වෙබ් ලිපිනය:

Monday, October 24, 2022

සෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම


සමහර අය කියන්නේ තමන් බදු ගෙවන්නට අකැමැති බදු වලට සරිලන සේවයක් රජයෙන් නොලැබෙන නිසා බවයි. ඒ අයගෙනුත් සමහර අය වක්‍රව නොව සෘජුවම කියන්නේ ගෙවන බදු වලට සරිලන සේවයක් ලැබේනම් බදු ගෙවන්නට සූදානම් බවයි. 

මේවා ඇත්තටම විහිළු කතා. ඔය ධනවත් රටවල ඉන්න මිනිස්සු ලොකුවට බදු ගෙවන්නේ ඒ බදු වලට සරිලන සේවයක් රජයෙන් ලැබෙන නිසා නෙමෙයි. බදු නොගෙවා ඉන්න පුළුවන්කමක් නැති නිසා. නීතියේ හිල් වලින් රිංගා බදු නොගෙවා ඉන්න පුළුවන්නම් හැම දෙනෙක්ම වගේ එසේ කරනවා. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහැ.

බදු කියා කියන්නේම නීත්‍යානුකූල බලහත්කාරයක්. එහෙම නැතුව පන්සලකට, පල්ලියකට සල්ලි දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඇමරිකානු පුරවැසිකම අත හැර රටින් යන බොහෝ දෙනෙක් එසේ කරන්නේ බදු නොගෙවා සිටීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වගේම, සාමාන්‍ය ආදායමක් ලබන ගොඩක් අය ඩොලර් දෙතුන් සීයක් ගෙවලා බදු උපදේශකයෙකු ලවා තමන්ගේ බදු වාර්තා පිළියෙළ කර ගන්නවා. මමනම් කවදාවත් මේ වැඩේ කරලා නැහැ. මෙහෙම කරන අය කියන්නේ ගෙවන ගාණට වැඩේ ලාබයි කියලා. ඒ කියන්නේ ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් බදු අඩු වෙන විදිහට මේ අය වාර්තා හදා දෙනවා කියලා. 

ප්‍රජාතන්ත්‍රවාදී රටවල රජයයන්ට මේ විදිහට බලහත්කාරයෙන් ලොකු බදු අය කරන්න හැකි වී තිබෙන්නේ එය රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත නිසා. බදු වලින් සුබසාධනය වන අය ලොකු බදු වලට කැමතියි. මොකද ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත්, හැමෝටම ඒ වාසිය ලැබෙන්නේ නැහැ. සුබසාධනය වෙන අය ඉන්නවානම් සුබසාධනය කරන අයත් සිටිය යුතුයි. රජයට කළ හැක්කේ එක් අයෙකුගේ දෙයක් අරගෙන තවත් අයෙකුට දෙන එක පමණයි.

රටේ වැඩි දෙනකුට රජයෙන් ලැබෙන දෙයට වඩා වැඩියෙන් බදු ගෙවන්න වෙනවානම් ඒ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජයේ තීරණය වෙනස් කරන්න පුළුවන්. නමුත්, ඒ පිරිස සුළුතරයක්නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන්ට බහුතරයේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසාම සාමාන්‍යයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉන්න අයගෙන් 50%කට වඩා වැඩි පිරිසක් සුබසාධනය වෙනවා. ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත් ඉතිරි පිරිසට ඒ අයගේ බරට කර ගහන්න වෙනවා. 

අනෙක් අතට මේ ප්‍රමාණය 50%ට වඩා ගොඩක් වැඩි වෙන්නෙත් නැහැ. එහෙම වුණාම ඉතිරි වන බදු ගෙවන පිරිස අඩු නිසාත්, ඔවුන්ගෙන් ගන්නා දේ වැඩි දෙනෙකු අතර බෙදී යන නිසාත් සුබසාධනය පවත්වා ගන්න බැරි වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ හරියටම ඕකයි. 

ලංකාවේ ගොඩක් අයගේ පරමාදර්ශී රටවල් ස්කැන්ඩිනේවියානු රටවල්. ඒ රටවල රාජ්‍ය සුබසාධනය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් බදු ගොඩක් වැඩියි. පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරක 2021 වසරේ ඒක පුද්ගල ආදායම සහ රටේ ඒක පුද්ගල ආදායමට සමාන ආදායමක් උපයන අයෙකු විසින් ආදායම මත ගෙවිය යුතු වූ බදු ප්‍රමාණය. වත්කම් බදු ආදී අනෙකුත් සෘජු බදු වෙනම තියෙනවා. සංසන්දනය කිරීම සඳහා සෝමාලියාව හා ලංකාවත් එකතු කර තිබෙනවා. 

ඩෙන්මාර්කය 

ඒක පුද්ගල ආදායම - ඩෙනිෂ් ක්‍රෝන 430,793

බදු - ඩෙනිෂ් ක්‍රෝන 166,829

බදු ප්‍රතිශතය - 38.7%


ස්වීඩනය 

ඒක පුද්ගල ආදායම - ස්වීඩිෂ් ක්‍රෝන 523,000

බදු - ස්වීඩිෂ් ක්‍රෝන 168,772

බදු ප්‍රතිශතය - 32.3%


නෝර්වේ 

ඒක පුද්ගල ආදායම - නෝර්වීජියන් ක්‍රෝන 757,587

බදු - නෝර්වීජියන් ක්‍රෝන 198,271

බදු ප්‍රතිශතය - 26.2%


ෆින්ලන්තය 

ඒක පුද්ගල ආදායම - යුරෝ 45,372

බදු - යුරෝ 13,993

බදු ප්‍රතිශතය - 30.8%


සෝමාලියාව 

ඒක පුද්ගල ආදායම - ඇමරිකන් ඩොලර් 459.0

බදු - ඇමරිකන් ඩොලර් 15.5

බදු ප්‍රතිශතය - 3.4%


ශ්‍රී ලංකාව 

ඒක පුද්ගල ආදායම - රුපියල්  758,680

බදු - නැත 

බදු ප්‍රතිශතය - 0%

ලංකාවට වඩා බොහෝ දුප්පත් රටක් වන සෝමාලියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 200 ඉක්මවන අය (මසකට රුපියල් 6000ක් පමණ) ආදායම් බදු ගෙවිය යුතුයි. මෙය එරට ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් වඩා අඩු මුදලක්. එහෙත්, ආදායම් බදු වෙනස් කිරීමෙන් පසුවද ලංකාවේ ආදායම් බදු ගෙවිය යුත්තේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 ඉක්මවන්නේනම් පමණයි. 

විශාල ප්‍රතිශත වලින් ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියානු රටවල් වක්‍ර බදු අය කරන්නේ නැද්ද? මේ එම රටවල වැට් බදු අනුපාතිකයි.

ඩෙන්මාර්කය - 25%

ස්වීඩනය - 25%

නෝර්වේ - 25%

ෆින්ලන්තය - 24%

සෝමාලියාව - 10%

ශ්‍රී ලංකාව - 15%

වැට් බදු අනුපාතය වැඩි කිරීමෙන් පසුවත් ලංකාවේ බදු අනුපාතය කිට්ටු සෝමාලියාවේ අනුපාතයට මිසක් ස්කැන්ඩිනේවියානු රටවල අනුපාතයට නෙමෙයි! වැඩියෙන් සෘජු බදු අය කරන රටවල් එහෙම කළා කියලා වක්‍ර බදු අඩු කරන්නේ නැහැ. ඒ රටවල වක්‍ර බදුත් එලෙසම තියෙනවා. මුළු බදු ප්‍රමාණයෙන් වක්‍ර බදු අනුපාතය පහළ ගිහින් තියෙන්නේ සෘජු බදු විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මිසක් වක්‍ර බදු අඩු වී ඇති නිසා නෙමෙයි. 

පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරේ 2021 වැට් බදු ආදායම එම රටවල දදේනි අනුපාතයක් ලෙස.

ඩෙන්මාර්කය - 14.0%

ස්වීඩනය - 11.2%

නෝර්වේ - 11.4%

ෆින්ලන්තය - 13.5%

මේ රටවල සෘජු බදු පැත්තකින්ම තිබ්බත් වැට් බදු ආදායමම පමණක් ලංකාවේ සෘජු හා වක්‍ර බදු සියල්ලෙන්ම රජය එකතු කරගන්නා ආදායම් ප්‍රතිශතයට වඩා වැඩියි. පහළින් තියෙන්නේ මේ රටවල සමස්ත බදු ආදායම දදේනි ප්‍රතිශතයක් විදිහට. සෝමාලියාවට වඩානම් ලංකාව පොඩ්ඩක් හොඳයි.

ඩෙන්මාර්කය - 46.5%

ස්වීඩනය - 42.6%

නෝර්වේ - 33.6%

ෆින්ලන්තය - 41.9%

සෝමාලියාව - 2.2%

ශ්‍රී ලංකාව - 7.7%

ස්කැන්ඩිනේවියානු රටවල් අත දිග හැර වියදම් කරන්නේ බදු ලෙස අනෙක් පැත්තෙන් එකතු කරගන්නා මුදල්. බොහෝ විට එම රටවල් වියදම් කරන්නේ එකතු කර ගන්නා බදු ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි. පහත තියෙන්නේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස මේ රටවල වියදම.

ඩෙන්මාර්කය - 93.3%

ස්වීඩනය - 93.5%

නෝර්වේ - 80.1%

ෆින්ලන්තය - 112.1%

සෝමාලියාව - 126.2%

ශ්‍රී ලංකාව - 240.6%

ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් 2021 වසරේදී ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ ෆින්ලන්තය පමණයි. ලංකාවට සාපේක්ෂව සෝමාලියාව පවා වියදම් කළමනාකරණය කරගෙන තිබෙනවා. ඉහළ සුබසාධනයක් අවශ්‍යනම් පිරිවැය ආවරණය වන බදු ආදායමක් තිබිය යුතුයි. බදු ආදායම් වැඩි කරගත නොහැකිනම් ආදායමට ගැලපෙන සේ සුබසාධනය සීමා කළ යුතුයි. අඩු බදු ආදායමක් ලබන සෝමාලියාව අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වියදම් කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.

රජයේ අධ්‍යාපන වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 11.1%

ස්වීඩනය - 14.6%

නෝර්වේ - 12.8%

ෆින්ලන්තය - 12.3%

සෝමාලියාව - 3.7%

ශ්‍රී ලංකාව - 21.2%


රජයේ සෞඛ්‍ය වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 17.0%

ස්වීඩනය - 17.5%

නෝර්වේ - 14.8%

ෆින්ලන්තය - 13.7%

සෝමාලියාව - 5.6%

ශ්‍රී ලංකාව - 26.4%


අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් එකතුව 

ඩෙන්මාර්කය - 28.1%

ස්වීඩනය - 32.1%

නෝර්වේ - 27.6%

ෆින්ලන්තය - 26.0%

සෝමාලියාව - 9.1%

ශ්‍රී ලංකාව - 47.7%

ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලංකාවේ රජය බදු ලෙස එකතු කර ගන්නා මුදලින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැය කරන ප්‍රතිශතය හැම ස්කැන්ඩිනේවියානු රටකටම වඩා වැඩියි. නමුත් බදු ආදායම අඩු නිසා ඒ වගේ ප්‍රතිශතයක් වෙන් කරලා වුනත්  ස්කැන්ඩිනේවියානු රටවල මට්ටමට එන්න බැහැ.

සරලවම කිවුවොත්, සෝමාලියානු බදු වලින් ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කරන්න බැහැ.  ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කළ හැක්කේ ස්කැන්ඩිනේවියානු බදු වලින් පමණයි.

(Image: Vigeland park, Oslo) 

22 comments:

  1. ලංකාවේ බදු එකතුව අඩු බදු ප්‍රතිශතය නිසා පමණක්ද? මගේ නම් අදහස රටේ සේවක ප්‍රමාණයෙන් බදු ගෙවන ප්‍රතිශතය ඉතා කුඩා ගණනක් වීමයි. රජයේ සේවයේ කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. රටේ ජනගහණයෙන් 7% ක් ම සේවය කරන්නේ රජයේ සේවයේ. බොහෝ රටවල ආදායම කුමක් වුණත් සුළු බද්දක් හෝ අයවෙනවා. ලංකාවෙත් රුපියල් ලක්ෂය දක්වා ආදායම් වලට 2% වැනි සුළු බද්දක් හෝ අයකල යුතුයි. අනික් කාරණාව නොමිලේ සපයන සේවා පුද්ගලයාගේ ආදායම මත බල නොපෑම. එක්තරා ආදායම් මට්ටමකින් පහල සිටින අයට පමණක් නොමිලේ සේවා සපයා අන් අයගෙන් යන වියදමෙන් කොටසක් හෝ අයකර නොගැනීම. ඒ වගේම පලාත් පාලන ආයතන වල වියදම පියවා ගැනීමට හැකි මුදලක් රේට්ස් මඟින් අයකර නොගැනීම. අවසාන කරුණ රජයකින් කල යුතු නොවන ව්‍යාපාරික කටයුතු එමඟින් සිදුකර ඒවායේ අලාභය පියවීමට රජයේ මුදල් පාවිච්චිය. උදා ශ්‍රීලංකන්, ඛනිජ තෙල්, උසස් අධ්‍යාපනය, විදුලිය, බස්, දුම්රිය, ජලය, ගුවන් තොටුපලවල්, වරායවල්.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔය අදහස නිෂ්ඵල එකක්, රජයේ සේවකයන්ට සහ අඩු ආදායම්ලාභී අයට 2% ක් විතර බදු ගහන එක දෙකටම නෑ ඔය ඉකොනොමැට්ටා කියල තියෙන්නේ අවම වශයෙන් අය කළ යුතු බදු ප්‍රතිශතය, ඕකෙන් ලැබෙන සොච්චම් මුදලින් රජයේ ආදායම් කවර් කරන්න බෑ

      අනික් පැත්තෙන් සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායා කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති තුමාවන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාවේ රනිල් රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍රවිරෝදී රෙජීමය මහජනතාවගෙන් නිල වශයෙන් මංකොල්ල කන මේ අධික බදු බර ගැන ඉතාමත් මැනැවින් පැහැදිලි කරනවා මේක බලලා දැනුවත් වෙන්න

      ///ලෙඩා මළත් බඩ සුද්දයි තියරියට වැඩ කරන්න එපා.

      මුළු රටම දුප්පත් වෙලා. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒක නිසා බදු ගහනකොට හිතන්න වෙනවා කොච්චර බදු ගහන්න පුලුවන්ද කියලා? ගහන බද්ද ජන සමාජයට දරන්න පුලුවන් වෙන්න ඕන. ලෙඩා මළත් බඩ සුද්දයි කියන තියරියට බදු ගහන්න හොඳ නෑ.

      ඒකයි අපි කියන්නේ මේ බදු පිළිබඳව විවෘත සංවාදයක් සහ විශ්ලේෂණයක් අවශ්‍යයයි කියලා. මේ සම්බන්ධයෙන් විනිවිදභාවයක් අවශ්‍යයයි. බදු අවශ්‍ය බව ඇත්ත තමයි ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් අවශ්‍යයයි. හැබැයි, ඒවා මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕන. මේවගේ කිසිම විදිහකින් මහජනතාවට දරා ගන්න බැරි තරමට අධික බදු බර නිසා විශාල පිරිසක් බරපතල ලෙස අපහසු තාවයට පත් කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ

      - ආචාර්ය හර්ෂ ද සිල්වා

      සම්පුර්ණ මාධ්‍ය සාකච්ඡාව:

      https://bit.ly/3gBQ1lm

      #HarshadeSilva #SriLankaEconomicCrisis #Lka/

      ඒ වගේම තමයි ලංකාවේ රජයේ ආයතන පෞද්ගලික අංශයට ලබා දීම වරදක් නැහැ ඒත් රටේ ජාතික ආරක්ෂාව සහ අනාගතය පිළිබඳ කල්පනා කරලා ඒක කරන්න ඕනි මේ දවස් වල තියෙන ගෝලීය ආර්ථික අර්බුදය එක්ක ලංකාවේ රජයේ ආයතන මිලදී ගැනීමට යුරෝපීය හෝ ඇමරිකානු සමාගම් වලට එන්න පුළුවන් තත්වයක් නෑ ඒ රටවල් විශාල අර්බුදකාරී තත්ත්වයක් තියෙන නිසා නමුත් ඒ වගේ තත්වයක් යටතේ චීන සමාගම් ලංකාවේ වටිනා සම්පත් ආයතන කුණු කොල්ලයට මිලදී ගෙන ලංකාව චීන කොළණියක් බවට පත් කරාවි ඔබ ඊට කැමතිද? ඒ නිසා මේ වෙලාවේ මීට වඩා ගොඩාක් පරිස්සමින් රජයේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව මත ලංකාවේ අනාගත ආර්ථිකය ගැන තීරණය වෙනවා මම හිතන්නේ ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට මේ අධික බදු සහ රජයේ ආයතන චීන ඉන්දීය සමාගම් වලට විකිණීම සමගින්

      Delete
  2. can i get the source of this figures

    ReplyDelete
    Replies
    1. Not a single source. Government statistical agencies, MoFs and central banks of respective countries and KPMG among others.

      Delete
    2. Than you for your efforts.

      Delete
  3. //ඒක පුද්ගල ආදායම - රුපියල් 758,680//

    නමට ගණන් හෙව්වට කිසි පලක් නැත
    මෙහෙම කියනමුත් අමනාපෙකුත් නැත
    ඒපුආ ගණන හරි නැති xකක් වෙත
    දහයක් විතර ඇත්තොය අනිකුන්ට නැත

    ReplyDelete
  4. ලංකාවේ indirect tax කියල 15% VAT විතරක් ගන්න එක සාධාරණද?
    තව import duty- 25%, Cess- 5%, PAL- 10%, එහෙමත් තියෙනවා නේද?

    ReplyDelete
  5. දැන් මේක කියපු ගමන් එලෝමෙලෝ නැතුව අයියාමලෝ සෙට් එක බැන බැන කමෙන්ට් දාන එක ස්වභාවිකයි. හැබැයි නිකමට කල්පනා කළාම රනිල් ලොක්කා සෑහෙන ගොඩදැමිල්ලක් ගොඩදාලා තියෙනවා කියලා මට හිතෙනවා. පෙට්‍රල් ගෑස් පෝලිම් නැති එක තමයි ලොකුම දේ. රට එකතැන කඩාවැටෙන්නයි තිබුනෙ. හදුන්නෙත්තිලා පවා කතා කලේ හිනාවෙවී පෝලිම් වල ඉන්න යුගයක් ගැන මිස පෝලිම් ඉවර කිරිල්ලක් ගැන නෙමෙයි. විදුලිය කපන එකත් සෑහෙන දුරට පාලනය වුනා. ආපහු ගෑස් පෙට්‍රල් මිළත් ටික ටික අඩුවෙනවා. සංචාරක කර්මාන්තෙ මිනිස්සු සීසන් එකට උනන්දුවෙන් ලෑස්ති වෙනවා. මොනවා වුනත් රට ආපහු රෝද කරකැවෙන මට්ටමට ගත්තා. අනිත් පැත්තෙන් විපක්ෂයට එකට විරෝධයක්වත් කරගන්න බැරි තත්වෙට දුර්වල වුනා. මිනිස්සු පාරට බහින්න ලෑස්ති නෑ. දෙසැම්බර් පුළුවන් විදිහට උත්සව සමය සමරන්න ලෑස්ති වෙනවා. ඉරිසියා හිතක් නැති මට නං තනි මිනිහෙක් හොරු රොත්තක් එක්ක මේ ගහන ඉණිම විශිෂ්ටයි නොකියා බෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් උන් චන්දයක් ඉල්ල ඉල්ල කෑමොර දෙනවා මිස මොනවද රටට කරන්නෙ කියන එකයි.

    ReplyDelete
  6. මිනිසුන්ට දැන් අමතකයි තෙල් පෝලිමේ හිටපු හැටි, දවසේ පැය 24 න පැය 14 ක් ලයිට් නැතුව හිටපු හැටි, ගෑස් නැතුව මාස ගණන් හිටපු හැටි.

    ඉතින් ඒ නිසා ඉහත කී ප්‍රශ්න ඇති වීමට හේතුවට බෙහෙත් දෙන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බදු සංශෝධන ගෙනත් සුදානම් උනාට මිනිස්සු ඕකට කැමති වෙන්නේ නැහැ. විපක්ෂයේ පක්ෂ මිනිසුන්ව මුලා කොට අවුස්සනවා.

    බදු පනත ක්‍රියාත්මක කිරීම සමග නැවත මිනිස්සු පාරට බහියි. ලේ විලක් වෙයි රට.
    අඩුම ගානේ ඉකොනෝමැට්ටා මේ වගේ දැනුවත් කරන සේවය ආණ්ඩුවෙන් කරන්න ඕනි එකක්. ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලාගෙන් එහෙම එකක්වත් වෙන්නේ නැහැ. ආණ්ඩුවෙන් ඉකොනෝ වගේ මේක පැහැදිලි කරලා දෙනවා නං මිනිස්සු පිළිගනියි.
    ඉකොනොගේ වෑයම අගය කරනවා. ඒත් මෙය සීමිත පිරිසක් අතරේ පමණක් යැමයි අවාසනාව අපගේ.

    ReplyDelete
  7. කරුණාකර කොමෙන්ට් වෙරිෆෙකේෂන් අයින් කරන්න

    ReplyDelete
    Replies
    1. ඇනෝ, එක් පුද්ගලයෙක් විසින් මට සම්බන්ධයක් නැති තෙවන පාර්ශ්වයකට අපහාස කරමින් දිගින් දිගටම අසභ්‍ය ප්‍රතිචාර දමනවා. මට බල බල ඒවා ඉවත් කරන්න වෙලාවක් නැහැ.

      Delete
    2. ඔය කියනා එක් පුද්ගලයෙක් ඉකොනොට අදාල නොවන තෙවෙනි පාර්ශවයකට අපහාස කිරීමේ අරමුණම ඉකොනොගේ බ්ලොග් එකේ මේ නිශ්චිත මොහොතේ වැදගත් වන සාකච්ජාවක් නවතා දැමීමම වෙන්න බැරිද? බහුතරය ගැන සිතන්න. ස්තුතියි.

      Delete
    3. ඉකොනෝ, අදාල නොවන කොමෙන්ට් දමමින් බ්ලොග් වල කොමෙන්ට් තීරුව අල කිරීමේ අරමුණම තමයි බ්ලොග් හී කොමෙන්ට් ඔස්සේ සාකච්ජාවක් සිදුවීමේ අවස්ථාව බකල් කිරීම.

      ඉකොනොගේ බ්ලොග් එකත් එකට අහු උනා. දැන් මේකේ කොමෙන්ට් ඕසේ කිසිදු සාකච්ජාවක් නැහැ. කොමෙන්ට් මොඩරේට් නිසා. ඕවට අසුවෙන්න එපා. එයයි අවශ්‍ය මේ අයට.

      Delete
    4. ඔව්. ඒක තමයි. ඒක මම දන්නවා. (පුද්ගලයා ගැනත් අදහසක් තිබෙනවා) එහෙත් කමෙන්ට් අනුමැතියට යටත් කිරීමට එකම හේතුව එය නෙමෙයි.

      1. මේ වන විට බ්ලොග් එකේ ප්‍රතිචාර හරහා ඔබ කියන ආකාරයේ වැදගත් සාකච්ඡා සිදු වෙන්නේ ඉතාම අඩුවෙන්. නැති තරම් වගේ.

      2. එක් කෙනෙක් හෝ දෙදෙනෙක් හැරුණු විට අනෙක් හැමෝම ඇනෝ එන අය. මුල සිටම ඇනෝ කමෙන්ට් දමන්න ඉඩ දී තිබුණේ බය නැතුව ඕනෑ දෙයක් කියන්න ඉඩ දෙන්න. මේ වන විට එහෙම කරන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. රටේ ජනාධිපතිව පවා බය නැතිව විචේචනය කරන්න පුළුවන් තැනකට මිනිස්සු ආවට පස්සේ එවැනි අවශ්‍යතාවයක් ලොකුවට පේන්නේ නැහැ. ඇනෝ කමෙන්ට් ලෙස දමන කමෙන්ට් වැඩි ප්‍රමාණයක් තේරුමක් නැති කමෙන්ට්. බොහෝ විට ලියන ලිපියට කිසිම අදාළත්වයක් නැති කට් ඇන්ඩ් පේස්ට්. වැඩක් තිබෙන කමෙන්ට් එකක්නම් පළ නොකර ඉන්නේ නැහැ.

      3. මේ හැම ලිපියක්ම ෆේස්බුක් එකෙත් දමනවා. ඒ හරහා විශාල පිරිසක් කියවනවා වගේම විශාල සංවාදයකුත් සිදු වෙනවා. දෙපැත්තක් බලන්න අමාරු නිසා එයට ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. ප්‍රධානම හේතුව ඒකයි. ඇනෝ කමෙන්ට් අනන්‍ය ලෙස හඳුනාගන්න අමාරු නිසා සංවාද කරන එක ටිකක් අපහසුයි. සමහර වෙලාවට පසුව ප්‍රතිචාර දක්වන්නේ මුලින් දමපු කෙනා නෙමෙයි. ෆේස්බුක් එකේ මේ ප්‍රශ්නය නැහැ. ෆේක් එකකින් ආවත් කතා කරන්නේ එකම පුද්ගලයාට කියා දන්නවා. ඇත්තටම කියනවානම් දැන් බ්ලොග් එකේ ලිපි දමන්නේ සංවාද කිරීමට වඩා සංරක්ෂණය කිරීමේ අරමුණින්. නැවතත් පෙර කාලයේ මෙන් හොඳ සංවාද සිදු වෙන තත්ත්වයක් ඇති වුනොත් සහ කියවන ප්‍රමාණය ඉහළ ගියොත් පමණක් මෙය වෙනස් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් කමෙන්ට් ප්‍රතිපත්තිය නිසා සංවාද නැතිවීම නෙමෙයි වෙලා තියෙන්නේ. සංවාද නැති නිසා සහ කියවන අය අඩු නිසා කමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් කිරීම. එයින් ඉතිරි වන කාලය විශාල පිරිසක් වෙත යන ෆේස්බුක් සංවාද වෙනුවෙන් යෙදවීම. ගණන් වලින් කිවුවොත් දැන් බ්ලොග් ලිපියක් 500කට වඩා කියවන්නෙත් කලාතුරකින්. ඉස්සර සමහර ලිපි 40,000කට වඩා කියෙවුවා. නමුත් ෆේස්බුක් එකේ රීච් එක සමහර වෙලාවට 60,000 පමණ දක්වා යනවා.

      Delete
    5. ඉකොනෝ,

      ජනපතිව විවේචනය කරන්න පුළුවන්. අනුර කුමාරව විවේචනය කරන්න බැහැ. ඔබගේ ලිපි වලින් ජනපතිගේ ප්‍රතිපත්ති වලට ලැබෙන්නේ වාසියක් මිසක් අවාසියක් නෙමෙයි. අවාසියක් වන්නේ විපක්ෂයට. දැන් මේ රටේ ඉන්නේ මිනිමරපු, ගෙවල් ගිනි තියපු විපක්ෂයක්. ෆේස්බුක් ඔස්සේ උනත් මේ අය ගෙනියන වෛරී සහගත, තර්ජනාත්මක අදහස් පළකිරීම් නිසා මිනිස්සු බය ජනපතිව විවේචනය කරන්න නෙමෙයි, ත්‍රස්‌තවාදී ජේවීපී, පෙරටුගාමී විවේචනය කරන්න.

      ෆේස්බුක් ඔස්සේ මෙම ලිපි වැඩි දෙනෙක් කියවන බව මාත් දැක්කා. මේ ඇතැම් ලිපි වලට බ්ලොග් එකේ කොමෙන්ට් 10 ක් පමණ වැටෙද්දී ෆේස්බුක් පිටුවේ කොමෙන්ට් සිය ගණනක් එනවා.

      හැබැයි ෆේස්බුක් කියන්නේ විශ්වාශ කරන්න පුළුවන් ෆ්ලැට්ෆෝරම් එකක් නෙමෙයි. ඔබගේ ගිණුම අයින් කර දැමීමටත් ඔවුන්ට පුළුවන් හිතුන විගස. එවිට මොකද වන්නේ?

      අනික ෆේස්බුක් වල ඇති පැරණි ලිපි සොයාගෙන ආයේ කියවන්නත් අමාරුයි. ෆේස්බුක් හොදයි යම් නිශ්චිත මොහොතක අදහස් දක්වන්න. එදිනෙදා අදහසක් පල කරමින් ඉන්න හොදයි.

      බ්ලොග් වල එහෙම නෙමෙයි. පැරණි ලිපි සදහා ලින්ක් දමමින්, ඒවා අවශ්‍ය විට නැවත කියවීම පහසුයි.

      මම උනත් ඉකොනොගේ බ්ලොග් එකේ ලිපි වලට විවිද කොමෙන්ට් කොපි පේස්ට් කරනවා. එහෙම කරන්නේ ඒ කොමෙන්ට් අදාල ලිපිය සමග සංරක්ෂණය කොට තැබීමට.

      ඇතැම් විට මෙහි මීට වසර පහ හයකට පෙර එලෙස ලිපි වලට් දැමු කොමෙන්ටු මේ මොහොතේ කොතරම් වැදගත් දැයි කියා වැටහෙනවා.


      එම නිසා ෆේස්බුක් වලට මෙන්ම බ්ලොග් අඩවියටත් තැනක් දීම වැදගත්.

      Delete
    6. //ඔබගේ ලිපි වලින් ජනපතිගේ ප්‍රතිපත්ති වලට ලැබෙන්නේ වාසියක් මිසක් අවාසියක් නෙමෙයි. අවාසියක් වන්නේ විපක්ෂයට.//

      එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එය තීරණය වන්නේ එක් එක් ලිපියේ අන්තර්ගතය මත. කාට වාසියක් වෙනවාද අවාසියක් වෙනවාද කියන එක මට වැදගත් කරුණක් නෙමෙයි. මම ලියන්නේ මට නිවැරදි සේ පෙනෙන දෙය. කලින් ලියපු දේවල් වල වලංගු භාවය ආණ්ඩු මාරු වීමෙන් පසුවත් ඕනෑ කෙනෙක්ට පරීක්ෂා කරන්න පුළුවන්. මම ලියන දේවල් ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වෙන දේවල් නෙමෙයි. කවුරු කළත් හරි දේ හරි. වැරදි දේ වැරදියි.

      //ෆේස්බුක් ඔස්සේ උනත් මේ අය ගෙනියන වෛරී සහගත, තර්ජනාත්මක අදහස් පළකිරීම් නිසා මිනිස්සු බය ජනපතිව විවේචනය කරන්න නෙමෙයි, ත්‍රස්‌තවාදී ජේවීපී, පෙරටුගාමී විවේචනය කරන්න.//

      මේ මොහොතේ එහෙම වෙන්න පුළුවන්. නමුත් අනෙක් කඳුවුරු වල අයත් අහිංසක නැහැ.

      //හැබැයි ෆේස්බුක් කියන්නේ විශ්වාශ කරන්න පුළුවන් ෆ්ලැට්ෆෝරම් එකක් නෙමෙයි. ඔබගේ ගිණුම අයින් කර දැමීමටත් ඔවුන්ට පුළුවන් හිතුන විගස. එවිට මොකද වන්නේ?//

      ඔව්. එකපාරක් එහෙම වුනානේ. නමුත් එවැන්නක් වෙන තුරු හෝ වැඩි දෙනෙක් කියවන එක වටිනවා. වසර හත අටකට පෙර සිංහල බ්ලොග් ලියපු ගොඩක් අය දැන් බ්ලෝග් වල නැහැ. ඉන්න අයත් කලින් තරම් සක්‍රිය නැහැ. ෆේස්බුක් එක ඊට වඩා ගොඩක් සක්‍රීයයි. අනෙක් හැමෝම ෆේස්බුක් යද්දී මම විතරක් ඕනෑවට වඩා මේකේ එල්ලිලා හිටියද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වුනත් ලිපි හැම එකක්ම මෙහි දමන නිසා ඒවා සුරක්ෂිතයි. නැති වුනොත් නැති වෙන්නේ ෆේස්බුක් කමෙන්ට් සහ ඒවට දමන ප්‍රතිචාර.

      //මම උනත් ඉකොනොගේ බ්ලොග් එකේ ලිපි වලට විවිද කොමෙන්ට් කොපි පේස්ට් කරනවා.//

      ඔබ දමපුවා නොවෙන්න පුළුවන්. නමුත් කිසිම අදාළත්වයක් නැති සමහර කොපි පේස්ට් වලින් වෙන්නේ ලිපියට සහ අදාළ ප්‍රතිචාර වලට අවධානය නැති වෙන එක. ඒ බව ඇතැම් පාඨකයින් විසින් සෘජුවම කියමින් එවැනි කොපි පේස්ට් ඉවත් කරන මෙන් ඉල්ලා තිබෙනවා. අනෙක් කරුණ ලින්ක් එකක් දමන්න පුළුවන්කම තියෙද්දී වෙනත් අයගේ ලිපි ගෙඩි පිටින් කොපි පේස්ට් කරන්න අවශ්‍ය නැහැ (හැබැයි මමනම් ඔය දමන හැම ලින්ක් එකකටම ගිහින් බලන්නෙත් නැහැ. විශේෂයෙන්ම වීඩියෝ බලන්න මට වෙලාවක් නැහැ.) මට මම ලියන දේ මිස, මට වැදගත් නැති, අනෙක් අය තැන් තැන් වල ලියන දේවල් සංරක්ෂණය කරන්න මට අවශ්‍ය නැහැ. [තවත් කරුණක්. ගූගල් සමඟ ගිවිසුම අනුව තියා ගන්න බැරි ඒවා හැර පළ නොකරන ප්‍රතිචාර පවා මම ඩිලීට් කරන්නේ නැහැ. ඒ සියල්ලම සුරක්ෂිතව තිබෙනවා. අවශ්‍ය/සුදුසු ඕනෑම වෙලාවක ඒවා පෙනෙන්න සැලැස්විය හැකියි.]

      //එම නිසා ෆේස්බුක් වලට මෙන්ම බ්ලොග් අඩවියටත් තැනක් දීම වැදගත්.//

      මෙය නොසලකා හැර නැහැ. නමුත් පාඨකයින් විසින් නිදහස අවභාවිතා කරනවානම් එයට ඉඩ දෙන්න අවශ්‍යත් නැහැනේ.

      Delete
    7. ඉකොනෝ,

      'අනෙක් කරුණ ලින්ක් එකක් දමන්න පුළුවන්කම තියෙද්දී වෙනත් අයගේ ලිපි ගෙඩි පිටින් කොපි පේස්ට් කරන්න අවශ්‍ය නැහැ'

      ෆේස්බුක් හී පලවන අදහස් පමණයි මා නම් නැවත මෙම බ්ලොග් අඩවියේ කොපි පේස්ට් කර ඇත්තේ.

      එයට හේතුව නම් ෆේස්බුක් ෆෝරමයේ පලවන අදහස් කොයි මොහොතේ ගලවා දැමිය හැකිදැයි කියා අපට සිතිය නොහැකි නිසා සහ එම අදහස් ඔබගේ ලිපි සමග සමපාත වන බව මා විශ්වාශ කරන නිසයි.

      Delete
    8. සමහර වෙලාවට නලින් ද සිල්වා, අජිත් පැරකුම් වගේ බ්ලොග් ලියන වෙනත් අයගේ ඒවාත් පරිච්ඡේද පිටින් කොපි කරනවා. ඒවා අදාළ තැන් වල සංරක්ෂණය වී තිබෙනවා. ඒ වගේම මම සාමාන්‍යයෙන් නොවරදවා කියවනවා. මේ වගේ ලිපියක් අරගෙන තැනින් තැනින් වචන වෙනස් කර දමන කමෙන්ට් එකක් පළ කරන එක ආචාර ධාර්මිකව බැලුවත් නිවැරදි දෙයක් නෙමෙයි. තවත් සමහර ප්‍රතිචාර හැම බ්ලොග් එකකම කොපි කරලා තිබෙනවා. වැදගත් දෙයක්නම් සන්දර්භය පැහැදිලි කරලා කොපි කරලා දැම්මට කමක් නැහැ. ඒවා වුනත් ලින්ක් එකක් නැතුව, කොපි කර මෙහි දමන්න හේතුවක් පැහැදිලි නොකර, ගෙනත් අතාරින එක විකාරයක්. අනුන්ගේ දෙයක් කොපි කරලා දමනවානම් එසේ දමන්නේ ඇයි කියන එකත් කියලම දැමිය යුතුයි. එහෙම නැත්නම් මම ඒවා කියවන්න හෝ පිළිතුරු දෙන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැනේ. මම පිළිතුරු දුන්නා කියලා ලියපු කෙනා දන්නෙවත් නැහැ. ඒ වගේම ලියපු හෝ කියපු සන්දර්භය හරියට නොදැන යමක් ගැන කතා කරන එකත් එතරම් නිවැරදි නැහැ. සංවාදයක් කරන එකේ තේරුමක් තියෙන්නේ තමන්ට කියලා මතයක් තියෙන කෙනෙක් එක්කයි.

      Delete
    9. ඉකොනෝ,

      ඔබ ෆේස්බුක් ඔස්සේ ඉදිරියට යෑමට අදිටන් කරගෙන ඇති බවයි පෙනෙන්නේ.

      ඔබගේ බ්ලොග් අඩවිය නිසා ඔබ‍ට කැමැත්තක් කල හැකි නොවැ.

      ඔබගේ කැමැත්තට ඉඩ දී ඉවත් වන්නෙමි.

      ස්තුතියි වසර අටකට ආසන්න කාලයක් මෙම බ්ලොග් අඩවිය ඔස්සේ අපටත් අදහස් දැක්වීමට ඉඩ දීම පිළිබදව.

      Delete
    10. අදහස් දැක්වීමේ අවස්ථාව තවදුරටත් එලෙසම ඉතිරි වී තිබෙනවා. ෆේස්බුක් ඔස්සේ ඉදිරියට ගියත් මෙය නැති වෙන්නේ නැහැ. වසර අටක් රැඳී සිටීම පිළිබඳව ස්තුතියි!

      Delete
  8. හොඳ ලිපියක් එකක් අපිට තේරෙන විදිහට සරලව ලියල තියනඑක
    අනෙක පින්ලන්තය වගේ රටවල සුභසාධන කටයුතු කෙරෙන්නෙ කොහොමද කියන එක ගැන යම් පැහැදිලි කිරීමක් තියන නිසා මොකද බොහෝවිට ඒ රටවල කෙරෙන සුභසාධන කටයුතු ගැන අපිට කියාදෙන්නෙ ඒ රටවල අයකරන බදුගැන කියන්නෙ නැතුවනෙ
    හැබැයි මෙහෙම දෙයක් තියනව ඒ රටවල අය ඔය කියන බදුගෙව්වත් ඒක ඒ අයට ඒතරම් දැනෙන්නෙ නැතිවෙන්න පුලුවන්නේද
    උදාහරණයක් ලෙස දවසකට රුපියල් දාහක් හම්බ කරන කෙනෙකුගෙන් රුපියල් 100ක් ගැනීම සහ දවසට රුපියල් 10000ක් හම්බුකරන කෙනෙකුගෙන් රුපියල් 1000ක් ගැනීම ගණිතමයව එක සමානවුවත් එය දෙදෙනාට දැනෙන විදිහ හුඟක්වෙනස්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. හැබැයි ඒ වගේම ඒකේ අනෙක් පැත්තත් තියෙනවනේ. අවස්ථා දෙකේදීම ගන්නේ 10% වුනත්, රජයේ පැත්ත බැලුවහම, රුපියල් 1000කින් කරන දේ රුපියල් 100කින් කරන්නත් බැහැනේ. ලංකාව වගේ රටවල ශ්‍රමයේ වියදම අඩු නිසා ඒ කොටස සමානුපාතිකව අඩු පිරිවැයකින් කරන්න පුළුවන්. නමුත් උපකරණ, ද්‍රව්‍ය මිල කොයි රටෙත් ආසන්නව සමානයි. උදාහරණයක් විදිහට ලංකාවේ හෙදියකට ගෙවන්නේ සාපේක්ෂව අඩු වැටුපක් වුනත්, බෙහෙත් වලට ගෙවන්න වෙන්නේ එකම මිල.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: