වෙබ් ලිපිනය:

Showing posts with label විදුලි ගාස්තු. Show all posts
Showing posts with label විදුලි ගාස්තු. Show all posts

Thursday, June 5, 2025

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද?


කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත් අවසාන වශයෙන් ඒ වෙනත් අරමුණ හෝ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. අරමුණ කුමක් වුනත් එය ඉටු කරගත හැක්කේ ආයතනය පවතිනවානම් පමණයි. 

ලංවිම වැනි එක දිගට පාඩු ලබපු රාජ්‍ය ආයතන වැහිලා ගිහින් නැහැ. එහෙම වැහිලා ගිහින් නැත්තේ වරින් වර බදු මුදල් යොදවා එම ආයතන බේරාගැනීම නිසා. ඒ විදිහට පාඩු ලබන රාජ්‍ය ආයතන බදු මුදල් වලින් නඩත්තු කළ යුතුයිද කියන එක සරල තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. එයින් එහාට ගිය දේශපාලනික ප්‍රශ්නයක්. ඒ නිසා, විවිධ දේශපාලන ධාරා ඇතුළේ ප්‍රශ්නයට දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. 

දේශපාලනික හේතු මත ලංවිම වැනි ආයතනයක් බදු මුදල් යොදවා සුබසාධනය කළ යුතුයි කියන තැනට ආවත්, ලංකාවේ සිදු වුනේ එය සිදු විය යුතු නිවැරදි ක්‍රමයට නෙමෙයි. මූල්‍ය අරමුදල ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යන එකට විරුද්ධ වෙන්නේ එය කරන ක්‍රමයේ වැරැද්ද නිසා මිසක් ලංවිම සුබසාධනය කිරීමට විරුද්ධ වෙන පදනමකින් නෙමෙයි. සුබසාධනය කියන්නේ මූල්‍ය අරමුදලේ වැඩ සටහනේම තිබෙන ප්‍රධාන අංගයක්. 

ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරනවානම් ඒ වෙනුවෙන් කලින්ම බදු මුදල් වෙන් කළ යුතුයි. එසේ නොකර ආයතනය පවත්වා ගෙන යන්න බැරි වෙන තුරු ඉඳලා බදු මුදල් වෙන් කරන්න බලාගෙන ඉන්නවා කියන්නේ රජය විසින් අනාගත බැරකම් ගොඩ ගසා ගැනීමක්. ණය එකතු වීමක් වගේම තමයි. ඒ නිසා, එසේ කිරීම ණය තිරසාරත්වය ඇති කිරීම සඳහා හදා තිබෙන වැඩ පිළිවෙලකට බාධාවක්. එය නොකළ යුතු දෙයක් බව තේරුම් ගන්න අමාරු නැහැ. ඒ වගේම එය දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති කරුණක්.

දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති වුනත් වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. සුබසාධනය කරන ක්‍රමය අදාළ වෙන්නේ සුබසාධනය කරන නිසා. සුබසාධනය කිරීම හෝ නොකිරීම දේශපාලනික කරුණක්. මේ ලිපියෙන් ඒ ගැනත් ටිකක් කතා කරමු.

විදුලි ගාස්තු සුබසාධනය කිරීම වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින අය එසේ කරන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව ජීවන වියදම අඩු කිරීම. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ. දෙවන හේතුව නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මගින් අපනයන තරඟකාරිත්වය ඇති කිරීම. මෙහිදී පහසුවෙන්ම අමතක කරන සරල කාරණය වන්නේ ඔය විදිහට විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි පිරිවැය කාට හෝ දරන්න වෙනවා කියන එක. 

අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරද්දී එහි පිරිවැය ඉහළ ආදායම්ලාභීන්ට දරන්න වෙනවා. මෙය දේශපාලනිකයි තමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කිරීම. නමුත් දේශපාලනිකව ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමින් අඩු ආදායම්ලාභීන්ව සුබසාධනය කළ යුතුයි කියන ස්ථාවරයට ආවත් ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යාම අදාළ අරමුණට යා හැකි නරකම ආකාරයක්.

විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි වාසිය යන්නේ වැඩිපුරම විදුලිය පරිභෝජනය කරන අයට මිසක් අඩු ආදායම්ලාභීන්ට නෙමෙයි. පරිභෝජනය වැඩි වෙද්දී ඉහළ යන ඒකක ගාස්තු ක්‍රමය නිසා මේ තත්ත්වය පාලනය වන නමුත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැකි හොඳම ක්‍රමය එසේ සුබසාධනය කළ යුතු අයට කෙළින්ම සල්ලි දෙන එකයි. මූල්‍ය අරමුදල විසින් ඉන්ධන, විදුලි ගාස්තු ආදිය සුබසාධනය නොකළ යුතුයි කියා යෝජනා කරන අතරම අස්වැසුම වැනි වැඩ පිළිවෙලවල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා.

ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරද්දී වෙන්නේ ඒවා වැඩියෙන් පරිභෝජනය කරන්න පෙළඹීමක් ඇති වෙන එක. නමුත් අතට සල්ලි ලැබෙද්දී වැඩියෙන් පරිභෝජනය කරන්නේ තමන්ට වඩාත්ම අවශ්‍ය දේවල්. ඒ දේවල් මොනවාද කියන එක එක් එක් පවුල් ඒකකය අනුව වෙනස් වෙනවා. බදු මුදල් වලින් එකම මුදල ලැබෙද්දී ඒ මුදල් වියදම් කරන විදිහ පවුල් ඒකකයකට තීරණය කළ හැකි වූ විට ඔවුන් ඔවුන්ට හොඳම, අවශ්‍යම දේවල් මිල දී ගන්නවා. නමුත් ඒ වෙනුවට ඒ මුදල් යොදවා ඉන්ධන, විදුලි ගාස්තු ආදී රජය විසින් තීරණය කරන නිශ්චිත දේවල් සුබසාධනය කළ විට තමන්ට වඩා අවශ්‍ය දේවල් පරිභෝජනය කිරීමේ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා, සුබසාධනය වඩාත්ම කාර්යක්ෂම ලෙස සිදු වෙන්නේ කෙලින්ම අතට සල්ලි දුන් විටයි.

විදුලි ගාස්තු අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකිද?

විදුලි ගාස්තු කියන්නේ නිෂ්පාදන පිරිවැයෙහි කොටසක්. ඒ නිසා, යම් පිරිවැය අඩු වීමක් සිදු වෙනවා. නමුත් ප්‍රශ්නය ඒ පිරිවැය ආවරණය කරන්න බදු එකතු කරද්දී නැවත පිරිවැය ඉහළ යන එක. අවසාන වශයෙන් දෙපැත්ත කැපිලා ගියාට පස්සේ සමස්ත පිරිවැයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩේ බොරු වැඩක්.

මොන විදිහකින් හෝ නිෂ්පාදන පිරිවැය අඩු කරලා, බදු මුදල් යොදවා සුබසාධනය නොකර, ඉන්ධන, විදුලි ගාස්තු ආදිය අඩු කළ හැකිනම් ඒක වෙනම කතාවක්. එහි වාසියක් තිබෙන බව ඉතාම පැහැදිලියි. නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ කියන තරම් ලේසි නැහැ. අදාළ රාජ්‍ය ව්‍යවසාය වල කොපමණ අකාර්යක්ෂමතා තිබෙනවා වුනත්, ඒ අකාර්යක්ෂමතා මුළුමනින්ම නැති කළත්. ලංකාවට විදුලි ගාස්තු වලින් අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අමාරුයි. මෙය ලංකාවට විශේෂ වාසියක් නැති ක්ෂේත්‍රයක්.

අපනයන නිෂ්පාදන වල පිරිවැය කෙරෙහි විදුලි ගාස්තු බලපානවා තමයි. නමුත් එය පිරිවැයෙහි එක් කොටසක් පමණයි. ඒ කොටස නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්නම් අදාළ කර්මාන්ත ලංකාවට හරියන කර්මාන්ත නෙමෙයි. කළ යුත්තේ විශාල ලෙස විදුලිය අවශ්‍ය කර්මාන්ත තරඟකාරී ලෙස විදුලිය නිපදවිය හැකි රටවලට කරගන්න ඇරලා ලංකාවට අඩු පිරිවැයකින් සැපයිය හැකි කවර හෝ නිෂ්පාදන යෙදවුම් වැඩියෙන් අවශ්‍ය වන කර්මාන්ත වලට වැඩි අවධානයක් යොමු කරන එකයි.

විදුලි ගාස්තු වැඩි නොකර ඉන්න බැරිද?


කිසියම් ව්‍යාපාරයක නියැලෙන ආයතන බොහොමක් අපට ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. මෙවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම. වෙනත් ඕනෑම අරමුණක් ද්වීතියික අරමුණක්. 

ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන වලට අමතරව ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස හඳුන්වන ආයතන වර්ගයකුත් තිබෙනවා. නමුත් මේ ආයතන ලාබ නොලබන ආයතන නෙමෙයි. ලාබ නොලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. 

ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස ආයතනයක් හඳුන්වන්නේ ඒ ආයතනයේ ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම නොවන විටයි. එය වෙනත් කවර හෝ අරමුණක් වෙන්න පුළුවන්. නමුත්, අරමුණ කුමක් වුවත්, අරමුණට යා හැක්කේ ආයතනය පණ පිටින් තිබුණොත් පමණයි. ආයතනයක් පණ පිටින් දිගටම තියාගන්නනම් ලාබ ලබන්නම වෙනවා. ලාබ නොලබන ආයතනයක් වැහී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රජයට අයත් ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ කොටස් හිමියන් සඳහා ඉහළම ප්‍රතිලාභ ලබා දීම නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවී, වෙන කවර අරමුණකින් ආයතනයක් පවත්වා ගෙන ගියත්, ආයතනයක් එක දිගට පාඩු ලබද්දී ඒ ආයතනය පවත්වා ගෙන යන්න අමාරුයි. 

මෙහිදී ලාබ යන්නෙන් අදහස් වෙන්නේ ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ. ගිණුම්කරණ ලාබ කියන්නේ බොහෝ විට නීතිමය අවශ්‍යතාවයක් වෙනුවෙන් හදන අංකයක් පමණයි. ආයතනයක් ගිණුම්කරණ ලාබ ලැබූ පමණින් ආර්ථික ලාබ ලබන බවක් අදහස් වෙන්නේ නැහැ. නමුත් අවම වශයෙන් ගිණුම්කරණ ලාබ හෝ නැත්නම් එහි ආර්ථික ලාබයක් තිබීමේ ඉඩක් නැති තරම්. 

උදාහරණයකින් පැහැදිලි කළොත්, ස්ථිර තැන්පතු පොලිය හෝ භාණ්ඩාගාර බිල්පත් පොලිය 7%ක්නම්, ප්‍රාග්ධනය හිමි කෙනෙක්ට වැඩි මහන්සියක් නොවී, වැඩි අවදානමක් නොගෙන ඒ 7% ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් කරලා ලාබ ලබන එක ඊට වඩා ගොඩක් අවදානම් කටයුත්තක්. ඒ නිසා, අවම වශයෙන් තමන් යොදවන ප්‍රාග්ධනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ප්‍රාග්ධනහිමියෙක් ව්‍යාපාරයක තමන්ගේ සල්ලි හිර කරලා තියන්නේ නැහැ. ව්‍යාපාරය යම් ලාබයක් ලැබුවත්, දිගුකාලීනව තමන්ගේ ආයෝජනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරය වහලා දමන එකයි කරන්නේ. කටුනායක නෙක්ස්ට් කම්හලක් වසා දැමීම මෑතකාලීන උදාහරණයක්.

ආයතනයක් දිගින් දිගටම පාඩු ලබද්දී වුනත් එය දිගටම පවත්වාගෙන යන යම් ව්‍යතිරේඛ තත්ත්වයන් තිබෙනවා. ඇමසන් සමාගම පසුගිය (2024) වසරේ අවසන් කාර්තුවේදී ලෝකයේ වැඩිම ආදායමක් ලැබූ සමාගම. අවුරුද්දම සැලකුවොත් වෝල්මාට් සමාගමෙන් පසුව දෙවැනි තැන. නමුත් 1995දී පටන් ගත් ඇමසන් සමාගම අවුරුදු අටක්ම දිවුවේ පාඩුවට. මුලින්ම ලාබ වාර්තා කළේ 2003දී. එක දිගටම පාඩු ලැබුවත් ඇමසන් ආයතනය අනාගතයේදී ලාබ ලබන බවත්, එවිට පරණ පාඩු සියල්ලටම හරියන්න ලාබ ලැබෙන බවත් එහි කොටස් හිමියන් විසින් විශ්වාස කළා. එය එලෙසම සිදු වුනා. 

අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරයකට ලාබ ලබන්න යම් කාලයක් යනවා. ඒ වගේම එවැනි ව්‍යාපාරයකට කරන ආයෝජනයක විශාල අවදානමකුත් තිබෙනවා. 

දිවයින පුවත්පත අලෙවි කරන උපාලි පුවත්පත් සමාගම පටන් ගත්තේ 1981දී. උපාලි විජේවර්ධන ඒ වන විට ව්‍යාපාරික දැවැන්තයෙක්. නමුත් පුවත්පත් ව්‍යාපාරය අල්ලාගෙන හිටියේ ලේක්හවුස්, ටයිම්ස් සහ ස්වාධීන පුවත්පත් ආයතන තුන. එම ආයතන විසින් පිළිවෙලින් සිළුමිණ, ලංකාදීප සහ රිවිරැස ඉරිදා පුවත්පත් ප්‍රසිද්ධ කළා. ඔය පත්තර තුන වෙළඳපොළ අල්ලගෙනයි තිබුණේ. 

උපාලි පුවත්පත් සමාගම පිහිටුවලා දිවයින ඉරිදා සංග්‍රහය බැස්සුවේ ඔය වගේ පසුබිමක. මේ විදිහට අලුත් පත්තරයක් බස්සන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් උපාලි සමාගම විශාල මුදලක් වියදම් කළා. එය අවදානම් ආයෝජනයක්. 

පත්තරයේ මුල්ම කලාපය වෙළඳපොළට දමද්දී කොළඹ වගේම පිට පළාත් වල ප්‍රධාන නගර වලත් තාප්ප වැහෙන්න පෝස්ටර් පාරක් ගියා. පත්තරේ ගැහුවේ සම්පූර්ණයෙන්ම පරිගණක අකුරු වලින්. ඒ දවස් වල අනෙක් පත්තර සියල්ලම මුද්‍රණය කළේ පැරණි මුද්‍රණ තාක්ෂනය යොදා ගෙන අච්චු අකුරු වලින්. මුලින්ම ආපු අකුරු ටිකක් අමුතුයි. උදාහරණයක් විදිහට "ස" අකුර තිබුණේ "ය" අකුරට කෑල්ලක් එකතු කරලා.

ඔය කාලයේ පත්තර වෑන් වලින් අලෙවි නියෝජිතයින්ට පත්තර බෙදනවා. පත්තර වෑන් පාන්දරම එනවා. ඇණවුම් අනුව කඩ වලට පත්තර දමන ගමන් ඊළඟ සතියට ඇණවුම් එකතු කරගෙන යනවා. ඔය දවස් වල අනෙක් ප්‍රධාන පත්තර සමාගම් තුනේ තිබුණු සම්මතය අනුව, අලෙවි වුනේ නැත්නම්, ඇණවුම් කළ පත්තර ප්‍රමාණයෙන් 10%ක් ආපහු දෙන්න පුළුවන්. ඊට වඩා පත්තර ඉතිරි වෙලානම් පත්තර නියෝජිතයාට අතින් කයිට්. ඒ පත්තර පරණ පත්තර විදිහට කිලෝ ගාණට විකුණන එක පමණයි කළ හැකිව තිබුණේ.

ඔය විදිහට පත්තර ඉතිරි වීමේ අවදානම නිසා පත්තර නියෝජිතයෝ ඕනෑවට වඩා පත්තර ඇණවුම් කළේ නැහැ. පත්තරයක් එක දිගටම ගන්න කෙනෙක්නම් පත්තර නියෝජිතයාට කලින් කියලයි තියෙන්නේ. පත්තර කඩේට ආපු ගමන්ම ඒ පත්තර ටික වෙන් කරනවා. ඒ නිසා, හදිසියේ තීරණය කරලා ගන්න අයට පත්තර සුළු ප්‍රමාණයක් පමණයි ඉතිරි වෙන්නේ. ඒ ටිකත් ඉක්මණින්ම විකිණෙනවා.

සමහර සති වල පත්තර ඉල්ලුම ඉහළ යනවා. උදාහරණයක් විදිහට රටේ විශේෂ දෙයක් සිදු වූ සතියක. ඒ වගේ දවසක තමන්ට අවශ්‍ය ඉරිදා පත්තරය කඩේ නැත්නම් පත්තරයක් අවශ්‍ය කෙනෙක් බොහෝ විට වෙනත් පත්තරයක් මිල දී ගන්නවා.

හැමදාම ගන්න පත්තරේට ඇබ්බැහි වෙලා ඉන්න අය ගොඩක් වෙලාවට ඒ පත්තරේම හොයනවා මිසක් අලුත් පත්තරයක් ගන්නේ නැහැ. කොටස් වශයෙන් යන කතා, එක දිගට යන සංවාද ආදිය බලන්නනම් හැමදාම ගන්න පත්තරේම ගන්න ඕනෑ. ඒ නිසා, අලුත් පත්තරේකට එක පාරටම ලොකු ඉල්ලුමක් එන්නේ නැහැ.

දිවයින පටන් ගත්ත ගමන්ම අලෙවි නියෝජිතයින්ගෙන් ආපහු ගන්න පත්තර ප්‍රමාණය 25%ක් කළා. දැන් පත්තර නියෝජිතයින්ට ලොකු අවදානමක් නැතුව වැඩිපුර පත්තර ප්‍රමාණයක් ඇණවුම් කරන්න පුළුවන්. පත්තර ඇත්තටම කඩ වල ඉතුරු වුනා. නමුත් මොකක් හෝ පත්තරයක් ගන්න එන කෙනෙක් අනෙක් පත්තර නැත්නම් ඉතුරු වෙලා තියෙන පත්තරේ ගන්න නිසා දිවයින අලෙවිය ටිකෙන් ටික ඉහළ ගියා. ඒ එක්කම දිවයිනට ඇබ්බැහි වූ පිරිසකුත් ගොඩ නැගුණා. ආපහු ගන්න 25% නිසා කාලයක් වැඩිපුරම බඩු එතුනේත් දිවයින පත්තර වල. ඔහොම ටික කාලයක් යද්දී දිවයින ආවේ "දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන ඉරිදා පුවත්පත" ටැග් ලයින් එකකුත් එක්ක. 

අනිවාර්යයයෙන්ම කාලයක් යන තුරු දිවයින ගැහුවේ පාඩුවට. එහිදී වුනේ අනාගත ලාබ දිහා බලාගෙන අවදානම ගැනීමක්. ඇමසන් කොටස්හිමියන් හැසිරුණු විදිහම තමයි. 

ඔය ආසන්න කාලයේදී උපාලි සමාගමෙන් සබන් වර්ග දෙකක් එහෙමත් වෙළඳපොළට දැම්මා. සබන් ඒකාධිකාරය තිබුනේ පසුව යුනිලීවර් වූ ලීවර් බ්‍රදර්ස් සමාගමට. නමුත් සබන් වර්ග දෙකටනම් වෙළඳපොළ අල්ලා ගන්න බැරි වුනා. ගොඩක් ආයෝජකයෝ අනාගත ලාබ ඉලක්ක කරගෙන පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යනවා. නමුත් අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි.

වෙනත් හේතු මත පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදිහට නීත්‍යනුකූල ලෙසම බදු අඩුවෙන් ගෙවීම සඳහා.

සමහර සමූහ ව්‍යාපාර සතුව සමාගම් දෙතුන් සීයක් තියෙනවා. නමුත් ඔය අතර ප්‍රධාන සමාගම් තියෙන්නේ කීපයක් පමණයි. ඒවා හොඳින් ලාබ ලබන සමාගම්. නමුත් සමූහ ව්‍යාපාරයේ ගොඩක් සමාගම් නමට වගේ තිබෙන කුඩා සමාගම්. ඒවා නඩත්තු වෙන්නේ ප්‍රධාන සමාගම් වල ලාබයෙන් පොම්ප කරන සල්ලි වලින්. බදු අය කරන්නේ සමාගමක ලාබ මත නිසා රජයට බදු සේ ගෙවන මුදලෙන් කොටසක් ලාබ නොලබන සමාගමකට පොම්ප කිරීම මගින් වියදමක් නැතිවම ඒ සමාගම් පවත්වා ගන්න පුළුවන්. හැබැයි අවසාන අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි. මේ විදිහට සල්ලි පොම්ප කිරීමක් වෙන්නේ එකම සංයුතියක කොටස් හිමිකාරත්වය තිබෙන සමාගම් දෙකක් අතරනම්, එයින් කිසිම කොටස්හිමියෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ. 

ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් පවත්වා ගෙන යන්නේ පුළුවන් තරම් ලාබ ලැබීමේ අරමුණින් නෙමෙයි. අඩු වශයෙන් අනාගතයේදී හෝ එවැනි ලාබ ලැබීමේ අරමුණක් එහි නැහැ. නමුත් මෙවැනි ආයතනයක් වුවද, ලාබ නොලබා දිගුකාලීනව පවත්වා ගෙන යා හැක්කේ දිගින් දිගටම පිටින් මුදල් පොම්ප කරන්නේනම් පමණයි.

ලංවිම පාඩු ලබද්දී විදුලි පාරිභෝගිකයාට වාසියක් ලැබෙනවා. එහි බර වැටෙන්නේ බදු ගෙවන්නන් මත. රටේ හැමෝම වගේ විදුලි පාරිභෝගිකයෝ. ඒ වගේම රටේ හැමෝම වගේ යම් ආකාරයක බදු ගෙවන්නෝ. නමුත් සෛද්ධාන්තිකව විදුලි පාරිභෝගිකයා සහ බදු ගෙවන්නා කියන්නේ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් නෙමෙයි. ඊට හේතුව විදුලි පරිභෝජනය හා බදු ගෙවීම සමානුපාතික නොවීමයි.

ලංවිම ආර්ථික ලාබ නොලබනවා කියන්නේ අදාළ පාඩුව රටේ බදු ගෙවන්නට ගෙවන්න සිදු වෙනවා කියන එක. මෙය අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය වලටත් අදාළයි. රජය කියා කියන්නෙත් ආකෘතිමය ලෙස සමූහ ව්‍යාපාරයක් වැනි එකක් කියා සැලකුවත්, එහි එක් තැනක තිබෙන අරමුදල් ලංවිම වැනි තැනකට පොම්ප කිරීම මගින් එවැනි ආයතන දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්. එසේ කිරීම මගින් රජයේ "කොටස්හිමියන්" වන බදු ගෙවන්නට යහපතක් වෙනවානම් එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැහැ. 

ඇත්තටම තියෙන ප්‍රශ්නය බදු ගෙවන්නන්ගේ අරමුදල් රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප කරන එක නෙමෙයි. එහෙම නොකරන එක. හරියටම කිවුවොත් මූල්‍ය අරමුදල විරුද්ධ වෙන්නේ බදු ගෙවන්නන්ගේ අරමුදල් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප "නොකරන" එකට.

මේ කරුණ පැටලිලි සහගත බව මම දන්නවා. පැහැදිලි කරන්නම්.

කුමක් හෝ දේශපාලනික හෝ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා ලංවිම වැනි ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යා යුතුයි කියා අපි හිතමු. එහෙම අවශ්‍යද කියන එක වෙනම සාකච්ඡාවක්. එයටත් මම පසුව පිළිතුරු දෙන්නම්. ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යන්නනම් එහි පිරිවැය කවුරු හෝ විසින් දරන්නම වෙනවා. විදුලි පාරිභෝගිකයාගේ පිරිවැයෙන් කොටසක් බදු ගෙවන්නා විසින් දරනවානම්, බදු ගෙවන්නාගේ අරමුදල් යොදවා රජය විසින් ලංවිම සුබසාධනය කරනවානම්, මූල්‍ය අරමුදල එයට විරුද්ධ වෙන එකක් නැහැ. රාජ්‍ය ප්‍රතිපත්තිය එසේ කිරීම වෙන්න පුළුවන්.

මෙහිදී කළ යුත්තේ රාජ්‍ය අයවැයෙන් ලංවිමට කෙළින්ම මුදල් වෙන් කරන එක. ඒ මුදල බදු ගෙවන්නාගෙන් අය කර ගන්න වෙනවා. රජයෙන් ලැබෙන මුදල ආදායමක් සේ එකතු කළාට පස්සේ ලංවිම පාඩුව නැති වෙනවා. එවිට ලංවිම තව දුරටත් පාඩු ලබන ආයතනයක් නෙමෙයි.

නමුත්, මෙතෙක් කල් වුනෙත්, දැන් වෙන්නෙත් ඒක නෙමෙයි. රාජ්‍ය ආයතන සුබසාධනය කිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එසේ තිබියදී, රාජ්‍ය ආයතන පාඩු ලබනවා. ඒ පාඩු ගිණුම් වල එකතු වෙනවා. යම් සීමාවක් දක්වා ආයතනයකට පාඩු එක්කම දුවන්න පුළුවන්. හිරවෙන තුරුම ඔය වැඩේ කළ හැකියි. නමුත් හිර වුනාට පස්සේ බදු ගෙවන්නන්ගේ මුදල් යොදවන්න වෙනවා. 

අවසාන වශයෙන් කොහොමටත් බදු ගෙවන්නන්ගේ මුදල් යොදවා මේ ආයතන පවත්වා ගෙන යනවානම් මෙහි තිබෙන ප්‍රශ්නය කුමක්ද?

මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් ගෙවිය යුතු මුදලක් (ආපතික බැරකමක්) ගිණුම් තුළ සැඟවී යාමයි. එමෙන්ම, රජයේ ණය ප්‍රමාණය අඩුවෙන් පෙනීමයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් අනාගතයේදී යෙදවිය යුතු බදු මුදල් කියා කියන්නේ රජය විසින් අනාගතයේදී ගෙවිය යුතු ණයකට සමාන දෙයක්. 

ලංකාව මුහුණ දී තිබෙන්නේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට. ඒ කියන්නේ ගෙවිය යුතු ණය හා පොලිය නියමිත දිනට ආපසු ගෙවීමට නොහැකි වීමේ ප්‍රශ්නයට. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන්නේ ණය තිරසාරත්වය ඇති කිරීමයි. ප්‍රාථමික අයවැය අතිරික්ත ආදී ඉලක්ක සකස් කර තිබෙන්නේ මෙම අරමුණ පෙරදැරිවයි. නමුත් රාජ්‍ය ණය යටතේ නොවැටෙන වෙනත් අනාගත ආපතික බැරකම් ගොඩ ගැසේනම් අවදානමේ වැටෙන්නේ රටේ ණය තිරසාරත්වයයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව විදුලි පාරිභෝගිකයින්ට සහනයක් දිය යුතුනම් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය මුදල රාජ්‍ය අයවැයෙන් වෙන් කිරීමයි. එසේ අරමුදල් වෙන් කිරීමෙන් පසුවද අවශ්‍ය ප්‍රාථමික අතිරික්ත ඉලක්කය පවත්වා ගත හැකිනම් ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

රජය මුල් වී යම් කණ්ඩායමක් සුබසාධනය කරන්නේනම් එම සුබසාධනයේ බර වෙනත් අයෙකුට දරන්නට සිදු වෙනවා. එසේ කිරීම හෝ නොකිරීම දේශපාලනික තීරණයක්. එහෙත් මෙහිදී සිදු වන්නේ එසේ සුබසාධනය වෙනුවෙන් මුදල් වැය කිරීමක් නොකර ප්‍රශ්නය යට ගැසීමක් සහ අනාගතයට කල් දැමීමක්. 

Thursday, March 6, 2025

විදුලි ගාස්තු හා අවධමනය


සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. 

සමස්ත තත්ත්වය මෙසේ වුවත්, ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ IMF වැඩපිළිවෙලෙහි එකඟතා නොසලකා හරිමිනුයි. මෙසේ එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වනවා මෙන්ම IMF එක විසින්ද එය එලෙසම දැක තිබෙනවා. 

ඊට අමතරව, දැනට පවතින අවධමන තත්ත්වයද IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු (structural benchmarks) වලින් පිට පැනීමක්. ඒ නිසා, මේ ගැන IMF අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමට ගොස් සාකච්ඡා කරන්න සිදු වී තිබෙනවා.

මේ දෙක බැලූ බැල්මටම කරුණු දෙකක් සේ පෙනුණත්, ඇත්තටම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. එම ස්වාධීනත්වය එලෙස දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පිලිබඳව මෙවර IMF වාර්තාවෙහිද අවධාරණය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය අවශ්‍ය මට්ටමේ නැත්නම් එහි වගකීම මහ බැංකුව සතුයි. 

මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගය. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ වගකීම ඉටු කර නැහැ. 

මෙම එකඟතාවය තුළ මහ බැංකුවට සැලකිය යුතු "වාසිදායක ඉඩකඩක්" තිබෙනවා. කිසියම් මාසයක උද්ධමනය ටිකක් එහා මෙහා වුනත්, මාස තුනක සාමාන්‍ය අගය සලකද්දී බොහෝ විට මැද තැනකට එනවා. ඒ වගේම, එම අගය 5% මට්ටමේ සිට 2%ක් දක්වා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එය එසේ නොවීනම්, ඊළඟ මාස තුනක කාලය තුළ තත්ත්වය නිවැරදි වෙන්න පුළුවන්. එහෙමත් සිදු නොවී, මාස තුනේ කාල දෙකකදීම එක දිගටම උද්ධමනයේ සාමාන්‍ය අගය 5% ඉලක්කයේ සිට 2% ඉක්මවා අඩු හෝ වැඩි වුනොත් තමයි මහ බැංකුව උද්ධමන ඉලක්කය පවත්වා ගන්න අසමත් වී ඇති සේ සැලකෙන්නේ. 

පුදපු ගමන් කාපි යකා කිවුවා වගේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී කාර්තු දෙකක් යන්නත් කලින්ම මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය හා අදාළ පොරොන්දු වූ එකඟතාවය පවත්වා ගන්න අසමත් වෙලා තිබෙනවා. 

මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගන්න එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුව. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී ඉලක්කය ලඟා කරගත්තා.

හැබැයි ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටිලා 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක්. ඒ අනුව, නිල වශයෙන් මහ බැංකුව උද්ධමන ඉලක්කය මග හැර ගත්තා. 

මහ බැංකුවට මේ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමේ වගකීම ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ කියන්නේ වක්‍ර ලෙස ජනතාව විසින්. ජනතාවට වූ පොරොන්දුව ඉටු කිරීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නමුත් මහ බැංකුව විසින් ඉලක්කය මග හැර ගැනීම ජනතාව විසින් ප්‍රශ්නයක් කර ගෙන නැහැ. ඊට හේතුව, මහ බැංකුව ඉලක්කය මග හැර ගත්තේ පහළ පැත්තට වීම නිසයි. මෙයම අනෙක් අතට වුනානම්, ඒ කියන්නේ උද්ධමනය කාර්තු දෙකක් තිස්සේ එක දිගටම 7% සීමාවෙන් ඉහළ තිබුණානම්, ඒ ගැන සමාජයේ මීට වඩා ලොකු කතාබහක් ඇති වෙනවා. දිගට හරහට විවේචන එනවා.

ඔය ව්දිහට කාර්තු දෙකක්ම ඉලක්කයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටිලා අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. ඒ විතරක් නෙමෙයි. 2025 ජනවාරි හා පෙබරවාරි තත්ත්වය අනුව, 2025 පළමු කාර්තුවේදී මෙය තවත් පහතට වැටෙන බව පැහැදිලියි. ඒ වගේම, 2025 දෙවන කාර්තුව තුළදී වුවද 3% -7% සීමාව තුළට නැවත පැමිණීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ කියන්නේ එක දිගටම කාර්තු හතරක් හෝ පහක් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහෙනවා. 

මේ විදිහේ "බරපතල" අවධමන තත්ත්වයක් ඇති වී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහුනේ කොහොමද?

පෙබරවාරි උද්ධමනය -4.22% දක්වා පහත වැටුණේ (4.22%ක අවධමනයක් වුනේ) කොහොමද කියන එක විමසා බැලුවොත් ගැටලුව හඳුනා ගන්න පුළුවන්. මෙම අගය හැදෙන්නේ පහත ආකාරයටයි.

විදුලි ගාස්තු අඩුවීම = (-3.87%)

පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩුවීම = (-1.20%)

අනෙකුත් සියලුම දේවල් වල මිල වැඩිවීම = (+0.85%)

මේ මට්ටමේ අවධමනයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ විදුලි ගාස්තු විශාල ලෙස පහත වැටීම. මේ හේතුව නිසා මහ බැංකුව වගකීමෙන් නිදහස් වන්නේ නැතත්, මේ කරුණ අමතක කර අපට උද්ධමන ඉලක්කය ගිලිහීම ගැන කතා කරන්න බැහැ. 

උද්ධමනය හා අදාළ IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු මොනවාද? 

ඉහත  ව්‍යුහමය මිනුම් ලකුණු අනුවද, මහ බැංකුව විසින් කාර්තුවක් තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ සාමාන්‍ය අගය 5% මට්ටමේ පවත්වා ගැනීම ඉලක්ක කළ යුතුයි. එහිදී IMF එක විසින් උපරිම වශයෙන් 3%ක විචලනයන් පිළිගන්නවා. ඒ කියන්නේ 2%-8% සීමාව. මෙය මහ බැංකුව විසින් "ජනතාවට" පොරොන්දු වී ඇති සීමාවට වඩා ලිහිල් සීමාවක් බැවින් මහ බැංකුව විසින් ජනතාවට වග කියන්නේනම්, එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම IMF කොන්දේසි ඉටුවීමක්ද සිදු වෙනවා.

කෙසේ වුවත්, මේ වන විට එක දිගට කාර්තු තුනක්ම උද්ධමනය ඉහත IMF ව්‍යුහමය මිනුම් ලකුණු වල පහළ සීමාව වන 2% මට්ටමෙන්ද පහතට වැටී අවසන්ව ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් කාර්තු දෙක තුළද එලෙසම පැවතිය හැකියි. විදුලි ගාස්තු සංශෝධන මෙම තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු හා ජූලි මාස වලදී සිදු කළ විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් විදුලි ගාස්තු වල 39%ක පමණ විශාල අඩුවීමක් සිදු වී තිබෙනවා. මෙවැනි සංශෝධනයක් නිසා උද්ධමනය මත සිදු වන බලපෑම සාමාන්‍යයෙන් වසරක කාලයක් තිබී ඉවත්ව යනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුව විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවකට කළ හැකි හොඳම දෙය කිසිවක් නොකර සිටීමයි. එයින් උද්ධමන ඉලක්කය ගිලිහෙන නමුත් එය වැළැක්වීම සඳහා මහ බැංකුවට කිසිවක් කළ නොහැකිවාක් මෙන්ම එසේ කරන්නට යාමෙන් වඩා නරක අතුරු ප්‍රතිඵල අත් විඳින්නට සිදු වෙනවා. ඊට හේතුව විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන්නේ වෙළඳපොළ සාධක අනුව ඉල්ලුම ඉහළ යාම නිසා හෝ සැපයුම අඩුවීම නිසා නොව රාජ්‍ය මැදිහත්වීමක් හේතුවෙන් වීමයි. 

විකල්ප ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුවට කළ හැක්කේ මුදල් සැපයුම වැඩි කිරීමයි. එහෙත් එයින් උද්ධමනය ඇති වීමට වසරකට වඩා කාලයක් ගත වන බැවින් අවධමන තත්ත්වයෙහි වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ගයක අවසන් ප්‍රතිඵලය වන්නේ වසරකට පසු විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ස්වභාවික ලෙසම ඉවත්ව යද්දී, මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිඵලද ලැබෙන්නට පටන්ගෙන උද්ධමනය අවශ්‍ය මට්ටම ඉක්මවා ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් අවධමනය හමුවේ "කිසිවක් නොකර සිටීම" නිවැරදි ක්‍රියාමාර්ගයක්. 

ඇත්ත වශයෙන්ම, මගේ පෞද්ගලික අදහස වන්නේ පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධන වුවද සිදු නොකර සිටියානම් වඩා හොඳ බවයි. එමගින් පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණු බව ඇත්තක් වුවත්, සාමාන්‍යයෙන් මෙවැනි මිල අඩුවීමකින් ලැබෙන සැනසීමට වඩා මිල වැඩිවීමකදී දැනෙන වේදනාව වැඩියි. ඒ නිසාම, මිල අඩුවීමක දේශපාලන වාසියට වඩා මිල වැඩි කිරීමක දේශපාලන හානියද වැඩියි. මිල මෙපමණ අඩු නොකළේනම් කාලයක් මිල වැඩි නොකර සිටීමට අවකාශයක් හැදෙනවා.

ලංවිම ලාබ "ඕනෑවට වඩා" තිබුණේනම් එම අමතර අරමුදල් ආපතික අරමුදල් සංචිතයක් (contingency fund) ලෙස පවත්වා ගැනීම මගින් පසුකාලීනව විදුලි ගාස්තු වැඩි කරන්නට සිදු වීමේ අවදානම අඩු කර ගත හැකිව තිබුණා. එය පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මෙන්ම දේශපාලනිකවද වාසිදායක ප්‍රවේශයක්. කෙසේ වුවද, මැතිවරණ වසරක් තුළ පැවති ආණ්ඩුවේ දේශපාලන අභිලාශ අනුව විදුලි ගාස්තු අඩු කිරීමට එම ආණ්ඩුව පෙළඹීම තේරුම් ගන්න අසීරු නැහැ.

එහෙත්, ඉහත කරුණ හා අදාළව පසුගිය ආණ්ඩුව විවේචනය කිරීමට ඉඩක් නැත්තේ එහිදී එම ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ IMF වැඩ සටහනෙහි එකඟතා අනුව විදුලි ගාස්තුව පිරිවැය හා ගලපමින් බැවිනුයි. අදාළ කාලයේදී ලංවිම ලාබ උපයා ණයද ආපසු ගෙවා තිබෙනවා. ඒ නිසා, එමගින් මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මත සිදු වූ බලපෑම අපට නොසලකා හරින්නට සිදු වෙනවා. 

අලුත් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ නිර්දේශ පරිදි ජනවාරි මාසයේදී 20%කින් පමණ විශාල ලෙස විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ පෙර වසරේදී මෙන් පිරිවැය හා ගලපමින් නෙමෙයි. මෙය මහ බැංකුවේ පැත්තෙන් බැලුවොත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි දෙයක්. පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ඉවත්ව යාමට නියමිතව තිබුණු කාලයේදී නැවත වරක් විදුලි ගාස්තු අඩු කිරීම "අවධමනය අලුත් කිරීමක්". 

කෙසේ වුවද, අලුත් ආණ්ඩුවේ මේ තීරණය සැලකිය හැක්කේ අත්දැකීම් අඩුකම නිසා ගත් අදූරදර්ශී තීරණයක් ලෙසයි. මෙම තීරණය අනාගතයේදී දේශපාලනිකව ආණ්ඩුවට පාරා වලල්ලක් වීමට නියමිතයි.

දැනටමත් IMF එක සමඟ එකඟ වී ඇති පරිදි, ඉතා ඉක්මණින් විදුලි ගාස්තු නැවතත් පිරිවැය හා ගලපන්නට සිදු වනු ඇති අතර බොහෝ විට එළඹෙන අප්‍රේල් මාසයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකියි. විදුලි ගාස්තු අඩුවීමකදී ආණ්ඩුව අගය කිරීමක් ලොකුවට සිදු නොවීම හා විදුලි ගාස්තු සුළුවෙන් හෝ ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව අපේක්ෂා කළ හැකි දෙයයි. ඇතැම් විට ඉදිරි කාලයේදී නැවත නැවතත් විදුලි ගාස්තු ඉහළ දමන්නට වුවද සිදු විය හැකියි.

විදුලි ගාස්තු අඩුවීම නිසා ඇති වූ අවධමනයේ රඟ හරියටම දැකගන්නට ලැබෙනු ඇත්තේද යම් කාල පමාවක් සහිතවයි. බොහෝ විට සිදු වීමට ඉඩ තිබෙන දෙයක් වන්නේ 2026 පළමු මාස හය තුළ උද්ධමනය 7% සීමාව ඉක්මවා යාමයි. දැන් අවධමනය හමුවේ මහ බැංකුවට කිසිවක් නොකර ඉන්නට සිදු වී ඇති අයුරින්ම තවත් වසරකට පසු උද්ධමනය තාවකලිකව ඉහළ ගොස් මහ බැංකුවට සහ ආණ්ඩුවට විවේචන එල්ල වන විටද මහ බැංකුවට කරන්නට සිදු වන්නේ කිසිවක්ම නොකර සිටීම පමණයි. 

පිරිවැය නොසලකා හරිමින් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සහ එමගින් IMF වැඩපිළිවෙලෙහි එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වන්නේ කෙසේද?

ලංවිම ඇතුළු රාජ්‍ය සංස්ථා යම් කාලයක් එක දිගට මේ අයුරින් පාඩු පිට පවත්වාගෙන යා හැකියි. ගිණුම්කරණ ලාබ වාර්තා කළද, ආර්ථික ලාබ නැත්නම් සිදු වන්නේ පාඩුවක්. ආර්ථික ලාබ ඇති සේ සැලකිය හැක්කේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන්නේනම් පමණයි. ආර්ථික ලාබ නොමැතිව පවත්වා ගෙන යන ආයතනයක් යම් අවස්ථාවක මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යා නොහැකි තරමට හිර වෙනවා. එවිට එවැනි ආයතන "බේරා ගන්නට" සිදු වන්නේ බදු මුදල් පොම්ප කිරීම මගින් පමණයි. IMF එක දැන් සිටම හඳුනා ගෙන තිබෙන්නේ එම අවදානමයි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි සහ ලිපියේ විස්තර කළ පරිදි වත්මන් අවධමන තත්ත්වය සහ විදුලි ගාස්තු සංශෝධන අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. අවධමනය බොහෝ දෙනෙකු බරපතල සේ නොදැක්කත් මෙහිදී සිදු වන්නේ සුනාමියට පෙර වතුර මට්ටම පහත වැටීම වැනි දෙයක්. වත්මන් අවධමනයේ ප්‍රතිඵලයක් ලෙස 2026 මුලදී උද්ධමන සුනාමියක් නොපැමිණෙනු ඇති නමුත් අඩු වශයෙන් ලොකු රැල්ලක් පැමිණීම දැන් සිටම දැකිය හැකි දෙයක්. අපේක්ෂිත පිරිවැය හා ගලපමින් විදුලි ගාස්තු සංශෝධනය ඉක්මණින් ආපසු හරවන තරමට එම රැල්ලේ වේගය අඩු කර ගැනීමට හෝ රැල්ල පැමිණීම වලක්වා ගැනීමට වැඩි ඉඩකඩක් තවමත් තිබෙනවා. මෙම සටහන ලියා පළ කරන්නේ ඒ සඳහා වසරක පමණ කාලයක් තිබියදී.

Friday, January 17, 2025

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල


මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි.

මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ "දෙවන පිරිපහදුව චීනයට" ලිපියේ මුල් කොටස උපුටා දක්වන්නම්.

"ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි."

ඔය දැන් ආවා කියන ආයෝජනය ඕකම තමයි. නමුත් මුදල ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙනවා. ඇතැම් විට යෝජිත පිරිපහදුවේ ධාරිතාව කලින් සැලසුම් කළාට වඩා අඩු වෙලා වෙන්න පුළුවන්. එය එසේනම්, එය ලංකාවට අවාසියක්. 

මේ ආයෝජනය අරන් ආවේ රනිල්ද, අනුරද කියන එක ගැනත් දැන් යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ තරම් තේරුමක් නැති ප්‍රශ්නයක් වුනත්, රනිල්ට හෝ අනුරට අවශ්‍ය වුනා කියලා ඔය වගේ ආයෝජන රටට ගේන්න බැහැ. මේ වගේ ආයෝජන ලංකාවට එන්නේ චීනයට ක්‍රමෝපායිකව අවශ්‍ය නිසා. රනිල්, අනුර, සජිත්, නාමල් වගේ කවුරු හිටියත් චීනයට අවශ්‍යනම් ඔය වැඩේ විය හැකිව තිබුණා. අනුර යටතේ ආයෝජනය එන එකේ ප්‍රධාන වෙනස මේ ගැන විවේචන නැති වී තිබීම.

ඔය ආයෝජනය ගැන මුලින්ම කියවුණු කාලයේ මාලිමාව පැත්තෙන්ම ආපු විවේචනයක් වුනේ රුපියල් වෙළඳපොළට එන මේ වගේ ආයෝජන වලින් රටට වැඩක් නැහැ කියන එක. මේ තර්කයට පදනමක් නැතුවම නෙමෙයි. රුපියල් වෙළඳපොළට එන විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වාසියක්. නමුත් වැදගත් කරුණ එය තව දුරටත් වාසියක් මිස පාඩුවක් නොවීමයි. 

පළමුව, මේ ආයෝජනය නිසා ආරම්භයේදී රටට එන මුදල සැලකුවොත්, ඒ මුදල බොහෝ දුරට ආනයන ලෙස නැවත චීනයටම ආපසු යන මුදලක්. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් දේශීය අමු ද්‍රව්‍ය හා ශ්‍රමය යම් තරමකින් හෝ යොදා ගන්න අවශ්‍ය වන නිසා සංචිත වලට හෝ අනෙකුත් විදේශ විණිමය අවශ්‍යතා වෙනුවෙන් යම් හෝ මුදලක් ඉතිරි වෙයි. 

මේ වැඩෙන් මුල් වසර වලදී සිදු වනු ඇත්තේ ආනයන වියදම් ඉහළ ගොස් වෙළඳ හිඟය තවත් වැඩි වෙන එකයි. ඒ හේතුව නිසාම, දැනට අතිරික්තයක්ව පවතින ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එම හිඟය පියවන්න අවශ්‍ය විදේශ විණිමය ප්‍රමාණය චීනයෙන් රටට එන නිසා මෙය විදේශ විණිමය තුලනය කෙරෙහි නරක විදිහට බලපාන්නේ නැහැ. 

චීන ණය සහ අනෙකුත් ණය අරගෙන ආයෝජන කරද්දීත් සිදු වුනේ ඔය වැඩේට කිට්ටුවෙන් යන වැඩක්. එක පැත්තකින් ආනයන වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් විදේශ ණය විදිහට විදේශ විණිමය රටට ඇවිත් විණිමය වෙළඳපොළ තුලනය වුනා. නමුත් එය සිදු වුනේ අනාගත ණය ගෙවීමේ වගකීම් නම් වූ කාල බෝම්බයේ නූල පත්තු කරමිනුයි. කාල බෝම්බය පිපිරුණු ආකාරය අපි හැමෝම හොඳින්ම දැක්කා.

ණය ගැනීමට කිට්ටුවෙන් යන දෙයක් වුනත් දැන් මේ පිරිපහදුව සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ ආයෝජන ලෙස මිස ණය ලෙස නෙමෙයි. ඒ නිසා, රටට විණිමය අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ ඔය ආයෝජනය ආපසු අරගෙන ගියොත් පමණයි. මේ වගේ ආයෝජන වල ස්වභාවය නිසාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ. රටේ විදේශ බැරකම් ඉහළ ගියත්, තෙල් පිරිපහදුව රටට අයිති නැති වත්කමක් ලෙස රට ඇතුළේ ඉතිරි වෙනවා. 

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබුණේ තෙල් විකුණන්නේ රුපියල් වලින් වුවත්, මේ වගේ සමාගම් විසින් ඔවුන්ගේ ලාබ ඩොලර් ලෙස රටෙන් අරගෙන යනවා කියන එක. කතාව ඇත්ත. නමුත් වැදගත් ප්‍රශ්නය මේ හේතුව නිසා ශුද්ධ වශයෙන් විදේශ විණිමය රටෙන් එළියට යාමක් සිදු වෙනවද කියන එක. බැලූ බැල්මට පෙනෙන්නේ නැති විය හැකි වුවත්, එවැන්නක් වෙන්නේ නැහැ.

ලංකාවේ බොර තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය කොහොමටත් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් විදේශ විණිමය වැය කරන්න සිදු වෙනවා. ඒ විදේශ විණිමය යම් ක්‍රමයකින් හොයා ගන්නත් සිදු වෙනවා. රටේ ඉන්ධන පිරිපහදු කිරීමේ ධාරිතාවය සීමිත නිසා, පිරිපහදු කළ ඉන්ධනද සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන්ද විදේශ විණිමය උපයා ගන්න සිදු වෙනවා.

චීන පිරිපහදුව ලංකාවට ආවාට පස්සේ වෙන්නෙත් ඔය ටිකමයි. කලින් තෙල් සංස්ථාව හරහා එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් දැන් සිනොපෙක් සමාගම හරහා රටෙන් එළියට යනවා. මෙහි විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.

එතකොට ලාබ කොටස? ඔව්. ලාබ කොටසත් විදේශ විණිමය ලෙස එළියට යන්න පුළුවන් තමයි. නමුත් තව දුරටත් දේශීය ඉන්ධන මිල තීරණය කරන්නේ තෙල් සංස්ථාව හරහා ශ්‍රී ලංකා රජය නිසා සිනොපෙක් සමාගමට හෝ වෙනත් සමාගමකට ඊට වඩා වැඩියෙන් ඉන්ධන විකුණන්න බැහැ. 

තෙල් සංස්ථාව තෙල් විකුණන්නේ යාන්තමින් පිරිවැය ආවරණය වන මිලකටයි. අනෙක් තරඟකරුවන්ට ඒ මිලටම තෙල් විකුණලා ලාබයකුත් හොයා ගන්න වෙනවා. ඒ සඳහා හැකි තරම් අඩු මිලකට තෙල් ආනයනය කරන්න වෙනවා. එහිදී විදේශ විණිමය ඉතිරියක් වෙනවා. අවසාන වශයෙන් ඒ ඉතිරි වන විදේශ විණිමය ටික හෝ එයින් කොටසක් තමයි ලාබ විදිහට රටෙන් එළියට යන්නේ. ඒ නිසා, ශුද්ධ වශයෙන් මෙයින් විණිමය තුලනය කෙරෙහි ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැහැ.

ප්‍රායෝගිකව, සිනොපෙක් වැනි සමාගම් වලට රට ඇතුළේ තව දුරටත් ව්‍යාප්ත වීමේ උවමනාවක් තිබෙන නිසා ඔවුන්ගේ ලාබ රටෙන් ගෙන නොයා නැවත රට තුළම ආයෝජනය කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම, මෙම සමාගම් වල ලාබ වලින් රජයට බදු එකතු වෙනවා. එය රාජ්‍යමූල්‍ය තුලනය කෙරෙහි හිතකර ලෙස බලපානවා. පාරිභෝගිකයින්ට වාසියක් ලැබෙන එකනම් ඉක්මණින්ම වෙන එකක් නැහැ. එය සිදු වනු ඇත්තේ තව දුරටත් වෙළඳපොළ ප්‍රමුඛයා වන තෙල් සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරය අනුවයි. හැබැයි යම් කාලයකට පසුව හෝ එය සිදු විය යුතුයි.

පසුගිය වසරේ ප්‍රසිද්ධ වී තිබුණු තොරතුරු අනුව යෝජිත දෙවන පිරිපහදුවේ ධාරිතාවය ලංකාවේ පිරිපහදු ඉන්ධන අවශ්‍යතා හිඟය ඉක්මවා යන්නක්. ඒ අනුව, සැලසුම වී තිබුනේ රට තුළ ඉන්ධන පිරිපහදු කර අපනයනය කිරීමයි. රට අසලින් යන නැව් වලට ඉන්ධන සැපයීමද ඉන්ධන අපනයනය කිරීමට සමාන දෙයක්. මෙවැන්නක් සිදු වන තරමට, ඒ හේතුවෙන් රට තුළ සිදු වන අගය එකතු කිරීම ඉහළ යනවා. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. ආයෝජනයේ ප්‍රමාණය කොපමණද යන්න වැදගත් වන්නේ ඒ නිසා. මුලින් යෝජනා වී තිබුණු ඩොලර් බිලියන 4.5 ආයෝජනය ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙන්නේ පිරිපහදු ධාරිතාවයේ අඩු වීමක්ද සමඟනම්, එසේ නැති වෙන්නේ මෙම ගනුදෙනුවේ වාසිදායකම කොටසකුයි. කෙසේ වුවත්, දේශීය ඉන්ධන වෙළදපොළ ඉලක්ක කර පිරිපහදුව හැදුවත් එයින් අපේක්ෂිත වාසිය අඩුවීමක් මිස පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මුලින් සඳහන් කළ දෙවන කරුණට ගියොත්, චීනයෙන් ලබාගත් යුවාන් බිලියන දහයක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කරගෙන තිබෙනවා. මේ අනුව, 2027 වසර අවසන් වන තුරුම එම ණය මුදල ආපසු ගෙවිය යුතු වන්නේ නැහැ.

මේ යුවාන් වලින් වැඩක් ගන්නේ නැත්නම් ආපසු නොගෙවා තියාගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිවුවොත් රටක නිල විදේශ සංචිත කියා කියන්නේනම වැඩක් නොගෙන තියාගෙන ඉන්න අරමුදල්. මේ අරමුදල් තියාගෙන ඉන්නේ හදිසියකදී ප්‍රයෝජනයට ගන්න බව ඇත්ත. නමුත් ඕනෑම රටක් උත්සාහ කරන්නේ එවැනි හදිසි ඇති නොවන බවට වග බලා ගැනීමටයි. 

දැන් ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ටිකෙන් ටික සංචිත ගොඩ නගා ගැනීම මිසක් තියෙන සංචිත "ප්‍රයෝජනයට ගැනීම" නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකව චීන මුදල් හුවමාරු ණය වලින් වෙන්නෙත් ඉතිරි සංචිත වලින් සිදු වන දෙයමයි. ඒ කියන්නේ විණිමය වෙළඳපොළ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා එම සංචිත උදවු කර ගැනීම. මෙම ගිවිසුම අලුත් කිරීම නිසා ලංකාවට "නියම ක්‍රමයට" සංචිත ගොඩ නගා ගැනීමට තවත් අවුරුදු තුනක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ සංචිත ඉලක්ක වලට යාම වඩා පහසු වෙනවා. ඩොලරයක මිල ඉහළ යාමේ අවදානම අඩු වෙනවා. එහි හොඳ වගේම නරකත් තිබෙන එක වෙනම කරුණක්.

තුන්වන කරුණ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම. අනුමත වුවහොත්, මෙය සැලකිය යුතු අඩු කිරීමක්. ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ පිරිවැය පදනම සලකා බලමින් කියා මම හිතනවා. එය එසේ නොවුනත්, මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නෙමෙයි.

යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින අවධමන තත්ත්වය කලින් අපේක්ෂා කළ පරිදි ඉක්මණින් "යථා තත්ත්වයට" පත් වෙන එකක් නැහැ. සංකල්පීය ලෙස ගත්තොත් උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමම නෙමෙයි. නමුත් උද්ධමනය මනින්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට 5% උද්ධමන ඉලක්කයක් ලබා දී තිබෙන්නේත් මෙම දර්ශකය හා සම්බන්ධ කරමිනුයි.

උද්ධමනය හා පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ආසන්න ලෙස හෝ එකට යන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මල ගණන් වෙනස් වන්නේනම් පමණයි. නමුත් විදුලි ගාස්තු වෙනස් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. එය සිදුවන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා පරිපාලනමය තීන්දු ලෙසයි. ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජන ඉල්ලුම පහත වැටී නැති අතර විදුලිබල සැපයුමේ විශාල වැඩිවීමක්ද සිදු වී නැහැ. එහෙත් විදුලි ගාස්තු අඩු වී තිබෙනවා. වර්ෂාපතනය වැඩිවීමේ බලපෑමක් ඇති.

මහ බැංකුවට මිල මට්ටම ස්ථාවරව පවත්වා ගත හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පාලනය කිරීම මගිනුයි. එය කරන්නේ පොලී අනුපාතික වෙනස් කිරීම මගින්. කලින් පෙනෙන්නට තිබුණේ මහ බැංකුව විසින් පොලී අනුපාතික 8% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ තිබුණු බවයි. උද්ධමනය 5% මට්ටමකට ගැනීම සඳහා පොලී අනුපාතික තව දුරටත් අඩු කළ යුතු වූයේ නැහැ. එහෙත්, විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් අඩු කිරීමේ ඉඩක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, පොලී අනුපාතික 7.5% වැනි මට්ටමකට පහත වැටීමේ ඉඩක් අපට පෙනෙන්නට තිබෙනවා.

Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?


පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා.  එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා. 

පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.

ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.

Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?

දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන  පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?

ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්. 

මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්. 

වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි. 

කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි. 

සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.

ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.

ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි. 

ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි. 

ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි. 

"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා. 

මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා. 

අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ. 

මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.

අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා. 

මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.

යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.

මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.

මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ. 

Saturday, February 18, 2023

විදුලි ගාස්තු හා උද්ධමනය


කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. 

විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු ඇත්තේ විදුලිය අඩුවෙන්ම පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ටයි. මේ වටයේදී කර්මාන්ත වලට ගෙවන්නට සිදු වන විදුලි ගාස්තුව ඉහළ ගොස් තිබෙන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. මසකට කිලෝවොට් පැය 100ක් පරිභෝජනය කරන ලංකාවේ "සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ" විදුලි බිල ආසන්න වශයෙන් 100%කින් පමණ ඉහළ යනවා. උද්ධමන මිනුම් කෙරෙහි එහි සෘජු බලපෑමක් තිබෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණද කියන එක පහසුවෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක්. විදුලි ගාස්තු ඉහළ දැමීමේ ආර්ථික බලපෑම් ගැන කතා කරන එක ඊට වඩා පහසුයි.

ලංකාවේ විදුලිබල කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක්. එවැනි රාජ්‍ය ඒකාධිකාරයකට කැමති පරිදි මිල වැඩි කිරීමට බාධාවක් නැහැ. මිල වැඩි කිරීම මගින් කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයන් වල පාඩුව යටපත් කරගන්න පුළුවන්. ඒ අතින්, විදුලි ගාස්තු ඉහළ දැමීම තුළ අකාර්යක්ෂමතාවයන්ට දිරි දීමක් සිදුවන බව යමෙකුට තර්ක කළ හැකි වුවත්, තරඟයක් නැති පසුබිමක විදුලි ගාස්තු අඩු කළා හෝ වැඩි කළා කියා කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ. 

ඉහත ප්‍රශ්නයට විසඳුම කර්මාන්තය ප්‍රතිනියාමනය කර තරඟකාරිත්වයක් ඇති කිරීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නෙමෙයි. එය විස්තරාත්මක ලෙස කතා කළ යුතු දෙයක්. මේ ගැන ලිපි පෙළක් පටන් ගත්තත් එම ලිපි පෙළ අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත්, එවැන්නක් වන තුරු, කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයේ බර සෘජුවම පාරිභෝගිකයින් වෙත පැටවීම කෙටිකාලීනව කළ හැකි හොඳම දෙයයි. එසේ නොකරන තාක්, එම බර වක්‍ර ලෙස ඔවුන් වෙතම පැටවෙන අතර වෙනත් ආර්ථික හානි ගණනාවක්ද සිදු වෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසුව විදුලි කප්පාදුව නැවැත්විය හැකි බවද පැවසෙනවා. මා හිතන පරිදි මෙය කළ හැකි දෙයක්. විදුලි කප්පාදුවට හේතුව ලෙස විවිධ තාක්ෂණික හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, ඒ පසුබිමේ පැවති ආර්ථික සාධකය වූයේ විදුලි කප්පාදුව හරහා ලංවිම පාඩු සීමා කරගත හැකි වීමයි.

මාස ගණනාවකට පෙර කෙසේ වුවත්, මෑතකාලීනව විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ ඩොලර් නැතිකම නිසා නෙමෙයි. මේ කරුණ හා අදාළව ඩොලර් ප්‍රශ්නය මාස කිහිපයකට පෙරම විසඳී අවසන්. ඇත්තටම තිබුණු ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එම ප්‍රශ්නය විසඳෙනවා. 

ලංකාවේ විදුලිබල නිෂ්පාදන ප්‍රභව වල සංයුතිය අනුව, නිෂ්පාදනය ඉහළ යද්දී ඒකක පිරිවැයද (unit cost) ඉහළ යනවා. විදුලි ඒකකයක ආන්තික පිරිවැය (marginal cost) ඇතැම් විට රුපියල් 150-200 වැනි ඉහළ මිලක් වුවත් විය හැකියි. නමුත්, විදුලි ඒකකයක මිල නියම කෙරෙන්නේ සාමාන්‍ය පිරිවැය (average cost) මත පදනම්ව මිස ආන්තික පිරිවැය මත පදනම්ව නෙමෙයි. 

ඉහත තත්ත්වය තුළ විදුලි ඒකකයක් වෙනුවෙන් එකම නිශ්චිත මිලක් අය කළහොත් වැඩියෙන් විදුලිය නිපදවා විකුණන තරමට නිෂ්පාදකයාගේ ලාබ අඩු වීම හෝ පාඩු ඉහළ යාමද සිදුවන නිසා, එයට විසඳුමක් ලෙස විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දී ඇතත්, එම ගාස්තු ආකෘතිය බලපාන්නේ එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම මතයි. 

තරඟකාරිත්වයක් නැති පසුබිමක, විදුලිබල සැපයුම් වක්‍රයේ හැඩය තනිකරම තීරණය වන්නේ රජයේ විදුලි උත්පාදන නිෂ්පාදන ආකෘතිය (composition of sources) මතයි. පාරිභෝගික මට්ටමේදී විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දීම මගින් එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම් වක්‍රය (individual demand curve) මතද රජයට බලපෑමක් හැකියි. මේ හරහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය (market demand curve) වෙනස් කළ හැකියි. එහෙත් එක් එක් පාරිභෝගිකයා විදුලි ගාස්තු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වන ආකාරයද මේ කෙරෙහි බලපානවා. මිල ඉහළ යද්දී ඉල්ලුම සීමා කරන ආන්තික පාරිභෝගිකයා (marginal consumer) කවුද?

මම හිතන විදිහට පැවති මෙන්ම දැනටද පවතින ගාස්තු ආකෘතිය තුළ වඩාත්ම මිල සංවේදී පාරිභෝගික කාණ්ඩය වන්නේ අඩුම පරිභෝජනයක් කරන ගෘහස්ථ පාරිභෝගිකයින් පිරිස මිස වැඩි පරිභෝජනයක් කරන වාණිජ හෝ කාර්මික අංශ වල පාරිභෝගිකයින් නෙමෙයි. ඒ නිසා, විදුලි කප්පාදුවකින් ලැබුණු ආර්ථික වාසිය (cost saving) විදුලිබල නිෂ්පාදනය අඩු වූ ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. විදුලිබල කප්පාදුව නොවන්නට එම අවාසිය ලංවිම පාඩු වලට එකතු වී අවසාන වශයෙන් රාජ්‍ය අයවැය මත වැය බරක් වෙනවා. 

මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ විදුලිබල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි. මෙහිදී මිල අධික ආන්තික නිෂ්පාදනයද අඩු වන නිසා සාමාන්‍ය පිරිවැය පහළ යාමක්ද සිදු වෙනවා. ඒ හරහා, විදුලි බල මණ්ඩලයේ අලාභය විශාල ලෙස පහළ යනවා. 

විදුලි කප්පාදුව තුළද ගෘහස්ථ ඉල්ලුමේ යම් අඩුවීමක් සිදුවුනත්, ගෘහස්ථ පාරිභෝගිකයින් විසින් විදුලි කප්පාදු කාල සටහනට අනුරූපව තමන්ගේ විදුලි පරිභෝජන කාල රටාව වෙනස් කරගන්නා නිසා කප්පාදු කාලයට අනුපාතිකව විදුලි ඉල්ලුම පහළ යන්නේ නැහැ. එහෙත්, කාර්මික හා වාණිජ පාරිභෝගිකයින්ට මෙවැන්නක් කළ නොහැකියි. ඔවුන්ට අදාළ කාලය තුළ විකල්ප බලශක්ති ප්‍රභවයක් භාවිතයට ගන්නට සිදු වෙනවා. බොහෝ විට ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදු වෙනවා. 

ගාස්තු ඉහළ දැමීම නිසා ගෘහස්ථ පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි පරිභෝජන කාල රටා වෙනස් කර ගැනීම වෙනුවට සෘජු ලෙසම පරිභෝජනය සීමා කිරීමට පෙළඹුමක් ඇති කෙරෙනවා. එයින් විදුලි ඉල්ලුම පහත වැටෙනවා. එමගින් කප්පාදුවක් නැතිව විදුලිය සැපයීමේ හැකියාව ඉහළ යනවා.

වෙනත් විකල්පයක් නැතිකම නිසා විදුලි කප්පාදු කාලය තුළ විකල්ප විදුලි ජනන ප්‍රභව භාවිතා කළ වාණිජ හා කාර්මික පාරිභෝගිකයින්ට, තරමක් වැඩි මිලකට වුවත්, කප්පාදු කාලය තුළ නොලැබුණු විකල්පයක් දැන් ලැබෙනවා. ඒ නිසා ඇතැම් වාණිජ හා කාර්මික පාරිභෝගිකයින් හා අදාළව මේ වැඩි වූ ගාස්තු යටතේ වුවත්, පිරිවැය අඩුවීමක් සිදු විය හැකියි. එය එසේ නොවන්නේනම් ඔවුන්ට තව දුරටත් කප්පාදු කාලය තුළ භාවිතා කළ බලශක්ති ප්‍රභවම භාවිතා කරමින් පිරිවැය ඉහළ යාම වලක්වාගත හැකියි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තවත් වාසියක් වන්නේ සූර්ය පැනල ඇතුළු විකල්ප බලශක්ති ප්‍රභව වෙනුවෙන් සිදු කරන ආයෝජන දිරිමත් වීමයි. එමගින්ද සම්ප්‍රදායික බලශක්ති ප්‍රභව සඳහා වන ඉල්ලුම පහළ ගොස් සාමාන්‍ය ඒකක පිරිවැය අඩු විය හැකියි. 

මේ සියල්ලෙහිම ප්‍රතිඵලය වනුයේ රාජ්‍ය අයවැය මත පීඩනය අඩු වීමයි. ඊට අමතරව මේ ක්‍රියාමාර්ගය නිසා විදේශ අංශය මත පීඩනයද යම් තරමකින් හෝ අඩු වෙනවා. මේ හේතු නිසා, උද්ධමනය කෙරෙහි විදුලි ගාස්තු ඉහළ යාමේ සැලකිය යුතු ද්වීතියික බලපෑමක් (spillover effect) සිදු වන එකක් නැහැ.

විදුලි ගාස්තු සංශෝධනය නිසා කෙටිකාලීනව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මත 2.6%ක පමණ උඩුකුරු තෙරපුමක්ද, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත 1.3%ක පමණ උඩුකුරු තෙරපුමක්ද ඇති වෙනවා. උද්ධමනය පහළ මට්ටමක පැවතියේනම් මේ බලපෑම් විශාල බලපෑම් සේ සැලකිය හැකි වුවත් පවතින ඉහළ උද්ධමන මට්ටමට සාපේක්ෂව මෙය විශාල බලපෑමක් නෙමෙයි. 

ඉහත බලපෑම පෙබරවාරි හා මාර්තු මාස තුළ උද්ධමන දර්ශක කෙරෙහි බලපෑමක් සිදු කරන බැවින්, එම දෙමස තුළ උද්ධමනය අඩු නොවීමට හෝ සුළු වශයෙන් ඉහළ යාමට ඉඩක් ඇතත්, අප විසින් පෙර පුරෝකථනය කර ඇති පරිදි, අප්‍රේල් මාසයේ සිට වේගයෙන් උද්ධමනය අඩු වී වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් වීම පිළිබඳ අපේක්ෂාවන් වලට මෙම විදුලි ගාස්තු සංශෝධනය බාධාවක් නෙමෙයි.

වෙබ් ලිපිනය: