වෙබ් ලිපිනය:

Tuesday, November 12, 2024

දේශපාලන මාලිමාව

ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද?

The Political Compass වෙබ් අඩවියෙන් මෙම පරීක්ෂණය කර ගත හැකියි.

(https://www.politicalcompass.org/test)

මෙහි සිංහල සංස්කරණයක් පහත සබැඳියේ තිබෙනවා. මේ හා අදාළ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට කැමතියි.

(https://pihituma.blogspot.com/2024/11/maliwawa.html)

Monday, November 11, 2024

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ


තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව.

පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, ඊට පෙර (2022) වසරේදී රුපියල් මිලියන 617,689ක දැවැන්ත අලාභයක් වාර්තා කිරීමෙන් පසුවයි. 2022 වසර අවසන් වෙද්දී තෙල් සංස්ථාවේ සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 1,032,316ක්ව පැවතුනා. මේ වන විට එම අලාභය රුපියල් මිලියන 912,113 දක්වා අඩු වී තිබෙනවා. එසේ අඩු වූ ආකාරය පසුව විස්තර කරන්නම්.

රුපියල් මිලියන 1,032,316ක සමුච්ඡිත අලාභයක් කියා කියන්නේ 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3%කට සමාන අලාභයක්. රටේ ජනගහණයෙන් බෙදූ විට රුපියල් 46,541ක මුදලක්. අලාභයේ තරම හිතාගන්න මේ සංසන්දන ප්‍රමාණවත් විය යුතුයි. 

දෙදහස් විසි දෙක වසර අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 28,487ක මුදලක් තෙල් සංස්ථාවෙහි ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර තිබුණා. එහෙත් ඒ වන විට එම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් සෘණ 86,732ක්. ඒ කියන්නේ දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට තෙල් සංස්ථාවේ වත්කම් එහි බැරකම් වලට වඩා එපමණකින් වැඩි වී තිබුණු බවයි. 

ඉහත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 884,093ක මුදලක් තෙල් සංස්ථාව වෙත පොම්ප කරනු ලැබුවා. ඇත්ත වශයෙන්ම මෙහිදී මුදල් පොම්ප කිරීමක් සෘජුව සිදු වූයේ නැහැ. සිදු වුනේ තෙල් සංස්ථාවේ ණය එපමණ ප්‍රමාණයක් රජය විසින් භාර ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාග්ධනය ලෙස තෙල් සංස්ථාවෙහි හිර කර ඇති මුදල රුපියල් මිලියන 912,582 දක්වා ඉහළ ගියා.

පෙර සඳහන් කළ තෙල් සංස්ථාවේ රුපියල් මිලියන 120,346ක ලාභය රජය විසින් එහි යොදවා ඇති ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් 13.2%ක්. එම වසරේදී රජයේ බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ඵලදා අනුපාතිකය මීට වඩා බෙහෙවින්ම වැඩි 30% පමණ දක්වා ඉහළ ගොස් තිබුණු ප්‍රතිශතයක්. මේ වන විටද දිගුකාලීන බැඳුම්කර ඵලදා අනුපාතික පවතින්නේ 13.2%ට ආසන්න මට්ටමකයි. 

වෙනත් අයුරකින් කිවහොත්, ශ්‍රී ලංකා රජය විසින් භාරගෙන තිබෙන තෙල් සංස්ථාවේ ණය සඳහා ගෙවිය යුතු පොලිය සැලකුවහොත්, ඉහත ලාභය තව දුරටත් ලාභයක් වෙන්නේ නැහැ. මෙහිදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ තෙල් සංස්ථාව සාමාන්‍ය සමාගමක් වී නම් ලාභයෙන් 30%ක් ආදායම් බදු ලෙසද ගෙවන්නට සිදුවන බවයි. එසේ ගෙවීමෙන් පසුව, ආයෝජනය සඳහා හිමි වන්නේ 9.2%ක පමණ ප්‍රතිලාභයක්. ඒ නිසා, මෙසේ වාර්තා වන තෙල් සංස්ථාවේ ලාභ යනු හුදෙක් ගිණුම්කරණ ලාභ මිස සැබෑ ආර්ථික ලාභ නෙමෙයි.

කෙසේ වුවද, තෙල් සඳහා මිල සුත්‍රය සකස් කර තිබෙන්නේ ආසන්න වශයෙන් ආර්ථික ලාභ ශුන්‍ය වන පරිදි බව පෙනෙන්නට තිබෙනවා. ගිණුම්කරණ ලාබය ආසන්න වශයෙන් යෙදවූ ප්‍රාග්ධනය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු මුදලට සමාන වීමෙන් පෙනී යන්නේ එයයි. ආර්ථික ලාභ ශුන්‍ය වන තත්ත්වයක් කියා කියන්නේ පෞද්ගලික සමාගමකට පැවතිය හැකි අවම මට්ටමයි. මෙම අවම මට්ටමට සමාන ලාභයක් ලැබිය නොහැකිනම් පෞද්ගලික ආයතනයක් දිගටම ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ නැහැ. 

මේ අනුව, 2022 වසරේදී තෙල් මිල පැවතී තිබෙන්නේ ආසන්න වශයෙන් නියම මට්ටමේ කියා කියන්න පුළුවන්. එයින් අදහස් වන්නේ වෙළඳපොළ තරඟකාරී වීනම් ව්‍යාපාරය වසා නොදමා දිගටම පවත්වා ගෙන යාම පිණිස අය කළ යුතු අවම මිල ගණන් බවයි.

මිල ගණන් මීට වඩා පහත හෙළීම කිසිසේත්ම නොකළ හැකිව තිබුණු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ දමා ගැනීම මගින් මීට වඩා අඩු මිලකට තෙල් විකිණීමේ හැකියාවක් තිබුණා. එහෙත්, පැවති කාර්යක්ෂමතා මට්ටම අනුව මීට අඩුවෙන් තෙල් විකිණීමේ හැකියාවක් සංස්ථාවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමටනම් රජයෙන් සෘජුව හෝ වක්‍රව සහනාධාරයක් ලැබිය යුතුයි. 

ඉන්ධන වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක මිල සුබසාධනය කිරීම දේශපාලනිකව කළ යුතු දෙයක් වෙන්න පුළුවන්. එය ආර්ථික කරුණු වලින් පරිබාහිර දෙයක්. එහෙත් මේ අයුරින් රජය විසින් සුබසාධනය කළ යුත්තේ කවුද යන ප්‍රශ්නය මෙහිදී පැන නගිනවා. එසේ සුබසාධනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ සේවකයින්ය යන්නට බොහෝ දෙනෙකු කැමති වන එකක් නැහැ. යම් හෙයකින් සුබසාධනය කරන්නේනම් කළ යුත්තේ පොදුවේ පාරිභෝගිකයින්ව හෝ ඔවුන්ගෙන් තෝරාගත් කොටසකුයි.

මේ අනුව, යම් සහනාධාරයක් ලබා දෙනවානම් එය සෛද්ධාන්තිකව ලබා දිය යුත්තේ පාරිභෝගිකයාටයි. එයින් වෙළඳපොළ විකෘතියක් (විකල්ප තත්ත්වයට සාපේක්ෂව) සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙන අතරම තෙල් සංස්ථාවට ආර්ථික ලාභ සෘණ කර නොගනිමින් පැවතිය හැකියි. එවිට තෙල් මිල සුබසාධනය කිරීම තෙල් සංස්ථාවේ ව්‍යාපාරික ඉලක්කයට සෘජු සම්බන්ධයක් නොමැති රාජ්‍ය ප්‍රතිපත්තියක කොටසක් පමණක් වෙනවා.

ඉහත ආකාරයේ සුබසාධනයකින් වෙළඳපොළ තරඟයට බාධාවක් සිදු වන්නේ නැහැ. සහනාධාරය ලබන පාරිභෝගිකයෙකුට තමන් කැමති තෙල් සැපයුම්කරුවෙකුගෙන් තෙල් මිල දී ගත හැකි බැවින් තෙල් සැපයුම්කරුවන් අතර තරඟය එලෙසම තිබෙනවා. 

කෙසේ වුවත් මේ අයුරින් පාරිභෝගිකයින් වෙත යම් මුදලක් සහනාධාරයක් ලෙස ලබා දීම පරිපාලනමය ලෙස අපහසු වැඩක්. ඒ නිසා ප්‍රායෝගිකව මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී කරන්නේ පාරිභෝගිකයින්ට ලැබිය යුතු සහනාධාර මුදල ඔවුන් වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ලබා දීමයි. එවිට ඔවුන්ට එම මුදල අඩු කර අඩු මිලකට තෙල් විකිණිය හැකියි. මෙවැනි ක්‍රමයකදී සියළුම සැපයුම්කරුවන් සහනාධාරය බෙදා හැරීමේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

කෙසේ වුවත් ලංකාවේ දැනට පවතින සන්දර්භය තුළ මේ අයුරින් සහනාධාර දීමක් කළ යුතුනම් එය මීටත් වඩා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා කළ යුතු වන්නේ තෙල් වලින් අය කරන බදු මුදල අවශ්‍ය ප්‍රමාණයෙන් අඩු කිරීමයි. 

මෙය එසේ කළ යුතුයැයි කරන යෝජනාවක් නෙමෙයි. දැනට ශ්‍රී ලංකාව සිටින ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව බදු ආදායම් අඩු කර ගැනීමට ප්‍රායෝගික හැකියාවක් නැහැ. ඒ නිසාම ඉන්ධන සඳහා සහනාධාර ලබා දීමේ හැකියාවක්ද නැහැ. එසේ කරන්නටනම් මුලින්ම අවශ්‍ය මුදල උපයා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදු වෙනවා. තෙල් සංස්ථාවේ ලාබය රජයට පවරාගෙන ඇති එහි ණය වල පොලිය ගෙවීම සඳහා යෙදවීමෙන් පසුව සහනාධාර දීම සඳහා එයින් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා එවැන්නක් කරන්නේනම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගැලපෙන පරිදි, පැහැර හැර ඇති බදු වඩා කාර්යක්ෂම ලෙස අය කර ගැනීම වැනි වෙනත් ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කර ගෙන සිටීමට සිදු වෙනවා. 

කෙසේ වුවද, යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මිල පිරිවැය මට්ටමෙන් පහතට ගෙන ආ යුතුමනම් එය කළ හැකි පහසුම ක්‍රමය බදු අඩු කිරීමයි. පසුගිය වසරේදී ඛණිජ තෙල් නිෂ්පාදන මත අය කර තිබුණු නිෂ්පාදන බදු ප්‍රමාණය රුපියල් මිලියන 143,642ක්. මෙම මුදල, සැබෑ ආර්ථික ලාබයක් නොවන, තෙල් සංස්ථාවේ නාමික ගිණුම්කරණ ලාබයට වඩා වැඩි මුදලක්. මුළු බදු ප්‍රමාණය මීටත් වඩා වැඩි විය හැකියි. බදු අඩු කළ විට මිල පහත වැටෙනවාක් මෙන්ම සැපයුම්කරුවන් අතර තරඟයට බාධාවක් වන්නේද නැහැ. 

Friday, November 8, 2024

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!


විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ණය උපකරණයක්. ඒ කියන්නේ රජය ණය ගන්නා ක්‍රමයක්. නමුත් පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙය මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප ක්‍රමයක්. ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ස්ථිර තැන්පතුවකින් ලබා ගන්නවාට වඩා වැඩි පොලී අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්.

මීට පෙර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන මෙහි පළ කළ ලිපි කියවා ඒ වැඩේ පටන් ගත් බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා. සාමාන්‍ය පුද්ගලයෙකුට රජයෙන් සෘජුවම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ.

ලොකු මුදලක් ආයෝජනය කරන කෙනෙකුට බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න පුළුවන්. එහිදී වෙන්නේ අදාළ බැංකුව හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම විසින් යම් කොමිස් මුදලක් හා/හෝ ගාස්තුවක් අය කර රජය හා තමන්ගේ ගනුදෙනුකරු අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන එක. අවසාන වශයෙන් බිල්පතේ අයිතිකරු වෙන්නේ ගනුදෙනුකරුවා.

නමුත් ප්‍රායෝගිකව සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරද්දී වෙන්නේ ඔය වැඩේම නෙමෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ අර කලින් කියපු ආකාරයට භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නවාට වඩා වෙනස් වැඩක්. පැහැදිලි කිරීමේ පහසුවට මේ වෙන වැඩේ බැංකුව විසින් පාරිභෝගිකයාට භාණ්ඩාගාර බිල්පත කුලියට දීමක් කියා කියන්න පුළුවන්.

මේක හරියට යම් සීමිත කාලයකට රඹුටන් ගහක් බදු දෙනවා වගේ වැඩක්. අදාළ කාලය අවසන් වන තුරු රඹුටන් ගහෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්නේ බදු ගත් තැනැත්තා. 

සාමාන්‍ය මුදලක් බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරද්දී වෙන්නෙත් ඔය වැඩේ. බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතකක් මුදල් ආයෝජනය කරන කාලයට පාරිභෝගිකයාට පවරනවා. කාලය අවසන් වූ පසු බිල්පතේ අයිතිය නැවතත් බැංකුවටම ලැබෙනවා.

උදාහරණයක් විදිහට බැංකුව විසින් ජනවාරි 15 වෙනිදා මාස හයකින් කල් පිරෙන බිල්පතක් මිල දී ගන්නවා. එය කල් පිරී මුදල් ආපසු ලැබෙන්නේ ජූනි 15 වෙනිදා. ඔය අතර පෙබරවාරි 20 පරිභෝගිකයක් ඇවිත් බැංකුවට කියනවා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන්න ඔනෑ කියලා. දැන් බැංකුව කරන්නේ සල්ලි අරගෙන එහි හිලවුවට මාස තුනක කාලයකට තමන් කලින් ගත් බිල්පතේ අයිතිය පාරිභෝගිකයාට පවරන එක. ඒ කියන්නේ පෙබරවාරි 20 සිට මැයි 20 දක්වා කාලයට. ඔය මාස තුනක කාලය තුළ බිල්පත සඳහා රජයෙන් ලැබෙන පොලිය අයිති වෙන්නේ පාරිභෝගිකයාටයි.

ඔය විදිහට විස්තර කළාට රජය දවස ගානේ බිල්පත් වලට පොලී ගෙවන්නේ නැහැ. පොලියත් එක්ක මුල් මුදල ලැබෙන්නේ කල් පිරුණු පසුවයි. මේ උදාහරණයේදීනම් ජූනි 15. නමුත් බැංකුව පාරිභෝගිකයාට සල්ලි ආපහු ගෙවන්න ජූනි 15 වන තුරු ඉන්නේ නැහැ. මාස තුන ඉවර වූ ගමන් සල්ලි සහ පොලිය ගෙවනවා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඒ කාලය තුළ පාරිභෝගිකයාට තමන්ගේ සල්ලි වෙනුවෙන් ඇපයක් විදිහට භාණ්ඩාගාර බිල්පතක අයිතිය ලැබෙන එකයි.

මේ විදිහේ ගනුදෙනු වලට කියන්නේ ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනු කියලා. ඉංග්‍රීසියෙන් repurchase transaction කියන එක. කෙටියෙන් රිපෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරනවා කියලා කරන්නේ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන එක.

මේ රිපෝ නැත්නම් ප්‍රති-මිල දී ගැනීම් කියන එකේ තේරුම මේකයි. බැංකුව ගණුදෙනුකරුට භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා. හැබැයි ඒ විකුණන්නේ නිශ්චිත කාලයකට පසුව එය බැංකුවටම ආපසු විකිණීමේ පොරොන්දුව මත. ආපසු විකිණිය යුතු දවස වගේම විකුණන මිල ගැනත් මුලින්ම එකඟතාවයකට එනවා. ඇත්තටම කියනවානම් ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනුවක් කියන්නේ එක විටම එකඟ වෙන ගනුදෙනු දෙකක්. 

දැන් මේ විදිහට බැංකුව වෙනත් අයෙකුට ප්‍රති-මිල දී ගැනීම් පදනම මත බිල්පතක් විකුණද්දී ඒ පුද්ගලයාගේ පැත්තෙන් වෙන්නේ මිල දී ගැනීමක්. ඒ නිසා ඒ පැත්තෙන් මේකට කියන්නේ ප්‍රති-විකිණුම් ගනුදෙනුවක් කියලා. ඉංග්‍රීසියෙන් reverse repurchase transaction හෙවත් සාමාන්‍ය වහරේදී රිවර්ස් රිපෝ කියලා කියනවා.

බැංකු බැංකු අතරත් ඔය රිපෝ ගනුදෙනු සිදු වෙනවා. එක බැංකුවකට රිපෝ ගනුදෙනුවක් අනෙක් බැංකුවට රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. සාමාන්‍ය පාරිභෝගිකයෙක් සහ බැංකුවක් අතර ගනුදෙනුවක් වෙද්දී හැම විටම වගේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙන්නේ රිපෝ එකක් කරන්න. රිවස් රිපෝ එක කරන්නේ බැංකුව. නමුත් බැංකුවකට යම් දවසක රිපෝ කරන්න අවශ්‍ය වෙන්න වගේම රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්.

බැංකුවකට තවත් බැංකුවක් එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අතිරික්තයක් ඇති විට. මුදල් හිඟයක් ඇති විට රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් නිශ්චිත දින ගණනකට පසුව ගනුදෙනුව ආපසු හැරවීමට ආරම්භයේදීම එකඟ වෙනවා. මේ දින ගණන දවසක් තරම් කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද බිල්පතක් විකුණලා හෙට ආපසු මිල දී ගන්නවා. නැත්නම් අද මිල දී ගෙන හෙට ආපසු විකුණනවා. 

බැංකු මේ විදිහට රිපෝ (හෝ රිවර්ස් රිපෝ) ගනුදෙනු කරන්නේ තාවකාලික මුදල් හිඟයක් හෝ තාවකාලික මුදල් අතිරික්තයක් ඇති විටයි. මුදල් හිඟය හෝ අතිරික්තය දිගටම තියෙන එකක් බව පේනවානම් කරන්නේ බිල්පතක් ස්ථිර ලෙසම විකිණීම හෝ මිල දී ගැනීම. ඒ කියන්නේ ආපසු හැරවීමේ ගිවිසුමක් නැතිව ගනුදෙනුව ඉවරම කරලා දමන එක. 

බැංකු බැංකු අතර ඔය විදිගේ රිපෝ ගනුදෙනු සිදු වෙනවා වගේම මහ බැංකුව හා බැංකු අතරත් රිපෝ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සිදු වන්නේ උපරිම වශයෙන් සතියකින් ආපසු හැරවෙන පරිදියි. ඊට අමතරව, මේ දවස් වල නොකළත්, මහ බැංකුව අනෙකුත් බැංකු එක්ක බිල්පත් ස්ථිර ලෙසම විකිණීමේ හෝ මිල දී ගැනීමේ ගනුදෙනුත් කරනවා. මේ ගනුදෙනු සියල්ලටම පොදුවේ කියන්නේ විවට වෙළඳපොළ ගනුදෙනු කියලා.

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් බැංකුවකින් බිල්පතක් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් අලුතෙන් මුදල් නිකුත් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. මහ බැංකුව විසින් කෙළින්ම බිල්පත් වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගනිද්දී සිදු වන දෙයම තමයි. 

කෙළින්ම වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගන්න එක සාමාන්‍යයෙන් මහ බැංකුවක් කරන වැඩක් නෙමෙයි. නමුත් ලංකාවේ දිගින් දිගටම ඔය වැඩේ සිදු වුනා. දැන් අලුත් මහ බැංකු පණත අනුව ඒ වැඩේ කරන්න බැහැ. නමුත් විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගන්න එක ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු විසින් කරන සාමාන්‍ය දෙයක්. මහ බැංකුවේ රස්සාවේ ප්‍රධාන අංගයක්. අලුත් මහ බැංකු පණතෙන් ඒ වැඩේට කිසිම බාධාවක් නැහැ.

විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගනිද්දී රටේ සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් කලින් මිල දී ගත් බිල්පත් විකුණන විට සංචිත මුදල් ප්‍රමාණය පහත වැටෙනවා. මහ බැංකුවක් මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ තියාගන්නේ මේ ක්‍රමයටයි. ඒ නිසා, මුදල් සැපයුම නිසි මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවකට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නම වෙනවා.

මහ බැංකුවක ප්‍රධානම කාර්යය උද්ධමනය පාලනය කිරීම. එය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. උද්ධමනය ඕනෑවට වඩා ඉහළ ගිය විට එය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. නමුත් උද්ධමනය අඩු වුනාට පස්සේ නැවත පොලී අනුපාතික පහළට ගන්න වෙනවා. 

එහෙම කළේ නැත්නම් නැවතත් උද්ධමනය ආපු වෙලාවක පොලී අනුපාතික තවත් වැඩි කරන්න වෙනවා. දිගටම එහෙම කරන්න ගියොත් වෙන්නේ උද්ධමනය එන එන සැරේට පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකනේ. ඒ නිසා, උද්ධමන තර්ජනයක් නැති වෙලාවට පොලී අනුපාතික පුළුවන් තරම් පහළට ගත යුතුයි. එහෙම පහළට අරන් තිබුණහම නැවතත් උද්ධමන තර්ජනයක් එන වෙලාවක ප්‍රශ්නයක් නැතිව වැඩි කරන්න පුළුවන්.

පොලී අනුපාතික තීරණය වෙන්නේ මුදල් වලට තිබෙන ඉල්ලුම හා මුදල් සැපයුම අනුව. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් පොලී අනුපාතික ඉහළ යනවා. සැපයුම වැඩිනම් පොලී අනුපාතික පහළ යනවා. ඒ නිසා මහ බැංකුවට පුළුවන් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පොලී අනුපාතික පාලනය කරන්න. මුදල් සැපයුම පාලනය කරන්නේ කලින් විස්තර කරපු විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම මගිනුයි. 

මුදල් ඉල්ලුම කියන්නේ දිනපතාම වෙනස් වන දෙයක්. අද ඉල්ලුම වැඩි වුනාට හෙට නැවත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීම හා විකිණීම මගින් සැපයුම වෙනස් කළ යුත්තේ වෙළඳපොළ මුදල් ඉල්ලුම ස්ථිර ලෙසම වෙනස් වී ඇති බවක් පෙනේනම් පමණයි. මුදල් ඉල්ලුම තාවකාලිකව විචලනය වෙද්දී කරන්නේ රිපෝ හෝ රිවර්ස් රිපෝ ගනුදෙනු කිරීම මගින් පොලී අනුපාතික ස්ථාවරව තියා ගන්න එක. දැන් ටික කාලයක ඉඳලම මහ බැංකුව කරන්නේ ඒක.

මේ දවස් වල විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ කරන ක්‍රම තුනක් තිබෙනවා. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයට කළත් වෙන්නේ මහ බැංකුවෙන් සල්ලි එළියට යන එකයි. ඒ කියන්නේ සංචිත මුදල් වැඩි වෙන එකයි. නමුත් ගනුදෙනුව කරන්නේම ඒ සල්ලි නැවත මහ බැංකුවට ආපසු එන ගිවිසුමත් අත්සන් කරලා. ක්‍රම තුන මේකයි.

1. එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේ ක්‍රමයට මහ බැංකුව විසින් නිශ්චිත රිපෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා වෙන්දේසි ක්‍රමයට මිල ගණන් කැඳවනවා. එහිදී අඩුම ලන්සු තබන අයට එම පොලී අනුපාතික වලට මහ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පැත්තෙන් රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුව විසින් ඇපයට තියාගත් බිල්පත නැවත අදාළ බැංකුවටම අයිති වෙනවා. පසුගිය කාලයේදී සෑම වැඩ කරන දවසකම වගේ මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තියෙනවා. අදාළ දවසේ මුදල් හිඟයක් තිබෙන බැංකු වලට වාසිදායකම විකල්පය මේක.

2. සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේකත් කලින් ක්‍රමයම තමයි. නමුත් වෙනස ගනුදෙනුව ආපසු හැරෙන්නේ දවස් හතකින් පසුව වීමයි. එක දිගට සතියක් සල්ලි හිඟ බව පෙනෙන බැංකුවකට මේ වැඩේ හොඳ විකල්පයක්. ඒ දවස් හතට බිල්පතක අයිතිය අහිමි වෙනවා. මහ බැංකුව සල්ලි දෙන්නේ බිල්පතක් ඇපයට තියාගෙනනේ. පසුගිය සති වල අඟහරුවාදා දවස් වල මහ බැංකුව විසින් සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තිබෙනවා.

3. නිත්‍ය ණය පහසුකම: මේ ක්‍රමයට සිදු වෙන්නෙත් එක් දින රිවර්ස් රිපෝ ගනුදෙනුවක්ම තමයි. ඒ කියන්නේ එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය හරහා සිදු වන දේ. නමුත් වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ නිශ්චිත බිල්පත් ප්‍රමාණයක්. වෙන්දේසියෙන් ඒ බිල්පත් ගන්න ඉඩක් නොලැබුණු සහ දවස අන්තිමේදී මුදල් හිඟයක් තිබෙන බැංකුවකට දවස අවසානයේදී නිත්‍ය ණය පොලී අනුපාතිකය යටතේ රිපෝ ගනුදෙනුවක් කරන්න වෙනවා. ඒ පොලී අනුපාතිකය වෙන්ද්සියේ පොලී අනුපාතිකයට වඩා වැඩියි. පොලී අනුපාතිකයේ මේ වෙනස හැර වෙනත් වෙනසක් නැහැ. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි ආපසු ගෙවුවට පස්සේ බිල්පතේ අයිතිය ලබා ගන්න පුළුවන්.

මහ බැංකුව රිවර්ස් රිපෝ කරන ඔය ක්‍රම තුනෙන්ම තාවකාලිකව මුදල් සැපයුම වැඩි වී නැවත මුල් මට්ටමට එනවා. මීට අමතරව මහ බැංකුවට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා රිපෝ වෙන්දේසි තියන්නත් පුළුවන්. ළඟකදීනම් රිපෝ වෙන්දේසි තියලා නැහැ.

මහ බැංකුව රිපෝ ගනුදෙනුවක් කළ විට සිදු වන්නේ බැංකුවක් විසින් මහ බැංකුවෙන් බිල්පතක් ඇපයට ගෙන මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන එකයි. නමුත් මේ දවස් වල බැංකු විසින් මහ බැංකුවෙන් ඇපයක් නොගෙනම විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරනවා. ඒ නිසා මහ බැංකුවට රිපෝ වෙන්දේසි තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සල්ලි වෙනුවෙන් මහ බැංකුව ගෙවන පොලී අනුපාතිකය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ ඔය නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ කලින් කියපු නිත්‍ය ණය පහසුකම යටතේ රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරද්දී බැංකුවක් විසින් මහ බැංකුවට ගෙවිය යුතු නිත්‍ය ණය පොලී අනුපාතිකය කියන පොලී අනුපාතික දෙකටයි.

දැන් මේ විදිහට බැංකුවක් නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගනිද්දී සංචිත මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟ දවසේ ඒ සල්ලි ආපසු ගනිද්දී මුදල් සැපයුම කලින් පැවති මට්ටමටම එනවා.

උදාහරණයක් විදිහට අපි පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 5)  දින සිදු වූ විවට වෙළඳපොළ ගණුදෙනු පරීක්ෂා කර බලමු.

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 16,665

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 50,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 550

එකතුව = රුපියල් මිලියන 67,215

සමහර වෙබ් අඩවි වල මහ බැංකුව අච්චු ගහපු සල්ලි කියලා පෙන්වලා තියෙන්නේ ඔය විදිහට එළියට ගිය මුදල් ප්‍රමාණය. මේ ගණන් මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනවා. නමුත් ආපසු එන සල්ලි ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. රිවර්ස් රිපෝ කියලා කිවුවහම දන්න ඕනෑම කෙනෙකුට ඒ සල්ලි ආපහු එන බව තේරුම් ගන්න අමාරු නැහැ.

පහත තියෙන්නේ ඔය කියන දවසේදීම (නොවැම්බර් 5) කලින් කරපු රිවර්ස් රිපෝ ආපසු හැරවෙද්දී මහ බැංකුවට ආපසු පැමිණි මුදල් ප්‍රමාණය. 

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය ආපසු ගෙවීම්:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 20,000

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 70,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 50

එකතුව = රුපියල් මිලියන 90,050

දැන් පේනවනේ. රුපියල් මිලියන 57,215ක් එළියට ගියත් රුපියල් මිලියන 70,050 ආපසු මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 22,835ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. 

මීට අමතරව, ඔය කියන දවසේදී නිත්‍ය ණය පහසුකම් ලෙස රුපියල් මිලියන 165,567ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙක් පැත්තට කලින් දවසේ ඒ විදිහටම තැන්පත් කරපු රුපියල් මිලියන 166,012ක් ආපසු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන මිලියන 445ක් මහ බැංකුවෙන් එළියට ගිහින් තියෙනවා. ඔය ගණන කලින් ගණනෙන් අඩු කළොත් සමස්තයක් විදිහට රුපියල් මිලියන 22,390ක් මහ බැංකුවට ආපහු ඇවිත් තියෙනවා. 

මේ පසුගිය අඟහරුවාදා තත්ත්වයනේ. ඊට කලින් දවසේ, ඒ කියන්නේ සඳුදා තත්ත්වය ඔය විදිහටම ගණන් හැදුවොත්, එදා වෙලා තියෙන්නේ රුපියල් මිලියන 39,409ක් එළියට යන එකයි. ඒ කියන්නේ එපමණකින් සංචිත මුදල්ද ඉහළ යනවා කියන එක. නමුත් ඔය වගේ දෙයක් දවසක් වුනා කියන්නේ අමුතු දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. සමහර දවස් වල වැඩියෙන් සල්ලි එළියට එනවා. සමහර දවස්වල වැඩියෙන් මහ බැංකුවට එනවා. ඒක වෙන්නේ මුදල් ඉල්ලුම වෙනස් වෙන විදිහ අනුවයි. 

නොවැම්බර් මාසයේ අද දක්වා වැඩ කරන දවස් හයක කාලය සැලකුවහොත් විවට වෙළඳපොළ ගනුදෙනු හරහා ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 13,911ක් නැවත මහ බැංකුවට එන එකයි සිදු වී තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන හා සෘණ විචලනයන් අවලංගු වී ගියාම ඒ තරම් විශාල නැති ධන හෝ සෘණ ගණනක් තමයි එන්නේ. හැබැයි මේ ගණන දිහා බලලා වුනත් මහ බැංකුව කොයි තරම් සල්ලි අච්චු ගහලද කියන එක ගැන අදහසක් ගන්න බැහැ. විවට වෙළඳපොළ ගනුදෙනු කියා කියන්නේ සංචිත මුදල් වෙනස් වෙන එක ක්‍රමයක් පමණයි. විදේශ විණිමය ගනුදෙනු, රජය සමඟ කරන ගනුදෙනු වැනි තවත් හේතු ගණනාවක් නිසා සංචිත මුදල් සැපයුම වෙනස් වෙනවා.

Thursday, November 7, 2024

නිල සංචිත වල විශාල වර්ධනයක්!

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වල ඩොලර් මිලියන 473ක විශාල වර්ධනයක් සිදු වී ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. ජනාධිපතිවරණයට පෙර පැවති අවිනිශ්චිතතාවය හමුවේ රඳවා ගෙන සිටි විදේශ විණිමයද ඉන් පසු මාසයේදී වෙළඳපොළට පැමිණියා විය හැකියි.

ඔක්තෝබර් මාසය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 299.36 සිට රුපියල් 293.72 දක්වා පහත වැටුනා. එසේ පහත වැටුණේ මහ බැංකුව විසින් මෙපමණ විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබියදීයි. 

ඩොලරයක් රුපියල් 294ක් සේ සැලකුවද ඩොලර් මිලියන 473ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 139 ඉක්මවන මුදලක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව විසින් එවැනි මුදලක් වැය කරනවා යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම එපමණකින් වැඩි වන බවයි. එනම් එපමණ සල්ලි අච්චු ගැසීමක් සිදු වන වන බවයි. එය එසේ නොවන්නටනම් එම රුපියල් ප්‍රමාණය වෙනත් ක්‍රමයකින් නැවත එකතු කරගත යුතුයි.

සැප්තැම්බර් මාසය අවසානයේදී සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,523.6ක්ව පැවතුණා. ඔක්තෝබර් 30 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,474.6 දක්වා රුපියල් බිලියන 49.0කින් අඩු වී තිබුණා. ඒ අනුව පෙනී යන්නේ විදේශ සංචිත මිල දී ගැනීම සඳහා වැය කළ මුදලටද වඩා වැඩි මුදලක් මහ බැංකුව විසින් විවට වෙළඳපොළ කටයුතු වැනි අනෙකුත් ක්‍රම මගින් වෙළඳපොළෙන් එකතු කරගෙන ඇති බවයි. විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුවක් විසින් වෙළඳපොළට මුදල් නිකුත් කරන හා වෙළඳපොළෙන් මුදල් නැවත එකතු කරගන්නා ප්‍රධානම ක්‍රමයයි. 

Tuesday, November 5, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි!


මෙම (2024) වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක,  එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්තා කරන්නේ 2008 වර්ෂයෙන් පසු ප්‍රථම වරටයි. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. ඒ වන, මෙම ආයතනයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 15,536ක් වූ අතර එයින් රුපියල් මිලියන 9,288ක්ම පෙර වසර වලදී උපයාගෙන, ලාභාංශ ලෙස කොටස්හිමියන් විසින් ඉවත් කර නොගෙන, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රඳවා ගෙන තිබුණු ලාබයි.

රජය විසින් නැවත පවරා ගනු ලැබීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබුවේ පහත පරිදියි.

2009 - රුපියල් මිලියන (-9,306)

2010 - රුපියල් මිලියන (-2,698)

2011 - රුපියල් මිලියන (-382)

2012 - රුපියල් මිලියන (-19,778)

2013 - රුපියල් මිලියන (-26,089)

2014 - රුපියල් මිලියන (-32,408)

2015 - රුපියල් මිලියන (-16,495)

2016 - රුපියල් මිලියන (-12,622)

2017 - රුපියල් මිලියන (-28,930)

2018 - රුපියල් මිලියන (-17,214)

2019 - රුපියල් මිලියන (-44,023)

2020 - රුපියල් මිලියන (-47,197)

2021 - රුපියල් මිලියන (-45,231)

2022 - රුපියල් මිලියන (-166,370)

2023 - රුපියල් මිලියන (-73,622)

මා පෙර සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් නැවත පවරා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම, එනම් එහි වත්කම් හා බැරකම් අතර වෙනස, රුපියල් මිලියන 15,536ක්. එහෙත්, 2009-2011 කාලයේ ලැබූ පාඩු හේතුවෙන් මෙම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 3,217 දක්වා පහත වැටුනා. මෙම කාලය තුළ ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ඉන් පසුව, 2012 වසරේදී තවත් රුපියල් මිලියන 19,778ක අලාබයක් එකතු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම සෘණ අගයක් දක්වා පහත වැටුණා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ සියලුම වත්කම් වල වටිනාකමට වඩා එහි බැරකම් වැඩි බවයි. එවැනි පාඩුවක් සිදු වන්නේ මෙම ගුවන් සේවය පවරා ගනිද්දී එහි වටිනාකම වූ රුපියල් මිලියන 15,536 නැත්තටම නැති වීම සහ ආයෝජනය වෙනුවෙන් වසර ගණනාවක්ම කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමේ පාඩු වලට අමතරවයි.

මේ ආයතනය පෞද්ගලික ආයතනයක් වීනම් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට පෙර, "සොහොන් ලකුණු" පෙනෙද්දීම, ආයතනය වසා දැමීමයි. ශුද්ධ වටිනාකම සෘණ අගයක් වීමෙන් පසුව ආයතනයක් විකුණා දැමීමේ හෝ හැකියාවක් නැහැ. එසේ කරනවානම් කළ හැක්කේ බැරකම් කොටස රඳවාගෙන වත්කම් කොටස පමණක් විකුණන්නේනම් පමණයි.

කෙසේ වුවත්, රාජ්‍ය ආයතන වලට මෙවැනි තත්ත්වයක් යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර බදු ගෙවන්නන් මත පටවමින් ආයතනය දිගටම පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකා රජය සැලකුවහොත්, දිගින් දිගටම වියදමේ තරමට බදු ආදායම් එකතු කර ගෙන නොමැති තත්ත්වයක් යටතේදී, කළ හැකි වන්නේ ණය ලෙස ලබා ගන්නා මුදල් මෙවැනි රාජ්‍ය ආයතනයකට පොම්ප කරමින් එහි පාඩු වල බර අනාගත බදු ගෙවන්නන් මත පැටවීමයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2012දී කළේ හරියටම මෙයයි. එම වසරේදී රුපියල් මිලියන 15,423ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කර එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. මෙය වසර 5ක බැඳුම්කරයක්.

වෙනත් ලිපි වල විස්තර කර ඇති පරිදි රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර එම මිලටම විකිණෙන්නේ නැහැ. මෙම බැඳුම්කරය විකිණුනේ රුපියල් මිලියන 14,166ක මුදලටයි. ඒ නිසා, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පොම්ප කෙරුණේ එම මුදලයි. එහෙත් බැඳුම්කරය කල් පිරෙද්දී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15,423ක් ගෙවන්නට සිදු වුනා. මීට අමතරව වසරකට 8% බැගින් කූපන් පොලී ගෙවන්නටද සිදු වුනා.

මේ විදිහට ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ලබා ගන්නා ණය මුදල් හා පොලී ආපසු ගෙවන්නේ නැවත අලුතෙන් ණය ලබා ගෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, මේ ණය මේ වන විට කිහිප ගුණයකින් වැඩි වී ශ්‍රී ලංකා රජයේ නොගෙවූ ණය ගොඩේ තිබෙනවා. දැනටත් කරන්නේ සතිපතා අලුතෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරමින් පරණ ණය හා පොලී ගෙවන එකයි.

කෙසේ වුවත්, ඔය විදිහට ණයට ගත් මුදල් පොම්ප කළා කියා ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩ ගියේ නැහැ. 2013දී තවත් විශාල අලාභයක් එකතු වුනා. එවරද කළේ පෙර වසරේ කළ දෙයමයි. රුපියල් මිලියන 13,124ක, 8.5% වාර්ෂික කූපන් පොලියක් සහිත, වසර පහකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් රුපියල් මිලියන 12,600කට විකුණා එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. අනාගත බදු ගෙවන්නට තවත් ණයක් එකතු වුනා.

ඊළඟ (2014) අවුරුද්දේදී වුනෙත් ඔය සන්තෑසියම තමයි. ඒ අවුරුද්දේදී වසර පහකින් කල් පිරෙන 10.6% වාර්ෂික කූපන් පොලියක් සහිත තවත් භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් රුපියල් මිලියන 19,585ක මුදලක් ලබා දුන්නා. 

ඔය විදිහට 2012, 2013 හා 2014 වසර වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කිරීම සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර පිළිවෙලින් 2017, 2018 හා 2019 වසර වලදී කල් පිරුණා. ඒ කාලයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගත්ත සල්ලි වලින් කරපු දේවල් ලැයිස්තුවේ ඔය ණය සහ පොලී ආපසු ගෙවපු එකත් ඇති. ඔන්න සල්ලි වලින් කරල තියෙන දේවල්!

රජය ව්‍යාපාර කරද්දී සිදු වෙන එකම පාඩුව ඔය විදිහට අනාගත බදු ගෙවන්නන් මත බර පැටවෙන එක පමණක් නෙමෙයි. ඔය වගේ දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර හෙමින් සීරුවේ වෙනත් රාජ්‍ය ආයතන මත පටවන්නත් පුළුවන්. ඔය කාලයේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ ආයතන වගේම සේවක අර්ථසාධක අරමුදලත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් වල ආයෝජනය කරලයි තිබුණේ. ප්‍රායෝගිකව ඔය තීරණ ඔක්කොම ගන්නේ එකම තැනකින්නේ. 

දැන් මේ වැඩෙන් වුනේ කුමක්ද? ඔය විදිහට ආයෝජනය කරපු සල්ලි වලට සත පහක ප්‍රතිලාභයක් නැහැ. ඒකේ බර වැටෙන්නේ කා මතද? ඕක අඩුවෙන්නේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට ලැබිය හැකිව තිබුණු පොලියෙන්. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්න තියෙන පොලියෙන්. ඔය පාඩු සිදු වෙන්නේ බදු ගෙවන්නන් මත පැටවෙන බරට අමතරවයි. 

ඔය විදිහට දිගින් දිගටම රජය ණය වෙවී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කළත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලාබ ලැබුවේ නැහැ. රජය ණය වෙවී සල්ලි පොම්ප කිරීම නිසා සිදු වුනු එකම දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගිණුම් වල පාඩු අඩුවෙන් පෙනුණු එක පමණයි. මොකද පාඩුවෙන් කොටසක් දැන් තියෙන්නේ වෙන තැනක නිසා. ඔය උඩින් පෙන්වා තිබෙන පාඩු වල රජය ණය වී සල්ලි පොම්ප කිරීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්න වුනු පොලී වල පිරිවැය කොටස නැහැ. ඒ කොටසත් එකතු කළොත් ඔය පාඩු පේනවට වඩා ගොඩක් වැඩියි.

යහපාලන කාලයේදී ඔය විදිහට සල්ලි පොම්ප කරන එක තාවකාලිකව නැවතුණා. පාඩු ලබන එකනම් නැවතුණේ නැහැ. ඒ නිසා, සිදු වුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම එන්න එන්නම අඩු වීම. ඒ කියන්නේ සෘණ අගය වැඩි වීම. 

ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ 2021 හා 2022 වසර වලදී ඔය කලින් කරපු සල්ලි පොම්ප කරන වැඩේ නැවතත් පටන් ගත්තා. 2021දී භාණ්ඩාගාර බැඳුම්කරයක්  නිකුත් කරලා රුපියල් මිලියන 27,734ක් දුන්නා. 2022දී ඔය විදිහටම තවත් රුපියල් මිලියන 17,318ක් දුන්නා. ඔය බැඳුම්කර දෙකනම් තවමත් කල් පිරිලා නැතුව ඇති. ඔය කාලයේනම් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළේ නැහැනේ. ඒ වෙනුවට කළේ සල්ලි අච්චු ගහපු එකනේ. 

අවුරුද්දෙන් අවුරුද්ද ඔය තරම් සල්ලි කන්දරාවක් පොම්ප කරලත්, 2023 මාර්තු 31 වෙද්දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 610,488ක්. මේ අවුරුද්දේ රුපියල් මිලියන 3,871ක ලාබයක් ලබපු නිසා දැන් ඔය සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 607,614 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ විදිහට ලාබයක් ලැබුවේ කොහොමද කියල දන්නවද?

ඔන්න රහස! කාටවත් කියන්න එහෙම එපා. ලැජ්ජයිනේ. මොකද ශ්‍රීලංකන් ගුවන් සේවය කියන්නේ ලංකාවේ ජාතික අභිමානය. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත තවත් රුපියල් මිලියන 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ලාබය වාර්තා කරලා තියෙන්නේ.

එතකොට ඔහොම සුදු අලියෙක්වද දිගටම නඩත්තු කරන්න යන්නේ?

ප්‍රශ්නය විකල්පය මොකක්ද කියන එකයි. අපි හිතමු ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණලා දමලා මේ බරෙන් නිදහස් වෙනවා කියලා. මේ ආයතනය කීයකට විකුණන්න පුළුවන් වෙයිද?

ඔය ලිපියේ විස්තර කරපු විශාල සල්ලි කන්දරාව පොම්ප කරලා, ඒ වෙනුවෙන් ගත්ත ණය වල පොලී දිගින් දිගටම ගෙවමින් හිටියත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැන් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. 2023දී ඔය ගණන රුපියල් මිලියන සෘණ 509,175ක්. දැන් ඔය ගණනට අඩු වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා ණය ගෙවපු නිසා. හැබැයි තවමත් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. ඒ කියන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයේ මුළු වත්කම් ප්‍රමාණයට වඩා බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩියි.

කාට හරි විකුණන්න පුළුවන් වත්කමක්නම්. නමුත් මේක තනිකරම ණය ගොඩක්. කවුද සල්ලි දීලා ණය ගොඩක් බාර ගන්නේ?

එක්කෝ ඔය ඉතුරු ණය ටික එක පාරම බදු ගෙවන්නන් මත පටවලා ශ්‍රීලංකන් ගුවන් සේවය කීයකට හරි දීලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔය විදිහටම තියාගෙන ඔය ණය බර හෙමිහිට ටිකෙන් ටික බදු ගෙවන්නන් මත පටවන්න වෙනවා. ඔය දෙකෙන් කොයි වැඩේ කළත්, අන්තිමට ඔය ණයට බදු ගෙවන ජනතාවට කර ගහන්නම වෙනවා. වෙන කිසිම විකල්පයක් නැහැ. පාඩුව වෙලා ඉවරයි.

එහෙම ආයතනයක් දිගටම තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද?

මම හිතන්නේ ඒක මේ මොහොතේ ලංකාවේ ජනතාවගේ කැමැත්ත. ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යනවා කියලා මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පැහැදිලිවම කිවුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒ වගේම, ඔය පරණ පවු වලට මේ ආණ්ඩුව වගකියන්න අවශ්‍යත් නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ හොඳ පරීක්ෂාවක්. රජය ව්‍යාපාර කරන එකේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සේවය හා අදාළව ඒ හැම එකක්ම අදාළ වෙන්නේ නැහැ. ශ්‍රීලංකන් ගුවන් සේවය තිබුණා කියලා වෙන පෞද්ගලික ආයෝජකයෙකුට අවශ්‍යනම් ගුවන් සේවයක් ආරම්භ කරන්න බාධාවක් නැහැ. ඒ වගේම, ශ්‍රීලංකන් ගුවන් සේවයට තරඟයකට මුහුණ නොදී ලාබ ගන්න බැහැ. ඒ නිසා, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන වලට තිබෙන ඒකාධිකාරයේ වාසිය රජයට නැහැ. තිබෙනවානම් ඉතා අඩුවෙන්. (ඔව්, තෙල් සංස්ථාව තවමත් ඒකාධිකාරයක් තමයි!)

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලයේදී රජයේ පාලනය යටතේ තිබුනාට වඩා කාර්යක්ෂම කරන්න බැරිකමක් නැහැ. තිබුණු කාර්යක්ෂමතාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ව්‍යවසායයක් විදිහට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ප්‍රමාණවත් ලාබ පෙන්නන්න පුළුවන්නම් ඒක මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාධාරනීකරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම ගිණුම්කරණ ලාබ නෙමෙයි. දැනට යට කරලා තිබෙන මහජන මුදල් වල පොලී ගෙවන්න පුළුවන් තරමේ ප්‍රතිලාභයක් ලාබ වලින් පෙනෙන්න ඕනෑ. තිබුණු හැටියට හොඳ එකක් වුනත්, පසුගිය අවුරුද්දේ උපයපු රුපියල් මිලියන 3,871ක ශුද්ධ ලාභය එහෙම එකක් නෙමෙයි. 

වෙබ් ලිපිනය: