වෙබ් ලිපිනය:

Showing posts with label ඇමරිකාව. Show all posts
Showing posts with label ඇමරිකාව. Show all posts

Wednesday, September 16, 2026

ඇමරිකාවේ පොලී අනුපාතික ඉහළට!


ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී, වසර තුනකට පසුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.25%කින් ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පරාසය 3.75-4.0% දක්වා ඉහළ යනවා. කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසය වන විට 2.4% මට්ටම දක්වා අඩු වී තිබුණු ඇමරිකාවේ උද්ධමනය, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 3.4%ක්ව පැවතුනා. ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරනුයේ උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීමටයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කළ කෙවින් වාර්ෂ්, සෙනෙට් අනුමැතියෙන් පසුව පසුගිය මැයි මාසයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා. ඊට පෙර ජෙරමි පවල් එම ධුරය දරද්දී, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" අඩු නොකිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිටියේ එතරම් සතුටකින් නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප් විසින්ම නම් කළ කෙවින් වාර්ෂ්ගේ සභාපතිත්වයෙන් යුත් ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව, ජනාධිපති ට්‍රම්ප්ගේ අභිමතයට පටහැනිව පොලී අනුපාතික ඉහළ දැමීමට ඒකමතිකව තීරණය කිරීම විශේෂත්වයක්. මේ මගින් ඇමරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා.

දෙසතියකට පමණ පෙර ජනාධිපති ට්‍රම්ප් විසින්, ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු නොකරන්නේ නම් ඇමරිකාව වෙළඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් සමඟ වෙළඳාම මුළුමනින්ම නවත්වා දමන බවට සටහනක් පළ කළා. මෙම පොලී අනුපාතික වැඩි කිරීම සිදු කර තිබෙන්නේ එම "තර්ජනය" සත පහකට මායිම් නොකරමිනුයි.

මේ වන විට ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එම සමස්ත ණය ප්‍රමාණයටම 0.25%ක පොලී අනුපාතික වැඩිවීමක් අදාළ කර සරලව ගණනය කළොත්, එය වසරකට ඩොලර් බිලියන 100ක අමතර පොලී වියදමකට සමානයි. පසුගිය වසරේ ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වාර්ෂික ශුද්ධ පොලී වියදම ඩොලර් බිලියන 970ක් වූ අතර මෙම වසරේදී එම වියදම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව පැහැදිලියි. 

Sunday, May 10, 2026

ලෝක තෙල් මිල සහ ඇමරිකානු ආර්ථිකය





තෙල් මිල ඉහළ යාම ලෝක ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනවා. නමුත් ලෝක තෙල් මිල ලෝකයේ එක් එක් රටට බලපාන්නේ එකම ආකාරයකට නෙමෙයි.

ලෝක තෙල් මිල ඇමරිකානු ආර්ථිකය කෙරෙහි බලපාන්නේ කොහොමද?

ඇතැම් අය තවමත් මේ ගැන කතා කරන්නේ 2020දී ඇමරිකානු තෙල් වෙළඳපොළේ සිදු වූ "සුසමාදර්ශීය වෙනස" ගැන අදහසක් නැතිවයි. දශක ගණනාවක් තිස්සේම ඇමරිකාව ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරුවෙකුව සිටියත්, 2020දී ඒ තත්ත්වය වෙනස් වී ඇමරිකාව ශුද්ධ ඉන්ධන අපනයනකරුවෙකු බවට පත් වුනා. ඉන් පසුව, ඇමරිකාව විසින් දිගින් දිගටම ඉන්ධන අපනයන වැඩි කර ගනිමින් සිටිනවා. 

මේ වන විට ලෝකයේ ලොකුම බොරතෙල් නිෂ්පාදකයා වන ඇමරිකාව විසින් දිනකට බොරතෙල් බැරල් මිලියන 14කට ආසන්නව නිෂ්පාදනය කරන අතර එයින් දිනකට බැරල් මිලියන 4 ඉක්මවා අපනයනය කරනවා. රුසියාව හා සවුදි අරාබිය විසින් දිනකට නිපදවන්නේ බොරතෙල් බැරල් මිලියන 10 බැගිනුයි. කැනඩාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5 ඉක්මවා නිපදවනවා. එයින් වැඩි කොටසක්, අවම වශයෙන් බැරල් මිලියන 3.5ක්, අපනයනය කෙරෙනවා. එකම වෙළඳපොළක් සේ සැලකිය හැකි ඇමරිකාව සහ කැනඩාව එක්ව ගත් විට, මෙම කලාපයෙන් දිනකට බොරතෙල් බැරල් මිලියන 7.5ක් පමණ අපනයනය කෙරෙනවා. 

බොර තෙල් බැරලයක මිල විශාල ලෙස ඉහළ ගිය 2007 ආසන්න කාලයේදී ඇමරිකාව විසින් දිනකට බොරතෙල් බැරල් මිලියන 12ක් පමණ ආනයනය කරමින් සිටියා. ඒ නිසා, ලෝක බොරතෙල් මිල ඉහළ යාම ඇමරිකානු ආර්ථිකයට විශාල කම්පනයක් වුනා. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් බොරතෙල් මිල ඉහළ යද්දී සිදු වන්නේ ඇමරිකන් ආර්ථිකය වඩ වඩා ශක්තිමත් වීම සහ ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ යාමයි.

සාමාන්‍ය කරුණක් ලෙස සවුදි අරාබිය, රුසියාව වැනි රටවල බොරතෙල් නිෂ්පාදන පිරිවැය ඇමරිකාවේ එම පිරිවැයට වඩා බොහෝ අඩුයි. ඒ නිසා, මිල අඩු වෙද්දී ඇමරිකාවට තරඟ කිරීම අපහසු වෙනවා. නමුත් මිල ඉහළ යද්දී මේ තත්ත්වය වෙනස් වී ඇමරිකාවේ නිෂ්පාදනය තවත් ඉහළ යනවා. පසුගිය වසර කිහිපය පුරාම සවුදි අරාබිය සහ රුසියාව විසින් උත්සාහ කළේ තෙල් මිල පහළ මට්ටමක තබා ගනිමින් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය අඩු කිරීමටයි. ඒ නිසා, ලෝක තෙල් මිල ඉහළ යාම තුළ ඇත්තටම සිදු වන්නේ ඇමරිකාවට වාසිදායක දෙයක්. 

මෙයින් අදහස් වන්නේ තෙල් මිල ඉහළ යාම ඇමරිකාවට කිසිසේත්ම ප්‍රශ්නයක් නොවන බව නෙමෙයි. රටක් ලෙස සලකද්දී තෙල් මිල ඉහළ යාම ඇමරිකාවට වාසිදායක වුවත්, ඇමරිකානු පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මිල ඉහළ යාම ප්‍රශ්නයක්. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල ලෝක තෙල් මිල අනුව වෙනස් වෙනවා. ඒ නිසා ලෝක තෙල් මිල ඉහළ යාම ඇමරිකාවේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් කරනවා. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව තුළ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

කෙසේ වුවත්, ලෝක ඉන්ධන මිල ඉහළ මට්ටමක තබා ගැනීම මගින් ඇමරිකාවට රිද්දවීම තව දුරටත් වලංගු සාධකයක් නෙමෙයි. එයින් රිදෙන්නේ ලංකාව වැනි ශුද්ධ ලෙස ඉන්ධන ආනයනය කරන රටවලටයි. ලෝකයේ වැඩිම ශුද්ධ ඉන්ධන ආනයන සිදු කරන රටවල් වන්නේ චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාවයි. 

Tuesday, May 5, 2026

ඇමරිකන් රජයේ විදේශ ණය


ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය දිනපතාම, අන්තිම සතයටම, ප්‍රසිද්ධ කරනවා. පසුගිය මාසය අවසන් වන විට (2026 අප්‍රේල් 30) එම ණය ප්‍රමාණය හරියටම ඩොලර් 38,967,833,861,543.11ක්. ආසන්න ට්‍රිලියන 0.1ට රවුම් කළොත් ඩොලර් ට්‍රිලියන 39.0ක්.

හරියටම වසරකට පෙර ( 2025 අප්‍රේල් 30) මෙම ණය ප්‍රමාණය ඩොලර් $36,213,557,195,810.60ක්. ඒ කියන්නේ වසරක කාලයක් තුළ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය 7.61%කින් ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය කරුණක් ලෙස, ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යනවා. ඊට හේතුව, ජනාධිපති බිල් ක්ලින්ටන් බලයේ සිටි 1998-2001 අතර වසර හතර තුළ හැර, පසුගිය වසර පණහක කාලය තුළ එක දිගටම ඇමරිකාවේ ෆෙඩරල් රජය ආදායම ඉක්මවා වියදම් කිරීමයි. 

කෙසේ වුවත්, ඉහත ණය ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ "ණය නොවන ණය" ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට හේතුව, එම ණය ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින්ම ඇමරිකාවේ ෆෙඩරල් රජයට ලබා දී ඇති ණය වීමයි. මෙම කොටසට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ ෆෙඩරල් රජයේ සිවිල් හා මිලිටරි අංශ වල විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදල් වලට දායක මුදල් ලෙස අයවැයෙන් වෙන් කර බැර කර ඇති, ඒ හේතුව නිසාම අදාළ ගිණුම් වල එම අරමුදල් වල වත්කම් ලෙස සටහන්ව ඇති, අරමුදල් ප්‍රමාණයයි.  

ඉහත අරමුදල් ෆෙඩරල් රජයේම උප ගිණුම් නිසා, අනාගත විශ්‍රාම වැටුප් වියදම් වෙනුවෙන් මුදල් වැය කිරීමේදී ප්‍රායෝගිකව සිදු වන්නේ එම ගිණුම් වලට මුදල් බැර කළ බව සටහන් කරන අතරම එම ගිණුම් වලින් ඊට සමාන ණයක් ලබා ගත් බවද සටහන් කිරීම පමණයි. ඒ හැර, මුදල් හුවමාරුවක් ඇත්තටම සිදු වන්නේ නැහැ. ඒ නිසා, අයවැයේ මෙම වියදම් කොටස පියැවීම සඳහා වෙළඳපොළෙන් ණය ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මෙම ණය ප්‍රමාණද ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ වලට එකතු වෙනවා.

සාමාන්‍යයෙන් විශ්ලේෂකයින් විසින් ඇමරිකන් ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය සේ සලකන්නේ ඉහත සඳහන් "ණය නොවන ණය" කොටස හැර ඉතිරි කොටසයි. පසුගිය (2026) මාර්තු 31 දින වන විට පැවති සංයුතිය මෙසේයි.

මුළු ණය ප්‍රමාණය = ඩොලර් මිලියන 39,065,421

රජයේ ගිණුම් වලින්ම ලබාගෙන ඇති ණය ප්‍රමාණය = ඩොලර් මිලියන 7,634,239

බාහිර පාර්ශ්ව වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය = ඩොලර් මිලියන 31,431,182

ඉහත සඳහන් බාහිර පාර්ශ්ව වලින් ලබාගෙන ඇති ණය, එනම් ඇමරිකාවේ ෆෙඩරල් රජයේ සැබෑ ණය, මුළුමනින්ම මෙන් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම මගිනුයි. 

ඇමරිකන් රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලට ලෝකය පුරාම ඉල්ලුමක් තිබෙන නිසාත්, මුලින් වෙන්දේසි කිරීමෙන් පසුව අතින් අත විකිණෙන නිසාත්, නිකුත් කිරීමෙන් පසුව එම ණය උපකරණ වල අයිතිය කා සතු වන්නේද යන්න ඇමරිකාවේ ෆෙඩරල් රජයට පාලනය කළ නොහැකියි. එමෙන්ම, එම ණය උපකරණ වල හිමිකරුවන් කවර රටක සිටීද යන්න හරියටම දැන ගැනීම වුවද පහසුවෙන් කළ නොහැකි කාර්යයක්. 

ඉහත හේතුව නිසා ඇමරිකන් රජය විසින් නිකුත් කර ඇති සුරැකුම්පත් වලින් විදේශිකයින් සතු ප්‍රමාණය හරියටම ගණනය කළ නොහැකියි. එහෙත්, ඒ පිළිබඳ ඇස්තමේන්තු පිළියෙළ කෙරෙනවා. 1994-2007 කාලය තුළ විදේශිකයින් විසින් ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් විශාල වශයෙන් මිල දී ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් රජයේ සුරැකුම්පත් වලින් විදේශිකයින් සතු ප්‍රමාණය 20.6% සිට 56.5% දක්වා ඉහළ ගියා. එහෙත්, 2008 ආර්ථික අර්බුදයෙන් පසුව, ඇමරිකාවේ පොලී අනුපාතික ශුන්‍ය මට්ටම ආසන්නයටම පහත වැටීමෙන් පසුව, මෙම විදේශ ආයෝජකයින් වැඩි පොලී ලබා දෙන ආයෝජන කරා විතැන් වුනා. එම කාලය තුළ ලංකාවට පහසුවෙන්ම ස්වෛරිත්ව බැඳුම්කර විකුණාගත හැකි වූයේද මෙම ලෝක තත්ත්වය තුළයි. 

මේ වන විට ඇමරිකාවේ රාජ්‍ය ණය වල බාහිර පාර්ශ්ව වලින් ලබාගෙන ඇති කොටසෙන් විදේශිකයින් සතු කොටස 30%ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. මුළු ණය ප්‍රමාණයම සැලකුවහොත් එම පංගුව 25%කටත් වඩා අඩුයි. ඉතිරි කොටස ඇමරිකන් ෆෙඩරල් රජය විසින් ඇමරිකාව තුළින්ම ලබා ගෙන ඇති ණයයි. එයට ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් ලබා ගත් ණයද ඇතුළත්. 

පසුගිය (2026) පෙබරවාරි මාසය අවසන් වන විට ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් වලින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය ඩොලර් බිලියන 9487.1ක් පමණයි. එම ප්‍රමාණයෙන්ද විදේශ මහ බැංකු ඇතුළු විදේශ රාජ්‍ය අංශ සතු වූ ප්‍රමාණය ඩොලර් බිලියන 4035.7ක් පමණයි. ඉතිරි කොටස් සාමාන්‍ය පුද්ගලයින්ගේ සහ ආයතන වල ආයෝජනයි. විදේශ රාජ්‍ය අංශ සතු වූ ප්‍රමාණය ඇමරිකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය වූ ඩොලර් බිලියන 38,769.8ක මුදලින් 10.4%ක් පමණයි. සියයට අනූවකට ආසන්න ඉතිරි කොටස ෆෙඩරල් රජයෙන්ම, ඇමරිකාවේ ප්‍රාන්ත රජයන්ගෙන්, ෆෙඩරල් සංචිත බැංකුවෙන් සහ දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයින්ගෙන් හා ආයතන වලින් ලබා ගෙන ඇති ණයයි.

රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සියල්ල ඇතුළත්ව, පසුගිය (2026) පෙබරවාරි මාසය අවසන් වන විට, විදේශිකයින් සතු වූ ෆෙඩරල් ණය ප්‍රමාණ මෙසේයි. මෙම ඇස්තමේන්තු පදනම් වන්නේ අදාළ සුරැකුම්පත් මිල දී ගෙන ඇති ආයතනය පිහිටි රට මත පදනම්ව වන අතර හිමිකරුවන්ගේ ඇත්තම රට වෙනත් රටක් විය හැකියි. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් කේමන් දූපත්හි රඳවා ඇති අරමුදල් ඇමරිකන් රජය විසින් නිකුත් කර ඇති සුරැකුම්පත් වල ආයෝජනය කර තිබෙනවානම් එය ගණනය වන්නේ කේමන් දූපත් යටතේ මිස ශ්‍රී ලංකාව යටතේ නෙමෙයි.

ජපානය - ඩොලර් බිලියන 1239.3

එක්සත් රාජධානිය - ඩොලර් බිලියන 897.3

චීනය - ඩොලර් බිලියන 693.3

බෙල්ජියම - ඩොලර් බිලියන 454.7

කැනඩාව - ඩොලර් බිලියන 446.3

ලක්සම්බර්ග් - ඩොලර් බිලියන 445.7

කේමන් දූපත් - ඩොලර් බිලියන 443.0

ප්‍රංශය - ඩොලර් බිලියන 395.1

අයර්ලන්තය - ඩොලර් බිලියන 350.6

තායිවානය - ඩොලර් බිලියන 313.5

ස්විට්සර්ලන්තය - ඩොලර් බිලියන 286.7

සිංගප්පූරුව - ඩොලර් බිලියන 280.0

හොන්කොන් - ඩොලර් බිලියන 269.2

නොර්වේ - ඩොලර් බිලියන 223.0

ඉන්දියාව - ඩොලර් බිලියන 190.6

බ්‍රසීලය - ඩොලර් බිලියන 170.6

සවුදි අරාබිය - ඩොලර් බිලියන 160.4

දකුණු කොරියාව - ඩොලර් බිලියන 140.9

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් බිලියන 119.0

ඊශ්‍රායලය - ඩොලර් බිලියන 110.8

අනෙකුත් සියලුම රටවල් - ඩොලර් බිලියන 1856.3

මුළු විදේශ ණය ප්‍රමාණයෙන් චීනයේ පංගුව 2010 වන විට 26.3% තරම් ඉහල ප්‍රතිශතයක්ලෙස පැවතියද, මේ වන විට එම පංගුව 7.3%ක් පමණයි. එමෙන්ම මෙම ණය ප්‍රමාණය ඇමරිකන් ෆෙඩරල් රජයේ මුළු ණය ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකමට හෝ ඇමරිකන් මූල්‍ය වෙළඳපොළට බලපෑමක් කළ නොහැකි කුඩා පංගුවක්. 2010දී ඉහත පංගුව 6.6%ක්ව පැවතුනු අතර, පසුගිය කාලය තුළ එම පංගුව 1.8% දක්වා අඩු වීම හේතුවෙන් ඇමරිකන් ඩොලරයට කිසිදු දැනෙන බලපෑමක් සිදු වී නැහැ. එබැවින් දැනට ඉතිරි 1.8%ක පංගුව මුළුමනින්ම අහිමි වුවද, එයින් ඇමරිකන් මූල්‍ය වෙළඳපොළට සිදු විය හැකි බලපෑම එතරම් විශාල නොවන බව හිතාගන්න අමාරු නැහැ.

අනෙක් අතට, 2026 පෙබරවාරි මාසය අවසන් වන විට චීනය සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3,882.7ක්. ඉහත සඳහන් ඩොලර් බිලියන 693.3ක මුදල එම ප්‍රමාණයෙන් 17.9%ක්. මෙම පංගුව විශාල ලෙස පහත වැටී ඇතත් තවමත් සැලකිය යුතු පංගුවක්. ඒ නිසා ඇමරිකන් ඩොලරයේ විචලනයන්ට තවමත් චීනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකියි. ඒ නිසාම, ඩොලරයේ ස්ථාවරත්වය තවමත් චීනයට වැදගත්.

චීනය සතු රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉහත මුළු නිල විදේශ සංචිත ප්‍රමාණයෙන් 10.0%ක් පමණයි. මේ අනුව නිගමනය කළ හැක්කේ චීනයේ නිල සංචිත වලින් විශාල කොටසක් මේ වන විට යුරෝ, පවුම් ආදියට මාරු කර ඇති බවයි. මෙහිදී යම්තාක් දුරකට සිදුව තිබෙන්නේ චීන ප්‍රාග්ධනය ඇමරිකාවෙන් යුරෝපය වෙත විතැන් වී ඉන් පසුව යුරෝපයේ සිට නැවත ඇමරිකාව කරා පැමිණීමයි. ඇමරිකන් විදේශ ණය වල යුරෝපීය පංගුව ඉහළ යාම මගින් මෙය නිරූපණය වෙනවා.

(Image: https://www.congress.gov/crs-product/RS22331)

Thursday, April 9, 2026

වටේ ගිහින් ගෙට එන හඳ ගමන


ආටමස්-II යානය අභ්‍යවකාශගාමීන් හතර දෙනෙකුද සමඟ හඳ වටේ කැරකී හෙට නැවතත් පෘථිවිය බලා ආපසු පැමිණීමට නියමිතයි. පෞද්ගලිකව මා ඇතුළු ලෝකයේ බොහෝ දෙනෙකු මේ සඳ ගමන දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියා. නමුත් මේ විදිහට හඳ වටේ ගිහින්, හඳට ගොඩ නොබැස, ආපසු එන්නේ ඇයි කියන එක ඇතැම් අය විසින් මතු කර තිබෙන සාධාරණ ප්‍රශ්නයක්.

ආටමස්-II ගමන ගැන කිහිප දෙනෙකු විසින්ම සිංහලෙන් සටහන් පළ කර තිබුණා. ඒ සටහන් ගොඩක් හොඳ මට්ටමක තිබුණා. ඒ වගේම, සඳ ගමන ආරම්භයේදී නොතිබුණු උනන්දුවක් පසුව සිංහල පාඨකයින් අතරද දැකිය හැකි වුනා. 

හඳ වටේ රවුමක් ගැසීම අලුත් දෙයක් නෙමෙයි. වසර 56ක පෙර ඇමරිකානුවන් දෙදෙනෙකු ඊටත් වඩා දෙයක් කරමින් පළමු වරට හඳ මත ගොඩ බැස්සා. ඉන් පසුව, ගමන් වාර පහකදී, තවත් ඇමරිකානුවන් දහ දෙනෙකු හඳ මත ගොඩ බැස්සා. පළමු ගොඩ බැසීමට පෙර ආටමස්-II ගමන වැනි හඳ වටා "රවුම් ගැසීම්" සිදු වුනා. ගොඩ බැසීමක් සිදු වුනේ ඉන් පසුවයි. 

ඇපලෝ 8: හඳ වටා රවුමක් ගසා ආපසු පැමිණීම සඳ ගමනක් සේ සැලකිය හැකිනම්, පළමු සඳ ගමන සේ සැලකිය හැක්කේ ඇපලෝ 8 සඳ ගමනයි. 1968 දෙසැම්බර් 21-27 අතර සිදු වූ මේ සඳ ගමනට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු සහභාගී වුනා. ඔවුන් පළමු වරට පොළොවේ ගුරුත්ව ක්ෂේත්‍රයෙන් මිදී හඳේ කක්ෂයට ඇතුළු වුනා. ඉන් පසුව හඳ වටා රවුම් දහයක් කැරකී ආපසු නිරුපද්‍රිතව පොළොවට පැමිණුනා. මෙය ආටමස්-II ගමනෙන් සිදු වූ දෙයට වඩා වැඩි දෙයක්. මුල් වරට හඳේ නොපෙනෙන පැත්ත දුටු මිනිසුන් වන්නේද ඇපලෝ 8 අභ්‍යවකාශගාමීන් තිදෙනායි. 

ඇපලෝ 10: 1969 මැයි 18-26 අතර සිදු වූ මේ සඳ ගමනටද අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු සහභාගී වුනා. මෙම ගමන සිදු වූයේ ඉන් පසුව සැලසුම් කර තිබුණු සඳ මත ගොඩ බෑමට පෙරහුරුවක් ලෙසයි. ඒ අනුව, මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් දෙදෙනෙකු චන්ද්‍ර පෘෂ්ඨය ආසන්නයටම ගොස් සඳට ගොඩ නොබැස නැවත මවු යානය වෙත පැමිණුනා. ඔවුන් සඳ මතුපිට සිට සැතපුම් 9ක් දක්වා සඳ වෙත කිට්ටු වුනා. 

ඇපලෝ 11: පළමු වරට සඳ මත පා තැබීමක් සිදු වූයේ මෙම ඇපලෝ 11 ගමනේදීයි. එහි ගමන් කළ අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් දෙදෙනෙකුම සඳ මත ගොඩ බැස්සා. 

ඉහත ඇපලෝ 11 ගමන ඇතුළුව එවැනිම ගමන් හතක් සිදු වුනා. ඒ එක් එක් ගමනට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු බැගින් සහභාගී වුනා. ඔවුන්ගෙන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණා. නමුත් තාක්ෂනික ප්‍රශ්නයක් නිසා ඇපලෝ 13 අභ්‍යවකාශගාමීන් සඳ මත ගොඩ බැස්සේ නැහැ. ඉතිරි ගමන් හයේදී අභ්‍යවකාශගාමීන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැස්සා. 

ඇපලෝ 11 - 1969 ජූලි 20

ඇපලෝ 12 - 1969 නොවැම්බර් 19

ඇපලෝ 14 - 1971 පෙබරවාරි 5

ඇපලෝ 15 - 1971 ජූලි 30

ඇපලෝ 16 - 1972 අප්‍රේල් 21

ඇපලෝ 17 - 1973 දෙසැම්බර් 11

ඉහත යානා හයත්, සැලසුම් කළ පරිදි ගොඩ බෑමක් සිදු නොකර ආපසු පැමිණුනු ඇපලෝ 13 යානයත්, ගොඩ බෑමේ සැලසුමක් නොතිබුණු ඇපලෝ 8 සහ ඇපලෝ 10 සඳ ගමන් දෙකත් සමඟ ඇපලෝ ව්‍යාපෘතිය යටතේ මිනිසුන් සහිත සඳ ගමන් නවයක් සිදු වුනා. මේ සෑම සඳ ගමනකටම අභ්‍යවකාශගාමීන් තිදෙනා බැගින් සහභාගී වුනා. එහෙත්, මොවුන්ගෙන් තිදෙනෙකු ගමන් වාර දෙකකට බැගින් සහභාගී වූ බැවින් ආටමස්-II ගමනට පෙර සඳ ගමන් වලට සහභාගී වී ඇති පුද්ගලයින් ගණන 24ක් පමණයි. 

ඉහත සඳහන් කළ සඳ මත පා තැබූ අභ්‍යවකාශගාමීන් 12 දෙනෙකු ඇතුළු සඳ ගමන් වලට සහභාගී වූ අභ්‍යවකාශගාමීන් 24 දෙනාම සුදු, පිරිමි, ඇමරිකානුවන් වීම විශේෂත්වයක්. ආටමස්-II ගමනට ප්‍රථම වරට කාන්තාවක, කළු ඇමරිකානුවෙකු සහ ඇමරිකානුවකු නොවන කැනේඩියානුවෙකු සහභාගී වුනා. ඒ අනුව, මේ වන විට සුදු පිරිමි ඇමරිකානුවන් 25ක්, කළු ඇමරිකානුවෙක්, ඇමරිකානු කාන්තාවක් හා කැනේඩියානුවෙක් ලෙස 28 දෙනකු සඳ ගමන් වලට සහභාගී වී තිබෙනවා. 

සඳ මත ගොඩ බෑම වගේම සඳ වටා කැරකී ආපසු පැමිණීම පසුපසද සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් තිබෙනවා. ඊට අමතරව ආර්ථික හා දේශපාලනික කරුණුද තිබෙනවා. 

වසර 56ක පෙර ඇමරිකානුවන් දෙදෙනෙකුට සඳ මත පා තැබිය හැකි වීනම්, ආටමස්-II යානය හඳ වටේ කැරකී ආපසු එන්නේ ඇයි?

කෙටි පිළිතුර වන්නේ 1969දී ඇමරිකාව සතු වූ තාක්ෂනය එලෙසම දිගටම පැවතුනේ නැති බවයි. 

තාක්ෂනය කියා කියන්නේ මූලික වශයෙන්ම මානව ප්‍රාග්ධනය. භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් වසරින් වසර ක්ෂය වී යනවා. රටක ප්‍රාග්ධන සංචිතය තිබෙන මට්ටමේ ඒ විදිහටම පවත්වා ගන්න වුනත්, දිගින් දිගටම ආයෝජන කළ යුතුයි. මෙම ආයෝජන අවම වශයෙන් ක්ෂය වන ප්‍රාග්ධනයට සමාන විය යුතුයි. මේ කරුණ භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටද පොදු දෙයක්.

ඇමරිකාවට 1969දී ඇමරිකානුවන් දෙදෙනෙකු සඳ මත පා තැබීමට ඉඩ සලසනු හැකි වූයේ අවම වශයෙන් දශකයක පමණ කාලයක් පුරා අවශ්‍ය ආයෝජන සිදු කළ නිසා. නමුත් ඇපලෝ 17 සඳ ගමනින් පසුව මෙම ආයෝජන නැවතුනා. ප්‍රතිපාදන කප්පාදු වීම නිසා කලින් සැලසුම් කර තිබුණු ඇපලෝ 18, ඇපලෝ 19 හා ඇපලෝ 20 සඳ ගමන් අවලංගු වුනා. ඉන් පසුව දශක ගණනාවක් සඳ ගමන් සිදු වූයේ නැහැ.

මේ වන තුරු මිනිසුන් සඳ වෙත රැගෙන යාමක් සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ මෙහෙයවීම යටතේ පමණයි. වෙනත් රටවල් විසින් මිනිසුන් රහිත යානා සඳ වෙත යවා ඇතත්, ඒ රටවල් කිසිවක් මිනිසුන් සහිත යානයක් සඳ මත ගොඩ බැස්වීමට තබා ආටමස්-II යානය මෙන් සඳ වටා යාමට ඉඩ සැලැස්වීමට හෝ සමත් වී නැහැ. ඒ නිසා, සඳ තරණය හා අදාළ වන මානව ප්‍රාග්ධන සංචිතයක් පැවතුණේ ඇමරිකාවේ නාසා ආයතනය සතුව පමණයි. එම මානව ප්‍රාග්ධන සංචිතය ක්ෂය වී අවසන් වීමෙන් පසුව එය මුල සිටම ගොඩ නගා ගනු මිස ලෝකයේ වෙනත් තැනකින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

සියවස් බාගයකටත් පසුව නාසා ආයතනය විසින් නැවතත් සඳ වෙත මිනිසුන් යවන්නට සැලසුම් කිරීමෙන් පසුව බොහෝ දුරට සිදු වුයේ රෝදය නැවත සොයා ගන්නට සිදු වීමක්. ආටමස්-II යානය සඳ වටා කැරකී ආපසු එන්නට ඇත්ත හේතුව එයයි. ආටමස්-II අභ්‍යවකාශ ගමන සිදු වන්නේ අඩ සියවසකට පෙර දැන සිටි බොහෝ දේ නැවත ඉගෙන ගෙන අත් හදා බැලීමෙන් පසුවයි. ඊට අමතරව, පසු ගිය අඩ සියවස තුළ ඇමරිකාව තුළ මෙන්ම ඇමරිකාවෙන් පිටතද වෙනත් බොහෝ කේෂේත්‍ර තුළ ගොඩ නැගී ඇති මානව ප්‍රාග්ධනය මේ ව්‍යාපෘතිය තුළට අවශෝෂණය කර ගෙන තිබෙනවා. 

දැනට තිබෙන සැලසුම් අනුව, නැවත සඳ මත පා තැබීමක් සිදු කිරීමට නියමිතව තිබෙන්නේ 2028 වසරේදී සිදු වන ආටමස්-IV ගමනේදීයි. සැලසුම අනුව, එම ගමනේදී අභ්‍යවකාශගාමීනේ දෙදෙනෙකු සඳ මත ගොඩ බැස සතියක කාලයක් එහි ගත කිරීමට නියමිතව තිබෙනවා. 

මිනිස් ඉතිහාසයේ සාර්ථකම සැලසුමක් වූ ඇපලෝ ව්‍යාපෘතිය හිටිවනම නැවතුනේ ඇයි? ඉන් පසු අඩ සියවසක කාලයක් එවැනි සඳ තරණයක් සිදු නොවූයේ ඇයි? ඒ වගේම, මෑතකදී නැවතත් මේ පිළිබඳව උනන්දුවක් ඇති වූයේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු තිබෙන්නේ තාක්ෂනික කරුණු තුළ නෙමෙයි. ආර්ථික හා භූ දේශපාලනික කරුණු තුළයි. දැන් අපි ආටමස්-II යානය හඳ වටේ ගිහින් ආවා වගේ වටයක් ගහමින් මේ කරුණු ගැන ටිකක් කතා කරමු.

ද්වි ධ්‍රැවීකරණය වූ ලෝකයක, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද්ධයෙන් වියුක්තව ඇපලෝ ව්‍යාපෘතිය ගැන කතා කරන්න බැහැ. ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුළේ පෞද්ගලික අංශය ආයෝජන කරන්නේ පැහැදිලිව පේන අපේක්ෂිත ලාබයක් දිහා බලාගෙන. ලාබයක් නොකියා අපේක්ෂිත ලාබයක් කියා කියා තියෙන්නේ ඕනෑම ආයෝජනයක අවදානමක් තිබෙන නිසා. 

ලාබයක් පැහැදිලිව පේන්න නැතත් පෞද්ගලික අංශය ආයෝජන කරනවා. නමුත් පෞද්ගලික ආයෝජන සිදු වෙන්නනම් අවම වශයෙන් ලාබයක් ලැබීමේ ඉඩකඩ පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන්න ඕනෑ. රාජ්‍ය ආයෝජන හා අදාළව මෙය අනිවාර්යය අවශ්‍යතාවයක් නෙමෙයි. විවිධ දේශපාලනික අරමුණු වෙනුවෙන්ද රාජ්‍ය ආයෝජන කරනවා. 

රාජ්‍යමූලික මධ්‍යගත ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වූ සෝවියට් දේශයේ රාජ්‍ය ආයෝජන අභ්‍යවකාශ තරණය සඳහා අවශ්‍ය භෞතික හා මානව ප්‍රාග්ධනය ගොඩ නැගීම වෙනුවෙන් විශාල ලෙස වෙන් කෙරුණා. ඇමරිකාවේ එවැනි දෙයක් සිදු වුනේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව වූ ස්පුට්නික්-1 සෝවියට් දේශය විසින් 1957දී අභ්‍යාවකාශගත කෙරුණා. මෙය ඇමරිකාව පහු කරගෙන සෝවියට් දේශය තාක්ෂණිකව විශාල ඉදිරි පිම්මක් පැනීමක්.

ඇමරිකාව 1958දී නාසා ආයතනය ස්ථාපනය කළේ සෝවියට් දේශය ස්පුට්නික්-1 යැව්වට පස්සේ. නමුත් මේ හා අදාළ තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටි සෝවියට් දේශය 1961දී පළමු වරට මිනිසෙකුව අභ්‍යවකාශගත කළා. මෙය ඇමරිකාව කම්පනය කළ සිදු වීමක් කියා කියන්න පුළුවන්.

සෝවියට් දේශය විසින් යුරි ගගාරින්ව 1961දී අභ්‍යාවකාශයට යැවීමෙන් පසුව ලෝකය හමුවේ තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටි රට සේ පෙනුනේ සෝවියට් දේශයයි. මේ අභියෝගය හමුවේ, ඇමරිකාවට හැකි ඉක්මණින් මේ හා අදාළ තාක්ෂණයේ ප්‍රමුඛයා වීමට අවශ්‍ය වුනා. ඒ අනුව, 1960 දශකය අවසන් වීමට පෙර ඇමරිකානුවෙකු හඳට යැවීමේ ඉලක්කය ඇතිව, ඇමරිකානු රජය විසින් විශාල ලෙස අරමුදල් වෙන් කළා. මෙය සිදු වුනේ 1961දී.

වසර අටකට පසු, ඇමරිකාව මේ ඉලක්කය ජයගත්තා. හැටේ දශකය අවසන් වීමට පෙර, 1969 ජූලි 20 දින, ඇමරිකානුවෙකු වූ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබා එහි ඇමරිකන් කොඩියක් හිටෙවුවා. සඳ තරණ තරඟයෙන් සෝවියට් දේශය පසු කර ඇමරිකාව ඉදිරියට ආවා. 1969-1973 කාලයේ ඇමරිකාව නැවත නැවත සඳ මත ඇමරිකානුවන්ගේ පා සලකුණු සටහන් කරද්දී සෝවියට් දේශය විසින්ද මේ සඳහා දිගින් දිගටම උත්සාහ කළත් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. පසුව සෝවියට් දේශය විසින් මේ වැඩේ නිල වශයෙන්ම අත හැර දැම්මා. 

කොහොම වුනත් ඇමරිකාව ඇපලෝ වැඩ සටහන ඊට කලින්ම නැවැත්තුවා. තරඟයෙන් පැහැදිලි ලෙසම සෝවියට් දේශය පරදා ජය ගැනීමෙන් පසුව ඇමරිකාවට මේ වෙනුවෙන් තව තවත් සල්ලි පොම්ප කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔය කාලයේ ලංකාවේ රාජ්‍ය නායිකාවක් විසින් කියා තිබුණු විදිහට, ඇමරිකන් කාරයින් හඳට ගිහින් බලද්දී හඳේ හාල් තිබුණේ නැහැ. ඒ නිසා වියදම් කරලා ගියාට හඳෙන් හාල් ගේන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. වෙන ආර්ථික වශයෙන් වැදගත් දෙයක් හඳේ තිබුනෙත් නැහැ. 

වියදම් කපන්න තවත් හේතු තිබුණා. ඔය කාලය ඇමරිකාවට ආර්ථික වශයෙන් අමාරු කාලයක්. ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය සීමා කර ලෝක තෙල් අර්බුදයක් ඇති කළේත් ඔය කාලයේ. ඇමරිකාවට එතෙක් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රන් සම්මත ක්‍රමය තව දුරටත් පවත්වා ගන්න බැරි වී ඒක පාර්ශ්වීය ලෙස රන් සම්මතයෙන් ඉවත් වුනෙත් ඔය කාලයේ. නමුත් තමන්ට අවාසිදායක මේ ලෝක තත්ත්වය හමුවේ ඇමරිකාව විසින් කළේ එතෙක් පැවති "තරඟයේ නීති" වෙනස් කරන එකයි. ඒ අනුව, ෆියට් මුදල් ක්‍රමය ලෝකයේ සාමාන්‍ය සම්මතය බවට පත් වුනා. ඇමරිකාවට අවුලක් නැතුව විශාල වෙළද ශේෂ හිඟයක් එක දිගට අඛණ්ඩව නඩත්තු කරන්න පුළුවන් වුනා. 

ඇමරිකාවේ වෙළඳ ශේෂයේ ඉතිහාසය දිහා බලද්දී පැහැදිලි යුග තුනක් හඳුනා ගන්න පුළුවන්. 1870ට පෙර යුගය, 1870-1970 අතර සියවසක කාලය සහ 1970න් පසු කාලය විදිහට. 1870ට පෙර, යම් විචලනයන් තිබුණත්, ඇමරිකාවේ වෙළඳ හිඟයක් පැවති කාලයක්. රන් සම්මතයක් පැවති ඒ කාලයේ ඇමරිකාවෙන් රන් හමු වූ නිසා වෙළඳ හිඟයක් පැවතීම ඇමරිකාවට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇමරිකාවේ රන් අවසන් වෙද්දී (මෙයින් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වීමක් නෙමෙයි), රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාව විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. ඒ නිසා තරඟකාරී ලෝක වෙළඳපොළ ඇතුලේ පහසුවෙන්ම එක දිගටම වෙළඳ අතිරික්තයක් පවත්වා ගන්න ඇමරිකාවට පුළුවන් වුනා.

ඔය තත්ත්වය වසර සීයක් පැවතුනත්, දිගටම තිබුණේ නැහැ. 1970 පමණ වෙද්දී ඇමරිකාවේ වෙළඳ අතිරික්තය වෙළඳ හිඟයක් බවට පත් වුනා. රටේ ඉන්ධන "අවසන් වීම" මෙයට ප්‍රධාන හේතුවක් වුනා. කාලයක් තිස්සේ ලෝකයේ ලොකුම ඉන්ධන නිෂ්පාදකයා වෙලා හිටියේ ඇමරිකාව. ඔය කාලයේ සිට වසර පණහක පමණ කාලයක් යන තුරු ඉන්ධන ප්‍රශ්නය ඇමරිකාවට ලොකු හිසරදයක් වෙලයි තිබුණේ. ඒ නිසාම, ඇමරිකාව සම්බන්ධ වූ ගැටුම් ගණනාවක එක පැත්තක තෙල් තිබුණා. 1973දී ජනාධිපති නික්සන් විසින් 1980 වෙද්දී ඉන්ධන ස්වායත්තතාව කරා යාම ජාතික ඉලක්කයක් ලෙස ඉදිරිපත් කර ඒ වෙනුවෙන් කටයුතු කළත්, සඳ තරණ ඉලක්කය වගේ පහසුවෙන් ඇමරිකාවට මේ ඉලක්කය ලඟා කර ගත හැකි වූයේ නැහැ. අවසානයේදී ඇමරිකාව ඉලක්කය ජයගත්තේ 2020 පමණ තරම් කාලයකට පසුවයි.

ඔය අතරවාරයේ, වසර පණහක පමණ කාලයක්, විශාල වෙළඳ හිඟයක් එක්ක ඇමරිකාව අල්ලාගෙන හිටියේ ඇමරිකන් ඩොලරයට තිබුණු ලෝක ආධිපත්‍යයේ උදවුවෙන්. නමුත් මේ වෙද්දී එම තත්ත්වය වෙනස් වෙලා. 

දැන් ඇමරිකාව විසින් නැවතත් ඉන්ධන ස්වායත්තතාව ලඟා කරගෙන තිබෙනවා වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු නොකළත් ස්වාධීනව පැවතිය හැකි ආර්ථිකයක් ඇමරිකාව සතුව තිබෙනවා. ඒ තත්ත්වය තුළ ඩොලරයේ ආධිපත්‍යය ඇමරිකාවට තව දුරටත් කලින් වගේ වැදගත් නැහැ. 

ඩොලරයේ ආධිපත්‍යය සහ ඇමරිකාවේ වෙළඳ හිඟය එක කාසියක දෙපැත්ත වගේ. ඩොලරයේ ආධිපත්‍යය තියා ගන්නනම් වෙළඳ හිඟයක් නඩත්තු කරන්න වෙනවා. වෙළඳ හිඟය අඩු කරගන්නනම් ඩොලරයේ ආධිපත්‍යය අත අරින්න වෙනවා. ඔය දෙකෙන් දෙවැන්න භෞතික නොවන සහ කොහොමටත් තිරසාර නැති, නාමික දෙයක්. ඊට සාපේක්ෂව වෙළඳ හිඟය අඩු වීම මගින් නිරූපණය වන්නේ භෞතික වශයෙන් රට ඇතුළේ සිදුවන නිෂ්පාදනය ඉහළ යාම. අඩ සියවසකට පසුව ඉන්ධන ප්‍රශ්නය විසඳා ගෙන නැවතත් ලෝකයේ විශාලතම ඉන්ධන නිෂ්පාදකයා බවට පත් වීමෙන් පසුව, අනෙකුත් නිෂ්පාදන වල තරඟකාරිත්වය හා අදාළවද ඇමරිකාව කාලයක් නොසිටි වාසිදායක තැනක ඉන්නවා. 

නිෂ්පාදනය හා අවශ්‍ය මානව ප්‍රාග්ධනය හා අදාළව අභ්‍යවකාශ තරණය ගැන කතා කරද්දී කියපු දේවල් අනෙක් නිෂ්පාදන වලටත් අදාළයි. ඩොලරයේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් ඇමරිකාවට ලෝකයේම "ගැනුම්කරු" වෙන්න සිදු වුනා. ඇමරිකාවෙන් ඩොලර් එළියට යද්දී ඒ වෙනුවෙන් රටට එන දෙයක් තිබිය යුතුයි. ඒ අනුව, ලෝකය පුරා නිපදවනු ලැබූ භාණ්ඩ ඇමරිකාවට ආවා. නමුත් ඒ භාණ්ඩ සියල්ලක්ම ඇමරිකාව තුළ නිපදවා ගත හැකිව තිබුණු දේවල්. එසේ නැතිව, ඇමරිකාවට තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ලංකාව වාහන රටේ නොහදා ආනයනය කරන්නේ වාහන රට ඇතුළේ හදා ගන්න අවශ්‍ය තාක්ෂනය රට ඇතුළේ නැති නිසා. නමුත් ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් මිල දී ගන්න පටන් ගත්තේ රෙදි මහන තාක්ෂනය ඇමරිකාවේ නොතිබුණු නිසා නෙමෙයි. අඩු ඩොලර් ප්‍රමාණයක් වැය කර වැඩේ කරගන්න පුළුවන් වූ නිසා. එහෙම පුළුවන්කමක් ඇමරිකාවට ලැබෙන්න එක හේතුවක් වුනේ ලෝකය පුරාම ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම නිසා ඇමරිකන් ඩොලරයට එහි ඇත්තම වටිනාකම ඉක්මවන වටිනාකමක් ලැබී තිබීමයි. 

ඕනෑම සරල දෙයක් කාලයක් නොකර ඉඳිද්දී ඒ සඳහා අවශ්‍ය මානව ප්‍රාග්ධන සංචිතය ක්ෂය වී අවසන් වෙනවා. ඇඳුම් මහන එක වගේ සරල දෙයක් සැලකුවත්, හෙට ඇමරිකාවේ ඇඟලුම් කම්හලක් පටන් ගත්තොත්, ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයෝ ඇමරිකාවේ නැහැ. අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැවත ගොඩ නගා ගන්න යම් කාලයක් යනවා. මෙය පිරිවැය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. 

නිෂ්පාදන ආර්ථිකයක් නැතිකම කාලයක්ම ඇමරිකාවට ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය බොහොමයක් භාණ්ඩ ආනයනය කළා කියලා ඇමරිකානුවන්ට රැකියා නැති වුණේ නැහැ. නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ආනයන ආදේශ වෙද්දී ඇමරිකානුවෝ සේවා අංශ වල රැකියා වලට විතැන් වුනා. ඒ මගින් උපයපු ඩොලර් වලින් ඔවුන්ට ආනයනික භාණ්ඩ මිල දී ගෙන සුවපහසු ජීවිතයක් ගත කළ හැකි වුනා. නමුත් කෘතීම බුද්ධිය විසින් සේවා අංශයේ රැකියා උදුරා ගනිද්දී මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ තත්ත්වය යටතේ, කිසිසේත්ම ප්‍රයෝජනයට නොගැනෙන ශ්‍රමයට සාපේක්ෂව, වැඩි පිරිවැයක් ගෙවන්න වෙන ශ්‍රමය ඇමරිකාවට වාසියක්. ඇමරිකාවේ අලුත් තීරු බදු ප්‍රතිපත්තිය ඔය තත්ත්වය හමුවේ ආපු දෙයක් මිසක් තනි පුද්ගලයෙකුගේ පිස්සු තීරණයක් නෙමෙයි.

අනෙක් පැත්තෙන්, ක්‍රය ශක්ති සාම්‍යය අනුව, වසර කිහිපයක සිටම ලෝකයේ ලොකුම ආර්ථිකය චීනය. 2026 වසර සඳහා මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව ඇමරිකාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 31.8ක් වෙද්දී චීන ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 43.5ක්. ඉන්දියාවේ ආර්ථිකයද ඩොලර් ට්‍රිලියන 19.1ක්.

ඇමරිකාවේ ජනගහණය මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටවල් වන චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ඇමරිකාවට වඩා විශාල වීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. අසාමාන්‍ය දෙයක් වන්නේ එය එසේ නොවීමයි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව චීන ආර්ථිකය දැනටමත් ඇමරිකානු ආර්ථිකය ඉක්මවා ගොස් අවසන්. නමුත් නාමික පදනමින් චීන ආර්ථිකය තවමත් (මූල්‍ය අරමුදලේ 2026 ඇස්තමේන්තුව) ඩොලර් ට්‍රිලියන 20.7ක් පමණයි. 

චීන ආර්ථිකයේ නාමික විශාලත්වය සහ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව එහි විශාලත්වය අතර ඉහත වෙනස මගින් පෙන්නුම් කරන්නේ ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා තිබෙන ඉල්ලුම සහ චීන යුවානයට එවැනි ඉල්ලුමක් නොමැති වීම අතර වෙනස කියා කියන්නත් පුළුවන්. රටේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සැලකුවොත්, වඩා ගැලපෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය අගයයි. නමුත් චීන යුවානයට ඇමරිකන් ඩොලරයක් වීම පහසු නැති නිසා තවත් වසර ගණනක් යන තුරු නාමික අගයන් වලට වැදගත්කමක් තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරන සන්දර්භයකදී වඩා ගැලපෙන නිර්ණායකය නාමික අගයයි. 

ඇමරිකන් ඩොලරයට තිබුණු ආධිපත්‍යය කඩා වැටෙමින් තිබෙනවා. නමුත් එසේ වූ පමණින් ඇමරිකන් ඩොලරයට හිමිව තිබුණු තැන චීන යුවානයට ගන්න බැහැ. එහෙම වෙන්නනම් චීනයත් ඇමරිකාව වගේම විශාල පරිභෝජන ආර්ථිකයක් විය යුතුයි. නමුත් චීන ආර්ථිකයේ මූලික පදනම වන්නේම පරිභෝජන ආර්ථිකයක් නොවී නිෂ්පාදන ආර්ථිකයක් වීමයි. 

අනෙක් අතට ලෝකයේ ලොකුම ආර්ථිකය සේ සැලකිය හැකි වුවත්, චීනය ඉහළ ආදායම් රටක් නෙමෙයි. යුවාන් අපනයන කර ලෝකයේ වෙනත් රටවලින් ගෙන්වා ගන්නා ආනයන පරිභෝජනය කළ හැකි තරම් ආදායම් මට්ටමක් චීන පාරිභෝගිකයින් සතුව නැහැ. ඒ වගේම ඔවුන් ඉතිරි කරන්නන් මිසක් පරිභෝජකයින් නෙමෙයි. චීන ජනතාවද ඇමරිකානුවන් මෙන් සමස්තයක් ලෙස පරිභෝජකයින් වුවහොත්, චීන ආර්ථික වර්ධනයේ එන්ජිම නවතිනවා. චීනය මේ මට්ටම දක්වා ආවේ ඇමරිකානුවන්ගේ පරිභෝජනයේ උදවුවෙන්.

ඉහත තත්ත්වය නිසා යුවානයට ඩොලරය සඳහා ආදේශකයක් විය නොහැකි වුවත්, රටක් ලෙස ඇමරිකාවට කළ හැකි බොහෝ දේ කළ හැකි තරමේ ආර්ථික ශක්තියක් චීනය සතුව තිබෙනවා. තාක්ෂනය අතින්ද චීනය සෑහෙන ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ පදනම මත, කාලයක් පැවති ඒක ධ්‍රැවීය ලෝක බල ආකෘතියද නැවත වෙනස් වී තිබෙනවා. ඒ වගේම, ඇමරිකන් හා චීන ආර්ථිකයන් වේගයෙන් එකිනෙකින් විසන්ධි වෙමින් තිබෙනවා. ඔය රටවල් දෙකට අමතරව ලෝකයේ බල කලාප ගණනාවක් ගොඩ නැගෙමින් තිබෙනවා. 

ආටමස්-II සඳ ගමන සිදු වන්නේ මෙවැනි පසුබිමකයි. මේ හරහා සිදු වූ තවත් එක් සුවිශේෂී දෙයක් වූයේ, වෙළඳ යුද්ධය හේතුවෙන් යම් තරමකින් දුරස් වී සිටි, කැනඩාව ඇමරිකාව හා නැවත එකතු වීමයි. මා හිතන්නේ ඇමරිකාවටත් වඩා මේ ගැන කැනඩාව තුළ වූ උනන්දුව වැඩියි. ඇත්ත වශයෙන්ම කැනඩාව හා සිදු වූ වෙළඳ යුද්ධය සහ ආසන්න සිදුවීම් දෙස බැලිය යුත්තේද චීන ඇමරිකා වෙළඳ යුද්ධය දෙස බලන ආකාරයන් නෙමෙයි. මෙය එක්තරා ආකාරයක "ආදර රණ්ඩුවක්". අවසාන වශයෙන් සිදු විය හැක්කේ උතුරු හා දකුණු ඇමරිකානු කලාප දෙකම එක් බල කලාපයක් ලෙස ඒකාබද්ධ වීම සහ ලෝකයේ අනෙක් ප්‍රදේශ වලද එවැනි බල කලාප බිහි වීමයි. 

අනෙක් පැත්තෙන්, සෝවියට් දේශය හෝ චීනය වැනි සමාජවාදී රටවලින් වෙනස්ව ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආයෝජන සිදු විය හැක්කේ පුළුල් ජනතා කැමැත්තක් ඇත්නම් පමණයි. ඇපලෝ මුල් ඉලක්ක ජය ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් තව තවත් මුදල් පොම්ප කිරීම ඇමරිකානු ජනතා අභිලාෂයක් වූයේ නැහැ. හැදීගෙන එන බහු ධ්‍රැවීය ලෝකය තුළ නැවතත් එවැන්නක් ඇමරිකානු ජනතා අභිලාෂයක් බවට පත් වෙමින් තිබෙනවා. එසේ නැත්නම්, එවැනි ජනතා අභිලාෂයක් ප්‍රවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ඇමරිකාවේ සැලසුම් සහගත ජාතික දේශපාලන ඉලක්කයක් වී තිබෙනවා.

ඇමරිකාවට ලෝක ආධිපත්‍යය දිගටම පවත්වා ගැනීම සඳහා පළමු බහු-ග්‍රහවාසී ජාතිය වීම වැනි ලොකු පිම්මක් පනින්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම, ඇමරිකාව මේ පිම්ම පනින්නට යන්නේ තනිවම නොව ජපානය ඇතුළු අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද එකතු කර ගෙනයි. එය එක අතකින් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පෘථිවියෙන් ඔබ්බට ගෙන යාමේ වෑයමක්.

අනෙක් අතට මේ දෙවන වටයේ අභ්‍යාවකාශ වැඩ සටහන තුළ ආර්ථික ඉලක්ක වලටද බරක් තබා තිබෙනවා. ඇපලෝ සඳ ගමන් වලට සාපේක්ෂව ආටමස්-II සඳ ගමන සඳහා වැඩි කාලයක් ගත වී තිබෙන්නේ තාක්ෂණයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. පිරිවැය කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වී තිබෙන නිසා. 

මෙවර ඇමරිකාවේ අභ්‍යාවකාශ වැඩ සටහනේ ඉලක්කය හඳට ගොස් ආපසු පැමිණීම නොව හඳේ සහ ඉන් ඔබ්බට අඟහරු ග්‍රහ ලෝකයේ ස්ථිර මිනිස් ජනාවාස හැදීමයි. මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථක විය හැක්කේ ඒ සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වේනම් පමණයි. ඇපලෝ යුගයේදී එය එසේ සිදු නොවුනත් මේ දෙවන වටයේදී එම තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙනවා. අභ්‍යාවකාශ වැඩ සටහන් තුළ පෞද්ගලික අංශයේ දායකත්වය මගින් මේ බව තහවුරු කෙරෙනවා. ඒ අනුව, මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව වෙළඳපොළ අර්ථ ක්‍රමයද පෘථිවිය ඉක්මවා තවත් ග්‍රහලෝක කරා ව්‍යාප්ත වීමක්. එය සිදු වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් විකල්ප අක්ෂයක් පෘථිවි බල දේශපාලනය තුළ ශක්තිමත් වෙමින් පවතින පසුබිමක එයට ප්‍රතිචාරයක්ද ලෙසයි. 

Saturday, February 21, 2026

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?


ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?

මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.

පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.

මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.

නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා. 

ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.

පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන "නීති විරෝධී" තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 


Friday, September 12, 2025

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය

පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන කතා කරලා තිබුණු නිසා නැවත ඒ දේවල්ම කතා කරන්න අදහසක් නැහැ.

මෙහි ලියා ඇති දේ කලක සිට කියවන අය දන්නා පරිදි, මා මිනිස් ඝාතන අනුමත කරන අයෙක් නෙමෙයි. එය නේපාලයේ දෙපැත්තෙන්ම සිදු වූ මරණ වලට වගේම චාලි කර්ක් ඝාතනයටත් අදාළයි. ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ වෙද්දී සිදු වෙන නීත්‍යනුකූල ඝාතන වලටත් අදාළයි. 

මම දකින විදිහටනම් උපත හා මරණය කියා කියන්නෙත් අනෙක් බොහොමයක් දේවල් මගේම සමාජ සම්මුතීන් පමණයි. මරණය සමාජ සම්මුතියක් වුනත්, ඊනියා මරණය දක්වා මිනිස්සු ජීවත් වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා කියලා හිතනවා. ජීවත් වන මිනිස්සු, ඉඳ හිට හැර, මැරෙන්න කැමති නැහැ. 

මැරෙන්න කැමති නැති ජීවත් වන පුද්ගලයෙක්ට මැරෙන්න සලස්වන එක, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු විසින් මරන එක, සාධාරණීකරණය කිරීම මටනම් කිසිසේත්ම නොකළ හැකි දෙයක්. කෙනෙකුට තමන්ගේම ජීවිතය නැති කර ගන්න අවශ්‍යනම් ඒක වෙනම දෙයක්. ඒ වගේම, තමන්ගේ ජීවිතය පහසු ආකාරයකින් අවසන් කර ගැනීම සඳහා වෙනත් අයෙකුගේ උපකාර පැතීම සහ එසේ උපකාර කිරීම (euthanasia) වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. නමුත් තමන්ට විනාශයක් ගෙන දෙන මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෙයක් මේ විදිහට සාධාරණීකරණය කළ හැක්කේ එයින් තෙවන පාර්ශ්වයන්ට හානියක් නොවන්නේනම් පමණයි.

මගේ මූලධර්මය වන්නේ ජීවත්වන, සිහියෙන් ඉන්න, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ගේ ශරීරය හා අදාළව තීරණ ගැනීමේ නිදහස තිබිය යුතුයි කියන එක. හානියක් කරගන්න උත්සාහ කරද්දී එවැනි අයෙකුට කරුණු පැහැදිලි කර දීම වෙනම වැඩක්. නමුත් අවසාන වශයෙන් තීරණය පුද්ගලයා සතු විය යුතු එකක්. මේ හේතුව නිසාම, තමන්ගේ සිරුර තුළට වෙනත් අයෙකුට ඇතුළු වෙන්න ඉඩ දිය යුතුද, තමන්ගේ සිරුර ඇතුළේ වෙනත් දෙයකට වර්ධනය වෙන්න ඉඩ දිය යුතුද වගේ දේවලුත් පුද්ගලික නිදහසේම කොටස්. ඒ වගේ දේවල් ගැන වෙනත් අය තීරණ ගන්න එක නිවැරදි නැහැ. කවුරු හෝ එහෙම කියනවානම් එහි තිබෙන්නේ බලහත්කාරයක්. 

චාලි කර්ක් කියන්නේ ඇමරිකාවේ දේශපාලනයේ දක්ෂිණාංශික අන්තය නියෝජනය කළ කෙනෙක්. ඔහු තමන්ගේ දේශපාලන මතවාද වලට ගැලපෙන විදිහට තෝරා බේරාගෙන, පක්ෂග්‍රාහීව කරුණු ඉදිරිපත් කිරීම් කළා. මෙය වාමාංශික අන්තයේ ඉන්න අය වගේම දක්ෂිණාංශික අන්තයේ ඉන්න අයත් කරන වැඩක්. පරීක්ෂණ අවසන්ව නැතත්, චාලි කර්ක් ඝාතනයට හේතුව ඔහු විසින් ප්‍රචාරණය කළ මතවාදය මිසක් වෙනත් පෞද්ගලික කාරණාවක් කියා හිතන්න අමාරුයි. 

දැනට චෝදනා එල්ල වී තිබෙන්නේ සාපේක්ෂව අඩු වයසක සිටින තරුණයෙකුටයි. මෙය කළේ ඔහුනම්, තමන්ගේ මුළු ඉදිරි අනාගතයම පරදුවට තියලා මේ වගේ වැඩක් කළේ ඇයි කියන එකත් සිතා බැලිය යුතු දෙයක්. 

මෙවැනි ඝාතනයක් මේ තරම් පහසුවෙන් කරන්න ඇමරිකාවේ ගිණි අවි ප්‍රතිපත්තියත් උදවු වෙනවා තමයි. නමුත් ගිණි අවි නිදහස වෙනුවෙන් කෙනෙකු පෙනී සිටීම කිසිසේත්ම ඝාතනයක් සාධාරණීකරණය කරන්නේ නැහැ. 

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳව මාස කිහිපයකට පෙර චාලි කර්ක් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා බෙදා හැර තිබුණු සමීක්ෂණ ප්‍රතිඵලයක් නැවත උඩට ඇවිත් තිබෙනවා. මෙහි ඔහු අවධාරණය කරන්නේ ඇමරිකාවේ වාමාංශය තුළ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සංස්කෘතිය ව්‍යාප්ත වෙමින් පවතින බවයි. 

නේපාලයේ සිට ඇමරිකාව දක්වා වරින් වර මතු වන ප්‍රචණ්ඩත්වය මගින් නැවත නැවත තහවුරු කරන්නේ මිනිසා කියන්නේත් තවත් එක් සතෙක්ම බවයි. තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන බව පෙනෙද්දී මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙනවා. එය සිදු වන්නේ ආර්ථික හා සමාජයීය වශයෙන් නොදියුණු රටවල පමණක් නෙමෙයි. ඝාතන සංස්කෘතියට අප‍ට කොයි තරම් විරුද්ධ විය හැකි වුවත්, යටපත් කර ගෙන සිටින මේ මිනිස් ස්වභාවය වරින් වර උඩට මතු වෙන එක වලක්වන්න අමාරු දෙයක්. මේ කාරණයේදී අප එකිනෙකා වෙනස් වන්නේ අපට අපේ හැඟීම් පාලනය කර ගත හැකි උපරිම සීමාව කුමක්ද යන්නෙන් පමණයි.

විවිධ අය විවිධ ආකාර වලින් දේශපාලන දක්ෂිණාංශය අර්ථ දක්වනවා. ඒ කොයි විදිහට අර්ථ දැක්වුවත්, සාමාන්‍යයෙන් පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය එලෙසම පවත්වා ගැනීම නියෝජනය කරන්නේ දක්ෂිණාංශයයි. ඒ නිසාම, පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය තුළ වරප්‍රසාද හිමි කරගන්නා පිරිස් දක්ෂිණාංශය වටා එකතු වෙනවා. ඒ තුළ, බැහැර වන අවවරප්‍රසාදිත කොටස් වාමාංශය වටා එකතු වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය කඩා බිඳ දැමීමටයි. 

දේශපාලන අභිලාශ වල තිබෙන මේ වෙනස්කම් නිසාම වාමාංශික දේශපාලන නැඹුරුව තුළ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. දක්ෂිණාංශයට ඒ නැඹුරුව කළමනාකරණය කර ගත හැකි වන්නේ එක්කෝ වැඩිපුර අන්තවාදී නොවීමෙන්. එසේ නැත්නම්, තමන්ද ප්‍රචණ්ඩ වීමෙන්. 

චාලි කර්ක් විසින් උපුටා දක්වා තිබුණු සමීක්ෂණය සිදු කර තිබෙන්නේ රට්ගර්ස් සරසවිය විසින්. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව, ඇමරිකාවේ වාමාංශික මතධාරීන් අතරින් 50.2%ක් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා. එමෙන්ම, ඔවුන් අතරින් 56%ක් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා.

මේ සමීක්ෂණය පිළිබඳ ගැටළු අමතක කළහොත්, මෙම ප්‍රතිශත පිලිබඳව කනස්සළු නොවී සිටිය නොහැකියි. කෙසේ වුවද, වඩාත්ම අවධානය යොමු විය යුත්තේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන කතා කරද්දී චාලි කර්ක් විසින් කතා කර නැති කොටසයි. එනම්, දක්ෂිණාංශික මතධාරීන් අතරින් 14.3%ක් විසින් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීමත්, 20.3%ක් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමත් යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කර ඇති බවයි.

මට අනුවනම්, දෙවැන්න පළමුවැන්නට වඩා අවධානය යොමු විය යුතු කරුණක්. දක්ෂිණාංශිකයින්ගෙන් 20.3%ක් තමන්ගේම පිළේ සිටින ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම අනුමත කරන්නේනම්, විරුද්ධ පිළේ සිටින වාමාංශිකයින් අතරින් 56%ක් එසේ සිතීම අමුතු දෙයක් නෙමෙයි. 

මෙයින් බොහෝ විට පෙන්වන්නේ මෙම සමීක්ෂණයේ දුර්වලතාවය වෙන්න පුළුවන්. එහෙත් එය එසේ නොවේනම්, මෙමගින් පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳ භයානක තත්ත්වයක්. තමන්ගේම පිළේ සිටින ප්‍රබල නායකයෙකුව ඝාතනය කිරීම දක්ෂිණාංශිකයින් අතරෙන් 20.3%ක්ම අනුමත කරන්නේනම්, ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින වාමාංශික නායකයෙකු පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? එම ප්‍රතිශතය 56%ට අඩු විය හැකිද? සමීක්ෂණය මේ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැති නිසා ඇමරිකානුවන්ගේ ඝාතන සංස්කෘතියේ ප්‍රශ්නය වාමාංශිකයින්ට පමණක් බැර කළ නොහැකි එකක්.

දක්ෂිණාංශික මතධාරියෙකුට ජනාධිපති ට්‍රම්ප්ව හෝ ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම සාධාරණීකරණය කළ හැකි විය හැක්කේ කෙසේද? මීට හේතුව ඔවුන්ට අනුව වුවද, මොවුන් ඕනෑවට වඩා දක්ෂිණාංශික වීමද? එසේ නැත්නම්, ඔවුන්ට අවශ්‍ය තරමට දක්ෂිණාංශික නොවීමද?



Thursday, August 14, 2025

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?


ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින් දිගින් දිගටම කියපු කතාව වුනේ "මේ බදු ගෙවන්න වෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයාට" කියන එකයි. බටහිර මාධ්‍ය වලින්ද ඔය අදහසට බරක් තබා ඇති බව දැකිය හැකියි.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඔය අන්ත දෙකම ඇත්ත නෙමෙයි. ඕනෑම බද්දක බර, ගෙවන්නේ කවුරු විසින් වුනත්, අවසාන වශයෙන් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යනවා. මෙය සිදු වන්නේ කවර අනුපාතයකින්ද කියන එක තීරණය වන්නේ මිල ප්‍රත්‍යස්ථතා මතයි. 

ඇමරිකාවේ ආනයනික භාණ්ඩ හා අදාළව පාරිභෝගිකයා ඉන්නේ ඇමරිකාවේ වුවත් නිෂ්පාදකයා ඉන්නේ වෙනත් රටක. ඒ නිසා, ඇමරිකන් තීරු බද්දේ බර බෙදී යාම ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර බදු බර බෙදී යාමක්ද වෙනවා. බද්ද අය කර ගන්නේ ඇමරිකන් රජය විසින් නිසා අවසාන වශයෙන් සිදු වෙන්නේ ඇමරිකන් රජය විසින් විදේශිකයින්ගෙන් කවර හෝ මුදලක් එකතු කර ගැනීමක්. ඒ අතරම, ඇමරිකන් පාරිභෝගිකයින්ටත් බද්දේ බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා. 

අපි හිතමු ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් මත රුපියල් 50ක අලුත් බද්දක් රජය විසින් අය කරනවා කියලා. සාමාන්‍ය කරුණක් ලෙස මේ විදිහේ බද්දක් අය කළ විට රට ඇතුළේ අර්තාපල් කිලෝවක් විකිණෙන මිලත් ඉහළ යනවා. 

ලංකාවේ අර්තාපල් නිෂ්පාදනයක් නැත්නම්, අර්තාපල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් පමණක්නම් සහ අර්තාපල් කියන්නේ පාරිභෝගිකයින්ට මිල දී නොගෙන ඉන්නම බැරි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්නම්නම්, උපරිම වශයෙන් රුපියල් 50කින් දේශීය අර්තාපල් මිල ඉහළ යන්න පුළුවන්. අනෙක් අතට දේශීය අර්තාපල් ගොවීන්ට ඉන්දියාව එක්ක තරඟකාරී ලෙස ඉන්දියාවට වඩා අඩු මිලකට රටට අවශ්‍ය තරම් අර්තාපල් නිපදවීමේ හැකියාවක් තිබෙනවානම් ඔය බද්ද දැම්මා කියලා දේශීය අර්තාපල් මිල සතයකින්වත් වැඩි නොවෙන්න පුළුවන්. ඔය දෙකම තර්කානුකූලව සිදු විය හැකි දේ වුනත් ප්‍රායෝගිකව සිදු වන්නේ ඔය අන්ත දෙක අතර දෙයක්. 

අර්තාපල් වෙනුවට ඉන්ධන වගේ දෙයක් සැලකුවොත් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ වගේම එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, ඉන්ධන ලීටරයක් මත රුපියල් 50ක තීරු බද්දක් දැම්මොත් එහි බර වැඩි වශයෙන්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. නමුත් ඉන්ධන වගේ දෙයක් සැලකුවත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම සුළු වශයෙන් හෝ අඩු වෙනවා. 

ඉල්ලුම අඩු වෙද්දී සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවන් විසින් ලාබ වැඩි කර ගැනීමේ අරමුණින් මිල තරමක් හෝ අඩු කරනවා. තෙල් සංස්ථාව විසින් මේ වැඩේ නොකළත්, ලාබ වෙනුවෙන් ලංකාවේ ඉන්ධන විකුණන IOC හෝ සිනොපෙක් වැනි සමාගමක් අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරනවා. ඒ නිසා, රුපියල් 50ක බද්දෙන් ශත කීපයක් හෝ අවසාන වශයෙන් නිෂ්පාදකයාටත් දරාගන්න වෙනවා. පාරිභෝගිකයා මත පැටවෙන බර රුපියල් 50ට වඩා ශත කිහිපයකින් හරි අඩුයි.

ලංකාවේ ආදේශක තිබෙන දේවල් වල මිලට ඔය විදිහේ තීරු බද්දක් නිසා සිදු වන බලපෑම ගොඩක්ම අඩුයි. පොල් වගේ දෙයක් සැලකුවොත්, ආනයනික පොල් මත රුපියල් 50ක බද්දක් දැම්මා කියලා රුපියල් 50ක් වැඩියෙන් පොල් විකුණන්න බැහැ. ආනයනික පොල් ලංකාවේ විකුණනවානම් විකුණන්න වෙන්නේ දැනට රටේ පොල් විකිණෙන මිලට ආසන්න මිලකටයි. ඕනෑනම් රුපියල් පහක් වගේ වැඩියෙන් විකුණන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බද්දේ බර දේශීය පාරිභෝගිකයා මත නොවැටෙන තරම්.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ නිසා, ඇමරිකාව මෑතකදී කළා වගේ පොදුවේ සියලුම භාණ්ඩ වලට තීරු බදු ගහද්දී එහි සමස්ත බලපෑම ඇස්තමේන්තු කරන එක සංකීර්ණ වැඩක්. ධවල මන්දිරය විසින් උපකල්පනය කරලා තිබුණේ බදු නිසා මිල මත ඇති වන බලපෑම 25%ක් කියලයි. එයින් අදහස් වන්නේ ඇමරිකන් රජය විසින් තීරු බදු ලෙස ඩොලර් 100ක් අය කර ගනිද්දී එයින් ඇමරිකන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන කොටස ඩොලර් 25ක් පමණයි කියන එකයි. ඉතිරි ඩොලර් 75 විදේශ රටවල් වලින් අය කෙරෙන බද්දක්. නමුත් සමහර අය පෙන්වා දී සහ තර්ක කර තිබුණේ මෙම අනුපාතය 93%ක් තරම් ඉහළ අනුපාතයක් බවයි.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන බව න්‍යායාත්මකව පෙන්වා දිය හැකි වුවත් ඒ කවර අනුපාතයකින්ද කියා සොයා ගන්න වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. ඉහත කී 25% හා 93% වැනි ඇස්තමේන්තු වලට පදනම් වී තිබුණේ එවැනි දත්ත විශේලේෂණ. එහෙත්, අදාළ ඇස්තමේන්තු සකස් කර තිබුණු තත්ත්වයන් මෑතකාලීන ඇමරිකන් තීරුබදු පැනවීමට හරියටම සමාන තත්ත්වයන් නෙමෙයි.

පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ තීරුබදු ආදායම ඩොලර් බිලියන 27 දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 21ක වැඩි වීමක්. මේ වන විට නිකුත් වී ඇති 2025 ජූලි සංඛ්‍යාලේඛණ අනුව, එම මාසයේ තීරු බදු ආදායමද ඩොලර් බිලියන 28 දක්වා ඩොලර් බිලියන 21කින් වැඩි වී තිබෙනවා. මේ අනුව, පසුගිය මාස දෙකේ වැඩි කළ තීරු බදු වල බලපෑම ඩොලර් බිලියන 42ක් සේ සැලකිය හැකියි.

ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ක් පමණ වෙනවා. මාස දෙකට ඩොලර් ට්‍රිලියන 5ක් පමණ. ඒ අනුව, වැඩි වූ තීරු බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84%ක්. දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානුවන් විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සේ සැලකුවහොත්, ඉහත සඳහන් ඩොලර් බිලියන 42ක තීරු බදු බර මුලුමනින්ම දැරුවේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින්නම්, ඒ හේතුව නිසා සමස්ත මිල මට්ටම 0.84%කින් පමණ ඉහළ යා යුතුයි. ඔවුන් මත පැටවුණේ එම බරෙන් කොටසක් පමණක්නම් සමස්ත මිල මට්ටමෙහි අනුපාතික ඉහළ යාමක් සිදු වී තිබිය යුතුයි.

මේ වන විට ප්‍රකාශිතව ඇති පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, 2025 ජූනි මාසයේදී සමස්ත මිල මට්ටමේ ඉහළ යාම 0.3%ක් පමණද, ජූලි මාසයේදී එම ඉහළ යාම 0.2%ක් පමණද වෙනවා. එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය දෙමස තුළ මිල මට්ටම තුළ දැකිය හැක්කේ ඊට වඩා සුළු වැඩි වීමක් පමණයි. ඒ නිසා, ජූනි මාසයේදී මෙන්ම ජූලි මාසයේදීද ඇමරිකාවේ උද්ධමනය 2.7% මට්ටමට සීමා වී තිබෙනවා. මීට සාපේක්ෂව, 2022දී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 

මේ අනුව දැනට පෙනී යන්නේ අලුත් තීරු බදු වලින් වැඩි කොටසක් ඇත්තටම ගෙවා තිබෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින් නොවන බවයි. ධවල මන්දිරයේ 25% ඇස්තමේන්තුව ඇතැම් විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ඇමරිකන් ආණ්ඩුවට දැන් යන මාර්ගයේම තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ධෛර්යය සපයන්නක්. 

මෙම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන්නට පෙර, තීරු බදු පැනවූ අළුතම, අප විසින් කියා ඇති එක් දෙයක් මෙම දත්ත වලද උදවුවෙන් නැවත අවධාරණය කළ හැකියි. එනම්, ඇමරිකාවේ අලුත් තීරුබදු නිසා ඇමරිකන් පාරිභෝගිකයින්ට දැනෙන බලපෑමක් සිදු නොවන බවයි. එමෙන්ම ඇමරිකන් ආණ්ඩුවට ඇමරිකාවේ පාරිභෝගිකයින් කෙරෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් නොමැති බවයි. 

Saturday, July 26, 2025

ඇමරිකාවේ අධ්‍යාපනය සුබසාධනය වන හැටි...


ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.

ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්. 

නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.

අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්. 

මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.

පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)

සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)

උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)

රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)

අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)

ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)

මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)

පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)

යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)

මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි. 

වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා. 

මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්. 

ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්. 

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.

අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.

ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි. 

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්. 

උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා. 

මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්. 

Sunday, July 13, 2025

ඇමරිකාවේ අයවැය අතිරික්තයක්!





විශාල කාලයකට පසුව පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය බදු ආදායම් වැඩි වීමේ සහ වියදම් කප්පාදු කිරීමේ සංයුක්ත ප්‍රතිඵලයක්. අදාළ සංඛ්‍යාලේඛණ පෙර වසරේ (2024) ජූනි මාසය හා සැසඳීමෙන් සිදුව ඇති වෙනස පිළිබඳව අදහසක් ගත හැකියි. 

පෙර වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 466ක් වූ අතර, වියදම ඩොලර් බිලියන 532ක් වුනා. ඒ අනුව, පසුගිය ජූනි මාසයේදී ඩොලර් බිලියන 66ක අයවැය හිඟයක් වාර්තා වුනා.

මෙම වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 526 දක්වා ඉහළ ගොස් ඇති අතර  වියදම ඩොලර් බිලියන 499කට සීමා වී තිබෙනවා. ඩොලර් බිලියන 27ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඒ අනුවයි.

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 60කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

ආනයන මත අය කෙරෙන තීරු බදු ඉහළ දැමීම නිසා තීරු බදු ආදායම ඩොලර් බිලියන 6 සිට 27 දක්වා 350%කින් ඉහළ ගොස් ඇතත්, රාජ්‍ය ආදායම වැඩිවීමට ප්‍රධානම හේතුව එම වැඩි වීම නෙමෙයි. තීරු බදු වැඩි කිරීමේ දායකත්වය ඩොලර් බිලියන 21ක් පමණයි.

රාජ්‍ය ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යාමයි. එම වැඩිවීම ඩොලර් බිලියන 51ක්. මේ අයුරින් පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 81 සිට ඩොලර් බිලියන 68 දක්වා 16%කින් අඩු වී ඇති ආකාරය දැකිය හැකියි.

තීරු බදු ආදායම සහ පුද්ගල ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 72කින් ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 13කින් අඩු වීම නිසා සමස්ත වැඩිවීම ඩොලර් බිලියන 60කට සීමා වී තිබෙනවා. 

මෙම වෙනස්කම් දෙස බලද්දී පෙනී යන්නේ මධ්‍යම පාන්තිකයින් මත වැඩි බදු බරක් පැටවී ඇති ආකාරයයි. 

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය වියදම් ඩොලර් බිලියන 33කින් පහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

මෙයට ප්‍රධානම හේතුව ෆෙඩරල් අයවැයේ ප්‍රධාන අයිතමයක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් මුළුමනින්ම මෙන් කප්පාදු කර තිබීමයි. 2024 ජූනි මාසයේදී ඩොලර් බිලියන 90ක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් 2025 ජූනි මාසයේදී ඩොලර් බිලියන 11කට සීමා වී තිබෙනවා. මෙහි ඉතිරිය ඩොලර් බිලියන 79ක්. එහෙත් අනෙකුත් වියදම් ඩොලර් බිලියන 46කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස වියදම් අඩු වී තිබෙන්නේ ඩොලර් බිලියන 33කින් පමණයි. 

අධ්‍යාපන වියදම් විශාල ලෙස කප්පාදු කිරීම ඇමරිකාවේ පොදු අධ්‍යාපනය විශාල අර්බුදයකට තල්ලු කර තිබෙනවා.

Thursday, July 10, 2025

සීයට තිහේ අලුත් බද්ද

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ විභවයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. වෙන ආණ්ඩුවක් තිබුණත් බොහෝ විට මේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු වෙන එකක් නැහැ.

බද්ද පැනවීමෙන් පසුව ආණ්ඩුව කටයුතු කළ ආකාරයේ කියන්න වැරැද්දක් නැහැ. මේ බද්ද තනිකරම මෙන් ඇමරිකාවේ ඒකපාර්ශ්වික තීන්දුවක්. රාජ්‍ය නායකයින්ට ලිපි ලියා තිබෙන ආකාරයෙන්ම මේ තීරණයේ අධිපතිවාදී ස්වරූපය පැහැදිලිව පෙනෙනවා. ඇමරිකාවේ ආණ්ඩුව විසින් තනිව තීරණය කර නියෝග ස්වරූපයෙන් ඒ තීරණය දැනුම් දීමකුයි මෙහිදී සිදු වී තිබෙන්නේ.

මේ වගේ අවස්ථාවකදී දැක්විය හැකි ප්‍රතිචාර වර්ග දෙකක් තිබෙනවා. එකක් ඇමරිකාවේ තීරණයට ප්‍රතිරෝධය දැක්වීම. චීනය වැනි රටවල් විසින් කළේ එයයි. දෙවන ක්‍රමය කණ පාත් කරගෙන ඇමරිකාව කියන දේ පිළිගැනීම. 

ඔය ක්‍රම දෙකෙන් ලංකාව හමුවේ තිබුණු හොඳම ප්‍රතිචාරය දෙවැන්නයි. ඊට හේතුව ඇමරිකාව ලංකාවට සාපේක්ෂව සුපිරි බලවතෙක් වීම නෙමෙයි. ඇමරිකාව හා ලංකාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වීය වෙළඳාම ලංකාවට ඉතාම වාසි සහගත එකක් වීමයි. මේ බද්ද නිසා ඒ වාසිය අඩු වුනත්, තවදුරටත් මේ වෙළඳාමේ වාසිය තියෙන්නේ ලංකාවටයි. 

ප්‍රතිරෝධයක් දක්වන්න ගියානම් වෙන්නේ දැනට තිබෙන වාසියත් නැති වෙන එක. කරන්න ඉතිරි වී තිබුණේ කණ පාත් කරගෙන "හරි සර්. අපි කරන්න ඕනෑ මොකක්ද?" කියලා අහන එක විතරයි. ආණ්ඩුව විසින් කරන්න ඇත්තේ එයයි. එහෙම කළානම් එහි වැරැද්දක් නැහැ. 

දෙවන වටයේ තීරු බදු අනුපාත තීරණය කිරීම් තවමත් අවසන්ව නැතත් දැනට ප්‍රකාශිත අනුපාත දෙස බලද්දී සංශෝධන සිදුව ඇති ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පළමු වටයේ තීරු බදු තීරණය කර තිබුණේ ඉතාම යාන්ත්‍රික ලෙස සමීකරණයක් අනුවයි. සමීකරණය නිවැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. එම තීරු බදු වලට භූ දේශපාලනය සම්බන්ධ වී තිබුණේ නැහැ. 

දෙවන වටයේදී සිදුව තිබෙන්නේ මුල් වටයේ යාන්ත්‍රික ලෙස තීරණය කළ බදු වෙනත් කරුණුද සලකා සීරුමාරු කිරීමක්. එහිදී ලංකාව වැනි ඇතැම් රටවලට මේ බදු නිසා සිදු විය හැකිව තිබුණු හානිය සීමා වී තිබෙනවා. එසේ ලංකාව වැනි රටවලට සිදු විය හැකි හානිය සීමා කර තිබෙන්නේ එයින් ඇමරිකාවට ලොකු පාඩුවක් සිදු නොවන නිසා. දෙවන වටයේ බදු සංශෝධන කිරීමේදී සලකා බලා ඇති කරුණු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.

- රටවල් වැඩි ගණනක් 25%, 30%, 35% වැනි සමාන බදු කාණ්ඩ වලට දැමීම. මෙය ඇමරිකාවට පරිපාලනමය වශයෙන් පහසුයි.

- ආසන්න රටවල් අතර තීරුබදු වෙනස්කම් අඩු කිරීම. මේ මගින් වෙනත් රටවල් හරහා ඇමරිකාවට භාණ්ඩ එවීම සීමා කරගන්න පුළුවන්. කොයි තරම් වහසිබස් දෙඩුවත් ඔය වැඩේ වෙන එක පරිපාලනමය ලෙස පාලනය කරන්න අමාරුයි. නමුත් තීරු බදු වෙනස්කම් සීමා කිරීම මගින් මෙය කළ හැකියි. මෙහිදී භූගෝලීය සහ වෙළඳ සබඳතා යන නිර්ණායක දෙකම සලකමින් ආසන්න රටවල් නිර්ණය කර තිබෙනවා.

- ලෝක වෙළඳ ක්‍රමයේ සුසමාදර්ශ වෙනසක් වන මෙම තීරු බදු හේතුවෙන් සිදු වන වෙළඳපොළ නැවත සකස්වීමේ කම්පනය අවම කිරීම.

මේ සියල්ල කර තිබෙන්නේ ඇමරිකාවේම වාසියට වුනත්, දෙවන හා තුන්වන කරුණු දෙක නිසා ලංකාවට සිදු විය හැකි හානිය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ලංකාවේ අපනයන වලින් 22%ක් පමණම මිල දී ගන්නේ ඇමරිකාවයි. එයින් 75%ක් පමණම ඇඟලුම්. ඉතිරි කොටසේ රබර් නිෂ්පාදන, තේ, මැණික් ඇතුළු තවත් දේ තිබෙනවා. වෙනත් බොහෝ දේ ඇමරිකාවට අපනයනය කෙරෙන නමුත් ලංකාවේ ආර්ථිකයට ලොකුම බලපෑමක් වෙන්නේ ඇඟලුම් අපනයන වලිනුයි.

ලංකාවේ අපනයන වලින් විශාල පංගුවක්, හයෙන් පංගුවක් පමණ, ඇමරිකාවට සිදු කරන ඇඟලුම් අපනයන වුනත් ඇමරිකාවේ ඇගලුම් ආනයන වලින් ලංකාවේ පංගුව 1.5%ක් පමණයි. ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් දහය අතර ලංකාව නැහැ. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් නැත්තටම නැති වුනත් එය ඇමරිකාවට දැනෙන්නේ නැහැ.

ඇමරිකාවට ඇඟලුම් එවන ප්‍රධානම රටවල් වන්නේ චීනය හා වියට්නාමයයි. අසල්වැසි ඉන්දියාව, බංග්ලා දේශය සහ පකිස්ථානයත් මුල් රටවල් දහය අතර ඉන්නවා. කලාපයක් ලෙස ඇමරිකාවට වැඩිපුරම ඇඟලුම් එවන්නේ ආසියාව වුවත්, දකුණු ඇමරිකාවේ භූමිකාව නොසලකා හරින්න බැහැ. මෙක්සිකෝව වගේම නිකරගුවා, හොන්ඩියුරාස් වගේ රටවලුත් ඉන්නේ ලංකාවට උඩින්. පහත තිබෙන්නේ ඇමරිකාවට ඇඟලුම් එවන රටවල වෙළදපොළ පංගු.

චීනය - 29.6% 

වියට්නාමය - 12.7%

ඉන්දියාව - 8.0%

බංග්ලා දේශය - 6.1% 

මෙක්සිකෝව - 4.5%

ඉන්දුනීසියාව - 3.9% 

පකිස්ථානය - 3.3%

කාම්බෝජය - 3.0% 

ඉතාලිය - 2.8%

තුර්කිය - 2.2%

හොන්ඩියුරාස් - 2.2%

නිකරගුවා - 1.5%

ශ්‍රී ලංකාව - 1.5% 

ජෝර්දානය - 1.4%

කැනඩාව -1.4%

එල් සැල්වදෝර් - 1.4%

ගෝතමාලාව - 1.3%

ඊජිප්තුව - 1.2%

දකුණු කොරියාව - 1.1% 

තායිලන්තය - 1.0% 

දැනට ප්‍රකාශිත තොරතුරු අනුව මේ ලැයිස්තුවේ ඇති ආසියානු රටවල් සඳහා බලපාන තීරු බදු අනුපාතය 30%කට ආසන්නයි. ඒ නිසා ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ රටකට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. ඉන්දියාවට මුල් වටයේ දමා තිබුණේ 26%ක තීරු බද්දක්. එය ලොකුවට අඩු වුනේ නැත්නම් අවසාන වශයෙන් බලද්දී කලාපයේ තීරුබදු අනුපාත කැරකෙන්නේ 30% සීමාව ආසන්නයේ. 5%ක වෙනසකට ආයෝජන රටකින් රටකට ගෙනියන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ අනෙක් රටවලට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. 

පොදුවේ ආසියානු කලාපය සඳහා වන තීරුබදු 30% සීමාව ආසන්නයේ තියෙද්දී, දකුණු ඇමරිකානු රටවල් සඳහා පැනවෙන්නේ 10%ක තීරු බද්දක් පමණයි. ඒ නිසා, ඇඟලුම් කම්හල් ආසියානු කලාපයේ සිට දකුණු ඇමරිකානු කලාපය දක්වා විතැන් වීමේ විභවයක් තිබෙනවා. එසේ සිදු වීම ඇමරිකාවේ භූ දේශපාලනික අරමුණු එක්කත් පෑහෙනවා. 

මෙයින් අදහස් වෙන්නේ තීරුබදු පැනවීමෙන් පසුව ලංකාවේ තිබෙන කම්හල් ගලවාගෙන ගිහින් දකුණු ඇමරිකාවේ තියයි කියන එක නෙමෙයි. එවැන්නක් සිදු වනු ඇත්තේ වඩා සුමට ආකාරයකිනුයි. ඉදිරි වසර වලදී අලුතෙන් ඉදි කෙරෙන ඇගලුම් කම්හල් ආසියාවට නොපැමිණ දකුණු ඇමරිකාවට යන්න පුළුවන්. ඒ වගේම ආසියානු කලාපයේ ඇඟලුම් කම්හල් විශාලනය කිරීම් නවතින්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රට තුළම ආයෝජනය කිරීම සීමා වෙන්න පුළුවන්.

ඇඟලුම් කම්හලක් වැහෙද්දී මෙන් මේ දේවල් ඇහැට පෙනෙන එකක් නැහැ. නමුත් ආයෝජන අඩු වෙනවා කියන්නේ ආර්ථික වර්ධනය සීමා වෙනවා කියන එක. ඒ වගේම විණිමය වෙළඳපොළ තුළ පීඩනය ඉහළ යනවා කියන එක. මේ බලපෑම් ඉදිරි වසර කිහිපය තුළ ඇති වෙන්න පුළුවන්. 

වෙබ් ලිපිනය: