වෙබ් ලිපිනය:

Showing posts with label ධනවාදය. Show all posts
Showing posts with label ධනවාදය. Show all posts

Monday, July 14, 2025

අහෝ දුකකි, පිරමිඩ උගුලකි!


මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පිරමිඩ ගැන මීට පෙර ලියා තිබෙන නිසා නැවත මූලික කරුණු විස්තර කරන්න යන්නේ නැහැ. පිරමිඩ හැදෙන එක ගැන ටිකක් කතා කරමු. 

යමෙක් හුවමාරුවක් කරන්නේ ඇයි? එසේ කරන්නේ තමන්ට සාපේක්ෂව තමන් සතු දෙයක වටිනාකමට වඩා වෙනත් දෙයක වටිනාකම වැඩි නිසා සහ එම තමන්ට සාපේක්ෂව වඩා වටිනා දෙය හුවමාරු කර ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා. පෙර ලිපියෙහි විස්තර කර ඇති පරිදි මෙවැනි හුවමාරු සතුන් අතර පවා සිදු වෙනවා. හුවමාරුවක් සිදු වීම සඳහා අනෝන්‍ය විශ්වාසයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්-මිනිසුන් අතර මෙන්ම මිනිසුන්-සතුන් හා සතුන්-සතුන් අතර පවා මේ ආකාරයේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඊට හේතුව සහජාශයද නැත්නම් වෙනත් දෙයක්ද කියා මම දන්නේ නැහැ. 

සතුන්ටත් වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් ශ්‍රේණිගත කරන්නත් පුළුවන්. එය පර්යේෂණ වලින් තහවුරුව තිබෙන දෙයක්. හුවමාරුවට හේතුව කෙසේ වෙතත් සතුන්ගේ මේ වටිනාකම් වලට හේතුවනම් සහජාශය වෙන්න පුළුවන්. සතුන්ට වටිනාකමක් ඇති සේ තහවුරු වී තිබෙන්නේ සීමිත භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයක් පමණයි. ඒ අතර ආහාර හා ලිංගිකත්වය ප්‍රධානයි. ඒ නිසා, ආහාර හා ලිංගිකත්වය මිනිසුන්ට වටිනා දේ වී තිබෙන්නේද සහජාශය නිසා කියා හිතන්න පුළුවන්. නමුත් එතැනින් එහාට දේවල් වටිනා දේවල් වී තිබෙන්නේ මිනිසාගේ සමාජ ජීවිතය නිසා. වරින් වර හමු වී තිබෙන කුඩා කල සිටම සතුන් සමඟ හැදී වැටුණු මිනිසුන්ට අවශ්‍ය වන්නේ ආහාර හා ලිංගිකත්වය පමණයි.

ආහාර හා ලිංගිකත්වයෙන් එහාට ඇඳුම් වැනි මූලික දෙයක් පවා සමාජයීය අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය සමාජයීය වුවත්, එම සමාජයීය අවශ්‍යතාවය මත පාදක වූ පුද්ගල කැමැත්තක් මෙහිදී ඇති වෙනවා. පුද්ගලයෙකුට එවැනි භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් පෙනෙන්නේත් හුවමාරුවක් සිදු වන්නේත් ඒ නිසා. නමුත් මේ විදිහට ඒකීය පුද්ගල කැමැත්ත පමණක් මත පදනම්ව, වටිනාකම පිළිබඳ තමන්ගේ විශ්වාසය මත යමෙක් ගනුදෙනුවක් සිදු කරන්නේ පාරිභෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පමණයි. එහිදී වටිනාකමේ මූලය අදාළ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමේ හැකියාව හා ඒ සඳහා වන අවශ්‍යතාවය. පරිභෝජන අවශ්‍යතාවයට හේතුව සහජාශය හෝ සමාජයීය කරුණක් වෙන්න පුළුවන්.

වත්කමක් හිමිකර ගැනීම සඳහා ආයෝජනයක් කරද්දී මේ තත්ත්වය වෙනස්. එහිදී වැදගත් වන්නේ හුවමාරු කරන දෙයෙහි තමන්ට ඇති වටිනාකම නෙමෙයි. එහි වටිනාකම පිළිබඳව වෙනත් අයට ඇති වටිනාකම පිළිබඳව තමන්ගේ විශ්වාසය. මිනිසුන් මුදල් ගනුදෙනු කරන්නේද මේ විශ්වාසය පෙරදැරිවයි. 

මිනිසුන් අතර මේ ආකාරයේ ගනුදෙනුද සිදුවීමේ ප්‍රතිඵලයක් වන්නේ තමන්ට කිසිසේත්ම වටිනාකමක් නැති දෙයක් හුදෙක් වෙනත් අයෙකුට වඩා වැඩි වටිනාකමක් ඇතැයි යන විශ්වාසයෙන් අත් පත් කර ගැනීම. බොහෝ දෙනෙක් මේ විදිහට හිතද්දී කිසිවෙකුටත් වටිනාකමක් නැති දෙයකට විශාල ඉල්ලුමක් හැදෙන්න පුළුවන්. මිල බුබුළු හැදෙන්නේ මේ විදිහටයි. මෙහිදී ක්‍රියාකාරී වන්නේ සාමූහික විශ්වාසය. එය සමූහයේ ඕනෑම තනි පුද්ගලයෙකුගේ විශ්වාසයට වඩා වෙනස්. අදාළ දෙයෙහි කිසිම කෙනෙකුට වටිනාකමක් නැහැ. නමුත් වෙනත් අයෙකුට වටිනාකමක් ඇතැයි සියල්ලන් විසින්ම හිතනවා. මේ සාමූහික විශ්වාසය අභියෝගයට ලක් වන සීමාවේදී මිල බුබුල බිඳ වැටෙනවා. 

මේ ආකාරයේ ගොඩනැගුම් වල ආන්තික තත්ත්වයක් වන පිරමිඩ් ක්‍රම වල ආයෝජනය කරන අය එසේ කරන්නේ වෙනත් අයද එසේ කරනු ඇතැයි යන විශ්වාසයෙන්. මිල බුබුළු හැදීම වගේම පිරමිඩ් ක්‍රම පැවතීම මගින්ද පෙන්නුම් කරන්නේ ධනවාදී ක්‍රමයේ පවතින ස්වභාවික දුර්වලතාවයක්. මේවා පිරිසිදු ධනවාදී ක්‍රමයක ලක්ෂණම මිසක් ධනවාදය හරියට ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල නෙමෙයි. නියාමනය මගින් පිරමිඩ් ක්‍රම පාලනය කිරීම වගේම මිල බුබුළු හැදීම වැළැක්වීමද අපහසු වන්නේ ඒ නිසා. 

Saturday, March 22, 2025

ධනවාදය හා ආරක්ෂණවාදය


සංසන්දනය සඳහා 2023 වසර ගත්තොත්, ලෝක බැංකු දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 82,769ක්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එම වසරේදී (හෝ ආසන්න වසරකදී) ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් පැවති රට නෙමෙයි. තවත් රටවල් දහයක් පමණ මේ ලැයිස්තුවේ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා. නමුත් ඒ "රටවල්" වලින් බාගයක් පමණම ලක්ෂයකට අඩු ජනගහණයක් ඉන්න කුඩා නාගරික රාජ්‍ය හෝ කුඩා දූපත් රාජ්‍ය. ඉතිරි රටවල් ගත්තත්, ඒ අතර මිලියන දහය ඉක්මවන ජනගහණයක් සිටින රටවල් කිසිවක් නැහැ. 

අඩු වශයෙන් මිලියන විස්සක ජනගහණයක් සිටින සංවර්ධිත රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් 82,769

ඕස්ට්‍රේලියාව - ඩොලර් 64,821

ජර්මනිය - ඩොලර් 54,343

කැනඩාව - ඩොලර් 53,431

එක්සත් රාජධානිය - ඩොලර් 49,464

ප්‍රංශය - ඩොලර් 44,691

ඉතාලිය - ඩොලර් 39,003

ජපානය - ඩොලර් 33,767

ස්පාඤ්ඤය - ඩොලර් 33,509

දකුණු කොරියාව - ඩොලර් 33,121

මේ රටවල් සියල්ලම වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. නමුත්, මේ එක් එක් රටේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එකම විදිහට නෙමෙයි. වෙනස්කම් තිබෙනවා. මතක තියාගන්න අප මේ කතා කරන්නේ පොදුවේ "ධනවාදී" සේ සැලකෙන සංවර්ධිත රටවල් ගැනයි. සාමාන්‍ය කරුණක් ලෙස, සමාජවාදී ලෙස සැලකෙන හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් වල ඒක පුද්ගල ආදායම් මට්ටම මීට වඩා අඩුයි. 

ඉහත රටවල් අතරින් වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැක්කේ ඇමරිකාවයි. උදාහරණයක් ලෙස, අනෙක් හැම සංවර්ධිත රටකම මෙන් පොදු නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණත් ඇමරිකාවේ එවැන්නක් නැහැ. අධ්‍යාපනය වැනි දෙයක් සැලකුවත් මධ්‍යම රජයේ බලපෑම් ඉතාම අඩුයි. ඇමරිකාවට සාපේක්ෂව අනෙකුත් සංවර්ධිත රටවල වාමාංශික නැඹුරුව වඩා වැඩියි. 

ඇමරිකානු දේශපාලනය තුළ දක්ෂිණාංශික කොටස් විසින් සමාජවාදී දේශපාලනය සේ හඳුන්වන්නේ ලංකාව වැනි රටක සමාජවාදී දේශපාලනය සේ හඳුන්වන දෙය නෙමෙයි. ගොඩක් වෙලාවට ඇමරිකාවේ ඊනියා සමාජවාදී දේශපාලනය ලංකාව වැනි රටක වඩාත්ම දක්ෂිණාංශික සේ සැලකෙන (හා ජන පදනමක් තිබෙන) දේශපාලන ව්‍යාපාරයකටද වඩා දක්ෂිණාංශිකයි. ඒ නිසා, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බලය මාරු වෙද්දී වෙළඳපොළ මත පදනම් වූ ඇමරිකන් ආර්ථික ක්‍රමයේ විශාල වෙනසක් සිදු වෙන්නේ නැහැ. නමුත්, වෙනත් රටවල වගේම ඇමරිකාවේ දක්ෂිණාංශයද වෙළඳපොළ පැත්තට වඩා බරයි. එම දක්ෂිණාංශයට සාපේක්ෂව, ඇමරිකාවේ වාමාංශය රාජ්‍ය මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔවුන් වුවද, වෙළඳපොළ විශාල ලෙස විකෘති වන මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඊට හේතුව ඇමරිකානු ජනමතය තුළ වෙළඳපොළ නැමියාව බොහෝ ගැඹුරු මට්ටමක පැවතීමයි. 

විද්‍යාත්මක නිගමනයක් නොවුනත්, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සාපේක්ෂව වුවද ඉහළින් තියෙන්නේ ඇමරිකාව වඩා ධනවාදී බැවින් බව කෙනෙකුට පහසුවෙන් ගෙන හැර දැක්විය හැකි තර්කයක්. මේ තර්කය ඉදිරිපත් කරන්නෙකුට පහසුවෙන්ම සාක්ෂි ඉදිරිපත් කළ හැකියි. එම සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි නොවුනත්, පහසුවෙන් බැහැර කළ නොහැකි තරම් ප්‍රබලයි. 

ඇමරිකාවේ ජනගහණය මිලියන 340ක් පමණ (2024). එවැනි විශාල ජනගහණයක් එක්ක ඇමරිකාව ඩොලර් 89,678ක පමණ (2024දී) ඒක පුද්ගල ආදායමක් වාර්තා කර තිබෙනවා. ඇමරිකාවට එසේ කළ හැකි වෙද්දී ලෝකයේ බොහොමයක් රටවලට එවැනි ඒක පුද්ගල ආදායම් මට්ටමකට යා නොහැක්කේ ඇයි?

ඒක පුද්ගල ආදායම මෙවැනි ඉහළ මට්ටමක තිබෙනවා කියන්නේ සාමාන්‍ය වශයෙන් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ මට්ටමක තිබෙනවා කියන එකයි. සාමාන්‍ය කරුණක් ලෙස ගත්තොත්, ඇමරිකාවට අවශ්‍ය හැම දෙයක්ම ඇමරිකාව ඇතුළේ හදාගන්න ඇමරිකාවට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය වගේම තාක්ෂනය ඇමරිකාවේ තිබෙනවා. මේ අතින් ලෝකයේ වෙනත් කිසිම රටක් ඇමරිකාව සිටින තැන නැහැ. 

ඇමරිකාවට වඩා වැඩි හෝ ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක් තිබෙන ජනගහණය අඩු රටවල් ගණනාවක් තිබෙනවා. නමුත් ඒ හැම රටකම ඒක පුද්ගල ආදායම රැඳී තිබෙන්නේ ඇමරිකාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාම මතයි. ඒ කිසිදු රටකට රටට අවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ නිපදවා ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් තිබෙන ඉන්දියාව හා චීනය වැනි රටවල් තිබුණත් ඒ රටවල ශ්‍රමයේ ඵලදායීතාවය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඇමරිකාවට සාපේක්ෂව ඒ රටවල ඒක පුද්ගල ප්‍රාග්ධන සංචිත සහ තාක්ෂනය තිබෙන්නේ පහළ මට්ටමක කියන එකයි. 

කරුණක් ලෙස ගත්තොත්, ධනවාදය වර්ධනය වෙන්නේ ඇමරිකාව ඇතුළේ. අනෙක් හැම රටකම වගේ ධනවාදය දියුණු වෙන්නේ ඇමරිකාවට සාපේක්ෂව. කාලයක් ලෝකය පුරා විසිරී තිබුණු කුඩා සමාජවාදී රටවල් සෝවියට් සංගමය මත යැපුනා වගේ. මෙහිදී යැපෙනවා යන්නෙන් අදහස් වන්නේ ආර්ථික සම්පත්ම නෙමෙයි. තමන් කළ යුතු දේ සැලසුම් කරන්න වෙන්නේ ප්‍රමුඛයා දිහා බලාගෙන. 

අඩු වශයෙන් තවත් වසර ගණනාවක් යන තුරු ලෝකයේ ධනවාදී ක්‍රමය ඉදිරියට යන්නේ ඇමරිකාවේ ධනවාදය ඉදිරියට යන විදිහ අනුවයි. ඒ වගේම, කවර හෝ හේතුවක් නිසා ඇමරිකාවේ ධනවාදය බිඳ වැටුනොත්, එය ලෝකයේම ධනවාදී ක්‍රමය කෙරෙහි බලපානවා. ඇමරිකාවේ ධනවාදය අර්බුදයට ගියොත් සෝවියට් සංගමය බිඳ වැටුණු පසු එම ක්‍රමයේ පැවැත්ම අහෝසි වුනා වගේ දෙයක් වුනත් වෙන්න පුළුවන්. (ධනවාදී අර්ථ ක්‍රමය සමාජය සංවිධානය විය හැකි එකම ක්‍රමය කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්න හේතුවක් නැහැ.)

ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහි ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් දක්ෂිණාංශික සේ හඳුනා ගන්නේ රිපබ්ලිකන් පක්ෂයි. ඩිමොක්‍රටික් පක්ෂ හඳුනා ගන්නේ වාමාංශික පක්ෂයක් ලෙසයි. මුලින් කී පරිදි, මේ විදිහට වම දකුණ සලකුණු වන්නේ ඇමරිකානු දේශපාලනයේ සක්‍රිය පරාසය තුළයි. ලංකාවේ සම්මත අනුව බැලුවොත්නම්, ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය කියන්නෙත් ලංකාවේ දක්ෂිණාංශික සේ සැලකෙන පක්ෂ සියල්ලටම වඩා දක්ෂිණාංශික පක්ෂයක්. 

ඇමරිකාවේ ඇතුළේ ඉතා හොඳ මට්ටමක ධනවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ දක්ෂිණාංශික කොටස් මේ මට්ටමෙන් සෑහීමකට පත් නොවනවා විය හැකි වුවත්, අනෙක් සියලුම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා ඇමරිකාව ධනවාදීයි. අනෙක් අතට ඇමරිකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකුත් තිබෙනවා. එවැනි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදක් එක්ක ධනවාදයට ඉදිරියට යා හැක්කේ ධනවාදය ඇමරිකානු ජනමතය තුළ කාලයක් තිස්සේ මුල් බැසගෙන ඇති දෙයක් නිසා. අඩු වශයෙන් යුරෝපයේ හෝ මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකියි. දැන් මොන ප්‍රශ්න තිබුණත්, මේ අතින් ඇමරිකාවට කිට්ටුවෙන්ම සිටින රට කැනඩාව විය හැකියි. 

ඇමරිකාව ඇතුළේ තිබෙන මේ ධනවාදී-හිතවාදී තත්ත්වය ඇමරිකාවෙන් පිටත නැහැ. ඒ නිසා, ඇමරිකාව තමන්ගේ දේශ සීමා වලින් එහා ජීවත් වන අයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනු සිදු වන්නේ රට ඇතුළේ ගනුදෙනු සිදු වන ආකාරයටම නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාමේ දී සහ සංක්‍රමණිකයින් රටට වැද්ද ගැනීමේදී ඇමරිකාවට මේ වෙනස ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. (මේ කරුණ අනෙක් බටහිර රටවලටද අදාළ වුනත්, ලිපියේ මුලින් විස්තර කළ හේතු නිසා මෙහි අවධානය යොමු කරන්නේ ඇමරිකාව වෙතයි.)

දක්ෂිණාංශික දේශපාලනය කරන ඇතැම් කණ්ඩායම් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින්නේ දේශපාලනික පදනමකින්. මෙහිදී පදනම වෙන්නේ නිදහස් ගනුදෙනු වල යෙදීමේ අයිතිය කියන්නෙත් ජීවත්වීමේ අයිතිය, කැමති රැකියාවක් කිරීමේ අයිතිය වැනි මූලික මිනිස් අයිතියක් කියන එක හෝ ඊට කිට්ටුවෙන් යන දෙයක්. නමුත් ආර්ථික විද්‍යාඥයෙක් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින්නේ එවැනි දේශපාලන පදනමකින් නෙමෙයි. එහි පදනම වන්නේ වෙළඳපොළ ක්‍රමය නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි වීමට හේතු වන්නේය යන කරුණ. 

සාමාන්‍ය කරුණක් ලෙස නිදහස් වෙළඳපොළ තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. වෙළඳපොළට බාධා කරන තරමට කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මෙය හුදෙක් විශ්වාසයක් නෙමෙයි. තාර්කිකව, සිද්ධාන්ත ඇසුරෙන් සහ ඇත්ත දත්ත ඇසුරෙන් පෙන්වා දිය හැකි දෙයක්. නමුත් එහෙම නොවන අවස්ථාත් තිබෙනවා. සමහර තත්ත්වයන් යටතේ වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් සැලසුම් කළ හැකියි. එමගින් කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකියි. එයද පැහැදිලි කරුණක්. මුල් කරුණ වගේම තාර්කිකව, සිද්ධාන්ත ඇසුරෙන් සහ ඇත්ත දත්ත ඇසුරෙන් පෙන්වා දිය හැකි දෙයක්. 

ඔය වගේ වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් සැලසුම් කළ හැකි තත්ත්වයන් ඇති බොහෝ අවස්ථා වලදී මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළ අවශ්‍ය වෙනස්කම් සිදු වෙලා කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඒ හරහා ධනවාදය දියුණු වෙනවා. මේ මාර්ගෝපදේශනය අනිවාර්යයෙන්ම රජය විසින් කළ යුතු නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක රජය කියන්නෙත් මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයේම කොටසක් නිසා ඔය වැඩේ රජය විසින් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. රජය කියන්නේ ජනතාව නියෝජනය නොකරන අධිකාරී බලයක්නම් ප්‍රශ්නයක් තිබෙනවා. කොහොම වුනත් මෙවැන්නක් කරද්දී වැදගත් දේ එමගින් වෙළඳපොළ ක්‍රියාකාරකම් වැඩි වෙනවද නැත්නම් අඩුවෙනවද කියන එකයි.

ඉහත කී දක්ෂිණාංශික දේශපාලන අදහසේ මූලය මිනිසුන්ට ස්වාධීන, නිදහස් කැමැත්තක් තිබෙනවා කියන එක. සාමාන්‍ය කරුණක් ලෙස සමාජවාදී කොටස් මේ අදහස මේ විදිහටම පිළිගන්නේ නැහැ. බොහෝ විට ඔවුන්ගේ මතය වන්නේ නිදහස් කැමැත්ත කියන එක ඇත්තම නිදහස් කැමැත්තක් නෙමෙයි පරාරෝපිත කැමැත්තක් කියන එක. දළ වශයෙන් කිවුවොත් නිදහස් කැමැත්ත කියන දෙය සමාජය විසින් පුද්ගලයා මත පටවන කැමැත්තක් මිසක් ස්වාධීන දෙයක් නෙමෙයි. ඒ අනුව, මිනිසාගේ කැමැත්ත වෙනස් කිරීම සාධාරනීකරණය කළ හැකි දේශපාලනික හේතුවක් ලැබෙනවා. සමාජවාදී කඳවුර අධ්‍යාපනයට ලොකු බරක් තියන්නෙත් ඔය පදනමෙන්. 

ආර්ථික විද්‍යාඥයෙක් මිනිස් හැසිරීම් තේරුම් ගන්නේ විද්‍යාත්මක ක්‍රමය මත පදනම්ව. දක්ෂිණාංශික දේශපාලනය තුළ පිළිගැනෙන පරිදි, බොහෝ මිනිස්සු බොහෝ අවස්ථා වලදී තාර්කිකව හිතා තමන්ට වාසිදායකම තීරණය ගන්නවා. නමුත් හැම කෙනෙක්ම හැම විටම එසේ කරන්නේ නැහැ. දේශපාලනය පැත්තට ආවොත්, වාමාංශික කඳවුර වගේම දක්ෂිණාංශික කඳවුර ක්‍රියාත්මක වෙන්නෙත් ස්වාධීන මිනිස් කැමැත්ත වෙනස් කළ හැකියි කියන පදනමේ ඉඳගෙනයි. එවැන්නක් කොහොමටවත් කරන්න බැහැ කියන තැනට ආවොත් දේශපාලනය කරන්න පදනමක් නැතිව යනවා. 

ධනවාදී අර්ථ ක්‍රමයක් හොඳින් ක්‍රියාත්මක වෙන්නනම් ඊට උපකාරී වන දේශපාලන පරිසරයක් තිබිය යුතුයි. එවැන්නක් අනිවාර්යයෙන්ම ඉබේටම හැදෙන්නේ නැහැ. ඒ වගේම, මිනිස්සු බහුතරයක් විද්‍යාත්මක ක්‍රමය අනුව නිගමන වලට එළැඹෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයින් සැලකුවත්, ඔවුන් අතර වඩා දේශපාලනික අය ඉන්නවා. එවැනි අය සමහර වෙලාවට තමන්ගේ දේශපාලනික මතවාද අනුව නිගමන වලට පැමිණෙනවා. එම මතවාද අතර වාමාංශයට නැඹුරු මතවාද වගේම දක්ෂිණාංශයට නැඹුරු මතවාදත් තියෙන්න පුළුවන්.

වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන කරුණට ආවොත්, කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රම විභජනය හරහා ලැබෙන විශේෂ ප්‍රාගුණ්‍යය. වෙළඳපොළ විශාල වන තරමට ලැබෙන වාසියත් වැඩියි. නමුත් වෙළඳපොළ විශාල වී ගෙන යද්දී කාර්යක්ෂමතාවය අසීමිත ලෙස වැඩි වෙන්නේ නැහැ. යම් සීමාවකින් පස්සේ ඇති වන ඝර්ෂණයන් නිසා තව දුරටත් වෙළඳපොළ විශාල වීමෙන් වාසියක් නැතිව යනවා. ප්‍රවාහන ගාස්තු, ප්‍රවාහනයේදී සිදු වන හානි ආදිය මෙවැනි ඝර්ෂණයන්.

ඇඟළුමක් ලංකාවේ නිපදවා ඇමරිකාවට ගේන එක වඩා කාර්යක්ෂම වුවත්, උදේ ආහාර වේල ලංකාවෙන් ඇණවුම් කර ගෙන්වා ගන්න එක වඩා කාර්යක්ෂම නැහැ. යම් හෙයකින් මිනිත්තු කිහිපයකින් සහ අඩු වියදමකින් ලංකාවේ හදන උදේ කෑම වේල ඇමරිකාවට ගෙන්වා ගත හැකි ආකාරයේ තාක්ෂනයක් බිහි වුනොත්, මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, යම් හෙයකින් ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ ගියොත් ඇඟළුමක් ලංකාවේ නිපදවා ඇමරිකාවට ගේන එක තව දුරටත් වඩා කාර්යක්ෂම වෙන්නේ නැහැ. වෙළඳපොළක් කොයි තරම් විවෘත වුනත්, අසල්වැසියන් අතර සිදු කෙරෙන ගනුදෙනු වලට නෛසර්ගිකවම විශේෂ වාසියක් තිබෙනවා. 

කලින් කියපු, ඒක පුද්ගල ආදායම අතින් ඇමරිකාවට වඩා ඉදිරියෙන් ඉන්න එක් රටක් සිංගප්පූරුවයි. කුඩා නාගරික රාජ්‍යයක් වන සිංගප්පූරුව ඇතුළේ ඒ රටේ ජීවත් වන අයට අවශ්‍ය හැම දෙයක්ම නිපදවා ගන්නවා කියන එක කළ නොහැකි දෙයක්. එය හරියට ඇමරිකාවේ නිවුයෝර්ක් නගරය වැනි නගරයක ජීවත් වන අයට අවශ්‍ය හැම දෙයක්ම නගරය ඇතුළේ නිපදවා ගන්නවා වැනි කළ නොහැකි දෙයක්. ඒ නිසා, සිංගප්පූරුව වැනි කුඩා භූමි ප්‍රදේශයක පිහිටි, සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින රටක ඒක පුද්ගල ආදායම ඔය වගේ මට්ටමක තියා ගන්නනම් අනිවාර්යයෙන්ම ලෝකයට විවෘත වෙන්නම වෙනවා. ලංකාව වැනි රටකට වුවත් මෙය අදාළයි.

එසේ වුවත්, ඇමරිකාවට ඉහත කරුණ ඒ විදිහටම අදාළ වන්නේ නැහැ. ඇමරිකාවේ නිවුයෝර්ක් වැනි නගරයකට සංවෘතව පවතින්න බැරි වුනත්, ඇමරිකාවෙන් පිටතට විවෘත නොවී, ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලට පමණක් විවෘත වී පවතින්න පුළුවන්. එසේ කිරීමෙන් විශාල කඩා වැටීමක් සිදු වන්නේ නැහැ. 

ඇමරිකාව වැනි විශාල ජනගහණයක් සිටින විශාල රටක් පිටතට විවෘත නොවුනත් ශ්‍රම විභජනය හරහා ලැබෙන විශේෂ ප්‍රාගුණ්‍යය අඩුවක් නැතිව හැදෙන තරමට රට විශාලයි. ඒ නිසාම, ඇමරිකාව ලෝකයේ වඩාත්ම විවෘතම රටක් වුනත්, නිදහසේ කැමති කෙනෙක් එක්ක ගනුදෙනු කළ හැකි වුනත්, ඒ ගනුදෙනු බොහොමයක් සිදු වන්නේ රට ඇතුළේමයි. ඉතිරි ගනුදෙනු වලින්ද වැඩි කොටසක් සිදු වෙන්නේ අසල්වැසි කැනඩාව හා මෙක්සිකෝව එක්ක. ලෝකයේ රටවල් අතරින් පිටතට විවෘත වීමේ වාසිය අඩුම රට ඇමරිකාව කියා කියන්න පුළුවන්. 

එහෙමනම් ඇමරිකාව ගනුදෙනු සඳහා විවෘතම රටක් සේ පැවතුණේ ඇයි?

විවෘත වීමේ වාසිය අඩුම රට ඇමරිකාව විය හැකි වුවත්, එය තව දුරටත් වාසියක්. ඇමරිකාවට අවශ්‍ය හැම දෙයක්ම අවුලක් නැතිව ඇමරිකාව ඇතුළේම නිපදවා ගන්න පුළුවන්. රටේ හඳුනාගත් පොසිල ඉන්ධන අවසන් වීම නිසා 1970 දශකයේ මුල් කාලයේදී මේ තත්ත්වය වෙනස් වුනා. නමුත් වසර පණහකට පසුව දැන් නැවතත් ඇමරිකාව ඉන්ධන සුරක්ෂිතතාව ලබාගෙන ඇති නිසා ජාත්‍යන්තර වෙළඳාම ඇමරිකාවට අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. එසේ වුවත්, ජාත්‍යන්තර වෙළඳාමේ පදනම වන "සංසන්දනාත්මක වාසිය" කියන කරුණ තව දුරටත් වලංගුයි. (මේ ගැන නොදන්නා අයෙකුට පෙර ලියා ඇති සටහන් කියවිය හැකියි.)

ඇමරිකාවට ඇඟලුම් ලංකාවෙන් ආනයනය නොකර ඇමරිකාවේම හදා ගන්න පුළුවන්. නමුත්, එසේ නොකර. ඇඟලුම් ලංකාවෙන් ආනයනය කර, එහිදී ඉතිරි වන ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවා වෙනත් දෙයක් නිපදවා ලංකාවට අපනයනය කර ඇඟලුම් සඳහා අවශ්‍ය විදේශ විණිමය උපයා ගන්න එක ඇමරිකාවට වඩා වාසියි. ජාත්‍යන්තර වෙළඳාමේ සංසන්දනාත්මක වාසිය කියන්නේ ඕකටයි.

දැන් මේ "සංසන්දනාත්මක වාසිය" සංකල්පය ඇතුළේම ඇමරිකාවේ මේ මොහොතේ ප්‍රශ්නයද පැහැදිලිව පේනවා. ඇඟලුම් ඇමරිකාවේ නොහදා ලංකාවෙන් ආනයනය කරන එක වාසියක් වෙන්නේ කොහොමද? එසේ කිරීමෙන් යම් ශ්‍රම ඒකක ප්‍රමාණයක් සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණයක් ඇමරිකාවේ ඉතිරි වෙනවා. ඒවා යොදවා වෙනත් දෙයක් නිපදවා අපනයනය කළ හැකියි. එමගින් ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය සොයා ගත හැකියි. අවසාන වශයෙන් එම ශ්‍රම ඒකක ප්‍රමාණය සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය යොදවා ඇමරිකාවේ නිපදවිය හැකි ඇඟලුම් ප්‍රමාණයට වඩා වැඩි ඇඟලුම් ප්‍රමාණයක් ලංකාවෙන් ආනයනය කළ හැකියි.

කෙසේ වුවත්, මේ වැඩේ මේ විදිහට වෙන්නේ ඇමරිකාවේ ඉතිරි වන ශ්‍රම ඒකක ප්‍රමාණය සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය යොදවා ඇමරිකාවේ නිපදවිය හැකි දේ ලංකාව විසින් මිල දී ගන්නේනම් පමණයි. ලංකාව එසේ නොකරන්නේනම් මේ ගනුදෙනුවෙන් ලැබෙන්නේ එළදෙනගේ ඉස්සරහ පැත්ත පමණයි. ඒ නිසා, ලෝකයේ බොහෝ රටවල් සමඟ දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් කියන්නේ ඇමරිකාව විසින් එළදෙනුන් ගණනාවකට දිගින් දිගටම තණකොළ කැවුවත්, කිරි ගන්නේ වෙනත් රටවල් විසින් බවයි. ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් සාමාන්‍යයෙන් ලැබෙන "සංසන්දනාත්මක වාසිය" නොලැබෙන බවයි. 

වත්මන් මහාද්වීපික ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේ කුඩා කොටසක් වූ මුල් ඇමරිකාව ක්‍රමයෙන් බටහිරට ව්‍යාප්ත වී විශාල රටක් බවට පත් වුනා. පසුව ඇලස්කා සහ හවායි ප්‍රාන්ත එකතු වී තවත් විශාල වුනා. මේ විදිහට ඇමරිකාව ක්‍රමයෙන් විශාල වෙද්දී එහි දේශීය වෙළදපොළද අනුක්‍රමිකව විශාල වුනා. මේ අයුරින් වෙළඳපොළක් විශාල වෙනවා කියන්නේ එකම සම්මත තුළ නිදහස් ගනුදෙනු සිදු කළ හැකි විශාල ප්‍රදේශයක් බිහි වෙනවා කියන එකයි.

ඇමරිකාව වැනි නිදහස් රටක් විශාල වෙනවා කියන්නේ එහි වැසියෙකුට එකම සම්මතයන් යටතේ, එකම මුදල් ඒකකයකින් ගනුදෙනු කළ හැකි විශාල ගනුදෙනුකරුවන් පිරිසක් අභිමුඛ වෙනවා යන්නයි. එමෙන්ම ඔවුන්ට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකට සංක්‍රමණය වීමට සහ රැකියාවක් කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා, නිෂ්පාදන සාධක ඉතාම කාර්යක්ෂම ලෙස අවශ්‍යම තැනට චලනය වෙනවා. ප්‍රවාහනය වැනි සීමාවන් තව දුරටත් තිබුණත් ඝර්ෂණයන් ඉතාම අඩුයි.

නමුත් දේශ සීමා ඉරක් පනිද්දී මේ තත්ත්වය වෙනස් වෙනවා. කැනඩාව වැනි ඇමරිකාවට බොහෝ සමාන සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිමක් ඇති අසල්වැසි රටක් සැලකුවද මේ ඝර්ෂණයන් යම් තරමකින් හෝ තිබෙනවා. උදාහරණ ලෙස කැනඩාවේ මුදල් ඒකකය මෙන්ම මිනුම් ඒකකද වෙනස්. ඒ නිසා, කැනඩා මායිමේ ජීවත් වන ඇමරිකානුවෙකුට වුවද කැනඩාවේ පාර්ශ්වකරුවෙකු සමඟ ගනුදෙනු කිරීමට සාපේක්ෂව ඇමරිකානු පාර්ශ්වකරුවෙකු සමඟ ගනුදෙනු කිරීමේ වාසියක් තිබෙනවා. වෙනස් සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිම් ඇති, දුරස්ථව පිහිටි රටක ගනුදෙනුකරුවන් හා ගනුදෙනු කරද්දී මෙවැනි "ඝර්ෂණ" වල බලපෑම වඩා විශාලයි. ඒ නිසා, විදේශිකයෙකු සමඟ කරන ගනුදෙනුවක් කිසි විටෙකත් රට ඇතුළේ කරන ගනුදෙනුවකට පූර්ණ ආදේශකයක් වන්නේ නැහැ. ඒ නිසාම, දේශ සීමා ඉරක් පනිද්දී "නිදහස් වෙළදාම" කියන එක රටක් ඇතුළේ  "නිදහස් වෙළදාම" කියන තත්ත්වයට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ.

දැන් නැවත ඇමරිකාවට ආවොත්, ඇමරිකාව කියන්නේ ලෝක ධනවාදී අර්ථ ක්‍රමයේ පුරෝගාමියා වන රටනේ. මේ රටේ ද්විපක්ෂ ක්‍රමයක් තිබෙනවා. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ මාරුවෙන් මාරුවට බලයට එනවා. මේ පුරෝගාමී ධනවාදී රටේ ප්‍රතිපත්ති ඇතුළේ රජය විසින් විවිධ ආකාර වලින් වෙළඳපොළට බලපෑම් කරනවා. ඒ කරන විදිහ බලයේ ඉන්න පක්ෂය අනුව වෙනස් වෙනවා. නමුත් දිගුකාලීනව වෙනස් වී නැති දේවලුත් තිබෙනවා.

සරල හා සාමාන්‍ය කරුණක් විදිහට විදේශිකයෙකුට "නිදහසේ" ඇමරිකාවට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසාම, ඇමරිකාවේ බොහොමයක් රැකියා සඳහා ඔවුන්ට ප්‍රවේශයක් නැහැ. ඇමරිකාවෙන් පිටත සිට ඇමරිකාවේ රැකියාවක් කළ හැකි වුවත්, ඒ සඳහා තිබෙන සීමිත අවකාශය "නිදහස්" අවකාශයක් නෙමෙයි. ඔය හුදෙකලා කාරණය පමණක් සැලකුවත්, දේශ සීමා වලින් එහාට නිදහස් වෙළඳපොළ කියන එකේ අර්ථය වෙනස් වෙනවා කියන එක පැහැදිලි විය යුතුයි.

යම් හෙයකින් ඇමරිකාවට කැමති කෙනෙකුට නිදහසේ එන්න ඉඩ දුන්නොත් කුමක් වෙයිද? ලෝකයේ ඕනෑම කෙනෙක් තමන්ගේ රට අත හැර ඇමරිකාවට එන්න කැමති වෙයි කියලා මම කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට එන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. එවැනි විශාල පිරිසක් එක වර ඇමරිකාවට ආවොත්, ඇමරිකාවේ දැනට තිබෙන සමාජ-දේශපාලන-ආර්ථික සම්මුති තව දුරටත් ඒ විදිහටම තියෙයිද? ඒ සම්මුතීන් වල රැඩිකල් වෙනසක් සිදු වුනොත් ඇමරිකාවේ දැනට ක්‍රියාත්මක වෙළඳපොළ ක්‍රමය තවදුරටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද? 

ඇමරිකාවේ ධනවාදය ඇමරිකාවේ දැනට ජීවත්වන මිනිසුන්ගෙන් වියුක්ත දෙයක් නෙමෙයි. මිනිස්සු වෙනස් වුනොත්, සමාජය වෙනස් වුනොත්, ඇමරිකාවේ ධනවාදයේ ස්වභාවයත් වෙනස් වෙනවා. දැනට ලෝකයේ තිබෙන "හොඳම ධනවාදය" තියෙන්නේ ඇමරිකාවේ කියා සැලකුවොත්, ඒ විදිහට ඇමරිකාවට පැමිණීමට ඉඩ තිබෙන මිනිසුන් පැමිණෙන්නේ ඇමරිකාවේ දැන් තිබෙනවාට වඩා දුර්වල ධනවාදයක සිට හෝ ධනවාදයක් නැති තැනක සිටයි. එවැනි තැන් එසේ පවතින්නේ ඒ රටවල සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිම විසින් ඉල්ලා සිටින්නේ ඇමරිකාවේ තිබෙන ආකාරයේ ධනවාදයක් නොවන නිසා. දැන් ඒ වගේ තැන් වල සිට පැමිණෙන මිනිස්සු මහා පරිමාණයෙන් ඇමරිකාව ඇතුළට ඇවිත්ඇමරිකන් ක්‍රමය රැඩිකල් ලෙස වෙනස් කළොත් එමගින් ඇමරිකාවේ ධනවාදය පසුපසට මිසක් ඉදිරියට යාමේ ඉඩක් නැහැ. ධනවාදය සහ ඒක පුද්ගල ආදායම අතර තිබෙන සම්බන්ධය දිහා බැලු විට, එමගින් ආර්ථිකයට විය හැක්කේ කුමක්ද කියන එකත් පැහැදිලි වෙනවා.

ඉහත කරුණු දෙස බලද්දී, ඇමරිකාවේ හෝ වෙනත් රටක ධනවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සංක්‍රමණිකයින් යම් ආකාරයකින් පාලනය කරන්න වෙන්නේ ඇයි කියන එකත් පැහැදිලි විය යුතුයි. යම් කෙනෙකුට එය පරස්පරයක් සේ පෙනෙන්න පුළුවන්. මොකද මෙහිදී වෙන්නේ නිදහස ඇහිරීමක්. නමුත් එවැනි පරස්පරයක් පෙනෙනු ඇත්තේ දේශපාලනික පසුබිමකින් ධනවාදය දෙස බලන අයෙකුටයි. කාර්යක්ෂමතාවය ගැන බලනවානම් මෙහි පරස්පරයක් නැහැ.

මේ තරම්ම පැහැදිලිව පෙනෙන්නේ නැතත්, දේශ සීමා වලින් ඔබ්බට කරන ගනුදෙනු වලදීත් මේ හා සමාන දෙයක් සිදු වෙනවා. තනි රටක් ඇතුළේ ධනවාදී තරඟය සිදු වෙන්නේ සමාන කොන්දේසි යටතේ. නමුත් දේශ සීමා වලින් එහාට එය ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම, යම් තත්ත්වයන් යටතේදී, වඩා විවෘත වීමෙන් අවශ්‍ය දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් ධනවාදී සේ සැලකෙන රටක සංක්‍රමණිකයින් හා අදාළ ප්‍රතිපත්තිය කුමක්ද? එය කැමති කෙනෙකුට රටට ඇතුළු වෙන්න ඉඩ දීම නෙමෙයි. නමුත් කිසිවෙකුට ඇතුළු වෙන්න ඉඩ නොදීමත් නෙමෙයි. මෙය වාසි අවාසි කිරා බලා කරන දෙයක්. ඇත්ත වශයෙන්ම, හොඳින් විමසා බැලුවොත් ධනවාදී රටවල් වෙළඳාමට විවෘත වී තිබෙන්නේත් ඔය පදනමින්ම තමයි. සංක්‍රමණික ප්‍රතිපත්තිය තරමට එය කැපී පෙනෙන්නේ නැත්තේ බොහෝ තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර වෙළඳාම මේ රටවලට වාසිදායක වූ නිසා. නමුත් අනාගතයේදී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. පුරෝගාමී ධනවාදී රට වන ඇමරිකාව තුළ මේ මොහොතේ පෙනෙන්නේ ඒ තත්ත්වය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටයක්. 

එසේ විය හැක්කේ කොහොමද කියන එක පසුව කතා කරමු.

Friday, July 28, 2023

තවත් රාජ්‍ය මැදිහත්වීමක්!


ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීමාවයි. මෙවැනි සීමාවන් හා අදාළව රටවල් අතර ඇති සම්මුතීන් බිඳුණු විට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා, රටක් කියන්නේ රටක රජය නොවුනත්, රටක් පැවතීම සඳහා එම රට මත අණසක පැතිරවිය හැකි රජයක්ද පැවතිය යුතුයි. 

රජයක් පවතිනවා කියන්නේනම රාජ්‍ය මැදිහත්වීම්ද තිබෙනවා කියන එකයි. රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් එහි රජයක් කියා දෙයක් නැහැ. එවිට ඉතිරි වන්නේ අරාජිකත්වයයි. එහෙත්, ජන ජීවිතය කෙරෙහි මැදිහත් වන ප්‍රමාණය අනුව විවිධ රටවල රජයයන් වෙනස් වෙනවා.

ධනවාදී ආර්ථික ක්‍රමයක පදනම වන්නේ පෞද්ගලික දේපොළ එක් රැස් කර ගැනීමට, මිනිසුන් අතර නිදහස් ගනුදෙනු කිරීමට හා එම නිදහස් ගනුදෙනු වලින් පෞද්ගලික ලාබ ලැබීමට ඉඩ සැලසීමයි. මෙහිදී මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත හැකි හා එම තීරණ වල වගකීම තමන් විසින්ම ගත හැකි බුද්ධිමතුන් පිරිසක් සේ උපකල්පනය කෙරෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමය හා එයට පාදක වූ පුද්ගල නිදහස පිළිගන්නා රජයක රාජ්‍ය මැදිහත් වීම් සිදු වන්නේ පුද්ගලයින් අතර සිදු වන ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස කර ගැනීමට ඉඩ සලසන වටාපිටාවක් ඇති කෙරෙන ආකාරයෙනුයි. 

මෙවැනි, ධනවාදය පිළිගන්නා රජයක මූලික කාර්යයක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා, රටේ සියල්ලන්ටම එකඟ විය හැකි පරිදි, නීතිය මගින් දේපොළ අර්ථදැක්විය හැකියි. මෙහිදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වය අතර ඇති විය හැකි අවිනිශ්චිතතා අඩු වී ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

එක් සරල උදාහරණයක් ලෙස පොළේ ගිහින් එළවළුවක් මිල දී ගනිද්දී ගොඩවල් ගණනට විකිණීම හා මිල දී ගැනීමට සාපේක්ෂව බර අනුව මිල දී ගනිද්දී ගනුදෙනුව සිදු කරන භාණ්ඩය පිලිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීම පහසු වෙනවා. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය සටහන්ව ඇති විට පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ලැබෙන අතර වෙළෙන්දාට එය තහවුරු කිරීම පහසු වෙනවා. මේ ආකාරයේ සම්මුතීන් ඇති වීම සඳහා රජයක පැවැත්ම අනිවාර්ය නොවුනත්, රජයක් පැවතීම තුළ එම රජයේ අණසක පවතින ප්‍රදේශය තුළ මෙවැනි සම්මුතීන් ඒකාකාරී ලෙස පවත්වා ගත හැකියි. එයින් පුද්ගල ගනුදෙනු වල වපසරිය පුළුල් වී කාර්යක්ෂමතාවය ඉහළ යනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගන්නා සහ එහි කාර්යක්ෂමතාවය අවබෝධ කරගත් රජයක් මිල පාලන ආදී ක්‍රම වලින් වෙළඳපොළට මැදිහත් වන්නේ ඉතා අඩුවෙන්. පෞද්ගලික අංශයට කළ හැකි නිෂ්පාදන, බෙදාහැරීම් හා විකිණීම් හරහා වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්. මෙහිදී මා ඉතා අඩුවෙන් යන වචනය භාවිතා කරන්නේ රටේ පවතින දේශපාලනික තත්ත්වයන් අනුව ඕනෑම රටක රජයක් විසින් රටක වෙළඳපොළට යම් මැදිහත්වීමක් කරන නිසා. එහෙත්, එවැනි මැදිහත්වීමක් කරන්නේ විශේෂ හේතුවක් ඇත්නම් පමණයි.

ඕනෑම රටක රජයක් එම රජයේ පැවැත්ම හා රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා. සැලසුම් හැදීම ඒකීය පුද්ගලයින්, ව්‍යවසායකයින්, ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් මෙන්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් සමාගම් හා සංවිධාන විසින්ද කරන දෙයක්. රටක රජයක් විසින් සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගත් පමණින් එවැනි රජයක් කිසිදු සැලසුමක් නැතිව ඉබාගාතේ යන රජයක් වන්නේ නැහැ. වෙළඳපොළ නිදහස තහවුරු කිරීම සඳහා වුවද සැලසුම් අවශ්‍ය වෙනවා. 

සමාජවාදී මධ්‍යගත සැලසුමක් කියන්නේ ඉහත ආකාරයේ සාමාන්‍ය සැලසුමක් නෙමෙයි. මෙවැන්නක් මූලධාර්මික තලයේදීම වෙනස් වෙනවා. සමාජවාදී ක්‍රමයේ පදනම වන්නේ මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි පිරිසක් ලෙස හඳුනා ගැනීමයි. ඒ අනුව, මුළු රටකම මිනිසුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම දේශපාලන පක්ෂයක්, එම දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන රජය හෝ වෙනත් සුළු පිරිසක් විසින් අතට ගන්නවා. රටේ අනෙකුත් සියලුම මිනිසුන්ට ඒ සැලසුමේ කොටස්කරුවන් වීමට සිදු වෙනවා. මෙහිදී රාජ්‍ය මැදිහත්වීමක් කිරීම සඳහා විශේෂ හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ ආකාරයේ මධ්‍යගත සමාජවාදීන්ට නිදහස ලබන්නටත් පෙර සිටම ලංකාවේ දේශපාලනය තුළ විශාල බලයක් තිබුණා. ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ආකාරයට ලංකාවේ රාජ්‍ය ආකෘතියද සකස් වුනා. අදටත් ලංකාවේ රජය විසින් කරන බොහෝ දේවල් රජය විසින් කරන්නේ එසේ කළ යුතු විශේෂ හේතුවක් තිබෙන නිසා නෙමෙයි. 

කෙසේ වුවත්, රාජ්‍ය ආකෘතියක් තුළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් එකතු කර ඇති කොටස් ගලවා දැමීම සීරුමාරුවට කළ යුතු වැඩක්. රජයක් විසින් කොපමණ මැදිහත්වීම් කළත් එම මැදිහත්වීම් හමුවේ වුවද වෙළඳපොළ නැවත සකස් වෙමින් හැකි පමණින් කාර්යක්ෂමතාවය සොයා යනවා. එසේ කිසියම් ආර්ථිකයක් සීමාවන් තුළ වුවද ප්‍රසස්ථකරණය වී ඇති විටෙක, එකවර රාජ්‍ය මැදිහත්වීම ඉවත් කළ විට ඇසිඩ් පානය කළ අයෙකුට වමනය කරවීමේදී සිදු වන ආකාරයේ හානියක් සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ කාර්යක්ෂමතාවය සොයා යාමේදී එයට බාධා කෙරෙන ආකාරයේ රාජ්‍ය මැදිහත් වීම් ඉවත් කළ යුතු වුවත්, හදිසියේ එවැන්නක් කිරීම්දී ඇති විය හැකි වෙළඳපොළ කම්පනය ගැනද සැලකිලිමත් විය යුතුයි. 

ලෝකය පුරා නැවත නැවතත් අසාර්ථක වී ඇතත් මධ්‍යගත සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැනටත් ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකියි. ඔවුන්ට රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා හේතු අවශ්‍ය නැහැ. ජනමතය විරුද්ධ පැත්තේ ඇති විට ප්‍රසිද්ධියේ නොකිවුවත්, කවුරු හෝ විසින් ලාබ ලැබීම කෙරෙහි වන මූලික විරෝධය හා පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ විරෝධය ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් හේතුවක්. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම රජය මගින් කිරීම ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන්ට හේතු අවශ්‍ය වන්නේ පෞද්ගලික අංශයට ඉඩක් දීමේදීයි. 

ඉහත මධ්‍යගත සැලසුම් ක්‍රමය ප්‍රතික්ෂේප කරන, වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිගන්නා රජයයන් විසින් වුවද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. එහෙත්, එවැනි මැදිහත්වීම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි හා නිශ්චිත ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. මෙවැනි පියවරක් තබන්නට පෙර සමත් විය යුතු පළමු පරීක්ෂාව අදාළ කාර්යය පෞද්ගලික අංශය හරහා ඉටු නොවන බව තහවුරු කර ගැනීමයි. දෙවන පරීක්ෂාව එසේ පෞද්ගලික අංශය විසින් අදාළ කාර්යය නොකිරීමට හේතුව හෝ හේතු හඳුනාගැනීමයි. තෙවන පරීක්ෂාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බව සෑහෙන තරමක විශ්වාසයකින් යුතුව තහවුරු කර ගැනීමයි. පළමු පියවර දෙකට සාපේක්ෂව දෙවැන්න දේශපාලනිකයි. 

පසුගිය (2022) දෙසැම්බර් මාසයේ පළ කළ "ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්" ලිපියෙන් ඇමරිකාවේ සිදු වන මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. එම සටහනේ ලියා ඇති පරිදි, සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් ගෙයක් මිල දී ගනිද්දී අඩු වශයෙන් නිවසේ වටිනාකම මෙන් 5%ක පමණ ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. එක්තරා කාලයකදී මෙය 30%-50% පමණ ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. 

මේ ඩවුන් පේමන්ට් එක ගෙවිය යුතු නිසා, යමෙකුට ගෙයක් මිල ගන්න කලින් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගෙය ඇපයට තියා ගත්තත්, ගෙයි වටිනාකම අඩු විය හැකි නිසා ණය දෙන බැංකුවකට ගෙයි මුළු වටිනාකමම ණයට දීලා අවදානමක් ගන්නත් බැහැ. 

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න ඉඩ සලසනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. නමුත් එම මැදිහත්වීම බදු ගෙවන්නට බරක් නැති මැදිහත්වීමක්. මැදිහත්වීම හරහා කෙරෙන්නේ බැංකු මුහුණ දෙන අවදානම අඩු කිරීම මගින් අඩු ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දිය හැකි වාතාවරණයක් හදන එක. මේ වන විට ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් මේ වර්ගයේ ණය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම නිසා සාමාන්‍ය නිවාස ණයක් සඳහා ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එකද ක්‍රමයෙන් අඩු වී තිබීමයි.

කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ රජය මුල් වී රක්ෂණ ක්‍රමයක් හදන එක. රක්ෂණ ආයතනයක් විශාල වූ තරමට වැඩි අවදානමක් ගන්න පුළුවන්. මේ විදිහට හදන ආයතනය රජය මුල් වී හදන ආයතනයක් වුනත් එහි කොටස්කරුවෝ සාමාජික බැංකු. ලාබය යන්නෙත් ඔවුන්ට. ඒ නිසා, රජයේ මූල්‍යමය මැදිහත් වීමක් නැහැ. 

මීට කිට්ටු ආකෘතියක් යොදා ගනිමින් මේ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය දීම සඳහා අලුත් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා. මම හිතන්නේ මෙය හොඳ ප්‍රවේශයක් හා හොඳ රාජ්‍ය මැදිහත්වීමක්. 

කෙසේ වුවත්, මෙය ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව ස්ථාපනය කිරීම මෙන් රජය විසින් මාර්ගෝපදේශනය පමණක් කිරීමක් නෙමෙයි. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල හවුල්කාරිත්වයක් ලෙස බිහිවන ආයතනයක්. ලංකාවේ දැනට පවතින සන්දර්භයේ එහි වැරැද්දක් නැහැ. ආයතනය හොඳින් ස්ථාපනය වූ පසු අවශ්‍යනම් රජයේ කොටස්ද සාමාජික බැංකු වලටම විකුණා දමන්න පුළුවන්. National Credit Guarantee Institution (NCGI) ලෙස හැඳින්වෙන මෙම ආයතනයේ කොටස්හිමියන් හා සාමාජිකයින් ලෙස බැංකු 10ක් හා බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් එකතු වී තිබෙනවා.ඉහත ආයතනය පිහිටුවීම සඳහා තාක්ෂණික සහයෝගය මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙන අතර සාමාජික බැංකු වල කොටස් ආයෝජන වලින් තවත් ඩොලර් මිලියන 10ක් එකතු වෙනවා. ඒ අනුව, වැඩේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් එකතු කරන්නේත්, රැකියා වලින් 45%ක් සපයන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ. රටේ ආර්ථික වර්ධනයේ එන්ජිම මොවුන් කියා කියන්නත් පුළුවන්. එහෙත්, සාමාන්‍යයෙන් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට බැංකු ණයක් ගන්න එක ලේසි නැහැ. ප්‍රධානම හේතුව ඇපයට තියන්න දෙයක් නැතිකම. යම් හෙයකින් ණයක් ගත්තත් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු වල පැත්තෙන් මෙය සාධාරණයි. ඒ මොවුන්ගේ ණය පැහැර හැරීමේ අවදානම වැඩි නිසා සහ ඇපකරයක් නැත්නම් එහිදී විය හැකි පාඩුව වැඩි නිසා.

අලුත් ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව හරහා සිදු වන ආකාරයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ණය රක්ෂණය වෙනවා. ඒ නිසා, බැංකු වලට ණය ආපසු නොලැබීමේ අවදානම අමතක කරලා සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන්. මේ විදිහට ණය රක්ෂණය කිරීම වෙනුවෙන් ලබාගන්නා රක්ෂණ වාරික මුදල් වලින් අලුත් ආයතනයට රටේ මහ ජනතාවට බරක් නොවී පවතින්න පුළුවන්. 

වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා අලුත් ආයතනයේ ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම හිතන්නේ එක් එක් සාමාජික ආයතනයට යම් කෝටා එකක් ලැබෙයි. එම කෝටා එකට යටත්ව එක් එක් ආයතනය විසින් සහන පොලියකට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙයි. ඒ හැර අලුත් ආයතනයෙන් කෙළින්ම ණය ලබා දෙන එකක් නැහැ. එහෙත්, මේ ක්‍රමය යටතේ ණය ගැනීමේදී ණය ගන්නා ආයතනයෙන් සහ මෙම ආයතනයෙන් යන දෙතැනින්ම අනුමැතිය ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ සිදු වන දෙයක් නිසා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් සාමාජික බැංකු වලට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම්, මෙයත් තවත් එක් රාජ්‍ය ආයතනයක් විය හැකියි. කොහොම වුනත්, එදාවේල තීරණ වෙනුවට දිගුකාලීනව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන මෙවැනි දෙයක් ගැන හිතපු එකම වුනත් හොඳ ප්‍රවණතාවක්.

Saturday, April 1, 2023

හැත්තෑ හතට කලින් රාජ්‍ය ව්‍යවසාය


සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන ඔය වගේ බොරු අදහස් ලංකාවේ අති මහත් බහුතරය විසින් පිළිගන්නවා. හැත්තෑ හතේදී ලංකාව ඒ වන විට පැවති තත්ත්වයට සාපේක්ෂව තරමක් විවෘත වුනා. වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට යම් ඉඩක් ලැබුණා. නමුත් රටේ ආර්ථිකයේ සංවෘත හා සමාජවාදී ලක්ෂණ බොහොමයක් අද දක්වාම තවමත් එලෙසම තිබෙනවා. 

ධනවාදී ක්‍රමයක් කියා කියන්නේ පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීම අරමුණු කරගෙන, තරඟකාරිත්වයට මුහුණ දෙමින්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සිදු කරන ක්‍රමයක්. මධ්‍යගත සැලසුමකට අනුව, රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම කිරීම සමාජවාදී ක්‍රමයයි. 

පළමුවැන්න මිනිස් සංස්කෘතිය දියුණු වීමේදී ස්වභාවික ලෙසම පරිණාමය වූ ක්‍රමයක්. හැමදාම දිගින් දිගටම වෙනස් වන ක්‍රමයක්. දෙවැනි ක්‍රමය මාක්ස්ගේ (සහ තවත් අයගේ) ඉගැන්වීම් මත පදනම්ව කෘතිම ලෙස ගොඩ නගන ලද "ආගමික" ක්‍රමයක්. දෙවැනි ක්‍රමය ඇතැම් රටවල පූර්ණ වශයෙන් හෝ ඊට ආසන්නව ක්‍රියාත්මක කර තිබෙන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම හා/හෝ පවත්වාගෙන යාම මගින් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැත්තේ එම ක්‍රමය පවත්වාගෙන යාමට රටක බහුතරය සාමාන්‍යයෙන් කැමති නොවන නිසයි. මෙම ප්‍රකාශයට ව්‍යතිරේඛ තිබිය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වය මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් එකට නොගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇතැම් ජනප්‍රිය සමාජවාදී අදහස් එකට යනවා. එවැනි ජනප්‍රිය සමාජවාදී අදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවලද ක්‍රියාත්මක වෙනවා.

ඉහත කතාව ධනවාදයටද එක සේ වලංගුයි. හැම දෙයක්ම වෙළඳපොළට තීරණය කරන්නට ඉඩ දී රජය මුළුමනින්ම පැත්තකට වීම කිසිම රටක කවදාවත්ම සිදු වී ඇති දෙයක් නෙමෙයි. වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකාවේ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. එහෙත් මෙවැනි රාජ්‍ය මැදිහත්වීම් තිබෙන්නේ අවම මට්ටමකයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් යටතේ, බහුතර කැමැත්ත මත, රජය වෙළඳපොළට මැදිහත් වන අවස්ථා තිබෙනවා. ඇතැම් විට එසේ මැදිහත් වන්නේ සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. ඇතැම් විට වෙනත් හේතු මතයි. 

ධනවාදයට නැඹුරු බොහොමයක් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. සමාජවාදී ක්‍රමය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ කිසියම් ආකාරයක ඒකාධිපතිත්වයක් සමඟයි. එහෙත් ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ, බොහෝ තැන් වලදී එකිනෙක ගැටෙන, වෙනම දේවල් දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ හැමවිටම මෙන් සමාජවාදී අදහස් වලටද නියෝජනයක් ලැබෙනවා. 

ධනවාදයේ පදනම මිනිස් නිදහස හා සමානාත්මතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමද එයයි. ඒ නිසාම ධනවාදියෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීමේ තාර්කික හැකියාවක් නැහැ. මේ නිසාම, ධනවාදය තුළ සමාජවාදී අදහස් වලට තිබෙන තැන කවදාවත්ම මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. 

රටක් විවෘත හෝ සංවෘත වීම වෙනමම කතාවක්. රටක් ධනවාදී වූ පමණින්ම එය පූර්ණ වශයෙන් විවෘත රටක් වන්නේ නැහැ. ඒ වගේම, සංවෘත ආර්ථික පවත්වා ගැනීම සමාජවාදී අදහසක්ද නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය හා සංවෘත ආර්ථික ක්‍රමය එක් වී හැදෙන ජාතික සමාජවාදය තිබිය හැකි නරකම සංයෝගයයි. මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත් වීම පිළිබඳ නරකම උදාහරණ දැකිය හැක්කේ ජාතික සමාජවාදී ක්‍රමය තුළයි. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ නිදහස ලැබෙන්නත් ගොඩක් කලින්. එය ඉංග්‍රීසීන්ගේ යම් අත්හදාබැලීමක් වෙන්නත් පුළුවන්. එංගලන්තයේ වගේම ඇමරිකාවේත් ලංකාවට සමාන පරිපූර්ණ සර්වජන ඡන්ද ක්‍රමයක් ඇති වුනේ ලංකාවට පසුවයි. 

ලංකාවේ මුලින්ම ඇති වුනු දේශපාලන පක්ෂ සමාජවාදය මත පදනම් වූ දේශපාලන පක්ෂ. එම පක්ෂ වලට රට තුළ මතවාදී බලයක් තිබුණා. සැලකිය යුතු ජන බලයක්ද තිබුණා. මැතිවරණ දේශපාලනය තුළ සමාජවාදී පක්ෂයකට ප්‍රධානම දේශපාලන බලවේගය ලෙස මතු වෙන්න බැරි වුනත් සමාජවාදී පක්ෂ දිගින් දිගටම සභාග ආණ්ඩු ඇතුළේ බලවත්ව සිටියා.

එජාපය ජයගත් නමුත් බහුතර ආසන ලබා නොගත්, 1947 මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තු ආසන දහයක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ද ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂය ආසන පහක්ද ලෙස ආසන 95කින් 18ක් ලබා ගත්තා. ඉන් පසුව, 1956 මැතිවරණයේදී ආසන ගණන අනුව දෙවන විශාලතම පක්ෂය වී විපක්ෂ නායක ධුරය ලබා ගන්නේ ලංකා සමසමාජ පක්ෂය. විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය වගේ පක්ෂ ආණ්ඩුව ඇතුළේ. ඉන් පසුව 1964දී වගේම 1970දීත් මුදල් ඇමති වෙන්නේ සමසමාජ පක්ෂයේ නායක ඇන් ඇම් පෙරේරා. 

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවරක්ම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගෙන පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ නිසාම, කවදාවත්ම ලංකාවේ පූර්ණ සමාජවාදී ක්‍රමයක් හැදුනේ නැහැ. නමුත් ආණ්ඩු ඇතුළේ හා ආණ්ඩුවෙන් පිටත ප්‍රබල ලෙස සමාජවාදී අදහස් නියෝජනය වීම නිසා ලංකාවේ ආර්ථික ක්‍රමය සැලකිය යුතු තරමකින් සමාජවාදී පැත්තට නැඹුරු වුනා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සමාජවාදී විය හැකි උපරිම මට්ටමටම ලංකාව සමාජවාදී වී තිබෙනවා කිවුවොත් නිවැරදියි.

මීට කලින් කොමියුනිස්ට් ප්‍රකාශනය ගැන ලිවුවේ මේ ගැන විමසීමක් කිරීමේ පහසුවට. හැම සමාජවාදියෙක්ම ඔය ලැයිස්තුව අතට අරගෙන එයින් එකින් එක ක්‍රියාත්මක කරන්න යනවා කියන එක අදහස් නොවුනත් ඔය ලැයිස්තුවෙන් ප්‍රායෝගිකව සමාජවාදී අදහස් කියන්නේ මොනවාද කියන එක බොහෝ දුරට නිරූපණය වෙනවා. 

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් පෞද්ගලික ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැහැ. පුලුවන් සීමාව දක්වා ඔය වැඩේ කරලා තිබෙනවා. වතු ජනසතු කිරීමේදී වුනේ මේකයි. නමුත් ඒ වැඩෙන් වුනේ හොඳට තිබුණු වතු පාළු වෙලා, වංචා දූෂණ හොරකම් වලට පාර කැපිලා, අපනයන ආදායම් අඩු වෙලා, රජයේ ආදායම් වෙනුවට පාඩු එකතු වෙලා විශාල ආර්ථික හානියක් සිදු වුන එක පමණයි. තව අක්කර පණහේ නීතිය වගේ නීතිත් ගෙනාවා. මතක හැටියට දැනටත් ලංකාවේ ඉඩම් වලින් 77%ක් පමණ අයිති රජයටයි. පරම්පරා කීපයක් ජීවත් වුනු ඉඩම් වල සම්පූර්ණ අයිතියක් ගොඩක් අයට නැහැ. වසර කිහිපයකට පෙර මේ ඉඩම් අයිතිකරුවන්ට ලැබෙන පරිදි සංශෝධන ගේන්න හදපු අවස්ථා වලදී සමාජවාදී දේශපාලන පක්ෂ එම ප්‍රතිසංස්කරණ වලට විශාල විරෝධයක් දැක්වූවා. ඉදිරියේදී වුනත් වෙන්න ඉඩ තියෙන්නේ ඒකයි.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

මේක සමාජවාදී අදහසක් වුනත් ජනප්‍රිය අදහසක්. ඒ නිසා ලෝකයේ හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දිගටම වගේ ක්‍රියාත්මක වී තිබෙන දෙයක්. දැන් IMF වැඩ සටහනෙන් වෙන්නෙත් මේ පැත්තට යාමක්. හැබැයි මේ කාරණයේදීනම් සමහර සමාජවාදී පක්ෂ ඉන්නේ ධනවාදය පැත්තේ. 

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් මේ වැඩේ කරන්න බැහැ. නමුත් යම් සීමා කිරීම් කරලා තිබෙනවා. කලින් කියපු අක්කර පණහේ නීතිය වගේම ගෙවල් හතේ නීතිය වගේ නීති උදාහරණයි. කලින් සමාජවාදී ආණ්ඩු යටතේ තිබී පසුව අහෝසි වී ඇති, දැන් අලුතෙන් දමන්න යන ධන (සම්ප්‍රේෂණ) බද්දත් මේ ගොඩට දමන්න පුළුවන් එකක්.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

මේ වැඩේ ලංකාවේ සිදු වෙලා තිබුණත් ඒකට හේතුවනම් සමාජවාදී අදහස් නෙමෙයි. ඒ වගේම, වෙනත් හේතු නිසා සමාජවාදී පක්ෂ මේ වැඩේට විරුද්ධ වෙලා තිබෙනවා. මේක අද සන්දර්භයේ ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

පෞද්ගලික අයිතිය යටතේ තිබුණු ලංකා බැංකුවේ සියලු කොටස් රාජ්‍ය අයිතියට ගන්නේත්, ෆෙඩරල් සමුපකාර බැංකුවේ කොටස් රජයට අරගෙන මහජන බැංකුව හදන්නේත් මේ මූලධර්මය අනුවයි. දැනටත් මේ බැංකු දෙක රටේ ප්‍රධානම බැංකු දෙකක්. ඒකාධිකාරය නැති වෙමින් ඇතත් මේ සමාජවාදී නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව තිබෙනවා. ඒ වගේම සියලුම රක්ෂණ සමාගම් රජයට ගෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හදන්නෙත් මේ මූලධර්මය අනුවයි. 

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

මේ දෙකම සියයට සියයක්ම වගේ කරලා තිබෙන දේවල්. ප්‍රවාහනය කෙළින්ම රජයේ තනි පාලනයට යටත් කළා. ජනමාධ්‍යත් රජයට ගත්තා. දැනටත් මෙම ජනමාධ්‍ය ආයතන පාඩු ලබමින් බදු මුදල් වලින් නඩත්තු වෙනවා.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

කලින් කියපු ටයර් සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් ගණනාවක්ම ඇති කළේ ඔය මූලධර්මය අනුව. ඒ වගේම, "පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම" කියන එක ලංකාවේ ඒ විදිහටම ක්‍රියාත්මක වුනා.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කළ හැකි සීමාව තුළ ඔය වැඩේ කරන්න උත්සාහ කරලා තිබෙනවා. හාල් පොලු මිරිස් පොලු දැම්මේ ඔය වැඩේට. 

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

මේකත් කලින් එක වගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. හාල් පොලු මිරිස් පොලු දැමීම තුළ ඔය ඉලක්කයත් තිබුණා.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම.

මේ වැඩේ කොහොමටත් ලංකාවේ සිදු වෙනවා. ලෝකයේ අනෙක් හැම රටකම වගේමත් සිදු වෙනවා. 

කෙටියෙන් කතාව මේකයි. සමහර සමාජවාදී ඉලක්ක වලට මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත්ම යන්න බැහැ. යන්න පුළුවන් ඉලක්ක හැම එකකටම වගේ ලංකාව ගිහින් තියෙනවා. දිගටම කළ හැකි වූ දේවල් දැනටත් සිදු වෙනවා. අසාර්ථක වූ දේවල් පසුව අත හැර දමා තිබෙනවා. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට අලුතෙන් කළ හැකි, කලින් අත්හදා නොබැලූ දේවල් කිසිවක්ම නැති තරම්. කළ හැකි ඕනෑම දෙයක් කලින් අසාර්ථක වූ දෙයක් නැවත අත්හදා බැලීමක් පමණයි. 

රජය විසින් ව්‍යාපාර කිරීම කාලයක් තිස්සේ අත්හදා බලා තිබෙන දෙයක්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් ලංකාවේ අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 75ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ තුන්වන සහ හයවන තීරුවල තිබෙන්නේ හැත්තෑ හතට පෙර කාලයේ සමස්තයක් ලෙස ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම් හා වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් හා එම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පැත්තකින්ම තිබ්බත් අවම වශයෙන් අදාළ ආයතන වල ආදායමෙන් වර්තන වියදම් හෝ ආවරණය වී නැහැ. ඒ කියන්නේ හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ. රට මේ තරම් ණය වුනේ ඇයි කියන එකට එකම පිළිතුර මෙය නොවූවත් මෙය ප්‍රධානම හේතුවක්. 

දැන් මේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළාට පසුව ප්‍රශ්නය විසඳිලාද? පැහැදිලිවම ඔව්. ඔය ආයතන ඔය ආකාරයෙන් පාඩු ලබමින් දිගින් දිගටම නඩත්තු කළානම් රටේ ණය ගොඩ ගැසී, එම ණය ගෙවා ගන්න බැරි වී රට අර්බුදයට යන්නේ මීට වඩා ගොඩක් කලින්. 

Thursday, March 30, 2023

ටයර් සංස්ථාව විකිණීම විකිණීම


ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේදී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා.

දෙවන අදියර දක්වා යන්න අපේක්ෂා කරන්නේ දේශීය ඉල්ලුම විශාල ලෙස වැඩි වුනොත් හරි අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වුනොත් හරි පමණයි. පළමුවැන්න වෙන්න ලොකු ඉඩක් තිබුණේ නැහැ. ඒ වෙද්දී තිබුණු දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරන්න පළමු අදියරේ ධාරිතාවය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. කොහොම වුනත්, අපනයන වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සැලසුමේ තිබුණා.

ඔය කාලය වෙද්දී ලංකාවේ ඉතාම දියුණු ටයර් නැවත පිරවීමේ කර්මාන්තයක් තිබුණා. ඒ වගේම බයිසිකල් ටයර් හා ටියුබ් හදන වැඩේත් සාර්ථකව සිදු වුනා. ඔය දෙකම සිදු වුනේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන්. නමුත් ලොකු වාහන වල ටයර් රට ඇතුළේ නිපදවීමක් සිදු වුනේ නැහැ. 

රජය මුල් වී සෝවියට් දේශයේ තාක්ෂණික සහායෙන් කැළණියේ ටයර් කම්හල හැදුවේ රටේ ටයර් අවශ්‍යතාවය රට ඇතුලෙන්ම සපුරා ගැනීමේ අරමුණින්. බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී, 1958 පෙබරවාරි මාසයේදී ලංකාව හා සෝවියට් දේශය අතර අත්සන් කළ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමෙන් මේ සඳහා ඉඩකඩ විවර වී තිබුණා. 

ටයර් නිෂ්පාදනය ලංකාව විසින් පටන් ගත යුතුවම තිබුණු කර්මාන්තයක්. ඒ වෙද්දී ලංකාවේ ප්‍රධානම අපනයන තුන වුනේ තේ, රබර් සහ පොල්. ඇත්තටම ලොකු අවුලක් නොවුනත්, ලංකාවෙන් රබර් අපනයනය කරලා ඒ රබර් වලින් හැදිය හැකි ටයර් නැවත ලංකාවට ආනයනය කරන එකේ බොහෝ දෙනෙකුට පෙනෙන අවුලක් තිබුණා. 

ටයර් නිෂ්පාදනය ලංකාවට වාසිදායක කර්මාන්තයක් වුවත් දේශීය හෝ විදේශීය ආයෝජකයෝ ඒ වෙද්දී කර්මාන්තයට අත ගහලා තිබුණේ නැහැ. තෙල්, වතු, බැංකු, රක්ෂණ, බස් සමාගම් හිටිවනම රජයට අරගෙන තිබුණු පසුබිමක පෞද්ගලික ආයෝජකයින් විසින් ඔය වගේ අවදානමක් ගැනීමේ ඉඩකඩක් තිබුණෙත් නැහැ. පැවති සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ රජය මුල් වී ටයර් නිෂ්පාදනය පටන් ගැනීම කළ හැකිව තිබුණු හොඳ දෙයක්. 

සමාජවාදී ආර්ථික ක්‍රමය ඇතුළේ ධනවාදී ක්‍රමයට ලාබ ඉලක්ක කිරීමක් නැහැ. නමුත් එයින් අදහස් වෙන්නේ ලාබ නොලබා පාඩුවට වැඩ කරනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිදහස් වෙළඳපොළක් නැති නිසා ලාබයත් තීරණය කරන්නේ රජය විසින්මයි. පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ රජය විසින්ම තීරණය කරනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා නිපදවා පාරිභෝගිකයන්ට සපයන එක කරන්නෙත් රජය විසින්මයි. මේ වැඩේ කරන්නේ රජයේ මධ්‍යගත සැලසුමකට අනුව. එහි ලඟා කරගත යුතු නිෂ්පාදන ඉලක්ක තිබෙනවා. 

සමාජවාදී ක්‍රමයට මිල තීරණය කරන්නේ පිරිවැය මත පදනම්වයි. දැන් මිල සූත්‍ර ක්‍රමය කියා කියන්නෙත් ඔය ක්‍රමයටම තමයි. මෙහිදී වෙන්නේ යන වියදම ගණනය කරලා ඒකට අවශ්‍ය කරන ලාබය එකතු කරන එක. රජය සංස්ථා ටයර් වල මිල තීරණය කළෙත් ඔය ක්‍රමයට. ඔය ක්‍රමයට මිල තීරණය කරද්දී කවදාවත්ම පාඩු වෙන්නේ නැහැ. පිරිවැය කොයි තරම් වැඩි වුනත් රජයට පුළුවන් ඊට වඩා වැඩි මිලක් අය කරන්න. සමාජවාදී ක්‍රමයකදී ලාබ හෝ පාඩු රාජ්‍ය ව්‍යවසායයක කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නොවෙන්නේ ඔය නිසා. 

හැබැයි ඔය විදිහට ලංකාවේ ටයර් හැදුවත් ඒ ටයර් වලට ආනයනික ටයර් එක්ක මිලෙන් හෝ ගුණාත්මක භාවයෙන් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, ආනයනික ටයර් වලට වෙළඳපොළ විවෘතව තිබුණානම් ඔය අවශ්‍ය මිලට ටයර් විකුණන්න බැරි වෙනවා. ඒ නිසා, රජය විසින් ආනයන නවත්වලා ලංකාවේ වෙළඳපොළ මුළුමනින්ම ලංකා ටයර් සංස්ථාවට විවෘත කරලා දුන්නා. ඊට පස්සේ ටයර් ගන්නවානම් ඉතින් සංස්ථාවේ ටයර්ම තමයි. 

ඔය වාසිය නිසා ටයර් සංස්ථාවට පහසුවෙන්ම ලංකාවේ මුළු වෙළඳපොළම අල්ලගන්න පුළුවන් වුනා. නමුත්, ඔය ක්‍රමයට ටයර් අපනයනය කරන්න බැහැ. අපනයනය කරද්දී වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න වෙනවා. රට වහගෙන ටයර් විකුණන්න පුළුවන් රට ඇතුළේ පමණයි.

කම්හලේ ධාරිතාව තිබුණත් අපනයන ඉල්ලුමක් නැතිව ටයර් හදලා වැඩක් නැහැ. ඒ නිසා ටයර් හැදුවේ රටේ දේශීය ඉල්ලුම සපුරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණයි. සැලසුමේ පළමු අදියරේ ඉලක්ක වලටත් යන්න බැරුව දෙවන අදියරේ ඉලක්ක ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසාම, වියදම් කරලා හදපු ලොකු ධාරිතාවක් තිබුණු කම්හලෙන් ධාරිතාවයේ තරමට ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. හැබැයි පිරිවැය මත ලාබ ආන්තිකයක් එකතු කරලා මිල නියම කරපු නිසා පාඩු වුනේ නැහැ.

කම්හලේ ධාරිතාව තිබුණත්, අවශ්‍ය අච්චු නැතිකම නිසා (ඇණවුම් කර අවශ්‍ය වෙලාවට ලබා ගත නොහැකි වීම නිසා), ඉල්ලුම තිබෙන ඇතැම් ටයර් වර්ග අවශ්‍ය වෙලාවට හදන්න බැරි වීමේ ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ නිසා, රට තුළ ටයර් හිඟයක් ඇති වී ටයර් සංස්ථාවේ ප්‍රධානම පාරිභෝගිකයා වන ලංකා ගමනාගමන මණ්ඩලයට 1973දී ටයර් ආනයනය කරන්න සිදු වෙනවා. ආනයන පාලනය කිරීමද මෙයට බලපානවා. සංස්ථා ටයර් දේශීය නිෂ්පාදනයක් කියා කිවුවත් එහි පිරිවැයෙන් 75%ක්ම ආනයනික අමුද්‍රව්‍ය. 

ඔය මොනවා වුනත් රාජ්‍ය ඒකාධිකාරයකට ලාබ ලබන්න පුළුවන්. 1973දී කාර් ටයරයක මිල රුපියල් 105 සිට 157 දක්වා 57%කින් වැඩි කරනවා. ලොරි ටයරයක මිල රුපියල් 645 සිට රුපියල් 840 දක්වා වැඩි කරනවා. එහෙම මිල වැඩි කරලා පාඩු ආවරණය කරගන්නවා. 

1974 වෙද්දී ටයර් සංස්ථාව ටයර් 172,155ක් දක්වා නිෂ්පාදනය වැඩි කරනවා. නමුත් විකිණෙන්නේ ටයර් 157,268ක් පමණයි. ඒක තමයි ඉල්ලුම. වැඩිපුර හදන ටයර් ගබඩා වල ඉතිරි වෙනවා. රටේ ටයර් වලට ඊට වඩා ඉල්ලුමක් නැහැ. අපනයනය කරන්න තරම් තරඟකාරිත්වයකුත් නැහැ. ඕක තමයි සාර්ථක සංවෘත ආර්ථික ක්‍රමයක් වුනත් අනිවාර්යයෙන්ම ගිහින් හිරවෙන තැන. 

ලංකාවනම් හිරවෙන්නේ නිකම්ම නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුයකුත් එක්ක. මොකද අපනයන ආදායම් ප්‍රමාණවත් නැහැ. කොයි තරම් ආනයන පාලන කළත් එක සීමාවකින් එහාට ආනයන පාලනය කරන්නත් බැහැ. 

දැන් ඔය සංස්ථා ටයර් හදන්න යන පිරිවැයෙන්ම වුනත් 75%ක් ගිහින් තියෙන්නේ ආනයනික අමුද්‍රව්‍ය වලට. ලංකාවේ කුඹුරු වල වී වැවුවත්, පෝර, කෘෂිරසායන, ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඒවාට ඉන්ධන, ගොවියා ලෙඩ වුණාම බෙහෙත් ටික ආනයනය කළේ නැත්නම් දේශීය වී නිෂ්පාදනයක් නැහැ. ඒ ආනයන ටික කරගන්නවත් විදේශ විණිමය නැත්නම් අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයක්. 

හැත්තෑ හතේදී ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් වෙන්නේ ඉහත කී සාර්ව ආර්ථික උපාය මාර්ගය වැරදිලා කාලයක් තිස්සේම ගෙවුම් ශේෂ අර්බුද වලින් බැට කෑවට පස්සේ. මෙහිදී ප්‍රධාන ඉලක්කයක් වන්නේ හඳුනාගත් අපනයන නිෂ්පාදන ඉලක්ක කර ගනිමින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. ඇඟලුම් වගේම රබර් නිෂ්පාදනත් ඔය හඳුනාගත් අපනයන නිෂ්පාදන ලැයිස්තුවේ ඉහළින්ම තිබෙනවා. 

අපනයන වෙළඳපොළ ඉලක්ක කරන්නනම් වෙළඳපොළ තරඟයට විවෘත වෙන්න වෙනවා. ඒ කියන්නේ ආනයන වලට ඉඩ හරින්න වෙනවා. ඔය වැඩේ කරද්දී මෙතෙක් රජය විසින් ආරක්ෂා කළ, තරඟකාරී නැති, සංස්ථා ටයර් වගේ නිෂ්පාදන වලට තරඟ කරන්න බැරි වෙනවා. ඊට පස්සේ කලින් වගේ ලාබ ලබන්න බැහැ. එක්කෝ මේ ආයතන කාර්යක්ෂම විය යුතුයි. නැත්නම් දිගින් දිගටම බදු මුදල් යොදවමින් නඩත්තු කළ යුතුයි. 

පළමුවැන්න වෙන්නේම නැහැ කියා කියන්න බැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ටිකෙන් ටික කාර්යක්ෂම වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ නැහැ. එවිට ඉතිරි වන විකල්පය බදු මුදල් යොදවමින් නඩත්තු කරන එක. මෙවැනි ආයතනයක් විකුණා දමන එක ඊට වඩා ලාබයි. එයින් බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි වෙනවා. 

ලංකා ටයර් සංස්ථාව කැළණි ටයර් වෙන්නේ 1992දී ඔය විදිහට රුපියල් මිලියන 400කට පෞද්ගලික ආයෝජකයෙකුට විකිණුවාට පස්සේ. නමුත් සේවක විරෝධය නිසා එම සමාගමට කම්හලේ වැඩ පටන් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශාල කාලයක් කම්හල වසා තබනවා. ඒ කාලයේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. කොහොම හරි මාස ගණනාවකට පසු කම්හල නැවත අරිනවා. 

ලංකා ටයර් සංස්ථාව පෞද්ගලීකරණය කළා කියලා රටට හානියක් වෙලා නැහැ. එය පිහිටවපු අරමුණු සියල්ලම මේ වෙද්දී ඉටුවෙලා තිබෙනවා වගේම කම්හල ආරම්භයේදී පැවති සමාජවාදී ආකෘතිය ඇතුළේ ඉටු කරගත නොහැකි වූ ඉලක්කද මේ වෙද්දී ඉටු වී තිබෙනවා.

ලංකා ටයර් සංස්ථාව පිහිටුවීමේ පළමු ඉලක්කය වූයේ රටට අවශ්‍ය ටයර් රට තුළම හදාගන්න එකයි. දෙවන ඉලක්කය ටයර් අපනයනය කිරීමයි.

මේ වෙද්දී පෞද්ගලික සමාගම් ගණනාවක් විසින් රට ඇතුළේ ටයර් හදනවා. රටේ ටයර් නිෂ්පාදනය ටයර් ඉල්ලුම ඉක්මවා ගිහින් තිබෙනවා. වැඩිපුර හදන ටයර් ගබඩා වල ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ ටයර් ලෝකය පුරාම යනවා. පළමු ඉලක්කයට අමතරව කලින් ක්‍රමයට කවදාවත් ඉටු කර ගත නොහැකි වූ දෙවන ඉලක්කයද ඉටු වෙලා.

රටට අවශ්‍ය ටයර් රට ඇතුළේම හැදෙනවා කියන එකෙන් ආනයන සිදු නොවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. සෑම වසරකදීම ලංකාව යම් ටයර් ප්‍රමාණයක් ආනයනය කරනවා. නමුත්, ඊට වඩා බෙහෙවින්ම වැඩි ටයර් ප්‍රමාණයක් අපනයනය කරනවා. අපනයන තරඟකාරිත්වය තියෙන්නේම ආනයන වලට ඉඩ තිබෙන නිසා.

රටක නිෂ්පාදනයක් සිදු විය යුතුයි. රටකට ජාතික ආර්ථිකයක් තිබිය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ ආර්ථිකය සංවෘත කළ යුතු බව නෙමෙයි. ඇමරිකානු ආර්ථිකය ලෝකයේ තිබෙන වඩාත්ම විවෘත ආර්ථිකයක් වුවත් ඒ අතරම වඩාත්ම සංවෘත ආර්ථිකයක්ද වෙනවා. සංවෘත වී තිබෙන්නේ ආර්ථිකය සංවෘත නොකර විවෘතව තැබීම තුළ ඇති වී තිබෙන තරඟකාරිත්වයත් එක්කයි. ප්‍රාග්ධනය රටෙන් ගෙන යන්නට ඉඩ නොදෙන රටවල ප්‍රාග්ධනය එක්රැස් නොවන්නේත්, නිදහසේ ප්‍රාග්ධනය රැගෙන යා හැකි රටවලම ප්‍රාග්ධනය එක්රැස් වන්නේත් මේ ක්‍රමයටමයි. 

පහත තිබෙන්නේ පසු ගිය වසර වල ලංකාව ටයර් අපනයනයෙන් උපයා ඇති විදේශ විණිමය ප්‍රමාණයි.

2011- $353,093,054

2012- $331,104,946

2013- $347,761,446

2014- $356,593,951

2015- $301,600,028

2016- $318,976,001

2017- $329,075,904

2019- $338,835,164

2020- $297,334,676

2021- $438,949,581

2022- $445,114,557

ඉහත අපනයන ආදායමෙන් (2022දී) 40%ක්ම ($178,845,717) ලැබී තිබෙන්නේ ඇමරිකාවෙන්. ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ප්‍රංශය යන රටවල් පිළිවෙලින් ඊළඟට සිටින රටවල් හතයි. පසුගිය වසර තුළ ලංකාව විසින් $1,651,159ක ටයර් ආනයනය කර තිබෙනවා.

Thursday, November 17, 2022

වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?

ඩොලර් එක දැන් තියෙන මට්ටමේ තියෙන්නේ පාලිත තත්ත්වයක් යටතේ කියලා කවුරුත් වගේ දන්නවා. ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න ඇරිය යුතු බව IMF එකේත් නිර්දේශයක්. ඒ විදිහට ඩොලරය නැවත පා කළහම කීයට යයිද කියන එක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම පුළුවන්නම්, මම ඒ ගැන සටහනක් නොදා ඉන්නේ නැහැ. මේ වැඩේ මූලධාර්මික ලෙසම කළ නොහැකි වැඩක්. මොකද එහෙම පුළුවන්නම්, එයින් අදහස් වන්නේ ඩොලරයට වෙළඳපොළෙන් ස්වායත්ත කිසියම් ආකාරයක වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක. 

ඩොලරයක මිල පමණක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක වටිනාකම සම්බන්ධ ධනවාදී අදහස භාණ්ඩයකට හෝ සේවාවකට එවැනි වාස්තවික (objective) වටිනාකමක් නැහැ කියන එක. භාණ්ඩයකට ඒ මත යෙදවූ ශ්‍රමය මත පදනම් වන විශ්වීය (universal), වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක මාක්ස්වාදී අදහසක්. මාක්ස්වාදයේ එන සූරාකෑම කියන කතාව ප්‍රබන්ධ කර තියෙන්නේ ඔය උපකල්පනය මත පදනම්වයි.

ධනවාදී ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම කියන්නේ ආත්මීය (subjective) කරුණක්. එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. රජයට හෝ වෙනත් පුද්ගලයෙක්ට කවදාවත් ඒක හරියටම දැන ගන්න බැහැ. වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වන්නේම මේ හේතුව නිසා. ගනුදෙනු හරහා භාණ්ඩයකට අඩු ආත්මීය වටිනාකමක් දෙන අය අතේ තිබෙන භාණ්ඩ එම භාණ්ඩයටම වැඩි ආත්මීය වටිනාකමක් දෙන අය අතට යනවා. මේ හරහා අගය එකතු වීමක් (value addition) සිදු වෙනවා. ගනුදෙනු වැඩි වන තරමට භාණ්ඩය මත අගය එකතු වීම වැඩියි. 

"වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?


කාගෙවත් ඇස නොගැටෙන 

ඇති නිසා හැමතැනම අපමණව 

ගස් යට වැටී කුණුවන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


දහදියෙන් පෙඟී ගිය 

අත් මිටක මොලවාන 

උතුරනා සෙනෙහසින් අපමණව 

ඔබට දෙන්නට 

සඟවාගෙන ආ වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


නැති නිසා ඔබ ආවේ 

සොවින් පිරි හදවතින් අපමණව 

වීසි කළ ලාච්චුව මුල්ලකට 

කුණු වී දිරා යන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?"


උඩින් තියෙන ජනක විජයකුලසූරියගේ කවියේ භාණ්ඩයක වටිනාකම පිළිබඳ ධනවාදී අදහස ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, ලාච්චුව මුල්ලේ කුණු වී දිරා යන වෙරළු ගෙඩියටත් ආත්මීය වටිනාමක් තිබෙනවා. නමුත් එය විශ්වීය වටිනාකමක් නෙමෙයි. වටිනාකම තියෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාටම වුනත්, ඒ වෙරළු ගෙඩියේ තිබෙන ආත්මීය වටිනාකම සර්වකාලීන වටිනාකමක් නෙමෙයි. කාලයත් එක්ක වටිනාකම් වෙනස් වෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් භාණ්ඩයකට දෙන ආත්මීය වටිනාකම අපිට හරියටම දැන ගන්න බැරි වුනත්, ඒ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි එය කළ හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. මෙය ඩොලරයක මිලටත් අදාළයි.

කවුරු හෝ කෙනෙක් රුපියල් 360කට ඩොලරයක් මිල දී ගන්නවානම් එයින් අදහස් වෙන්නේ එම පුද්ගලයා ඩොලරයට දෙන ආත්මීය වටිනාකම අවම වශයෙන් රුපියල් 360ක් බවයි. එය ඊට වඩා වැඩි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, එය විකුණන පුද්ගලයා ඩොලරයකට දෙන උපරිම ආත්මීය වටිනාකම රුපියල් 360යි. එය ඊට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

දැන් එතකොට ඩොලරයක මිල කියා කියන්නේ කුමක්ද? 

ඕනෑම භාණ්ඩයක, මේ උදාහරණයේදීනම් ඩොලරයක, වෙළඳපොළ මිල කියන්නේ සමස්තයක් ලෙස අදාළ භාණ්ඩයට වැඩිම සමුච්ඡිත ආත්මීය වටිනාකමක් ලබා දෙන මිලයි. ඒ ඇයි?

වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. අපි හිතමු ඩොලරයක ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 400ක් කියලා. එයින් කියැවෙන්නේ කුමක්ද? 

ඩොලරයකට රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් දෙන ඕනෑම කෙනෙකුට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ගෙවන්නේ තමන්ට සාපේක්ෂ ඩොලරයක ආත්මීය වටිනාකමට වඩා අඩු මිලක්. අනෙක් අතට තමන් අතේ තිබෙන ඩොලරයක රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් නොදකින ඕනෑම කෙනෙකුට තමන්ගේ ආත්මීය වටිනාකමට වඩා වැඩි මිලකට ඩොලරයක් විකුණන්න පුළුවන්. මේ වැඩෙන් වෙන්නේ ඩොලර් විකුණන වගේම මිල දී ගන්නා හැම කෙනෙක්ම අතිරික්ත තෘප්තියක් ලබන එක. අතිරික්ත ආත්මීය වටිනාකමක් එකතු කර ගන්න එක.

දැන් ඔය මිල රුපියල් 400 නොවී රුපියල් 360 මට්ටමේ හිර කර ගෙන ඉඳිද්දී වෙන්නේ කුමක්ද? ඩොලරයට රුපියල් 360ක ආත්මීය වටිනාකමක් නොදෙන අය තමන්ගේ ඩොලර් විකුණනවා. ඒ අයට වගේම ඒ ඩොලර් මිල දී ගන්න අයටත් කලින් වගේම වාසියක් වෙනවා. නමුත් රුපියල් 360ක් ගෙවා ඩොලර් මිල දී ගන්න අවශ්‍ය සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය අතෘප්තිමත්. ඒ ඇතැම් අය ඩොලරයකට රුපියල් 400ක් වුවත් ගෙවන්න කැමතියි.  ඒ වගේම, ඩොලර් එකකට රුපියල් 380ක ආත්මීය වටිනාකමක් දෙන කෙනෙකුට එය රුපියල් 360 බැගින් විකුණන්න අවශ්‍ය නැහැ. නමුත් මිල රුපියල් 400 වුනොත් තමන් අතේ තිබෙන ඩොලරය විකුණා රුපියල් 20ක වාසියක් ලබන්න පුළුවන්. මිල පාලනය නිසා ඒ වාසිය නැති වෙනවා. 

වටිනාකම් වල තිබෙන ආත්මීය ස්වරූපය නිසාම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන වෙළඳපොළ මිල හරියටම දැනගන්න පුළුවන් එකම ක්‍රමය නිදහස් ගනුදෙනු වලට ඉඩ හරින එකයි. එහෙම නොකර ඒ මිල කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කරන්න හදනවා කියන එකම රජය විසින් ව්‍යවසායකයින් පුහුණු කරනවා වගේ විරුද්ධාභාෂයක්.

කොහොම වුනත් විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීම පැහැදිලි කරන ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය වගේ මූලධර්ම තිබෙනවා. ඒ ඇසුරෙන් විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි සටහනක කියවමු.



Monday, January 17, 2022

කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව

රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි. 

ලොතරැයියක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ මේ බව නොදැන නෙමෙයි. පළමු ලොතරැයියෙන් කිසිදු දිනුමක් නොලබන අයෙකු ඇතැම් විට තවත් ලොතරැයියක් මිල දී ගන්නවා. එයින්ද දිනුමක් නොලැබුණොත් ඇතැම් විට තෙවන ලොතරැයියක්ද මිල දී ගන්නවා. මෙසේ කරන්නේ නොඇදුනු දිනුම දෙවන, තෙවන වර හෝ ඇදෙයි කියා හිතාගෙනයි.

කවුරු හරි අතේ විශාල ධනයක් තිබෙනවානම්, ඔය විදිහට එකින් එක ලොතරැයි සියල්ල සූරා ගෙන ගියොත් අනිවාර්යයෙන්ම දිනුම් සියල්ල ඔහුට හෝ ඇයට ලැබෙනවා. මේ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙමනම්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් වෙළඳපොළේ තිබෙන ලොතරැයි සියල්ල එක වර මිල දී නොගන්නේ ඇයි?

රත්නපුර පැත්තේ ඇතැම් මැණික් ව්‍යාපාරිකයින් ඔය වගේ වැඩ කරන අවස්ථා තිබුණත්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ කළොත්, එසේ කරන තැනැත්තාට දිනුම් සියල්ලම අනිවාර්යයෙන්ම හිමි වන නමුත් ඒ සියලුම දිනුම් මුදල් මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක් ඒ වෙද්දී වැය වෙලා. 

ධම්මික පෙරේරා ව්‍යාපාරික ලෝකයට ඔළුව දාගත්තේ රට පුරා ජැක්පොට් මැෂින් හයි කරමින්. ඒ දවස් වල පිස්සුවෙන් වගේ ජැක්පොට් ගැසූ අය රට පුරාම හිටියා. ජැක්පොට් ක්‍රීඩකයින්ගෙන් දෙකේ කාසි වලට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ජැක්පොට් ක්‍රීඩාවෙන් දිනුම් සේ ලැබෙන්නේ ජැක්පොට් යන්ත්‍රයක් ඇතුළට යන දෙකේ කාසි වලින්ම යම් ප්‍රමාණයක් පමණයි. ඊට අමතරව, යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි හැදෙන්නේ නැහැ. හැබැයි ඇතුළට යන දෙකේ කාසි සියල්ල නැවත එළියට එන්නේ නැහැ. යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි පිරෙන්න කලින් ධම්මික පෙරේරා ඇවිදින් යන්ත්‍රය හිස් කරනවා. ඉතිරි වන දෙකේ කාසි ඔහුගේ සාක්කුවට යනවා. 

ජැක්පොට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයෝ මේ බව නොදැන හිටියා නෙමෙයි. ජැක්පොට් ක්‍රීඩාව තහනම් නොකළේනම් මිනිස්සු දිගින් දිගටම ජැක්පොට් ගහනවා. අද ලොතරැයි ගන්න අයත් කරන්නේ මෙයමයි.

සමාගමක කොටස් මිල දී ගන්නා අයෙකු කරන්නෙත් යම් තරමකින් ජැක්පොට් ගහනවා වගේ වැඩක්. මේ ක්‍රීඩාවෙන් දිනන්න හෝ පරදින්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම සමාගමක කොටස් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අයෙක් බොහෝ විට දිනනවා මිසක් පරදින්නේ නැහැ. මොකද කෙටිකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යාම අහඹු ලෙස සිදු වුවත්, එය තනිකරම අහඹු ලෙස සිදු වන්නේ නැහැ. දිගුකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යන්නේනම් එම සමාගම් කොටස් වල වටිනාකම ඇත්තටම අඩු වැඩි වන ආකාරය පිළිබිඹු කරමින්.

සමාගමක කොටස් වල සැබෑ වටිනාකම ඇත්තටම ඉහළ නොගියත්, කවර හෝ හේතුවක් නිසා කෙටිකාලීනව මිල ඉහළ යන අවස්ථා තිබෙනවා. මේ වගේ වෙලාවක එම කොටස් මිල දී ගන්නා අයෙකුට දිගුකාලීනව පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව සිදු වන්නේ යම් මොහොතක කොටස් මිල එහි සැබෑ වටිනාකම දක්වා එක වර ක්ෂණිකව පහත වැටීමෙනුයි. එසේ වුවත්, ඒ කඩා වැටීම සිදු වන තුරු යම් කාලයක් කොටස් මිල ඉහළ යා හැකියි. අවදානමක් ගන්න කැමති අයෙකුට මේ කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් සාමාන්‍ය ලාබය ඉක්මවන විශාල ලාබයක් උපයන්න පුළුවන්. හැබැයි මෙය සැබෑ ආයෝජනයකට වඩා සූදුවක්!

කොටස් වෙළඳපොළේ වගේම වෙනත් ඕනෑම වෙළඳපොළක මිල බුබුළු හැදෙන්න පුළුවන්. එය ධනවාදී ක්‍රමයක් ඇතුළේ සිදු වන දුලබ නොවන සිදු වීමක්. බොහෝ විට වගේ මිල බුබුලක් හදන්න දායක වෙන්නේ අතරමැදියෝ. ඒ නිසාම, බොහෝ විට මිල බුබුල කඩා වැටුණු විට පාඩුව විඳින්න වෙන්නේත් ඔවුන්ටයි.

මිල බුබුලක් හැදී ඇති විට එය මිල බුබුලක් බව දන්න, එය කොයි මොහොතක හෝ කඩා වැටෙන බවත් දන්න, බොහෝ දෙනෙක් නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නවා. එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින්. වෙනත් වචන වලින් කිවුවොත් තමන්ට පාඩුවක් වෙන්න කලින් අදාළ භාණ්ඩය හෝ වත්කම කාගේ හෝ ඇඟේ ගැසිය හැකිය යන විශ්වාසයෙන්.

මිල බුබුළු කියන්නේ ධනවාදී වෙළඳපොළක ස්වභාවික ලෙසම බිහි වන පොන්සි ක්‍රීඩාවක් වැනි දෙයක්. බුබුල හැදෙන කාලය තුළ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රාහකයෙකු සේ තරඟයෙන් ඉවත් විය හැකියි. පරාජිතයින් නැහැ. එහෙත්, ජැක්පොට් යන්ත්‍රයක් තුළ දෙකේ කාසි හැදෙන්නේ නැතුවාක් මෙන්ම, අදාළ වත්කමේ මිල ඉහළ යාමට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඉහළ යන්නේ නැති නිසා යම් මොහොතක මිල බුබුල පුපුරා යනවා. ඒ වන විට තරඟය තුළ රැඳී සිටින සියල්ලන්ම පරාජිතයින් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොන්සි ක්‍රීඩාවක් අවසන් වන්නේත් මේ ක්‍රමයටමයි.

ධනවාදී ක්‍රමයක් තුළ පොන්සි ක්‍රීඩා බිහි වීම ධනවාදී ක්‍රමයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ විදිහට හැදෙන හෝ හදන පොන්සි ක්‍රීඩාවක් අවසන් වන යාන්ත්‍රනයද ධනවාදය තුළම තිබෙනවා. ආර්ථික අවපාත වලදී බොහෝ විට වෙන්නේත්, ධනවාදී ක්‍රමයක් තුළ බිහි වන පොන්සි ක්‍රීඩා කෙළවර වීමක් වැනි දෙයක්. 

ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර සිටින හැමෝම සමාජවාදීන් නොවුනත්, සමාජවාදීන් සාමාන්‍යයෙන් ඉන්නේත් මේ කණ්ඩායමේ. එහෙත්, ආර්ථික අවපාතයක් කියා කියන්නේ ඇත්තටම ධනවාදය ස්ථාවර වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියේම කොටසක්.

ධනවාදයේ පාදක මූලධර්මයක් වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල තුළින් එහි සැබෑ වටිනාකම නිරූපණය විය යුතු බවයි. මිල බුබුලක් පවතින විට මෙය සිදු වන්නේ නැහැ. මිල බුබුලක් පිපිරෙද්දී වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල එහි සැබෑ වටිනාකම නිරූපණය වන පරිදි නිවැරදි වීමක්. ආර්ථික අවපාත හරහා වෙන්නේ කිසියම් ආර්ථිකයක සමස්තයක් ලෙස මිල මට්ටමේ තිබෙන වැරැද්දක් නිවැරදි වීමක්. එයට සමාන්තරව සාර්ව-ආර්ථික නිර්ණායක ගණනාවක තිබෙන "වැරදි" ආර්ථික අවපාතයකදී නිවැරදි වෙනවා. ආර්ථිකයක් "කඩා වැටීමේදී" වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සැබෑ තත්ත්වය සාර්ව-ආර්ථික නිර්ණායක වලින් පිළිබිඹු වීමක්. 

වරින් වර ආර්ථික අවපාත පැමිණියත් ධනවාදී ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මේ වර්ධනය සිදු වන්නේ විද්‍යාවේ දියුණුවට සමාන්තරව කියා කියන්නත් පුළුවන්. විද්‍යාව කියා කියන්නේ බටහිර විද්‍යාව. ආර්ථිකයක් තුළ බුබුලක් හැදෙද්දී සිදු වෙන්නේ මේ විදිහට විද්‍යාවේ දියුණුවට සමාන්තරව "සැබෑ" වටිනාකම් ඉහළ යාම ඉක්මවා ආර්ථිකය වර්ධනය වීමක්. මේ වගේ දෙයක් සිදු වන අවස්ථාවක වර්ධනය සිදු වන්නේ සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් නිසාද නැත්නම් බුබුලක් හැදීම නිසාද කියන එක ඇතැම් විට ප්‍රායෝගිකව මතු වන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථා වලදී, සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් ලෙස රජයක් විසින් පෙන්වන තත්ත්වයක් බුබුලක් බව පැහැදිලි වන්නේ බුබුල පිපිරුනාට පසුවයි.

ධනවාදී ආර්ථිකයක බුබුළු ඇති වීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වගේම ධනවාදී ක්‍රමය පිළිබඳව කනස්සළු වීමට කාරණයක් නෙමෙයි. එහෙත්, ධනවාදී ක්‍රමයක් තුළ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කරන දිගුකාලීන ආර්ථික වර්ධනය යම් හේතුවක් නිසා නවතිනවානම් හෝ කඩා වැටෙනවානම් එහි කනස්සළු විය යුතු කාරණයක් තිබෙනවා. බටහිර විද්‍යාවේ වර්ධනය යම් හේතුවක් නිසා නැවතුනොත් හෝ කඩා වැටුනොත් එය ධනවාදී ආර්ථිකයන්හි වර්ධනයට සෘජු බලපෑමක් කළ හැකියි. 

බටහිර විද්‍යාව දිගින් දිගටම වර්ධනය වනු ඇති බවට අපට සහතිකයක් තිබේද? මෙය ප්‍රශ්න කරන විවිධ කණ්ඩායම් සිටිනවා. බටහිර විද්‍යාව දිනෙන් දින දියුණු වන බව අප බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි. විද්‍යාව විසින් විසඳන ප්‍රශ්න වලට වඩා ඒ නිසා ඇති කරන ප්‍රශ්න වැඩි බව විශ්වාස කරන කණ්ඩායම්ද සිටිනවා. ඇතැම් පරිසරවාදීන් සිටින්නේ මේ ගොඩේ. මේ දවස් වල ඇතැම් එන්නත් විරෝධීන්ද මේ ගොඩට එකතු වී සිටිනවා.

විද්‍යාව විසින් අප පරම සත්‍යයක් කරා ගෙන යන බවට දාර්ශනික සහතිකයක් නැහැ. ඒ හේතුව නිසාම, ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන බව විශ්වාස කරන අයෙකුගේ එම විශ්වාසයට අභියෝග කළ හැකි දාර්ශනික පදනමක්ද නැහැ. එහෙත්, ඒ තත්ත්වය යටතේ වුවත් ධනවාදය හා සමාජවාදය කියන විකල්ප දෙක අතරින් ධනවාදය පහසු තෝරා ගැනීමක්. මොකද සමාජවාදයේ ඉලක්කය වන්නේද ධනවාදය ඉලක්ක කරන දිගුකාලීන සංවර්ධනයයි. ඒ ඉලක්කය කරා යාමේදී ධනවාදය වඩා කාර්යක්ෂමයි.

ලංකාව වෙත හැරුනොත්, ලංකාවේ ආර්ථිකයේ සිදු විය හැකි කඩා වැටීමකදී සිදු වන්නේ, හදා හෝ හැදී තිබෙන බුබුළු පුපුරා යාමක් පමණයි. එයින් දිගුකාලීනව රටට හෝ රටේ ජීවත් වන මිනිසුන්ට අයහපතක් වෙන්නේ නැහැ. කඩා වැටීමකින් පසුව සිදු විය හැක්කේ රට ඇත්තටම තිබෙන තැන සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිවැරදිව නිරූපනය වීමක් පමණයි.

පසුගිය කාලයේ ලංකාවේ සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිරූපණය වූ ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්ද? 

මා මේ ප්‍රශ්නය අසන්නේ ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන්නේය යන සංවර්ධන විරෝධී ආස්ථානයක සිටිමින් නෙමෙයි. මෙය එවැනි සැබෑ ප්‍රගතියක් ධනවාදය හරහා (මෙන්ම අඩු කාර්යක්ෂමතාවයකින් වුවත් සමාජවාදය හරහාද) ලඟා කර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව අසන ප්‍රශ්නයක්. එසේනම්, මේ ප්‍රගතිය එවැනි සැබෑ ප්‍රගතියක්ද? සැබෑ ප්‍රගතිය ඉක්මවූ මායාවක් පෙන්වන බුබ්බුලයක්ද? එවැනි බුබ්බුලයක් ඇත්නම්, බුබ්බුලයට යටින් සැඟවී තිබෙන සැබෑ ප්‍රගතිය කොපමණද?

පහත පළමු වගුවේ ඔබට දැකිය හැක්කේ ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වසර-1, වසර-5 හා වසර-10 බැඳුම්කර ඵලදා අනුපාතික සංසන්දනයක්. 


සාමාන්‍යයෙන් ලංකාවේ රජය බැඳුම්කර වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික ඇමරිකාවේ එම අනුපාතික වලට වඩා 7-8% පමණ වැඩියි. එසේනම්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන බැඳුම්කර ඇමරිකාව විසින් නිකුත් කරන බැඳුම්කර වලට වඩා ආකර්ශනීය විය යුතුයි. එහෙත්, එය එසේ වන්නේ ඩොලරයක මිල ස්ථිරව තිබේනම් පමණයි. ඩොලරයක මිල සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යන නිසා ඇත්තටම ලැබෙන්නේ මීට වඩා අඩු ප්‍රතිලාභයක්. දෙවන වගුවෙහි ඔබට එම ඩොලර් ප්‍රතිලාභ දැකගත හැකියි.


විණිමය වෙනස්වීම් සැලකීමෙන් පසුවද ඇමරිකානුවෙකුට ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් ඇමරිකාවේදී ලබනවාට වඩා 2-3%ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙය ලංකාවේ ආයෝජනය කිරීමේ ඇති වැඩි අවදානම වෙනුවෙන් ඇමරිකානුවෙකු විසින් අපේක්ෂා කරන අධිභාරයයි. එම අවදානමේ කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස ශ්‍රී ලංකා රජය විසින් ණය පැහැර හැරීමේ අවදානමයි. දෙවැනි කොටස විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමයි.

දැන් අපි මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලංකා රජයේ රුපියල් ණය ගැන මිසක් ඩොලර් ණය ගැන නෙමෙයි. ඇමරිකාවේ රජයට (ෆෙඩරල් සංචිත බැංකුව හරහා) ඩොලර් අච්චු ගහන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේ රජයටත් (මහ බැංකුව හරහා) රුපියල් අච්චු ගහන්න පුලුවන්. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් ගන්න රුපියල් ණය ආපසු නොගෙවීමේ අවදානම ඉතාම අඩුයි. මේ අධිභාරයට තනිකරම වගේ හේතු වෙන්නේ රුපියල් නැවත ඩොලර් කර ගැනීමේදී සිදු විය හැකි පාඩුවයි. 

ලංකාවේ බැඳුම්කර පොලී අනුපාතික කොයි තරම් ඉහළ මට්ටමක තිබුණත්, ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ ගියොත් ඒවායේ ආයෝජනය කරන විදේශිකයෙකුට පාඩුවක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට 2018 වසර තුළ ඩොලරයක මිල 19.56%කින් ඉහළ ගියා. ඒ අවුරුද්දේ වසරක බැඳුම්කරයක පොලිය 11.20%. එය ඇමරිකාවේ එම පොලී අනුපාතය වූ 2.60%ට වඩා ගොඩක් ආකර්ශනීය වුවත් විණිමය අනුපාතය පිරිහීම නිසා ඩොලර් රුපියල් කරලා ලංකාවේ වසරක බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට අවසාන වශයෙන් වෙන්නේ 10.96%ක පාඩුවක් විඳ දරා ගන්නයි. ඒ නිසා, රුපියල අවප්‍රමාණය වීමේ ඉඩකඩ ඉහළ යද්දී ලංකාවට එන ආයෝජන පහළ යනවා.

බොහෝ විට වෙනවා වගේ රුපියල අවප්‍රමාණය නොවී, අධිප්‍රමාණය වුනොත් වෙන්නේ කුමක්ද? දැන් විදේශිකයෙකුට ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරලා ශ්‍රී ලාංකිකයෙකු ලබන ප්‍රතිලාභයත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එක පැත්තකින් ඉහළ පොලී අනුපාතිකය. අනෙක් පැත්තෙන් ඩොලරයේ මිල පහළ යාම නිසා ලැබෙන වාසිය. ඩබල් බෝනස්!

රුපියල අධිප්‍රමාණය වෙද්දී විදේශිකයෙකුට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ රජය විසින් නිකුත් කරන බැඳුම්කර වල ආයෝජනය කළ විට පමණක් නෙමෙයි. කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කළත්, ඉඩමක් ගත්තත්, ලංකාවේ බැංකු ගිණුමක සල්ලි දැම්මත්, ලංකාවේ කාට හෝ ණයක් දුන්නත්, රුපියල් වලින් වෙන මොනවා හෝ ආයෝජනයක් කළත් මේ වාසියම ලැබෙනවා. ඒ නිසා, රුපියල අධිප්‍රමාණය වෙද්දී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළට විදේශ ආයෝජන ගලා එනවා. හැබැයි මේ විදිහට ලංකාවේ මොනවා හෝ වත්කමක ආයෝජනය කරන විදේශිකයෙක් එසේ කරන්නේ ඩොලරයේ මිල පහළ යාමේ වාසිය බලාගෙන මිසක් අදාළ වත්කම් වල සැබෑ වටිනාකම පිළිබඳ විශ්වාසයෙන් නෙමෙයි. මේක සුදූකරුවන් ආකර්ෂණය කර ගනිමින් පොන්සි ක්‍රීඩාවකින් ප්‍රයෝජනය ගැනීමක් වගේ දෙයක්.

රාජපක්ෂ රෙජීමයේ ආර්ථික උපක්‍රමය වුනේ මේ පොන්සි ක්‍රීඩාව හරහා ඩොලර් ණය රටට ආකර්ශනය කර ගැනීමයි. නමුත්, මේ වැඩේ කරන්නනම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙන එක ආපසු හැරවිය යුතුයි. රුපියල අධිප්‍රමාණය කිරීම හෝ එය කළ නොහැකිනම් අඩු වශයෙන් එක තැන තියා ගැනීම කළ යුතුයි. ඒ වගේම, රුපියල අවප්‍රමාණය වෙන්න නොදෙන බව ලංකාවේ ඩොලර් ආයෝජනය කළ හැකි අයට කෙසේ හෝ සංඥා කළ යුතුයි.

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් වෙළඳපොළට අඛණ්ඩව ඩොලර් සැපයිය යුතුයි. එහෙත්, එය කළ හැක්කේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක් අතේ ඇත්නම් පමණයි. ලංකාව සතුව එවැනි විශාල සංචිත ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ නිසා, ලංකාව කළේ අවදානම් සහිත සූදුවකට අත ගහන එක. ඒ ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර, එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් හොයා ගෙන එම ඩොලර් වල උදවුවෙන් විණිමය අනුපාතය පහළින් තියා ගැනීමයි.

ඩොලර් මිලියන 500ක් කියා කියන්නේ 2007 වන විට ලංකාව අරගෙන තිබූ වෙනත් විදේශ ණය වලට සාපේක්ෂව විශාල මුදලක්. වසර පහක ස්වෛරිත්ව බැඳුම්කරය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙවන්නට පොරොන්දු වූ 8.25%ක කූපන් පොලී අනුපාතිකය එවකට (මෙන්ම දැනටද) ලංකාව විසින් විදේශ ණය සඳහා ගෙවූ පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතාම පොලී අනුපාතිකයක්. 

ස්වෛරිත්ව බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට ලංකාවේ රුපියල් බැඳුම්කරයක ආයෝජනය කරද්දී මුහුණ දෙන්න සිදු වන ඩොලරයේ මිල වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. මොකද සල්ලි හා පොලිය ආපසු ලැබෙන්නේ ඩොලර් වලින්මයි. නමුත්, ලංකාවේ රජයට රුපියල් ණය දීමේදී එවැන්නෙකුට මුහුණ දෙන්න සිදු නොවන අවදානමක් මෙහි තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජයට රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, ඩොලර් අච්චු ගහන්න බැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඉහළ පොලිය ඒ අවදානම වෙනුවෙන් ගෙවන්න වූ අධිභාරයයි.

ඉතා ඉහළ පොලියකට වුවත් එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු ලංකාවට ඩොලරයක මිල ස්ථාවරව තියා ගන්න පුළුවන් වුනා. එහිදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභද විශාල ලෙස ඉහළ ගියා. රටට ඩොලර් ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒ ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල දිගටම පහළින් තියා ගන්න පුළුවන් වුනා.

දැන් ක්‍රම දෙකකට රටට ඩොලර් එනවා. එක පැත්තකින් රජය විසින් කෙළින්ම ගන්න ඩොලර් ණය. අනෙක් පැත්තෙන් විදේශිකයෝ ඩොලර් රුපියල් කරලා ලංකාවේ රුපියල් වලින් ආයෝජනය කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ රටේ ඩොලර් සැපයුම ඉහළ යාම. මහ බැංකුව විසින් මේ ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තානම් සැපයුම අඩු වී විණිමය අනුපාතය කලින් වගේම අවප්‍රමාණය වෙනවා. එවිට, පළමු ක්‍රමයට කෙසේ වෙතත් දෙවන ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ නවතිනවා. රජයේ ආර්ථික උපාය මාර්ගය වුනේම විණිමය අනුපාතය අවප්‍රමාණය වීම වලක්වා ගැනීම නිසා එවැන්නක් සිදු වුනේ නැහැ.

සාමාන්‍ය ක්‍රමයට අපනයන හෝ ප්‍රේෂණ වලින් රටට එන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණි විට එම ඩොලර් සැපයුම හා ඉල්ලුම සමාන වන පරිදි ඉල්ලුම ඉහළ යනවා. ආනයන විශාල ලෙස ඉහළ යනවා. ආනයන ලාබදායක නිසා අපනයන හා ආනයන ආදේශක කර්මාන්ත බිඳ වැටෙනවා. සාමාන්‍ය ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ හිඳෙනවා. නමුත්, උද්ධමනය පහළ යනවා. පරිභෝජනය ඉහළ යනවා. ආයෝජනත් ඉහළ යනවා. දේශීය ණය අවශ්‍යතා සීමා වන නිසා පොලී අනුපාතිකත් පාලනය කර ගත හැකියි. සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ වෙනවා. 

හැබැයි මේ සියල්ල රඳා පවතින්නේ විණිමය අනුපාතය පාලනය කිරීම මත. විණිමය අනුපාතය පාලනය වෙන්නේ දිගින් දිගටම වෙළඳපොළට සපයන හෝ සැපයෙන ඩොලර් නිසා. එය නැවතුනොත් සියල්ල කණපිට හැරෙනවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. ඇත්තටම කොටි වලිගය අල්ලා ගත්තාටත් වඩා අවදානම් වැඩක්. මෙය යම් කිසි අවස්ථාවක අත හරින්නම සිදු වන කොටි වලිගයක්. ඒ ඇයි?

අපි හිතමු කවුරු හෝ විදේශිකයෙක් රුපියල් ලක්ෂ 150කට ලංකාවේ ඉඩමක් මිල දී ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 150යි. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් රටට ගේනවා. මේ ඩොලර් රුපියල් වලට මාරු කළහම රටේ ඩොලර් සැපයුම ඉහළ යනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල පහළ ගොස් ඉල්ලුම ඉහළ යනවා. ඩොලර් ලක්ෂය රටෙන් එළියට යනවා. මහ බැංකුව ඩොලර් ලක්ෂය මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තොත් මේ වැඩේ වෙන්නේ නැහැ. 

අපි හිතමු වසර තුනකට පසුව ඉඩම රුපියල් ලක්ෂ 180ක් වුනා කියලා. මේ වෙද්දී ඩොලරය රුපියල් 180ක් වෙලානම් අර විදේශිකයාට ලැබෙන්නේ වසර තුනකට පෙර රටට ගෙනා ඩොලර් ලක්ෂය පමණයි. රුපියල් ගෙවා ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිද්දී ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් ඩොලරයේ මිල ඉහළ යනවා. මහ බැංකුව විසින් රටට කලින් ගෙන ආ ඩොලර් ලක්ෂය සංචිත වලට එකතු කරගෙන තිබුණානම් ඒ ඩොලර් ලක්ෂය විකුණලා විණිමය අනුපාතය පාලනය කර ගන්න පුළුවන්. සංචිත නැත්නම් ඩොලරයේ මිල ඉහළ යාම වලක්වා ගන්න රජයට කොහෙන් හෝ ඩොලර් ලක්ෂයක් ණයට ගෙන වෙළඳපොළට දමන්න වෙනවා. කොහොම වුනත්, ඉඩම් මිල වැඩි වන වේගයට වඩා වේගයෙන් ඩොලර් මිල වැඩි වන බව විදේශිකයා දැන සිටියේනම් ඔහු හෝ ඇය මේ සල්ලි ලංකාවට ගේන්නේ නැහැ.

අපි හිතමු ඩොලරය 150 මට්ටමේම තිබුණා කියලා. දැන් ඉඩම විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 180 මාරු වෙන්නේ ඩොලර් 120,000කට. රටින් එළියට යන අමතර ඩොලර් 20,000 කවදාවත්ම රටට ඇවිත් නැහැ. ඒ නිසා, ඒ ඩොලර් 20,000 රටින් ගෙනියන්න වෙන්නේ රටේ කවුරු හෝ විදේශ ණයක් අරගෙන ඩොලර් 20,000ක් රුපියල් කළොත්ම පමණයි. ඉන් පසු, ඒ ණය වෙනුවෙන් ඩොලර් වලින් පොලී ගෙවද්දීත් නැවත ඔය වගේම ප්‍රශ්නයක් මතු වෙනවා. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගෙන සිටිමින් විදේශිකයන්ගෙන් රුපියල් ණය ගත් විට වෙන්නේත් ඔය ටිකමයි. රුපියල් ණය වෙනුවෙන් රුපියල් වලින් ගෙවන පොලිය ඩොලර් කරද්දී එළියට යන්නේ රටට කවදාවත් නොආ ඩොලර්. ජැක්පොට් මැෂිමක් ඇතුළේ දෙකේ කාසි පැටවු ගහන්නේ නැතුවාක් වගේම ලංකාව ඇතුළේ ඩොලර් පැටවු ගහන්නේත් නැති නිසා නැති නිසා රටට කවදාවත් නොපැමිණි ඩොලර් රටින් එළියට යනවා කියා කියන්නේ හැම විටම පියවන ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතින් ගන්නම වෙනවා කියන එක. මේක පොන්සි ක්‍රීඩාවක්.

පොන්සි ක්‍රීඩාවක් කවදා හෝ කඩා වැටෙනවා. මේ පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන්නේ තව දුරටත් ණය ගන්න බැරි වූ දවසට. ඒ දවස එන තුරු රටේ හැමෝම ජයග්‍රාහකයෝ. මොකද සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් තියෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන්නේ එක්කෝ දිගටම ණය ගන්න නිසා. නැත්නම් දිගටම ණය ලැබෙන නිසා. දිගටම ණය ලැබෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. 

මේ ක්‍රමය පවත්වා ගන්න හැම වෙලාවේම ණය දෙන්න කැමති අළුත් ගනුදෙනුකරුවෙක්ව අල්ල ගන්න වෙනවා. බැරි වූ දවසට විණිමය අනුපාතය එක වර කඩා වැටෙනවා. උද්ධමනයද එක වර ඉහළ යනවා. හැබැයි විණිමය අනුපාතය වගේම මිල මට්ටමත් නවතින්නේ තිබිය යුතු තැන. 

මේ ක්‍රීඩාව ආරම්භ කළ රාජපක්ෂලා තවමත් උත්සාහ කරන්නේ කවුරු හෝ අලුත් ක්‍රීඩකයින් පිරිසක් බඳවා ගෙන පොන්සි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න. සමහර විට තවත් ටික කලක් ඔවුන් ඒ වැඩේ කරයි. හැබැයි මේ ක්‍රීඩාව පොන්සි ක්‍රීඩාවක්!

Friday, January 14, 2022

ධනවාදය හා පොන්සි ක්‍රීඩා


ලොතරැයි ගැනීම කියා කියන්නේ නරක දෙයක් නෙමෙයි. ආර්ථික විද්‍යා අර්ථයකින් ගත්තොත් අප එදිනෙදා කරන ගොඩක් දේවල් ආකෘතිමය වශයෙන් ලොතරැයි ගැනීමකට සමානයි. ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ලොකු අවිනිශ්චිතතාවයක් තිබියදී සැලකිය යුතු ප්‍රතිලාභයක් හිමි වීමේ යම් ඉඩකඩක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මිලක් ගෙවන අවස්ථාවක් ආර්ථික විද්‍යා අර්ථයෙන් ලොතරැයියක් ගැනීමක්. රක්ෂණ ගිවිසුම් වල සිට සමාගමක කොටස් මිල දී ගැනීම දක්වා බොහෝ දේවල් වල අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය තිබෙනවා.

ධනවාදී ක්‍රමයක් ඇතුළේ ලොතරැයි ක්‍රම බිහි වෙනවා වගේම ලොතරැයි ක්‍රම වලින් ඇතැම් ප්‍රශ්න වලට විසඳුම්ද ලැබෙනවා. මෙයින් අදහස් කළේ ලොතරැයි දිනුමකින් තනි පුද්ගලයෙකුගේ යම් යම් ප්‍රශ්න විසඳෙන එක වැනි සරල දෙයක් නෙමෙයි. සමස්තයක් ලෙස ලොතරැයි ක්‍රම හරහා ඇතැම් සමාජයයීය ප්‍රශ්න විසඳෙනවා. සමාජවාදීන් වුවත්, ලොතරැයි නරක දෙයක් සේ සලකන්නේ නැහැ. සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල රජය මුල් වී ලොතරැයි ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ලංකාවට ලොතරැයි හඳුන්වා දී තිබෙන්නේත් රජය විසින්.

පොන්සි ක්‍රීඩාවක් සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකින් වෙනස් වන ප්‍රධාන කරුණක් වන්නේ ක්‍රීඩකයන් අතර තිබෙන අසමමිතියයි. ඊටත් වඩා වැදගත් වෙනස සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවක ආකෘතිය ස්ථිතික ආකෘතියක් වුවත් පොන්සි ක්‍රීඩාවක ආකෘතිය ගතික ආකෘතියක් වීමයි. ඇත්තටම පෙර විස්තර කළ ක්‍රීඩකයින් අතර තිබෙන අසමමිතිය ඇති වන්නේම ක්‍රීඩාවේ මේ ගතික ස්වභාවය නිසයි. 

සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකදී ජයග්‍රාහකයා විසින් ප්‍රතිලාභ එකතු කර ගන්නා මොහොතේම ඒ ප්‍රතිලාභ වෙනුවෙන් මිලක් ගෙවන අනෙකුත් තරඟකරුවන් පරාජිතයින් සේ තරඟයෙන් ඉවත් වීමද සිදු වෙනවා. එතැනින් එහාට ක්‍රීඩාව ඉවරයි. පොන්සි ක්‍රීඩාවකදී ඒ වැඩේ වෙන්නේ නැහැ. තරඟයෙන් ඉවත් වෙන්නේ ජයග්‍රාහකයින් පමණයි. පරාජිතයෝ ජයග්‍රහණය ලැබෙන තුරු තව දුරටත් තරඟයේ රැඳී ඉන්නවා. 

කොහොම වුනත්, පොන්සි ක්‍රීඩාවක් කියන්නේත් ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩාවක් නිසා ජයග්‍රහණ තරමටම පරාජයන්ද තිබිය යුතුයි. පරාජිතයින් ක්‍රීඩාවෙන් ඉවත් නොවන නිසා කාලයත් සමඟ පරාජිතයින් එක්රැස් වීමක් සිදු වෙනවා. මේ බොහෝ දෙනෙකුට සෛද්ධාන්තිකවම කවදාවත් ජයග්‍රාහකයින් වෙන්න බැහැ.

අජිත් ධර්මා ලියලා තිබුණා "ධනවාදය එනකොට ඉස්සෙල්ලම එන්නේ ඔය පිරමිඩ් ස්කීම්" කියලා. ඔහු මේ කියන්නේ සමාජවාදය බිඳ වැටී ධනවාදය ආදේශ වන අවස්ථාවන් ගැන. මේ කතාවේ ඇත්තක් තියෙනවා. රුසියාව නෙමෙයි ලංකාව දිහා බැලුවත් මේ කරුණ පේනවා. ලොතරැයි ක්‍රම වගේම පිරමිඩ් ක්‍රමත් හැදෙන්නේ ධනවාදී ක්‍රමයක් තුළයි. රජය මුල් වී පිරමිඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මිස, සමාජවාදී ක්‍රමයක් ඇතුළේ පිරමිඩ් ක්‍රම හැදෙන්න විදිහක් නැහැ. හැබැයි රජයයන් මුල් වී පිරමිඩ් හදන අවස්ථානම් සුලභයි.

ධනවාදී ක්‍රමයක් තුළ පිරමිඩ් හැදුනත් ඒ පිරමිඩ් ස්වභාවික ලෙසම කඩා වැටී සමතුලිත වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ කඩා වැටීමට වඩා කඩා නොවැටීමයි. මොකද පිරමිඩයක් කඩා නොවැටී දීර්ඝ කාලයක් වැවුනොත්, එය කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නේ සමාජයීය ප්‍රශ්න රාශියක් ඇති කර ගෙනයි. 

ධනවාදය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය ඇතුළේ සමස්ත ධනවාදී ක්‍රමයම පිරමිඩ් ක්‍රමයක් එහෙමත් නැත්නම් පොන්සි ක්‍රීඩාවක් සේ දකින ස්වභාවයක් තිබෙනවා. එයට හේතුව වෙළඳපොළ තුළ සිදුවන අතරමැදි ගනුදෙනු වලද පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබීමයි. 

අතරමැදියෙකු විසින් අයෙකුගෙන් අඩු මිලකට මිල දී ගන්න භාණ්ඩයක් වෙනත් අයෙකුට වැඩි මිලකට විකුණනවා. මේ වැඩේ අනත්ත වාරයක් කිරීමෙන් අතරමැදියාට ලෝකයේම තිබෙන ධනය තමන් අතට එකතු කර ගන්න පුළුවන්ද? එහෙම බැරි බව අපේ සාමාන්‍ය බුද්ධිය අපට කියනවා. ධනවාදී වෙළඳපොළ තුළ සිදු වන්නේ සරල ආකෘතියකින් පැහැදිලි කළ හැකි ඔය වගේ දෙයක්නම් ධනවාදය කඩා වැටෙන එක අහන්නත් දෙයක් නැහැ.

පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබෙන හැම ක්‍රියාවලියක්ම පොන්සි ක්‍රීඩාවක් නෙමෙයි. භාණ්ඩයක් එහි බාහිර පෙනුමෙන් සමාන වුවත්, එක් එක් පුද්ගලයා විසින් එයට ලබා දෙන වටිනාකම් වෙනස්. ඒ නිසා, අතරමැදියෙකුට කිසියම් භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන කෙනෙකු අතේ තිබෙන අවස්ථාවක් හොයලා එය මිල දී ගෙන ඒ භාණ්ඩයටම වැඩි වටිනාකමක් දෙන අයෙකුට විකිණීමෙන් ලාබයක් ලබන්න පුළුවන්. හැබැයි මෙය කළ හැක්කේ අදාළ භාණ්ඩයට වැඩි වටිනාමක් දෙන කෙනෙක් හොයා ගත හැකිනම් පමණයි. එසේ නැතිව අතරමැදියෙකුට ඕනෑම භාණ්ඩයක් ඕනෑම මිලකට විකුණන්න පුළුවන්කමක් නැහැ. 

ධනවාදී ක්‍රමයක් තුළ සිදු ඇතිවන ගතික ක්‍රියාවලියක් ස්ථායී සමතුලිතතාවයක් වීමටනම් එවැන්නක් කාලයත් සමඟ යම් දිශාවකට ගලා යාමේදී ඇති වන අසමතුලිතතාවය නිශේධනය කර දිශානතිය වෙනස් කළ හැකි යාන්ත්‍රනයක්ද පද්ධතිය ඇතුළේම තිබිය යුතුයි. බොහෝ විට මෙවැනි හැරවුමක් අනිවාර්යයෙන්ම සිදුවන ස්වභාවික සීමාවක් තිබෙනවා.

සමහර අය ඉන්නවනේ වීසා කාඩ් එකේ ණය මාස්ටර්කාඩ් එකෙන් ගෙවලා ඊළඟ මාසයේ මාස්ටර්කාඩ් එකේ ණය වීසා කාඩ් එකෙන් ගෙවන. ඔය වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. එහෙම පුළුවන් කියා හිතලා හදන ආකෘතියක් ස්ථායී ආකෘතියක් නෙමෙයි. කාඩ් දෙකෙන් එකක ණය සීමාවට ආවට පස්සේ ක්‍රියාවලිය නවතිනවා.

රාජ්‍ය අයවැය ගනිමුකෝ. රජයේ ආදායමට වඩා වියදම් අඩුනම් වෙනස ඉතිරි වෙනවා. එසේ එකතු කරගත් අරමුදල් තිබෙන තුරු ආදායම ඉක්මවා වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ ණය ගන්න වෙනවා. 

රජයකට කොයි තරම් ණය ගන්න පුළුවන්ද? ණය දෙන අය සිටින තුරු ණය ගන්න පුළුවන්. හැබැයි ණය දෙන අයගෙන් ගත හැකි ණය අසීමිත නැහැ. යම් සීමාවක් තිබෙනවා. 

තව අවශ්‍යනම් සල්ලි අච්චු ගහන්නත් පුළුවන්. සල්ලි අච්චු ගැසීමේ සීමාව කොතැනද? උද්ධමනය කියා කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන යාන්ත්‍රනයයි. ඒ යාන්ත්‍රනය නැත්නම් අසීමිත ලෙස සල්ලි අච්චු ගහන්න පුළුවන්. කිසිම මහන්සියක් නොවී හැමෝටම කැමති තරමකට පරිභෝජනය කරන්න පුළුවන්. 

ඒ වගේ දෙයක් වෙන්න විදිහක් නැහැ කියන එක පැහැදිලියිනේ. ඒ කියන්නේ එහෙම පුළුවන් කියා කිසියම් ආකෘතියකින් පෙන්වනවානම් ආකෘතියේ අඩුපාඩුවක් තිබිය යුතුයි. ගතික සාර්ව ආර්ථික ආකෘතියකට "පොන්සි-නොවන කොන්දේසිය" පිළිබඳ පරීක්ෂාව අවශ්‍ය වෙන්නේ මේ හේතුව නිසා. වැරදි ආකෘතියක් ඇතුළේ පොන්සි ක්‍රීඩාවක් තිබිය හැකි වුවත්, සැබෑ ලෝකයේ කඩා නොවැටෙන පොන්සි ක්‍රීඩා තියෙන්න බැහැ.

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Friday, November 5, 2021

කෘෂිකර්මයේ කාබනික අදියර


කිසියම් රටක වෙළඳපොළ කොයි තරම් දියුණුද, නිෂ්පාදන ක්‍රියාවලිය කොයි තරම් කාර්යක්ෂමද, ඒ රට කොයි තරම් ධනවාදීද ආදී කරුණු අදාළ රටේ ජාතික ආදායමෙන් හා ශ්‍රම බලකායෙන් කෘෂිකර්මයේ පංගුව දෙස බලා නිර්නය කළ හැකියි. ආර්ථික අර්ථයකින් රටක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරන තරමට ජාතික ආදායමෙහි හා ශ්‍රම බලකායෙහි කෘෂිකාර්මික කොටස කුඩා වෙනවා.

මෙය මෙසේ විය යුත්තේ ඇයි?

ආහාර කියා කියන්නේ මිනිහෙකුගේ මූලිකම අවශ්‍යතාවය. කන්න තියෙනවානම්, නිදාගන්න අගු පිලක්වත් නැත්නම්, අඩු ගානේ ගලක් උඩ හෝ ගහක් යට වුවත් නිදා ගෙන ජීවත් වෙන්න පුළුවන්.  කන්න තියෙනවානම්, රෙදි නැතුව ජීවත් වෙන්න පුළුවන්. කන්න තියෙන නිසා, කෑම  හොයාගෙන රෙදි නැතුව කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෑම නැතිව වැඩි දවසක් ජීවත් වෙන්න බැහැ. බඩගිණි දැනෙන කොට කොහෙන් හෝ ලෙමන් පෆ් එකක් හරි හොයා ගන්න වෙනවා.

මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතාවය ආහාර නිසා ඕනෑම මිනිහෙකුගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීම. වෙළඳපොළක් නැත්නම්, හුවමාරුවක් සිදු නොවේනම් මිනිහෙකුට තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්න සිදු වෙනවා. මිනිහෙක් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන්නේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇත්නම් පමණයි.

හැමෝම තම තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා කියා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම අවස්ථාව. මේ වගේ පසුබිමක, හැමෝටම තමන්ගේ බඩ ගැන හිතනවා හැර වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතන්න ඉඩ සැලසෙන්නේ නැහැ. එහෙත්, තමන්ට අවශ්‍ය ආහාර වෙනත් අයෙකු විසින් නිපදවනු ඇති බවට සහතිකයක් ඇති විට මිනිස්සු වඩා සංකීර්ණ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. ඒ හරහා, සමාජයක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරනවා.

මේ ආකාරයෙන් කෘෂිකර්මයෙන් විතැන් වන සමාජයක කිසියම් පිරිසක් විසින් ලබා දෙන දායකත්වය නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ යනවා. කෘෂිකර්මයෙහි නිරත එක් අයෙකුට පිරවිය හැකි බඩවල් ගණන ඉහළ යනවා. ආහාර සුරක්ෂිතතාව ගැන වද නොවී, වෙනත් දේවල් කිරීම සඳහා වැඩි පිරිසක් නිදහස් වෙනවා. 

ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි. මේ පිරිස රටේ ඉතිරි 99.3%ටම අවශ්‍ය ආහාර හදනවා පමණක් නොව, ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන අතර විශාල ලෙස නාස්ති කර දැමීමටත් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් හදනවා. 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් බිලියන 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්). ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

රටේ මිනිස්සුන්ට ඇති තරමට කන්න, නාස්ති කරන්න වගේම පිටට විකුණන්නත් ප්‍රමාණවත් තරම් ආහාර රටේ ජනගහණයෙන් 0.7%ක් විසින් හදනවා කියන එකෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුව විසඳීමෙන් පසුවත් සෑහෙන දුරක් ගමන් කර තිබෙන බවයි. මෙය මේ කරුණ තුළින් පමණක්ම ගම්‍ය නොවේනම් තවත් කරුණු ගණනක් ඉදිරිපත් කර පැහැදිලි කළ හැකියි.

ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක මූලික අදියරේදී කෘෂිකර්මයෙන් විතැන් වන ශ්‍රමිකයන් හමුවේ තිබෙන අභියෝගය වන්නේ කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමඟ හුවමාරු කළ හැකි ඔවුන්ට වටිනා දෙයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. යම් සීමිත පිරිසක් විසින් මේ වැඩේ සාර්ථකව කරනවා. මේ සීමිත පිරිසට ගැනුම්කරුවන් (කෘෂිකාර්මික ශ්‍රමිකයන්) විශාල පිරිසක් සම්මුඛ වෙනවා. උදාහරණයක් විදිහට උදළු තලයක් හදන කම්මල්කරුවෙක් ගනිමු. දැන් මේ කම්මල්කරුවාට තමන් හැදූ උදළු තලය හුවමාරු කර ගැනීමට සූදානම් ගොවි-ගැනුම්කරුවන් විශාල පිරිසක් සම්මුඛ වෙනවා.

හුවමාරුව සිදු වන්නේ වී සමඟ කියා හිතමු. දැන් මේ කම්මල්කරුවා උදළු තලය හුවමාරු කරන්නේ වැඩිම වී ප්‍රමාණයක් තමන්ට දෙන ගොවි-ගැනුම්කරුවා සමඟ. මෙහිදී උදළු තලයක් ලබා ගන්න අවශ්‍ය අනෙක් ගොවි-ගැනුම්කරුවන්ට කෙසේ හෝ තමන්ගේ වී නිෂ්පාදනය වැඩි කර ගන්න වෙනවා. මොකද හුවමාරුවක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැපිරුනු පසුව පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු භාණ්ඩයක් වූ වහාම. ගොවීන් අතර තරඟය වැඩි වී ඒ තුළින් සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල පහළ යනවා. උදළු තලයේ හුවමාරු වටිනාකම ඉහළ යනවා. ඒ එක්කම අර ගොවි-ගැනුම්කරුවන්ට උදළු තලයක් මිල මිල අධික භාණ්ඩයක් වෙනවා. උදළු තල හදන තැනැත්තෙකුගේ ආහාර සුරක්ෂිතතාවය ගොවියෙකුගේ ආහාර සුරක්ෂිතතාවයටත් වඩා ඉහළ යනවා. 

ඉහත ආකාරයෙන් යමෙකුට තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා තිබෙන වඩා හොඳ විකල්පය තමන්ම කෘෂිකර්මයෙහි නියැලීම නොව කෘෂිකර්මයෙන් ඉවත් වීම වූ විට එවැන්නන් කෘෂිකර්මයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහිදී සමාජ ප්‍රගමනයට හේතු වන දේවල් දෙකක් සිදු වෙනවා. එක පැත්තකින් එසේ කෘෂිකර්මයෙන් ඉවත් වන අය එතෙක් බොහෝ දෙනෙකුගේ පරිභෝජන පැසෙහි නොතිබුණු දේවල් අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ දේවල් ගොවි-ගැනුම්කරුවන් සමඟ හුවමාරු කිරීම හරහා, අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් මේ විදිහට අලුතෙන් හදන හෝ හොයා ගන්නා ඇතැම් දේවල් වලින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ යනවා. ඒ නිසා, සෘජුව කෘෂිකර්මයෙහි යෙදෙන අයටත් අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා.

මානව ඉතිහාසය කියා කියන්නේ මිනිස්සු බඩගින්න සමඟ සටන් කළ ඉතිහාසයක්. ඉතාම මෑතක් වන තුරු සමස්තයක් ලෙස මිනිස්සු හිටියේ බඩගින්නේ. දැනටත් ලෝකයේ බඩගින්නේ සිටින මිනිස්සු ඉන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ වෙද්දී ඇමරිකාවේ හෝ ධනවාදී සංවර්ධනයේ සමාන අදියරක සිටින වෙනත් රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් නැහැ. මේ තත්ත්වය අත් කර ගැනීමට රසායනික පොහොර, කෘෂිරසායන ආදියෙන් ලැබී තිබෙන දායකත්වය ඉතා විශාලයි.

බඩගින්නේ සිටින අයෙක් මුලින්ම බලන්නේ බඩගින්න නිවාගත හැකි මොනවා හෝ දෙයක්. එහෙත්, ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් කණස්සල්ලට කාරණයක් නොවූ පසු මිනිස්සු තමන්ගේ ආහාර වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ඉලක්කය ආහාර සුරක්ෂිතතාවය වූ විට ගොවි-සැපයුම්කරුවන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ අස්වැන්න වැඩි කරගෙන, අඩු මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම මගින් වුවත් මේ අදියරට පැමිණි පසු ඔවුන්ට තමන් විකුණන ආහාර වල ගුණාත්මක භාවය වෙනුවෙන් අධිභාරයක් අය කරන්න ඉඩ ලැබෙනවා.

ඔය ආකාරයෙන් ධනවාදී ක්‍රමයක් තුළ ගොවි-සැපයුම්කරුවන් අතර තරඟය මුලදී අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ තරඟයක් වුවත්, මේ තරඟය තුළින් රටේ හැමෝගෙම වගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වුනාට පසුව මිල සාධකයේ වැදගත්කම අඩු වෙලා යනවා. ඉන් පසුව, ගොවි-සැපයුම්කරුවෙකුට ලාබ ලැබිය හැක්කේ අනෙක් තරඟකරුවන්ට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදිත වෙළඳපොළට දැමීමෙන්. 

හැබැයි එක් අයෙක් මේ දේ කළාට පස්සේ අනෙක් අයත් ගුණාත්මක භාවය ඉහළ දමනවා. එසේ නොකර වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. අවසානයේදී වෙන්නේ සමස්තයක් ලෙස ගුණාත්මක භාවය ඉහළ යාම. 

මෙය ලංකාවෙන් වුවත් නිදර්ශන අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. අපි පොඩි කාලේ හාල් ගරනවා කියන එක බත් ඉවීමේ අනිවාර්ය අංගයක්. හරියට හාල් ටික ගැරුවේ නැත්නම් දත් සෙට් එක ඉවරයි!

ගල් වැලි නැති සම්බා සහල් කිලෝ පහේ කවර වෙළඳපොළට ආවේ ඔය වගේ පසුබිමක. මුලදී මේ හාල් විකිණුනේ සැලකිය යුතු අධිභාරයක් එක්ක. මිල සංවේදී අය ඔය ගල් වැලි නැති හාල් පස්සේ ගියේ නැහැ. අඩුවට තිබෙන හාලක් ගෙනත් ගරලා ලිපේ තියා ගත්තා. එහෙත් කාලයක් යද්දී ගල් වැලි සහිත හාල් වලට වෙළඳපොළක් නැතිව ගියා. 

රටක මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න ප්‍රමාණවත් තරමට ආහාර ඒ රටේ හැදෙන්න පටන් ගත්තට පස්සේ තව දුරටත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදනය වැඩි කළා කියලා ඉල්ලුම තවත් වැඩි වෙන්නේ නැහැ. තව බෙදාගන්න අවශ්‍ය නැති තරමට කාගේත් බඩවල් පිරිලා. 

රටක ආහාර නිෂ්පාදනය ආහාර අවශ්‍යතාවය ඉක්මවූ පමණින් රටේ හැමෝගෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. පහළ ආදායම් ස්ථර වලට තව දුරටත් බඩගින්න දැනෙන්න පුළුවන්. එහෙත්, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක සුබසාධන වැඩ සටහන් නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේත් නැහැ. ඒ නිසා, ඇමරිකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි වීම කාලයක සිටම සිදු වන්නේ ගුණාත්මක භාවය වැඩි වීම හරහා.

මේ ආකාරයෙන් ගුණාත්මක භාවය වැඩි වීමත් මේ වෙද්දී යම් සංතෘප්ත මට්ටමකට ඇවිත්. අඩුම මිලකට මිල දී ගන්නා අවම ගුණාත්මක භාවය තිබෙන ආහාරයක ගුණාත්මක භාවය වුනත් මේ වෙද්දී ගොඩක් ඉහළයි. ඒ කියන්නේ, ඇමරිකාව වැනි රටක අඩුම ආදායම් ලබන පහළම සමාජ ස්ථර වල සිටින අයට පවා මේ වෙද්දී ආහාර සුරක්ෂිතතාවය ගැටළුවක් නොවනවාක් මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි ආහාර වල ගුණාත්මක භාවයද ගොඩක් වැඩියි. 

කෘෂිකාර්මික නිෂ්පාදිත මේ වගේ මට්ටමක් දක්වා දියුණු වුනාට පස්සේ ගුණාත්මක භාවය ඉහළ දමලා ලාබ ලබා ගැනීමේ හැකියාවත් අහෝසි වී යනවා. එහෙත්, ධනවාදී තරඟය තුළ දිගින් දිගටම කිසියම් ආකාරයක අගය එකතු කිරීමක් සිදු විය යුතුයි. කාබනික කෘෂිකර්මය තුළ සිදු වන්නේ මේ වැඩේ. 

කාබනික ආහාරයක් වෙනුවෙන් අධිභාරයක් ගෙවන අයෙක් එසේ කරන්නේ ගල් වැලි නැති හාල් මිල දී ගනිද්දී මෙන් එයින් තමන්ට සෘජුව ලැබෙන දෙයක් දිහා බලාගෙන නෙමෙයි. මෙහිදී කාබනික ආහාරය වෙනුවෙන් ගෙවන මිලට පරිසරය රැක ගැනීම වැනි වෙනත් අරමුණු වෙනුවෙන් ගෙවන මිලක්ද එකතු වෙනවා. 

මේ වගේ තත්ත්වයකට එන්න රටක කෘෂිකර්මාන්තය මා පෙර සඳහන් කළ අදියර දෙකම පසු කළ යුතුයි. පළමු අදියරේදී මොන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රටේ සමස්ත ආහාර ඉල්ලුම සම්පූර්ණ කෙරෙනවා. දෙවන අදියරේදී එම ආහාර වල ගුණාත්මක භාවය ඕනෑම කෙනෙකුට සෑහීමට පත් විය හැකි මට්ටමකට ඉහළ යනවා. මෙතැනින් එහාට කෘෂිකාර්මික නිෂ්පාදිතයකට තව දුරටත් අගය එකතු කිරීමක් කරන්න අවශ්‍යනම් එය කරන්න වෙන්නේ එම නිෂ්පාදනයට සෘජුව සම්බන්ධයක් නැති දෙයක් සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි.

කාබනික කෘෂිකර්මයේදී නිෂ්පාදිතයට අගය එකතු කරන ක්‍රමය නිසාම නිෂ්පාදිතය සීමා වෙනවා. ඒ නිසා, මිල අඩු වන්නේ නැහැ. කාබනික අධිභාරය දිගටම පවත්වා ගත හැකියි. තමන් මිල දී ගන්නා භාණ්ඩය තුළ සෘජුව දැකිය නොහැකි දෙයක් වෙනුවෙන් මේ අධිභාරය ගෙවන්න කැමැති අය කාබනික ආහාර මිල දී ගන්නවා. 

මේ වෙළඳපොළට පැවතිය හැක්කේම මිල සංවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් සමාන්තර ලෙස කාබනික නොවන වෙළඳපොළක්ද තිබෙන නිසා. මොකද බහුතර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය හා එම ආහාර වල ගුණාත්මකභාවය තහවුරු නොවන තාක් කෘෂිකර්මාන්තයේ අගය එකතු කිරීම් වැඩි වන යාන්ත්‍රනයක් තිබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයට අවස්ථාව සැලසෙන්නේ එම වෙළඳපොළ සංතෘප්ත වීමෙන් පසුවයි.

වෙබ් ලිපිනය: