වෙබ් ලිපිනය:

Showing posts with label දුම්රිය. Show all posts
Showing posts with label දුම්රිය. Show all posts

Wednesday, August 13, 2025

නියම මිල සහ කෘතිම මිල


මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. 

ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක් ඇති කොට අදාළ දුම්රිය ප්‍රවේශපත්‍ර කෘතිම මිලකට විකිණීම මගින් ලාබයක් උපයන බවයි. දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව අලුත් කතාවක් වුවත්, මේ කතාව අලුත් කතාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට ඊනියා හාල් මාෆියාව පිළිබඳ ජනප්‍රිය කතාවත් ඕකමයි.

මේ සටහනෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ මේ තර්කය තුළ තිබෙන විසංවාදය පෙන්වා දීමටයි. මිල බුබුළු වැනි විශේෂ තත්ත්වයන් වලදී හැර, නියම මිලට වඩා වැඩි කෘතීම මිලකට භාණ්ඩයක් විකුණා කාටවත් ලාබයක් ලබන්න බැහැ. එසේ ලාබයක් ලබන්නේනම් අදාළ භාණ්ඩය විකිණෙන්නේ නියම මිලට මිසක් කෘතිම මිලකට නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී සිදු වී තිබෙන්නේ රජය විසින් කෘතිම මිලක් නියම කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවස්ථාව හඳුනා ගන්නා පුද්ගලයෙකුට ලාබයක් ලැබීමට අවස්ථාවක් උදා වීමයි. ඇතැම් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා. 

මේ සංවාදය මූලික වශයෙන්ම අදාළ වන්නේ ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය ගමන්වාර වලට බැවින් අප ඒ කෙරෙහි අවධානය යොදවමු. එහෙත් ගමන්වාරයක් සඳහා දුම්රිය ආසනයක් කලින් මිල දී ගත හැකි ඕනෑම අවස්ථාවකට මෙය පොදුවේ අදාළයි. එසේ ආසන වෙන් කිරීමක් සිදු නොකෙරෙන දුම්රිය ගමන්වාර ගැන තවදුරටත් කතාකරන්න අවශ්‍යනම් වෙනම කතා කරමු.

ඇල්ල ඔඩිසි දුම්රිය සතියකට දින දෙකක් (බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින වල) කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙනවා. පසු දින (සිකුරාදා සහ ඉරිදා දිනවල) ආපසු කොළඹ බලා පැමිණෙනවා. මෙම දුම්රිය මූලික වශයෙන්ම සංචාරක ආකර්ශනයක්. ගමන අතරතුර ඡායාරූප ගැනීමට ඉඩ සලස්වමින් සංචාරක ආකර්ෂණ ස්ථාන අටක හෝ ආසන්න ප්‍රමාණයක දුම්රිය නවත්වනවා. දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල පළමු, දෙවන හා තෙවන පංති ප්‍රවේශපත්‍ර සඳහා පිලිවෙලින් රුපියල් 5000ක්, 4000ක් සහ 3000ක් වෙනවා. ගමන සිදුවන දිනට දින 30කට පෙර සිට මාර්ගගත ක්‍රමයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකියි.

මේ දුම්රිය ප්‍රවේශපත් ඊයේ දිනය තෙක්ම ලෝකය පුරා විවිධ වෙබ් අඩවි වල සැලකිය යුතු ඉහළ මිලකට අලෙවි වුනා. ඊයේ පරීක්ෂා කරද්දීත් පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල ඩොලර් 57ක්. මාස කිහිපයකට පෙර මතක හැටියට යුරෝ හැත්තෑ ගණනක හෝ වැඩි මිලකට අලෙවි වුනා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවහොත් ඩොලර් 57ක් කියන්නේ රුපියල් 17,100ක මිලක්. රජය විකුණන මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි. 

සමහර අය පෙන්වා දී තිබෙන්නේ මෙවැනි මිලකට විකිණිය හැක්කේ ටිකට්පත් කිහිපයක් පමණක් බවයි. එකම ටිකට්පත වෙනුවෙන් වුවත් එක් එක් පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිල වෙනස්. මෙවැනි මිලකට ඕනෑම ටිකට්පත් ප්‍රමාණයක් විකුණන්න බැහැ. නමුත් තැරැව්කරුවෙකුට අඩු ටිකට්පත් ප්‍රමාණයක් පමණක් විකුණා වුවත් ලාබයක් ලබා ගන්න පුළුවන්.  

උදාහරණයක් ලෙස යම් නිශ්චිත ගමන්වාරයක් සඳහා පළමු පංතියේ ආසන ප්‍රමාණය 30ක් පමණක් කියා හිතමු. මෙම ටිකට් සියල්ල මිල දී ගැනීම සඳහා තැරැව්කරුවෙකු විසින් ගෙවිය යුත්තේ රුපියල් 150,000ක (= 5000x30) මුදලක් පමණයි. ටිකට්පතක් රුපියල් 15,000 බැගින් විකිණුවහොත්, ටිකට්පත් 10ක් පමණක් විකුණා ඒ මුදල හොයා ගන්න පුළුවන්. ඊට වඩා ටිකට් විකුණා ගන්න පුළුවන් වුවහොත් එම අතිරික්ත මුදල තැරැව්කරුවාගේ ලාබයයි.

තැරැව්කරුවන් විසින් රුපියල් 5000 ගෙවා තොග වශයෙන් ටිකට්පත් මිල දී ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන්ට එම ටිකට්පත් වැඩි මිලකට විකුණා ලාබයක් ගැනීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් ඇති බවයි. ඔවුන් විසින් ටිකට්පත් සියල්ලම විකුණන්නේද නැද්ද යන්න අදාළ කරුණක් නෙමෙයි. එසේ විකිණුවත් නැතත් ඔවුන් ලාබයක් ගන්නවා. ලාබයක් නැත්නම් ඔවුන් මේ වැඩේ කරන්නේ නැහැ. 

තැරැව්කරුවන්ට ටිකට්පතක් රුපියල් 5000 බැගින් මිල දී ගෙන වැඩි මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් සහ එහිදී ඔවුන් අතින් අගය එකතු කිරීමක් සිදු නොවන්නේනම්, අපට තර්ක කළ හැක්කේ මෙම ලාබය රජයටම ලබාගත හැකිව තිබුණු ලාබයක් බවයි. එය එසේනම් ප්‍රශ්නයට හේතුව රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කිරීමයි. තැරැව්කරුවන් විසින් කර ඇත්තේ එසේ රජය විසින් කෘතීම මිලකට විකුණන ටිකට්පත් මිල දී ගෙන නියම මිලට විකිණීම මගින් ලාබයක් ලැබීමයි. 

රජය විසින් ටිකට්පත් විකුණා ඇත්තේ නියම මිලටනම්, තැරැව්කරුවන් විසින් සිදු කර ඇත්තේ අගය එකතු කිරීමක් කර එම අගය එකතු කිරීම වෙනුවෙන් මුදලක් ලබා ගැනීමයි. එය එසේනම් ඔවුන්ගේ මිලද නියම මිලක් මිස කෘතීම මිලක් නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඉහත කරුණු දෙකේම මිශ්‍රණයක්. රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කරන නිසා ඇතිව තිබෙන ටිකට්පත් හිඟයෙන් තැරැව්කරුවන් වාසියක් ගෙන තිබෙන අතර අගය එකතු කිරීම් කරමින් එම අගය එකතු කිරීමේ මිලද ඔවුන් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ඊයේ ඩොලර් 57කට අලෙවි වූයේ අවසන් දිනය තෙක් ආපසු විකිණිය හැකි (refundable) ටිකට්පතක්. එම පහසුකම නොමැති ටිකට්පතක් අලෙවි වූයේ ඩොලර් 47.50ක මිලකටයි. මේ අනුව, ඩොලර් 7.50ක් අය කර තිබුණේ මෙම ආපසු විකිණිමේ පහසුකම වෙනුවෙනුයි. 

දන්නා තරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විකිණූ ටිකට්පත් ආපසු මිල දී ගන්නේ නැහැ. මෙම පහසුකම අදාළ තැරැව්කරුවන් විසින් සිදු කර ඇති අගය එකතු කිරීමක්. එම මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගත හැකි වන්නේ එවැනිම අගය එකතු කිරීමක් කළහොත් පමණයි. කෙසේ වුවත්, සමස්තයක් ලෙස ගත් විට ප්‍රශ්නයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෘතිම අඩු මිලකට ටිකට්පත් විකිණීමයි. එය කෙතරම් අඩු මිලක්ද යන්න අදාළ කරුණක් නෙමෙයි. 

භාණ්ඩයක මිල කෘතිම මිලක් යන්නෙන් අදහස් වන්නේ එය නියම මිල නොවන බවයි. ඒ නිසා, කෘතිම මිලක් ගැන කතා කිරීම සඳහා නියම මිල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍රයක නියම මිල කීයද?

භාණ්ඩයක නියම මිල කියා කියන්නේ එහි ඉල්ලුම හා සැපයුම තුලනය වන මිලයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව, අඩු වශයෙන් කෙටිකාලීනව, සැපයුම වෙනස් නොවන නියතයක්. එහෙත්, දිනය අනුව ඉල්ලුම වෙනස් වෙනවා. නියම මිල කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ දිනයේ ප්‍රවේශපත්‍ර සඳහා තිබෙන ඉල්ලුම මතයි. මිල නියම මිලද කියා අපට තහවුරු කර ගත හැක්කේ කෙසේද?

පහත අවශ්‍යතා දෙක සම්පූර්ණ වේනම්, ටිකට්පත් මිල නියම මිල කියා අපට කියන්න පුළුවන්. 

1. ගමන්වාරය ආරම්භ වීමට ආසන්න වන තුරුම අවශ්‍ය අයෙකුට ටිකට්පත් මිල දී ගැනීමට හැකි විය යුතුයි. එනම් ටිකට්පත් කලින් විකිණී අවසන් නොවිය යුතුයි.

2. ගමන්වාරය ආරම්භ වන අවස්ථාව වන විට සියලුම ටිකට්පත් විකිණී අවසන් විය යුතුයි. 

ඉල්ලුම හා සැපයුම හරියටම තුලනය වේනම් අන්තිම ටිකට්පත හරියටම අවසන් මොහොතේ විකිණිය යුතුයි. මේ තරම්ම ප්‍රශස්ත ලෙස ඉල්ලුම කළමනාකරණය කර ගැනීම ප්‍රයෝගිකව අපහසු වුවත් විචල්‍ය මිල ක්‍රමයක් මගින් ඊට බොහෝ ආසන්න ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ලෝකයේ ප්‍රධාන දුම්රිය සේවා සියල්ලක්ම මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා සපයන්නන් විසින්ද අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි. 

විචල්‍ය මිල ක්‍රමයකදී සිදු වන්නේ ඉල්ලුම හා ගැලපෙන පරිදි ආන්තික මිල වෙනස් කිරීමයි. ආන්තික මිල යනු අවසන් ටිකට්පත විකිණෙන මිලයි. ඊනියා තැරැව්කරුවන් විසින් කරන්නේ මෙයයි. ඔවුන් මිල දී ගන්නා ටිකට්පත් සියල්ල විකිණී අවසන් නොවේනම් එයින් අදහස් වන්නේ ආන්තික මිල ශුන්‍ය බවයි. එනම් අවසන් ටිකට්පත් වලින් පාඩුවක් සිදු වන බවයි. එහෙත්, ඔවුන්ට සමස්තයක් ලෙස පාඩුවක් සිදු වන්නේ නැහැ. ඉල්ලුම සහ සැපයුම තුලනය වන්නේ ආන්තික මිල අනුව වුවත් ලාබය කෙරෙහි බලපාන්නේ සාමාන්‍ය විකිණුම් මිලයි. 

ඇතැම් අය ප්‍රශ්නයක් කරගෙන තිබෙන්නේ ආසන හිස්ව තිබීමයි. දුම්රිය නඩත්තු කිරීමේ ප්‍රධාන අරමුණ හැකි තරම් මගීන් ප්‍රවාහනය කිරීමනම් මෙය ප්‍රශ්නයක්. වැඩට යන වෙලාවල මගී දුම්රිය හා අදාළව තත්ත්වය මෙය වුවත්, ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය යෙදවීමේ අරමුණ විය යුත්තේ ලාබ ලැබීම සහ විදේශ විණිමය ඉපැයීමයි. ඒ සඳහා අනිවාර්යයයෙන්ම සියලුම ආසන පිරී තිබිය යුතු නැහැ. 

තැරැව්කරුවන් පැත්තකින් තියා රජය විසින්ම ටිකට් විකුණන්නේයැයි සැලකුවත්, රුපියල් 5000 බැගින් ටිකට්පත් 30ක් විකුණනවාට වඩා රුපියල් 8,000 බැගින් ටිකට්පත් 20ක් විකුණන එක ලාබයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තේරුම් ගෙන නැති මේ කරුණ තැරැව්කරුවන් විසින් තේරුම් ගෙන තිබෙනවා. 

කෙසේ වුවත්, මිල හැකි තරම් වැඩි කරන අතරම ආසන සියල්ලම පිරවීමෙන් වඩා වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්. විචල්‍ය මිල ක්‍රමයේදී සිදු වන්නේ එයයි. උදාහරණයක් ලෙස දින 30කට පෙර ටිකට්පත් විකිණීම ආරම්භයේදී රුපියල් 5000 වෙනුවට රුපියල් 10000ක් ලෙස ටිකට්පත් මිල කරන්න පුළුවන්. යම් නිශ්චිත දින ගණනකට පෙර, උදාහරණයක් ලෙස දින 15කට පෙර, ටිකට්පත් වලින් 50%කට වඩා විකිණුනොත් ඒ වහාම මිල 20%කින් වැඩි කරන්න පුළුවන්. දින 15කට පසුවත් ටිකට්පත් වලින් 50%ක් විකිණී නැත්නම් මිල 20%කින් අඩු කරන්න පුළුවන්. අවසාන මොහොත දක්වාම ටිකට්පත් යම් ප්‍රමාණයක් විකිණී නැත්නම් කළ යුත්තේ එම ටිකට්පත් කීයකට හෝ විකුණන එකයි. රුපියල් 50කට විකිණුවත් එය ලාබයක්. 

මේ ක්‍රමයෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. යම් නිශ්චිත දවසක ටිකට්පත් මිල ගොඩක් වැඩිනම්, ඒ දවසේම ගමන යා යුතු කෙනෙක් කීයක් හෝ ගෙවා ටිකට්පත මිල දී ගනියි. මගේ බිරිඳ ලංකාවේ සිටියේ සීමිත දින ගණනක් පමණක් නිසාත්, ඇල්ල ඔඩිසි ගමන් වාර තිබෙන්නේ සතියකට දෙවරක් පමණක් නිසාත් ඇයට වෙනත් විකල්ප තිබුණේ නැහැ. බොහෝ විදේශ සංචාරකයින් හා අදාළවද තත්ත්වය එයයි. තමන්ට අවශ්‍ය දිනයේ ගමන යාම සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවන්න කැමතියි. 

නමුත් බොහෝ දේශීය සංචාරකයින් මිලට සංවේදීයි. ඔවුන්ට දවස වෙනස් කරගන්න අපහසුවක් නැහැ. ඒ නිසා, විචල්‍ය මිල ක්‍රමයක් පවතීනම්, ඔවුන් අඩු මිලක් ගෙවා යා හැකි දිනකට ගමන වෙනස් කරගන්නවා. 

දුම්රිය ගමනක් සඳහා කලින් ආසන වෙන් කරගන්නා කෙනෙක් කොහොමටත් අවදානමක් ගන්නවා. යම් හේතුවක් නිසා ගමන යන්න නොහැකි වුනොත් ගෙවපු මුදලින් ප්‍රයෝජනයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් ඇල්ල ඔඩිසි ටිකට් මිල දී ගන්න උත්සාහ කළත්, ඒ වෙද්දී ඒ ගමන යන බව ඇය ස්ථිරව තීරණය කරලා තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණානම් මම අවම වශයෙන් ටිකට් දෙකක් ගන්නවා. ඇත්ත වශයෙන්ම සුඛෝපභෝගී බස් රථයක අසුන් දෙකක් කලින් මිල දී ගත්තා. ඒ විකල්පයක් විදිහට. 

දුම්රිය ටිකට්පත් මිල දී ගත හැකි වුනානම් කොහොමටත් බස් ගමන සිදු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුම්රිය ගමන යන්න බැරි වුනා වගේම බස් ගමන ගියේත් නැහැ. ඒ ආසන දෙක හිස්ව තියෙන්න ඇති. යම් ආකාරයකින් බස් ගමන ගියානම් බොහෝ විට ගමන යන්නේ තනියම. ටිකට් දෙකක්ම මිල දී ගත්තේ තනියම යන්න වුනානම් යාබද අසුන හිස්ව තියා ගන්න. යාබද අසුන් මිල දී ගැනීම සඳහා මේ වෙද්දී ප්‍රධාන ගුවන් යානා සමාගම් ගණනාවක්ම ඉඩ ලබා දෙනවා. ප්‍රවාහන සමාගමක පැත්තෙන් වැදගත් වන්නේ ආසන ප්‍රමාණය සඳහා අදාළ මිල කවුරු හෝ විසින් ගෙවන එක මිසක් ඒ ආසන වල කවුරු හෝ වාඩි වී යනවාද කියන එක නෙමෙයි.

තැරැව්කරුවන් හිටියත් නැතත් ඇල්ල ඔඩිසි වැනි දුම්රිය ගමනකට සමහර දින වල ඉල්ලුම වැඩියි. සමහර දිනවල අඩුයි. ඒ නිසා, සැපයුම වැඩි කළත් ප්‍රශ්නයේ කොටසක් ඉතිරි වෙනවා. විචල්‍ය මිල ක්‍රමයෙන් ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ අවස්ථාවේදී තැරැව්කරුවන් විසින් රජය පැත්තෙන් සිදුව තිබුණු අඩුපාඩුවකින් ප්‍රයෝජන ගත්තා. රජය විසින් ඒ අඩුපාඩුව නිවැරදි කර ගැනීම නිවැරදියි. නමුත් වෙළඳපොළ ප්‍රසාරණය කරන්නන් ලෙස තැරැව්කරුවන්ගෙන් සිදු වන සේවය අමතක කරන්න බැහැ. සමහර විට ඉල්ලුම මේ තරම් වැඩි වී තියෙන්නේම තැරැව්කරුවන් නිසා වෙන්න පුළුවන්. 

අරමුණ ලාබ වැඩි කර ගැනීමනම්, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෙළින්ම මගීන්ට ටිකට් විකිණුවත්, තැරැව්කරුවන්ට විකිණුවත් එහි වෙනසක් නැහැ. ඇත්ත වශයෙන්ම තොග වශයෙන් තැරැව්කරුවන්ට ටිකට් විකුණන එක වඩා කාර්යක්ෂමයි. එක් යෝජනාවක තිබුණ පරිදි ටිකට් බ්ලොක් විදිහට තැරැව්කරුවන්ට වෙන්දේසි කරන එක වුනත් හොඳ ක්‍රමයක්. වෙන්දේසි කළාට පස්සේ ඒ ටිකට් කීයට විකුණවද, විකිණෙන්නේ නැද්ද වගේ කරුණු අදාළ නැහැ. වෙන්දේසි කරද්දී උපරිම මිලකට වෙන්දේසි කළානම් එච්චරයි. 

ඇල්ල ඔඩිසි උදාහරණයට ගත්තත්, වායු සමීකරණය කළ සහ පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ඕනෑම එකකට මේ කරුණු පොදුවේ අදාළයි. මෙවැනි සුඛෝපභෝගී ගමන්වාර අවස්ථා වලින් වැඩි ලාබයක් ලැබීම මගින් ආසන වෙන් කිරීමක් සිදු නොවන සාමාන්‍ය මගී දුම්රිය ගමන්වාර වල පාඩුවෙන් කොටසක් හෝ පියවා ගන්න පුළුවන්. ඒ වගේම වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්.

Tuesday, August 12, 2025

කෝච්චි ටිකට් මාෆියාව


මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත් ලංකාවේ තිබෙනවා. 

සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ තුනක පමණ පිරිසක් ලංකාවේ කෝච්චි වල ගමන් යනවා. මේ එක් මගියෙක් ගමන් වාරයකදී සාමාන්‍ය වශයෙන් කිලෝමීටර හැටකට වඩා ගමන් කරනවා. එක් මගියෙක්ව කිලෝමීටරයක් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය වශයෙන් අය කරන මුදල රුපියල් දෙකකටත් වඩා අඩුයි. නමුත් ඒ සඳහා වැය වන පුනරාවර්තන පිරිවැය පමණක් සැලකුවත් එමෙන් දෙගුණයකට වඩා වැඩියි. 

පසුගිය 2024 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 16.5ක ආදායමක් උපයද්දී, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 39.5ක් වැය වෙලා තිබෙනවා. මේ වෙනස පියැවෙන්නේ දුම්රිය භාවිතා නොකරන බහුතර ලාංකිකයින් ඇතුළු බදු ගෙවන්නන් විසින් රජයට ලබා දෙන මුදල් වලින්. 

ඔය තරම් පාඩුවට ටිකට් විකුණුවත්, මේ වෙද්දී දුම්රිය ප්‍රවාහනයට අනෙකුත් පෞද්ගලික ප්‍රවාහන සේවාවන් එක්ක තරඟ කරන්න නොහැකි වී තිබෙනවා. වාහන ආනයනයේදී විශාල බද්දක් අය කර ගැනීමෙන් පසුවත්, පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන්නෝ දුම්රිය මගීන්ව සහ බස් මගීන්ව ඩැහැ ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2023දී මිලියන 7,044ක් වූ දුම්රිය මගී-කිලෝමීටර ප්‍රමාණය 2024 වෙද්දී 14.8%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම, ගමනාගමන මණ්ඩල බස්රථ භාවිතයද 7.8%කින් අඩු වී තිබෙනවා. මේ ප්‍රවණතාවය අනුව ඉදිරි කාලයේදී දුම්රිය හා බස්රථ භාවිතය තවත් අඩු වෙන්න පුළුවන්.

ලංකාවේ පොදු ප්‍රවාහන ආකෘතිය වී තිබුණේත්, වී තිබෙන්නේත්, අඩු මිලකට වැඩි මගීන් පිරිසක් කෙසේ හෝ ප්‍රවාහනය කරන එකයි. ඔය ආකෘතිය ඇතුළේ ගුණාත්මක භාවය නොසලකා හැරෙනවා. නමුත් මගීන්ගේ පැත්තෙන් මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක් තිබෙනවා. ඔවුන් ගුණාත්මක භාවය වෙනුවෙන් වැඩි මිලක් ගෙවනවා. රටේ ආදායම් ඉහළ ගොස් ප්‍රවාහනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් වන ඉල්ලුම ඉහළ යද්දී දුම්රිය හා බස් රථ වැනි තොග ප්‍රවාහන මාදිලි වෙනුවට කුලී මෝටර් රථ සේවාවන් ආදේශ වෙමින් තිබෙනවා. මේ ප්‍රවණතාවයත් එක්ක ඉදිරි වසර වලදී පොදු ප්‍රවාහනය නඩත්තු කිරීම සඳහා බදු ගෙවන්නන් මත පැටවිය යුතු බර තවත් ඉහළ යන්න පුළුවන්. 

මේ තත්ත්වය වෙනස් කරගන්නනම් පොදු ප්‍රවාහන පහසුකම් සපයන රාජ්‍ය අංශයට වැඩි මගීන් පිරිසක් කෙසේ හෝ ප්‍රවාහනය කරන එක වෙනුවට වඩා ගුණාත්මක සේවයක් සපයන එක ගැන අවධානය යොමු කරන්න වෙනවා. අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් ලබා ගැනීමට පහසුකම් සැලසීම ඒ වෙනුවෙන් ගත් හොඳ පියවරක්. කලින්ම තමන්ගේ ආසනය වෙන් කරගන්නා මගියෙකුට සේවාවේ ගුණාත්මක භාවය පිළිබඳව යම් අවම සහතිකයක් ලැබෙනවා. සරලව කිවුවොත් දුම්රිය අසුනක වාඩි වී ගමන් කළ හැකි බවට සහතිකයක් ලැබෙනවා.

මේ පහසුකම ලබා දීමෙන් පසුව සිදු වුනේ ඊනියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් ටිකට් සියල්ල එකවර මිල දී ගෙන පසුව වැඩි මිලට විකිණීමයි. මේ වෙද්දී ඒ "ප්‍රශ්නය" විසඳා තිබෙනවා. ප්‍රශ්නය වගේම විසඳුම ගැනත් බොහෝ තැන් වල කතා කර තිබෙන නිසා ඒ ගැන නැවත මෙහි විස්තර කරන්න යන්නේ නැහැ. මෙහි කතා කරන්නේ මේ වගේ "ප්‍රශ්නයක්" ඇති වුනේ ඇයි කියන එකයි. 

ඇත්තටම මෙතැනදී වුනේ ඊනියා ජාවාරම්කාරයන් විසින් ප්‍රශ්නයක් ඇති කිරීම නෙමෙයි. තිබුණු ප්‍රශ්නයක් ඔවුන් විසින් පෙන්වා දීම. 

මිල හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා කියලා සරලව කිවුවත්, ඉල්ලුම වගේම සැපයුමත් ගුණාත්මක භාවය එක්ක සම්බන්ධයි. පැරණි ආකෘතිය ඇතුළේ සිදු වුනේ මිල ස්ථාවරව තියෙද්දී ගුණාත්මක භාවය විචලනය වෙන්න ඉඩ හැරීම මගින් ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්න ඉඩ හරින එක. මෙය පොල් වලට මිල පාලනයක් දැම්මට පස්සේ වෙළඳපොළේ පොල් ගෙඩියක ප්‍රමාණය කුඩා වෙලා ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා වගේ වැඩක්. මිල ස්ථාවරයි. ඉල්ලුම ඉහළ යද්දී ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය පහළ යනවා. මෙය ගුණාත්මක භාවය නියතව තියෙද්දී මිල ඉහළ යාමකට සමානයි. ඒ නිසා ඔය ආකෘතිය වැඩ කළා. 

දුම්රිය ආසන කලින් වෙන් කරගන්න පුළුවන් වූ වහාම සේවාවේ ගුණාත්මක භාවය ස්ථාවර වෙනවා. ඒ නිසා, මිල වෙනස් වෙන්නේ නැති තත්ත්වයක් යටතේ, ගුණාත්මක භාවය වෙනස් වෙන්නේත් නැති නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ක්‍රමයක් නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට, මිල සමතුලිත වුනේ කළු කඩයේ. 

ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් හැදුනොත් කවුරු හෝ ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔය ඊනියා ජාවාරම්කාරයින් විසින් කළේ ඒක. දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දී ගනිද්දී හැඳුනුම් පත්‍ර අංකය හෝ ගමන් බලපත්‍ර අංකය ඇතුළු කිරීම කලින් සිටම අවශ්‍යතාවයක් වී තිබුණේය කියන උපකල්පනය යටතේ (මම මෙය හරියටම දන්නේ නැහැ) ඔවුන් විසින් සිදු කර තිබුණේ දුම්රියට ඇතුළු වීමේදී අනන්‍යතාවය පරීක්ෂා නොකිරීමේ අඩුපාඩුවෙන් ප්‍රයෝජන ගන්න එක. එවැනි අවශ්‍යතාවයක් තිබුණේ නැත්නම්, මේ වැඩේ කොහොමටවත් වැරැද්දක් නැහැ. එවැනි අවශ්‍යතාවයක් තිබුණේනම්, ඔවුන් කරලා තියෙන්නේ අවදානමක් ගන්න එක. ඒ වගේම, ඔවුන්ගෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දී ගත් අය කරලා තියෙන්නෙත් අවදානමක් ගන්න එක. සමහර විට එහි නීතිමය වැරැද්දක් ඇති. 

දැන් ඇත්තටම මේ ප්‍රශ්නය විසඳිලාද?

මම හිතන විදිහටනම් සැබෑ ප්‍රශ්නය තවමත් ඒ විදිහටම තිබෙනවා. දැන් වෙලා තියෙන්නේ ඊනියා ජාවාරම්කාරයින්ට ලාබයක් උපයා ගන්න තිබුණු අවස්ථාව නැති වීම පමණයි. ඔවුන්ට එවැනි ලාබයක් උපයා ගන්න ඉඩ සැලසුණු ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තවමත් ඒ විදිහටම තියෙනවා. තවත් ටික දවසක් ගියාට පස්සේ, කලින් වගේම, මුල් දවසේ හෝ දවස් කීපය ඇතුළත ටිකට් සියල්ලම විකිණෙයි. ඊට පස්සේ ප්‍රශ්නය නැවත කලින් තිබුණු තැනමයි. 

ප්‍රශ්නය විසඳීම සඳහා දුම්රිය සේවය අනිවාර්යයෙන්ම රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට මාරු කළ යුතු නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව රජය යටතේ තිබියදී වුනත් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉල්ලුම එක්ක මිල විචලනය කිරීම. තොග ප්‍රවාහන සේවා සපයන ගුවන් සමාගම්, දුම්රිය සේවා සපයන සමාගම් හා බස් ප්‍රවාහන සේවා සපයන්නන් බොහෝ දෙනෙක් රාජ්‍ය, පෞද්ගලික වෙනසක් නැතිව මේ වැඩේ කරනවා. ඒ මගින් එක් එක් ගමන් වාරය සඳහා වෙන වෙනම ඉල්ලුම හා සැපයුම තුලනය වීමට ඉඩ සලස්වනවා. ඌබර් පික්මී ආදියේ මිල තීරණය වෙන්නෙත් ඔය ක්‍රමයටමයි.

අයිතිය පෞද්ගලික වූ විට තිබෙන ප්‍රධාන වෙනස මේ වගේ දේවල් කරලා ලාබ වැඩි කර ගැනීම පෞද්ගලික අංශය විසින් අනිවාර්යයෙන් කරන දෙයක් වීමයි. රාජ්‍ය අංශයට එවැනි අවශ්‍යතාවයක් නැහැ. පාඩුව බදු ගෙවන්නන් මත පටවමින් වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්.

එකම මිල ගෙවලා දුම්රිය ප්‍රවේශපත්‍රයක් ගෙවා හිස් කෝච්චි පෙට්ටියකට නගින මගියෙක් සහ පොල් පටවපු කෝච්චි පෙට්ටියක පාපුවරුවේ යන මගියෙක් ලබා ගන්නේ එකම සේවාව නෙමෙයි. ඔය ක්‍රමයේදී රජය විසින් සැපයුම් පිරිවැය නියතව තියාගෙන සැපයුම වෙනස් කරනවා. ඉල්ලුම හා සැපයුම තුලනය වෙද්දී වෙනස් වෙන්නේ කෝච්චි පෙට්ටියකට නගින මගීන් ගණන. ඒ කියන්නේ සේවාවේ ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය වෙනස් නොකර ඉල්ලුම හා සැපයුම තුලනය කරන්නනම් අනිවාර්යයෙන්ම මිල විචලනය වෙන්න ඉඩ අරින්න ඕනෑ. 

ලංකාවේ දුම්රිය සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වුනත්, "ප්‍රවාහන සේවා සැපයීම" රාජ්‍ය ඒකාධිකාරයක් නෙමෙයි. කිසියම් නිශ්චිත තැනක ඉඳලා වෙනත් නිශ්චිත තැනකට යන්න අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා විකල්ප ගණනාවක් තිබෙනවා. මේ හේතුව නිසා, දුම්රිය රාජ්‍ය ඒකාධිකාරයක් වීම බදු ගෙවන්නන්ට බරක් වුනත් මගීන්ගේ පැත්තෙන් එහි විශාල ප්‍රශ්නයක් නැහැ. 

නමුත් දුම්රිය භාවිතා කරන්නේ කිසියම් නිශ්චිත තැනක ඉඳලා වෙනත් නිශ්චිත තැනකට යන්න අවශ්‍ය අය පමණක් නෙමෙයි. මාස කිහිපයකට පෙර ලංකාවට යද්දී ඇල්ල ඔඩිසි දුම්රියෙන් බදුල්ලට යන්න අපේ බිරින්දෑත් හිතාගෙන හිටියා. ඒ බදුල්ලට යන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඇල්ල ඔඩිසි වගේ ගමනකට ගොඩක් අය එකතු වෙන්නේ ඒ ගමනේ විනෝදය වෙනුවෙන්. වෙනත් ක්‍රමයකට ගමන යන එක එයට විකල්පයක් නෙමෙයි.

කොහොම වුනත් ගොඩක් කලින්ම ටිකට් විකිණී අවසන්ව තිබුණු නිසා ඇයට ඔය ගමන යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ටිකට්පතක් මිල දී ගන්න මම සෑහෙන්න උත්සාහ කළා. අන්තර්ජාලයේ හොයද්දී හතර ගුණයක සිට හය ගුණයක් දක්වා වැඩි මිලක් යුරෝ වලින් ගෙවා ටිකට්පත් මිල දී ගත හැකි වෙබ් අඩවි තිබුණත් අවශ්‍ය දවසේ ගමන යාම සඳහා ටිකට්පත් සොයා ගත හැකි වූයේ නැහැ. එසේ මිල දී ගත හැකි වුනානම් මා එම වැඩි මිල ගෙවා අවශ්‍ය ප්‍රවේශපත් ප්‍රමාණය ගන්න පැකිළෙන්නේ නැහැ. 

නිශ්චිත තැනක සිට තවත් නිශ්චිත තැනකට යාම සඳහා විකල්ප ගණනාවක් තිබුණත්, අවශ්‍ය දිනක මෙවැනි නිශ්චිත දුම්රිය ගමනක් යාම සඳහා වෙනත් විකල්ප නැහැ. ඒ නිසාම, මේ දුම්රිය ගමන පෞද්ගලික සමාගමක් විසින් සපයන සේවාවක් වුවත්, ඉල්ලුම හා සැපයුම ගැලපෙන සේ මිල විචලනය කළේ නැත්නම් සමාන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

ඊනියා ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීම නිසා සෘජුව ප්‍රශ්නය විසඳුනේ නැහැ. නමුත් එම මැදිහත්වීම නිසා ප්‍රශ්නය විසඳීමේ විභවයක් ඇති වුනා. ඒ, මිල නිවැරදි විය යුතුය යන සංඥාව සැපයුම්කරු වෙත ලබා දීම මගින්. වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ ඒ විදිහටයි. නමුත් සැපයුම්කරු වන රජය මේ සංඥාව තවමත් නිවැරදිව ග්‍රහණය කරගෙන නැහැ. දැනට ලබා දී තිබෙන විසඳුම පණිවුඩකරුට වෙඩි තබා මරා දැමීමක් පමණයි. දැනට ප්‍රශ්නය විසඳී ඇති සේ පෙනුනත්, තවත් මාස කිහිපයක් යද්දී ප්‍රශ්නය ඇත්තටම විසඳී නැති බව පෙනෙයි. 

වෙබ් ලිපිනය: