දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්.
Friday, September 25, 2026
උද්ධමන ඉලක්කය වෙනස් වෙයිද?
දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්.
Tuesday, July 21, 2026
මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද?
පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු ඇතැයි සිතිය හැකියි.
වත්මන් උද්ධමන ඉලක්කය
පසුගිය වසර තුනක කාලය තුළ මහ බැංකුව විසින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් පවත්වා ගැනීම සඳහා රජය සමඟ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. මෙම එකඟතාවය අනුව, උද්ධමනය සේ සැලකුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස් වීමෙහි මාස තුනක සාමාන්‍ය අගයයි. කාර්තුවෙන් කාර්තුවට මෙම ඉලක්කය පිළිබඳව විමසා බැලීමක් සිදු කෙරුණු අතර ඉලක්කයෙන් 2% ඉක්මවන අපගමනය වීමක් ඉලක්කය ගිලිහීමක් ලෙස සැලකුණා. පසුගිය කාලය වෙත ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නේ මහ බැංකුවට එම කාලය තුළ බොහෝ කාර්තු වලදී ලබා දී තිබුණු උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. පසුගිය කාර්තු දහයක කාලය සැලකුවහොත්, මහ බැංකුවට උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි වී තිබෙන්නේ කාර්තු දෙකකදී පමණයි.
උද්ධමන ඉලක්කය පරීක්ෂා කිරීම සඳහා වඩා යෝග්‍ය නිර්ණායකය කුමක්ද?
මෙහිදී මේ සඳහා සලකා බැලිය හැකි විකල්ප දෙකක් තිබෙනවා. පළමුවැන්න දැනට යොදා ගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. දෙවැන්න ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. පළමුවැන්න ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය ලෙස දිගටම යොදාගෙන ඇති අතර, මෙය මාසය අවසන් වෙද්දී ගණනය කරනු ලබනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ඉදිරිපත් කරනු ලබන්නේ මාසයක් ගත වී සති තුනකට පසුවයි. කෙසේ වුවද, රටේ මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ රටේම උද්ධමනය මිස කොළඹ නගරයේ උද්ධමනය පමණක් නොවන නිසා උද්ධමන ඉලක්කය සේ යොදා ගැනීම වඩා යෝග්‍ය වන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය බව අපගේ අදහසයි. වඩා ස්ථාවර දර්ශකයද එයයි. සති තුනක ප්‍රමාදය අවාසියක් වුවත්, මිල මට්ටමේ හැසිරීම පිළිබඳව ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරෙන් මහ බැංකුවට අදහසක් ලබා ගත හැකි බැවින් එය ගැටලුවක් වන්නේ නැහැ.
දර්ශකය තෝරා ගැනීමෙන් පසුව දෙවන තේරීමක්ද තිබෙනවා. ඒ, මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අතරයි. මතුපිට උද්ධමනය යනු දර්ශකය ඇසුරෙන් සාමාන්‍ය පරිදි ගණනය කරන උද්ධමනයයි. එහෙත් එහි ඇතැම් සංරචක පිළිබඳව මහ බැංකුවට පාලනයක් නැහැ. ලෝක ඉන්ධන මිල අනුව රටේ තෙල් මිල ඉහළ යාම නිදර්ශනයක් සේ පෙන්වා දිය හැකියි. මූලික උද්ධමනය යනු මහ බැංකුවට පාලනය කළ නොහැකි කොටස් ඉවත් කර නැවත ගණනය කරන අගයක්.
ඉහත තේරීම් දෙක අතරින් වඩා යෝග්‍ය තේරීම වනුයේ මතුපිට උද්ධමනයයි. රටේ ජනතාවට වැදගත් වන්නේ මතුපිට උද්ධමනය වීම ඊට හේතුවයි. එසේ මතුපිට උද්ධමනය ඉලක්ක කරන අතර, මහ බැංකුවට ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපහසු අවස්ථා වලදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා මූලික උද්ධමනය යොදා ගත හැකියි. ඉලක්කය ලෙස දැනට යොදා ගන්නේද මතුපිට උද්ධමනයයි.
මීට අමතරව දර්ශකය පිළිබඳ තුන්වන තේරීමක්ද තිබෙනවා. ඒ, දැනට සිදු කරන පරිදි, මාසික උද්ධමන අගය වෙනුවට එහි මාස තුනක සාමාන්‍ය අගය යොදා ගැනීම සුදුසුද යන්නයි. මගේ අදහස වනුයේ තව දුරටත් එසේ කිරීම යෝග්‍ය බවයි. මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති මගින් මිල දර්ශකයක කෙටිකාලීන විචලනයන් පාලනය කළ නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවයි.
උද්ධමන ඉලක්කය කොපමණ විය යුතුද?
මෙම කරුණ විමසා බැලීමේදී දැනට පවතින 5% ඉලක්කය උපරිම සීමාවක් සේ සැලකිය හැකියි. ඊට වඩා වැඩි ඉලක්කයක් කිසිවෙකු විසින් යෝජනා කරන්නේයැයි මා සිතන්නේ නැහැ. එමෙන්ම, සංවර්ධිත රටවල් විසින් ඉලක්ක කරන 2% විමසා බැලිය යුතු අවම සීමාව සේ සැලකිය හැකියි.
මෙම ඉලක්කය පිළිබඳ මගේ අදහස වනුයේ 5% ඉලක්කය තව දුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සහ එසේ කිරීම යෝග්‍ය බවයි. එහෙත්, ඉලක්කය එක වරම 2% මට්ටම දක්වා පහත හෙලීම සුදුසුයැයි මා සිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ අවම වශයෙන් 4% දක්වා මෙම ඉලක්කය පහත හෙළිය යුතු බවයි.
ලංකාවට 2%ක උද්ධමනයක් ඉලක්ක කළ හැකිනම්, ඩොලරයක මිල දිගුකාලීනව ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට වඩා වැඩි ඕනෑම උද්ධමන ඉලක්කයකින් අදහස් වනුයේ වාර්ෂිකව, ඩොලරයට සාපේක්ෂව, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරින්නට සිදු වන බවයි. එහෙත්, 4%ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට හේතුව ඉන්දියාවේ උද්ධමන ඉලක්කය 4%ක් වීමයි. මෑතකදී ඉන්දියාව විසින් මෙම 4% ඉලක්කය 2031 දක්වා පවත්වා ගැනීමට තීරණය කළා. අවශ්‍යනම් ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු, 3% වැනි මට්ටමක් ඉලක්ක කිරීමද ඒ තරම් අපහසු නැති බව අපගේ අදහසයි. ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් කලාපයට පැමිණෙන විදේශ ආයෝජන තරඟකාරී ලෙස ආකර්ෂණය කර ගත හැකියි.
උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා පහත හෙළීමේ ප්‍රශ්නය වනුයේ එසේ කිරීම සඳහා පෞද්ගලික ණය වර්ධනය සීමා කිරීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කිරීමයි. එහෙත්, දැනට සිදු වන පරිදි, දැඩි රාජ්‍යමූල්‍ය විනයක් දිගටම පවත්වා ගත හැකිනම්, මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු මට්ටමක පවත්වා ගන්නා අතරම, පෞද්ගලික ණය වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ හැරීම අපහසු කාර්යයයක් නෙමෙයි.
ඉලක්කය කොපමණ විචලනය වීමට ඉඩ දිය යුතුද?
විචලන සීමාව අඩු වන්නේනම් හොඳ වුවත්, දැනට පවතින 2% විචලන පරාසය වුවද මහ බැංකුවට අභියෝගයක්ව පවතින බැවින් එය තව දුරටත් අඩු කර ගැනීම ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එබැවින් වඩා සුදුසු වන්නේ විචලන පරාසය නොවෙනස්ව දැන් මට්ටමේම පවත්වා ගැනීමයි.
මේ අනුව, අපගේ යෝජනාව වනුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කරන මතුපිට උද්ධමන අගයේ මාස තුනක සාමාන්‍ය අගය, ඉදිරි වසර තුනක කාලය තුළ එක එක් කාර්තුව තුළ, 2%ක විචලන පරාසයකට යටත්ව, 4% හෝ 3% මට්ටමේ පවත්වා ගැනීම වඩාත්ම යෝග්‍ය බවයි. මෙම අගයන් දෙක අතරින්ද, රටේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීම ගැන සිතන්නේනම් වඩා යෝග්‍ය වනුයේ 3% මට්ටම වන අතර අපගේ අදහස අනුව 4% යනු මහ බැංකුව විසින් ඉලක්ක කළ යුතු උපරිම මට්ටමයි.
කෙසේ වුවත්, මහ බැංකුවේ හැසිරීම් අනුව දැනට පෙනෙන්නේ උද්ධමන ඉලක්කය 3% වැනි මට්ටමක් දක්වා පහත හෙළීමට මහ බැංකුවේ වැඩි කැමැත්තක් නොමැති බවයි.
Tuesday, March 31, 2026
අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා.
ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ.
මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.
මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.
මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.
පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.
Wednesday, January 28, 2026
උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?
ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම ඉහළ යනවා. ඒ අතර, ඇමරිකන් ඩොලරයක මිල පහත යන අවස්ථාද තිබුණත්, දිගුකාලීනව හැම විටම මෙන් සිදු වෙන්නේ මිල ඉහළ යන එකයි.