වෙබ් ලිපිනය:

Showing posts with label අවධමනය. Show all posts
Showing posts with label අවධමනය. Show all posts

Thursday, July 31, 2025

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු වී තිබෙනවා. කෙසේ වුවද, ජූලි මාසය අනිවාර්යයෙන්ම අවධමනයක් වාර්තා වන අවසන් මාසයයි. 

පසුගිය මාසය තුළ එළවළු, මාළු හා පොල් මිල ගණන් වල විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 2.5%කින් පහත වැටී තිබෙනවා. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා භාණ්ඩ පැසෙහි ආහාර නොවන වියදම් රුපියල් 1,122කින් ඉහළ ගොස් ඇතත්, සමස්තයක් ලෙස ආහාර වියදම රුපියල් 1,531කින් අඩු වීම හේතුවෙන් එම ඉහළ යාමේ බලපෑම නිශේධනය වී තිබෙනවා. 

පාරිභෝගික මිල දර්ශකය තුළ පොල් මිල අඩු වීමේ බලපෑම රුපියල් 567ක්ද, මාළු මිල අඩු වීමේ බලපෑම රුපියල් 616ක්ද, එළවලු මිල අඩු වීමේ බලපෑම රුපියල් 664ක්ද වන අතර, සැපයුම් සාධක නිසා තාවකාලිකව ඉහළ ගොස් තිබුණු දිය ලුණු මිල නැවත යථා තත්ත්වයට පත් වීම නිසා රුපියල් 150ක බලපෑමක් සිදුව තිබෙනවා.

ඉහත මිල ගණන් සියල්ල පහත වැටී තිබෙන්නේ වෙළදපොළ සාධක මතයි. ලංකාවේ එළවලු, මාළු මිල ගණන් වෙළඳපොළ තරඟය තුළ රට තුළම ඉල්ලුම් සැපයුම් තුලනය හරහා තීරණය වෙනවා. සැපයුම අඩු වෙන විට මෙම මිල ගණන් ඉහළ ගියද නැවත මිල අඩු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙවැනි වෙළඳපොළ කෙරෙහි රජයට බලපෑමක් කළ නොහැකි අතර එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නැහැ. 

හාල්, පොල් මිල ගණන් ඉහළ යද්දී විවිධ ප්‍රවාද ඉදිරියට ආවත්, පොල් මිල ඉහළ යාමට හේතු වී තිබුණේද සැපයුමේ සාමාන්‍යයෙන් සිදු වන තාවකාලික විචලනයන්ගේ බලපෑමයි. එම අවස්ථාවේදී පොල් නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ආනයනය කිරීමට රජය විසින් ගත් තීරණය හොඳ තීරණයක්. එයින් දේශීය පොල් මිල නැවත ස්ථාවර වීමට බලපෑමක් වෙන්න ඇති. රිලා සංගණනයනම් ඉතිහාසයට එකතු වූ විහිළුවක් පමණයි. නමුත් වඩා සැලසුම් සහගතව කරන්නේනම් එවැන්නක ප්‍රයෝජනයක් තිබෙනවා. සහල් මිලෙහිද, විශේෂයෙන්ම ලංකාවේ දිස්ත්‍රික්ක වැඩි ගණනක ජනප්‍රියම සහල් වර්ග වන රතු කැකුළු සහ සුදු නාඩු සහල් වර්ග වල මිල අඩු වීමක් ජූලි මාසය තුළ සිදු වී තිබෙනවා. දිය ලුණු මිල පහත වැටීම මගින් පෙන්නුම් කරන්නේ දේශීය දිය ලුණු සැපයුමද නැවතත් යථා තත්ත්වයට පත් වී ඇති බවයි.

සැපයුම් සාධක මත එළවලු, මාලු, හාල්, පොල් මිල ගණන් පහත වැටීම මගින් පිළිබිඹු වන්නේ නිෂ්පාදනය ඉහළ යාමයි. මෙහි බලපෑම තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තුළද පිළිබිඹු විය යුතුයි. 

Tuesday, July 1, 2025

අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?


මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන විට "උද්ධමනය නිෂ්පාදනය කරමින්" සිටීමයි. 

විදේශ අංශයේ බලපෑම්, කාලගුණ සාධක ආදිය භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි බලපෑමක් කළද, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන මූලික සාධකය මුදල් සැපයුමෙහි සිදු වන වෙනස් වීමයි. මුදල් සැපයුම වෙනස් වීමට බලපාන එකම සාධකය මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වෙනස් වීම නොවුනත්, එය ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය සේ සැලකිය හැකියි. "සල්ලි අච්චු ගැසීම" යනුවෙන් හඳුන්වන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කිරීමයි.

පහත තිබෙන්නේ පසුගිය වසර වල ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් සැපයුමෙහි සිදු වූ වෙනස සහ එම වෙනස්වීම් වල ප්‍රතිශතයි.

2020-2021 - රුපියල් බිලියන 196.1 (22.6%)
2021-2022 - රුපියල් බිලියන 387.5 (36.4%)
2022-2023 - රුපියල් බිලියන (-16.8) (-1.2%)
2023-2024 - රුපියල් බිලියන (-18.1) (-1.3%)
2024-2025 - රුපියල් බිලියන (242.5) (17.1%)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, එම කාලය තුළ මිල මට්ටම වෙනස් වූයේ පහත පරිදියි.

2020-2021 - 5.2%
2021-2022 - 54.6%
2022-2023 - 12.0%
2023-2024 - 1.7%
2024-2025 - (-0.6%)

මේ අනුව, මිල මට්ටම වෙනස්වීම (උද්ධමනය හෝ අවධමනය) සහ සංචිත මුදල් වෙනස් වීම අතර සම්බන්ධතාවය පැහැදිලිව දැක ගැනීමට අපහසු නැහැ. සංචිත මුදල් වෙනස් වීම මිල මට්ටම කෙරෙහි බලපෑමක් කරන්නේ වසර 1-2ක කාලයකින් පසුවයි. 

රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම වාර්තාගත උද්ධමනයකින් අවසන් වූ අතර, ඉන් පසුව 2022-2024 කාලය තුළ සංචිත මුදල් සැපයුමේ සිදු වූ සුළු අඩුවීම වාර්තාගත අවධමනයකට හේතු වුනා. මේ වන විට නැවතත් මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවධමනය ඉතා ඉක්මණින් අවසන් වී නැවතත් උද්ධමනය මුණ ගැසීමට නියමිතයි. 

මෙහි සඳහන් 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම සහ දැන් සිදු වන සල්ලි අච්චු ගැසීම සසඳා බැලීමේදී ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගත හැකියි. පළමු වෙනස්කම වන්නේ මේ වන විට මහ බැංකුවට ස්වාධීනව මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය ඉලක්ක සීමාව ඉක්මවා ඉහළ ගියහොත් රජය මත වරද පැටවීමේ ඉඩක් ඉතිරි වී නැහැ. 

මෙයටම සම්බන්ධ දෙවන වෙනස වන්නේ මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා නොවීමයි. ඒ නිසා, මෙසේ අච්චු ගසන සල්ලි බැංකු පද්ධතියට එකතු වී පෞද්ගලික අංශයේ ණය බවට පරිවර්තනය වෙනවා. පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා කාර්යක්ෂමය යන උපකල්පනය මත එම ණය ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කරමින් තිබෙනවා විය යුතුයි.

මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව විශ්වාසනීය තක්සේරුවක් මහ බැංකුවට තිබෙනවා විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම වැනි බාහිර කම්පන නිසා උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ගැනද මහ බැංකුව විසින් සැලකිලිමත්ව සිටින්නේයැයි මා සිතනවා. 

Monday, June 30, 2025

අවධමන රැල්ලේ අවසන් මාසය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද -0.6ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. මේ එම දර්ශකය අනුව එක දිගටම අවධමනයක් වාර්තා වන දසවන මාසයයි. එහෙත් අපට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මෙම ජූනි මාසය අවධමන රැල්ල අවසන් කරන මාසය බවයි. 

ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව ජූනි මාසයේදීද අවධමනයක් පෙන්නුම් කළත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේදීම අවධමනය අවසන් වී නැවත උද්ධමන තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය එම මට්ටමේ නොපවතීනම් මහ බැංකුවට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. 

මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්නයි. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගයයි. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කර නැති සේ සැලකෙනවා. 

මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදායි. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුවයි. එනම්, ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනයි. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ පැවතුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී උද්ධමන ඉලක්කය ලඟා කරගත්තා.

එහෙත් ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටී 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක් උද්ධමන ඉලක්කය ගිලිහුණා. මෙය සැලකෙන්නේ නිල වශයෙන් මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය මග හැරගැනීමක් ලෙසයි. 

මේ අයුරින් කාර්තු දෙකක්ම ඉලක්ක පරාසයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටී අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. එම අවධමන තත්ත්වය 2025 පළමු කාර්තුව දක්වා දිගු වුනේ -3.6ක අවධමනයක් වාර්තා කරමින්. මෙම මට්ටම ඉලක්කයට වඩා 8.6%කින් අඩු මට්ටමක්. කෙසේ වුවත්, මේ වන විට ප්‍රකාශිතව ඇති සංඛ්‍යාලේඛණ අනුව, 2025 දෙවන කාර්තුවේදී අවධමනය -1.1කට සීමා වී තිබෙනවා. 

අවධමන රැල්ල මෙම (2025 ජූනි) මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, තෙවන කාර්තුවේදීද උද්ධමනය 3% සීමාව ඉක්මවා නොයන්නට ඉඩ තිබෙනවා. එය සිදු වනු ඇත්තේ සිවුවන කාර්තුව තුළයි. මේ අනුව, දැනටමත් එක දිගටම කාර්තු පහක් තිස්සේ ගිලිහී ගොස් ඇති මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉදිරි කාර්තුව තුළද ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, මේ වෙද්දී මහ බැංකුව විසින් "උද්ධමනය නිපදවමින්" සිටින බැවින් සිවුවන කාර්තුව තුළ මහ බැංකුව විසින් ඉලක්කය කරා යාමට නියමිතයි. 

"සල්ලි අච්චු ගැසීම" මගින් මහ බැංකුවට උද්ධමනය නිපදවිය හැකියි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල ඇති බැංකු සහ රජය සතු මුදල් ප්‍රමාණයේත් එකතුවයි. 

මහ බැංකුව ස්වාධීන කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ "සල්ලි අච්චු ගැසීම" නවත්වා ඇති බව නොව, කොපමණ සල්ලි අච්චු ගැසිය යුතුද යන්න මහ බැංකුවට ස්වාධීනව තීරණය කළ හැකි බවයි. මහ බැංකුවක ව්‍යාපාරික කාර්යය මෙන්ම නිල කාර්යය වන්නේද "අවශ්‍ය පමණ" සල්ලි අච්චු ගැසීමයි. ලංකාවේ සන්දර්භයේදී මෙම "අවශ්‍ය ප්‍රමාණය" වන්නේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. හරියටම කිවුවොත්, උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා අච්චු ගැසිය යුතු සල්ලි ප්‍රමාණයයි.

මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසිය යුත්තේ උද්ධමනය පහළ, ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් වුවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති වීම හේතුවෙන් රජයේ අයවැය පියවීමේ අරමුණින් සහ රජයේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් සල්ලි අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වුනා. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ඉහළ යාමයි. 

උද්ධමනය පාලනයෙන් ගිලිහුණු විට එය නැවත අවශ්‍ය මට්ටමට පහත හෙළා ගැනීම ඉතා අසීරුයි. මේ සඳහා හොඳම තත්කාලීන උදාහරණයක් වන්නේ මේ වන විටද 43.5% මට්ටමේ උද්ධමනයක් පවතින ආජන්ටිනාවයි. රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් තත්ත්වයක පැවතියද, මෙම වසර අවසන් වෙද්දී පවා ආජන්ටිනාවට උද්ධමනය තනි අංකයකට අඩු කර ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එරට ණය පොලී අනුපාතික තවමත් 40% සිට 140% දක්වා වන ඉහළ පරාසයක විචලනය වනු දැකිය හැකියි. 

එහෙත්, රාජ්‍යමූල්‍ය අංශයෙන් ලැබුණු සහයෝගයේ උපකාරයද ලබමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතා කෙටි කලකින් ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට සමත් වුනා. මෙහිදී මහ බැංකුව විසින් ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු දැකිය හැකි වූ අතර සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම වගේ නවත්වා දමනු ලබා තිබුණා. කෙසේ වුවත් මේ වන විට මහ බැංකුව විසින් නැවතත් "අවශ්‍ය ප්‍රමාණයට" සල්ලි අච්චු ගසමින් සිටිනු දැකිය හැකියි. 

Monday, June 23, 2025

අවධමනය ඉවරද?

 

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේදී 0.6%ක උද්ධමනයක් වාර්තා වී තිබෙනවා. එසේ උද්ධමනයක් වාර්තා වන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට එක දිගට මාස අටක් පැවති අවධමනය අවසන් කරමිනුයි. අපගේ පෙර සටහන් වල මේ තත්ත්වය පුරෝකථනය කර තිබෙනවා.

නිල උද්ධමන දර්ශකය සේ සැලකෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසයේදීද අවධමනයක් වාර්තා වීමට ඉඩ තිබෙන නමුත් එම තත්ත්වය එසේ පවතිනු ඇත්තේ විදුලි ගාස්තු වැඩි වීමේ බලපෑම එකතු වන තුරු පමණයි. මෙම වසරේ සිවුවන කාර්තුව වන විට උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා.

Thursday, March 6, 2025

විදුලි ගාස්තු හා අවධමනය


සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. 

සමස්ත තත්ත්වය මෙසේ වුවත්, ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ IMF වැඩපිළිවෙලෙහි එකඟතා නොසලකා හරිමිනුයි. මෙසේ එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වනවා මෙන්ම IMF එක විසින්ද එය එලෙසම දැක තිබෙනවා. 

ඊට අමතරව, දැනට පවතින අවධමන තත්ත්වයද IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු (structural benchmarks) වලින් පිට පැනීමක්. ඒ නිසා, මේ ගැන IMF අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමට ගොස් සාකච්ඡා කරන්න සිදු වී තිබෙනවා.

මේ දෙක බැලූ බැල්මටම කරුණු දෙකක් සේ පෙනුණත්, ඇත්තටම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. එම ස්වාධීනත්වය එලෙස දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පිලිබඳව මෙවර IMF වාර්තාවෙහිද අවධාරණය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය අවශ්‍ය මට්ටමේ නැත්නම් එහි වගකීම මහ බැංකුව සතුයි. 

මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගය. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ වගකීම ඉටු කර නැහැ. 

මෙම එකඟතාවය තුළ මහ බැංකුවට සැලකිය යුතු "වාසිදායක ඉඩකඩක්" තිබෙනවා. කිසියම් මාසයක උද්ධමනය ටිකක් එහා මෙහා වුනත්, මාස තුනක සාමාන්‍ය අගය සලකද්දී බොහෝ විට මැද තැනකට එනවා. ඒ වගේම, එම අගය 5% මට්ටමේ සිට 2%ක් දක්වා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එය එසේ නොවීනම්, ඊළඟ මාස තුනක කාලය තුළ තත්ත්වය නිවැරදි වෙන්න පුළුවන්. එහෙමත් සිදු නොවී, මාස තුනේ කාල දෙකකදීම එක දිගටම උද්ධමනයේ සාමාන්‍ය අගය 5% ඉලක්කයේ සිට 2% ඉක්මවා අඩු හෝ වැඩි වුනොත් තමයි මහ බැංකුව උද්ධමන ඉලක්කය පවත්වා ගන්න අසමත් වී ඇති සේ සැලකෙන්නේ. 

පුදපු ගමන් කාපි යකා කිවුවා වගේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී කාර්තු දෙකක් යන්නත් කලින්ම මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය හා අදාළ පොරොන්දු වූ එකඟතාවය පවත්වා ගන්න අසමත් වෙලා තිබෙනවා. 

මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගන්න එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුව. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී ඉලක්කය ලඟා කරගත්තා.

හැබැයි ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටිලා 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක්. ඒ අනුව, නිල වශයෙන් මහ බැංකුව උද්ධමන ඉලක්කය මග හැර ගත්තා. 

මහ බැංකුවට මේ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමේ වගකීම ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ කියන්නේ වක්‍ර ලෙස ජනතාව විසින්. ජනතාවට වූ පොරොන්දුව ඉටු කිරීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නමුත් මහ බැංකුව විසින් ඉලක්කය මග හැර ගැනීම ජනතාව විසින් ප්‍රශ්නයක් කර ගෙන නැහැ. ඊට හේතුව, මහ බැංකුව ඉලක්කය මග හැර ගත්තේ පහළ පැත්තට වීම නිසයි. මෙයම අනෙක් අතට වුනානම්, ඒ කියන්නේ උද්ධමනය කාර්තු දෙකක් තිස්සේ එක දිගටම 7% සීමාවෙන් ඉහළ තිබුණානම්, ඒ ගැන සමාජයේ මීට වඩා ලොකු කතාබහක් ඇති වෙනවා. දිගට හරහට විවේචන එනවා.

ඔය ව්දිහට කාර්තු දෙකක්ම ඉලක්කයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටිලා අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. ඒ විතරක් නෙමෙයි. 2025 ජනවාරි හා පෙබරවාරි තත්ත්වය අනුව, 2025 පළමු කාර්තුවේදී මෙය තවත් පහතට වැටෙන බව පැහැදිලියි. ඒ වගේම, 2025 දෙවන කාර්තුව තුළදී වුවද 3% -7% සීමාව තුළට නැවත පැමිණීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ කියන්නේ එක දිගටම කාර්තු හතරක් හෝ පහක් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහෙනවා. 

මේ විදිහේ "බරපතල" අවධමන තත්ත්වයක් ඇති වී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහුනේ කොහොමද?

පෙබරවාරි උද්ධමනය -4.22% දක්වා පහත වැටුණේ (4.22%ක අවධමනයක් වුනේ) කොහොමද කියන එක විමසා බැලුවොත් ගැටලුව හඳුනා ගන්න පුළුවන්. මෙම අගය හැදෙන්නේ පහත ආකාරයටයි.

විදුලි ගාස්තු අඩුවීම = (-3.87%)

පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩුවීම = (-1.20%)

අනෙකුත් සියලුම දේවල් වල මිල වැඩිවීම = (+0.85%)

මේ මට්ටමේ අවධමනයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ විදුලි ගාස්තු විශාල ලෙස පහත වැටීම. මේ හේතුව නිසා මහ බැංකුව වගකීමෙන් නිදහස් වන්නේ නැතත්, මේ කරුණ අමතක කර අපට උද්ධමන ඉලක්කය ගිලිහීම ගැන කතා කරන්න බැහැ. 

උද්ධමනය හා අදාළ IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු මොනවාද? 

ඉහත  ව්‍යුහමය මිනුම් ලකුණු අනුවද, මහ බැංකුව විසින් කාර්තුවක් තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ සාමාන්‍ය අගය 5% මට්ටමේ පවත්වා ගැනීම ඉලක්ක කළ යුතුයි. එහිදී IMF එක විසින් උපරිම වශයෙන් 3%ක විචලනයන් පිළිගන්නවා. ඒ කියන්නේ 2%-8% සීමාව. මෙය මහ බැංකුව විසින් "ජනතාවට" පොරොන්දු වී ඇති සීමාවට වඩා ලිහිල් සීමාවක් බැවින් මහ බැංකුව විසින් ජනතාවට වග කියන්නේනම්, එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම IMF කොන්දේසි ඉටුවීමක්ද සිදු වෙනවා.

කෙසේ වුවත්, මේ වන විට එක දිගට කාර්තු තුනක්ම උද්ධමනය ඉහත IMF ව්‍යුහමය මිනුම් ලකුණු වල පහළ සීමාව වන 2% මට්ටමෙන්ද පහතට වැටී අවසන්ව ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් කාර්තු දෙක තුළද එලෙසම පැවතිය හැකියි. විදුලි ගාස්තු සංශෝධන මෙම තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු හා ජූලි මාස වලදී සිදු කළ විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් විදුලි ගාස්තු වල 39%ක පමණ විශාල අඩුවීමක් සිදු වී තිබෙනවා. මෙවැනි සංශෝධනයක් නිසා උද්ධමනය මත සිදු වන බලපෑම සාමාන්‍යයෙන් වසරක කාලයක් තිබී ඉවත්ව යනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුව විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවකට කළ හැකි හොඳම දෙය කිසිවක් නොකර සිටීමයි. එයින් උද්ධමන ඉලක්කය ගිලිහෙන නමුත් එය වැළැක්වීම සඳහා මහ බැංකුවට කිසිවක් කළ නොහැකිවාක් මෙන්ම එසේ කරන්නට යාමෙන් වඩා නරක අතුරු ප්‍රතිඵල අත් විඳින්නට සිදු වෙනවා. ඊට හේතුව විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන්නේ වෙළඳපොළ සාධක අනුව ඉල්ලුම ඉහළ යාම නිසා හෝ සැපයුම අඩුවීම නිසා නොව රාජ්‍ය මැදිහත්වීමක් හේතුවෙන් වීමයි. 

විකල්ප ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුවට කළ හැක්කේ මුදල් සැපයුම වැඩි කිරීමයි. එහෙත් එයින් උද්ධමනය ඇති වීමට වසරකට වඩා කාලයක් ගත වන බැවින් අවධමන තත්ත්වයෙහි වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ගයක අවසන් ප්‍රතිඵලය වන්නේ වසරකට පසු විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ස්වභාවික ලෙසම ඉවත්ව යද්දී, මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිඵලද ලැබෙන්නට පටන්ගෙන උද්ධමනය අවශ්‍ය මට්ටම ඉක්මවා ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් අවධමනය හමුවේ "කිසිවක් නොකර සිටීම" නිවැරදි ක්‍රියාමාර්ගයක්. 

ඇත්ත වශයෙන්ම, මගේ පෞද්ගලික අදහස වන්නේ පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධන වුවද සිදු නොකර සිටියානම් වඩා හොඳ බවයි. එමගින් පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණු බව ඇත්තක් වුවත්, සාමාන්‍යයෙන් මෙවැනි මිල අඩුවීමකින් ලැබෙන සැනසීමට වඩා මිල වැඩිවීමකදී දැනෙන වේදනාව වැඩියි. ඒ නිසාම, මිල අඩුවීමක දේශපාලන වාසියට වඩා මිල වැඩි කිරීමක දේශපාලන හානියද වැඩියි. මිල මෙපමණ අඩු නොකළේනම් කාලයක් මිල වැඩි නොකර සිටීමට අවකාශයක් හැදෙනවා.

ලංවිම ලාබ "ඕනෑවට වඩා" තිබුණේනම් එම අමතර අරමුදල් ආපතික අරමුදල් සංචිතයක් (contingency fund) ලෙස පවත්වා ගැනීම මගින් පසුකාලීනව විදුලි ගාස්තු වැඩි කරන්නට සිදු වීමේ අවදානම අඩු කර ගත හැකිව තිබුණා. එය පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මෙන්ම දේශපාලනිකවද වාසිදායක ප්‍රවේශයක්. කෙසේ වුවද, මැතිවරණ වසරක් තුළ පැවති ආණ්ඩුවේ දේශපාලන අභිලාශ අනුව විදුලි ගාස්තු අඩු කිරීමට එම ආණ්ඩුව පෙළඹීම තේරුම් ගන්න අසීරු නැහැ.

එහෙත්, ඉහත කරුණ හා අදාළව පසුගිය ආණ්ඩුව විවේචනය කිරීමට ඉඩක් නැත්තේ එහිදී එම ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ IMF වැඩ සටහනෙහි එකඟතා අනුව විදුලි ගාස්තුව පිරිවැය හා ගලපමින් බැවිනුයි. අදාළ කාලයේදී ලංවිම ලාබ උපයා ණයද ආපසු ගෙවා තිබෙනවා. ඒ නිසා, එමගින් මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මත සිදු වූ බලපෑම අපට නොසලකා හරින්නට සිදු වෙනවා. 

අලුත් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ නිර්දේශ පරිදි ජනවාරි මාසයේදී 20%කින් පමණ විශාල ලෙස විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ පෙර වසරේදී මෙන් පිරිවැය හා ගලපමින් නෙමෙයි. මෙය මහ බැංකුවේ පැත්තෙන් බැලුවොත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි දෙයක්. පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ඉවත්ව යාමට නියමිතව තිබුණු කාලයේදී නැවත වරක් විදුලි ගාස්තු අඩු කිරීම "අවධමනය අලුත් කිරීමක්". 

කෙසේ වුවද, අලුත් ආණ්ඩුවේ මේ තීරණය සැලකිය හැක්කේ අත්දැකීම් අඩුකම නිසා ගත් අදූරදර්ශී තීරණයක් ලෙසයි. මෙම තීරණය අනාගතයේදී දේශපාලනිකව ආණ්ඩුවට පාරා වලල්ලක් වීමට නියමිතයි.

දැනටමත් IMF එක සමඟ එකඟ වී ඇති පරිදි, ඉතා ඉක්මණින් විදුලි ගාස්තු නැවතත් පිරිවැය හා ගලපන්නට සිදු වනු ඇති අතර බොහෝ විට එළඹෙන අප්‍රේල් මාසයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකියි. විදුලි ගාස්තු අඩුවීමකදී ආණ්ඩුව අගය කිරීමක් ලොකුවට සිදු නොවීම හා විදුලි ගාස්තු සුළුවෙන් හෝ ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව අපේක්ෂා කළ හැකි දෙයයි. ඇතැම් විට ඉදිරි කාලයේදී නැවත නැවතත් විදුලි ගාස්තු ඉහළ දමන්නට වුවද සිදු විය හැකියි.

විදුලි ගාස්තු අඩුවීම නිසා ඇති වූ අවධමනයේ රඟ හරියටම දැකගන්නට ලැබෙනු ඇත්තේද යම් කාල පමාවක් සහිතවයි. බොහෝ විට සිදු වීමට ඉඩ තිබෙන දෙයක් වන්නේ 2026 පළමු මාස හය තුළ උද්ධමනය 7% සීමාව ඉක්මවා යාමයි. දැන් අවධමනය හමුවේ මහ බැංකුවට කිසිවක් නොකර ඉන්නට සිදු වී ඇති අයුරින්ම තවත් වසරකට පසු උද්ධමනය තාවකලිකව ඉහළ ගොස් මහ බැංකුවට සහ ආණ්ඩුවට විවේචන එල්ල වන විටද මහ බැංකුවට කරන්නට සිදු වන්නේ කිසිවක්ම නොකර සිටීම පමණයි. 

පිරිවැය නොසලකා හරිමින් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සහ එමගින් IMF වැඩපිළිවෙලෙහි එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වන්නේ කෙසේද?

ලංවිම ඇතුළු රාජ්‍ය සංස්ථා යම් කාලයක් එක දිගට මේ අයුරින් පාඩු පිට පවත්වාගෙන යා හැකියි. ගිණුම්කරණ ලාබ වාර්තා කළද, ආර්ථික ලාබ නැත්නම් සිදු වන්නේ පාඩුවක්. ආර්ථික ලාබ ඇති සේ සැලකිය හැක්කේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන්නේනම් පමණයි. ආර්ථික ලාබ නොමැතිව පවත්වා ගෙන යන ආයතනයක් යම් අවස්ථාවක මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යා නොහැකි තරමට හිර වෙනවා. එවිට එවැනි ආයතන "බේරා ගන්නට" සිදු වන්නේ බදු මුදල් පොම්ප කිරීම මගින් පමණයි. IMF එක දැන් සිටම හඳුනා ගෙන තිබෙන්නේ එම අවදානමයි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි සහ ලිපියේ විස්තර කළ පරිදි වත්මන් අවධමන තත්ත්වය සහ විදුලි ගාස්තු සංශෝධන අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. අවධමනය බොහෝ දෙනෙකු බරපතල සේ නොදැක්කත් මෙහිදී සිදු වන්නේ සුනාමියට පෙර වතුර මට්ටම පහත වැටීම වැනි දෙයක්. වත්මන් අවධමනයේ ප්‍රතිඵලයක් ලෙස 2026 මුලදී උද්ධමන සුනාමියක් නොපැමිණෙනු ඇති නමුත් අඩු වශයෙන් ලොකු රැල්ලක් පැමිණීම දැන් සිටම දැකිය හැකි දෙයක්. අපේක්ෂිත පිරිවැය හා ගලපමින් විදුලි ගාස්තු සංශෝධනය ඉක්මණින් ආපසු හරවන තරමට එම රැල්ලේ වේගය අඩු කර ගැනීමට හෝ රැල්ල පැමිණීම වලක්වා ගැනීමට වැඩි ඉඩකඩක් තවමත් තිබෙනවා. මෙම සටහන ලියා පළ කරන්නේ ඒ සඳහා වසරක පමණ කාලයක් තිබියදී.

Friday, January 31, 2025

අවධමනය 4% මට්ටමට!


ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබියදී වීම විශේෂත්වයක්.

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වන වේගයයි. මහ බැංකුව විසින් රටේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගත යුතු අතර -4% මට්ටම ඊට වඩා 9%කින් අඩු මට්ටමක්. 

මෙම අවධමන තත්ත්වය ඉදිරි පෙබරවාරි මාසයේදී තවත් උග්‍ර වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙන අතර -5% සීමාව ඉක්මවා පහත වැටිය හැකියි. එමෙන්ම වසර මැද තෙක්ම පැවතිය හැකියි. 

පසුගිය ජනවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ හාල් සහ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතත්, තිරිඟු පිටි පාන්, මාළු, කුකුළු මස්, බිත්තර, සීනි, එළවළු හා පළතුරු මිල ගණන් පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මත්පැන් හා දුම්වැටි මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, විදුලි ගාස්තු, ජල ගාස්තු, ඉන්ධන හා ප්‍රවාහන වියදම් පහත වැටී තිබෙනවා.


Tuesday, December 31, 2024

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක් ලෙස මිල මිල මට්ටම 69.8%කින් ඉහළ ගොස් තිබුණු බවයි.

කෙසේ වුවද, 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 27ක කාලය තුළම සමස්තයක් ලෙස මිල මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි. 

එළඹෙන 2025 වසරේ පළමු කාර්තුව තුළ අනිවාර්යයෙන්ම අවධමන තත්ත්වය පවතිනු ඇතත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී නැවතත් උද්ධමනය හිස එසවීමට නියමිතව ඇති බැවින් දැනට පවතින තාවකාලික අවධමන තත්ත්වය කණස්සල්ලට කාරණයක් නෙමෙයි. 




Friday, November 29, 2024

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!


නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි.

අවධමන තත්ත්වයක් පවතිද්දී මූර්ත පොලී අනුපාතික නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. මූර්ත පොලී අනුපාතික යනු නාමික පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කළ විට අගයයි. උද්ධමනය සෘණ අගයක් වූ විට මෙම අගය නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. නාමික පොලී අනුපාතික 8.5% හා උද්ධමනය -2.0% යන්නෙන් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 10.5%ක් බවයි.

ඉහළ මූර්ත පොලී අනුපාතිකයක් තිබීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් යටතේදී සාමාන්‍යයෙන් මහ බැංකුවක් විසින් කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාතික පහතට ගැනීමයි. මේ සඳහා වෙළඳපොළට මුදල් මුදා හැරීමක් කරන්නට සිදු වෙනවා. එය කරන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහායි.

මේ වන විට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස යොදා ගන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි. එම අනුපාතිකය 8.0% ලෙස මහ බැංකුව විසින් නිර්ණය කර තිබෙනවා. ඒ අනුව, ඒක්ෂණ මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකය 8.0% මට්ටමේ පවත්වා ගත හැකි පරිදි විවට වෙළඳපොළ මෙහෙයුම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදු වෙනවා.

අද දින සිදු වූ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය 8.15% මට්ටමේ පැවතුනු අතර ප්‍රතිමිලදී ගැනීම් (රිපෝ) වෙළඳපොල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 8.20% මට්ටමේ පැවතුනා. මෙම අගයයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා මඳක් වැඩියි.

පොලී අනුපාතික ඉලක්ක මට්ටමට වඩා ඉහළින් ඇති විට මහ බැංකුවට වෙළඳපොළට මුදල් මුදා හැරීම මගින් එම සමතුලිතතාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. මේ අයුරින් මුදල් මුදා හැරීම ස්ථිර පදනමකින් හෝ තාවකාලික පදනමකින් කළ හැකියි. දැනට මහ බැංකුව විසින් අනුගමනය කරන්නේ පළමු ක්‍රමයයි.

ඊයේ දිනයේ මහ බැංකුව විසින් එක් දින ප්‍රති විකුණුම් (රිවර්ස් රිපෝ) ලෙස රුපියල් බිලියන 40ක මුදලක් වෙළඳපොළට මුදා හැර ඇති අතර එම මුදල් වෙන්දේසි වී තිබෙන්නේ 8.00-8.20% පරාසය තුළයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 4.4ක මුදලක් 8.50%ක පොලියක් ගෙවා එක් දින ප්‍රති විකුණුම් ක්‍රමයට මහ බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඇතැම් බැංකු සැලකිය යුතු ද්‍රවශීලතා හිඟයකින් පෙලෙන බවයි. එය වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටීමට බාධාවක්ව පවතිනවා.

කෙසේ වුවත්, රුපියල් බිලියන 210 ඉක්මවන මුදලක්  ඊයේ දිනම 7.5% පොලියට මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම මුදල ඉහත සඳහන් කළ රුපියල් බිලියන 44ක ප්‍රති විකුණුම් ගනුදෙනු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි මුදලක්. මේ අනුව පෙනී යන්නේ වෙළඳපොළ තුළ 8.0-8.5% පොලියකට ණය දීමේ අවස්ථාව තිබියදී ඇතැම් බැංකු විසින් ඊට වඩා අඩු 7.5% පොලියට මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පෙලැඹී ඇති බවයි. 

පොලී අනුපාතික යනු මුදල් වෙළඳපොළ ගනුදෙනු සිදු කරද්දී සලකා බලනු ලබන එකම සාධකය නෙමෙයි. මුදල් ණයට දීමේ අවදානමද එහිදී සලකා බැලෙනවා. ශ්‍රී ලංකා රජය ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළ බොහොමයක් දේශීය බැංකු වලට ණය දීම සැලකෙන්නේද ඉහළ අවදානමක් ඇති කටයුත්තක් ලෙසයි. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වේයැයි අපේක්ෂා කළ හැකියි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 27 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික පෙර සතියට සාපේක්ෂව 0.57%කින් පහත වැටී ඇති අතර, දින 182 ඵලදා අනුපාතික 0.63%කිනුත්, දින-364 ඵලදා අනුපාතික 0.70%කිනුත් පහත වැටී තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ පොලී අනුපාතික වල මැදිකාලීන හැසිරීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වලද මෙම පහත වැටීම නිරූපනය වී තිබෙනු දැකිය හැකියි. නොවැම්බර් 28 දින (ඊයේ) පැවති වෙන්දේසියේදී 2028 ඔක්තෝබර්හිදී කල් පිරෙන බැඳුම්කර වෙන්දේසි වූයේ 10.62% අනුපාතිකයටයි. 

Wednesday, October 30, 2024

අවධමන තත්ත්වය තවත් නරක අතට!


පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි.

දිගින් දිගටම රටක අවධමන තත්ත්වයක් පැවතීම හොඳ දෙයක් නෙමෙයි. එයට හේතුව භාණ්ඩ හා සේවා මිල අඩු වී නිෂ්පාදකයින්ගේ ආදායම් පහළ ගියද, සේවක වැටුප් ඊට අනුරූපව පහත හෙළීම ප්‍රායෝගිකව අපහසු වීමයි. එය මූර්ත නිෂ්පාදනය අධෛර්ය කිරීමට හේතු වෙනවා. කෙසේ වුවද, මේ සෛද්ධාන්තික තත්ත්වය ලංකාවේ මේ මොහොතේ තත්ත්වය සමඟ එලෙසම ගැලපිය නොහැකි වන්නේ ලංකාවේ අවධමන තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඩොලරයක මිල පහත වැටීම වීමයි.

ඩොලරයක මිල පහත වැටී තිබීමද ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. එය සිදු වන්නේ වාහන ආනයන වාරණය කර ඇති පසුබිමකයි. සැබෑ ඩොලර් ඉල්ලුම හා ඒ මත තීරණය වන ඩොලරයක සැබෑ මිල මෙන්ම සැබෑ උද්ධමනයද දැක ගත හැකි වනු ඇත්තේ වාහන ආනයන වාරණය ඉවත් කිරීමෙන් පසුවයි. මෙය ඉතා ඉක්මණින් සිදු වීමේ ඉඩක් දැනට පෙනෙන්නට නැහැ.

වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු අවධමනය මත පදනම්ව ආර්ථිකය උත්තේජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බැංකු පද්ධතිය තුළ රඳවාගෙන තිබෙන විශාල මුදල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට පෙළඹවීම සිදු විය යුතු දෙයක්. 

පසුගිය කාලය තුළ රාජ්‍ය ආදායම් විශාල ලෙස ඉහළ යාම නිසා රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය පහත වැටී තිබෙනවා. තව දුරටත් ණය ගැනීම වෙනම කතාවක්. මේ හේතුව නිසා බැංකු පද්ධතිය තුළ අරමුදල් අතිරික්තයක් ඇති වී තිබෙනවා. 

රජය බැංකු වලින් පෙර තරමට ණය ලබා නොගන්නේනම් එම අතිරික්ත අරමුදල් පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට බැංකු වලට සිදු වෙනවා. එහෙත් බදු ඉහළ යාම ඇතුළු හේතු නිසා පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම තිබෙන්නේ අඩු මට්ටමකයි. ඊට අමතරව මූර්ත පොලී අනුපාතික ඉතාම ඉහළ මට්ටමක පවතිද්දී පෞද්ගලික අංශය ණය ගන්න පෙළඹෙන්නේ නැහැ.

පසුගිය සතියේදී ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය පැවතුනේ 9.17% මට්ටමේයි. එම අනුපාතිකය බැංකු වල හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දෙන අනුපාතිකයයි. උද්ධමනය සෘණ 0.8ක්ව තිබියදී එයින් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 9.87%ක් තරම් ඉහළ මට්ටමක ඇති බවයි. මෙය ඉතාම ඉහළ අගයක්. යෝග්‍ය මට්ටම වන්නේ 2% වැනි මට්ටමක්. 

අද (ඔක්තෝබර් 30) දිනයේ දෛනික පදනම මත මහ බැංකුවේ තැන්පත් කළ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 214,727ක් වන අතර දෛනික පදනම මත මහ බැංකුවෙන් ලබාගත් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 35,268ක්. ඊයේ දිනයේදී සතියක කාලයකට ලබා දුන් රුපියල් මිලියන 60,000ක මුදලද සමඟ මහ බැංකුව විසින් තාවකාලික පදනම මත රුපියල් 95,268ක මුදලක් ලබා දෙද්දී බැංකු විසින් තාවකාලික පදනම මත රුපියල් මිලියන 214,727ක මුදලක් මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. 

ඇතැම් වාණිජ බැංකු තුළ මුදල් අතිරික්තයක් ඇතත් එම බැංකු තමන්ගේ අතිරික්ත අරමුදල් මුදල් හිඟ බැංකු වලට ණයට නොදී අඩු පොලියකට මහ බැංකුවේ තැන්පත් කරමින් සිටිනවා. එමෙන්ම ඒ මුදල් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරමින් රජයට ණයට දීමක් සිදු වන්නේද නැහැ. මෙසේ ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කරන්නේ ලංකාවේ පිහිටි විදේශ බැංකුයි.

ශ්‍රී ලංකා රජය තවමත් ණය පැහැර හැර ඇති සේ සැලකෙන රටක්. එවැනි රජයක් නිකුත් කරන බිල්පත් වල ආයෝජනය කිරීමට විදේශ බැංකු ඉදිරිපත් වන්නේ නැහැ. එම බැංකු වලට ඔවුන්ගේ මවු බැංකු වල මාර්ගෝපදේශ අනුගමනය කරන්නට සිදු වෙනවා. රජයට අයිති බැංකු වලට ණයට දීමද ඔවුන් විසින් සලකන්නේ එවැනිම අවදානම් කටයුත්තක් ලෙසයි. 

මේ හේතුව නිසා සමස්තයක් ලෙස වෙළඳපොළෙහි විශාල අරමුදල් අතිරික්තයක් පැවතුනත් ඇතැම් වාණිජ බැංකු වලට සල්ලි ණයට ගන්නට මහ බැංකුව වෙතම එන්න වෙනවා. එම බැංකු වලට අවශ්‍ය අරමුදල් ලබා නොදීම බැංකු පද්ධතිය අවදානමේ හෙළීමක් වගේම මහ බැංකුවක ප්‍රධානම නිල කාර්යයකින් බැහැර වීමක්. මහ බැංකුව විසින් දැනට කරමින් සිටින්නේ මේ නිල කාර්යයයි. ඒ හැරෙන්නට වසර කිහිපයකට පෙර සිදු කළ ආකාරයෙන් ආර්ථිකය උත්තේජනය කිරීම වෙනුවෙන් මුදල් පොම්ප කිරීමක් දැනට සිදු වන්නේ නැහැ. 

Tuesday, October 1, 2024

අවධමනය හමුවේ ණය තිරසාරත්වය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. 

තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ පුරෝකථන අනුව පේන්නෙත් ඒ තත්ත්වයයි. 

මෙහි ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්දේ නාමික දදේනි අගය ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම්, ප්‍රාථමික අයවැය අතිරික්තය ආදිය රුපියල් වලින් ඇස්තමේන්තු මට්ටමේම තියෙද්දී වුවත්, දදේනි අනුපාත ලෙස ඇස්තමේන්තු වලට වඩා උඩට යන්න පුළුවන්.

කොහොම වුනත්, මේ වගේ තත්ත්වයක් ලොකුවට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයත් ඔය විදිහටම වැඩි වෙනවා. ඒ නිසා, රාජ්‍ය ආදායම දදේනි අනුපාතයක් ලෙස ඉලක්ක මට්ටමට ගියත්, රුපියල් වලිනුත් අවශ්‍ය ඉලක්කයට යන්නම වෙනවා.

දැනට ආණ්ඩුව විසින් අරගෙන තිබෙන වියදම් වැඩි වෙන තීරණ වන පොහොර සහනාධාරය හා ධීවරයින්ට දෙන ඉන්ධන සහනාධාරය කලින්ම සැලසුම් කර තිබුණු ඒවා බවයි වාර්තා වී තිබෙන්නේ. ඒ නිසා, තිබුණු සැලසුමට සාපේක්ෂව අමුතුවෙන් වියදම් වැඩි වීමක් නැහැ. කොහොමටත් මේ වියදම් විශාල වියදම් නෙමෙයි.

ඊට සාපේක්ෂව, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම නොකරන්නේනම්, එයින් තිබුණු සැලසුමට සාපේක්ෂව සැලකිය යුතු ඉතිරියක් වෙනවා. සමහර දීමනා කප්පාදු කිරීම වගේ දේවල් වලින්නම් විශාල ඉතිරියක් වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස ගත්තහම දැනට සිදු කර තිබෙන වෙනස්කම් වලින් ඊළඟ IMF විමර්ශනයේදී ප්‍රශ්නයක් විය හැකි තරමේ දෙයක් වෙලා නැහැ. 

වෙබ් ලිපිනය: