නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ නැවතත් විණිමය අනුපාතය පා කළ යුතුයි. එසේ වුවත්, ආර්ථිකයට විශාල කම්පනයක් දැනෙන පරිදි මෙය කිරීම හොඳම ක්‍රමය නෙමෙයි.
ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන පරිදි විණිමය අනුපාතය පා කළ හැක්කේ කොහොමද? විණිමය අනුපාතය නැවත නිදහස් කරන්නට පෙර ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතව තිබුණොත්, විණිමය අනුපාතය පා කිරීම කම්පනයක් ඇති කරන්නේ නැහැ. මම හිතන්නේ මහ බැංකුවේ උත්සාහය එයයි.
මේ වන විට අගෝස්තු මාසයේ ආනයන අපනයන සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් වී තිබෙනවා.
2022 අගෝස්තු
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,224
ආනයන වියදම - ඩොලර් මිලියන 1,486
වෙළඳ හිඟය - ඩොලර් මිලියන 261
මෙම සංඛ්‍යාලේඛණ පෙර මාස හා සැසඳිය හැකියි.
2022 ජූලි
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,164
ආනයන වියදම - ඩොලර් මිලියන 1,287
වෙළඳ හිඟය - ඩොලර් මිලියන 127
2022 ජූනි
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,248
ආනයන වියදම - ඩොලර් මිලියන 1,226
වෙළඳ අතිරික්තය - ඩොලර් මිලියන 21
මේ අනුව, පසුගිය දෙමස තුළ ආනයන වියදම් ඉහළ යාමේ හා ඒ හේතුව මත වෙළඳ හිඟය වැඩි වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. නැවතත් වෙළඳ හිඟය වැඩි වීම හොඳ දෙයක් නොවන බව කෙනෙකුට එක් වරම කිව හැකි දෙයක්. එහෙත්, පවතින තත්ත්වයන් තුළ මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩි වෙළඳ හිඟයක් දරා ගැනීමට ලංකාවේ ආර්ථිකයට හැකි වී ඇති බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අගෝස්තු මාසය වන විට පෙර දෙමසට සාපේක්ෂව ආනයන සීමාවන් යම් තරමකින් ලිහිල් වී ඇති බවයි.
මෙයින් තවදුරටත් පෙනෙන්නේ රටේ අනාගත ආර්ථික ස්ථායීත්වය පිළිබඳ විශ්වාසය කෙමෙන් නැවත ගොඩ නැගෙද්දී, පවතින විණිමය අනුපාතය යටතේම වුවද, විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමට යම් ඉඩක් ඇති බවයි. එය එසේ වන්නේනම්, වෙළඳපොළ කම්පනයක් ඇති නොකර නැවතත් විණිමය අනුපාතය පා කළ හැකියි.
මේ සහනදායී අවකාශය හැදෙන්නට එක් හේතුවක් වන්නේ පසුගිය මාස කිහිපය තුළ ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළ යාමයි. සැප්තැම්බර් මාසය වන විට අගෝස්තු මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රමික ප්‍රේෂණ
2022 ජූනි - ඩොලර් මිලියන 274
2022 ජූලි - ඩොලර් මිලියන 279
2022 අගෝස්තු - ඩොලර් මිලියන 325
2022 සැප්තැම්බර් - ඩොලර් මිලියන 359
අගෝස්තු මාසයේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 261ක් වුවත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඊට වඩා වැඩි මුදලක් ලැබී තිබෙනවා. මේ හේතුව හා තවත් හේතු නිසා සුළු වශයෙන් වුවත් අගෝස්තු මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුවට හැකි වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ සිදු වුනේ එහි අනෙක් පැත්තයි.
2022 අගෝස්තු
විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 215.61
විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 200.59
2022 ජූලි
විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 117.65
විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 276.58
2022 ජූනි
විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 68.00
විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 222.73
මෙලෙස මහ බැංකුව විසින් ශුද්ධ ලෙස විදේශ විණිමය මිල දී ගැනීම හා තවත් හේතු නිසා කාලයකට පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණයේ ඉහළ යාමක් දැකිය හැකියි.
නිල සංචිත වත්කම්
2022 ජූනි - ඩොලර් මිලියන 1,854
2022 ජූලි - ඩොලර් මිලියන 1,815
2022 අගෝස්තු - ඩොලර් මිලියන 1,717
2022 සැප්තැම්බර් - ඩොලර් මිලියන 1,777
මේ අනුව, ආනයන ප්‍රමාණය වැඩි වීමට ඉඩ හැර තිබෙන්නේ රටේ විදේශ අංශයේ ස්ථායීත්වයද රැක ගනිමින් මිස අවදානමේ හෙළමින් නොවන බව පැහැදිලියි.
මහ බැංකුවේ වත්කම් ඉහළ ගිය පමණින්ම එය යහපත් වර්ධනයක් බව එකවර කියන්න බැහැ. මහ බැංකුවේ වත්කම් වලට වඩා එහි බැරකම් වැඩි බව මා පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. කෙසේ වුවත්, මේ වත්කම් ඉහළ යාමට අනුරූපව බැරකම් ඉහළ යාමක් සිදු වී නැහැ. අගෝස්තු මාසයේදී මහ බැංකුවේ මෙන්ම වාණිජ බැංකු වලද ශුද්ධ විදේශ බැරකම් වල අඩුවීමක් දැකිය හැකියි.
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි - රුපියල් බිලියන (-1,686.2)
2022 අගෝස්තු - රුපියල් බිලියන (-1,614.9)
වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි - රුපියල් බිලියන (-437.6)
2022 අගෝස්තු - රුපියල් බිලියන (-420.2)
බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි - රුපියල් බිලියන (-2,123.8)
2022 අගෝස්තු - රුපියල් බිලියන (-2,035.1)
මේ අනුව ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය වන විට බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 250කින් පමණ පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය අගෝස්තු මාසයේදී තවත් හොඳ අතට හැරී ඇතැයි උපකල්පනය කළ හැකියි.
මේ යහපත් ප්‍රවණතාවයන් පසුපස ඇති ප්‍රධානම සාධකය සල්ලි අච්චු ගැසීම සීමා කිරීමයි. පසුගිය සති කිහිපය තුළම මහ බැංකුව විසින් රජයට අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාර බිල්පත් විකුණා සොයා දීමට සමත්ව තිබෙනවා. දැනට පවතින 30%ට ආසන්න පොලී අනුපාතිකය යටතේ එය කළ හැකි බවද පෙනෙන්නට තිබෙනවා.
පොලී අනුපාතික 30% වැනි ඉහළ මට්ටමක තබා ගැනීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එහෙත්, උද්ධමනය පාලනය කිරීම සඳහා එය නොකර බැහැ. උද්ධමනයට ඉන්ධන සපයමින් සල්ලි අච්චු ගහන්නේ නැතිව පොලී අනුපාතික පහළ හෙළිය හැක්කේ රජයේ ආදායම් වැඩි කර, වියදම් කපා, අයවැය හිඟය අඩු කර ගැනීමෙන් පමණයි.
කතරගම වුණත් යා යුතු දැනගෙනය
ReplyDeleteනැත්තං අතරමං වෙන්නට සිදු වේය
කියවන විටදී ඉකොනෝ දැන් ඔබෙ ලිපිය
පැනයක් නැඟිණි, මේ කියන්නෙ ඒ ගැනය
රට කරවන සබේ වැදගත් මහත්තුරු
ලොකු නිල දරන වගකිව යුතු මහත්තුරු
දැනුම නැතිව තනතුරු උහුලනා තුරු
සිරිලක වෙයිද කවදාවත් සිරින්- සරු?
රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?
ReplyDeleteWhat is the effect for Treasury Bills if there is a domestic debt restructuring?
Please advise!
මගේ අදහස අනුව එහෙම කෙළවීමක් වෙන එකක් නැහැ. යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වුනොත් බොහෝ විට සිදු විය හැකි නරකම දෙය නියම දවසට සල්ලි ආපසු ගන්න බැරි වෙන එක. දැන් වුනත් ගොඩක් අය බිල්පත් කල් පිරුණු විට ස්වයංක්‍රීයව නැවත ආයෝජනය වෙන්න දමලයි තියෙන්නේ. කල් පිරෙන හදිස්සියට සල්ලි ගන්නේ නැහැ. බොහෝ විට යම් කාලයකට මේ වගේ දෙයක් වෙයි. සල්ලි ලැබෙන විට මුළු කාලයටම පොලියත් එක්ක ලැබෙයි. මිලියන දහයක් පමණවත් (සමහර විට මිලියන පණහක්වත්) ආයෝජනය කර අති අයට මිස පොඩි ගණන් ආයෝජනය කර ඇති අයට බොහෝ විට එවැනි බලපෑමක් හෝ නොවෙන්න පුළුවන්. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කොහෙත්ම නොවෙන්න පුළුවන්.
Deleteහිතනවාට වඩා ඉක්මනට නැවැතත් හිටපු මට්ටමට යන්න පුළුවන් වෙයි නේද?
ReplyDeleteඔබ හිතාගෙන හිටියේ කොහොමද? හිටපු මට්ටම කියන්නේ කුමක්ද?
Deleteරුපියල් වලින් ආදායම් උපයන අපි වගේ අයට 2019 ය පමණ වනවිට තිබුණු පරිභෝජන මට්ටමට යන්න 2026 වත් වෙයි කියලා තමයි මම හිතන් හිටියේ. නමුත් බොහෝවිට 2024 පමණ වන විට ඒ ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙයි කියලා දැන් හිතෙනවා
Deleteහැම දේම හොඳ විදිහට සිදු වුනොත්, 2018 පැවති පරිභෝජන මට්ටමට නැවත යන්න වෙන්නේ 2028දී. 2024 වන විට උද්ධමනය පාලනය වෙයි. එහෙත් මූර්ත ආදායම් 2019ට වඩා 10-15%කින් පමණ අඩු වෙලා තියෙයි. ඒ නිසා, 2024දී 2019 පරිභෝජන මට්ටමට නැවත යන්න ලැබෙන එකක් නැහැ.
Deleteඉකොනෝ,
ReplyDeleteඇමරිකාවේ ආරක්ෂක අංශයේ ෂෙරිෆ්වරුන් කියන්නේ කවුද? ඒ පොලිස් නිලධාරීන්ද? ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කියා ආයතනයක් නැති බව නං ඉකොනෝ කලින් කීවා නේද.
එතකොට පෙඩරල් පොලිසිය කියන්නේ මොකක්ද? මේ ගැන විස්තර ඉකොනෝ ලියා තිබෙනවද?
ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් හොරෙක් අල්ලන්න ගිහින් අහක ගියපු කාන්තාවක් වෙඩි කාලා මල නිසා මේ බැලුවේ ඇමරිකාවේ විස්තර ගැන/
ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියෙක්. සාමාන්‍යයෙන් මහජන ඡන්දයෙන් පත් වෙන්නේ. ෆෙඩරල් පොලීසිය කියන්නේ ෆෙඩරල් රජය යටතේ තිබෙන ඇතැම් ජාතික ස්මාරක, ජාතික උද්‍යාන ආදියේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙන අය.
Deleteෆෙඩරල් රජය kiyanne mokakda Econo?
Deleteමහජන ඡන්දයෙන් පත් වෙන Police Niladharin gena ahuwe adamayi
ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලංකාව වගේ ඒකීය රාජ්‍යයක් නෙමෙයි. රටටම අදාළ තීරණ ලංකාවේ මෙන් එක තැනකින් ගන්නේ නැහැ. බලය සෑහෙන්න විමධ්‍යගත වෙලා තියෙන්නේ. ගොඩක් දේවල් වෙන්නේ ප්‍රාන්ත මට්ටමෙන්. එහෙමත් නැත්නම් ඊටත් පහළ මට්ටමකින්. ෆෙඩරල් රජය කියන්නේ මුළු රටටම අදාළ තීරණ ගන්න ආයතනික ව්‍යුහය. ජාතික ආරක්ෂාව, විදේශ කටයුතු වැනි මුළු රටටම එක විදිහට වැදගත් සීමිත දේවල් කිහිපයක් සම්බන්ධ තීරණ ගන්නේ ෆෙඩරල් රජය. ලංකාව ඇතුළු වෙනත් රටවල ඉන්න අය ඇමරිකන් රජය ලෙස දකින්නේ හා කතා කරන්නේ ෆෙඩරල් රජය ගැන. නමුත් ඇමරිකාව පාලනය වෙන්නේ බොහෝ දුරට ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊට පහළ මට්ටමකින්. පොලිස් ප්‍රධානීන් පමණක් නෙමෙයි, අධිකරණයේ විනිසුරුවරයින්, පාසැල් පරිපාලකයින් වගේ තවත් බොහෝ අයව තෝරන්නේ මහජන ඡන්දයෙන්.
Deleteඉකොනෝ,
Deleteවිදෙස් සංචිත ගැන සදහන් වෙන ලිපියක ඇමරිකාවේ ආරක්ෂක අංශ වල ව්‍යුහය ගැන ඇහුවට අමනාප වෙන්න එපා. ඉකොනෝ ඇමරිකාවේ පොලිසිය ගැන සදහන් කරපු කරුනු රසවත්.
මහජන ජන්දයෙන් පත්වෙන පොලිස් නිලධාරීන් නිතිය ගැන, අපරාධ මැඩලන විදිය ගැන, අවි ආයුධ භාවිතය ගැන එහෙම ඉගෙන ගන්නේ කොහොමද? ඔය කියන හැටියට ලංකාවේ පළාත් පාලන නියෝජිතයන් වගේ නේද ඇමරිකාවේ පොලිස් ප්‍රධානීන් පමණක් නෙමෙයි, අධිකරණයේ විනිසුරුවරයින්, පාසැල් පරිපාලකයින් වගේ තවත් බොහෝ අය?
එතකොට පෙඩරල් බියුරෝවේ අය පත්වෙන්නේ කොහොමද? ඒ අයගේ රාජකාරි මොනවද?
ඉකොනොගේ අත්දැකීම් කොහොමද මේ අය එක්ක ගනුදෙනු කරද්දී. ඉකොනෝ ඇමරිකාවේ රථවාහන පොලිස් නිලධාරියෙක් එක්ක නඩු කියලා දින්න කතාවක් නං කලින් දාලා තිබ්බා මතකයි.
සාමාන්‍යයෙන් මහජන ඡන්දයෙන් පත් වන තනතුරු වලට වුවත් තරඟ කරන්න නිශ්චිත අවම සුදුසුකම් සම්පූර්ණ කර තියෙන්න ඕනෑ. ෂෙරිෆ් තනතුරකට තරඟ කිරීම සඳහා පොලිස් පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කර තිබිය යුතුයි. මාස හයක පමණ කාලයකින් මුදල් ගෙවා මෙවැනි පාඨමාලාවක් කළ හැකියි. එවිට අවශ්‍ය මූලික පුහුණුව ලැබිලා. ඒ නැතත්, මේ වගේ තනතුරකට අහඹු පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් හෙයකින් එහෙම ඉදිරිපත් වුනා කියලා මිනිස්සු ඡන්දය දෙන්නෙත් නැහැ. බොහෝ විට ෂෙරිෆ් කෙනෙක් වෙන්න තරඟ කරන්නේ පොලීසියක කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතකොට කොහොමටත් මූලික පොලිස් පුහුණුවට වඩා ගොඩක් වැඩි පළපුරුද්දක් හා පුහුණුවක් තිබෙනවා. ඒ වගේම විනිශ්චයකාර තනතුරකට තරඟකළ හැක්කේ අවශ්‍ය අවම පළපුරුද්ද තිබෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුට. වොෂින්ටන් අගනුවර ආසන්න සංචාරකයින් යන ස්මාරක වගේ තැන් වල ආරක්ෂාවට දාල ඉන්නේ ෆෙඩරල් පොලිස් නිලධාරීන්. කරන්නේ අනෙක් පොලිස් නිලධාරීන් කරන වැඩේම තමයි. වෙනස සේවය කරන තැන විතරයි.
Deleteකොටින් ම කියනව නම් ආර්ථිකය මෙහෙම දුවන්න බැහැ. මේක IMF කල්ලිය අපට දීපු දඬුවමක්. IMF එකෙන් අවුරුදු 4 තුළ ඩොලර් බිලියන 2.9ක් අරගෙන අපි මොන වෙඩිමක් කරන්නද? අවුරුද්දකට ම එන්නෙ මිලියන 700ක් විතර. අපේ වාර්ෂික ආනයන වියදම ඩොලර් බිලියන 20ක් විතර. ඊටත් එහා යනවා සාමාන්‍ය තත්වය යටතේ. ඉන්ධන බිල විතරක් බිලියන 3කට කිට්ටු වෙනවා. 2021 දි අපි අමාරුවෙන් වෙළඳ අපනයන ආදායම ඩො. බි 12.5ක් කරගත්තා. ඒ නිසා තමයි අපි අදත් ජීවත් වෙන්නෙ. ඒත් දැඩි ආනයන සීමා නිසා අමුද්‍රව්‍ය ගෙන්නා ගැනීමේ ප්‍රශ්න එක්ක මේ ආදායම මේ වසරේ අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපනයන කර්මාන්තවල වියදම් අංශය සැලකියයුතු ලෙස තෙරපුකමකට ලක් වෙලා. එය නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරනවා.
ReplyDeleteමේ සේරම ප්‍රශ්න අපේ රටේ ව්‍යුහාත්මක ප්‍රශ්න වුනේ එකම විසඳුම IMF කරගත්ත දවසෙ ඉඳල. ණය පැහැර හැරීම නම් මෙරට ඉතිහාසයේ ගත් අදූරදර්ශී ම තීන්දුව ඊට බලපෑවා. මේක පිටුපස විශාල කුමණ්ත්‍රණයක් තිබුණ බව අපට හිතන්න සාධක තියෙනව. ණය ගෙවන ක්‍රම හදල තියෙද්දි කැබිනට්ටුවටවත් නොකියා මේ මූල්‍ය තීන්දුව ගත්තා.
ඉහත තීරණය නිසා අපට දැන් අනිත් කිසිදු රටකින් හදිසියකට ණයක් ගන්න බැරි වෙලා තියෙනව. බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4 ඇරෙන්න එක ඩොලරයක් ලංකාවට ආවද? ඔහු ලෝක බැංකුවෙන් ගෑස්වලට, ත්‍රිපෝෂවලට, අඩු ආදායම්ලාභීන්ට ගත්ත ඩොලර් මිලියන 340 හැර එක සතයක් ආවාද?
අද දේශීය වශයෙන් මුදල් වියදම් කිරීම හැකි තරම් සීමා කරල තියෙන්නෙ. බැංකු පොලී අනුපාත හිතාගන්න බැරි තරම් ඉහළයි. ව්‍යාරිකයින්, ව්‍යවසාකයින් ණය ගන්නෙ නැ. ණය නොගෙන වියදම් නොකර ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ.
අනිත් පැත්තෙන් බදු පිට බදු වැටෙනවා. මධ්‍යම පන්තියට මේක දරාගන්න ඉතාම දුෂ්කරයි. බදු ප්‍රතිශතය වැඩි කරගන්න ඕන. ඒත් ඒක කරන්න ඕන ව්‍යාපාරිකයින්ට, පුරවැසියන්ට අත දිග හැර වියදම් කරන්න පුළුවන් පරිසරයක් හදල. එතකොට රටේ මුදල් සංසරණය වැඩි වෙනවා. ද්‍රවශීලතාව නඩත්තු වෙනවා. දැන් වෙලා තියෙන්නෙ, කාපු බත් ටික බටයක් දාලා ආපහු කටින්ම ඇදල ගන්නව වගේ වැඩක්. එතකොට වෙන්නෙ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නැතුව ඇඟ කෙසඟ වෙනවා. දුබල වෙනවා. වර්ධනය නවතිනවා.
ජනාධිපතිතුමා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. නිලධාරීන් ගන්න තීරණ වගකීම්විරහිත වෙන්න පුළුවන්. ඔවුන් කාටවත් වග කියන්නෙ නැහැ. විශේෂයෙන් ම මහබැංකුව හා මුදල් අමාත්‍යාංශයට මේ ලොජික් එක තේරෙන්නෙ නැ, හෝ ඒ අය වැඩ කරන්නෙ අසාර්ථක IMF උපදෙස් මත.
හැකිනම්, අවුරුදු 4ක තුළ කොටස් වශයෙන් දෙන ඔය IMF ඩොලර් බිලියන 2.9 සොච්චම් කැරට් අලය පැත්තකට දාලා, ණය ගෙවීම් පැහැර හැරීමේ තීන්දුව වෙනස් කරල, හිතවත් රටවල් ටිකක් එක්ක එකතු වෙලා bridging finance හොයා ගන්න පුළුවන් නම් අපට මේ මර උගුලෙන් ගැලවෙන්න පුළුවන්.