මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා.
සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ රජයේ සරසවියකට ගිහින් තියෙන ගොඩක් අයගේ අත්දැකීමක්. හැබැයි ඔය නවක වදය කියන එක තියෙන්නේ සරසවි වල පමණක් නෙමෙයි. පාසැල් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන, හමුදා වගේ තවත් ගොඩක් තැන් වල ඔය වැඩේ වෙනවා.
නවක වදය වගේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ තමන් අත් දැකපු ක්‍රමය හරි වුනත් වැරදි වුනත් ඒ විදිහටම පවත්වාගෙන යාමට සමාජයන්හි තිබෙන නැඹුරුව නිසා. සමාජ විද්‍යාවේදී මෙය විස්තර කරන ඉංග්‍රීසි වචනය "Path dependence" කියන එක. මම දැනට සිංහලෙන් "භාව පරායත්තතාව" කියා කියන්නම්. කවුරු හෝ කෙනෙක් නිවැරදි පාරිභාෂික වචනය දන්නවානම් කියන්න.
"භාව පරායත්තතාව" නිසා මිනිසුන් විසින් ගන්නා අනාගතයට බලපාන තීරණ වලට වර්තමානයේ පවතින තත්ත්වයන් පාදක කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වර්තමානය අනාගතයෙහි ප්‍රතිනිර්මාණය වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ සමාජයක් අතීතයේ සිරකරුවන් වෙන එක.
ටිකක් සරල කරලා කිවුවොත්, වෙනස් වෙන්න තිබෙන අකැමැත්ත නිසා කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් ඒ විදිහටම කරන්න මිනිස්සු පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට කාලයක් තිස්සේ අත් විඳින නරක අත්දැකීම් වලින් ගැලවෙන්න තිබෙන අවස්ථාව මග හැරෙනවා. මේ තත්ත්වය රටක දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන ආකාරය මෙවර නොබෙල් තෑග්ග දිනූ ආජෙමෝලු , ජොන්සන් සහ රොබින්සන් විසින් පැහැදිලි කර තිබෙනවා.
කාලයක් තිස්සේ රජයෙන් නොමිලේ ලැබෙන සහල් සලාකයකට හුරු වූ මිනිස්සුන්ට ඒ සහල් සලාකය නැතිව ජීවත් වන විදිහ හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ රජයේ ස්ථිර රැකියාවක් කළ අයෙකුට පෞද්ගලික අංශයේ රැකියාවක රැකියා අවදානම එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ පාලන මිලකට බඩු ගන්න පුරුදු වී සිටින සමාජයකට ඉල්ලුම හා සැපයුම අනුව මිල වෙනස් වෙන තත්ත්වයක් ගැන හිතාගන්න අමාරුයි. ඔය වගේ ගොඩක් නිදර්ශන සපයන්න පුළුවන්.
පාසැල් වැනි තැන් වල තිබෙන නවක වදයට ආසන්න තත්ත්වයන් බුලි කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. බුලි කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ "කළුවා" "තඩියා" "බට්ටී" වගේ නමක් කියන එක වැනි ලංකාවේනම් "සාමාන්‍ය" දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලක වැඩිමහල් අයෙක් විසින් බාල සහෝදර සහෝදරියන් බුලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහල පහළ ගෙදරක කෙනෙක්. මේ වගේ දේවල් ඉතාම පොඩි වයස් වලදී පවා වෙනවා.
එලොව පොල් පෙන්වන එකත් ඔය වගේ වැඩක්. මෙහිදී බුලි කරන්නා විසින්, බොහෝ විට තමන්ට වඩා වයසින් හා ශරීර ප්‍රමාණයෙන් කුඩා කෙනෙකුගෙන්, මෙවැනි ප්‍රශ්නයක් අහනවා.
"එලොව පොල් දැකල තියෙනවද?"
"නෑ"
"එහෙනං පෙන්නන්නද?"
ඊට පස්සේ කරන්නේ ඔලුවේ දෙපැත්තෙන් කන් දෙක වැහෙන්න අත් දෙක තියලා උස්සන එක. ඔන්න එතකොට එලොව පොල් පේනවා. එක පාරක් එලොව පොල් දැකපු කෙනෙක් ආයෙත් එලොව පොල් බලන්න කැමති වෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව තමන්ට වඩා කුඩා කෙනෙකුට එලොව පොල් පෙන්නන්න පෙළඹෙන්න පුළුවන්. ඊට හේතුව "භාව පරායත්තතාව".
සමහර අය කියන විදිහට මේ දවස් වල කඩේ පොල් ගණන් අහද්දීත් එලොව පොල් පේනවා. ඔය "හාල් ගණන්" "පොල් ගණන්" කතාව අවුරුදු කීපයකට වරක් අහන්න ලැබෙන කතාවක්.
ලංකාවේ පොල් මිල තීරණය වෙන්නේ බොහෝ දුරටම ඉල්ලුම හා සැපයුම මතයි. ඉල්ලුම බොහෝ දුරටම ස්ථාවරයි. නමුත් සැපයුම කාලගුණික තත්ත්වයන් අනුව විචලනය වෙනවා. ඒ අනුව, පොල් ගෙඩියක වෙළඳපොළ මිලද සැපයුමට අනුරූපව උච්ඡාවචනය වෙනවා.
මේ සමඟ පළ කර තිබෙන ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි, දිගුකාලීන සාමාන්‍යය සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය වසරකට ගෙඩි මිලියන 2,800ක් පමණ. නමුත් මෙය වසරකට ගෙඩි මිලියන 200කින් පමණ අඩු හෝ වැඩි වෙනවා. සමහර විට වසරකට ගෙඩි මිලියන 400කින් හෝ ඊටත් වැඩි ගණනකින් සැපයුම වෙනස් වෙන්න පුළුවන්.
මේ විදිහට ලංකාවේ පොල් නිෂ්පාදනය විචලනය වෙන ආකාරයේ යම් චක්‍රීය බවක් දකින්න පුළුවන්. ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය ඉහළ යනවා. ඒ වගේම ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය පහළ යනවා. මෙය මම වසර විස්සකට පමණ පෙර නිරීක්ෂණය කර තිබුණු දෙයක්. මේ තත්ත්වය ඉන් පසුවද එලෙසම තිබී ඇති බව පේනවා. වසර හතරකට වරක් කිවුවත් වසර 3-5 වගේ කාලයකින් මේ චක්‍රය පුනරාවර්තනය වෙන්න පුළුවන්.
දැකිය හැකි රටාව අනුව මීට හේතුව එල් නිනෝ - ලා නිනා චක්‍ර වල බලපෑම වෙන්න පුළුවන්. නමුත් මම කාලගුණ විද්‍යාව හදාරලා නැහැ. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ පොල් වලට වුනත් සහල් හා අදාළවද මේ චක්‍රයේ බලපෑම දැකිය හැකියි.
ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි 1995, 2000, 2004, 2008, 2012, 2015, 2019, 2022 වසර වලදී ලංකාවේ පොල් නිෂ්පාදනය ආසන්න වසර වල සාමාන්‍ය අගයට වඩා වැඩි වී තිබෙනවා. 1998, 2002, 2006, 2010, 2013, 2017, 2020 වසර වලදී නිෂ්පාදනය අඩු වී තිබෙනවා. මෙම රටාව අනුව, 2024/2025 ආසන්න වන විට පොල් නිෂ්පාදනය අඩු විය යුතුයි. ඒ නිසා, ඉදිරියට එන්නේ පොල් ගණන් යන කාලයක්. ඒ වගේම, මේ හේතුව නිසාම, සහල් මිලද ඉහළ යා යුතුයි.
මේ ආකාරයෙන් සැපයුම පහත වැටීම නිසා පොල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට කළ හැකි හොඳම දෙය ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල තීරණය වීමට ඉඩ හැරීමයි. එයට බාධා කරන තරමට සිදු විය හැක්කේ මිල පීඩනය තවත් ඉහළ යාමයි. මේවැනි වෙළඳපොළකට මැදිහත්වීම් සිදු කිරීමෙන් කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද යහපතක් සිදු වන්නේ නැහැ.
ලංකාවේ පොල් පරිභෝජනය වසරකට ගෙඩි මිලියන 1,850ක් පමණ. නිෂ්පාදනය අඩු වසරකදී වුවද, රටේ නිෂ්පාදනය මීට වඩා වැඩියි. පසුගිය (2023) වසර සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය ගෙඩි මිලියන 3,170ක්. මෙම අමතර සැපයුම ප්‍රධාන වශයෙන්ම පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් (Desiccated coconut) නිපදවීම සඳහා යොදා ගැනෙනවා.
පොල් ගෙඩි විශාල කාලයක් කල් තබා ගන්න බැරි වුනත් පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් වැඩි කාලයක් නරක් නොවී තියා ගන්න පුළුවන්. ඒ නිසාම, පොල් සැපයුම ඉහල ගොස් මිල අඩු වන වසර වලදී මෙම නිෂ්පාදන කරන අයට වැඩි ලාබයක් ගන්න ඉඩ සැලසෙනවා. පොල් සැපයුම අඩු වී මිල ඉහළ යද්දී එම ලාබ නැති වෙනවා. ඒ නිසාම, මිල වැඩි වෙද්දී මෙවැනි අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් මිල දී ගන්නේ අඩුවෙන්. ඒ හේතුවෙන් ඉල්ලුම අඩු වී වෙළඳපොළ විසින්ම මිල නියාමනය කෙරෙනවා.
අනෙක් අතට, පොල් සැපයුම ඉහළ ගොස් මිල පහත වැටෙද්දී අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් වැඩියෙන් මිල දී ගන්නවා. ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා මිල පහත වැටීම සීමා වෙනවා. පොල් තෙල් හා ආදේශක වැනි දේ ආනයනයට බාධා නැති වූ තරමට මේ ස්වයංක්‍රීය ල නියාමනය වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා.
මෙය වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස මිල නියාමනය කරන එකම විදිහ නෙමෙයි. පොල් බහු වාර්ෂික භෝගයක් බැවින් පොල් වගාකරුවෙකුට සාමාන්‍ය වසරකදී වැය කරන්නට වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රමයේ පිරිවැයයි. ගස් වල පොල් හැදෙන්නේ අඩුවෙන් වුනත් වැඩියෙන් වුනත් කඩන්න යන්නේ එකම මහන්සිය නිසා අවශ්‍ය වන ශ්‍රමයේ වෙනසක් නැහැ. පොල් අඩුවෙන් හැදෙන වසරකදී මිල ප්‍රමාණවත් තරමින් ඉහළ ගියේ නැත්නම් වෙන්නේ පොල් කඩන එකම පාඩු වී සැපයුම අඩු වීමයි. මිල ඉහළ යාම තුළින් කෙටිකාලීනව සැපයුමේද යම් නියාමනයක් සිදු වෙනවා. මිල ඉහළ යාමට ඉඩ නොදුනහොත් මෙය සිදු වන්නේ නැහැ.
(කියවන්න: "බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය" - 2020 ඔක්තෝබර් 15)
රජය සැලසුම් කර පොල් නිෂ්පාදනය වැඩි කළහොත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැද්ද?
කවර හෝ ආකාරයකින් රටේ පොල් නිෂ්පාදනය වැඩි කළහොත් වෙන්නේ ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවයක් ඇති වී පොල් අතිරික්තයක් ඇති වීමයි. එම අතිරික්තය අවශෝෂණය කර ගැනීම සඳහා පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් නිෂ්පාදනය ඉහළ යා යුතු වෙනවා. පොල් නිෂ්පාදනය ඉහළ යාම හෝ මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදුවීම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එය පොල් මිල වසර කිහිපයකට වරක් විශාල ලෙස වැඩි වීමට පිළියමක් වන්නේ නැහැ.
පොල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් නිසා අතරමැදියන්ට පොල් අඩු කාල වලදී අඩුවට පොල් මිල දී ගෙන මිල වැඩි වූ පසු වැඩි මිලකට විකිණීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් එසේ කරන්න පෙළඹෙන්නේ ලාබයක් බලාගෙනයි. මෙවැනි අතරමැදියන් වැඩි වන තරමට පොල් සැපයුම වැඩි කාල වලදී වෙළඳපොළෙන් පොල් ඉවත් වී සැපයුම අඩු කාල වලදී වෙළදපොළට පොල් එනවා. එයින් ඇත්තටම සිදු වන්නේ මිල උච්ඡාවචනයන් අඩු වීමයි. මෙය පාරිභෝගිකයින්ට මෙන්ම නිෂ්පාදකයින්ටද වාසිදායක තත්ත්වයක්. ඒ වගේම, පොල් පොල් ලෙසම දිගු කාලයක් තබාගත නොහැකි නිසා, මේ අතරමැදියන් හරහා අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය වීමක්ද සිදු වෙනවා. සහල් වෙළඳපොළේ අතරමැදියන් හරහා සිදු වෙන්නේද මීට කිට්ටු දෙයක්.
පොල් හිඟ නම් බඩඉරිඟු පිටි පාවිච්චි කරපල්ලා.
ReplyDeleteලංකාවේ සරසවි සිසුන්ට ඉංග්‍රිසි බැරිනිසා සරසවි යාම නකරකිරීම, මානසික ආබාධ හැදීම වැනි සිද්ධිත් නයක වධය නිසා වුන ප්‍රශ්න ලෙස හඳුන්වනවා.
අලුතෙන් වෙනස් වෙන්නට ඉඩ සැදිය යුතු
ReplyDeleteපෞරුෂ වර්ධනය කෙරුමට සිතිය යුතු
දැනුමැති පරපුරක් බිහි කෙරුවොතින් මතු
ඔවුන් කර ගනියි- යහ ගුණ දහම් නතු
මහත්තයා පොල් සංස්ථාවේ සුළු සේවකයෙක් ද
ReplyDeleteරටක් දියුනු වෙනව කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නෙ මොකක්ද? මිනිස්සුන්ට සල්ලි තියෙනව කියන එකද?
ReplyDeleteඑක් ශ්‍රම ඒකකයක් යොදවා කළ හැකි අගය එකතු කිරීම වැඩියි කියන එක.
Deleteඒ මිම්ම අනුව ලෝකයෙ දියුනුම රට මොකක්ද?
Deleteදළ වශයෙන් මෙය ඒක පුද්ගල ආදායමට සමානුපාතිකයි. ආසන්නව එක මට්ටමේ ගොඩක් රටවල් ඉන්නවා.
Deleteජපානෙට වඩා කටාර් දියුනුද?
Deleteඒක පුද්ගල ආදායම අහසට පොලොව වගේ හැබැයි.
දළ වශයෙන් කිවුවේ මේ දෙක එකක් නොවන නිසා. දදේනියට ස්වභාවික සම්පත් වල දායකත්වය වැඩි රටවල ඒ හේතුව නිසා දදේනි වැඩි වෙනවා.
Deleteකාර්‍යක්ශමව සම්පත් හාරල අපනයනය කිරීම අගය එකතුකිරීමක් විදියට සැලකෙන්නෙ නැද්ද?
Deleteමටනම් හිතෙන්නෙ ඔබේ මූලික අර්ත දැක්වීමට අනුව කටාරය දියුනු රාජ්‍යයක් වෙන්න ඕන.
චම්පික රණවක මහතාට අනුව වඩා වැදගත් වන්නේ ඒ පුද්ගල ක්‍රය ශක්තියයි.
Deleteලංකාවේ වසරකට එය ඩොලර 12000ක් විතර වෙනවා.
දියුණුව කියන එක සාපේක්ෂ දෙයක්. ඒ නිසා ඒ වගේ දෙයක් නිශ්ච්ත ලෙස එකම විදිහකට අර්ථ දක්වන්න බැහැ. ඒ නිසා, ඔබට කැමති දෙයක් ඔබ දියුණුව කියලා හිතාගත්තොත් එහි වරදක් නැහැ. මැද පෙරදිග රටවල දදේනියට ශ්‍රමයෙන් ලැබෙන දායකත්වය සාපේක්ෂව අඩුයි. පරණ පෝස්ට් එකක රට රටවල් සඳහා ඇස්තමේන්තු ඇති. සම්පත් හාරල අපනයනය කිරීමේ කාර්යක්ෂමතාවය ඇවිත් තියෙන්නේ ස්වභාවික වාසියක් නිසා. ගොඩබිමට ආසන්නව සහ පොළොව මතුපිටට ආසන්නව තිබෙන තෙල් ලබා ගන්න එක සහ ගැඹුරු මුහුදේ තෙල් ලබා ගන්න එක අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. නමුත් තෙල් එකම තෙල්. ශ්‍රමයේ කාර්යක්ෂමතාවය මගින් දෙවන එකට පළමු එක එක්ක තරඟ කරන්න බැහැ. ඒ නිසා මැද පෙරදිග රටවලට ස්වභාවික වාසියක් ලැබී තිබෙනවා. එම ස්වභාවික වාසිය නැත්නම් ඔය රටවල ඒක පුද්ගල ආදායම මීට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා, ස්වභාවික වාසිය නැති වුනොත් ශ්‍රමයේ වටිනාකමත් නැති වෙනවා. ස්වභාවික වාසිය ඉක්මණින් නැති නොවන නිසාත්, එම තත්ත්වයට මුහුණ දීමට සැලසුම්සගගතව කටයුතු කරන නිසාත් මැදපෙරදිග දියුණුව (ඒක පුද්ගල ආදායම) දිගටම පවතින්න පුළුවන්. නමුත් ක්‍රමිකව ශ්‍රමයේ ඵලයීතාවය වැඩි කරගන්න වෙනවා. එහෙම කරගන්න පුළුවන් වෙන්නේ තරඟකරී නවෝත්පාදන බිහි කළ හැකි පරිදි මානව සම්පත දියුණු වුනොත් පමණයි.
Deleteමේක මට පිලිගන්න පුලුවන්. එහෙම බැලුවම hdiඉහල යන එක තමයි සන්වර්දනයට මූලික වෙන්නෙ
Deleteඔන්න් ඔතනදි තමයි සංස්කෘතියෙ බලපෑම එන්නෙ. නිදහස් වෙලඳපොල ඇතිකල ප්මනින් ලංකාව සන්වර්දිට රටක් නොවෙන්නෙ ඒකයි.
//නිදහස් වෙලඳපොල ඇතිකල ප්මනින් ලංකාව සන්වර්දිට රටක් නොවෙන්නෙ ඒකයි.//
Deleteආර්ථික විද්‍යාවේදී වගේම සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමයේදී A හේතුවෙන් B වෙනවා කියන්නේ අනෙකුත් සියළුම සාධක නොවෙනස්ව පවතින තත්ත්වයක් යටතේ A හේතුවෙන් B වෙනවා කියන එකයි. එනම් සංස්කෘතික සාධක නොවෙනස්ව පවතින තත්ත්වයක් යටතේද වෙළඳපොළ නිදහස් වූ තරමට ආර්ථික වර්ධනය වැඩි වී ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. එනයින් HDI ආදියද ඉහළ යනවා. සංස්කෘතික සාධක වල බලපෑම කුමක් වුවත් එය එසේයි. නමුත් එයින් අදහස් වෙන්නේ සංස්කෘතියේ බලපෑමක් නැහැ කියන එක නෙමෙයි. එය වෙනම තිබෙනවා. ඒ අනුවත් රට රට වල වර්ධන වේගයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක්ට රටක සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. ඒ නිසා වැඩි අවධානය යොමු කරන්නේ වෙනස් කළ හැකි දේවල් වලට. ස්වභාවික සම්පත් වල බලපෑමත් ඒ වගේ. අනිවාර්යයෙන්ම බලපෑමක් තිබෙනවා. නමුත් එහෙම බලපෑමක් තිබුණා කියලා තෙල් නැති රටක් තෙල් තිබෙන රටක් කරන්න බැහැ. වෙළඳපොළ නිදහස් කර ගැනීම මගින් ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරගන්න එක ලෝකයේ ඕනෑම රටකට කළ හැකි දෙයක්.
මේකට එකඟයි.
Deleteනමුත් ජනතාව එය තේරුම් ගන්නෙ එසේ නෙමෙයි.
වෙලඳපොල නිදහස් කලාම බටහිර පන්නයෙ සන්වර්ධනයක් ගන්න පුලුවන් කියල ඔවුන් බලාපොරොත්තු වෙනවනෙ. නමුත් ඇත්තටම වෙන්නෙ දැන් තියෙන තැනිනුත් පහලට වැටිල සමතුලිත වෙන එක (රජයේ සහනාදාර, ස්ටිම්‍යුලේශන්ස් නැති නිසා)
ඉතින් ඒක වෙන්නෙ නැති උනාම ආපහු වටයක් සමාජවාදෙන් තමා කෙලවර වෙන්නෙ.
ඒක නිසා මම කියන්නෙ හරිහමන් දේශපාලනයක් කරනවනම් සන්ස්කෘතික වෙනසක් කරන්න ක්‍රමයක් හොයන්න ඕන දේශපාලනිකව (වම)
දකුනෙ දේඅහපාලනය කරනවනම් ආර්තික අභිලාශ රියලිස්ටික් මට්ටමට අඩු කරගන්න ජනතාව පෙලගස්සන්න ඕන.
මම හිතන්නෙ අනුරුද්දට උත්තර දෙන්න පුලුවන් සහ ජාතිකවාදී දක්ශිනාංශික දේශපාලනයෙන් ලංකාවට ඉදිරිගමන්ක් නැහැ කියල කියන්න වෙන්නෙ ඉහත තර්කය මත පමනයි.
දවල් තරු පෙන්නනව කියලත් කියනව
ReplyDeleteනාකි සොම්බියා නං තරුණ කොල්ලංගෙ අහවල් එක උඩ නැගල පොල්ලෙලි ගස්ස ගන්නවා.😜😂😂😂👍
ReplyDeleteඔහේට එහෙම කලැයි?
Deleteමම ඒ සබ්ජෙක්ට් එකේ නෑ ඇනෝ.
Delete