වෙබ් ලිපිනය:

Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts
Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts

Saturday, May 24, 2025

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද?


පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් "නිදහසේ" යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් "පැන්සල් උල් කිරීම" වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට ගිහින් සංකල්ප නිරවුල් කරගන්න හොඳ කාලයක්.

වසර දහයකට පෙර පැවති තත්ත්වය එක්ක සසඳද්දී අද ලෝක සමාජය වගේම ලංකාවේ සමාජයද දකුණට බර වී තිබෙන බව පැහැදිලිව පෙනෙන කරුණක්. දකුණ ගැන විවිධ අර්ථකතන හා මතිමතාන්තර තිබුණත්, ඒ කොයි අර්ථකථනය අනුව වුවත් මේ කරුණ සෑහෙන තරම් පැහැදිලිව පේනවා. මේ පසුබිම තුළ, විශේෂයෙන්ම ලංකාව ඇතුළේ, "දකුණ තුළ" මතවාදී බෙදීම් ඇති වෙමින් තිබෙනවා. මෙය අලුත් තත්ත්වයක්. 

මේ මතවාදී බෙදීම් එක්ක, ඇතැම් වෙලාවට, ඇතැම් සංකල්ප අවභාවිතා වීමක්ද සිදු වෙනවා. අවභාවිතා වීමක් යන්නෙන් අදහස් කළේ සාමාන්‍ය සම්මත අර්ථයෙන් බැහැර අදහසක් ගම්‍ය වන සේ යොදා ගැනීම. අප ලියන ඇතැම් ලිපි අවුරුදු හත අටකට පසුවත් නැවත උඩට එන නිසා, ඉඩ ලැබෙන පරිදි සංකල්ප නිරවුල් කරන ලිපි ලියන එක ගැන නැවත වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පසුව එදිනෙදා සිදු වීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ලිපි ලියන්න සිදු වුනත්, ඊට පෙර කාලයේ මේ විදිහේ ලිපි වැඩිපුර ලියවුනා. මෙවැනි ලිපි විශාල පිරිසක් වෙත නොයාම ප්‍රශ්නයක් නෙමෙයි. 

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද?

අප අද ජීවත් වන ලෝකයේ බොහෝ දෙනෙකුට දැකිය හැකිව තිබෙන්නේ මූලික වශයෙන්ම වෙළඳපොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයක්. තැන් වල වෙනස්කම් තිබුණත් මේ ක්‍රමයට සාධාරණ වශයෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමය කියා කියන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් ක්‍රමය කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට විකල්පයක් සේ ගොඩ නැගුනු ක්‍රමයක්. එය ප්‍රායෝගිකව එවැනි එකම විකල්ප ක්‍රමය කියා කිවුවත් එහි වැරැද්දක් නැහැ. ඊට හේතුව මධ්‍යගත සැලසුම් ක්‍රමය වෙළඳපොළ ආර්ථික ක්‍රමයට පූර්ණ විකල්පයක් යෝජනා කිරීම සහ එම ක්‍රමය සැලකිය යුතු තරම් දීර්ඝ කාලයක් පුරා ලෝකයෙන් සැලකිය යුතු කොටසක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි.

අද අප ආර්ථික විද්‍යාව සේ හඳුන්වන, මෙහි බොහෝ විට කතා කරන, ප්‍රචලිත විෂය වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම්ව ගොඩ නැගුනු විද්‍යාවක්. එහෙයින්, ඉතාම මූලික අදියරකදීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයෙන් විභේදනය වන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ නූතන ආර්ථික විද්‍යා න්‍යායයන් බොහොමයක් වලංගු වන්නේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රමය සාපේක්ෂව සාර්ථකව ක්‍රියාත්මක වූ තැන් වල යොදා ගැනුණේ විකල්ප ආර්ථික විද්‍යාවක්.   

මධ්‍යගත සැලසුම් ක්‍රමයේ දෘෂ්ඨිවාදී පදනමේ තිබෙන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස්වීම ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් සේ හඳුනාගෙන පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රාග්ධනය පොදු අයිතියට යටත් කිරීමයි. මෙහිදී පොදු ප්‍රාග්ධනයේ භාරකරු වන රජයට රටක සියලුම නිෂ්පාදන සාධක වල අයිතිය පැවරෙන අතර, මුළු රටේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා දීම සිදු වන්නේ රජයේ අභිමතය පරිදි, රජයේ සැලසුමකට අනුවයි. මධ්‍යගත සැලසුමක් සේ හැදින්වෙන්නේ මෙම සැලසුමයි. 

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ වුවද, ලෝකයේ පවතින ඇතැම් මූලික වාස්තවික තත්ත්වයන් බැහැර කළ නොහැකියි. මිනිස් අවශ්‍යතා අසීමිත වීම සහ එම අසීමිත අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය සීමා වීම මූලික වාස්තවික සීමාවක්. ඒ නිසා, මෙම සීමිත සම්පත් ප්‍රමාණය "සාධාරණ ලෙස" බෙදා ගත හැකි කිසියම් සමාජ සැකැස්මක් අවශ්‍ය වෙනවා. වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ මෙම සාධාරණත්වයේ පදනම සේ සැලකෙන්නේ සම්පත් නිපදවන්නන්ට එම සම්පත් වල හිමිකම ලැබීමයි. එය සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහසයි.

සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස සියල්ලන් විසින්ම පොදුවේ පිළිගන්නා අදහසක් නෙමෙයි. සම්පත් නිපදවීම සඳහා ශ්‍රමයේ දායකත්වය පිළිබඳ එතරම් ගැටළු නැතත් ප්‍රාග්ධනයේ දායකත්වය පිලිබඳව ප්‍රධාන විකල්ප අදහස් දෙකක් තිබෙනවා. ධනවාදී තර්කනය තුළ ප්‍රාග්ධනයේ දායකත්වය ප්‍රාග්ධනයේ වත්මන් හිමිකරුගේ දායකත්වය සේ සැලකෙන නමුත් මෙම අදහස හා එකඟ නොවන්නන් විසින් තර්ක කරන්නේ ප්‍රාග්ධන හිමිකාරත්වය ඓතිහාසිකව සාධාරණ ලෙස ගොඩ නැගුනු දෙයක් නොවන බවයි. 

නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැනුමේ අයිතිය පිළිබඳවද මෙවැනි විසංවාද තිබෙනවා. විකල්ප අදහස වනුයේ දැනුම යනු කාලයක් තිස්සේ සිදු වූ සමාජයීය ගොඩනැගුමක් බැවින් එහි ප්‍රතිලාභ පෞද්ගලිකව ලබා ගැනීම වැරැද්දක් බවයි. එහෙත්, අනෙක් අතට තර්ක කළ හැක්කේ පොදුවේ තිබෙන දැනුමක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි වුවත්, අනෙක් අය එසේ නොකරද්දී එක් අයෙකු විසින් පමණක් එම දැනුම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේනම් එහි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එවැන්නෙකුට පූර්ණ අයිතියක් ඇති බවයි.

වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ, අඩු වශයෙන් සංකල්පීය ලෙස, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තනිකරම පෞද්ගලික කටයුත්තක්. නිදහස් හුවමාරුව හේතුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා දායක වන ඒකීය පුද්ගලයින්ට තමන් විසින් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වටිනාකම ඉක්මවන පරිභෝජනයක් සිදු කරන්නට ඉඩ සැලසෙන නමුත් අවසාන වශයෙන් එක් එක් පුද්ගලයාගේ නිෂ්පාදන හැකියාව මගින් පරිභෝජන හැකියාව සීමා කරනවා. 

වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ රටක භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා දීම මෙහෙයවන තනි මධ්‍යගත සැලසුමක් නැහැ. එහෙත් ඒකීය පුද්ගලයින් විසින් තමතමන්ගේ සැලසුම් අනුව නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය සිදු කරනවා. මෙම ඒකීය පුද්ගල සැලසුම් අතර ගැටුමක් ඇති නොවන බවටත්, එම සැලසුම් සම්බන්ධීකරණය වන බවටත් වග බලා ගන්නේ මිල යාන්ත්‍රනයයි. මිල යාන්ත්‍රනයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම තරමක් අපහසු විය හැකි වුවත්, මිල යාන්ත්‍රනය හරහා ඉහත කටයුත්ත හොඳින් සිදු වන බව ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන දෙයක්. විශේෂයෙන්ම මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක වූ සමාජ හා සසඳා බලද්දී මිල යාන්ත්‍රනයේ සාර්ථකත්වය පැහැදිලිව පෙනෙනවා.

කෙසේ වුවත්, "මිල යාන්ත්‍රනය හොඳින් හා සාර්ථකව ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙනවා" යන්නෙන් අදහස් වන්නේ එය හැම විටම, කිසිදු දෝෂයක් නොමැතිව, ක්‍රියාත්මක වන බව නෙමෙයි. සෛද්ධාන්තිකව එසේ විය හැක්කේ කල්පිත තත්ත්වයන් යටතේදීයි. සැබෑ ලෝකයේ පවතින තත්ත්වය බොහෝ විට මේ කල්පිත තත්ත්වයන්ට ආසන්න වුවත්, එය එසේ නොවන අවස්ථාද සුලබයි. එවන් අවස්ථා වලදී සාමාන්‍යයෙන් කරන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළම ප්‍රශ්න වලට පිළියම් සෙවීමයි. මෙවන් අවස්ථා වලදී පොදුවේ වෙළඳපොළ ක්‍රමය පිළිගන්නා කොටස් අතරම මත ගැටුම් ඇති වෙනු දැකිය හැකියි.

වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළම රැඳෙමින්, වෙළඳපොළ හරහා ස්වභාවික ලෙස නොවිසඳෙන ගැටළු වලට පිළියම් සෙවීම වෙළඳපොළ ආර්ථික ක්‍රමය බැහැර කිරීමක් හෝ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙත විතැන් වීමක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ වෙළඳපොල මුළුමනින්ම ප්‍රතික්ෂේප කර බැහැර කරන ක්‍රමයක් බැවින් මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වෙළඳපොළ ප්‍රශ්න වලට පිළියම් සෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. 

මෙහිදී වෙළඳපොළ යන්නෙන් අදහස් වන්නේ වෙළඳපොළ පිළිබඳ සංකල්පීය අදහස මිස "බඩු විකුණන ස්ථාන" පැවතීම නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වුවද බඩු විකුණන තැන් තියෙන්න පුළුවන් වගේම ප්‍රායෝගිකව එවැනි තැන් තිබුණා. නමුත් මිල සංඥාවක් නැත්නම්, මිල සංඥාව මත පදනම්ව ඉල්ලුම හා සැපයුම තුලනය නොවේනම්, බඩු විකුණන ස්ථාන පැවති පමණින් එය වෙළඳපොළක් වන්නේ නැහැ. 

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම රජය විසින් සැලසුම් සහගත ලෙස සිදු කරන්නක් මිස මිල සංඥාව හරහා ස්වයංක්‍රීයව සිදු වන දෙයක් නෙමෙයි. මෙහිදී, සංවෘත ආර්ථිකයක් ඇති රටකදීනම්, සැපයුම යනු නිෂ්පාදනය බැවින් නිෂ්පාදනය සැලසුම් කිරීම සඳහා ඉල්ලුම පුරෝකථනය කරන්නට සිදු වෙනවා. නමුත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ ඉල්ලුම මිලෙන් ස්වායත්ත නොවීමයි. ඒ නිසා, මිල සංඥාවක් නැති සමාජ-ආර්ථික ආකෘතියක් තුළ, ඉල්ලුම යන සංකල්පයටද අර්ථයක් නැති වෙනවා.

ඉල්ලුම යන සංකල්පය නැති වෙද්දී ඒ වෙනුවට ආදේශ වන්නේ අවශ්‍යතාවය යන්නයි. මේ අනුව, ඉල්ලුම සහ සැපයුම තුලනය කිරීම අවශ්‍යතා සහ නිෂ්පාදනය තුලනය කිරීමක් බවට පත් වෙනවා. වෙළඳපොළ ක්‍රමයට පුරුදු වී තිබෙන කෙනෙකුට මෙහි යම් අවුලක් පෙනෙනු ඇතත්, ඉල්ලුම හා සැපයුම අපෝහනය වන්නේද අවශ්‍යතා සහ නිෂ්පාදනය මතයි. අවශ්‍යතා ඉල්ලුම බවටත්, නිෂ්පාදනය සැපයුම බවටත් පරිවර්තනය වන්නේ වෙළඳපොළ මත පදනම් වූ සමාජ-ආර්ථික ආකෘතියක් තුළයි. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම යන සංකල්ප අප‍ට හුරු පුරුදු අර්ථයෙක් පැවතීම අනිවාර්ය සමාජ කොන්දේසියක් වන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළදී පමණයි.

වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළදී වුවද ඒකීය පුද්ගලයෙකුට තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු කර ගැනීමට අවකාශ සැලසෙන්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ නිෂ්පාදන හැකියාව අනුව සීමා වෙනවා. එහෙත්, එහිදී පුද්ගලයෙකුට තම තමන්ගේ රුචිකත්ව ප්‍රමුඛතා අනුව තෝරා ගැනීමක් කිරීමට ඉඩ ලැබෙනවා. එක් එක් පුද්ගලයාගේ නිදහස් කැමැත්තට ඉඩ ලැබෙනවා. 

මධ්‍යගත සැලසුම් ක්‍රමය යෝජනා වෙන්නේ වෙනත් දෘෂ්ඨිවාදයක් තුළයි. ඒ අනුව, ඒකීය පුද්ගල රුචිකත්වයන් වෙනුවට පොදු මිනිස් අවශ්‍යතා වෙත අවධානය යොමු වෙනවා. අවශ්‍යතා පුරෝකථනය කෙරෙන්නේ මෙම පදනම මතයි. මේ අනුව, මූලික අවශ්‍යතා වලින් පටන් ගෙන අවශ්‍යතා ධුරාවලියක් සකස් වෙනවා. නිෂ්පාදනය සැලසුම් වන්නේ මෙම අවශ්‍යතා ධුරාවලිය තුළ හැකි තාක් ඉහළට යාම ඉලක්ක කරගෙනයි. 

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වුවද අවසාන වශයෙන් පුද්ගලයින්ට නිෂ්පාදනය සඳහා දායක වීමට සිදු වෙනවා. එහෙත්, ඔවුන් විසින් එය සැලසුම් කළ යුතු නැහැ. ඒ වගේම, නිෂ්පාදනය පෞද්ගලිකව සැලසුම් කිරීමට ඔවුන්ට ඉඩක් ඇත්තේද නැහැ. ඒ නිසාම, ඔවුන්ට තමන් වඩාත්ම කැමති නිෂ්පාදන කාර්යයෙහි යෙදීමට ඉඩක් ඇති බවට සහතිකයක්ද නැහැ. ඒකීය පුද්ගල රුචිකත්වයන් කෙරෙහි වැඩි බරක් නොතබන දෘෂ්ඨිවාදී සන්දර්භයක් තුළ මේ දේවල් ප්‍රශ්න සේ සැලකෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ නිෂ්පාදනය සඳහා ශ්‍රමය වෙන් කෙරෙන්නේද අවශ්‍යතා අනුපිළිවෙළ මත පදනම්වයි. එවිට, යම් අදියරකදී ශ්‍රම සම්පත් අවසන් වෙනවා. එම මට්ටම නිෂ්පාදනයේ මෙන්ම ඒකීය පුද්ගල පරිභෝජනයේද උපරිම සීමාව සලකුණු කරනවා. මෙහිදී රටේ හැම දෙනෙකුගේ මෙන්ම මූලික අවශ්‍යතා සැපිරෙනවා. නමුත් තනි පුද්ගලයෙකුට අවශ්‍ය ඇතැම් දේවල් ලබා ගන්න කිසිදු අවස්ථාවක් ඉතිරි වන්නේ නැහැ.

මධ්‍යගත සැලසුම කිසිදු වැරැද්දක් නොමැතිව හරියටම ක්‍රියාත්මක වේනම් (සාමාන්‍යයෙන් එසේ නොවන්නේ වුවත්), අවශ්‍යතා සහ නිෂ්පාදනය හරියටම සමපාත වීමක් සිදු වෙනවා. මෙහිදී අවශ්‍යතා යන්නෙන් අදහස් කරන්නේ ඒකීය පුද්ගල අවශ්‍යතා සේ රජය විසින් හඳුනා ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙම ගැලපීම මධ්‍යගත සැලසුම මගින් සිදු වන බැවින්, අප වඩා හුරු පුරුදු සංකල්ප අනුව, "ඉල්ලුම හා සැපයුම ගැලපීමට" මිල සංඥාවක් අවශ්‍ය වන්නේ නැහැ. මිල කවර එකක් වුවද ඉල්ලුම හා සැපයුම ගැලපෙනවා. ඒ නිසා, රජය විසින් මිල කවර මට්ටමක පැවතිය යුතුයැයි නිර්ණය කළද, එයින් "වෙළඳපොළ යාන්ත්‍රනය" කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, මෙවැන්නක් මිල පාලනයක් නෙමෙයි. රජයකට මිල පාලනයක් සිදු කළ හැක්කේ වෙළඳපොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් රටක ක්‍රියාත්මක වේනම් පමණයි. 

අප මෙතෙක් කතා කළේ සංකල්ප මත පදනම්ව බැවින්, තේරුම් ගැනීමේ පහසුව පිණිස, මධ්‍යගත සැලසුමක් යටතේ ක්‍රියාත්මක වන මනඃකල්පිත ලංකාවක් සිතින් මවා ගනිමු. ආකෘතිය සරල කර ගැනීම සඳහා මෙය සංවෘත ආර්ථිකයක් ලෙසද සලකමු. උතුරු කොරියාව වැනි රටක දැනටත් තිබෙන්නේ මෙවැනි ක්‍රමයක් විය යුතුයි.

දැන් මේ ක්‍රමය තුළ රටේ සියලුම ඉඩම් වල අයිතිය තිබෙන්නේ රජය සතුවයි. ඒ අනුව, කුඹුරු ඉඩම් සියල්ලේ අයිතිය තිබෙන්නේද රජය සතුවයි. සහල් කියන්නේ රටේ ඒකීය පුද්ගල අවශ්‍යතා ලැයිස්තුවේ ඉහළින්ම එන භාණ්ඩයක්. මේ අනුව, රජය විසින් පළමුව කළ යුත්තේ එක් පුද්ගලයෙකුට වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය තීරණය කර, රටේ සහල් අවශ්‍යතාවය ඇස්තමේන්තු කිරීමයි. ඉන් පසුව එක් එක් කන්නය තුළ එම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරන ආකාරය තීරණය කර ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙන් කරන්නට සිදු වෙනවා. ඉන් පසුව, අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය ඒ සඳහා වෙන් කරන්නට සිදු වෙනවා. මේ අයුරින් අනෙකුත් සම්පත්ද වෙන් කිරීමෙන් පසුව, සැලසුම හරියටම ක්‍රියාත්මක වුවහොත්, රටේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය හරියටම නිපදවා ගන්න පුළුවන්. අතිරික්තයක් හෝ හිඟයක් නැහැ. 

රටේ සහල් අවශ්‍යතාවය සහ නිෂ්පාදනය හරියටම සමානනම්, පවුල් අතර සහල් බෙදා දීම අසීරු කාර්යයක් නෙමෙයි. මෙහිදී අය කරන මිල සංකේතයක් පමණයි. එය ශුන්‍ය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රජයට අවශ්‍යනම් සහල් නොමිලේ බෙදා දෙන්නත් පුළුවන්.

මෙසේ සහල් නිෂ්පාදනය මධ්‍යගත සැලසුම තුළ තීරණය කිරීමෙන් පසුව, අවශ්‍යතා අනුපිළිවෙල අනුව, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්ද එතුළට එකින් එක ගන්න පුළුවන්. පොල්, එළවළු, මිරිස් ආදී ලෙස. නමුත් යම් සීමාවකදී රටේ ඉඩම් ප්‍රමාණය වෙන් කර අවසන් වෙනවා. යම් සීමාවකදී රටේ ශ්‍රමය වෙන් කර අවසන් වෙනවා. ඒ සීමාවෙන් එහාට යද්දී පරිභෝජනය සීමා කරන්න වෙනවා. ඒ අනුව, වසරකට ලැබෙන ඇඳුම් ප්‍රමාණය සීමා වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව නැති වෙලාම යන්න පුළුවන්. (වෙළඳපොළ ක්‍රමයකදී වුවද, නිෂ්පාදනය හා අදාළව, මේ භෞතික සීමාවන් එලෙසම තිබෙනවා).

කල්පිත පූර්ණ මධ්‍යගත සැලසුමක් ඇතුළේ මුදල් කියා දෙයක් අවශ්ය වෙන්නේම නැහැ. රජයට සියලු වැඩිහිටියන්ට වැඩ කිරීම අනිවාර්ය කර, ඔවුන්ට වැටුප් නොගෙවා, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. නමුත් මුදල් යොදා ගැනීම මගින් මධ්‍යගත සැලසුමක් වුනත් තරමක් නම්‍යශීලී ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. මෙහිදී ශ්‍රමිකයින්ට වැටුප් ලැබෙනවා. ඔවුන්ට මුදල් ගෙවා භාණ්ඩ හා සේවා මිල දී ගන්නත් පුළුවන්. නමුත් අවශ්‍ය පමණ මිල දී ගන්න බැහැ. සීමාවක් තිබෙනවා. රජය විසින් තීරණය කර තිබෙන අවශ්‍යතාවයේ ප්‍රමාණය පමණයි. 

සමාජවාදී විප්ලවයකින් රටක රාජ්‍ය බලය අල්ලා ගත්තත්, ඔය වගේ පූර්ණ මධ්‍යගත සැලසුමකට එකවර යන්න බැහැ. කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ ක්‍රමය යටතේ හැඩ ගැසී තිබෙන සමාජයක සියලුම නිෂ්පාදන පහසුකම්, දේපොළ ඇතුළු ප්‍රාග්ධනය රජයේ අයිතියට ගැනීම වසර ගණනාවක යුද්ධයක්. මහජන ඡන්දයකින් බලයට පත් වෙන ආණ්ඩුවකට මෙවැන්නක් වඩා අසීරුයි. නමුත් පූර්ණ මධ්‍යගත සැලසුමක තෝරාගත් කොටස් එකින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමගි පෙරමුණු ආණ්ඩුව කළේ ඒ වැඩේ. ඊට පෙර සිටම ජනසතු කිරීම් හරහා මේ වැඩේ යම් මට්ටමකින් සිදු වුනා. නමුත් ජනසතු කිරීම් වලට එකම හේතුව වුනේ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට යන්න තිබුණු අවශ්‍යතාවය නෙමෙයි. ජාතිකවාදී අරමුණු පෙරදැරිව විදේශ සමාගම් සතු දේපොළ "ජනසතු" කළ අවස්ථාද තිබෙන නිසා, මධ්‍යගත සැලසුම් අරමුණ එකම අරමුණ වුනා කියා කියන්න බැහැ.

සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට තිබුණු මතවාදී ඉල්ලුම අවසන් වුනා. දැන් ඔය වගේ ක්‍රමයකට කිට්ටු ක්‍රමයක් තියෙන්නේ උතුරු කොරියාවේ සහ කියුබාවේ පමණයි. කියුබාව වුනත් වෙනස්කම් කරමිනුයි ඉන්නේ. 

සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ මතවාදී තලයේදී මධ්‍යගත සැලසුම් ක්‍රමය පරාජය වුනේ ප්‍රායෝගිකව පෙනෙන්නට තිබුණු එම ක්‍රමයේ දුර්වලකම් නිසා. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය දශක හතක් සෝවියට් දේශයේ ක්‍රියාත්මක වුනා. ඒ කාලය තුළ සෝවියට් දේශය ප්‍රබල රාජ්‍යයක් ලෙස ගොඩ නැගුනා සහ පැවතුනා. සෝවියට් දේශයෙන් පිටත, විකල්ප වෙළඳපොළ ආර්ථික ක්‍රමය යටතේ වඩා සාර්ථක වූ රටවල් පෙනෙන්නට නොතිබුණානම්. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ දුර්වලතා මේ විදිහට සංසන්දනය වෙන්නේ නැහැ. නැගෙනහිර හා බටහිර ජර්මනි, දකුණු හා උතුරු කොරියා වගේ නිදර්ශන නිසා වෙනස පැහැදිලිව පෙනුනා. 

වෙන් වී සිටි කාලයේදී විවිධ ක්‍රම වලින් නැගෙනහිර ජර්මනියේ සිට බර්ලින් තාප්පය තරණය කර බටහිර ජර්මනියට පැමිණි හෝ පැමිණෙන්න උත්සාහ කළ අය හිටියත් එය අනෙක් අතට ඒ විදිහටම සිදු වුනේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රම යටතේ දිගු කාලයක් ඉන්න මිනිස්සු කැමති වුනේ නැහැ. මෙයට හේතුව වුනේ මධ්‍යගත සැලසුමකට සංකීර්ණ ඒකීය පුද්ගල රුචිකත්වයන් හඳුනා ගැනීම සඳහා හැකියාවක් නොතිබීම.

ප්‍රායෝගික නිදර්ශන පෙනෙද්දී මධ්‍යගත සැලසුම් ක්‍රමය මතවාදී තලයේදී පසු බෑමකට ලක් වුනත්, ඒ සඳහා පදනම් වූ සංකල්පීය පදනම අදටත් විශාල බිඳ වැටීමකට ලක් වී නැහැ. සමහර විට අනාගතයේදී මධ්‍යගත සැලසුම් ක්‍රමය වඩා දියුණු හා පරිපූර්ණ ආකාරයකින් නැවත මතු වෙන්නත් පුළුවන්. මෙය එවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමක් සේ වරදවා වටහා ගත යුතු නැහැ. මේ මට පෙනෙන තත්ත්වය. 

වෙළඳපොළ තර්කනයේ පදනම වෙන්නේ තමන්ට හොඳම දෙය හොඳින්ම දන්නේ තමන් පමණක්ය යන්නයි. මෙය බොහෝ අවස්ථා සඳහා නිවැරදි තර්කයක්. වෙළඳපොළ යාන්ත්‍රනය, සාමාන්‍ය කරුණක් ලෙස, හොඳින් ක්‍රියාත්මක වන්නේ ඒ නිසා. නමුත් එයින් අදහස් වන්නේ මේ තර්කය හැම විටම නිවැරදි බව නෙමෙයි. සරල උදාහරණයක් ලෙස, ඔබ රෝගී වූ විට ඔබ සඳහා හොඳම දෙය ඔබේ වෛද්‍යවරයා ඔබට වඩා හොඳින් දන්නවා. මෙවැනි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඔබට හොඳම දෙය ඔබට වඩා හොඳින් වෙනත් අයෙකු දන්නේ නැහැ.

කෘතීම බුද්ධිය නිසා ඉහත තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. ඒ හරහා, අලුත් ආකාරයක මධ්‍යගත සැලසුම් ක්‍රමයකට පාර කැපෙමින් තිබෙනවා. මෙවැන්නක් සිදු වීම හෝ නොවීම තීරණය වන්නේ කෘතීම බුද්ධිය කොපමණ දුරකට විමධ්‍යගත වන්නේද යන්න මතයි.

අනාගතයේදී සිදු විය හැකි දේවල් කවරක් වුවත්, සෝවියට් මධ්‍යගත සැලසුම් ක්‍රමයට වෙළඳපොළ මුළුමනින්ම විස්ථාපනය කළ හැකි වූයේ නැහැ. මධ්‍යගත සැලසුම් අසාර්ථක වූ සීමාවේදී කළුකඩ වැනි වෙළඳපොළ ව්‍යුහයන් හැදුනා. මේ තත්ත්වය හමුවේ පෙරස්ත්‍රොයිකාව මගින් ඉලක්ක කළේ මධ්‍යගත සැලසුම තුළට ක්‍රමයෙන් වෙළඳපොළ අවශෝෂණය කර ගැනීම විය යුතුයි. එහෙත්, ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

මධ්‍යගත සැලසුම තුළට ක්‍රමයෙන් වෙළඳපොළ අවශෝෂණය කර ගැනීමට සෝවියට් දේශයට නොහැකි වුවත්, චීනය සහ වියට්නාමය වැනි රටවල් ඒ කටයුත්ත සාර්ථක ලෙස කළා. මේ රටවල් වල තවමත් මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරම, වෙළඳපොළ යාන්ත්‍රනයද ක්‍රියාත්මක වෙනවා. වෙළඳපොළ යාන්ත්‍රනය ක්‍රියාත්මක වුවද මිල සංඥාව බොහෝ විට විකෘති වූවක්. නමුත් විකෘති තත්ත්වයක් යටතේ හෝ මිල සංඥාව ක්‍රියාත්මක වෙනවා.

අනෙක් අතට ලෝකයේ කිසිම තැනක කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති වෙළඳපොළක් පැවතී නැහැ. වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක වන හැම රටක් මෙන්ම වෙළඳපොළ හරහා නොවිසඳෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වෙළඳපොළට මැදිහත් වීම් කරනවා. මේ සමහර ප්‍රශ්න වෙළඳපොළ ක්‍රමයේම ප්‍රශ්න. 

හැම මැදිහත්වීමකින්ම වෙළඳපොළට සිදුවන්නේ එකම ආකාරයක බලපෑමක් නෙමෙයි. උදාහරණයක් ලෙස බදු නිසා, වෙළඳපොළ සංඥාව විකෘති වන නමුත් වෙළඳපොළ සංඥාව නැතිව යන්නේ නැහැ. නමුත් මිල පාලන නිසා සංඥාව නැතිව යනවා. ඒ වගේම, මිල පාලන, බදු ආදී වෙළඳපොල මැදිහත්වීම් සියල්ලක්ම සිදු වන්නේ වෙළඳපොළ ක්‍රමය තුළයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ වෙළඳපොළක් කියා එකක් නැති නිසා මෙවැනි මැදිහත්වීම් කිසිවක් කළ යුතු නැහැ. 

භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම එසේම තිබියදී සැපයුම එකවර විශාල ලෙස අඩු වූ විට ඉල්ලුම හා සැපයුම අතර පරතරය නිසා භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එය භෞතිකව සිදු වන දෙයක්. ක්‍රමය වෙළඳපොළ ක්‍රමයක් වුවත්, මධ්‍යගත ක්‍රමයක් වුවත්, මෙහි වෙනසක් නැහැ. ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භයේදී ගෑස් සිලින්ඩර හිඟ වීම උදාහරණයක්.

ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් හදිසියේ ඇති වූ විට ඒ සඳහා "වෙළඳපොළ විසඳුම" වන්නේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන තෙක් මිල ඉහළ යන්නට සැලසීමයි. නමුත් මෙය එක් විසඳුමක් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයකදීනම් මෙහිදී සිදු වන්නේ සලාක ක්‍රමයකට තිබෙන භාණ්ඩ ප්‍රමාණය බෙදා හැරීමයි. මේ විසඳුමද වැඩ කරන විසඳුමක්. මිල පාලනය මේ විසඳුම් දෙකට අමතරව තිබෙන තෙවන විසඳුමක්. 

වෙළඳපොළ විසඳුම මගින් ප්‍රශ්නය විසඳෙන නමුත් එහිදී සිදු වන්නේ "ඇති හැකි" අයට භාණ්ඩය හිමි කර ගැනීමේ ඉඩ ඉතිරි කරමින් නැති බැරි අය බැහැර කිරීමයි. ගෑස් සිලින්ඩරයක මිල අවශ්‍ය පමණ ඉහළ යාමට ඉඩ දුන්නේනම්, යම් මිල මට්ටමකදී ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. එහිදී සිදු වන්නේ එම මිල දරාගත නොහැකි විශාල පිරිසක් තව දුරටත් ගෑස් සිලින්ඩර නොඉල්ලා සිටීමයි. මෙය කොපමණ සාධාරණද යන්න ආර්ථික විද්‍යාවෙන් බාහිර දේශපාලනික කරුණක්. 

සලාක ක්‍රම විසඳුමේදී සිදුවන්නේ සියලු දෙනාටම සමසමව භාණ්ඩය හිමි කරගැනීමට ඉඩ සැලසීමයි. මෙහිදී අවශ්‍යතා වෙනස්කම් නොසලකා හැරෙනවා. ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දෙනු ලැබූ QR කෝඩ් ක්‍රමයද සලාක ක්‍රමයක්. 

මිල පාලනයේදී සිදු වන්නේ පෝලිමේ සිට හෝ පොර කා භාණ්ඩය ලබා ගත හැකි පිරිසට එය හිමි වීමයි. එසේ නොකරන අයට එය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. සාමාන්‍ය වශයෙන් මෙහිදී සිදු වන්නේ "ඇති හැකි" අයට භාණ්ඩය හිමි කර ගැනීමේ ඉඩකඩ අහිමි වීමයි. මිල පාලනයේ අවාසි හමුවේ වුවද, අඩු ආදායම්ලාභීන් මිල පාලනයට කැමති වීමට හේතුව මෙයයි. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ ක්‍රමය වැඩි ආදායමක් ඉපැයිය හැකි අයට වාසිදායක ක්‍රමයක්. එහි සාධාරණත්වය කෙසේ වුවත්, රටක ආර්ථිකය ඉදිරියට යන්නේ වැඩි ආදායමක් උපයන්නට උත්සාහ කරන අය නිසා. වෙළඳපොළ ක්‍රමයට නැඹුරු වන තරමට රටවල් වඩා වේගයෙන් දියුණු වන්නේත්, වෙළඳපොල ක්‍රමය වඩා කාර්යක්ෂම සේ සැලකෙන්නේත් ඒ නිසා. කෙසේ වුවත්, එහිදී රටේ ආර්ථිකය දියුණු වීමේ ප්‍රතිලාභ සියලු සමාජ ස්ථර අතර බෙදී යාම අනිවාර්ය කොන්දේසියක් නෙමෙයි. 

තවත් ලියන්නට දේවල් ඇතත්, ඒ සඳහා ඉඩක් කොයි වෙලාවේ ලැබෙයිද කියා සහතිකයක් නොමැති නිසා, මතු සම්බන්ධයි කියා මේ සටහන අවසන් කරන්නේ නැහැ. 

Friday, January 3, 2025

අමුතු දොස්තර සහ ඇමති දොස්තර


කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා.

ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ. පසුව ඔය විදිහටම රෙදි සෝදන යන්ත්‍රයකුත් අරන් දෙනවා. 

සටහනට අදාළ නැති නිසා අමුතු දොස්තරගේ අනෙක් අමුතු වැඩ පැත්තකින් තියමු. ඔය ශීතකරණය රෝහලට අරන් දුන්න වෙලාවෙම මගේ ඔළුවට එක පාරටම ආවේ තව අවුරුදු කිහිපයකට පස්සේ ඔය ශීතකරණයට කුමක් වෙයිද කියන එක. 

අමුතු දොස්තර දිගටම කලපුව රෝහලේ ඉන්න එකක් නැහැ. මාරු වෙලා යන දවසක ඔය ශීතකරණය ගෙදර අරන් යන එකකුත් නැහැ. ඊට පස්සේ ශීතකරණයේ ඉරණම කුමක් වෙයිද? රෝහල් ඉන්වෙන්ට්‍රියේ ඔය ශීතකරණය තියෙනවද? ශීතකරණය කැඩුනොත් හදන්නේ කවුද?

සාමාන්‍යයෙන් ඔය වගේ කල් තබා ගත හැකි භාණ්ඩ රෝහල් වලට එක එක ගන්නේ නැහැ. එක පාරම විශාල ප්‍රමාණයක් මිල දී ගෙන රෝහල් වලට බෙදන එකයි කරන්නේ. එකම සමාගමකින් එකම වර්ගයෙන්. යම් කාලයකට සේවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන එකත් වෙනවා. 

ඊට පස්සේ වුනත් නඩත්තු කටයුතු කරන්න වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයට අදාළ ශීතකරණ මොඩල් එක ගැන විශේෂ පළපුරුද්දක් තියෙනවා. මොකද හැම රෝහලකම තියෙන්නේ ඔය එකම මොඩල් එක. ඒ මොඩල් එකේ නඩත්තුව සඳහා නිතර අවශ්‍ය වන අමතර කොටස් බොහොමයක් ඉන්වෙන්ට්‍රියක තියෙනවා.

අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය කැඩුනොත් ඔය එක දෙයකින්වත් වැඩක් නැහැ. අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය නිසා ඒ වෙලාවේ කලපුව රෝහලේ දැවෙන ප්‍රශ්නය විසඳුනත්, අන්තිමට ඔය ශීතකරණයම ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙන්න පුළුවන්. 

අමුතු දොස්තර අරන් දුන් ශීතකරණය හදිසියේ මතක් වුනේ ඇමති දොස්තර නලින්ද ජයතිස්සගේ කතාවක් ගැන මේ දවස් වල කෙරෙන විවේචන දැකලා. ඔය වගේ කතා ගැන මුළු සන්දර්භයම දිහා නොබලා පොඩි කොටසකින් පමණක් ලොකු නිගමන කරන්න අමාරුයි. කතාව කරන ස්වරූපයේ, අඩු වශයෙන් සමාජ ජාලා වල ප්‍රචාරය වන තෝරාගත් කොටස් වල, පැහැදිලි අවුල් තිබෙනවා. නමුත් මේ කියන කතාව පදනමක් තියෙන කතාවක්.

කවුරු හෝ කෙනෙක් තවත් කෙනෙකුට ස්වේච්ඡාවෙන් යමක් දෙනවා කියන්නේ දෙන දේ ගන්න කෙනා කට වහගෙන දෙන දේ දෙන විදිහට ගන්න අවශ්‍යයි කියන එක නෙමෙයි.  මුදල් හුවමාරුවක් සිදු වුනත් නැතත් මේ වගේ දෙයකදී සිදු වෙන්නේ ගනුදෙනුවක්. ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම ගනුදෙනුව ගැන හෙට්ටු කරන්න, හෙට්ටු කරලා එකඟ වෙන්න සමාන අයිතියක් තියෙනවා. නිකම් දුන්නා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ.

භාණ්ඩයකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් good කියා දෙනවා. ඒ good වචනයේම යහපත කියන අර්ථයත් තියෙනවා. අපිට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් හැම දෙයක්ම good කියන අර්ථදැක්වීමට අයිති වෙන්නේ නැහැ. සමහර දේවල් නිකම් දුන්නත් කවුරුවත් ගන්නේ නැහැ. ඒවා bads මිසක් goods නෙමෙයි. 

කුණු වගේ දේවල් බැහැර කරන්න මිලක් ගෙවන්න වෙනවා. ඔය විදිහට මිලක් ගෙවා බැහැර කරන්න වෙන්නේ කුණුම පමණක් නෙමෙයි. ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින් තියෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් වුනත් කාට හෝ දෙනවානම් දෙන්න වෙන්නේ සල්ලිත් එක්කයි. එහෙම නැත්නම් එහි ණය ටික තියාගෙන. ඒ කියන්නේ bad කොටස තියාගෙන good කොටස පමණක් දෙනවා කියන එක.

සමහර වෙලාවට කෙනෙක් bad එකක් ලෙස සලකන දෙයක් තවත් කෙනෙකුට good එකක් වෙන්න පුළුවන්. අසරණ කමට හෝ වෙනත් හේතුවකට කුණු බක්කි වල තියෙන දේවල් එකතු කරන අයත් ඉන්නවානේ. ඒ වගේම, ගොඩක් අයට bad එකක් ලෙස පේන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් සමහර අයට good එකක් වගේ පේන්න පුළුවන්. ඒ නිසා, ඔය වගේ සමහර කුණු ගොඩවල් ක්ලීන් ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘති වලට අහු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසාම තමන් නිකම් දෙන දෙයක් වෙන කෙනෙක් භාර ගත යුතුයි කියා හිතන්න තවත් කෙනෙකුට අයිතියක් නැහැ. දෙන පුද්ගලයා good එකක් සේ සැලකුවත් ගන්න පුද්ගලයාට එය bad එකක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා මුදල් හුවමාරුවක් සිදු නොවන ගනුදෙනුවකදී වුනත් දෙපාර්ශ්වයේ එකඟතාවය ඉතාම වැදගත්. 

ලංකාවේ විවාහ උත්සව වැනි අවස්ථා වලදී සමහර අය තෑගි ලෙස සල්ලි දෙනවා. ගොඩක් අය විවිධ භාණ්ඩ තෑගී විදිහට දෙනවා. සමහර විට ඔය තෑගි පාර්සල් ලෙහා බලද්දී එකම වර්ගයේ භාණ්ඩම පහක් හයක් තිබෙනවා. මේ වෙනුවෙන් තෑගි දෙන පුද්ගලයා මුදල් වැය කරලා වුනත් තෑගි ලබන්නාට එහි ඒ වටිනාකමම නැහැ. උදාහරණයක් විදිහට එක එක විදිහේ මේස ලාම්පුම හත අටක් මොනවා කරන්නද? අඩු වශයෙන් එක වර්ගයේනම් ගැලපීමක් හරි තිබෙනවා. 

තෑගි විදිහට සල්ලි දුන් විට මේ ගැටලුව නැහැ. මුදල් ලබන තැනැත්තාට තමන්ගේ රුචිකත්වය අනුව කැමති දෙයක් මිල දී ගන්න පුළුවන්. ඒ නිසා දුන්න තෑග්ගේ වටිනාකම ලබන්නාට ඒ විදිහටම ලැබෙනවා.

සමහර අය අහන දෙයක් තමයි IMF එක එක පැත්තකින් ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරන එකට විරුද්ධ වන අතරම අස්වැසුම වගේ සල්ලි බෙදන වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියන එක. සුබසාධනය සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමය සල්ලි බෙදන එක.

ඉන්ධන, විදුලිය වගේ දේවල් සුබසාධනය කළාම එහි වාසිය ලබා ගත හැක්කේ ඒ දේවල් වැඩියෙන්ම පරිභෝජනය කරන අයටයි. ඒ අය බොහෝ විට සුබසාධනය කිඊමක් අවශ්‍යම අය නෙමෙයි. ඒ වගේම, සුබසාධනය අවශ්‍ය අයට අවශ්‍ය මොනවාද කියන එක වඩා හොඳින්ම දන්නේ ඒ අයම මිසක් ආණ්ඩුව නෙමෙයි. ඒ නිසාම, දෙන්නේ නිකම් කියලා ආණ්ඩුව විසින් දෙන දේ තීරණය කරන එක හැමවිටම හොඳම ක්‍රමය නෙමෙයි.

ඇමරිකාවේනම් විවාහ උත්සවයකට කලින් විවාහ වන යුවල විසින් තමන්ට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හදනවා. තෑගි දෙන්න කැමති අයට කරන්න තියෙන්නේ ඒ ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් තමන්ට පුළුවන් දෙයක් අරන් දෙන එක. මේ වැඩෙන් අලුත් යුවලකට ජීවිතය පටන් ගන්න අවශ්‍ය ගොඩක් දේවල් තෑගි විදිහට ලැබෙනවා. පිගන්, කෝප්ප, ඇඳ රෙදි වගේ ඕනෑම දෙයක් ලැයිස්තුවට දමන්නේ තමන් විසින්ම නිසා කවුරු තෑගී දුන්නත් ලැබෙන්නේ තමන්ට අවශ්‍ය පාට. තමන්ට අවශ්‍ය මෝස්තරය. 

මේ වැඩෙන් එකම දේ කීප දෙනෙක් දෙන එක වැළකෙනවා. නොගැලපෙන දේවල් තෑගී ලෙස ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම තෑගි දෙන අයටත් දෙන්නේ මොනවද කියලා ඒ තරම් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවාහ උත්සවයෙන් පස්සේ කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය දේවල් වලින් කාගෙන්වත් තෑගි සේ නොලැබුණු දේවල් ටික පමණක් මිල දී ගන්න එකයි. සමහර විට ඔය වැඩේ දැන් ලංකාවෙත් වෙනවා වෙන්න පුළුවන්. 

මම හිතන්නේ ඇමති දොස්තර කියන්නෙත් ඔය කතාව. රෝහල් වලට තෑගි ලෙස විවිධ දේවල් පරිත්‍යාග කරන එක හොඳයි. නමුත් ඒ වගේ පරිත්‍යාගයකින් වඩාත්ම හොඳක් වෙන්නේ රෝහලට අවශ්‍යම දේ දෙන එකෙනුයි. ඒක දන්නේ පරිත්‍යාග කරන පුද්ගලයා නෙමෙයි. පරිත්‍යාගය අවශ්‍ය පුද්ගලයා. 

රටවල් වලට විදේශාධාර දෙද්දී වුනත් දැන් අනුගමනය කරන්නේ විදේශාධාර අවශ්‍ය රටේ ඉල්ලීම් අනුව ආධාර කරන ක්‍රමය. ලංකාව එපා කියපු ඩොලර් මිලියන 500ක MCC ආධාරය වුනත් දෙන්න හැදුවේ ලංකාව ඉදිරිපත් කරපු ව්‍යාපෘති යෝජනා දෙකක් ක්‍රියාත්මක කිරීමටයි. 

ගොඩක් අය පහසුවෙන්ම අමතක කර ඇතත්, ලංකාවේ ජාතික සෞඛ්‍ය සේවය මධ්‍යගත ලෙස සැලසුම් කර ඇති එකක්. ඒක එහෙම වුනේ මාලිමා ආණ්ඩුව බලය ගත්තට පස්සේ නෙමෙයි. හැමදාමත් තිබුනේ ඔය මධ්‍යගත ආකෘතිය. පළාත් සභා ආවට පස්සේ යම් විමධ්‍යගත කිරීමක් සිදු කර තිබුණත්, ප්‍රායෝගිකව තවමත් තියෙන්නේ ඊට පෙර තිබුණු මධ්‍යගත ක්‍රමයම තමයි.

ඔය මධ්‍යගත ආකෘතිය ඔය විදිහටම දිගටම පවත්වා ගත යුතුද කියන එක වෙනම දේශපාලනික කරුණක්. නමුත් කාලයක් තිස්සේම රෝහල් පරිපාලනය සිදු වන්නේ මධ්‍යගත ආකෘතියක් ඇතුළේ කියන එක කරුණක් ලෙස පිළිගත්තට පස්සේ කාට හෝ පරිත්‍යාගයක් කරන්න අවශ්‍යනම් එය කළ යුත්තේ මධ්‍යගත සැලසුමට අනුගත වන විදිහට කියන එක හරි. 

ලංකාවේ රෝහල් පරිපාලනය වගේම පාසැල් පරිපාලනය සිදු වෙන්නෙත් මධ්‍යගත ආකෘතියක් ඇතුළෙයි. නමුත් රෝහල් වලටත් වඩා පරිත්‍යාග වලින් දුවන්නේ පාසැල් පද්ධතිය. ඒ වැඩේ වෙන්නේ මධ්‍යගත ආකෘතියට පිටින් ඉතාම විමධ්‍යගත විදිහටයි. පාසැල් අතර විශාල සම්පත් විෂමතා ඇති වී තිබෙන්නේත් මේ හේතුව නිසා. රෝහල් හා අදාළව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පාසැල් හා අදාළවද ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද කියන එක බලා සිටිය යුතු දෙයක්.

Tuesday, January 23, 2024

අපනයන කළ යුත්තේ ඇයි?


කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ ඇයි?

දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි?

මෙහි සඳහන් දෙවන කණ්ඩායම අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය බව හිතන්නේ පළමු කණ්ඩායම එසේ හිතන හේතුව මත පදනම්ව නෙමෙයි. ඉතාම සරලව කිවුවොත් රටට විදේශ විණිමය හොයා ගන්න. රටක් අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයා ගන්න කියන එක ජනප්‍රිය, ප්‍රචලිත, එහෙත් වැරදි අදහසක්. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.

ඔය අදහස එන්නේ සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ අදහස් පද්ධතියේ කොටසක් විදිහටයි. මේ ක්‍රමයේදී කිසියම් රටක් විසින් උත්සාහ කරන්නේ රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න. එහිදී පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේ දේවල් වලට ලොකු අවධානයක් යෙදවෙන්නේ නැහැ. 

මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තුළ රටක නිෂ්පාදන ප්‍රතිපත්තිය මේ වගේ තැනකට තල්ලු වීම තේරුම් ගන්න අපහසු නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුමක් බලාත්මක කළ හැක්කේ කිසියම් රටක දේශ සීමා ඇතුළේ පමණයි. ඒ නිසා, ඒ වගේ සැලසුමක් ආනයන මත පාදක වෙන එකක්නම් ඒ හේතුවෙන්ම එම සැලසුම අවුලට යාමේ ඉඩකඩ ඉහළ යනවා. මොකද රටේ දේශ සීමා වලින් එහා සිදු වන නිෂ්පාදන පිළිබඳව මධ්‍යගත සැලසුම හරහා බලපෑම් කරන්න බැහැ. රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළම නිපදවා ගත් තරමට මධ්‍යගත සැලසුමේ ඉලක්ක සම්බන්ධව රටේ බලාධිකාරියට වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසාම, එය සාර්ථක කර ගැනීම වඩා පහසුයි.

හැබැයි රටකට අත්‍යාවශ්‍ය සමහර දේවල් කිසියම් රටක මොන විදිහකින්වත් නිපදවන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තෙල් නිධි නැති රටක තෙල් නිපදවන්න බැහැ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා විදේශ විණිමය අවශ්‍ය වෙනවා. එම විදේශ විණිමය ප්‍රමාණය හොයා ගන්න රටේ නිපදවිය හැකි භාණ්ඩ හා සේවා වලින් කොටසක් අපනයනය කරන්න වෙනවා. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න කියන අදහස එන්නේ ඔය චින්තනය ඇතුළේ. 

ඉහත කී ආර්ථික චින්තනය ඇතුළේ ඉන්න රටකට ප්‍රමාණවත් අපනයන ආදායමක් නොමැති වූ විට ආනයන සීමා කරන්න පෙළඹෙනවා. අනෙක් අතට විදේශ විණිමය වැඩියෙන් එකතු වෙද්දී එම විදේශ විණිමය ආනයන වෙනුවෙන් වැය නොකර ගොඩ ගසා ගැනීමේ පෙළඹුමක් තිබෙනවා. 

රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරනවා කියන අදහසේම ලොකු අවුලක් තිබෙනවා. ඒ අවුල ලොකුවටම තියෙන්නේ ලංකාව වගේ පොඩි රට වලට. දැන් මම ඒ අවුල විස්තර කරන්නම්. 

අපි හිතමු ලෝකයේ හැම රටකම ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරන එක කියලා. පැරණි සෝවියට් දේශය ඇතුළු කොමිකොන් සංවිධානයේ සාමාජික රටවල ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මෙවැන්නක්. ඔය ක්‍රමය ඇතුළේ පොඩි රටවල් අවුලට යන්නේ මේ විදිහටයි.

පැරණි සෝවියට් දේශය වගේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු, විශාල ජනගහණයක් සිටින සහ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකට අවශ්‍ය දේවල් බොහොමයක් එරට තුළම නිපදවා ගන්න පුළුවන්. ඇතැම් විට හැම දෙයක්ම වගේ. නමුත්, සෝවියට් දේශයට සාපේක්ෂව කුඩා රටවල් වන වියට්නාමයට හෝ කියුබාවට එහෙම කරන්න බැහැ. එක්කෝ අවශ්‍ය ස්වභාවික සම්පතක් රටේ නැහැ. එහෙම නැත්නම් දේශගුණය බාධාවක්. තවත් හේතු ගණනාවක් නිසා මෙවැන්නක් විය හැකියි.

දැන් මේ වගේ කුඩා රටවල් වලට තමන්ගේ රටේ නිපදවා ගත නොහැකි යම් යම් දේවල් ආනයනය කරන්නම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විදේශ විණිමය හොයා ගන්න මොනවා හෝ දේවල් ටිකක් අපනයනය කරන්නත් වෙනවා. නමුත් ප්‍රශ්නය සෝවියට් දේශය වගේ ලොකු රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියක සිටිද්දී, කියුබාව වගේ රටකට සෝවියට් දේශයට මොනවා හෝ අපනයනය කර විදේශ විණිමය හොයා ගැනීමේ අවස්ථාව නැති වී යන එක. මොකද කියුබාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් සෝවියට් දේශයේත් හදන්න පුළුවන්. (මෙය උදාහරණයක් පමණයි). 

ඉහත හේතුව නිසා රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩා ආර්ථිකයන් ඇති රටවලට හැමදාම දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දෙන්න වෙන එක. ප්‍රායෝගිකව වුනත් වුනේ මේකයි. සමාජවාදී කඳවුරේ හිටපු පොඩි රටවලට හැම විටම මෙන් තමන්ගේ ආර්ථිකයන් තුලනය කරගන්න පුළුවන් වුනේ ලොකු රටවල අනුකම්පාව මත පදනම්වයි. නිශ්චිත ලෙස කිවුවොත් සෝවියට් ආධාර වල උදවුවෙන්. වියට්නාමය වගේ රටවලට ඒ කාලයේදී සෝවියට් දේශයෙන් වාර්ෂිකව ආධාර මුදල් ලැබුණා.

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ලිබරල් ප්‍රවේශයේදී මේ වගේ අවුලක් වෙන්නේ නැහැ. මොකද කිසියම් රටක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරන්නේ එය රට තුළ නිපදවා ගත නොහැකි නිසා නෙමෙයි. "සංසන්දනාත්මක වාසිය" නිසා. (මේ ගැන පෙර ලියූ ලිපි මාලාවක් තිබෙනවා. අවශ්‍යනම් කියවන්න.) උදාහරණයක් විදිහට ලංකාවේ මහලා ඇමරිකාවට යවන ඇඟලුම් ඇමරිකාව ඇතුළේම මහගන්න කිසිම බැරිකමක් නැහැ. 

අනෙක් අතට මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ඔය ලිබරල් ප්‍රවේශය තුළ අපනයන වර්ධනය වූ පමණින් රටක විදේශ විණිමය සමුච්ඡනය වෙන්නේ නැහැ. රටට එන විදේශ විණිමය අනෙක් අතට ආනයන ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රටෙන් එළියට යනවා. පසුගිය ලිපි හයකම අපි හිටියේ වියට්නාමය ඇතුළේ නිසා අපි නැවතත් වියට්නාමය වෙතම යමු. 

වියට්නාමය කියන්නේ විශාල අපනයන ආර්ථිකයක් තිබෙන රටක් බව ඔබ දැනටමත් දන්නවා. 2022 වසරේදී වියට්නාමය භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 371,304ක්. මීට සාපේක්ෂව ලංකාව ඉපැයුවේ ඩොලර් මිලියන 13,106.4ක් පමණයි. ඒ කියන්නේ 2022 වසරේ වියට්නාමයේ භාණ්ඩ අපනයන ආදායම ලංකාවේ එම ආදායම මෙන් 28 ගුණයක්.

ලංකාවට වඩා විශාල ජනගහණයක් සිටින ලොකු රටක් වන වියට්නාමය ලංකාව සමඟ සංසන්දනය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බව මෙම ලිපි මාලාවේ මුල් ලිපි වල පැහැදිලි කළානේ. ඒ කරුණ අපට අමතක කරන්න බැහැ. නමුත් වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් 28 ගුණයක් විශාල නැහැ. එය ඩොලර් බිලියන 408.8ක ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 74.4ක් වූ ලංකාවේ ආර්ථිකය මෙන් පස් හය ගුණයක් පමණ ලොකු ආර්ථිකයක්. ඩොලර් බිලියන 371.3ක අපනයන ආදායමක් කියා කියන්නේ ඊට සාපේක්ෂව වුවත් ඉතාම විශාල අගයක්. එරට දදේනියෙන් 90.8%ක්.

ඒ කියන්නේ වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතයෙන් 90.8%ක්ම අපනයනය කරනවාද? මෙම අගය භාණ්ඩ අපනයන පමණයි. මීට අමතරව වියට්නාමය විසින් යම් තරමක සේවා අපනයනද කරනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 12,900ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා අපනයනය රටේ දදේනියෙන් 94.0%ක්.

රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 94.0%ක්ම අපනයනය කළොත් එරට සමස්ත පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය අංශයේ පරිභෝජනය වෙනුවෙන්ද ඉතිරි වන්නේ දදේනියෙන් 6.0%ක කොටසක් පමණයි. නමුත්, 2022 වසරේදී වියට්නාමයේ පරිභෝජනය හා ආයෝජනය එරට දදේනියෙන් 96.29%ක්. මෙහෙම වුනේ කොහොමද?

පිළිතුර සරලයි. මේ වෙනස වියට්නාමයේ ආනයන. 2022 වසර තුළ වියට්නාමය විසින් ඩොලර් මිලියන 345,587ක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව ඩොලර් මිලියන 25,524ක සේවා ආනයනය කර තිබෙනවා. එකතුව එරට දදේනියෙන් 90.8%කට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වත්මන් වියට්නාමය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්නා ප්‍රතිපත්තියක නැති බවයි. ඒ වෙනුවට වියට්නාමය විසින් අනුගමනය කරන්නේ තමන්ට සංසන්දනාත්මක වාසියක් ඇති දේ අපනයනය කරන අතර එවැනි වාසියක් නැති දේ ආනයනය කිරීමේ ලිබරල් ප්‍රවේශයයි.

වියට්නාමය විසින් අපනයනය කරන දේවල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලද එරට තුළම නිපදවීමට උත්සාහ කළේනම් වියට්නාමයට මෙම අපනයන ඉලක්කයට යා හැකි වන්නේ නැහැ. නමුත්, ඒ හැම දෙයක්ම රට තුළ නිපදවීමෙහි සංසන්දනාත්මක වාසියක් නොමැති බව වියට්නාමය විසින් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා. වියට්නාමය විසින් කරන්නේ රට තුළ තරඟකාරී ලෙස නිපදවිය නොහැකි දේ ආනයනය කරමින් රට තුළ තරඟකාරී ලෙස කළ හැකි අගය එකතු කිරීම් කරන එක පමණයි.

ඉහත හේතුව නිසා වියට්නාමය විසින් අපනයන වෙළඳපොළ ඉලක්ක කරමින් කොයි තරම් විශාල නිෂ්පාදනයක් රට තුළ සිදු කළත්, ඒ මගින් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රට තුළට අද්දා ගත්තත්, එම විදේශ විණිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් නැවත රටෙන් එළියට යනවා. රට තුළ මහා පරිමාණයෙන් විදේශ විණිමය සමුච්ඡය වීමක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, භාණ්ඩ වෙළඳාම පමණක් සැලකුවහොත් වියට්නාමයේ විදේශ විණිමය අතිරික්තයක් දැකිය හැකියි.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 371,304

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 345,587

වෙළද ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 25,717


මෙයට සාපේක්ෂව ලංකාවේ වෙළද ගිණුමේ දැකිය හැක්කේ හිඟයක්.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 13,106.4

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 18,291.0

වෙළද ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 5,184.6

ලංකාවේ මෙම වෙළඳ හිඟයට හේතුවම ලංකාව ප්‍රමාණවත් තරමින් ලෝකයට විවෘත නොවීමයි. කෙසේ වුවත් කරුණක් සේ ගත්තොත්, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් පවතිද්දී වියට්නාමය විසින් අතිරික්තයක් පවත්වා ගන්නවා. ඒ නිසා, වියට්නාමයේ විශාල ලෙස විදේශ විණිමය ගොඩ ගැසෙනවාද?

වියට්නාමය භාණ්ඩ නිෂ්පාදනයේදී ලංකාවට වඩා තරඟකාරී වුවත්, සේවා නිෂ්පාදනයේදී ලංකාව වඩා තරඟකාරීයි. ලිපිය දිගු වන නිසා ඒ ඇයි කියා මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් පහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ කරුණ පැහැදිලි විය යුතුයි.

වියට්නාමයේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 12,900

සේවා ආනයනය - ඩොලර් මිලියන 25,524

සේවා ගිණුමේ හිඟය - 12,624

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල අතිරික්තය  - ඩොලර් මිලියන 13,093


ලංකාවේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 3,062.3

සේවා ආනයනය - ඩොලර් මිලියන 952.7

සේවා ගිණුමේ අතිරික්තය - 2,109.6

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 3,075.0

වියට්නාමය තරඟකාරී ලෙස රට තුළ භාණ්ඩ නිපදවා වෙළඳ අතිරික්තයක් පවත්වා ගත්තත්, සේවා නිෂ්පාදනයේදී ඒ තරඟකාරිත්වය නැති නිසා සේවා ගිණුමේ තියෙන්නේ හිඟයක්. වෙළඳ ගිණුමේ අතිරික්තයෙන් බාගයක් පමණ ඒ හිඟය පියවීම සඳහා වැය වෙනවා. මෙයින් වෙනස්ව, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් සේවා ගිණුමේ අතිරික්තය නිසා පියැවෙනවා.

රටකට ඩොලර් (විදේශ විණිමය) ලැබෙන්නෙත්, රටකින් විදේශ විණිමය පිට වන්නේත් භාණ්ඩ හා සේවා වෙළඳාම හරහා පමණක් නෙමෙයි.

රටකට විදේශ ආයෝජන පැමිණීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුනත් විදේශ ආයෝජකයින් මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඔවුන් වාර්ෂිකව රටෙන් එළියට අරගෙන යනවා. සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තිබෙන වියට්නාමයෙන් වසරකට මේ විදිහට එළියට යන විදේශ විණිමය ප්‍රමාණය ඉතාම විශාලයි.

ඉහත කී පරිදි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ලාභාංශ ලෙස රටින් පිටවන මුදල් හා එලෙසම රටට එන මුදල් සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. 2022 වසරේදී වියට්නාමයේ ප්‍රාථමික ආදායම් ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 22,049ක්. ලංකාවේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,123.6ක් පමණයි. 

මෙහිදී සිදු වන්නේ ආයෝජකයින් විසින් වියට්නාමයේ අඩු ශ්‍රමයේ වාසිය ලබා ගනිමින් එරට තුළ භාණ්ඩ නිපදවා ලැබෙන ලාබය රටෙන් රැගෙන යාමක්. ලංකාවේද සිදු වන්නේ මෙයම වුවත් එසේ සිදු වන්නේ අඩු පරිමාණයකින්. 

මේ දෙරටේම රටින් පිටත ඇති ආයෝජන එතරම් විශාල නොවන නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් ප්‍රමාණ එම ගෙවීම් වලට සාපේක්ෂව ඉතාම අඩුයි. වියට්නාමයේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 2,321ක්. ලංකාවේ ඩොලර් මිලියන 249.4ක් පමණයි. කොහොම වුනත් මේ කාරණයේදී පවා වියට්නාමය ලංකාවට සාපේක්ෂව විවෘත බව කැපී පෙනෙනවා. වියට්නාමයේ විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම ලංකාවේ එම ආදායම මෙන් දහ ගුණයකට ආසන්නයි.

ලංකාවේ වගේම වියට්නාමයේත් ප්‍රාථමික ආදායම් ගිණුම් වල දැකිය හැක්කේ හිඟයක්. එම හිඟය පියවීමෙන් පසුව මේ එක් එක් රටේ විදේශ විණිමය ප්‍රවාහ තුලනය වන්නේ කොහොමද?

සමස්තයක් ලෙස වියට්නාමයේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 6,635

සමස්තයක් ලෙස ලංකාවේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 4,949.1

පේනවානේ තත්ත්වය. වියට්නාමය විශාල නිෂ්පාදන ආර්ථිකයක් එක්ක විශාල වෙළඳ අතිරික්තයකින් පටන් ගත්තත්, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ එකතු කළාට පස්සේ රටේ විදේශ විණිමය හිඟය ලංකාවේ එම හිඟයටත් වඩා වැඩියි. වැඩියෙන් අපනයනය කළ පමණින්ම රටේ වැඩියෙන් ඩොලර් ඉතිරි නොවන බව මෙයින් පැහැදිලිව පේනවා ඇති.

රටකට විදේශ විණිමය එන්නේ ඔය ක්‍රම තුනට පමණක් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ ගැන කවුරුත් දන්නවනේ. ඒවා සටහන් වෙන්නේ ද්වීතියික ආදායම් ගිණුමේ. ලංකාවට වගේම වියට්නාමයටත් ශ්‍රමික ප්‍රේෂණ එනවා. ඒ වගේම, ඊට වඩා අඩු ප්‍රමාණයක් වුවත්, යම් විදේශ විණිමය ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටින් එළියටත් යනවා. ද්වීතියික ආදායම් ගිණුම ඉහත ගිණුම් තුනට එකතු කළාට පස්සේ තත්ත්වය කුමක්ද?

වියට්නාමයේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 12,213

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 6,652

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 5,561

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,074


ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 3,792.8

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 296.4

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 3,496.4

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,452.7


දැන් කතාව පැහැදිලි ඇතිනේ! 

සියලුම ඩොලර් ආදායම් හා ඩොලර් වියදම් තුලනය වුනාට පස්සේ ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,452.7ක හිඟයක් ඇති වෙලා. එම මුදල ආයෝජනයක් ලෙස හෝ ණයක් ලෙස රටට පැමිණිය යුතුයි. භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 371ක් උපයලා, ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගිණුම් අතිරික්තයක් එක්ක පටන් ගත්ත වියට්නාමයේ එහෙම වෙලා නැද්ද?

අවසාන ප්‍රතිඵලය දිහා බැලුවහම වියට්නාමයේ කියලත් වෙනසක් නැහැ. වියට්නාමය 2022 අවුරුද්ද අවසන් කරන්නේත් ඩොලර් බිලියනය ඉක්මවන ජංගම ගිණුම් හිඟයක් එක්ක. ඒ කියන්නේ උපයපු විදේශ විණිමය ප්‍රමාණය කොපමණ වුනත් ඊට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වියදම් වෙලා. 

කොයි තරම් අපනයන කළත් රටක විදේශ විණිමය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා, මොන විදිහකින් හෝ විදේශ විණිමය හොයන්න මහන්සි වෙන එක විදේශ විණිමය ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ වගේම, විදේශ විණිමය ප්‍රවාහ තුලනය කරගන්න ලොකුවට දඟලන්න අවශ්‍යත් නැහැ. විණිමය අනුපාතය නියම තැන තියෙනවානම් ඔය වැඩේ නිකම්ම වෙනවා.

අවදානමකට මුහුණ දීම සඳහා යම් විදේශ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, විදේශ විණිමය උපයලා ගොඩ ගහගෙන ඉන්න එකේත් තේරුමක් නැහැ. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ උපයන විදේශ විණිමය වැය කරන විටයි. ඒ වගේම, විදේශ විණිමය රටට එනවානම් ඒ එන්නේ මොන විදිහටද කියන එකේ ලොකු වෙනසක් නැහැ. භාණ්ඩ අපනයනය කළත්, සේවා අපනයන කළත්, ප්‍රාග්ධනය "අපනයනය" කරලා ලාභ එකතු කළත්, ශ්‍රමය "අපනයනය" කරලා ශ්‍රමික ප්‍රේෂණ එකතු කළත් එන්නේ එකම ඩොලර්. රටකට වඩා පහසුවෙන් ඩොලර් උපයන්න පුළුවන් දේ කරනවා මිසක් මේ එක ක්‍රමයක් වෙනුවට වෙන ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.

හරි. එතකොට වියට්නාමයේ මහ ලොකු නිෂ්පාදන ආර්ථිකය හෝ අපනයන ආර්ථිකය නිසා රටේ විදේශ විණිමය එකතු වෙන්නේ නැත්නම්, ඔය තරම් ලේසියෙන් විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නත් පුළුවන්නම්, අපනයන කරන්න ඔය තරම් මහන්සි විය යුත්තේ ඇයි?

ඒක වෙනම කතාවක්. ඒ වගේම වැදගත් කතාවක්. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න නෙමෙයි. විදේශ වෙළඳපොළ ඉලක්ක කර රටක නිෂ්පාදනය සිදු කරනවා කියන්නේ ගනුදෙනු හරහා ලෝකයම එක්ක සම්බන්ධ වෙනවා කියන එක. මෙහිදී විශාල අගය එකතු වීමක් වෙනවා. මෙය මුල් කොටසක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ලෝකයට විවෘත නොවී ඒ වගේ මට්ටමක අගය එකතු කිරීමක් කවදාවත් කරන්න බැහැ. 

රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ අගය එකතු වීමත්එක්ක. රටක ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. ලංකාව හා වියට්නාමය වැනි රට වලට කවදා හෝ සංවර්ධිත රටක් විය හැක්කේ මෙවැනි අගය එකතු වීම් වේගයෙන් සිදු වීමත් එක්ක.

විදේශ විණිමය ප්‍රශ්නය කියන්නේ ලොකු අමාරුවක් නැතිව පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ සඳහා අපනයන පරිමාව විශාල ලෙස වැඩි කරගන්න අවශ්‍ය නැහැ. නමුත්, රට ඉදිරියට යන්නනම්, එහෙම ගිහින් කවදා හෝ සංවර්ධිත රටක් වෙන්නනම් අපනයන අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ආනයන වැඩි නොකර අපනයන විතරක් වැඩි කරන්න බැහැ. ඔය දෙකම යන්නේ එකට. මේ පාරේ යද්දී රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම රටේ හදන්න උත්සාහ කළ යුතු නැහැ. වඩා තරඟකාරී ලෙස හැදිය හැකි, සංසන්දනාත්මක වාසියක් තියෙන දේවල් වෙත අවධානය යොමු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම රටට ඩොලර් එනවානම් ඒ එන ක්‍රමය එතරම් වැදගත් නැහැ.

Friday, January 12, 2024

වියට්නාම ආර්ථිකයේ හැරවුම


යම් රටකින් තවත් රටකට ගත යුතු දෙයක් තියෙනවද කියලා බලන්නනම් පළමුව ඒ රටවල් දෙකේ වෙනස්කම් අධ්‍යයනය කළ යුතුයි. එවැනි පෙනෙන වෙනසක් නැත්නම් එහි ගත යුතු අමුතු දෙයක්ද නැහැ. වෙනසක් ඇත්නම් ඇතැම් විට එහි ගත යුත්තක් තිබෙන්න පුළුවන්. ඒ වගේම, එවැනි වෙනසකින් පෙන්වන්නේ කිසිසේත්ම නොගත යුතු දෙයක් වෙන්නත් පුළුවන්.

අද අපි වියට්නාම් පොතේ දදේනි පිටුව පෙරළමු. වියට්නාමයේ දදේනිය ලංකාවේ එම අගය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. නමුත් ඒක පුද්ගල දදේනිය දිහා බැලූ විට රටවල් දෙකේ ලොකු වෙනසක් නැහැ. ලොකු රටක හා කුඩා රටක දදේනි සංසන්දනය කරන එක නිවැරදි නැති බව අපි දන්නවා. ඒ නිසා, අපි රටවල් දෙකේ දදේනි අගයයන් සංසන්දනය නොකර ඒවායේ සංයුති දෙස අවධානය යොමු කරමු.

ආර්ථිකයේ අංශ අනුව වෙන් කළ විට, වියට්නාමයේ 2022 දදේනියේ සංයුතිය මේ වගෙයි.

කෘෂිකාර්මික අංශය - 11.96%

කාර්මික අංශය - 38.17%

සේවා අංශය - 41.32%

ශුද්ධ බදු - 8.55%


දැන් අපිට ඉහත සංයුතිය ලංකාවේ එම සංයුතිය සමඟ සංසන්දනය කරන්න පුළුවන්.

කෘෂිකාර්මික අංශය - 8.7%

කාර්මික අංශය - 30.3%

සේවා අංශය - 56.1%

ශුද්ධ බදු - 4.9%

රටවල් දෙකේම දදේනි වල ලොකුම පංගුව සේවා අංශය. එහෙත්, ලංකාවේ එම කොටස වඩා වැඩියි. වියට්නාමයේ සේවා අංශයේ පංගුව අඩු වෙද්දී, එම අඩුව ඉතිරි සංරචක තුන අතර බෙදී ගොස් තිබෙනවා. එම පංගු තුනම ලංකාවේ එම පංගු වලට වඩා විශාලයි.

රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව පහළ යන එක සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය වසරේදී වෙනස් වුනත්, කාලයක් තිස්සේම ලංකාවේ ඒක පුද්ගල දදේනිය තිබුණේ වියට්නාමයට වඩා ඉහළින්. ඒ නිසා, වියට්නාමයේ දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව තවමත් ලංකාවේ එම පංගුව තරම් කුඩා වී නොතිබීම විශේෂ තත්ත්වයක් නෙමෙයි. වියට්නාමයේදී එම පංගුව ක්‍රමයෙන් කුඩා වෙමින් තියෙද්දී ලංකාව ලංකාවේ එම ප්‍රවණතාවය ආපසු හැරවීම සඳහා මහන්සි විය යුතු නැහැ.

හැබැයි මේ පංගු වල පරිණාමයේ එක් වෙනස්කමක් දකින්න පුළුවන්. ලංකාවේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙද්දී ඒ වෙනුවට සේවා අංශය වඩා වැඩියෙන් ආදේශ වී තිබෙනවා. ඊට සාපේක්ෂව, වියට්නාමයේ කාර්මික අංශයේ පංගුව ඉහළ ගොස් තිබෙනවා. වඩා ලොකු කෘෂිකාර්මික හා කාර්මික අංශයක් එක්ක සාපේක්ෂව කුඩා සේවා අංශයක් කියා කියන්නේ වියට්නාමයේ ආර්ථිකය ලංකාවට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකයක් කියන එක. වියට්නාමයේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදිත වල එකතුව දදේනියෙන් 50%ක් පමණ වෙද්දී, ලංකාවේ එම ප්‍රතිශතය 39%ක් පමණයි. වියට්නාමයේ දදේනිය තුළ රජයේ මැදිහත්වීම් වල බලපෑම වඩා විශාල බවද දැකිය හැකියි.

කාලයක් තිස්සේ දැඩි මධ්‍යගත සැලසුමක් ඇතුළේ ලොකු මහත් වූ වියට්නාම් ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකය පැත්තට බර වීමේ ලොකු පුදුමයක් නැහැ. සමාජවාදී මධ්‍යගත ආර්ථික සැලසුමක් ඇතුළේ රටක සේවා ආර්ථිකයට වෙළඳපොළ ආර්ථිකයකදී ලැබෙන සැලකිල්ල ලැබෙන්නේ නැහැ. එහි හොඳ නරක පසුව කතා කරමු. 

දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ වටිනාකම. මේ අගය ඇස්තමේන්තු කළ හැක්කේ වෙළඳපොළක් ඇත්නම් පමණයි. ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ කියන සංකල්පයෙන් අදහස් කරන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන යාන්ත්‍රනයක් මිසක් "පොදු වෙළඳපොළ" වැනි බෝඩ් ලෑල්ලක් ගහපු මුදලට බඩු විකුණන තැනක් නෙමෙයි. වෙළඳපොළ කියන සංකල්පය වියුක්ත අදහසක්. 

බෝඩ් ලෑල්ලක් ගහපු, මුදලට බඩු විකුණන තැනක් තිබූ පමණින් එහි වෙළඳපොළක් පවතින්නේ නැහැ. පැරණි සෝවියට් දේශයේ වගේම මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුගමනය කළ වෙනත් තැන් වලත් සමුපකාර හෝ වෙනත් ඒ ආකෘතියේ "මුදලට බඩු විකුණන තැන්" ඕනෑ තරම් තියෙන්න ඇති. නමුත් මේ තැන් හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වීමක් සිදු වුනේ නැහැ. එහෙම වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල වෙනස් වෙන්න ඉඩ ලැබුණොත් පමණයි. නමුත් ඔය තැන් වල වුනේ රජයෙන් නියම කරන මිලට බඩු විකුණන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ අර්ථයෙන්, වෙළඳපොළක් කියා එකක් තිබුනේ නැහැ.

රටක වෙළඳපොළක් නැත්නම් භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොළ වටිනාකම තක්සේරු කළ හැකි යාන්ත්‍රණයක්ද නැහැ. ඒ නිසා, ඒ වගේ රටක දදේනිය ඇස්තමේන්තු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ හේතුව නිසා ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය ඇතුළේ හිටපු රටවල් දදේනිය කියා එකක් ගණනය කළෙත් නැහැ.

දදේනිය ගණනය නොකර රටක ආර්ථිකයේ දිශානතිය ගැන අදහසක් ගන්න බැහැ. ඒ නිසා, ආර්ථිකය වර්ධනය වන බව සහතික කර ගන්න හෝ එසේ වන පරිදි සැලසුම් හදන්නත් බැහැ. මේ හේතුව නිසා පැරණි සමාජවාදී රටවල් විසින් දදේනිය වෙනුවට ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා මිනුමක් සකස් කරගෙන තිබුණා. මාක්ස්ගේ අදහස් මත පදනම්ව සකස් කර තිබුණු මෙම මිනුම තුළ වෙළඳපොළ වටිනාකාම කියන සාධකය නොසලකා හැර ද්‍රව්‍ය නිෂ්පාදිතයේ සමස්තයක් ගණනය කෙරුණා. 

වියට්නාමයද ඇතුළුව පැරණි සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේම රටේ ආර්ථික දියුණුව මැන්නේ මෙම ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ඇසුරෙනුයි. පසුව, මේ රටවල් විසින් එම ගණනය කිරීම අත හැර අනෙක් රටවල් මෙන්ම දදේනිය ගණනය කරන්න පටන් ගත්තා. දැන් මේ ක්‍රමය තවදුරටත් භාවිතා කරන්නේ උතුරු කොරියාව සහ කියුබාව වැනි රටවල් පමණයි.

ගුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සේවාවන් බොහොමයක වටිනාකම මග හැරී යනවා. ඊට හේතුව වෙළඳපොළක් නැති පසුබිමක සේවා හරහා සිදු වන අගය එකතු වීම පහසුවෙන් ගණනය කළ නොහැකි වීමයි. මෙයින් වෙනස්ව වෙළඳපොළ ආර්ථිකයක් තුළ අගය එකතු වීම සිදු වන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් හරහාද නැත්නම් සේවා නිෂ්පාදනයක් හරහාද කියන එක ඒ තරම් වැදගත් නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කරගත හැක්කේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කර ගැනීමෙන් පමණක් නිසා එම රටවල මධ්‍යගත සැලසුම් තුළ හැම විටම මෙන් ඉලක්ක කළේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර ගැනීමටයි.

වෙළදපොළ ආර්ථික ක්‍රමය තුළ අවසන් ඉලක්කය හැකි පමණ වැඩි අගය එකතු කිරීමක් කිරීමයි. ගනුදෙනු වැඩි වන තරමට මෙම ඉලක්කයට වඩා කිට්ටු වෙනවා. ඒ නිසා, ප්‍රායෝගිකව විවිධ සීමාවන් දැකිය හැකි වුවත්, වෙළදපොළ ආර්ථික ක්‍රමය හා ජාත්‍යන්තර වෙළඳාම ගහට පොත්ත මෙන් එකට යන දෙකක්. 

මෙයින් වෙනස්ව මධ්‍යගත සැලසුමක් සකස් කළ හැක්කේම කිසියම් ප්‍රදේශයක් හා ජනගහණයක් ඉලක්ක කර පමණයි. ඒ නිසාම, සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සමඟ ආරක්ෂණවාදය එකට යනවා. මෙයින් නෛසර්ගික ලෙසම ජාත්‍යන්තර වෙළඳාම දිරිමත් කරන්නේ නැහැ.

මධ්‍යගත සැලසුම් ක්‍රමය තුල සිටි රටවල් ජාත්‍යන්තර ගනුදෙනු නොකළ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. එවැනි ගනුදෙනු විශාල ලෙස සිදු වුනා. එහෙත්, බොහෝ විට මෙම ගනුදෙනු සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම මග හැර වෙනත් මූලධර්ම මත පදනම් වූ වෙනත් යාන්ත්‍රන හරහායි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මාර්ෂල් සැලසුම අනුව බටහිර රටවල් විසින් 1948දී යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසුව සෝවියට් කඳවුර විසින්ද එවැනිම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. මෙය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතා කවුන්සිලය හෙවත් කොමිකොන් සංවිධානය ලෙස හැඳින්වුනා. යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානයේ මෙන්ම මේ සංවිධානයේද අරමුණ වූයේ සාමාජික රාජ්‍යයන් අතර වෙළඳාම වැඩි දියුණු කර ගැනීමයි. වියනාමය 1978 වසරේදී කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ගනිමින් එම සංවිධානයට සම්බන්ධ වූ දහවෙනි හා අවසන් රට බවට පත් වුනා. එම රට කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් එකම ආසියාතික රටයි. චීනය මෙම සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියේ නැහැ. 

සමාජවාදී රටවලට තම කඳවුරේ හා කඳවුරෙන් පිටත අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු කිරීම වෙළඳපොළ ක්‍රමය පිළිගත් රටවල් එකිනෙකා සමඟ ගනුදෙනු කරන තරම් සරල හෝ පහසු වූයේ නැහැ. වෙළඳපොළ ක්‍රමය අනුව භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි ඉල්ලුම හා සැපයුම අනුව නිසා එහි අමුතුවෙන් ගිවිසුම්ගත වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ භාණ්ඩයක මිල නිර්ණය වුනේ එක් එක් රටේ මධ්‍යගත සැලසුම තුළයි. මේ නිසා රට රටවල මිල ගණන් අතර විශාල නොගැලපීම් තිබුණා. එහෙත් වෙළඳපොළ ක්‍රමය තුළ මෙන් ජාත්‍යන්තර වෙළඳාම තුළ මේ නොගැලපීම් ගැලපිය හැකි ස්වභාවික යාන්ත්‍රනයක් තිබුණේ නැහැ.

ඉහත කී නොගැලපීම් මධ්‍යයේ සමාජවාදී කඳවුරේ රටවලට ගනුදෙනු කළ හැකි වූයේ කිසියම් ආකාරයක භාණ්ඩ හුවමාරු පදනමක් මත පමණයි. ලංකාව හා චීනය අතර වූ රබර්-සහල් ගිවිසුම ක්‍රියාත්මක වූයේද මෙවැනි මූලධර්මයක් මත පදනම්වයි. කෙසේ වුවද, මොන විදිහෙන් හෝ මේ රටවල් අතරද සැලකිය යුතු පරිමාණයකින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනා.

සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව කොමිකොන් සංවිධානයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමයෙන් අක්‍රිය වී ගියා. එයින් පසුව එම කඳවුර සමඟ කාලයක් සිටි වියට්නාමයට අලුතෙන් වෙළඳපොළවල් සොයා ගැනීමේ දැඩි උවමනාවක් ඇති වුනා. ඊට අනුරූපව, වියට්නාමය විසින් සිය සමාජවාදී දේශපාලන ව්‍යුහය එලෙසම තිබියදීම ආර්ථික තලයේදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙත යොමු වුනා. වියට්නාමයේ ආර්ථිකය සීග්‍ර පරිවර්තනයකට ලක් වෙන්නේ මෙම ප්‍රතිපත්ති වෙනසින් පසුවයි. වැඩි විස්තර ඉදිරි ලිපියක කතා කරමු. 

Friday, July 28, 2023

තවත් රාජ්‍ය මැදිහත්වීමක්!


ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීමාවයි. මෙවැනි සීමාවන් හා අදාළව රටවල් අතර ඇති සම්මුතීන් බිඳුණු විට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා, රටක් කියන්නේ රටක රජය නොවුනත්, රටක් පැවතීම සඳහා එම රට මත අණසක පැතිරවිය හැකි රජයක්ද පැවතිය යුතුයි. 

රජයක් පවතිනවා කියන්නේනම රාජ්‍ය මැදිහත්වීම්ද තිබෙනවා කියන එකයි. රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් එහි රජයක් කියා දෙයක් නැහැ. එවිට ඉතිරි වන්නේ අරාජිකත්වයයි. එහෙත්, ජන ජීවිතය කෙරෙහි මැදිහත් වන ප්‍රමාණය අනුව විවිධ රටවල රජයයන් වෙනස් වෙනවා.

ධනවාදී ආර්ථික ක්‍රමයක පදනම වන්නේ පෞද්ගලික දේපොළ එක් රැස් කර ගැනීමට, මිනිසුන් අතර නිදහස් ගනුදෙනු කිරීමට හා එම නිදහස් ගනුදෙනු වලින් පෞද්ගලික ලාබ ලැබීමට ඉඩ සැලසීමයි. මෙහිදී මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත හැකි හා එම තීරණ වල වගකීම තමන් විසින්ම ගත හැකි බුද්ධිමතුන් පිරිසක් සේ උපකල්පනය කෙරෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමය හා එයට පාදක වූ පුද්ගල නිදහස පිළිගන්නා රජයක රාජ්‍ය මැදිහත් වීම් සිදු වන්නේ පුද්ගලයින් අතර සිදු වන ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස කර ගැනීමට ඉඩ සලසන වටාපිටාවක් ඇති කෙරෙන ආකාරයෙනුයි. 

මෙවැනි, ධනවාදය පිළිගන්නා රජයක මූලික කාර්යයක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා, රටේ සියල්ලන්ටම එකඟ විය හැකි පරිදි, නීතිය මගින් දේපොළ අර්ථදැක්විය හැකියි. මෙහිදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වය අතර ඇති විය හැකි අවිනිශ්චිතතා අඩු වී ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

එක් සරල උදාහරණයක් ලෙස පොළේ ගිහින් එළවළුවක් මිල දී ගනිද්දී ගොඩවල් ගණනට විකිණීම හා මිල දී ගැනීමට සාපේක්ෂව බර අනුව මිල දී ගනිද්දී ගනුදෙනුව සිදු කරන භාණ්ඩය පිලිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීම පහසු වෙනවා. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය සටහන්ව ඇති විට පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ලැබෙන අතර වෙළෙන්දාට එය තහවුරු කිරීම පහසු වෙනවා. මේ ආකාරයේ සම්මුතීන් ඇති වීම සඳහා රජයක පැවැත්ම අනිවාර්ය නොවුනත්, රජයක් පැවතීම තුළ එම රජයේ අණසක පවතින ප්‍රදේශය තුළ මෙවැනි සම්මුතීන් ඒකාකාරී ලෙස පවත්වා ගත හැකියි. එයින් පුද්ගල ගනුදෙනු වල වපසරිය පුළුල් වී කාර්යක්ෂමතාවය ඉහළ යනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගන්නා සහ එහි කාර්යක්ෂමතාවය අවබෝධ කරගත් රජයක් මිල පාලන ආදී ක්‍රම වලින් වෙළඳපොළට මැදිහත් වන්නේ ඉතා අඩුවෙන්. පෞද්ගලික අංශයට කළ හැකි නිෂ්පාදන, බෙදාහැරීම් හා විකිණීම් හරහා වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්. මෙහිදී මා ඉතා අඩුවෙන් යන වචනය භාවිතා කරන්නේ රටේ පවතින දේශපාලනික තත්ත්වයන් අනුව ඕනෑම රටක රජයක් විසින් රටක වෙළඳපොළට යම් මැදිහත්වීමක් කරන නිසා. එහෙත්, එවැනි මැදිහත්වීමක් කරන්නේ විශේෂ හේතුවක් ඇත්නම් පමණයි.

ඕනෑම රටක රජයක් එම රජයේ පැවැත්ම හා රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා. සැලසුම් හැදීම ඒකීය පුද්ගලයින්, ව්‍යවසායකයින්, ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් මෙන්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් සමාගම් හා සංවිධාන විසින්ද කරන දෙයක්. රටක රජයක් විසින් සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගත් පමණින් එවැනි රජයක් කිසිදු සැලසුමක් නැතිව ඉබාගාතේ යන රජයක් වන්නේ නැහැ. වෙළඳපොළ නිදහස තහවුරු කිරීම සඳහා වුවද සැලසුම් අවශ්‍ය වෙනවා. 

සමාජවාදී මධ්‍යගත සැලසුමක් කියන්නේ ඉහත ආකාරයේ සාමාන්‍ය සැලසුමක් නෙමෙයි. මෙවැන්නක් මූලධාර්මික තලයේදීම වෙනස් වෙනවා. සමාජවාදී ක්‍රමයේ පදනම වන්නේ මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි පිරිසක් ලෙස හඳුනා ගැනීමයි. ඒ අනුව, මුළු රටකම මිනිසුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම දේශපාලන පක්ෂයක්, එම දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන රජය හෝ වෙනත් සුළු පිරිසක් විසින් අතට ගන්නවා. රටේ අනෙකුත් සියලුම මිනිසුන්ට ඒ සැලසුමේ කොටස්කරුවන් වීමට සිදු වෙනවා. මෙහිදී රාජ්‍ය මැදිහත්වීමක් කිරීම සඳහා විශේෂ හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ ආකාරයේ මධ්‍යගත සමාජවාදීන්ට නිදහස ලබන්නටත් පෙර සිටම ලංකාවේ දේශපාලනය තුළ විශාල බලයක් තිබුණා. ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ආකාරයට ලංකාවේ රාජ්‍ය ආකෘතියද සකස් වුනා. අදටත් ලංකාවේ රජය විසින් කරන බොහෝ දේවල් රජය විසින් කරන්නේ එසේ කළ යුතු විශේෂ හේතුවක් තිබෙන නිසා නෙමෙයි. 

කෙසේ වුවත්, රාජ්‍ය ආකෘතියක් තුළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් එකතු කර ඇති කොටස් ගලවා දැමීම සීරුමාරුවට කළ යුතු වැඩක්. රජයක් විසින් කොපමණ මැදිහත්වීම් කළත් එම මැදිහත්වීම් හමුවේ වුවද වෙළඳපොළ නැවත සකස් වෙමින් හැකි පමණින් කාර්යක්ෂමතාවය සොයා යනවා. එසේ කිසියම් ආර්ථිකයක් සීමාවන් තුළ වුවද ප්‍රසස්ථකරණය වී ඇති විටෙක, එකවර රාජ්‍ය මැදිහත්වීම ඉවත් කළ විට ඇසිඩ් පානය කළ අයෙකුට වමනය කරවීමේදී සිදු වන ආකාරයේ හානියක් සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ කාර්යක්ෂමතාවය සොයා යාමේදී එයට බාධා කෙරෙන ආකාරයේ රාජ්‍ය මැදිහත් වීම් ඉවත් කළ යුතු වුවත්, හදිසියේ එවැන්නක් කිරීම්දී ඇති විය හැකි වෙළඳපොළ කම්පනය ගැනද සැලකිලිමත් විය යුතුයි. 

ලෝකය පුරා නැවත නැවතත් අසාර්ථක වී ඇතත් මධ්‍යගත සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැනටත් ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකියි. ඔවුන්ට රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා හේතු අවශ්‍ය නැහැ. ජනමතය විරුද්ධ පැත්තේ ඇති විට ප්‍රසිද්ධියේ නොකිවුවත්, කවුරු හෝ විසින් ලාබ ලැබීම කෙරෙහි වන මූලික විරෝධය හා පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ විරෝධය ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් හේතුවක්. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම රජය මගින් කිරීම ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන්ට හේතු අවශ්‍ය වන්නේ පෞද්ගලික අංශයට ඉඩක් දීමේදීයි. 

ඉහත මධ්‍යගත සැලසුම් ක්‍රමය ප්‍රතික්ෂේප කරන, වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිගන්නා රජයයන් විසින් වුවද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. එහෙත්, එවැනි මැදිහත්වීම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි හා නිශ්චිත ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. මෙවැනි පියවරක් තබන්නට පෙර සමත් විය යුතු පළමු පරීක්ෂාව අදාළ කාර්යය පෞද්ගලික අංශය හරහා ඉටු නොවන බව තහවුරු කර ගැනීමයි. දෙවන පරීක්ෂාව එසේ පෞද්ගලික අංශය විසින් අදාළ කාර්යය නොකිරීමට හේතුව හෝ හේතු හඳුනාගැනීමයි. තෙවන පරීක්ෂාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බව සෑහෙන තරමක විශ්වාසයකින් යුතුව තහවුරු කර ගැනීමයි. පළමු පියවර දෙකට සාපේක්ෂව දෙවැන්න දේශපාලනිකයි. 

පසුගිය (2022) දෙසැම්බර් මාසයේ පළ කළ "ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්" ලිපියෙන් ඇමරිකාවේ සිදු වන මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. එම සටහනේ ලියා ඇති පරිදි, සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් ගෙයක් මිල දී ගනිද්දී අඩු වශයෙන් නිවසේ වටිනාකම මෙන් 5%ක පමණ ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. එක්තරා කාලයකදී මෙය 30%-50% පමණ ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. 

මේ ඩවුන් පේමන්ට් එක ගෙවිය යුතු නිසා, යමෙකුට ගෙයක් මිල ගන්න කලින් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගෙය ඇපයට තියා ගත්තත්, ගෙයි වටිනාකම අඩු විය හැකි නිසා ණය දෙන බැංකුවකට ගෙයි මුළු වටිනාකමම ණයට දීලා අවදානමක් ගන්නත් බැහැ. 

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න ඉඩ සලසනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. නමුත් එම මැදිහත්වීම බදු ගෙවන්නට බරක් නැති මැදිහත්වීමක්. මැදිහත්වීම හරහා කෙරෙන්නේ බැංකු මුහුණ දෙන අවදානම අඩු කිරීම මගින් අඩු ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දිය හැකි වාතාවරණයක් හදන එක. මේ වන විට ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් මේ වර්ගයේ ණය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම නිසා සාමාන්‍ය නිවාස ණයක් සඳහා ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එකද ක්‍රමයෙන් අඩු වී තිබීමයි.

කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ රජය මුල් වී රක්ෂණ ක්‍රමයක් හදන එක. රක්ෂණ ආයතනයක් විශාල වූ තරමට වැඩි අවදානමක් ගන්න පුළුවන්. මේ විදිහට හදන ආයතනය රජය මුල් වී හදන ආයතනයක් වුනත් එහි කොටස්කරුවෝ සාමාජික බැංකු. ලාබය යන්නෙත් ඔවුන්ට. ඒ නිසා, රජයේ මූල්‍යමය මැදිහත් වීමක් නැහැ. 

මීට කිට්ටු ආකෘතියක් යොදා ගනිමින් මේ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය දීම සඳහා අලුත් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා. මම හිතන්නේ මෙය හොඳ ප්‍රවේශයක් හා හොඳ රාජ්‍ය මැදිහත්වීමක්. 

කෙසේ වුවත්, මෙය ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව ස්ථාපනය කිරීම මෙන් රජය විසින් මාර්ගෝපදේශනය පමණක් කිරීමක් නෙමෙයි. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල හවුල්කාරිත්වයක් ලෙස බිහිවන ආයතනයක්. ලංකාවේ දැනට පවතින සන්දර්භයේ එහි වැරැද්දක් නැහැ. ආයතනය හොඳින් ස්ථාපනය වූ පසු අවශ්‍යනම් රජයේ කොටස්ද සාමාජික බැංකු වලටම විකුණා දමන්න පුළුවන්. National Credit Guarantee Institution (NCGI) ලෙස හැඳින්වෙන මෙම ආයතනයේ කොටස්හිමියන් හා සාමාජිකයින් ලෙස බැංකු 10ක් හා බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් එකතු වී තිබෙනවා.ඉහත ආයතනය පිහිටුවීම සඳහා තාක්ෂණික සහයෝගය මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙන අතර සාමාජික බැංකු වල කොටස් ආයෝජන වලින් තවත් ඩොලර් මිලියන 10ක් එකතු වෙනවා. ඒ අනුව, වැඩේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් එකතු කරන්නේත්, රැකියා වලින් 45%ක් සපයන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ. රටේ ආර්ථික වර්ධනයේ එන්ජිම මොවුන් කියා කියන්නත් පුළුවන්. එහෙත්, සාමාන්‍යයෙන් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට බැංකු ණයක් ගන්න එක ලේසි නැහැ. ප්‍රධානම හේතුව ඇපයට තියන්න දෙයක් නැතිකම. යම් හෙයකින් ණයක් ගත්තත් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු වල පැත්තෙන් මෙය සාධාරණයි. ඒ මොවුන්ගේ ණය පැහැර හැරීමේ අවදානම වැඩි නිසා සහ ඇපකරයක් නැත්නම් එහිදී විය හැකි පාඩුව වැඩි නිසා.

අලුත් ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව හරහා සිදු වන ආකාරයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ණය රක්ෂණය වෙනවා. ඒ නිසා, බැංකු වලට ණය ආපසු නොලැබීමේ අවදානම අමතක කරලා සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන්. මේ විදිහට ණය රක්ෂණය කිරීම වෙනුවෙන් ලබාගන්නා රක්ෂණ වාරික මුදල් වලින් අලුත් ආයතනයට රටේ මහ ජනතාවට බරක් නොවී පවතින්න පුළුවන්. 

වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා අලුත් ආයතනයේ ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම හිතන්නේ එක් එක් සාමාජික ආයතනයට යම් කෝටා එකක් ලැබෙයි. එම කෝටා එකට යටත්ව එක් එක් ආයතනය විසින් සහන පොලියකට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙයි. ඒ හැර අලුත් ආයතනයෙන් කෙළින්ම ණය ලබා දෙන එකක් නැහැ. එහෙත්, මේ ක්‍රමය යටතේ ණය ගැනීමේදී ණය ගන්නා ආයතනයෙන් සහ මෙම ආයතනයෙන් යන දෙතැනින්ම අනුමැතිය ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ සිදු වන දෙයක් නිසා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් සාමාජික බැංකු වලට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම්, මෙයත් තවත් එක් රාජ්‍ය ආයතනයක් විය හැකියි. කොහොම වුනත්, එදාවේල තීරණ වෙනුවට දිගුකාලීනව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන මෙවැනි දෙයක් ගැන හිතපු එකම වුනත් හොඳ ප්‍රවණතාවක්.

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, September 4, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (තෙවන කොටස)


ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.

වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන. 

පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.  

රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා. 

හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්. 

ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.

අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.

රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා. 

ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා. 

ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.

දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා. 

මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.

එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි. 

පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්. 

ලංවිම - 12,711 GWh 

පෞද්ගලික අංශය - 4,004 GWh 

එකතුව - 16,716 GWh 

මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.

කොට්ඨාශය 1 - 4,129 GWh 

කොට්ඨාශය 2 - 4,766 GWh 

කොට්ඨාශය 3 - 2,675 GWh 

කොට්ඨාශය 4 - 2,010 GWh 

ලෙකෝ - 1,633 GWh 

එකතුව - 15,214 GWh 

හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.

විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්. 

කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89  

කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85

කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17

කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68

ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04

මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ. 

ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය. 

ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි. 

ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි. 

හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි. 

අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ. 

කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.

මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 

සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන. 

ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා. 

ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු. 

වෙබ් ලිපිනය: