වෙබ් ලිපිනය:

Showing posts with label සෘජු බදු. Show all posts
Showing posts with label සෘජු බදු. Show all posts

Sunday, February 23, 2025

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්.

මෙම (2024) වසරේ අපේක්ෂිත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,237.9ක් සේ ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ තවත් රුපියල් බිලියන 888.0කින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්නට සිදු වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ සැලසුම කුමක්ද?

ඉහත මුදලින් රුපියල් බිලියන 885.4ක්ම එකතු කර ගැනීමට අපේක්ෂා කර තිබෙන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම මගිනුයි. බදු නොවන ආදායම්, ප්‍රදාන සහ පළාත් සභා ආදායම් වැඩිවීමට නියමිතව තිබෙන්නේ රුපියල් බිලියන 2.6කින් පමණයි. මේ අනුව, අපේක්ෂිත මුළු ආදායම් වැඩි වීමෙන් 99.7%ක්ම පැමිණිය යුත්තේ බදු ආදායම් ලෙසයි. (මෙහිදී අප‍ට බදු ආදායම් වලින් පමණක් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව දිගින් දිගටම විවේචන සිදු කළ වත්මන් ආණ්ඩුවේ එක්තරා නියෝජ්‍ය ඇමති වරයෙකු සිහි වී මද සිනහවක් පහළ වීම නොවැලැක්විය හැකියි.)

ඉහත සඳහන් රුපියල් බිලියන 885.4ක අමතර බදු ආදායම එකතු කර ගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද?

අයවැය ඇස්තමේන්තු දෙස බැලූ විට පෙනී යන පළමු කරුණ වන්නේ සෘජු බදු අඩු කොට වක්‍ර බදු වැඩි කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි. මෙය මැතිවරණ වලට පෙර ආණ්ඩුවට සම්බන්ධ අය පුනරුච්ඡාරණය කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක්. 2024දී 27.7%ක් වූ සෘජු බදු අනුපාතය 2025දී 25.4% දක්වා අඩු වීමට නියමිතව ඇති අතර වක්‍ර බදු අනුපාතය 72.3% සිට 74.6% දක්වා ඉහළ යනවා. 

දෙවන කරුණ හා වඩා වැදගත් නිරීක්ෂණයක් සේ සටහන් කළ හැක්කේ වැඩි වන බදු ආදායමෙන් තුනෙන් දෙකක් පමණම ආනයන මත පදනම්ව ඇති බවයි. එයින් විශාල කොටසක් වාහන ආනයනය නිසා ලැබෙන බදු සේ සැලකිය හැකියි. එමෙන්ම, උපයන විට ගෙවීම් බද්ද ලිහිල් කිරීම නිසා අහිමි වන රුපියල් බිලියන 41.6 ඉක්මවන රුපියල් බිලියන 66.2ක මුදලක් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම මගින් උපයා ගන්නට සැලසුම් කර ඇති ආකාරයද දැකිය හැකියි. 

දළ ගණනයක් ලෙස ඩොලර් බිලියනයක වාහන ආනයන වසර තුළ සිදු වී එමෙන් තුන් ගුණයකට සමාන බදු ආදායමක් රජයට ලැබුණහොත්, ඩොලරය රුපියල් 300 සේ සැලකූ විට, රජයට රුපියල් බිලියන 900ක බදු ආදායමක් හිමි විය යුතුයි. බදු ආදායමේ අපේක්ෂිත වර්ධනය රුපියල් බිලියන 885.4ක් පමණක් නිසා එම ඉලක්කයට යාම සඳහා ඩොලර් බිලියනයක වාහන ආනයන සිදු විය යුතු නැහැ. වෙනත් ක්‍රම වලින්ද බදු ආදායම් ඉහළ යන නිසා, ඩොලර් මිලියන 600-700ක පමණ වාහන ආනයන ඒ සඳහා ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා, 2025 රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යාම අපහසු දෙයක් බැව් පෙනෙන්නේ නැහැ. 

Saturday, March 18, 2023

ඇමරිකාවේ ඒ කාලේ ආදායම් බදු


පසුගිය 2022 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් වලින් 3,268ක් පමණයි. එම වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක්. මේ වගේ විශාල ආදායම් පරතරයක් තිබෙන රටවල් දෙකක ආදායම් බදු සීමා සංසන්දනය කරන්න බැරි බව ගොඩක් අය කියනවා. කතාව ඇත්ත. 

ඇමරිකාව ඔය තැනට දවසකින් දෙකකින් ආවේ නැහැ. ඇමරිකාවේ දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක් වුනත් ඇමරිකාවත් ලංකාව හිටපු මට්ටමේ හිටපු කාලයක් තිබුණා. ඒ අවුරුදු හැටකට කලින්. 1962 වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3,244යි. ආසන්න වශයෙන් ලංකාවේ දැන් මට්ටම. 

ඒ කාලයේදී ඇමරිකානුවන් කොපමණ ආදායම් බදු ගෙවුවද? පහත තිබෙන්නේ 1962 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් ආදායම් බදු අනුපාතික.

$2,000 දක්වා- 20%

$2,000 සිට- 22%

$4,000 සිට- 26%

$6,000 සිට- 30%

$8,000 සිට- 34%

$10,000 සිට- 38%

$12,000 සිට- 43%

$14,000 සිට- 47%

$16,000 සිට- 50%

$18,000 සිට- 53%

$20,000 සිට- 56%

$22,000 සිට- 59%

$26,000 සිට- 62%

$32,000 සිට- 65%

$38,000 සිට- 69%

$44,000 සිට- 72%

$50,000 සිට- 75%

$60,000 සිට- 78%

$70,000 සිට- 81%

$80,000 සිට- 84%

$90,000 සිට- 87%

$100,000 සිට- 89%

$150,000 සිට- 90%

$200,000 සිට- 91%

ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 336 සේ සලකා ඉහත වාර්ෂික ඩොලර් ආදායම් මාසික රුපියල් ආදායම් වලට හැරෙවුවොත් මේ වගේ. 

රුපියල් 56,000 දක්වා- 20%

රුපියල් 56,000 සිට- 22%

රුපියල් 112,000 සිට- 26%

රුපියල් 168,000 සිට- 30%

රුපියල් 224,000 සිට- 34%

රුපියල් 280,000 සිට- 38%

රුපියල් 336,000 සිට- 43%

රුපියල් 392,000 සිට- 47%

රුපියල් 448,000 සිට- 50%

රුපියල් 504,000 සිට- 53%

රුපියල් 560,000 සිට- 56%

රුපියල් 616,000 සිට- 59%

රුපියල් 728,000 සිට- 62%

රුපියල් 896,000 සිට- 65%

රුපියල් 1,064,000 සිට- 69%

රුපියල් 1,232,,000 සිට- 72%

රුපියල් 1,400,000 සිට- 75%

රුපියල් 1,680,000 සිට- 78%

රුපියල් 1,960,000 සිට- 81%

රුපියල් 2,240,000 සිට- 84%

රුපියල් 2,520,000 සිට- 87%

රුපියල් 2,800,000 සිට- 89%

රුපියල් 4,200,000 සිට- 90%

රුපියල් 5,600,000 සිට- 91%

කෙසේ වුවත්, කලින් කලට සිදුව ඇති බදු සංශෝධන වලින් පසු, මේ වන විට ඇමරිකාවේ උපරිම ආදායම් බදු අනුපාතය 37%ක් පමණයි. 

ඇමරිකානුවන් ආදායම් බදු ගෙවිය යුත්තේ ෆෙඩරල් රජයට පමණක් නෙමෙයි. ඇමරිකාවේ ප්‍රාන්ත හතක වියදම් සියල්ලම වක්‍ර බදු වලින් පමණක් ආවරණය කර ගන්නා නමුත් ඉතිරි ප්‍රාන්ත 43හිදී ප්‍රාන්ත ආදායම් බදුද ගෙවිය යුතුයි. 

උදාහරණයක් ලෙස කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ආදායම් බදු 1% සිට 12.3% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. නිවුයෝර්ක් ප්‍රාන්තයේ ආදායම් බදු 4% සිට 10.9% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සියල්ලන්ගෙන්ම 4.95%ක ආදායම් බද්දක් අය කරන ඉලිනෝයි ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවක ආදායම් බදු අනුපාතිකය ආදායම් මට්ටම අනුව වෙනස් වෙන්නේ නැහැ. 

ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව පළාත් පාලන ආයතන මගින්ද ආදායම් බදු අය කරනවා. ෆෙඩරල් හා ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව අපේ කෝරළයට (කවුන්ටියට) ආදායමෙන් 1%ක් බදු ලෙස ගෙවිය යුතුයි. 

Thursday, January 26, 2023

ණය ගත්ත අය වැරදිද?


ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ දන්න නිසාත්, පොදු අවකාශයකට එකතු කරලා තිබුණත් මේවා පෞද්ගලික තොරතුරු නිසාත්, මම නැවත ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. 

මේ සමහර අය කවුද? 

මේ ගොඩේ ඉන්නේ පොදු අරමුදල් වලින් රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න වෘත්තිකයෝ. ඒ අයට බදු කැපිල්ල දරුණුවටම බලපාලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 

මාසයකට රුපියල් 115,000ක් උපයන අයෙක් කියා කියන්නේ ලංකාවේ ආදායම් උපයන්නන් අතර ඉහළම 5%ට අයිති කෙනෙක්. මාසයකට රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න අයෙක් කියා කියන්නේ බොහෝ විට ආදායම අනුව ඉහළම 1%ට අයත් වෙන කෙනෙක්. දැන් මේ බදු වැඩි කිරීමෙන් පස්සේ ජීවත් වෙන්න අමාරුයි කියා කියන්නේ එහෙම අය. 

මේ ගැන පළවන අදහස් වල පැහැදිලි බෙදීමක් දකින්න පුළුවන්. සමහර අය බදු ඉහළ දැමීම විවේචනය කරමින් එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරනවා. තවත් අය බදු වැඩි කිරීම ගැන කණස්සල්ලෙන් කතා කරන අයගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය විවේචනය කරමින් කතා කරනවා. වැරැද්ද ණය ගත්ත අයගේද? එහෙම නැත්නම් ආණ්ඩුවේද?

මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා, අපි නිගමන වලට යන්නේ නැතුව දෙපැත්තම කතා කරමු. ඊට කලින් අපි අදාළ ආදායම් කාණ්ඩයට බදු සංශෝධනයේ බලපෑම කුමක්ද කියා විමසා බලමු.

මාසික ආදායම - රුපියල් 400,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 9,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 70,500යි.

මාසික ආදායම - රුපියල් 500,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 15,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 106,500යි.

රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ලබන කෙනෙක් රුපියල් 106,500ක් බදු ගෙවුවත් තව රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් ඉතිරි වෙනවා. EPF හා ETF වලට 15%ක් අයින් කළත්, ලක්ෂ තුනකට වඩා අතේ ඉතිරි වෙනවා. එහෙමනම්, ජීවත් වෙන්න විදිහක් නැති කතාව මොකක්ද?

මෙතැන ප්‍රශ්නය ලක්ෂ තුනකට වඩා ණය ගෙවන්න සිදු වී තිබීමයි. මේක බොරු කතාවක් නෙමෙයි. ඕක තමයි ඔය වගේ ආදායමක් උපයන ගොඩක් ලාංකිකයන්ගේ ඇත්ත තත්ත්වය. මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය, මේ විදිහට ණය වුන එකේ වැරැද්ද කාගේද? 

ලක්ෂ පහක මාසික වැටුපක් හා ලක්ෂ හතරක මාසික වැටුපක් ගන්න වෘත්තිකයින් යුවලක් ගැන හිතමු. ඔහොම අය ඉන්නවනේ. දැන් මේ යුවලට මාසයකට අතට ලැබෙන මුදල එක පාරටම රුපියල් 177,000කින් අඩු වෙලා. රුපියල් 177,000ක් කියන්නේ ගෙයක් වාහනයක් (වාහන දෙකක්) තියෙන කෙනෙකුට ණය ගෙවීම් හැර කෑම බීම, ඉන්ධන, බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලොකු අසනීපයක් හැදුනේ නැත්නම් සෞඛ්‍ය වියදම් ආදී සියල්ල වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්. ඔය තරමේ ආදායමක් උපයන යුවලක් එදිනෙදා වියදම් වලට රුපියල් ලක්ෂ දෙකක් වගේ මුදලක් තියා ගෙන ඉතිරි කොටස් ඉඩම්, ගෙවල්, වාහන වගේ දේවල් වෙනුවෙන් යට කරන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද එදිනෙදා වියදම් වලට මාසයකට රුපියල් ලක්ෂ දෙකක් තියා ගත්තහම හොඳටම ඇති.

දැන් එක පාරටම කලින් ගාණට වඩා රුපියල් 177,000ක් වැඩියෙන් බදු ගෙවන්න වුනහම අතට ඉතුරු වෙන්නේ රුපියල් 23,000ක් පමණයි. ඕකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා, මේ කණස්සල්ල ඉතාම සාධාරණයි. දැන් මෙතැන වැරැද්ද ණය වෙලා ඉඩම්, ගෙවල්, වාහන ගත්ත එකද? බංකොලොත් වෙන තරමට රට ණය වුනේ මිනිස්සු ඔය විදිහට ණය වුන නිසාද?

ඇත්තටම මේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්නයේ පිළිබිඹුවක්. පැහැදිලි කර ගන්න තියෙන්නේ ප්‍රශ්නයේ මුල ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයද නැත්නම් සාර්ව ආර්ථික ප්‍රශ්නයද කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, මිනිස්සුන්ගේ අධිපරිභෝජනය නිසා රට ණය වුනාද නැත්නම් රට ණය වුනු නිසා මිනිස්සු අධිපරිභෝජනයට පෙළඹුණාද?

පළමුවැන්න වුනා කියලා කියන්න සහ කතාවක් ගොතන්න ලේසියි. නමුත් ඇත්තටම පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඇත්තම ඔය ණය වෙච්ච මිනිස්සු අහිංසකයි. 

මෙහි ස්වායත්ත ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමාජවාදී හා ආගමික අදහස් නිසා ඇති වූ, කලාව හරහා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කෙරුණු, දෘෂ්ඨිවාදයේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. කොහෙන් හෝ එදිනෙදා හොයා ගන්න දෙයක් කාලා බීලා වියදම් කරලා ආතල් එකක් ගන්න, හෙට ගැන නොහිතන බොහීමියානුවා පට්ට වීර චරිතයක්. නොකා නොබී ඉතිරි කරන මුදලාලි මෙලොව වගේම එලොවත් නැති කර ගත්ත සමාජයට කිසිම වැඩක් නැති මසුරෙක්. ඕක තමයි කලාව හා සාහිත්‍යය හරහා ප්‍රවර්ධනය කරන දෘෂ්ඨිවාදය. මේ හා අදාළව කතා කරන්න තව වැඩිපුර දේවල් තිබුණත්, ඒක අවශ්‍ය නොවන්නේ ඇත්ත ප්‍රශ්නය මේක නොවන නිසා. 

ඉහත දෘෂ්ඨිවාදය නිසා ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, මිනිස්සු ණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා රට ණය වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, ඉහත දෘෂ්ඨිවාදය වෙනස් කළ හැකි මානසික මෙහෙයුමකින් රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳන තුරු, දෘෂ්ඨිවාදය වෙනස් කරන මෙහෙයුම් වලින් අඩු වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය වුනත් විසඳන්න බැහැ. එක්කෙනෙක් ඊනියා පරිභෝජනවාදයෙන් ඉවත් වෙද්දී අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් ඒ අඩුව පුරවනවා. 

ලාංකිකයින්ගේ අධිපරිභෝජනය සැබෑවක් වුවත්, එය සාර්ව ආර්ථික අසමතුලිතතා වල පිළිබිඹුවක් මිසක් ඊට හේතුව නෙමෙයි. සාර්ව ආර්ථික අසමතුලිතතා නැති කළොත් ඊනියා අධිපරිභෝජනයත් නැති වෙනවා. ඕක අනෙක් පැත්තට වෙන්නේ නැහැ. 

ණය වෙලා පරිභෝජනය කරනවද එහෙම නැත්නම් පරිභෝජනය සීමා කරලා ඉතිරි කරනවද කියන එක පෞද්ගලික තේරීමක්. පෞද්ගලික තේරීමක් කියා කිවුවත්, මේක සෑහෙන තරමකින් පුද්ගලයෙකුගේ පුද්ගලභාවය එක්ක සම්බන්ධ වන දෙයක්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ කොටසක්. ඇතැම් විට උපදින කොටම යම් තරමකින් ජාන වලින්ම තීරණය වී තිබෙන දෙයක්. ඉපදුනාට පස්සේ හැදෙන පරිසරය එක්ක, පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙද්දීම ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තමන් ණය ගන්නෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සවිඥානිකව පාලනය කරන්න අමාරුයි. ඒ හේතුව නිසාම තමන්ට සාපේක්ෂව බලලා වෙනත් අයව විවේචනය කරන එකත් නිවැරදි නැහැ. කොයි තරම් අමාරු තත්ත්වයකදී වුනත් සමහර අයට ණය වෙන්න හිත හදා ගන්න අමාරුයි. තවත් අයට කොයි තරම් ආදායම ඉහළ ගියත් ණය නොවී ඉන්න අමාරුයි. මේවා යම් තරමකින් නළලේ කෙටිලා තියෙන දේවල්. 

ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් තීරණය වෙන්නේ ඔය පුද්ගල බද්ධ තත්ත්වයන් එක්කයි. ඇතැම් අය අනාගතයට සාපේක්ෂව වර්තමානයට වැඩි බරක් තබනවා. එවැනි අය ණයකාරයෝ වෙනවා. තවත් අය වර්තමානයට අඩු බරක් තියලා අනාගතයට වැඩි බරක් තියනවා. ඒ අය ණයහිමියෝ වෙනවා. හැබැයි මේ කාණ්ඩ දෙක ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. පුද්ගලයෙක් අනාගතයට සාපේක්ෂව වර්තමානයට කොයිතරම් බරක් තියනවද කියන එක සන්තතික විචල්‍යයක්. ඒ කියන්නේ මේක දර්ශකයක් ලෙස සැලකුවොත් 0 සහ 100 අතර හැම තැනකම කවුරු හරි ඉන්නවා. 100 කිට්ටුව ණයකාරයෝ. 0 කිට්ටුව ණයහිමියෝ. 

මිනිස්සුන්ට ණය ගන්න අවශ්‍ය වුනා කියලා එපමණකින්ම ණය ගන්න බැහැ. ණය දෙන්නත් කවුරු හරි ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැදිහත්වීමක් නැත්නම් ඔය දෙපැත්ත අනිවාර්යයෙය්න්ම තුලනය විය යුතුයි. පෙර කී දර්ශකයට ගියොත්, 51-100 අතර අය ණයකාරයෝ වෙනවා. 0-50 අතර අය ණයහිමියෝ වෙනවා. වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ නිසා, රට ණය වෙන්නේ නැහැ. 

දෘෂ්ඨිවාදයේ වෙනස්කම් ඉහත කී සාර්ව ආර්ථික තුලනය කෙරෙහි බලපාන්නේ නැහැ. මොකද මොන තත්ත්වය යටතේ වුවත් රටේ 50%ක් ණයකාරයෝ. ඉතිරි 50% ඉතිරිකරන්නෝ. දෘෂ්ඨිවාදය විසින් කරන්නේ ඔය ගොඩවල් වල ඉන්න පුද්ගලයින් එහාමෙහා කරන එක පමණයි. ගොඩවල් වල ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. මොකද ණය දෙන්නෝ නැතුව ණය ගන්නා අය නැහැ. 

සල්ලි අච්චු ගැසීමත් එක්ක, එහෙම නැත්නම් බැංකු පද්ධතිය විසින් මුදල් සැපයුම වැඩි කිරීමත් එක්ක, ඉහත සමතුලිතතාවය වෙනස් වෙනවා. මොකද දැන් ණය ගන්නන් තරමටම ණය දෙන්නන් අවශ්‍ය වන්නේ නැහැ. අලුතෙන් මුදල් නිර්මාණය වෙද්දී අලුතෙන් ණය නිර්මාණය වීමක් සිදු වෙනවා. 

අපි හිතමු ඉහත දර්ශකයේ 0-100 අතර සිටින එක් එක් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂය බැගින් ණය ගන්නවා හෝ දෙනවා කියලා. මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැත්නම්, ණය ගන්නෝ ලක්ෂ 50ක ණය ගන්නවා. ණය දෙන්නෝ එම ලක්ෂ 50ක ණය ප්‍රමාණය දෙනවා. ඉල්ලුම හා සැපයුම අනුව පොලී අනුපාතිකය තීරණය වෙනවා. ඒ පසුබිමේ තිබෙන ප්‍රධාන සාධකය මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ අනාගත පරිභෝජනයට සාපේක්ෂව වර්තමාන පරිභෝජනය කොයි තරම් වටිනවාද කියන එක. මේකත් මැද සිටින, ඒ කියන්නේ දර්ශක අගය 50 වූ පුද්ගලයාගේ කාල වටිනාකම. 

දැන් ඔය වගේ සමතුලිත ආර්ථිකයකට අලුත් සල්ලි රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඉතිරි කරන්නෝ ප්‍රමාණය 40ට බහිනවා. ණය ගන්නන් ප්‍රමාණය 60 දක්වා ඉහළ යනවා. ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 60යි. නමුත්, ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක් පමණයි. අඩු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු, එසේ නැත්නම් බැංකු පද්ධතිය විසින් මවපු සල්ලි. 

ඒ විතරක් නෙමෙයි. දැන් පොලී අනුපාතික තීරණය කරන්නේ ඉහත දර්ශකයේ 50 මට්ටමේ හිටපු පුද්ගලයා නෙමෙයි. 40 මට්ටමේ ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයාගේ කාල වටිනාකම අඩුයි. ඒ නිසාම, සමතුලිත පොලී අනුපාතිකයත් අඩුයි. අනෙක් පැත්තෙන් උද්ධමන අපේක්ෂා ඉහළයි. මේ තත්ත්වය එක්ක ණය ගන්න එක කලින්ට වඩා ආකර්ශනීයයි. ණය දෙන එක පාඩුයි. කලින් ණය දුන් දහ දෙනෙක් දැන් ණයකාරයින් වී සිටින්නේ ඔය නිසා.

මුදල් සැපයුම වැඩි කිරීම වේගවත් වන තරමට, පොලී අනුපාතික අඩු වන තරමට, ඔය සමතුලිතාවය 0 පැත්තට විතැන් වෙනවා. ණයකාරයෝ වැඩි වෙනවා. ඉතිරි කරන්නෝ අඩු වෙනවා. මුදල් සැපයුම හා පොලී අනුපාතික නිවැරදි වන තුරු මිනිස්සුන්ට පරිභෝජනය සීමා කරන්න උපදෙස් දුන්නා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

ලංකාවේ ප්‍රශ්නයේ පළමු කොටස තියෙන්නේ ඔතැන. සෑම වසරකම සැලකිය යුතු ලෙස මුදල් සැපයුම ඉහළ යද්දී, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික පහළින් තියෙද්දී, ණයකාරයෝ බෝ වෙනවා. ඉතිරි කරන්නෝ වඳ වෙනවා. ඒක මිනිස්සුන්ගේ වැරැද්දක්ම නෙමෙයි. 

ප්‍රශ්නයේ දෙවෙනි කොටස විදේශ ණය. අපි හිතමු රුපියල් ලක්ෂ 20කින් මුදල් සැපයුම වැඩි කරන අතර තව රුපියල් ලක්ෂ 20ක විදේශ ණය ගත්තා කියලා. දැන් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 70 දක්වා ඉහළ යනවා. ඉතිරි කිරීම් රුපියල් ලක්ෂ 30 දක්වා පහළ යනවා. අඩු රුපියල් ලක්ෂ 40න් රුපියල් ලක්ෂ 20ක් විදේශ ණය. ඉතුරු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු හෝ මවපු රුපියල්. විදේශ ණය සහ මුදල් මැවීම තවත් ටිකක් වැඩි කළොත් රටම ණයකාරයෝ වෙලා ඉතිරි කරන්නෝ නැත්තටම නැති වෙලා යන්න වුනත් පුළුවන්. ඔය වගේ සාර්ව ආර්ථික තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් ඉතිරි කරන්නෙක් නොවී ණය ගන්නෙක් වෙනවා. 

විදේශ ණය ගනිද්දී තවත් දෙයක් වෙනවා. ණය විදිහට ගන්න ඩොලර් වෙළඳපොළේ විකුණලා රුපියල් කරද්දී ඩොලර් එකේ මිල බහිනවා. ආනයන ලාබ වෙනවා. ඊට පස්සේ ණය ගන්නවාට අමතරව, ණය අරගෙන වැඩි වැඩියෙන් ආනයන කරන එකත් ප්‍රවර්ධනය වෙනවා. 

රුපියල් ලක්ෂ හතර පහක වැටුප් ලබන අය වියදමට ලක්ෂයක් දෙකක් පමණක් තියාගෙන ඉතිරි කොටස යොදාගෙන ගෙවන්න ණය අරගෙන තියෙන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. ණය වෙලා වාහන, ගෙවල් ගොඩ ගහගෙන ඉන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. එහෙම නොකරපු අයයි ඇත්තටම තාර්කික නොවන තීරණ අරගෙන තියෙන්නේ. මොකද පැවති තත්ත්වයන් තුළ ඉතිරි කරන්නා මෝඩයෙක්. ණය නොගන්නා පුද්ගලයා මෝඩයෙක්.

පසුගිය බදු කැපිල්ලට පෙර, 2019දී රුපියල් ලක්ෂ හතර හා පහ බැගින් මාසික වැටුප් ලැබූ අයට පිළිවෙළින් රුපියල් 42,000 සහ 66,000 ලෙස බදු ගෙවන්න සිදු වී තිබුණා. ඒ අනුව, දැන් වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙන මුදල රුපියල් 69,000ක්. නමුත්, 2020 බදු කැපිල්ලෙන් පසු මෙම බදු මුදල පිළිවෙලින් රුපියල් 9,000 හා 15,000 දක්වා අඩු වුනා. ඒ කියන්නේ රුපියල් 85,000ක ඉතිරියක්. 

ඉහත පරිදි බදු කැපිල්ල හරහා වැය කළ හැකි ආදායම ඉහළ යද්දී එයට අනුරූපව පරිභෝජනය ඉහළ නොදැමුවේනම් දැන් සිදුකර තිබෙන බදු වැඩි කිරීම මේ තරම් දරුණු ලෙස දැනෙන එකක් නැහැ. නමුත්, බදු කැපිල්ල සිදු කළේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනයි. එම ප්‍රතිපත්තියට අනුරූපව මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළනු ලැබුවා. ඒ මගින්, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරුණා. ඒ අනුව, බදු කැපිල්ලෙන් පසුව, පසුගිය දෙවසර තුළ බොහෝ දෙනෙකු තව තවතවත් ණය වී ඇති බව පැහැදිලියි. ලංකාව ආසියාවේ ඓශ්චර්යය වී රටේ මෙන්ම තමන්ගේද ආදායම් ඉහළ යද්දී ගත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි මේ අය සිතන්නට ඇති.

ඓතිහාසික තොරතුරු දෙස බැලුවොත්, බදු සීමා ලිහිල් කිරීම මිස දැඩි කිරීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා, ලබා දුන් බදු සහන ආපසු හැරවෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් නොසිතන්නට ඇති. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පීඩාවට පත්ව සිටින්නේ තමන්ගේම වැරදි මූල්‍ය කළමනාකරණය නිසා නෙමෙයි. රටේ කාලයක් තිස්සේ පැවති අසංගත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිසා.

ඒ අය පැවති සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරු. හැබැයි එහෙමයි කියලා ඒ වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි නොකර වෙන කළ හැකි දෙයකුත් නැහැ. මොකද රජය හිර වෙලා ඉන්න හිරවිල්ල මිනිස්සුන්ගේ හිරවිල්ලට වඩා ගොඩක් දරුණු හිරවිල්ලක්.  

මේ වගේ හිර වෙලා අයට දැන් කරන්න පුළුවන් කුමක්ද? රජයට කරන්න වෙලා තියෙන දෙයම තමයි. ණය ගෙවන්න බැරි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවානම්, ගත්ත ණය ඵලදායී නොවන වත්කම් වල හිර වෙලානම්, එකම විසඳුම එම වත්කම් විකුණන එක. ඒක කරන්න හිත හදාගන්න බැරිනම් වෙන්නේ තව තව හිරවෙන එක විතරයි. 

Wednesday, November 9, 2022

පළමු මාස හයේ අය හා වැය

පෙර ලිපියක ("රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?") ඉදිරිපත් කළේ මෙම වසරේදී රජය ආදායම් වැඩි කර ගන්නට සැලසුම් කර ඇති ආකාරයයි. එහි ඉදිරිපත් කළේ ආදායම් ඇස්තමේන්තු. ඇත්ත ගණන් නෙමෙයි. පෙර වසර හා අදාළවනම් ඇත්තම ගණන්.

පහත තියෙන්නේ මේ වසරේ මුල් මාස හය තුළ රජයේ ඇත්තම ආදායම. සියළුම ගණන් රුපියල් බිලියන වලින්.

ආදායම් බදු - 234.9

වැට් බදු - 197.8

නිෂ්පාදන/ සුරා බදු - 170.9

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද - 94.0

විශේෂ වෙලඳ භාණ්ඩ බද්ද - 38.9

ආනයන බදු - 25.4

සෙස් බද්ද - 20.4

අනෙකුත් බදු - 16.5

මුළු බදු ආදායම - 798.8

බදු නොවන ආදායම - 119.7

මුළු රාජ්‍ය ආදායම - 918.5

මෙය පසුගිය වසරේ මුල් සමස තුළ මුළු රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 714.5ට සාපේක්ෂව 28.6%ක ආදායම් වර්ධනයක්. 

බොහෝ දෙනෙකුට තිබෙන ඊළඟ ප්‍රශ්නය රජය මේ සල්ලි වියදම් කළේ කොහොමද කියන එකයි. පහත තියෙන්නේ රුපියල් බිලියන වලින් රජයේ වියදම්. වරහන් තුළ තිබෙන්නේ අදාළ කාර්යය වෙනුවෙන් වැය කළ ආදායම් ප්‍රතිශතය.

පොලී ගෙවීම් - 657.8 (71.6%)

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් - 627.1 (68.3%)

ප්‍රාග්ධන වියදම් හා ණය දීම්- 250.5 (27.3%)

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - 75.9 (8.3%)

සමෘද්ධි හා පොහොර සහනාධාර - 45.8 (5.0)

අනෙකුත් සහනාධාර - 165.0 (18.0%)

එකතුව - 1,822.1 (198.4%)

පසුගිය වසරේ පළමු සමසට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 28.6%කින් ඉහළ යද්දී, රාජ්‍ය වියදම්ද 21.8%කින් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පොලී ගෙවීම් පැහැර හැරීමෙන් පසුවද පොලී වියදම් 29.7%කින් ඉහළ යද්දී, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම්ද 17.8%කින් ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය වියදම තව දුරටත් රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකට ආසන්නයි.

Friday, October 28, 2022

වියදම් කැපීම හා ආදායම් වැඩි කර ගැනීම

එකම දේ නැවත නැවත කියන එකේ ලොකු තේරුමක් නැතත් සමහර තත්ත්වයන් යටතේ වෙනස් ආකාර වලින් එකම දේ නැවත නැවත කියන්න වෙනවා. ලංකාව කියා කියන්නේ ලෝකයේ රටවල් අතරින් රටේ ජාතික ආදායමට සාපේක්ෂව අඩුම බදු ප්‍රමාණයක් එකතු කර ගන්නා රටක්. රජයේ බදු ආදායම් කියා කියන්නේ ඇස්තමේන්තු කළ යුතු දෙයක් නෙමෙයි. හරියටම සතේටම ගිණුම් වල තියෙන දෙයක්. අයවැයෙන් ඉදිරිපත් කරන්නේනම් ඇස්තමේන්තු. ඒ ගණන් බොහෝ විට නිවැරදි නැහැ. හැබැයි අවුරුද්දක් ඉවර වෙද්දී ලැබුණු ආදායම හරියටම බලාගන්න පුළුවන්. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. 

1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 

2. ශ්‍රී ලංකා රේගුව 

3. සුරාබදු දෙපාර්තමේන්තුව 

පහත තියෙන්නේ මේ ආයතන තුන විසින්ම 2021 වසරේදී එකතු කරගත් බදු ප්‍රමාණය. (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව).

ආදායම් බදු - රුපියල් මිලියන 302,115

වැට් බදු - රුපියල් මිලියන 308,213

නිෂ්පාදන/සුරා බදු - රුපියල් මිලියන 306,801

ආනයන මත බදු - රුපියල් මිලියන 64,339

අනෙකුත් බදු - රුපියල් මිලියන 316,490

එකතුව - රුපියල් මිලියන 1,298,019

මෙම ප්‍රමාණය රටේ ජාතික ආදායමෙන් 7.7%ක් පමණයි.

ඉහත රජයේ බදු ආදායම් වලින් වැඩිම කොටස, එනම් 43.43%ක්ම එකතු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එම බදු ආදායම අන්තිම රුපියලට ගණන් බැලු විට රුපියල් 632,830,585,186ක්. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ගන්නා ප්‍රධානම බදු වර්ග දෙක ආදායම් බද්ද හා වැට් බද්දයි. ආදායම් බදු වලින් වැඩි කොටසක් අය කරන්නේ සමාගම් වලින්. පුද්ගල ආදායම් බදු ප්‍රමාණය මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 16%ක් පමණයි. ස්කැන්ඩිනේවියන් රටවල වෙන්නේ එහි අනෙක් පැත්තයි.

පුද්ගල ආදායම් බදු - රුපියල් 48,713,743,993යි 

සමාගම් බදු - රුපියල් 251,830,847,280යි 

එකතුව - රුපියල් 300,544,591,27යි 

වැට් බදු ආදායමත් ආසන්නව ආදායම් බදු ආදායමට කිට්ටුයි. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු ප්‍රමාණය වගේම වැට් බදු ආදායමද 1.8%ක් පමණයි. පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ඉතා විශාල ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියන් රටවල වැට් බදු ආදායමද එම රටවල ජාතික ආදායමෙන් 11% සිට 15% පමණ දක්වා කොටසක්. ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ සුළු පිරිසක් වන පරිදිම, වැට් බදු ගෙවන ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණයද ඉතා සීමිත වීමත්, බොහෝ භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස්ව තිබීමත් මෙයට ප්‍රධාන හේතුවයි. වැට් බදු ගෙවන ආයතන ප්‍රමාණය 9,316ක් පමණයි (මූලාශ්‍රය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාව)

රටේ නිපදවූ භාණ්ඩ මත අය කර ඇති වැට් බදු ප්‍රමාණය මුළු වැට් බදු ආදායමෙන් 12.86%ක් පමණයි. ආදායමෙන් 47.31%ක්ම ඇවිත් තිබෙන්නේ සේවා අංශ වලින්. ඉතිරි 39.83% ආනයනික භාණ්ඩ වලින්. 

නිෂ්පාදන මත අය කළ වැට් බදු - රුපියල් 39,635,391,764යි  

සේවා මත අය කළ වැට් බදු - රුපියල් 145,826,777,746යි 

ආනයන මත අය කළ වැට් බදු - රුපියල් 122,750,875,084යි 

එකතුව - රුපියල් 308,213,044,594යි 

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 632.8ක්. එයින්, රුපියල් බිලියන 610.3ක්ම, එනම් 96.4%ක්ම, ආදායම් බදු හා වැට් බදු. තවත් විවිධ බදු වර්ග 15ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇතත්, ඒ සියල්ලෙන්ම ලබාගෙන ඇති ආදායම රුපියල් බිලියන 22.5ක් පමණයි. (විස්තර පහත වගුවක තිබෙනවා)

වාහන ආනයන බදු තිබෙන්නේ ඉහත උඩින්ම තිබෙන මහ බැංකු දත්ත අතර ඇති, රුපියල් බිලියන 306.8ක් වන, "නිෂ්පාදන/සුරා බදු" කාණ්ඩය ඇතුළේ. එම කාණ්ඩයද, එකතුව සැලකූ විට, ආදායම් බදු හා වැට් බදු මෙන්ම ජාතික ආදායමෙන් 1.8%ක් පමණයි. එයින් වාහන ආනයන බදු ප්‍රමාණය රුපියල් බිලියන 18.1ක් පමණයි. 2019දී මෙම ආදායම රුපියල් බිලියන 130.4ක් වුවත්, ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ වාහන ආනයනය තහනම් කිරීම නිසා එමගින් රජයට ලැබුණු ආදායම්ද විශාල ලෙස අහිමි වී තිබෙනවා. ඉතිරි කොටසින් රුපියල් බිලියන 88.5ක් සිගරැට් හා දුම්කොළ මත අය කළ බදු. රුපියල් බිලියන 138.6ක් මත්පැන් මත අය කළ බදු. 

රජයට ආදායම් ලැබෙන්නේ බදු වලින් පමණද?

නැහැ. රජයට වෙනත් ආදායම්ද ලැබෙනවා. නමුත් මෙම ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ජාතික ආදායමෙන් 0.9%ක් පමණයි. 

බදු ආදායම - රුපියල් මිලියන 1,298,019යි 

වෙනත් ආදායම් - රුපියල් මිලියන 159,052යි 

එකතුව - රුපියල් මිලියන 1,457,051යි 

බදු ආදායම් විශාල ලෙස වැඩි කර ගන්නේ නැතිව, වියදම් කැපීමෙන් පමණක් අයවැය තුලනය කරගන්න පුළුවන්ද? එසේ කළ හැක්කේ මවාගත් බුබුළු ඇතුළේ ජීවත් වන අයට පමණයි. පුළුවන් විදිහක් තියෙනවානම් අපටත් කියන්න. 

රජයට ලැබුණු ඉහත ආදායම වැය කළේ කොහොමද?

ආදායමෙන් ලොකුම කොටස යන්නේ නිදහස ලබා ගත් කාලයේ සිටම ආදායම ඉක්මවා වියදම් කරමින් රජය විසින් ලබාගත් දේශීය හා විදේශීය ණය කන්දරාව වෙනුවෙන් පොලී ගෙවන්නයි. මතක තියාගන්න මේ කතා කරන්නේ ණය ආපසු ගෙවන එක ගැන නෙමෙයි. ණය එලෙසම තියෙද්දී පොලී පමණක් ගෙවන එක ගැන. 

දේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 794,633යි 

විදේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 253,750යි 

එකතුව - රුපියල් මිලියන 1,048,382යි 

ණය පොලී කියන්නේ කිසිසේත්ම කපන්න පුළුවන් වියදමක් නෙමෙයි. මේ වියදම අඩු කර ගත හැකි එකම ක්‍රමය පොලී ගෙවීම පැහැර හරින එක පමණයි. විදේශ ණය හා අදාළව දැනටමත් ඒ වැඩේ කරලයි තියෙන්නේ. දේශීය ණය වල පොලියත් නොගෙවා ඉන්න පුළුවන්ද? 

දේශීය ණය වල පොලිය නොගෙවා ඉන්නවා කියන්නේ රටේ බැංකු ටික කඩා වැටෙනවා කියන එක. රටේ බැංකු වල සල්ලි වලින් විශාල කොටසක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් පොලී නිසි පරිදි නොලැබුණොත් බැංකු වල තියෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැ. බැංකුත් ඉවරයි. ව්‍යපාරික ආයතන සියල්ලමත් ඉවරයි. මිනිස්සුත් ඉවරයි. රටත් ඉවරයි. 

මතක තියා ගන්න ඔය පොලී වියදම් ගියේ 2021දී. ඒ වෙද්දී පොලී අනුපාතික දැන් වගේ වැඩි වෙලා තිබුණේ නැහැ. ගොඩක් පහළ මට්ටමකයි තිබුණේ. ඔය වියදම ගියේ එහෙම තියෙද්දී. 

හරි. දැන් ආදායම රුපියල් මිලියන 1,457,051යි. පොලී වියදම පමණක් රුපියල් මිලියන 1,048,382යි. එතකොට තව ඉතුරු කීයද?

තව ඉතුරු රුපියල් මිලියන 408,669ක් පමණයි. හැම වියදමක්ම කරන්න වෙන්නේ ඔය සල්ලි ටිකෙන්. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පමණක් රුපියල් මිලියන 1,115,507ක්. ඒ කියන්නේ ඔය ඉතිරි වන මුදල මෙන් තුන් ගුණයකට කිට්ටුයි. විශ්‍රාම වැටුප් කොටස රුපියල් මිලියන 269,827ක්. ඒ කොටස ගෙවුවොත් දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් පමණයි. නමුත් වැටුප් වියදම ඒ වගේ හය ගුණයක්. ඒ කියන්නේ බදු ආදායම් වැඩි කර නොගෙන, විශ්‍රාම වැටුප් ටික බේරලා, රාජ්‍ය සේවක වැටුප් විතරක් පියවන්න වුනත් දැන් ඉන්න සෑම රාජ්‍ය සේවකයින් හය දෙනෙක්ගෙන් පස් දෙනෙකුවම වන්දියක්වත් නොගෙවා ගෙදර යවන්න වෙනවා. 

ඕකම තවත් විදිහකට විස්තර කරන්නත් පුළුවන්. පොලී ගෙවුවට පස්සේ ආදායමෙන් ඉතිරි වූ කොටස රුපියල් මිලියන 408,669යිනේ. රටේ ගොඩක් දෙනෙකුට අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන වියදම් නොකැපිය යුතුයි. දෙන දේවල් ටිකත් මදි කියන එකනේ බොහෝ දෙනෙකුගේ අදහස. ආරක්ෂක වියදම් වගේ දේවල් පැත්තකින් තියමුකෝ. ඒ වියදම් අඩු කළ යුතුයි කියා යම් ජනමතයක් තියෙනවනේ. පහත තියෙන්නේ පසුගිය වසරේදී අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කළ මුදල.

අධ්‍යාපනය - රුපියල් මිලියන 310,613යි

සෞඛ්‍යය - රුපියල් මිලියන 387,121යි

එකතුව - රුපියල් මිලියන 697,735යි 

පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ටික ගෙවුවට පස්සේ ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් බව කලින් කිවුවනේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ගිය වියදම විතරක් ගත්තත් ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ, පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ගෙවලා ආදායම පිරිමහගන්නනම්, අනෙක් සියලුම වියදම් 100%ක්ම කපලා, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා යන වියදම් වලිනුත් 80%ක්ම කපන්න වෙනවා. 

ඔය තරම්ම පැහැදිලි කළාට පස්සෙත්, තියෙන ප්‍රශ්නය බදු වැඩි නොකර, වියදම් කැපීමෙන් පමණක් විසඳන්න පුළුවන් එකක් කියා කවුරු හරි හිතනවනම් ඒ ගැන අනුකම්පා කරනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. 

ඔය කියපු ගණන් ඇත්තම ගණන්. මේ අවුරුද්ද තවම අවසන් නැති නිසා මේ අවුරුද්දේ ඇත්ත ආදායම් හා වියදම් ගැන කතා කරන්න බැරි බව ඉතාම පැහැදිලියිනේ. ඒ නිසා මේ අවුරුද්ද ගැන කතා කරන්න වෙන්නේ අයවැය ඇස්තමේන්තු මත පදනම්වයි. 

එය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

Monday, October 24, 2022

සෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම


සමහර අය කියන්නේ තමන් බදු ගෙවන්නට අකැමැති බදු වලට සරිලන සේවයක් රජයෙන් නොලැබෙන නිසා බවයි. ඒ අයගෙනුත් සමහර අය වක්‍රව නොව සෘජුවම කියන්නේ ගෙවන බදු වලට සරිලන සේවයක් ලැබේනම් බදු ගෙවන්නට සූදානම් බවයි. 

මේවා ඇත්තටම විහිළු කතා. ඔය ධනවත් රටවල ඉන්න මිනිස්සු ලොකුවට බදු ගෙවන්නේ ඒ බදු වලට සරිලන සේවයක් රජයෙන් ලැබෙන නිසා නෙමෙයි. බදු නොගෙවා ඉන්න පුළුවන්කමක් නැති නිසා. නීතියේ හිල් වලින් රිංගා බදු නොගෙවා ඉන්න පුළුවන්නම් හැම දෙනෙක්ම වගේ එසේ කරනවා. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහැ.

බදු කියා කියන්නේම නීත්‍යානුකූල බලහත්කාරයක්. එහෙම නැතුව පන්සලකට, පල්ලියකට සල්ලි දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඇමරිකානු පුරවැසිකම අත හැර රටින් යන බොහෝ දෙනෙක් එසේ කරන්නේ බදු නොගෙවා සිටීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වගේම, සාමාන්‍ය ආදායමක් ලබන ගොඩක් අය ඩොලර් දෙතුන් සීයක් ගෙවලා බදු උපදේශකයෙකු ලවා තමන්ගේ බදු වාර්තා පිළියෙළ කර ගන්නවා. මමනම් කවදාවත් මේ වැඩේ කරලා නැහැ. මෙහෙම කරන අය කියන්නේ ගෙවන ගාණට වැඩේ ලාබයි කියලා. ඒ කියන්නේ ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් බදු අඩු වෙන විදිහට මේ අය වාර්තා හදා දෙනවා කියලා. 

ප්‍රජාතන්ත්‍රවාදී රටවල රජයයන්ට මේ විදිහට බලහත්කාරයෙන් ලොකු බදු අය කරන්න හැකි වී තිබෙන්නේ එය රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත නිසා. බදු වලින් සුබසාධනය වන අය ලොකු බදු වලට කැමතියි. මොකද ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත්, හැමෝටම ඒ වාසිය ලැබෙන්නේ නැහැ. සුබසාධනය වෙන අය ඉන්නවානම් සුබසාධනය කරන අයත් සිටිය යුතුයි. රජයට කළ හැක්කේ එක් අයෙකුගේ දෙයක් අරගෙන තවත් අයෙකුට දෙන එක පමණයි.

රටේ වැඩි දෙනකුට රජයෙන් ලැබෙන දෙයට වඩා වැඩියෙන් බදු ගෙවන්න වෙනවානම් ඒ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජයේ තීරණය වෙනස් කරන්න පුළුවන්. නමුත්, ඒ පිරිස සුළුතරයක්නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන්ට බහුතරයේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසාම සාමාන්‍යයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉන්න අයගෙන් 50%කට වඩා වැඩි පිරිසක් සුබසාධනය වෙනවා. ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත් ඉතිරි පිරිසට ඒ අයගේ බරට කර ගහන්න වෙනවා. 

අනෙක් අතට මේ ප්‍රමාණය 50%ට වඩා ගොඩක් වැඩි වෙන්නෙත් නැහැ. එහෙම වුණාම ඉතිරි වන බදු ගෙවන පිරිස අඩු නිසාත්, ඔවුන්ගෙන් ගන්නා දේ වැඩි දෙනෙකු අතර බෙදී යන නිසාත් සුබසාධනය පවත්වා ගන්න බැරි වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ හරියටම ඕකයි. 

ලංකාවේ ගොඩක් අයගේ පරමාදර්ශී රටවල් ස්කැන්ඩිනේවියානු රටවල්. ඒ රටවල රාජ්‍ය සුබසාධනය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් බදු ගොඩක් වැඩියි. පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරක 2021 වසරේ ඒක පුද්ගල ආදායම සහ රටේ ඒක පුද්ගල ආදායමට සමාන ආදායමක් උපයන අයෙකු විසින් ආදායම මත ගෙවිය යුතු වූ බදු ප්‍රමාණය. වත්කම් බදු ආදී අනෙකුත් සෘජු බදු වෙනම තියෙනවා. සංසන්දනය කිරීම සඳහා සෝමාලියාව හා ලංකාවත් එකතු කර තිබෙනවා. 

ඩෙන්මාර්කය 

ඒක පුද්ගල ආදායම - ඩෙනිෂ් ක්‍රෝන 430,793

බදු - ඩෙනිෂ් ක්‍රෝන 166,829

බදු ප්‍රතිශතය - 38.7%


ස්වීඩනය 

ඒක පුද්ගල ආදායම - ස්වීඩිෂ් ක්‍රෝන 523,000

බදු - ස්වීඩිෂ් ක්‍රෝන 168,772

බදු ප්‍රතිශතය - 32.3%


නෝර්වේ 

ඒක පුද්ගල ආදායම - නෝර්වීජියන් ක්‍රෝන 757,587

බදු - නෝර්වීජියන් ක්‍රෝන 198,271

බදු ප්‍රතිශතය - 26.2%


ෆින්ලන්තය 

ඒක පුද්ගල ආදායම - යුරෝ 45,372

බදු - යුරෝ 13,993

බදු ප්‍රතිශතය - 30.8%


සෝමාලියාව 

ඒක පුද්ගල ආදායම - ඇමරිකන් ඩොලර් 459.0

බදු - ඇමරිකන් ඩොලර් 15.5

බදු ප්‍රතිශතය - 3.4%


ශ්‍රී ලංකාව 

ඒක පුද්ගල ආදායම - රුපියල්  758,680

බදු - නැත 

බදු ප්‍රතිශතය - 0%

ලංකාවට වඩා බොහෝ දුප්පත් රටක් වන සෝමාලියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 200 ඉක්මවන අය (මසකට රුපියල් 6000ක් පමණ) ආදායම් බදු ගෙවිය යුතුයි. මෙය එරට ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් වඩා අඩු මුදලක්. එහෙත්, ආදායම් බදු වෙනස් කිරීමෙන් පසුවද ලංකාවේ ආදායම් බදු ගෙවිය යුත්තේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 ඉක්මවන්නේනම් පමණයි. 

විශාල ප්‍රතිශත වලින් ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියානු රටවල් වක්‍ර බදු අය කරන්නේ නැද්ද? මේ එම රටවල වැට් බදු අනුපාතිකයි.

ඩෙන්මාර්කය - 25%

ස්වීඩනය - 25%

නෝර්වේ - 25%

ෆින්ලන්තය - 24%

සෝමාලියාව - 10%

ශ්‍රී ලංකාව - 15%

වැට් බදු අනුපාතය වැඩි කිරීමෙන් පසුවත් ලංකාවේ බදු අනුපාතය කිට්ටු සෝමාලියාවේ අනුපාතයට මිසක් ස්කැන්ඩිනේවියානු රටවල අනුපාතයට නෙමෙයි! වැඩියෙන් සෘජු බදු අය කරන රටවල් එහෙම කළා කියලා වක්‍ර බදු අඩු කරන්නේ නැහැ. ඒ රටවල වක්‍ර බදුත් එලෙසම තියෙනවා. මුළු බදු ප්‍රමාණයෙන් වක්‍ර බදු අනුපාතය පහළ ගිහින් තියෙන්නේ සෘජු බදු විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මිසක් වක්‍ර බදු අඩු වී ඇති නිසා නෙමෙයි. 

පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරේ 2021 වැට් බදු ආදායම එම රටවල දදේනි අනුපාතයක් ලෙස.

ඩෙන්මාර්කය - 14.0%

ස්වීඩනය - 11.2%

නෝර්වේ - 11.4%

ෆින්ලන්තය - 13.5%

මේ රටවල සෘජු බදු පැත්තකින්ම තිබ්බත් වැට් බදු ආදායමම පමණක් ලංකාවේ සෘජු හා වක්‍ර බදු සියල්ලෙන්ම රජය එකතු කරගන්නා ආදායම් ප්‍රතිශතයට වඩා වැඩියි. පහළින් තියෙන්නේ මේ රටවල සමස්ත බදු ආදායම දදේනි ප්‍රතිශතයක් විදිහට. සෝමාලියාවට වඩානම් ලංකාව පොඩ්ඩක් හොඳයි.

ඩෙන්මාර්කය - 46.5%

ස්වීඩනය - 42.6%

නෝර්වේ - 33.6%

ෆින්ලන්තය - 41.9%

සෝමාලියාව - 2.2%

ශ්‍රී ලංකාව - 7.7%

ස්කැන්ඩිනේවියානු රටවල් අත දිග හැර වියදම් කරන්නේ බදු ලෙස අනෙක් පැත්තෙන් එකතු කරගන්නා මුදල්. බොහෝ විට එම රටවල් වියදම් කරන්නේ එකතු කර ගන්නා බදු ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි. පහත තියෙන්නේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස මේ රටවල වියදම.

ඩෙන්මාර්කය - 93.3%

ස්වීඩනය - 93.5%

නෝර්වේ - 80.1%

ෆින්ලන්තය - 112.1%

සෝමාලියාව - 126.2%

ශ්‍රී ලංකාව - 240.6%

ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් 2021 වසරේදී ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ ෆින්ලන්තය පමණයි. ලංකාවට සාපේක්ෂව සෝමාලියාව පවා වියදම් කළමනාකරණය කරගෙන තිබෙනවා. ඉහළ සුබසාධනයක් අවශ්‍යනම් පිරිවැය ආවරණය වන බදු ආදායමක් තිබිය යුතුයි. බදු ආදායම් වැඩි කරගත නොහැකිනම් ආදායමට ගැලපෙන සේ සුබසාධනය සීමා කළ යුතුයි. අඩු බදු ආදායමක් ලබන සෝමාලියාව අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වියදම් කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.

රජයේ අධ්‍යාපන වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 11.1%

ස්වීඩනය - 14.6%

නෝර්වේ - 12.8%

ෆින්ලන්තය - 12.3%

සෝමාලියාව - 3.7%

ශ්‍රී ලංකාව - 21.2%


රජයේ සෞඛ්‍ය වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 17.0%

ස්වීඩනය - 17.5%

නෝර්වේ - 14.8%

ෆින්ලන්තය - 13.7%

සෝමාලියාව - 5.6%

ශ්‍රී ලංකාව - 26.4%


අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් එකතුව 

ඩෙන්මාර්කය - 28.1%

ස්වීඩනය - 32.1%

නෝර්වේ - 27.6%

ෆින්ලන්තය - 26.0%

සෝමාලියාව - 9.1%

ශ්‍රී ලංකාව - 47.7%

ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලංකාවේ රජය බදු ලෙස එකතු කර ගන්නා මුදලින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැය කරන ප්‍රතිශතය හැම ස්කැන්ඩිනේවියානු රටකටම වඩා වැඩියි. නමුත් බදු ආදායම අඩු නිසා ඒ වගේ ප්‍රතිශතයක් වෙන් කරලා වුනත්  ස්කැන්ඩිනේවියානු රටවල මට්ටමට එන්න බැහැ.

සරලවම කිවුවොත්, සෝමාලියානු බදු වලින් ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කරන්න බැහැ.  ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කළ හැක්කේ ස්කැන්ඩිනේවියානු බදු වලින් පමණයි.

(Image: Vigeland park, Oslo) 

Saturday, October 22, 2022

සෘජු බදුද? වක්‍ර බදුද?


සෘජු බදු හා වක්‍ර බදු ගැන මූලික කරුණු කිහිපයක් පෙර ලිපියෙහි කතා කළා. එහි මා පෙන්වා දුන්නේ සෘජු බදු වලින් මෙන්ම වක්‍ර බදු වලින්ද අවසාන වශයෙන් සිදු වන්නේ එකම දෙයක් බවයි. එසේ නොවන්නේනම්, අඩුම වශයෙන් එකම අවසන් ප්‍රතිඵලය ලැබෙන පරිදි සෘජු බදු, වක්‍ර බදු හෝ මේ දෙකේ මිශ්‍රණයක් බදු ප්‍රතිපත්තිය සේ යොදා ගත හැකි බවයි.

පෙර ලිපියේ මගේ උදාහරණය වෙත මා නැවත යන්නම්. මෙහිදී මා ආර්ථිකය කොටස් තුනකින් නිරූපණය කළා.

1. ධනවතුන් - උපයන ආදායම රුපියල් 5000

2. දුප්පතුන් - උපයන ආදායම රුපියල් 1000

3. රජය - වියදම රුපියල් 3000

සරල උපකල්පනයක් ලෙස ධනවතා මෙන්ම දුප්පතාද තමන් උපයන ආදායමෙන් බදු ගෙවීමෙන් පසු ඉතිරි වන කොටස (ආර්ථික විද්‍යා භාෂාවෙන් disposable income) මුළුමනින්ම පරිභෝජනය කර අවසන් කරනවා. ආයෝජනය කිරීමක් නැහැ. ඇත්ත තත්ත්වය මීට වඩා වෙනස් වුවත් අපි ආයෝජනය දැනට නොසලකා හරිමු. 

රජයේ බදු ප්‍රතිපත්තිය වන්නේ ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කර ගෙන වියදම පියවා ගැනීමයි. රජයේ වියදම පියවා ගත හැකි වෙනත් ආකාර අනන්ත ප්‍රමාණයක් තිබුණත් මා සලකා බලන්නට යන්නේ ඒ ගැන නෙමෙයි. බදු අය කරන්නේ කාගෙන්ද, කොපමණද කියා තීරණය කිරීමෙන් පසුව එය කළ හැකි වෙනස් ආකාර ගැනයි.

පහත ඕනෑම ක්‍රමයකින් ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කරගත හැකියි. 

1. 50%ක ආදායම් බද්දක් 

2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක් 

3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක් 

4. 20%ක ආදායම් බද්දක් හා 60%ක වැට් බද්දක් 

5. 100%ක වැට් බද්දක් 

ධනවතුන් හා දුප්පතුන් මත පැටවෙන බදු බර තීරණය වන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය මත මිස බදු අය කරගන්නා ක්‍රමය අනුව නෙමෙයි. සෘජු බදු වලින් ලැබෙන ප්‍රතිඵලයම බොහෝ විට වක්‍ර බදු වලින්ද ලබා ගත හැකියි. එහි අනෙක් පැත්තද කළ හැකියි. 

මෙය මනඃකල්පිත උදාහරණයක්. දැන් අපි ලංකාවේ ඇත්ත සංඛ්‍යාලේඛණ වෙත එමු. ඇතැම් අය අහන්නේ සෘජු බදු වැඩි කිරීමෙන් පසුවද වක්‍ර බදු අඩු නොකර එලෙසම පවත්වා ගෙන යන්නේ ඇයි කියායි. 

ලංකාවේ රාජ්‍ය වියදම් (2021දී) දදේනියෙන් 21%ක්. ඒ කියන්නේ, වක්‍ර බදු අය නොකර සෘජු බදු පමණක් අය කරන්නේනම් රටේ සියලු දෙනාගේම ආදායම් වලින් 21%ක් රජය විසින් ආදායම් බදු සේ අය කළ යුතු බවයි. 2020න් පසුව පැවති උපරිම බදු සීමාවද 18%ක් පමණයි. ඒ අනුව, මෑතකාලීන බදු වැඩි කිරීමට පෙර කිසිදු ලාංකිකයෙකු විසින් වක්‍ර බදු නොමැතිව රාජ්‍ය වියදම් ආවරණය කරගත හැකි තරමේ බදු මුදලක් රජයට ගෙවා නැහැ!

බදු වැඩි කිරීමෙන් පසුව දැන් තත්ත්වය කෙසේද?

බදු වැඩි කිරීමෙන් පසුවද තමන්ගේ ආදායමෙන් 21%ක් බදු සේ ගෙවන්නේ වසරකට මිලියන 6ක පමණවත් ආදායමක් උපයන අය පමණයි. එනම්, මසකට රුපියල් ලක්ෂ පහක පමණවත් ආදායමක් උපයන අය පමණයි. ඊට අඩුවෙන් උපයන කිසිවෙකු තමන්ගේ ආදායමෙන් 21%ක් ආදායම් බදු සේ ගෙවන්නේ නැහැ. 

වක්‍ර බදු අය නොකර සෘජු බදු වලින් පමණක් රජයේ ආදායම පියවා ගන්නනම් රටේ සෑම දෙනෙකුටම 21%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ මාසයේ පඩිය රුපියල් 10,000නම් එයින් රුපියල් 2,100ක් ආදායම් බදු ලෙස ගෙවන්න වෙනවා. (ඇතැම් රටවල මෙවැනි විශාල ප්‍රතිශතයක් වැටුපෙන් බදු සේ අය කර ගන්නා බවද කිව යුතුයි.)

රටේ සෑම දෙනෙකුගේම වැටුපෙන් හා අනෙකුත් ආදායම් වලින් 21%ක් බදු සේ අය කර ගැනීම දේශපාලනික ලෙස ශක්‍ය දෙයක්යැයි මා සිතන්නේ නැහැ. දැන් රුපියල් 120,000ක වැටුපක් ලබා ගන්නා අය නාහෙන් අඬන්නේ 1%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වී තිබීම ගැනයි. 

මේ විදිහට හැමෝගෙන්ම බදු අය නොකර ඉහළ ආදායම් ලබන අයගෙන් පමණක් බදු අය කරන්න බැරිද? 

පුළුවන්. මම මෙහිදී දේශපාලනය පැත්තකින් තියනවා. අපි හිතමු රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය නොකර වැඩි ආදායම්ලාභීන්ගෙන් පමණක් බදු අය කිරීම කියා. කොහොමටත් රටේ ජනගහණයෙන් 45%ක්ම වයස අවුරුදු 10ට අඩු හෝ මසකට රුපියල් 500 නොඉක්මවන ආදායමක් ලබන අයයි. හැමෝගෙන්ම බදු ගත්තත් ගන්න වෙන්නේ ඉතිරි 55%ක පිරිසගෙන් පමණයි. අපි එයින් බාගයක් අත හැර ජනගහණයෙන් 27.5%කගෙන් පමණක් ආදායම් බදු අය කරනවා කියා සිතමු. එම පිරිස තමන්ගේ ආදායමෙන් 25.3%ක් බදු ගෙවනවානම් මෙය කළ හැකියි. මෙහිදී මසකට රුපියල් 28,466ක් උපයන අයෙකුට එයින් රුපියල් 7,197ක් බදු සේ ගෙවන්න වෙනවා. මෙයද දේශපාලනික ලෙස ශක්‍ය නැහැ.

ආදායම් උපයන්නන් 80%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 11%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? ඒකත් (සෛද්ධාන්තිකව) කරන්න පුළුවන්. ඒ අයට 38%ක් ආදායම් බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 54,258ක් උපයන කෙනෙකුට රුපියල් 20,632ක් බදු විදිහට ගෙවන්න වෙනවා. මාසයකට රුපියල් 54,258ක් උපයන්නේ නැති අය ඔය වැඩේට කැමති වෙයි. තමන් බදු ගෙවිය යුතු නැහැනේ. තමන්ට බදු ගෙවන්න වෙනකම් හැමෝම සමාජවාදී. හැබැයි තමන්ට බදු ගෙවන්න වෙච්ච ගමන් ඒ සමාජවාදය ඉවරයි! කවුරුත් කැමති තමන්ට වඩා ආදායම් උපයන අයට බදු ගහලා තමන් වෙනුවෙන් වියදම් කරනවටයි.

අපි ඔය සීමාව තවත් උඩට දමමු. ආදායම් උපයන්නන් 90%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 5.5%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? මේකත් සෛද්ධාන්තිකව කරන්න පුළුවන්. දැන් මේ ඉතිරි පිරිසට 52.5%ක බද්දක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ, මාසයකට රුපියල් 79,000ක් උපයන කෙනෙකුට එයින් රුපියල් 41,486ක් බදු විදිහට ගෙවන්න වෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.

ආදායම් බදු සීමාව උඩට තල්ලු කරන තරමට ඉතිරි වන පිරිස මත පැටවෙන බදු බර එන්න එන්නම වඩ වඩා ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. මෙහෙම කළ ගමන් ඒ අය බදු බර නිසාම ආදායම් නූපයා ඉන්න පෙළඹෙනවා. මහන්සි වෙලා උපයන ආදායමෙන් තමන්ට ප්‍රයෝජනයක් නැත්නම් ඇති පලේ කුමක්ද?

සෘජු බදු වලින් පමණක් රජයේ වියදම් පියවා ගන්නනම් රටේ සියලු දෙනාගෙන්ම යම් හෝ ආදායම් බද්දක් අය කරන්න වෙනවා. ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදු බරක් පටවන්න පුළුවන්වුනත් ඔවුන් මත මුළු බරම පටවන්න බැහැ. නමුත්, ලංකාවේ ගොඩක් දෙනෙක්ට අවශ්‍ය තමන්ට බදු ගහන්නේ නැතිව තමන්ට වඩා වැඩියෙන් ආදායම් උපයන අයට පමණක් බදු ගහන්න. බදු අයකරන සීමාව කීය වුනත් මේ ප්‍රශ්නය තියෙනවා. සෘජු බදු වෙනුවට වක්‍ර බදු වැඩියෙන් අය කරන්න ලංකාවේ රජය පෙළැඹී තියෙන්නේ මේ ප්‍රායෝගික ප්‍රශ්නය නිසයි.

එහෙමනම්, වක්‍ර බදු විතරක් අය කරලා නවතින්නේ නැතිව සෘජු බදු වැඩි කළේ ඇයි?

සරලවම වක්‍ර බදු වලින් විතරක් රජයේ වියදම් පියවා ගන්න එකත් ප්‍රායෝගික නැහැ. 2021 සංඛ්‍යාලේඛණ අනුව රටේ සමස්ත පරිභෝජන වියදම (රාජ්‍ය පරිභෝජනය හැර) දදේනියෙන් 70.3ක්. ඒ කියන්නේ දදේනියෙන් 21.0ක රාජ්‍ය වියදම් ආවරණය කර ගන්න පරිභෝජනය මත 29.9%ක බද්දක් ගහන්න වෙනවා. හැම භාණ්ඩයක් හා සේවාවක් මතම 30%ක වැට් එකක් ගැහුවොත් වැඩේ ගොඩ. වෙන බදු අය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, දැනට අය කරන වැට් බද්ද 15%ක් පමණයි. ගොඩක් භාණ්ඩ හා සේවා ඒ වැට් බද්දෙනුත් නිදහස්. ඇතැම් බඩු වැට් බද්දෙන් නිදහස් කරනවා කියන්නේ ඉතිරි වන බඩු වලට 30%ක බද්දක් ගහලත් මදි කියන එකයි. කෙටියෙන් කිවුවොත්, සෘජු බදු වැඩි කළා කියලා වක්‍ර බදු අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඔය දෙවර්ගයේම බදු ආදායම් එකතු කළත් රාජ්‍ය වියදම් ඊට වඩා වැඩියි.

එහෙමනම් කළ යුත්තේ රාජ්‍ය වියදම් අඩු කරන එක නෙමෙයිද? ඒ ගැන මම මේ ලිපියේ කතා කරන්න යන්නේ නැහැ. කලින් ලිපි වල කතා කරලා තිබෙනවා.

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ආදායම් උපයන සියල්ලන්ම බදු දැලට අසු නොවීම. ප්‍රායෝගිකව හරියට ආදායම් බදු ගෙවන්න වෙන්නේ වැටුප් ලබන අයට. අනෙක් ගොඩක් අය කරන්නේ ආදායම් හංගන එක. ඒ නිසාම, බදු ගෙවන අයට වැඩි බරක් වැටෙනවා.

මේ කණස්සල්ල ඉතාම සාධාරණ එකක්. බදු ගෙවිය යුතු ආදායම් උපයන බොහෝ දෙනෙක් බදු ගෙවන්නේ නැහැ. තමන්ගේ ආදායම් හංගනවා. මෙය හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුයි. එහෙම කියලා මේ වැඩේ මාසයකින් දෙකකින් කරන්න පුළුවන්කමක් නැහැ. මේක අමාරු වැඩක්. ඒ වැඩේ කරන තුරු දැලට අහුවෙලා ඉන්න මාළුන්ව අතාරින්න පුළුවන්කමක් රජයට නැහැ. මෙහි අසාධාරණයක් තිබෙනවා තමයි. නමුත් ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් නිවැරදි කරන්න කාලයක් අවශ්‍යයි.

රජය සැලසුම්කර තියෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමක්‍රමයෙන් බදු දැල ශක්තිමත් කර බදු පදනම විශාල කර ගන්නයි. එවිට බදු ගෙවන සුළු පිරිස මත වැටෙන බර අඩු විය හැකියි. මෙය සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම මහ බැංකුවේද නිර්දේශයයි.

ඔය වැඩේ කියන විදිහටම වෙයිද? (සමහර අයගේ වචන වලින්, රනිල් ඔය වැඩේ කරයි කියලා විශ්වාසද?) ඒක මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට කා ගැනවත් සහතික වෙන්න බැහැ. ඒ වගේම, මීට කලිනුත් ඔය සැලසුම් ඔය විදිහටම තිබුණා. නමුත් ප්‍රායෝගිකව වැඩේ වුනේ නැහැ. වැඩේ වෙන්නනම් දේශපාලන බලපෑම් කළ යුතුයි.

බදු පැහැර හැරීම් වැළැක්වීම කළ හැකි හොඳම ක්‍රමයක් වන්නේ රටේ සියලු දෙනාටම ආදායම් වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමයි. වාර්තා ගොනු කරනවා කියන්නේ බදු ගෙවනවා කියන එකම නෙමෙයි. සාමාන්‍යයෙන් ආදායම් වාර්තා වලට ඇතැම් වියදම්ද ඇතුළත්. එක් අයෙකුගේ වියදමක් කියා කියන්නේ තවත් අයෙකුගේ ආදායමක්. හැමෝම ආදායම් වාර්තා ගොනු කරනවානම් වියදම් පැත්ත හා ගලපා සඟවන ආදායම් හොයා ගන්න පුළුවන්.

මේ වන විට සංශෝධනය කර ඇති ගෝඨාභය බදු ක්‍රමය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම් බදු වලින් නිදහස් කරගත හැකි වුනා. මේ වගේ ක්‍රමයක් ඇති විට, පෞද්ගලික චැනල් ගාස්තු, ටියුෂන් ගාස්තු ආදිය වියදම් ලෙස වාර්තා වෙනවා. එවිට අනෙක් පැත්තෙන් ඒවා ආදායම් සේ වාර්තා වී ඇත්දැයි පරික්ෂා කළ හැකියි. දියුණු රටවල බදු වාර්තා විගණනය වෙන්නේ මේ ක්‍රමයටයි. හැබැයි මේ ක්‍රමය සාර්ථක වන්නේ රටේ සියල්ලන්ම බදු ගොනු කරන්නේනම් පමණයි. මගේ අදහසනම් ලංකාවේ පවතින තත්ත්වය තුළ රටේ සියල්ලන්ටම බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම ඉතාම උචිත දෙයක්. 

ගොඩක් දියුණු රටවල් වල වක්‍ර බදු 20%ක් පමණ බවත් සෘජු බදු 80%ක් පමණ බවත් ගොඩක් අය කියන කතාවක්. මේ කතාව සමාජවාදී කඳවුරේ අය වගේම ලිබරල් කඳවුරේ අයත් කියනවා. කතාවත් ඇත්ත. හැබැයි එහෙම වෙලා තියෙන්නේ ඒ රටවල වක්‍ර බදු ලංකාවට වඩා ගොඩක් අඩු නිසා නෙමෙයි. සෘජු බදු ගොඩක් වැඩි නිසා. ඒ රටවලත් ලංකාවේ වගේම වක්‍ර බදු තිබෙනවා. ඊට අමතරව රටේ වැඩි දෙනෙක්ට ආදායම් බදු ඇතුළු සෘජු බදුත් විශාල ලෙස ගෙවන්න වෙනවා. බදු වැඩි නිසා රට අත ඇරලා යනවා කියලා (බොරුවට) කියන සමහර අයට රට අත හැරලා ගිහින් ලංකාවට වඩා අඩුවෙන් බදු ගෙවන්න ලැබෙන්නේ නැහැ. 

Friday, October 21, 2022

බදු (නො)ගෙවීමේ දේශපාලනය


ආදායම් බදු වැඩි කිරීමත් සමඟම නැවතත් ලංකාවේ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය රටේ දේශපාලනය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබෙනවා. රාජ්‍ය බදු ප්‍රතිපත්තිය කියන්නේ කොහොමටත් ගොඩක් රටවල් වල දේශපාලනය තීරණය කරන ප්‍රධාන කරුණක්. එක පැත්තකින්, ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කියා කියන්නේම බදු ප්‍රතිපත්තිය කියා කියන්න පුළුවන්. 

වත්මන් ලෝකයේ දේශපාලනය ආකෘතිගත වී තිබෙන්නේ ජාතික රාජ්‍ය ලෙසයි. මේ ක්‍රමය තුළ ඕනෑම කෙනෙක් කිසියම් රටක වැසියෙක්. රටක් කියා දෙයක් ඇත්නම් ඒ රටේ රජයකුත් තිබෙනවා. රජයක් ඇත්නම් ඒ රජයේ වියදම් ආවරණය වන ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය වියදම් ආවරණය කර ගන්නා ප්‍රධානම හා සම්මත ක්‍රමය බදු අය කිරීමයි.

බදු කියන්නේ අලුත් දෙයක් හෝ නූතන ලෝකයට අයිති දෙයක් නෙමෙයි. සහශ්‍ර ගණනක සිට පාලකයින් විසින් බදු අය කරනවා. ඓතිහාසික මූලාශ්‍ර වලින් පැරණි ලෝකයේ බදු ගැන පැහැදිලි තොරතුරු හමු වෙනවා. බදු අය කිරීමේ සාධාරණත්වය විවාදිත කරුණක්. මූලධර්ම ගණනාවක් මත බදු අය කිරීම සාධාරණීකරණය කෙරෙනවා. ඒ අතරින් ප්‍රධානම මූලධර්ම දෙකක් ගැන අපි අවධානය යොමු කරමු.

බදු අය කළ යුත්තේ ඇයි?

රජය පවත්වාගෙන යාම - සාමාන්‍යයෙන් අරාජිකවාදීන් කියන්නේ ඕනෑම රටක කුඩා සුළුතරයක්. ඔවුන් හැර වෙනත් බොහෝ දෙනෙකුට කිසියම් අවම හෝ රජයක් අවශ්‍යයි. රජයකට මිස වෙනත් ආයතනික ව්‍යුහයකට වඩා කාර්යක්ෂම සේ පහසුවෙන් කළ නොහැකි ඇතැම් කාර්යයන් තිබෙනවා. නීති සැදීම හා නීතියේ පාලනය පවත්වා ගෙන යාම උදාහරණ ලෙස පෙන්විය හැකියි. රජයක් විසින්ම කළ යුතුයැයි බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා මෙවැනි මූලික කාර්යයන්ගෙන් රටක ජීවත්වන සියල්ලන්ටම එක සේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා, මෙවැනි මූලික කාර්යයන් ඉටු කිරීමේ පිරිවැය රටේ සියලු දෙනාගෙන්ම සම සමව අය කිරීම සාධාරණ ක්‍රමයයි. එහිදී වෙන්නේ රටවැසියන් විසින් තමන් රජයෙන් ලබා ගන්නා සේවාවන් වල මිල රජයට ගෙවීමක්. බොහෝ දෙනෙකු විසින් අසා ඇතැයි සිතන "ඇඟ බද්ද" මෙවැනි බද්දක්. අදාළ බද්ද ගෙවීම සඳහා දුප්පත් පොහොසත් භේදයක් නැතිව කවුරුත් නිශ්චිත පැය ගණනක් රජය වෙනුවෙන් වැඩ කළ යුතු වුනා. එසේ නොකරන්නේනම්, ඒ වෙනුවෙන් අදාළ මිල ගෙවා වැඩ නොකර සිටිය හැකි වුනා.

විෂමතා අවම කිරීම - මෙය සමාජවාදී අදහසක් කියා කිව හැකියි. මෙහිදී සිදුවන්නේ ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීමක්. මෙම බදු අය කිරීම සෘජු ලෙසම කෙරෙන විට එවැන්නක් සෘජු බද්දක් සේ සැලකෙනවා. එසේ නොවන විට වක්‍ර බදු සේ සැලකෙනවා. ඉතා පැහැදිලිව කිව යුතු කරුණක් වන්නේ වක්‍ර බදු වලින් ඉලක්ක කෙරෙන්නේද, එයින් බොහෝ විට සිදු වන්නේද, ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීම බවයි. එහෙත්, මේ කාර්යය සෘජු බදු වලින් කෙරෙන තරම් හොඳින් වක්‍ර බදු වලින් කෙරෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස වැට් බද්ද පෙන්විය හැකියි. මෙය පරිභෝජනය මත අය කෙරෙන බද්දක්. සාමාන්‍යයෙන් වැඩියෙන් පරිභෝජනය කිරීමේ හැකියාවක් ඇති අය වන්නේත්, ඒ නිසාම වැඩියෙන් පරිභෝජනය කරන්නේත් ආදායම් හෝ වත්කම් වැඩි අයයි. ඒ නිසා, හැම විටම මෙන් මෙවැනි වක්‍ර බද්දකින් වෙන්නේත් පොහොසතුන්ගෙන් මුදල් අය කර දුප්පතුන් සුබසාධනය කිරීමක්ම තමයි. එහි අනෙක් පැත්ත සිදු වන්නේ කලාතුරකින්. කෙසේ වුවත්, රටක පරිභෝජන විෂමතා ආදායම් විෂමතා තරම් විශාල නැති නිසා අදාළ කාර්යය සඳහා වක්‍ර බදු සෘජු බදු තරම් කාර්යක්ෂම නැහැ. 

ප්‍රායෝගිකව ඕනෑම රටක දැකිය හැක්කේ එකවර ඉහත මූලධර්ම දෙකම මත පදනම්ව බදු අය කිරීමක්. උදාහරණයක් ලෙස රුපියල් 1000ක හා 5000ක ආදායම් උපයන දෙදෙනෙකු ගැන සිතමු. මේ දෙදෙනා වෙනුවෙන් රජය විසින් සපයන සේවාවන් වල වියදම රුපියල් 3000ක් කියා කියමු. පළමු මූලධර්මය අනුව, රජය විසින් එක් අයෙකුගෙන් රුපියල් 1500ක් බදු ලෙස අය කළ යුතුයි. එහෙත් පළමුවැන්නාගෙන් එවැනි බද්දක් අය කළ නොහැකි බව ඉතාම පැහැදිලියි. ඒ වෙනුවට රජයට 50%ක ආදායම් බද්දක් අය කළ හැකියි. එසේ නැත්නම් පරිභෝජනය මත 100%ක බද්දක් අය කළ හැකියි. මේ දෙන්නාම තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වැය කරනවානම්, පළමුවැන්නා රුපියල් 500ක් වියදම් කරද්දී තවත් රුපියල් 500ක් බදු සේ ගෙවන්නට සිදු වෙනවා. දෙවැන්නාට එලෙසම රුපියල් 2500ක් බදු ගෙවන්න සිදු වෙනවා. ආදායම් බද්දෙන් වෙන්නෙත් එයමයි. 

ඉහත උදාහරණයේදී, අවස්ථා දෙකේදීම (50%ක ආදායම් බද්දක් අය කිරීම හා 100%ක වැට් බද්දක් අය කිරීම) වෙන්නේ දෙවැන්නා විසින් පළමුවැන්නා වෙනුවෙන්ද රුපියල් 1000ක් වියදම් කිරීමක්. පළමු මූලධර්මය අනුව දෙදෙනාටම රුපියල් 1500ක බිලක් වැටෙනවා. දෙවැනි මූලධර්මය අනුව රජය දෙවැන්නාගෙන් රුපියල් 1000ක් අරගෙන පළමුවැන්නාට දෙනවා. සමස්ත ප්‍රතිඵලය පළමුවැන්නාට රුපියල් 500ක බද්දකුත් දෙවැන්නාට රුපියල් 2500ක බද්දකුත් ගෙවන්න වීමයි. 

සෘජු හා වක්‍ර බදු මිශ්‍රණයකින් ඔය ප්‍රතිඵලයම ඉලක්ක කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දකින්.

පළමුවැන්නා 

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 300

පරිභෝජනය = රුපියල් 500

වැට් බද්ද = රුපියල් 200

මුළු බදු = රුපියල් 500


දෙවැන්නා 

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 1500

පරිභෝජනය = රුපියල් 2500

වැට් බද්ද = රුපියල් 1000

මුළු බදු = රුපියල් 2500


ඔය විදිහටම නැතුව වැට් බද්ද 16.67% දක්වා අඩු කරලා ආදායම් බද්ද 40%ක් කරන්නත් පුළුවන්. 

පළමුවැන්නා 

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 400

පරිභෝජනය = රුපියල් 600

වැට් බද්ද = රුපියල් 100

මුළු බදු = රුපියල් 500


දෙවැන්නා 

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 2000

පරිභෝජනය = රුපියල් 3000

වැට් බද්ද = රුපියල් 500

මුළු බදු = රුපියල් 2500


ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් ඔය බදු ක්‍රම හතරම සමානයි.

1. 50%ක ආදායම් බද්දක් 

2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක් 

3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක් 

4. 100%ක වැට් බද්දක් 

හතරෙන්ම අන්තිමට වෙන්නේ එකම දෙයනම්, හොඳම වැඩේ අඩුම වියදමකින් බදු එකතු කර ගත හැකි ආකාරයට වැඩේ කරන එකයි. කොහොමටත් බොහෝ විට රජයක් විසින් බදු එකතු කර ගන්නේ එය කළ හැකි ලේසිම ක්‍රමයටයි. වක්‍ර බදු එකතු කරන තරම් ලේසියෙන් ආදායම් බදු එකතු කරන්න බැරි බව කවුරුත් දන්නා දෙයක්. ඒ වගේම විශාල ආදායම් බදු ප්‍රතිශතයක් පනවන එක දේශපාලනිකව ශක්‍ය නැහැ. අනෙක් පැත්තෙන් විශාල වැට් බද්දක් පනවන එකත් දේශපාලනිකව ශක්‍ය නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව ඉහත උදාහරණය වැනි අවස්ථාවකදී දෙවෙනි තුන්වෙනි ආකාර මිසක් පළමු හෝ අවසන් ආකාරයට රජයක් විසින් බදු අඩු කර ගැනීමට ලොකු ඉඩක් නැහැ.

කොයි විදිහට කළත් අන්තිමට වෙන්නේ පළමුවැන්නාගෙන් රුපියල් 500ක් හා දෙවැන්නාගෙන් රුපියල් 2500ක් එකතු කර ගන්න එකයි. 

මෙහිදී කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්.

"රුපියල් 5000ක් උපයන කෙනාගෙන් රුපියල් 2500ක් ගත්තට කමක් නැහැ. රුපියල් 1000ක් උපයන කෙනාගෙනුත් රුපියල් 500ක් ගන්න එක හරිද?"

වෙනත් කෙනෙකුට මෙහෙමත් කියන්න පුලුවන්.

"මගේ මහන්සියෙන් මම හොයන සල්ලි වලින් රුපියල් 2500ක්ම රජයට දීලා ආපහු ලැබෙන්නේ මොනවාද? අන්තිමට මට ලැබෙන්නෙත් රුපියල් 500 බදු ගෙවන කෙනාට ලැබෙන දෙයමයි!"

පළමුවැන්නාගෙන් නියෝජනය වන්නේ වාමාංශික දේශපාලනය බවත්, දෙවැන්නා දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කරන බවත් දළ ප්‍රකාශයක් ලෙස කියන්න පුළුවන්. තමන් දරන දේශපාලන අදහස් අනුව මේ දෙන්නාම නිවැරදි වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාඥයෙකුට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් හරි අනෙක් එක්කෙනා වැරදියි කියා කියන්න බැහැ. කවුරු හෝ එසේ කියනවානම් කියන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික දේශපාලන මතය මත පදනම්ව පමණයි.

හැබැයි ආර්ථික විද්‍යාඥයෙකුට පැහැදිලිව කියන්න පුළුවන් එක දෙයක් තිබෙනවා. ඒ ඔය දෙන්නා විසින් මොන අනුපාතයට හෝ රජයට රුපියල් 3000ක් දිය යුතු බවයි. මොකද රජයට වියදම් කළ හැක්කේ කාගෙන් හෝ ගන්න සල්ලි පමණයි. සම්පත් ඉබේ මැවෙන්නේ නැහැ. 

ධනවතුන්ගෙන් වැඩියෙන් බදු අය කරන එක සමාජවාදී අදහසක් වුවත්, මේ ක්‍රමය සමාජවාදී අදහස් වලට වඩා පරණයි. හේතු ගණනාවක් නිසා රජයකට ධනවතුන්ගෙන් බදු අය කරන එක වඩා ලේසියි. වඩා වාසියි. ධනවතුන්ගේ ධනය වඩා පැහැදිලිව පේන්න තිබෙනවා. වැඩි දෙනෙකුගෙන් බදු අය කිරීමට සාපේක්ෂව ටික දෙනෙකුගෙන් බදු අය කරන එක පරිපාලනමය ලෙස පහසුයි. ඒ වගේම, මේ මගින් ධනවතුන් රජයට වඩා බලවත් වීම පාලනය කරන්නත් පුළුවන්.

හැබැයි රටක ආර්ථික වර්ධනය ගැන හිතනවානම් වඩා වාසිදායක ධනවතුන්ගෙන් අඩුවෙන් බදු අය කර ඔවුන්ට ධනය එක්රැස් කරගන්න ඉඩ හරින එකයි. වැඩියෙන් ධනය එක්රැස් වන තරමට යමෙකු එම ධනය තව තවත් ධනය උත්පාදනය කිරීම සඳහා ආයෝජනය කරනවා. එම ධනයම විශාල පිරිසක් අතර බෙදී ගිය විට සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාම පමණයි. මේ දෙක අතර තුලනය පවත්වා ගැනීම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. 

ඉහත දෙවන මූලධර්මය සුබසාධනය සේ හැඳින්විය හැකියි. සුබසාධනය හරහා කෙරෙන්නේ පරිභෝජනය වැඩි කිරීමට උදවු කිරීමක්. මෙහි පිරිවැය ධනවතුන්ගෙන් අය කිරීමේදී ඔවුන්ගේ පරිභෝජනය අඩු නොවන නමුත් ආයෝජන පහළ යනවා. 

ලංකාව නිදහස ලැබූ තැන් පටන්ම සුබසාධනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරූ රටක්. අයෙකුට වෙනත් ඇතැම් රටවල් හා සසඳා එය එසේ නොවන බව කිවහැකියි. මම මේ කතාව කියන්නේ ලංකාවේ තත්ත්වයන්ට සාපේක්ෂව. විශේෂයෙන්ම රට තුළ සිදුවන ධනෝත්පාදනයට සාපේක්ෂව. 

ලංකාව විසින් සිදු කළ මට්ටමේ ඉහළ රාජ්‍ය සුබසාධන මට්ටමක් පවත්වා ගන්නනම් ඒ මට්ටමින්ම බදුද අය කළ යුතුයි. එහෙත්, ලංකාව එසේ කළේ නැහැ. ඒ වෙනුවට කළේ දිගින් දිගටම ණය ගෙන ණය වියදම් කිරීමයි. මේ ක්‍රමයෙන් ධනවතුන් මෙන්ම දුප්පතුන්ද සතුටු කළ හැකි වුනා. දුප්පතුන් රාජ්‍ය සුබසාධනයෙන් යැපෙනවා. ධනවතුන් ඒ වෙනුවෙන් බදු ගෙවන්නෙත් නැහැ. දිගින් දිගට යන්න බැරුව කඩා වැටුනේ මේ ක්‍රමය.

මෙහෙම කිවුවත් දුප්පතුන් හා ධනවතුන් ලෙස මිනිස්සුන්ව ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. රටේ හැම දෙනෙක්ම වක්‍ර ලෙස හෝ රජයට බදු ගෙවනවා. නමුත් රටේ බොහෝ දෙනෙක් ඊට වඩා වැඩි දෙයක් රජයෙන් ලබා ගන්නවා. ශුද්ධ ලෙස රජයට බදු ගෙවන පිරිස 10%කට අඩුයි. ඇතැම් විට 5%කටත් අඩුයි. ඉතිරි සියල්ලන්ම, කොයි තරම් බදු ගෙවුවත්, සුබසාධනය මත යැපෙන්නන්.  

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට කර ඇති ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව 2019දී ලංකාවේ ජනගහණයෙන් මාසයකට රුපියල් 500 ඉක්මවූ ආදායමක් ලැබූ පිරිස 55%ක් පමණයි. ඒ අයගේ ආදායම් පහත පරිදියි. මේ ආදායම් වලට නූපයූ ආදායම් මෙන්ම, මුදල් නොවන ආදායම්ද ඇතුළත්. බදු අය කළ හැකි ආදායම මීට වඩා 15%කින් පමණ අඩුයි.

ඉහළම 5% - රුපියල් 115,000+

ඉහළම 10% - රුපියල් 79,000+

ඉහළම 15% - රුපියල් 63,396+

ඉහළම 20% - රුපියල් 54,258+

ඉහළම 25% - රුපියල් 47,820+

ඉහළම 30% - රුපියල් 42,678+

ඉහළම 40% - රුපියල් 35,001+

ඉහළම 50% - රුපියල් 28,466+

ඒ වන විට, එනම් 2020 බදු සංශෝධනයට පෙර, ආදායම් බදු ගෙවිය යුතු වූ අවම සීමාව (මසකට) රුපියල් 41,667ක්. ඒ අනුව, රටේ ආදායම් උපයන්නන් අතරින් ඉහලම 32% අතර සිටි අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනා. එහෙත්, මාසික වැටුප් ලැබූ අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනේ ආදායම් උපයන්නන්ගෙන් ඉහළම 7% පමණ අතර සිටියේනම් පමණයි. රටේ ජනගහණයෙන් 45%ක්ම මසකට රුපියල් 500 ඉක්මවන ආදායමක් නූපයූ අය වීමත්, ඉහත ඇස්තමේන්තු බදු අය කළ හැකි ආදායම් නොවීමත් සැලකූ විට මෙසේ ආදායම් බදු ගෙවූ මාසික වැටුප් ලබන්නන් රටේ ජනගහණයෙන් ඉහළම ආදායම් ලැබූ 3%කට පමණ අයත් වූ පිරිසයි. 2020 බදු සංශෝධනයට පෙර පවා ලංකාවේ රජය විසින් වැඩිපුරම ආදායම් එකතු කර ගෙන තිබෙන්නේ වක්‍ර බදු වලිනුයි. ආදායම් සැඟවීම පහසු වුවත්, වියදම් වඩා පාරදෘශ්‍ය නිසා මේ ක්‍රමයට ආදායම් එකතු කර ගැනීමට ලංකාවේ රජය පෙලැඹී තිබෙනවා. 

පරිභෝජනය මත වක්‍ර බදු අය කර ගැනීම මගින්ද යම් තරමකින් ආදායම් විෂමතා අඩු කිරීමක් සිදු වන නමුත් එය ලොකුවට වෙන්නේ නැහැ. ඉහළ ආදායම් ලබන්නන් තමන්ගේ ආදායම මුළුමනින්ම වියදම් නොකර එයින් කොටසක් ඉතිරි කිරීම එයට හේතුවයි. අනෙක් අතට අඩු ආදායම් ලබන්නන් විසින් ණය වී හෝ වෙනත් අයගෙන් ආධාර ලෙස ලබා ගන්නා මුදල් වියදම් කරන විටදීද බදු ගෙවන්නට සිදු වන නිසා ඔවුන්ට ඔවුන්ගෙන් ආදායම් බද්දක් අය කිරීමේදී ගෙවන්නට සිදු වනවාට වඩා වැඩි බදු මුදලක් රජයට ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, වක්‍ර බදු වල බර වුවද වැඩිපුර වැටෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් මත වුවත්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට අඩු ආදායම්ලාභීන් මත වැඩි බරක් වැටෙනවා. 

සෘජු හෝ වක්‍ර බදු අය කිරීම වෙනුවට සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීම ලංකාවේ රජය විසින් දිගින් දිගටම කළ හා 2020-2021 වසර වල ලොකුවටම කළ දෙයක්. මෙයින් වෙන්නේත් වක්‍ර බදු අය කිරීමට තරමක් කිට්ටු දෙයක්. භාණ්ඩයක් මත වක්‍ර බද්දක් අය කිරීමේදී එම භාණ්ඩයේ මිල ඉහළ යනවා. සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලය වන උද්ධමනය හරහා සිදු වන්නේද එයමයි. මෙහි බර ජනතාව මත පැටවෙන්නේ පරිභෝජනයට අනුපාතිකවයි. වක්‍ර බදු වලදී මෙන්ම මෙහිදීද වැඩියෙන් පරිභෝජනය කරන වැඩි ආදායම්ලාභීන්ට වැඩි පාඩුවක් වන නමුත් ආදායමට සාපේක්ෂව වැඩි බරක් වැටෙන්නේ අඩු ආදායම්ලාභීන් මතයි. 

මීට අමතරව, තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය නොකරන, එයින් කොටසක් ඉතිරි කර ආයෝජනය කරන, ඒ නිසාම සැලකිය යුතු තරම් වත්කම් ඇති, ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් වල වටිනාකම හා එම වත්කම් වලින් ලැබෙන ප්‍රතිලාභද උද්ධමනය සමඟ ඉහළ යන නිසා බොහෝ විට උද්ධමනය ඉහළ ආදායම් ලබන්නට වාසිදායකයි. 

රුපියල් ලක්ෂය බැගින් වැටුප් ලබන දෙදෙනෙකු සිටින පවුලක් ගැන හිතමු. මේ පවුලේ මාසික වියදම රුපියල් 120,000 වන අතර ඉතිරි රුපියල් 80,000 ඉතිරි කිරීම් ලෙස අපි උපකල්පනය කරමු. මේ විදිහට වසර පහක් පමණ තිස්සේ ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 50ක් මේ පවුල සතුව තිබෙනවා කියා සිතමු. පොලිය 6% සේ සැලකුවොත් ඔවුන්ගේ මෙම වත්කම් මාසයකට රුපියල් 25,000කින් ඉහළ යනවා. ඒ කියන්නේ වැටුප් වලට අමතරව එපමණ ආදායමක් ලැබෙනවා. දැන් උද්ධමනය 30%ක් වී පොලී අනුපාතිකද 30% වුනොත් වෙන්නේ කුමක්ද? මාසික වියදම රුපියල් 36,000කින් ඉහළ යද්දී පොලී ආදායම රුපියල් 100,000කින් ඉහළ යන එකයි.

උද්ධමනය 60%ක් වෙද්දී තමන්ගේ ආදායමෙන් 50%ක් පමණක් වියදම් කරන අයෙකුගේ වියදම් ඉහළ යාම නිසා සිදු වූ පාඩුව ආවරණය වීමට 30%කින් ආදායම ඉහළ යාම ප්‍රමාණවත්. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය තරමටම වැටුප් ඉහළ ගියහොත් එවැන්නට විශාල වාසියක් සැලසෙනවා. ප්‍රමාණවත් ඉතිරි කිරීම් ඇති අයටද එවැනිම වාසියක් සැලසෙනවා. උද්ධමනයෙන් ලොකුවටම බඩට වදින්නේ ආදායම් අඩු, ඉතිරි කිරීම් අඩු අයටයි. ඒ අතින්, උද්ධමනය වක්‍ර බදු වලටත් වඩා ආදායම් විෂමතා වැඩි කරනවා.

පෙර ලිපියකද පැහැදිලි කළ පරිදි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටේ වියදම් වැඩි වෙන්නේ නැහැ. ඒ, එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක්ද වන නිසා. එහෙත්, උද්ධමනය නිසා රට ඇතුළේ එක් අයෙකු සතු වත්කම් වෙනත් අය වෙත විතැන් වීමක් සිදු වෙනවා. බදු අය කිරීමේදී රජය විසින් කරන දෙයමයි. බදු අය කරන විට රජයකට සැලසුම්සහගත ලෙස ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් අඩු ආදායම්ලාභීන් කරා විතැන් වෙන පරිදි එය කළ හැකියි. උද්ධමනය මගින් අයවැය පියවා ගැනීමේදී බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. එනම් දුප්පතුන්ගේ ධනය ධනවතුන් වෙත විතැන් වීමයි. 

ලංකාව කාලයක් තිස්සේම කළේ රාජ්‍ය වියදම් දරාගත නොහැකි මට්ටමක පවත්වා ගනිමින් බදුද අය නොකර සල්ලි අච්චු ගැසීම හා විදේශ ණය ගැනීමයි. කාලයක් තිස්සේම මේ වැඩේ කළ නිසාත්, ආර්ථික විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් පරිදි රටේ ආර්ථිකය කඩා නොවැටුණු නිසාත්, මේ වැඩේ දිගින් දිගටම කළ හැකිය යන මුලාව ලංකාව තුළ ජනගත වී තිබෙනවා. දේශපාලනඥයින් විසින් බලය ලබා ගැනීමේ අරමුණින් මෙය දිගටම කළ හැකි දෙයක් සේ ඒත්තු ගැන්වීමද මෙයට හේතුවක්. මාස හයකට පෙර සිදු වූ කඩා වැටීම මේ ගමනේ ගමනාන්තයයි. දැන්වත් ලංකාව අලුත් ගමනක් යා යුතුයි.

යහපාලන ආණ්ඩුව කාලයේ මේ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා යම් උත්සාහයක් දරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස බදු වැඩි වුනා. ආර්ථික වර්ධනය අඩු වුනා. බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයින්ට, තමන්ගේ පරිභෝජනය සීමා වන බවක් දැනුනා. ගෝඨාභය ආණ්ඩුවේ බදු කැපීම අහම්බයක් නෙමෙයි. තනි මතයට ගත් තීරණයකුත් නෙමෙයි. ඒ මොහොතේ ලංකාවේ දේශපාලනය විසින් ඉල්ලා සිටි දෙය.

රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය ගිලිහුනේ බැඳුම්කර සිද්ධිය හෝ පාස්කු ප්‍රහාරය නිසා පමණක් නෙමෙයි. ඒ පසුපස ආර්ථික සාධක තිබුණා. යහපාලන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය රටේ බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. ආණ්ඩුව වෙනස් වීමට බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීමේ පොරොන්දුවද විශාල ලෙස දායක වුනා. 

පොරොන්දු වූ පරිදිම බදු අඩු වුනා. රටේ මිනිසුන්ගේ අතේ වැඩියෙන් සල්ලි ගැවසෙද්දී ඔවුන්ගේ ක්‍රය ශක්තිය ඉහළ ගියා. එහෙත්, එයින් සිදු වුනේ රටේ නිපදවන සීමිත භාණ්ඩ හා සේවා සඳහා තරඟය වැඩි වී උද්ධමනය ඉහළ යාම පමණයි. ඒ සමඟම කෘතීම ලෙස ඉහළ දමනු ලැබූ ක්‍රය ශක්තිය නැවතත් තිබිය යුතු මට්ටමට වැටෙමින් තිබෙනවා. මෙය අවසන් වන්නේ රටේ හැම දෙනෙකුගේම ක්‍රය ශක්තිය කලින් මට්ටමටම පැමිණීමෙන් පසුව නෙමෙයි. උද්ධමනය විසින් දුප්පතුන්ගේ ක්‍රය ශක්තිය අඩු කර ධනවතුන්ගේ ක්‍රය ශක්තිය තවත් වැඩි කරනවා. 

පවතින වාතාවරණය තුළ 2019දී පැවති බදු ක්‍රමය වෙත නැවත ආපසු යාම විසඳුමක් වන්නේ නැහැ. මේ වන විට රටේ දුප්පතුන් තවත් දුප්පත් වෙලා. ධනවතුන් තවත් ධනවත් වෙලා. මෙය නිවැරදි කළ හැක්කේ 2019 ආදායම් බදු ක්‍රමය ඉක්මවා යන ගැලපීමකින් පමණයි. මේ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය රට ඇතුළෙන් ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. එවැන්නක් අපේක්ෂා කරන්නත් අමාරුයි. 

විකල්ප නැති විරෝධතා දේශපාලනය සරලයි. පහසුයි. අරගලය තුළ මේ විකල්ප නැති විරෝධතා දේශපාලනයට එරෙහි පෙළඹුමක් දැකිය හැකි වුනත්, දැන් නැවතත් දැකිය හැක්කේ තම තමන්ගේ දේශපාලන කඳවුරු වෙත ගාල් වී සිටින ජනතාවක්. 

මතු සම්බන්ධයි. 

Friday, October 14, 2022

මධ්‍යම පන්තිය හාන්සිද?


ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. 

පළමු රුපියල් 1,200,000 - 0%

ඊළඟ රුපියල් 500,000 - 6%

ඊළඟ රුපියල් 500,000 - 12%

ඊළඟ රුපියල් 500,000 - 18%

ඊළඟ රුපියල් 500,000 - 24%

ඊළඟ රුපියල් 500,000 - 30%

එතැන් සිට  - 36%

කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු  නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.

පළමු රුපියල් 3,000,000 - 0%

ඊළඟ රුපියල් 3,000,000 - 6%

ඊළඟ රුපියල් 3,000,000 - 12%

එතැන් සිට  - 18%  

අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%

හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ. 

වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.

"Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."

මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.

ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි. 

"ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."

- අනුර කුමාර දිසානායක

ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.

අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ වෙනස තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.

පළමු රුපියල් 500,000 - 0%

ඊළඟ රුපියල් 600,000 - 4%

ඊළඟ රුපියල් 600,000 - 8%

ඊළඟ රුපියල් 600,000 - 12%

ඊළඟ රුපියල් 600,000 - 16%

ඊළඟ රුපියල් 600,000 - 20%

එතැන් සිට  - 24%

වැටුප් ලෙස ලබන ආදායම් (රුපියල් 700,000 දක්වා) - 0%

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මාසික ආදායම රුපියල් 41,167 ඉක්මවූ අයට බදු ගෙවන්නට සිදු වුනා. වැටුප් ලෙස ආදායම් ලැබූ අයගේ මෙම සීමාව තවත් රුපියල් 58,833ක් දක්වා ඉහළ යා හැකිව තිබුණත්, මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවූ අය අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුනා. 2020දී මෙම සීමාව රුපියල් 250,000 දක්වා ඉහල දැමුණු අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් ආදිය වෙනුවෙන් කළ වියදම් මත අදාළ සීමාව රුපියල් 350,000 දක්වා ඉහළ ගියා. ඒ අනුව, විශාල පිරිසක් බදු දැලෙන් එළියට විසි වුනා. ඉතිරිව සිටි අයටත් ගෙවන්න සිදු වුනේ අඩු බදු ප්‍රමාණයක්. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ත්තිය වත්මන් ආර්ථික අර්බුදයට දායක වූ බව පුළුල් ලෙස පිළිගැනෙන අදහසක්. එම තීරණය එජාප, සජබ, ජවිපෙ/ජාජබ, 43 බලකාය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රේණිගත කිරීම් ආයතන වල මෙන්ම දේශීය හා විදේශීය ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ වෙද්දී, මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධව ඒ වෙනුවෙන් මුලින් පෙනී සිටි බොහෝ දෙනෙකු විසින්ද ස්වයං විවේචනයක් කර අවසන්. අදාළ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්. දැන් සිදුව ඇත්තේ එයයි .

මේ අයුරින් බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බලපාන්නේ කාටද?

පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ  (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ. 

මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි.

රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි.

දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි.

මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක්  කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ. 

ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින්  පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි. 

මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා.මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්.

කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ. 

සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි. 

රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්‍රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්. එහෙත් අයවැය හිඟය අඩු කර ගන්න එක තනි ක්‍රියාමාර්ගයකින් පමණක් කළ නොහැකි දෙයක්. ඒ සඳහා මේ ආකාරයේ ආදායම් වැඩි කරගැනීම් එකින් එක කරන්නම වෙනවා. වියදම් පාලනය ගැනත් හිතන්න වෙනවා. 

නැවතත් බදු දැලට අසුවන කණ්ඩායම රටේ ජනගහණයෙන් 2-3%කට නොවැඩි පිරිසක් වුවත්, ඔවුන් දේශපාලනික ලෙස බලවත්ම කණ්ඩායමක්. මේ පිරිස අරගලයේද ගාමක බලවේගයක්ව සිටියා. සෘජු බදු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි විපක්ෂයේ පක්ෂ වලට හදිසියේම බදු විරෝධයක් පහළ වී තිබෙන්නේ මේ කණ්ඩායම සතු දේශපාලන බලය නිසයි.

වෙබ් ලිපිනය: