වෙබ් ලිපිනය:

Saturday, February 18, 2023

විදුලි ගාස්තු හා උද්ධමනය


කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. 

විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු ඇත්තේ විදුලිය අඩුවෙන්ම පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ටයි. මේ වටයේදී කර්මාන්ත වලට ගෙවන්නට සිදු වන විදුලි ගාස්තුව ඉහළ ගොස් තිබෙන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. මසකට කිලෝවොට් පැය 100ක් පරිභෝජනය කරන ලංකාවේ "සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ" විදුලි බිල ආසන්න වශයෙන් 100%කින් පමණ ඉහළ යනවා. උද්ධමන මිනුම් කෙරෙහි එහි සෘජු බලපෑමක් තිබෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණද කියන එක පහසුවෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක්. විදුලි ගාස්තු ඉහළ දැමීමේ ආර්ථික බලපෑම් ගැන කතා කරන එක ඊට වඩා පහසුයි.

ලංකාවේ විදුලිබල කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක්. එවැනි රාජ්‍ය ඒකාධිකාරයකට කැමති පරිදි මිල වැඩි කිරීමට බාධාවක් නැහැ. මිල වැඩි කිරීම මගින් කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයන් වල පාඩුව යටපත් කරගන්න පුළුවන්. ඒ අතින්, විදුලි ගාස්තු ඉහළ දැමීම තුළ අකාර්යක්ෂමතාවයන්ට දිරි දීමක් සිදුවන බව යමෙකුට තර්ක කළ හැකි වුවත්, තරඟයක් නැති පසුබිමක විදුලි ගාස්තු අඩු කළා හෝ වැඩි කළා කියා කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ. 

ඉහත ප්‍රශ්නයට විසඳුම කර්මාන්තය ප්‍රතිනියාමනය කර තරඟකාරිත්වයක් ඇති කිරීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නෙමෙයි. එය විස්තරාත්මක ලෙස කතා කළ යුතු දෙයක්. මේ ගැන ලිපි පෙළක් පටන් ගත්තත් එම ලිපි පෙළ අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත්, එවැන්නක් වන තුරු, කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයේ බර සෘජුවම පාරිභෝගිකයින් වෙත පැටවීම කෙටිකාලීනව කළ හැකි හොඳම දෙයයි. එසේ නොකරන තාක්, එම බර වක්‍ර ලෙස ඔවුන් වෙතම පැටවෙන අතර වෙනත් ආර්ථික හානි ගණනාවක්ද සිදු වෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසුව විදුලි කප්පාදුව නැවැත්විය හැකි බවද පැවසෙනවා. මා හිතන පරිදි මෙය කළ හැකි දෙයක්. විදුලි කප්පාදුවට හේතුව ලෙස විවිධ තාක්ෂණික හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, ඒ පසුබිමේ පැවති ආර්ථික සාධකය වූයේ විදුලි කප්පාදුව හරහා ලංවිම පාඩු සීමා කරගත හැකි වීමයි.

මාස ගණනාවකට පෙර කෙසේ වුවත්, මෑතකාලීනව විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ ඩොලර් නැතිකම නිසා නෙමෙයි. මේ කරුණ හා අදාළව ඩොලර් ප්‍රශ්නය මාස කිහිපයකට පෙරම විසඳී අවසන්. ඇත්තටම තිබුණු ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එම ප්‍රශ්නය විසඳෙනවා. 

ලංකාවේ විදුලිබල නිෂ්පාදන ප්‍රභව වල සංයුතිය අනුව, නිෂ්පාදනය ඉහළ යද්දී ඒකක පිරිවැයද (unit cost) ඉහළ යනවා. විදුලි ඒකකයක ආන්තික පිරිවැය (marginal cost) ඇතැම් විට රුපියල් 150-200 වැනි ඉහළ මිලක් වුවත් විය හැකියි. නමුත්, විදුලි ඒකකයක මිල නියම කෙරෙන්නේ සාමාන්‍ය පිරිවැය (average cost) මත පදනම්ව මිස ආන්තික පිරිවැය මත පදනම්ව නෙමෙයි. 

ඉහත තත්ත්වය තුළ විදුලි ඒකකයක් වෙනුවෙන් එකම නිශ්චිත මිලක් අය කළහොත් වැඩියෙන් විදුලිය නිපදවා විකුණන තරමට නිෂ්පාදකයාගේ ලාබ අඩු වීම හෝ පාඩු ඉහළ යාමද සිදුවන නිසා, එයට විසඳුමක් ලෙස විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දී ඇතත්, එම ගාස්තු ආකෘතිය බලපාන්නේ එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම මතයි. 

තරඟකාරිත්වයක් නැති පසුබිමක, විදුලිබල සැපයුම් වක්‍රයේ හැඩය තනිකරම තීරණය වන්නේ රජයේ විදුලි උත්පාදන නිෂ්පාදන ආකෘතිය (composition of sources) මතයි. පාරිභෝගික මට්ටමේදී විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දීම මගින් එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම් වක්‍රය (individual demand curve) මතද රජයට බලපෑමක් හැකියි. මේ හරහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය (market demand curve) වෙනස් කළ හැකියි. එහෙත් එක් එක් පාරිභෝගිකයා විදුලි ගාස්තු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වන ආකාරයද මේ කෙරෙහි බලපානවා. මිල ඉහළ යද්දී ඉල්ලුම සීමා කරන ආන්තික පාරිභෝගිකයා (marginal consumer) කවුද?

මම හිතන විදිහට පැවති මෙන්ම දැනටද පවතින ගාස්තු ආකෘතිය තුළ වඩාත්ම මිල සංවේදී පාරිභෝගික කාණ්ඩය වන්නේ අඩුම පරිභෝජනයක් කරන ගෘහස්ථ පාරිභෝගිකයින් පිරිස මිස වැඩි පරිභෝජනයක් කරන වාණිජ හෝ කාර්මික අංශ වල පාරිභෝගිකයින් නෙමෙයි. ඒ නිසා, විදුලි කප්පාදුවකින් ලැබුණු ආර්ථික වාසිය (cost saving) විදුලිබල නිෂ්පාදනය අඩු වූ ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. විදුලිබල කප්පාදුව නොවන්නට එම අවාසිය ලංවිම පාඩු වලට එකතු වී අවසාන වශයෙන් රාජ්‍ය අයවැය මත වැය බරක් වෙනවා. 

මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ විදුලිබල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි. මෙහිදී මිල අධික ආන්තික නිෂ්පාදනයද අඩු වන නිසා සාමාන්‍ය පිරිවැය පහළ යාමක්ද සිදු වෙනවා. ඒ හරහා, විදුලි බල මණ්ඩලයේ අලාභය විශාල ලෙස පහළ යනවා. 

විදුලි කප්පාදුව තුළද ගෘහස්ථ ඉල්ලුමේ යම් අඩුවීමක් සිදුවුනත්, ගෘහස්ථ පාරිභෝගිකයින් විසින් විදුලි කප්පාදු කාල සටහනට අනුරූපව තමන්ගේ විදුලි පරිභෝජන කාල රටාව වෙනස් කරගන්නා නිසා කප්පාදු කාලයට අනුපාතිකව විදුලි ඉල්ලුම පහළ යන්නේ නැහැ. එහෙත්, කාර්මික හා වාණිජ පාරිභෝගිකයින්ට මෙවැන්නක් කළ නොහැකියි. ඔවුන්ට අදාළ කාලය තුළ විකල්ප බලශක්ති ප්‍රභවයක් භාවිතයට ගන්නට සිදු වෙනවා. බොහෝ විට ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදු වෙනවා. 

ගාස්තු ඉහළ දැමීම නිසා ගෘහස්ථ පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි පරිභෝජන කාල රටා වෙනස් කර ගැනීම වෙනුවට සෘජු ලෙසම පරිභෝජනය සීමා කිරීමට පෙළඹුමක් ඇති කෙරෙනවා. එයින් විදුලි ඉල්ලුම පහත වැටෙනවා. එමගින් කප්පාදුවක් නැතිව විදුලිය සැපයීමේ හැකියාව ඉහළ යනවා.

වෙනත් විකල්පයක් නැතිකම නිසා විදුලි කප්පාදු කාලය තුළ විකල්ප විදුලි ජනන ප්‍රභව භාවිතා කළ වාණිජ හා කාර්මික පාරිභෝගිකයින්ට, තරමක් වැඩි මිලකට වුවත්, කප්පාදු කාලය තුළ නොලැබුණු විකල්පයක් දැන් ලැබෙනවා. ඒ නිසා ඇතැම් වාණිජ හා කාර්මික පාරිභෝගිකයින් හා අදාළව මේ වැඩි වූ ගාස්තු යටතේ වුවත්, පිරිවැය අඩුවීමක් සිදු විය හැකියි. එය එසේ නොවන්නේනම් ඔවුන්ට තව දුරටත් කප්පාදු කාලය තුළ භාවිතා කළ බලශක්ති ප්‍රභවම භාවිතා කරමින් පිරිවැය ඉහළ යාම වලක්වාගත හැකියි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තවත් වාසියක් වන්නේ සූර්ය පැනල ඇතුළු විකල්ප බලශක්ති ප්‍රභව වෙනුවෙන් සිදු කරන ආයෝජන දිරිමත් වීමයි. එමගින්ද සම්ප්‍රදායික බලශක්ති ප්‍රභව සඳහා වන ඉල්ලුම පහළ ගොස් සාමාන්‍ය ඒකක පිරිවැය අඩු විය හැකියි. 

මේ සියල්ලෙහිම ප්‍රතිඵලය වනුයේ රාජ්‍ය අයවැය මත පීඩනය අඩු වීමයි. ඊට අමතරව මේ ක්‍රියාමාර්ගය නිසා විදේශ අංශය මත පීඩනයද යම් තරමකින් හෝ අඩු වෙනවා. මේ හේතු නිසා, උද්ධමනය කෙරෙහි විදුලි ගාස්තු ඉහළ යාමේ සැලකිය යුතු ද්වීතියික බලපෑමක් (spillover effect) සිදු වන එකක් නැහැ.

විදුලි ගාස්තු සංශෝධනය නිසා කෙටිකාලීනව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මත 2.6%ක පමණ උඩුකුරු තෙරපුමක්ද, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත 1.3%ක පමණ උඩුකුරු තෙරපුමක්ද ඇති වෙනවා. උද්ධමනය පහළ මට්ටමක පැවතියේනම් මේ බලපෑම් විශාල බලපෑම් සේ සැලකිය හැකි වුවත් පවතින ඉහළ උද්ධමන මට්ටමට සාපේක්ෂව මෙය විශාල බලපෑමක් නෙමෙයි. 

ඉහත බලපෑම පෙබරවාරි හා මාර්තු මාස තුළ උද්ධමන දර්ශක කෙරෙහි බලපෑමක් සිදු කරන බැවින්, එම දෙමස තුළ උද්ධමනය අඩු නොවීමට හෝ සුළු වශයෙන් ඉහළ යාමට ඉඩක් ඇතත්, අප විසින් පෙර පුරෝකථනය කර ඇති පරිදි, අප්‍රේල් මාසයේ සිට වේගයෙන් උද්ධමනය අඩු වී වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් වීම පිළිබඳ අපේක්ෂාවන් වලට මෙම විදුලි ගාස්තු සංශෝධනය බාධාවක් නෙමෙයි.

4 comments:

  1. සූරිය පැනල හිමියන්හට තියා පොලූ
    එව්වා එපා කරවන්නට හදනවලූ
    තව තව නූල් එකෙකා අත තියෙනවලු
    ඒවා අදිනකොට හොඳ කෙළි නැටවෙයිලූ

    ReplyDelete
  2. Very well explained, But please do talk about your recommendations
    for restructuring CEB as well.

    ReplyDelete
  3. Would it be possible to use the IMF loan to settle the loan taken from Bangladesh?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: