැහැ. මොකද හිර වෙලා තිබෙන සල්ලි වලට ලැබෙන්නේ 9.1%ක ප්‍රතිලාභයක් පමණක් වුනත්, නිදහස් වෙන හැම රුපියලක් වෙනුවෙන්ම නිදහස් වූ මොහොතේ සිට 13.52%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, වසර 16ක් යද්දී අරමුදල රුපියල් ට්‍රිලියන 22.96 ඉක්මවා වර්ධනය වෙනවා. ඒ අනුව, පාඩුව 10.6%ක් පමණයි. මෙය මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙන 4.8%ක පාඩුව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුනත්, වෙරිටේ රිසර්ච් විසින් කියා තිබෙන 47%ක පාඩුවට කිට්ටු වෙන්නෙවත් නැහැ.

මේ ගණන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදා බලන්න පුළුවන්. මෙහි රොකට් සයන්ස් එකක් නැහැ. අපි 13.52% කියන අගය නිවැරදියි කියා සැලකුවත් රුපියල් ට්‍රිලියන 12.1ක පාඩුවක් වෙලා කියන එක පැහැදිලි ලෙසම වැරදියි. මේ වගේ වැරැද්දක් අතපසු වීමකින් හෝ සිදු වී තිබෙන පසුබිමක 13.52% ප්‍රතිලාභ අනුපාතය ගණන් හදද්දී එය නිවැරදිව කළාද කියන එක පරීක්ෂාවට ලක් නොකර විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. මෙම ගණනයේදී බොහෝ විට බදු නොසලකා හැර තිබෙනවා වෙන්න පුළුවන්.

Saturday, July 8, 2023

ට්‍රිලියන 12ක පාඩුවක් වෙන හැටි!

වෙරිටේ රිසර්ච් ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක පාඩුවක් වෙනවා. කිහිප දෙනෙක්ම මේ ගැන නැවත නැවත අසා තිබුණු නිසා, මේ ඒ ගැන කරන පැහැදිලි කිරීමක්. මෙහිදී මම කරන්නේ එම ආයතනය විසින් මේ පාඩුව ගණනය කර තිබෙන ක්‍රමය ගැන පැහැදිලි කරන එක. හරියටම කිවුවොත්, එම ක්‍රමය කියා මම හිතන විදිහ. 

මම මේ ක්‍රමවේදය තේරුම් ගන්නේ නිශාන් ඩි මෙල්ගේ ඩේලි මිරර් ලිපියක තිබෙන පහත කොටස මත පදනම්වයි.

"At this 13.52% compounded rate of return, the present EPF portfolio would grow to 25.7 trillion. But at the offered average return of 9.1% the present EPF portfolio would grow to only 13.6 trillion. The difference between these two growth paths on the current balance alone, is LKR 12.1 trillion by 2038. Discounting that by 13.52% gives a present value of 1.6 trillion, which is 47% of the present value of the EPF."

ඔහු මෙම ගණනය කර තිබෙන්නේ ඒ වන විට ප්‍රසිද්ධ අවකාශයේ තිබුණු තොරතුරු මත පදනම්ව. ඉන් පසුව, අමතර තොරතුරු ප්‍රකාශයට පත් වී ඇතත්, මම ඒ අමතර තොරතුරු නොසලකා හරිනවා.

මෙවැනි ගණනය කිරීමක් කිරීම සඳහා සේවක අර්ථසාධක මුදලේ බැඳුම්කර ආයෝජන පිළිබඳ විස්තරාත්මක තොරතුරු අවශ්‍ය වුවත්, එම තොරතුරු ප්‍රසිද්ධ අවකාශයේ නැහැ. ඒ නිසා, පළමුව මේ පිළිබඳ ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔහු පහත උපකල්පන දෙක සිදු කරනවා.

- ඒ වන විට නිකුත් කළ තිබුණු බැඳුම්කර වර්ග සියල්ලෙන්ම සමානුපාතික කොටසක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති බව.

- එම ප්‍රතිශතය 2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  එම අරමුදල සතු වූ ප්‍රතිශතයට සමාන බව.

සේවක අර්ථසාධක සතුව ඇති නිශ්චිත තොරතුරු වලට ප්‍රවේශ විය නොහැකි බාහිර පර්යේෂකයෙකුට මීට වඩා හොඳ උපකල්පනයක් කළ හැකි වීයැයි මා හිතන්නේ නැහැ. මෙවැනි ගණනයකදී මා කළේද මෙයයි.

2023 මැයි 30 වන විට නිකුත් කළ තිබුණු මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032යි 

2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  සේ.අ.අරමුදල සතු වූ ප්‍රතිශතය = 36.4%

ඒ අනුව, සේ.අ.අරමුදල සතු වූ මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032*36.4% = රුපියල් බිලියන 3,288යි.

කෙසේ වුවද, ප්‍රසිද්ධ කර ඇති "පිළිතුරු" අනුව පෙනී යන්නේ මීට වඩා තරමක් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ බව සලකා මෙම ගණනය සිදු කර ඇති බවයි. එසේ නැත්නම්, ඉහත විස්තර කර තිබෙන ක්‍රමවේදය අනුව ලැබෙන පිළිතුර තරමක් අඩු එකක්. මෙම ආරම්භක ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,378කට ආසන්න එකක් විය යුතුයි. එනම්, 2.78%කින් පමණ වැඩි ඇස්තමේන්තුවක්. 

ඉන් පසුව සිදු කර තිබෙන ගණනය කිරීම එතරම් සංකීර්ණ එකක් නෙමෙයි. මෙහිදී, ඔහු පහත අවස්ථා දෙක සංසන්දනය කරනවා.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 13.52% වේගයකින් වර්ධනය වීම 

මෙම උපකල්පන දෙකෙන් පළමුවැන්න ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් පසු තත්ත්වය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. දෙවැන්න, ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් තත්ත්වය පිළිබඳ වෙරිටේ රිසර්ච් උපකල්පනයයි. ඉහත උපකල්පන මත පදනම්ව අපට වෙරිටේ රිසර්ච් පිළිතුරු ලබා ගන්නට පුළුවන්. 

1. රුපියල් 3,378*(1.091)^16 = රුපියල් බිලියන 13,610යි 

2. රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි 

වෙනස = රුපියල් බිලියන 12,083යි.

වත්කම් අඩු වන ප්‍රතිශතය = 47%යි 

අඩු වන වත්කම් ප්‍රමාණයේ අද වටිනාකම = රුපියල් බිලියන 1,589යි.

මෙම පිළිතුරු ඉහත උපුටා දක්වා ඇති කොටසේ ඇති රුපියල් ට්‍රිලියන 13.6, රුපියල් ට්‍රිලියන 25.7, රුපියල් ට්‍රිලියන 12.1, රුපියල් ට්‍රිලියන 1.6 හා 47% යන සියළුම ගණන් සමඟ සැසඳෙන බැවින් ගණනය සිදු කර ඇත්තේ මීට සමාන ආකාරයකින් බව පැහැදිලි වෙනවා. මෙහිදී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කර ඇති උපකල්පන නිවැරදිනම් ඇස්තමේන්තුද නිවැරදියි.

දැන් අපි මේ පිළිබඳව මහ බංකුව කියන දෙය දෙසත් බලමු.

මහ බැංකුව විසින් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන ප්‍රමාණය පිලිබඳව නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැහැ. ඒ නිසා, අපි මෙම අගය x ලෙස සලකමු.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වසරකට 9.1%ක සාමාන්‍ය ප්‍රතිලාභ ලැබෙන බව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් එම වර්ධනය 9.4%ක් විය යුතුව තිබුණු බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. එමෙන්ම, මෙම වෙනස වසර 15ක කාලයක් පවතිනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වත්කම් ප්‍රමාණයෙන් 4%ක අඩුවක් සිදුවීමට නියමිත බවත් මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත නොකර 14% සහන ආදායම් බද්ද වෙනුවට 30% ආදායම් බද්ද ගෙවන්නට සිදු වුවහොත් ඉහත ප්‍රතිලාභය 7.7% දක්වා අඩු වන බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මෙය ගණනය කර ගැනීම අපහසු නැහැ.

9.4%*(1-30%)/(1-14%) = 7.7%

දැන් අපට පහත අවස්ථා තුන සංසන්දනය කළ හැකියි.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 7.7% වේගයකින් වර්ධනය වීම 

3. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.4% වේගයකින් වර්ධනය වීම


ආරම්භක ආයෝජන ප්‍රමාණය x ලෙස සලකමින්ම අපි මෙම ගණනය කිරීම කරමු.

1. රුපියල් x*(1.091)^15 = රුපියල් බිලියන 3.693x 

2. රුපියල් x*(1.077)^15 = රුපියල් බිලියන 3.043x 

3. රුපියල් x*(1.094)^15 = රුපියල් බිලියන 3.8482x 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 4.04%

30% බදු මුදල ගෙවීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 20.94%

මේ අනුව, අප විසින් x ලෙස සැලකු අගය කුමක් වුවත්, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීමෙන් සිදු වන අලාභය එසේ කිරීම නිසා සිදුවන අලාභය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. 

ඉහත x අගය කොපමණද? 

මේ ගැන, මහ බැංකුව විසින් කිසිවක් සඳහන් කර නැති නිසා අපට වෙරිටේ රිසර්ච් ආයතනය මෙන්ම මෙම අගය ඇස්තමේන්තු කරන්නට සිදු වෙනවා. මේ වන විට දන්නා පරිදි ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. එම ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතු සේ සැලකුවහොත් x අගය රුපියල් බිලියන 2,818ක් පමණ විය යුතුයි. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 114ක පමණ අලාභයක් සිදු වන අතර එසේ නොකිරීමෙන් රුපියල් බිලියන 590ක අලාභයක් සිදු වෙනවා. 

මහ බැංකුවේ ගණනය කිරීම් හා ගැලපෙන ඉහත ඇස්තමේන්තුව අප විසින් ජූලි 4 දින ලිපියේ ඉදිරිපත් කළ රුපියල් බිලියන 113.9 ඇස්තමේන්තුවට සමානයි.

එක් පාඨකයෙකු විසින් සඳහන් කළ පරිදි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ණය ප්‍රතිව්‍යුහගත නොකර 30% බද්ද ගෙවීම වඩා වාසිදායක බව පෙන්වා තිබෙනවා. ඔවුන්ගේ උපකල්පන යටතේ එය එසේ වන බව පෙන්වා දිය හැකියි.

ඉදිරි වසර 16ක කාලය තුළ 13.52%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවස්‌ථාව ඇත්නම් 30%ක ඉහළ බද්දක් ගෙවීමෙන් පසුවද 11.00%ක ප්‍රතිලාභයක් ලැබිය හැකියි. එම ප්‍රතිලාභය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ලැබෙන 9.1% ප්‍රතිලාභයට වඩා වැඩි නිසා වෙරිටේ රිසර්ච් උපකල්පන යටතේ අදාළ ප්‍රකාශය නිවැරදියි. 

13.52%*(1-30%)/(1-14%) = 11.0% > 9.1%

මේ අනුව, වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තු හා මහ බැංකුවේ ඇස්තමේන්තු වෙනස් වන්නේ ඇයි කියා ඔබට පැහැදිලි විය යුතුයි. මේ ඇස්තමේන්තු දෙකම පදනම් වන්නේ උපකල්පන මතයි. එම උපකල්පන දෙකෙන් කවර උපකල්පනය නිවැරදි වේද යන්න අනාගතයට භාර දෙයක්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වෙරිටේ රිසර්ච් විසින් උපකල්පනය කර තිබෙන ඉහළ පොලී අනුපාතික දිගටම පැවතුණහොත් වසර කිහිපයකට පසු රජයට ණය ආපසු ගෙවිය නොහැකි වී විශාල ණය අර්බුදයක් ඇති වන බවයි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52ක ප්‍රතිලාභයක් ලබන්නටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලබන්නට වෙනවා. රජය විසින් එවැනි විශාල පොලියක් එක දිගට වසර 16ක් බැඳුම්කර වෙනුවෙන් ගෙවන තත්ත්වයක් යනු සිදු විය නොහැකි දෙයක් නොවුනත් භයංකර තත්ත්වයක්.

දැනටමත් බැඳුම්කර පොලී අනුපාතික මීට වඩා පහළ මට්මකට පැමිණ අවසන් නිසා මෙවැන්නක් සිදු වීමටනම් නැවත තත්ත්වය අයහපත් අතට හැරිය යුතුයි. ඊට සාපේක්ෂව, බදු වලින් පසුව 9.1% ප්‍රතිලාභයක් ලැබීම සඳහා අවශ්‍ය වන්නේ 10.58%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් පමණයි. එය දිගුකාලීනව පැවති තත්ත්වයන් අනුව ප්‍රායෝගිකව සිදු විය හැකි දෙයක්.

Thursday, July 6, 2023

EPF සල්ලි දමන්න වෙන තැන් නැද්ද?


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාව අස්සේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි වලින් විශාල කොටසක් බැඳුම්කර වල ආයෝජනය කර තිබීම ගැන කතාබහක් මතු වුනා. මේ ඊට අදාළ කරුණු කිහිපයක්.

මෙහිදී මතු වුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ බැඳුම්කර වලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි වෙනත් ආයෝජන නැද්ද කියන එක. වෙනත් රටවල, විශ්‍රාම ඉතිරි කිරීම් වලින් සැලකිය යුතු කොටසක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා.

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය එහි පාදක වර්ෂය වූ 1985 සිට 2022 අවසානය වන තෙක් වැඩි වී ඇති ප්‍රමාණය අනුව, කොළඹ කොටස් වෙළඳපොළේ දිගුකාලීන සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතිකය 12.75%ක්. ඇමරිකාවේ S&P500 කොටස් මිල දර්ශකය ඔය වර්ෂ 37 තුළ ඉහළ ගිහින් තියෙන්නේ 8.51%ක සාමාන්‍ය වර්ධන වේගයකින්. මේ අනුව, ලංකාවේ කොටස් වෙළඳපොළ ප්‍රතිලාභ 4.24%කින් වැඩියි. 

ඉහත වර්ධනය ඇමරිකාවේ එම වර්ධනයට වඩා වැඩි වුවත් මෙයට ප්‍රධාන හේතුව ලංකාවේ ඉහළ උද්ධමනය මිසක් මූර්ත ප්‍රතිලාභ නෙමෙයි. අදාළ කාලයේ ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 9.75%ක්. ඒ අනුව, කොළඹ කොටස් වෙළඳපොළ දිගුකාලීන මූර්ත ප්‍රතිලාභ 3.00%ක් පමණයි. නමුත්, ඔය කාලයේදී ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2.74%ක් පමණක් වූ නිසා කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ 5.78%ක් තරම් ඉහළයි. ලංකාවේ මෙන් දෙගුණයකට ආසන්නයි.

ඔය කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන වල මූර්ත ප්‍රතිලාභත් බොහෝ විට කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ අනුපාතයට කිට්ටුයි. ඒ නිසා, අවදානමක් අරගෙන සල්ලි කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවාට වැඩිය රාජ්‍ය සුරැකුම්පත් වලම දමන එක වාසිදායකයි. 1991-2020 වසර තිහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් සාමාන්‍ය වශයෙන් උද්ධමනයට වඩා 2.93%කින් වැඩි ප්‍රතිලාභ ගෙවලා තියෙනවා. එසේ කර තිබෙන්නේ, ප්‍රධාන වශයෙන්ම, රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලා. 

නමුත් ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන වලින් ලැබෙන මූර්ත ප්‍රතිලාභය ලංකාවේ එම ප්‍රමාණයට වඩා අඩු මිසක් වැඩි නැහැ. නමුත් කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ අඩු වශයෙන් එමෙන් දෙගුණයක්. ඒ නිසා, ඇමරිකාවේ දිගුකාලීන ආයෝජන කරන අයෙක් කොටස් වෙළඳපොළ ඉහළ අවදානමට මුහුණ දුන්නා කියලා පාඩුවක් නැහැ. ලංකාවේ තත්ත්වය වෙනස්.

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදලට කොටස් වෙළඳපොළ ආයෝජන කළ හැකි ප්‍රමාණය සීමාවන තවත් වැදගත් හේතුවක් තිබෙනවා. පසුගිය 2022 වර්ෂය අවසාන වෙද්දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ගිණුම් වල ශේෂ රුපියල් බිලියන 3,381ක්. අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,492ක්. මීට සාපේක්ෂව, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබුණු මුළු කොටස් ප්‍රමාණයේම වටිනාකම රුපියල් බිලියන 3,847ක් පමණයි. ඔය ගණනට සේවක අර්ථසාධක අරමුදලට අයිති සමාගම් කොටස් ටිකත් ඇතුළත්. 

මෙයින් කියැවෙන්නේ කුමක්ද?

සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍යනම් මුළු කොළඹ කොටස් වෙළඳපොළම සල්ලි වලට ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළෙන් හතරෙන් එකක් සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගත්තත් ඊට පස්සේ වෙන්නේ නැට්ටට ඕනෑ විදිහට බල්ලා නැටවෙනවා වගේ වැඩක්. කොටස් වෙළඳපොළ වටිනාකම, මිල ඔක්කොම තීරණය වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍ය විදිහට. ඔය වගේ තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ කොටස් වෙළඳපොළක් තවදුරටත් නැහැ කියන එක. 

කොටස් වෙළඳපොළක් වර්ධනය වෙන්නේ එහි තිබෙන තරඟය නිසා. කොටස් වෙළඳපොළක් කියන්නේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි, කාටවත් ඒකාධිකාරී බලයක් නැති තැනක්. ලංකාවේනම් ඒක තවමත් එහෙමම නැහැ. කොහොම වුනත් ඔය තරඟය නැති වෙනවා කියන්නේ එතැන ඇති කොටස් වෙළඳපොළකුත් නැහැ. ඒ නිසා, දියුණු වෙමින් පවතින සාපේක්ෂව කුඩා කොටස් වෙළඳපොළක් වන කොළඹ කොටස් වෙළඳපොලට සේවක අර්ථසාධක අරමුදල මීට වඩා ලොකුවට සම්බන්ධ වෙනවා කියන්නේ කොටස් වෙළඳපොළ වර්ධනය වෙන්න තිබෙන අවකාශය නැති වෙනවා කියන එක. ඒ හැර, සේවක අර්ථසාධක අරමුදලට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදල සතු දැවැන්ත අරමුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න වෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලම තමයි. වෙන දේවල් වල යම් සුළු කොටසක් ආයෝජනය කළ හැකි වුවත් වැඩි කොටස ආයෝජනය කළ හැකි වෙනත් තැනක් නැහැ. ඒ නිසාම සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකි ප්‍රතිලාභ කොපමණද කියන එක රජය විසින් ගෙවන පොලිය මත තීන්දු වෙනවා. රජය ණය වුනේ නැත්නම් සේවක අර්ථසාධක අරමුදල යම් ආකාරයක අමාරුවක වැටෙනවා.

රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවන පොලී අනුපාතිකය උද්ධමනය අනුව අඩු වැඩි වුනත්, උද්ධමනය ගොඩක් වැඩි වෙද්දී රජය ඒ තරමටම පොලී අනුපාතික වැඩි කරන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යන හැම අවස්ථාවකම වගේ සේවක අර්ථසාධක අරමුදලේ මූර්ත ප්‍රතිලාභ පහළ යනවා. හොඳම උදාහරණය පසුගිය අවුරුද්ද. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 46% වගේ මට්ටමකට ගියත් පොලී අනුපාතික පවත්වා ගනු ලැබුනේ ඊට ගොඩක් පහළින්. 

අපි හිතමු උද්ධමනය 46%ක් වෙද්දී රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර පොලිය 50% කළා කියලා. යම් හෙයකින් රජය විසින් පොලී අනුපාතික උද්ධමනය හා ගලපමින් එපමණ වැඩි කළත් සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට එහි වාසිය ගන්න බැහැ. මොකද අරමුදල් වලින් විශාල කොටසක් ඒ වන විටත් දිගුකාලීන බැඳුම්කර වල ආයෝජනය කරලා නිසා ඒවා කල් පිරෙන තුරු සල්ලි අතට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, අලුතෙන් එකතු වන සාමාජික මුදල් වගේ යම් අරමුදල් ප්‍රමාණයක් පමණයි ඔය ඉහළ පොලියට ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ.

පසුගිය අවුරුද්දී 22.5% දක්වා වන කූපන් පොලී යටතේ බැඳුම්කර නිකුත් කළ බව අපි දන්නවනේ. නමුත්, 20%ට වඩා වැඩි කූපන් පොලියකට නිකුත් කරපු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 762ක් පමණයි. නිකුත් කරන බැඳුම්කර සියල්ල සේවක අර්ථසාධක අරමුදලට තනියම මිල දී ගන්න බැහැ. ඒ සඳහා අනෙක් බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවක් එක්ක තරඟ කළ යුතුයි. එහෙම තරඟ කරලා ඔය ගොඩෙන් තුනෙන් පංගුවක් පමණ මිල දී ගත්තත් අරමුදලේ මුළු වත්කම් වලින් 10%ක්වත් ආයෝජනය කරන්න වෙන්නේ නැහැ. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න යද්දී මතුවෙන ප්‍රශ්නය මෙහිදීත් මතු වෙනවා. ඔය හේතුව නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියත් සමස්තයක් ලෙස සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන්නේ සුළු වශයෙන්. 

හැබැයි අනෙක් පැත්තට ඕකේ වාසියත් තියෙනවා. උද්ධමනය අඩු වෙලා පොලී අඩු වෙද්දී ඊට අනුරූපව අරමුදලේ ප්‍රතිලාභ අඩු වෙන්නේ නැහැ. මොකද එම පොලී අඩු වීමේ බලපෑම තියෙන්නේ අලුතෙන් ආයෝජනය කරන අරමුදල් කොටසට පමණයි.

මේ හේතුව නිසා වෙළඳපොළ පොලී අනුපාතික අඩු වුනත්, වැඩි වුනත් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යද්දී අරමුදලට ලැබෙන්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු ප්‍රතිලාභයක්. පොලී අනුපාතික පහළ යද්දී අරමුදලට ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරලා ලැබිය හැකි ප්‍රතිලාභ මේ ආකාරයෙන් සීමා වීමට, අනෙක් හේතු අතර, අරමුදලේ විශාලත්වය ප්‍රධාන හේතුවක් බව පැහැදිලි ඇති. අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය 2022 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.5%ක්. පෙර අවුරුදු වල ඔය අගය තවත් වැඩියි. කොටස් වෙළඳපොළ මුළු වටිනාකමින් 90.8%ක්. 2018-2022 වසර පහ ඇතුළත කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු වූ මුළු කොටස් ප්‍රමාණය (නැවත නැවත ගනුදෙනු වූ කොටස් සහ සේවක අර්ථසාධක අරමුදලේම ගනුදෙනුද ඇතුළත්ව) මෙන් 133%ක්. පසුගිය වසරේ දායක මුදල් හා ආයෝජන ආදායම් වලින් එකතු වූ මුදල එම වසරේ රජය විසින් එකතු කරගත් මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 89.3%කට සමාන මුදලක්. ප්‍රායෝගිකව මේ වගේ දැවැන්ත අරමුදලක වත්කම් වලින් වැඩි කොටසක් ආයෝජනය කරන්න වෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලම තමයි.

සේවක අර්ථසාධක අරමුදලට සාපේක්ෂව කුඩා වෙනත් විශ්‍රාම වැටුප් අරමුදල් වලට ඔය ප්‍රශ්නය නැහැ. හරියටම සීමාව දන්නේ නැතත් කිසියම් අවම සේවක පිරිසක් ඉන්න විශාල ආයතයකට එම ආයතනයේ සේවකයින් වෙනුවෙන් තමන් විසින්ම සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කරන්න පුළුවන්. පෞද්ගලිකව මම සේවය කර තිබෙන ආයතන වලින් දෙකක්ම ඒ විදිහට එම ආයතන විසින්ම අර්ථසාධක අරමුදල් කළමනාකරණය කළා. මම හිතන්නේ අඩු වශයෙන් මෙවැනි අරමුදල් පණහක්වත් තිබෙනවා කියලයි. 

රාජ්‍ය අංශයේම ලංකා බැංකුව, මහජන බැංකුව, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් ආදී ආයතන මෙන්ම මහ බැංකුව විසින්ද  එවැනි ආයතන වල සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් තමන් විසින්ම වෙනම කළමනාකරණය කර ගන්නවා. මගේ අදහස ජෝන් කීල්ස්, හේලීස් වැනි පෞද්ගලික සමාගම් සතුවද ඔවුන්ගේම විශ්‍රාම වැටුප් අරමුදල් තිබෙනවා කියන එකයි. මම වැරදි වෙන්න පුළුවන්. සේවක අර්ථසාධක අරමුදලට වගේම මේ අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල් වලටද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බලපානවා.

ඔය වගේ සාපේක්ෂව කුඩා විශ්‍රාම වැටුප් අරමුදලකට සේවක අර්ථසාධක අරමුදල විසින් නොගන්නා ආකාරයේ අවදානම් ගන්න පුළුවන්. එසේ කරමින් වැඩි ප්‍රතිලාභ ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි එසේ කිරීමෙන් පාඩු වීමේ අවදානමකුත් තිබෙනවා. හරිනම් සේවක අර්ථසාධක අරමුදල විසින් මෙවැනි වෙනත් අරමුදල් වල ප්‍රතිලාභ හා සසඳමින් තමන්ගේ කාර්යක්ෂමතාවය මැන බැලිය යුතු අතර එය පාරදෘශ්‍ය ආකාරයකින් කළ යුතුයි. ඇතැම් විට, මම දන්නේ නැතත්, එවැන්නක් වෙනවා විය හැකියි. 

Monday, July 3, 2023

භාණ්ඩාගාර බැඳුම්කර අයිති කාටද?

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් හැර අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකළ බව දැන් අප සියල්ලන්ම දන්නා කරුණක්. පහත තිබෙන්නේ 2022 වසර අවසානයේදී භාණ්ඩාගාර බැඳුම්කර වල අයිතිය බෙදී ගොස් තිබුණු ආකාරයයි. පසුගිය මාස හය තුළ මෙම සංයුතියේ විශාල වෙනසක් වී තිබීමේ ඉඩකඩක් නැහැ.

මහ බැංකුව - රුපියල් බිලියන 22යි (0.3%)

බලපත්‍රලාභී වාණිජ බැංකු - රුපියල් බිලියන 3,116යි (35.7%)

බලපත්‍රලාභී විශේෂිත බැංකු - රුපියල් බිලියන 753යි (8.6%)

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් - රුපියල් බිලියන 11යි (0.1%)

සංස්ථා - රුපියල් බිලියන 153යි (1.8%)

රක්ෂණ ආයතන - රුපියල් බිලියන 310යි (3.6%)

සේවක අර්ථසාධක අරමුදල - රුපියල් බිලියන 3,174යි (36.4%)

වෙනත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් - රුපියල් බිලියන 546යි (6.3%)

රාජ්‍ය ආයතන, අරමුදල් හා රාජ්‍ය ව්‍යවසාය - රුපියල් බිලියන 208යි (2.4%)

තනි පුද්ගලයින් (දේශීය) - රුපියල් බිලියන 102යි (1.2%)

ප්‍රතිමිලදී ගැනීම් - රුපියල් බිලියන 300යි (3.4%)

වෙනත් - රුපියල් බිලියන 12යි (0.1%)

විදේශ ආයෝජකයින් - රුපියල් බිලියන 13යි (0.1%)

එකතුව - රුපියල් බිලියන 8,722යි (100.0%)

ප්‍රාථමික ගැනුම්කාර සමාගම් ගැන කිහිප දෙනෙක්ම අසා තිබුණු නිසා ඒ ගැන කියනවානම්, ඇතැම් වාණිජ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු කිරීම සඳහා වෙනම උප-සමාගමක් හදලා තිබෙනවා. නමුත්, මෙය නීතිමය වෙනසක් පමණයි. ඔය විදිහේ ප්‍රාථමික ගැනුම්කාර ආයතන කියන්නේ බැංකු වලම කොටසක්. ඒ හැරුණු විට, බැංකු වලට සම්බන්ධයක් නැති ස්වාධීන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් දැනට ක්‍රියාත්මකව තිබෙන්නේ හතරක් පමණයි.

ප්‍රාථමික ගැනුම්කාර සමාගම් කියන්නේ තැරැව්කාර සමාගම් මිසක් ආයෝජන සමාගම් නෙමෙයි. සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල්, වාණිජ බැංකු හා අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම් ආදිය රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ තමන්ගේම අරමුදල් ආයෝජනය කරන්න. වාණිජ බැංකු විසින් ප්‍රාථමික ගැනුම්කාර සමාගම් ලෙස කටයුතු කරමින් වෙනත් අය වෙනුවෙන්ද ආයෝජන කරන නමුත් වැඩි වශයෙන්ම වෙන්නේ එම සමාගම් වල අරමුදල්ම ආයෝජනය කරන එකයි.

බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව මෙවැනි විශාල අරමුදල් නැහැ. ඒ අයගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වෙනත් අයගේ සල්ලි වලින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්න උපකාරී වෙමින් ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ලබා ගැනීම. ඒ නිසා, පසුව විකිණීම සඳහා අතේ තියාගන්න තොග යම් ප්‍රමාණයක් හැරුණු විට මේ සමාගම් සතුව විශාල රාජ්‍ය සුරැකුම්පත් තොග නැහැ. මේ අය කරන්නේ පොඩි අරමුදල් ප්‍රමාණයක් අතේ තියාගෙන ලොකු රෝලක් ගහන එක. 

මෙවැනි බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය ඇතුළත්ව තිබෙන්නේ ඉහත "සංස්ථා" යටතේ තිබෙන රුපියල් බිලියන 153 ඇතුළේ. මේ ගොඩට බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට අමතරව මූල්‍ය කල්බදුකරණ ආයතන (ලීසිං සමාගම්), අනෙකුත් විවිධ පෞද්ගලික සමාගම් වගේම අන්යෝන්ය අරමුදල් ආදී සමාගම් හා අරමුදල් සියල්ලම ඇතුළත්. ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 1.75%ක් පමණක් වන ඔය ගොඩෙනුත් කොටසක් පමණයි.

EPF එකේ පාඩුව ගැන තවදුරටත්...


කලින් ලිපිය තරමක් නොමග යවන සුළු බව එක් පාඨකයෙක් විසින් පෞද්ගලිකව පෙන්වා දුන්නා. මම හිතන්නේ ඇතැම් දේවල් තේරුම් ගන්න ලිපියේ සඳහන් කරුණු ප්‍රමාණවත් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා EPF එකට පාඩුවක් සිදුනොවන බව මම එම ලිපියේ කියා නැහැ. 

මම කියා තිබෙන්නේ පාඩුවක් වෙනවාද නැද්ද කියන එක හරියටම තීරණය වෙන්නේ ඉදිරි කාලයේදී සිදු වන දේ අනුව බවයි. වෙනත් විදිහකින් කිවුවොත්, ණය හුවමාරුව නිසා දිගුකාලීනව EPF එකට පාඩුවක් වීම හෝ ලාබයක් වීම විවෘත කරුණක් බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වුනේ රජයේ ණය බර අඩු කර ගැනීම. රජය ණය බර අඩු කර ගනිද්දී ණයහිමියන්ට කවර හෝ පාඩුවක් වෙනවා. EPF එකට කියලා මේකේ වෙනසක් නැහැ. රජය විසින් EPF එකෙන් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව පමණක් තත්ත්වය විමසා බැලුවොත් අනිවාර්යයෙන්ම EPF එකට පාඩුවක් සිදු වෙනවා. 

තොරතුරු ප්‍රමාණවත් නැති නිසා මෙම පාඩුව හරියටම ගණන් හදන්න බැහැ. නමුත් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව  මෙම පාඩුව හරියටම ගණන් බැලිය හැකි පාඩුවක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ EPF එක හෝ වෙනත් විශ්‍රාම වැටුප් අරමුදලක් සතුව දැනට තිබෙන බැඳුම්කර වල විස්තර පමණයි. 

මෙය ගොඩක් අයට ප්‍රශ්නයක් නිසා අපි දළ ඇස්තමේන්තුවක් හදමු. 

කලින් ලිපිය සමඟ පළ කළ වගුවේ ගණන් හදා පෙන්වා ඇති පරිදි දැනට නිකුත් කර තිබෙන සියලුම බැඳුම්කර වෙනුවෙන් ගෙවන බරිත සාමාන්‍ය පොලිය 11.97%ක්. අපි මෙය 12% ලෙස ගනිමු. මෙම බැඳුම්කර 2023 ජූලි 15 සිට (එනම් තව දින 12කින්) 2045 මාර්තු 1 (එනම් තව වසර 22කින්) දක්වා කල් පිරෙනවා. ප්‍රශ්නය සරල කර ගැනීම සඳහා අපට මෙම කල් පිරීමේ දින වල බරිත සාමාන්‍ය අගය සලකන්න පුළුවන්. එම දිනය 2027 ඔක්තෝබර් 27.

වෙනත් විදිහකින් කිවුවොත් 5.0% සිට 22.5% දක්වා වන කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 11.97% වන අයුරින් 2023 ජූලි 15 සිට 2045 මාර්තු 1 දක්වා කල් පිරෙන බැඳුම්කර සියල්ලේ කල් පිරෙන දිනය බරිත සාමාන්‍යයක් ලෙස  2027 ඔක්තෝබර් 27 ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා, මෙම බැඳුම්කර වර්ග 64 සමස්තයක් ලෙස ගත් විට.11.97% කූපන් පොලියක් ගෙවන 2027 ඔක්තෝබර් 27 කල් පිරෙන එක් විශාල බැඳුම්කරයකට සමාන කරන්න පුළුවන් (actuarially equivalent). මේ අනුව, 2023 ජූනි 30 දින සිට ගණන් හැදුවොත් ආසන්න වශයෙන් අවුරුදු 4.3කින් කල් පිරෙන ආසන්න වශයෙන් 12%ක කූපන් ගෙවන බැඳුම්කරයක්.

ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ කල් පිරීම සිදු වෙන්නේ 2027-2038 අතර. දවස හරියටම නොදන්නා නිසා වසරේ මැද සැලකුවොත් සාමාන්‍ය අගය (expected value) 2033 ජූනි 30. ඒ කියන්නේ හරියටම අවුරුදු 10කින්.

අවුරුදු දහයකින් ආපසු ලැබෙන මුදලක් සහ අවුරුදු 4.3කින් ආපසු ලැබෙන මුදලක් සෘජුව සංසන්දනය කරන්න බැහැ. ගොඩක් අය කරන වැරැද්ද ඕකයි. ඒ නිසා, අපි මේ දෙවන බැඳුම්කරය කොටස් දෙකකට කඩමු. පළමුව වසර 4.3කට ආයෝජනය කරනවා. දෙවනුව, වසර 4.3කට පසු අතට ලැබෙන මුදල තවත් වසර 5.7කට ආයෝජනය කරනවා. දැන් අපිට මෙහි පළමු කොටස පමණක් අරගෙන දැන් තත්ත්වය එක්ක සංසන්දනය කරන්න පුළුවන්. එහෙම කරලා ලාබ පාඩු ගණනය කරන්න පුළුවන්. 

දැන් මේ පළමු කොටස පමණක් ගත්තොත්, ඒ කොටස සඳහා පළමු වසර 2.5 තුළ 12%ක පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ලැබෙන පොලියමයි. නමුත් ඉතිරි වසර 1.8 තුළ ලැබෙන්නේ 9%ක පොලියක්. ඒ කියන්නේ 3%කින් අඩු පොලියක්. ඒ අනුව, වසර 1.8කදී 5.4%ක පමණ පාඩුවක් වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032ක් බැවින් EPF එක සතු කොටස එයින් 37%ක් පමණ සේ උපකල්පනය කර එම ප්‍රමාණයෙන් 5.4%ක් ගණන් බැලුවොත් මෙහි රුපියල් බිලියන 180ක පමණ පාඩුවක් තිබෙනවා. අදාළ තොරතුරු ලැබෙද්දී මේ ගණන හරියටම ඇස්තමේන්තු කරන්න පුළුවන්. 

දැන් මේ විදිහට මේ පාඩුව ගණන් හැදීමේදී අපි සලකා බැලුවේ දැන් මිල දී ගෙන තිබෙන බැඳුම්කර කල් පිරෙන තුරු තත්ත්වය පමණයි. බැඳුම්කර හුවමාරුවෙන් පස්සේ කල් පිරෙන කාලය තවත් වසර 5.7කින් දිගු වෙනවා. ඒ වගේම, එම කාලය තුළ 9%ක කූපන් පොලියක් ලැබෙනවා. 

මේ දෙවන කොටසේ ලාබය හෝ පාඩුව ගණන් බලන්න වෙන්නේ එම කාලයේ EPF එකට ලැබෙන විකල්ප ආයෝජන අවස්ථා වලට සාපේක්ෂව. එම කාලයේදී 9%කට වඩා වැඩි කූපන් පොලියක් ලබා ගැනීමේ විකල්ප අවස්ථාවක් තිබුනොත් අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. එම පාඩුව කලින් ගණන් හදා පෙන්වූ පාඩුවට එකතු වෙනවා. 

වෙයිද නොවෙයිද කියලා කියන්න හරියටම දන්නේ නැතත් ඔය කාලය වෙද්දී උද්ධමනය 5% මට්ටමේ තියාගන්නනයි සැලසුම් කරලා තියෙන්නේ. අලුත් මහ බැංකු පණතේ ප්‍රතිපාදන අනුව රජයේ අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන්න බැරි නිසා උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක කළ නොහැකි දෙයක් නෙමෙයි. 

උද්ධමනය 5% මට්ටමේ තිබීමට අමතරව රජයේ අයවැය ඉලක්ක (2.3% ප්‍රාථමික අතිරික්තය) සපුරා ගනු ලැබුවහොත් පොලී අනුපාතික 7% වගේ මට්ටමකට එනවා. එවිට 9% සහතික කළ කූපන් පොලිය නිසා ඔය අවුරුදු 5.7% තුළ අවුරුද්දකට 2%ක අමතර ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ, 11.4%ක ලාබයක්. කලින් විදිහටම ගණන් හැදුවොත් රුපියල් බිලියන 380ක් පමණ. මේ ලාබයෙන් අර කලින් කියපු පාඩුව නිශේධනය වෙනවා.

කොහොම වුනත් අනාගතයේ ලැබෙන මුදලක වටිනාකම අඩුයි. ඒ නිසා, ඔය දෙවන ලාබ මුදල පළමු පාඩු මුදල එක්ක සංසන්දනය කරන්න කලින් යම් වට්ටම් කිරීමක් කරන්න වෙනවා. 9% වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදාගත්තොත් ඔය රුපියල් බිලියන 380 රුපියල් බිලියන 230කට පමණ අඩු වෙනවා. හැබැයි ඒත් රුපියල් බිලියන 180ක පාඩුවට වඩා වැඩියි.

දැන් ඔය කියපු ලාබය ලැබෙන්නේ පොලී අනුපාතික 7% මට්ටමට අඩු වුනොත්. සැලසුම් අනුව එසේ විය යුතු වුවත් එහෙම නොවෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඒ නිසා, සමස්තයක් ලෙස පාඩුවක් වෙන්න තිබෙන ඉඩකඩත් වැඩියි. 

මම හැමදාම කියනවා වගේ අනාගතය නිශ්චිතව ලියැවිලා නැහැ. අනාගතය කියන්නේ අප‍ට වෙනස් කර ගත හැකි විවෘත එකක්. ඒ නිසා, EPF එකට විය හැකි පාඩු ගණන් හදනවාට වඩා එම පාඩු ලාබ බවට හරවාගත හැකි විදිහ ගැන හිතන එකයි මේ වෙලාවේ වඩා වැදහත්. 

වෙබ් ලිපිනය: