පෙර සටහන් වල දකුණු පළාතේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වයන් විග්‍රහ කළා. ඊයේ මාතර දිස්ත්‍රික්කයේ තනි නියැදියට තවත් නියැදියක් (දික්වැල්ල) එකතු වී තිබෙනවා. ඒ අනුව. මාතර සඳහා වඩා නිවැරදි ඇස්තමේන්තුවක් සකස් කරගන්න පුළුවන්. නියැදි දෙකක් වුනත් ප්‍රමාණවත් නැහැ. නමුත්, නියැදි එකකට වඩා නියැදි දෙකක එකතුවක් නිවැරදියි.
මාතර දිස්ත්‍රික්කය (N = 360)
අනුර = 38.7%
සජිත් = 18.1%
රනිල් = 5.8%
නාමල් = 0.3%
බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.3%
තීරණය කර නැති = 37.0%
මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 62.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා.
සජිත්ගේ 18.1% ඔහුගේ 2019 ප්‍රතිශතය වූ 22.6%ට ආසන්න වුවත් අඩුයි. සජිත්ගේ හා රනිල්ගේ ප්‍රතිශත එකතු කළ විට එම ප්‍රතිශතයට වඩා මදක් වැඩියි. නමුත්, සජබ හා එජාප නියැදි කුඩා නිසා ඒ අනුසාරයෙන් බරපතල නිගමන වලට පැමිණිය නොහැකියි. දික්වැල්ල ප්‍රතිඵලය අප වෙත යොමු කළ පාඨක හිතවතාට අනුව දික්වැල්ලේ සමීක්ෂණය සිදු කර ඇති ප්‍රදේශය එජාපයට වඩා බර ප්‍රදේශයක්. (මෙම ඇස්තමේන්තු සකස් කිරීම අපට පහසු වී තිබෙන්නේ පාඨක හිතවතුන් කිහිප දෙනෙකු විසින් මෙවැනි මත විමසුම් ගැන සොයා බලමින් ඒවා අප වෙත යොමු කරන බැවිනුයි. ඔවුන්ට ස්තුතියි!)
වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ පොහොට්ටු ඡන්ද මේ වන විට මාලිමාව වෙත ආකර්ෂණය වී ඇත්තේ කෙසේද යන්නයි. දැනට දකුණු පළාතේ තත්ත්වය මෙසේයි.
හම්බන්තොට - 67.1%
මාතර - 62.0%
ගාල්ල - 67.1%
හම්බන්තොට ප්‍රතිඵලය වඩා නිවැරදියි. මාතර ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය අඩුයි. ගාල්ල ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ඊටත් වඩා අඩුයි. මාතරෙන් හා ගාල්ලෙන් තවත් නියැදි ලැබුනොත් මෙම ප්‍රතිඵල කෙලෙස වෙනස් වෙයිද?
හම්බන්තොට හා ගාල්ල අනුව මාතර ප්‍රතිශතයද 67.1% විය යුතුද?
එසේ නැත්නම්, වඩා රතු හම්බන්තොට සිට තරමක් අඩුවෙන් රතු මාතරට එද්දී සිදු වන අඩු වීම අනුව ගාල්ලේ ප්‍රතිශතය මාතර ප්‍රතිශතයට වඩා අඩු විය යුතුද?
මේ දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. පිළිතුරු දීම සඳහා දත්ත ප්‍රමාණවත් නැහැ.
දැන් අපි දකුණු පළාතේ සිට යාබද සපරගමු පළාත වෙත යමු.
රත්නපුර දිස්ත්‍රික්කය
පසුගිය සතියේදී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ හතරක් සිදු කර තිබෙනවා. ඒ රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල හා පැල්මඩුල්ල ප්‍රදේශ වලදී. රත්නපුර සමීක්ෂණ හතරේ (N = 804) සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය පහත තිබෙනවා.
අනුර = 28.0%
සජිත් = 26.4%
රනිල් = 9.2%
නාමල් = 2.5%
දිලිත් ජයවීර = 3.7%
තීරණය කර නැති = 35.8%
රත්නපුර දිස්ත්‍රික්කයේ 2020 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 51.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. එමෙන්ම, 2019 සජිත්ගේ ඡන්ද ප්‍රතිශතය වූ 30.6% මට්ටමට සජිත් පැමිණ නැති බවත්, ඉතිරි එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි කොටසක් රනිල් සතුව ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රනිල් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් යම් කොටසක් ආකර්ශනය කරගෙන ඇති බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කය
දෙමසකට පෙර දෙහිඕවිට හා යටියන්තොට ප්‍රදේශ වලදී සමීක්ෂණ දෙකක් සිදු කර තිබුණා. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276).
අනුර = 14.5%
සජිත් = 26.1%
රනිල් = 18.8%
නාමල් = 1.8%
තීරණය කර නැති = 38.8%
මෙහි දැකිය හැක්කේ පොහොට්ටු ඡන්ද වලින් 25.3%ක් පමණයි. කෙසේ වුවත්, නියැදි දෙකක් මත පමණක්ම පාදක වූ මෙම ඇස්තමේන්තු ඒ තරම්ම විශ්වාසනීය නැහැ.
කළුතර දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ දකුණු හා සපරගමු පළාත වලට යාබදවයි. මසකට පමණ පෙර කළුතර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ දෙකක් සිදු කර තිබෙනවා. ඒ කළුතරදී හා හොරණදී. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276).
අනුර = 25.8%
සජිත් = 28.4%
රනිල් = 9.6%
ධම්මික පෙරේරා = 4.8%
තීරණය කර නැති = 31.5%
එතරම් විශ්වාසනීය නොමැති මෙම ප්‍රතිඵලය තුළින් පිළිබිඹු වන්නේ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 48.5%ක් ආකර්ශනය කරගෙන ඇති බවයි.
දත්ත එතරම් විශ්වාසනීය නොමැති වුවත්, කෑගල්ල දිස්ත්‍රික්කය "කොළ" දිස්ත්‍රික්කයක් බව පැහැදිලියි. එහෙත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක පැහැදිලි ලෙස රතු හෝ කොළ ලෙස වර්ග කිරීම අසීරුයි. මෙම දිස්ත්‍රික්ක වලින් මාලිමාව විසින් ආකර්ශනය කර ගෙන ඇති බව පෙනෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් 50%කට සමානයි. ඒ නිසා, දැනට අපට මෙම දිස්ත්‍රික්ක සලකුණු කළ හැක්කේ අතරමැදි වර්ණයකින්. ඒ සඳහා අපි කහ පැහැය යොදා ගනිමු.
එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයට යාබදව ඇති රත්නපුර, කළුතර හා මාතර දිස්ත්‍රික්ක වල රටාව අනුව අපට නිගමනය කළ හැක්කේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 55%-60% අතර ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන තිබිය යුතු බවයි.